හවස් යාමයේ නගරයේ තිබූ කලබලය දැන් නැත .ඉඳහිට ඇහෙන්නේ හයිලෙවල් පාරේ යන වාහන වල සද්දයක් පමණි . දවාලේ ඇති වාහන තදබදය දැන් නැත .එලවලු , පොල් ලොරි , මස්කඩ කාරයන් , මාලු වෙලෙන්දන් නිසා දවල්ට මහා කාලගෝට්ටියක සිරි ගන්නා කිරුලපන පොදු වෙලඳපොල අඳුරේ ගිලී නිසලය. හවසට තොරතෝංචියක් නැතුව බීගෙන කෑගහන ,රණ්ඩු වෙන පහල කූඹි කැලේ වත්තේ ගෑණු මිනිස්සුන්ගේ සද්ද බද්ද දැන් නැත . බාධාවකට ඇත්තේ මාර්කට් එකේ සුන් බුන් කුණු ගොඩ පිසගෙන ජනේලයෙන් කාමරයට පනින දුගඳ හුලඟ පමණි .කවදාත් මට පුරුදු අන්තිම මොහොතේ ,අවේලාවේ අවදිව නිදි වරන් වැඩ කිරීමයි .ඇඳකුත් කුඩා පොත් මේසයකුත් තැබියහැකි බැල්කණියකට විවර වෙන කාලයක් නිවැසියන් අබලි බඩු මුට්ටු දමන්න පාවිච්චිකල මේ කුඩා කාමර පොඩ්ඩ මගේ නවාතැනයි .ඇඳ පුරා විසිරුන පොත් ගොඩ මතින් වැතිරී කේ .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් ( K.Loganathan - Lost Opportunities ) හි වඩුක්කොඩෙයි ගිවිසුම ගැන කියවමින් සිටියෙමි . මේ කොටස නොකියවා සිටියොත් මගේ හෙට දේශනය වටහාගැනීම අසාර්ථක වනු ඇත .
පොතෙහි නිමග්න වී සිටින මට පහල ගේට්ටුවට මහ හඬින් තඩි බාන සද්දයක් ඇසේ . මාර්කට් එකේ පදිංචි වී සිටින අයාලේ යන බලු රැලත් කලබල වී බුරා වැටෙති . පහල ගෙදර කුලියට ගෙන සිටින බර්ගර් පවුල හෝ දෙවැනි තට්ටුවේ සිටින නිවැසියන් ඇහැරෙන පාටක් නැත . දැන් දැන් ගේට්ටුවට පා පහරවලුත් වැදෙන හඬ ඇසේ . වෙලාව රාත්‍රී එකට පමණ ඇත .
මම නිදන ඇඳුම පිටින්ම දොර හැරගෙන පඩිපෙල දිගේ පහලට බැස්සෙමි . පහල බැල්කණියෙන් බැලූ විට දැක්කේ කාකි නිල අඳුම් ඇඟලා ගත් හමුදා භටයන් පිරිසක් ගේට්ටුවට තඩිබාන බවකි .ඔවුන් මා දැක ඇත
"කෝ මේ ගෙවල් වල මිනිස්සු . නැගිටින්නේ නැද්ද ? අපි ගෙවල් චෙක් කරනවා . හදිසි වැටලීමක් .බෝම්බ පුපුරන්නේ කියලා නෙවේ ".
රළු හඬින් එක් හමුදාභටයෙක් කෑ ගසයි
"ඉන්න මම ගෙදර අය නැගිට්ටවන්නම් "
තද නින්දෙන් පිබිදුන ගෙහිමියන් පහල අගුලු ලා ඇති යකඩ ගේට්ටුව හැරියේය . ටොක් ටොක් ලෙස තාලයට බූට් සද්දයක් එයි . පහල සිටි හමුදා පිරිසෙන් හත් අට දෙනෙක්ම ඉහල මාලයට එයි .
කවුද ගෙදර ඉන්නේ ආයෙත් අර රළු හඬ ප්‍රශ්නකරයි
"අපි දෙන්නයි ළමයි තුන්දෙනයි මේ තට්ටුවෙ ඉන්නේ .පහල බදු දීල තියෙන්නේ පවුලකට .ඉහල කාමර කෑල්ලේ මේ දරුවා ඉන්නවා "
ගෙහිමියා යටහත්ව කියයි .
සෙබලුන්ගෙන් කොටසක් තුවක්කු මානාගෙන පහල පාරේ බර අඩි තබමින් යති .අර රළු හඬ මොවුන්ගේ ඉහල නිලධාරියා විය යුතුය . කීපදෙනෙක්ට පහල කුලී ගෙදරට යන්න සන් කරන ඔහු අලුත් යමක් සොයාගත්තා සේ මා දෙසට හැරෙයි .
