Sunday, January 22, 2012

චිතෝර් බලකොටුවේ සැඟව ගිය වීර මහරාණී -රාණි පද්මිණී

උදයපූර් වල මෝටි මගරි මහරාජා ආර්ට් ගැලරි එකේ තියෙන
රාණි පද්මිණිගේ ගින්නට බිලිවෙන  සිත්තමක්


විසිතුරු මාලිගා සංකීර්ණ වලින් හෙබි මර්වාර් වංශික රාජ්පුත් වරුන්ගේ අගනුවර වුන  උදයපූර් වලට නූතන   රාජ්පුත්ඉතිහාසයේ හිමිවන්නේ බොහොම වැදගත් තැනක්. උදයපූර් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන පෙලේ ආකර්ෂණයක් ඒ නිසාමදෝ රාජ්පුත් ඉතිහාසයේ බොහෝ නොමැකෙන වීර සටන් සිදුවුන චිත්තෝර් ( Chittor ) නුවර කාලයේ වැලිතලාවෙන් වැලලිලා ගිහින්.චිත්තෝර් එහෙමත් නැත්නම් චිත්තර් ගාර් (Chittorgarh) නුවර පිහිටල තියෙන්නෙ උදයපූර් වල ඉඳලා කිලෝමීටර දෙසීයක් විතර ඈතින් .උදයපූර් වල ඉඳන් චිත්තෝර් වලට යන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා . දිල්ලියේ ඉඳලත් කෝච්චියෙන් හරි හය් වේ එකෙන් හරියන්න පුලුවනි.ඒකට පැය දහයක් විතර යනවා .ආයෙත් දවසක රාජස්තාන් ගියොත් අනිවාර්යෙන්ම චිත්තෝර් යන්න  හිතාගත්තා .ඒකට හේතුව මහරාණි රාණි පද්මිණිගේ-Rani Padmini  කතාව . මේ මහරාණී ලංකාවෙන් රාජ්පුතානාවේ මහරාජා රතන් සිංට දීග කුමාරිකාවක් කියලයි ඉතිහාසයේ කියන්නේ .ඉතින් මේ ලංකාවෙන් දීගගිය කුමාරිකාව ගැන ඉතිහාස කතා දැනගන්නත් මට තිබුණේ ලොකු කුතුහලයක් .ඔන්න ඒ නිසාම මම 2011සැප්තැම්බර් වල චිත්තෝර් නුවරට ගියා ඒ උදයපූර් වල ඉඳලා.
කොටු තාප්පය 

චිත්තෝර් රාජ්පුත්වරුන්ගේ සියලු ඉතිහාසය සැඟවිලා තියෙන්නෙ චිත්තෝර් බලකොටුවේ .මේ බලකොටුව මුහුදුමට්ටමින් මීටර 200ක් තරම් උස කන්දක අක්කර හත්සීයක් තරම් දුරට විහිදිලා තියෙනවා .බලකොටුව වටේට තියෙන ප්‍රාකාරය කිලෝමීටර දෙකක් විතර දිගයි .අදවෙනකොට බලකොටුවේ සමහර පැති වල  මිනිස් ජනාවාස කඩ සාප්පු එහෙමත් තියෙනවා .නොකඩවා වහින මෝසම් වැහිත් ,වැහි අඳුරත් ,සීතලත් නොතකා තමයි මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ චිත්තෝර් බලකොටුව බලන්න මම ගියේ .

