Showing posts with label මට හිතෙන හැටි. Show all posts
Showing posts with label මට හිතෙන හැටි. Show all posts

Sunday, November 4, 2012

අඳුරින් බර ආකර තුළ මැණික් දිලෙනවා-නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා




මගේ පොඩි කාලේ මතක අතර මහ ගෙදර පරණ කැබිනට් එකක් මත වූ රේඩියෝවට හිමිවන්නේ වැදගත් තැනකි . අම්මගේ පලමු පත්වීම දුෂ්කර සේවා ස්ථානයකට ලැබීම හේතුවෙන් පාපැදි මිලට ගන්නට දුන් රුපියල් 600 /= පුද්ගලික ණයකින් මේ රේඩියෝව මහ ගෙදරට පැමින ඇත .ඇය පා පැදියකට වඩා රේඩියෝවකට ආසා වුනා විය හැක .දේ පටන් රෑ වෙන තෙක් දවස ගෙවෙන විදිය  ලමා කාලයේ මට දැනුනේ මේ රේඩියෝව නිසාවෙනි .සමහර වැඩ සටහන් පටන්ගන්නා විට වාදනය වෙන රේඩියෝ ජින්ගල් අදත් හිතේ රැඳී අවුරුදු ගානක අතීතය වෙත හිත කැඳවාගෙන යාමට සමත් වෙයි .


අද නම් බොහෝ ගුවන්විදුලි නාලිකා ඇත . ඒ සියල්ල පැය විසිහතර පුරාම ඇසෙයි .ඒත් මතකයේ රැඳෙන මිහිරක් ඒවායින් හිතට එක්වෙනවාද යන්න පැනයකි .දිග ගමන් බිමන් වල යෙදෙන විට කාලය ගෙවන්න ඇති එකම විසඳුම වාහනයේ ඇති රේඩියෝව සුසර කිරීම වුවත් බොහෝවිට මට සිදුවන්නේ අල්ලන අල්ලන චැනලය නැවත වෙනස් කිරීමටය .එපාවුන තැන "ශිහ් මේ ජරාව අහල ඉවරයක් නෑ "වැනි නුරුස්සන වදනකුත් පිටවේ .එවිට මතකයට එන්නේ පොඩි කාලේ කම්මැලි කමට ඇඳේ ගුලිවී නිදි  ගැට හරිමින් ගුවන්විදුලි සoස්ථා උදා විකාශයට සවන් දුන් අයුරුය


ඒ මගේ ලදරු විය ගෙවුන හැත්තෑව දශකයේ අග අසූව දශකය ආරම්භයයි . උදේට නැගිටින්න අදිමදි කරන මට ඇහෙන්නේ සුනිල් එදිරිසිoහගේ පිනිබර යාමේ සැවුලන් හඬලනවා ගීතයයි.

පිනිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වට කර ලිප ගිනි නැලවෙනවා
කොලඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා


ඒ ඇසෙනවාත් එක්කම මට තාමත් බොහෝ චිත්ත රූප මැවේ . උදේ හතරේ පටන් අඬලන අසල් වැසි විට්ටර් මාමාගේ කුකුල් රන්චුව , දර ලිපේ පැහෙන උණු වතුර කේතලය ලඟට වී ලිපට සාත්තු කරන ආච්චී ,ඒ වටේම දැවටෙන මගේ සුදු බැලලී ඒ හැමෝම සින්දුවේ ඇත .පාසල් යන වයසක නොවුනත් සින්දුව ඇහෙන විට ඉක්මනට  ලොකුවෙලා ඉස්කෝලේ යන හිතක් පහල වෙයි .කොලඹ කෝච්චිය එන්නේ රජ ගමනේය .එහි ඇති ගී පද හිතට අමුතු ප්‍රබෝධයක් ගෙනේ .අදහස හා යෙදුම් එතරම් ප්‍රාණවත්ය .


උදා විකාශයේ බොහෝ දේශාභිමානී ගී වදනය වූ අයුරුත් මතකය .ඒ අතුරින් නන්දා මාලිනිය ගැයූ ගී දෙකක් මගේ හිතේ ඇඳී ඇත . එකක් සාර විට චිත්‍රපටයට ගැයුන ගීතයකි








මේ සින්හල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පන ගැහෙන රටයි
මුලු ලොව ඒ රටට යටයි


අහස සිඹින ගිරි කදුරු
පොලව තෙමන වැවු සයුරු
මුහුද අවර බැඳි පවුරු
ඒරට අසිරි සිරි එවුරු


මවු බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි මේ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ


සමනොල ගිරි වලලු ඉමේ
සුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ



පොඩි දරුවෙක් ලෙස මගේ මතකයේ නිරතුරු රැවු දුන්නේ එහි මුල් පද පෙලයි . එය ඉතා සරල මුත් අභිමානය පිරුණ අදහසකි .පසුව මා වඩාත් කැම්ති වුයේ එහි අවසන් පද පෙල වූ සමනොල ගිරින් එන සම කරුණා ගුණ මහිමය ගැන කියන කොටසටයි .මහගම සේකර ලියූ මේ ගීය පසුව බොහෝ මත භේද වලට හේතු වුන බවක් අසා ඇත. මේ හා සමාන සේකර විසින් ලියූ අනික් ගීතය රත්නදීප ජන්මභූමි ගීයයි .ඒයත් උදා විකාශයෙන් ඇසූ වග මතකය .කාලෙකට කලින් අවන් හලකට වී රට රට වල ජාතිකාභිමානී ගී සැඳෑවක් දැමූ දිනක ඉන්දියන් හා බෙන්ගාලි මිතුරන් ඉදිරියේ  මට ගයන්නට සිදුවූයේත් රත්නදීප ජන්මභූමි ගීතයයි .
මා සිත් ගත් අනික් ගීතය වූයේ ඉහත ආත්මය චිත්‍රපටයට නන්දා විසින්ම ගැයු කරුණාරත්න අබේසේකර පද රචනාකල කේමදාස සoගීතවත් කල අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ගීතයයි .







අද පමණක් නොවේ අපට
හෙටක් තියෙනවා
අරුණලු කැන් හිනැහී නව
දිනක් ලබනවා
අඳුරින් බර ආකර තුළ
මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින්
එළිය වැටෙනවා


උදාසීන ජාතිය නිදිකිරා වැටෙන්නේ

උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ

ලමා කාලයේ පටන් මෙහි අපූර්වත්වය රැඳුනු මා සිත් ගත් පද පෙල වුයේ "අඳුරින්බර ආකර වල මැණික් තියෙනවා "යන්නයි . එය නොපසුබටව නැගී සිටින්න රටකට හෝ ජාතියකට දෙන පණිවුඩයක් සේම කෙනෙක්ගේ පුද්ගලික ජීවිතයටත් වටින ඔවදනක් හා සමානය.ගැඹුරු අභිමානයක් හිතට දනවන අමරදේව ගැයූ


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිහවල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි 


අමරදේව විසින්ම ගැයුන මහවැලි ගීතයත්,  රන් දහඩිය බින්දු බින්දු උදා විකාශයේ තිබුණි 



සිරිපද ලස සමනොල සිරසේ

සිඹ සිඹ සිහිලස විඳ සතොසේ
ලෙලී දිලී ගලා බසී

මහවැලි මහවැලි මහාවැලී ....







රන් දහඩිය බින්දු බින්දු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා
ගයමු රන් ගොයමේ
සින්දු සින්දු 



මේ ගී එවක පැවති රජයන් වල නොයෙක් සoවර්ධන හා ප්‍රචාර වැඩ වලට යොදාගැනුමට ලියූ වගක්ද කියවේ .එය එසේ වුවත් මේ ගී වල අරුත හා ගීත්මය ගුණය නොසුන්ව පවතින බව මට හිතේ . අනික් අතට වැඩ බිමට , කුඹුරට ,කාර්යාලයට උදෙන්ම යන මිනිස්සු අගයකලාට කම නැත .උදා විකාශයේ මගේ මිහිරි මතක හා රැඳුන අනික් ගීය වූයේ නන්දා ගැයූ බුද්ධානුභාවේන ගීතයයි . 


උදෑසනක් යනු දවසක ඇරඹුමය .ඇරඹුමක් ප්‍රබෝධමත් විය යුතුය .ඊට හොඳ සිතුවිලි එක් විය යුතුව .එය දවසේ ඉතිරි කාලය ගෙනයන්න තල්ලුවක් දිය යුතුය. මේ ගීතාවලීන් පුරා කැටිව ඇත්තේ ඒ ප්‍රබෝධයයි .පොඩි ලමයෙක් ලෙස මා මේ ගී ඇසූ මතකය කෙතරම් ප්‍රබලද යන්න අදත් ඒවා මගේ හිතේ රැඳී පවතින විදියෙන් පෙනේ .

ඒත් දැන් බොහෝවිට උදෑසන ඇසෙන්නේ කොහේ හෝ කපා කොටා මරා දැපූ උද්වේගකර පැයෙන් පැය පුවත්ය .එසේත් නැත්නම් බෝම්බ සෙල්ලම හෝ රෑ බැලූ හීන වල ගුන දොස් උදේට කියන ඒවාය . එහෙමත් නැත්නම් කොහේ හෝ කෙනෙක් ටෙලිෆෝනයෙන් මඩවා විකාර කියා ප්‍රීතිවෙන උදවියයි . උදේ පාන්දරින් පැය හතර පහක දිග ගමන් යන්න පිටත්වෙන වෙලාවට මේවා ඇහෙනවිට ඔලුවත් තාන්තුවා වෙයි .


ප/ලි 

නිරතුරුව උදෑසන ඇසුන තවත් ගීයක පද මාලාවක් වුයේ ....

"...සිය රට දේම සියතින් ගෙන වැලඳගමූ,
රන්වන් කරල් අතරින් පෙර ගමන යමූ "

එය සමූහ ගායනයක් වග මතක නමුත් මුලු පද මාලාවත් ගැයුවේ කවුරුන් ද යන්නත් මතක නැත . රේඩියෝ ජින්ගල් අතර මම වඩාත්ම කැමති ලමා උපන්දින සුබ
 පැතුම් වෙනුවෙන් අමරා රණතුoග ගයන ආයුබෝවන් වාසනාවන් ගීතයටයි.  මධ්‍යාහ්නයේ උදා විකාශය අවසන් වීමට වාදනය වුන අමරදේව ගැයූ සබ්බ පාපස්ස අකරණo ධම්මපද ගාථාවද පොඩිකාලේ සිට ඇසීමට ප්‍රිය වීමි .



Thursday, October 11, 2012

නියo වැහි

වෙලාව දහයාමාරට ආසන්නය .දඹදෙණිය , නාරම්මල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර ,ගලේවෙල ,දඹුල්ල පහුකරගෙන යද්දී මග දෙපස වෙනදා ඇති සිරියාව පලාගොසින් යයි හිතේ . තද වියලි කාලගුණ ස්වභාවයක් , නිල්ල හේබාවැටුන ගහකොල , කැකෑරුණ බොරදිය ඇති කුඩා වැවු හා ඇල මo හමුවේ . හබරණත් වෙනසක් නැති .තවත් වියලී කරවී ගිය හැඩකි .මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ මේ පාරෙන් ගියේ මහ වැහි වලාවන් දෙබෑකරගෙනය . දැන් හිස පුපුරන ,ඇස් කකියන අව්ව හා මලානික ගහ කොලය .හබරණ සිට පොලොන්නරුවට යන මග ඇති මිනේරිය හා ගිරිතලේ වැවුද හිඳී වියලී ගොසිනි .වැවු පිටි මතින් වතුර බවුසර ඇදේ .වෙනදා මින්නේරිය හා ගිරිතලේ අසලින් යනවිට  රියෙහි වේගය බාල කර වැවු දිහා මදක් බලා හිඳ යාමට රිසි මුත් මෙදා එහෙම හිතුනේ නැත . පොලොන්නරුව නව නගරයට ඇතුල්වෙන හරියේ ඇති ඇල පාර නිතර කිරි සුදු පෙන නගමින් දිය බැස යන තැනක් වුව මෙදා එහි ඇත්තේ ගොහොරු මඩ වතුරකි . මහත් උවමනාවෙන් පරාක්‍රම සමුද්‍රය දෙස බැලූ මුත් එහිත් ඇත්තේ වැව මැද වතුර කඳුලකි .වෙනදා මෙන් දිය පිරී රැලි නගන සශ්‍රීක සොඳුරු ගතිය පලාගොසිනි .


කාලෙකට කලින් සශ්‍රීකව සිටි  පරාක්‍රම සමුද්‍රය 


පොලොන්නරුව , තමන්කඩුව ,මනම්පිටිය , වැලිකන්ද , පූනානි පහුකර ඉදිරියට යද්දී ඇත්තේ හිඳී වියැලී පුපුරා ඉරිතැලුන වැවු පතුල් ,මඩ පැහැ බොරදියෙන් යාන්තම් පෙඟුන ඇල මo,කරකුට්ටo වෙලා කෙඩෑරිව පොලවට හේබා ගිය ගස් කොලන් , තෙතමනයක් නැති වියලි හුලo බදාගෙන ගිනි අවුලන අවු පූටකයත්ය .ගමනාන්තයද කිසිදු වෙනසක් නැත.වියලි හුලඟට මුසුව දූලි නගන වැලි පොලොවෙනුත් , කලපුව පිසගෙන එන වියලි හුලඟෙනුත් රෑ දහවල් දෙකේම දැඩි රස්නයෙන් පීඩා විඳින්නට එහි ගහකොල , මිනිසුන් සතුන් සිවුපාවුන් හටද සිදුව ඇති සැටියකි .සැප්තැම්බර් පහලොව වෙන විට ඇද හැලෙන්නට පටන්ගන්නා ඊසාන දිග මෝසම් වැස්ස මෙදා උරණ වී ප්‍රමාද වෙන හැඩය .අරුමෙකි 2011 ජනවාරියේ මෙහි මහා ගoවතුරකින් ගහකොල ,කුඹුරු, සතා සීපාවා පමණක් නොව මිනිස් ජීවිතද අහිමි වුනි .ඒත් දැන් වැහි ඇල්ලක සේයාවක් නැත .ගමන් මහන්සිය යන්නට හවස් කාලයේ කෙතරම් දිය නෑවත් හාත්පස ඇති දැඩි උණුසුම නිසා දහඩිය වැගිරේ .

ඇඳිරි වැටී එන හවස් යාමයේ වුව හාත්පස පරිසරයේ ගිනියම් ගතියේ වෙනසක් නැත .ඒත් එක වරම හිඳ සිටි තැනින් නැගිටගත්තේ යාන්තම් පරිසරයේ දැනුන වෙනසක් නිසාවෙනි .වහිනවාදැයි සැක හැර දැනගැනීමට බැල්කණිය වෙත ගියෙමි .අරුමෙකි , මහ පුදුමෙකි . ඇත්තෙන්ම වැසි වැටේ . හීන් පොද නොව දොඹගෙඩි තරම් වැස්සකි

සාපිපාසිත නිරුවත් මහපොලව තෙමා තෙමා දෝරේ ගලන්
නැහැපුඩු කිති කවන නැවුම් පොලොවේ දුවිලි දුමාරය මතුකරන්
කේඩෑරි වියැලි ගහකොල ආනන්දයෙන් මත්කරමින්
ඔරොප්පු වියලි කර්කෂ හුලන් පලවා හැර
මෙන්න වහිනවෝ කාලෙකට පස්සේ

හදිසි වැහි වලාවන් හදිසි සතුටක් ගෙනා හැඩකි .

