Friday, September 9, 2011

හැඟුම් විසිර දස අතේ - ලැගුම් සොයයි හදවතේ







ගුවන් විදුලියේ මහ පිරිතෙන් නින්දට යන මගේ ආච්චී අලුයම අරඹන්නේ සෙත් පිරිත් දේශනාවෙන් හා උදා විකාශයෙනි .අද මෙන් අතෝරක් නැතිව තිස්පෑයෙම කියවන ගුවන්විදුලි නාලිකා එකල තිබුනේ නැත , මතක ඇති තරමින් තිබුණේ ස්වදේශීය සේවය හා වෙලඳ සේවයයි . මේ මගෙ ළමා කාලයේ අසූව දශකය ආරම්භයයි .සෙත් පිරිතට ගුලිවී නිදන  මම ඇහැරෙන්නේ උදා විකාශයේ දේශාභිමානී ගී සමගය.ඒ අතරින් එක ගීයක රාවය හා මදුර වූ ගැඹුරු හඬ කුඩා මගේ සිත් ගනී . එහි අරුත කුඩා මට නොතේරෙන මුත්  මට හිතෙන්නේ ආච්චී කියා දී ඇති ජයමංගල ගාථා තරම් ඒ ගීය ප්‍රබල බවයි .

"බුද්ධානු භාවේන සිත් මෙත් පහන් වී
මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොවුතුරා රශ්මි මාලා
හෙල දෙරණ ජන ජයතු ජය මංගලානී


   
තන්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා රුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙල දෙරණ ජන ජයතු ජයමංගලානී


හෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංශා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාසධාරා
හෙල දෙරණ ජන ජයතු ජයමංගලානී"




මේ ගීතය අසන විට  මගේ හිතපිරී යයි . අද හොඳ දවසක් වැනි සිතුවිල්ලක් එයි . ගීතය සමග පසුබිමින් ඇහෙන්නේ මගේ ලොකු මාමා රැවුල බාමින් මේ ගීය තාලය වරද්දමින් කියන හඬයි .යන්තම් පස් විය වත් නොඉක්මවූ ළදරු මට නන්දා මාලිනිය හොඳින මතකයට එන්නේ මෙලෙසිනි .හෘංගාවලී රාව, ක්ෂීර පායාස යනු මොනවාදැයි මා දැන ගත්තේ බොහෝ කාලෙකට පසුය.නමුත් අදත් මේ ගීය නන්දා ගයන විට මගේ බාල කාලයේ මතක ගැන ඉමිහිරි චිත්තරූප මැවේ .

නැවත මට ඇය මුණ ගැසෙන්නේ අනූව දශකයේ  මගේ ගැටවර වියේදීය .අතට අහුවෙන සියලු,පොත් , පත්තර කාවෙකු මෙන් කියවීමටත් හැම දෙයක් දෙසම සාධාරණයේ  , යුක්තියේ ඇහින් බලන්නටත් , නොමේරූ සිතින් අසාදාරණය , දුක , පීඩාව ප්‍රශ්න කරන්නටත් නන්දා විසින් ගැයෙන ගී මට අනුබලයක් වෙයි . ඇයේ කිඳුරියකගේ විලාපය , හේමන්තයේදී, පහන්කන්ද යන කැසට් පට (එකල සී ඩී පට නොතිබුණී ) මට අමයුරු විය . පවතින දේශපාලන ක්‍රමය ප්‍රශ්න කෙරුන මේ සමහර ගී ගුවන්විදුලියෙන් තහනම්ව තිබිණි . මේ කැසට් පට වල ගීත මට පටි ගතකර අහන්න දුන්නේ නන්දාගේ හද බැඳි රසිකයෙක් වූ දැන් සැට වියට ආසන්නව කල් ගෙවන මගේ ලොකු මාමාය . 

යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න 
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන් 




ලොකු අය්යලා අක්කලාගේ" කොලඹට කිරි අපට කැකිරි" කතා ඇහුණ , පාර දෙපස දර සෑ වල පිලිස්සෙන යන්තම් දැලි රැවුල් වැවුණ අය්යලාගේ මල සිරුරුත් දුටු එකල මේ ගීය තරමක විප්ලව කාරී අදහස් හිතට දුන්නා මතකය .සාධාරණය හා අසාධාරණය ගැන අදටත් මේ ගීය නිසා ඉතිරි වූ හැඟීමක් හිතේ ඇත .ඉන් නොනැවතී දිවයින පුවත්පතේ පලවූ ඇඹිලිපිටිය සිසුන් අතුරුදහන් වීමේ නඩුව අකුරක් නෑර ඉවර වෙන තුරු කියවූ අයුරුත් මතකය .පද නිවැරදිව මතක නැතත් හේමන්තයේදී කැසට් පටයේ වූ ධනපති පන්තියට නිගා කල (දැන් මම ධනපති පන්තියට කඩේ යමි )"කොලඹ හතේ , කුරුඳුවත්තේ ,බංගලාවේ,බිතෝවන්ගේ වාදනයක් ,පියානෝවකින් වයන් පුස්ඹ ගහන ලමිස්සියට" නන්දා කියන්නේ මේ සියලු සැප සම්පත් උපදින්නේ ඇගේ තාත්තාගේ තේවත්තේ දල්ලට යටවූ දහදියෙන් බවයි .සමාජවාදී සිහින බැලූ ලොකු වැඩ කරන්න දැඟලූ අපි වැනි පොඩි වුන්ට මේවා විප්ලවය අවුලුවාගන්න හොඳ ගිනිදැල් විය . නන්දාගේ තවත් ගීත සොයන්නට මේ විප්ලව ගී ඉවහල් වුනි . අලුත් ආරකින් ලෝකය දෙස බලන්නට කියාදුන් ගීත ගොන්නට පසුව මේවාත් එකතු වුනා මතකය .

"මිරි වැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා "

"උඬඟු ලිඅයන් ගොතා බඳින
 නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ"

"වහින්නට හැකිනම් මේඝයක් වී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසෙන් "

"දුප්පත් කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එන දා"

"චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් 
දූ සනහන්නට ගීත ගයනවා
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ"

"හන්තාන අඩවියේ -සුදු කුලුණු
මැදුරු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයෙ සුලඟ නොවේ" 


විප්ලවයේ දිග පලල නොදත් මුත් මිනිසුන්,ගැහැණුන් හා සමාජ ප්‍රශ්න දෙස දයාර්ද්‍ර සිතින් බලන්නත් මතු යම් දවසක කාගේ හෝ හඬන දෙතොලග සිනාවක් වෙන්නත් උවමනා මනුස්සකමේ (සර්ව සාධාරණ යුටෝපියානු මිනිසා නොවන වග සලකන්න ) මුල් පාඩම් හිතේ තැන්පත් වෙන්නටත් මේ ගී බලපෑවා යයි සිතමි.

ටික කාලෙකින් මගේ විප්ලව සිහිනයේ රැස් වියැකී ගොස් 'අරලිය ලන්ද්ට හඳ පායා, තුරුලිය මල් වට බඹරු බමන " කාලය එලැඹුනි .විප්ලවයේ සැර බාල වුනත් "ගෙඩි සීයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි ,අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ"ලෙස ඈ ගැයුවාය .නන්දාට ගැයුමට බොහෝ මධුර මනෝහර පද වැල් ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ඩෝල්ටන් අල්විස් සූරීන් විසිනි ."අරලිය ලන්ද ගයමින්"නන්දා අලුත් යුගයකට ආවගක් මතකය .ඒ,එකල නවක ගී රචකයන්ගේ ගී කැසට් පටයකට ගැයීමයි.නන්දා විසින් අතීතයේ ගැයූ බොහෝ මිහිරි පදවැල් මිහිරෙන් මිහිරට පත්ව ඇසූ කාලයක් ඉන් ඉක්බිති උදාවිය . 





"හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා"

"ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්දකාරේ
ඔබයි සෞම්‍ය තරු එලිය ගිම්හාන කාලේ
සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගෙන්"

"සාරි පොඩිත්තක් ඇඳගෙන
මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී
කතා කරල මංගල්ලේ නියම කරාවී"


ඔය හැම ගීයකටම වඩා "දියමන්තිය" චිත්‍රපටියේ  මේ ගීය ඇහෙන විට මට  වලාකුලක් සේ  නිදහසේ   රීඩ් මාවත උස් තුරු හිස් , තණ පිටි ,විද්‍යාල මන්දිරය උඩින්   පියඹා යන්නට  සැහැල්ලුවක්,සතුටක් හිතේ  ඇතිවේ


"යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලාබසිනු මැන
නිරන්තරේ සිනා සිසී"


 




ඔය අතරේ කැඩුන, බිඳුන , වියැකුන ප්‍රේම පුරාණ ගැනත් සින්දු ඇහුවා මතකය .

"මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වලල්ලෙන් එහා රටේ අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්"

"තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි කියවෙන මහ රෑ"

"කඩ මංඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොලුවෙලා අපී
දාහක් දේ තිබේ කිමට බැරුව නිති"


ටිකක් කල් යන විට  එලිවිස් ප්‍රෙස්ලි , බ්‍රයන් ඇඩම්ස් , නීල් ඩයමන්ඩ්, බීටල්,ජොනී කෑශ්, නෝරා ජෝන්ස්  තාගෝර් සංගීතය , යනී, ලතා මංගේශ්කර්, රාෆි වැඩි වැඩියෙන් අහන්න ගත් නිසා නන්දා ගේ ගීත අහන්න තිබූ උවමනාව අදු විය . අරලිය ලන්දට පසු "කිරි මදුවැල්" හා "දුර පේන තැනිතලා" නමින් ගී තැටි දෙකකට ජන ගී හා පැරණි ජනප්‍රිය ගී ගයන්නට  නන්දා පෙලඹුන මුත් ඒවා මගේ හිත් ගත්තේ නැත .

ආයෙත් නන්දා ගැන මගේ මතක අලුත්වුණේ දැන් දෙවසරකට පමණ උඩදී දිනෙක මගේ මිතුරෙකු විසින් පෙන් ඩ්‍රයිව් එකට කොපි කර දුන් ඇගේ පැරණි ගී සමුච්චයක් නිසාවෙනි .ඒ අතරින් ගී කීපයක් බොහෝසෙයින් මගේ සිත් ගත්, නිරතුරු වැඩෙහි යෙදෙමින් අසන ගී බවට පත්වී ඇත .නිදි වරමින් වැඩ කරන සමහර අලුයම් හා රාත්‍රීන් ගෙවදමන්නට මේ ගී උදව් වෙයි

"නිම් වලල්ලෙන් එපිට සඳ රැස් ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුලින් මතුවී ඔබේ පා මුදු හඬ අසේ

දහස් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ

අහස් ගඟ බඩ හිමවු කුලු මත ඔබේ රන් මිනි තලාවේ
පහන් දල්වා තමනු මැන මා නිදන කුටියට පෙනෙන සේ"


 



නිම් වලල්ලෙන් ගීය මා මුලින්ම ඇසුවේ වැසිදිනෙක ගාලුපාරේ අහුන්ගල්ල ගඟ පසු කරමින් වාහනයේ තනිව යන විටයි . වැහි අඳුර , නොකඩවා වැටෙන වැහිබින්දු , හාත් පස පාරේ වූ පාලු ගතිය , අඳුර කපාගෙන යන වාහනයේ ලාම්පු එලියත් සමග මුසු වූ මේ ගියේ අරුත හා නන්දාගේ මියුරු හඬ මගේ හිත පැහැර ගත්තේය .මග දෙපස පාලු ස්වභාවය "දෙනෝ දාහක් මැද මහා තනිකමක් හිතට  ගෙනා  අයුරු මතකය . අදටත් "දෙනෝදාහක් මැද තනිවුනා" යයි හිතන හැම විට මම අසන්නේ මේ සින්දුවයි

 
 



"හැඟුම් විසිර දස අතේ - ලැගුම් සොයයි හදවතේ
දෑස මුණ ගැසී දෑසට -ඉරණම දුටුවා
වලාකුලක් නැති අහසක් ඈතින් දුටුවා

අලුයට සැඟවෙන වසන්තයේ - ගිනි පුපුරින් මල් පුබුදනවා
ලෙන් දොර හමුවේ රන් තරු පායා - ආදරයේ මුතු අමුණනවා"



 
ඔය සින්දුව ඇහෙන හැම විටකම ආයෙත් රීඩ් මාවතේ ඇහැල මැයි- මල් පාවඩ එලන ජුනි -ජූලි කාලයට   ඇවිදයන්න හිතේ. හිත නිකන් දඟකාර ගතියක පැටලුණ මන් මත් ස්වභාවයක් ගනී .

