මම ගොඩක් ආසම පොත් දෙකක් නොහිතුව වෙලාවක පලවෙනි වතාවට මුණගැහුන යාලුවෙක්ගෙන් තෑගි ලැබුණා .තවත් පොත් කීපයක් අද මම ගත්තා . පොත් බිල ගෙවන්න වුනේ දෙන්නම් කාසි ක්‍රමේට . කෑදර කමට පොත් අරගත්තු නිසා මේ මාසේ විනෝද කටයුතු වෙනුවෙන් පඩියෙන් වෙන්කරන දීමනාව දැන්මම කපා හරින්න වෙනවා .ඒ නිසා ඉදිරි කාලය ඇතුලත කෝපි හැන්දෑවල් , රාත්‍රී වීදි සංචාර ,නාට්‍ය බැලීම් , ඩිනර් මීටින් සියල්ල අවලංගු කරන්න සිද්දවෙනවා . ඒත් මාසේ ඉවරවෙන්න සෑහෙන්න කල තියෙනවා :)
කොහොම වුනත් තෑගි ලැබුන පොත් දෙකෙන් එකක් වුන "හිම ගිර භික්ෂුණිය " එදාම හවස ගෙදර යන්නත් කලින් රෝහල් ආලින්දයකට වෙලා වෛද්‍ය හමුව එන තෙක් කල් ගතකරමින් ඉන්න අතරේ ගොඩක් දුරට කියවලා ඉවර කලා .කවි කදුර කියවන්න කල් ගත්තේ හිතාමතාමයි මොකද ඒක ලිව්ව කතුවරියගේ ආලවට්ටන් කෑලි එක්ක පොත හොඳට රස විඳින්නනම් නිවී සැනසිල්ලේ කියවන්න ඕනේ හිනා වෙන්නත් ඉඩ තියලා .
පොත් තෑගි දුන්නු යාලුවට පස්සේ දවසක මම කවියකුත් ලියලා ඇරියා ඊමේල් එකකින් මෙන්න මෙහෙම
පේ අයියාත්පැජරොයියාත් ගැනඅපැහැදිලි මිහිරි මතක ඇතිලියන කියන වචන වලනොලිව්ව අරුත් සොයනු හැකිරස බර හමුවීමක්දසැපයට කරුණක්ම වෙයියාලුවත් හැරෙන තැපෑලෙන් කවියකින්ම උත්තර එවලා තිබුණා
මිහිරි පොදු මතක පොදියක්
දිග හරින්නට
අප ලද කල් මද බව දැනෙන මුදු
ඒ මිහිරි මුලුවෙහි සුව
බෝ කල් සිත රඳනු ඇත
ඒ අපැහැදිලි මතක ඔස්සේ
යටගියාවේ තවත් මතකයන් ඉල්පී එත්
ඒ මතක හදේ තෙරපී
අකුරු කරනට
හද කම්පනය කරත්
නුගේගොඩට ඇවිත් දැන් මාස තුනක් විතර ඇති .අලුත් සරසවිය පැත්තේ ගොඩවදින්න ඕනේ වුනත් කල් දම දමා හිටියේ මේ දවස්වල අතේ සල්ලි මදි නිසා .ඒත් එක දවසක් වැඩකරලා , මහන්සිවෙලා , එපා වෙලා , තරහගිහින් සික් ලීව් හාෆ් ඩේ දාලා නුගේගොඩින් ගෙදර ඇවිදන් යද්දි නොදැනිම පය ගෑටුනේ සරසවිය දිහාට . අලුත් සාප්පුවේ ඉස්සරට වඩා ඉඩ කඩ වැඩියි .පොත් දිහා බල බල , පිටු පෙරල පෙරල ඉන්නත් පුලුවන් .මගේ ආසාම වැඩේ කලින් කියවපු රහ පොතක් සොයන් ඒකේ ආසම තැන් වලින් කොටස් කියවන එක .එහෙම පොත් කියවන්නො වෙනුවෙන්ම වෙන් වුන සෝෆා එකකුත් සාපුවේ තියෙනවා .