මේ වැස්ස කෙතරම් මිහිරීද කියතොත්
නැගී අවුත් අපි සැවොම කුටි
යෙන් 
බැල්කණියට පැන හිරිකඩ පින්නේ තෙමෙමින්
ආහ්ලාදයෙන් මන්මත්වී සිටිමු


පැය බාගයක් පමණ වැස්ස ඇද හැලුනේ ගහකොල, සියල් සතුන් ප්‍රමෝදයට පත් කරවමින් යයි සිතුණි .සේරටම වැඩිය පොලොවේ දුහුවිලි හා වැහි පොද ගැටී ජනිත වන නැවුම් සුවඳ මුසු දුමාරය පරිසරයම සුවඳ කරයි.ගස්කොලන් සන්තෝසෙන් හිනාවෙනවාදැයි හිතේ .මහපොලව හැම දිය බිඳම කෑදර කමින් උරා බොයි . වැඩට යන උදෑසන , වැඩ නිමවෙන හවස් කල කලබල කොලඹට අහස කලු කරන් වහින වැස්ස , චිරි චිරිස් ලෙස ඉහෙන මඩ වතුර ,උතුරන කාණු නොරුස්සන මුත් මේ වැස්සට නම් පැන නටන්නට තරම් සිතේ .


"ගල මතු පිට මල පිපෙන්න 
මල වට බඹරිඳු නටන්න 
වැහි වැහැලා ගඟ පිරෙන්න 
ගඟ උතුරා හිත පිරෙන්න "


මම හෙමින් මිමිණුවෙමි .වැස්ස දිහා මේතරම් සතුටින් බලාසිටි අන්  දිනක් නැත .


මේ වැස්ස ආයෙත් හවස ඇද හැලුනේ නැත .පහුවදා සිට සුපුරුදු පරිදි දැඩි හිරු රැස් සිය අණසක පතුරවමින් සිටියේය .ඒත් වස්සාන ප්‍රීතිය පසල් දනවු වලට ද බෝවී ඇති වගක් කාලගුණ පුවත් වලින් අසන්නට ලැබුණි . උතුරු මැද පොලොන්නරුවට හා වයඹ කුරුණෑගලට වැසි වැටෙන්නට පටන්ගත්වග කියැවුනි.

නැවත එන ගමනේ පූනෑව , පොලොන්නරුව හරියේ වියැලුන ගතිය මිදී ලා නිල්ලක් දලු ලා පොලවේ දූවිලි ගතිය පහව ගොස් තිබුණි .ඒත් පරාක්‍රම සමුද්‍ර පුරුදු සිරි ගෙන රැලි නගන්නට මේ වැහි ඇල්ල මදිය .එහි තාමත් ඇත්තේ දිය කඳුලකි . මින්නේරියටනම් ඩිoගිත්තක් වතුර එක්කහු වී ඇත .  

"වැවු පිරෙන්න නම් තව වැහි ඇලි තුනක් විතර යන්න ඕනේ.ගොයිතැනට මේ වැස්ස මදි තාම .ඒත් ලොකු දෙයක් ඩිoගක් හරි ඉඩෝරෙ මකලා වැස්ස නෙව " 

ඒ දවල් බතට ගොඩවූ දිගම්පතන හන්දියට නොදුරු තැනක පොඩි කඩයක දී හමුවූ ගොවියෙක් කී කතාවයි .

නියඟයට ගොවිතැන් ආල පාලු වූ නිසා බැoකු කීපයක් වගා  ණය අය කරගැනීම් තාවකාලිකව අත් හිවූ බවත් , නියoනිසා වගා පාලුවත් ගොවිතැන් කිරීම ප්‍රමාදයත් නිසා ඉදිරි කාලයේ සමහර ආහාර බෝග වල මිල ඉහලයාහැකි වගත් ගැන පලවූ ප්‍රවෘති කීපයක් මට සිහියට නැගුණි .ඒ එක්කම ඇසුන ගුවන් විදුලියේ පැයෙන් පැය පුවත් වලට කීවේ ප්‍රදේශ විස්සක පමණ දැනට ඇතිවී ඇති නියඟය ගැන කරුණු සොයා බලන්නට ජාතික ආපදා කලමණාකරණ කමිටුව හෙට ඔක්තෝම්බර් 12 වෙනිදා රැස් වෙන බවයි .

Wednesday, September 5, 2012

හාෆ් ඩේ ලීව් , සූත්තර පුංචා සහ තවත් පොත් කතා




මම ගොඩක් ආසම පොත්  දෙකක් නොහිතුව වෙලාවක පලවෙනි වතාවට මුණගැහුන යාලුවෙක්ගෙන් තෑගි ලැබුණා .තවත් පොත් කීපයක් අද මම ගත්තා . පොත් බිල ගෙවන්න වුනේ දෙන්නම් කාසි ක්‍රමේට . කෑදර කමට පොත් අරගත්තු නිසා මේ මාසේ විනෝද කටයුතු වෙනුවෙන් පඩියෙන් වෙන්කරන දීමනාව දැන්මම කපා හරින්න වෙනවා .ඒ නිසා ඉදිරි කාලය ඇතුලත කෝපි හැන්දෑවල් , රාත්‍රී වීදි සංචාර ,නාට්‍ය බැලීම් , ඩිනර් මීටින් සියල්ල අවලංගු කරන්න සිද්දවෙනවා . ඒත් මාසේ ඉවරවෙන්න සෑහෙන්න කල තියෙනවා :) 

කොහොම වුනත් තෑගි ලැබුන පොත් දෙකෙන් එකක් වුන "හිම ගිර  භික්ෂුණිය " එදාම හවස ගෙදර යන්නත් කලින් රෝහල් ආලින්දයකට වෙලා වෛද්‍ය හමුව එන තෙක් කල් ගතකරමින් ඉන්න අතරේ ගොඩක් දුරට  කියවලා ඉවර කලා .කවි කදුර කියවන්න කල් ගත්තේ හිතාමතාමයි මොකද ඒක ලිව්ව කතුවරියගේ ආලවට්ටන් කෑලි එක්ක පොත හොඳට රස විඳින්නනම් නිවී සැනසිල්ලේ කියවන්න ඕනේ හිනා වෙන්නත් ඉඩ තියලා .

පොත් තෑගි දුන්නු යාලුවට පස්සේ දවසක මම කවියකුත් ලියලා ඇරියා ඊමේල් එකකින් මෙන්න මෙහෙම 

පේ අයියාත් 
පැජරොයියාත් ගැන 
අපැහැදිලි මිහිරි මතක ඇති
ලියන කියන වචන වල 
නොලිව්ව අරුත් සොයනු හැකි  
රස බර  හමුවීමක්ද 
සැපයට කරුණක්ම වෙයි 


යාලුවත් හැරෙන තැපෑලෙන් කවියකින්ම උත්තර එවලා තිබුණා 

මිහිරි පොදු මතක පොදියක්
දිග හරින්නට 
අප ලද කල් 
මද බව දැනෙන මුදු
ඒ මිහිරි මුලුවෙහි සුව
බෝ කල් සිත රඳනු ඇත


ඒ අපැහැදිලි මතක ඔස්සේ
යටගියාවේ තවත් 
මතකයන් ඉල්පී එත්
ඒ මතක හදේ තෙරපී
අකුරු කරනට
හද කම්පනය කරත්


නුගේගොඩට ඇවිත් දැන් මාස තුනක් විතර ඇති .අලුත් සරසවිය පැත්තේ ගොඩවදින්න ඕනේ වුනත් කල් දම දමා හිටියේ මේ දවස්වල අතේ සල්ලි මදි නිසා .ඒත් එක දවසක් වැඩකරලා , මහන්සිවෙලා , එපා වෙලා , තරහගිහින් සික් ලීව් හාෆ් ඩේ දාලා නුගේගොඩින් ගෙදර ඇවිදන් යද්දි නොදැනිම පය ගෑටුනේ සරසවිය දිහාට . අලුත් සාප්පුවේ ඉස්සරට වඩා ඉඩ කඩ වැඩියි .පොත් දිහා බල බල , පිටු පෙරල පෙරල ඉන්නත් පුලුවන් .මගේ ආසාම වැඩේ කලින් කියවපු රහ පොතක් සොයන් ඒකේ ආසම තැන් වලින් කොටස් කියවන එක .එහෙම පොත් කියවන්නො වෙනුවෙන්ම වෙන් වුන සෝෆා එකකුත් සාපුවේ තියෙනවා .පොත් රාක්ක පීරාලා කැම්පස් ඉන්න කාලෙත් ඉඳන් මේ වෙනකන් මිලට ගන්න බැරිවුන පොත් කීපෙක පිට කවර අතගාලා ඒ කාලෙයි අදයි අතර මිල සසඳලා හූල්ලලා අන්තිමට නතරවුනේ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් ගාව ."රසවතිත්" ," වෙසක් පහනත් "අතට අරන් කෙලින්ම ගිහින් හරි බරි ගැහුනේ අර සෝෆාවේ .එක හුස්මට පැටියාගේ වෙසක් පහන කියවලා ඉවරකරා .යස අපූරු කතා පොඩ්ඩ .පොඩි ලමයින්ට විතරක් නෙවේ පොඩි එවුන් දිහා බලන වැඩිහිටියන්ටත් හරි වටින උපදෙසක් එක්ක ලියවුන කතාවක් . ඔන්න ඊට පස්සේ රසවතී දිහාට හැරුණා .හනේ අම්මෝ මට හිනාව නවත්වගන්න බෑ . ගිමාරා , රසෝ , නෑනා නෝනා , වාසනා වකුටුපිට , අපේ එක්කෙනා එක්ක මගේ හිනාවට බ්‍රේක් ගහගත්තේ අමාරුවෙන් .හොඳටම කේන්ති පිට  හාෆ් ඩේ සික් ලීව් දාලා ආව මම  පැය දෙකක්    සරසවියේ පොත් කියවලා අන්තිමට ගෙදර ගියේ වෙසක් පහනත් , රසවතිත් මිලට අරන් හිනා වෙවී . 

ආයේම අදත් උදෙන්ම ඔෆිස්  ගිහින් ලොකු වැඩක් ඉවර කෙරුවට පස්සේ මට හිතුනා මොකට මේ හැටි නහිනවද කියලා .ගිය සතියෙත් ඔෆිෂල් හාෆ් ඩේ ගත්තු නිසා මේ සතියේ එහෙම ලීව් දාන එක හරි මදී .ඒ නිසා පොඩි නූල් සූත්තර වැඩක් කලා . හදිසි වෛද්‍ය පරීක්ෂණයකට යන්න වෙනවා කියලා බොස්ගෙන් අවසර අරන් ගෙදර ආව .ආයෙත් සරසවිය පහුකරන්  නුගේගොඩින් පයින් එන්න වුනා .කලින් වගේමයි නොදැනිම නැවතුනේ සරසවියේ තුන්වෙනි මහලේ . 

මේ සැරේ පොත් සැරිසර පටන්ගත්තේ කවි පොත් වලින් ."සක්වා ලිහිණි", "රාජතිලක -ලයනල් හා ප්‍රියන්ත" , "බෝඩිම" අතට අරන් පිටු පෙරලලා ගාන බලලා ආයෙත් රාක්කෙන් තිව්වා . ඒ නුදුරෙම ජනශැති පොත් ගොන්නක්ම .ඒ අතර දිගාමඩුල්ල ගැන ලිව්ව මායා රංජනුත් හිටියා .කොහොම වුනත් මාතර රතු බත් ,කිරි හොදි ,ඇඹුල් තියල් අමතක කරන්න බැරි කමට අප්‍රකට ඒත් රසවත් ජනශැති පොතක් වුන "අපේ ගම මාතර" පොත් ගොන්නට එකතු කරගත්තා. වටයක් කැරකිලා යද්දී නවකතා පැත්තේ සුමිත්‍රා රාහුබද්දගේ පොත් කීපයක්ම තියේ .ඒත් "අග පිපි මල්" නම් නොගෙනම බැරි වුනා . ඔහොම කැරකීගෙන ගිහින් නතරවුනේ ආයෙත් සිබිල් වෙත්තසිංහගේ පොත් ගාව . පොත් ගොඩ ටිකක් අවුස්සද්දී මෙන්න අතට ලැබුනා කාලයක් පුල පුලා කියවන්න බලාගෙන හිටි "සූත්තර පුංචා" .ආයේ දෙපාරක් හිතුවේ නෑ .පොතත් ඩැහැගෙන දිව්වේ අර සෝෆාව ගාවට .ගිහින් හරි බරි ගැහිලා ඔන්න කියවනවා සූත්තර පුංචා .කට කොනක හිනාවකුයි , පොඩි කාලේ ඉඳන්ම රහ පොතක් කියවද්දී ඉබේම යටි තොල තදින් උරන එකයිත් මට නොදැනිම පටන් අරන් කියලා තේරුනේ සෑහෙන්න වෙලාවක් ගියාම . අර පොඩි කාලේ විජය පත්තරේ හිටිය කමිස කොටේකුයි , කලිසන් කොටේකුයි ඇඳගත්තු පුංචා හම්බවුනාම කාටද සතුටු නැත්තේ ?, 

පුංචා හකුරු බෝල කෑව තැනට වෙනකන්ම මාත් පොත් රහ කර කර කියෙව්වා .එක හුස්මට කියෙව්ව පොතේ පෙරවදනේ මා සිත් ගත්තේ මෙන්න මේ කොටස

"දඟකාර වීම පොඩිත්තන්ගේ අයිතියකි. මේ දඟ බෝල වයස්ගත වැඩිහිටියන්ගේ ජීවිත ආලෝක කරන මිණි පහන්ය "

අන්තිමට සූත්තර පුංචවත් අතට අරන් , "දුවන් රැවුලත්" , "කුඩ හොරත්" සොයාගෙන පහල කැෂියර් එකට ගියේ බිල දාන්න .එතකොට තමයි පියවි සිහිය ඇවිත් මතක්වුනේ අතේ සල්ලි නැති වග .ඒ වුනාත් රහ පොත් අතාරින්න ලෝබ කම නිසා දෙන්නම් සල්ලි ක්‍රමේට බිල ගෙවලා සරසවියෙන් ගෙදර ගිය මම එක හුස්මට දුවන රැවුල , සූත්තර පුංචා සහ කුඩ හොරා කියෝලා ඉවර කලා .

ඔන්න තියෙනවා අද වෙනකොට මම ගත්තු පොත් හා මට තෑගි ලැබුණ පොත් .





ප/ලි

මේයින් හත්පෙති මල ගත්තේ නම් දැන් දෙමාසෙකට කලින් යාලුවෙක් එනකන් හන්දියක ලතවෙවී ඉන්නකොට ගොඩ වැදුන පොත් කඩේකින් .



