Saturday, September 3, 2011

ලහෝර් හල්වා ඇන්ඩ් මයි මැටර්නල් ලින්ක්ස් ටු ලහෝර්


ට්‍රේනින් එක පටන්ගත්තට පස්සේ නම් කිසිම රස්තියාදුවක් ගහන්න වෙලාවක් තිබුණේ නෑ.කාල සටහනේ විදියට උදේ නවයට වැඩ පටන් අරන් හවස පහට දේශන ඉවරවෙන්න තිබුණත් හතහමාර විතර වෙනකනුත් සමහර වටමේස සාකච්ඡා තිබුනා. War Against Terrorism , Affirmative Actions and Minority Rights , Cultural Rights වගේ දාලා යන්න ලෝබ රසවත් මාතෘකා නිසා එකක්වත් කට් කරන්න කාටවත් ඕනෙ කමක් තිබුණේ නෑ.ඊට අමතරව රෑට යම් යම් ලිපි , පොත් පත් කියවන්නත් තිබුණ නිසා හැමදාම ටිකක් වෙහෙසකර දවසක් වුණා.හතරවෙනි දවස වෙනකොටනම් කාටත් හරි මහන්සියි .ඒ බව තේරුණ නිසා අපිට උගන්වමින් හිටි මහාචාර්ය වරු දෙන්න තීරණය කලා හරියට හවස පහට දේශන නිමා කරලා අපිව නිදහස් කරන්න.එදා සති අන්ත සෙනසුරාදාවක් .අපි කාටත් බලාපොරොත්තු නොවුන වෙලාවක පොඩි දීමනාවකුත් ලැබුණා .අපේ ඉන්සිඩෙන්ටල්ස් වලට නියම කරලා තියෙන සල්ලි වලින් බාගයක් .වෙලාවෙ හැටියට ඒකත් වටිනවා .කවුරුත් කතා කලේ නුදුරින් තියෙන 'සාකේත්" වලට මෙට්‍රො බස් එකෙන් ගිහින් , ෆිල්ම් එකක් බලලා ,හොඳට කෑම කාලා , රාත්‍රී අවන්හලකට ගිහින නටලා විනෝදවෙන්න . සාකේත් සති අන්තයේ විනෝදවෙන්න එන උදවිය වෙනුවෙන්ම කැප වුණ අවන්හල් , සිනමා ශාලා , සමාජසාලා තියෙන පැත්තක් . මට ඉතින් ඕනේ කොහේහරි කලබල නැති තැනකට වෙලා පාඩුවේ මසාලා තේ එකක් බීල කයිවාරුවක් ගහන්න නිසා සාකේත් නඩේට එකතුවෙන්න කැමැත්තක් තිබුනේ නෑ.ඒ නිසා මම නැවතුනා . ටිකවෙලාවකින් මගේ රූම් එකට කෝල් එකක් එනවා රබියගෙන් 

"TG Are you going to Saketh ?"
No , I am not interested
Then why dont we go out and have dinner ?

නියම අදහස . හෝටල් ආලින්දයෙන් විපරම් කරලා අපි තීරණය කලා  ඊට නුදුරෙන්ම පයින් යන දුරින් තියෙන "ඇම්බියන්ස්" ශොපින් මෝල් එකට යන්න . අපි දෙන්න පයින්ම කයිවාරුවක් දාගෙන කිලෝමීටරයක් විතර ඇවිදගෙන ගියා . ඇම්බියන්ස් කියන්නේ ඉන්දියාවේ ධනවත් මධ්‍යමපාන්තිකයන්ගේ අඳුම් , පැලඳුම් ,ජීවන රටාවෙ උවමනා එපා කම් සපුරන්න තියෙන සුපිරි සාප්පු සංජීර්ණ ජාලයක් . විදුලි එලියෙන් ආලෝකවත් වුණ   Marks & Spencer , Pantaloon , Diesel ,     වගේ       බ්‍රෑන්ඩඩ් ශොප් වල උදාරම් ලීලාවෙන් ගැවසෙන ඉන්දියානු මධ්‍යම පන්තිය (Elite Class /upper middle class) සුලබ දසුනක්. මේත් ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ තවත් එක පැත්තක් . ගන්න අතේ සල්ලි නැතත් වටින කියනා හෑන්ඩ් බෑග් ,අඳුම් ,පැලඳුම් දිහා බලමින් යන එකත් සතුටක් .ඔහොම ගිහින් නැවතුනේ පොත් හා සී ඩී පටි සාප්පුවක .එතැනින් අපි දෙන්නම ගසල් ගී තැටි කීපයකුත් , සිල් සිලා වගේ පරණ හින්දි චිත්‍රපටි සින්දු එකතු තියෙන ගී තැටිත් අරගෙන හල්දිරාම් එකට ගියා රෑ කෑමට . ඉන්දියන් තාලි දෙකකුත් ඕඩර් කරලා යන එන මිනිස්සු දිහා බල බල මසාලා තේ බි බී අපිදෙන්න කයියක පැටලිලා .

