Sunday, November 4, 2012

අඳුරින් බර ආකර තුළ මැණික් දිලෙනවා-නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා




මගේ පොඩි කාලේ මතක අතර මහ ගෙදර පරණ කැබිනට් එකක් මත වූ රේඩියෝවට හිමිවන්නේ වැදගත් තැනකි . අම්මගේ පලමු පත්වීම දුෂ්කර සේවා ස්ථානයකට ලැබීම හේතුවෙන් පාපැදි මිලට ගන්නට දුන් රුපියල් 600 /= පුද්ගලික ණයකින් මේ රේඩියෝව මහ ගෙදරට පැමින ඇත .ඇය පා පැදියකට වඩා රේඩියෝවකට ආසා වුනා විය හැක .දේ පටන් රෑ වෙන තෙක් දවස ගෙවෙන විදිය  ලමා කාලයේ මට දැනුනේ මේ රේඩියෝව නිසාවෙනි .සමහර වැඩ සටහන් පටන්ගන්නා විට වාදනය වෙන රේඩියෝ ජින්ගල් අදත් හිතේ රැඳී අවුරුදු ගානක අතීතය වෙත හිත කැඳවාගෙන යාමට සමත් වෙයි .


අද නම් බොහෝ ගුවන්විදුලි නාලිකා ඇත . ඒ සියල්ල පැය විසිහතර පුරාම ඇසෙයි .ඒත් මතකයේ රැඳෙන මිහිරක් ඒවායින් හිතට එක්වෙනවාද යන්න පැනයකි .දිග ගමන් බිමන් වල යෙදෙන විට කාලය ගෙවන්න ඇති එකම විසඳුම වාහනයේ ඇති රේඩියෝව සුසර කිරීම වුවත් බොහෝවිට මට සිදුවන්නේ අල්ලන අල්ලන චැනලය නැවත වෙනස් කිරීමටය .එපාවුන තැන "ශිහ් මේ ජරාව අහල ඉවරයක් නෑ "වැනි නුරුස්සන වදනකුත් පිටවේ .එවිට මතකයට එන්නේ පොඩි කාලේ කම්මැලි කමට ඇඳේ ගුලිවී නිදි  ගැට හරිමින් ගුවන්විදුලි සoස්ථා උදා විකාශයට සවන් දුන් අයුරුය


ඒ මගේ ලදරු විය ගෙවුන හැත්තෑව දශකයේ අග අසූව දශකය ආරම්භයයි . උදේට නැගිටින්න අදිමදි කරන මට ඇහෙන්නේ සුනිල් එදිරිසිoහගේ පිනිබර යාමේ සැවුලන් හඬලනවා ගීතයයි.

පිනිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වට කර ලිප ගිනි නැලවෙනවා
කොලඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා


ඒ ඇසෙනවාත් එක්කම මට තාමත් බොහෝ චිත්ත රූප මැවේ . උදේ හතරේ පටන් අඬලන අසල් වැසි විට්ටර් මාමාගේ කුකුල් රන්චුව , දර ලිපේ පැහෙන උණු වතුර කේතලය ලඟට වී ලිපට සාත්තු කරන ආච්චී ,ඒ වටේම දැවටෙන මගේ සුදු බැලලී ඒ හැමෝම සින්දුවේ ඇත .පාසල් යන වයසක නොවුනත් සින්දුව ඇහෙන විට ඉක්මනට  ලොකුවෙලා ඉස්කෝලේ යන හිතක් පහල වෙයි .කොලඹ කෝච්චිය එන්නේ රජ ගමනේය .එහි ඇති ගී පද හිතට අමුතු ප්‍රබෝධයක් ගෙනේ .අදහස හා යෙදුම් එතරම් ප්‍රාණවත්ය .


උදා විකාශයේ බොහෝ දේශාභිමානී ගී වදනය වූ අයුරුත් මතකය .ඒ අතුරින් නන්දා මාලිනිය ගැයූ ගී දෙකක් මගේ හිතේ ඇඳී ඇත . එකක් සාර විට චිත්‍රපටයට ගැයුන ගීතයකි








මේ සින්හල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පන ගැහෙන රටයි
මුලු ලොව ඒ රටට යටයි


අහස සිඹින ගිරි කදුරු
පොලව තෙමන වැවු සයුරු
මුහුද අවර බැඳි පවුරු
ඒරට අසිරි සිරි එවුරු


මවු බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි මේ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ


සමනොල ගිරි වලලු ඉමේ
සුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ



පොඩි දරුවෙක් ලෙස මගේ මතකයේ නිරතුරු රැවු දුන්නේ එහි මුල් පද පෙලයි . එය ඉතා සරල මුත් අභිමානය පිරුණ අදහසකි .පසුව මා වඩාත් කැම්ති වුයේ එහි අවසන් පද පෙල වූ සමනොල ගිරින් එන සම කරුණා ගුණ මහිමය ගැන කියන කොටසටයි .මහගම සේකර ලියූ මේ ගීය පසුව බොහෝ මත භේද වලට හේතු වුන බවක් අසා ඇත. මේ හා සමාන සේකර විසින් ලියූ අනික් ගීතය රත්නදීප ජන්මභූමි ගීයයි .ඒයත් උදා විකාශයෙන් ඇසූ වග මතකය .කාලෙකට කලින් අවන් හලකට වී රට රට වල ජාතිකාභිමානී ගී සැඳෑවක් දැමූ දිනක ඉන්දියන් හා බෙන්ගාලි මිතුරන් ඉදිරියේ  මට ගයන්නට සිදුවූයේත් රත්නදීප ජන්මභූමි ගීතයයි .
මා සිත් ගත් අනික් ගීතය වූයේ ඉහත ආත්මය චිත්‍රපටයට නන්දා විසින්ම ගැයු කරුණාරත්න අබේසේකර පද රචනාකල කේමදාස සoගීතවත් කල අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ගීතයයි .







අද පමණක් නොවේ අපට
හෙටක් තියෙනවා
අරුණලු කැන් හිනැහී නව
දිනක් ලබනවා
අඳුරින් බර ආකර තුළ
මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින්
එළිය වැටෙනවා


උදාසීන ජාතිය නිදිකිරා වැටෙන්නේ

උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ

ලමා කාලයේ පටන් මෙහි අපූර්වත්වය රැඳුනු මා සිත් ගත් පද පෙල වුයේ "අඳුරින්බර ආකර වල මැණික් තියෙනවා "යන්නයි . එය නොපසුබටව නැගී සිටින්න රටකට හෝ ජාතියකට දෙන පණිවුඩයක් සේම කෙනෙක්ගේ පුද්ගලික ජීවිතයටත් වටින ඔවදනක් හා සමානය.ගැඹුරු අභිමානයක් හිතට දනවන අමරදේව ගැයූ


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිහවල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි 


අමරදේව විසින්ම ගැයුන මහවැලි ගීතයත්,  රන් දහඩිය බින්දු බින්දු උදා විකාශයේ තිබුණි 



සිරිපද ලස සමනොල සිරසේ

සිඹ සිඹ සිහිලස විඳ සතොසේ
ලෙලී දිලී ගලා බසී

මහවැලි මහවැලි මහාවැලී ....







රන් දහඩිය බින්දු බින්දු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා
ගයමු රන් ගොයමේ
සින්දු සින්දු 



මේ ගී එවක පැවති රජයන් වල නොයෙක් සoවර්ධන හා ප්‍රචාර වැඩ වලට යොදාගැනුමට ලියූ වගක්ද කියවේ .එය එසේ වුවත් මේ ගී වල අරුත හා ගීත්මය ගුණය නොසුන්ව පවතින බව මට හිතේ . අනික් අතට වැඩ බිමට , කුඹුරට ,කාර්යාලයට උදෙන්ම යන මිනිස්සු අගයකලාට කම නැත .උදා විකාශයේ මගේ මිහිරි මතක හා රැඳුන අනික් ගීය වූයේ නන්දා ගැයූ බුද්ධානුභාවේන ගීතයයි . 


උදෑසනක් යනු දවසක ඇරඹුමය .ඇරඹුමක් ප්‍රබෝධමත් විය යුතුය .ඊට හොඳ සිතුවිලි එක් විය යුතුව .එය දවසේ ඉතිරි කාලය ගෙනයන්න තල්ලුවක් දිය යුතුය. මේ ගීතාවලීන් පුරා කැටිව ඇත්තේ ඒ ප්‍රබෝධයයි .පොඩි ලමයෙක් ලෙස මා මේ ගී ඇසූ මතකය කෙතරම් ප්‍රබලද යන්න අදත් ඒවා මගේ හිතේ රැඳී පවතින විදියෙන් පෙනේ .

ඒත් දැන් බොහෝවිට උදෑසන ඇසෙන්නේ කොහේ හෝ කපා කොටා මරා දැපූ උද්වේගකර පැයෙන් පැය පුවත්ය .එසේත් නැත්නම් බෝම්බ සෙල්ලම හෝ රෑ බැලූ හීන වල ගුන දොස් උදේට කියන ඒවාය . එහෙමත් නැත්නම් කොහේ හෝ කෙනෙක් ටෙලිෆෝනයෙන් මඩවා විකාර කියා ප්‍රීතිවෙන උදවියයි . උදේ පාන්දරින් පැය හතර පහක දිග ගමන් යන්න පිටත්වෙන වෙලාවට මේවා ඇහෙනවිට ඔලුවත් තාන්තුවා වෙයි .


ප/ලි 

නිරතුරුව උදෑසන ඇසුන තවත් ගීයක පද මාලාවක් වුයේ ....

"...සිය රට දේම සියතින් ගෙන වැලඳගමූ,
රන්වන් කරල් අතරින් පෙර ගමන යමූ "

එය සමූහ ගායනයක් වග මතක නමුත් මුලු පද මාලාවත් ගැයුවේ කවුරුන් ද යන්නත් මතක නැත . රේඩියෝ ජින්ගල් අතර මම වඩාත්ම කැමති ලමා උපන්දින සුබ
 පැතුම් වෙනුවෙන් අමරා රණතුoග ගයන ආයුබෝවන් වාසනාවන් ගීතයටයි.  මධ්‍යාහ්නයේ උදා විකාශය අවසන් වීමට වාදනය වුන අමරදේව ගැයූ සබ්බ පාපස්ස අකරණo ධම්මපද ගාථාවද පොඩිකාලේ සිට ඇසීමට ප්‍රිය වීමි .



Tuesday, October 23, 2012

කියවූ මතක


පොඩි කාලේ යන්තම් පොත් කියවන්න පුලුවන් වුන දා ඉඳන්ම මට පොත් කියවන්න උනන්දු , කලේ තාත්තා . මට පුංචිකාලේ දෙවිදියකට පොත් ලැබුණා . ගොඩාක් ලමා පොත් තාත්තගේ යාලුවන්ගේ ලමයි පාවිච්චි කරලා කියවලා ඉවර වුන ඒවා මිටි පිටින්ම මට තියාගන්න ලැබුණා . ඒ අතරින් ගොඩාක්ම පොත් ලැබුනේ ප්‍රජානි ඇන්ටිගේ ගෙදරින් එහේ අක්කලා පොඩි කාලේ කියෙව්ව පොත් . අනුලද සිල්වා , සුනිල් ජයවීර , කුමාරතුංග මුණිදාසගේ ලමා පොත් ගොඩක් ඒ අතර තිබුණා . අනුල ද සිල්වාගේ කැවුම් අප්පුලා , සුනිල් ජයවීරගේ "පිංහාමි හා කිඹුල් ගෙදර මනමාලි , කුමාරතුංගගේ හත්පණ එයින් මගේ සිත් ගත්තා . ඒ පොත් වැඩිහිටි වියට ඇවිල්ලත් ආයේ ආයේත් කියවන්න ආසා හිතෙන පොත් . කවුරු හරි පාවිච්චි කරලා දෙන පොත් ටිකක් ඉරිලා , බලි කුරුටු එහෙම ඇඳලා තිබුණත් මම ඒවා ආසාවෙන් කියවන්නත් ආදරෙන් රැක බලාගන්න උනන්දු වුනා .කැම්පස් යනකන්ම ඔහොම එකතුවුන ලමා පොත් මිටියක් පොත් රාක්කේ කොණක තිබුනා .පස්සේ අපේ අම්මා ඒවා අහල පහල පොඩි ලමයින්ට දීලා කියවන්න . ඒ පොත් අහිමි වෙලා ගියත් ඒවගේ රස අමතක කරන්න බැරි නිසා අදත් මේ පොත් දැක්ක තැනකින් මිලට ගන්න මම උත්සාහ ගන්නවා .

ටිකාක් ගැටවර වෙනකොට වෙනස්  පොත් කියෙව්වා .ඒකට උවමනා අඩිතාලම වැටුනේ තාත්තගේ ඉස්කෝලේ තිබුණ  පුස්තකාලේ . මගේ කියවීමේ සා පිපාසාව නිව්වට ඇත්තෙන්ම ඒ විසල් පුස්තකාලයට මම  ඉතාම ණය ගැතියි . ගැටවර කාලේ තියෙන පොත් පිස්සුව හොඳකරගන්න එක එක මාදිලියේ පොත් කියෙව්වා . කල්ලන්දූවේ මුතු කොල්ලය , සෝම පුර වීරයෝ ,රන්සිරිගේ සංග්‍රාමය කියවලා අඳුනගත්තු කුලසේන ෆොන්සේකාගේ "පාලම යට " පොත කියවනකොට මට වැඩි වයසක් නෑ . ඒ පාසල් පුස්තකාලය නිසා මම , මාර්ටින් වික්‍රමසිංහ , සරච්චන්ද්‍ර  , ඉලන්ගරත්න ,චින්තා ලක්ෂ්මි , කේ ජයතිලක , සරත් විජේසූරිය අඳුනාගන්නවා . මඩොල්දූවෙත් , අපේ ගමේත් උපාලි ගිනිවැල්ල , ජින්නා ,හා  කිරි බබා එක්ක ත්‍රාස ජනක දඟකාර ලෝකෙක කිමිදිලා ,ඉන් පස්සේ උපන්දා සිට , ගම්පෙරලිය , කලියුගය , යුගාන්තය , කරුවල ගෙදර , සත්ව සංතතිය , උපාසකම්ම , වහල්ලු වගේ කෙටි කතා වෙලුම් , තේරි ගී,  සිංහල සාහිත්‍යයේ නැගීම වෙනකන්ම කියවනවා .වික්‍රමසිංහ පොත් වල මම ඉතාම ආසා වුනේ තිසර ප්‍රකාශකයනේ පැරනි මාදිලියේ පිට කවර වලට .දැන් ඔක්කොම වික්‍රමසිංහ පොත් අලුත් වෙලා ඒ නිසාමදෝ එදා කියෙව්ව වික්‍රමසිංහ පොත් වලින් ලැබුණ රසය අද මට නොලැබෙනවා වගේ .ඔහුගේ පොත් වල භාශා රටාවටත් මම හරි ආසයි , ජන සාහිත්‍යයෙන් , විද්‍යාවෙන් , එදිනදා සමාජ ව්‍යවහාරෙන් පෝශණය වුන බසක් වික්‍රමසිංහට තිබුණේ .බෙන්ගාලි සාහිත්‍ය වoග බසින් මිහිරි ලාලිත්‍යයෙන් සිoහලට පරිවර්තනය කෙරුව චින්තා ලක්ෂ්මි නිසා මට අපූ ත්‍රිත්වය කියවන්න ලැබුනේ .නිශ්චින්දි පුරේ , ඉඡාමතිය , සෝණාඩන්ගා මිටියාවත , බුල්නා තොටුපොල , සිලි සිලි ගාණ බට  පඳුරු , කුතුම්බිනාර් කුලුණ , ලීලා එක්ක පෝර්තෝ ප්ලාතා යන අපූ , ගැන ඇය මැව්ව චිත්තරූප මොන තරම් ද කිවොත් මාත් අපූ එක්ක කතා කර කර ඒ පොත් කියෙව්ව. ඒවට මගේ අතිනුත් කෑලි දාලා හදාගත්තු දෙබස් පැන්සලෙන් පොතේ ලිව්ව කාලයක් තිබ්බා :)

