Showing posts with label සංචාරේ-Travel. Show all posts
Showing posts with label සංචාරේ-Travel. Show all posts

Tuesday, June 19, 2012

තුන්වැනි ලෝකෙට ගොඩබහින හදිසිකාරයෝ


ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටටේ පිටවීමේ පර්යන්තයට වෙලා මගේ ගුවන් යානයට නැගීමට නිවේදනය නිකුත් කරනතෙක් බලා හිටියා . නේපාලය බොහෝ යුරෝපා රටවඉන් එන සංචාරකයන්ගේ  පරාදීසයක් වුනත් නොයෙක් සමාජ ,ආර්ථික හා දේශපාලන කරුණු නිසා භෞතික සංවර්ධනයනම් සිද්දවෙන්නේ ඉබි ගමනින් . ඒ නිසා ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ විසාල පහසුකම් නෑ . තියෙන එකම පිටවීමේ පර්යන්තය නිතරම ජනාකීර්ණ වෙලා , තදබදයෙන් , දූවිලි , දාඩිය හා රස්නයෙන් යුක්තයි .වායු සමන පහසුකම් අල්පයි . තත්වය දරුණු වෙන්නේ නරක කාලගුණ තත්වය නිසා ගුවන් යානා ගොඩ බැහීම ප්‍රමාද වීමත් එක්ක .එදත් ඒ වගේම දවසක් . දිල්ලිය බලා යන ජෙට් එයාර්වේස් ගුවන් යානය ගොඩ බෑම ප්‍රමාද වග නිවේදන නිකුත්වුනා. දිල්ලියේ සිට බොහෝ යුරෝපා ගමනාන්ත වෙත ලඟාවීමට සිටි මගීන් නොසන්සුන් .ඒ අතරින් උස් හඬින් බැන වදින සුදු ජාතික කාන්තාවක් දිහා හැම මගියෙක්ගෙම අවධානය යොමු වුනා .ඇය අතේ තිබුණේ ඇමරිකානු ගමන් බලපත්‍රයක් . ඉන්ග්‍රිසි බසෙහි ඇති එෆ් වර්ඩ්ස් - F words  පාවිච්චි කරමින් ඇය නේපාලයට බැන වැදුනා ගුවන් යානා ප්‍රමාදය , පිටවීම් පර්යන්තයේ අඩු පාඩු , දූවිලි ,දාඩිය ගැන මැසිවිලි කියමින් .

පලවෙනි ලෝකේ රටකින් ආව ඇය අනිවාර්යෙන්ම නේපාලයේ සුන්දරත්වය දකින්න හිමාල මායිමේ අන්නා පූර්ණා බේස් කෑම්ප් යන්න ඇති , පොකරා විල් බලන්න ඇති , කත්මන්දු නුවර සැරි සරමින් එහි සංස්කෘතික උරුම දකින්න ඇති . තමන් ජීවත්වෙන රටට වඩා බොහොම අඩු වියදමින් කෑම ,බීම නවාතැන පහසුකම් ලබාගෙන සතියක් වත් මේ නොදියුණු රටේ සිරි විඳින්න ඇති .එහෙම දවස් කීපයක් හිටි මනුස්සයට එකපාරටම පැය බාගයක් ගුවන් යානය ප්‍රමාද වෙනවා කියලා දැනගත්තම ඉන්ග්‍රිසි බාසාවේ තියෙන එෆ් අකුරේ කුණු හරුප වලින් නේපාලයට බනින්න තියාගත්තේ මොන හේතුවක් නිසාද මන්දා .මුලු සතියක් ගෙවන්න නේපාලේ හොඳයි අන්තිම පැය බාගෙදී නරකයි .

මට හිතෙන්නේ මේ තමා සංවර්ධිත ලෝකේ ඉපදිච්ච හෝ වඩා හොඳ ආර්ථික අවස්ථා සොයාගෙන සංවර්ධිත ලෝකෙට තුන්වෙනි ලෝකෙන් සංක්‍රමණය වෙලා ගිය බහුතරයක් පිරිසගේ සිතුවිලි යන අත . ලංකාවත් ඇතුලු තෙවෙනි ලොව රටවල් බොහොමයක සංවර්ධන විෂමතා , දූෂණය , වංචා ,ප්‍රමාදය ,දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා . ඒ නිසා බොහෝ අකටයුතු වෙනවා .මේ සිස්ටම් එක නුහුරු සංවර්ධිත ලෝකෙන් එන කෙනෙක්ට මේව එක්ක ගැටෙන්න අමාරුයි බව ඇත්ත .නමුත් සමහර අවස්තා වල පවතින තත්වය එක්සැජරේට් කරලා තමුන් සංචාරයට හරි , නෑ සිය පිරිවර දකින්න හරි එන තුන්වෙනි ලෝකේ රටවල් වලට නොසෑහෙන්න මේ මිනිස්සු ගරහන්නේ ඇයි කියන එක මට තේරුම් ගන්න බෑ .කොටින්ම ඉන්ටර්නෙට් ටිකක් ස්ලෝ වුනත් , බැංකුවක පෝලිමේ ඉන්න සිද්ද වුනත් ,  බස් එකක් ප්‍රමාද වුනත් මුව නොසෑහෙන්න බනින විවේචනය කරන එක  මේ අයගේ සිරිතක් .සංවර්ධිත කුල්ටූර් රටවල් වලින් ගොඩ බැහැලා දේශීයත්වය , පරිසරය විඳින්න කියලා ලංකාව වගේ තුන්වෙනි ලෝකෙට එන මේ අයට ටිකක් ස්ලෝ ඩවුන් වෙන්න බැරි ඇයි ? ඇයි එහෙනම් මේ දූවිලි පිරුණ කිසි කමකට නැති රටවල් වලට නිවාඩුවට එන්නේ ?

රාජකාරිය වෙනුවෙන් ලංකාවේ , අප්‍රිකාවේ හා ආසියාවේ බොහෝ දුෂ්කර පැති වල ඇවිදින්න හා ටික කාලයක් ජීවත්වෙන්න වුන මට නම් කියන්න තියෙන්නේ මේ කුල්ටූර් පන්තිය හිතන තරම් තුන්වෙනි ලෝකේ රටවල් කලු යක්කු නොවෙන බව .ඇත්තටම තුන්වෙනි ලෝකේ දේශීයත්වය විඳිනවා කියන්නේ කොට කොට යන සෙනග පිරුණ බස් එකක , ලොරි බාගෙක , මඩ වලවල් පිරුණ පාරක , දූවිලි , වියලි හුලං එක්ක .තේ කහට එකක් හරි චායේ එකක් හරි බීලා , ටුක් ටුක් රියදුරො එක්ක හෙට්ටු කරලා ,ආණ්ඩුවේ කන්තෝරුවක රස්තියාදු වෙලා  බලන එක .මොකද ඒ රටේ මිනිස්සු හැම දාම ජීවිතේ ඔය කියන දුක එහෙම නැත්නම් කටුව කන නිසා . ඒත් ඒ මිනිස්සුත් ජීවත්වෙනවා ඔය ඔක්කොම එක්ක . 

ඔය හේතුව නිසා මම නම් පුලුවන් තරම් මහන්සිගන්නවා ලොකේ මොන රටට ගියත් එතැන මගේ ගම රට කියලා හිතලා ලැබෙන පහසුකම් උඩ ජීවත් වෙන්න . 

Sunday, April 15, 2012

ග්‍රෑන්ඩ් පැලස් බෝට්ටු සවාරිය


සිලොම් වීදි දිගේ රස්තියාදු වුන තායිලන්ත රාජකාරි කටයුත්ත අවසන්වෙන දවසේ මට එක දවසක වගේ නිවාඩුවක් ලැබුණා .එදා සෙනසුරාදාවක් .එදිනම හවස හතට විතර ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මම ලංකාවට පැමිණිය යුතුව තිබුණා . හතට ගුවන් යානයට නගින්න නම් මම හවස තුනහමාරටවත් ගුවන්තොටට යායුතුයි .ඉතින් මේ ඔක්කොම කල්පනා කරලා ඉතුරුවුණ සෙනසුරාදා නිවාඩු දවසින් උපරිම ප්‍රයෝජන ගන්න මම හිතුවා .මගේ පරණ බොස් කැමත්තෙන්ම එකඟ වුනා මාව නිවාඩු දවසේ ඇවිදින්න එක්ක යන්න . මට ඉතුරුවෙලා තියෙන වෙලාව ගැනත් හිතලා එයා යෝජනාකලේ ග්‍රෑන්ඩ් පැලස් එක බලන්න යන්න . මාත් එකපයින්ම කැමති වුණා.


ග්‍රෑන්ඩ් පැලස් කියන්නේ තායිලන්ත රාජකීය පවුල කාලයක් තිස්සේ වාසය කල නිවහන. රාජ්‍යත්වය කියන එක ආණ්ඩුක්‍රම සංකල්ප වලින් තුරන් වෙලා යන මේ කාලේ තාමත් තායි වැසියන් තමන්ගේ රජතුමාට දෙවියන්ට වගේ සලකනවා ,ගරු කරනවා. තමන්ගේ රට කින්ඩම් ඔෆ් තායිලන්ඩ් කියලා හඳුන්වන තායි ජාතිකයන්ගේ රජයේ ප්‍රධානියා, හමුදා ප්‍රධානියා හා බුදු දහමේ ආරක්ෂකයා හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පැවරිලා තියෙන්නේ රජුට .දැනට රාජ්‍යත්වය දරන්නේ නව වෙනි රාමා රජතුමා .වර්තමාන තායි  රජ පවුල දැන් මේ නිවහනේ නොහිටියත් බොහෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් මේ පරිශ්‍රය යොදාගන්නවා .

ග්‍රෑන්ඩ් පැලස් රජගෙදර පිහිටලා තියෙන්නේ Chao Phraya ගං ඉවුරේ. නරඹන්නන්ට ව්වෘත වෙන්නේ දිනපතා උදේ 8.30 ඉඳලා හවස 3.30 වෙනකන් .මොනවහරි රාජ්‍ය උත්සව එහෙම පැවැත්වෙනවනම් මේ වෙලාවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා .අපි දෙන්නත් ග්‍රෑන්ඩ් පැලස් බලන්න යන්න උදේ උදෙන්ම පිටත්වුනා කාලෙ ඉතුරු කරගන්න ඕනේ නිසා . මම නැවතිලා හිටිය නෝර්ත් සැතෝර්න්-North Sathorn  වල ඉඳන් ග්‍රැන්ඩ් පැලස් යන්න පුලුවන් ලේසිම විදිය තමයි සපොන් තක්ෂින් කියන බෝට්ටු ජැටියට ගිහින් එතනින් මාලිගාව දිහාට යන බෝට්ටුවකට නැගලා ගඟ දිගේ යන එක .සපොන් තක්ෂින් වලට  ස්කයි කෝච්චියෙනුත් යන්න පුලුවන් වුනත් අපි දෙන්න තීරණය කලා ටැක්සියක නැගිලා යන්න .ලොකු මගී ප්‍රවාහන  බෝට්ටු සියගනනක්  මේ ගඟ දිගේ ප්‍රවාහන සේවාවල නිරත් වෙනවා . ටැක්සි ,බස් ,ස්කයි ට්‍රේන් වගේම බෝට්ටුත් තායිලන්තේ මගී ප්‍රවාහනයට ලොකු මෙහෙයක් කරනවා .බාත් පන්සීයක් දීලා බෝට්ටු ටිකට් ගත්තු අපි දෙන්න අපේ බෝට්ටුවට ගොඩ වෙලා මුලින්ම කලේ රජගෙදර ගාව බහින ජැටියේ නම සොයාගන්න එක .තායි ජාතිකයො වැඩිය ඉන්ග්‍රිසි කතා කරන උදවිය නෙවේ ,ඒ නිසා මෙහෙම ගමනක් යද්දී හොඳම දේ තායි බසින් අපිට උවමනා තැන් වල නම ගම විස්තර ලියවගෙන මැප් එකකුත් අරන් යන එක .

ගඟ දිගේ විනාඩි හතලිස්පහක විතර බෝට්ටු ගමනේ මම අවට සිරි නැරඹුවා.ගඟ දෙපැත්තේම ඉවුරු වල හිල්ටන් වගේ ප්‍රසිද්ධ සංචාරක සමාගම් වලට අයිති විසාල සුව පහසු හෝටල් ඉදිවෙලා තියෙනවා .ඒ වගෙම ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ගොඩනැගිලිත් තියෙනවා .ගොඩක් හෝටල් වල ඒ අයටම වෙන් වුන බෝට්ටු සේවාවනුත් තියෙනවා . ගඟ මැදින් විසාල බෝට්ටු දහයක් පහලවක් වේගෙන් ඇදිලා යාම සුලබ දසුනක් . මේ අතරමග වට් අරූණ් -Wat Arun වගේ සංචාරකයන් නිතර යන එන පංසල් එහෙමත් තියෙනවා .