Tuesday, June 19, 2012

තුන්වැනි ලෝකෙට ගොඩබහින හදිසිකාරයෝ


ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටටේ පිටවීමේ පර්යන්තයට වෙලා මගේ ගුවන් යානයට නැගීමට නිවේදනය නිකුත් කරනතෙක් බලා හිටියා . නේපාලය බොහෝ යුරෝපා රටවඉන් එන සංචාරකයන්ගේ  පරාදීසයක් වුනත් නොයෙක් සමාජ ,ආර්ථික හා දේශපාලන කරුණු නිසා භෞතික සංවර්ධනයනම් සිද්දවෙන්නේ ඉබි ගමනින් . ඒ නිසා ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ විසාල පහසුකම් නෑ . තියෙන එකම පිටවීමේ පර්යන්තය නිතරම ජනාකීර්ණ වෙලා , තදබදයෙන් , දූවිලි , දාඩිය හා රස්නයෙන් යුක්තයි .වායු සමන පහසුකම් අල්පයි . තත්වය දරුණු වෙන්නේ නරක කාලගුණ තත්වය නිසා ගුවන් යානා ගොඩ බැහීම ප්‍රමාද වීමත් එක්ක .එදත් ඒ වගේම දවසක් . දිල්ලිය බලා යන ජෙට් එයාර්වේස් ගුවන් යානය ගොඩ බෑම ප්‍රමාද වග නිවේදන නිකුත්වුනා. දිල්ලියේ සිට බොහෝ යුරෝපා ගමනාන්ත වෙත ලඟාවීමට සිටි මගීන් නොසන්සුන් .ඒ අතරින් උස් හඬින් බැන වදින සුදු ජාතික කාන්තාවක් දිහා හැම මගියෙක්ගෙම අවධානය යොමු වුනා .ඇය අතේ තිබුණේ ඇමරිකානු ගමන් බලපත්‍රයක් . ඉන්ග්‍රිසි බසෙහි ඇති එෆ් වර්ඩ්ස් - F words  පාවිච්චි කරමින් ඇය නේපාලයට බැන වැදුනා ගුවන් යානා ප්‍රමාදය , පිටවීම් පර්යන්තයේ අඩු පාඩු , දූවිලි ,දාඩිය ගැන මැසිවිලි කියමින් .

පලවෙනි ලෝකේ රටකින් ආව ඇය අනිවාර්යෙන්ම නේපාලයේ සුන්දරත්වය දකින්න හිමාල මායිමේ අන්නා පූර්ණා බේස් කෑම්ප් යන්න ඇති , පොකරා විල් බලන්න ඇති , කත්මන්දු නුවර සැරි සරමින් එහි සංස්කෘතික උරුම දකින්න ඇති . තමන් ජීවත්වෙන රටට වඩා බොහොම අඩු වියදමින් කෑම ,බීම නවාතැන පහසුකම් ලබාගෙන සතියක් වත් මේ නොදියුණු රටේ සිරි විඳින්න ඇති .එහෙම දවස් කීපයක් හිටි මනුස්සයට එකපාරටම පැය බාගයක් ගුවන් යානය ප්‍රමාද වෙනවා කියලා දැනගත්තම ඉන්ග්‍රිසි බාසාවේ තියෙන එෆ් අකුරේ කුණු හරුප වලින් නේපාලයට බනින්න තියාගත්තේ මොන හේතුවක් නිසාද මන්දා .මුලු සතියක් ගෙවන්න නේපාලේ හොඳයි අන්තිම පැය බාගෙදී නරකයි .

මට හිතෙන්නේ මේ තමා සංවර්ධිත ලෝකේ ඉපදිච්ච හෝ වඩා හොඳ ආර්ථික අවස්ථා සොයාගෙන සංවර්ධිත ලෝකෙට තුන්වෙනි ලෝකෙන් සංක්‍රමණය වෙලා ගිය බහුතරයක් පිරිසගේ සිතුවිලි යන අත . ලංකාවත් ඇතුලු තෙවෙනි ලොව රටවල් බොහොමයක සංවර්ධන විෂමතා , දූෂණය , වංචා ,ප්‍රමාදය ,දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා . ඒ නිසා බොහෝ අකටයුතු වෙනවා .මේ සිස්ටම් එක නුහුරු සංවර්ධිත ලෝකෙන් එන කෙනෙක්ට මේව එක්ක ගැටෙන්න අමාරුයි බව ඇත්ත .නමුත් සමහර අවස්තා වල පවතින තත්වය එක්සැජරේට් කරලා තමුන් සංචාරයට හරි , නෑ සිය පිරිවර දකින්න හරි එන තුන්වෙනි ලෝකේ රටවල් වලට නොසෑහෙන්න මේ මිනිස්සු ගරහන්නේ ඇයි කියන එක මට තේරුම් ගන්න බෑ .කොටින්ම ඉන්ටර්නෙට් ටිකක් ස්ලෝ වුනත් , බැංකුවක පෝලිමේ ඉන්න සිද්ද වුනත් ,  බස් එකක් ප්‍රමාද වුනත් මුව නොසෑහෙන්න බනින විවේචනය කරන එක  මේ අයගේ සිරිතක් .සංවර්ධිත කුල්ටූර් රටවල් වලින් ගොඩ බැහැලා දේශීයත්වය , පරිසරය විඳින්න කියලා ලංකාව වගේ තුන්වෙනි ලෝකෙට එන මේ අයට ටිකක් ස්ලෝ ඩවුන් වෙන්න බැරි ඇයි ? ඇයි එහෙනම් මේ දූවිලි පිරුණ කිසි කමකට නැති රටවල් වලට නිවාඩුවට එන්නේ ?

රාජකාරිය වෙනුවෙන් ලංකාවේ , අප්‍රිකාවේ හා ආසියාවේ බොහෝ දුෂ්කර පැති වල ඇවිදින්න හා ටික කාලයක් ජීවත්වෙන්න වුන මට නම් කියන්න තියෙන්නේ මේ කුල්ටූර් පන්තිය හිතන තරම් තුන්වෙනි ලෝකේ රටවල් කලු යක්කු නොවෙන බව .ඇත්තටම තුන්වෙනි ලෝකේ දේශීයත්වය විඳිනවා කියන්නේ කොට කොට යන සෙනග පිරුණ බස් එකක , ලොරි බාගෙක , මඩ වලවල් පිරුණ පාරක , දූවිලි , වියලි හුලං එක්ක .තේ කහට එකක් හරි චායේ එකක් හරි බීලා , ටුක් ටුක් රියදුරො එක්ක හෙට්ටු කරලා ,ආණ්ඩුවේ කන්තෝරුවක රස්තියාදු වෙලා  බලන එක .මොකද ඒ රටේ මිනිස්සු හැම දාම ජීවිතේ ඔය කියන දුක එහෙම නැත්නම් කටුව කන නිසා . ඒත් ඒ මිනිස්සුත් ජීවත්වෙනවා ඔය ඔක්කොම එක්ක . 

ඔය හේතුව නිසා මම නම් පුලුවන් තරම් මහන්සිගන්නවා ලොකේ මොන රටට ගියත් එතැන මගේ ගම රට කියලා හිතලා ලැබෙන පහසුකම් උඩ ජීවත් වෙන්න . 

Tuesday, April 3, 2012

මුහුදු පතුල යට ඉඳලා- මුතු ඇටයක නිදි කරලා


මම ඉපදිලා තියෙන්නේ අම්මගේ මහගෙදර. පැල් බැඳගෙන වහින මාසෙක .කොටින්ම කිව්වොත් අම්මට ඉස්පිරිතාලේ යන්න තිබුණ දාට දවසකට කලින් හදිසිවෙලා එලියට ආව ලමයෙක් මම.අම්ම එදත් අමාරුවක් නොතිබුණ නිසා වැඩට යන ලේස්තිවෙවී ඉඳිදී මට එලියට එන්න ඕනේ වෙලා තාත්තා ඉස්පිරිතාලේ යන්න කාර් එකක් ගේන්නත් කලින් මම එලියට පැනලා ගෙදරදිම .




පොඩි දරුවො ඉන්නකොට ගොඩක් නිදිමරන්න වෙනවනේ .ලයිට් නොතිබුණ මහගෙදර ඉපදුන අලුත මාව බලාගන්න අම්ම ගොඩාක් මහන්සි වෙන්න ඇති . ඉපදිලා දෙසතියක් ගිය තැන එක දවසක් මහ රෑ මම ඇඳෙනුත් බිමට පැනලා අම්මට නොදැනී .රෑ නිදි මරන් ඉඳලා මහන්සියට අම්මට යන්තන් නින්දගිය ටිකට මම කෙරුව තවත් හපන්කමක් . එදා මගේ ආච්චි  දුන්නලු අම්මට ඔලුව හිල් වෙන්න ටොක්කක් ආයේ නොහිතා මේ දරුවෙක් ලැබිච්චි අම්මකෙනෙක් කියලා . ඒ වගේම හොඳවයින් බැනුමකුත් .අම්ම හරි බයින් ඉඳලා තියෙන්නේ වැටුන නිසා මට වමනේ ගිහින් ඇස් රතුවෙලා මොනවහරි වෙනස්කමක් වෙයි කියලා .ගොඩාක් කල් යනකන් ඒ බය එයාට තිබිල තියෙනවා . පුංචිකාලේ මට ඔලුවෙ කැකුමක් ආවත් අම්මට බය හිතිලා තියෙනවා .


ඉපදුනේ වැහි මාසෙක නිසා පැල් බැඳන් වහින දවසක මම  හීතලට කෑ මොරද්දී අඬනවලු නිදාගන්නේ නැතුව .ගෙදර අනික් හැමෝම නිදි .ආච්චිටත් නින්ද ගිහින් මහන්සියට දවල් මාව බලාගෙන .අම්ම විතරක් මාව නලවගන්න මහන්සිගන්නවලු .අන්තිමට හදිසියෙන් ඇහැරුන ලොකුමාමා දැකලා තියෙන්නේ මාව නලවගන්න බැරිකමට අම්මත් මා එක්කම අඬනවා .


ටිකක් ලොකු වෙලත් මම අම්මට කරදර කෙරුව එක තමයි කලේ . නිදාගත්තේ නෑ නැලවිලි කියලා නිදි කරනකන් . අම්ම කිව්ව නැලවිලි ගී සමහර ඒවා ඒ කාලේ සිංහල පාඩම් පොත් වල තිබුණ කවි සින්දු . සමහරක් නාට්‍ය ගීත .ඒ අතරින් මම කැමතිම


ඉරටුවෙ ගසා හූනන් හට බත් දෙන්න
මට ආසාය ආයෙත් බිලිඳෙකු වන්න


පියාගේ කරට තනිවම නැගගන්න
කරපිට නැගී තනියම මහ රජ වෙන්න
හා නරි විත්ති රස කර කර අහගන්න
මට ආසාය ආයෙත් බිලිඳෙකු වන්න


ඔය කවියේ හා නරි විත්ති කියනකොට මට නිතරම හාවන්ගෙයි නරින්ගෙයි කතන්දර තාමත් මතක් වෙනවා .තව ආස සින්දුවක් අම්ම කිව්ව  මූදු පුත්තු නාට්‍යයේ "මුහුදු පතුල යට ඉඳලා , මුතු ඇටයක නිදි කරලා ,පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා ...." ගෙදරට මම පුතා නිසා මම හිතන් හිටියේ ගොඩක් කල් යනකන් මම රැල්ලක නැගිලා ආවා කියලා .ඒ සින්දුව අහන හැම වෙලේම තාමත් ලොකු වෙලත් මට චිත්තරූප ගොඩාක් මවාගන්න පුලුවනි පොඩි කාලේ වගේම .




ඔය කාලේ පොඩි වුනාට මම හරි වදකාර වැඩ කරල තියෙන්නේ .අම්ම වැඩට යන්න ලෑස්ති වෙනකොටම අතට පැනලා වඩවගෙන අතින් බහින්නේ නැතුව ඉන්නවලු .ඉතින් අම්මට බස් එක මිස් වෙනවා වැඩට යන්නේ පරක්කුවෙලා . තව ලස්සන සිංදුවක් අම්ම කිව්ව මා එක්ක සෙල්ලම් කරනකොට .ඒකේ පද කීපයක් විතරයි මතක
පුංචි පුංචි තරු කැට මැද දිලිසෙන සඳවත
සඳ මොකටද හිරු මොකටද මට මගෙ "පුතු"ඇත
හිනාවෙන්නේ ඉඳ හිටලයි ආඩම්බර කම


මම හරි කැමතියි "මට මගෙ පුතු ඇත " කියලා අම්ම කියනකොට .ඒ නිසා මම විස්වාසකලේ මම පුතෙක් කියලා .සෑහෙන්න කල් ගිහින් දැනගත්තේ අම්ම සින්දුව වෙනස්කරල කිව්ව කියලා .


ටිකක් ලොකුවෙනකොට මට කියවන්න පොත් ගෙනිල්ල දෙන එකත් අම්මගේ සිරිතක් වුනා .ගොඩක් පොත් පුස්තකාලෙන් ගෙනිල්ල දුන්නේ .එත් දාසයවෙනි උපන්දිනේට මට මතකයි හුණු වටේ කතාවත් , ගම්පෙරලිය ,කලියුගය ,යුගාන්තය ත්‍රිත්වයත්,බව තරණයත් අලුතෙන්ම අරන් මට තෑගි දුන්නා.සමහර වෙලාවට ගොඩක් කවි සින්දු කියලා නලවලා , කතා කියාදීලා පොත් කියවන්න දීලා වැඩි වුන නිසා වෙන්න ඇති පස්සේ කාලේක මම උසස් පෙල කරන්න ගියහම අම්මට ඕනේ විෂයන් නොකරන්න හිතුවක්කාර තීරණයක් ගත්තේ


ඕලෙවල් කාලේ මම පන්ති යන්න අදිමදි කල නිසා අම්මට සිද්දවුනා මා එක්ක ගණිත ගැටලු විසඳන්න.කම්මැලි හිතුනම බුද්ධාගම ,සමාජ අධ්‍යනය සිංහල පාඩම් මට ඇහෙන්න කියවන්න .මේ කාලේ මම ආසම නැති දේ තමයි අම්ම ලෙඩ වෙන එක . යාන්තම් වයස පහේ හයේ විතර ඉඳන් මම දැනගෙන හිටියා අම්ම අසනීප වෙනකොට එයා වෙනස් වෙනවා කියලා .ඉස්කෝලේ ඇරිලා ඇවිත් අම්ම දිහා බැලුවම මට කියන්න පුලුවන් අම්ම සනීපෙන්ද නැද්ද කියලා .ටිකක් කල් යද්දී අම්ම ලෙඩ වෙන එක ගැන නුරුස්සනා ගතියකුත් ම්ගේ හිතේ තිබුනා ,මොකද එතකොට ගෙදර හරි පාලු , ඉන්න අමාරු ගතියක් දැනෙනවා .අම්මට නින්ද ගිහින් නම් මට සතුටුයි . ඒත් එක දිගට අම්ම ගොඩාක් නිදාගන්නකොට පාලුයි,දුකයි වගේ ගතියක් දැනෙනවා.එහෙම ලෙඩ වුනාම ටික කාලයක් යනවා අම්මට යථා තත්වෙට පත්වෙන්න අම්ම ලෙඩ වුනාම මගේ ලොකුම වැඩේ එයා නිද්දි ද නැත්ද කියලා බලන එක .ඔය කාලේ වෙද්දී ගෙදර පොඩි පොඩි දේවල් මට කරන්න අම්මා උගන්වලා තිබුණේ එයා නිතර ලෙඩවුණ නිසා වෙන්න ඇති .


