පොඩි කාලේ යන්තම් පොත් කියවන්න පුලුවන් වුන දා ඉඳන්ම මට පොත් කියවන්න උනන්දු , කලේ තාත්තා . මට පුංචිකාලේ දෙවිදියකට පොත් ලැබුණා . ගොඩාක් ලමා පොත් තාත්තගේ යාලුවන්ගේ ලමයි පාවිච්චි කරලා කියවලා ඉවර වුන ඒවා මිටි පිටින්ම මට තියාගන්න ලැබුණා . ඒ අතරින් ගොඩාක්ම පොත් ලැබුනේ ප්‍රජානි ඇන්ටිගේ ගෙදරින් එහේ අක්කලා පොඩි කාලේ කියෙව්ව පොත් . අනුලද සිල්වා , සුනිල් ජයවීර , කුමාරතුංග මුණිදාසගේ ලමා පොත් ගොඩක් ඒ අතර තිබුණා . අනුල ද සිල්වාගේ කැවුම් අප්පුලා , සුනිල් ජයවීරගේ "පිංහාමි හා කිඹුල් ගෙදර මනමාලි , කුමාරතුංගගේ හත්පණ එයින් මගේ සිත් ගත්තා . ඒ පොත් වැඩිහිටි වියට ඇවිල්ලත් ආයේ ආයේත් කියවන්න ආසා හිතෙන පොත් . කවුරු හරි පාවිච්චි කරලා දෙන පොත් ටිකක් ඉරිලා , බලි කුරුටු එහෙම ඇඳලා තිබුණත් මම ඒවා ආසාවෙන් කියවන්නත් ආදරෙන් රැක බලාගන්න උනන්දු වුනා .කැම්පස් යනකන්ම ඔහොම එකතුවුන ලමා පොත් මිටියක් පොත් රාක්කේ කොණක තිබුනා .පස්සේ අපේ අම්මා ඒවා අහල පහල පොඩි ලමයින්ට දීලා කියවන්න . ඒ පොත් අහිමි වෙලා ගියත් ඒවගේ රස අමතක කරන්න බැරි නිසා අදත් මේ පොත් දැක්ක තැනකින් මිලට ගන්න මම උත්සාහ ගන්නවා .
ටිකාක් ගැටවර වෙනකොට වෙනස් පොත් කියෙව්වා .ඒකට උවමනා අඩිතාලම වැටුනේ තාත්තගේ ඉස්කෝලේ තිබුණ පුස්තකාලේ . මගේ කියවීමේ සා පිපාසාව නිව්වට ඇත්තෙන්ම ඒ විසල් පුස්තකාලයට මම ඉතාම ණය ගැතියි . ගැටවර කාලේ තියෙන පොත් පිස්සුව හොඳකරගන්න එක එක මාදිලියේ පොත් කියෙව්වා . කල්ලන්දූවේ මුතු කොල්ලය , සෝම පුර වීරයෝ ,රන්සිරිගේ සංග්‍රාමය කියවලා අඳුනගත්තු කුලසේන ෆොන්සේකාගේ "පාලම යට " පොත කියවනකොට මට වැඩි වයසක් නෑ . ඒ පාසල් පුස්තකාලය නිසා මම , මාර්ටින් වික්‍රමසිංහ , සරච්චන්ද්‍ර , ඉලන්ගරත්න ,චින්තා ලක්ෂ්මි , කේ ජයතිලක , සරත් විජේසූරිය අඳුනාගන්නවා . මඩොල්දූවෙත් , අපේ ගමේත් උපාලි ගිනිවැල්ල , ජින්නා ,හා කිරි බබා එක්ක ත්‍රාස ජනක දඟකාර ලෝකෙක කිමිදිලා ,ඉන් පස්සේ උපන්දා සිට , ගම්පෙරලිය , කලියුගය , යුගාන්තය , කරුවල ගෙදර , සත්ව සංතතිය , උපාසකම්ම , වහල්ලු වගේ කෙටි කතා වෙලුම් , තේරි ගී, සිංහල සාහිත්‍යයේ නැගීම වෙනකන්ම කියවනවා .වික්‍රමසිංහ පොත් වල මම ඉතාම ආසා වුනේ තිසර ප්‍රකාශකයනේ පැරනි මාදිලියේ පිට කවර වලට .දැන් ඔක්කොම වික්‍රමසිංහ පොත් අලුත් වෙලා ඒ නිසාමදෝ එදා කියෙව්ව වික්‍රමසිංහ පොත් වලින් ලැබුණ රසය අද මට නොලැබෙනවා වගේ .ඔහුගේ පොත් වල භාශා රටාවටත් මම හරි ආසයි , ජන සාහිත්‍යයෙන් , විද්‍යාවෙන් , එදිනදා සමාජ ව්‍යවහාරෙන් පෝශණය වුන බසක් වික්‍රමසිංහට තිබුණේ .බෙන්ගාලි සාහිත්‍ය වoග බසින් මිහිරි ලාලිත්‍යයෙන් සිoහලට පරිවර්තනය කෙරුව චින්තා ලක්ෂ්මි නිසා මට අපූ ත්‍රිත්වය කියවන්න ලැබුනේ .නිශ්චින්දි පුරේ , ඉඡාමතිය , සෝණාඩන්ගා මිටියාවත , බුල්නා තොටුපොල , සිලි සිලි ගාණ බට පඳුරු , කුතුම්බිනාර් කුලුණ , ලීලා එක්ක පෝර්තෝ ප්ලාතා යන අපූ , ගැන ඇය මැව්ව චිත්තරූප මොන තරම් ද කිවොත් මාත් අපූ එක්ක කතා කර කර ඒ පොත් කියෙව්ව. ඒවට මගේ අතිනුත් කෑලි දාලා හදාගත්තු දෙබස් පැන්සලෙන් පොතේ ලිව්ව කාලයක් තිබ්බා :)