අපේ ගමනාන්තය වුන රජගෙදර ජැටියෙන් බැස්සා කියමුකෝ .එතැනම තරමක ලොකු මාර්කට් එකක් .අඹ ,වරකා ,මැංගුස් ,දූරියන් ,කෙසෙල් වගේ පලතුරු වෙලෙන්දො, තායි රයිස් ඇන්ඩ් කරි විකුනන අවන්හල් , ඉඟුරු ,සුදුලූණු වගේ කුලුබඩු වෙලෙන්දො ,ස්ටිකි රයිස් , පැණි මඤ්ඤොකා වගේ රස කැවිලි කඩ වලින් පිරිලා .ගමේ පොල වගේ .එතැන දැක්කම රජ ගෙදර  බලන එක මට අමතකම උනා .හරියට කවදාවත් නොකාපු කෑමක් දැක්ක වගේ වරකා විකුනන වෙලඳන් අම්මකෙනෙක් ගාවට ගිහින් බාත් හතලිහක් ගෙවලා වරකා ග්‍රෑම් 100 ක් ගත්ත ඉස්සෙල්ලම . එතැනින්ම අඹ ගෙඩි දෙකකුත් කපලා ගත්තා .වරකා හරි රහයි පැනි බේරෙනවා . මග දිගට කකා යන්න පුලුවන් විදියට පොලිතින් කවරෙක දාලා පාර්සල් කරලා ටූත් පික් එකකුත් එක්ක දෙන්නේ .මම අඹ වරක බෑග් දෙකත් උස්සන් තායි රයිස් ඇන්ඩ් කරි තියෙන තැනට ගියා .අපේ ටේක් අවේ කඩ වගේ කෑම ලොකු දීසි වලට බෙදලා . ලොකු දැල්ලො උයලා , තව එකක් එක සී ෆුඩ් , එලවලු ජාති හැම කරි එකකටම හොඳට ඉඟුරු දාලා තියෙනවග පෙනුනා .තමන්ට කැමති කරි වලින් බෙදව ගන්න පුලුවනි . මාර්කට් එකේ මට තව ඇවිදින්න දුන්නොත් රජගෙදර බලන්න වෙන්නේ නැති බව තේරුම් ගිය මගේ බොස් මාවත් අතින් ඇදන් ඉක්මනට රජගෙදර දිහාවට එක්කන් ගියේ ආයේ එනගමන් පොලේ රවුම් ගහමු කියලා . බොස් කෙනෙක්ගේ වටිනාකම .....හැම තිස්සේම අපි හරි මගට දානවා ...

රජ මාලිගාවට යන පාර දෙපැත්තෙත් කඩ පේලි ඒවයේ විසිතුරු බඩු ,කෑම ජාති විකුණනවා , වැඩිය ඒ තැන් වල සුනංගු වෙන්න බැරි නිසා අපි ආයේ එනකොට නවතින්න කොකනට් අයිස්ක්‍රීම් විකුණන පොඩි කඩයක් ඇහැ ගහගෙන ඉක්මනට මාලිගාවට ගියා .

මාලිගා පරිශ්‍රය බලන්න විදේශිකයෙක්ට අවසර පතක් විකිනෙන්නේ තායි බාත් 400 කට . බාත් අටසීයක් දීලා මගේ බොස් මටත් එක්ක ටිකට් ගත්තා .මේ මාලිගා පරිශ්‍රය ඇතුලේ වැදගත්ම තැනක් තමයි එමරල්ඩ් බුද්ධ එහෙම නැත්නම් වට් ප්‍රා -Wat Pra කියන පන්සල. ඒක රජ මාලිගාව ඇතුලෙම තියෙන රාජකීය පන්සල වගේ .තායි රජවරුන්ට බුදු දහමේ උන්නතිය ගැන වැඩ කිරීමට විශේෂ වගකීමක් තියෙන නිසා කවුරුත් ඒ ගැන උනන්දුයි .ඒ නිසා වෙන්න ඇති මාලිගා බිමේම පන්සලක් තියෙන්නේ .මේ එමරල්ඩ් බුද්ධ පන්සල බොහොම ඉපැරණි බලගතු තැනක් හැටියට තායි ජාතිකයන් හඳුන්වනවා .නිවාඩු හා විශේෂ ආගමික උත්සව කාල වල මෙතැන පුද පූජා කරන සෙත් ශාන්ති පතන ජනයාගෙන් පිරිල ඉතිරිලා යනවලු . මාලිගාවට ඇතුල්වෙන අවසර පත් දෙක පෙන්නුවහම අපිට ලොකු නෙලුම් මල් මිටියකුත් , හඳුන්කූරුත් ,රන් පත්‍රත් ( ගෝල්ඩ් ලීෆ් ) ලැබුණා පන්සල වැඳපුදාගන්න යන්න .කාටවත් කොට ඇඳුම් ඇඳන් මේ පන්සලට ඇතුල්වෙන්න අවසර නෑ .ශෝර්ට්ස් ඇඳන් එන අයට ටිකට් කවුන්ටරෙන් බාත් 500 කට දිග සාලුවක් ගන්න වෙනවා.

ලොකුම දේ මේ පන්සල් වල සෙරෙප්පු සපත්තු නැති වේවි කියලා බය නෑ .අමතර ගාස්තු නැතිව මාලිගාවට ඇතුල් වෙන ටිකට් එකෙන්ම සෙරෙප්පු සපත්තු පරිස්සම් කරන සේවයත් දෙනවා . තායි වැසියො හනුමාන්ව අදහනවා .ස්වර්ණභූමි ගුවන්තොටේ තියෙන මහ විසාල හනුමාන් ප්‍රථිමා වල රහස මට තේරුම් ගියේ පන්සලට ඇතුල් වුනහම . ඒ වගේ හනුමාන් ප්‍රථිමා  පන්සලේ වටේ තියෙනවා . අපි නෙලුම් මල් අරගෙන ප්‍රධාන විහාරගෙය වුන බොහෝ අනුහස් අති ඉපැරණි එමරල්ඩ් බුද්ධ ප්‍රතිමාව වැඳගන්න ගියා ඉස්සෙල්ලම . ගෙනියන නෙලුම් මල් මිට පිලිම ගෙට  ඇතුල් වෙන්න කලින් තියෙන ලොකු තඹ වතුර භාජනෙකට දාලා එයින් ඔලුවට අත පයට පැන් ඉහගෙන මල් මිටි එතැනම තියෙන බඳුනට විසි කරලා නිශ්ශබ්දව විහාරගෙට ඇතුල්වීම තමයි සිරිත .ඇතුලේ දාස් ගාණක් සෙනග වාඩිවෙලා හිටියත් බොහොම සංවරයි , කිසි සද්දයක් නෑ . මෙතන ඡායා රූප ගැනීමත් තහනම්


මේ ජේඩ් වලින් හදාපු ඉපැරණි බුදුරුව සියවස් පහක් විතර පැරණියි .මේකේ ඉතිහාස පුරාවෘතය ඉන්දියාවේ නාගසේන සමය තෙක් දිවෙනවා . ටිකවෙලාවක් ඉඳගෙන් හිටි අපි දෙන්නා බුදු මැදුරෙන් එලියට ඇවිත් හඳුන්කූරු , ඉටිපන්දම් පත්තුකලා .එතැනම රන් ආලේපිත කුඩා බුද්ධ ප්‍රථිමා තියෙනවා .ඒවයේ අර රන් පත්‍ර අලවා යම් ප්‍රාර්ථනාවක් කලයුතුයි .මාත් මගේ අතේ තිබුණ රන් පත්‍ර බුදුරුවක අලවලා ප්‍රාර්ථනාකලේ ආයෙත් තායිලන්තේ සවාරි ගහන්න ඉඩ ලැබෙන්න ක්‍රමයක් පහලවෙන්න කියලා .අපි විහාරගෙයි සිතුවම් , බලන්නත් ගියා . හැම තැනම රාමායණය සිතුවම් කරලා . චිත්‍ර , ප්‍රථිමා මේ සියල්ලේම රන් ආලේපිතයි . මෙහි තියෙන රන් ආලේපිත විසාල ස්ථූපය ලංකාවෙන් කෙරුව පරිත්‍යාගයක් . තායි බුදු දහම හා සංස්කෘතිය එක්ක ඉන්දියාවේ තියෙන නෑකම වෙනම විමසිය යුතු වෙනවා .ව්‍යාපාර කටයුතු වල නිරතවෙන පවුල් පිටින් පරම්පරා දෙක තුනක්ම තායිලන්තේ පදිංචිවෙලා ඉන්න  ඉන්දීය ජාතිකයන් මෙහි සුලබයි .

එමරල්ඩ් පන්සල දැල්ක බලාගත්තු අපි දෙන්න මාලිගා පරිශ්‍රය බලන්න ගියා . කියලා නිම කරන්න බැරි තරම් විසාල අලංකාර ගොඩනැගිලි රැසක් මෙහිතියෙනවා විවිධ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට පාවිච්චි වෙන . රජතුමාගේ නිල කාර්යාලයත්  තියෙන්නේ මෙතැන . විසාල තණබිම් , මනාව කපා මට්ටම් කල ගස් වලින් යුතු උයන් මේ බිමේ තියෙනවා .හොඳම දේ තමයි මේ සිරි බල බල බංකුවක් උඩට වෙලා නිවී සැනසිල්ලේ ඉන්න එක . මේ බිමේ පවිත්‍රතාව නම් හරිම ඉහලයි . දාස් ගානක් සෙනග ගැවසෙන තැනක බාත් 400ක් ( ඩොලර් 13 ක් විතර ) අය කරලා දෙන සේවය නම් බොහොම වටිනවා .ටික වෙලාවක් මාලිගාවේ රැඳුන අපි දවල් දොලහ වෙනකොට ආයෙත් එන්න පිටත්වුනා . 


ඒත් එහෙම එකපාරටම එන්න පුලුවනිද ? අර කොකනට් අයිස්ක්‍රීම් විකුණන පොඩි කඩේටත් යන්න එපැයි . එතන හරි හුරු බුහුටි තැනක් .ලී කොට වලින් හැදුව මේස තියෙනවා ආගන්තුකයන්ට වාඩි වෙන්න. ෆ්‍රෙෂ් ඕකිඩ් මල් බඳුන් වලින් මේස සරසලා හැම මේසෙකටම පේපර් සර්වියට් එහෙමත් තියලා . ඉස්සෙල්ලම අපි දෙන්න කුරුම්බ ගෙඩි දෙකක් බිව්වා මහන්සි යන්න . තායිලන්තේ කුරුම්බා පිලිගන්වන ක්‍රමේ හරි ලස්සනයි .කුරුම්බා ගෙඩි  වේලිලා දුඹුරු පාට වෙලා නෑ . ඒවා කපලා ෆ්‍රිජ් එකක දාලා තියෙන්නේ .ගණුදෙනු කාරයො ඉල්ලුවහම ෆ්‍රිජ් එකෙන් අරන් ඇස්ස කපලා හැන්දකුයි බීම බටේකුයි එක්ක දෙනවා .පාරේ සමහර ජංගම වෙලෙන්දො කුරුම්බා කපලා ලොඳත් එක්ක ප්ලාස්ටික් කප්ස් වලට දාලා පියන් වලින් වහලා අයිස් කැට බාජනේක දාලා විකුණනවා . රස්නේ දවස් වලට බාත් විස්සක් දිල එයින් එකක් බිව්වම හොඳ ගනන් . 

කුරුම්බ බොන අතරේම අපි කොකනට් අයිස්ක්‍රීම් ඕඩර් කලා .මේ අයිස්ක්‍රීම් හදන්නේ පොල් වතුරෙන් .පිලිගන්වන්නේත් අපූරු ක්‍රමේකට .හොඳට සුද්ද කරලා කාර්වින්ග් පිහියකින් ගාණට ලොඳ හූරපු පොල් කටුවකට අයිස්ක්‍රීම් ස්කූප් තුනක් විතර දානවා .ඊට පස්සේ අපිට කැමති ටොපින් එකකුත් දාලා දෙනවා .මම ලොකු බෝංචි ඇට , තම්බපු බඩ ඉරිඟු ,වෙලලා කෑලි කැපුව කුරුම්බා ලොඳ , තව රතු පාට පලතුරු වර්ගයක් දාල මගේ කොකනට් අයිස්ක්‍රීම් එක ඉල්ලගත්තා . එතකොට මට මතක්වුනේ පිලිපීන් වලදී රස බැලුව "හලෝ හලෝ -Halo Halo " කියන කෑම .හලෝ හලෝ කියන්නේ අයිස්ක්‍රීම් වලට නූඩ්ල්ස් , සොයා බෝංචි ඇට , බඩ ඉරිඟු ඇට , මෑ ඇට , වගේ ධාන්‍ය එහෙම දාලා දෙන කෑමක් .එයින් කප් එකක් ඉවර කරන්න ලේසි නෑ . තායිලන්තේ ගියොත් කොකනට් අයිස්ක්‍රීම් රස විඳින්න අමතක කරන්න එපා . හරි රස කෑමක් .මම නැවතිලා හිටි තැන තිබුණ කොකනට් අයිස්ක්‍රීම් නම් මේ පාරේ කඩේ අයිස්ක්‍රීම් තරම් රහ නැති වග කියන්න ඕනේ .