පොත් රාක්ක පීරාලා කැම්පස් ඉන්න කාලෙත් ඉඳන් මේ වෙනකන් මිලට ගන්න බැරිවුන පොත් කීපෙක පිට කවර අතගාලා ඒ කාලෙයි අදයි අතර මිල සසඳලා හූල්ලලා අන්තිමට නතරවුනේ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් ගාව ."රසවතිත්" ," වෙසක් පහනත් "අතට අරන් කෙලින්ම ගිහින් හරි බරි ගැහුනේ අර සෝෆාවේ .එක හුස්මට පැටියාගේ වෙසක් පහන කියවලා ඉවරකරා .යස අපූරු කතා පොඩ්ඩ .පොඩි ලමයින්ට විතරක් නෙවේ පොඩි එවුන් දිහා බලන වැඩිහිටියන්ටත් හරි වටින උපදෙසක් එක්ක ලියවුන කතාවක් . ඔන්න ඊට පස්සේ රසවතී දිහාට හැරුණා .හනේ අම්මෝ මට හිනාව නවත්වගන්න බෑ . ගිමාරා , රසෝ , නෑනා නෝනා , වාසනා වකුටුපිට , අපේ එක්කෙනා එක්ක මගේ හිනාවට බ්රේක් ගහගත්තේ අමාරුවෙන් .හොඳටම කේන්ති පිට හාෆ් ඩේ සික් ලීව් දාලා ආව මම පැය දෙකක් සරසවියේ පොත් කියවලා අන්තිමට ගෙදර ගියේ වෙසක් පහනත් , රසවතිත් මිලට අරන් හිනා වෙවී .
ආයේම අදත් උදෙන්ම ඔෆිස් ගිහින් ලොකු වැඩක් ඉවර කෙරුවට පස්සේ මට හිතුනා මොකට මේ හැටි නහිනවද කියලා .ගිය සතියෙත් ඔෆිෂල් හාෆ් ඩේ ගත්තු නිසා මේ සතියේ එහෙම ලීව් දාන එක හරි මදී .ඒ නිසා පොඩි නූල් සූත්තර වැඩක් කලා . හදිසි වෛද්‍ය පරීක්ෂණයකට යන්න වෙනවා කියලා බොස්ගෙන් අවසර අරන් ගෙදර ආව .ආයෙත් සරසවිය පහුකරන් නුගේගොඩින් පයින් එන්න වුනා .කලින් වගේමයි නොදැනිම නැවතුනේ සරසවියේ තුන්වෙනි මහලේ .
මේ සැරේ පොත් සැරිසර පටන්ගත්තේ කවි පොත් වලින් ."සක්වා ලිහිණි", "රාජතිලක -ලයනල් හා ප්‍රියන්ත" , "බෝඩිම" අතට අරන් පිටු පෙරලලා ගාන බලලා ආයෙත් රාක්කෙන් තිව්වා . ඒ නුදුරෙම ජනශැති පොත් ගොන්නක්ම .ඒ අතර දිගාමඩුල්ල ගැන ලිව්ව මායා රංජනුත් හිටියා .කොහොම වුනත් මාතර රතු බත් ,කිරි හොදි ,ඇඹුල් තියල් අමතක කරන්න බැරි කමට අප්‍රකට ඒත් රසවත් ජනශැති පොතක් වුන "අපේ ගම මාතර" පොත් ගොන්නට එකතු කරගත්තා. වටයක් කැරකිලා යද්දී නවකතා පැත්තේ සුමිත්‍රා රාහුබද්දගේ පොත් කීපයක්ම තියේ .ඒත් "අග පිපි මල්" නම් නොගෙනම බැරි වුනා . ඔහොම කැරකීගෙන ගිහින් නතරවුනේ ආයෙත් සිබිල් වෙත්තසිංහගේ පොත් ගාව . පොත් ගොඩ ටිකක් අවුස්සද්දී මෙන්න අතට ලැබුනා කාලයක් පුල පුලා කියවන්න බලාගෙන හිටි "සූත්තර පුංචා" .ආයේ දෙපාරක් හිතුවේ නෑ .පොතත් ඩැහැගෙන දිව්වේ අර සෝෆාව ගාවට .ගිහින් හරි බරි ගැහිලා ඔන්න කියවනවා සූත්තර පුංචා .කට කොනක හිනාවකුයි , පොඩි කාලේ ඉඳන්ම රහ පොතක් කියවද්දී ඉබේම යටි තොල තදින් උරන එකයිත් මට නොදැනිම පටන් අරන් කියලා තේරුනේ සෑහෙන්න වෙලාවක් ගියාම . අර පොඩි කාලේ විජය පත්තරේ හිටිය කමිස කොටේකුයි , කලිසන් කොටේකුයි ඇඳගත්තු පුංචා හම්බවුනාම කාටද සතුටු නැත්තේ ?,
