Showing posts with label නමක් නැති කතා. Show all posts
Showing posts with label නමක් නැති කතා. Show all posts

Monday, September 10, 2012

Shattered Dreams

From Sunday Times 9th Sep 2012 


අද දවල් කැමකාලා ටිකක් වෙලා ඉරිදා පත්තර පෙරලද්දි දැක්ක දේකින් හද සසල වුනා .2012 සැප්තැම්බර් 9 වෙනිදා සන්ඩේ ටයිම්ස් පත්තරේ මුල් පිටුවේ දුටුව ඡායා රූපයක් .ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය ගැන විසඳුමක් ඉල්ලලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පෙත්සමක් භාර දෙන්න ගිය සිසුන්ට පොලීසිය ප්‍රහාර එල්ලකරද්දි ඉතා දුක් බර මුහුණකින් තම හැඬුම් පිටවනු නොදී කඳුලු වගුරන්න ඔන්න මෙන්න තරම් මූණකින් යුත් තරුණ සිසුවෙක් .

එහි ලියවී තිබුණේ අපේක්ෂා භංගත්වය
ජීවිතේ සියලු පැතුම් සුණු විසුණු වූ වග

ලංකාවේ අධ්‍යාපනය ඉතා තරඟකාරියි .එය කවුරුත් අවිවාදයෙන් පිලිගන්න ඕනේ . විව්ධ මත තියේවි මේ ක්‍රමේ ඇතුලේ පාඩම් කරලා , කිසි බාහිර වැඩක් නොකර මොනවත් නොදැන කැම්පස් සිලෙක්ට් වෙන ගිරා පෝතක ලමයි කියලා  . ඒත් මේ අමාරු ක්‍රමේ ඇතුලේ කොහොමහරි යමක් දිනන්න හැම ලමයෙක්ම ලොකු කැප කිරීමක් කරනවා . තමන්ගේ ඉලක්කයක් වෙනුවෙන් නින්ද , කෑම නිදහස විවේකය , දෙමවුපියන්ගේ සල්ලි මේ සියල්ල යට කරලා මහන්සි වෙලා අන්තිමට ඔවුන්ට ලැබෙන ප්‍රතිඵල ලේඛණය අවුල් සහගත්ව් වුනහම ඇතිවෙන තත්වය මොකක්ද ?

අපේ රටේ සාමාන්‍ය කෙනෙක්ට සමාජ ඉණිමගේ - social ladder ඉහලට යන්න පුලුවන් පුලුවන් එකම විදිය අධ්‍යාපනය . අපේ ක්‍රමේ අඬු ලුහුඬු කම් තිබුණත් මේ රටේ සරසවියකින් තමන්ගේ පලවෙනි උපාධිය ගන්න හැමකෙනෙක්ම මහන්සි ගන්නවා .කාටත් ඕනේ දක්ෂයන්ගෙත් දක්ෂයෙක් වෙන්න . එක ලකුණක් දෙකක් නිසා දශම ගාණක වෙනසක් නිසා අවසානයේ කෙනෙක්ගේ සමාජ තත්වය , වැටුප වගේ ගොඩාක් දේවල් විසඳන්න පුලුවන් ක්‍රමයක් අපිට තියෙන්නේ .එහි හොඳ නරක කුමක් වුනත් අවුරුදු 18 ක් 19 ක් තරම් පොඩි වයසකදී ජීවිතේ තමන්ට ලබාගන්න පුලුවන් ලොකුම දිනුම ගත්තු මේ දරුවොන්ගේ හීන බිඳලා සුණු විසුණු කරන එක මොනතරම් අපරාධයක් ද ? උසස් අධ්‍යාපනය භාරව ඉන්න උදවිය මේ ගැන හිතන්නේ හරියට මොනවත් සිදු නොවුන විදියට .නමුත් මේ පරම්පරාවේ දරුවො අපේක්ෂා බංග වීමත් එක්ක යම් දවසක කලහකාරී පුරවැසියො හැටියට හැසිරුනොත් මම නම් දකින්නේ නෑ එහි වරදක් . ඔවුන් කිසි වරදක් නොකර බිහිසුණු ප්‍රපාතයකට ඇද දැමිමේ වගකීම තියෙන්නේ   වෙනත් පිරිසක් අතේ .

අධ්‍යාපනයට ඇති අයිතිය වගේම , අද්‍යාපන අවස්ථා  ලබාගැනීමේ අයිතියත් ( right to education /access to education ) රටක තිබිය යුතුයි .ඒත් අපේ රටේ මේ අවස්ථා ඉතා සීමිතයි .ඒ වගෙම පලවෙනි උපාධියක් හිමි කරගන්න මුදල් යොදවන්න හැමෝටම බැහැ .අපි කාගෙත් පලවෙනි උපාධිය අපි සම්පූර්ණකලේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් . එහි තේරුම සියල්ල නිකන් දීම කියන එක නොවේ .අධ්‍යාපන අවස්තාවක් අපිට හිමි වීම . පශ්චාත් උපාධියක් මුදල් ගෙවා ඉගෙන ගන්න හෝ ශිෂ්‍යත්වයක් මගින් ලබා ගන්න හැකියාව වැඩි .නමුත් පලවෙනි උපාධිය /වෘතීය සුදුසුකම් සඳහා එවැනි දේ සීමිතයි .සීමිත අවස්තා ඇති රටක ඒ වෙනුවෙන් තරඟකෙරුව දරුවොන්ගේ ඉරණම මෙබඳු වීම ඉතා කම්පාවට කරුණක් .

අපි ජීවත්වෙන රටේ මැතිවරණ හරි වෙලාවට තිතට ටිකක් ඇද නොවී තියාගන්න , දූෂිත නොවුන ප්‍රථිපලේ දෙන්න , අපේක්ෂකයොන්ට ඕනේ නම් නැවත ඡන්ද ගනින්නත් හැම චන්දෙකටම අසීමිතව රජයේ මුදල් යොදවලා  ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඇප කැප වෙලා අට පාස් නැති මෝඩ හරක් පාර්ලිමේන්තුවට /පලාත් සභාවට යවන්න තරම් උනන්දු වුනත්  උසස්පෙල විභාග ප්‍රතිඵලයක් නිවැරදිව දෙන්න නම් එහෙම  උනන්දුවක් නෑ .අනික් අතට නිද්‍රා සහගත සිවිල් සමාජයක් ,සුර පුර සොයාගෙන මයිග්‍රේට් වෙන්න සිහින බලන උගත් පන්තියක් , වැඩිය රටේ ප්‍රශ්න කරදර ගැන නොහිතා ෆේස් බුක් විප්ලව කරන එලිට් මිඩ්ල් ක්ලාස් එකක් ඉන්න රටක ආණ්ඩු ඕනේ තරම් පිස්සු නැටුවත් , මෙහෙම පොඩි කොල්ලො කෙල්ලො පාරේ කඳුලු ගෑස් කෑවත් කාටවත් කිසිම දුකක් හිත් අමාරුවක් නැති රටක අපි ඉන්නේ .අපේ ගේ දොරකොඩටම ඇවිත් ජීවත්වීමේ අයිතිය උදුරගත්තත් අපි නෙවේ හ්ම් කියන්නේ .ඒක සක් සුදක් සේ පැහැදිලියි .

ඉඳ හිට කරන මෙහෙම හුදකලා අරගල ඇරුනම ආයේ නම් අපිට බැරිවේවි දකින්න පොදු යහපතට වෙන රටේ වෙනස්කම් , මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටීම් . 88-89 ත් 92-94 කාලෙත් 71 අහලා තිබුණ දේත් ( මේ සියල්ල ඉතාම හොඳයයි නොකිව්වත් ) අනුව මිනිස්සු සමාජ වෙනසක් සඳහා සාර්ථකව හෝ අසාර්ථකව යම් යම් දේ කලා . ඒත් එවැනි දේ නම් ඉදිරියේ සිදු නොවේවි මේ නිද්‍රා සහගත වට පිටාව තුල .

මධ්‍ය ආදායම් ලබන රටක් වීම නිසා "කෑදර උගත් ධනවත් අලුත් මැද පන්තියක්" බිහිවීම එක්ක සමහර සමාජ ආර්ථික ප්‍රශ්න මොනතරම් අපි ලඝු විදියට දකිනවද කිව්වොත් කැමති කෙනෙක්ට සල්ලි ගෙවලා ඉගෙනගන්න පුලුවන් වෙන්න ඕනේ කියන අන්තගාමී මතේට අපි ගිහින් තියේ,  .ඒත් ගෙවන ගාන , ඒක හැමෝටම දරන්න පුලුවනිද , ඒ අවස්තා වැඩි දෙනෙක්ට විවර වෙනවද , නගර බද නොවන පිරිසට ඒ අවස්තා බෙදී යනවද , ගෙවන්න බැරි කෙනෙක්ට ඉගෙනගන්න තියෙන පහසුකම මොකකද , දරාගන්න පුලුවන් මිලකට ඉහල අධ්‍යාපනය දෙනවද වගේ දේවල් ගැන මේ කිසි කෙනෙක් කතා නෑ .

යම් දවසක මේ රටේ ඇති නැති මිනිස්සුන්ගේ පරතරේ නෙවෙයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ . හොඳ ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපන අවස්තා ලැබුණ හා නොලැබුන මිනිස්සුන්ගේ පරතරේ .එතකන් අපිට සාවධානව ඇස් කන් වහන් බලන් ඉන්න තියෙන්නේ චේ ගේ , කැස්ත්‍රෝගේ ටී ශර්ට් ඇඳලා , සේවු ද ඇනිමල්ස් ,මේක් පවර්ටි හිස්ට්‍රි, ප්‍රොටෙක්ට් හියුමන් රයිට්ස් කියලා ස්ලොගන් බ්‍රෑන්ඩඩ් ටීශර්ට් වල ප්‍රින්ට් කරගෙන අපේ කෑදර උගත් ධනවත්  අලුත් මැද පන්තිය හා එලිට් කට්ටිය ෆේස්බුක් විප්ලවේ කරනකන් එයාලගේ සී .එස් ආර් සල්ලි වියදන් කරලා කෝපරේට් ඩිනර් එකක් දාලා බාල් නටලා  .

