Sunday, October 4, 2009

මගේ පුතා හරි හපනා ......අම්මට පඩි විසිවැනිදා




දෙකේ පන්තියට එනකොට මට වාක්‍ය රචනා ලියන්න තිබුණෙ පුදුම ආසාවක්. හිනාවෙන්න එපා .දැන් මට හොඳට ,ලස්සනට අකුරු ,ඉලක්කම් ලියන්න පුලුවනි . සිංහල පාඩමේදී පූසා, බල්ලා, පොල්ගස , ලේනා වගේ පොඩි පොඩි මාතෘකා ගැන රචනා ලියන්න ආරියවතී ගුරුතුමී අපිට කියනවා.ඇය මට හමුවූ හොඳම ගුරුතුමියක්. රචනා ලියන්න අපි උන්නදු කරන්න ඕනෙ නිසා හොඳම රචනා කීපයක් තෝරගෙන පන්තියටම ඇහෙන්න කියවීම ඇගේ සිරිතක්. ඉතින් කවුරුත් හරි කැමතියි ,උනන්දුයි රචනා ලියන්න .පොඩි ආඩම්බරයක් තියෙනවනෙ තමන්ගෙ රචනාව පන්තියටම ඇහෙන්න කියවනකොට.

එදා අපේ රචනා මාතෘකාව "අම්ම". හ්ම්ම්... පැන්සලත් අල්ලගෙන , තනිරූල් කොපි පොතට ඔලුව නවාගෙන මම බර කල්පනාවක. මොනවද අම්ම ගැන ලියන්නෙ ? අම්මගෙ හැඩ රුව , අම්මගෙ රැකියාව , අම්ම මට ආදරෙයි ,මමත් අම්මට ආදරෙයි... ම්ම්ම් ...ඒවා ඉතින් හැමෝම ලියනවනෙ . මට ටිකක් අමුතු දෙයක් ලියන්න ඔනෙ වුනා.....ආහ්හ්..මතක් වුනේ ඔන්න දැන් . අම්ම මට ආසකරන කතන්දර පොත් ඇඳුම් එහෙම ගෙනැත් දෙනවා. ඒත් සමහරදාට ඒවා ඉල්ලුවහම කියනවා
"පුතේ මේ මාසෙ විසිවැනිදා වෙනකන් ඉන්න , අම්ම පඩි ගන්නෙ එදාටනේ, එතකොට පුතාට අරගෙන දෙන්නම්" කියලා.
ඇත්ත ගොඩක් වෙලාවට මගේ ඉල්ලිම් විසිවෙනිදාට පස්සෙ ඉටුවෙනවා. ඒ නිසා මම මගේ රචනාවේ මතක ඇතිවම ලිව්වා
"මගේ අම්මාගේ රැකියාව ..zzzz....ඇයට පඩි ලැබෙන්නේ විසි වැනිදාට.එවිට ඇය මට අලුත් ඇඳුම් ,කතන්දරපොත් ගෙනැවිත් දෙනවා"

ගුරුතුමී පොත් එකතුකරගෙන අපේ රචනාවල හරි වැරදි බලනවා . අපි එයාගේ මෙසේ වටේ වට වෙලා එබීගෙන ඉන්නවා. අද කාගෙ රචනා වලට "ඉතා හොඳයි" ලැබිලා පන්තියටම කියවාවිද?ඔන්න එයා මගේ පොත අරගත්තා, මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.අත් අකුරු වැරදිනම් නැහැවගේ.ඒත් ඇයි ගුරුතුමී හෙමිහිට හිනාවෙන්නෙ ? ආ අම්මට පඩි ලැබෙන දවස මම රචනාවෙ ලියලා තියෙනවනේ . එයා ඒක එහා පන්තියෙ ගුරුතුමීටත් පෙන්නුවා.ඒකට කමක් නැහැ මට "ඉතා හොඳයි" එකක් ලැබුනා.තව පුංචි ප්‍රශ්නෙකුත් ගුරුතුමී මගෙන් ඇහුවා ?
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
මම මොනවගේ උත්තරයක් දුන්නද කියන්න මතක නැහැ.

