අප්‍රේල් 14 අලුත් අවුරුදුදා උදේ මගේ නවාතැනට පෙනුන මච්චපුත්‍රි කන්ද |
වයි ෆයි විත් කොෆී |
යන්න කැමති කොහේටද |
පොකරා වල ට්‍රෙකින්ග් |
ඩේවිස් ෆෝල් වලින් අපි තුන්දෙනා සමුගන්නකොට හවස හයත් පහුවෙලා .ඒ ගමනේ විස්තර දැනගන්න ඕනෙ නම් මෙන්න මේ සටහන කියවන්නකෝ .ආයෙත් අපි නවාතැනට ආවා .එතකොට තමයි මතක්වුනේ අද අප්‍රේල් දහතුන්වැනිදා අලුත් අවුරුදු උදාවෙන්න තියෙන්නෙ තව පැය කීපයය් විතරයි.ඔන්න ඉකමනට අපි එන පාරේ තිබුණ කෝල් සෙන්ටර් එකකට ගිහින් ගෙදර අයට කෝල් එකක් දීලා ලංකාවේ අවුරුදු සූදානම් ගැන ඇහුවා .
තවදෙයක් කියන්න අමතකවුනානේ .නේපාලයෙත් අපි වගේම අලුත් අවුරුදු සමරනවා අප්‍රේල් 14 වැනිදා .එදාට නේපාලයේ නිවාඩු දවසක් .අද 13 වැනිදා මැදියම් රැයේ නේපාලෙට අවුරුද්ද ලබන්නේ .අවුරුදු උදාව පොකරා වල සමරන්න ආව දේශීය සංචාරකයන්ගෙන් සහ අවුරුදු සැණකෙලි පොලවල් වලින් අඩුවක් නෑ. අපි තුන්දෙනා තීරණය කලා රෑ කෑමකට අවන්හලකට ගිහින් අවුරුදු උදාව සමරන්න .
පොකරා වීදී සහ අවන්හල් අලුත් අවුරුදු උදාව වෙනුවෙන් බොහොම කලබල වෙලා.මමත් සෑම් සහ මෝනා එක්ක ලේක් සයිඩ් වල තිබුණ අවන්හලකට ඇවිදගෙන ගියා.පාර දෙපැත්තේ අවන්හල වල බොහොම ආකර්ෂනීය දැන්වීම් පුවරු ප්‍රදර්ශනය වෙනවා .අවුරුදු උදාවට සංගීතය ,නැටුම් ආහාර පාන සමගින්හැම අවන්හලක්ම විදුලි බුබුලු වලින් අලංකාරවෙලා . සමහර තැන්වල නේපාල් ජනගී ජන නැටුම් .තවත් තැනක ඩී ජේ නැටුම් , රෙගේ , රස්තා ,හෙවී මෙටල් මියුසික් වාදනවා වෙනවා .හැමතැනින්ම එන්නේ එන්න , කන්න බොන්න , ප්‍රීතිවෙන්න ඇරයුම්.වීදි දිගේ ඇවිදගෙන යද්දී මම හිතාගෙන්න උන්නේ අපි නේපාල් ජන ගී නැටුම් තියෙන අවන්හලකට යාවි කියලා .
ඒත් ඉතින් හැමවෙලාවෙම අපි හිතන දේ වෙන්නෙ නෑනේ .අපේ ගමන කෙලවර වුණේ කන පැලෙන්න හෙවි මෙටල් මියුසික් වාදනය වෙන මන්දාලෝකයෙන් යුත් අවන්හලකින්.එතැන මෝනාගේ තව මිතුරියක් අපි එනකන් බලා හිටියා .හ්ම්ම්...සංගීත කණ්ඩායමක් ගී ගයනවා ඒ එක්කම එන සද්දේ පපුව දෙදරවාගෙන යනවා. මට ටිකක් අපහසු බව තේරිලාද කොහෙද මෝනා යෝජනාකලා අවන්හලේ පිටත ආලින්දයේ කුෂන් අතුරලා තිබුණ මිටි මේසෙක අසුන්ගන්න .මෙතැන කන පැලෙන්න සංගීතේ වුණාට විදේශීය සංචාරකයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය තැනක් .කවුරුත් රිසි ලෙස තම කමති මධු විත තොලගානවා මද අඳුරේ.සමහරු පාකිස්තාන් ජාතිකයො දුම් බොන දුම් පයිප්ප වලින් දුම් උරනවා .අපි කෑමත් බීමත් ඕඩර් කලා .