ගොඩක් ලොකු කාලේ ඉගෙනීම , වැඩට යාම නිසා අපි භෞතිකව ඈත් වුනා .ඒ වගේම කතාකරන්න තරම් පොදු දේවල් අපිට අඩුවුණා .ඉස්කෝලේ යන කාලේ වගේ එකට පාඩම් කරන්න දේවල් තිබුණෙත් නෑ .මම හිතන්නේ අපේ එකඟ වීම් වලට වඩා එකඟ නොවීම් වැඩි වෙන්න ඇති.පොඩි එකා කාලේ නම් උකුලේ තියන් හරි නලවන්න තිබුණා දැන් එහෙම බෑ  කියලා අම්ම කිව්වේ ඒ හැඟීම වෙන්න ඕනේ ,එත් කොහේ ගියත් කෑවද ,බිව්වද නිදාගත්තද කියලා මගෙන් නොවැදී අහන සිරිතක් ඇයට තිබුණා .දුර ගිහින් මම කෝල් කරනකන් ටෙලිෆෝන් එක වදිනකන් මොනතරම් බලන් ඉන්න ඇත්ද .පිට රට ගියහම මගෙන් පණිවිඩයක් එනකන් රෑවෙලා වුනත් නැගිටගෙන ඉන්න සිරිතක් මෑතක් වෙනකන්ම තිබුණා .එහෙම කොහේහරි යන්න වුනහම ටික දවසකට කලින් මගේ ගමන ගැන ඔක්කොම විස්තර එයාට කියන එක මගේ සිරිත .මම යන්න ඇඳුම් පැක් කරන තැන බලන් ඉඳලා අන්තිමට ඔක්කොම අහන් ඉඳලා අම්මා අහන්නේ  ලොක්කා ඔය ගමන යන්නම වෙනවද ? දැන් ඔයා ගමන් ගියා මදිද වගේ අදහසක් . වැඩ වැඩි වීමත් එක්ක සමහර විට මට අම්ම අහන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිවුනා .ඒත් ගිහින් ඇවිත් සමහර වෙලාවට මම ගත්තු පින්තූර පෙන්නුවහම සතුටින් බලලා ඔය ගමන් යාම හරි මහන්සි වැඩක්.ඒත් ඔයා කැමති දේ නේ කියන සිරිතක් තියෙනවා .






ගෙදර  ඉඳන් වැඩ කලොත් දවස තිස්සේම කෑම බීම ලඟටම ගෙනිත් දෙන එක අම්මගේ පුරුද්ද .මම කාලා ,බීලා ඉවරවෙච්චි පිඟන් කෝප්ප මේසෙ උඩින් අයින් කරන්නෙත් අම්මා .ටිකක් හරි අතක් පයක් රිදෙනවා , ඔලුවෙ කැකුමක් හැදිලා ,කිඹුහුමක් ගියොත් කලබල වෙලා රෑ වෙලා නාන මහන්සි වෙන එකට මට දොස් කියලා අත් බෙහෙත් කරන්නෙත් අම්මා.එක සැරයක් ෆයිනල් ඉයර් ඉන්නකොට වැදගත් අසයිමන්ට් ටෙස්ට් එකකට දවස් දෙකක් තියලා තදට උණ අරන් ගෙදර ආවාම ඕඩි කොලොන් පැලැස්තර එලලා උණ බස්සාලා කොහොම හරි මාව ටෙස්ට් එකට යැව්වා සනීප කරලා  .ඒත් අම්මට තියෙන අතපය වේදනා ,අමාරු අපහසුකම් අපිට කිව්වේ නිතරම පරක්කු වෙලා


කලලයක් කාලේ පෙකණි වැලෙන් දරුවො තමන්ගේ සිරුරට සම්බන්ධ කරන් ඉන්න අම්මලා පෙකණි වැල කපලා අපිව උපද්දලා ලොකු මහත් කරත් භෞතිකව නොවුනත් මානසිකව අර පෙකණි වැලෙන් අපිව තදින් බැඳන් ඉන්නවා .අපි ලොකුවෙලා අම්මලගේ අර මානසික පෙකණි වැල් බැම්මෙන් මිදිලා ඈතට ගියත් අම්මලා ඒ බැම්ම ලිහන්න කැමතිම නෑ .ඒ ආදරේ වැඩි කමට සමහර වෙලාවට ගැටුම් වැඩියි .ඒත් අන්තිමට අම්මලා දරුවො ගැන උපේක්ෂා සහගතයි කියලා මට හිතෙන්නේ .


ඒත් මගේ අම්මා  මේ වෙනකන් අපිව සතුටින් තියන්න කෙරුව දේවල් වලින් බාගයක් වත් අපිට එයා වෙනුවෙන් කරන්න බැරිවේවි කියලා මට හිතෙනවා .


Friday, March 9, 2012

අරණකට පෙම් බැඳ





අරණකට පෙම් බැඳ 
සරත් සමයක 
ගිම් නිවා යන්නට 
උයනක තනිවුන 
හෙවණැල්ලක්
පසුම්බියක් හා 
සීත කබායක්


Friday, February 10, 2012

මගේ පුංචි බෑග් එකේ නැගිලා - පොඩි අලි පැටියෙක් ගමනක් යනවා



ආයෙමත් දූවිලි ගසා බසා දාලා මගේ ගමන් මලු පැක් කරන්න කාලේ හරි .අවුරුදු හතරක ඉඳන් මම පාවිච්චි කරන ගමන් බෑග් දෙකම මගේ හිතවත් සගයන් වගේ .මහ ගොඩක් විසාල නොවුනත් එක සතියක ඉඳන් මාසයක් වෙනකන් උවමනා කරන ඇඳුම පැලඳුම් ,පොත් පත් පැක් කරගෙන යන්න මේ දෙක මට වැඩිත් එක්ක ඇති .

සාමාන්‍යයෙන් නොමිලේ ලැබෙන කිලෝ තිහකුත් රාජකාරි කටයුතු නිසා මුදල් ගෙවලා ගෙනයන්න පුලුවන් බරකුත් තිබුණත් කවදාවත් මම මේ බෑග් වල කිලෝ තිහක් වත් ගෙනියනවද කියන්න සැකයි .යාලුවො නම් විහිලු කරනේ මගෙ උවමනා ඒ තරම් අල්පයි කියලා .කොහොම වුනත් මට ලැබෙන දීමනා  පිරිමහන්න/ඉතුරු කරන්න  කියලා ලංකාවේ ඉඳලා කෑම බීම උස්සගෙන කිසිම රටකට යන පුරුද්දක් නම් මට නෑ .ඒත් හැමදාකම මගේ බෑග් එකේ කිලෝ හතරක් පහක් වෙන් වෙන්නේ යාලුවන්ට ආදරේ සහ හොඳ හිත පුරවගෙන යන්න .කොහේ හරි යනවනම් හිතවත් යාලුවො වෙනුවෙන් එයාල කැමති ලංකාවේ දෙයක් ගෙනියන එක මගෙ පුරුද්දක් .ගොඩක් වෙලාවට යාලුවන්ගෙන්ම අහලා එයාලට ඕනෙ දේ ගෙනියනවා .මගෙ ගමන් මලු පැක් කිරිල්ල හා ගමන් බිමන් ගැන දන්න යාලුවොත්  ලංකාවෙන් ඔවුන්ට උවමනා දෙයක් ගෙන්න ගැනීම ඒ හැටි කරදරයක් නැති වග දන්නවා .ඒ නිසා කල් තියාම ඊ මේල් එකකින් තමන්ට උවමනා දේවල් කියල එවන එක සිරිතක් .

ඔහොම වෙලාවලදී රසවත් අත්දැකීම් එහෙමත් තියෙනවා .දැන් අවුරුදු දෙකකට කලින් ඈත අප්‍රිකානු රටක සේවයට ගිය ලාංකික  මිතුරියක් මට නැගෙනහිර ආසියානු රටකදී මුණගැහෙන්න නියමිතව තිබුනා . අපේ හමුව  ගැන පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය ඇය ඊ මේල් එකකින් මට ඉල්ලිමක් කරලා තිබුනා මෙන්න මේ ලිස්ට් එක අරන් එන්න කියලා .

කට්ට කරවල කිලෝ 1 යි 
වේලපු හාල් මැස්සෝ කරවල කිලෝ 1 යි 
අයිලන්ඩ් /හරිස්චන්ද්‍ර කෝපි ග්‍රෑම් 100 පැකට් වලින් කිලෝ1 යි

ඒ වෙනකොට ඇය ලංකාව හැර ගිහින් අවුරුද්දක් .ඒත් ලංකාවෙ කෑම බීම වල රහ අමතක කරන්න බෑ වගේ.  .ඇය ඉන්න අප්‍රිකානු රටේ තියෙන්නේ දුම් ගහල වේලන කරවල-smoked dried fish ඒ තරම් රස නැති වගත් මොන තරම් රස අප්‍රිකානු කෝපි තිබුණත් ලංකාවේ කෝපි බොන්න ආසාවක් ඇති බවත් තමයි ඊ මේල් පණිවුඩය අවසානයේ කියවුනේ  . කෝපි පැක් කරලා ගෙනියනවා කියමුකෝ,ඒත්  කරවල ගෙනියන එක තමයි ගැටලුව .අනිවාර්යෙන්ම මේවා කාර්ගො දාන වෙනවා .පැක් කරන්න වෙන්නෙත් සති දෙකකට ඕනේ  ඇඳුම් එක්කමයි . ඒ වගේම ඇය නැවත අප්‍රිකාවට යා යුත්තේ ලංඩනය හරහා .හිත්‍රෝ ආගමන/විගමන කවුන්ටරයෙන් මේ දෙවල් ගෙනියන්න පුලුවන් වෙන්නත් ඕනේ. අන්තිමට දන්න කියන හැමෝගෙන්ම විපරම් කරලා කරවල  වේලලා, සකස් කරලා ,ඇසුරුම් කරලා තියෙන වර්ග වලින් මිලට අරගෙන ආයෙත් පොලිතීන් වලින් හොඳට සීල් කරලා ටිකක් වත් ගඳක් නො එන්න ඇඳුම් බෑග් එකේ දාගෙන ගියා .හැබැයි මම කල් තියාම මගේ මිතුරියට කියලා යැව්ව ලංඩන් පහු කරගෙන එනකොට මට ඉස්තරම් වර්ගයකින් ෆර්පියුම් එකක් අරන් එන්න කියලා කරවල ගඳ ආවොත් ඇඳුම් වලට ඉහලා පාවිච්චි කරන් .ඒ ඉල්ලිමත් ඉටුවුනා .අන්තිමට අනික් යාලුවො විහිලු කලේ "ගඳ කරවල දීලා  බ්‍රෑන්ඩඩ් ෆර්පියුම් ගත්තා වගේ" කියලා .

මගේ ඉන්දියානු මිතුරියන්ගෙන් නිතරම ඉල්ලිම් ලැබෙන්නේ ලංකාවේ කුලු බඩු වර්ග අරන් එන්න .ඒ අතරින් කුරුඳු ,ගම්මිරිස් හා එනසාල් විශේෂයි .ඒ වගේම ලංකාවේ පුච්චල පැක් කරලා තියෙන කජු කන්න ආස අයත් ඉන්නවා . මෙහෙම කුලු බඩු ගෙනිහින් දුන්නම ඔවුන් ඒවා අවුරුද්දක් හමාරක් පාවිච්චි කරනවා .ලංකාවේ යාලුවෙක්ගෙන් ලැබුනා කියලා තමන්ගේ අනික් යාලුවො ,නෑ දෑයො ,හිතවත් උදවියටත් ආඩම්බරෙන් බෙදලා, ඒවා දාලා මසාලා කෑම හදලා ,ඒ ගැන වර්ණනා කරලා මට ආයේ ඊ මේල් එහෙමත් ලැබෙනවා .ගිය අවුරුද්දේ නම් මට එහෙම ඉන්දියානු මිතුරියකගෙන් සර්ප්‍රයිස් එකකුත් ලැබුනා .ඒ මම ගෙනිහින්දීල තිබුණ කුරුඳු වලින් සිනමන් ෆ්ලේවර්ඩ් හෝම් මේඩ් කේක් එකක් ඇගේ අතින්ම හදලා රස බලන්න දීම .

කලබලෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවත් එක්කම මේ වගේ පුංචි දේවල් වෙනුවෙන් කාලය යෙදවීම කරදරයි කියලා මම ගැන දුක් වෙන  සමහර  යාලුවො කියන්නේ මම කැමති ලංකාවට ආවේණික මොනව හරි සිහි වටනයක් අරන්න එන්න කියලා .එතකොට නම මම ටිකක් අමාරුවේ වැටෙනවා .මම කැමති දේටම යාලුවොත් කැමති වෙන්න ඕනනේ .එහෙම වෙලාවට  මොලේ පාවිච්චි කරලා පරණ ඊ මේල් දිග ඇරලා ,මූණු පොතේ පින්තූර බලලා යාලුවන්ගේ ඉන්ටරෙස්ට් ගෙස් කරලා ලංකාවට ආවේණික ටී ෂර්ට් , කියවන්න කැමති පොත් ,ලක්සලෙන්  විසිතුරු දෙයක් අරගෙන යනවා .එහෙම මම ලක්සලෙන් ගෙනිහින් දුන්න පොල්කටු හැඳි දුසිමක් මගේ බංග්ලාදේශ මිතුරියක් තාමත් පාවිච්චිකරනවා ගේ නිවසේ විශේෂ ප්‍රිය  සාද අවස්ථා වල .මේ විදියට යාලුවන්ගේ ඉන්ටරෙස්ට් ගෙස් කරලා ඔවුන් කැමති යමක් ගෙනිහින් දුන්නම එයාලගේ මූණේ ඇඳෙන හිනාව නිසා දැනෙන සතුට නම් මිල කරන්න බෑ .

මගේ අත්දැකීමේ හැටියට මේ විදියට තෑගි තෝරගනිද්දී ලොකු අමාරුවක වැටෙන්නේ මිතුරියන්ගේ පුංචි පැටවු කරන ඉල්ලිම වලදී.පුරුද්දක් විදියට මම කිසිම පොඩ්ඩෙකුට ලංකාවෙන් අඳුම් ගෙනියන්නේ නැත්තේ මට එහෙම නියමිත ප්‍රමානයට පොඩ්ඩන්ට  ඇඳුම් තෝරන්න බැරි නිසා  .ඒ නිසා වැඩියෙන්ම ගෙනියන්න වෙන්නේ සෙල්ලම් බඩු වගේ දේවල්. එතකොට පොඩ්ඩො ආස විදියේ සෙල්ලම් බඩු ,ඒවගේ පාට , පොඩ්ඩන්ගේ වයස,වගේ ගොඩක් දේවල් හිතලා තමයි තෝරන්න වෙන්නේ .එහෙම සෙල්ලම්බඩු සොයන්න ගිහින් මාත් ලොකු සතුටක් ලැබුව වෙලාවල් එමටයි .