"ටී ජී කවදද පාකිස්ථානෙට එන්නේ ?"
"හ්ම් ..ඒකනම් ටිකක් හිතන්න වෙනවා "
"ඒ මොකෝ "
"අපේ ඔෆිස් එකෙන් දෙන සිකියුරිටි අප්ඩේට් වලට අනුව පාකිස්ථානේ සංචාරයට ඒ තරම් ආරක්ෂිත තැනක් නෙවේ. ගිහින් ආව යාලුවොත් කියන්නේ ඉස්ලාමාබාද් කියන්නේ පාරේ ඇවිදගෙන යන්න තරම් වත් හොඳ තැනක් නෙවේ කියලා."
"ඒ වගේම පාකිස්තාන් වීසා එකක් පාස්පෝර්ට් එකක තියෙන එක ටිකක් කරදරයි විශේෂයෙන් බටහිර රටකට වීසා එකක් ගනිද්දී ඒක සැකයට කාරණාවක් .ඉන්දියන් වීසා ගන්න ගියත් එහෙමයි."
මම ටිකක් සැක මුසු විදියට කිව්වා .


"හ්ම් ..ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ආයතනවල ඉහල නිලධාරීන් පාකිස්ථානය ගැන දෙන්නෙ ඔහොම නිල නිවේදන තමා .නමුත් ටී ජී දන්නවද කිසිම ඇමෙරිකානුවෙක් , බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පාකිස්තානය දාලා යන්න අකමැති වග .ඒක තමා ලෝකෙට නොපෙන්වන ඇත්ත කතාව .එයාලා ඔක්කොම තමන්ගේ පවුල් පිටින් පකිස්තානේ සෙට්ල් වෙලා ඉන්නේ .මම ඉස්ලාමාබාද්වල නැවතිලා ඉන්නේ තනියම.මට කිසි කරදරයක් වෙලා නෑ. ලංකාවෙ කොලඹ බෝම්බ පුපුරද්දී ඔයාලා ජීවත්වුනේ නැත්ද .තාම මගේ අම්මයි තාත්තයි ඉන්නේ පෙශාවර් වල ඇෆ්ඝාන් මායිමේ . ඔය කියන තරම් අපි නපුරු ත්‍රස්තවාදියො නෙවේ .ඔයා එන්න දවසක අපි ටක්ෂිලා , ලහෝර් , පෙශාවර් බලන්න යමු . ලහෝර් වල අනර්කලී මාර්කට් එක හරි ලස්සනයි . ඉස්ලාමාබාද් වීදි දිගේ යද්දි ඔයාට දකින්න පුලුවන් හවසට පාරේ නාන් කඩ වල නාන් හදන මිනිස්සු . මම ඔයාව හැම තැනම ගෙනියන්නම් "