මේ වෙනකොට සෑහෙන්න බරපතල විදියට හැදිලා තිබුණ කියවීමේ පිස්සුව කොතෙක්ද කිව්වොත් ඕනෙම පොතක් නොකා නොබී වුනත් එක හුස්මට කියෝලා ඉවර සිරිතක් තිබ්බා . ඔය උමතුව වැඩිවුනේ ඒකටම හරියන යාලුවො දෙතුන් දෙනකුත් හිටි නිසා . අපි ඔක්කොම කතා වෙලා ගම් සභා පුස්තකාලේට බැඳුනේ සාමාන්‍ය පෙල කරන කාලේ . විභාග වලට සූදානම් වෙන ලමයි නවකතා හා වෙනත් වල් පල් කියවීම් ගැන වැඩිහිටියන්ගෙන් ,ගුරුවරුන්ගෙන් ලොකු විරෝධයක් තිබුණත් අපේ ගෙදර එහෙම පරිසරයක් තිබ්බේ නෑ .අඩු ගානේ කියවන පොත් මොනවද කියලා හොයන්න බලන්නවත් ආවේ නෑ .හන්දියේ පොඩි කන්දක් උඩ තිබ්බ ගම්සභා පුස්තකාලේ ගැසට් එක බලන්න , පත්තර කියවන්න රස්තියාදු වෙන අයගේ තිප්පලක් කියලා තමයි ගමේ මතයක් තිබේ .ඒත් අපි තුන් හතරදෙනෙක් මම ,වසූ , දිනූ , රුවන්ති එහෙම කතාවෙලා සතියේ හැම සඳුදම පුස්තකාලේට ගියා පොත් මාරු කරන්න .ඉස්කෝලේ ඇරිලා එන ගමන් හන්දියෙන් බස් එකෙන් බැහැලා පොත් මාරු කරන් ආයේ හැතැක්ම දෙකක් බඩ ගින්නේ පයින් ගෙවල් වලට යන එක අපිට ඒ හැටි කරදරයක් වුනේ නැත්තේ පොත් රහ නිසා වෙන්න ඕනේ .ගම් සභා පුස්තකාලෙන් එක්කෙනෙක්ට පොත් 2 ක් දෙනවා සතියක් තියාගෙන කියවන්න .අපි කට්ටිය පොත් අරගෙන අපේ පොත් කියවලා ආයේ එක එක්කෙනා එක්ක මාරු කරගෙනත් කියවනවා .එතකොට එක්කෙනෙක්ට සතියකට පොත් පහක්වත් කියවන්න පුලුවනි .හප්පා එහෙම පිස්සුවක් .ගම්සභා පුස්තකාලේදී තමයි මට මහගම සේකර , සුගතපාල ද සිල්වා , සයිමන් නවගත්තේගම , ටෙනිසන් පෙරේරා , රන්ජිත් ධර්මකීර්ති , සුමිත්‍රා රාහුබද්ද ,ඊවා රණවීර , අයිලින් සිරිවර්ධන ,ගුනදාස ලියනගේ , ඇරැව්වල නන්දිමිත්‍ර වගේ ලේඛකයොන්ගේ පොත් කියවන්න ලැබෙන්නේ . මේ වැඩි දෙනෙක් මහ මිනිස්සුන්ගේ ජීවිත වල අහුමුලු, අඳුරු තැන් දුක් දොම්නස් , වැටීම් ,නැගිටීම් ගැන ලිව්ව අය .අද ඒ අයගේ පොත් කියවද්දී එදා ගැටවරකාලේ නොදැක්ක අර්ථයක් ,හැඟිමක් ඒ කතා ගැන දැනුනත් ඒ කාලේ මොන පිස්සුවකින් කියෙව්වද කියන්න තාම තේරුමක් නෑ . කැම්පස් යන්න බලාගෙන ගෙදර හිටි අවුරුදු දෙකේ කාලේ ගෙවාගන්න ගම්සභා පුස්තකාලෙන් වුන සේවයනම් කියන්න බෑ .ඒ කාලේ හැම දේටම ගෙදර සකල බුජන් වෙලා හිටි නිසා සතියකට පාරක් පොත් මාරු කරගෙන ,අම්මට උවම්නා සිල්ලර බඩු ලැයිස්තුවත් කඩෙන් අරන් ,එන පුරුද්දකටත් ඇබ්බැහි වෙලා හිටිය. පත්තර පොත් කියවන රස්තියාදු කාරයො ගැවසෙන තැනකට තරුණ දූල යවන්න එපා කියලා අහල පහල උදවිය අපේ තාත්තට කීප සැරයක් කියලා තිබ්බත් තාත්ත මගේ පුස්තකාල ගමන් නම් කවදාවත් තහනම් කලේ නෑ.:)
සෑහෙන්න දැනුම් තේරුම් වයසට ආවම තමා දැනගත්තේ පොත් කියවන්න ආසා , පොත් එකතුකරන අය ඒවගේ තව කෙනෙක්ට කියවලා පරිස්සම් කරලා ගෙනෙත් දෙන්නම් කිව්වත් පොතක් ණයට දෙන්න මැලි වෙනවා කියලා .ඒ නිසා , තමන්ගේ පොත් අල්මාරියෙන් ඕනෙම පොතක් ගෙනිහින් කියවලා ගෙනිත් දෙන්න අවසර දුන්නු මගේ අසල්වැසි , පාසල් යාලුව ගැනත් කියන්න ඕනේ ඒ වසූ , අපි දෙන්නගේ ගෙවල් බොහොම කිට්ටුවෙන් තිබුනේ .පොතක් කියවන්න ඕනේ වුනාම එහේ ගිහින් එයාගේ පොත් අල්මාරියෙන් පොතක් ගේන එක හරි ලේසියි. මට කිසි තහනමක් නෑ .