මේ වෙනකොට සෑහෙන්න බරපතල විදියට හැදිලා තිබුණ කියවීමේ පිස්සුව කොතෙක්ද කිව්වොත් ඕනෙම පොතක් නොකා නොබී වුනත්  එක හුස්මට කියෝලා ඉවර සිරිතක් තිබ්බා . ඔය උමතුව වැඩිවුනේ ඒකටම හරියන යාලුවො දෙතුන් දෙනකුත් හිටි නිසා . අපි ඔක්කොම කතා වෙලා ගම් සභා පුස්තකාලේට බැඳුනේ සාමාන්‍ය පෙල කරන කාලේ . විභාග වලට සූදානම් වෙන ලමයි නවකතා හා වෙනත් වල් පල් කියවීම් ගැන වැඩිහිටියන්ගෙන් ,ගුරුවරුන්ගෙන් ලොකු විරෝධයක් තිබුණත් අපේ ගෙදර එහෙම පරිසරයක් තිබ්බේ නෑ .අඩු ගානේ කියවන පොත් මොනවද කියලා හොයන්න බලන්නවත් ආවේ නෑ .හන්දියේ පොඩි කන්දක්  උඩ තිබ්බ ගම්සභා පුස්තකාලේ ගැසට් එක බලන්න , පත්තර කියවන්න රස්තියාදු වෙන අයගේ තිප්පලක් කියලා තමයි ගමේ මතයක් තිබේ .ඒත් අපි තුන් හතරදෙනෙක් මම ,වසූ , දිනූ , රුවන්ති එහෙම කතාවෙලා සතියේ හැම සඳුදම පුස්තකාලේට ගියා පොත් මාරු කරන්න .ඉස්කෝලේ ඇරිලා එන ගමන් හන්දියෙන් බස් එකෙන් බැහැලා පොත් මාරු කරන් ආයේ හැතැක්ම දෙකක් බඩ ගින්නේ පයින්  ගෙවල් වලට යන එක අපිට ඒ හැටි කරදරයක් වුනේ නැත්තේ පොත් රහ නිසා වෙන්න ඕනේ .ගම් සභා පුස්තකාලෙන් එක්කෙනෙක්ට පොත් 2 ක් දෙනවා සතියක් තියාගෙන කියවන්න .අපි කට්ටිය පොත් අරගෙන අපේ පොත් කියවලා ආයේ එක එක්කෙනා එක්ක මාරු කරගෙනත් කියවනවා .එතකොට එක්කෙනෙක්ට සතියකට පොත් පහක්වත් කියවන්න පුලුවනි .හප්පා එහෙම පිස්සුවක් .ගම්සභා පුස්තකාලේදී තමයි මට මහගම සේකර  , සුගතපාල ද සිල්වා , සයිමන් නවගත්තේගම , ටෙනිසන් පෙරේරා , රන්ජිත් ධර්මකීර්ති , සුමිත්‍රා රාහුබද්ද ,ඊවා රණවීර , අයිලින් සිරිවර්ධන ,ගුනදාස ලියනගේ , ඇරැව්වල නන්දිමිත්‍ර වගේ ලේඛකයොන්ගේ පොත් කියවන්න ලැබෙන්නේ . මේ වැඩි දෙනෙක් මහ මිනිස්සුන්ගේ ජීවිත වල අහුමුලු, අඳුරු තැන් දුක් දොම්නස් , වැටීම් ,නැගිටීම් ගැන ලිව්ව අය .අද ඒ අයගේ පොත් කියවද්දී එදා ගැටවරකාලේ නොදැක්ක අර්ථයක් ,හැඟිමක් ඒ කතා ගැන දැනුනත් ඒ කාලේ මොන පිස්සුවකින් කියෙව්වද කියන්න තාම තේරුමක් නෑ . කැම්පස් යන්න බලාගෙන ගෙදර හිටි අවුරුදු දෙකේ   කාලේ ගෙවාගන්න ගම්සභා පුස්තකාලෙන් වුන සේවයනම් කියන්න බෑ .ඒ කාලේ හැම දේටම ගෙදර සකල බුජන් වෙලා හිටි නිසා සතියකට පාරක් පොත් මාරු කරගෙන ,අම්මට උවම්නා සිල්ලර බඩු ලැයිස්තුවත් කඩෙන් අරන් ,එන පුරුද්දකටත් ඇබ්බැහි වෙලා හිටිය. පත්තර පොත් කියවන රස්තියාදු කාරයො ගැවසෙන තැනකට තරුණ දූල යවන්න එපා කියලා අහල පහල උදවිය අපේ තාත්තට කීප සැරයක් කියලා තිබ්බත්   තාත්ත මගේ පුස්තකාල ගමන් නම් කවදාවත් තහනම් කලේ නෑ.:)

සෑහෙන්න දැනුම් තේරුම් වයසට ආවම තමා දැනගත්තේ පොත් කියවන්න ආසා , පොත් එකතුකරන අය ඒවගේ තව කෙනෙක්ට  කියවලා පරිස්සම් කරලා ගෙනෙත් දෙන්නම් කිව්වත් පොතක් ණයට දෙන්න මැලි වෙනවා කියලා .ඒ නිසා , තමන්ගේ පොත් අල්මාරියෙන් ඕනෙම පොතක් ගෙනිහින් කියවලා ගෙනිත් දෙන්න අවසර දුන්නු මගේ  අසල්වැසි , පාසල් යාලුව ගැනත් කියන්න ඕනේ  ඒ වසූ , අපි දෙන්නගේ ගෙවල් බොහොම කිට්ටුවෙන් තිබුනේ .පොතක් කියවන්න ඕනේ වුනාම එහේ ගිහින් එයාගේ පොත් අල්මාරියෙන් පොතක් ගේන එක හරි ලේසියි. මට කිසි තහනමක් නෑ .වසූගේ ගෙදර ලමයින්ට පොත් කියවන්න උනන්දු පරිසරයක් නිසා එයාගේ අම්මත් තාත්තත් පොත් මිලට ගන්න සිරිතක් තිබ්බ .ඒ ඔක්කොම පොත් ලස්සන අල්මාරියක අහුලරා තිබ්බේ .මේ පොත් වල අයිතිය ගැන වසූ හා එයාගේ අක්ක අතර නිතර දරුණු සටන් ගියත් වසූ කවදාවත් ඒයාගේ යාලුවන්ට පොත් නොදී ඇරියේ නෑ . රුසියන් සාහිත්‍ය කියවන්න පුලුවන් වුනේ වසූ ගේ පොත් අල්මාරියට පින් සිද්දවෙන්න . ගෝර්කි  ගේ  අම්මට හැමෝම ආස වුනත් ඇත්තම කියන්න එපැයි මොකද්දෝ හේතුවක් නිසා මම ඒ පොත බාගෙට කියවලා අතෑරියා . නමුත් දොස්ටොවුස්කි , මිහායිල් ශෝලහොවු ,චින්ගීස්  අයිත්මාතොවු , පුශ්කින් හා චෙකොෆ් ප්‍රිය කලා . මාසෙකට සැරයක් රාජකාරි වැඩ වලට කොලඹ එන වසූගේ අම්මා පොත් ප්‍රදර්ශන වලින් පොත් ගේන සිරිතක් තිබ්බා .ඒ නිසා තමයි දැදිගම වී රුද්‍රිගු පරිවර්තනය කල රාදුගා පොත් ගොඩක් කියවන්න හම්බවුනේ . ඊට පස්සේ කාලේක වසූට විද්‍යා ප්‍රබන්ධ පිස්සුවකුත් හැදුන නිසා අපි කට්ටියම ක්ලාර්ක්ගේ 2001  සීරිස් එකත් කියෙව්වා . පොත් නිසා නිවාඩු කාලේ වැඩියෙන් වසූගේ ගෙවල් පැත්තේ රස්තියාදු ගැහුව අපි යාලුවො තව තව නොයෙක් අණ්ඩපාල  පර්යේෂණ/ සොයාගැනීම් එහෙමත් එහෙමත් කලා  :) .

යාලුවන්ගෙන්, පුස්තකාල වලින් පොත් කියෙව්ව මට පොත් තෑගි දුන්නේ ඉස්කෝලෙන් .අපේ ඉස්කෝලේ හැම ත්‍යාග ප්‍රදානෝත්සවයකටම තෑගි දෙන්නේ පොත් . තෑග්ගක් ගන්න එක ලේසි නෑ .එක්කො පන්තියේ පලවෙනියා වෙන්න ඕනේ නැත්නම් යම් ලකුණු සීමාවක් සම්පූර්ණ කරලා ඒ ඒ විෂයන්ට තියෙන ප්‍රයිස් ටෙස්ට් එකකින් වැඩිම ලකුණු අරන්  සමත් වෙන්න ඕනේ .එහෙමත් නැත්නම් උසස් පෙල /සාමාන්‍ය පෙල පන්තිවල  විභාග ලකුණු වලින් උපරිම දක්ශතා දක්වන්න ඕනේ .අපිට තෑගි දුන්නු පොත් බොහොමයක් නවකතා හා කෙටි කතා .ලස්සන සුදු හා ලා නිල රිබන් පටි වල එතිලා විද්‍යාලීය ත්‍යාග අරමුදල විසින් පිරිනැමුන ........ ත්‍යාගය හිමි වන්නේ .......... සිසුවියටයි කියලා පාසල් ලාන්ඡනය සහිතව  පොතේ මුල් කවරේ ඇලවුන සටහනක් එක්ක ඒ.ජී. අයි.ද සිල්වා ප්‍රින්සිපල් සර් ගේ අත්සනින් යුත් තෑගි උත්සවෙන් ලැබුණ  අදත් මාගාව තියෙන පොත් තමයි අස්වැන්න , රයිගම් පුත්තු , පිච්චමල , නව වසර (පරිවර්තන ), කරත්තය , නිරානන්දය , වඩබාගින්න ,සයුරු තරණය, මහල්ලා සහ මුහුද (පරිවර්තන ) , සිද්ධාර්ථ (පරිවර්තන )  හා මගේ අමතක නොවෙන උසස්පෙල  තෑග්ග සුනේත්‍රගේ ප්‍රේම පුරාණය .මේ නවකතා තෑගි දීම ටිකක් වෙනස් වුනේ විශ්වවිද්‍යාලට තේරුණ අක්කලා, අයියලාට විතරයි . එතකොට එයාලා තමන්ට කැම්පස් එකේදී පලවෙනි අවුරුද්දේ  ඕනේ වෙන පොත් කීපයක් ගැන ඉඟියක් අoශබාර මිස්ට හරි සර් ට හරි දෙනවා .ඒ පොත් තෑග්ගට ලැබෙනවා . ඒ ඇරුණම අපේ ඉස්කෝලේ ඒ කාලේ තිබ්බේ බොහොම නිදහස් විදියට ලමයින්ට කියවන්න පොත් තෑගි කෙරුව සිරිතක් . කොටින්ම කිව්වොත් කිසි තහනමක් නැතිව වැඩිහිටි ප්‍රේම කතා ලමයින්ට තෑගි දුන්න ඉස්කෝලයක් :)

කියවන උමතුව ඇවිලිලා යන්න තව හේතුවක් වුනේ ගෙදරට ගේන පත්තර .මතක ඇති කාලේක ඉඳන් අපේ තාත්තා දිවයින පාඨකයෙක් .සති අන්තේ , නිවාඩු දවස්වල  තාත්තගේ නමේ  මුල අකුරු ගැහුව පත්තරේ  මැම්බර් කඩෙන් ගේන එක බාරවෙලා තිබ්බේ මට . මම වැඩියෙන් කැමති වුනේ දිවයින ඉරිදා සoග්‍රහයට .කාලීන ප්‍රශ්න ගැන දිවයිනේ විශේෂාoග ලිපි හා කවි පිටුව කියවන්න මම ඒ කාලේ මනාපවුනා .ඊට අමතරව අමතක නොකර බැලුවේ සුන්දර නිහතමානි ද මැල් ලිව්ව  මානිගේ තීරුව කොලම .ඒකේ තිබ්බ උපහාස රසේ නම් කියලා නිමක් නෑ .මම දිවයිනට ආස වුන අනික් හේතුව තමයි ඒ කාලේ අනික් පත්තර එක්ක ගත්තම දිවයින මුද්‍රණය ලස්සනයි .හොඳ පෙනුමයි. ඔ යකාලේ අපි සති අන්ත සිලුමිණ ගත්තත් 1990 පස්සේ වගේ ඒක නැවතුනේ ලේක් හවුස් එක බේරෙගෙදර පච මෝල වුන නිසා .ඔය එක්ක තමයි විකල්ප පත්තර ආවේ .දිවයින බලලා මදි වගේ නිසා තාත්තා ඇත්ත , හා රාවය ගෙදරට ගෙනාවා . රාවය පත්තරේ වෙඩි වගේ ලියන ස්ටයිල් එකට මම හරි ආසයි .කොටින්ම සාමාන්‍යපෙල කාලේ මම රචනා ලියන්න අරගෙන තිබුණේ ඒවගේ . මෙලෝ හසරක් නොදැන හබයාස් කොපුස් , මූලික අයිතිවාසිකම් , වගේ කෑලි අල්ලගත්තේ රාවයෙන් . ඇත්ත පත්තරේ කෝසල සිහිනය කියන කොලම කියවන්න   මම හරි ආසයි .වැඩියෙම එහි හාස්‍යට ලක්වුනේ එවක හිටි ජනාධිපතිවරයා හා එතුමාගේ සහ පිරිවර . ඒ වගෙම ජෙෆ්‍රි යූනූස්ගේ කාර්ටූන් එකත් හරි මරු . කාර්ටූන් අඳින්න ගිහින් යූනූස්ගේ නහය කැපුවෙත් ඔය කාලේ වෙන්න ඕනේ . මුල්ම කාලේ රාවයේ කවි පිටුව රත්න ශ්‍රී විජේසිoහ සන්ස්කරණය කලා කියලා අපැහැදිලි මතකයක් තියේ . ඒ කාලේ මගේ පත්තර වීරයා වුනේ දිවයිනේත් විකල්ප පත්තර කීපයකත් වැඩකල සුනිල් මාධව . එහෙන් මෙහෙන් යමක් දේශපාලනේ ගැන දැනගත්තේ ඔය පත්තර වලින් .දැන් නම් ඔය එකක්වත් කියවන්නේ නෑ අකුරු අමතක වේවි කියලා බයට :)

