Friday, February 10, 2012

මගේ පුංචි බෑග් එකේ නැගිලා - පොඩි අලි පැටියෙක් ගමනක් යනවා



ආයෙමත් දූවිලි ගසා බසා දාලා මගේ ගමන් මලු පැක් කරන්න කාලේ හරි .අවුරුදු හතරක ඉඳන් මම පාවිච්චි කරන ගමන් බෑග් දෙකම මගේ හිතවත් සගයන් වගේ .මහ ගොඩක් විසාල නොවුනත් එක සතියක ඉඳන් මාසයක් වෙනකන් උවමනා කරන ඇඳුම පැලඳුම් ,පොත් පත් පැක් කරගෙන යන්න මේ දෙක මට වැඩිත් එක්ක ඇති .

සාමාන්‍යයෙන් නොමිලේ ලැබෙන කිලෝ තිහකුත් රාජකාරි කටයුතු නිසා මුදල් ගෙවලා ගෙනයන්න පුලුවන් බරකුත් තිබුණත් කවදාවත් මම මේ බෑග් වල කිලෝ තිහක් වත් ගෙනියනවද කියන්න සැකයි .යාලුවො නම් විහිලු කරනේ මගෙ උවමනා ඒ තරම් අල්පයි කියලා .කොහොම වුනත් මට ලැබෙන දීමනා  පිරිමහන්න/ඉතුරු කරන්න  කියලා ලංකාවේ ඉඳලා කෑම බීම උස්සගෙන කිසිම රටකට යන පුරුද්දක් නම් මට නෑ .ඒත් හැමදාකම මගේ බෑග් එකේ කිලෝ හතරක් පහක් වෙන් වෙන්නේ යාලුවන්ට ආදරේ සහ හොඳ හිත පුරවගෙන යන්න .කොහේ හරි යනවනම් හිතවත් යාලුවො වෙනුවෙන් එයාල කැමති ලංකාවේ දෙයක් ගෙනියන එක මගෙ පුරුද්දක් .ගොඩක් වෙලාවට යාලුවන්ගෙන්ම අහලා එයාලට ඕනෙ දේ ගෙනියනවා .මගෙ ගමන් මලු පැක් කිරිල්ල හා ගමන් බිමන් ගැන දන්න යාලුවොත්  ලංකාවෙන් ඔවුන්ට උවමනා දෙයක් ගෙන්න ගැනීම ඒ හැටි කරදරයක් නැති වග දන්නවා .ඒ නිසා කල් තියාම ඊ මේල් එකකින් තමන්ට උවමනා දේවල් කියල එවන එක සිරිතක් .

ඔහොම වෙලාවලදී රසවත් අත්දැකීම් එහෙමත් තියෙනවා .දැන් අවුරුදු දෙකකට කලින් ඈත අප්‍රිකානු රටක සේවයට ගිය ලාංකික  මිතුරියක් මට නැගෙනහිර ආසියානු රටකදී මුණගැහෙන්න නියමිතව තිබුනා . අපේ හමුව  ගැන පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය ඇය ඊ මේල් එකකින් මට ඉල්ලිමක් කරලා තිබුනා මෙන්න මේ ලිස්ට් එක අරන් එන්න කියලා .

කට්ට කරවල කිලෝ 1 යි 
වේලපු හාල් මැස්සෝ කරවල කිලෝ 1 යි 
අයිලන්ඩ් /හරිස්චන්ද්‍ර කෝපි ග්‍රෑම් 100 පැකට් වලින් කිලෝ1 යි