කෑමට සැන්ඩ්විච් එකක් ඕඩර් කරලා බලන් හිටියා .අමුත්තෙකුත් ඉන්න නිසා බකමූණෙක් වගේ රවන් ඉන්නත් බෑනේ .ටිකක් අනික් අය එක්ක කතාකරලා ආයෙත් නිහඬවුණා.කන පැලෙන සංගීතේ මැද්දෙන් කතාකරන්න වෙන්නෙත් මහ හය්යෙන්නේ.අනික් තුන්දෙනාට කතා බහ කරන්න සතුටුවෙන්න ඉඩදීලා මම පොටෝ කීපයක් ගත්තා . වටපිට හැරිලා අහල පහල බැලුවා.මට පිටිපස්සේ මේසේ ඉන්න තරුණ විදේශික යුවලක් කාඩ් සෙල්ලම් කරනවා .ඉස්සරහ මේසේ වයසක යුවලක් ලොකු කතාවක .තව මේසෙක ලොකු පවුලක්ම වාඩිවෙලා අම්මලා, තාත්තලා, ලමයි, ආච්චිලා ,සීයලා හැමෝම එක්ක ලොකු වාදයක් රෑ කෑම ඕඩර් කරන්න.මෝනා එයාගෙ මිතුරිය එක්ක බර කතාවක් .සෑම් නිහඬව මගේ කැමරාවේ පින්තූර බලනවා .මට ඈනුම් යන්නත් එනවා .කඳුකර ගමනේ මහන්සියයි ,කන පැලෙන සංගීතෙන් ඇතිවුන විඩාවයි,නිදිමතකුයි ඇවිල්ල. ඔන්න යාන්තන් ඉතින් බිල ගෙවලා එලියට ආවා .
තාම මහපාරේ සැනකෙලි සිරි .රෑ දයට විතර ඇති ඒත් කඩවල් අවන්හල් ඇරලා.පවුල් පිටින් බොහොමයක් උදවිය නගරේ ඇවිදිනවා .අපේ නඩේ ආයෙත් කයිවාරු ගහමින් අත් අල්ලන් ඇවිදගෙන යනවා . හිටිගමන් මම මග ඇරෙනවා ඒ පොටෝගන්න මග නතරවුණහම ".මචන් හරි අප්" කියලා අනික් අය කෑගහනවා .තුන්දෙනාම ආයෙ නතරවුණේ ග්‍රොසරි ශොප් එකක් ගාව. ආයෙත් ස්ප්‍රයිට් , බීර ,අල චිප්ස් අරගෙන නවාතැනේ අවුරුදු උදාව සමරන්න වගේ.
ඔය පාර්සල් එල්ලගෙන කාමරේට ගියාට පස්සේ මතක්වුනේ අපි හතරදෙනෙක් කියලා .ඉතින් ඇඳන් තුන එකතුකරා .මම පිටත ආලින්දයේ තිබුණ කුෂන් කීපෙකුත් ගෙනාවා. බීර බොන අයට වාඩිවෙන්න .එතකොට තමයි දැක්කේ යාබද කාමරේ දොරේ අලවල තිබුණ දැන්වීම .
If you are drunken you will not be Tattooed
මට ඒක දැකලා හිනා.වෙලාවට හෝටලේ කවුරුත් දන්නේ නෑ මම බීල නෑ කියලා.
බොන උදවියට ආවතේව කරල මමත් සෑමුත් දෙන්න අපි ඔක්කොගෙම කැමරාවල තිබුණ පොටෝ මගේත් මෝනගෙත් ලැප්ටොප් වලට ඩවුන්ලෝඩ් කලා .කැමරා බැට්‍රි චාර්ජ් වෙන්න තියලා අපි පින්තූර බැලුවා.සෑම්ට ඕනෙ පොටෝ සිලෙක්ට් කරලා ඒව එයාගෙ පෙන් එකට දැම්ම .අනික් දෙන්න බරටම වැඩ.මොකක්දෝ පරණ ප්‍රේමවන්තයො ගැන කතාවක්.අපි ඒකට බාදා කලේ නෑ.ඉඳහිට ඔහොම පරන තුවාල කොනිතිගහන එක කාගෙත් පුරුද්දක්නේ.ඔන්න ඒ අතරේ ඩෝං පටෝං සද්දෙට රතිඤ්ඤා පුපුරනවා මුලුනගරෙම .මැදියම් රෑ දොලහ පහුවෙලා .නේපාලෙට අවුරුදු උදාවෙලා ,මමත් සෑමුත් අපේ කාමරේ ජනේලෙන් පිටට පැනලා බැල්කණියට ගියා . අහල පහල ගෙවල් වල උදවිය නිලා පත්තුකරනවා ,සමහරු අනික් අයට අතවනමින් අවුරුද්දට සුබ පතනවා .පොකරා අහස එකම මල්වෙඩි සැණකෙලියක්.අපි හතරදෙනත් එකිනෙකා වැලඳගෙන අලුත් අවුරුද්දට සුබ පතාගත්තා.නිදාගන්න ගියේ කොයි වෙලාවෙද කියලනම් මතක නෑ.