මේ ගමනත් වැඩ ගොඩක් මැද කලබලෙන් ගමන් යන්න ලෑස්තිවෙද්දී මිතුරියකගෙන් ඉතාම කෙටි ඊ මේල් පණිවුඩයක් ලැබුණා. ඒ ඇය දන්න හඳුනන විදෙස් ජාතික පවුලක පොඩි දරුවෙකුට තෑගි දෙන්න ලංකාවෙන් සෙල්ලම් අලි පැටියෙක් අරන් එන්න කියලා .සොෆ්ට් ටෝයිස්-Soft  Toys  විදියට ලංකාවට ආවේණික අලි පැටවු හදන සාප්පුවක නමත් දරුවා කැමති පාටත් විතරයි ඊ මේල් එකේ තිබුණේ .වැරදිලාවත් ඒ පාට අලි පැටවු නොහිටියොත් කියල හිත හිතා  වැඩ ගොඩක් මැද්දේ මම අර සාප්පුවට ගියේ අලි පැටියෙක්ව මිලට ගන්න . මේ දරුවා ගෑණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන්නවත් මම දන්නේ නෑ .විදෙස් ජාතික පවුලක  වුනත් ආසියාතිකයෙක්ද ,අප්‍රිකානුවෙක්ද ,යුරෝපීය රටක දරුවෙක්ද කියන්න  දන්නේ නෑ .කොහොම නමුත් කිව්ව විදියේ සෙල්ලම් අලි පැටියෙක් සොයාගන්න පුලුවන් වුනා රතු කහ පාට ඇඟකුයි,කොල පාට කන් දෙකයි ,වලිගෙකුයි එක්ක .පැක් කරද්දී  ගමන් බෑග් එකේ ඉඩ ඇහිරෙනවා වුනත් පොඩ්ඩෙකුට දෙන තෑග්ගක් නිසා කාර්ඩ් බෝර්ඩ් ඇසුරුම් පෙට්ටිය එක්කම ලස්සන පාට කඩදාසියකින් ඔතලා සාපුවේ නමත් එක්කම දෙන ඇසුරුම් කවරේ එක්ක තෑග්ග මිලට ගත්තා . මේ දැන් ටිකකට කලින් ඒ පොඩි අලි පැටියා මගේ ගමන් බෑග් එකේ සෑහෙන්න ඉඩක් අරන්  ඇහිරුනා ඈත රටක ඉන්න පොඩ්ඩෙක්ව සතුටු කරන්න යන්න .සමහර විට මේ අලි පැටියා මාත් එක්ක  එනකන් දැනටමත් ඒ පොඩ්ඩා හෝ පොඩ්ඩි මග බලන් ඇති .කෙනෙක්ව සතුටු කරන්න තෑග්ගකට මොන තරම් දුරක් යන්න පුලුවන්ද කියලා මට ඒ වෙලාවේ හිතුනා. 

ප/ලි 


මගේ තේරීම ගැන මේ පොඩ්ඩා හෝ පොඩ්ඩී සතුටු වේවි කියලා හිතනවා .




Monday, December 26, 2011

ඇනුවල් ලීව් උදාන කවි





ඇනුවල් ලීව් යාමද සැපතකි 
අලස සුවෙන් සිටීමද සැපතකි 
ලොක්කාගේ මේල් නොබැලීමද සැපතකි 
යාලුවන් සමග නන් දෙඩවීමද සැපතකි 
ඔහේ ඇවිදයන මගියෙක් වීමද සැපතකි 






ගහ කොල විඳීමත් 
මුහුදු වෙරලක තනි වීමත්
සතුටින් සිනාසීමත්
මිහිරි මතක මග  සැරියත්
සැපතටම හේතු වෙත් 






වසර පුරා හොඳ හැටි වෙහෙසීලා 
දිවා රෑ නොබලා ෆර්ෆෝම් කරලා 
අවුරුද්දක වැඩ අහවර කරලා 
ඉසිඹු ලබන්නට නිසි කල් බලලා  
ඉතුරු ඇනුවල් ලීව් දාලා 



වෙහෙසුන ගත  විඩා නිවා දමන්නයි 
බිඳුනු තැවුණ සිත සුවපත් වන්නයි 
නැවුම් උදාවට ජවයක්  දෙන්නයි 
අලස සුවය විඳ වැඩ අරඹන්නයි 
කොයි කවුරුත් ඇනුවල් ලීව් දමන්නයි ....-:)


P/S -Business Closed for 2011 . We are on Leave ! Happy Holidays ! Happy New Year ! 
( First two pics are taken by me . All rights reserved )




Friday, December 23, 2011

Jaw Bone , Back Bone and Wish Bone - Story of Three Bones



ඔන්න එකෝමත් එක කාලෙක කතාවක් කියන්නයි යන්නේ.දැනට අවුරුදු සියක් කාලෙකට එහා පුංචි සාගර දූපතක හිටියා මහලු ධීවරයෙක් . දන්න කියන කාලෙක ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට පුරුද්දෙන් මුහුදු ගිහින් මාලු මරන් ගොඩට ඇවිදින් විකුණලා කීයක් හරි යොයාගන්න එක තමයි එයාගේ රස්සාව.ඔය සාගර දූපතේ හිටි කොයි කාගෙත් කතාව ඔහොමයි . මුහුදු ගිහින් උපය ගන්න දේකින් එදා වේල ගැටගහගෙන චාමෙට ජීවත්වෙනවා .

අපේ මේ ධීවරයට හිටියා තරුණ පුතෙක් .පුරුද්දෙන් පරම්පරාවෙන් තාත්තගේ රස්සාව කලාට මොකෝ එයාට නම් සාගර දූපතේ තනිවෙලා ඉන්න ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ .තාත්තත් දැනගෙන හිටියා පුතණ්ඩියා දූපතට කොටු වෙලා ඉන්න වැඩි මනාපයක් නැතිවග . ඔන්න ඉතින් තාත්ත හිතූ විදියටම එක දවසක පුතා මේ සාගර දූපත අතෑරලා එයාගේ වාසනාව සොයාගෙන , අලුත් ලෝකෙකට යන්න ඕනෙ කියලා  තීරණය කලා .වයසක තාත්තා පුතාගේ අදහසට බාධා කලේ නෑ. ඔය තීරණේ ගත්තු දා ඉඳන් දෙමාසයක් යනකන් පුතා ගමනට සූදානම් වුණා . ඉස්සෙල්ලම හොඳ පුංචි රුවල් ඔරුවක් හදාගත්තා . සාගරේ තරණය කරගෙන දේශ දීපංකරේ යන්න නේ කල්පනාව .ඊලඟට දෙතුන් මාසෙකට උවමනා  කෑම බීම ඩිංගකුත් පුලුවන් විදියට සොයාගෙන ඔරුවේ ගබඩා කලා .අන්තිමටම ගමන පිටත්වෙන දවස ආවා .ඒ කියන්නේ පුතා තාත්තගෙන් සමු අරගෙන එයාගේ අලුත් ලෝකෙ හොයාගෙන යන  දවස .දරුවෙක් මෙහෙම ඉරණම් ගමනක් යනකොට හැම තාත්තෙකුටම ලොකු දුකක් ,බයක් දැනෙනවනේ .ඒ වගෙම තමයි දරුවන්ටත් නොපෙන්නුවට දුකයි.ඒත් තාත්තල දාල යන්න වෙනවා .ඒක ලෝක සොබාවෙ කියලා හිතලා මේ තාත්තයි පුතයි තමන් හැමදාම මුහුදු ගිය සාගර දූපතේ පුංචි වරායට ගියා සමුගන්න අන්තිම වතාවට. එදාවෙල හරි හම්බ කරගත්තු තාත්තට පුතාවෙනුවෙන් දෙන්න සල්ලි බාගේ ,වස්තුව තිබුණේ නෑ .පුතත් දැනගෙන හිටියා තාත්ත සල්ලිකාරයෙක් නොවෙන වග .ඒ නිසා මහලොකු යමක් තාත්තගෙන් බලාපොරොත්තු නොවුනත්, ගමනට එයාගේ ආශිර්වාදය බලාපොරොත්තු වුණා. ඔන්න ඉතින් සේරම ලෑස්තිකරලා රුවල් ඔරුව දියත්කරන්න යද්දී පුතාව වැලඳගෙන සුබ පැතුව තාත්තා එයාගේ අතට ලොකු තල්මහෙක්ගේ මාලු කටු තුනක් දීලා කිව්ව "මේවා පරිස්සමින් තියාගන්න , නැතිකරගන්න එපා ,ජීවිතේ හැමදාම ඕනෙ වේවි .අමතක කරන්න එපා"කියලා .


"හ්ම්.... තල්මහෙක්ගේ කටු කෑලි වකින් මොනව කරන්නද?" කියලා හිත හිතා අර ඉලංදාරියා ධීවරයගේ මූණ බැලුවා ප්‍රශ්නාර්ථෙකුත් එක්ක . පුතාව තේරුම ගත්ත තාත්තා ඒයින් එකක් අරන් මෙහෙම කිවා .

පුතේ මේක නුඹේ හකු කටුව -Jaw Bone  හා සමානයි . නැතිකරගන්න එපා .මතක තියාගනින් කොයි දේස දීපංකරේ ගියත් කවදා හරි දවසක සත්‍ය කතා කරන්න , හොඳ වචන කතා කරන්න මේ හකු කටුව නුඹට උදවු වේවි කියලා .

"ඉතින් පුතා අහනවා එත්කොට තාත්තේ මේ අනික් ඇට කටු ?"

තව මාලු ඇට කෑල්ලක් අතට ගත්තු ධීවරයා කියනවා "මේක නුඹේ කොඳු ඇටය -Back Bone හා සමානයි .මතක තියාගනින් මේ කොඳු කටුව තියෙනතාක් කල් උඹට අයුක්තිය , අසාධාරණේ , ඉස්සරහ නැවෙන්න ඕනෙ වෙන්නේ නෑ.හැබැයි යුක්තිය , නිවැරදි දේ වෙනුවෙන් හිස නවපන් ,එකඟ වෙයන් .තමන්ගේ නිවැරදි මතය වෙනුවෙන් බය නැතුව නැගී හිටපන් "කියලා . ඒ අවවාදයත් හිස් මුදුනෙන් පිලිගන්න පුතා අහනවා අන්තිම මාලු ඇට කෑල්ල පෙන්නලා "තාත්තේ එතකොට මේ මොකද්ද "?කියලා .

"මේ නුඹේ පැතුම් කටුව- Wish Bone . මොන තරම් අසරණ වුනත් , වස්තු සම්පත් ,යාලුවො නැති වුනත් , ජීවිතේ එපා වෙන තැනට ආවත් මේ පැතුම් කටුව අතාරින්න නම් එපා .ප්‍රාර්ථනා , බලාපොරොත්තු තමයි යම් දවසක නුඹව අලුත් ලෝකෙකට ගෙනියන්නේ "කියලා .

ඉතින් ඔය කටු තුන පිලිගත්තු පුතා සාගර දූපතෙන් තාත්තට සමුදීලා සතුටින් නික්ම ගියා කියල තමයි කියන්නේ .

අද මේ කතාව මට මතක්වුණේ කාරණා කීපයක් නිසා .මේ කතාව මට කියලා දුන්නේ කාලෙකට ඉස්සර මගේ ආචාර්යවරයෙක්ව හිටි හා අපේ ස්ටුඩන්ට් කවුන්සලර් හැටියට වැඩ කල ආචාර්ය ගරු නොයෙල් ඩයස් පියතුමා .හරි ප්‍රසන්න සිනා මුසු කෙනෙක් .එතුමා තන්ගේ පලවෙනි වසරේ සිසුන්ට මුලින්ම කියලා දෙන කතාව මේ .පියතුමා එයාගේ විෂය උගන්වලා විවේක තිබුණොත් ලස්සන හිම්ස් එහෙමත් ගායනා කරනවා මට මතකයි .එතුමන් කිව්ව බොහෝ ආදර්ශ කතා ශුද්ධවූ බයිබලයෙන් කල උපුටා ගැනීම් වලට සම්බන්ධයි .තව දෙදවසකින් කිතුණුවන් ඉතාම ඉහලින් සමරන නත්තල උදාවෙනවා .තව සතියක් ගියතැන අලුත් අවුරුද්දක ආරම්භය . අද මම කොලඹඉඳලා ගෙදර එද්දී පාර පුරාම අවුරුදු හා නත්තල් සැරසිලි එක්ක මට අපේ ෆැකල්ටියේ තිබුණ ක්‍රිස්මස් කැරොල් හා ආචාර්ය ඩයස් පියතුමා මතක් වුණා .ඒ වගේම නත්තල ,අවුරුද්ද වෙනුවෙන් ජීවිතේට යම් අදහසක් මෙයින් එකතුවෙනවා .මම ගොඩාක් කැමති පැතුම් කටුවට -Wish Bone .ජීවිතේ බලාපොරොත්තු නැති කරගන්න එපා කියලා කිව්ව අවවාදයට . ඒ වගේම දෙමවුපියන් හා දරුවො අතර තියෙන බැඳීම් ගැන යම් යටි පෙල අරුතකුත් මෙයින් කියවෙනවා .

එහෙනම් කාටත් ප්‍රීතිමත් ශ්‍රී සුබ නත්තල් මංගල්‍යයක් වේවා !

ප\ලි

මේ තියෙන්නේ පියතුමා කිව්ව තවත් අදහසක් .මේක උපුටාගත්තේ මගේ ජූනියර් බැච් එකක නංගි කෙනෙක්ගේ මූණු පොතේ තිබිලා .


For attractive lips, speak words of kindness.



For lovely eyes, seek out the good in people.



For a slim figure, share your food with the hungry.



For beautiful hair, let a child run his/her fingers through it once a day.

For poise, walk with the knowledge that you never walk alone.



People, even more than things, have to be restored, renewed, revived, reclaimed, and redeemed; never throw
 out anyone.


Remember, if you ever need a helping hand, you will find one at the end of each of your arms.

As you grow older, you will discover that you have two hands; one for helping yourself, and the other for helping others.

Monday, December 5, 2011

ජීවිතයේ ගෙවීගිය තවත් එක සොම්නස් සහගත කාලයක්-God...that was the best time in our life !!



දැනට වසර හතකට එහා කාලයයි .අපි ජීවිතයේ දෙවනි දශකය අග උපාධියක් පමණක් අතැතිව සරසවියෙන් පිටවූ අලුතය . අපේ උපාධියටම පමණක්  වෘතීය සුදුසුකම් ලබානොදෙන නිසා එය  වලිගය නැති ගොනෙකුට සමානකර තිබුණි . සිවු වසරක උපාධිය නිමාකර තවත් වසර එකහමාරක ආධුනික සමයක් ගෙවා දැමිය යුතුව තිබිණි .ඒ කාලය තුල ජේෂ්ඨයන්  හා වැඩ පුහුණු වීම් ,අදාල වෘතීය ආයතනයේ දේශනවලට යාම් , සහ විෂයන් හතකින් සමන්විත මාසයක් පුරා පවත්වන විබාගයක් සමත් වීමද අනිවාර්යෙන් කලයුතු අංග විය .මේ විබාගය අසමත් වුනොත් අර වෘතීය වලිගය එල්ලාගැනීමට නොලැබේ .එසේම උපාධියට අපර්ස් ගත් උදවියත් එය අසමත් වන අවස්ථා ඇතිනිසා පලමුවර ගොඩයාම ඇඟට ගුණ බව කාගේත් උපදෙස විය .