හරි එහෙනම් මම එන්නම් . මම රබියාට සුහදත්වයේ  අතක් දිගු කරමින් කිව්වා කතාවෙන් කතාවෙන් වෙලාව රෑ ද
යාමාර විතරවෙලා දන්නෙම නැතුව.අපි ඉක්මනට කෑම කාලා හල්දිරාම් එකෙන් සෝන් පපඩි පැක් හතරකුත් අරන් යන්න ලෑස්තිවුනා. සාප්පු සංකීර්ණයේ ගොඩක් සාප්පු වහලා සේවකයො ගෙදර යනවා . ගණුදෙණු කාරයොත් තමන්ගේ සුපිරි වාහන වල නැගිලා යන්න පිටත්වෙනවා .ඔන්න එතකොට තමයි අපිට මතක්වුණේ හෝටලයට යන්නෙ කොහොමද කියලා . ලඟම තියෙන ත්‍රීවිල්ල් පාර්ක් එකට ගිහින් විපරම් කලා.එතැන ඉන්නෙ මහ ත්‍රාඩ පෙනුමක් තියෙන කොල්ලො ටිකක් . තරමක් අහිංසක පෙනුමක් තියෙන පොඩි කොලුවෙක් එක්ක කපශේරා වලට යන්න ගණුදෙනුව කතාකරනකොට මෙන්න අනිත් ත්‍රාඩයො රැල අපි වට කරගෙන එකෙක් අර කොලුව තල්ලු කරලදාලා මැඩම් කම් හියර් කියනවා .රබියටයි මටයි ආයෙ යකා නැගලා හින්දියෙන් ,ඉන්ග්‍රිසියෙන් බැන බැන අපි යන්නෙ අපිට ඕනෙ ඩ්‍රයිවර් එක්ක කියලා අර පොඩි කොල්ලට හයර් එක දුන්න .

යාන්තම් කපුටො රැලෙන් බේරිලා යද්දි ආයෙ තව ලොකු ප්‍රශ්නයක් .මේ කොලුවට ලයිසන් තියෙන්නෙ හරියානා වල විතරක් ටුක් ටුක් එලවන්න . කපශේරා, හරියානා මායිමෙන් එපිට දිල්ලියට අයිති. රෑ දහයෙන් පස්සේ මායිම පැන්නොත් කොල්ලට දඩ කන්න වෙනවා .ඒ නිසා අපි මග දාල යන්න මිනිහගේ ලෑස්තිය .මදැයි හයර් එක දීලා අපිට වුණ වැඩේ .ඒ මදිවට හරියානා සීමාව ඇතුලේ  පොලීසියට අහුවුනොත් අපි දෙන්නම ගස් .රබියගේ පොලිස් රෙජිස්ට්‍රේශන් අනුව එයාට ඇවිදින්න අවසර තියෙන්නෙ දිල්ලි සීමාවේ විතරයි .ඒ මදිවට වැස්සකුත් එනවා .මහපාරේ මග බැස්සොත් ෂුවර් පොලීසියට අහුවෙන්න ඉඩ වැඩියි. පුලුවන් තරම් ඉක්මනට අපිව දිල්ලි මායිමේ ත්‍රී වීල් පාර්ක් එකට දාන්න කියලා කොල්ලට  යනකන් තර්ජනය කෙරුව එක තමයි අපි කලේ .කොහොමහරි දිල්ලි මායිමට ආවම තමා ඇඟට ලේ ඉනුවේ . වෙලාව එකොලහ පැනලා .එතැන පාර්ක් එකෙ රියදුරො වාහන පාර්ක් කරලා නිදි .යන්තම් එක්කෙනෙක් නැගිට්ටවගත්තා . වැස්සත් තදයි.මිනිහා අවස්තාවෙන් ප්‍රයෝජන අරන්  රුපියල් සීයක් ඕනෙ කියනවා හයර් එක යන්න .අපි තව අමාරුවෙ වැටෙන්නෙ නැතුව ඒ ගානට කැමතිවෙලා හෝටලේට එනකොට රෑ මැදියමට ආසන්නයි .

අපේ සාකේත් නඩේ තාම ඇවිත් නැහැ. මගේ රූමිත් එයාල එක්ක ගියා .ඇවිත් ඇඟපත හෝදගෙන පිජාමා එක දාගෙන ටී වී බලන්න ලෑස්තිවෙනකොට ආයෙත් රබියගෙන් කෝල් එකක් . 