මම පහුවෙනිදා 14 වැනිදා අලුත් අවුරුද්ද දවසේ උදේ ඇහැරුනේ මෝනගේ සද්දෙට .එයා කෑගහනවා ජනේලෙ දිහා බලාගෙන
"Machan look at this virgin Machchapucharee , it's a sunny day , I am excited man , isn't it amazing "
ඇත්තටම ඒක හරි අපූරු දර්ශනයක් . මම වහ වහා මගේ කැමරාවත් අරන් ඉහල මාලයේ විවෘත බැල්කණියට ගියා . වෙලාව උදේ අටට විතර.මුලු නගරයම අලුත් හිරු කිරණින් නෑවෙනවා .හරිම පැහැදිලි අහසක් .හීතල සහ අඳුරු මීදුම කොහෙන් ගියාද කියලා දන්නේ නෑ. අන්නපුර්ණා වැටියේ කඳු මුදුන් දෙකක් වෙන මච්ච පුත්‍රි -Machchapucharee (Fish tail) සහ හිමචූලි- Hima chuuli ඉහල අහසට නැගීහිටින අපූරුව මෙතැනට හොඳින් දිස්වෙනවා. පොකරා එන ඕනෙම සංචාරකයෙක් සතුටුවෙන දසුනක් මගේ ඇස් ඉදිරියේ තියෙනවා.මච්ච පුත්‍රි කන්දට ඒ නම ලැබිල තියෙන්නෙ මාලුවෙකුගේ වලිග කෙලවර වගේ දෙකට බෙදුන මුදුන් දෙකක් ඒට ඇතිනිසා.ඇත්තෙන්ම මේ කන්ද හඳුන්වන්නේ මච්ච පුත්‍රි කන්‍යාව ( Virgin Machchayapucharee ) කියලා .ඒකට හේතුව කිසි කෙනෙක් තාම මේ හිමෙන් වැසුන ගිරි මුදුන තරණය කරලා නැති නිසා . ඒක තරමක් අවදානම් දෙයක් නිසා නේපාල් රජය එය තහනම් කරලා තියෙනවා . කඳු වල පින්තූර ගන්න අතරේ මම දැක්කේ සාම ස්තූපයත් ඈතින් දිස්වෙනවා
මම කඳුවල ඇති තරම් පින්තූර අරගෙන අලුත් හිරු කිරණත් විඳලා පහලට බැහැලා අනිත් කමැලියොත් නැගෙට්ටෙව්ව. අද අප්‍රේල් 14 අලුත් අවුරුද්ද .කට්ටියම ඇඳ පැලඳගෙන වීදි සංචාරයක් යන්න එලියට බැස්සා. අවුරුදු ඇඳුම් අඳන් ගමන් බිමන් යන පවුල් වලින් පාර පිරිලා.කාන්තාවො විචිත්‍ර රතු වර්ණ සාරි ඇඳලා තිලක තියලා හරි ලස්සනයි .
වට පිට බලබලා යනකොට තමා දැක්කේ එක අවන්හලක නාම පුවරුව Restaurant Once Upon A Time !!.මම එතන ඉඳන් වරුවක් විතර හිනාවෙලා තව ඉස්සරහට යනකොට ගෙස්ට් හවුස් කීපෙක නම් සඳහන් නාමපුවරුවක් මෙන්න මෙහෙම තියෙනවා Karma Guest House , Lonely Guest House , Nirvaana Guest House නරක නෑ කර්ම නවාතැනට ගිහින් කරපු කර්ම ගෙවලා , Lonely නවාතැනේ ටිකක් බණ බාවනා කරලා .....නිර්වානෙට යන්න පුලුවන් .තව තැනක ට්‍රැවල් ඒජන්සියක් හඳුන්වන්නේ Boomarang Travel Agents කියලා , මට කල්පනාවුනේ එක ගමනකට විතරක් මෙතනින් ටිකට් ගත්තම ඇති කියලා මොකද රිටර්න් එක ඉබේ ලැබෙනවනේ.මම මේ දැන්වීම් පුවරු රසවිඳිදී මෝනා කිව්වේ Machan this is Pokharaa , You just name it ! Its there ! කාටහරි ඕනෙ නම් මෙහේ ටොම් ඇන්ඩ් ජෙරී සාප්පුවක් වුණත් දාන්න පුලුවන් . අපරාදෙ කියන්න බෑ පොකරා වල හැම ගහක් ගලක් යටම ෆ්‍රී.WI FI තියෙනවා . සමහර රෙස්ටුරන්ට් වල දැන්වීම් තියෙන්නෙ "ටේක් අවේ කොෆී විත් වයි ෆයි කියලා .අපිත් වැඩි කලබල නැති "වයි ෆයි "රෙස්ටුරන්ට් එකකට ගියා උදේ කෑමට . පාස්වර්ඩ් එකකුත් ඉල්ලන් , කෑමත් ඕඩර් කරල ආයෙත් මෝනයි මමයිපැයකට වැඩිය කයිවාරුව අපේ රාජකාරි වැඩ කටයුතු ගැන.සෑම් ලහි ලහියේ මූනු පොතට ඊයෙ ගත්තු පින්තූර දානවා.