 නන්දාගේ මට ලැබුණ ගී එකතුවේ මා මින් පෙර කිසි දිනෙක අසා නැති මුත් ඉතා මියුරු ගීයක් සොයාගන්නට ලැබුණි .ඒ


"ආදරේ මල් මැලවෙන ගිනි ඇවිලෙන ගිම්හානේ
කවුරුද වසන්තයේ සිහිලස මෙහි ගෙන ආවේ
කඳුලින් පවස නිවාගත් දෙතොලග සිනහ කුසුම්
ගිරගින් ගිරග රිදී ජල ධාරා රඟන රැඟුම්
රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ
ජයදේව ගයයි ගීත ගෝවින්දේ"


හැත්තෑව දශකයේ අතරමංවූ  තාරුණය වූ මගේ ලොකු මාමාගේ පරපුරත් , විවෘත ආර්ථිකයෙන් පසුව  බිහිවන පලමු පරපුර වී  , නියෝ ලිබරල් වාදයට තල්ලුවුන දෙලොවක් අතර සිටින (තාමත් කැඩුන බිඳුන විප්ලවයේ සුන් බුන් සිහින අතර තනිවුණ ,නියෝ ලිබරල් අධ්‍යාපනයේ හා රැකියා අවස්ථා වල යහ ප්‍රථිපල භුක්තිවිඳින ඒත්  තරමක් ඕල්ඩ් ෆැෂන් )මගේ පරම්පරාවත් පිනවන්න සමත් මධුර , මනෝහර , රසපූර්ණ ගී නන්දා මාලිනිය ගයා ඇත. එසේම ඇයට හිමි ස්වර පෞරුෂය , ලායන්විත විටෙක ගාම්භීර හඬත් සිත් පැහැර ගනී .ඇය කෙතරම්  වියපත් වුවත් හැමදා මා දකින්නේ  මගේ ලමාවියේ "බුද්ධානු භාවේන ගීය "ගැයූ නන්දා මාලිනියම යයි මට හිතේ .

බාලවියේ දැන හඳුනාගත් නන්දාගේ හඬ හා රස අමතක කල නොහැක . මම යලිත් ඇය රස විඳිමි . ශ්වේත . රාත්‍රිය නම් වූ ප්‍රසංගය සමග ඇය යලි වේදිකාවට එන වගක් මම පුවත් පත් වල කියෙව්වා මතකය . නමුත් ජීවිතයේ විවිධ යුගයන්හි මා ප්‍රිය කල ගී එහි ඇත්දැයි නොදනිමි . එහෙත් ඇගේ මදුර ගී රාවය මට ප්‍රියවෙයි . ඒ හඬ සමග මගෙ ජීවිත්යේ තුන්වැනි යුගය ගෙවමි.මා ප්‍රිය කරන සමහර ගී නන්දා ගයන්නට ඇත්තේ අප උපදින්න  පෙර විය යුතුය . විවිධ සංගීත රටා සමග අද ගුවන්විදුලි ,රූපවාහිනී නාලිකාවල නිරතුරු ඇගේ හඬ අහන්නට නොලැබේ . එහෙත් නන්දා මාලිනීගේ  ගී සමග ජීවත්වූ මතකයක් මට ඉතිරිව ඇත .

එසේ තමන්ගේ ගී සමග නොමැකෙන් මතක ගොන්නක් රසිකයන්නට දෙන්නට හැම ගායකයෙක්ම /ගායිකාවක්ම සමත් නොවේ 



ප\ලි

මේ සටහනේ අරමුණ නන්දා මාලිනිගේ ගී ගැන ශාස්ත්‍රීය විචාරයකට වඩා දශක කීපයක් තිස්සේ යුග දෙකක රසිකයන් නියෝජනය   කරමින් ඇගේ ගී මග  සමග බැඳුන මගේ මතක කිපයක් කීම පමණකි .එනිසා විටින් විට නන්දා ගමන් ගත් ගී මග , කල කී දෑ හොඳ ද, නරකද යන්න මම  මෙහි විවේචනය නොකරමි .මෙහි සටහන් ගී පද මාලා මතකෙන් ලියූ ඒවා නිසා අඩුපාඩු ඇත්නම් සමාවෙන්න