Sunday, July 22, 2012

Mature Friendships


මගේ හොඳම මිතුරියක් වූ ඇයට ජීවිතයේ ඉතා සංවේග ජනක අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුණි.ඇගේ පවුලේ සමීපතම ඥාතීන් හා හිතවත් මිතුරු මිතුරියෝ ඒකී සංවේග ජනක මොහොතේ ඇය ලඟින්ම සිටියහ . සියල්ල අවසානයේ නොසිතූ විරූ මොහොතක තවත් හිතවත් අමුත්තෙක් පැමිණ සිටියේය . ඇගේ මිතුරියන්වූ අපි එන යන ඇගේ බොහෝ හිත්වතුන් දැන සිටි නමුත් මොහු මින් පෙර අපට හමුවී නැත .එදින හවස සියලු කටයුතු අවසානයේ ඔහුගේ ආගමනය සිදුවිය . එවෙලෙහි මා සිටියේ යා බද කාමරයක් ඇඳක් මත වඩි වී විඩා නිවමිනි . එවෙලෙහි මා සිටි කාමරයට ආ ඇය " මහන්සි නැත්නම් ටිකක් එලියට එන්න , මට කෙනෙක් හඳුන්වා දෙන්න තියෙනවා, හැබැයි බණින්න එපා " යයි අසරණ සිනාවක් සහිතව කිව්වාය .


ඉතා හිතවත් අපි උණුන් හා බැන වැදීගෙන නැතත් එකිනෙකාට අවවාද කරගත් අවස්ථා එමටය .එසේ තිබියදී ඈ මෙතරම් බැගෑපත්ව කියන්නේ කා ගැනද ?. ඔහ් හරි එහෙනම් මේ අර ගල් ඉබ්බාවත්ද ? ඒකද මේ තරම් මෙයා බැගෑපත්වෙන කාරණය ?'


"කවුද අමල්ද ඇවිත් ඉන්නේ ?"


මම අමුත්තක් නොපෙන්වා එහෙත් මැඩ ගත් කෝපයෙන් යුතුව එකවරම ඇසීමි


"ඔවු ඒ අමල්.. කැන් අයි ඉන්ට්‍රොඩියුස් යූ ටු හිම් ? ". ඇය මද තැතිගැන්මකින් කීවාය


අමල් මේ වංචාකාරයා ලැජ්ජ නැතුව ආව හැටි .මගෙ හිත තරහෙන් කෑ ගෑවෙව .එහෙත් හිතේ ඇති සියල්ල කටින් පිට කරන්න හොඳ වේලාව මෙය නොවේ.


"මට ගොඩක් මහන්සි දැනෙනවා ,ඔලුවත් කැරකෙනවා වගේ ...ටිකක් හාන්සිවෙලා ඉඳලා මම ඒ පැත්තට එන්නද ? අනික් යාලුවො ඉන්නවනේ ."


අමුත්තක් නොපෙන්වා මම කීවෙමි . මේපමණ වෙලා කඩිසරව එහා මෙහා දිව්ව මට දැන් හැදුන අමුතු මහන්සිය කුමක්දැයි ඇය අසුවේ නැත .


"කමක්නෑ රෙස්ට් කරන්න .මම එයාව පස්සේ ඉන්ට්‍රොඩියුස් කරන්නම් ".ඇය සෙමෙන් පවසා නික්ම ගියාය .


ඇය තාමත් සිටියේ සුදු වතින් සැරසීගෙනය . මුහුණ බොහෝ විඩාපත්ය . හරි හැටි නින්දක් ලැබුනේත් නැත. තව ඉටුකලයුතු වගකීම් රැසකි.ඒ මැද මොහු මෙතැනට මොකට කඩා පාත්වීදැයි මගේ හිතේ තද කේන්තියක් ඇති විය .


ඔහු මෙයින් තුන් වසකට පෙර ඇය හා බොහෝ හිතවත්ව සිටියේය .එකී හිතවත්කම් ප්‍රේමයකට ලියලා එන කල ඈ ඒ ගැන තම දෙමවුපියන්ටද දැන්වූවාය . එහෙත් අවසන නොසිතූ විරූ ලෙස ඔහු ඈ මග ඇරියේය .ඊට නිසි හේතුවක්ද නොවුනි .ඇගෙන් එන කිසිදු දුර ඇමතුමකට මාසයක් ගෙවෙනතුරු ඔහු පිලිතුරු නොදුනි.ඔහු ගැන පිලිබඳ සොයා ඇය සිත් තැවුලෙන් බොහෝ වෙහෙසුනි.අවසානයේ ඇය ,ඔහු ගැන පිලිබඳ ඇති වූ සිත අමාරුවෙන් ඉවතලූවාය . ඒ ඇගේ රාජකාරි දිවියේ බොහෝ කාර්ය බහුල වැදගත් සමයකි.එවැනි කලක මෙසේ හේතුවක් නොකියා ඇයට සිත් පීඩා කර මග හැර ගිය ඔහු ගැන මාතුල එතරම් ගරුත්වයක් ඉතිරිව නොතිබිණි .


"එයාට මේක ඉවර කරන්න ඕනෙ වුනානම් හරි කමක් නෑ ඉවර කරන්න තිබුණා .ඒත් මෙහෙම නෙවේ . නිකන් ඔයාව මග ඇරලා කඩේ යවලා පහත් විදියට හැසිරෙන්න ඕනෙද ?.ඇයි කෙලින් කීවෙ නැත්තේ . ඔයා මොන තරම් හිතින් වද වුනාද ඒ කාලේ ? "


ඔය බිඳුන පෙම් පලහිලව්ව ගැන විමසන කතා බහ ඇදුන හැම විටම තරහෙන් පුපුරමින් මම කියමි


මා හාන්සිවී සිටි ඇඳ අසලම අපේ තවත් මිතුරියන් දෙදෙනෙකි


"කවුද පණිවිඩේ කියලා තියෙන්නේ ?"


"කවුද ඉතින් අපේ එක්කෙනාම තමයි .අපිට යැව්ව එස්. එම්. එස් එකම එයාටත් යවලා "


"ඔහ් ..මිනිහට සේරම ඉවර වුනාම තමයි එන්න මතක් වුනේ එහෙනම් .පේන්නැද්ද කිසි වගකීමක් නැති කෙනෙක් වග ?.ඔය තරම කලින් දැනගෙනත් ඇඳන් ඇවිත් තියෙන්නේ රතු පාට ශර්ට් එකක් .මොලේ ඇති මිනිහෙක් කරන වැඩක්ද ? ඔහොම රතුපාට පිරිවැස්සක් එල්ලන් එන්නේ ?"


ඔවුන් අතරකින් බොහෝ කටකාර එකිය වූ හසී තරහෙන් බැන්ණ වදී .ඒ කතාවට කන් දෙන මට සිනාත් යයි .


මම ඇඳේ විට්ටමට කොට්ටය තබා හාන්සි වීමි


ඔහු නැවත ඇය මුලා කරාවිද ? ඈ සිටින්නේ තරමක් අසරණ තත්වයකය . එවැනි විටක ඈ මුලා කරන්න ඔහුට ලේසි වෙනු ඇත .එහෙත් මේ ඔවුන්ගේ පුද්ගලික ගණු දෙණුවකි . ඔවුන් එකිනෙකාට නැවත ආදරේකරනු හැකිනම් එය අපි වලකන්නද ? දෙන්නාම වැඩිහිටියන්ය .ඉතින් එහි ඇති වරද කිම ? ඒත් ඔහුගේ සත් භාවය විස්වාස කල හැකිද ?


දැන්නම් මගේ ඔලුව ඇත්තටම කැරකේ . මම සෙමින් අනික් ඇලයට හැරුණෙමි .


හසී හා රුවී කොහේ හෝ ගොස් ඇති හැඩකි .


"දැන් කොහොමද ඔයාට ? තාම ඔලුවේ කැකුමද ?"


නැවත මගේ මිතුරිය එතැනය .ඈ තාමත් සුදු පැහැ සාරියෙන් සැරසීගෙනය .
"ආ මේක බොන්න .ඇපල් සෝඩා"
ඈ සිනා මුසුව මා වෙත වීදුරුවක් පෑවාය . ඇපල් සෝඩා බොන්න මගේ ඇති පෙරේතකම ඇය හොඳින්ම දනී
"තෑන්ක්ස් . අමල් ගියාද ? "
මම වෙනසක් නොපෙන්වා කල්පනාකාරීව ඇසීමි .


"ඔවු ගියා ". ඇය සිහින් හිනාවකින් කිව්වාය


"හ්ම් සොරි ඒ වෙලේ මට මොනව වුනාද මන්දා .හරි මහන්සියක් දැනුනා .නැත්නම් මම එනවා ටිකක් කතා කරන්න .අපරදේ ."


මම ඔහුට කතා නොකිරීම ගැන සමාවට කාරණා එකතු කලෙමි .


ඈ තවමත් සිනාසීගෙනම මා දිහා බලා මගේ අතක් අල්ලා ගත්තාය .


"හ්ම් ..මම ඔයාව දන්නේ දැන් අවුරුදු ගාණක ඉඳන් .ඔයා ලේසියෙන් කෙනෙක් මග රින්නේ නෑ . විශේෂයෙන් කිට්ටුම යාලුවෙක්ගේ ඉල්ලිමක් .මේ තරම් දුවලා පැනලා වැඩ කල ඔයාට ඔය ටික මහන්සිත් නෑ . ඒත් මම දන්නවා ඔයා කෙනෙක්ට අකමැතිනම් කිසි වෙලාවක ඔයාට ඒක හංගන්නත් බෑ.කොහොමත් ඔයා පැහැදිලි බ්ලැක් ඇන්ඩ් වයිට් මනුස්සයානේ .අමල් ගැනත් එහෙමයි . මම දන්නවා ඒ කාලේ මම වින්ද දුක ගැන ඔයා ඉන්නේ එයත් එක්ක පුදුම තරහෙන් කියලා .ඒක නේද ඔලුවෙ කැකුමක් පිටින් දාලා මග ඇරියේ . ?"


ඈ මගේ හිත නිවැරදිව කියවා ඇති සැටිය .


සොරකම් කල එකෙක් අතටම හසු වූ සේ මම ලජ්ජා වීමි .


"මන්දා මට ලොකු තරහක් ආවා .සොරි මම එහෙම නොකරන්න තිබ්බ .අඩු තරමින් ඔයා මට ඇවිල්ල ඉන්ට්‍රොඩියුස් කරන්න හැදුව වෙලේ එක වචනයක් වත් ඇවිත් කතා කරන්න තිබ්බ'"


"නෑ ඒක හිතන්න එපා .අපි දෙන්න කාලෙක ඉඳන් යාලුවො .ඒ නිසාවෙන්මයි ඔයා නො ආවේ .ඒක මම දන්නවා . ඔයාට අයිතිය තියෙනවා ඕනෙ තරම් එහෙම කරන්න .ඒ අපේ යාලු කම නිසා .අමල්ට මම සමාව දුන්නත් ඔයා , හසීගෙන් එහෙම කිසි සමාවක් නැති බව දන්නවා .හසිත් ඔන්න කියව කියව එහාට මෙහාට දුව දුව මට බණිනවා .ජස්ට් ෆොර්ගෙට් ඉට් "


ඇය අවසන සැහැල්ලුවෙන් සිනා මුසුව කීවාය


කාලක ඉඳන් හඳුනන අපි එකිනෙකාගේ හොඳ මෙන්ම නුගුණ , නොහොඳ , හැසිරීම තරහයාම් ගැන ඉතා හොඳින් දනිමු .ඒවායේ හංගන්න දෙයක් නැත .එසේ වූවාය කියා අපේ යාලුකම අඩු වී නැත .එය හැමදාම වැඩි වෙයි .
මම ආයාසසෙන් සිනාවීමි .