පුංචා හකුරු බෝල කෑව තැනට වෙනකන්ම මාත් පොත් රහ කර කර කියෙව්වා .එක හුස්මට කියෙව්ව පොතේ පෙරවදනේ මා සිත් ගත්තේ මෙන්න මේ කොටස
"දඟකාර වීම පොඩිත්තන්ගේ අයිතියකි. මේ දඟ බෝල වයස්ගත වැඩිහිටියන්ගේ ජීවිත ආලෝක කරන මිණි පහන්ය "
අන්තිමට සූත්තර පුංචවත් අතට අරන් , "දුවන් රැවුලත්" , "කුඩ හොරත්" සොයාගෙන පහල කැෂියර් එකට ගියේ බිල දාන්න .එතකොට තමයි පියවි සිහිය ඇවිත් මතක්වුනේ අතේ සල්ලි නැති වග .ඒ වුනාත් රහ පොත් අතාරින්න ලෝබ කම නිසා දෙන්නම් සල්ලි ක්‍රමේට බිල ගෙවලා සරසවියෙන් ගෙදර ගිය මම එක හුස්මට දුවන රැවුල , සූත්තර පුංචා සහ කුඩ හොරා කියෝලා ඉවර කලා .
ඔන්න තියෙනවා අද වෙනකොට මම ගත්තු පොත් හා මට තෑගි ලැබුණ පොත් .
ප/ලි
මේයින් හත්පෙති මල ගත්තේ නම් දැන් දෙමාසෙකට කලින් යාලුවෙක් එනකන් හන්දියක ලතවෙවී ඉන්නකොට ගොඩ වැදුන පොත් කඩේකින් .
හප්පේ අක්කව දැක්ක කල්! මම හිතුව හුස්ම ගන්නවත් බැරි තරමට වැඩ ඇති කියල.
ReplyDeleteසාහිත්‍ය මාසෙට ගැලපෙනවා මේ ලිපිය නම්. මටත් පොතක් දෙකක් ගන්න හිතුනා මේක කියෙව්වහම. සූත්තර පුංචාව නම් තාම මතකයි. සිබිල් නැන්දට පුදුම හැකියාවක් තියෙනව පොඩි එවුන්ට ආස හිතෙන විදිහට ලියන්න අදින්න.
අක්ක කිව්වා වගේ ලමා කාලය මරල දැම්ම මිනිහෙක් කියෙන්න අසම්පූර්ණ කෙනෙක්.
මමත් උන්න ගමන් පෙම්බරයටත් කියල උයන්නෙ පිහන්නෙ නැතුවථ රෙදි හෝදන්නෙ නැතුව, නාන්නෙ නැතුව සමහර දාට දත් මදින්නෙත් නැතුව එක දිගට පොතක් අස්සට රිංගනව...
ReplyDeleteඅපම්බරයට නං දැක්ක මුල් දවස්වල මේ මොන පිස්සු කෙල්ලෙක්ද කියල හිතෙන්ඩ ඇති... ඒත් අපි හැමෝටම අකමැත්තෙන් වුණත් අනුගත වෙන්ඩ සිද්ධ වෙලා තියෙන මේ ඒකාකාරී කලබල ජීවන රටාවට ඒක හොඳ විරේකයක් අක්කෙ....
ඔය හත් පෙති මල දැක්කාම නං මට ඇත්තමයි පුංචි ඉරිසියාවක් හිතුණ...
සරසවියෙන් දෙඥ්ඥං කාසි ක්‍රමේට පොත් ගන්ඩ පුලුවං කියල දැනගත්ත එක හොඳා.. දැං ඉතිං අරන් එන්ඩ බැරියි මුලු සරසවියෙම තියෙන පොත්...
