Tuesday, April 13, 2010

දුලික් හිල් දවස් හෙවත් Living in the present time











හිස සිට දෙපතුල දක්වා පොරවගත්ත කම්බිලි පොරෝණාවෙන් මිදෙන්න හිත ඉඩදෙන්නෙ නෑ.හිම නොවැටුනාට පුදුම හීතලක් තියෙන්නෙ.ඈත කඳුකර ගම්මාන වල ඉඳලා නගරයට එන බස් රථ වල නලාසද්දෙ කියන්නෙ දැන් එලිවෙලා කියලා.වෙලාව උදේ හයයි.පිටත ආලින්දයට තියෙන කවුලුව විවර කලොත් මීදුමෙන් වැසුන කඳු මිටියාවත් සහ ලා හිරු රැස් සිඹගන්නා අන්නාපුර්ණා කඳුවැටිය දැකගන්න පුලුවන් .එත් කවුලුව විවර කරන්නෙ කොහොමද ?හීතල රාස්සයෙක් වගේ කඩාපනිනවා.


කම්මැලිකමට ගුලිවෙලා ඉන්නබැහැ.යෝග ව්‍යායාම වලට යන්න වෙලාව හරි.මුල් දවස්වල හීතලේ ගැහි ගැහී යෝගපන්තියට ගියේ අපේ යෝගා ගුරුට හිතින් සාප කරකර.ඒත් ටිකදවසක් යනකොට නොගිහින් බැරිවුනා.මෘදු සංගීතයට හිත එකඟ කරගනිමින් ඇරඹෙන යෝග ආසන නිසා අපේ ගුඩු වෙලා තිබුණ කම්මැලි ශරීර කූඩු නම්‍යශීලී වුනේ අපිටත් නොදැනිම.


අපේ දවස පටන්ගන්නෙ ඔහොම . පැයක් යෝග කරලා ඉවරවෙනකොට හොඳටම බඩගිණියි .කවුරුත් කඳු මුදුනෙ තියෙන අවන්හලට යන්නෙ උදේකෑමට. උණු උණු නැවුම් එළකිරි, දුඹුරු පාන්,පළතුරු කෑම රුචිය වැඩිකරනවා. අපි නැවතිලා ඉන්න දුලික් හිල් නවාතැන තියෙන්න හිමාල මිටියාවතේ කඳු බෑවුමක. ගහකොල මල් වලින් පිරුන හරි ලස්සන තැනක්.දුලික් හිල් නිකේතනය මැදින් පහල මිටියාවතේ කඳුකර ගම්මානයට යන පාරක් වැටිය තියෙනවා.මේ පාර දිගේ සීතල නොතකා නගරයට යන කම්කරුවන් ධාන්‍ය මලු ,කිරි බාල්දි , එලවලු කූඩ හිස තියාගෙන යන ගැහැනුන් , මිනිසුන් දැකගන්න පුලුවන් . පාසල් බස් රිය එනකන් මග බලාගෙන ඉන්න පොඩිත්තො පිරිසත් සුලබ දසුනක් . මේ අය පහල ගමේ ඉන්න "තාමන්ග්" කුලයට අයත් ගම් වැසියො . මේ ගැහැනුන් , මිනිසුන් හා දරුවන් ගේ මුහුණු බැලුවම පෙනෙනව ජීවිතේ ගැටගහගන්න ඔවුන් ලොකු සටනක් කරන බව .


දැන් ඉතින් කවුරුත් කාල ,නාල , ඇඳ පැලඳගෙන හරියටම නමය වෙනකොට දේශන සාලාවට එනවා. ඒක නීතියක් නොවුනත් හරියටම අකුරට අපි පිළිපැද්ද දෙයක්. මේ දේශන සාලාව හොඳට වාතාශ්‍රය ලැබෙන,ඉඩ පහසුකම් සහිත තැනක්.අපි හැමෝම අසුන්ගන්නෙ බිම . ඒකට ඇති තරම් කුශන් මෙට්ට තිබුණ. බිමට කාපට් අතුරල තියෙනවා .කවුරුත් සීතල පලවාහරින්න තට්ටු තුන හතරක් ඇඳුම් අඳලයි ඉන්නෙ . දුම් දමන උණුවතුර බොය්ලේරුවත් , දෙහි යුශ ,සීනි,මී පැණි පානයත් සීතල නිසා එන පොඩි පොඩි ලෙඩ පලවා හරිනවා.මේ සාලාව කෙලවර තණපිටියෙ කහපාට මල් පිපුන මෙරිගෝල්ඩ් මල් පඳුරු සහ සීත මැදින් එන හිරු රැස් උදෑසන නෙතට සොඳුරු දසුන් මවනවා. ඉගෙනගන්න ,දැනුම සොයන්න හොඳ වට පිටාවක් .මට දැනෙන්නෙ පැරණි ඉන්දියාවෙ ගුරු කුලයක ඉන්නව වගේ හැඟීමක් .