"ටී .ජී මම තේ හදන්නයි ලෑස්තිය ,ලහෝර් වලින් ගෙනාව හල්වා තියෙනවා .එනවද 215 "? .
"මරු අදහස , මම ශ්‍රී ලංකන් තේ අරන් එන්නම්" .ඔන්න අපි ආයෙත් 215ට වෙලා සාකේත් ගිය රූමලා එනකන් තේ බොන්න ලෑස්තිය .


ඒ එක්කම 215 දොරට කවුදෝ තට්ටුවක් දානවා . දොර ඇරලා බැලුවම අපේ ඉන්දියානු මිතුරිය මම්තා .

"මගේ රූමිත් සාකේත් ගියා .එයාලා තාමත් නෑ. 215 ඔය දෙන්නගේ සද්දේ ඇහුණ නිසයි ආවේ . මාත් හිටියෙ හරි කම්මැලිකමින් .එන්නද ඇතුලට?" .එයා කියවගෙන යනවා .

"එන්න එන්න .ලහෝර් හල්වා එක්ක ශ්‍රිලංකන් තේ තියෙනවා "කියලා රබියා එයාට හල්වා පෙට්ටිය දුන්න .

"ඕ ලහෝර් හල්වා" ...මම්තා ඇඳ උඩ ඉඳගෙන රසවිඳින්න සූදානම . ඒ අතර එයා මා දිහා බලලා අහනවා "ටී .ජී ආර් යූ අ පාකිස්තානි ? "කාට කියන්නද මේවා.මම්තට මම ආව රටත් මතක නැතිවෙලා

මාත් ටිකක් කල්පනාකරලා මෙහෙම උත්තර දුන්න
"No I am from Sri Lanka.But i have very close links to Pakistan   .Thats what i was talking with Rabia . "
"ඒ කොහොමද ? "මම්තා ඇස් ලොකු කරගෙන මා දිහා බලනවා .රබියත් පුදුම වෙලා මම මේ නටන්න යන නාඩගම මොකද්ද කියලා .
මම දැන් කතාව කියන්න ලෑස්තිය .මම්තා තේ කෝප්පේ තොලගාමින් ඇඳ උඩ එරමිණියා ගොතාගෙන හරි බරි ගැහුනා කතාව අහන්න .

"මෙන්න මෙහෙම . මගේ තාත්තා කොලඹ ලොකු බිස්නස් පවුලක කෙනෙක් .එයාලගේ ගෙවල් තිබුනේ මරදාන කියන හරියෙ . ඒ පැත්තේ වැඩි දෙනෙක් බොහොම සල්ලිකාර බිස්නස් කරන මුස්ලිම්වරු .මගේ තාත්තගේ පවුලේ උදවිය මේ අයත් එක්ක බොහොම යාලු මිත්‍ර කමෙන් තමයි ඉඳලා තියෙන්නෙ .කොටින්ම මගේ සීය එයාගේ නෑදෑයො තරමට ලඟින් අසල්වැසි මුස්ලිම් පවුලේ ෆසාල් මහත්තයව ආස්සරේ කරල තියෙන්නෙ . ෆසාල් මහත්තයට පාකිස්තානෙ නෑයො ඉඳල තියෙනවා .මගේ අම්මගේ තාත්ත එයාගෙ මස්සිනා කෙනෙක් . මගේ අම්මගේ පවුලේ උදවිය එක්ක අම්මගේ තාත්තා එනවා එයාගේ මස්සිනා බලන්න කොලඹ බිස්නස් වැඩකට ."

මම කතාව කියවගෙන යනවා .රබියා ඇඳ විට්ටමට හේත්තුවෙලා කොට්ටෙන් මූණ වහගෙන හිනාව එලියට පනින එක වලක්වන්න .මම්තා බොමොම කුතුහලෙන් මාදිහා බලන් ඉතින් ඉතින් කියනවා.