කාල බීල ආයෙමත් අපි පාරදිගේ අත් අල්ලන් කියව කියව යනවා වට පිට බල බල .ඔහොම මග තොට බලමින් ඉබාගාතේ යන කිසි වගකීමක් නැති සංචාරකයෙක් වීමේ සතුටක් තියෙනවා. ඒපාර අපි ගොඩවුණේ විසිතුරු බඩු තියෙන සාප්පුවකට . මෝනා සහ සෑම්ට එතැන හොඳටම හිත ගිහින් . මම ඉතින් ඔය ඇට මාල වලලු වැඩි පාවිච්චියක් නැති නිසා එලියට ඇවිත් අහල පහල සාප්පු දිහා බල බල හිටියා . එක සාප්පුවක පෂ්මිනා සාලු විකුණනවා.Just Feel Me Dear Humane කියල පුවරුවක් සාලුවේ ගහලා.පෂ්මිනා කියන්නෙ බැටලු ලොම් වලින් හදන සාලු වර්ගයක් .බොහොම සැහැල්ලුයි .සීත කාලෙ උණුසුම රඳවනවා.හොඳම පෂ්මිනා සාලුවක් ග්‍රෑම් 5 ක් වත් බර නෑ . එයින් එකක් ඩොලර් දෙසීයකට වැඩියි . පෂ්මිනා බලලා අහවර වෙලා මම ටී ශර්ට් එම්බ්‍රොයිඩරි සාප්පුවකට ගොඩවුණා. නේපාලෙට ආවේණික අන්නපූර්ණා , හිමාලයා, යෙටී ,ඕම් ලකුණ , යැක් ගවයන් , පැරණි පන්සල් වල රූප ටී ශර්ට් වල එම්බ්‍රොයිඩර් කරලා විකුණනවා .ටින් ටින් කාටූන් එකේ චරිතත් ඉන්නවා. මම පහුගිය වතාවේ ටින් ටින් ටී ශර්ට් එකක් ගත්ත නිසා මෙදා පාර අන්නපූර්ණා වැටිය දැක්වෙන ටී ශර්ට් එකක් මිලට ගත්තා .ලඟ තිබුණා ලස්සන රෙදි බෑග් විකුණන කඩයක් .ඒක නේපාල රජයේ ආධාර ලැබෙන කාන්තාවන් සඳහා ස්වයං රැකියා සපයන කර්මාන්තයක් .එතැන ලස්සන බෑග් මහලා විකුණනවා . හිත හිතා ඉන්නෙ නැතුව රෙදි වලින් මැහුව ලැප් ටොප් බෑග් එකකුත් ගත්තා .ඔන්න මම මගේ ශොපින් එවර වෙලා වට පිට බලනකොට දැක්කේ මෝනයි සෑමුයි දෙන්න මාව හොයනවා .
අපි පොකරා ගමන හමාර කරන්න ආයෙත් පිව්හා විල වටේ රවුමෙන් ඇවිදගෙන නවාතැනට ආවා.දැන් හවස එකට විතර ඇති . මමයි, සෑමුයි අපේ පොකරා ගමන අහවර කරලා කත්මන්දු පිටත්වෙන්න ලෑස්තිවුනා.අපේ ආපසු ගමනත් බස් එකෙන්ම තමයි .මෝනා හෙට ඉඳලා ඇගේ රාජකාරි කටයුතු පටන්ගන්න පොකරා වල රැඳෙනවා . මම එයාගෙන් සමුගත්තේ ආයෙත් වතාවක් නේපාලෙට එන පොරොන්දුවෙන්. අපි එකඟ වුණේ ඊලඟ වතාවේ බස් එකෙන් ලුම්බිණි යන්නත් ,අන්නපූර්ණා බේස් කෑම්ප් එකට යන්නත් . ඔහොම හීනයක් හිතේ තියාගෙන තමයි මම අප්‍රේල් 15 නේපාලෙන් සමුගත්තේ .
ප/ලි
හිමාල මිටියාවතට ගිය ගමන් කතාව මෙතැනින් අවසන් වෙනවා . මම පොකරා වල රැඳුනේ දින දෙකකටත් අඩු කාලයක් .නමුත් එයින් ලැබුණ සතුට නම් නිමක් නෑ.ඒකටම එකතු වුණ ප්‍රිය මිත්‍ර සමාගම ඒ සතුට දෙගුණ කලා