දකුණු ආසියාවේ සියලුම රටවල් සහ නැගෙනහිර ආසියාවේ බුරුමය නියෝජනය කරමින් පැමිනි තරුණ කාන්තාවන් මේ දේසන සාලාවෙ අසුන් අරන් ඉන්නේ. මේ අය අතර විශ්ව විද්‍යාල ආචාර්ය වරියන් ,නීතිවේදිනියන්, ජනමාධ්‍යවේදිනියන්, රජයේ ආයතන වල විධායක නිලධාරිනියන් වගේම ඈත ගම වල මිනිසුන් සමග ඔවුන්ගේ යහපත වෙනුවෙන් උරෙනුර ගැටී හරි හරියට වැඩකරන කාන්තාවනුත් සිටියා.ඔවුන් දකුණු ආසියාවේ විවිධ ජාතීන් , ආගම් ,කුල නියෝජනය කලා.අපි තුල තිබුණ විවිධත්වය හරියට නොයෙක් පාටින් හැඩවුන සුවඳින් අනූන ලස්සන මල් කලඹකට සමානයි.අපේ කාලය වෙන්වුනේ ආසියාවේ කාලීන ආර්ථිකය , දේශපාලනය , සංවර්ධනය , ආගම් , ජන සමාජය ගැන විමර්ශනාත්මකව ඉගෙන ගන්න .බොහොම උණුසුම වාද විවාද ,අලුත් අදහස් වලින් පිරුණ දේශන සාලාවක්. අපිට උගන්වන්න ඇවිල්ල හිටියේත් ලෝප්‍රකට දකුණු ආසියාණු සම්භවයක් සහිත ආචාර්යවරියන් . මේ උණුසුම් වාද විවාද මුලු ආසියාව පුරා පැතිරිල හිටිය අපි අතර වෙනස්කම් ඉක්මවා ගිය සහෝදරත්වයක් ඇතිකලා. මේ හැම කාන්තාවක්ම විශේෂ කෙනෙක්. ඒ ඔවුන් ඉහල වෘත්තීන් වල නිරතවෙලා ඉන්න නිසා නෙවෙයි . මේ හැමකෙනෙක්ම ඒ තත්වෙට එන්න ලොකු සටනක් කරලා තිබුණා.දුප්පත් කම ,කුල පීඩනය,පටු සමාජ ආකල්ප වගේම ,ධනවත් ,කුලවත් පවුල් පෙලැන්ති වල යල් පැන ගිය මත වලට පයින්ගසා ඉදිරියට ආව ගමන ගැන ඒ හැම කෙනෙක්ටම වෙන්වුන කතාවක් තිබුණා.


අපි හැමෝටම ඉගෙනීම විනෝදජනක දෙයක් වුනා. බොහොම හර බර සාකච්ඡා අතර දකුණු ආසියාවට ආවේණික ජන නැටුම් ,ගායනා එහෙමත් අපි රඟ දැක්වුවා. තේ විවේකයේ කවුරුත් අසල තියෙන තණපිටියට දුවයන්නෙ අව්ව තපින්න. පැය දෙකක දවල් කෑම විවේකයේ රෙදි හෝදගන්න , ඔනෙ නම් නිදාගන්න , එහෙම නැත්නම් පොතක් පතක් කියවගන්න පුලුවනි .


හවස් වීගෙන එනකොට අන්නාපූර්ණා වැටිය සිඹින මලානික හිරු රැස් අමුතු සිතුවම් අඳිනවා.හවස පහ වෙනකොට අපේ දවල් දවස අවසානයි. සමහරු නම් හීතල නොතකා තණපිටිය වටේ දුවනවා. යෝගා ව්‍යායාම කරනවා.මම පටු මාවත දිගේ දුලික් හිල් නිකේතනයේ පහල බෑවුමට ඇවිදගෙන යනවා. එතනට ගියහම හිමාල මිටියාවතෙන් සමුගන්නා අවසාන හිරු කිරණත් දැකගන්න පුලුවනි . උදේ නගරයට ගිය ගැහැණුන් මිනිසුන් ආයෙමත් ගම්මානය දෙසට පල්ලම් බහිනවා. ඒ හැම කෙනෙක් අතේම අඩුම කුඩුම පිරුණ මල්ලක් තියෙනවා. සමහරු ගොවි බිම් වලට උවමනා පොහොර මිටි කරෙන් අරගෙන යනවා. ඈත මිටියාවතේ පැල්පත් වල පහන් දැල්වෙනවා. පොඩි දරුවන්ගේ කටහඬවල් , හරකුන් ගේ උම්බෑ සද්දේ ඇහෙනවා. මට දැනෙන්නේ "අපූගේ ලෝකය " පොතේ නිශ්චින්දි පුරේ තොටුපොලවල්, බට කැලෑ,මල් ගොමු අතර තනිවුනා වගේ හැඟීමක් .