මෙන්න මේ දවස්වල මං හොයන පොත්
මෝමෝ
ටිංකිරි පැටිය
පේ අයියා
මල්ලිගෙ විත්ති
කල්ලංදූවේ මුතු කොල්ලය
කුංච නාද
හත්පෙති මල
ටෙලිෆෝනය - අර ඩයල් එකකුත් තියෙන්නෙ
වඳුරු රජ්ජුරුවොන්ගෙ කතා සෙට් එක
ඉඳල හිටල හරි ඔය වගේ පිස්සුවක් කළාම මක් වෙනවද අනේ...???
ටිංකිරි පැටිය නම් තියෙනවා
Deleteපේ අය්යා මමත් හොයනවා, කියවද්දි හිත කඩන් වැටෙන පොතක්
කල්ලංදූවේ මුතු කොල්ලය මටත් ගන්න ඔන, හත්පෙති මල ගන්නත් ඕන
තව ලිස්ට් එක දිගට තියෙනවා.. මෙතන ලියන්න බයයි....
.
.
පෙම්බරයා (copyright @ ජනූ :D) දැක්කොත් මාව ප්‍රදර්ශනයට එක්ක යන්න බය වෙයි. :D :D
හ්ම්!! ටිංකිරි පැටිය ගැන අහල තිබුණත් පොත නං හොයා ගන්ඩ නෑ වගේ සමාධි.. පුලුවන් නම් මට ප්‍රකාශකය කවුද කියන්ඩකො...
Deleteපේ අයියා නං මං පුදුම ආස පොතක්!!
ආයෙ කවද කියවන්ඩද කියල හිතද්දි හරි කාන්සියි හිතට
ලිව්වෙ සරත් විජේසූරිය මහත්තයා නේද? ප්‍රකාශකයා නම් මතක නෑ, 8 වසරෙන් පස්සේ ඇහැට දැක්කෙත් නෑ පොත.
Deleteපේ අය්යට මගේත් චන්දෙ!
Tinkiri Petiya was written by Sunethra Rajakarunanayake .
DeletePe Ayya is about middle brother of a family . Its a true story written by the younger sister of that brother . The family has to moved to a jungle area due the business losses of their father . Pe Ayya ( middle brother ) was the entertainer and supporter of the family during that hardships . A female author has written the book .Not Mr Sarath Wijesuriya or Sunethra .
http://isuru.lib.ruh.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=120639
DeleteAbout Pe Ayya :)
ඔය ලියල තියෙන්නේ . මන් හිතුව. සරසවියේ පුටුවක් උඩ යටි තොල හපාගෙන හිනාව විකාගෙන පොතක් කියෝන ළමයෙක් ...මටත් එන්න ඕන . මේ පාර නම් ළමයා දෙසැම්බර් වලදී අපි හම්බ වෙමු. සරසවියේදී හරි . ගියපාරත් මන් ළමයි අම්මට දාල සරසවි ගියා දෙපාරක්ම . කැෂියර් ගාවම කැරකෙන රාක්කේ නේද සිබිල් නැන්දගේ පොත් වැඩියම තිබුනේ . ඉතින් නොගෙන පුළුවන්ය . ටි ජි ණය කාරයෙක් කරන්න කුමන්ත්‍රණයක් ඔය . මන් පොත් සාප්පුවකට ගියා කිව්වම සමහර අය බය වෙනවා . සල්ලි හොයන්න මහන්සි වෙන අය . බොරැල්ලේ සර්වෝදය පොත්සාප්පුවේ සිබිල් නැන්දගේ පොත් ගොඩක් තිබුන . දැන් ඒවත් ගණන් නේද .