"හරි හරි අපි ඔය ගැන නිවී සැනසිල්ලිලේ උඩ බැල්කණි එකේ මීටිමක් දාමු .බය වෙන්න එපා .මම ඉහල උසාවියට ඔක්කොම කරුණු කාරණා ඉදිරිපත් කරන්නම් ."


ඇය මා හිනාගස්වමින් කිව්වාය


ජීවිතයේ ඉතාම ශෝකී මොහොතකත් ඉවසිල්ලෙන් කතා බහ කරන්නත් ,නිරවුල්ව සිතන්නත් , විහිලුවකින් සිනා සෙන්නත් ඇයට හැකි වීම ගැන මම පුදුම වෙමි .







Thursday, May 3, 2012

ආදරණීය දම් පාට මල් වැල







මගේ සොල්දර බංගලාවේ 
කවුලු වලින් හොරෙන් එබුණ 


සති අන්තෙ උදේ පාන්දරත් 
නිවනක් නැතුව කච බච ගෑව 
දෙමලිච්චො ,බට්ටිච්චොන්ට 
නොමිලේ නවාතැන් සැපයුව 



රෑට අපේ කසු කුසු කතා 
හොරෙන් අහන් පවන් සැලුව 
ලේන් පැටවු උගුඩුවන්ට 
හොරෙන්ම ගෙට රිංගන පාර කිව්ව 


නම නොදන්න ආදරණීය 
දම් පාට මල් වැල 
අදට අපි වෙන්වෙලා 
හරියටම දෙවසරයි 

Saturday, March 24, 2012

තෑග්ග


ඒ දිගු දවසක නිමාවයි .හුරු පුරුදු පරිසරයෙන් හැතැක්ම දාස් ගාණක් එහා තනි  වී ඇත.වෙලාව වෙනස නිසා නිදිමත අහලක නැත. රෑ ගෙවාගන්න කෝපි එකක් බොන්න තද උවමනාවකුත් ඇත .සැහැල්ලු ඇඳුමක් ඇඟලා කෝපි බොන්න සිතා ලා නිල් පැහැ තරමක් ලොකු සැහැල්ලු ටී ශර්ට් එකත් එහිම කොටසක් වූ දනිස් තෙක් දිග සැහැල්ලු ලොකු කොට කලිසමත් අතටගත් ඇය ප්‍රකට වෙලඳ නාමයක් සහිත එහි ලේබලය දෙස බලමින් නොදැනීම කල්පනාවකට වැටුණාය .

දිනපොතේ අවසන් කල යුතු වැඩ ලයිස්තුව සටහන් වී ඇත .රාජකාරි වැඩ මෙන්ම ගමන යාමට පෙර සපුරා ලියයුතු පුද්ගලික වැඩ කටයුතු ද එහි සටහන් වී ඇත .වරින් වර පරිගණකයට එබෙමින් කලයුතු රාජකාරි අවසන් කරමින් ඒ අතර වාරයේ ලද අවසරයෙන් ඇඳුම් බෑග් පැක් කරමින් ,වැදගත් රාජකාරි දුර ඇමතුම් දෙමින් ,ගෙන යා යුතු පොත් පත් එකතු කරමින් ඇය එහා මෙහා දුවන්නීය.නවාතැන් කාමරය යක්කු නැටූ පිටිය මෙන් හැඩි වී ඇතත් එය අස්කිරීමෙන්ද පලක් නැත .කෙතරම් කාර්ය බහුල වුනත් කොහේ යතත් මේ ඇඳුම් බෑග් පැක් වෙන්නේ ඇගේ අතින්මය . පරිගණක තියර දෙසින් සිහින් සද්දයක් එයි .

"හලෝ ආ යූ රෙඩි විත් පැකින්ග් ?" 

ඇය දුව ඇවිදිමින්ම පරිගණක තිරය දිහා බලන් උත්තර බඳියි .සුපුරුදු ලෙස ගෙන යා යුතු දේ වල් නැවත මතක් කිරීම සිදුවෙයි . සීතලට අඳින අත් දිග ජර්සියත් ,රතු පැහැ මෝස්තර වලින් යුත් ඉන්දියානු සාලුවත් , නවාතැන මග තොට විස්තර සහිත කාර්යාලයෙන් එවූ ඊමේල් පණිවුඩ පිටපත් , අමතර උපැස් යුවල , කැමරාවට අයත් ආම්පන්න මේ වැදගත් ලයිස්තුවට හැමදාම වගේ ඇතුලත්ය .

"හරි හරි ඒ ඔක්කොම තියෙනවා"ඇය නැවත කලබලෙන් උත්තර දෙන්නීය .

"බලන්න ඔයා පිටත්වෙන වෙලාව ?"

නැවත පරිගණක තිරය දෙසින් අණ කිරීමකි .

"ප්‍රශ්නයක් නෑ තව ගොඩක් වෙලා තියේ .හෙට දවල් දොලහයි තිහටනේ "
. ඇය නොසැලකිල්ලෙන් උත්තර දෙන්නීය ,

"නිලූ හොඳට බලන්න ආයෙත් "එවර වඩාත් ඇගේ අවධානය ගන්නට වෑයම් දරන හැඩකි . 

මොන කරදරයක්දැයි හිතෙන් බනිමින් ඇය පිටත්වියයුතු වෙලාව බලන්නීය .දෙවියනේ ......ගමන පිටත්වෙන්න ඇත්තේ එදින එලිවෙන පාන්දර යාමයේ දොලහයි තිහටය .ඇගේ සියොලඟම සීතල වී යයි .තව වැඩි වෙලා නැත .දැන් වෙලාව හවස දෙකට පමණය . තව දෙපැයකින්වත් කොලඹ බලා යා යුතුය .තාමත් පැක් කර ඇත්තේ බාගෙටය .අද ගමන යන්න සූදානමක් කොහෙත්ම නොතිබුණත් නියමිත ලෙස මේ ගමන යා යුතේ අද මැදියම් රැයේය .

"කලබල වෙන්න එපා ,බය වෙන්න එපා .හිමින් පැක් කරන්න .වෙලා තියේ .මම උදවු කරන්නම් . ''

හැතැක්ම දාස් ගාණක් එහා සිට පරිගණක තිරය මත ලියැවෙන මේ වදන් හිතට අස් වැසිල්ලකි .පැය බාගයක් ඇතුලත හැම දෙයක්ම පැක් වී හමාරය .කොලඹ යන්න වෙන්කර තිබූ වාහනයටද නැවත කතා කර ගමන් වෙලාවේ වෙනස දැනුම් දී එය ගෙන්වාගැනීමට කටයුතු සිදුවුණි .

"කලබල වෙන්න එපා , ටිකක් මහන්සි අරින්න . මම කෝල් කරන්නම් ".නැවත පරිගණක තිරයෙන් මතුව එන වදන් පෙලකි . 

"පරිස්සමින් යන්න .මම ආයෙත් කතා කරන්නම් රෑට නිදිමත නොවෙන්න ."

 දුරකතන ඇමතුම අවසන් වන්නේ එසේය . නින්දත් නොනින්දත් අතරින් විඩාව මැදින් ගුවන්තොට බලා පිටත්වූ වෙලේ සිට වරින් වර ලැබුණ දුර ඇමතුම් නිසා නිදිමත නොවී ඉන්න පුලුවන් විය .අවසන් දුර ඇමතුම ලැබුණේ ගුවන් යානයේ දීය .

"ගිහින් ස්කයිප් කෝල් එකක් දෙන්න නැත්නම් සිම් එකක් අරන් කතා කරන්න ".ඒ ආයාචනයකි . 
"ඇති යන්තම් ෆ්ලයිට් මිස් නොවුනා" ඒ සමග විහිලුවකින් කතාව අවසන් වෙයි 

පැය දහයක පමණ වෙහෙසකර ගුවන් ගමනක් අග ඈ නවාතැනට ආවාය . දුර ඇමතුමක් හෝ ඊ මේල් පණිවුඩයක් යැවීමට වඩා තෙහෙට්ටුව නිවාගතයුතුය . නින්දක් නැතිව ගෙවුන දවස බොහෝ වෙහෙසකාරී නිසා නවාතැනට ආ ඇය වහා නින්දට වැටුණාය .ඇහැරෙන විට බොහෝ රෑ වී තිබුණි . අන්තර්ජාල පහසුකම් ලැබුනද එය එතරම් හොඳ සම්බන්ධතාවක් නොවීය .කෙසේ හෝ ඊ මේල් පණිවුඩ බලාගැනීමට හැකි විය .ඒ වනවිට ඇය කරදරයක් නැතිව ගමනාන්තයට ලඟා වූවාදැයි විමසා ඊ මේල් පණිවුඩ හතරක් ලැබී තිබුණි .යුහුසුලුව ඊට පිලිතුරු දුන් සැනින් නෝක්කාඩු බස් මුසු වූ පිලිතුරක් ඇයට ලැබුණි .ඇය ඊට පිලිතුරු ලිව්වේ තරහිනි .

"හිතන් ඇති මට වෙන වැඩ නෑ කියලා .මොනවත් කරගන්න බැරි පොඩි එකෙක් නෙවෙයි මම"  .ඈ තරහෙන් සිතන්නීය .සතියක්  යන තෙක් ඇය නැවත ඊ මේල් පණිවුඩ යැව්වේ නැත .දුර ඇමතුමක් දුන්නේත් නැත .එහෙත් ඇගේ දුක සැප විමසා ඊමේල් පණිවුඩ ගනනාවක් ලැබී තිබුණි . ඒ කිසිවකට උත්තර නොලිව් නමුත් ඇය ඒ සියල්ල කියවීමට අමතක නොකලාය .

"පවු සෑහෙන්න මං ගැන කරදර වෙනවා "ඇයට සිතුන වාර බොහෝය . 

ඔවුන් හමුවන්න හිතන් උන්නේ  දෙසැම්බර් අග නිවාඩුවටය . "සර්ප්‍රයිස් එකක් දෙන්නවා නොදැනෙන්න" ඇය හිතුවාය 

සුපිරි ඇඳුම් සාප්පුවකට ගිය වෙලාවක ඇයට මේ ලා නිල් පැහැ ටී ශර්ට් එකත් කොට කලිසමත් සහිත නිදන ඇඳුම නෙත ගැටුනි .එය ප්‍රියමනාපය . නිල් පැහැයට ඈ බොහෝ ප්‍රිය කලාය .එය සුව පහසු හා පිලිගත් වෙලඳ නාමයකින් යුත් ඉස්තරම් වර්ගයක එකකි .තරමක් මිලෙන් වැඩි වුවත් තෑග්ගකට කදිම නිසා දෙවරක් නොහිතා මිලට ගත්තාය . 