ඒ වෙනකොට ඇය ලංකාව හැර ගිහින් අවුරුද්දක් .ඒත් ලංකාවෙ කෑම බීම වල රහ අමතක කරන්න බෑ වගේ.  .ඇය ඉන්න අප්‍රිකානු රටේ තියෙන්නේ දුම් ගහල වේලන කරවල-smoked dried fish ඒ තරම් රස නැති වගත් මොන තරම් රස අප්‍රිකානු කෝපි තිබුණත් ලංකාවේ කෝපි බොන්න ආසාවක් ඇති බවත් තමයි ඊ මේල් පණිවුඩය අවසානයේ කියවුනේ  . කෝපි පැක් කරලා ගෙනියනවා කියමුකෝ,ඒත්  කරවල ගෙනියන එක තමයි ගැටලුව .අනිවාර්යෙන්ම මේවා කාර්ගො දාන වෙනවා .පැක් කරන්න වෙන්නෙත් සති දෙකකට ඕනේ  ඇඳුම් එක්කමයි . ඒ වගේම ඇය නැවත අප්‍රිකාවට යා යුත්තේ ලංඩනය හරහා .හිත්‍රෝ ආගමන/විගමන කවුන්ටරයෙන් මේ දෙවල් ගෙනියන්න පුලුවන් වෙන්නත් ඕනේ. අන්තිමට දන්න කියන හැමෝගෙන්ම විපරම් කරලා කරවල  වේලලා, සකස් කරලා ,ඇසුරුම් කරලා තියෙන වර්ග වලින් මිලට අරගෙන ආයෙත් පොලිතීන් වලින් හොඳට සීල් කරලා ටිකක් වත් ගඳක් නො එන්න ඇඳුම් බෑග් එකේ දාගෙන ගියා .හැබැයි මම කල් තියාම මගේ මිතුරියට කියලා යැව්ව ලංඩන් පහු කරගෙන එනකොට මට ඉස්තරම් වර්ගයකින් ෆර්පියුම් එකක් අරන් එන්න කියලා කරවල ගඳ ආවොත් ඇඳුම් වලට ඉහලා පාවිච්චි කරන් .ඒ ඉල්ලිමත් ඉටුවුනා .අන්තිමට අනික් යාලුවො විහිලු කලේ "ගඳ කරවල දීලා  බ්‍රෑන්ඩඩ් ෆර්පියුම් ගත්තා වගේ" කියලා .

මගේ ඉන්දියානු මිතුරියන්ගෙන් නිතරම ඉල්ලිම් ලැබෙන්නේ ලංකාවේ කුලු බඩු වර්ග අරන් එන්න .ඒ අතරින් කුරුඳු ,ගම්මිරිස් හා එනසාල් විශේෂයි .ඒ වගේම ලංකාවේ පුච්චල පැක් කරලා තියෙන කජු කන්න ආස අයත් ඉන්නවා . මෙහෙම කුලු බඩු ගෙනිහින් දුන්නම ඔවුන් ඒවා අවුරුද්දක් හමාරක් පාවිච්චි කරනවා .ලංකාවේ යාලුවෙක්ගෙන් ලැබුනා කියලා තමන්ගේ අනික් යාලුවො ,නෑ දෑයො ,හිතවත් උදවියටත් ආඩම්බරෙන් බෙදලා, ඒවා දාලා මසාලා කෑම හදලා ,ඒ ගැන වර්ණනා කරලා මට ආයේ ඊ මේල් එහෙමත් ලැබෙනවා .ගිය අවුරුද්දේ නම් මට එහෙම ඉන්දියානු මිතුරියකගෙන් සර්ප්‍රයිස් එකකුත් ලැබුනා .ඒ මම ගෙනිහින්දීල තිබුණ කුරුඳු වලින් සිනමන් ෆ්ලේවර්ඩ් හෝම් මේඩ් කේක් එකක් ඇගේ අතින්ම හදලා රස බලන්න දීම .

කලබලෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවත් එක්කම මේ වගේ පුංචි දේවල් වෙනුවෙන් කාලය යෙදවීම කරදරයි කියලා මම ගැන දුක් වෙන  සමහර  යාලුවො කියන්නේ මම කැමති ලංකාවට ආවේණික මොනව හරි සිහි වටනයක් අරන්න එන්න කියලා .එතකොට නම මම ටිකක් අමාරුවේ වැටෙනවා .මම කැමති දේටම යාලුවොත් කැමති වෙන්න ඕනනේ .එහෙම වෙලාවට  මොලේ පාවිච්චි කරලා පරණ ඊ මේල් දිග ඇරලා ,මූණු පොතේ පින්තූර බලලා යාලුවන්ගේ ඉන්ටරෙස්ට් ගෙස් කරලා ලංකාවට ආවේණික ටී ෂර්ට් , කියවන්න කැමති පොත් ,ලක්සලෙන්  විසිතුරු දෙයක් අරගෙන යනවා .එහෙම මම ලක්සලෙන් ගෙනිහින් දුන්න පොල්කටු හැඳි දුසිමක් මගේ බංග්ලාදේශ මිතුරියක් තාමත් පාවිච්චිකරනවා ගේ නිවසේ විශේෂ ප්‍රිය  සාද අවස්ථා වල .මේ විදියට යාලුවන්ගේ ඉන්ටරෙස්ට් ගෙස් කරලා ඔවුන් කැමති යමක් ගෙනිහින් දුන්නම එයාලගේ මූණේ ඇඳෙන හිනාව නිසා දැනෙන සතුට නම් මිල කරන්න බෑ .