කොකනට් අයිස්ක්‍රීම් එහෙම සප්පායම් වෙලා අපි ආයේ බෝට්ටු  ජැටියට ආවා නෝත් සැතෝර්න් වලට යන්න . අපේ බෝට්ටුව පිටත්වෙන්න විනාඩි හතලිස්පහක් තියෙන නිසා අපි දෙන්න ආයිත් ජැටියේ පොලේ විසිතුරු බලන්න ගත්තා .ඒ ගමන මගේ හිත ගියේ පැණි මයියොක්ක විකුණන හුරු බුහුටි මුදලාලි කෙනෙක් දිහාවට .දැකලා තියේද තම්බපු මයියොක්කා උණු පැණි වලින් පොඟවලා විකුණන්න තියෙනවා ? නැගෙනහිර ආසියාවේ මයියොක්කා වලට කියන්නේ කසාවා-kasava  කියලා . ලස්සනම වැඩේ මේ මයියොක්ක බේසමේ මී මැස්සො පිරිලා . කාටවත් ඒ ගැන වගක් නෑ . ඒ මේ කෑම ජාතියේ හැටි .කවුරුත් මයියොක්ක ගන්නවා මී මැස්සො එක්කම .මට තිබ්බ කුතුහලේ නිසා මම වරුවක් විතර එතන රැඳිලා මේ "බී හනි ඩිප්ඩ් මැනියොක් විත් බීස් " ගැන බලන් කෙල පෙර පෙර ඉන්නකොට මුදලාලි ටූත් පික් එකක ගහලා මයියොක්ක කෑල්ලක් මට රහ බලන්න දිලා ලස්සනට හිනාවෙලා තායි බාසාවෙන මොන මොනවද කියලා "ස්වාදිකා" කිව්වා .හම්මෝ ඒකෙ පැණි රහ .කරුමෙට මට තායි බෑ, එයාට ඉන්ග්‍රිසි බෑ . මාත් දෙතුන් වතාක් හිස නවලා දන්න එකම වචනේ වුන "ස්වාදිකා" කියලා ආයෙත් කියලා ස්තුති කලා .කොහොමත් තායිලන්තේදී ඔයවගේ අමුතු කෑම දැක්කම සාම්පල් රහ බලන එක මගේ අත් ඇරගන්න බැරි පුරුද්දක් වෙලා දැන් .


මයියොක්කා මුදලාලි පහු කරන් යනකොටම මෙන්න ආයිත් ස්ටිකි රයිස් තියෙනවා . ගමනේ අන්තිම වතාවටත් මට ස්ටිකි රයිස් එකක් කන්න දොල දුක පහල වුනා . මම ගැන දන්න බොස් දෙපාරක් නොහිතා ස්ටිකි රයිස් කප් එකකුත් අරන්දුන්න . ග්ලූටීන් රයිස්/Sweet Rice  කියලා තායිලන්තෙම තියෙන විශේෂ ඇලෙන සුලු හාල් වර්ගයකින්   බෙරි පැණි රස බත පිලියෙල කරන්නේ .ඊට පස්සේ කැමති විදියට ඒකට ටොපින් දානවා අඹ , කස්ටර්ඩ් , මිරිස් වගේ සැර ජාති එහෙම . දැනට මම දන්න විදියට අඹ හා කස්ටර්ඩ් ස්ටිකි රයිස් හරිම රහයි . නියම ක්‍රමේට නම් මේවා කෙසෙල් කොලේ ඔතලයි විකුනන්නේ . ස්වර්ණභූමි ගුවන් තොටුපොලේ තියෙනවා මිලට ගන්න ස්ටිකි රයිස් කප්ස් . කාට හරි එතැනින් ට්‍රාන්සිට් වෙන වෙලාවක වුනත් රහ බලන්න පුලුවනි .තායි සුපර් මාර්කට් වල  ග්ලූටින් රයිස් බෑග් තියේ .ඉන්ටර්නෙට් එකෙන් රෙසිපි එක බලාගෙන හදන්න පුලුවනි එයින් එකක් ගත්තොත් .මගේ ඉතින් ඔය වැඩි වැඩ නෑ නේ .ඒ නිසා බඩ පැලෙන්න ස්ටිකි රයිස් කෑවා බෝට්ටු ජැටියෙන්.

කඩචෝරු කාලා පොලේ රවුම් ගහලා ආයෙත් බෝට්ටුවෙන් අපේ ගමනාන්තේ වුන සපොන් තක්සින් වලට එනකොට දවල් එකහමාරයි . තව පැයකින් මගේ නවාතැනෙන් චෙක් අවුට් වෙන්න ඕනේ නිසා ඉක්මනින් නෝත් සැතොර්න් වලට යන්න හිතන් අපි දෙන්න ස්කයි ට්‍රේන් එකකට නැග්ග මගේ නවාතැනට කිට්ටු  සලේ ඩාන් -Sale Dane ඉස්ටේසමට යන්න . නොර්ත් ලයින්, සවුත් ලයින් කියලා තායි ලන්තේ ස්කයි ට්‍රේන් මාර්ග දෙකක් තියෙනවා. රේල්වේ ටිකට් එකේ පැහැදිලිව මේ ගමන් මාර්ග දක්වනවා .අපේ ගමනාන්ත ඉස්ටේසම සොයාගෙන එකට අදාල උතුරු හෝ දකුණු දුම් රියට යාමත් , ඉන්ටර්චේන්ජ් එකක තියෙනවද බැලීමත් වදගත් . කොහොමත් බොස්ටත් මටත් තියෙන ලෙඩේ තමයි මුන ගැහුනම කයිවාරු ගහන එක . අපි දෙන්නත් ආව කෝච්චියක නැගිලා සීට් දෙකක හොඳ හැටි වාඩි වෙලා ඔෆිස් කතන්දර වගයක් කියව කියව යද්දී කෝච්චිය ගමනාන්තෙට ඇවිල්ල තිබ්බා .ඒත් සලේ ඩාන් ඉස්ටේසම නෙවේ වෙන තැනක් එතකොට මතක්වුනේ වැරදි ස්කයි ට්‍රේන් එකේ නැගලා කයියගහන් ඇවිත් කියලා .කොටින්ම කිව්වොත් ඔක්කොම මිනිස්සු බැහැල ගිහින් ට්‍රේන් එක නවත්වලා එත් අපි කයිය නවත්වලා නෑ .රේල් වේ ගාර්ඩ් කෙනෙක් ඇවිත් අපි එලවනකන් මතක්වුනේ නෑ .කොහොමහරි ආයෙත් නියම ට්‍රේන් එකේ නැගිලා දෙන්න සලේ ඩාන් ගිහින් බැස්සා වෙලාවට .

ප\ලි
 ඔය කයිවාරු හා වැරදි කෝච්චි වල යාම නිසා මට එදා ෆ්ලයිට් මිස් වෙන්නත් ඉඩ තිබ්බා .මම නවාතැනට යද්දි එදාම රෑ මා එක්ක පිටත්වෙන්න හිටි අනික් යාලුවො නම් හවස තුන වෙනකනුත් එයාලගේ "ලාස්ට් මිනිට්  ශොපින් " ඉවර කරලා තිබ්බේ නෑ .මට ඉතින් එහෙම කරදර නැති නිසා ගමන් බෑග් දෙකත් අරන් තුන වෙද්දී ස්වර්ණභූමි ගුවන්තොටට ගිහින් අන්තිම කොනේ තිබ්බ ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයිති දොරටුවෙන් ඇතුල්වෙලා ඉක්මනට චෙකින් කරලා ආයෙත් කඩ පිල් සිරි නරඹන්න ගත්තා .මේකේ මූලික අරමුණ තමයි සමහර රස තායි කැම ජාති වල සාම්පල් රස බැලීම . එයිනුත් මගේ ආසම දේ ක්‍රිස්පි කොකනට් රෝල්ස් , වේලපු පලතුරු , පැනි, සීනි ,මිරිස්  මිශ්‍ර වියලි හාල් මැස්සො හා  රට කජුත් .සැහෙන්න සාම්පල් කාලා රහ බලලා ඉතුරු කරන් හිටි බාත් වලින් යාලුවො කීපදෙනෙක්ට තෑගි දෙන්නත් එයින් පාර්සල් කීපයක් අරන් , අන්තිම බාත් සීයෙන් කෝපි කෝප්ප දෙකකටත් වග කියලා හවස හතට පිටත්වුන ශ්‍රි ලංකන් ගුවන් යානයට නැගිලා තමයි මගේ සවාරිය නිමාවට පත්කලේ . 

රජගෙදර ගමන ගැන විශේෂ ස්තුතිය මගේ ( පරණ ) බොස්ට .එයා අපි එක්ක දැන් වැඩ නොකලත් තාමත් "අවර් බොස්" කියලා තමයි අපි කියන්නේ  .එකට වැඩ කල කාලේට වඩා දැන් ගොඩක් අගේ දැනෙන රාජකාරි ජීවිතෙන් එලියට ආවම ටිකක් අපි වගේම පිස්සු හිත හොඳ ලේඩි බොස් කෙනෙක් .








Saturday, March 3, 2012

සිලොම් රෑ කඩ වීදි දිගේ -තනියෙන් රස්තියාදුව

මුල්ම දවසේ උදේ මගේ කාමරේ ජනේලෙන් එලිය බැලුවා

ලංකාවෙන් ටික දවසකට රාජකාරි වැඩකට නැගෙනහිර ආසියාවේ තායිලන්තය බලා යන්න වුනේ ගිය මාසේ .වෙනදා වගේ නෙවෙයි  රාජකාරි ගොඩක් මැද්දේ අසනීප වෙලා , යම් වැදගත් තීරණයක් ගන්න බැරුව අවිනිශ්චිතව  හිත නොසන්සුන් වෙලා  ඉන්න කාලෙක තමයි මේ ගමන යන්න වුනේ .මම රාජකාරි ගමන් බිමන් යන්න මොන තරම් ආස වුනත් මෙදා නම් රටින් පිටවුනේ බොහොම උදාසීන නොරුස්සනා ගතියකින් .යද්දීම මම හිතුවේ සංචාරකයන් පිනවන්න තියෙන අධි වේගෙන් සංවර්ධනය කරා ඇදෙන විසාල ගොඩනැගිලි , පාරවල් හා බොහොම අරුමෝසම් විදියට නාගරික වුන බැංකොක් නුවර මොනවා බලන්නද ?වගේ හැඟීමක්.දන්න කියන යාලුවො කීපදෙනෙක් මුණගැහීමට නියමිත බව දැනගෙන හිටියත් මම කල්තියාම තදින්ම හිතන් හිටියේ කොහේවත් ඇවිදින්න නොයා රාජකාරි ඉවර වුනාම මගේ කාමරේට ඇවිත් තනියම වැටිලා නිදාගන්නවා , පහුගිය කරදර අමතක කරලා ටිකක් විවේකෙන් ඉන්නවා වගේ අදහසක් .


ගමන ගියා කියමුකෝ .මගේ කාලසටහනේ විදියට උදේ අටහමාරට වැඩ පටන් අරන් ඉවර වෙන්නේ හවස හතට විතර .වැඩ ඉවර වුන ගමන් කා එක්කවත් කිසි කතාවක් නෑ මම මගේ නවාතැනට එනවා .ඇවිත් ටිකක් ඉන්ටර්නෙට් බලලා තේකක් බීලා කෑවයින් නොකෑවයින් නිදාගන්නවා .දවස් දෙකක් ඔහොම ගෙවෙන්න ඇති .තුන්වෙනි දවසේ මගේ පරණ බොස් ගෙන් කෝල් එකක් ආවා මුණගැහෙන්න .එයා දන්නවා මම ඒ වෙනකොට මෙහේ ඇවිත් කියලා . තනිවෙලා ඉන්න ඕනෙ වුනත් මම අන්තිමේදි කැමති වුනා  මගේ පරණ බොස්  මුණ ගැහෙන්න .රෑ අටට විතර එයා ආවා මාව බලන්න මම නැවතිලා හිටිය නෝර්ත් සැතෝර්න් -North Sathorn වලට .ඇවිත් මාව ඇදන් ගියා ඒ ආසන්නයේම රෑකඩ වීදියක තියෙන ස්ටාර් බක්ස් කෝපි හලකට . ලොකු Cafe Latte දෙකකකුත් ඕඩර් කරලා වීදුරු දොර ගාව තිබුණ සුව පහසු පුටු දෙකක වාඩි වෙලා  දෙන්න කයිය ගහන්න පටන්ගත්තා . කෝපි  හලේ ලොකු වීදුරු දොරවල් වලින් මම පාර දිහා බැලුවමයි දැක්කේ කෑම හදන ,විකුණන ,යන එන උදවිය වාඩිවෙලා කෑම කන , තැනින් තැන  ඇඳුම් ,පාවහන් ,අරුමෝසම් බඩු විකුණන ,අවන්හල් වලින් පිරුණ  ජනාකීර්ණ වීදියකට අපි ඇවිල්ල ඉන්න වග .කුතුහලෙන් අහල පහල බලන මාව තේරුම්ගත්තු මගේ බොස් කිව්වේ

 "මේ සිලොම් නයිට් මාර්කට්-Silom Night Market   එක .මෙහේ මේවගේ නයිට් මාර්කට් ගොඩක් තියෙනවා .වෙලාවක ඇවිදලා බලන්න .බාර්ගේන් කරලා සපත්තු එහෙමත් ගන්න පුලුවනි . අඩු ගාණට තායි කෑම කන්නත් පුලුවන් පාරේ කඩවල් වලින්" කියලා

 .තව ටිකක් කියව කියව ඉඳලා තව අවන්හලකට ගිහින් ෂවර්ම දෙකකුත් කාලා ආයේ නෙස්කැෆේ බීලා එනකොට රෑ එකොලහට විතර . පරණ බොස් එක්ක නිදහසේ කතා කරලා  කෝපී බීලා හිනා වෙන්න ලැබුණ නිසා ද මන්දා හිතට ටිකක් සැහැල්ලුවක් දැනුනා .ඊලඟ දවසේ   වැඩ ඉවර වුන හැටියේ ගොලු බෙල්ලෙක් වගේ කාමරේට රිංගන්නේ නැතුව කැමරාවත් අරන් රෑ කඩ වීදියේ රවුමක් ගහන්න මට හිතුණා .