මේ තෑග්ග  මිලට ගත්තේ දැන් දෙවසරකට පෙරාතුවය .එහෙත් ඔවුන් සිතූ ලෙස ඒ දෙසැම්බරයේ අග එකිනෙකා හමු වූයේ නැත .ඒ දෙසැම්බරය යලි  උදා වූයේත් නැත .ඉන් පසුව ඇයට  බොහෝ ගමන් බිමන් යෙදුනි.ඒ සියල්ල ගැන වගබලා ගන්නට ඇයට සිදුවුනේ තනිවමය . දෙවසරක් ඇගේ අල්මාරියේ වූ නිල් පැහැ නිදන ඇඳුම මෙවර ඇගේ ඇඳුම් බෑගයට පැක් වී ආවේය .අවසානයේ තෑග්ග එහි නියම හිමිකාරයා වෙනුවට ඇයටම පරිහරණය කරන්න සිදුවී ඇත . 

Sunday, March 4, 2012

ලෙට්ස් හැවු අ කොෆී -Incomplete Stories




එලියේ වහිනවා හෝ ගාලා ඒත් මොකද්ද  ලතාවකට . ඔෆිස් කාමරේ ඒ සී එක ගොඩක් වැඩියි දහ නවයක් විතර සෙල්සියස් .මම කැමති වහිද්දී කාමරේ ඇතුලේ සීතලට තියෙන්න . සීත වැඩි නම්  අත් දිග ටී ශර්ට් එකක් තියේ ලොකර් එකේ .ඒක අඳිනවා . හ්ම් පසුබිමින් මම කැමතිම එල්විස් ප්‍රෙස්ලිගේ , නීල් ඩයමන්ඩ් ගේ හා නන්දාගේ  සින්දු වාදනය වෙනවා .මොනවදෝ අඩුවකුත් හිතට දැනෙනවා .ඔහ් හරි දැන් මතක්වුනේ 

ඉන්ටර්කොම් එකෙන් දෙසිය විසිපහට කෝල් එකක් ගත්තා 

"තිලක් ගාණට සීනි දාලා ,කිරි දාලා උණු උණු නෙස්කැෆේ ලොකු මග් එකක් ගේන්න "

'මිස් උදේට තේ බිව්වේ දැන්නේ "

"කමක් නෑ තව එකක් ගේන්නකො"

"හරි "

විනාඩි දහයකින් දුම් දාන නෙස්කැෆේ මග් එක  මේසෙ උඩ .මම හිමින් මග් එක අතින් අරන් වැස්ස දිහා බලන් සංගීතෙට කන්දෙනවා .මේ කාමරේ වෙන කවුරුත් නෑ . 

පර්ෆෙක්ට් ඩේ ටු ෆිනිශ් මයි රිපෝර්ට් කියලා හිතෙනවා ....හවස් වෙනකොට හොඳ රිපෝර්ට් එකක් ලියලා .එදා දවස ගෙවෙද්දී මගේ මේසෙ උඩ නෙස්කැෆේ  බීල හිස් වුන කෝප්ප පහක් විතර තියේ . 

***************

කෝල් එකක් 

"හලෝ ...අද ඔයා කොලඹද ? ,මොනවද හවසට ප්ලෑන් ?"

"මුකුත් නෑ .අද ඉක්මනට වැඩ ඉවරවේවි "

"හරි එහෙනම් යමු තුම්මුල්ලේ බැරිස්ටා එකට "

මම හිමීට ඇස් පියා ගත්තා .... රීඩ් ඇවනියු එක ,විසාල මහ ගස් , ග්‍රවුන්ඩ් එක බෞද්ධාලෝක මාවත , එලියේ සමර් හට් ,කැම්පස් එක, හුරු පුරුදු පරිසරය ....මට නොදැනී හීන් හිනාවක් මූණට ආවා 

"හරි මම හරියට පහමාරට එතැන " 

"ඕ කේ මම එනවා .ලෙට්ස් හැවු අ කොෆී" 

"යැන්කි ස්ටයිල්ද , මහ රැජිණගේ ක්‍රමේටද ?"

මම එයාට විහිලු කලා .අපි දෙන්නම මහ හයියෙන් හිනා වුනා 

මාස ගාණකින් අපි මුණ ගැහිලා සුපුරුදු  කතා  මල්ල ලිහුවා .ඇත්තම කිව්වොත් අපේ සාමාන්‍ය ජීවිතේ ඉඳලා ඔෆිස් වල තියෙ එදිනද මැනේජ්මන්ට් ප්‍රශ්න දක්වා .කතාව ඇදිලා ගිහින් නගර සංවර්ධනය ගැන අපි කියවනවා .මිනිසුන්ට ප්‍රිය මනාප නගර බිහි කරන්න ඕනේ සැලසුම් .... දුම් දාන ලොකු කැෆේ මෝචා දෙකක් හිස් වෙනවා .අහස කලු වෙලා පොද වැස්ස කඩන් වැටෙනවා .අපි සමර් හට් එක ඇතුලේ .පොද වැස්ස මහ වැස්සක් වෙලා , කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් වහිනවා .අපි තාම අර්බන් ප්ලෑනින්ග් .....සමර් හට් වල හිටි උදවිය ඇතුලට ගිහින් .අපේ කකුල් තෙමාගෙන වැහි වතුර ගලනවා .හිරිකඩ පින්න ගහනවා .හොඳටම රෑ වෙලා .ඒත් අපේ අර්බන් ප්ලෑනින් කතන්දර නැගලා යනවා .ඒ වෙනකොට අපි හිතමින් හිටියේ නගර වල උයන් හා කාණු පද්ධතිය සකස්විය යුතු ආකාරය ,අපේ රටේ සරසවි වල  වාස්තු විද්‍යා ,ඉන්ජිනේරු පීඨ වල සිසුන් අර්බන් ප්ලෑනින් ගැන දැන ගන්න ඕනෙ  වැදගත් ටෙක්නිකල් නොවෙන ඒත් මිනිස්සුන්ට හිතකර කාරණා . 

*************

එකක්ද ?දෙකක්ද ?වැඩ .කීයක් කියලා ඉවර කරනද ? කොටේෂන් ඇනැලිසිස් එක කරද්දී දැක්කේ ගොඩක් පරස්පර මතුවෙනවා .ඔඩිට් එකක් ආවොත් ඔක්කොම ප්‍රශ්න කරනවා ෂුවර් . හ්ම් ...දවල්ට කෑම කන්න ඕනේ .වෙලාව බැලුවා .ඔහ් එකයි... .තව පැය බාගෙකින් බ්ලැක්බෝර්ඩ් සෙෂන් එකක් ඔන් ලයින් .බත් කන්න වෙලා නෑ .පහල තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් ගාවට ගියා 

"මිස්ට නෙස්කැෆේ එකක් නේද ? ටේක් අවේ ද ?"

.එතන මල්ලි දන්නවා මම එන විදියෙන්ම ලිඩ් එකක් දාලා ටේක් අවේ නෙකැෆේ අරන් දුවන්න එන වග 

දවස ඉවර වෙනකොට හොඳටම හෙම්බත් වෙලා .හවස හතයි . තනියම නෙකැෆේ එකක් බොන්න යන්න හිත .පොද වැස්ස  ඒ අදහස අනුමත කලා වගේ . පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ කවුරුත්ම නෑ මේ වෙලාවට ඉඳ හිට පාන් ගෙඩියක් ගන්න එන කෙනෙක් ඇර .නිවී සැනසිල්ලේ වැස්ස දිහා බලන් දුම් දාන නෙස්කැෆේ එක තොලගානවා මම .ගෙවුන වෙහෙසකර ඒත් ඵලදායක දවසක් අග .ඒ අතර අම්මට කෝල් එකක් ගත්තොත් හොඳයි කියලා හිතුනා .අම්ම ඇහුවේ මගේ රෑ කෑම ගැන .අම්මල එහෙමයි .නිතරම අපි ගැන හිත කරදරෙන් .මම කිව්වේ මේ දැන් රෑ කෑම කන්න වාඩි වුනා විතරයි කියලා 

**********


ඔෆිස් එකෙන් පිට වුනේ ඔලුව බර වෙලා . මේ සැරේ ඒ මනුස්සයගේ ජොබ් කන්ට්‍රැක්ට් එක දික් කරන්න මට කිසිම ඉඩක් නෑ .මැනේජ්මන්ට් එක කියන්නේ රියදුරො අතිරික්තයක් තියේ .ඒ නිසා වන්දියක් එක්ක ගෙදර යවන්න කියලා . අවුරුදු තුනක් අපිව හැම තැනම පරිස්සමින් එක්ක ගිය මනුස්සයා . මිනිහට මම කියන්න කලින්ම මේක ආරංචිවෙලා . අත්සන් පොත ගාවට යද්දී දැක්කේ පියසේන තාම ඔෆිස් එකේ ඉන්නවා දැන් හයාමාරයි 

"මිස්" මනුස්සයා මා දිහා බලනවා බැගෑපත්වෙලා 

"මම දන්නවා මිස් මේ මන කන්ට්‍රැක්ට් එක දික් කරන්නේ නෑ "

අත්සන් පොත දාලා මම ආයෙත් ගිහින් රිසෙප්ශන් එකේ වාඩි වෙලා ඔහුට සන් කලා එතැන්ට එන්න කියලා 

"ඔවු එහෙම තීරණයක් තියේ . එත් කලබල වෙන්න එපා .මට සතියක් දෙන්න ආයේ මැනේජ්මන්ට් එක එක්ක කතා කරන්න .එතකන් කලබල නොවී ඉන්න ටිකක් "

"මම දන්නවා මිස් මට උදවු කලා හැම සැරේම .මට එකම ප්‍රශ්නේ මගේ පුතා උසස්පෙල ලියන්නේ මේ ගමන .වයිෆ් ගෙ ලෙඩෙත් අමාරු වෙනවා නිතර .දුව පොඩියි තාම .ඒකයි මම මේ ඉල්ලීම කලේ "

මම නවාතැනට ගියේ තාන්තුවාවෙන් .ඔක්කොම බෑග්  ඇඳ උඩට විසි කරලා රබර් සෙරෙප්පු දෙක දාගෙන ලේන් එක දිගේ ඉබාගාතේ ගියත් දෙපා  ඇදුනේ සුපුරුදු කෝපි හා ආප්ප කඩේට .

"බ්ලැක් කොෆී එකක් දෙන්න , කිරි එපා ,සීනි එපා .ආප්ප හතරක් දෙන්න පැයකින් .එතකොටම ප්ලේන් ටී ගේන්න "  මගෙන් විධානයක්

අවන්හල ඇතුලේ නිදහස්. කවුරුත් නෑ .එත් ටී වී එකේ මහ සද්දෙට සින්දු යනවා .කලු කෝෆි ආවා මේසෙට 

 "මේ ටී වී එකේ සද්දේ අඩුකරනවද ප්ලීස් ?"