වසූගේ ගෙදර ලමයින්ට පොත් කියවන්න උනන්දු පරිසරයක් නිසා එයාගේ අම්මත් තාත්තත් පොත් මිලට ගන්න සිරිතක් තිබ්බ .ඒ ඔක්කොම පොත් ලස්සන අල්මාරියක අහුලරා තිබ්බේ .මේ පොත් වල අයිතිය ගැන වසූ හා එයාගේ අක්ක අතර නිතර දරුණු සටන් ගියත් වසූ කවදාවත් ඒයාගේ යාලුවන්ට පොත් නොදී ඇරියේ නෑ . රුසියන් සාහිත්‍ය කියවන්න පුලුවන් වුනේ වසූ ගේ පොත් අල්මාරියට පින් සිද්දවෙන්න . ගෝර්කි ගේ අම්මට හැමෝම ආස වුනත් ඇත්තම කියන්න එපැයි මොකද්දෝ හේතුවක් නිසා මම ඒ පොත බාගෙට කියවලා අතෑරියා . නමුත් දොස්ටොවුස්කි , මිහායිල් ශෝලහොවු ,චින්ගීස් අයිත්මාතොවු , පුශ්කින් හා චෙකොෆ් ප්‍රිය කලා . මාසෙකට සැරයක් රාජකාරි වැඩ වලට කොලඹ එන වසූගේ අම්මා පොත් ප්‍රදර්ශන වලින් පොත් ගේන සිරිතක් තිබ්බා .ඒ නිසා තමයි දැදිගම වී රුද්‍රිගු පරිවර්තනය කල රාදුගා පොත් ගොඩක් කියවන්න හම්බවුනේ . ඊට පස්සේ කාලේක වසූට විද්‍යා ප්‍රබන්ධ පිස්සුවකුත් හැදුන නිසා අපි කට්ටියම ක්ලාර්ක්ගේ 2001 සීරිස් එකත් කියෙව්වා . පොත් නිසා නිවාඩු කාලේ වැඩියෙන් වසූගේ ගෙවල් පැත්තේ රස්තියාදු ගැහුව අපි යාලුවො තව තව නොයෙක් අණ්ඩපාල පර්යේෂණ/ සොයාගැනීම් එහෙමත් එහෙමත් කලා :) .
යාලුවන්ගෙන්, පුස්තකාල වලින් පොත් කියෙව්ව මට පොත් තෑගි දුන්නේ ඉස්කෝලෙන් .අපේ ඉස්කෝලේ හැම ත්‍යාග ප්‍රදානෝත්සවයකටම තෑගි දෙන්නේ පොත් . තෑග්ගක් ගන්න එක ලේසි නෑ .එක්කො පන්තියේ පලවෙනියා වෙන්න ඕනේ නැත්නම් යම් ලකුණු සීමාවක් සම්පූර්ණ කරලා ඒ ඒ විෂයන්ට තියෙන ප්‍රයිස් ටෙස්ට් එකකින් වැඩිම ලකුණු අරන් සමත් වෙන්න ඕනේ .එහෙමත් නැත්නම් උසස් පෙල /සාමාන්‍ය පෙල පන්තිවල විභාග ලකුණු වලින් උපරිම දක්ශතා දක්වන්න ඕනේ .අපිට තෑගි දුන්නු පොත් බොහොමයක් නවකතා හා කෙටි කතා .ලස්සන සුදු හා ලා නිල රිබන් පටි වල එතිලා විද්‍යාලීය ත්‍යාග අරමුදල විසින් පිරිනැමුන ........ ත්‍යාගය හිමි වන්නේ .......... සිසුවියටයි කියලා පාසල් ලාන්ඡනය සහිතව පොතේ මුල් කවරේ ඇලවුන සටහනක් එක්ක ඒ.ජී. අයි.ද සිල්වා ප්‍රින්සිපල් සර් ගේ අත්සනින් යුත් තෑගි උත්සවෙන් ලැබුණ අදත් මාගාව තියෙන පොත් තමයි අස්වැන්න , රයිගම් පුත්තු , පිච්චමල , නව වසර (පරිවර්තන ), කරත්තය , නිරානන්දය , වඩබාගින්න ,සයුරු තරණය, මහල්ලා සහ මුහුද (පරිවර්තන ) , සිද්ධාර්ථ (පරිවර්තන ) හා මගේ අමතක නොවෙන උසස්පෙල තෑග්ග සුනේත්‍රගේ ප්‍රේම පුරාණය .මේ නවකතා තෑගි දීම ටිකක් වෙනස් වුනේ විශ්වවිද්‍යාලට තේරුණ අක්කලා, අයියලාට විතරයි . එතකොට එයාලා තමන්ට කැම්පස් එකේදී පලවෙනි අවුරුද්දේ ඕනේ වෙන පොත් කීපයක් ගැන ඉඟියක් අoශබාර මිස්ට හරි සර් ට හරි දෙනවා .ඒ පොත් තෑග්ගට ලැබෙනවා . ඒ ඇරුණම අපේ ඉස්කෝලේ ඒ කාලේ තිබ්බේ බොහොම නිදහස් විදියට ලමයින්ට කියවන්න පොත් තෑගි කෙරුව සිරිතක් . කොටින්ම කිව්වොත් කිසි තහනමක් නැතිව වැඩිහිටි ප්‍රේම කතා ලමයින්ට තෑගි දුන්න ඉස්කෝලයක් :)