ඉගෙන ගන්න කොලඹට ආවට පස්සේ කියවිමේ උමතුව වෙනුවට තෝරා බේරාගෙන කියවන්න සිද්දවුනා .ඒකට හේතුව කියවන්න බොහෝ දේ තිබීම හා කාලය සීමිත වීමත් නිසා . ඒ තමයි එන්.එල් .ආර් / එස්.එල් .ආර් වල එක පිටුවක් තේරුම් ගන්න දෙපැයක් විතර අනිමිස ලෝචන කෙරුව කාලේ . මුලින්ම  අපේ පුස්තකාලේ තිබුණේ බිම් ගෙයක් වගේ මහා විසාල අදුරු දූවිලි පිරුණ ගුහාවක් වගේ තැනක . පොත් කියවන්න කිසිම ප්‍රියමනාප තැනක් නෙවේ .ඒත් දෙවෙනි අවුරුද්ද වෙනකොට අපිට හරි ලස්සන අලුත් සත් මහල් ප්‍රාසාදයක් පුස්තකාලේ හැටියට ලැබුනා  විදුලි සෝපානත් එක්ක . ඇත්තම කිව්වොත් කැම්පස් එකේ තිබුණ හොඳම තැන -සේෆ් හෙවන් . අපි කට්ටියක්ම සෙට් වෙලා හිටියා වැඩක් ඇතත් නැතත් ඕක වටේ කැරකුණ අන්තිම මොහොතේ පාඩම් කල අනික් වෙලාවට වෙන අනම් මනම් පොත්  කියෙව්ව  . මම වැඩියෙන් කැමති වුනේ සති අන්ත නිවාඩු දවස් එහෙම නැත්නම් හවස පහෙන් පස්සේ පුස්තකාලෙට යන්න .එතකොට බොහොම නිස්කලන්කයි . ඉහල මාල වලට ගියාම තුරු හිස් තණ පිටි අතරින් මැවෙන රීඩ් මාවත දිහා බලන් ඉන්න පුලුවනි මේ දර්ශනේ වැඩිය ලස්සන වෙන්නේ වහින දවසට . සමහර දාට පාඩම් කරන්න එපා වෙලා විභාගේ කටේ තියාගෙනත් මෙතැන්ට වෙලා නවල්ස් , සමාජ විද්‍යාව, වෙස්ටර්න්  ක්ලැසික් , ඇමරිකන් හිස්ට්‍රි ගැන  පොත් කියෙව්වා මතකයි . මම ආස කෙරුව අනික් පුස්තකාලේ රැජින පාරේ තියෙන  බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලේ . මෙතැන සුව පහසු වට පිටාව , පොත් පහක් කාර්ඩ් එකට ගන්නත් මාසයක් තිස්සේ තියාගෙන කියවන්නත් පුලුවන් වුන නිසා මම මේ පුස්තකාලෙට ආස වුනේ . තව හේතුවක් තමයි මේකේ කැන්ටින් එක .කැම්පස් නිවාඩු කාලේ ලාබෙට රස්තියාදු ගහන්න තිබ්බ නියම තැනක් .මෑතක් වෙනකනුත් මේකේ සාමාජිකත්වය තිබ්බත්  මේ පුස්තකාලේ පාවිච්චි වුනේ අදාල පොත් කියවන්න විතරයි .ඒ ගැන නම් පොඩි දුකක් හිතට තියෙනවා

මට මේ සටහන ලියන්න හිතුනේ  මෑතකදී හමුවුන කෙනෙක්  එක්ක  කෙරුව කතාබහක් නිසා .අපේ ලමා කාලේ , තරුණ කාලේ කියවන්න  පොත්පත් සොයාගන්න අපහසු වුනත් ,හොඳ පුස්තකාල නොතිබුණත් ,අතේ මිල මුදල් නොගැවසුනත් පොත් කියවන්න උනන්දු වුනා .නමුත් දැන් ඒ සේරම ලැබිලත් සමහර වෙලාවට අපිට අර තරම් කියවීමේ උමතුවක් නැහැ . අනේ මන්දා :)





Thursday, October 18, 2012

ප්‍රොෆෙෂනල් දුක්ගන්නාරාල ගේ නොකිව් කවි !


හවස 3 ට 


දුම් දාන තිත්ත කෝපිත් 
ප්‍රිය මිත්‍ර සම්පයෝගයකුත් 
සිනා වැගිරෙන  අවන්හලකුත් 
ණයට ගත් දෙපැයක  ඉසිඹුවකුත් ඇත 
මේඝය 
තොප කැමතිනම්  වහින්න !


හවස 7 ට 

ජීමේල් චැට් ලය විරේක 

ඈත ඉන්දු සයුරෙන් එපිට සිට 


පාව එන මිතුරු ප්‍රේම් විරහවන්


අසා කඳුලකුදු නොසලා 

බඩගින්න සමග අවුලවා 


ලුණු වැඩි ක්ෂණික නූඩ්ලස් සමග බුදිමි !




මැදියම් රෑ 



මූණු පොතේ සියල්ලට ලැයික් කර 

සොඳුරු සිනා පිලි වදන් ලියා තබා 

සුව දුක් ආදියද බණවා 

සුබ රැයක් පතා

සේවා හැරයාම ඊ මේල් කර 

අඩ වැටුප් පමණක් ගෙන 

හිස හැරුණු අත යනයුරු 

තනිව සිතම්!


Thursday, October 11, 2012

නියo වැහි

වෙලාව දහයාමාරට ආසන්නය .දඹදෙණිය , නාරම්මල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර ,ගලේවෙල ,දඹුල්ල පහුකරගෙන යද්දී මග දෙපස වෙනදා ඇති සිරියාව පලාගොසින් යයි හිතේ . තද වියලි කාලගුණ ස්වභාවයක් , නිල්ල හේබාවැටුන ගහකොල , කැකෑරුණ බොරදිය ඇති කුඩා වැවු හා ඇල මo හමුවේ . හබරණත් වෙනසක් නැති .තවත් වියලී කරවී ගිය හැඩකි .මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ මේ පාරෙන් ගියේ මහ වැහි වලාවන් දෙබෑකරගෙනය . දැන් හිස පුපුරන ,ඇස් කකියන අව්ව හා මලානික ගහ කොලය .හබරණ සිට පොලොන්නරුවට යන මග ඇති මිනේරිය හා ගිරිතලේ වැවුද හිඳී වියලී ගොසිනි .වැවු පිටි මතින් වතුර බවුසර ඇදේ .වෙනදා මින්නේරිය හා ගිරිතලේ අසලින් යනවිට  රියෙහි වේගය බාල කර වැවු දිහා මදක් බලා හිඳ යාමට රිසි මුත් මෙදා එහෙම හිතුනේ නැත . පොලොන්නරුව නව නගරයට ඇතුල්වෙන හරියේ ඇති ඇල පාර නිතර කිරි සුදු පෙන නගමින් දිය බැස යන තැනක් වුව මෙදා එහි ඇත්තේ ගොහොරු මඩ වතුරකි . මහත් උවමනාවෙන් පරාක්‍රම සමුද්‍රය දෙස බැලූ මුත් එහිත් ඇත්තේ වැව මැද වතුර කඳුලකි .වෙනදා මෙන් දිය පිරී රැලි නගන සශ්‍රීක සොඳුරු ගතිය පලාගොසිනි .


කාලෙකට කලින් සශ්‍රීකව සිටි  පරාක්‍රම සමුද්‍රය 


පොලොන්නරුව , තමන්කඩුව ,මනම්පිටිය , වැලිකන්ද , පූනානි පහුකර ඉදිරියට යද්දී ඇත්තේ හිඳී වියැලී පුපුරා ඉරිතැලුන වැවු පතුල් ,මඩ පැහැ බොරදියෙන් යාන්තම් පෙඟුන ඇල මo,කරකුට්ටo වෙලා කෙඩෑරිව පොලවට හේබා ගිය ගස් කොලන් , තෙතමනයක් නැති වියලි හුලo බදාගෙන ගිනි අවුලන අවු පූටකයත්ය .ගමනාන්තයද කිසිදු වෙනසක් නැත.වියලි හුලඟට මුසුව දූලි නගන වැලි පොලොවෙනුත් , කලපුව පිසගෙන එන වියලි හුලඟෙනුත් රෑ දහවල් දෙකේම දැඩි රස්නයෙන් පීඩා විඳින්නට එහි ගහකොල , මිනිසුන් සතුන් සිවුපාවුන් හටද සිදුව ඇති සැටියකි .සැප්තැම්බර් පහලොව වෙන විට ඇද හැලෙන්නට පටන්ගන්නා ඊසාන දිග මෝසම් වැස්ස මෙදා උරණ වී ප්‍රමාද වෙන හැඩය .අරුමෙකි 2011 ජනවාරියේ මෙහි මහා ගoවතුරකින් ගහකොල ,කුඹුරු, සතා සීපාවා පමණක් නොව මිනිස් ජීවිතද අහිමි වුනි .ඒත් දැන් වැහි ඇල්ලක සේයාවක් නැත .ගමන් මහන්සිය යන්නට හවස් කාලයේ කෙතරම් දිය නෑවත් හාත්පස ඇති දැඩි උණුසුම නිසා දහඩිය වැගිරේ .

ඇඳිරි වැටී එන හවස් යාමයේ වුව හාත්පස පරිසරයේ ගිනියම් ගතියේ වෙනසක් නැත .ඒත් එක වරම හිඳ සිටි තැනින් නැගිටගත්තේ යාන්තම් පරිසරයේ දැනුන වෙනසක් නිසාවෙනි .වහිනවාදැයි සැක හැර දැනගැනීමට බැල්කණිය වෙත ගියෙමි .අරුමෙකි , මහ පුදුමෙකි . ඇත්තෙන්ම වැසි වැටේ . හීන් පොද නොව දොඹගෙඩි තරම් වැස්සකි

සාපිපාසිත නිරුවත් මහපොලව තෙමා තෙමා දෝරේ ගලන්
නැහැපුඩු කිති කවන නැවුම් පොලොවේ දුවිලි දුමාරය මතුකරන්
කේඩෑරි වියැලි ගහකොල ආනන්දයෙන් මත්කරමින්
ඔරොප්පු වියලි කර්කෂ හුලන් පලවා හැර
මෙන්න වහිනවෝ කාලෙකට පස්සේ

හදිසි වැහි වලාවන් හදිසි සතුටක් ගෙනා හැඩකි .

මේ වැස්ස කෙතරම් මිහිරීද කියතොත්
නැගී අවුත් අපි සැවොම කුටි
යෙන් 
බැල්කණියට පැන හිරිකඩ පින්නේ තෙමෙමින්
ආහ්ලාදයෙන් මන්මත්වී සිටිමු


පැය බාගයක් පමණ වැස්ස ඇද හැලුනේ ගහකොල, සියල් සතුන් ප්‍රමෝදයට පත් කරවමින් යයි සිතුණි .සේරටම වැඩිය පොලොවේ දුහුවිලි හා වැහි පොද ගැටී ජනිත වන නැවුම් සුවඳ මුසු දුමාරය පරිසරයම සුවඳ කරයි.ගස්කොලන් සන්තෝසෙන් හිනාවෙනවාදැයි හිතේ .මහපොලව හැම දිය බිඳම කෑදර කමින් උරා බොයි . වැඩට යන උදෑසන , වැඩ නිමවෙන හවස් කල කලබල කොලඹට අහස කලු කරන් වහින වැස්ස , චිරි චිරිස් ලෙස ඉහෙන මඩ වතුර ,උතුරන කාණු නොරුස්සන මුත් මේ වැස්සට නම් පැන නටන්නට තරම් සිතේ .


"ගල මතු පිට මල පිපෙන්න 
මල වට බඹරිඳු නටන්න 
වැහි වැහැලා ගඟ පිරෙන්න 
ගඟ උතුරා හිත පිරෙන්න "


මම හෙමින් මිමිණුවෙමි .වැස්ස දිහා මේතරම් සතුටින් බලාසිටි අන්  දිනක් නැත .


මේ වැස්ස ආයෙත් හවස ඇද හැලුනේ නැත .පහුවදා සිට සුපුරුදු පරිදි දැඩි හිරු රැස් සිය අණසක පතුරවමින් සිටියේය .ඒත් වස්සාන ප්‍රීතිය පසල් දනවු වලට ද බෝවී ඇති වගක් කාලගුණ පුවත් වලින් අසන්නට ලැබුණි . උතුරු මැද පොලොන්නරුවට හා වයඹ කුරුණෑගලට වැසි වැටෙන්නට පටන්ගත්වග කියැවුනි.

නැවත එන ගමනේ පූනෑව , පොලොන්නරුව හරියේ වියැලුන ගතිය මිදී ලා නිල්ලක් දලු ලා පොලවේ දූවිලි ගතිය පහව ගොස් තිබුණි .ඒත් පරාක්‍රම සමුද්‍ර පුරුදු සිරි ගෙන රැලි නගන්නට මේ වැහි ඇල්ල මදිය .එහි තාමත් ඇත්තේ දිය කඳුලකි . මින්නේරියටනම් ඩිoගිත්තක් වතුර එක්කහු වී ඇත .  

"වැවු පිරෙන්න නම් තව වැහි ඇලි තුනක් විතර යන්න ඕනේ.ගොයිතැනට මේ වැස්ස මදි තාම .ඒත් ලොකු දෙයක් ඩිoගක් හරි ඉඩෝරෙ මකලා වැස්ස නෙව " 

ඒ දවල් බතට ගොඩවූ දිගම්පතන හන්දියට නොදුරු තැනක පොඩි කඩයක දී හමුවූ ගොවියෙක් කී කතාවයි .

නියඟයට ගොවිතැන් ආල පාලු වූ නිසා බැoකු කීපයක් වගා  ණය අය කරගැනීම් තාවකාලිකව අත් හිවූ බවත් , නියoනිසා වගා පාලුවත් ගොවිතැන් කිරීම ප්‍රමාදයත් නිසා ඉදිරි කාලයේ සමහර ආහාර බෝග වල මිල ඉහලයාහැකි වගත් ගැන පලවූ ප්‍රවෘති කීපයක් මට සිහියට නැගුණි .ඒ එක්කම ඇසුන ගුවන් විදුලියේ පැයෙන් පැය පුවත් වලට කීවේ ප්‍රදේශ විස්සක පමණ දැනට ඇතිවී ඇති නියඟය ගැන කරුණු සොයා බලන්නට ජාතික ආපදා කලමණාකරණ කමිටුව හෙට ඔක්තෝම්බර් 12 වෙනිදා රැස් වෙන බවයි .