පහුවෙනිදා හවස් යාමේ මම නවාතැනේ ඉඳලා ඇවිදගෙන ගියා සිලොම් රෑ කඩ වීදියට .පාර පටන්ගන්නේ නම් තායි මසාජ් සෙන්ටර්ස් හා මල් කඩ වලින්.මට තිබුණ කුතුහලය නිසා ටිකක් නැවතිලා මසාජ් සෙන්ටර්ස් දිහා බලන් හිටියා .ගණුදෙනු කාරයන්ව පිලි අරන් ඔවුනට උවමනා සේවාවන් ලබාදෙන්න කාන්තාවන් ඉන්නවා . ෆූට් මසාජ් ,හෙඩ් මසාජ් ගොඩක් ජනප්‍රිය බව පේනවා වීදුරු වලින් ඇතුල බැලුවම ගොඩක් තැන් වල ෆුට් මසාජ් ගන්න ක්ලයන්ට්ස්ල දකින්න පුලුවනි .මල්කඩ වල මල් වැහි වැහැලා වැඩියක් ක්‍රිසන්තිමම් , කානේෂන් හා රතු රෝස .එතකොට මතක් උනේ එදා පෙබරවාරි දාහතරවෙනිදා කියලා .

ඉස්සරහට ඇවිදගෙන එද්දී පාර දෙපැත්තෙම ජංගම රෑ කඩවල් පේලියක් ඈත පාරේ කෙලවර වෙනකන් . මේ ජංගම රෑ කඩ ,පොඩි තල්ලු කරන් යන්න පුලුවන් කරත්ත වල තමයි දාග්න ඉන්නේ .ගෑස් ලිප් , වතුර උණු කරන බොයිලේරු ,තෙල් තාච්චි, එහෙම තියාගෙන බොහොම යුහුසුලුව කෑම උයන පාරේ කෝකියො බොහොමයි . මේ කෑම ඉවිල්ල ගැන  තියෙන කුතුහලය නිසා රෑ කඩ තට්ටු කීපයක් ගාව නැවතිලා  විපරම් කරන්න මට හිතුනා . වැඩියක් රෑ කෑම කඩ වල වෙලඳාම කරන්නේ ගෑණු උදවිය .එහෙම නැත්නම් මේවා පවුලේ අය එකතුවෙලා කරන බිස්නස් .අයිස් බන්දේසි වල අඩුක්වෙලා ගණුදෙනු කාරයො එනකන් ඉන්න ඉස්සො,දැල්ලො,කකුලුවො ,ගල්මාලු , ලොකු වතුර හට්ටි වල පැහෙන නූඩ්ල්ස් , සුවඳ පතුරවමින් දුම් දාන සුප් බාල්දි හා සෝයා කිරි , එවෙලෙම සෝස් දාලා කෑමට දෙන සුෂී, ගිනි අඟුරු ලිප් උඩ බැදෙන බාබකිව් චිකන් ,ෆිශ් , ස්ටීක්ස් මේ  රෑ කෑම කඩ වල බහුලයි . මේ චෙෆ් නෝනලා ,මහත්වරු හරි කඩිසරයි . මම බලන් හිටියා එක තැනක බොහොම සීරුවට  දැල්ලො සුද්දකරලා තම්බලා ,සෝස් වර්ගයක් දාලා ඒකටම ගෝවා වගේ කොල ජාතියක් හීනියට ලියලා ,තව මොනවද ජාතියක් එක්ක කලවම් කරලා ගණුදෙනු කාරයෙකුට දෙන්න ගතවුනේ විනාඩි පහක් විතර.  කෑම හදන හැමකෙනෙක්ම අත් වලට ග්ලවුස් දාලා , ඒප්‍රන් ඇඳලා , සමහරු ඔලුවට තොප්පි තාලා මුකවාඩම් බැඳලා පිරිසිඳුවට ඉන්නවා.රෑ කෑම තට්ටුව අසලින්ම කුඩ සවි කරලා  ප්ලාස්ටික් මේස පුටු දාලා තියෙනවා . කැමති උදවියට කෑම ඕඩර් කරලා එතනම ඉඳන් රස බලලා යන්න පුලුවනි .ගොඩාක් තායි හා විදෙස් ජාතිකයො මේ රෑ කෑම කඩ ගාව ඉඳන් කෑම කනවා
වීදියේ කෑම රස බලමින්


කෙලි පැංචියි අම්මයි තාත්තයි

.මාත් ෆොටෝ ගහන ගමන්ම ජංගම කරත්තකින්  තායි පපායා සැලඩ් එකකුයි ,බාබකිවු චිකන් එකකුයි , එක්ක ප්‍රයිඩ් රයිස් ඕඩර් කරලා තව ටිකක් අහල පහල සිරි නැරඹුවා .ලංකාවෙත් ජංගම රෑ කෑම හල් ප්‍රකට වුනාට  මේ තැන් වල තියෙන පිරිසිඳුකම හා කඩිසරකමත් , ගණුදෙනු කාරයන්ට දක්වන සුහදශීලී කමත්   අතින් නම් අපිට ඉගෙන ගන්න ගොඩක් දේ තියෙන වග මට හිතුනේ . කැමති කෙනෙක්ට බියර් එකක් වුනත් බොන්න පුලුවනි ජංගම අවන්හල් වලින් . ඒ අහල පහල තියෙනවා ජංගම කඩ වලට සේවය සපයන තැන් .ඒවායින් තමයි පිඟන් හෝදන්න ඕනේ වතුර ,  වැඩිපුර ආහාර ස්ටොක් කරන්න ඉඩ එහෙම ලබා දෙන්නේ . හැම කෑම කඩයක් ගාවම ඉසුසු -Isuzu  කැබ් එකකුත් තියෙනවා . මට මගේ තායි යාලුවෙක් පස්සේ කිව්වේ මේ බිස්නස් එකට එන උදවිය නගරෙන් ටිකක් ඈත පලාතවල ඉඳලා හැමදාම කෑමත් පටවන් මේ වාහන වල නැගිලා නයිට් මාර්ක්ට් එකට එනවලු . රෑ කෑම බිස්නස් එක තායිලන්තේ නාගරික ජනතාවගේ ලොකු ජීවනෝපාය මාර්ගයක් .ඒ වගෙම පවුලේ වෙලඳාමක් .හිටපු අගමැති තක්ෂින් සින්වත්‍රා පොලී රහිත ණය යෝජනාක්‍රමයක් එහෙම හඳුනවලා දීලා මේ රෑ  කඩ බිස්නස් කරන උදවියට බඩු මුට්ටු ප්‍රවාහනයට වාහන ගන්න එහෙමත් උදවු කලාලු . පහුගිය තද ගංවතුර වෙලාවෙනම් රෑ කඩ කරන උදවියට සැහෙන්න බඩේපාර වැදුන කියල මගේ යාලුව කිව්වේ . කෑම කන අතරේ මම අපූරු දෙයෙක දැක්කා. එක සුෂී කඩේක  පොඩි කෙලි පැංචියක් එයාගේ ඉස්කෝලේ හෝම් වර්ක් කරනවා කඩ ලෑල්ල ගාව ඉඳන් . අම්මයි තාත්තයි සුෂී වෙලඳාම කරනවා .වරින් වර තාත්තා දුවට හෝම් වර්ක් වල අමාරුතැන් පැහැදිලි කරගන්න උදවු කරනවා .මුලු පවුලම ජීවන සටන ගෙනියන්න පාරේ  වෙලඳාම .මගේ කැමට ගියේ තායි බාත් දෙසීයක් ඒ කියන්නේ ඩොලර් නවයක් විතර .හෝටල් වල මේ කෑම වේල මේ වගේ දෙගුණයක් . ලංකාවෙ නම තායි පපායා සැලඩ් එකක් ලොකු ගානක් වෙනවා තායි අවන්හල් වල .

පලතුරු වෙලෙන්දා
ස්ටිකි රයිස් වෙලඳන් අම්මා

කෑම කාලා මම ව්විදිය දිගේ ආයෙත් ඇවිදගෙන ගියා ඉස්සරහට .යද්දී පලතුරු වෙලෙන්දෙක් ගාව නැවතිලා බලන් හිටියා .ඔහු අඹ, පැපොල් , කොමඩු ,පේර එහෙම සුද්ද කරලා වීදුරු පෙට්ටියක දාගෙන ඉන්නවා හරි ලස්සනයි.ගණුදෙනු කාරයො ඇවිත් ඉල්ලුවහම බොහොම සීරුවට ලෑල්ලක් උඩ තියන් පලතුරු කෑලි කපලා පොලිතින් බෑග් එකකට දාලා , ටූත් පික් එකකුයි ,ලුණු ගම්මිරිස් එහෙම දාලා තියෙන පොඩි මුලකුයි එක්ක දෙනවා .එක පලතුරු බෑග් එකක් බාත් විස්සක්- විසිපහක් වගේ .මාත් පේර පාර්සලයක් අරන් හප හප ඇවිදින්න ගත්තා .එතකොටයි දැක්කේ ස්ටිකි රයිස් -sticky rice විකුණන වෙලඳන් අම්මා .ස්ටිකි රයිස් තායිලන්තෙටම ආවේණික කෑමක් . හරියට අපේ කිරිබත් , ඉඹුල් කිරි බත් වගේ .මම මේවා මුලින්ම කෑවේ ස්වර්ණභූමි ගුවන්තොටුපොලේදී මීට අවුරුදු තුනකට විතර කලින්.ඉතින් දෙපාරක් නොහිතා එතෙන්ට ගියා.ස්ටිකී රයිස් හදන්න වෙනම හාල් ජාතියල් තියෙනවා කියලයි මම ඉන්ටර්නෙට් එකේ කියවලා තියෙන්නේ . ස්ටිකී රයිස් කිරිබත් වගේ ගොඩාක් බෙරි වෙන්න උයලා හතරැස් කෑලි කපලා . සීනි , පැණි , කජු,කිරි  එහෙම දාලා උයන නිසා පැණි රසයි .ඒවට කස්ටර්ඩ් , අඹ වගේ ටොපින් එහෙමත් දාලා විකුණනවා .විශේෂමදේ ස්ටිකි රයිස් ඔතන්නේ කෙසෙල් කොල වල .බොහොම පිලිවෙලට හෙහෙල් කොලේ ඔතලා කෙසෙල් පටියකින්ම ගැටගහලා ලොකු කූඩෙක අහුරගෙන මේ වෙලඳන් අම්මා වෙලඳාම කරනවා . මාත් තව බාත් දහයක් දීලා ස්ටිකි රයිස් එකකුත් ගත්තා. ලංකාවේ අපි කිරිබත් මෙහෙම විකුණන්න ට්‍රය් නොකරන්නේ මොකද කියලා මට හිතුනා.
වීදි වෙලඳාම

දැන් වීදියේ ගොඩක් හරියක් ඇඳුම් , අරුමෝසම් බඩු විකුණන උදවිය ඉන්නේ . ටීශර්ට් ,සපත්තු, හෑන්ඩ් බෑග් , කොණ්ඩකටු , වගේ දේවල් . හෙට්ටු කරන්න පුලුවනි .ගණුදෙණු කාරයන්ට බඩු තෝරන්න තහනම් නෑ .අපේ පිට කොටුවේ වගේ මහා සද්දේට කෑ ගහලා බඩු විකුනන්නේ , ගණුදෙනු කාරයන්ට බලෙන් බඩු ඇඟේ ගහන්නේ, අසභ්‍ය වචන කියන් නෑ. ඒ වගෙම පදිකයන්ට ඇවිදින්න බැරි වෙන විදියට පාර හරස් කරන් ඉන්නෙත් නෑ .ගෑනු කෙනෙකුට වුනත් මේ වීදිවල රෑ ඇවිදගෙන යන්න හොඳ නිදහසක් තියෙනවා .මට බයවෙන්න ඕනෙ වුනේ නෑ මගේ වොලට් එක සුද්දකරාවිද , මාලේ කඩා ගනීවිද , කවුරුහරි මදාවියක් අතින් අදීවිද , නරක විදියට බලාවිද කියලා .කඩ වීදියේ එක තැනක ගෑණු උදවිය කීපදෙක් එකතුවෙලා අරුමෝසම් බඩු වෙලඳාමක්.ගොඩක් අය රෑ කෑම කන්නෙත් එතැනම ඉඳන් . මුලිනුත් කිව්වනේ රෑ කඩ වෙලඳාමේ යෙදෙන ගොඩක් ගෑනු අය තායිලන්තේ  ඉන්නවා කියලා . මේ හැමකෙනෙක්ම ගොඩක් රූමත් .ඒත් කාටවත් අතවරයක් වෙනවා කියලනම් අහන්න නෑ.මම එයාල එක්ක කැඩුණ ඉන්ග්‍රිසියි, හස්ත මුද්‍රාවනුයි පාවිච්චිකරලා කතා කරා .හැමෝම් කිව්වේ මට වැලන්ටයින් සමරන්න ඒ කිට්ටුව හරස් වීදියක තියෙන ඩිස්කො ක්ලබ් එකකට හරි පැට් පොන්ග් වලට හරි යන්න කියලා . තායි ලන්තේ නයිට් ලයිෆ් වලට ප්‍රසිද්ධයි. රාත්‍රී සමාජසාලා ,නැටුම් හල හා ලිංගික සේවිකාව්න් මේ තැන් වල ඉන්නවා .මම කිට්ටුව වීදියක ක්ලබ් එකක් දිහා බලන් හිටියා .කවුරුත් ඇතුලට ගන්නේ ස්කෑන් කරලා .ඩී ජේ මියුසික් එක්ක නටන්න පුලුවන් .වැලන්ටයින් ඔෆර් විදියට කම්ප්ලිමෙන්ටරි  බියර් එකක් නොමිලේ දෙනවා .
night life 