"ෆසාල් අංකල්ගේ ගෙදරට ආව එයාගේ නෑදෑයෝ අපේ සීයත් හඳුන්වලා දීලා . අසල්වැසියො නිසා කවුරුත් ඉක්මනට සුහදවෙලා . ඔහොම තමයි අපේ තාත්ත අපේ අම්මව දැකලා තියෙන්නේ .මේ 1979 විතර . දෙන්නම තරුණයි.අම්ම හරි ලස්සනයි. ඉක්මනට යාලුකම ප්‍රේමෙකට පෙරලිලා ."

"ඔහ් හව් ස්වීට් ටී .ජී" මම්තා කියනවා

"ස්වීට් නෙවෙ ඊට පස්සෙ මෙක දැනගෙන ගෙවල් දෙකේම උදවිය යුද්ධ ප්‍රකාශ කරලා .මගෙ අම්මගෙ තාත්තා එයාගෙ ඔක්කොම කොලඹ බිස්නස් වැඩ  අතරමග දාලා අවුරුද්දක් ඉන්න ආවත් මාස තුනෙන් පාකිස්තානෙට යන්න ලෑස්තිවෙලා .මේ වෙනකොට ගෙවල් දෙකෙන්ම අම්මටයි තාත්තටයි තහංචි දාලා මුණ ගැහෙන එකට .අම්ම ෆසාල් අංකල්ගේ ගෙදර වැඩකාර කොල්ල අතේ තමයි ලියුමකින් පාකිස්තානෙට යන විස්තරේ තාත්තට කියලා තියෙන්නෙ . කොහොමහරි තාත්ත නිකං ඉඳලා නෑ.එයාගෙ යාලුවන්ගේ උදව්වෙන් යන දාට කලින් දා රෑ අම්මව පන්නගෙන එක්කන් ගිහින් කසාදබැඳලා .දෙන්න පැනල යන්න කලින් ගෙවල් වලට ලියුම් දෙකක් ලියලා තියලා ගිහින් තියෙන්නෙ .සීයල දෙන්නටම හොඳටම තරහ ගිහින් මේ වැඩේට .දෙන්නම පවුල් වල දරු කමින් එලවලා .කිසිම දේපොලක් දීල නෑ. මගෙ අම්මගේ පවුලේ අය හරි දරුණු තීරණයක් අරන් තිබුණා එයාට ආපහු පාකිස්තානෙට පය තියන්න බැරි විදියට .ඒත් අම්මයි තාත්තයි අදහිරිය වෙලා නෑ.කොහොම හරි ජීවිතේ පටන් අරන් .තත්තගේ යාලුවො එයාට උදව් කරලා . එයාලගේ ආදරේ වෙනස්වෙලා නෑ මොන කරදර තිබුණත් .ඒකෙ ප්‍රථිපලයක් තමයි මම ."

ඔන්න එතකොට තමයි මම්තා ඉහලට ගත්ත හුස්ම පහල දැම්මේ.

"හව් ස්වීට් ටී ජී යුවර් මදර් ඉස් අ ග්‍රේට් වුමන්. යුවර් ෆාදර් ඉස් අ ග්‍රේට් ලවර් .ගොඩ් බ්ලෙස් දෙම්.ඉට් ඉස් ලයික් අ බොලිවුඩ් මූවී ටී ජී." මම්තා කියනවා .

රබියා තාම හිනාව විකාගෙන .මමනේ දන්නේ මේක ගජබින්නයක් කියලා .