Friday, October 5, 2012

කාලය ඇවිදින්




නිකරුණේ ප්‍රලාප කියවමින් කල් මැරූ ,
බොල් සිනා ප්‍රශස්ති වගුරමින්
ඇවිද ගිය සමහර හිස් අවකාශයන්
දොරගුලූ ලා  වසා දමන්නට
කාලය ඇවිදින්

දුගඳ ගොහොරු මඩින්
සර්ප විමන් හා කිඹුලන්ගෙන්
පිලී ගඳ විල් දියෙන්
සැඟව පලා යන්නට
කාලය ඇවිදින්


සුදන වෙස් ගත් වෘක සිනා
හිස අතගගා  අනින ටොකු
පල නොකියා පලා බෙදිලි
බොරු වල්වල් මරු වැලින් මිදී
පලා  යන්නට කාලය ඇවිදින්


හලා හල විෂ බව නොදැන
සවු දිය පිරූ මධු බඳුන්
සාද සාමිච්චි දේදුනු හැන්දෑවල්
ප්‍රිය වෙස් ගත් අප්පිය සම්පයෝගයන්
හැර පියා පලා යන්නට
කාලය ඇවිදින්




Saturday, September 29, 2012

6% අධ්‍යාපන ඉල්ලිම් බහුතර ලාoකික ඇසින් :)



2012 .09 .28 කොලඹ 04  සිට

පුද්ගලික අoශයේ ඉහල වැටුප්, වරප්‍රසාද හිමි වෘතික මිත්‍රයෙක්

මේ මොන විකාරද ?
පැය ගානක් ට්‍රැෆික් එකේ
වට් අ බුල් ශිට්?
සේරම නිකන් දීලා
මෙලෝ කොලිටියක් නැති මිනිස්සු
අනික මෙයාලට පඩි වැඩි කරන්න ?
පඩි විතරද ?කාර් පර්මිට්
අපට  එහෙමද ?
ලක්ස පනහක් ගෙවලා  ලීස් කරලා
ඩබල් ටැක්ස් එක්ක ඇලියොන් එකක් ගත්තේ
යන්නේ පවුල් පිටින් Ph.D එකට
ආණ්ඩුවෙ ස්කොල්ස්  වලින් හරි ලේසියෙන් 
යූ. කේ ,යූ .එස් .ඒ  ගිහිල්ලත් බර්සරි ඉතුරු කරන වුන්
රිසර්ච් පේපර් එකක් ලියන්නේ නැති කාලකන්නි
මුන් තමයි මේ රටට හෙනෙ
ඕකයි අපේ ඉකොනොමි එක ඩිවලප් නැත්තේ

පවතින ආණ්ඩුවේ වැඩ පිලිවෙලට ඉතා හිතවත් මිත්‍රයෙක්

මේ මෝඩ කොල්ලො කෙල්ලෝ
ඔහේ කෑගහනවා මෙලෝ හසරක් නොදැන
මේක ආණ්ඩුව පෙරලන්න ගැහුව ගැටයක් 
අරාබි වසන්තය වගේ
මහා කුමන්ත්‍රණයක්
දැක්කෙ නැද්ද හිටිය යූ ඇන් පී හැලපයො රොත්ත
ෆූට පිහිටෙන් බලේට ඇවිත් එල්. ටී .ටී ය රජ කරවන
බලල් අත් මේ තමයි
වගකීමෙන් මේවා
වටහා ගැනීම   අප සතුයි


විශ්වවිද්‍යාල උපාධියක් නැති වීම හා කඩුව ඒ තරම් පොලිශ් නැති නිසා ප්‍රමෝශන් කාලෙදී හීන මානෙන් තැවෙන කන්තෝරු මිත්‍රයෙක්

ගුරාලා ඔක්කොම එකයි
ඇදුරො කියලා වෙනසක් නෑ
මුන් ටියුෂන් මුදලාලිලා
ඒ ලෙවල් වලදී මම  කාලකණ්නි වුනේ
මට ඉන්ග්‍රිසි බැරි වුනේ
අපේ ඉස්කෝලේ අහවල් ගුරා සහ ගුරී නිසා
ගිරවු වගේ පාඩන් කරලා
උජාරුවට කැම්පස් ගිහින්
කිසිම ප්‍රැක්ටිකල් සෙන්ස්  නැති
නමේ අගට අකුරු එකතු කරන්
කඩුවෙන් තියරිය දෙසන
මට පේන්නම බැරි
මුනුයි මුන්ගේ මේ ඉගැන්නිලි සිස්ටම් එකයි


දෙවෙනි වතාවටත් ඒ ලෙවල් කල නමුත් රජයේ විශ්ව විද්‍යාලයකට  තම පුතු සුදුසුකම් නොලැබීම නිසා හිත නරක් කරන් තරහෙන් ඉන්න මිතුරියක්   

බලන්න මේ ගුරාලයි ගෝලයොයි
කිසිම කොලිටියක් නැති එවුන් මෙයා
දියවු ,ගනිවු කියලා කෑගහන හැටි මහ පාරේ
ඒ වගේද අනේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වලට යන ලමයි ?
බලන්න ඕනේ අපේ පුතාලගේ ඉන්ස්ටිටියුට් එක
මොන තරම් ෆැසිලිටි ද ?
මෙහෙම මහපාරේ යවන්න ඕනේ නෑ
කොහොම හරි බෑන්ක් ලෝන් එකක් දාලා
කෙල්ලවත් අරිනවා මම නම්
මාලඹේට මෙඩිසින් කරන්න
රස්සාවට ගියාම
 ඔය උපාධි කොහෙන් ගත්තු ඒවද කියලා අහනවද ?

ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක අයි .ටී ඩිග්‍රිය කරන  මගේ කසින් මල්ලි කෙනෙක්

ලොකූට පිස්සුද?
ෆූටා නිවුස්  අප්ඩේට් බලන්න ?
ඔය සීයට හය බොරුවක්
ලෙචාල පඩි වැඩි කරගන්න 
දාන අයිසින් කතාවක් 
අනික ඔය කොල්ලො කෙල්ලො බහුතරේකට
තියෙන හීන මාන ලෙඩේ
අපි ඉගෙන ගෙන ඇවිත්
එයාලගේ රස්සා නැති කරයි කියලා
ඒකයි ඔය කෑගහන්නේ
ඕව දන්නේ නෑ ඔයා


ෆයිනල් එක්සෑම් ප්‍රථිපල පරක්කු නිසා ඉන්ටර්න්ශිප් එක පරක්කු වීම ගැන කේන්තියෙන් ඉන්න විශ්ව විද්‍යාල නීති සිසුවෙක්

මුන් නම් පෙලපාලි යයි
අන්තිමට කෙලවෙන්නේ අපිට
කොලේජ් එකේ එවුන් සෙට් එක
කලින්ම ඕත්ස් අරන්
රස්සා වලටත් ගිහින්
අපි ඉන්ටර්න් ඉවර කරනකොට

මේ  දවස් වල ලoන්කාවේ නැති ජන මාධ්‍ය මිත්‍රයෙක් ඊ මේල් පණිවුඩයකින් 

මචන් තවම පෙලපාලිය යනවද ?
කීදෙනෙක් පෙලපාලියේ ගියාද  ?
කියහන්කො මට ඕෆ් ද රෙකෝර්ඩ් විස්තර
මොනවද පක්ෂ පෙරහැරේ ගිය ?
ඔය තරම් මිනිස්සු ෆූටා එකට සපෝර්ට් ද ?
ඕකට ස්පොන්සර් කරන්නේ කවුද ?
ලෙචාලට කොහින්ද බන්
ටී ශර්ට් ගහන්න ඔය තරම් සල්ලි ?

අපේ කන්තෝරුව ඉදිරිපිට පාර අතුගාන නගර සභා කම්කරුවො දෙන්නෙක්

අනේ හැබෑට මේ මිනිස්සු මහ පාරේ වේලෙන්න
මොන වරදක් කරලද ?
ඇරත් යමක් කමක් උගත් ඈයො
කුඩු කාරයො ලෝක හොරු එක්ක ගණුදෙනු කරන
මේ ආණ්ඩුවට බැරි ඇයි ?
මේ මිනිස්සු එක්ක ටිකක්  කතා බහ කරන්න ?

පසු සටහන

2012 .09.27 හැන්දෑවේ  බoන්ග්ලාදේශ් මහාචාර්ය ක්වාසි අහමඩ් සමග

විදුලිසෝපානයෙන් එලියට එත්ම
දුටුවෙමි ඒ රුව නැවතත්
සුදු පුලුන් කුල්ලක් වැනි කොණ්ඩය
ක්‍රීම් පාට ශර්වානිය හැඳ
ගණකම උපැස් යුවලක් පැලඳ
අප හා සිනාසුන
 නිහතමානී  වියපත් මිනිසා

සර් මට ටිකක් කතා කරන්න පුලුවනිද ඔබට ?
වයි නොට් ලෙට්ස් සිට් දෙයාර්
ඔබ ලoන්කාවෙන් නේද ?
ඔවු සර්
මොනවද මගෙන් දැනගන්න ඕනේ ?
සර් බන්ග්ලාදේශය මොනතරම් අධ්‍යාපනයට වියදම් කරනවද ?
දෙදාහ අවුරුද්ද වෙනකන් අපි වෙන්කලේ සීයට දෙකක් විතර දල දේශීය නිශ්පාදිතෙන්
දැන් අපි සීයට තුනක් වෙන්කරනවා
ටුවෙන්ටි ටුවෙන්ටි-2020 බන්ගලාදේශය ගැන හිතලා
අපි සූදානම් වෙනවා
 මානව සම්පත සoවර්ධනය කරමින්

 නැශනල් එඩියුකේශන් පොලිසි එක
තව ටික දවසකින් පාර්ලිමේන්තු පනතක් වෙනවා
ක්ලාස් වන් ඉඳන්ගෙන ක්ලාස් එයිට් වෙනකන්
අනිවාර්ය අධ්‍යාපනය
 බෙන්ගාලි භාෂාව , බෙන්ගාලි ඉතිහාසය , තොරතුරු තාක්ෂණය ,
ඉන්ග්‍රිසි ,පරිසර විද්‍යාව,ගණිතය හා  විද්‍යාව   අනිවාර්ය වෙනවා
මේක කාටත් එකයි ආණ්ඩුවේ ඉස්කෝල , පුද්ගලික ඉස්කෝල
පනත නිසා පුද්ගලික අධ්‍යාපන ආයතන වලට
ප්‍රමිතියක් දෙන්න හා රෙගියුලේට් කරන්න අපි බලනවා
ලේසි නෑ මේ වැඩේ අන්තවාදී මුස්ලිම් පක්ෂ එක්ක
ඒත් අපි ඔවුන් එකඟ කරගන්නවා කොහොම හරි
ගෑනු දරුවන්ට උසස් අධ්‍යාපනය වෙනකන් නොමිලේ ලබාදෙන්න
ඉන්ක්ලූසිව්නස් , ඉක්විටි හා පාර්ටිසිපේශන් මේ පනතේ මූලික හරයන්
හැම බoන්ග්ලාදේශ වැසියෙකුටම
ඉගෙනීමට වරම් දෙන්නයි අපේ බලාපොරොත්තුව
දෙදාස් විස්සේ සoවර්ධිත භoග්ලාදේශ සිහිනයටයි
මේ අපගේ සූදානම

"අමි සුනාර් භන්ග්ලා -අම සුනාර් බොලොභශි"
මගේ ස්වර්ණමය භoග්ලාදේශය -මම ඔබට ආදරෙයි

සමුගත්තා මම මේ වියපත් මහ ඇදුරාගෙන්
නෙතට නැගි කඳුලු සමගින්

අපිට කොයින්ද- මහ ගොඩක් ක්වාසි අහම්ඩ් ලා ?
ඒ නිසා ට්වෙන්ටි ට්වෙන්ටි ක්‍රිකට් එක්ක
පිය නගමු අපි
දකුණු ආසියාවේ ආශ්චර්ය සිහිනයට



Monday, September 10, 2012

Shattered Dreams

From Sunday Times 9th Sep 2012 


අද දවල් කැමකාලා ටිකක් වෙලා ඉරිදා පත්තර පෙරලද්දි දැක්ක දේකින් හද සසල වුනා .2012 සැප්තැම්බර් 9 වෙනිදා සන්ඩේ ටයිම්ස් පත්තරේ මුල් පිටුවේ දුටුව ඡායා රූපයක් .ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය ගැන විසඳුමක් ඉල්ලලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පෙත්සමක් භාර දෙන්න ගිය සිසුන්ට පොලීසිය ප්‍රහාර එල්ලකරද්දි ඉතා දුක් බර මුහුණකින් තම හැඬුම් පිටවනු නොදී කඳුලු වගුරන්න ඔන්න මෙන්න තරම් මූණකින් යුත් තරුණ සිසුවෙක් .

එහි ලියවී තිබුණේ අපේක්ෂා භංගත්වය
ජීවිතේ සියලු පැතුම් සුණු විසුණු වූ වග

ලංකාවේ අධ්‍යාපනය ඉතා තරඟකාරියි .එය කවුරුත් අවිවාදයෙන් පිලිගන්න ඕනේ . විව්ධ මත තියේවි මේ ක්‍රමේ ඇතුලේ පාඩම් කරලා , කිසි බාහිර වැඩක් නොකර මොනවත් නොදැන කැම්පස් සිලෙක්ට් වෙන ගිරා පෝතක ලමයි කියලා  . ඒත් මේ අමාරු ක්‍රමේ ඇතුලේ කොහොමහරි යමක් දිනන්න හැම ලමයෙක්ම ලොකු කැප කිරීමක් කරනවා . තමන්ගේ ඉලක්කයක් වෙනුවෙන් නින්ද , කෑම නිදහස විවේකය , දෙමවුපියන්ගේ සල්ලි මේ සියල්ල යට කරලා මහන්සි වෙලා අන්තිමට ඔවුන්ට ලැබෙන ප්‍රතිඵල ලේඛණය අවුල් සහගත්ව් වුනහම ඇතිවෙන තත්වය මොකක්ද ?

අපේ රටේ සාමාන්‍ය කෙනෙක්ට සමාජ ඉණිමගේ - social ladder ඉහලට යන්න පුලුවන් පුලුවන් එකම විදිය අධ්‍යාපනය . අපේ ක්‍රමේ අඬු ලුහුඬු කම් තිබුණත් මේ රටේ සරසවියකින් තමන්ගේ පලවෙනි උපාධිය ගන්න හැමකෙනෙක්ම මහන්සි ගන්නවා .කාටත් ඕනේ දක්ෂයන්ගෙත් දක්ෂයෙක් වෙන්න . එක ලකුණක් දෙකක් නිසා දශම ගාණක වෙනසක් නිසා අවසානයේ කෙනෙක්ගේ සමාජ තත්වය , වැටුප වගේ ගොඩාක් දේවල් විසඳන්න පුලුවන් ක්‍රමයක් අපිට තියෙන්නේ .එහි හොඳ නරක කුමක් වුනත් අවුරුදු 18 ක් 19 ක් තරම් පොඩි වයසකදී ජීවිතේ තමන්ට ලබාගන්න පුලුවන් ලොකුම දිනුම ගත්තු මේ දරුවොන්ගේ හීන බිඳලා සුණු විසුණු කරන එක මොනතරම් අපරාධයක් ද ? උසස් අධ්‍යාපනය භාරව ඉන්න උදවිය මේ ගැන හිතන්නේ හරියට මොනවත් සිදු නොවුන විදියට .නමුත් මේ පරම්පරාවේ දරුවො අපේක්ෂා බංග වීමත් එක්ක යම් දවසක කලහකාරී පුරවැසියො හැටියට හැසිරුනොත් මම නම් දකින්නේ නෑ එහි වරදක් . ඔවුන් කිසි වරදක් නොකර බිහිසුණු ප්‍රපාතයකට ඇද දැමිමේ වගකීම තියෙන්නේ   වෙනත් පිරිසක් අතේ .

අධ්‍යාපනයට ඇති අයිතිය වගේම , අද්‍යාපන අවස්ථා  ලබාගැනීමේ අයිතියත් ( right to education /access to education ) රටක තිබිය යුතුයි .ඒත් අපේ රටේ මේ අවස්ථා ඉතා සීමිතයි .ඒ වගෙම පලවෙනි උපාධියක් හිමි කරගන්න මුදල් යොදවන්න හැමෝටම බැහැ .අපි කාගෙත් පලවෙනි උපාධිය අපි සම්පූර්ණකලේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් . එහි තේරුම සියල්ල නිකන් දීම කියන එක නොවේ .අධ්‍යාපන අවස්තාවක් අපිට හිමි වීම . පශ්චාත් උපාධියක් මුදල් ගෙවා ඉගෙන ගන්න හෝ ශිෂ්‍යත්වයක් මගින් ලබා ගන්න හැකියාව වැඩි .නමුත් පලවෙනි උපාධිය /වෘතීය සුදුසුකම් සඳහා එවැනි දේ සීමිතයි .සීමිත අවස්තා ඇති රටක ඒ වෙනුවෙන් තරඟකෙරුව දරුවොන්ගේ ඉරණම මෙබඳු වීම ඉතා කම්පාවට කරුණක් .

අපි ජීවත්වෙන රටේ මැතිවරණ හරි වෙලාවට තිතට ටිකක් ඇද නොවී තියාගන්න , දූෂිත නොවුන ප්‍රථිපලේ දෙන්න , අපේක්ෂකයොන්ට ඕනේ නම් නැවත ඡන්ද ගනින්නත් හැම චන්දෙකටම අසීමිතව රජයේ මුදල් යොදවලා  ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඇප කැප වෙලා අට පාස් නැති මෝඩ හරක් පාර්ලිමේන්තුවට /පලාත් සභාවට යවන්න තරම් උනන්දු වුනත්  උසස්පෙල විභාග ප්‍රතිඵලයක් නිවැරදිව දෙන්න නම් එහෙම  උනන්දුවක් නෑ .අනික් අතට නිද්‍රා සහගත සිවිල් සමාජයක් ,සුර පුර සොයාගෙන මයිග්‍රේට් වෙන්න සිහින බලන උගත් පන්තියක් , වැඩිය රටේ ප්‍රශ්න කරදර ගැන නොහිතා ෆේස් බුක් විප්ලව කරන එලිට් මිඩ්ල් ක්ලාස් එකක් ඉන්න රටක ආණ්ඩු ඕනේ තරම් පිස්සු නැටුවත් , මෙහෙම පොඩි කොල්ලො කෙල්ලො පාරේ කඳුලු ගෑස් කෑවත් කාටවත් කිසිම දුකක් හිත් අමාරුවක් නැති රටක අපි ඉන්නේ .අපේ ගේ දොරකොඩටම ඇවිත් ජීවත්වීමේ අයිතිය උදුරගත්තත් අපි නෙවේ හ්ම් කියන්නේ .ඒක සක් සුදක් සේ පැහැදිලියි .