ReplyDeleteරසවති ගන්න ඕනේ . කුසුමලතා නම් ගියපාර ගත්ත . අනික් එව්වා ටික තියෙනව . තව අලුතින් ලිව්ව පොඩි පොඩි පොත් රාශියක් ගත්තා . එව්වට වඩා පරණ ටික තමා ලස්සන . හිත කලබල වුනහම පුස්තකාලෙක හරි පොත් සාප්පුවක හරි පොඩ්ඩක් රස්තියාදු වුනහම හරි. මුන් මහත්තයාගේ පුස්තකාලේ හරිම ලොකුයි . මන් සමහර වෙලාවට වෙලා වැඩි දවසට ඔහේ පොත් අතගගා ඉන්නවා . අපේ ලොක්කි මේ දවස්වල bread winner සිරිස් එක කියවල ඒ ජාතියේ පොත් වලට වහ වැටිලා ඉන්නේ . Kiss the Dust කියල කුර්දිෂ් ලා ගැන පොතක් මේ දවස්වල කියවන්නේ . මන් හරිම ආඩම්බරයි ඒ ගැන . එකට එකම ජාතියේ පොත් කියවන්න තරම් ලොකු දුවෙක් ඉන්න එක ගැන .ඒ වගේම කියවන්න පොත් තියෙන ලෝකෙක ජිවත් වීමත් සතුටක්.
ජනු ...ඔව් ඔව් දත් වගේද පොත් . මල්ලිගේ විත්ති පොත සොයා ගත්තොත් කියන්න හොඳේ . කවුද මන්ද බ්ලොග් එක කියවපු කෙනෙක් මට පින්සෙන්ඩු වුනා පොත ගන්න තැනක් කියන්න කියල . බලන් ගියහම කොච්චර ඊ බුක් ..මැක් බුක් ...ඇපල් කෑලි තිබුනත් සුවඳ ගහන කිරි කිරි පොතක් හරි කාවෝ කාල පරණ සුවඳ එන පොත් කෑල්ලක් හරි ආදරෙන් බදා ගන්න අපි තවම ආසයි
bread winner නම් ලස්සන පොත් පෙලක්, සින්හලට හරවලත් තියෙනවා "පර්වානා!" හරිම හපන් කෙල්ලෙක්නෙ!
Deleteමල්ලිගේ විත්ති මං ගාව තියෙනවා. ඊළඟ පාර ආවම මතක් කරන්න. කියවන්න දෙන්නං.
Deleteමන් ගාව තියෙනවා . අම්මෝ පරණ පොත් දැන් හරියට වටිනවනේ .මන් ඇහුවේ වෙන කෙනෙක් අහපු නිසා . පොත් ගුල්ලා පොත් ගන්න ගියොත් පවුලෝ කොය්යෝගේ හොඳ පොතක් දෙකක් දැක්කොත් අරන් තියන්න පුළුවන් නම් .
Deleteඅනිවා. අරගන්නම්.
Deleteසිංහල ද ඉංග්‍රීසි ද?
සිංහල සිංහල
Deleteබින්දියො, මල්ලිගෙ විත්ති මම කියෙව්වෙ ඉස්කෝලෙ පහේ හයේ විතර ඉන්න කාලෙ අම්මලගෙ ඉස්කෝලෙ පොත් රාක්කෙන්...
ReplyDeleteගුලි ගෙ පොත් විකුණන්ඩ කියෙන තැන් හොයල බලන්නංකො මං
මෝමෝ කියන්නෙත් හරිම අමුතු පොතක්!!! කුංච නාද කියන්නෙ මිනිස් මොළයක් බද්ධ කරපු අලියෙක්ගෙ කතාවක් විද්‍යා ප්‍රබන්ධයක්!!!
ඒ පාර තව පොත් මතක් වුණා
සාතී
ඇතුලුපුර වීර කුමරිය
මේක හරියන්නෙ නෑ
මං යනව
මට පෝස්ට් එකක් ලිව්වෑකි වගේ අද
පොත් තියේනම් මොකටද අනිත් දේවල්? මල්ලිගේ විත්ති මාත් හොයනවා. ගන්න තැනක් හම්බුනොත් කියන්න.
ReplyDeleteසරසවි එකේ පොත් රස්තියාදුවක් යන එක මගෙත් ප්‍රියතම වැඩක්.
දන්නවද.?? ඔය උඩ තියෙන සූත්තර පුංචා හා අනිත් පොත් ටික ඔක්කොම මගේ ගාවත් තියෙනවා.. අපේ අක්කගෙ පුතාට කියලයි ගත්තෙ, ඒ වුනාට ඌට ඒ ටික දෙන්න හිතෙන්නෙ නෑ.. :D
ReplyDeleteආ ඒක නෙවෙයි.. මොකද තාමත් Her Voice වහලා.!? සැප්තැම්බර් පස්වෙනිදා Open කරනවා කිවුවා නේද.??