කියවන උමතුව ඇවිලිලා යන්න තව හේතුවක් වුනේ ගෙදරට ගේන පත්තර .මතක ඇති කාලේක ඉඳන් අපේ තාත්තා දිවයින පාඨකයෙක් .සති අන්තේ , නිවාඩු දවස්වල තාත්තගේ නමේ මුල අකුරු ගැහුව පත්තරේ මැම්බර් කඩෙන් ගේන එක බාරවෙලා තිබ්බේ මට . මම වැඩියෙන් කැමති වුනේ දිවයින ඉරිදා සoග්‍රහයට .කාලීන ප්‍රශ්න ගැන දිවයිනේ විශේෂාoග ලිපි හා කවි පිටුව කියවන්න මම ඒ කාලේ මනාපවුනා .ඊට අමතරව අමතක නොකර බැලුවේ සුන්දර නිහතමානි ද මැල් ලිව්ව මානිගේ තීරුව කොලම .ඒකේ තිබ්බ උපහාස රසේ නම් කියලා නිමක් නෑ .මම දිවයිනට ආස වුන අනික් හේතුව තමයි ඒ කාලේ අනික් පත්තර එක්ක ගත්තම දිවයින මුද්‍රණය ලස්සනයි .හොඳ පෙනුමයි. ඔ යකාලේ අපි සති අන්ත සිලුමිණ ගත්තත් 1990 පස්සේ වගේ ඒක නැවතුනේ ලේක් හවුස් එක බේරෙගෙදර පච මෝල වුන නිසා .ඔය එක්ක තමයි විකල්ප පත්තර ආවේ .දිවයින බලලා මදි වගේ නිසා තාත්තා ඇත්ත , හා රාවය ගෙදරට ගෙනාවා . රාවය පත්තරේ වෙඩි වගේ ලියන ස්ටයිල් එකට මම හරි ආසයි .කොටින්ම සාමාන්‍යපෙල කාලේ මම රචනා ලියන්න අරගෙන තිබුණේ ඒවගේ . මෙලෝ හසරක් නොදැන හබයාස් කොපුස් , මූලික අයිතිවාසිකම් , වගේ කෑලි අල්ලගත්තේ රාවයෙන් . ඇත්ත පත්තරේ කෝසල සිහිනය කියන කොලම කියවන්න මම හරි ආසයි .වැඩියෙම එහි හාස්‍යට ලක්වුනේ එවක හිටි ජනාධිපතිවරයා හා එතුමාගේ සහ පිරිවර . ඒ වගෙම ජෙෆ්‍රි යූනූස්ගේ කාර්ටූන් එකත් හරි මරු . කාර්ටූන් අඳින්න ගිහින් යූනූස්ගේ නහය කැපුවෙත් ඔය කාලේ වෙන්න ඕනේ . මුල්ම කාලේ රාවයේ කවි පිටුව රත්න ශ්‍රී විජේසිoහ සන්ස්කරණය කලා කියලා අපැහැදිලි මතකයක් තියේ . ඒ කාලේ මගේ පත්තර වීරයා වුනේ දිවයිනේත් විකල්ප පත්තර කීපයකත් වැඩකල සුනිල් මාධව . එහෙන් මෙහෙන් යමක් දේශපාලනේ ගැන දැනගත්තේ ඔය පත්තර වලින් .දැන් නම් ඔය එකක්වත් කියවන්නේ නෑ අකුරු අමතක වේවි කියලා බයට :)
ඉගෙන ගන්න කොලඹට ආවට පස්සේ කියවිමේ උමතුව වෙනුවට තෝරා බේරාගෙන කියවන්න සිද්දවුනා .ඒකට හේතුව කියවන්න බොහෝ දේ තිබීම හා කාලය සීමිත වීමත් නිසා . ඒ තමයි එන්.එල් .ආර් / එස්.එල් .ආර් වල එක පිටුවක් තේරුම් ගන්න දෙපැයක් විතර අනිමිස ලෝචන කෙරුව කාලේ . මුලින්ම අපේ පුස්තකාලේ තිබුණේ බිම් ගෙයක් වගේ මහා විසාල අදුරු දූවිලි පිරුණ ගුහාවක් වගේ තැනක . පොත් කියවන්න කිසිම ප්‍රියමනාප තැනක් නෙවේ .ඒත් දෙවෙනි අවුරුද්ද වෙනකොට අපිට හරි ලස්සන අලුත් සත් මහල් ප්‍රාසාදයක් පුස්තකාලේ හැටියට ලැබුනා විදුලි සෝපානත් එක්ක . ඇත්තම කිව්වොත් කැම්පස් එකේ තිබුණ හොඳම තැන -සේෆ් හෙවන් . අපි කට්ටියක්ම සෙට් වෙලා හිටියා වැඩක් ඇතත් නැතත් ඕක වටේ කැරකුණ අන්තිම මොහොතේ පාඩම් කල අනික් වෙලාවට වෙන අනම් මනම් පොත් කියෙව්ව . මම වැඩියෙන් කැමති වුනේ සති අන්ත නිවාඩු දවස් එහෙම නැත්නම් හවස පහෙන් පස්සේ පුස්තකාලෙට යන්න .එතකොට බොහොම නිස්කලන්කයි . ඉහල මාල වලට ගියාම තුරු හිස් තණ පිටි අතරින් මැවෙන රීඩ් මාවත දිහා බලන් ඉන්න පුලුවනි මේ දර්ශනේ වැඩිය ලස්සන වෙන්නේ වහින දවසට . සමහර දාට පාඩම් කරන්න එපා වෙලා විභාගේ කටේ තියාගෙනත් මෙතැන්ට වෙලා නවල්ස් , සමාජ විද්‍යාව, වෙස්ටර්න් ක්ලැසික් , ඇමරිකන් හිස්ට්‍රි ගැන පොත් කියෙව්වා මතකයි . මම ආස කෙරුව අනික් පුස්තකාලේ රැජින පාරේ තියෙන බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලේ . මෙතැන සුව පහසු වට පිටාව , පොත් පහක් කාර්ඩ් එකට ගන්නත් මාසයක් තිස්සේ තියාගෙන කියවන්නත් පුලුවන් වුන නිසා මම මේ පුස්තකාලෙට ආස වුනේ . තව හේතුවක් තමයි මේකේ කැන්ටින් එක .කැම්පස් නිවාඩු කාලේ ලාබෙට රස්තියාදු ගහන්න තිබ්බ නියම තැනක් .මෑතක් වෙනකනුත් මේකේ සාමාජිකත්වය තිබ්බත් මේ පුස්තකාලේ පාවිච්චි වුනේ අදාල පොත් කියවන්න විතරයි .ඒ ගැන නම් පොඩි දුකක් හිතට තියෙනවා