ඉඳ හිට කරන මෙහෙම හුදකලා අරගල ඇරුනම ආයේ නම් අපිට බැරිවේවි දකින්න පොදු යහපතට වෙන රටේ වෙනස්කම් , මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටීම් . 88-89 ත් 92-94 කාලෙත් 71 අහලා තිබුණ දේත් ( මේ සියල්ල ඉතාම හොඳයයි නොකිව්වත් ) අනුව මිනිස්සු සමාජ වෙනසක් සඳහා සාර්ථකව හෝ අසාර්ථකව යම් යම් දේ කලා . ඒත් එවැනි දේ නම් ඉදිරියේ සිදු නොවේවි මේ නිද්‍රා සහගත වට පිටාව තුල .

මධ්‍ය ආදායම් ලබන රටක් වීම නිසා "කෑදර උගත් ධනවත් අලුත් මැද පන්තියක්" බිහිවීම එක්ක සමහර සමාජ ආර්ථික ප්‍රශ්න මොනතරම් අපි ලඝු විදියට දකිනවද කිව්වොත් කැමති කෙනෙක්ට සල්ලි ගෙවලා ඉගෙනගන්න පුලුවන් වෙන්න ඕනේ කියන අන්තගාමී මතේට අපි ගිහින් තියේ,  .ඒත් ගෙවන ගාන , ඒක හැමෝටම දරන්න පුලුවනිද , ඒ අවස්තා වැඩි දෙනෙක්ට විවර වෙනවද , නගර බද නොවන පිරිසට ඒ අවස්තා බෙදී යනවද , ගෙවන්න බැරි කෙනෙක්ට ඉගෙනගන්න තියෙන පහසුකම මොකකද , දරාගන්න පුලුවන් මිලකට ඉහල අධ්‍යාපනය දෙනවද වගේ දේවල් ගැන මේ කිසි කෙනෙක් කතා නෑ .

යම් දවසක මේ රටේ ඇති නැති මිනිස්සුන්ගේ පරතරේ නෙවෙයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ . හොඳ ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපන අවස්තා ලැබුණ හා නොලැබුන මිනිස්සුන්ගේ පරතරේ .එතකන් අපිට සාවධානව ඇස් කන් වහන් බලන් ඉන්න තියෙන්නේ චේ ගේ , කැස්ත්‍රෝගේ ටී ශර්ට් ඇඳලා , සේවු ද ඇනිමල්ස් ,මේක් පවර්ටි හිස්ට්‍රි, ප්‍රොටෙක්ට් හියුමන් රයිට්ස් කියලා ස්ලොගන් බ්‍රෑන්ඩඩ් ටීශර්ට් වල ප්‍රින්ට් කරගෙන අපේ කෑදර උගත් ධනවත්  අලුත් මැද පන්තිය හා එලිට් කට්ටිය ෆේස්බුක් විප්ලවේ කරනකන් එයාලගේ සී .එස් ආර් සල්ලි වියදන් කරලා කෝපරේට් ඩිනර් එකක් දාලා බාල් නටලා  .

Wednesday, September 5, 2012

හාෆ් ඩේ ලීව් , සූත්තර පුංචා සහ තවත් පොත් කතා




මම ගොඩක් ආසම පොත්  දෙකක් නොහිතුව වෙලාවක පලවෙනි වතාවට මුණගැහුන යාලුවෙක්ගෙන් තෑගි ලැබුණා .තවත් පොත් කීපයක් අද මම ගත්තා . පොත් බිල ගෙවන්න වුනේ දෙන්නම් කාසි ක්‍රමේට . කෑදර කමට පොත් අරගත්තු නිසා මේ මාසේ විනෝද කටයුතු වෙනුවෙන් පඩියෙන් වෙන්කරන දීමනාව දැන්මම කපා හරින්න වෙනවා .ඒ නිසා ඉදිරි කාලය ඇතුලත කෝපි හැන්දෑවල් , රාත්‍රී වීදි සංචාර ,නාට්‍ය බැලීම් , ඩිනර් මීටින් සියල්ල අවලංගු කරන්න සිද්දවෙනවා . ඒත් මාසේ ඉවරවෙන්න සෑහෙන්න කල තියෙනවා :) 

කොහොම වුනත් තෑගි ලැබුන පොත් දෙකෙන් එකක් වුන "හිම ගිර  භික්ෂුණිය " එදාම හවස ගෙදර යන්නත් කලින් රෝහල් ආලින්දයකට වෙලා වෛද්‍ය හමුව එන තෙක් කල් ගතකරමින් ඉන්න අතරේ ගොඩක් දුරට  කියවලා ඉවර කලා .කවි කදුර කියවන්න කල් ගත්තේ හිතාමතාමයි මොකද ඒක ලිව්ව කතුවරියගේ ආලවට්ටන් කෑලි එක්ක පොත හොඳට රස විඳින්නනම් නිවී සැනසිල්ලේ කියවන්න ඕනේ හිනා වෙන්නත් ඉඩ තියලා .

පොත් තෑගි දුන්නු යාලුවට පස්සේ දවසක මම කවියකුත් ලියලා ඇරියා ඊමේල් එකකින් මෙන්න මෙහෙම 

පේ අයියාත් 
පැජරොයියාත් ගැන 
අපැහැදිලි මිහිරි මතක ඇති
ලියන කියන වචන වල 
නොලිව්ව අරුත් සොයනු හැකි  
රස බර  හමුවීමක්ද 
සැපයට කරුණක්ම වෙයි 


යාලුවත් හැරෙන තැපෑලෙන් කවියකින්ම උත්තර එවලා තිබුණා 

මිහිරි පොදු මතක පොදියක්
දිග හරින්නට 
අප ලද කල් 
මද බව දැනෙන මුදු
ඒ මිහිරි මුලුවෙහි සුව
බෝ කල් සිත රඳනු ඇත


ඒ අපැහැදිලි මතක ඔස්සේ
යටගියාවේ තවත් 
මතකයන් ඉල්පී එත්
ඒ මතක හදේ තෙරපී
අකුරු කරනට
හද කම්පනය කරත්


නුගේගොඩට ඇවිත් දැන් මාස තුනක් විතර ඇති .අලුත් සරසවිය පැත්තේ ගොඩවදින්න ඕනේ වුනත් කල් දම දමා හිටියේ මේ දවස්වල අතේ සල්ලි මදි නිසා .ඒත් එක දවසක් වැඩකරලා , මහන්සිවෙලා , එපා වෙලා , තරහගිහින් සික් ලීව් හාෆ් ඩේ දාලා නුගේගොඩින් ගෙදර ඇවිදන් යද්දි නොදැනිම පය ගෑටුනේ සරසවිය දිහාට . අලුත් සාප්පුවේ ඉස්සරට වඩා ඉඩ කඩ වැඩියි .පොත් දිහා බල බල , පිටු පෙරල පෙරල ඉන්නත් පුලුවන් .මගේ ආසාම වැඩේ කලින් කියවපු රහ පොතක් සොයන් ඒකේ ආසම තැන් වලින් කොටස් කියවන එක .එහෙම පොත් කියවන්නො වෙනුවෙන්ම වෙන් වුන සෝෆා එකකුත් සාපුවේ තියෙනවා .පොත් රාක්ක පීරාලා කැම්පස් ඉන්න කාලෙත් ඉඳන් මේ වෙනකන් මිලට ගන්න බැරිවුන පොත් කීපෙක පිට කවර අතගාලා ඒ කාලෙයි අදයි අතර මිල සසඳලා හූල්ලලා අන්තිමට නතරවුනේ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් ගාව ."රසවතිත්" ," වෙසක් පහනත් "අතට අරන් කෙලින්ම ගිහින් හරි බරි ගැහුනේ අර සෝෆාවේ .එක හුස්මට පැටියාගේ වෙසක් පහන කියවලා ඉවරකරා .යස අපූරු කතා පොඩ්ඩ .පොඩි ලමයින්ට විතරක් නෙවේ පොඩි එවුන් දිහා බලන වැඩිහිටියන්ටත් හරි වටින උපදෙසක් එක්ක ලියවුන කතාවක් . ඔන්න ඊට පස්සේ රසවතී දිහාට හැරුණා .හනේ අම්මෝ මට හිනාව නවත්වගන්න බෑ . ගිමාරා , රසෝ , නෑනා නෝනා , වාසනා වකුටුපිට , අපේ එක්කෙනා එක්ක මගේ හිනාවට බ්‍රේක් ගහගත්තේ අමාරුවෙන් .හොඳටම කේන්ති පිට  හාෆ් ඩේ සික් ලීව් දාලා ආව මම  පැය දෙකක්    සරසවියේ පොත් කියවලා අන්තිමට ගෙදර ගියේ වෙසක් පහනත් , රසවතිත් මිලට අරන් හිනා වෙවී . 

ආයේම අදත් උදෙන්ම ඔෆිස්  ගිහින් ලොකු වැඩක් ඉවර කෙරුවට පස්සේ මට හිතුනා මොකට මේ හැටි නහිනවද කියලා .ගිය සතියෙත් ඔෆිෂල් හාෆ් ඩේ ගත්තු නිසා මේ සතියේ එහෙම ලීව් දාන එක හරි මදී .ඒ නිසා පොඩි නූල් සූත්තර වැඩක් කලා . හදිසි වෛද්‍ය පරීක්ෂණයකට යන්න වෙනවා කියලා බොස්ගෙන් අවසර අරන් ගෙදර ආව .ආයෙත් සරසවිය පහුකරන්  නුගේගොඩින් පයින් එන්න වුනා .කලින් වගේමයි නොදැනිම නැවතුනේ සරසවියේ තුන්වෙනි මහලේ . 

මේ සැරේ පොත් සැරිසර පටන්ගත්තේ කවි පොත් වලින් ."සක්වා ලිහිණි", "රාජතිලක -ලයනල් හා ප්‍රියන්ත" , "බෝඩිම" අතට අරන් පිටු පෙරලලා ගාන බලලා ආයෙත් රාක්කෙන් තිව්වා . ඒ නුදුරෙම ජනශැති පොත් ගොන්නක්ම .ඒ අතර දිගාමඩුල්ල ගැන ලිව්ව මායා රංජනුත් හිටියා .කොහොම වුනත් මාතර රතු බත් ,කිරි හොදි ,ඇඹුල් තියල් අමතක කරන්න බැරි කමට අප්‍රකට ඒත් රසවත් ජනශැති පොතක් වුන "අපේ ගම මාතර" පොත් ගොන්නට එකතු කරගත්තා. වටයක් කැරකිලා යද්දී නවකතා පැත්තේ සුමිත්‍රා රාහුබද්දගේ පොත් කීපයක්ම තියේ .ඒත් "අග පිපි මල්" නම් නොගෙනම බැරි වුනා . ඔහොම කැරකීගෙන ගිහින් නතරවුනේ ආයෙත් සිබිල් වෙත්තසිංහගේ පොත් ගාව . පොත් ගොඩ ටිකක් අවුස්සද්දී මෙන්න අතට ලැබුනා කාලයක් පුල පුලා කියවන්න බලාගෙන හිටි "සූත්තර පුංචා" .ආයේ දෙපාරක් හිතුවේ නෑ .පොතත් ඩැහැගෙන දිව්වේ අර සෝෆාව ගාවට .ගිහින් හරි බරි ගැහිලා ඔන්න කියවනවා සූත්තර පුංචා .කට කොනක හිනාවකුයි , පොඩි කාලේ ඉඳන්ම රහ පොතක් කියවද්දී ඉබේම යටි තොල තදින් උරන එකයිත් මට නොදැනිම පටන් අරන් කියලා තේරුනේ සෑහෙන්න වෙලාවක් ගියාම . අර පොඩි කාලේ විජය පත්තරේ හිටිය කමිස කොටේකුයි , කලිසන් කොටේකුයි ඇඳගත්තු පුංචා හම්බවුනාම කාටද සතුටු නැත්තේ ?, 

පුංචා හකුරු බෝල කෑව තැනට වෙනකන්ම මාත් පොත් රහ කර කර කියෙව්වා .එක හුස්මට කියෙව්ව පොතේ පෙරවදනේ මා සිත් ගත්තේ මෙන්න මේ කොටස

"දඟකාර වීම පොඩිත්තන්ගේ අයිතියකි. මේ දඟ බෝල වයස්ගත වැඩිහිටියන්ගේ ජීවිත ආලෝක කරන මිණි පහන්ය "

අන්තිමට සූත්තර පුංචවත් අතට අරන් , "දුවන් රැවුලත්" , "කුඩ හොරත්" සොයාගෙන පහල කැෂියර් එකට ගියේ බිල දාන්න .එතකොට තමයි පියවි සිහිය ඇවිත් මතක්වුනේ අතේ සල්ලි නැති වග .ඒ වුනාත් රහ පොත් අතාරින්න ලෝබ කම නිසා දෙන්නම් සල්ලි ක්‍රමේට බිල ගෙවලා සරසවියෙන් ගෙදර ගිය මම එක හුස්මට දුවන රැවුල , සූත්තර පුංචා සහ කුඩ හොරා කියෝලා ඉවර කලා .

ඔන්න තියෙනවා අද වෙනකොට මම ගත්තු පොත් හා මට තෑගි ලැබුණ පොත් .





ප/ලි

මේයින් හත්පෙති මල ගත්තේ නම් දැන් දෙමාසෙකට කලින් යාලුවෙක් එනකන් හන්දියක ලතවෙවී ඉන්නකොට ගොඩ වැදුන පොත් කඩේකින් .



Sunday, July 22, 2012

Mature Friendships


මගේ හොඳම මිතුරියක් වූ ඇයට ජීවිතයේ ඉතා සංවේග ජනක අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුණි.ඇගේ පවුලේ සමීපතම ඥාතීන් හා හිතවත් මිතුරු මිතුරියෝ ඒකී සංවේග ජනක මොහොතේ ඇය ලඟින්ම සිටියහ . සියල්ල අවසානයේ නොසිතූ විරූ මොහොතක තවත් හිතවත් අමුත්තෙක් පැමිණ සිටියේය . ඇගේ මිතුරියන්වූ අපි එන යන ඇගේ බොහෝ හිත්වතුන් දැන සිටි නමුත් මොහු මින් පෙර අපට හමුවී නැත .එදින හවස සියලු කටයුතු අවසානයේ ඔහුගේ ආගමනය සිදුවිය . එවෙලෙහි මා සිටියේ යා බද කාමරයක් ඇඳක් මත වඩි වී විඩා නිවමිනි . එවෙලෙහි මා සිටි කාමරයට ආ ඇය " මහන්සි නැත්නම් ටිකක් එලියට එන්න , මට කෙනෙක් හඳුන්වා දෙන්න තියෙනවා, හැබැයි බණින්න එපා " යයි අසරණ සිනාවක් සහිතව කිව්වාය .