මම තිත්ත කොෆි බිව්වා පැයක් තිස්සේ 

*********


Tuesday, January 31, 2012

පාර දිගේ




ඈ තම කාර්යාල සගයාත් සමග ලහි ලහියේ බස් නැවතුමට ආවාය

"සීමිතයක් තිබුණොත් හොඳයි වාඩි වෙලා යන්න" ඈ තමාටම කියාගත්තාය .සිතූ සේම හරි බරි ගැහී යන්න වැඩි සෙනගක් නැති ඉක්මනින් ගමන් අරඹන සීමිත නැවතුමක් වීය .

රාජකාරියට යන්න එන්න ගතවන දෙපැයේ ඈ කවදාත් මනාප මුහුද පැත්තේ ඇති අසුනක වාඩි වෙන්නය . යන එන මග උදේ හවා දකින මුහුදු තීරය කවදාවත් එපා වෙන්නේ නැත. එක දවසක් නොව දැන් අවුරුදු හයක් තිස්සේ මේ මුහුද හිරු නගින උදෑසනත් , ගිනි මද්දහනේත්  ,  ඉර අවරට යන හැන්දෑවේත් ඈ දකින්නීය .දින ,සති මාස අවුරුදු ගෙවුන ඉක්මන ...කාලය කවුලු දොරින් පැනයයි.රස්සාවට ගිහින් අවුරුදු හයකුත් මාස හයක් ගෙවී ඇත .හරියට අද ඊයේ වගේ ඈට හිතේ .මේ රස්සාවට එනවාට ඈ දන්න හඳුනන බොහෝ අයත් ගෙදර උදවියත් එක හෙලා අකමැති වූ නමුත් ඈ කැමැත්තෙන් ආවාය .දැන් ඉතින් ආපසු හැරීමක් නැති හැඩකි .ගලන ගඟක් කොහොම හරස් කරන්නද ?ආයේ ආපසු හැරී කොහෙන් නම් පටන්ගන්නද ?එනිසා ඈ රැකියාව ගැන අන් බසකට කන් නොදෙනු ඇත .


බස් රථය ගමන් ආරම්භ කර ඇත .සයුර දෙසින් බැසයන හිරුගේ රැස් වේගෙන් ඇදෙන රිය  කවුලුවෙන් ඇගේ මූණට පතිතවී ඇත .ඉමක් කොනක් නැති මුහුද දිහා බලන් ඇගේ හිත ඈ හා දොඩමළු වූ ලෙසකි ඈ කල්පනා කෝච්චියට ගොඩවෙලාය .එහෙම වූ විට ඈට තමන් අසලින් අසුන්ගන්නා සිය කාර්යාල සගයාත් අමතක වේ .ඔහු සුපුරුදු ලෙස ඈටත් එක්කම ටිකට් ගනී. 

ඇගේ කල්පනා ලෝකය බිඳෙන්නේ සිය කාරයාල සගයා විමසන පැනයක් දෙකක් නිසාවෙනි 

"ඔයා ගෙයක් හරි ඉඩමක් හරි ගන්න හොයන එක අත් ඇරියද ?"

ඔහුට කාන්සියට කතා බහට මාතෘකාවක් ලැබී ඇත .ඉන්න හිටින්න තැනක් ඉඩමක් කඩමක උවමනාව  ඇගේ හිතට දැනුනේ දැන් ටික කාලෙක ඉඳන්ය .එනිසා ඒ ගැන යම් හෝඩුවාවක් තිබුනොත් කියන ලෙස ඔහුත් දැනුවත් කලා මතකය .

"නෑ , එහෙමම නෑ ඒත් මේ දවස්වල මම හිතුවේ මෙහෙන් යනවද ඉන්නවද කියන එක . ඔය ඔක්කොම තීරණය වෙන්නේ මම ඊලඟට යන තැන අනුවනේ .ඇරත් මගේ වන්දිය නොගෙන මේව ප්ලෑන් කරන්න අමාරුයි" ඈ කල්පනාකාරිව කියන්නිය 

"ඔවු ඒක ඇත්ත"ඔහු එකඟවෙයි . 
"මේ දවස්වල ඉඩම් ගෙවල් ටිකක් ලාබයි .චාන්ස් එකක් ආවොත් අතාරින්න එපා "
ආයෙත් උපදෙසකුත් ලැබෙයි 

ඈ කල්පනා සයුරේ කිමිදෙන්නීය .හිටියොත් වන්දිය ලැබේ .ගියොත් නොලැබේ .දැන් ඈ ඉන්නේ වැට උඩය .ඒත් පනින්න පෙර හිතා බලන්න දේවල් ගොඩකි .හිටියොත් බැංකු ණයක් ගෙන යමක් කරගත් හැක .ගියොත් යා යුතේ වන්දිය අතැතිව මිස හිස් අතින් නොවේ .වන්දිය ලැබුනොත් කරන්නට බොහෝදේය ..ගෙයක් ගන්න ,බාගයක් ලීස් කරලා කාර් එකක් , නැත්නම් ඔක්කොම පැත්තක දාලා පොඩි කාලේ හිතූ සේ ඇගේ සිහිනයන් වූ   ,හිස හැරුන දිහා ඇවිදින්න කාගෙන් තහනමක්ද ? ඒත් තනිමතයට එහෙම යන්න පුලුවන් කාටද ? වයසට යන ලෙඩවෙන දෙමවුපියන් සිටිනා විට එහෙම දමා ගසා යා හැකිද ? ,හැමෝම හිතන්නේ ජීවිතය ගැන වැඩි බරක් පතලක් නොහිතා සිනා වෙන ඇය වැන්නියකට  එය  හරි  ලේසි වැඩක් කියාය .ඒත් ඒ අපහසු හැඟීම දනේ ඈම පමණකි .ඒත් හීන පොදියක බර ඇගේ ඔලුවේය .ඒ බර බිමින් තියන්නත් ඈ අකමැතිය .ගොඩ කල් උහුලා ඉන්නත් බැරිය .වෙහෙසය .

ඇගේ දැහැන ආයෙත් බිඳුනේ එස්. එම්. එස් පණිවුඩයකිනි ඒ හොඳම මිතුරියකගෙනි ."මට අර ඇග්‍රරිමන්ට් එකේ ෆෝර්මැට් එකක් එවනවද ?"ඇගෙන් ඉල්ලිමකි .බොහෝ මිත්‍ර සමාගම් නැතත් ඉන්නා යාලුවෝටික දෙනා  ඈට ප්‍රියවෙයි .ඒත් ඈට සමහර වෙලාවට   දහස් ගානක් සෙනග අතරේත් මහා තනියක් දැනෙනවා වගේය .එවර ඇගේ මුවග සිනාවක් නැගුනේ යමක් මතක්වීය .ස්කයිප් වලට පින් සිදුවන්නට දෙන්නා දිවා රෑ නොබලා කතා බස් කර තිබුනි.ප්‍රිය සාමිච්චි කෙතරම් දුරදිග ගියාද කිතොත් ඇගේ  දින පොතේ  සමහර වැදගත් රැස්වීම, ගමන් බිමන් , ඇඳිය යුතු ඇඳුම්  ඈට වඩා හොඳින් ඔහු මතකයේ තබාගෙන සිටියේය .ඒත් පසුව ඒ සාද ,සාමිච්චී, වාද, විවාද වී ඒවා  විසංවාද වීය . දෙන්නා යන්නේ කවදාවත් හමු නොවන රේල් පීලි දෙකක් උඩ බව දෙන්නාටම වැටහුණි . රණ්ඩු කරමින් දෙමගක යාම පලක් නැති වග  දෙන්නාම තීරනය කලෝය.ඒත් ඉඳහිට උනුන් ගැන විමසන පුරුද්ද එකිනෙකාට අවවාද දෙන ගතිය දෙන්නාටම අමතක වී නැත .

ඇගේ මතක සිතුම්පටක් සේ ඳෙයි ,බස් රිය පොල් රුප්පාවන් පසු කරගෙන වේගයෙන් ඇදෙයි.කල්පනා කෝච්චියද ඒ  වේගයෙන්ම අතීතය වර්තමානය හා අනාගතය අතරින් දුවයි .එය කොහේ කොතැනක නවතිනු ඇත්ද කියා ඈ නොදන්නිය  .ඒත් අසීමිත  හීන හා බලාපොරොත්තු පොදි බැඳන් ඒ කල්පනා කෝච්චිය හැමදාම ඇදෙනු ඇත .ඇය මුවග සිනා හා නොකියූ  සුසුම් ද ගෙනෙනු ඇත.ඇය හීන පොදි බැඳන් ඉදිරියටම ඇදෙනු ඇත.ආයේ හෙටත් සීමිත නැවතුමක  නැගී  සිහින හිස දරා වැඩට යනු ඇත .  

Thursday, January 19, 2012

ලොස්ට් ඔපචුනිටීස් -Lost Opportunities




හවස් යාමයේ නගරයේ තිබූ කලබලය දැන් නැත .ඉඳහිට ඇහෙන්නේ හයිලෙවල් පාරේ යන වාහන වල සද්දයක් පමණි . දවාලේ ඇති වාහන තදබදය දැන් නැත .එලවලු , පොල් ලොරි , මස්කඩ කාරයන් , මාලු වෙලෙන්දන් නිසා දවල්ට මහා කාලගෝට්ටියක සිරි ගන්නා කිරුලපන පොදු වෙලඳපොල අඳුරේ ගිලී නිසලය. හවසට තොරතෝංචියක් නැතුව බීගෙන කෑගහන ,රණ්ඩු වෙන පහල  කූඹි කැලේ වත්තේ ගෑණු මිනිස්සුන්ගේ සද්ද බද්ද දැන් නැත . බාධාවකට ඇත්තේ මාර්කට් එකේ  සුන් බුන් කුණු ගොඩ පිසගෙන ජනේලයෙන් කාමරයට පනින දුගඳ හුලඟ පමණි .කවදාත් මට පුරුදු අන්තිම මොහොතේ ,අවේලාවේ අවදිව නිදි වරන් වැඩ කිරීමයි .ඇඳකුත් කුඩා පොත් මේසයකුත් තැබියහැකි බැල්කණියකට විවර වෙන කාලයක් නිවැසියන් අබලි බඩු මුට්ටු දමන්න පාවිච්චිකල මේ කුඩා කාමර පොඩ්ඩ මගේ නවාතැනයි .ඇඳ පුරා විසිරුන පොත් ගොඩ මතින් වැතිරී කේ .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් ( K.Loganathan - Lost Opportunities ) හි වඩුක්කොඩෙයි ගිවිසුම ගැන කියවමින් සිටියෙමි . මේ කොටස නොකියවා සිටියොත් මගේ හෙට දේශනය වටහාගැනීම අසාර්ථක වනු ඇත .