මට මේ සටහන ලියන්න හිතුනේ මෑතකදී හමුවුන කෙනෙක් එක්ක කෙරුව කතාබහක් නිසා .අපේ ලමා කාලේ , තරුණ කාලේ කියවන්න පොත්පත් සොයාගන්න අපහසු වුනත් ,හොඳ පුස්තකාල නොතිබුණත් ,අතේ මිල මුදල් නොගැවසුනත් පොත් කියවන්න උනන්දු වුනා .නමුත් දැන් ඒ සේරම ලැබිලත් සමහර වෙලාවට අපිට අර තරම් කියවීමේ උමතුවක් නැහැ . අනේ මන්දා :)
දෙය්යෝ සාක්කි ටි ජි . මගේ කියවීමේ ඉතිහාසය අඩු වැඩි වශයෙන් ඕකම තමයි. අතේ සත පහක් නැතත් අපි ස්වල්ප පොත් ප්‍රමාණයක්ද කියෙව්වේ. පොත් සංස්කෘතියක් නැති බවට කෙරෙන චෝදනා මට අදාළ නොවන්නේ ඒ නිසයි. ළමයින්ට පේන්න බැරි පුස්තකාලේ ගොරිල්ලා මිස්වත් දුවිලි පිරිච්ච කබල් පෙනුමැති පොත් කබඩ් වත් මට ප්‍රශ්නයක් වුනේ නැහැ . කොළඹ මහජන පුස්තකාලය කාලයක් ගෙදර වගේ වෙලා තිබුනා .
ReplyDeleteදැන් රෑ 12 යි. ආයේ හෙට එන්නම්
මේ ටික කියෙව්වට පස්සේ කොමෙන්ටුවක් නොදා යන්න හිතෙන්නේ නෑ, මමත් ඔබ වගේම කියවීමේ පිස්ස්සෙක්
ReplyDeleteමේක කලින් කියවපු සටහනක්ද?
ReplyDeleteපසුගිය දවසක කියෙව්වා වගේ මතකයක් තියෙනවා.
පොත් කියවන්න ආස වුනාට අපිට කොහෙන්ද පොත්?
ඉස්කෝලෙන් තෑග්ගක් විදියට ප්‍රේම පුරාණය ලැබුනා කියලා මම මේ ඇහැවුවාමයි.. ඒක මරු ඉස්කෝලයක් වෙන්ටැති.. :D
ReplyDeleteඔය අන්තිමට කියපු ඡේදය ගැන නම් මාත් එකඟයි.. මටත් හිතිලා තියෙනවා මම ඉස්සර තරම් දැන් පොත් කියවන්න උනන්දු නෑ කියලා.. සමහරවිට අන්තර්ජාලෙන් කියවන නිසාද දන්නෙ නෑ..
මේක කියෙව්වහම මට ඔළුවට ආවෙත් මගේ තාත්තා ගැන. තාත්තා මාව කියවන්න හුරුකරේ ගොඩාක් පුංචිම කාලේ.
ReplyDeleteදැනටත්..මම ගෙදරින් ගොඩාක් දුර හිටියත්, සති දෙකකට පාරක් මොකක් හරි අලුත්ම ගුණාත්මක පොතක් තැපෑලේ එවනවා... :)
පොත් කියවන උමතුව!!! මට නම් උග්‍ර වෙලා. මේ දවස්වල විභාගයක් අතේ දුරින් තියාඅගෙන මම හොඳ පොතක් කියවනවා :
හරිම අපූරු ලිපියක් සහෝ... ජයවේවා
මල්ලිටයි මටයි කියවන්ඩ හුරු කළේ අම්ම... ඉස්කෝලෙ වාර විභාග ප්‍රශ්නපත්තර වැරදියට, ඇදට ප්‍රින්ට් වෙච්ච රෝනියෝ කොළ ගෙනල්ල තඩි ඉඳිකටුවකින් එකට තියල මහල තද කාඩ්බෝඩ් පිටකවරෙක අපි දෙන්නගෙ නම් ලියල.. සුරතලා පත්තරේ ලස්සන කවි කතා කපල අලවල ලොකු පොත් දෙකක් හදල දීල....
ReplyDeleteපේරාදෙණියෙ සාහිත්‍යය රජ කරපු කාලෙ විද්‍යාර්ථියෙක් වෙච්ච තාත්තගෙ පොත් ගුලට අපි අත තිබ්බෙ ඒ හුරුවට පුංචි කාලෙමයි....සමහර පොත් තාත්ත අපිට අතට අහුවෙන මානෙන් ඈත් කරල තිබුණ කියල දැණුන ගමන් අපි හොයන්නෙම ඒක...
අනුරතියෙන් ආදරයට කියල පොතක් එහෙම පොත් ගුල පීරල හොයා ගත්ත මං :-)
අම්මලගෙ ඉස්කෝලෙ පුස්තකාලෙ වගෙම පස්සෙ කාලෙක එයා වැඩ කරපු විද්‍යාපීඨ පුස්තකාලෙත් මගෙ ප්‍රියතම තැන්!!