ඉතා හිතවත් අපි උණුන් හා බැන වැදීගෙන නැතත් එකිනෙකාට අවවාද කරගත් අවස්ථා එමටය .එසේ තිබියදී ඈ මෙතරම් බැගෑපත්ව කියන්නේ කා ගැනද ?. ඔහ් හරි එහෙනම් මේ අර ගල් ඉබ්බාවත්ද ? ඒකද මේ තරම් මෙයා බැගෑපත්වෙන කාරණය ?'


"කවුද අමල්ද ඇවිත් ඉන්නේ ?"


මම අමුත්තක් නොපෙන්වා එහෙත් මැඩ ගත් කෝපයෙන් යුතුව එකවරම ඇසීමි


"ඔවු ඒ අමල්.. කැන් අයි ඉන්ට්‍රොඩියුස් යූ ටු හිම් ? ". ඇය මද තැතිගැන්මකින් කීවාය


අමල් මේ වංචාකාරයා ලැජ්ජ නැතුව ආව හැටි .මගෙ හිත තරහෙන් කෑ ගෑවෙව .එහෙත් හිතේ ඇති සියල්ල කටින් පිට කරන්න හොඳ වේලාව මෙය නොවේ.


"මට ගොඩක් මහන්සි දැනෙනවා ,ඔලුවත් කැරකෙනවා වගේ ...ටිකක් හාන්සිවෙලා ඉඳලා මම ඒ පැත්තට එන්නද ? අනික් යාලුවො ඉන්නවනේ ."


අමුත්තක් නොපෙන්වා මම කීවෙමි . මේපමණ වෙලා කඩිසරව එහා මෙහා දිව්ව මට දැන් හැදුන අමුතු මහන්සිය කුමක්දැයි ඇය අසුවේ නැත .


"කමක්නෑ රෙස්ට් කරන්න .මම එයාව පස්සේ ඉන්ට්‍රොඩියුස් කරන්නම් ".ඇය සෙමෙන් පවසා නික්ම ගියාය .


ඇය තාමත් සිටියේ සුදු වතින් සැරසීගෙනය . මුහුණ බොහෝ විඩාපත්ය . හරි හැටි නින්දක් ලැබුනේත් නැත. තව ඉටුකලයුතු වගකීම් රැසකි.ඒ මැද මොහු මෙතැනට මොකට කඩා පාත්වීදැයි මගේ හිතේ තද කේන්තියක් ඇති විය .


ඔහු මෙයින් තුන් වසකට පෙර ඇය හා බොහෝ හිතවත්ව සිටියේය .එකී හිතවත්කම් ප්‍රේමයකට ලියලා එන කල ඈ ඒ ගැන තම දෙමවුපියන්ටද දැන්වූවාය . එහෙත් අවසන නොසිතූ විරූ ලෙස ඔහු ඈ මග ඇරියේය .ඊට නිසි හේතුවක්ද නොවුනි .ඇගෙන් එන කිසිදු දුර ඇමතුමකට මාසයක් ගෙවෙනතුරු ඔහු පිලිතුරු නොදුනි.ඔහු ගැන පිලිබඳ සොයා ඇය සිත් තැවුලෙන් බොහෝ වෙහෙසුනි.අවසානයේ ඇය ,ඔහු ගැන පිලිබඳ ඇති වූ සිත අමාරුවෙන් ඉවතලූවාය . ඒ ඇගේ රාජකාරි දිවියේ බොහෝ කාර්ය බහුල වැදගත් සමයකි.එවැනි කලක මෙසේ හේතුවක් නොකියා ඇයට සිත් පීඩා කර මග හැර ගිය ඔහු ගැන මාතුල එතරම් ගරුත්වයක් ඉතිරිව නොතිබිණි .


"එයාට මේක ඉවර කරන්න ඕනෙ වුනානම් හරි කමක් නෑ ඉවර කරන්න තිබුණා .ඒත් මෙහෙම නෙවේ . නිකන් ඔයාව මග ඇරලා කඩේ යවලා පහත් විදියට හැසිරෙන්න ඕනෙද ?.ඇයි කෙලින් කීවෙ නැත්තේ . ඔයා මොන තරම් හිතින් වද වුනාද ඒ කාලේ ? "


ඔය බිඳුන පෙම් පලහිලව්ව ගැන විමසන කතා බහ ඇදුන හැම විටම තරහෙන් පුපුරමින් මම කියමි


මා හාන්සිවී සිටි ඇඳ අසලම අපේ තවත් මිතුරියන් දෙදෙනෙකි


"කවුද පණිවිඩේ කියලා තියෙන්නේ ?"


"කවුද ඉතින් අපේ එක්කෙනාම තමයි .අපිට යැව්ව එස්. එම්. එස් එකම එයාටත් යවලා "


"ඔහ් ..මිනිහට සේරම ඉවර වුනාම තමයි එන්න මතක් වුනේ එහෙනම් .පේන්නැද්ද කිසි වගකීමක් නැති කෙනෙක් වග ?.ඔය තරම කලින් දැනගෙනත් ඇඳන් ඇවිත් තියෙන්නේ රතු පාට ශර්ට් එකක් .මොලේ ඇති මිනිහෙක් කරන වැඩක්ද ? ඔහොම රතුපාට පිරිවැස්සක් එල්ලන් එන්නේ ?"


ඔවුන් අතරකින් බොහෝ කටකාර එකිය වූ හසී තරහෙන් බැන්ණ වදී .ඒ කතාවට කන් දෙන මට සිනාත් යයි .


මම ඇඳේ විට්ටමට කොට්ටය තබා හාන්සි වීමි


ඔහු නැවත ඇය මුලා කරාවිද ? ඈ සිටින්නේ තරමක් අසරණ තත්වයකය . එවැනි විටක ඈ මුලා කරන්න ඔහුට ලේසි වෙනු ඇත .එහෙත් මේ ඔවුන්ගේ පුද්ගලික ගණු දෙණුවකි . ඔවුන් එකිනෙකාට නැවත ආදරේකරනු හැකිනම් එය අපි වලකන්නද ? දෙන්නාම වැඩිහිටියන්ය .ඉතින් එහි ඇති වරද කිම ? ඒත් ඔහුගේ සත් භාවය විස්වාස කල හැකිද ?


දැන්නම් මගේ ඔලුව ඇත්තටම කැරකේ . මම සෙමින් අනික් ඇලයට හැරුණෙමි .


හසී හා රුවී කොහේ හෝ ගොස් ඇති හැඩකි .


"දැන් කොහොමද ඔයාට ? තාම ඔලුවේ කැකුමද ?"


නැවත මගේ මිතුරිය එතැනය .ඈ තාමත් සුදු පැහැ සාරියෙන් සැරසීගෙනය .
"ආ මේක බොන්න .ඇපල් සෝඩා"
ඈ සිනා මුසුව මා වෙත වීදුරුවක් පෑවාය . ඇපල් සෝඩා බොන්න මගේ ඇති පෙරේතකම ඇය හොඳින්ම දනී
"තෑන්ක්ස් . අමල් ගියාද ? "
මම වෙනසක් නොපෙන්වා කල්පනාකාරීව ඇසීමි .


"ඔවු ගියා ". ඇය සිහින් හිනාවකින් කිව්වාය


"හ්ම් සොරි ඒ වෙලේ මට මොනව වුනාද මන්දා .හරි මහන්සියක් දැනුනා .නැත්නම් මම එනවා ටිකක් කතා කරන්න .අපරදේ ."


මම ඔහුට කතා නොකිරීම ගැන සමාවට කාරණා එකතු කලෙමි .


ඈ තවමත් සිනාසීගෙනම මා දිහා බලා මගේ අතක් අල්ලා ගත්තාය .


"හ්ම් ..මම ඔයාව දන්නේ දැන් අවුරුදු ගාණක ඉඳන් .ඔයා ලේසියෙන් කෙනෙක් මග රින්නේ නෑ . විශේෂයෙන් කිට්ටුම යාලුවෙක්ගේ ඉල්ලිමක් .මේ තරම් දුවලා පැනලා වැඩ කල ඔයාට ඔය ටික මහන්සිත් නෑ . ඒත් මම දන්නවා ඔයා කෙනෙක්ට අකමැතිනම් කිසි වෙලාවක ඔයාට ඒක හංගන්නත් බෑ.කොහොමත් ඔයා පැහැදිලි බ්ලැක් ඇන්ඩ් වයිට් මනුස්සයානේ .අමල් ගැනත් එහෙමයි . මම දන්නවා ඒ කාලේ මම වින්ද දුක ගැන ඔයා ඉන්නේ එයත් එක්ක පුදුම තරහෙන් කියලා .ඒක නේද ඔලුවෙ කැකුමක් පිටින් දාලා මග ඇරියේ . ?"


ඈ මගේ හිත නිවැරදිව කියවා ඇති සැටිය .


සොරකම් කල එකෙක් අතටම හසු වූ සේ මම ලජ්ජා වීමි .


"මන්දා මට ලොකු තරහක් ආවා .සොරි මම එහෙම නොකරන්න තිබ්බ .අඩු තරමින් ඔයා මට ඇවිල්ල ඉන්ට්‍රොඩියුස් කරන්න හැදුව වෙලේ එක වචනයක් වත් ඇවිත් කතා කරන්න තිබ්බ'"


"නෑ ඒක හිතන්න එපා .අපි දෙන්න කාලෙක ඉඳන් යාලුවො .ඒ නිසාවෙන්මයි ඔයා නො ආවේ .ඒක මම දන්නවා . ඔයාට අයිතිය තියෙනවා ඕනෙ තරම් එහෙම කරන්න .ඒ අපේ යාලු කම නිසා .අමල්ට මම සමාව දුන්නත් ඔයා , හසීගෙන් එහෙම කිසි සමාවක් නැති බව දන්නවා .හසිත් ඔන්න කියව කියව එහාට මෙහාට දුව දුව මට බණිනවා .ජස්ට් ෆොර්ගෙට් ඉට් "


ඇය අවසන සැහැල්ලුවෙන් සිනා මුසුව කීවාය


කාලක ඉඳන් හඳුනන අපි එකිනෙකාගේ හොඳ මෙන්ම නුගුණ , නොහොඳ , හැසිරීම තරහයාම් ගැන ඉතා හොඳින් දනිමු .ඒවායේ හංගන්න දෙයක් නැත .එසේ වූවාය කියා අපේ යාලුකම අඩු වී නැත .එය හැමදාම වැඩි වෙයි .
මම ආයාසසෙන් සිනාවීමි .


"හරි හරි අපි ඔය ගැන නිවී සැනසිල්ලිලේ උඩ බැල්කණි එකේ මීටිමක් දාමු .බය වෙන්න එපා .මම ඉහල උසාවියට ඔක්කොම කරුණු කාරණා ඉදිරිපත් කරන්නම් ."


ඇය මා හිනාගස්වමින් කිව්වාය


ජීවිතයේ ඉතාම ශෝකී මොහොතකත් ඉවසිල්ලෙන් කතා බහ කරන්නත් ,නිරවුල්ව සිතන්නත් , විහිලුවකින් සිනා සෙන්නත් ඇයට හැකි වීම ගැන මම පුදුම වෙමි .







Tuesday, June 19, 2012

තුන්වැනි ලෝකෙට ගොඩබහින හදිසිකාරයෝ


ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටටේ පිටවීමේ පර්යන්තයට වෙලා මගේ ගුවන් යානයට නැගීමට නිවේදනය නිකුත් කරනතෙක් බලා හිටියා . නේපාලය බොහෝ යුරෝපා රටවඉන් එන සංචාරකයන්ගේ  පරාදීසයක් වුනත් නොයෙක් සමාජ ,ආර්ථික හා දේශපාලන කරුණු නිසා භෞතික සංවර්ධනයනම් සිද්දවෙන්නේ ඉබි ගමනින් . ඒ නිසා ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ විසාල පහසුකම් නෑ . තියෙන එකම පිටවීමේ පර්යන්තය නිතරම ජනාකීර්ණ වෙලා , තදබදයෙන් , දූවිලි , දාඩිය හා රස්නයෙන් යුක්තයි .වායු සමන පහසුකම් අල්පයි . තත්වය දරුණු වෙන්නේ නරක කාලගුණ තත්වය නිසා ගුවන් යානා ගොඩ බැහීම ප්‍රමාද වීමත් එක්ක .එදත් ඒ වගේම දවසක් . දිල්ලිය බලා යන ජෙට් එයාර්වේස් ගුවන් යානය ගොඩ බෑම ප්‍රමාද වග නිවේදන නිකුත්වුනා. දිල්ලියේ සිට බොහෝ යුරෝපා ගමනාන්ත වෙත ලඟාවීමට සිටි මගීන් නොසන්සුන් .ඒ අතරින් උස් හඬින් බැන වදින සුදු ජාතික කාන්තාවක් දිහා හැම මගියෙක්ගෙම අවධානය යොමු වුනා .ඇය අතේ තිබුණේ ඇමරිකානු ගමන් බලපත්‍රයක් . ඉන්ග්‍රිසි බසෙහි ඇති එෆ් වර්ඩ්ස් - F words  පාවිච්චි කරමින් ඇය නේපාලයට බැන වැදුනා ගුවන් යානා ප්‍රමාදය , පිටවීම් පර්යන්තයේ අඩු පාඩු , දූවිලි ,දාඩිය ගැන මැසිවිලි කියමින් .

පලවෙනි ලෝකේ රටකින් ආව ඇය අනිවාර්යෙන්ම නේපාලයේ සුන්දරත්වය දකින්න හිමාල මායිමේ අන්නා පූර්ණා බේස් කෑම්ප් යන්න ඇති , පොකරා විල් බලන්න ඇති , කත්මන්දු නුවර සැරි සරමින් එහි සංස්කෘතික උරුම දකින්න ඇති . තමන් ජීවත්වෙන රටට වඩා බොහොම අඩු වියදමින් කෑම ,බීම නවාතැන පහසුකම් ලබාගෙන සතියක් වත් මේ නොදියුණු රටේ සිරි විඳින්න ඇති .එහෙම දවස් කීපයක් හිටි මනුස්සයට එකපාරටම පැය බාගයක් ගුවන් යානය ප්‍රමාද වෙනවා කියලා දැනගත්තම ඉන්ග්‍රිසි බාසාවේ තියෙන එෆ් අකුරේ කුණු හරුප වලින් නේපාලයට බනින්න තියාගත්තේ මොන හේතුවක් නිසාද මන්දා .මුලු සතියක් ගෙවන්න නේපාලේ හොඳයි අන්තිම පැය බාගෙදී නරකයි .

මට හිතෙන්නේ මේ තමා සංවර්ධිත ලෝකේ ඉපදිච්ච හෝ වඩා හොඳ ආර්ථික අවස්ථා සොයාගෙන සංවර්ධිත ලෝකෙට තුන්වෙනි ලෝකෙන් සංක්‍රමණය වෙලා ගිය බහුතරයක් පිරිසගේ සිතුවිලි යන අත . ලංකාවත් ඇතුලු තෙවෙනි ලොව රටවල් බොහොමයක සංවර්ධන විෂමතා , දූෂණය , වංචා ,ප්‍රමාදය ,දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා . ඒ නිසා බොහෝ අකටයුතු වෙනවා .මේ සිස්ටම් එක නුහුරු සංවර්ධිත ලෝකෙන් එන කෙනෙක්ට මේව එක්ක ගැටෙන්න අමාරුයි බව ඇත්ත .නමුත් සමහර අවස්තා වල පවතින තත්වය එක්සැජරේට් කරලා තමුන් සංචාරයට හරි , නෑ සිය පිරිවර දකින්න හරි එන තුන්වෙනි ලෝකේ රටවල් වලට නොසෑහෙන්න මේ මිනිස්සු ගරහන්නේ ඇයි කියන එක මට තේරුම් ගන්න බෑ .කොටින්ම ඉන්ටර්නෙට් ටිකක් ස්ලෝ වුනත් , බැංකුවක පෝලිමේ ඉන්න සිද්ද වුනත් ,  බස් එකක් ප්‍රමාද වුනත් මුව නොසෑහෙන්න බනින විවේචනය කරන එක  මේ අයගේ සිරිතක් .සංවර්ධිත කුල්ටූර් රටවල් වලින් ගොඩ බැහැලා දේශීයත්වය , පරිසරය විඳින්න කියලා ලංකාව වගේ තුන්වෙනි ලෝකෙට එන මේ අයට ටිකක් ස්ලෝ ඩවුන් වෙන්න බැරි ඇයි ? ඇයි එහෙනම් මේ දූවිලි පිරුණ කිසි කමකට නැති රටවල් වලට නිවාඩුවට එන්නේ ?