ප්‍රධාන ද්වාර එහෙම නැත්නම් Pol කියලා හඳුන්වන ගල් වලින් නිමවපු විසාල අර්ධකවාකාර උස් ප්‍රවේශ හයක් පහුකරලා තමයි බලකොටුවට ඇතුල්වෙන්න ඕනේ . මේ ද්වාර ඉතා උසින් හා පලලින් තියෙන්න ඇත්තේ යුද්ධයට යොදාගත් ඇත් ,අස් වගේ සේනාවන්ට ඇතුල්වෙන්න පහසුවට වෙන්න ඕනේ .බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ (මේවා මහරාජා වරුන්ට , ඔවුන්ගේ කාර්ය මංඩල වලට , සොල්දාදුවන්ට , සේවකයන්ට වෙන වෙනම වෙන් වෙලා තියෙනවා ) , පැරණි හින්දු දේවාල , කැටයම් වලින් අලංකාරවුණ ස්ථම්භ , ජයින පංසල් , වගේම පොකුණු හා කුඩා ජලාශ දැකගන්න පුලුවන් . ඒ කියන්නේ පුංචි නගරයකට උවමනා ගොඩක් දේ මේ බලකොටුව ඇතුලේ තිබිල තියෙනවා . යුද්ධයකදී ජල හිඟයක් වුණොත් ඊට ඉතා හොඳ සූදානමකින් හිටි වග පේන්නෙ බලකොටුව ඇතුලෙ තියෙන ජල මූලාශ්‍ර දිහා බැලුවම.
රාණි පද්මිණී මාලිගා පරිශ්‍රයේ කොටසක් 

මේ බලකොටුවේ ඉතිහාසය ක්‍රි.ව .7 වන සියවස තරම් ඈතට දිවයනවා .බලකොටුව ගොඩනගන්නේ Bappa Rawal   කියන මහ රාජා විසින් .මේ බිම් කඩ ඔහුට කුමාරිකාවක් සරණපාවා ගනිද්දි ලැබුන විවාහ දායාදයක්.මේ බලකොටුව ඉතිහාසයේ නොමැකෙන ශෝඛාන්තය සනිටුහන්වෙන්නේ මහරාජා රතන් සිං ගේ කාලයේ . මහරාණි රාණි පද්මිණී විවාහවුනේ මහරාජා රතන්සිං එක්ක . මේ මහරාණි ලංකාවේ කුමාරිකාවක් කියලා තමයි ඉතිහාස කතාවල කියවෙනේ. ඇය රූපයෙන් අගතැන්පත්  කුමාරිකාවක් . මහරාජා රතන්සිං සාහිත්‍ය සංගීත කලාවට බොහෝ අනුග්‍රහ දැක්වූ හොඳ රසිකයෙක් .ඔහුට හිතවත් සංගීත ශිල්පියෙක් හිටියා චේතව රාඝන් කියලා .යම දවසක මේ මහරාජා දැනගන්නවා චේතව රාඝන් රාජ ද්‍රෝහී කුමන්ත්‍රණ වල නිරතවෙන්නෙක් කියලා . ඔන්න එතැන ඉඳන් තමයි සේරම ප්‍රශ්න පටන්ගන්නේ . රතන්සිං මහරාජා චේතව රාඝන් ගැන බොහොම කෝපයට පත්වෙලා ඔහුගේ ශරීරය පුරාම දැලි ගාලා බූරුවෙක්ගේ පිටේ නග්ගලා නුවරින් එලවලා දානවා . 

උපක්‍රමශීලී චේතව රාඝන් දිල්ලියේ සුල්තාන් අලවුදීන් කිල්ජි- Alauddhin Khilji වෙත ගිහින් ඔහු හා මිතුරුවෙනවා රතන්සිංගෙන් පලිගන්න . ඊට සුදුසුකාලය ආවම ඔහු අලවුදීන් ඛිල්ජිව මෙහෙයවනවා චිතෝර් නුවර වටලලා  රූමත් රාණි පද්මිණීව බලෙන් පැහැරගන්න . තමන්ගේ සේනාවත් එක්ක ඇවිත් චිතෝර් බලකොටුව සමීපයේ කඳවුරු බැඳලා මහරාජා රතන්සිංට පණිවුඩයක් යවනවා තමන් ඉතාම කැමැත්තෙන් ඉන්නවා රූමත් රාණි පද්මිණීව මුනගැහෙන්න ඒවගේම එයා කැමතියි රාණි පද්මිණී තමන්ගේ සහෝදරියකගේ තනතුරේ ලා සලකලා ගරු කරන්න කියලා .මේ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයට මහරාජා රතන්සිං රැවටුණත් රානි පද්මිණීටනම් තිබුනේ සැකයක් .ඒ නිසා ඇය සැමියාට කියනවා තමන් අලවුදීන් ඛිල්ජී මූණට මුණගැහෙන්න කැමති නැති වගත් ,ඔයතරම් දැකගන්න උවමනානම් තමන් බලකොටුවේ නෙලුම් පොකුණක තියෙන ගිම්හාන මාලිගාවට ආවම එහි තියෙන දර්පණ වලින් පරාවර්තනය වෙලා ඊට නුදුරෙන් තියෙන අනික් ගිම්හාන මාලිගාවේ දර්පණ වලට ලැබෙන ප්‍රතිබිම්බය ඛිල්ජිට බලාගන්න පුලුවනි කියලා .මහරාණි කිසිසේත්ම කැමතිවෙන්නේ නෑ ඛිල්ජි පියවි ඇසින් ඇගේ රුව දකිනවට . අන්තිමට වෙන විකල්පයක් නැති තැන අලවුදීන් ඛිල්ජි දර්පණ වලින් මහරාණිගේ රුව රසවිඳලා ඒ රාගයෙන් උමතුවෙලා මහරාජා රතන්සිං ව හිරබාරයට ගන්නවා. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තමන්ගේ නුවරින් පිටවෙලා යද්දී ඔහු සමග පසුගමන් යාම සිරිතක්නේ .එහෙම ඛිල්ජි නික්මයන වෙලාවේ ඔහුට පසුගමන් යන්න ආව රතන්සිං මහරාජාව හිරබාරයට ගන්න කියලා ඛිල්ජී තමන්ගේ හේවායන්ට අණ දෙනවා.
රාණි පද්මිණිගේ කතාව 