ඉස්කෝලෙ පුස්තකාලෙ පරණ පොත් අයින් කරන කාලෙක විනාශ කරන්ඩ අයින් කරපු මුල් පිට කැඩිච්ච කතාපොත් බර ගාණක් ඉල්ලගෙන ඇවිල්ල තාත්තත් එක්ක එකතු වෙලා අලුත් පිට කවර දාල හදා ගත්ත හැටි!!
ඉඳල හිටල මම මටම සංග්‍රහ කරගන්ඩ සරසවියට යන පුරුද්දක් තියනවනෙ.. එදාට පැය ගාණක් සරසවියෙ ලැගල.. පොත් අතගාල... උඩිං පල්ලෙන් කියවල.... හිතට අල්ලපු පොතක් අරන් එන එක හිත හීලෑ කරගන්ඩ හොඳ විදියක් මට නං....
පොත් කියවනඩ ආස වුණාට පරිස්සම පිරිසිදුකම ගැන හැඟීමක් නැති වුන් ඉන්න හන්ද මං නං ගත්ත ගමන් මං කියවන්ඩත් කලින්ම ඉටි කොලයක් දානව... එක කාලයක් මගෙ කොට්ටෙ යට තිබුණ ඇටමැස්ස, තව කාලයක් සැබැ මිනිසෙකුගේ කතාවක්... විශ්වවිද්‍යාල කාලෙදි රිදී තිරංගනාවි, ප්‍රේම පුරාණය, ඒත් අපි දැනුම ලබන්ඩ කියල විශ්වවිද්‍යාලෙට ගිහින් ගොඩාක් දේවල් මොට කරගත්ත කියල දැනෙන්නෙ දැන්.. පොතක් පතක් කියවන්ඩ හිත ඒකාග්‍ර කරගන්ඩ බැරි වුනාම.. යමක් ලියන්ඩ ගිහින් විස්තර කරන්ඩ වචන කෝෂය සම්පූර්ණ නැතුව හිරවෙන කොට
හ්ම්.........ඔය සත් මහල් ප්‍රාසාදෙ ගැන නං කවර කතාද??
ඕකට වැඩි දෙනා ගියේ නිදාගන්ඩයි, ලව් කරන්ඩයිනෙ අක්කෙ... සමහරු කිව්වෙ ඕකට පාඩං කරන්ඩ ගියාම නින්ද යන ඒක භූමි දෝසයක් කියලනෙ.... අපි වගේ දෙලොවටම නැතුව කැම්පස් ආව අපතයො තමයි ඕකෙ පොත් හෙව්වෙ.. ඇත්තම කියන්ඩ මං කියවන්ඩ ආස පොත් සේරම අරගන්ඩ බැරිනං දෙක තුනක් හංගලත් තියෙනව ෆික්ෂන්ස් එකෙන් අරන් වෙන වෙන සෙක්ෂන්වල ඊලඟ දවසෙ අරගන්ඩ :-D
සමහර යාලුවන්ගෙ පුස්තකාල කාඩ්වලට පොත් ගත්තෙ මං.. උන් මට බැන බැන මං එක්ක ඇවිල්ල මං වෙනුවෙන් පොත් අරනු දුන්න... සමහරු නං ඒකෙන් කියවන්ඩත් පුරුදු වුණා... මතකයන් අස්සෙ තව මතකයන් අවදි කරන මේ ලිපියට අක්කට ගොඩක් ස්තූතියි
ඉස්සර තරම් පොත් කියවන්න උනන්දුවක් නැති එක ඇත්ත . හැබැයි මට සිංහල පොත් නැති ප්‍රශ්නේ තියෙන්නේ . ඉංග්‍රීසියෙන් කියෙව්වට පපුවට නොදැනෙන ගතිය මට විතරක් තියෙන ලෙඩක් වෙන්න ඇති. අපේ පොඩි දෙන්න නම් මගේ පාරෙම යනවා . තාත්තත් ඉස්සර සැහෙන පොත් පිස්සෙක් . ඒ හින්දා පුදුමයක් නෙමේ . පරම්පරා දෙක තුනක් ඈත ඉඳන් තමයි අපේ ගෙවල් වල පොත් පිස්සුව ඇති වුනේ . අපේ ලොකු කෙලි බොහොම දවසට පොත් තුනක් කියවනවා . බෑග් එකේ ටැබ්ලට් එකයි පොත් තුන හතරකුයි දාගෙන ඔටුවෙක් වගේ පිටත් නවාගෙන මෙයා ඉස්කෝලේ යන්නේ . ඒගොල්ල වාසනාවන්තද මන්දා අපට වඩා . ඉංග්‍රීසි පොත් සිරිස් වලින් තියෙනවනේ . පටන් ගත්තම සේරම කියවන්න පුළුවන් .
ReplyDeleteඑක තාලෙට වැටිලා පොත් කියවන්න පුළුවන් අම්මෙකුයි දුවෙකුයි වෙච්ච එක ගැන මට හරිම සතුටුයි.
අපේ අම්මත් සැහෙන පොත් කියවන කෙනෙක්. අපේ දිහා ආවම මගෙන් පොතක් ඉල්ලන් යන පුරුද්ද අම්මට තිබුනා . අපේ අක්ක ටිකක් කම්මැලි යා පොත් කියවන්න . එයාගේ දුව මන් වගේමයි. පුංචි වගේමයි පොතක් ගත්තම මෙලෝ සිහියක් නැහැයි කියල අපේ අක්ක කෙල්ලට හැමදාම බනිනවා .