ReplyDeleteසාහිත්‍ය මාසේ හන්දද මන්දා කට්ටිය මේ දවස්වල වැඩි වැඩියෙන් පොත් පෝස්ට් දානවා !
ReplyDeleteහ්ම්ම්.. මමත් කියවන්න ගන්න ඕන අප්පා..
ReplyDeleteඅකුරු සුට්ටක් ලොකු කරන්ටකෝ හෆ්ෆා..
ReplyDelete:)පොතට නම් ඉතින් අපිත් ලැදියි ඔන්න..
කවිකඳුර,හිමගිර භික්ෂුණිය...කියන පොත් දෙක කියවල නැහැ මම
සූත්තර පුංචා නං පුංචි කාලේ විජය පත්තරෙන් කියෙව්වා. මාත් පොත කීප වරක් දැක්කා, නමුත් ගත්තේ නැහැ. මේ සැරේ පොත් මෙලාවේදී බලමුකෝ. රසවතී නම් කියවල නැහැ. ඔය තරම් රසවත් නං අනිවාර්යයෙන් කියවන්න ඕනේ. TG, "හොයිටි නම් හිවලා",ගේ කතාව කියවල තියෙනවද? ඒකත් අපූරු කතාවක්.
ReplyDeleteසරසවි පොත් හලට මම නම් යැවෙන්නේ කලාතුරකින්. සරසවි පොත් හල බොහොම ආකර්ශනීයයි තමයි, ඒත් ඒ ගොල්ලෝ සරසවි ප්රකාශනයකට වත් වට්ටමක් දෙන්නේ නැහැනේ. අනෙකුත් ප්‍රකාශන වලට කොහොමටත් නැහැ. මං වගේ දුප්පත් පොත් ගුල්ලෝ යන්න ඕනේ නුගේගොඩට නෙමෙයි, මරදාන පැත්තට.
මෙන්න පොත් ගුල්ලගෙන් අනෙකුත් පොත් ගුල්ලන් සහ ගුල්ලියන්ට TIPS;
යන්න මරදානට.
ආනන්ද විද්‍යාලය අසල තියෙනවා "ගොඩගේ පොත් මැදුර". ගොඩගේ මහත්තය ගොඩගේ ප්‍රකාශන වලට අවම වශයෙන් 20% වත් වට්ටමක් දෙනව. ගොඩගේ පාඨක සමාජයට බැඳුනොත් (රු.200/ ක් ගෙවා) ඉන් ඉදිරියට ගොඩගේ ප්‍රකාශන වලට 25% ක වට්ටමක් ලබාගතහැකියි. අනෙකුත් ප්‍රකාශන වලට 10% වට්ටමක් ලැබෙනවා. ඒ කියන්නේ සරසවි ප්රකාශනයක් සරසවි පොත් හලකට වඩා අඩු මිලට ගන්න පුළුවන්.
ඊළඟට පාර මාරුවෙන්න.
එස්. මහින්ද මාවතට හැරෙන්න. (එස්. මහින්ද හිමියන්ගේ සහ සෝම හිමියන්ගේ පිලිරූ තියෙන නිසා සොයා ගන්න ලේසියි.) ඔන්න එක පැත්තක සූරිය ප්‍රකාශකයෝ. අනෙක් පැත්තේ දයාවංශ ජයකොඩි සහ සමාගම. ඒ දෙගොල්ලොම ගොඩගේ වගේම ස්වීය ප්‍රකාශන වලට අවම වශයෙන් 20% වට්ටමක් වත් දෙයි. අර වගේම අනෙකුත් ප්‍රකාශන වලට 10% හෝ 15% ක වට්ටමක්.
තවත් පොත් සාප්පුවකට යන්න කැමති නම් ආයෙත් පාර මාරු වෙන්න. (ගොඩගේ පැත්තටම). දැන් ආනන්ද බාලිකාවට යන පාරට හැරී (පාරේ නම අමතකය) තරමක් දුර ඉදිරියට යන්න. වම් පසින් ඔබට "සමයවර්ධන" ප්‍රකාශකයන් දිස් වනු ඇති. අර තරම්ම ආකර්ශනීය නැතත් ඒ අයත් වට්ටමක් දෙයි.