මල් මිලට ගත් ආදරවන්තයා

එතනින් හැරිලා ආයේ වීදිය දිගේ ආපස්සට ඇවිදගෙන මගේ නවාතැනට යන්න ලෑස්තිවෙනකොට තමයි එදා  දවසේ හොඳම දේ මම දැක්කේ . සුදු ජාතික තරුණයෙක් මල් වෙලඳාම් කරණ තරුණියකගෙන් රතු රෝස මිලට ගන්නවා . ආයෙත් ටික දුරක් යන ඔහු තවත් වයසක මල් වෙලෙන්දියෙක්ගෙන් කපපාට මෙරිගෝල්ඩ් වගේ මල් ජාතියකුත් ගත්තා .මම ඔහු දිහාට කැමරාව මානනකොටම ඔහු දුටුවා .හිනා වෙලා ඔහු මට කිව්වේ These are for my sweet heart .She loves flowers .  කියලා .මම ඔහුට සුබ වැලන්ටයින් දිනයකට සුබ පතලා ඉදිරියට ඇදුනා .රෑ එකොලහට විතර ඇති .සමහර ජංගම කඩ වැඩ ඉවර කරලා වහන්න ලඟයි .අපි කලින් දවසේ  රස්තියාදු ගැහුව  ස්ටාර් බක්ස් අවන්හල තාම ඇරලා .මම මට උණු උණු ක්‍රීම් දැම්ම ලොකු කැෆේ මෝචා එකක් අරන්දීලා වැලන්ටයින් දිනේට ට්‍රීට් කලා  .

එදයින් පස්සේ ඉතුරු දවස් පහේ හැමදාම සිලොම් නයිට් මාර්කට් එකේ රවුම් ගහලා ,ෆොටෝ අරන් , ස්ටිකි රයිස් කාලා ,පලතුරු වෙලෙන්දගෙන්  පලතුරුත් අරන්  ස්ටාර් බක්ස් එකේ සෑහෙන්න වෙලාවක් වාඩිවෙලා ඉඳන් නිවී සැනසිල්ලේ කෝපි තොලගාලා හිතුනොත් සෙවන් ඉලෙවන් සුපර් මාර්කට් එකෙන් චොක්ලට් අයිස්ක්‍රීම් එකකුත් අරන් රෑ එකොලහට විතර  නවාතැනට ඇවිදගෙන යන එක මගේ පුරුද්ද වුනා .එක දවසක් තායි මසාජ් එකකටත් ගියා .මට බය හිතුනේ නෑ අපිරිසිඳු තැනක්ද ,කවුරු හරි මගේ කාමරේට එබේවිද , මගේ වොලට් එකයි අනික් වටින බඩුයි නැති වේවිද වගේ .මේ නයිට් මාර්කට් සංස්කෘතියේ මම දැක්ක ලොකුම හොඳ දේ මනුස්සයෙකුට විශේෂයෙන් ගෑණු කෙනෙක්ට  ඇවිදින්න ,සතුටුවෙන්න තියෙන නිදහස  හා ආරක්ෂාව .එය මට හොඳින්ම දැනුනා සිලොම් වලදී .ඒක මට ලංකාවෙදි දැනිලා නෑ.
ආයෙ ගියොත් නයිට් ලයිෆ් බලන්න පැට්පොන්ග් හෝ සුකුම්විත් වලට යන්න මම හිතන් ඉන්නවා 

ප\ලි 

හැමදාම කෝපි බීලා නවාතැනට යන නිසා නිදාගත්තේ පරක්කුවෙලා .ආයෙ උදේට නිදිමතේ වැඩට යන්නේ :) 



Saturday, January 28, 2012

ආදරයේ නුවර.. අග්‍රා... දුටිමි


T

චිත්තෝර් වලින් සැප්තැම්බර් 25 වෙනිදා  රෑ සමුගත්ත මම ග්වාලියර් වලට යන රෑ කෝච්චියට ගොඩවුනේ ආදර සැමරුම් කැටිවුන අග්‍රා නුවර දැකගන්න . මගේ මෙවර රාජස්තාන් සවාරියේ අවසාන අදියර වුනේ අග්‍රා නුවර දැක ගැනීම . අග්‍රා , උදයපූර්,ජායි පූර් සංචාරක  නගර ගෝල්ඩන් ට්‍රයන්ගල් (Golden Triangle) කියලයි හන්දුන්වන්නේ . මම අග්‍රා යන අතරමග ජායි පූර් පහුකලත් පහුගිය වතාවේ "ජල් දි ජල් දි කියල ජායිපූර් නැරඹුව නිසා " කෙලින්ම අග්‍රා ගියා . රෑ එකොලහට චිත්තෝර්  වලින් පිටත්වෙලා අග්‍රා වලින් බහිනකොට පහුවදා උදේ එකොලහයි .

අග්‍රා ගැන මගේ හිතේ ඇඳිලා තිබුනේ යමුනා ගං තිරේ  බොහොම සාමකාමි , මෝගල් වරුන්ගේ අභිමානය කැටිවුන සංස්කෘතික  නගයරක් විදියට .ඒත් දුම් රියෙන් එලියට බහිනකොටම ඒ සිතුවිල්ල වෙනස් වුනා . අග්‍රා ත් ඉන්දියාවේ ජනාධික , වාහන තද බදය උපරිම තියෙන , සමර් කාලෙට අධික හිරු රැස් වලින් පීඩා විඳින , ගෑස් හා තෙල් කම්හල බහුල නූතන ඉන්දියානු නගරයක් ,කොමර්ෂල් හබ් එකක් .


තද හිරු රැස් ,දූවිලි , ට්‍රැෆික් මැද්දෙන් අග්‍රා කාන්ට් ඉස්ටේසමේ ඉඳලා අපේ  නවාතැන වුන එයාර්ෆෝර්ස් බේස් කෑම්ප් එකේ ඒරියා 4 සීමාවේ ගයත්‍රි හා භානුගේ ගේ නිල නිවහනට සේන්දුවෙනකොට ඉර මුදුන්වෙලා .ගයත්‍රිගේ ආගන්තුක සත්කාර විඳලා සීතල ලැසී බිලා ඇඟපත් නිවාගෙන දවල්ට කාලා මම ලහි ලහියේ ලෑස්තිවුනේ රතු බලකොටුව හා මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ මුදුන් මල කඩ වූ ටාජ් මහල් දැකගන්න.දිර්ග දුම් රිය ගමන් වලින් හොඳටම හෙම්බත්වෙලා හිටියත් මහන්සි නොබලම රතු බලකොටුවටත් (Red Fort) ටාජ් මහල් බලන්නත් යන්න මට තිබුනේ නොඉවසිල්ලක් .ඒත් මට වැඩිය හොඳින් නගරේ ගැන දන්න මගේ ටුක් ටුක් රියදුරාට අවනත වෙන්න වුනා .ඔහුගේ අදහස වුනේ මුලින්ම රතු බලකොටුවට බලලා එතැනින්ම ටාජ් මහල් නරඹන්න ප්‍රවේශපතකුත් අරන්  පස්සේ ටාජ් බලන්න යන්න කියන එක . ෆටේපූර් සිකිරි (Fatefur Sikiri) කියන මෝගල් වරු ගොඩනැගුව පැරණි නගරය දැකගන්න මට ඕනෙ වුනත් ඔහු කිව්වේ  අග්‍රා ඉඳලා කිලෝමීටර තිස් දෙකක් විතර ඈතින් ඇති එහි යාමට අපිට වෙලාවක් නැති වග .ඒ නිසා ටාජ් හා රතු බලකොටුව විතරක් මගේ මෙවර ප්ලෑන් එකට එක් කරගෙන සැනසෙන්න වුනා.
Amar Singh Entrance 

රෙඩ් ෆොර්ට් එහෙම නැත්නම් රතු බලකොටුව වචනයේ පරිසම්මාප්ත අර්ථයෙන්ම රතු පැහැ විසාල ප්‍රාකාරයකින් ආවරණය වුන අක්කර සිය ගානක් ඇතට විහිදෙන බලකොටුවක් .එහි මුල්  ඉතිහාසය දහවැනි සියවස තරම් ඈතට ඇදෙනවා . එවක මෙය යමුනා ගංතීරයේ වූ මැටියෙන් පවුරු නිමවූ බලකොටුවක් . මෙය  මෝගල් පරම්පරාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වෙන්නේ අක්බාර් රජවරු අග්‍රා නුවර තමන්ගේ අගනුවර කරගත් කාල වකවානුවේ ඒ කියන්නේ 15 වෙනි සියවසේ.අක්බාර් වරු රතු පැහැ ගල් වලින් මේ බලකොටු තාප්ප සවි ශක්තිමත් කරලා බඳිනවා. බලකොටුවට ඇතුල්වෙන විසාල ද්වාර දෙකක් තියෙනවා .එකක් අමර සිං ( Amar Singh Gate ) ලෙසත් අනික දිල්ලි ගේට්(Delhi Gate ) ලෙසත් හඳුන්වනවා . එයින් දැනට පාවිච්චිවෙන්නේ අමර සිං ද්වාරය . එතැනින් තමයි බලකොටුවට පිවිසෙන්නේ . ඒ සඳහා විදේශිකයෙක්ගෙන් ඉන්දියන් රුපියල් 250/= ක වටිනාකමින් යුත් ටිකට් පතක් අයකරගන්නවා . මෙතැනිනම ටාජ් බලන්න යන්නත් ටිකට් පත් ගන්න පුලුවනි. ඒක ලෙහෙසියි .බලකොටුව මහජන දර්ශනයට දිනපතා හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා විවෘතයි.
Jahangiri Mahal


බලකොටුව අතුලත විසාල මාලිගා අංගණ රාශියක් තියෙනවා .මුලු බලකොටුවෙම කිලෝමීටර පහක් ,හයක් විතර පයින් අවිදින්න ඕනේ . මේ මාලිගා බොහොමයක් ඉන්දිකරවලා තියෙන්නේ ෂාජහාන් රජතුමා ඔහුගේ රුචි අරුචි කම් අනුව .ඇතුල්වෙනවත් එක්කම විසාල කුලුණු දෙකක් එක්ක තියෙන රතු පැහැ "ජහන්ගිරි මහල් මාලිගාව " ( Jahangiri Mahal)   ) දැකගන්න පුලුවන් .මෙය වෙන්වෙලා තියෙන්නේ බලකොටුවේ විසූ කුලවතුන්ගේ භාර්යාවන්ට . විමෙන්ස් ක්වාර්ටර්ස් එකක් වගේ . ඇතුලත විසාල මාලිගා මැද මිදුල් , මල් කම් වලින් අලංකෘත කුලුණු හා ද්වාර දැකගන්න පුලුවනි."ජහන්ගිරි මහලේ" පිටුපස අංගණයට ගියවිට ඈත යමුනා තීරයේ ඇති ටාජ් මහලත් දිස්වෙනවා . මාලිගා නිර්මානයේදී රතු ගල් වගේම කිරි ගරුඬත් යොදාගෙන තියෙනවා. ෂාජහාන් රජු නුවර වැසියන් බැහැදකින්න ගොඩනැගුව Diwan-i-am palace  මාලිගාවත් කාස් හවුස්- Khas House  කියන තැනත් මීට හොඳම උදාහරණ .මේ තැන් වල වලාකුලු හැඩේට රැලි ආරුක්කු තියෙන සාලාවන් දැකගන්න පුලුවනි. අග්‍රාවේ ප්‍රකට අක්බාර් රජෙක් වුණ ෂාජහාන් අන්තිමට ඔහුගේ පුතෙක් අතින්ම මේ බලකොටුවේ හිර කරුවෙක් වෙලා කල්ගෙවලා මියැදෙනවා. ඔහුගේ හිරකාර ජීවිතය ගතකරන්නේ Muthammam-Burj Tower කියන මාලිගාවේ .මෙතැනටත් ඔහු විසින් තම ප්‍රිය බිරිඳ මුම්ටාස් මහල් සිහිවෙන්න ගොඩ නැගූ ටාජ් මහල් හොඳින් දිස්වෙනවා . නිවී සැනසිල්ලේ රතු බලකොටුව බලමින් මාලිගා අංගන වලට වෙලා විඩා නිවමින් අර රැලි ආරුක්කු , විසාල කුලුණු ,පැරණි ගල් කැටයම් අතර කිමිදෙන්න දවසක් විතර යනවා .ඒත් මට එහෙම වෙලා නැති නිසා පැය තුනක් විතර බලකොටුවේ ගත කරලා පින්තූර ටිකකුත් අරන් ලහි ලහියෙන් ගියේ ඊට කිලෝමීටර 2 1/2  විතර ඈතින් තියෙන ටාජ් මහල් ආදර  සැමරුම් සිහිවටනය බලන්න .