පොතෙහි නිමග්න වී සිටින මට පහල ගේට්ටුවට මහ හඬින් තඩි බාන සද්දයක් ඇසේ . මාර්කට් එකේ පදිංචි වී සිටින අයාලේ යන බලු රැලත් කලබල වී බුරා වැටෙති . පහල ගෙදර කුලියට ගෙන සිටින බර්ගර් පවුල හෝ දෙවැනි තට්ටුවේ සිටින නිවැසියන් ඇහැරෙන පාටක් නැත . දැන් දැන් ගේට්ටුවට පා පහරවලුත් වැදෙන හඬ ඇසේ . වෙලාව රාත්‍රී එකට පමණ ඇත . 

මම නිදන ඇඳුම පිටින්ම දොර හැරගෙන පඩිපෙල දිගේ පහලට බැස්සෙමි . පහල බැල්කණියෙන් බැලූ විට දැක්කේ කාකි නිල අඳුම් ඇඟලා ගත් හමුදා භටයන් පිරිසක් ගේට්ටුවට තඩිබාන බවකි .ඔවුන් මා දැක ඇත 

"කෝ මේ ගෙවල් වල මිනිස්සු . නැගිටින්නේ නැද්ද ? අපි ගෙවල් චෙක් කරනවා . හදිසි වැටලීමක් .බෝම්බ පුපුරන්නේ කියලා නෙවේ ".

රළු හඬින් එක් හමුදාභටයෙක් කෑ ගසයි 

"ඉන්න මම ගෙදර අය නැගිට්ටවන්නම් " 

තද නින්දෙන් පිබිදුන ගෙහිමියන් පහල අගුලු ලා ඇති යකඩ ගේට්ටුව හැරියේය  . ටොක් ටොක් ලෙස තාලයට බූට් සද්දයක් එයි . පහල සිටි හමුදා පිරිසෙන් හත් අට දෙනෙක්ම ඉහල මාලයට එයි . 

කවුද ගෙදර ඉන්නේ ආයෙත් අර රළු හඬ ප්‍රශ්නකරයි 

"අපි දෙන්නයි ළමයි තුන්දෙනයි මේ තට්ටුවෙ ඉන්නේ .පහල බදු දීල තියෙන්නේ පවුලකට .ඉහල කාමර කෑල්ලේ මේ දරුවා ඉන්නවා " 

ගෙහිමියා යටහත්ව කියයි .

සෙබලුන්ගෙන් කොටසක් තුවක්කු මානාගෙන පහල පාරේ බර අඩි තබමින් යති .අර රළු හඬ මොවුන්ගේ ඉහල නිලධාරියා විය යුතුය . කීපදෙනෙක්ට පහල කුලී ගෙදරට යන්න සන් කරන ඔහු අලුත් යමක් සොයාගත්තා සේ මා දෙසට හැරෙයි .

"තමුන් කවුද , මේ ගෙදර උදවිය තමාගේ කවුද ?" මට පැනයකි 

"මම කැම්පස් යනවා .මෙහේ නැවතිලා ඉන්නේ "

"මේ දරුවා ගාල්ලේ අපේ හිතවත් පවුලක .දැන් අවුරුද්දක් තිස්සේ අපේ ගෙදර ඉඳන් කැම්පස් යන්නේ "

 ගෙහිමියා මා මතය තහවුරු කරයි .

"කොහේ කැම්පස්ද ?"

ආයෙත් පැනයකි 

"කොලඹ "

"දෙන්නෙක් යන්න උඩට  ."

 නැවත ඔහුගෙන් අණකි 

සෙබලු දෙන්නෙක් වහ වහා පඩි නැග මගේ අට්ටාල කාමරයට යති .එහි දොර විවර වී ලයිට් එලි දැල්වේ . කුඩා මේසය උඩත් ඇඳ මතත් පොත් විසිරිලාය .

බරාස් ගා මගේ කබල් පුටුව ඇදි එක් අයෙක් ඇඳුම් බෑගය ගෙන පිරික්සයි . එහි ඇත්තේ මගේ ඇඳුම් කෑලි ටිකය .අනිකා පොත්මේසයට නැඹුරුවී ගොඩගසා ඇති පොත් පිරික්සයි .

ඔහු එකදහස් නවසිය හැත්තෑ අටේ  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , අපරාධ නඩු විධාන සංග්‍රහයත් අවුස්සා එලියට ගෙන ඇත . 

"මේවා මොකටද?"

 ආයෙත් පැනයකි

"ඕවා මම ඉගෙනගන්නවා " තව ප්‍රශ්න යොමුවන්නට පෙර මම වහ වහා මම මගේ ශීෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරමි .

"හරි මිස් බොහොම ඉස්තුතියි "

 එවර හමුදා භටයා බොහෝ සංවරය . 

"මේ බලන්න"

 මගේ පොත් බෑගය අදින අනිකාගෙන් හඬක් මතුවෙයි 

මම වහා එබී බැලුවෙමි . තම අතේ ඇති දෙමළ බසින් ලියැවුණ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , තව දෙමල බසින් ලියවුන පනත් කීපයක් එකට  කර හම් බැම්මෙන් බැඳි පබ්ලිකේශන් බියුරෝ එකෙන් මුද්‍රිත ලොකු පොතකුත් අතට ගත් ඔහු මහා අනර්ඝ දෙයක් සොයාගත්තෙකු සේ කෑ ගසයි .

මට වුන හදිය මතක්වෙන්නේ දැන්ය . එදා දවල් දේශන ඉවර වී එලියට එන විට මා වෙත ආ ටෙරා හා චිත්ති මගෙන් ඉල්ලිමක් කලෝය . 

"අදට මේ පොත් ටික ඔය බේග් එකේ දාගෙන ගෙනියනව ප්ලිස්?
.හෙට ගේනවද ?.අපි දෙන්නටම පොත් වැඩි තමා අද .ලයිබ්‍රරි බූක්ස් ගොඩකුත් තියෙනවා තමා . ලොකු උදවු හෙට ගෙනාවොත් " 

කැඩුන සිංහලෙන් කියන චිත්තිගේ ඉල්ලිම ඉවතලිය නොහැක .මට ඉඳහිට හෝ දේශන මග ඇරුනොත් සටහන්පොත ණයට දෙන්නේත් ඈය. .

මේ දෙන්නම මගේ යාලුවෝය. අඳුනාගත්තේ කැම්පස් එකේදීය .ටෙරා දෙමළ මාධ්‍ය පන්තියේය . චිත්ති හා මම අනික් පන්තියේය .කවුරුත් ඉන්ග්‍රිසි අණ පණත් සමග මවු බසින් ලියැවුණ අණ පණත් ද පාවිච්චි කරමු . එතකොට සමහර දේ තේරුම් ගන්න ලේසිය . පොත් වල ටෙරාගේ හා චිත්තිගේ නම් දෙමල අකුරින් කාබන් පෑනෙන් ලියා ඇත .

"මේව මොකටද මිස් , මිස් දෙමළ කතා කරනවද, කියවනවද ?"

අනික් හමුදා භටයා පසෙක දිගහැර දමා ඇති චානක අමරතුංගගේ අයිඩියාස් ෆෝ කොන්ස්ටිටියුශනල් රිෆෝම්ස් පොත අතට ගෙන එහි බර මනින ලෙස එහා මෙහා හරවයි.

දැන් නම් මට ටිකක් බය හිතේ .

"නෑ මම දෙමළ කතා කරන්නේ නෑ , දෙමල කියවන්න , ලියන්න මම දන්නේ නෑ "

"එහෙනම් මේවා ?" ඔහු නැවත මෙසය මත ඇති දෙමල බසින් ලියවුන අණ පණත් පෙන්වයි 

"මේවා මා එක්ක එකට ඉගෙනගන්න යාලුවො දෙන්නෙක්ගේ , එයාලගේ බෑග් වල දාගෙන යන්න ඉඩ මදි නිසා මට දුන්න අද ගෙනිහින් හෙට ගේන්න .මේවා අපි ඉගෙන ගන්නවා . අන්න අර පොත් වල දෙමළ පරිවර්තන " 

මම නැවතත්  එක්දහස් නවසිය හැත්තෑ අට ආණ්ඩු ක්‍රම් ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් පෙන්නුවෙමි . 

"මේව ඔක්කොම රජයෙන් ප්‍රකාශයට පත්කරන්නේ .අර රාජ්ජ ලාංචනේ තියෙන්නේ " 

ඔවු රාජ්‍ය ලාංචනේ තියෙනවනම් බයවෙන්නෙ මොකටද .මොකෝ මේව මම අච්චුගහපුවද ? යටිහිතින් මට හිතේ 

"මොකද තමුසෙලා පරක්කු ?"

ආයෙත් අර රළු හඬය 

"නෑ සර් මේ ? "

හමුදා භටයා ඔහු සොයාගත් අනර්ඝ වස්තූන් ඉහල නිලධාරියාට පෙන්වයි . 

"තමුන්ගේ ශිෂ්‍ය හඳුනුම්පත තියෙනවද?"

ඔහු ඒදෙස බැලුම් හෙලන අතර මගෙන් අසයි .මම රෝස පැහැ ශිෂ්‍ය හඳුනුම්පත හා කහ පැහැ ජාතික හැඳුනුම්පත පෙන්වමි . 

"එතකොට මොකටද මේ පොත්" 

මම මුල සිට අගට  ආයේ කතාව කියමි 

ඔහු කාමරය සිසාරා බැලුම් හෙලයි .ඒ අතර අනිකා ඇඳේ මෙට්ටයත් ඉවත් කර මගේ ඇඳයටට එබී බලයි 

කේ.  ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත ඇඳෙන් බිමට වැටී අර රළු හඬ ඇත්තාගේ දෙපාමුලට විසිවෙයි . 

"ඔය ඇති , අපි යමු , දොර වහගන්න "

අර රළු හඬ කියයි . චෙක් කිරිලි එතැනින් ඉවරය 

මම නැවත පොත් මේසයේ පොත් අඩුක්කු කර , එකදහස් නවසීය හැත්තෑ අටේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් අනික් පොත් අතර උඩින්ම තියමි . මේවා නිතර ඕනෙ වෙනවාය . 

තාමත් බිම පෙරැලී ඇති කේ  .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත අවුල් වූ පොත් මේසය සකසන මගේ පයට පෑගෙයි . ඒ නොදැනුවත්වය .මගේ නොසැලකිල්ලය.  එය බිම වැටුනේ අපි හැමෝගේම නොසැලකිල්ල  නිසාය  .