පොත් සාප්පු චාරිකාව තව ඉදිරියට ගෙන යාමට අවැසි නම් දැන් බස් එකක නැගී පුංචි බොරැල්ලට යන්න. පාස් පෝට් කාර්යාලය අසලින් බැස නැවත පාර මාරු වෙන්න. ඔන්න තියෙනවා, "විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය". ගොඩගේ හා සමානවම මේ අයත් වට්ටම් දෙනවා.
ඉතිරි කොටස දෙවන කමෙන්ටුවේ.
කතාව ඇත්ත . මටත් ගියපාර හිතුන සරසවිය එච්චර හරි නැහැ කියල . හැබැයි මන් පොත් ගොඩක් ගත්ත නිසා පොඩි වට්ටමක් දුන්න මුළු බිලටම . ඒකත් මන් ඉල්ලුව නිසා . මන් ඉතින් ලඟපාත නිසා හදිසියට ගොඩ වෙන්නේ . ඉස්සර නම් ඔය කිව්ව පොත් සාප්පු වලට නිතරම ගියා .පරණ පොත් හොයා ගන්න ඔය පළාත තමයි හොඳ . මන් හිතන්නේ ඉස්සර ඉඳන්ම මුද්‍රණ අංශයේ වැඩ වදියක්ම කෙරුනේ ඔය මරදාන හරියේ . අපේ තාත්ත වැඩ කලෙත් ඔය මුද්‍රණ අංශේ . ඔෆ්සෙට් එන්න කලින් බ්ලොක්ස් හදපු කාලේ . පස්සේ ඔෆ්සෙට් මුද්‍රණය ආවත් තාත්තලට වැඩ තිබුණා. ඒකත් හරි ලස්සන කලාවක් . බලන් ඉඳල තිබුණට හරියට මතකයක් නැහැ කල විදිහ . දැන් අහගන්න විදිහකුත් නැහැනේ . ඉස්සර පොත් කවරයක් කලහම අලුත්ම පොතක් තාත්ත ගෙදර ගෙනාව . එහෙම තමයි අකුරු කියවපු ගමන්ම කරුණාසේන ජයලත්ල , එඩ්වඩ් මල්ලවාරච්චිල පවා අඳුන ගත්තේ . ඇත්තම කියන්න ඔය මුද්‍රණ කර්මාන්තය අපේ ජිවිත වල ගමන තීන්දු කළා කියන්න පුළුවන් . දවසක ඒ ගැන ලියන්න ඕන අතිශය පුද්ගලික වුනත් .
Deleteඅනේ, ලියන්න. අපි ආසාවෙන් කියවන්නන්.
Deleteඒ ඒ පොත් හලෙන් ඒ ඒ පොත්
ReplyDeleteගොඩගේ සාප්පුවේ;
පරිවර්තන ලෝලීන්ට තෝතැන්නක්.
සිරිල් සී. පෙරේරා මහතා පරිවර්තනය කළ සියලුම පොත්:- යුද්ධය හා සාමය, කරමසෝ සහෝදරයෝ, පෙරලූ නැවුම් පස, වෘකයන් අතර නග්නව, මහල්ලා සහ මුහුද, ඩි කැමරොන් හෙවත් දස දවස, දිබ්බ චක්කු, ගැඹුරු මුහුද ආදී........
වෙනත් පරිවර්තකයන්ගේ පරිවර්තන රැසක්.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ - විලාසිනියකගේ ප්‍රේමය, මලවුන්ගේ අවුරුදු දා, මල ගිය ඇත්තෝ, නාට්‍ය පිටපත් ආදී....
සයිමන් නවගත්තේගම, කේ. ජයතිලක, ඒ වී සුරවීර, ටෙනිසන් පෙරේරා, ඩබ්. ඒ. සිල්වා, ජී.බී සේනානායක යනාදී ලේඛකයන්ගේ කෘති.
මහගම සේකරයන්ගේ සියලුම පද්‍ය කෘති.
සුචරිත ගම්ලත් ගේ සියලුම විචාර කෘති.
සුනිල් ආරියරත්නයන් ගේ සියලුම පර්යේෂණ කෘති.