මහරාණී දකින්න ඛිල්ජි හිටියේ මෙතැන 


ඉන් පස්සේ රාණි පද්මිණීට පණිවිඩයක් එවනවා තමන්ගේ සැමියාට අභය දානය උවමනානම් වහාම ඛිල්ජිගේ ඇතොවුර කාන්තාවක් වෙන්න කියලා . පණිවුඩය ලද වහාම මේ මහරාණි බොහොම සැලසුම්සහගතව ලෑස්තිවෙනවා සැමියා බේරගන්න උපක්‍රමයකුත් එක්ක . ඇය තීරණය කරනවා ඇතොවුරට යන්න . ඒ වෙනුවෙන් බොහොම උත්සව ශ්‍රීයෙන් සැරසුව පල්ලැක්කි වල නැගිලා තමන්ගේ පරිවාර සේවිකාවො එක්ක පෙරහැරෙන් ඛිල්ජි මුණගැහෙන්න යන්න තමයි සූදානම. නමුත් මේ පල්ලැක්කි වල ආයුද සන්නද්ධ දක්ෂ සෙබල මුලුවක් සැඟවිලා ඉන්නේ . ඛිල්ජි කඳවුරු බැඳන් ඉන්න තැනට මේ පල්ලැක්කි පෙරහැර සේන්දුවුනහම සතුටින් පිනාගිය ඛිල්ජි මහරාණි පිල්ගන්න එනවාත් එක්කම පල්ලැක්කි වලින් එලියට පනින සෙබල මුළුව ඔහුගේ කඳවුර ඇතුලට පැනලා මුරභටයො එක්ක සටන් කරලා මහරාජා රතන්සිං බේරගෙන මහරාණිත් එක්ක චිත්තෝර් නුවරට පලා එනවා .