රාජකාරිය වෙනුවෙන් ලංකාවේ , අප්‍රිකාවේ හා ආසියාවේ බොහෝ දුෂ්කර පැති වල ඇවිදින්න හා ටික කාලයක් ජීවත්වෙන්න වුන මට නම් කියන්න තියෙන්නේ මේ කුල්ටූර් පන්තිය හිතන තරම් තුන්වෙනි ලෝකේ රටවල් කලු යක්කු නොවෙන බව .ඇත්තටම තුන්වෙනි ලෝකේ දේශීයත්වය විඳිනවා කියන්නේ කොට කොට යන සෙනග පිරුණ බස් එකක , ලොරි බාගෙක , මඩ වලවල් පිරුණ පාරක , දූවිලි , වියලි හුලං එක්ක .තේ කහට එකක් හරි චායේ එකක් හරි බීලා , ටුක් ටුක් රියදුරො එක්ක හෙට්ටු කරලා ,ආණ්ඩුවේ කන්තෝරුවක රස්තියාදු වෙලා  බලන එක .මොකද ඒ රටේ මිනිස්සු හැම දාම ජීවිතේ ඔය කියන දුක එහෙම නැත්නම් කටුව කන නිසා . ඒත් ඒ මිනිස්සුත් ජීවත්වෙනවා ඔය ඔක්කොම එක්ක . 

ඔය හේතුව නිසා මම නම් පුලුවන් තරම් මහන්සිගන්නවා ලොකේ මොන රටට ගියත් එතැන මගේ ගම රට කියලා හිතලා ලැබෙන පහසුකම් උඩ ජීවත් වෙන්න . 

Friday, May 4, 2012

නිකං රවුම් ගහන වරං !



ෆුට් ලූස් ෆැන්සි ලයිෆ් ස්ටයිල් එක 
නියමයි මචං 
පට්ට ජෙලක් දැනේ 
යන් එන ගමං බිමං


මොකෝ අපි  වගේද 
වැදගත් වැඩක් කරනව කියලද 
නිකං රවුම් ගහන වරං
රස්සාවටත් අහසෙමයි ඉන්නෙ


අඬන්න ලමයි ඉන්නවද 
රෑට බත් මාලු උයන්නද 
මොනවයින්  කරදරද 
හිතුන හිතුන අත ඇවිදින්න 

Thursday, May 3, 2012

ආදරණීය දම් පාට මල් වැල







මගේ සොල්දර බංගලාවේ 
කවුලු වලින් හොරෙන් එබුණ 


සති අන්තෙ උදේ පාන්දරත් 
නිවනක් නැතුව කච බච ගෑව 
දෙමලිච්චො ,බට්ටිච්චොන්ට 
නොමිලේ නවාතැන් සැපයුව 



රෑට අපේ කසු කුසු කතා 
හොරෙන් අහන් පවන් සැලුව 
ලේන් පැටවු උගුඩුවන්ට 
හොරෙන්ම ගෙට රිංගන පාර කිව්ව 


නම නොදන්න ආදරණීය 
දම් පාට මල් වැල 
අදට අපි වෙන්වෙලා 
හරියටම දෙවසරයි 

Sunday, April 15, 2012

ග්‍රෑන්ඩ් පැලස් බෝට්ටු සවාරිය


සිලොම් වීදි දිගේ රස්තියාදු වුන තායිලන්ත රාජකාරි කටයුත්ත අවසන්වෙන දවසේ මට එක දවසක වගේ නිවාඩුවක් ලැබුණා .එදා සෙනසුරාදාවක් .එදිනම හවස හතට විතර ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මම ලංකාවට පැමිණිය යුතුව තිබුණා . හතට ගුවන් යානයට නගින්න නම් මම හවස තුනහමාරටවත් ගුවන්තොටට යායුතුයි .ඉතින් මේ ඔක්කොම කල්පනා කරලා ඉතුරුවුණ සෙනසුරාදා නිවාඩු දවසින් උපරිම ප්‍රයෝජන ගන්න මම හිතුවා .මගේ පරණ බොස් කැමත්තෙන්ම එකඟ වුනා මාව නිවාඩු දවසේ ඇවිදින්න එක්ක යන්න . මට ඉතුරුවෙලා තියෙන වෙලාව ගැනත් හිතලා එයා යෝජනාකලේ ග්‍රෑන්ඩ් පැලස් එක බලන්න යන්න . මාත් එකපයින්ම කැමති වුණා.


ග්‍රෑන්ඩ් පැලස් කියන්නේ තායිලන්ත රාජකීය පවුල කාලයක් තිස්සේ වාසය කල නිවහන. රාජ්‍යත්වය කියන එක ආණ්ඩුක්‍රම සංකල්ප වලින් තුරන් වෙලා යන මේ කාලේ තාමත් තායි වැසියන් තමන්ගේ රජතුමාට දෙවියන්ට වගේ සලකනවා ,ගරු කරනවා. තමන්ගේ රට කින්ඩම් ඔෆ් තායිලන්ඩ් කියලා හඳුන්වන තායි ජාතිකයන්ගේ රජයේ ප්‍රධානියා, හමුදා ප්‍රධානියා හා බුදු දහමේ ආරක්ෂකයා හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පැවරිලා තියෙන්නේ රජුට .දැනට රාජ්‍යත්වය දරන්නේ නව වෙනි රාමා රජතුමා .වර්තමාන තායි  රජ පවුල දැන් මේ නිවහනේ නොහිටියත් බොහෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් මේ පරිශ්‍රය යොදාගන්නවා .

ග්‍රෑන්ඩ් පැලස් රජගෙදර පිහිටලා තියෙන්නේ Chao Phraya ගං ඉවුරේ. නරඹන්නන්ට ව්වෘත වෙන්නේ දිනපතා උදේ 8.30 ඉඳලා හවස 3.30 වෙනකන් .මොනවහරි රාජ්‍ය උත්සව එහෙම පැවැත්වෙනවනම් මේ වෙලාවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා .අපි දෙන්නත් ග්‍රෑන්ඩ් පැලස් බලන්න යන්න උදේ උදෙන්ම පිටත්වුනා කාලෙ ඉතුරු කරගන්න ඕනේ නිසා . මම නැවතිලා හිටිය නෝර්ත් සැතෝර්න්-North Sathorn  වල ඉඳන් ග්‍රැන්ඩ් පැලස් යන්න පුලුවන් ලේසිම විදිය තමයි සපොන් තක්ෂින් කියන බෝට්ටු ජැටියට ගිහින් එතනින් මාලිගාව දිහාට යන බෝට්ටුවකට නැගලා ගඟ දිගේ යන එක .සපොන් තක්ෂින් වලට  ස්කයි කෝච්චියෙනුත් යන්න පුලුවන් වුනත් අපි දෙන්න තීරණය කලා ටැක්සියක නැගිලා යන්න .ලොකු මගී ප්‍රවාහන  බෝට්ටු සියගනනක්  මේ ගඟ දිගේ ප්‍රවාහන සේවාවල නිරත් වෙනවා . ටැක්සි ,බස් ,ස්කයි ට්‍රේන් වගේම බෝට්ටුත් තායිලන්තේ මගී ප්‍රවාහනයට ලොකු මෙහෙයක් කරනවා .බාත් පන්සීයක් දීලා බෝට්ටු ටිකට් ගත්තු අපි දෙන්න අපේ බෝට්ටුවට ගොඩ වෙලා මුලින්ම කලේ රජගෙදර ගාව බහින ජැටියේ නම සොයාගන්න එක .තායි ජාතිකයො වැඩිය ඉන්ග්‍රිසි කතා කරන උදවිය නෙවේ ,ඒ නිසා මෙහෙම ගමනක් යද්දී හොඳම දේ තායි බසින් අපිට උවමනා තැන් වල නම ගම විස්තර ලියවගෙන මැප් එකකුත් අරන් යන එක .

ගඟ දිගේ විනාඩි හතලිස්පහක විතර බෝට්ටු ගමනේ මම අවට සිරි නැරඹුවා.ගඟ දෙපැත්තේම ඉවුරු වල හිල්ටන් වගේ ප්‍රසිද්ධ සංචාරක සමාගම් වලට අයිති විසාල සුව පහසු හෝටල් ඉදිවෙලා තියෙනවා .ඒ වගෙම ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ගොඩනැගිලිත් තියෙනවා .ගොඩක් හෝටල් වල ඒ අයටම වෙන් වුන බෝට්ටු සේවාවනුත් තියෙනවා . ගඟ මැදින් විසාල බෝට්ටු දහයක් පහලවක් වේගෙන් ඇදිලා යාම සුලබ දසුනක් . මේ අතරමග වට් අරූණ් -Wat Arun වගේ සංචාරකයන් නිතර යන එන පංසල් එහෙමත් තියෙනවා .

අපේ ගමනාන්තය වුන රජගෙදර ජැටියෙන් බැස්සා කියමුකෝ .එතැනම තරමක ලොකු මාර්කට් එකක් .අඹ ,වරකා ,මැංගුස් ,දූරියන් ,කෙසෙල් වගේ පලතුරු වෙලෙන්දො, තායි රයිස් ඇන්ඩ් කරි විකුනන අවන්හල් , ඉඟුරු ,සුදුලූණු වගේ කුලුබඩු වෙලෙන්දො ,ස්ටිකි රයිස් , පැණි මඤ්ඤොකා වගේ රස කැවිලි කඩ වලින් පිරිලා .ගමේ පොල වගේ .එතැන දැක්කම රජ ගෙදර  බලන එක මට අමතකම උනා .හරියට කවදාවත් නොකාපු කෑමක් දැක්ක වගේ වරකා විකුනන වෙලඳන් අම්මකෙනෙක් ගාවට ගිහින් බාත් හතලිහක් ගෙවලා වරකා ග්‍රෑම් 100 ක් ගත්ත ඉස්සෙල්ලම . එතැනින්ම අඹ ගෙඩි දෙකකුත් කපලා ගත්තා .වරකා හරි රහයි පැනි බේරෙනවා . මග දිගට කකා යන්න පුලුවන් විදියට පොලිතින් කවරෙක දාලා පාර්සල් කරලා ටූත් පික් එකකුත් එක්ක දෙන්නේ .මම අඹ වරක බෑග් දෙකත් උස්සන් තායි රයිස් ඇන්ඩ් කරි තියෙන තැනට ගියා .අපේ ටේක් අවේ කඩ වගේ කෑම ලොකු දීසි වලට බෙදලා . ලොකු දැල්ලො උයලා , තව එකක් එක සී ෆුඩ් , එලවලු ජාති හැම කරි එකකටම හොඳට ඉඟුරු දාලා තියෙනවග පෙනුනා .තමන්ට කැමති කරි වලින් බෙදව ගන්න පුලුවනි . මාර්කට් එකේ මට තව ඇවිදින්න දුන්නොත් රජගෙදර බලන්න වෙන්නේ නැති බව තේරුම් ගිය මගේ බොස් මාවත් අතින් ඇදන් ඉක්මනට රජගෙදර දිහාවට එක්කන් ගියේ ආයේ එනගමන් පොලේ රවුම් ගහමු කියලා . බොස් කෙනෙක්ගේ වටිනාකම .....හැම තිස්සේම අපි හරි මගට දානවා ...

රජ මාලිගාවට යන පාර දෙපැත්තෙත් කඩ පේලි ඒවයේ විසිතුරු බඩු ,කෑම ජාති විකුණනවා , වැඩිය ඒ තැන් වල සුනංගු වෙන්න බැරි නිසා අපි ආයේ එනකොට නවතින්න කොකනට් අයිස්ක්‍රීම් විකුණන පොඩි කඩයක් ඇහැ ගහගෙන ඉක්මනට මාලිගාවට ගියා .

මාලිගා පරිශ්‍රය බලන්න විදේශිකයෙක්ට අවසර පතක් විකිනෙන්නේ තායි බාත් 400 කට . බාත් අටසීයක් දීලා මගේ බොස් මටත් එක්ක ටිකට් ගත්තා .මේ මාලිගා පරිශ්‍රය ඇතුලේ වැදගත්ම තැනක් තමයි එමරල්ඩ් බුද්ධ එහෙම නැත්නම් වට් ප්‍රා -Wat Pra කියන පන්සල. ඒක රජ මාලිගාව ඇතුලෙම තියෙන රාජකීය පන්සල වගේ .තායි රජවරුන්ට බුදු දහමේ උන්නතිය ගැන වැඩ කිරීමට විශේෂ වගකීමක් තියෙන නිසා කවුරුත් ඒ ගැන උනන්දුයි .ඒ නිසා වෙන්න ඇති මාලිගා බිමේම පන්සලක් තියෙන්නේ .මේ එමරල්ඩ් බුද්ධ පන්සල බොහොම ඉපැරණි බලගතු තැනක් හැටියට තායි ජාතිකයන් හඳුන්වනවා .නිවාඩු හා විශේෂ ආගමික උත්සව කාල වල මෙතැන පුද පූජා කරන සෙත් ශාන්ති පතන ජනයාගෙන් පිරිල ඉතිරිලා යනවලු . මාලිගාවට ඇතුල්වෙන අවසර පත් දෙක පෙන්නුවහම අපිට ලොකු නෙලුම් මල් මිටියකුත් , හඳුන්කූරුත් ,රන් පත්‍රත් ( ගෝල්ඩ් ලීෆ් ) ලැබුණා පන්සල වැඳපුදාගන්න යන්න .කාටවත් කොට ඇඳුම් ඇඳන් මේ පන්සලට ඇතුල්වෙන්න අවසර නෑ .ශෝර්ට්ස් ඇඳන් එන අයට ටිකට් කවුන්ටරෙන් බාත් 500 කට දිග සාලුවක් ගන්න වෙනවා.