පැහැදිලි කිරීම 


චානක අමරතුංග ලිබරල් පක්ෂයට සම්බන්ධවූ ලංකාවේ ආණ්ඩුක්‍රම වෙනස්කම් සිදුවියයුතු අයුරු හා සුලු ජන අයිතීන් එයට ඇතුලත් විය යුතු අයුරු ගැන මත පලකල සිංහල විද්වතෙකි . කේ. ලෝගනාදන් සන්නද්ධ අරගලයේ  එක් පාර්ශවයක් නියෝජනයකොට කලකදී ඉන් මිදී එලියට අවුත් අරගලය හා එහි ඉතිහාසය දෙස වෙනස් ඇහැකින් බැලූ දෙමළ විද්වතෙකි .චානක රිය අනතුරකින් අකාලේ මියගිය අතර ලෝගනාදන් සන්න්නද්ධ කල්ලිය අතින් මිය ගිය අවසන් දෙමළ විද්වතුන් ගොන්නට එක්වේ .
වඩුක්කොඩෙයි ගිවිසුම -1971 දෙමල ඊලාම නිජබිම් සංකල්පය එවක ඊලාම් සටන්කාමීන්  නිල වශයෙන් ඉදිරිපත් කලේ මේ හරහාය 

මගේ මිතුරු ටෙරා  මෙයින් හත් වසරකට පෙර විනෝද චාරිකාවක් ගොස් දියේ ගිලී අකල්හි අපෙන් වියෝවුවේය .චිත්ති ඉන් වසරකට පසු සදහටම  ලංකාව හැරදා ගියාය .


තාමත් තිස් තුන් වසක් ගෙවීත් අපි හැත්තෑ අටේ පුස්තකය අපේ මුඛ්‍ය නීතිය කරගෙන (grund norm ) පාලනය වේමින් සිටිමු . 

Saturday, January 14, 2012

මතක වස්ත්‍ර


"මම හිතුවෙ නෑ ලොකු මේතරම් දවස් අවුරුදු නිවාඩුවට ගෙදර ඉඳීවි කියලා. නිතරම ගමන් යන්න තියාගත්තුගමන්නේ "


නිල්මිණි හෙමින් තේ කෝප්පය තොලගාමින් කියයි .


අපි දෙන්නා පොඩි කාලේ සිටම කවදාවත් උනුන්ට නම් කියා අමතා නැත .දෙන්නාම ඉපදුනේ එකම අවුරුද්දේ එකම මාසයකය . වෙනස මම නිල්මිණිට වඩා එක සතියක් බාල වීමයි . මට ලොක්කා කියා අපේ ගෙදර කියන පුරුද්දට ඈ එය කෙටි කර "ලොකු" කියයි . සහෝදර සහෝදරියන් පස් දෙනෙක්ගේ පවුලක ඇය තෙවැන්නා වී 'සුදු" යන ආමන්ත්‍රණය ලැබී ඇති නිසා මාත් ඈට "සුදු" කියමි.


"කෝසලත් එන්න හිටියේ . ඒත් එයා සෑහෙන්න කාලයක් වැඩට නොගිහින් ඉඳලා අද තමයි වැඩට ගියේ "
"ඒ මොකෝ වැඩ නැතුව හිටියද "
"නෑ ලී මෝලෙන් පර්මිට්  නැති ගස් වගයක් කපන්න කියලා මේගොල්ලන්ට කියලා අන්තිමට නඩුවකත් පැටලිලා කරදර ගොඩක් වෙලා තමයි බේරුමක් වුනේ . මෝලෙන් ආයෙ අද වැඩට එන්න කියලා තිබ්බේ "


ඈ නොනැවතිල්ලේ කියවයි .මම මේසේ පසෙක වාඩි වී සිටිනා වයස දොලහක තරම් පිරිමි දරුවා දෙස බැලීමි . ඔහු උනන්දුවෙන් මේසය මත ඇති ඉන්ග්‍රිසි පත්තර කෑල්ලක අකුරු එකතුකරයි .


"පුතා මේ වචනේ කියවන්න දන්නවද ?"
පොඩි එකා මා දිහා බලා නැවත පත්තරයට එබී අකුරින් අකුර වචනය ගැටගසයි .


"වී , අයි , එස් , අයි , ඕ , එන් ......ආයෙත් කල්පනා කරයි ....විශන් ...ඔහු ජයග්‍රාහීව මා දිහා බලයි .
"හරියට හරි" , මම දරුවාගේ පිටට තට්ටුවක් දැම්මෙමි


නිල්මිණිගේ මූණ ආලෝකමත්වෙලාය.


"අයියා හරි පිලිවෙලයි , උනන්දුයි පාඩම් වැඩට , ශිෂ්‍යත්වේත් පාස්වුනා ,ඉස්කෝලෙනුත් හොඳ කියනවා. ඒකට නංගි .මෙයා හරි  කම්මැලියි , සෙල්ලමටමයි හිත" .


ඈ වයස හතක් පමණ වන දැරිය දෙස බලා කියයි.පොඩි එකී ලජ්ජාවෙන් ඇඹරෙයි
"නෑ එයත් අය්යවගේ වේවි"   මම කියමි


"ශිෂ්‍යත්ව ලකුණු වලින් පුතා සෙන්ට්‍රල් එකට දැම්මා. ස්කූල් බස් එකේ යවන්න වියදම් වැඩියි .පාරෙ බස් එකේ යන්න පුරුදුකලා . දැන් තනියෙන්  බස් එකේ පන්ති එහෙම යනවා. ළමයින්ට උගන්නන එකත් ලේසි නෑ ලොකු. ඒත් අපිට බැරිවුන එකේ මෙයාලවත් ගොඩ දෑන්න එපැයි" . ඈ ආයෙත් කියන්නීය .


"හ්ම්"  මම කිසිත් නොකියා සිටිමි


"පුතාලගේ ඉස්කෝලේ දෙමවුපිය රැස්වීම් නිතරම . කෝසලට වෙලා නෑ ඕවට යන්න  වැඩට ගියහම . මම තමයි යන්නේ . අම්මලට ඉස්කෝලේට එන්න කියන්නේ සාරි ඇඳලා .වැඩි දාට මට යන්න වෙන්නේ සාය හැට්ට ඇඳන් . පුතාගේ පන්තිබාර මිස් මාව දන්න නිසා මොනවත් කියන්නේ නෑ. ඒත් පුතා ආස නෑ හැමදාම මම එහෙම එනවට .අනික් ලමයින්ගේ අම්මලා  ලස්සනට සාරි ඇඳලා එනවා කියලා ගෙදර ආවම නහයෙන් අඬනවා නිතරම . බැරිද ලොකුගේ පරණ සාරියක් දෙකක් ....."


ඈ කියවිල්ල නවතා මා දෙස ඕනෑකමින් බලයි


"එන්න කාමරේට ඔයා කැමති එකක් ගන්න ". මම ඇයට හිසෙන් සන් කරමි


"නෑ ලොකු කැමති එකක් දෙන්න ".ඇය කියයි


"නෑ එහෙම හරියන්නේ නෑ ඔයා තෝරගන්න .ඔයානේ අඳින්නේ "


"ඉස්සර ලොකුගේ කාමරේ හරි පිලිවෙලයි, මෙහෙම නෑ ."


  ඇය ඇඳ මත රැඳි පොත් , අඳුම් ඈත් මෑත් කර වාඩිවී පිලිවෙල නැති පොත් මේසය දෙස බලමින් කියන්නිය  .


"හ්ම් , මට දැන්  වෙලාවක් නෑ සුදු "


අල්මාරිය ඇර දෙමින් " ඔන්න ඔයා තෝරගන්න අර උඩම තට්ටුවෙ තියෙන්නේ " මම ඇයට ඉඩ දෙමි


"මේව පරණ වෙලා නෑ  මට හොඳ වැඩියි . මේව ඔයාට තව අඳින්න පුලුවන් ". ඈ මාදෙස බලයි .


"නෑ මට දැන් ඕව අඳින්න වෙලා නෑ" මම උදාසීනව කියමින් අල්මාරියේ අනික් දොර පලුවට පිට දෙමි .


"ලොකූ කාලෙකින් ඒ පැත්තේ ආවෙ නෑ .ලොකු  මාමා ඊයේ හම්බවෙලා කිව්ව ගිය  අවුරුද්දටවත් බුලත් දීල කතාකරන්නවත් ආවෙ නෑ කියලා ". ඈ සාරි තෝරමින් මගෙන් අසයි .


"මට නිවාඩුත් නෑ වැඩිය .ආවත් වෙලාවක් නෑ මහගෙදර පැත්තේ යන්න "


ගමේ යන්න ඇති අකමැත්ත සඟවාගෙන මම අල්මැරුන පිලිතුරක් දෙමි




"හ්ම් ඒකට කමක් නෑ . නිවාඩු තිවුනොත් දවසක  එන්න අපේ දිහා . ඉද්දගලෙන් නාලා .... අපේ දිහායින් බත් ටිකක් කාලා .... ඇඹිලකන්දේ පන්සල් ගිහින් එතෑකි ".


"ඉද්දගල තාම තියෙනවද ?ඉද්ද පඳුරුත් තියෙනවද ? "මම නවපණක් ලද්දෙකු සේ අසමි


"ඔවු තාම තියේ .දැන් පන්සල් කන්දේ ඉඩම් වෙන්දේසි කරලා .අපි ඉන්නෙත් ඒ හරියේ .ඉද්දගල ලිඳ ගම් සබාවෙන් හොඳට හදලා. ඒ හරියේ කැලෑගතිය දැන් නෑ.ඒ නිසා ඉද්ද පඳුරු නම් නෑ ඒත් පාර හොඳට හදලා. "


නිල් කැටේට වතුර පිරුණ ඉද්ද පඳුරු ගොන්නකින් වටවුණ , පන්සල් කන්ද පාමුල වූ ඉද්දගල මගේ පොඩි  කාලේ මතක ගොන්නක එකතුවයි .


"ලොකුට මතකද ඒ දවස්වල? ඉස්කෝලෙ නිවාඩුවට ඔයා ගමේ ආවම  මම , අපේ අයියා , පොඩී  එක්ක නාන්න ඉද්දගලේ යනවා."


මම අල්මාරියට පිටදී දෙනෙත් පියාගෙන අතීතයට යමි ...පන්සල් කන්ද පාමුල අඩි පාරෙන් ඉද්දගලට යායුතුය .යන මග දිගට දං , හිඹුටු ,බෝවිටියා  පඳුරු පිරීලා .දැඩි පායන කාලයක ඇරුන විට ගම්මු වැඩිය මේ ලිඳට යන්නේ නැත .මේ ලිඳෙන් නෑවේ මළපලාව වත්තේ  හිටි පවුල් කීපය පමණි .අපි නඩේ මෙහි යන්නේ කැලෑ වැදී ගඩාගෙඩි කන්න ආසා නිසාය . පන්සල් කන්ද පාමුල පිහිටි දිය උතුරන සීතල  උල්පතක් වූ මෙයින් අතින් වතුර ගතහැක . නමටම ගැලපෙන ලෙස ඒ ඉසව්වේ සුදු මල් පිපුණ ඉද්ද පඳුරු ගොල්ලකි . කරුණාසේන ජයලත්ගේ "හතුරු හිතක් " පොත කියවනවිට පූජිතරත්නලාගේ ගෙවල් ගාව ඇති ඉද්ද පඳුරු ගැන කියන හැම විටම මට සිහියට එන්නේ මේ ඉද්දගලේ ඉද්ද පඳුරුය.