මගේ අත්දැකීමේ හැටියට මේ විදියට තෑගි තෝරගනිද්දී ලොකු අමාරුවක වැටෙන්නේ මිතුරියන්ගේ පුංචි පැටවු කරන ඉල්ලිම වලදී.පුරුද්දක් විදියට මම කිසිම පොඩ්ඩෙකුට ලංකාවෙන් අඳුම් ගෙනියන්නේ නැත්තේ මට එහෙම නියමිත ප්‍රමානයට පොඩ්ඩන්ට  ඇඳුම් තෝරන්න බැරි නිසා  .ඒ නිසා වැඩියෙන්ම ගෙනියන්න වෙන්නේ සෙල්ලම් බඩු වගේ දේවල්. එතකොට පොඩ්ඩො ආස විදියේ සෙල්ලම් බඩු ,ඒවගේ පාට , පොඩ්ඩන්ගේ වයස,වගේ ගොඩක් දේවල් හිතලා තමයි තෝරන්න වෙන්නේ .එහෙම සෙල්ලම්බඩු සොයන්න ගිහින් මාත් ලොකු සතුටක් ලැබුව වෙලාවල් එමටයි .

මේ ගමනත් වැඩ ගොඩක් මැද කලබලෙන් ගමන් යන්න ලෑස්තිවෙද්දී මිතුරියකගෙන් ඉතාම කෙටි ඊ මේල් පණිවුඩයක් ලැබුණා. ඒ ඇය දන්න හඳුනන විදෙස් ජාතික පවුලක පොඩි දරුවෙකුට තෑගි දෙන්න ලංකාවෙන් සෙල්ලම් අලි පැටියෙක් අරන් එන්න කියලා .සොෆ්ට් ටෝයිස්-Soft  Toys  විදියට ලංකාවට ආවේණික අලි පැටවු හදන සාප්පුවක නමත් දරුවා කැමති පාටත් විතරයි ඊ මේල් එකේ තිබුණේ .වැරදිලාවත් ඒ පාට අලි පැටවු නොහිටියොත් කියල හිත හිතා  වැඩ ගොඩක් මැද්දේ මම අර සාප්පුවට ගියේ අලි පැටියෙක්ව මිලට ගන්න . මේ දරුවා ගෑණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන්නවත් මම දන්නේ නෑ .විදෙස් ජාතික පවුලක  වුනත් ආසියාතිකයෙක්ද ,අප්‍රිකානුවෙක්ද ,යුරෝපීය රටක දරුවෙක්ද කියන්න  දන්නේ නෑ .කොහොම නමුත් කිව්ව විදියේ සෙල්ලම් අලි පැටියෙක් සොයාගන්න පුලුවන් වුනා රතු කහ පාට ඇඟකුයි,කොල පාට කන් දෙකයි ,වලිගෙකුයි එක්ක .පැක් කරද්දී  ගමන් බෑග් එකේ ඉඩ ඇහිරෙනවා වුනත් පොඩ්ඩෙකුට දෙන තෑග්ගක් නිසා කාර්ඩ් බෝර්ඩ් ඇසුරුම් පෙට්ටිය එක්කම ලස්සන පාට කඩදාසියකින් ඔතලා සාපුවේ නමත් එක්කම දෙන ඇසුරුම් කවරේ එක්ක තෑග්ග මිලට ගත්තා . මේ දැන් ටිකකට කලින් ඒ පොඩි අලි පැටියා මගේ ගමන් බෑග් එකේ සෑහෙන්න ඉඩක් අරන්  ඇහිරුනා ඈත රටක ඉන්න පොඩ්ඩෙක්ව සතුටු කරන්න යන්න .සමහර විට මේ අලි පැටියා මාත් එක්ක  එනකන් දැනටමත් ඒ පොඩ්ඩා හෝ පොඩ්ඩි මග බලන් ඇති .කෙනෙක්ව සතුටු කරන්න තෑග්ගකට මොන තරම් දුරක් යන්න පුලුවන්ද කියලා මට ඒ වෙලාවේ හිතුනා. 

ප/ලි 


මගේ තේරීම ගැන මේ පොඩ්ඩා හෝ පොඩ්ඩී සතුටු වේවි කියලා හිතනවා .