සීතල වැඩිකමට හවස හත විතර වෙනකොට හරි බඩගිණියි. ඒ නිසා කලින්ම රාත්‍රී ආහාර සූදානම්. හීතල මකන්න අවන්හල මැදතියෙන ලොකු ගිනි උඳුනේ දර කොට පිලිස්සෙනවා. කවුරුත් උඳුන වටේ තියෙන සෝෆා වල වාඩිවෙලා උණුසුම් වෙනවා. කෑමෙන් පස්සෙ ආයෙත් කවුරුත් දේශන සාලාවට එක්වෙන්නවා. ආසියාවේ විවිධ රටවල ප්‍රකට සිනමා කෘති නරඹන්න. හැම රටකින්ම ආව අය මේ සිනමා දර්ශන සඳහා චිත්‍ර පට ගෙනැවිත් තිබුණ.බොහෝමයක් ඒවා ආසියාවේ සමාජ ප්‍රශ්න විදහා දක්වන සිනමා පට . ගොඩක් වෙහෙස දවස්වල නම් සිනමා දර්ශන අවලංඟු කරනවා.ඒ වෙනුවට කවුරුත් කැමති හින්දි චිත්‍රපට ගීත සමග නටන්න පුලුවනි . එහෙම නැත්නම් සංගීත සැඳෑවල් පවත්වනවා. හැමෝම තරඟෙට පන්ජාබි, බෙන්ගාල ,කර්නාටක , උර්දු,පශ්තුන් , දෙමල ,සිංහල,නේපාල ගීත ගයෙනවා.ලංකාවෙ "සුරංගනී" බයිලා සිංදුවට තිබුණෙ පුදුම ඉල්ලුමක් !!


මෙහෙම දවස් වල රාත්‍රී දහය විතර වුනත් අපි සමහරුන්ට නිදාගන්න උවමනාවක් නැහැ.ආයෙමත් කාගෙහරි කාමරේකට කට්ටියම එකතුවෙනවා. දවල් දවසේ අපි කතාකල දේවල් අපේ රටවල තියෙන දේශපාලන ප්‍රශ්න , ඒ හා බැඳුන අපේ අත්දැකීම් , ගැන බොහොම උණුසුම් සංවාද මේ වෙලාවට ඇතිවෙනවා. කවුරුත් ලෝක බලවතා වුණු ඇමෙරිකාව නිර්දය ලෙස විවේචනය කරනවා විතරක් නෙවේ , අපේ කලාපයේ ඉන්දියාවේ , පාකිස්ථානයේ පිලිවෙත් එහෙමත් හෙලා දකිනවා.ඒ වෙලාවට අපි අපේ රට වල දේශ සීමා වලින් ඈත්වෙලා සර්වලෝක පුරවැසියො වෙනවා. මේ වෙලාවට අපි ලංකාවෙන් ගෙනිච්ච ඉඟුරු තේ , ලෙමන් තේ ,මාරි බිස්කට් හරි වටිනවා. කෙලවරක් නැති විහිලු කතා , පරණ ප්‍රේම කතා ,වලට එහෙමත් මේ වෙලාව වෙන් වෙනවා. හීතල කපාගෙන මහ රෑ අපේ සින හඬවල් දෝංකාර දෙනවා.


මාසයක් තිස්සේ උදේ පාන්දර ඉඳලා මැදියම් රැය වෙනකන් මෙහෙම අපේ දවස් ගෙවුණද කියලා හිතනකොටත් පුදුමයි. ඉගෙනීම අපේ සිත , කය හා මනසට විනෝදයක් වෙන විදියට සකස්වෙලා තිබුණා. බොහෝ පුහුණු වැඩමුලු වල වගේ කෙලවරක් නැති නීරස පවර් පොයින්ට් ප්‍රසන්ටේශන්ස් තිබුණෙ නැහැ.අපේ දැනුමේ සහ බුද්ධියේ උල්පත් වුනෙත් අපිමයි.වට පිටාවේ තුබුණ සැහැල්ලු බව,සරල බව , සුන්දරත්වයත් නිසා අපි වෙහෙසට පත්වෙන්න නැතුව ඇති . හැමෝම කිව්වෙ තමන් ගෙවූ හොඳම පුහුණු කාලසීමාව මෙය බව .


මට මේ වෙනස කොයිතරම් දැනුනද කිව්වොත්,හරියට මාසෙකට පස්සෙ ලංකාවට ඇවිත් ඊට පහුවදා ජායික් හිල්ටන් හෝටලේ තිබුණ දින තුනක රැස්වීමකට හසභාගි වෙද්දි මට දැනුණෙ මම ඒ තරු පන්තියේ සුපිරි පරිසරයට අයිති නැති සත්වයෙක් වගේ. ඒ අධි පහසුකම් සහිත පරිසරය හැරදමා හිමාල මිටියාවතේ අල්පේච්ච දුලික් හිල් නවාතැනට ආයෙ යන්න ඇත්නම් කියලා හිතුන වාර අනන්තයි.එදා තමයි මට දැනුනෙ ජීවිතේ මේ මොහොත රස විඳීම හා ජීවත් වීම කොයි තරම් වැදගත් ද කියලා. මොකද ආයෙමත් ඒ මොහොත එන්නෙ නැති නිසා.