සරසවි කාලයේ යැපුණේ ගෙදරින් දෙන මුදලින් හා මහපොල ශිෂ්‍යත්වයෙනි. ආසා ඇඳුමක් , පොතක් ගන්න යන්න , මාසෙකට වරක් රස්තියාදුවක යන්න මහපොලෙන් වූ සේවය අපමණය .දැන් ඉතින් එයත් අහෝසිය .ඇත්තේ ගෙදරින් ලැබෙන දීමනාවයි .අර ලතින් බසින් කියවෙන උපාධිය ගත් පසු ගෙදරි සල්ලි ඉල්ලිමද මහා  මදි කමකි . ලජ්ජාවකි .ඊටත් වඩා එකල  ඔය අකුරු දෙක තුන ගැන මහා උද්ධච්ච ලෙස සිතූ නාහෙට නාහන කාලයකි .ජේෂ්ඨයන්   සමග ආධුනික පුහුණුව කරනමුත් එහිදී ගෙවීමක් නැත .නමුත් හිත හොඳ ජේෂ්ඨයන්   හෝ පුද්ගලික සමාගම් රුපිය තුන්දාහක් හෝ හාරදාහක් ගෙවීමට ඉඩ ඇත . මේ  ආධුනික කාලයේ සල්ලි බාගේ නැතිවුණත් වෘතීය ආචාරධර්ම කඩ නොකර පවත්වාගෙන යාම ඇවැසිය .ඒ වෙනුවෙන් සම්මත වර්ණයන්ගෙන් යුත් සාරි හැඳීම අනිවාර්යය . අර බරපතල විභාගයට අදාල කටයුතු නිසා ගම රට යාමක් නැත . ආයෙත් කොලඹ බෝඩිමකට කූඩු විය යුතුය .ලැබෙන රුපියල් තුන් හාරදාහෙන් කෙල්ලන්  වූ අපිට මාසෙට එක වෙන්න අලුත් සාරි ගන්නට නොහැක . කෑම බීම , බස් ගාස්තු , විබාගයට අදාල වියදම් , නවාතැන් ගාස්තු ,කොලඹ ජීවිතය තුල රුපියල් තුන්හාරදාහකින් කල හැකි දෙයක් නැතිය .කොටින්ම මේ ගන්දබ්බ කාලයකි .ගෙදරින් ඉල්ලිමට හිත් නොදෙයි .එකක් අර උද්ධච්ච කමය .අනික තව ඉගෙනගන්න වියදම් කලයුතු බාල සොහොයුරු සොහොයුරියන් අපි කාටත් අතැයි යනුවෙන් සිතන වගකීම් සහගත බවයි .

මෙවැනි වකවානුවල පිහිටට එන්නේ සාමූහික ජීවිතයයි .එහෙත් ඉතින් ගැලපෙන කචල් නැති සමූහයකට වැටුනොත් හොඳය  .නැත්නම් ඉතින් නිතර සිත් තැවුල් , නවාතැන් මාරු කිරීම් සිදුවෙයි .ඒ අනුව අපි සිවුදෙනෙක් සමූහික ජීවිතය ආරම්භ කලෙමු .අපි තිදෙනෙක්ම එකම බැච් එකේ අර වසර එකහමාරක ආධුනික කාලය නම් වූ දැඩි දඬුවමට සූදානම් වූ   බැචීලාය .අනිකා අපි සියලුදෙනාටම වඩා වසර තුනකින් පමණ බාල චාර්ටඩ් විබාගයට ලෑස්තිවෙන නංගී කෙනෙකි .අපේ නවාතැන අපේ එක බැචියක් වූ චමීගේ  දුරින් නෑවෙන නිවසක උඩු මහලයි . මේ තිප්පොල තිබුණේ බෙල්ලන්විල පන්සලත් , ජ'පුර සරසවියත් අතර එකසිය විස්ස පාර ආසන්නයේමය .කොලඹ සීමාවේ නවාතැන් මිල අධික වීමත් , කෙල්ලන්ට දැඩි නීති දාන සාම්ප්‍රදායික නවාතැන් අපිට රුස්සන්නේ නැති නිසාත් , ස්වාධීන ජීවිත ගෙවිය යුතු නිසාත් ඔය සේරටම වඩා සාමූහිකව උයා පිහාගෙන කෑමෙන් කොලඹ ජීවිතේ විය හියදම් අඩු කරගත හැකි නිසාත් , පරිසරය නිස්කලංක නිසාත් මේ නවාතැනට අපි සෙට්වූයෙමු . උඩුමහල අපිට පවරාදුන් නිවැසියන්ගෙන් එතරම් කරදර නොවීය . වෙලාවට ගෙවල් කුලී දුන්නහම ඇතිය .ලයිට් හා වතුර බිල් අපි ගෙවිය යුතු විය . මේ උඩුමහල අපිට ලැබුනේ රුපියල් පන්දාහකටය . අපිඅට ඇවැසි මූලික ගෘහ උපකරණ වූ ඇඳන් හතරක් ,පාඩම් කරන්නට  ලොකු මේස දෙකක් , පුටු කීපයක් , කෑම මේසයක් හා කොටස් හතරකට බෙදූ අල්මාරියක් එහි විය .රෝහල් වාට්ටුවක් විතර ලොකු වූ ප්‍රධාන සහ එකම කාමරයේ අපේ ඇඳන් හා අල්මාරිය වූ අතර ඉස්තෝප්පුවේ පාඩම් මේස විය .ඉස්තෝප්පුව බැල්කණියකට විවර වූ අතර එයට පහල මිදුලේ වූ විසාල අඹ ගසකින් සෙවන ලැබුණි . කුඩා කුස්සියත් ඉස්තෝප්පුවත් අතර අපේ නානකාමරය වි.ය පිටුපස බැල්කණියේ අපේ රෙදි සෝදා වේලීමට පහසුකම් තිබුණි  .බොහෝ නවාතැන් හා සසඳද්දී එය සෑහෙන්න පහසුකම ,ඉඩ කඩ  තිබූ තැනකි.මේ අපේ වාසභවනයි .

අපි හතරදෙනාම උයා පියාගෙන කන්න යන පලමු වතාව මෙය විය .අපි හතරදෙනාගේම දෙමවුපියන්ට නම් මෙය විහිලුවක් විය .එහෙත් අපි සීරියස් වීමු . අපි අතර ටිකක් ඩොමිනේට් චරිතය වූ ඉන්දු ගෘහපාලනය අතට ගත්තාය .උයන පියන සියල්ල ඇයට ඕනේ ලෙසින් තීරණය කරන්නට ඉඩදුන්නත් පහුවෙනකොට අපි අපට උවමනා ලෙස කටයුතු කෙරුවෙමු .

හිතුවා මෙන් නොව සාමූහික ජීවිතයේ බොහෝ වගකීම් ඇති වග අපිට වැටහුණේ පලමු මාසය ගතවෙද්දීය . සතියේ දවස් හතරෙහි උදේ , දවල් හා රෑ කැම පිලියෙල කිරීම හතර දෙනා බෙදාගත්තෙමු .උදේට හා දවල්ට එකටම උයාගත් අතර රෑට වෙනම කෑම ඉව්වෙමු . සතියටම ඇවැසි උයන , පිහන එලවලු , හාල් , පොල් ආදිය ගෙන ඒම එක් අයෙක් කලයුතුය .බඩු මුට්ටු ගෙනාවා පමණක් නොව ඒවා මිල හා ප්‍රමාන සහිතව අදාල දිනය සමග පොතක සටහන් කලයුතුය .ඒ වෙනුවෙන් කුඩා සටහන් පොතක් කුස්සියේ කෑම මේසය මත තබාතිබුණි .එය අපේ විගණන කටයුතු බාරව සිටි සරා නංගීගේ වැඩකි. අවසානයේ ලයිට් බිල් වතුර බිල් ආදියද එකතු කර එකිනෙකා විසින් ගෙවිය යුතු ගනන් අඩු නැතිව සතේටම නිවැරදිව කියන්න ඈට හැකිය .ඒ කුඩා පොත අද තිබුණානම් කොලඹ බඩු මිල වසර පහකදී ඉහලගිය අයුරු නිරීක්ෂණය කලහැකිව තිබිණ . සරා හැර තිදෙනාම තාවකාලික වර්ගයේ රැකියා සොයාගෙන තිබුණි . චමී අපේ සරසවියට අදාල අනුබද්ධ ආයතනයක ඉන්ටර්න්ශිප් එකක් කලාය . ඉන්දුටද එවැනිම බාහිර ආයතනයක ඉන්ටර්න්ශිප් එකක් ලැබුණි . මගේ තත්වය  ටිකක් වෙනස්විය .සරසවියෙන් පිටවෙද්දී වූ හදිසි අබග්ගයක් අවසානයේ  වාසනාව ගෙන ආවෙන් මට ප්‍රකට සමාජ විද්‍යා පර්යේෂණ ආයතනයක ජූනියර් රිසර්ච් ඔෆිසර පට්ටමක් නම් පත්වීම් ලිපියක්ද සහිත රුපියල් අටදාහක වැටුපක් ඇති , ඊ පී එෆ් , ඊ ටී එෆ් සහිත ඉස්තිර යයි කියන රැකියාවක් ලැබීතිබුණි .ඔය අටදාහ ලැබුණේ 2003 දීය . කැපෙන සියල්ල  අවසානයේ ඔවර් ටයිම් ද එක්වුනොත් රුපියල් හත්දාහක් පමණ ලැබුණි .ජීවිතේ වැටුපක් ගත් පලවෙනි වතාව එයයි .පඩි ගත් මුල් දවසේ ලෝකයම දිනූ වීරයෙක්සේ පේ ස්ලිප්- pay slip එකත් අරන් ගෙදර ආ හැටිත් නවාතැනේ හැමෝටම ප්‍රයිඩ් රයිස් ගෙනාහැටිත් මට අදවගේ මතකය . නමුත් මේ රැකියා අපේ වෘතීය පුහුණුවට සම්පූර්ණයෙන් ගැලපෙන ඒවා නොවේ .ඒ නිසා සති අන්තයේ කොහුවල සිටි ප්‍රකට ජේෂ්ඨයෙක් හා වැඩකිරීමට පොටක් පාදාගන්න මට සිදුවිය .රැකියාවේ වැඩ කටයුතු වලින් වෘතීය සුදුසුකම් පුහුණුව ,සම්පූර්ණ නොවේ . එහෙත් රුපියල් හත්දාහක් ලැබෙන රස්සාව අතහැරියොත් කොලඹ ජීවිතය අපහසුය .ඒ නිසා සති අන්තයේ දික්කසාද ලිපිගොනු කියවූයේ මේ කාලයේය .එමෙන්ම මා වැඩකල ආයතනයේ ලොක්කාගේ හිතහොඳ කම නිසා සතියේ එක් දවසක් පැවැත්වෙන ,විබාගයට පෙනීසිටීමට අදාල වෙන දේශන වලටද ගියෙමි .අනිවාර්යෙන් සාරි ඇඳිය යුතු එකී දේශන වාර වලට මම සහබාගි වුයේ කැෂුවල් ඇඳුමින් කොලෙජ් එකේ පස්සාදොරිනි .එවිට අපේ කෝස් කෝඩිනේටර් වූ කන්දයියා මහතාගේ ඇසට වැලිගැසීමට ලේසිය .නීතිය වූයේ සියලු ආධුනිකයන් නිවැරදි ඩ්‍රෙස් කෝඩ් එකෙන්  දේශන වලට පැමිණීම වුවත් රිසර්ච් රස්සාව නිසා මට සාරි අඳීන වෙලා නැත .ඒ හැම රුපියලක්ම දෙවරක් හිතා වියදම් කල කාලයයි . පිටකොටුවේ සිට වේල්ල වීදිය දිගේ පයින් ඇවිදගෙන ගිණි ගහන අව්වේ යන්නත් , වැඩ ඇරී මගේ කාර්යාලය නුදුරෙන් වූ නුගේගොඩ පොලට පයින්ම  ගොස් සතියක එලවලු අරන් ආයිත් කොහුවල හන්දියට අවුත් 135 බසයෙන් නවාතැනට යන්නත් පැකිලුණේ නැත .එසේම හම්බකරගත් එවායින් ඕ ටී එකට අදාල රුපියල් දාහක පමන මුදල කලුබෝවිල වූ ඉතිරිකිරීමේ බැංකුවේ ඉතුරු මිතුරු ගිණුමක දැම්මා මතකය .ඒ අදාල වෘතීය විභාගයට කලයුතු විවිධ මුදල් ගෙවීම් සපුරාගැනීමේ අටියෙනි .

ඩොමිනේටින්ග් කැරැක්ටර් එක වූ ඉන්දු සමග මමත් චමීත් ජීවත්වූයේ බොහෝ පරිස්සමිනි .එහෙත් කටට බ්‍රේක් නැති සරා නංගී නම් ඇයට එතරම් බය වුණේ නැත .ඉන්දු උදෙන්ම වැඩට පිටත්ව යන්නේ ඇගේ කාර්යාලය නවාතැනට තරමක් දුරින් පිහිටි නිසාය. ඊලඟට පිටත්ව යන්නේ චමීය .මම වැඩට යන්නේ අන්තිමටය .මගේ කාර්යාලය නවාතැනට ආසන්නය .සරාට හැමදාම පන්ති නැත .ඇයට උයන්න පියන්න නැත්නම් පරක්කුවෙනතුරු නිදාගන්න හැකිය .කොහොමනමුත් උදෑසන අපේ නිවහනේ තරමක කලබලයකි .කෑම උයන පිහන ඩියුටියට උදෙන්ම නැගිටින කෙනෙක් හතරදෙනාටම තේ හදයි .එකිනෙකා බොන කිරි වර්ග වෙනස්ය .නමුත් හතරදෙනාගේම මග් වලට නියම රස පදමට කිරි හදන්න අපි ඉගෙනගත්තෙමු . එවිට අනික්වුන් ඇස් පිහමින් නැගිටලා එයි . විබාගයට ආසන්න කාලයේ පාඩම් කිරීමට අනික් අය නැගිට්ටවීමද උදේ උයන කෙනාගේ රාජකාරියකි .  කලින්ම වැඩට යන අය මුලින්ම බාත් රූම් යයි .ඉන්දු හා චමීට අනිවාර්යෙන් සාරි හැඳ වැඩට යායුතුය .ඉතින් 
 මේ දෙන්නා කණ්නාඩිය බදු ගනී.මා නිදන ඇඳ තිබුණේ මේ කණ්නාඩිය ආසන්නයේය .ඒ නිසා සියලුදෙනාගේම රූප ලාවණ්‍ය කටයුතු , අලුත් සාරි හැඳ හැඩ බැලීම් වලදී  මේ ඇඳ බදුගැනීම සිරිතක් විය .මුහුණේ කුරුලෑවක් ආවත් දිනගනනක් විස්සෝප වන සරා නංගී වැඩි දාට මේ කණ්නාඩියේ හිමිකාරිය වූවාය .අපි සියලුදෙනාගේම ක්‍රීම් , ෆර්පියුම් ,ලිප්ස්ටික් සහ සෙසු රූපලාවන්ය උපකරන ඇත්තේ  කණ්නාඩිය මතයි . එයින් වැඩිහරියකට හිමිකම් කිව්වේ සරා සහ චමීය .මට වැඩිපුර තුබුනේ ෆර්පියුම් වර්ගය . ඉන්දු  ෆර්පියුම් පාවිච්චියක් නැත . අපි තුන්දෙනාගේ ෆර්පියුම් පොදු දේපල වගේය . සියලුදෙනාගේම සුවඳ විලවුන් බෝතල් වලින් විලවුන් නාගෙන යන සිරිතක් එකල මට තිබුණි . .ඔය අතර අන්තිමට වැඩටයන මට තව රාජකාරියක් ඇත .ඒ දොරටුපාල වැඩේය . පඩිපෙලෙන් බැල්කණියට ඇතුල්වෙන යකඩ ගේට්ටුවේ හා ප්‍රධාන දොරේ යතුරු මා සතුවිය . උදෙන්ම අනික් අයට පිටත්ව යන්න දොරවල් හැරීමත් ,සියල්ල හොඳින් වසා යතුර පහල මල් පෝච්චියක් තුල සුරැකිව තබා යාමත් , අන් සියලුදෙනා පැමිණි පසු රෑට සියලු දොර ජනෙල් වසා තරකොට යතුරු පොත්මේසයේ මගේ පෙන් හෝල්ඩරයට දැමීමත් මීට අදාල කටයුතු විය .ඒ හැරුනවිට විදුලි බල්බ මාරු කිරීම , කුස්සියේ හිටිගමන් බ්ලොක් වෙන සින්ක් එකේ ඩ්‍රැනේජ් සිස්ටම් එක යථාතත්වයට පත්කිරීම වැනි මකබාස් වැඩ කිරීම මට හා සරා නංගීට ඉබේම මෙන් පැවරී තිබුණි .