විදේශිකයෙක්ට  ටාජ් මහලට අතුල්වෙන ප්‍රවේශපත්‍රය ඉන්දියන් රුපියල් 750/= ක් වෙනවා .සතියේ සිකුරාදා හැර අන් දිනයන්හී උදේ හිරු උදාවේ ඉඳලා හිරු බැසීම තෙක් ටාජ් මහජන ප්‍රදර්ශනයට විවෘතයි . ඇතුල් වෙන්න කලින් ඉතා දැඩි ආරක්ෂක පරීක්ෂාවකුත් කරනවා .සියලුම වාහන ඇතුල්වෙන ගේට්ටු වලින් යම් දුරකදි නවත්වා සංචාරකයන් පයින් යා යුතුයි .  යමුනා ගංතීරේ ටාජ් මහල ඉදිවුන බිමත් උද්‍යාන අලංකරණයෙන් , තණ බිම්  වතුර මල් , පොකුණු වලින් හැඩ වෙලා තියෙනවා .ටාජ් මහලට යා යුත්තේ විසාල ද්වාර දෙකක් පහුකරලා පා ගමනින් . ඇවිදගෙන යන විට දර්ශනය වෙන මේ කිරි ගරුඬ මාලිගාවේ පින්තූර ගැනීමට හැම කෙනෙක්ම පොර කනවා.ටාජ් ඉන්දියාවේ සංචාරකයන් අධිකව ගැවසෙන  තැනක් හැටියටයි වාර්තා වෙන්නේ.ටාජ් මහල වෙත යද්දී පාවහන්,තොප්පි ආදිය  ගැලවිය යුතු වෙනවා . තද හිරු රැසින් යුත් ගිම්හාන කාලයේ කිරි ගරුඬ රත්වෙලා යටි පතුල් පිච්ච්ද්දී මාත් පිවිසුනා  ටාජ් හහල ඇතුලට.

ෂාජහාන් -මුම්ටාස් නොමැකෙන ආදරයේ දැවැන්ත සිහිවටනය වුන ටාජ් මහල් නිර්මාණයට හේතුවන්නෙ මුම්ටාස්ගේ වියෝගය හා ෂාජහාන්ගේ හිතේ ඈ වෙනුවෙන් තිබුණ අසීමිත ප්‍රේමය .ඔහු ඒ පෙම් පුවත කියන්න මේ කිරි ගරුන්ඩ මැදුර ඉදිකරවනවා දක්ශ ගෘහනිර්මාණ ශිල්පීන් අතින්.එහි ද්වාර වල මල්, ලිය වැල් හා කුරාන පාඨ සටහන් වෙලා තියෙනවා . ඇතුලට අශ්ටාශ්‍රයක හැඩේට ඉදිවුන කොටුවක ෂාජහාන් හා මුම්ටාස්ගේ සොහොන් තියෙනවා . මුස්ලිම් පල්ලි වල තියෙන පිවිසුම් ද්වාර වල හැඩය ගත්ත දැවැන්ත ද්වාර හා ඩෝම් සහිත ඉතා උස් කුලුණු ගොඩනැගිල්ල වටා දැකගන්න පුලුවනි .ලස්සනම දේ තමයි අතුලත නරඹලා එලියට ඇවිත් ඔය විසාල ද්වාරයක් ගාව බිම වාඩිවෙලා ඉඳන් හවස් යාමේ ඈතින් ගලාගෙන යන යමුනා නදිය දිහා බලන් ඉන්න එක .මම යන කාලේ යමුනාව හිඳී වියලී ගිහින් හීන් වතුර පාරක් විතරයි තිබුණේ .
j

අපි කවුරුත් ටාජ් මහලේ ගැන යුග යුගයන්හි රැව් දෙන අතීත ආදර කතාව  හොඳින්ම දන්නවානේ .ඒ නිසා මට හිතුනා මේ සටහනින් ටාජ් මහලේ වර්තමාන  කතාවත් ලියන්න .ටාජ් මහලේ නූතන කතාවේ කතා නායකයා තමයි  තමයි එම් .සී .මෙහෙතා-M.C.Mehta  කියන ඉන්දියාවේ ප්‍රකට පරිසර නීතිවේදියා. 1994 දී ඔහු දකිනවා යුනෙස්කෝ ලෝක උරුමයක්(UNESCO World Heritage)  වුන ටාජ් මහලේ කිරි ගරුඬ අව පාටවෙලා කහ පැහැ ගැන්විලා ජරාජීර්ණ වෙනවා .මම මුලින්ම කිව්වනේ අග්‍රා කියන්නේ  රසායණික පිරිපහදු වලින් යුත් ජනාධික කොමර්ශල් හබ් එක කියලා . ඔය  පිරිපහදු අතර මථුරා කාර්මික සීමාවෙ තියෙන  රසායණික පිරිපහදු , වලින් පිටවෙන සල්ෆර් ඩයොක්සයිඩ් මුසු වායූන් ඉහල වායු ගෝලයට ගිහින් අම්ල වැසි (Acid Rain )වැස්සවිම නිසා ටාජ් මහලේ කිරිගරුඬ දුර්වර්ණ වීම් හා දිරාපත්වීම් සිදුවෙන බව ඔහු සාධක සහිතව පෙන්වනවා .ඒ වගෙම අග්‍රා වල තියෙන ගඩොල් පෝරණු , අධික වාහන තදබදය හා වාහන දුම් ,ජෙනරේටර පරිහරණය ටාජ් මහල අවට -Taj Trapezium  Zone රිසර දූෂණයට   හේතුවෙන වගත් පෙන්වනවමින් ඉන්දියානු රජයට එරෙහිව ඔහු උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කරනවා ඒ  .C.Mehta Vs Union Of India (UOI)& Ors. W.P. (C) No.13381/1984 ( Taj Trapezium Case) .ඉන්දියානු ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිසරය සුරැකීම ගැන තියෙන ප්‍රතිපාදන Article 48 A  හා  බොහොම සුවිශේෂී නීති ප්‍රතිපාදනයක් වූ   Article -21 යටතේ තියෙන Protection of life and personal liberty ,අග්‍රා වල පරිසර දූෂණය ගැන පලවුන රජයේ විමර්ශන වාර්තාවක් වුන Report on Environmental Impact of Mathura Refinery යන දෑ ඔහු මේ නඩු පැවරීමට යොදාගන්න නෛතික සාධක වෙනවා . 

ඉන්දියානු උපරිමාධිකරණය මේ නඩු කටයුත්ත සලකන්නේ පොදු යහපත  (Public Interest Litigation -PIL) වෙනුවෙන් පැවරූ නඩුවක් හැටියට .ටාජ් මහලට වෙන හානිය  මෙහෙතා මහත්මයට වෙන පුද්ගලික හානියක් නොවුනට  එය පොදුවේ ඉන්දියානුවන්ට බලපාන හා අනාගත පරම්පරාවලට බලපාන කාරණයක් නිසා පුද්ගලයෙක් හැටියට මේ නඩුව පැවරීම ඊට ඉදිරිපත්විමේ අයිතිය හෙවත් ලොකුස් ස්ටැන්ඩායි( Locus Standaii)  ඔහුට ලැබෙනවා . මේ නඩුව ආසියාකරයේ පොදු යහපත වෙනුවෙන් උපරිමාධිකරණයේ සක්‍රීය දායකත්වය -(Judicial Activism ) දකවන හොඳ උදාහරණයක් වගෙම පරිසර නීතියේ නව නැම්මක් ඇති කරන අවස්ථාවක් වෙනවා . නඩුව අහන  කුල්දීප් සිං ගරු විනිසුරු තුමා 
( Hon.Justice Kuldeep Singh) ටාජ් මහලේ ඓතිහාසික වටිනාකම ඉතාම ලස්සනට පෙර අපරදිග ඉතිහාස සටහන් උපුටමින් දක්වනවා .ඔහු වරෙක මෙහෙම කියනවා 




The Taj - is the "King Emperor" amongst the World Wonders. The Taj is the final achievement and acme of the Moghul Art. It represents the most refined aesthetic values. It is a fantasy-like grandeur. It is the perfect culmination and artistic interplay of the architects` skill the jewellers` inspiration. The marble in-lay walls of the Taj are amongst the most outstanding examples of decorative workmanship. The elegant symmetry of its exterior and the aerial grace of its domes and minarets impress the beholder in a manner never to be forgotten. It stands out as one of the most priceless national monuments, of surpassing beauty and worth, a glorious tribute to man`s achievement in Architecture and Engineering.
Lord Robert in his work "Forty-one years in India" describes the Taj as under :
"Neither words nor pencil could give to the most imaginative reader the slightest idea of all the satisfying beauty and purity of this glorious conception. To those who have not seen it, I would say, - Go to India; the Taj alone is well worth the journey."


පරිසර විද්‍යාඥයන් , නීතිවෙදීන් , මධ්‍යම ආණ්ඩුව හා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පරිසරය සුරැකීමට, හා කාර්මික සංවර්ධනයට  ඇති රජයේ ආයතන වල ඉහල පරිපාලකයන් , කර්මාන්ත කරුවන් යන සියලුදෙනා එක කරගන්න අධිකරණය මේ ගැන විමර්ශන ගනනාවක් කරලා උසාවි නියෝගයන් කීපයක්  දෙනවා

ටාජ් මහල් ගැන මේ නූතන ආදර කතාව සංවර්ධන අරමුණු  හා සංස්කෘතික උරුමයන් එකට ගැටුන අවස්ථාවක් ( Modern Development vs Preserving Cultural Heritage ) ලෙස හඳුන්වාදෙන්න පුලුවනි .

ටාජ් මහල නැරඹුව මම හවස පහට විතර ආයෙත් එන්න පිටත්වුනා . අග්‍රා නුවර රසකැවිලි වලට ප්‍රසිද්ධයි. එහෙම රසකැවිලි වලටම වෙන්වුන ප්‍රකට පෙටා ශොප් එකකින් ලංකාවේ යාලුවොන්ටත් ,ගෙදර අයටත් අග්‍රා පුහුල්දෝසි පාර්සල් කීපයක්  ගත්තා . මට ඉහලින්ම ආගන්තුක සත්කාර කල ගයත්‍රි හා භානු දෙන්න එදා රෑට බත් උයලා , පරිප්පු කඩල කරියක් ,එලවලු සාම්බාර් , චට්ට්නි  , එක්ක බිත්තර තම්බලා  , මිල්ක් ශේක් හදලා , සවු නූඩල්ස් අතුරුපසකුත් එක්ක අමතක නොවෙන රස රෑ කෑමක් දුන්න . දවාලේ මහන්සිය යන්න හොඳට නාලා බඩ පැලෙන්න කැම කෑව එදා රෑ .ඌෂත් භානු හා ගත්‍රිත් කුස්සියේ කෑම උයද්දී මම එයාලගේ පුංචි පුතා ලාමා ( චීනු ) එක්ක සෙල්ලම් කලා .ගයත්‍රි මට මුව නොසෑහෙන්න ස්තුති කලා අවුරුදු හයකට පස්සේ එයාගේ මිතුරිය ඌෂා දැකගන්න පුලුවන් වුනේ මගේ අග්‍රා ගමන නිසා කියලා. පහුවෙනිදා උදේ හතරට භෝපාල් එක්ප්‍රස් කෝච්චියේ දිල්ලි බලා පිටත්වෙන්නත් , එදාම හවස ලංකාවට එන ගුවන් යානයට නැගිය යුතු නිසාත් මම කලින් නිදා ගන්න ගියා .  පුංචි පුතා මම නිදාගන්න ගිහිල්ලත් මගේ කොණ්ඩෙන් අදිමින්  සෙල්ලම් කලා මේ පවුලේ ආගන්තුක සත්කාර මැද්දේ අග්‍රා කියන්නේ ආදරයේ නගරයම තමයි කියලා මට හිතුනා . 