මෙකී නොකී බොහෝ කෘති ගොඩගේ ප්‍රකාශන ලෙසින් 20%ක වත් වට්ටමක් සහිතව ලබා ගත හැකිය.
සූරිය ප්‍රකාශකයින් වෙතින්;
පැරණි ලක්දිව ගැන ඉංග්‍රීසි ජාතිකයන් අතින් ලියවුනු පොත්.
ආර්. එල්. ස්පිට්ල් ගේ සුදු ගෝණා, සුදු වද්දා වැනි කෘති. අගේ දියණිය ක්‍රිස්ටීන් ලියූ ඉංග්‍රීසි කෘති සහ ඒවායේ පරිවර්තන,
ඒ පී ගුණරත්නයන් විසින් පරිවර්තිත "වානරයා" වැනි කෘති.
ආදී............................
දයාවංශ ජයකොඩි සහ සමාගම;
ජයසේන ජයකොඩි ලියූ පිච්ච මල ආදී කොට ඇති සියලුම කෘති.
සෝම හිමියන් ගේ දේශනා ඇතුලත් කෘති.
කේ. ජී. කරුණාතිලකයන් විසින් පරිවර්තිත සියලුම කෘති; ඔතෙලෝ, වානරයන් ගේ ටාසන්, බිම්ගෙයි සිරකරුවා, ඈ හෙවත් අයේෂා, කෝනාන්, බැස්කර්විල් දඩ බල්ලා, රුද්රප්රයාගයේ මිනී කන දිවියා ආදී..........
දයාවංශ ජයකොඩි මහතා විසින්ම රචිත 'සිංහලයේ ජාතික සටන්' වැනි කෘති.
ආදී.............................
සමයවර්ධන;
Charley and the Chocolate Factory ලියු රෝල් ඩාල් ගේ කෘති බොහොමයක ඉංග්‍රීසි පිටපත් මෙන්ම සිංහල පරිවර්තන.
නා නා විධ ඉංග්‍රීසි පොත පත; ඉංග්‍රීසි බැස ඉගෙනීමට අදාළ වටිනා කෘති ඇතුළුව.
(මෙහිදී එතරම් ආකර්ශනීය වට්ටමක් නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.)
විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයේදී;
සරත් විජේසූරිය මහතා ගේ සියලුම කෘති. - නිරානන්දය ආදී....
ගාමිණී වියන්ගොඩ මහතා විසින් පරිවර්තිත පැරණි සහ නව ලෝක සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘති:- කොරලා කාලේ ආලේ, අනුන්ගේ ලේ, හිරු බැස ගිය පසු, රෑ මාතා, ප්ලේටෝ පත්‍රිකා, වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි ආදී.......
ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද විසින් පරිවර්තිත කෘති සියල්ලම පාහේ.
තවත් නොයෙක් කෘති.......................
තවත් අයගේ ප්‍රයෝජනය තකා මේ කමෙන්ටු දෙකම වෙනම පොස්ටුවක් ලෙස මකරන්දයෙහිද පල කළහොත් හොඳ යයි දැන් සිතේ. TG ඒ ගැන අමනාප නොවනු ඇතැයි සිතමි.
රසවත් පොත් , පොත් ගැන රස මතක,, රහ පොත් තියෙන ඉසවු ඕනෑම දෙයක් ගැන ලියන්න පොත්ගුල්ලට අවසරයි .බොහොම ස්තුතියි වෙලා අරන් ගොඩා විස්තර ලිව්වට
ReplyDeleteමට පොඩි කාලේ කියවපු පොත් කියනකොට මතක් වෙන්නේ මෙන්න මේ වගේ ඒවා. Poky Little Puppy, Shy Little Kitten, Tawny Scrawny Lion….
ReplyDeleteමට ඒ කාලේ Tawny Scrawny Lion කටපාඩම්. අප්පච්චි බත් කවනකොට ඒ කතාව තමයි නිතරම කියන්නේ. අම්මා ඒකට මම කන පිඟානේ එව්වා එකතු කරලා කියනවා. ඉතින් බතුත් රහයි. පොතත් රහයි…:D
අම්මෝ...පොත් ගැන කතා කරන ගියොත් ඉවරයක් වෙන්නේ නෑ ඉතින්...
ReplyDelete