නමුත් ඛිල්ජිගෙන් බේරීමේ සතුට තියෙන්නෙ සුලු මොහොතයි . ඛිල්ජිගේ මහා සේනාව මුලු චිත්තෝර් බලකොටුවම වටලනවා .නගරය එක්ක තියෙන සියලු සම්බන්ධතා , සැපයුම් මාර්ග අවහිර කරනවා . රතන්සිංගේ සීමිත යුධ ශක්තියෙන්මේ සටන  දිනන්න බැරි වග පෙනි පෙනීත් ආත්මාභිමානය රැකගන්න බලකොටුවේ සිටි සියලුම හේවායන් සේවකයන් තමුන්ගේ අඹුදරුවන්ගෙන් සමු අරන් යුධ පෙරමුණට යනවා .ඉතිරිවෙන්නේ ගැහැණු හා ලමයි. මහරාණි ප්‍රමුඛ සියලු කාන්තාවො තීරණය කරනවා දරුවන් ආරක්ෂිත තැන් වලට යවලා ලොකු දරසෑයක් හදලා සුදු වතින් සැරසිලා එයට පැනලා ගිනි තබාගෙන මැරෙන්න . රතන්සිං පරදවලා ඔහුව මරලා බලකොටුව ජයගෙන එන ඛිල්ජි දකින්නේ දර සෑයක දැවෙන මහරාණී රාණි පද්මිණී හා සෙසු ස්ත්‍රීන් . මේ බලකොටුව තුන් පාරක්ම මේවගේ අක්බාර් වරුන්ගේ ඛේදනීය ප්‍රහාර වලට ලක්වෙලා පිරිමි යුද්ධයේ තමන්ගේ ආත්මාභිමානය රැක ගන්නත් , ගැහැණු තමන්ගේ ආත්මගරුත්වය රැකගන්නත් ජීවිත පූජාකරන තැනක් වෙනවා .
මහරාණී ආවේ මේ ජල් මහල් මන්දිරයට 

මහරාණී රාණි පද්මිනිත් ඒ සියලුම කාන්තාවොත් වීරවරියන් හැටියට සලකන චිත්තෝර් වැසියො හැම අවුරුද්දේම ජොහාර් මේලා Jauhar Mela කියලා මහා සැණකෙලි උත්සවයක් පවත්වලා ඔවුන් සමරනවා .මහරාණි රාණි පද්මිණී ශෝඛාන්තය  වීර කාව්‍යන් ,නාට්‍ය නිර්මාණ වලටත් පාදක වෙනවා . ජායිසී මල්ලික් මොහොමඩ් කියන කවියා පහලොස්වෙනි සියවසේ දී ලියන "පද්මාවත්" කියන කාව්‍යයේ මෙන්න මෙහෙම ඇය ගැන කියනවා .

"According to Jayasi, Chitor stood for body, Raja for mind, 
Ceylon for heart, Padmini for wisdom and Alauddin for lust" 
ඒවගෙම පස්සේ කාලෙක ඇල්බර්ට් රසල් කියන ප්‍රංශ ඔපෙරා කරුවා මේ කතාව ඔපෙරාවකටත් නගනවා.ලංකාවේ නිපදවුන" පද්මාවතී " නාඩගමත් මේ කතාව ඇසුරින් ලියලා තියෙන්නේ . 


මේ විසාල බලකොටුව බලන්න ගියවෙලාවේ ඉඳන් මම ලොකු ආසාවකින් හිටියේ රාණි පද්මිණීගේ මාලිගාව දැකගන්න . ගරාවැටුණ මාලිගා සංකීර්නයක් වුණ එය පිහිටියේ බලකොටුව කෙලවරේ පොකුණකට යාබදව . මම ලංකාවෙන් කිව්වම එහි සිටි මුරභටයො මට ප්‍රවේශපත්‍ර නොමැතිවම ඇතුලට යන්න ඉඩදුනේ මහරාණිගේ රටෙන් ආව කෙනෙක් නිසා . ගරාවැටුණ මාලිගා සංකීර්ණයේ විසාල ඉඩක් වෙන්වෙලා තිබුණා සේවක නිවාස වලට . මම කල්පනාකලේ මේ මහරාණී තමුන්ගේ සේවකයන්ට බොහොම හොඳින් සලකන්න ඇති කියලා . ස්වාමි පුත්‍රයා වෙනුවෙන් සටන් කරලා මැරෙන්න ඔය තරම් පිරිසක් එක්වෙන්න විදියක් නෑ ඇය සේවකයන් අතර ප්‍රසාදය දිනා නොහිටියනම් .මට හිතුනේ එහෙම .බලකොටුවේ එක්පැත්තක තියෙනවා කුඩා ගිම්හාන ගෘහයක් පොකුණට මූණදාලා .එහි තමයි අලවුදින් ඛිල්ජි මහරාණිගේ රුව බලන්න මග රැකලා ඉඳලා තියෙන්නේ .මේ ගෘහය ඇතුලේ බිත්තිවල දර්පණතල එල්ලලා තියෙනවා . මෙතැන ඉඳන් බැලුවම පොකුණේ තියෙන කුඩා ගිම්හාන ගෘහයක් දැකගන්න පුලුවනි.මහරාණි තමන්ගේ රුව ඛිල්ජිට දර්ශනය වෙන්න ඇවිල්ලා තියෙන්නේ මෙතැනට. මේ ගිම්හාන ගෘහයටනම් යන්න දෙන්නේ නෑ . 
Rana Kumbha Palace 