ලොකුම දේ මේ පන්සල් වල සෙරෙප්පු සපත්තු නැති වේවි කියලා බය නෑ .අමතර ගාස්තු නැතිව මාලිගාවට ඇතුල් වෙන ටිකට් එකෙන්ම සෙරෙප්පු සපත්තු පරිස්සම් කරන සේවයත් දෙනවා . තායි වැසියො හනුමාන්ව අදහනවා .ස්වර්ණභූමි ගුවන්තොටේ තියෙන මහ විසාල හනුමාන් ප්‍රථිමා වල රහස මට තේරුම් ගියේ පන්සලට ඇතුල් වුනහම . ඒ වගේ හනුමාන් ප්‍රථිමා  පන්සලේ වටේ තියෙනවා . අපි නෙලුම් මල් අරගෙන ප්‍රධාන විහාරගෙය වුන බොහෝ අනුහස් අති ඉපැරණි එමරල්ඩ් බුද්ධ ප්‍රතිමාව වැඳගන්න ගියා ඉස්සෙල්ලම . ගෙනියන නෙලුම් මල් මිට පිලිම ගෙට  ඇතුල් වෙන්න කලින් තියෙන ලොකු තඹ වතුර භාජනෙකට දාලා එයින් ඔලුවට අත පයට පැන් ඉහගෙන මල් මිටි එතැනම තියෙන බඳුනට විසි කරලා නිශ්ශබ්දව විහාරගෙට ඇතුල්වීම තමයි සිරිත .ඇතුලේ දාස් ගාණක් සෙනග වාඩිවෙලා හිටියත් බොහොම සංවරයි , කිසි සද්දයක් නෑ . මෙතන ඡායා රූප ගැනීමත් තහනම්


මේ ජේඩ් වලින් හදාපු ඉපැරණි බුදුරුව සියවස් පහක් විතර පැරණියි .මේකේ ඉතිහාස පුරාවෘතය ඉන්දියාවේ නාගසේන සමය තෙක් දිවෙනවා . ටිකවෙලාවක් ඉඳගෙන් හිටි අපි දෙන්නා බුදු මැදුරෙන් එලියට ඇවිත් හඳුන්කූරු , ඉටිපන්දම් පත්තුකලා .එතැනම රන් ආලේපිත කුඩා බුද්ධ ප්‍රථිමා තියෙනවා .ඒවයේ අර රන් පත්‍ර අලවා යම් ප්‍රාර්ථනාවක් කලයුතුයි .මාත් මගේ අතේ තිබුණ රන් පත්‍ර බුදුරුවක අලවලා ප්‍රාර්ථනාකලේ ආයෙත් තායිලන්තේ සවාරි ගහන්න ඉඩ ලැබෙන්න ක්‍රමයක් පහලවෙන්න කියලා .අපි විහාරගෙයි සිතුවම් , බලන්නත් ගියා . හැම තැනම රාමායණය සිතුවම් කරලා . චිත්‍ර , ප්‍රථිමා මේ සියල්ලේම රන් ආලේපිතයි . මෙහි තියෙන රන් ආලේපිත විසාල ස්ථූපය ලංකාවෙන් කෙරුව පරිත්‍යාගයක් . තායි බුදු දහම හා සංස්කෘතිය එක්ක ඉන්දියාවේ තියෙන නෑකම වෙනම විමසිය යුතු වෙනවා .ව්‍යාපාර කටයුතු වල නිරතවෙන පවුල් පිටින් පරම්පරා දෙක තුනක්ම තායිලන්තේ පදිංචිවෙලා ඉන්න  ඉන්දීය ජාතිකයන් මෙහි සුලබයි .

එමරල්ඩ් පන්සල දැල්ක බලාගත්තු අපි දෙන්න මාලිගා පරිශ්‍රය බලන්න ගියා . කියලා නිම කරන්න බැරි තරම් විසාල අලංකාර ගොඩනැගිලි රැසක් මෙහිතියෙනවා විවිධ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට පාවිච්චි වෙන . රජතුමාගේ නිල කාර්යාලයත්  තියෙන්නේ මෙතැන . විසාල තණබිම් , මනාව කපා මට්ටම් කල ගස් වලින් යුතු උයන් මේ බිමේ තියෙනවා .හොඳම දේ තමයි මේ සිරි බල බල බංකුවක් උඩට වෙලා නිවී සැනසිල්ලේ ඉන්න එක . මේ බිමේ පවිත්‍රතාව නම් හරිම ඉහලයි . දාස් ගානක් සෙනග ගැවසෙන තැනක බාත් 400ක් ( ඩොලර් 13 ක් විතර ) අය කරලා දෙන සේවය නම් බොහොම වටිනවා .ටික වෙලාවක් මාලිගාවේ රැඳුන අපි දවල් දොලහ වෙනකොට ආයෙත් එන්න පිටත්වුනා . 


ඒත් එහෙම එකපාරටම එන්න පුලුවනිද ? අර කොකනට් අයිස්ක්‍රීම් විකුණන පොඩි කඩේටත් යන්න එපැයි . එතන හරි හුරු බුහුටි තැනක් .ලී කොට වලින් හැදුව මේස තියෙනවා ආගන්තුකයන්ට වාඩි වෙන්න. ෆ්‍රෙෂ් ඕකිඩ් මල් බඳුන් වලින් මේස සරසලා හැම මේසෙකටම පේපර් සර්වියට් එහෙමත් තියලා . ඉස්සෙල්ලම අපි දෙන්න කුරුම්බ ගෙඩි දෙකක් බිව්වා මහන්සි යන්න . තායිලන්තේ කුරුම්බා පිලිගන්වන ක්‍රමේ හරි ලස්සනයි .කුරුම්බා ගෙඩි  වේලිලා දුඹුරු පාට වෙලා නෑ . ඒවා කපලා ෆ්‍රිජ් එකක දාලා තියෙන්නේ .ගණුදෙනු කාරයො ඉල්ලුවහම ෆ්‍රිජ් එකෙන් අරන් ඇස්ස කපලා හැන්දකුයි බීම බටේකුයි එක්ක දෙනවා .පාරේ සමහර ජංගම වෙලෙන්දො කුරුම්බා කපලා ලොඳත් එක්ක ප්ලාස්ටික් කප්ස් වලට දාලා පියන් වලින් වහලා අයිස් කැට බාජනේක දාලා විකුණනවා . රස්නේ දවස් වලට බාත් විස්සක් දිල එයින් එකක් බිව්වම හොඳ ගනන් . 

කුරුම්බ බොන අතරේම අපි කොකනට් අයිස්ක්‍රීම් ඕඩර් කලා .මේ අයිස්ක්‍රීම් හදන්නේ පොල් වතුරෙන් .පිලිගන්වන්නේත් අපූරු ක්‍රමේකට .හොඳට සුද්ද කරලා කාර්වින්ග් පිහියකින් ගාණට ලොඳ හූරපු පොල් කටුවකට අයිස්ක්‍රීම් ස්කූප් තුනක් විතර දානවා .ඊට පස්සේ අපිට කැමති ටොපින් එකකුත් දාලා දෙනවා .මම ලොකු බෝංචි ඇට , තම්බපු බඩ ඉරිඟු ,වෙලලා කෑලි කැපුව කුරුම්බා ලොඳ , තව රතු පාට පලතුරු වර්ගයක් දාල මගේ කොකනට් අයිස්ක්‍රීම් එක ඉල්ලගත්තා . එතකොට මට මතක්වුනේ පිලිපීන් වලදී රස බැලුව "හලෝ හලෝ -Halo Halo " කියන කෑම .හලෝ හලෝ කියන්නේ අයිස්ක්‍රීම් වලට නූඩ්ල්ස් , සොයා බෝංචි ඇට , බඩ ඉරිඟු ඇට , මෑ ඇට , වගේ ධාන්‍ය එහෙම දාලා දෙන කෑමක් .එයින් කප් එකක් ඉවර කරන්න ලේසි නෑ . තායිලන්තේ ගියොත් කොකනට් අයිස්ක්‍රීම් රස විඳින්න අමතක කරන්න එපා . හරි රස කෑමක් .මම නැවතිලා හිටි තැන තිබුණ කොකනට් අයිස්ක්‍රීම් නම් මේ පාරේ කඩේ අයිස්ක්‍රීම් තරම් රහ නැති වග කියන්න ඕනේ .


කොකනට් අයිස්ක්‍රීම් එහෙම සප්පායම් වෙලා අපි ආයේ බෝට්ටු  ජැටියට ආවා නෝත් සැතෝර්න් වලට යන්න . අපේ බෝට්ටුව පිටත්වෙන්න විනාඩි හතලිස්පහක් තියෙන නිසා අපි දෙන්න ආයිත් ජැටියේ පොලේ විසිතුරු බලන්න ගත්තා .ඒ ගමන මගේ හිත ගියේ පැණි මයියොක්ක විකුණන හුරු බුහුටි මුදලාලි කෙනෙක් දිහාවට .දැකලා තියේද තම්බපු මයියොක්කා උණු පැණි වලින් පොඟවලා විකුණන්න තියෙනවා ? නැගෙනහිර ආසියාවේ මයියොක්කා වලට කියන්නේ කසාවා-kasava  කියලා . ලස්සනම වැඩේ මේ මයියොක්ක බේසමේ මී මැස්සො පිරිලා . කාටවත් ඒ ගැන වගක් නෑ . ඒ මේ කෑම ජාතියේ හැටි .කවුරුත් මයියොක්ක ගන්නවා මී මැස්සො එක්කම .මට තිබ්බ කුතුහලේ නිසා මම වරුවක් විතර එතන රැඳිලා මේ "බී හනි ඩිප්ඩ් මැනියොක් විත් බීස් " ගැන බලන් කෙල පෙර පෙර ඉන්නකොට මුදලාලි ටූත් පික් එකක ගහලා මයියොක්ක කෑල්ලක් මට රහ බලන්න දිලා ලස්සනට හිනාවෙලා තායි බාසාවෙන මොන මොනවද කියලා "ස්වාදිකා" කිව්වා .හම්මෝ ඒකෙ පැණි රහ .කරුමෙට මට තායි බෑ, එයාට ඉන්ග්‍රිසි බෑ . මාත් දෙතුන් වතාක් හිස නවලා දන්න එකම වචනේ වුන "ස්වාදිකා" කියලා ආයෙත් කියලා ස්තුති කලා .කොහොමත් තායිලන්තේදී ඔයවගේ අමුතු කෑම දැක්කම සාම්පල් රහ බලන එක මගේ අත් ඇරගන්න බැරි පුරුද්දක් වෙලා දැන් .


මයියොක්කා මුදලාලි පහු කරන් යනකොටම මෙන්න ආයිත් ස්ටිකි රයිස් තියෙනවා . ගමනේ අන්තිම වතාවටත් මට ස්ටිකි රයිස් එකක් කන්න දොල දුක පහල වුනා . මම ගැන දන්න බොස් දෙපාරක් නොහිතා ස්ටිකි රයිස් කප් එකකුත් අරන්දුන්න . ග්ලූටීන් රයිස්/Sweet Rice  කියලා තායිලන්තෙම තියෙන විශේෂ ඇලෙන සුලු හාල් වර්ගයකින්   බෙරි පැණි රස බත පිලියෙල කරන්නේ .ඊට පස්සේ කැමති විදියට ඒකට ටොපින් දානවා අඹ , කස්ටර්ඩ් , මිරිස් වගේ සැර ජාති එහෙම . දැනට මම දන්න විදියට අඹ හා කස්ටර්ඩ් ස්ටිකි රයිස් හරිම රහයි . නියම ක්‍රමේට නම් මේවා කෙසෙල් කොලේ ඔතලයි විකුනන්නේ . ස්වර්ණභූමි ගුවන් තොටුපොලේ තියෙනවා මිලට ගන්න ස්ටිකි රයිස් කප්ස් . කාට හරි එතැනින් ට්‍රාන්සිට් වෙන වෙලාවක වුනත් රහ බලන්න පුලුවනි .තායි සුපර් මාර්කට් වල  ග්ලූටින් රයිස් බෑග් තියේ .ඉන්ටර්නෙට් එකෙන් රෙසිපි එක බලාගෙන හදන්න පුලුවනි එයින් එකක් ගත්තොත් .මගේ ඉතින් ඔය වැඩි වැඩ නෑ නේ .ඒ නිසා බඩ පැලෙන්න ස්ටිකි රයිස් කෑවා බෝට්ටු ජැටියෙන්.

කඩචෝරු කාලා පොලේ රවුම් ගහලා ආයෙත් බෝට්ටුවෙන් අපේ ගමනාන්තේ වුන සපොන් තක්සින් වලට එනකොට දවල් එකහමාරයි . තව පැයකින් මගේ නවාතැනෙන් චෙක් අවුට් වෙන්න ඕනේ නිසා ඉක්මනින් නෝත් සැතොර්න් වලට යන්න හිතන් අපි දෙන්න ස්කයි ට්‍රේන් එකකට නැග්ග මගේ නවාතැනට කිට්ටු  සලේ ඩාන් -Sale Dane ඉස්ටේසමට යන්න . නොර්ත් ලයින්, සවුත් ලයින් කියලා තායි ලන්තේ ස්කයි ට්‍රේන් මාර්ග දෙකක් තියෙනවා. රේල්වේ ටිකට් එකේ පැහැදිලිව මේ ගමන් මාර්ග දක්වනවා .අපේ ගමනාන්ත ඉස්ටේසම සොයාගෙන එකට අදාල උතුරු හෝ දකුණු දුම් රියට යාමත් , ඉන්ටර්චේන්ජ් එකක තියෙනවද බැලීමත් වදගත් . කොහොමත් බොස්ටත් මටත් තියෙන ලෙඩේ තමයි මුන ගැහුනම කයිවාරු ගහන එක . අපි දෙන්නත් ආව කෝච්චියක නැගිලා සීට් දෙකක හොඳ හැටි වාඩි වෙලා ඔෆිස් කතන්දර වගයක් කියව කියව යද්දී කෝච්චිය ගමනාන්තෙට ඇවිල්ල තිබ්බා .ඒත් සලේ ඩාන් ඉස්ටේසම නෙවේ වෙන තැනක් එතකොට මතක්වුනේ වැරදි ස්කයි ට්‍රේන් එකේ නැගලා කයියගහන් ඇවිත් කියලා .කොටින්ම කිව්වොත් ඔක්කොම මිනිස්සු බැහැල ගිහින් ට්‍රේන් එක නවත්වලා එත් අපි කයිය නවත්වලා නෑ .රේල් වේ ගාර්ඩ් කෙනෙක් ඇවිත් අපි එලවනකන් මතක්වුනේ නෑ .කොහොමහරි ආයෙත් නියම ට්‍රේන් එකේ නැගිලා දෙන්න සලේ ඩාන් ගිහින් බැස්සා වෙලාවට .

ප\ලි
 ඔය කයිවාරු හා වැරදි කෝච්චි වල යාම නිසා මට එදා ෆ්ලයිට් මිස් වෙන්නත් ඉඩ තිබ්බා .මම නවාතැනට යද්දි එදාම රෑ මා එක්ක පිටත්වෙන්න හිටි අනික් යාලුවො නම් හවස තුන වෙනකනුත් එයාලගේ "ලාස්ට් මිනිට්  ශොපින් " ඉවර කරලා තිබ්බේ නෑ .මට ඉතින් එහෙම කරදර නැති නිසා ගමන් බෑග් දෙකත් අරන් තුන වෙද්දී ස්වර්ණභූමි ගුවන්තොටට ගිහින් අන්තිම කොනේ තිබ්බ ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයිති දොරටුවෙන් ඇතුල්වෙලා ඉක්මනට චෙකින් කරලා ආයෙත් කඩ පිල් සිරි නරඹන්න ගත්තා .මේකේ මූලික අරමුණ තමයි සමහර රස තායි කැම ජාති වල සාම්පල් රස බැලීම . එයිනුත් මගේ ආසම දේ ක්‍රිස්පි කොකනට් රෝල්ස් , වේලපු පලතුරු , පැනි, සීනි ,මිරිස්  මිශ්‍ර වියලි හාල් මැස්සො හා  රට කජුත් .සැහෙන්න සාම්පල් කාලා රහ බලලා ඉතුරු කරන් හිටි බාත් වලින් යාලුවො කීපදෙනෙක්ට තෑගි දෙන්නත් එයින් පාර්සල් කීපයක් අරන් , අන්තිම බාත් සීයෙන් කෝපි කෝප්ප දෙකකටත් වග කියලා හවස හතට පිටත්වුන ශ්‍රි ලංකන් ගුවන් යානයට නැගිලා තමයි මගේ සවාරිය නිමාවට පත්කලේ . 

රජගෙදර ගමන ගැන විශේෂ ස්තුතිය මගේ ( පරණ ) බොස්ට .එයා අපි එක්ක දැන් වැඩ නොකලත් තාමත් "අවර් බොස්" කියලා තමයි අපි කියන්නේ  .එකට වැඩ කල කාලේට වඩා දැන් ගොඩක් අගේ දැනෙන රාජකාරි ජීවිතෙන් එලියට ආවම ටිකක් අපි වගේම පිස්සු හිත හොඳ ලේඩි බොස් කෙනෙක් .