මට ඉස්සර යන එන පළාත් අනුව පොත් සොයාගන්න තැනක් හමු වෙනවා . ඉස්කෝලේ , මහජන පුස්තකාලේ . නිවාඩු කාලෙට සහ විභාග කරලා ගෙදර උන්න කාලේ කැලණියේ නගර සභා පුස්තකාලය , යාලුවන්ගේ පොත් කබඩ් , ගුරුතුමියක් වෙච්ච කාලේ බස් එකට මාරු වුන පෑලියගොඩ මෙලෝ යකෙක් නොයන කබල් නගර සභා පුස්තකාලය ......රෝහල් සේවය කාලේ අපිම කළා පොඩි පුස්තකාලයක් .
දැන් මෙහෙම වුනාට අපි ඒකාලේ හරි උත්සාහ වන්තයි .
රීඩ් මාවත අනෙක් පැත්තේ පුස්තකාලය මමත් ආඅම තැනක්...
ReplyDeleteකටුබැද්දේ ඉඳල එක හුස්මට දුවන් ඇවිත් එනකල් බලං ඉන්නේ ඔතෙන්ට වෙලා... :-)
බින්දි මටත් එහෙම්මමයි - ඉංග්‍රීසි නවකථාවක්, සාහිත්‍ය කෘතියක් මම කියවලම නෑ - හිතෙන්නෙම නෑ
ReplyDeleteමට අනිවාර්ය පොත් කියවීමක් කරන්න වෙලානේ අපේ පොඩි අය හින්දා . රසවත් පොතක් ගෙනාවම මන් පොඩ්ඩක් හරි කියෙව්වේ නැත්නම් ඒගොල්ල තරහ වෙනවනේ . ළමා පොත් නම් ආසයි.සඟරා නම් බොහොම කියවෙනවා . ඒ ඇරුනම අවශ්‍ය කාරණයකට ඒ ඒ සම්බන්ධයෙන් කියවනවා ඇරෙන්න තදබල සාහිත්‍ය කෘතියක් කියවන්න කම්මැලියි. තිස්ස අය්යේ මන් හිතන්නේ අපි ඉංග්‍රීසිය දෙවනියට ඉගෙන ගත්ත නිසා වෙන්න ඇති.
Delete'' පොතක මතක සහ මම '' කියල සටහනක් ලියන්ට හිතාගෙන ඉන්නව සෑහෙන කාලෙක ඉඳල. මේ මතු සම්බන්ධයි කෑල්ල නිසා බැණුං අහල එපා වෙලාම තියන නිසා වැඩේට අත ගහන්ට බයයි.
ReplyDeleteටීකාවක් ලියන්ට ගියොත් කොහෙං කෙලවර වෙයිද කියන්ට බැරි නිසාවෙන්ම පොත් සම්බන්ධව මගෙ මුල්ම කාලෙ මතක සටහනක් දෙකක් විතරක් කියන්නම්, මුලින්ම මම කියෙව්වෙ සිබිල් වෙත්තසිංහ මහත්මියගෙ '' කුඩ හොරා '' ..මේ කතාව පුංචි මගේ හිතට කොයිතරම් වැදුනද කිව්වොත් වැහි දවසක අපේ ගෙදර ආපු අම්මගෙ යාලුවො කට්ටියක් යන්ට ලෑස්ති වෙලා ඉස්තෝප්පුවෙ බිත්තියට හේත්තු කරපු එයාලගෙ කුඩ ගැන හොයල බලනකොට එව්ව නැහැල්ලු. කලබල වෙලා හැම තැනම හොයනකොට මම කුඩ ටිකත් උස්සගෙන ආවලු '' අර වඳුර ආන්ටිලගෙ කුඩ අරං යයි කියල මම එව්ව ගේ ඇතුලෙන් තිබ්බ '' කියල කියාගෙන. ( කුඩ හොරා කතාව කියවල නැති අයට - ඒ කතාවෙ ඉන්න වඳුරෙක් කුඩ හොරකං කරනව )
දෙවෙනි මතකය අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ තිබ්බ මහාවංසය මම කියෙව්වෙ හත වසරෙ ඉන්දැද්දි......මම ඒක කියෙව්ව විතරක් නෙවෙයි පරණ එක්සසයිස් පොතක රජවරුන්ගෙ නම් සහ රජකල කාලසීමාවල් ඔක්කොම ලියල තියාගත්ත කියලත් මතකයි.පස්සෙ දවසක මම ඉස්කෝලෙ කොරිඩෝවෙ එද්දි අපේ පුස්තකාල බාර සර් තව සර්ල දෙතුන් දෙනෙක් එක්ක මාව පහුකරගෙන යන ගමන් කියනව මට ඇහුන '' ඔය තමයි අර මහා වංසෙ අරගෙන ගිය ළමය '' කියල. :) :)
අපි ඇවිල්ල අන්තර් ජාලයෙ පෙකණි වැල කපපු පරම්පරාවට කලින් කට්ටිය හින්දද මන්ද මම නම් පොත් කියවිල්ල තාම අත ඇරල නෑ...මේ සියලු වැඩ රාජකාරි සහසක් අතරෙත් කොහොම හරි වෙලාව හොයාගෙන පොතක් කියවනව දවසට පැය බාගයක්වත්.....හෙහ්, හෙහ්,
Many Thanks T.G. ...it was really a very pleasant walk down memory lane for myself thanks entirely to your fond reminiscences.
උඩින් කියල තියනවා වගේම. පිස්සුවෙන් මෙන් පොත් කියෙව්ව කාලෙ මතක් උනා. යන්තම් අකුරු ගැටගහ ගන්න පුලුවන් උන කාලෙ ඉඳල කැම්පස් යනකල් කියෙව්ව පොත් ප්‍රමාණෙ මෙතකයි කියන්න බෑ. සතියට පොත් 8ක් විතර කියෙව්ව කාලයක් තිබ්බ (උසස් පෙල ඉවර වෙලා)
ReplyDeleteඒත් TG කිව්වත් වගේ දැන් ඒ තරම් පොත් කියවන්න වෙන්නෙ නෑ. කාරය්‍යබහුලත්වය නිසා වෙන්න පුලුවන් නේද.