"තමුන් කවුද , මේ ගෙදර උදවිය තමාගේ කවුද ?" මට පැනයකි
"මම කැම්පස් යනවා .මෙහේ නැවතිලා ඉන්නේ "
"මේ දරුවා ගාල්ලේ අපේ හිතවත් පවුලක .දැන් අවුරුද්දක් තිස්සේ අපේ ගෙදර ඉඳන් කැම්පස් යන්නේ "
ගෙහිමියා මා මතය තහවුරු කරයි .
"කොහේ කැම්පස්ද ?"
ආයෙත් පැනයකි
"කොලඹ "
"දෙන්නෙක් යන්න උඩට ."
නැවත ඔහුගෙන් අණකි
සෙබලු දෙන්නෙක් වහ වහා පඩි නැග මගේ අට්ටාල කාමරයට යති .එහි දොර විවර වී ලයිට් එලි දැල්වේ . කුඩා මේසය උඩත් ඇඳ මතත් පොත් විසිරිලාය .
බරාස් ගා මගේ කබල් පුටුව ඇදි එක් අයෙක් ඇඳුම් බෑගය ගෙන පිරික්සයි . එහි ඇත්තේ මගේ ඇඳුම් කෑලි ටිකය .අනිකා පොත්මේසයට නැඹුරුවී ගොඩගසා ඇති පොත් පිරික්සයි .
ඔහු එකදහස් නවසිය හැත්තෑ අටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , අපරාධ නඩු විධාන සංග්‍රහයත් අවුස්සා එලියට ගෙන ඇත .
"මේවා මොකටද?"
ආයෙත් පැනයකි
"ඕවා මම ඉගෙනගන්නවා " තව ප්‍රශ්න යොමුවන්නට පෙර මම වහ වහා මම මගේ ශීෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරමි .
"හරි මිස් බොහොම ඉස්තුතියි "
එවර හමුදා භටයා බොහෝ සංවරය .
"මේ බලන්න"
මගේ පොත් බෑගය අදින අනිකාගෙන් හඬක් මතුවෙයි
මම වහා එබී බැලුවෙමි . තම අතේ ඇති දෙමළ බසින් ලියැවුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , තව දෙමල බසින් ලියවුන පනත් කීපයක් එකට කර හම් බැම්මෙන් බැඳි පබ්ලිකේශන් බියුරෝ එකෙන් මුද්‍රිත ලොකු පොතකුත් අතට ගත් ඔහු මහා අනර්ඝ දෙයක් සොයාගත්තෙකු සේ කෑ ගසයි .
මට වුන හදිය මතක්වෙන්නේ දැන්ය . එදා දවල් දේශන ඉවර වී එලියට එන විට මා වෙත ආ ටෙරා හා චිත්ති මගෙන් ඉල්ලිමක් කලෝය .
"අදට මේ පොත් ටික ඔය බේග් එකේ දාගෙන ගෙනියනව ප්ලිස්?
.හෙට ගේනවද ?.අපි දෙන්නටම පොත් වැඩි තමා අද .ලයිබ්‍රරි බූක්ස් ගොඩකුත් තියෙනවා තමා . ලොකු උදවු හෙට ගෙනාවොත් "
.හෙට ගේනවද ?.අපි දෙන්නටම පොත් වැඩි තමා අද .ලයිබ්‍රරි බූක්ස් ගොඩකුත් තියෙනවා තමා . ලොකු උදවු හෙට ගෙනාවොත් "
කැඩුන සිංහලෙන් කියන චිත්තිගේ ඉල්ලිම ඉවතලිය නොහැක .මට ඉඳහිට හෝ දේශන මග ඇරුනොත් සටහන්පොත ණයට දෙන්නේත් ඈය. .
මේ දෙන්නම මගේ යාලුවෝය. අඳුනාගත්තේ කැම්පස් එකේදීය .ටෙරා දෙමළ මාධ්‍ය පන්තියේය . චිත්ති හා මම අනික් පන්තියේය .කවුරුත් ඉන්ග්‍රිසි අණ පණත් සමග මවු බසින් ලියැවුණ අණ පණත් ද පාවිච්චි කරමු . එතකොට සමහර දේ තේරුම් ගන්න ලේසිය . පොත් වල ටෙරාගේ හා චිත්තිගේ නම් දෙමල අකුරින් කාබන් පෑනෙන් ලියා ඇත .
"මේව මොකටද මිස් , මිස් දෙමළ කතා කරනවද, කියවනවද ?"
අනික් හමුදා භටයා පසෙක දිගහැර දමා ඇති චානක අමරතුංගගේ අයිඩියාස් ෆෝ කොන්ස්ටිටියුශනල් රිෆෝම්ස් පොත අතට ගෙන එහි බර මනින ලෙස එහා මෙහා හරවයි.
දැන් නම් මට ටිකක් බය හිතේ .