 සියල්ලන්ම නැවත් එක්වන්නේ හවස්වරුවටය .එවිට එක අයෙක් හැමෝටම තේ හදයි .හැමෝගෙම බිස්කට් එක ප්ලාස්ටික් ටින් එකක අසුරා තිබුණි .කැමති කෙනෙක්ට කැමති වර්ගයකින් කෑහැකිය .තේමේසය අපේ දවසේ වැඩකටයුතු සමාලෝචනය කරන වෙලාවයි .කාටත් තමන් ප්‍රියකරන සීක්‍රට් ක්‍රෂ් වූ කොල්ලන්ගේ සිට අලුත්ම වර්ගයේ මෝටර් රථ,මොබයිල් ෆෝන්  දක්වා කියවන්න දෑ බොහෝය . ඒ සෙෆීරෝ -Cefiro කාර් වලට මමත් චමීත් වහ වැටී සිටි කාලයයි .හේතුව අපේ සීනියර්ලා කීපදෙනෙක්ම සෙෆිරෝ කාර් මිලට ගත් නිසාය .මොබයිල් ෆෝන් නඩත්තුවට අපි අතවූ මුදල් මදිය .එහෙත් ඔය කාලයේ තුබූ අදනම් ඉතාම ප්‍රිමිටිව් වර්ගයේ Nokia  1100 ,1110  phone  එකක සතුකරගැනීම එකම සිහිනය විය ඉන්දු නම් බොහෝවිට කතාකලේ පලක් ඇති දෙයකි .විබාගයට උවමනා සටහන් සොයාගන්න අයුරු , ඊට අදාල වැදගත් දින වකවානු , පාඩම් කලයුතු පිලිවෙල ආදිය ඇය නිතර මතක්කලාය අපි මෙය නම් කලේ "ඉන්දුගේ උපදෙස් පන්තිය " ලෙසයි .බොහෝවිට හවස තේ මේසය සූදානම් කරන්නේද චමීය . තේ සූදානම් වූ පසු ඇය අප අමතන්නේ ' සෙක්සිලා තේ බොන්න එන්න' යනුවෙනි . ඇය අපි සියලුදෙනාටම පොදුවේ ඇමතුවේ "සෙක්සි- sexy  " යන පදයෙනි . චමීට අනුව ඕනෑම හොඳ දෙයක් , ලස්සන යමක් , රස කෑමක් 'සෙක්සිය ".මේ අපේ නවාතැනේ නිතර දෙවේලේ අහුණ ඉතාම සාමාන්‍ය  වචනයකි . චමීගෙන එය මටත් සරාටත් හුරුවිය. සමහර දිනවලට ඔය තේ මේසය ටිකක් වෙනස්වෙයි . පාන්පිටි , බිත්තර වැනි කලමණා ඇත්නම් චමී ඇගේ ප්‍රියතම කෑමක වන  පෑන්කේක් සාදන්නීය .කොහොම කලත් ඉන්දුනම් එහි අඩුවක්ම දකී .මටත් සරාටත් රසේ වගක් නැත .ඕනමදෙයක් බඩට දාගන්න අපි එවරෙඩිය .ඒනිසා පදම වැරදී රෙසිපිය අල වුවත් අපිට කමක් නැත .සරා අපි හැමෝගෙම උපන්දින කුස්සියේ ඇති බිත්ති  කැලැන්ඩරයේ ලකුණු කර තිබුණි .පෙබරවාරි , මාර්තු , මැයි හා දෙසැම්බර් වල අපේ උපන්දින යෙදී තිබුණි . උපන්දින සමරන උදවියට  ෆැබ් එකෙන් කේක් ගෙන ඒම සරාගේ අනිවාර්ය නියෝගය විය .ටී වී බැලීමක් නොවුන අතර සියලුදෙනාම නිවසට එන හවස් යාමයේ සිට අපි රෑ නින්දට යන තෙක් ඉසිර ගුවන්විදුලියේ සින්දු ඇසුවෙමු .ඊට කුඩා  රේඩියෝවක් අප සතු විය .ඔය අතර සති මැද නිවාඩුවක් තිබ්බොත් උදෙන්ම නැගිටින ඉන්දු මුලු ගෙයම අස්කරන්න පටන්ගනී .අපේ කොට්ට මෙට්ට අපිටත් නොකියාම බැල්කණියට විසිවෙලාය .ඒ වේලා ගෙටගන්නය . ඇඳ ඇතිරිලි රින්සෝවල පොඟවලාය .සමාවක් නැත .ඒවා තනි තනිව හෝදාගත යුතුය .පොත්මේසය වනසා තිබෙනවාට ඇය කැමති නැත .ඉතින් හැමෝගේම සටහන් ගොනුකරන්නේද ඇයයි .අපිට නම් මේවා මල වදය . ඒත් ඉතින් පොදු යහපතට-in the public interest   උහුලා සිටිමු .


රැකියා කලත් සුලු වැටුපක් නිසා අපි හැමෝම මාසේ අන්තිමට යන්නේ රිම් එකෙනි .තත්වය උග්‍ර වන්නේ හිටිගමන් අපි රැකියා කරන තැන් , හඳුනන සීනියර්ස්ලාගෙන ලැබෙන විවිධ ආරාධනා නිසාය .මේවා මගහැරීමට නොහැක්කේ වෘතීය ජීවිතය අරඹන්න ඇවැසි සමහර නෙට්වර්කින්ග් අවස්ථා මෙයින් ලැබෙන නිසාය .ඉතින් ඒවාට සූදානන් වීම යනු සෑහෙන්න ලොස් වීමකි .අලුත් සාරියක් ගන්නටම සිදුවේ . 

මේ සියල්ල මැද ප්‍රධාන කාරණාව  හෙවත් විබාගය අමතක කල නොහැක .අපි තිදෙනාම රැකියා සහ වෘතීය පුහුණු ලබන අතරම පාඩම් කලයුතු විය  .අපේ බොහෝ බැචීලා අප මෙන් නොව සතියට දින පහම වෘතීය පුහුණුවට සහභාගිවූ නිතර දෙවේලේ සාරි පටලවාගෙන සිනියර්ස්ලාගේ පොත් අතින් ගෙන අලුත්කඩේ කැරකුන  අයයි.ඔවුන්ට විබාගයට හොඳ සප් එකක් සිනියර්ස්ලාගෙන් ලැබුණ අතර සමහර දෙපාර්තමේන්තු වල සේවයට  යාමට ඇවැසි සහයද කල්තියාම ලැබුණි.නොකඩවා යමක් පාඩම් කලේ ඉන්දු පමණකි .චමී සහ මම උදේට හිතුනොත් පාඩම් කරන චරිත විය .විබාගය අත ලඟටම ආකල මම මගේ රැකියාව කරන ආයතනයෙන් මාස දෙකක නෝ පේ නිවාඩු ඉල්ලාගත්තෙමි . විෂයන් හතකට ඇවසි කාරනා පාඩම් කලේ ඔය කාලයේය .විබාගය පැවතියේ දෙවන මාසය මැදය .එය සති හතරක් නොකඩවා තිබුණි .එකල ඉවුම් පිහුම් සියල්ල සරා තනිව කරන්න බාරගත්තාය .අපිට තේ පවා හදා දුන්නේ ඇයයි .සමහරවිට අපේ රෙදිත් හේදුවා මතකය .එපමණක් නොව විබාගයට පෙර දිනවල සමහර පනත් , වගන්ති ගැන අපේ මතකය පිලිබඳ දැනුම මැනීමද ඇය විසින් සිදුකලාය . අපි තිදෙනාම උදේ , දවල් , රෑ නිදිවරන් පාඩම් කලෙමු .මේ සේරම සෙල්ලම් දාන්නේ අර වෘතීය සුදුසුකම් වලිගය එල්ලා ගන්නය .


අන්තිමේ සියල්ල යහපත් ලෙස නිමාවිය .අපි තිදෙනාම විබාගය සමත්වී තිබිණි .රිසල්ට්ස් බැලූ දා හිතට නැගුන සතුට මෙතෙකැයි නිමක් නැත .එතැනම වූ කාසිපෙට්ටි දුරකතනයකින් මම ගෙදරට කතා කර ඒපුවත තාත්තාට දැන්වූයේ මහත් උද්දාමයෙනි .ඉන් දෙදවසකට පසු අපි තුන්දෙනාම කලු නිල කබා මස්සන්නට ගිය අයුරුත් මතකය . හොඳම රෙදි වර්ගයකින් තෝරා , ඉස්තරම් විදියට නිමා කිරිමේ පලපුරුද්දක් ඇති අලුත් කඩේ ටේලර් ජොයින්ට් එකකට අපේ ඕඩරය කලින්ම දුන්නේ දිවුරුම් දෙන කාල වකවානුවේ වැඩි කරදරයක් නොවෙන්නය .අපි තිදෙනාම කලින් කතාවී එකම සෙෂන් එකක දිවුරුම් දීමට හැකි වන ලෙස  අදාල ලියකියවිලි බාරදුනිමු .චමී අපේ දිවුරුම් දුන් දිනයේ අමතක නොවෙන යමක් ඉතිහාසයට එක් කලා විය යුතුය .ඒ තමන්ගේ වෘතීය ජීවිතය අරඹන පොරොන්දුව දෙන්නටත් පමාවී පැමිණීමෙනි .එවිට අපි සියලුදෙනාම දිවුරුම් දී හමාරය . වසර දෙකකට මදක් වැඩිවූ සන්තුෂ්ටි දායක කාලසීමාවක් ගෙවී ගියේ එසේය . ඒ ජීවිතේ මහා බරක් පතලක් නොගත් ,එදිනෙදා ජීවත්වෙන හැටි හිතූ ,අතේ සතේ නැතත් හිතේ  සතුටින් හිටි කාලයකි.අප සිවුදෙනාගෙන් පලමුව වෙන්ව ගියේ මමය .ඒ කලුකබා රස්සාවට වඩා හාත්පසින් වෙනස් රස්සාවක් කරන්න උවමනා වූ නිසාය . ඒ වනවිට මම රජයේ කොමිසමක කලු කබා රස්සාව කරමින් සිටි කාලයයි . මගේ පත්වීම ඉස්ථිර කිරීමට ඔන්න මෙන්න තිබියදී මම ඉන් ඉවත්වීමි .මා නික්ම යනවාත් සමගම චමී එම ආයතනයේ සේවයට එක්වූවාය .ඉන්දු ඉන්ටර්න්ශිප් එකෙන් මුදවා ඔෆිසර තනතුරකට උසස්වී සිටියාය .සරා චාර්ටඩ් තුන්වන පියවරට සූදානම් වුවාය .ඉන්පසු කාලවලදී අප එතරම් මුන නොගැහුන මුත් උපන්දිනවලට සුබපැතුම් එවීම නම් නොකඩවා විය .අවසන් වරට අපි තිදෙනෙක් චමීගේ වෙඩින් එකේදී මුණගැසුනේ 2008දීය.පසුව අපි හමුවුනේ මූණු පොතෙනි .තාමත් චමී හිටිගමන් මා අමතන්නේ සෙක්සි ලෙසිනි . අපි අතර ඉඳහිට හුවමාරු වන ඊමේල් වල පවා එදවස්වල තේ බොමින් නන් දෙඩවූ අයුරු සිහිකර සිනාසෙමු .ඒ හැම ඊමේල් පණිවුයක් අගම හැමදාම කියවෙන දෙයක් ඇත - God.... That was the best time in our life -දෙවියනි ඒ අපේ ජීවිතයේ ගෙවීගිය හොඳම කාලයයි !

ප/ලි


ඒ ජිවිතේ ස්වාධීන වෙන්නට එකතරා අයුරකින් වෙර දැරූ කාලයකි .එහි සිහිවටන දෙකක් තාමත් මා සතුය . ඒකක් සරසවියේ අවසන් වසරේ වූ අබග්ගයක් නිසා අහම්බෙන් ගිය රස්සාවෙන් ලද පලමු වැටුප සටහන්වූ පේ ස්ලිප් එකය .අනික මගේ වෘතීය පුහුණුව ලබන්න යන මුලම දවසේ ඇඳි ලා ක්‍රීම්  පාට පසුබිමේ ලා කොල පැහැ සිහින් මල් මෝස්තරයක් වැටුන  කොට්න් සාරියයි . 





Friday, September 9, 2011

හැඟුම් විසිර දස අතේ - ලැගුම් සොයයි හදවතේ







ගුවන් විදුලියේ මහ පිරිතෙන් නින්දට යන මගේ ආච්චී අලුයම අරඹන්නේ සෙත් පිරිත් දේශනාවෙන් හා උදා විකාශයෙනි .අද මෙන් අතෝරක් නැතිව තිස්පෑයෙම කියවන ගුවන්විදුලි නාලිකා එකල තිබුනේ නැත , මතක ඇති තරමින් තිබුණේ ස්වදේශීය සේවය හා වෙලඳ සේවයයි . මේ මගෙ ළමා කාලයේ අසූව දශකය ආරම්භයයි .සෙත් පිරිතට ගුලිවී නිදන  මම ඇහැරෙන්නේ උදා විකාශයේ දේශාභිමානී ගී සමගය.ඒ අතරින් එක ගීයක රාවය හා මදුර වූ ගැඹුරු හඬ කුඩා මගේ සිත් ගනී . එහි අරුත කුඩා මට නොතේරෙන මුත්  මට හිතෙන්නේ ආච්චී කියා දී ඇති ජයමංගල ගාථා තරම් ඒ ගීය ප්‍රබල බවයි .