ප/ලි 
පහුවෙනිදා උදේ හතරට ඔවුන්ගෙන් සමුගත්ත මම ඌෂත් එක්ක අග්‍රා කාන්ට් ඉස්ටේසමට ගියේ දිල්ලි යන භෝපාල් එක්ප්‍රස් කෝච්චියට ගොඩවෙන්න . එතැනින මම දිල්ලියට යන්නත් ඌෂා ජායිපූර් වලට යන්නත් සමුගත්තා . සමුගනිද්දී අපි  පොරොන්දුවුනේ  ආයෙත් මතු යම් දිනක රාජස්ථාන් වල ජසල්මේර් වලදි මුණගැහෙන්න .2011  සැප්තැම්බර් මාසේ දිල්ලි , උදයපූර් , මවුන්ට් අබූ, චිතෝර් , අග්‍රා නගර බලන්න ගිය සංචාරක සටහන් මෙතැනින් අවසන් වෙනවා 

දිල්ලියට ගියොත් අඩු වියදමින් අග්‍රා නරඹන්න යන එක හරි පහසු දෙයක් . දිල්ලියේ ඉඳන් උදේ ගිහින් හවස එන්න වුනත් පුලුවන් .සීග්‍ර ගාමී ශටාබ්දී හා රාජධානි එක්ප්‍රස් කෝච්චි ඒ වගේම සීග්‍රගාමි බස් රථ සේවා දිල්ලි හා අග්‍රා අතර නිරන්තරයෙන් තියෙනවා  .බජට් ට්‍රැවලර් කෙනෙක් නම් චෙනායි ගිහින් එතනින් එක්ප්‍රස් ට්‍රේන් එකේ අග්‍රා යන්න පුලුවනි .මේන්න ලින්ක් එක ඉන්දියන් රේල්වේ එකට ඊ ටිකට් බුක් කරන්න .අග්‍රා දකින්න යන්න හොඳම කාලේ ඉන්දියාවේ සීත කාලේ ඒ කිව්වේ නොවැම්බර් -දෙසැම්බර් වගේ .එතකොට බලකොටු, ටාජ් මහල් වල කිරි ගරුඬ රත්වෙන්නේ නෑ. නගරයේ තද හිරු රැස් නෑ .ඇවිදින්න ලේසියි.උදෙන්ම ඉර නගිද්දී ටාජ් මහල ගාවට යන්න පුලුවනි නම් ගොඩක් ලස්සනයි.



Sunday, January 22, 2012

චිතෝර් බලකොටුවේ සැඟව ගිය වීර මහරාණී -රාණි පද්මිණී

උදයපූර් වල මෝටි මගරි මහරාජා ආර්ට් ගැලරි එකේ තියෙන
රාණි පද්මිණිගේ ගින්නට බිලිවෙන  සිත්තමක්


විසිතුරු මාලිගා සංකීර්ණ වලින් හෙබි මර්වාර් වංශික රාජ්පුත් වරුන්ගේ අගනුවර වුන  උදයපූර් වලට නූතන   රාජ්පුත්ඉතිහාසයේ හිමිවන්නේ බොහොම වැදගත් තැනක්. උදයපූර් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන පෙලේ ආකර්ෂණයක් ඒ නිසාමදෝ රාජ්පුත් ඉතිහාසයේ බොහෝ නොමැකෙන වීර සටන් සිදුවුන චිත්තෝර් ( Chittor ) නුවර කාලයේ වැලිතලාවෙන් වැලලිලා ගිහින්.චිත්තෝර් එහෙමත් නැත්නම් චිත්තර් ගාර් (Chittorgarh) නුවර පිහිටල තියෙන්නෙ උදයපූර් වල ඉඳලා කිලෝමීටර දෙසීයක් විතර ඈතින් .උදයපූර් වල ඉඳන් චිත්තෝර් වලට යන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා . දිල්ලියේ ඉඳලත් කෝච්චියෙන් හරි හය් වේ එකෙන් හරියන්න පුලුවනි.ඒකට පැය දහයක් විතර යනවා .ආයෙත් දවසක රාජස්තාන් ගියොත් අනිවාර්යෙන්ම චිත්තෝර් යන්න  හිතාගත්තා .ඒකට හේතුව මහරාණි රාණි පද්මිණිගේ-Rani Padmini  කතාව . මේ මහරාණී ලංකාවෙන් රාජ්පුතානාවේ මහරාජා රතන් සිංට දීග කුමාරිකාවක් කියලයි ඉතිහාසයේ කියන්නේ .ඉතින් මේ ලංකාවෙන් දීගගිය කුමාරිකාව ගැන ඉතිහාස කතා දැනගන්නත් මට තිබුණේ ලොකු කුතුහලයක් .ඔන්න ඒ නිසාම මම 2011සැප්තැම්බර් වල චිත්තෝර් නුවරට ගියා ඒ උදයපූර් වල ඉඳලා.
කොටු තාප්පය 

චිත්තෝර් රාජ්පුත්වරුන්ගේ සියලු ඉතිහාසය සැඟවිලා තියෙන්නෙ චිත්තෝර් බලකොටුවේ .මේ බලකොටුව මුහුදුමට්ටමින් මීටර 200ක් තරම් උස කන්දක අක්කර හත්සීයක් තරම් දුරට විහිදිලා තියෙනවා .බලකොටුව වටේට තියෙන ප්‍රාකාරය කිලෝමීටර දෙකක් විතර දිගයි .අදවෙනකොට බලකොටුවේ සමහර පැති වල  මිනිස් ජනාවාස කඩ සාප්පු එහෙමත් තියෙනවා .නොකඩවා වහින මෝසම් වැහිත් ,වැහි අඳුරත් ,සීතලත් නොතකා තමයි මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ චිත්තෝර් බලකොටුව බලන්න මම ගියේ .

ප්‍රධාන ද්වාර එහෙම නැත්නම් Pol කියලා හඳුන්වන ගල් වලින් නිමවපු විසාල අර්ධකවාකාර උස් ප්‍රවේශ හයක් පහුකරලා තමයි බලකොටුවට ඇතුල්වෙන්න ඕනේ . මේ ද්වාර ඉතා උසින් හා පලලින් තියෙන්න ඇත්තේ යුද්ධයට යොදාගත් ඇත් ,අස් වගේ සේනාවන්ට ඇතුල්වෙන්න පහසුවට වෙන්න ඕනේ .බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ (මේවා මහරාජා වරුන්ට , ඔවුන්ගේ කාර්ය මංඩල වලට , සොල්දාදුවන්ට , සේවකයන්ට වෙන වෙනම වෙන් වෙලා තියෙනවා ) , පැරණි හින්දු දේවාල , කැටයම් වලින් අලංකාරවුණ ස්ථම්භ , ජයින පංසල් , වගේම පොකුණු හා කුඩා ජලාශ දැකගන්න පුලුවන් . ඒ කියන්නේ පුංචි නගරයකට උවමනා ගොඩක් දේ මේ බලකොටුව ඇතුලේ තිබිල තියෙනවා . යුද්ධයකදී ජල හිඟයක් වුණොත් ඊට ඉතා හොඳ සූදානමකින් හිටි වග පේන්නෙ බලකොටුව ඇතුලෙ තියෙන ජල මූලාශ්‍ර දිහා බැලුවම.
රාණි පද්මිණී මාලිගා පරිශ්‍රයේ කොටසක් 

මේ බලකොටුවේ ඉතිහාසය ක්‍රි.ව .7 වන සියවස තරම් ඈතට දිවයනවා .බලකොටුව ගොඩනගන්නේ Bappa Rawal   කියන මහ රාජා විසින් .මේ බිම් කඩ ඔහුට කුමාරිකාවක් සරණපාවා ගනිද්දි ලැබුන විවාහ දායාදයක්.මේ බලකොටුව ඉතිහාසයේ නොමැකෙන ශෝඛාන්තය සනිටුහන්වෙන්නේ මහරාජා රතන් සිං ගේ කාලයේ . මහරාණි රාණි පද්මිණී විවාහවුනේ මහරාජා රතන්සිං එක්ක . මේ මහරාණි ලංකාවේ කුමාරිකාවක් කියලා තමයි ඉතිහාස කතාවල කියවෙනේ. ඇය රූපයෙන් අගතැන්පත්  කුමාරිකාවක් . මහරාජා රතන්සිං සාහිත්‍ය සංගීත කලාවට බොහෝ අනුග්‍රහ දැක්වූ හොඳ රසිකයෙක් .ඔහුට හිතවත් සංගීත ශිල්පියෙක් හිටියා චේතව රාඝන් කියලා .යම දවසක මේ මහරාජා දැනගන්නවා චේතව රාඝන් රාජ ද්‍රෝහී කුමන්ත්‍රණ වල නිරතවෙන්නෙක් කියලා . ඔන්න එතැන ඉඳන් තමයි සේරම ප්‍රශ්න පටන්ගන්නේ . රතන්සිං මහරාජා චේතව රාඝන් ගැන බොහොම කෝපයට පත්වෙලා ඔහුගේ ශරීරය පුරාම දැලි ගාලා බූරුවෙක්ගේ පිටේ නග්ගලා නුවරින් එලවලා දානවා . 

උපක්‍රමශීලී චේතව රාඝන් දිල්ලියේ සුල්තාන් අලවුදීන් කිල්ජි- Alauddhin Khilji වෙත ගිහින් ඔහු හා මිතුරුවෙනවා රතන්සිංගෙන් පලිගන්න . ඊට සුදුසුකාලය ආවම ඔහු අලවුදීන් ඛිල්ජිව මෙහෙයවනවා චිතෝර් නුවර වටලලා  රූමත් රාණි පද්මිණීව බලෙන් පැහැරගන්න . තමන්ගේ සේනාවත් එක්ක ඇවිත් චිතෝර් බලකොටුව සමීපයේ කඳවුරු බැඳලා මහරාජා රතන්සිංට පණිවුඩයක් යවනවා තමන් ඉතාම කැමැත්තෙන් ඉන්නවා රූමත් රාණි පද්මිණීව මුනගැහෙන්න ඒවගේම එයා කැමතියි රාණි පද්මිණී තමන්ගේ සහෝදරියකගේ තනතුරේ ලා සලකලා ගරු කරන්න කියලා .මේ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයට මහරාජා රතන්සිං රැවටුණත් රානි පද්මිණීටනම් තිබුනේ සැකයක් .ඒ නිසා ඇය සැමියාට කියනවා තමන් අලවුදීන් ඛිල්ජී මූණට මුණගැහෙන්න කැමති නැති වගත් ,ඔයතරම් දැකගන්න උවමනානම් තමන් බලකොටුවේ නෙලුම් පොකුණක තියෙන ගිම්හාන මාලිගාවට ආවම එහි තියෙන දර්පණ වලින් පරාවර්තනය වෙලා ඊට නුදුරෙන් තියෙන අනික් ගිම්හාන මාලිගාවේ දර්පණ වලට ලැබෙන ප්‍රතිබිම්බය ඛිල්ජිට බලාගන්න පුලුවනි කියලා .මහරාණි කිසිසේත්ම කැමතිවෙන්නේ නෑ ඛිල්ජි පියවි ඇසින් ඇගේ රුව දකිනවට . අන්තිමට වෙන විකල්පයක් නැති තැන අලවුදීන් ඛිල්ජි දර්පණ වලින් මහරාණිගේ රුව රසවිඳලා ඒ රාගයෙන් උමතුවෙලා මහරාජා රතන්සිං ව හිරබාරයට ගන්නවා. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තමන්ගේ නුවරින් පිටවෙලා යද්දී ඔහු සමග පසුගමන් යාම සිරිතක්නේ .එහෙම ඛිල්ජි නික්මයන වෙලාවේ ඔහුට පසුගමන් යන්න ආව රතන්සිං මහරාජාව හිරබාරයට ගන්න කියලා ඛිල්ජී තමන්ගේ හේවායන්ට අණ දෙනවා.
රාණි පද්මිණිගේ කතාව 




මහරාණී දකින්න ඛිල්ජි හිටියේ මෙතැන 


ඉන් පස්සේ රාණි පද්මිණීට පණිවිඩයක් එවනවා තමන්ගේ සැමියාට අභය දානය උවමනානම් වහාම ඛිල්ජිගේ ඇතොවුර කාන්තාවක් වෙන්න කියලා . පණිවුඩය ලද වහාම මේ මහරාණි බොහොම සැලසුම්සහගතව ලෑස්තිවෙනවා සැමියා බේරගන්න උපක්‍රමයකුත් එක්ක . ඇය තීරණය කරනවා ඇතොවුරට යන්න . ඒ වෙනුවෙන් බොහොම උත්සව ශ්‍රීයෙන් සැරසුව පල්ලැක්කි වල නැගිලා තමන්ගේ පරිවාර සේවිකාවො එක්ක පෙරහැරෙන් ඛිල්ජි මුණගැහෙන්න යන්න තමයි සූදානම. නමුත් මේ පල්ලැක්කි වල ආයුද සන්නද්ධ දක්ෂ සෙබල මුලුවක් සැඟවිලා ඉන්නේ . ඛිල්ජි කඳවුරු බැඳන් ඉන්න තැනට මේ පල්ලැක්කි පෙරහැර සේන්දුවුනහම සතුටින් පිනාගිය ඛිල්ජි මහරාණි පිල්ගන්න එනවාත් එක්කම පල්ලැක්කි වලින් එලියට පනින සෙබල මුළුව ඔහුගේ කඳවුර ඇතුලට පැනලා මුරභටයො එක්ක සටන් කරලා මහරාජා රතන්සිං බේරගෙන මහරාණිත් එක්ක චිත්තෝර් නුවරට පලා එනවා .