"නෑ මම දෙමළ කතා කරන්නේ නෑ , දෙමල කියවන්න , ලියන්න මම දන්නේ නෑ "
"එහෙනම් මේවා ?" ඔහු නැවත මෙසය මත ඇති දෙමල බසින් ලියවුන අණ පණත් පෙන්වයි
"මේවා මා එක්ක එකට ඉගෙනගන්න යාලුවො දෙන්නෙක්ගේ , එයාලගේ බෑග් වල දාගෙන යන්න ඉඩ මදි නිසා මට දුන්න අද ගෙනිහින් හෙට ගේන්න .මේවා අපි ඉගෙන ගන්නවා . අන්න අර පොත් වල දෙමළ පරිවර්තන "
මම නැවතත් එක්දහස් නවසිය හැත්තෑ අට ආණ්ඩු ක්‍රම් ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් පෙන්නුවෙමි .
"මේව ඔක්කොම රජයෙන් ප්‍රකාශයට පත්කරන්නේ .අර රාජ්ජ ලාංචනේ තියෙන්නේ "
ඔවු රාජ්‍ය ලාංචනේ තියෙනවනම් බයවෙන්නෙ මොකටද .මොකෝ මේව මම අච්චුගහපුවද ? යටිහිතින් මට හිතේ
"මොකද තමුසෙලා පරක්කු ?"
ආයෙත් අර රළු හඬය
"නෑ සර් මේ ? "
හමුදා භටයා ඔහු සොයාගත් අනර්ඝ වස්තූන් ඉහල නිලධාරියාට පෙන්වයි .
"තමුන්ගේ ශිෂ්‍ය හඳුනුම්පත තියෙනවද?"
ඔහු ඒදෙස බැලුම් හෙලන අතර මගෙන් අසයි .මම රෝස පැහැ ශිෂ්‍ය හඳුනුම්පත හා කහ පැහැ ජාතික හැඳුනුම්පත පෙන්වමි .
"එතකොට මොකටද මේ පොත්"
මම මුල සිට අගට ආයේ කතාව කියමි
ඔහු කාමරය සිසාරා බැලුම් හෙලයි .ඒ අතර අනිකා ඇඳේ මෙට්ටයත් ඉවත් කර මගේ ඇඳයටට එබී බලයි
කේ. ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත ඇඳෙන් බිමට වැටී අර රළු හඬ ඇත්තාගේ දෙපාමුලට විසිවෙයි .
"ඔය ඇති , අපි යමු , දොර වහගන්න "
අර රළු හඬ කියයි . චෙක් කිරිලි එතැනින් ඉවරය
මම නැවත පොත් මේසයේ පොත් අඩුක්කු කර , එකදහස් නවසීය හැත්තෑ අටේ අණ්ඩුක්රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් අනික් පොත් අතර උඩින්ම තියමි . මේවා නිතර ඕනෙ වෙනවාය .
තාමත් බිම පෙරැලී ඇති කේ .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත අවුල් වූ පොත් මේසය සකසන මගේ පයට පෑගෙයි . ඒ නොදැනුවත්වය .මගේ නොසැලකිල්ලය. එය බිම වැටුනේ අපි හැමෝගේම නොසැලකිල්ල නිසාය .
පැහැදිලි කිරීම චානක අමරතුංග ලිබරල් පක්ෂයට සම්බන්ධවූ ලංකාවේ ආණ්ඩුක්‍රම වෙනස්කම් සිදුවියයුතු අයුරු හා සුලු ජන අයිතීන් එයට ඇතුලත් විය යුතු අයුරු ගැන මත පලකල සිංහල විද්වතෙකි . කේ. ලෝගනාදන් සන්නද්ධ අරගලයේ එක් පාර්ශවයක් නියෝජනයකොට කලකදී ඉන් මිදී එලියට අවුත් අරගලය හා එහි ඉතිහාසය දෙස වෙනස් ඇහැකින් බැලූ දෙමළ විද්වතෙකි .චානක රිය අනතුරකින් අකාලේ මියගිය අතර ලෝගනාදන් සන්න්නද්ධ කල්ලිය අතින් මිය ගිය අවසන් දෙමළ විද්වතුන් ගොන්නට එක්වේ .
වඩුක්කොඩෙයි ගිවිසුම -1971 දෙමල ඊලාම නිජබිම් සංකල්පය එවක ඊලාම් සටන්කාමීන් නිල වශයෙන් ඉදිරිපත් කලේ මේ හරහාය
මගේ මිතුරු ටෙරා මෙයින් හත් වසරකට පෙර විනෝද චාරිකාවක් ගොස් දියේ ගිලී අකල්හි අපෙන් වියෝවුවේය .චිත්ති ඉන් වසරකට පසු සදහටම ලංකාව හැරදා ගියාය .
තාමත් තිස් තුන් වසක් ගෙවීත් අපි හැත්තෑ අටේ පුස්තකය අපේ මුඛ්‍ය නීතිය කරගෙන (grund norm ) පාලනය වේමින් සිටිමු .
තාමත් තිස් තුන් වසක් ගෙවීත් අපි හැත්තෑ අටේ පුස්තකය අපේ මුඛ්‍ය නීතිය කරගෙන (grund norm ) පාලනය වේමින් සිටිමු .