"බුද්ධානු භාවේන සිත් මෙත් පහන් වී
මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොවුතුරා රශ්මි මාලා
හෙල දෙරණ ජන ජයතු ජය මංගලානී


   
තන්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා රුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙල දෙරණ ජන ජයතු ජයමංගලානී


හෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංශා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාසධාරා
හෙල දෙරණ ජන ජයතු ජයමංගලානී"




මේ ගීතය අසන විට  මගේ හිතපිරී යයි . අද හොඳ දවසක් වැනි සිතුවිල්ලක් එයි . ගීතය සමග පසුබිමින් ඇහෙන්නේ මගේ ලොකු මාමා රැවුල බාමින් මේ ගීය තාලය වරද්දමින් කියන හඬයි .යන්තම් පස් විය වත් නොඉක්මවූ ළදරු මට නන්දා මාලිනිය හොඳින මතකයට එන්නේ මෙලෙසිනි .හෘංගාවලී රාව, ක්ෂීර පායාස යනු මොනවාදැයි මා දැන ගත්තේ බොහෝ කාලෙකට පසුය.නමුත් අදත් මේ ගීය නන්දා ගයන විට මගේ බාල කාලයේ මතක ගැන ඉමිහිරි චිත්තරූප මැවේ .

නැවත මට ඇය මුණ ගැසෙන්නේ අනූව දශකයේ  මගේ ගැටවර වියේදීය .අතට අහුවෙන සියලු,පොත් , පත්තර කාවෙකු මෙන් කියවීමටත් හැම දෙයක් දෙසම සාධාරණයේ  , යුක්තියේ ඇහින් බලන්නටත් , නොමේරූ සිතින් අසාදාරණය , දුක , පීඩාව ප්‍රශ්න කරන්නටත් නන්දා විසින් ගැයෙන ගී මට අනුබලයක් වෙයි . ඇයේ කිඳුරියකගේ විලාපය , හේමන්තයේදී, පහන්කන්ද යන කැසට් පට (එකල සී ඩී පට නොතිබුණී ) මට අමයුරු විය . පවතින දේශපාලන ක්‍රමය ප්‍රශ්න කෙරුන මේ සමහර ගී ගුවන්විදුලියෙන් තහනම්ව තිබිණි . මේ කැසට් පට වල ගීත මට පටි ගතකර අහන්න දුන්නේ නන්දාගේ හද බැඳි රසිකයෙක් වූ දැන් සැට වියට ආසන්නව කල් ගෙවන මගේ ලොකු මාමාය . 

යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න 
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන් 




ලොකු අය්යලා අක්කලාගේ" කොලඹට කිරි අපට කැකිරි" කතා ඇහුණ , පාර දෙපස දර සෑ වල පිලිස්සෙන යන්තම් දැලි රැවුල් වැවුණ අය්යලාගේ මල සිරුරුත් දුටු එකල මේ ගීය තරමක විප්ලව කාරී අදහස් හිතට දුන්නා මතකය .සාධාරණය හා අසාධාරණය ගැන අදටත් මේ ගීය නිසා ඉතිරි වූ හැඟීමක් හිතේ ඇත .ඉන් නොනැවතී දිවයින පුවත්පතේ පලවූ ඇඹිලිපිටිය සිසුන් අතුරුදහන් වීමේ නඩුව අකුරක් නෑර ඉවර වෙන තුරු කියවූ අයුරුත් මතකය .පද නිවැරදිව මතක නැතත් හේමන්තයේදී කැසට් පටයේ වූ ධනපති පන්තියට නිගා කල (දැන් මම ධනපති පන්තියට කඩේ යමි )"කොලඹ හතේ , කුරුඳුවත්තේ ,බංගලාවේ,බිතෝවන්ගේ වාදනයක් ,පියානෝවකින් වයන් පුස්ඹ ගහන ලමිස්සියට" නන්දා කියන්නේ මේ සියලු සැප සම්පත් උපදින්නේ ඇගේ තාත්තාගේ තේවත්තේ දල්ලට යටවූ දහදියෙන් බවයි .සමාජවාදී සිහින බැලූ ලොකු වැඩ කරන්න දැඟලූ අපි වැනි පොඩි වුන්ට මේවා විප්ලවය අවුලුවාගන්න හොඳ ගිනිදැල් විය . නන්දාගේ තවත් ගීත සොයන්නට මේ විප්ලව ගී ඉවහල් වුනි . අලුත් ආරකින් ලෝකය දෙස බලන්නට කියාදුන් ගීත ගොන්නට පසුව මේවාත් එකතු වුනා මතකය .

"මිරි වැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා "

"උඬඟු ලිඅයන් ගොතා බඳින
 නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ"

"වහින්නට හැකිනම් මේඝයක් වී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසෙන් "

"දුප්පත් කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එන දා"

"චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් 
දූ සනහන්නට ගීත ගයනවා
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ"

"හන්තාන අඩවියේ -සුදු කුලුණු
මැදුරු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයෙ සුලඟ නොවේ" 


විප්ලවයේ දිග පලල නොදත් මුත් මිනිසුන්,ගැහැණුන් හා සමාජ ප්‍රශ්න දෙස දයාර්ද්‍ර සිතින් බලන්නත් මතු යම් දවසක කාගේ හෝ හඬන දෙතොලග සිනාවක් වෙන්නත් උවමනා මනුස්සකමේ (සර්ව සාධාරණ යුටෝපියානු මිනිසා නොවන වග සලකන්න ) මුල් පාඩම් හිතේ තැන්පත් වෙන්නටත් මේ ගී බලපෑවා යයි සිතමි.

ටික කාලෙකින් මගේ විප්ලව සිහිනයේ රැස් වියැකී ගොස් 'අරලිය ලන්ද්ට හඳ පායා, තුරුලිය මල් වට බඹරු බමන " කාලය එලැඹුනි .විප්ලවයේ සැර බාල වුනත් "ගෙඩි සීයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි ,අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ"ලෙස ඈ ගැයුවාය .නන්දාට ගැයුමට බොහෝ මධුර මනෝහර පද වැල් ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ඩෝල්ටන් අල්විස් සූරීන් විසිනි ."අරලිය ලන්ද ගයමින්"නන්දා අලුත් යුගයකට ආවගක් මතකය .ඒ,එකල නවක ගී රචකයන්ගේ ගී කැසට් පටයකට ගැයීමයි.නන්දා විසින් අතීතයේ ගැයූ බොහෝ මිහිරි පදවැල් මිහිරෙන් මිහිරට පත්ව ඇසූ කාලයක් ඉන් ඉක්බිති උදාවිය . 





"හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා"

"ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්දකාරේ
ඔබයි සෞම්‍ය තරු එලිය ගිම්හාන කාලේ
සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගෙන්"

"සාරි පොඩිත්තක් ඇඳගෙන
මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී
කතා කරල මංගල්ලේ නියම කරාවී"


ඔය හැම ගීයකටම වඩා "දියමන්තිය" චිත්‍රපටියේ  මේ ගීය ඇහෙන විට මට  වලාකුලක් සේ  නිදහසේ   රීඩ් මාවත උස් තුරු හිස් , තණ පිටි ,විද්‍යාල මන්දිරය උඩින්   පියඹා යන්නට  සැහැල්ලුවක්,සතුටක් හිතේ  ඇතිවේ


"යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලාබසිනු මැන
නිරන්තරේ සිනා සිසී"


 




ඔය අතරේ කැඩුන, බිඳුන , වියැකුන ප්‍රේම පුරාණ ගැනත් සින්දු ඇහුවා මතකය .

"මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වලල්ලෙන් එහා රටේ අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්"

"තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි කියවෙන මහ රෑ"

"කඩ මංඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොලුවෙලා අපී
දාහක් දේ තිබේ කිමට බැරුව නිති"


ටිකක් කල් යන විට  එලිවිස් ප්‍රෙස්ලි , බ්‍රයන් ඇඩම්ස් , නීල් ඩයමන්ඩ්, බීටල්,ජොනී කෑශ්, නෝරා ජෝන්ස්  තාගෝර් සංගීතය , යනී, ලතා මංගේශ්කර්, රාෆි වැඩි වැඩියෙන් අහන්න ගත් නිසා නන්දා ගේ ගීත අහන්න තිබූ උවමනාව අදු විය . අරලිය ලන්දට පසු "කිරි මදුවැල්" හා "දුර පේන තැනිතලා" නමින් ගී තැටි දෙකකට ජන ගී හා පැරණි ජනප්‍රිය ගී ගයන්නට  නන්දා පෙලඹුන මුත් ඒවා මගේ හිත් ගත්තේ නැත .

ආයෙත් නන්දා ගැන මගේ මතක අලුත්වුණේ දැන් දෙවසරකට පමණ උඩදී දිනෙක මගේ මිතුරෙකු විසින් පෙන් ඩ්‍රයිව් එකට කොපි කර දුන් ඇගේ පැරණි ගී සමුච්චයක් නිසාවෙනි .ඒ අතරින් ගී කීපයක් බොහෝසෙයින් මගේ සිත් ගත්, නිරතුරු වැඩෙහි යෙදෙමින් අසන ගී බවට පත්වී ඇත .නිදි වරමින් වැඩ කරන සමහර අලුයම් හා රාත්‍රීන් ගෙවදමන්නට මේ ගී උදව් වෙයි

"නිම් වලල්ලෙන් එපිට සඳ රැස් ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුලින් මතුවී ඔබේ පා මුදු හඬ අසේ

දහස් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ

අහස් ගඟ බඩ හිමවු කුලු මත ඔබේ රන් මිනි තලාවේ
පහන් දල්වා තමනු මැන මා නිදන කුටියට පෙනෙන සේ"


 



නිම් වලල්ලෙන් ගීය මා මුලින්ම ඇසුවේ වැසිදිනෙක ගාලුපාරේ අහුන්ගල්ල ගඟ පසු කරමින් වාහනයේ තනිව යන විටයි . වැහි අඳුර , නොකඩවා වැටෙන වැහිබින්දු , හාත් පස පාරේ වූ පාලු ගතිය , අඳුර කපාගෙන යන වාහනයේ ලාම්පු එලියත් සමග මුසු වූ මේ ගියේ අරුත හා නන්දාගේ මියුරු හඬ මගේ හිත පැහැර ගත්තේය .මග දෙපස පාලු ස්වභාවය "දෙනෝ දාහක් මැද මහා තනිකමක් හිතට  ගෙනා  අයුරු මතකය . අදටත් "දෙනෝදාහක් මැද තනිවුනා" යයි හිතන හැම විට මම අසන්නේ මේ සින්දුවයි

 
 



"හැඟුම් විසිර දස අතේ - ලැගුම් සොයයි හදවතේ
දෑස මුණ ගැසී දෑසට -ඉරණම දුටුවා
වලාකුලක් නැති අහසක් ඈතින් දුටුවා

අලුයට සැඟවෙන වසන්තයේ - ගිනි පුපුරින් මල් පුබුදනවා
ලෙන් දොර හමුවේ රන් තරු පායා - ආදරයේ මුතු අමුණනවා"



 
ඔය සින්දුව ඇහෙන හැම විටකම ආයෙත් රීඩ් මාවතේ ඇහැල මැයි- මල් පාවඩ එලන ජුනි -ජූලි කාලයට   ඇවිදයන්න හිතේ. හිත නිකන් දඟකාර ගතියක පැටලුණ මන් මත් ස්වභාවයක් ගනී .

 නන්දාගේ මට ලැබුණ ගී එකතුවේ මා මින් පෙර කිසි දිනෙක අසා නැති මුත් ඉතා මියුරු ගීයක් සොයාගන්නට ලැබුණි .ඒ


"ආදරේ මල් මැලවෙන ගිනි ඇවිලෙන ගිම්හානේ
කවුරුද වසන්තයේ සිහිලස මෙහි ගෙන ආවේ
කඳුලින් පවස නිවාගත් දෙතොලග සිනහ කුසුම්
ගිරගින් ගිරග රිදී ජල ධාරා රඟන රැඟුම්
රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ
ජයදේව ගයයි ගීත ගෝවින්දේ"


හැත්තෑව දශකයේ අතරමංවූ  තාරුණය වූ මගේ ලොකු මාමාගේ පරපුරත් , විවෘත ආර්ථිකයෙන් පසුව  බිහිවන පලමු පරපුර වී  , නියෝ ලිබරල් වාදයට තල්ලුවුන දෙලොවක් අතර සිටින (තාමත් කැඩුන බිඳුන විප්ලවයේ සුන් බුන් සිහින අතර තනිවුණ ,නියෝ ලිබරල් අධ්‍යාපනයේ හා රැකියා අවස්ථා වල යහ ප්‍රථිපල භුක්තිවිඳින ඒත්  තරමක් ඕල්ඩ් ෆැෂන් )මගේ පරම්පරාවත් පිනවන්න සමත් මධුර , මනෝහර , රසපූර්ණ ගී නන්දා මාලිනිය ගයා ඇත. එසේම ඇයට හිමි ස්වර පෞරුෂය , ලායන්විත විටෙක ගාම්භීර හඬත් සිත් පැහැර ගනී .ඇය කෙතරම්  වියපත් වුවත් හැමදා මා දකින්නේ  මගේ ලමාවියේ "බුද්ධානු භාවේන ගීය "ගැයූ නන්දා මාලිනියම යයි මට හිතේ .

බාලවියේ දැන හඳුනාගත් නන්දාගේ හඬ හා රස අමතක කල නොහැක . මම යලිත් ඇය රස විඳිමි . ශ්වේත . රාත්‍රිය නම් වූ ප්‍රසංගය සමග ඇය යලි වේදිකාවට එන වගක් මම පුවත් පත් වල කියෙව්වා මතකය . නමුත් ජීවිතයේ විවිධ යුගයන්හි මා ප්‍රිය කල ගී එහි ඇත්දැයි නොදනිමි . එහෙත් ඇගේ මදුර ගී රාවය මට ප්‍රියවෙයි . ඒ හඬ සමග මගෙ ජීවිත්යේ තුන්වැනි යුගය ගෙවමි.මා ප්‍රිය කරන සමහර ගී නන්දා ගයන්නට ඇත්තේ අප උපදින්න  පෙර විය යුතුය . විවිධ සංගීත රටා සමග අද ගුවන්විදුලි ,රූපවාහිනී නාලිකාවල නිරතුරු ඇගේ හඬ අහන්නට නොලැබේ . එහෙත් නන්දා මාලිනීගේ  ගී සමග ජීවත්වූ මතකයක් මට ඉතිරිව ඇත .

එසේ තමන්ගේ ගී සමග නොමැකෙන් මතක ගොන්නක් රසිකයන්නට දෙන්නට හැම ගායකයෙක්ම /ගායිකාවක්ම සමත් නොවේ 



ප\ලි

මේ සටහනේ අරමුණ නන්දා මාලිනිගේ ගී ගැන ශාස්ත්‍රීය විචාරයකට වඩා දශක කීපයක් තිස්සේ යුග දෙකක රසිකයන් නියෝජනය   කරමින් ඇගේ ගී මග  සමග බැඳුන මගේ මතක කිපයක් කීම පමණකි .එනිසා විටින් විට නන්දා ගමන් ගත් ගී මග , කල කී දෑ හොඳ ද, නරකද යන්න මම  මෙහි විවේචනය නොකරමි .මෙහි සටහන් ගී පද මාලා මතකෙන් ලියූ ඒවා නිසා අඩුපාඩු ඇත්නම් සමාවෙන්න