නමුත් ඛිල්ජිගෙන් බේරීමේ සතුට තියෙන්නෙ සුලු මොහොතයි . ඛිල්ජිගේ මහා සේනාව මුලු චිත්තෝර් බලකොටුවම වටලනවා .නගරය එක්ක තියෙන සියලු සම්බන්ධතා , සැපයුම් මාර්ග අවහිර කරනවා . රතන්සිංගේ සීමිත යුධ ශක්තියෙන්මේ සටන  දිනන්න බැරි වග පෙනි පෙනීත් ආත්මාභිමානය රැකගන්න බලකොටුවේ සිටි සියලුම හේවායන් සේවකයන් තමුන්ගේ අඹුදරුවන්ගෙන් සමු අරන් යුධ පෙරමුණට යනවා .ඉතිරිවෙන්නේ ගැහැණු හා ලමයි. මහරාණි ප්‍රමුඛ සියලු කාන්තාවො තීරණය කරනවා දරුවන් ආරක්ෂිත තැන් වලට යවලා ලොකු දරසෑයක් හදලා සුදු වතින් සැරසිලා එයට පැනලා ගිනි තබාගෙන මැරෙන්න . රතන්සිං පරදවලා ඔහුව මරලා බලකොටුව ජයගෙන එන ඛිල්ජි දකින්නේ දර සෑයක දැවෙන මහරාණී රාණි පද්මිණී හා සෙසු ස්ත්‍රීන් . මේ බලකොටුව තුන් පාරක්ම මේවගේ අක්බාර් වරුන්ගේ ඛේදනීය ප්‍රහාර වලට ලක්වෙලා පිරිමි යුද්ධයේ තමන්ගේ ආත්මාභිමානය රැක ගන්නත් , ගැහැණු තමන්ගේ ආත්මගරුත්වය රැකගන්නත් ජීවිත පූජාකරන තැනක් වෙනවා .
මහරාණී ආවේ මේ ජල් මහල් මන්දිරයට 

මහරාණී රාණි පද්මිනිත් ඒ සියලුම කාන්තාවොත් වීරවරියන් හැටියට සලකන චිත්තෝර් වැසියො හැම අවුරුද්දේම ජොහාර් මේලා Jauhar Mela කියලා මහා සැණකෙලි උත්සවයක් පවත්වලා ඔවුන් සමරනවා .මහරාණි රාණි පද්මිණී ශෝඛාන්තය  වීර කාව්‍යන් ,නාට්‍ය නිර්මාණ වලටත් පාදක වෙනවා . ජායිසී මල්ලික් මොහොමඩ් කියන කවියා පහලොස්වෙනි සියවසේ දී ලියන "පද්මාවත්" කියන කාව්‍යයේ මෙන්න මෙහෙම ඇය ගැන කියනවා .

"According to Jayasi, Chitor stood for body, Raja for mind, 
Ceylon for heart, Padmini for wisdom and Alauddin for lust" 
ඒවගෙම පස්සේ කාලෙක ඇල්බර්ට් රසල් කියන ප්‍රංශ ඔපෙරා කරුවා මේ කතාව ඔපෙරාවකටත් නගනවා.ලංකාවේ නිපදවුන" පද්මාවතී " නාඩගමත් මේ කතාව ඇසුරින් ලියලා තියෙන්නේ . 


මේ විසාල බලකොටුව බලන්න ගියවෙලාවේ ඉඳන් මම ලොකු ආසාවකින් හිටියේ රාණි පද්මිණීගේ මාලිගාව දැකගන්න . ගරාවැටුණ මාලිගා සංකීර්නයක් වුණ එය පිහිටියේ බලකොටුව කෙලවරේ පොකුණකට යාබදව . මම ලංකාවෙන් කිව්වම එහි සිටි මුරභටයො මට ප්‍රවේශපත්‍ර නොමැතිවම ඇතුලට යන්න ඉඩදුනේ මහරාණිගේ රටෙන් ආව කෙනෙක් නිසා . ගරාවැටුණ මාලිගා සංකීර්ණයේ විසාල ඉඩක් වෙන්වෙලා තිබුණා සේවක නිවාස වලට . මම කල්පනාකලේ මේ මහරාණී තමුන්ගේ සේවකයන්ට බොහොම හොඳින් සලකන්න ඇති කියලා . ස්වාමි පුත්‍රයා වෙනුවෙන් සටන් කරලා මැරෙන්න ඔය තරම් පිරිසක් එක්වෙන්න විදියක් නෑ ඇය සේවකයන් අතර ප්‍රසාදය දිනා නොහිටියනම් .මට හිතුනේ එහෙම .බලකොටුවේ එක්පැත්තක තියෙනවා කුඩා ගිම්හාන ගෘහයක් පොකුණට මූණදාලා .එහි තමයි අලවුදින් ඛිල්ජි මහරාණිගේ රුව බලන්න මග රැකලා ඉඳලා තියෙන්නේ .මේ ගෘහය ඇතුලේ බිත්තිවල දර්පණතල එල්ලලා තියෙනවා . මෙතැන ඉඳන් බැලුවම පොකුණේ තියෙන කුඩා ගිම්හාන ගෘහයක් දැකගන්න පුලුවනි.මහරාණි තමන්ගේ රුව ඛිල්ජිට දර්ශනය වෙන්න ඇවිල්ලා තියෙන්නේ මෙතැනට. මේ ගිම්හාන ගෘහයටනම් යන්න දෙන්නේ නෑ . 
Rana Kumbha Palace 




මීරා දෙවොල 

චිත්තෝර් බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ ගොඩක් තියෙනවා .ඒ අතරින් රනා කුම්භ මාලිගාවත්- Rana Kumbha Palace  වැදගත්.කොටුවට ඇතුල්වෙන සීමාවේමයි මේක තියෙන්නේ . මෙයත් චිත්තෝර් තමන්ගේ බලකොටුව කරගත්තු මහරාජා රනා කුම්භගේ   වාසභවන . මෙතැන ඉඳන් බැලුවම හින්දු කතාවල මිතිකල් කිවිඳියක් හැටියට සැලකුව මීරා බායි සහ බලවත් දේවතාවියක් වූ කාලි මාතාව  වෙනුවෙන් ඉදිවුන පැරණි දෙවොල් දෙකක් මෙතැනට පේනවා  . මීරා කිවිඳිය  ක්‍රිෂ්ණ දෙවිඳුන්කෙරෙහි බොහෝ බැති සිතින් ඔහු වෙනුවෙන් භජන් ගායනා කල තැනැත්තියක්.ඇය ගැන හොහෝ ජන කතා චිත්තෝර් වැසියන් අතරේ මුඛ පරම්පරාගතව එනවා . මීරා වෙනුවෙන් කැපවුන මේ සියවස් ගනනක් පැරණි දෙවොලේ අදත් භජන් ගී ගැයෙනවා , ක්‍රිෂ්ණ පූජා පැවැත්වෙනවා. මීරා දෙවොලත් කාලි මාතා දෙවොලත් ඓතිහාසික අතින් ඉතාම වැදගත් තැන් කියලා හිතුනේ එහි ඇති සියුම් ගල් කැටයම් නිර්මාන දිහා දැක්කම . බලකොටුව පුරාම මේ ගල් කැටයම් වල ලාලිත්‍ය දකින්න පුලුවනි. දේවාල වල අන්තරාලය , ගර්භගෘහය , හා පිටත ආලින්දය කියන කොටස් තුනක් තියෙනවා .උදයපූර් වල තියෙන මාලිගා සංකීර්ණවල අලංකරණයන්ට වඩා චිතෝර් වල කැටයම් , ලියවැල් වල වෙනසක් තියෙනවා චිත්තෝර් ගල් කැටයම් හා ගෘහ නිර්මාණ සම්ප්‍රදාය ගැන මොනවහරි කලින් කියවලා මෙතැන නරඹන්න ආවනම් ගොඩක් හොඳයි කියලා මට හිතුනා . 
Vijay Stamba -Victory Tower 
Stone Carving 

බලකොටුව ඇතුලේ තියෙන ගල් කැටයම් වලින් අලංකාර වුනු මතු මහල් බොහෝ ගණනක් ඇති උශ් කුලුණුත් අමතක කරන්න බෑ . එයින් ප්‍රධාන වෙන්නේ කීර්ති ස්ථම්භය හා  ජය ස්ථම්භය .නම් වලින්ම කියවෙන විදියට චිතෝර් මහරාජා වරුන්ගේ ජුධ ජයග්‍රහණ , හා ඔවුන්ගේ ප්‍රෞඩ බව ලෝකෙට කියාපාන්න මේ කුලුණු ඉදිවෙන්න ඇති . මෙවයේ මතු මහල් වලට නගින්න පටු පියගැට පේලි තුබුණත් පුරාවිද්‍යා වටිනාකම නිසා නරඹන්නන්ට ඒවා උඩට නැගීම සීමා කරල තියෙනවා .මට හිතුනේ මේ කුලුණු චිතෝර් වැසියන්ගේ කීර්තිය ලෝකෙට කියාපාන්න වගේම බලකොටුවට එන පර සතුරු විපත් ගැන  ඔත්තු බලන්නත් පාවිච්චි කරන්න ඇති කියලා.
Go Mukh Fountain 



Go Mukh Reservoir 


View of City from Fort 

ඔය කුලුණු ආසන්නයේම චිත්තෝර් වල ප්‍රධාන ජල මුලාශ්‍රයක්වුන ගෝ මුඛ- Go Mukh Reservior  කියන චිතෝර් වැසියන්ට අනුව කිසිම නියඟයකට නොහිඳෙන ජලාශයක් තියෙනවා. නමේ අරුතින් කියවෙන විදියටම මේ ජලාශයට ජලය එන්නේ ගව මුඛයක හැඩේට ඉදිවුන උල්පත් කටකින්. මේ ජල උල්පත බොහොම බලගතු තැනක් කියලා මෙහි යන එන අයගේ විස්වාසයක් තියෙනවා.කවුරුත් එයින් එන වතුර ටිකක් බීලා මූණ අතපය හෝදගන්නවා . මාත් එහෙම කරලා එතැන තියෙන පුංචි දේවාලෙට පඬුරකුත් දැම්ම.මේ ජලාසේ ඉන්න මාලුන්ට කෑම දීමත් යන එන අයගේ චාරිත්‍රයක්. ඒ වගේම ඒ අවට ඉඳන් පහල චිත්තෝර් නගරය හොඳින් නරඹන්න පුලුවනි . බලකොටුවේ උස් ප්‍රකාර හා   ඈත නගරයේත් මනරම් දසුන් මෙතැනට පේනවා.
Fate Prakash Palace 

මම අන්තිමටම ගියේ පටේ ප්‍රකාශ් ( Fate Prakash Palace )මාලිගාවට .මේ තමයි බලකොටුවේ තියෙන කෞතුකාගාරය .මහා විසාල පැරණි මහරාජා මාලිගයක එක් කොටසක් කෞතුකාගාරයක් හැටියටත් අනික් කොටස ප්‍රාථමික පාසලක් හැටියටත් පැවැත්වෙනවා. එදා නිවාඩු දිනයක් නිසා මට කෞතුකාගාරන නඹන්න තිබුණ අවස්ථාව මග හැරුණා .
Last Click of the Fort 

දවල් දහයට විතර් බලකොටුව බලන්න ගිය ඌෂත් මමත් එතැනින් එන්න පිටත්වුනේ හවස පහට විතර . ඒත් මටනම් බලකොටුවෙන් එන්න බැරි ගතියක් දැනුනා . අර ගරා වැටුණ මාලිගා සංකීර්ණ , පරන ගඩොල් අතර මහරාජා වරුන්ගෙත් මහරාණි වරුන්ගෙත් මොනතරම් සැඟවුණ කතාන්දර ,රහස් කාලයේ වැලිතලාවෙන්  වැලලිලා යන්න ඇතිද කියලා  බලකොටුවේන් පිටවෙන ලඳු කැලෑවකින් වටවුන අභය භූමියක් හැටියට වෙන්කෙරුණ මාර්ගයේ එද්දී මම කල්පනා කරමින් හිටියේ .ඒ වෙනකොටත් හිරි පොද වැස්ස වැටෙනවා අපිවත් තෙමාගෙන . වැහි අඳුරත් මීදුමත් නිසා බලකොටුව කෙමෙන් නොපෙනී යමින් තිබුණා . 


ප/ලි

හොඳින්ම චිත්තෝර් බලන්න නම්  මුලු දවසක්ම යනවා .එදා රෑ දහයට තියෙන  කෝච්චියෙන් චිත්තෝර් ඉඳලා අග්‍රා බලා යන්න මගේ සැලසුම වුන නිසා වැඩිය හවස් වෙනකන් සිත්සේ මට බලකොටුව නරඹන්න බැරිවුනා .  මගේ චිත්තෝර්  මිතුරිය ඌෂා නිසා රාජ්පුත් ශිෂ්ටාචාරයේ සැඟවුණ අභිමානය වූ චිත්තෝර් නුවර නරඹන්න මට හැකිවුනා .රාණි පද්මිණී ගැන වැඩි විස්තර කියවන්න ඕනෙ නම් මෙන්න මේ ලින්ක් එකට යන්න .