මීරා දෙවොල 

චිත්තෝර් බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ ගොඩක් තියෙනවා .ඒ අතරින් රනා කුම්භ මාලිගාවත්- Rana Kumbha Palace  වැදගත්.කොටුවට ඇතුල්වෙන සීමාවේමයි මේක තියෙන්නේ . මෙයත් චිත්තෝර් තමන්ගේ බලකොටුව කරගත්තු මහරාජා රනා කුම්භගේ   වාසභවන . මෙතැන ඉඳන් බැලුවම හින්දු කතාවල මිතිකල් කිවිඳියක් හැටියට සැලකුව මීරා බායි සහ බලවත් දේවතාවියක් වූ කාලි මාතාව  වෙනුවෙන් ඉදිවුන පැරණි දෙවොල් දෙකක් මෙතැනට පේනවා  . මීරා කිවිඳිය  ක්‍රිෂ්ණ දෙවිඳුන්කෙරෙහි බොහෝ බැති සිතින් ඔහු වෙනුවෙන් භජන් ගායනා කල තැනැත්තියක්.ඇය ගැන හොහෝ ජන කතා චිත්තෝර් වැසියන් අතරේ මුඛ පරම්පරාගතව එනවා . මීරා වෙනුවෙන් කැපවුන මේ සියවස් ගනනක් පැරණි දෙවොලේ අදත් භජන් ගී ගැයෙනවා , ක්‍රිෂ්ණ පූජා පැවැත්වෙනවා. මීරා දෙවොලත් කාලි මාතා දෙවොලත් ඓතිහාසික අතින් ඉතාම වැදගත් තැන් කියලා හිතුනේ එහි ඇති සියුම් ගල් කැටයම් නිර්මාන දිහා දැක්කම . බලකොටුව පුරාම මේ ගල් කැටයම් වල ලාලිත්‍ය දකින්න පුලුවනි. දේවාල වල අන්තරාලය , ගර්භගෘහය , හා පිටත ආලින්දය කියන කොටස් තුනක් තියෙනවා .උදයපූර් වල තියෙන මාලිගා සංකීර්ණවල අලංකරණයන්ට වඩා චිතෝර් වල කැටයම් , ලියවැල් වල වෙනසක් තියෙනවා චිත්තෝර් ගල් කැටයම් හා ගෘහ නිර්මාණ සම්ප්‍රදාය ගැන මොනවහරි කලින් කියවලා මෙතැන නරඹන්න ආවනම් ගොඩක් හොඳයි කියලා මට හිතුනා . 
Vijay Stamba -Victory Tower 
Stone Carving 

බලකොටුව ඇතුලේ තියෙන ගල් කැටයම් වලින් අලංකාර වුනු මතු මහල් බොහෝ ගණනක් ඇති උශ් කුලුණුත් අමතක කරන්න බෑ . එයින් ප්‍රධාන වෙන්නේ කීර්ති ස්ථම්භය හා  ජය ස්ථම්භය .නම් වලින්ම කියවෙන විදියට චිතෝර් මහරාජා වරුන්ගේ ජුධ ජයග්‍රහණ , හා ඔවුන්ගේ ප්‍රෞඩ බව ලෝකෙට කියාපාන්න මේ කුලුණු ඉදිවෙන්න ඇති . මෙවයේ මතු මහල් වලට නගින්න පටු පියගැට පේලි තුබුණත් පුරාවිද්‍යා වටිනාකම නිසා නරඹන්නන්ට ඒවා උඩට නැගීම සීමා කරල තියෙනවා .මට හිතුනේ මේ කුලුණු චිතෝර් වැසියන්ගේ කීර්තිය ලෝකෙට කියාපාන්න වගේම බලකොටුවට එන පර සතුරු විපත් ගැන  ඔත්තු බලන්නත් පාවිච්චි කරන්න ඇති කියලා.
Go Mukh Fountain 