"ලොකූට මතකද දවසක් අපි නාන්න ගිහින් පරක්කුවෙලා , අපේ තාත්තගෙන් කෝටු පාර ලැබුණා ඔක්කොටම ?"


"ඔවු වැඩියෙන් ගුටි කෑවේ මංජු අයියා ..අපි පොඩි ඈයො එක්ක කැලෑ වදින්න ගියා කියලා . ඉද්දගලෙන් නාලා එද්දී අයියා මට පන්සල්වත්තේ සල් ගහෙන් සල් මල් අහුලලා දෙනවා .වැඩිදාට නාලා ඔයාලගේ අම්මගෙන් බතුත්කාල මම එන්නේ .ඔයාලගේ චූටි නංගී ගොඩාක් පොඩියි . සාලේ ගැටගහලා තියෙන රෙදි ඔංචිල්ලාවෙ නිදි".මට  කිමිදෙන්න මතක සාගරයක් ඇත


"හ්ම්.... චූටි අද හිටියනම් අවුරුදු විසිපහක ලොකු කෙල්ලෙක් .අයියා පොඩි කාලේ ඉඳන් අපිට ආදරෙයි පවුලට  හරි හිතයි  .ඔය කසාදේ කරගත්තට පස්සේ පවුලෙන් හරියට ඈත්වුනා .දැන් අයියා  වැඩිය ගම ඒමක් නෑ ලොකූ ". සුදු විස්සෝප වී කියයි .


"සාරි තෝරගත්තද ? "කතාව වෙන අතකට හැරවිය යුතු නිසා මම අසමි .


සාරි කීපයක් ඇඳ මත විසිරී ඇත. ඈ මා දිහා හිස් බැල්මෙන් බලයි .


"ඇයි අර ක්‍රීම් පාටට  එකයි ලා නිල් පාට එකයි ගන්නේ නැත්තේ ?. දෙකේම  පල්ලුව ලස්සනයි .ඔයා උස මහත නිසා ඔසරියකට හරි හැඩවේවි ".


කාලෙකට කලින් මම ඒ සාරි දෙකටම මහත් ආසා කලෙමි .ඒ සාරි ගත්තු දිනයත් අද වගේ මතකය .මා නිතර අඳින්න ආසා සාරි අතර මේ දෙකත් විය  .ඇන්ද විට හැඩ බලන්න අයද සිටිවග මතකය .නමුත් දැන් ඒ මතක වලින්  වැඩක් නැත . ඉතින් සාරියෙනුත් වැඩක් නැත .අඳින්නේ නැතුව මොකට ඕවා අලමාරියේ තියාගන්නවාද ?.


"ලොකු සාරියක් ඇඳලා ඉන්නවා මම කවදාවත් දැකලා නෑ ," ඈ සාරිවල පල්ලුවේ ඇති සිහින් මෝස්තර බලමින් කියයි


"නෑ මම දැන් සාරි අඳින්නේ හරි කලාතුරකින් .කලබල රස්සාවක් එක්ක සාරි අඳින්න බෑ   සුදු " ආයෙත් සුපුරුදු කම්මැලි ගතියෙන් මම උත්තර දෙමි .


"දැන් ඔහොම ඉන්නද කල්පනාව"? .


"ඔවු ඇයි මොකෝ මේකෙ වැරැද්දක් තියෙනවද ? "


"නෑ එහෙම නෙවෙයි ..ඒත්...... "..ඈ කතාව නවතා මාදෙස බලයි
"...ඒදවස්වල ලොකු මට කිය කියා හිටියේ ...."ආයෙත් කතාව නැවතෙයි


"නෑ ඒව ඔක්කොම ඉවරයි ..දැන් .මට ඕවට නාස්තිකරන්න  වෙලා නෑ"
  මම අල්මාරියට පිටදී දෙනෙත් පියාගෙන සිහින් හඬින් කියමි .ඉද්දගලත් වෙනස්වෙලා එහෙනම් මට හිතේ .


                                                        ****************


කාමරයේ ජනෙල් වලින් බැසයන මලානික හිරු කිරණ ඇඳ මත වැටී ඇත . අල්මාරිය අසල පැදුරක වාඩි වී අම්මා රෙදි ගොඩක් තෝරයි .පසෙකින් ගොඩ ගැසූ හොඳට නැවූ  සාරි කීපයකි .අල්මාරියේ කපුරු සුවඳ දසත විසිරෙයි .මම හෙමින් ඇඳ මත වාඩි වී අම්මා දෙස බැලීමි


"දැන් මේවයින් බාගයක් විතර  වැඩක් නෑ . අවුරුදු තිස්  හතක් තිස්සේ ඇඳපුවා . අල්මාරියේ ගොඩ ගැහිලා .මොනවා කරන්නද මන්දා ?"


 මගෙන් උත්තරයක් නැතත් ඈ කියවයි


"ඕවා කවුද ගන්නේ .ඔයින් බාගයක් විතර පරණ මෝස්තර .තුනී වෙච්චි සාරි " මම සරදම් හඬින්  කියමි


"ඔවු පරණම ඒවා මම තෝරලා වෙන් කලා .."ඈ මට පෙන්වයි


"මේ මගේ පලවෙනි පත්වීම දවසෙ ඇන්ද සාරිය ...රුපියල් විසිපහකට සමූපකාරෙන් පුංචි අම්ම අරන්දුන්නේ .මම වැඩට යනවා කිව්වම"


ඈ ලා කොල පාට සාරියක් පෙන්වයි . එහි වාටි ගානට ඉටි පන්දමකින් බීක්කු හැඩේට පුලුස්සා ඇත .


"මේක ඇඳන් චේ ගුවෙරා එකට අහුවෙලා හිටි ලොකු මාමව බලන්න වැලිකඩ ගිය දවසේ ,   මාම හරියට ඇඬුවා ...එයා මාව මුලින්ම සාරියක් ඇඳලා ඉන්නවා දැක්කේ එදා"


"අඬන්න එයා? . ගෙදර අයියා වුණාට  එයා දන්නේ එච්චරයි නේ.වෙන මොනවද එයා කරලා තියෙන්නේ ?.කෙහෙම්මල් දේසපාලනේ විතරයි. එයා නිසා තමයි අම්මට අවුරුදු විස්සේදි රස්සාවට යන්න වුනෙත් ඉගෙනීම අත ඇරලා .ඊට පස්සේ ඉක්මනට කසාද බඳින වුනේ ". 


මම තරහෙන් නුරුස්සනා බැල්මකින් උත්තරදෙමි .


අම්මාට මගේ රොස් පරොස් වදන් වලින් වැඩක් නැත . ඈ  අගනා වස්තුවක් ලෙස ඒ සාරියේ වාටි පිරිමදියි .


"මේ සාරි තුනම තාත්තා  කොලඹ ගියදාක ගෙනාවේ"


රෝස , දම් හා ලා කොලපාට මෝස්තර වලින් යුත්  සාරි තුනකි .ඒවා මට සෑහෙන්න මතකය .මා පාසලේ ප්‍රාථමික පන්තිවල ඉන්නා කාලයේ අම්මා වැඩට ගියේ නිතරම ඒවා ඇඳලාය .බාලාංශ පන්තිය එකොලහට ඇරුන විට ඇය මාව ගන්න පාසලට එයි . එවිට ඇයට ගුරුතුමියගෙන් අසන්න වෙන්නේ අකුරු ලියන්න , කියවන්න මගේ ඇති දුර්වල කම්ය , නැත්නම් දඟ වැඩය . පොත්බෑගයත් එල්ලන් පාසල් ගේටුවෙන් පිටවුන වහා අම්මා නැවත මගේ දුර්වල කම් ගැන මග දිගටම දොස් කියන්නීය . ඇගේ වෙගයට ඇවිද යන්නට බැරි පුංචි මම ඇගේ සාරි පොටේ එල්ලී බැනුම් අසමින් යමි .ඒ නිසා ඔය සාරි තුනම මට පෙන්නන්න බැරිය .වහ කදුරු වගේය.


"මේ ලොකුමාමා බඳින දවසේ ඇන්ද සාරිය ....මේක පොඩි මාමගේ මගුලට ඇන්දේ ...."ඈ නොනැවතිල්ලේ කියවයි


"දැන් ඕව තියාගෙන වැඩක් නෑ .කාට දෙන්නද ?මොනවා  කරන්නද ?කවුරු අඳින්නද ?"


මම නුරුස්සනා ලෙස ඇගෙන් අහමි


"ඔවු මොකද කරන්නේ? තියාගෙන ඉඳලා තේරුමක් නෑ .අල්මාරියෙ ඉඩ ඇහිරෙනවා .ඒත් විසිකරන්න දුකයි "


"හ්ම් එක්කො කුණු ලොරිය ආවම් දෙන්න , නැත්නම් පුච්චල දාන්න .කවුරුවත් ගන්න එකක්යැ"


මම සරදම් ලෙස සැහැල්ලුවෙන් කියමි


ඈ දුකින් පිරුණ මූණින් මාදෙස බලයි ."මේ වගේ සාරි විස්සක් තියෙනවා"


"දෙන්න ඔය ටික මට ,පුච්චල ඉවරයක් කරන්න "


"හ්ම් ඕනෙ එකක් කරන්න එහෙනම් " ඈ අහක බලන් කියන්නිය


සාරි ගොඩ එක් කරගත් මම නිවස පිටුපසට ගොස් එක තැනක ඒවා ගොඩ ගැසීමි. ඉක්මනින් පුලුස්සන අටියෙන් ලාම්පුතෙල් ටිකක් හලා ගිනි කූර ලං කලෙමි


නයිලොන් රෙදි උණුවී වැගිරෙමින් එකිනෙක ගිණි ගෙන දැවෙයි . අම්මා පිලිකන්නේ දොර අසලට වී සාරි ගිණි අවුලන මාදෙස බලා සිටියි


නයිලොන් ගිනිගෙන දැවෙන සැර රස්නය මගේ මූණට වැටී ඇත . වගක් නැතිව මම ගිනිගෙන දැවෙන ඉතිරි සාරි කෑලි එක්කර පිලිස්සිම් ඉක්මන් කරමි . සාරි වලින් තාම කපුරු සුවඳ ගිලිහී නැත. මෙලෙසින් අතීත මතකය සියල්ලත්  පුලුස්සනු හැකිනම් යෙහෙකැයි මට සිතේ.