"ටී ජී ඔයා මොන ආගමෙද ?, ඔයාගෙ අම්මට ලේසි වෙන්න නැතුව ඇති නේ ලංකාවට හුරු වෙන්න තනියම?" ආයෙත් මම්තා අහනවා

"ඔවු මුලින් ගොඩක් අමාරු වුණාලු තනියම කාගෙවත් උදවු නැතුව ,භාෂාව දන්නෙ නැතුව ජීවත් වෙන්න .ඒත් එයා ටික ටික සිංහල ඉගෙනගෙන . මගේ ආගම ගැන නම් මම දන්නේ නෑ. අම්ම ගාව කුරාන පොතක් තියෙනවා තාම .එයා ඒක් කියවනවා .ඒත් පල්ලියේ ප්‍රෙයාර්ස් වලට නම් යන්නේ නෑ.අපි ඉගෙන ගත්තේ බුද්දාගම .ආගම් ගැන බලපෑමක් අපිට නෑ. රාමසාන් වලට නම් අම්ම රස කෑම උයනවා තාමත් ".යන්තම් ඒ ප්‍රශ්නෙන් ගැලවුණා .

"හ්ම් ඒක ඇත්ත , දෙය් ආර් ග්‍රේට් ලවර්ස් . ගෝඩ් ඉස් ඕල්වේස් විත් දෙම් ".මම්තා කියනවා .

පොඩි බොරුවක් නෙවේ මාත් කිව්වේ .

"අම්මාගේ ගම ලහෝර් වල .එයා දැන් කාලෙක ඉඳන් ගෙදර අය ගැන මතක් කරනවා මම රට යන හැම වෙලාවෙම .මම හිතන්නේ සීය එයාට සමාව දීල ඇති දැන් .දවසක අම්මගේ ගමට ගිහින් නෑයො බලන්න තමයි මාත් හිතන් ඉන්නෙ ".

ඔන්න යාන්තන් මගේ ගජබින්නාලංකාරෙ ඉවර කලා .දැන් රබිය කතා කරනවා

"ඔවු මගේ තාත්තත් ලහෝර්වල .ටී .ජී කිව්ව එයාගේ අම්මලගේ පවුලේ විස්තර මම හෙටම තාත්තට ඊ මේල් කරල බලනවා තොරතුරක් හොයාගන්න ".

"බලන්න ආදරයක් ගියදුර .මේ ආදර කතාව ඉන්දියාවෙදි පාකිස්තානුවෙකුයි , ඉන්දියානුවෙකුයි එක්ක ලහෝර් හල්වා කාලා ලංකාවේ තේ බොන ගමන් ටී ජී ට කියන්න වුන එකත් හරි ලස්සන දෙයක් නේද ?". රබියට කාව්‍යමය සිතුවිලි පහල වෙලා .

කතාවෙන් කතාවෙන් තේ කෝප්ප කීපයක්ම හිස් වෙලා හල්වා පෙට්ටියත් ඉවර වෙලා තිබුණා .මම්තා එයාගේ කාමරේට යන්න නැගිට්ට

"ටී ජී මම හෙට අපේ යාලුවො ඔක්කොටම කියනවා ඔයාගේ ලහෝර් අම්ම ගැන . අපි දකුණු ආසියාවේ මිනිස්සු නොදන්නව වුණාට ඉහත ආත්ම වල නෑදෑකම් තියෙන්න ඇති ගොඩාක් .මේක හරි ලස්සන ආදර කතාවක් .ඔන්න මම්තා හැඟීම් බර වෙලා කියනවා" .

 මම්තා අපෙන් සමු අරන් එලියට ගිය හැටියෙම රබියාත් මාත් ඇඳට කඩාගෙන වැටිලා එකා උඩ එකා පෙරලෙමින් හිනාවුණා වරුවක් විතර .

පහුවදා අපේ අනික් යාලුවො ඔක්කොටම මේක ආරංචි වෙලා . හැමෝම මගෙන් අහනවා .මාත් ඉතින් බොරු කතාව කියනවා .ඒත් මේක හොඳ වැඩක් නෙවෙයිනේ . එදා හවස අපි ඉගෙනගත්තේ Cultural Relativism and Law in South Asia

ඉගැන්නුව මහාචාර්ය වරිය අපෙන් ඇහුවා ප්‍රශ්ණයක්

"Are you a typical Pakistani/Sri Lankan /Indian / Maldiviean / Nepali /Afghani/bengaali /Butani man or a woman?"
හැමෝටම උත්තර දෙන්න වුනා .මගේ වාරෙ ආවම මෙන්න මෙහෙම මම කිව්වේ