කොහොම උනත් මේ ලිපියෙන් අයෙත් පොත් කියවීමේ රස මතක් උනා.
ඉස්සර නම් මමත් පොත් පිස්සෙක්..නමුත් වැඩත් එක්කම හැමදේම නතර වෙලා..කියවීම ගොඩක් දුරට මිනිසා සම්පුර්ණ කරනවා :)ජය!
ReplyDeleteසිංහල පොත් කියවන්ට මාත් හරිම ආසයි. මේ එක්කෙනෙක් මට පොත් වගයක් අරගෙන එවන්ට ලෑස්තිවෙලා ඉන්නේ. මම බැලුවේ එයාට කියලා පොත් ටික ගෙදරටම ගෙන්න ගන්නවද කියලා. පොත් අරගෙන එනකෙනෙකුට ඉතින් ගෙදර අය බනින එකක් නෑනේ.:D:D:D
ReplyDeleteසික්! අපට නෑ නෙවැ මෙහෙම පොත් අරන් එවන්ට අය.. :P
Deleteඅනුන්ගේ පොත් මතක වලට
ReplyDeleteඑබිකම් කරන්නට
වරින් වර ඇවිත් යන එක
බැහැ කොහොමවත්
වලක්වන්නට
එබුනාට පොත් මතකවලට
Deleteඑබෙන්නෙපා මගෙ පොතට නම්
පොතෙන්ම පාරක්
දෙනවා මං සත්තකයි
.......................
කියවීම සම්බන්ධයෙන් මට පේන්න බැරි මිනිස්සු ජාති තුනක් ඉන්නවා.. :D
1. ගෙනිච්ච පොත් ආයෙමත් ගෙනත් දෙන්නෙ නැති උදවිය.
2. ගෙනිච්ච පොත් ඒ විදියට නැතිව කුණු ගාලා පිටු නවලා/පොඩිකරලා ගෙනත් දෙන උදවිය.
3. පොතක්/පත්තරයක් කියවන කොට ඒකට උඩින්/පැත්තෙන් එබිකම් කරන උදවිය.
ඇයි තව අපි අකුරු දන්නේ නැහැ වගේ පොතේ තියන ඒවා කියවන එක . අපේ ගෙදර සෙනසුරාදට පත්තර ගෙනාවම නැන්දම්මා කියවන ගමන් නිව්ස් රිපීට් කරනවා ,. මාමණ්ඩි තර්ජනය කලහම විනාඩි පහකට විතර නවත්තනවා .. ආයිමත් ටිකකින් මතක නැහැ . ඔය පොතර එබෙන වැඩේ බස් වල තමයි වැඩියක්ම වෙන්නේ .
Deleteටීජී මේ සටහනේ කොටසක් හරි කලින් ලිව්වද? නැත්නම් කියලා ඇති. අනික් අතට අඩු වැඩි වශයෙන් කියවන පිස්සන්ගේ කතාව.
ReplyDeleteකියවීමට හුරු කරවීම, ඊට අනුබල දීම, දෙමවුපියන් අතින් කෙරෙන වඩාත්ම වැදගත් දේ වෙන්න ඕන.
මේ සටහනේ බාගයක් ඩ්‍රාෆ්ට් කරලා තිබුණ වෙලාවක හදිසියේ පබ්ලිශ් බට්න් එක ප්‍රෙස් වෙලා පබ්ලිශ් වෙලා තිබ්බ මීට කලින් .එහෙම වෙලා දකින්න ඇති සමහරු .ඒකයි පුරුදු සටහනක් වගේ හිතෙන්න ඇත්තේ .
Deleteමගේ කියවූ මතක පාර දිගේ ගොහින් අතරමන් වෙලා තමන්ගේ පොත් මතක ගැන අදහස් බෙදාගන්න වරින් වර මෙහාව ආව හැමෝටම ස්තුතියි .එයින් මේ සටහන තවත් රසවත් වුනා කියලා හිතෙනවා .
අපි කියවීමට හුරු කිරීම අපි ඇසුරු කරන පරිසරෙන් වෙන දෙයක් . ඇකඩමියාව තුල විතරක් නෙවේ කන්තෝරු , පොදු ප්‍රවාහන සේවා , සාප්පු සන්කීරණ අවන් හල් වලත් කියවන්න ඉඩ පහසුකම් තියේ නම් මොනතරම් හොඳ ද .ඒ වගෙම පොඩි ලමයින්ට ඇක්ශන් ලයිබ්‍රරි තියේ නම් මොන තරම් හොඳද ඒ කිව්වේ අර චූටි අකුරු කියවන්න බැරි පොඩ්ඩොන්ට කතන්දර එහෙම කියන පුස්තකාල
හැමෝගෙම කමෙන්ට් වලට වෙන වෙනම පිලිතුරු ලියන්න තරම් විවේක නෑ .ඒ ගැන සමාවෙන්න
මටත් කියන්න තියෙන්නේ බින්දි කියපු ටිකම තමය්!
ReplyDeleteඅඩු වැඩි වශයෙන් ඔය තියෙන්න මගෙත් ලැයිස්තුව.
ඔයිට අමතරව මම නම් ඉතින් පරිවර්තන (එංගලන්තය සහ බටහිර රටවල ලමා , තරුන) පිස්සියෙක් නෙ!
පොත් සමඟ මතකයන්..අපූරු ලියැවිල්ලක්..
ReplyDeleteපොත් කියවන හැමෝටම පොදු මාතෘකා..හරිම හුරු පුරුදු ගතියක් දැනුනා..
වැදගත් ලිපියක්.මමත් කැමතියි පොත් කියවන්න.එත් ඉතිං කොහොමද හොඳ එකක් තොරා ගන්නේ
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/