Go Mukh Reservoir 


View of City from Fort 

ඔය කුලුණු ආසන්නයේම චිත්තෝර් වල ප්‍රධාන ජල මුලාශ්‍රයක්වුන ගෝ මුඛ- Go Mukh Reservior  කියන චිතෝර් වැසියන්ට අනුව කිසිම නියඟයකට නොහිඳෙන ජලාශයක් තියෙනවා. නමේ අරුතින් කියවෙන විදියටම මේ ජලාශයට ජලය එන්නේ ගව මුඛයක හැඩේට ඉදිවුන උල්පත් කටකින්. මේ ජල උල්පත බොහොම බලගතු තැනක් කියලා මෙහි යන එන අයගේ විස්වාසයක් තියෙනවා.කවුරුත් එයින් එන වතුර ටිකක් බීලා මූණ අතපය හෝදගන්නවා . මාත් එහෙම කරලා එතැන තියෙන පුංචි දේවාලෙට පඬුරකුත් දැම්ම.මේ ජලාසේ ඉන්න මාලුන්ට කෑම දීමත් යන එන අයගේ චාරිත්‍රයක්. ඒ වගේම ඒ අවට ඉඳන් පහල චිත්තෝර් නගරය හොඳින් නරඹන්න පුලුවනි . බලකොටුවේ උස් ප්‍රකාර හා   ඈත නගරයේත් මනරම් දසුන් මෙතැනට පේනවා.
Fate Prakash Palace 

මම අන්තිමටම ගියේ පටේ ප්‍රකාශ් ( Fate Prakash Palace )මාලිගාවට .මේ තමයි බලකොටුවේ තියෙන කෞතුකාගාරය .මහා විසාල පැරණි මහරාජා මාලිගයක එක් කොටසක් කෞතුකාගාරයක් හැටියටත් අනික් කොටස ප්‍රාථමික පාසලක් හැටියටත් පැවැත්වෙනවා. එදා නිවාඩු දිනයක් නිසා මට කෞතුකාගාරන නඹන්න තිබුණ අවස්ථාව මග හැරුණා .
Last Click of the Fort 

දවල් දහයට විතර් බලකොටුව බලන්න ගිය ඌෂත් මමත් එතැනින් එන්න පිටත්වුනේ හවස පහට විතර . ඒත් මටනම් බලකොටුවෙන් එන්න බැරි ගතියක් දැනුනා . අර ගරා වැටුණ මාලිගා සංකීර්ණ , පරන ගඩොල් අතර මහරාජා වරුන්ගෙත් මහරාණි වරුන්ගෙත් මොනතරම් සැඟවුණ කතාන්දර ,රහස් කාලයේ වැලිතලාවෙන්  වැලලිලා යන්න ඇතිද කියලා  බලකොටුවේන් පිටවෙන ලඳු කැලෑවකින් වටවුන අභය භූමියක් හැටියට වෙන්කෙරුණ මාර්ගයේ එද්දී මම කල්පනා කරමින් හිටියේ .ඒ වෙනකොටත් හිරි පොද වැස්ස වැටෙනවා අපිවත් තෙමාගෙන . වැහි අඳුරත් මීදුමත් නිසා බලකොටුව කෙමෙන් නොපෙනී යමින් තිබුණා . 


ප/ලි

හොඳින්ම චිත්තෝර් බලන්න නම්  මුලු දවසක්ම යනවා .එදා රෑ දහයට තියෙන  කෝච්චියෙන් චිත්තෝර් ඉඳලා අග්‍රා බලා යන්න මගේ සැලසුම වුන නිසා වැඩිය හවස් වෙනකන් සිත්සේ මට බලකොටුව නරඹන්න බැරිවුනා .  මගේ චිත්තෝර්  මිතුරිය ඌෂා නිසා රාජ්පුත් ශිෂ්ටාචාරයේ සැඟවුණ අභිමානය වූ චිත්තෝර් නුවර නරඹන්න මට හැකිවුනා .රාණි පද්මිණී ගැන වැඩි විස්තර කියවන්න ඕනෙ නම් මෙන්න මේ ලින්ක් එකට යන්න .