"Actually i don't know as Sri Lankan how typical I am .But yesterday suddenly i revealed a Pakistani identity for me and my maternal links to Lahor ." ඔහොම කියලා මම හැමෝම හිනාගස්වමින් මම්තට කිව්ව කතාව ආයෙත් කිව්ව "...so i feel more or less i am a  south asian woman . So at least I know I belong to whole South Asia .thats my identity"


යාලුවො ඔක්කොම අත්පොලසන් දෙමින් හිනාවෙනවා . තේ විවේකෙදි මාගාවට ආව මම්තා මෙන්න මෙහෙම කිව්ව.

"ටී ජී යු ආර් අ ග්‍රේට් හින්දි මූවී ස්ක්‍රිප්ට් රයිටර් .අයි ලයික් දැට් ලවු ස්ටෝරි අ ලොට්"

ඔන්න ඔහොමයි පාකිස්තානයේ ලහෝර් වලට මගේ නෑදෑකම් ඇති වුනේ


ප/ලි
මේ කතාවෙන් මට කියන්න හිතුනේ පිට රටකදි උනත් අපේ ජාතිය අහුවොත් අපි ශ්‍රී ලාංකික කියල කියන්නේ නැහැනේ එකපාරටම .අපේ උත්තරේ සිංහල කියන එක .ඒ වගෙම අපි ලෝකෙ ඉගෙන ගන්න , රැකියාවට විවිද රටවලට යනවා වුණත් අපි නිතරම ප්‍රී ජජ්මන්ට්ස් වලට එන්න කැමතියි සුද්දො මෙහෙම , ඇමරිකානුවො මේ වගේ , ඉන්දියන් කාරයො ගන්න දෙයක් නෑ, මුස්ලිම් මිනිස්සු එපා කෙරුව ත්‍රස්තයො   විදියට .ඒත් අපි නොහිතා සමහර වෙලාවලදි අපිට ඔය අනන්‍යතාවක් ආරෝපණය වුනොත් මොකද වෙන්නෙ .ඒ වගේම ලාභය තකා අපේ අනන්‍යතාව වෙනස්කරන්නත් අපි ලෑස්තියිනේ .බ්‍රිතාන්‍ය හෝ ඇමරිකා පුරවැසි කම වගේ දේකට කවුද අකමැති .එහෙම වුනොත් අපි කොහොමද පටු identity එකක ඉන්නේ අනික් අතට ගොඩක් සමාන සංස්කෘතික ලක්ෂණ තිබුණත් අපි කිසි දවසක දකුණු ආසියාතිකයො කියන අනන්‍ය හැඟීමට වත් ගිහිල්ල නැහැනේ .අපි හරි කැමති දෙයක්නේ පටු අනන්‍යතාවක හිරවෙල් ඉන්න .

මම මේ කතාව ඉවර කරන්න කැමති කබීර් කියන මිතිකල් කවියාගේ කවියකින්.හින්දුන් හිතනවා කබීර් ඉන්දියානුවෙක් කියලා.මුස්ලිම් වරු හිතනවා කබීර් පකිස්තානුවෙක් කියලා .මේ දෙගොල්ල නයි වයිර වුනත් කබීර් දර්ශනය අදහනවා  .....හා මෙතැනින් මගේ  දිල්ලි කතන්දරත් ඉවර වෙනවා
.


කබීර් ගැන දන්න දෙවල් තියෙනවනම් ඔන්න  ලියලා යන්නත් පුලුවන්

Where do you search me? I am with you
Not in pilgrimage, nor in icons,
Neither in solitudes Not in temples, nor in mosques
Neither in Kaba nor in Kailash I am with you o man,
I am with you Not in prayers, nor in meditation,
 Neither in fasting Not in yogic exercises,
Neither in renunciation Neither in the vital force nor in the body,
Not even in the real space Neither in the womb of Nature,
Not in the breath of the breath Seek earnestly and discover, In
but a moment of search
Says Kabir, Listen with care,
Where your faith is, I am there.