ඒත් අම්මගෙ විසිවෙනිදා පඩි ලැබෙන දවස මම ටිකෙන් ටික ලොකුවෙනකොට හරිම වැදගත් දවසක් වුනා. දෙකේ පන්තියෙදි මට තිබුන කතන්දර පොත්, ටොෆි ,චොක්ලට් වගෙ සරල ඉල්ලිම් ලයිස්තුව මම ලොකුවෙනවත් එක්කම දිගවුනා,සංකීර්ණවුනා.ටියුෂන් ගාස්තු,සීසන් ටිකට් එක , පාසැල් සේවා ගාස්තු , ගැටවරවියේ අඳින්න ආස අලුත් අඳුම් මෝස්තර ඒකට එකතුවුනා. තාත්ත අතට දෙන පඩියත් එකතු කරලා ගෙදර අනිත් උවමනාවනුත් සම්පූර්ණ කරලා ඔය කිව්ව හැමදෙයක්ම ලබාදෙන්න අම්මට තිබුනෙ පුදුම කලමනාකරණ හැකියාවක්. මම විශ්වවිද්‍යාලයට යාමත් එක්ක , නංගිගේ උසස් අධ්‍යාපනයත් එක්ක අපේ ඉල්ලිම් තව දීර්ඝ වෙනවා.නවතැන් ගාස්තු,පොත් පත්,එක එක පාඨමලා, විභාග ,ඇඳුම් කැඩුම්,..අපේ ඉල්ලිම් ලයිස්තුව වේගයෙන් ඉහල ගියාට ඒ හා සාපේක්ෂව අම්මගෙ රජයේ සේවක වැටුප ඉහල ගියේ හෙමින්. ඒත් අම්ම කවදාවත් අපේ ඉල්ලිම් වලට බැහැ කිව්වෙන් නැහැ. දෙන සල්ලි වියදම් කලේ කොහොමද කියලා කවදාවත්ම ඇහුවෙත් නැහැ.විශ්වවිද්‍යාලෙ ගියාට පස්සෙ සමහර වෙලාවට මම ගෙදර එන්න හිතුවෙ විසිවෙනිදායින් පස්සේ මාසෙ අන්තිමට වගේ සල්ලි ඉල්ලගෙන යන්න .එහෙම ආවත් අම්ම මතක ඇතුව මම ඉල්ලන්නත් කලින් ලියුම් කවරෙක දාලා පරිස්සම් කරලා තිව්ව සල්ලි මට දෙනවා එන මාසේ වියදමට . පොඩි කාලෙ වගේමයි .ඇය කවදාවත් මගේ ඉල්ලිම් අමතක කලේ නැහැ.

උපාධියක් අරන් විශ්වවිද්‍යාලෙන් පිටවෙලා මගේ පලවෙනි රැකියාව කරද්දිත් , විසි වෙනිදා වැදගත් දවසක් වුනා. අම්ම කවදාවත් කිව්වෙ නැහැ "ඔයාගෙ පඩියෙන් දැන් ඔයාගෙ වැඩ කරගන්න "කියලා. උද්ධච්ච කමට මම නොකිව්වට එයා දැනගෙන හිටියා මගේ මුල්ම වැටුප ඒතරම් ලොකු වැටුපක් නොවෙන වග .ඒ දවස් වල ගෙදරින් සල්ලි නොඉල්ලුවත් අම්ම හරි පුදුම දෙයක් කලා.

හැම මාසෙ අගම මම ගෙදර එනකොට හරිම ලස්සන කොට්න් සාරියක් දෙකක් මගේ අල්මාරියේ තියලා තියෙනවා.ඒකටම හරියන හැට්ටෙකුත් මහලා. අම්මා දන්නවා මගේ ආධුනික කාලෙ වැටුප අඩුවුනාට වෘතීය මට්ටම පවත්වාගෙන යන්න ගොඩක් අඳුම් කැඩුම් ඔනෙ වග . ඒ සාරි වල මිල ගනන් කවදාවත් එයා මට කියලා නැහැ. එයා මට හැමදාම කිව්වේ
"ලොක්කා ලස්සනට ඇඳින්න , එක සාරියක් එක මාසෙක එක වතාවකට වැඩිය ඇඳින්න එපා "
අද මට තියෙන ලස්සන කොට්න් සාරි ඔක්කොම එදා අම්මා අරන්දුන්නු ඒවා . ඒ අතරින් මම ඇන්ඳ පලවෙනි සාරියත් , මගේ වෘතීය ජීවිතයේ ඉතාම වැදගත් දවසක ඇන්ඳ ඇත්දල +රිදී පාට සාරියත් මට හරිම වටිනා අම්මගේ විසිවැනිදා පඩියෙන් ලැබුන අගනාම සිහිවටන .මට අද මතක්වුනේ අම්ම කවදාවත් එයාගේ රැකියාවෙදි ඒවගේ වටිනා මිල අධික සාරි නොඇන්ඳ වග .

මට ආයෙත් සිහිවෙන්නෙ මගේ දෙකේ පන්තියෙ ගුරුතුමී ඇහුව ප්‍රශ්නෙ.
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
ඒ එක්කම අම්ම මාව නලවද්දි කිව්ව මේ නැලැවිලි ගීයත් සිහිවෙනවා.

මගේ පුතා හරි හපනා
දවසක කොලඹට යනවා
පනම් තුනක් පඩි කනවා
ඉන් පනමක් මට දෙනවා

එදා දෙකේ පන්තියෙ ඉඳලා , විශ්ව විද්‍යාලයට ගිහින් ,උපාධියක් අරන් , කොලඹ රැකියාවක් කරලත් අවුරුදු දෙකක් යනකන් මට අම්මට එක පනමක් වත් දෙන්න බැරිවුනා.

තාමත් මට හිතෙනවා දෙකේ පන්තියෙදි ආරියවතී ගුරුතුමී ඇහුව ප්‍රශ්නෙට මම උත්තර දුන්න මදි කියලා.දැන් මම අම්මගෙන් කිසිම දෙයක් නොඉල්ලුවත් ,ඇගේ විසිවෙනිදා පඩිය දැන් මට අවැදගත් දෙයක් වුනත් ,අම්මා ආසකරන රසකැවිල්ලක්වත් අරගෙන යන්නෙ නැතුව අත්දෙක වන වන ගෙදර යන දවස් තාමත් ඔනෙ තරම් තියෙනවා.ගෙදර ගිහිල්ලත් "මට මහන්සියි" කියලා මුලු සති අන්තෙම අම්ම එක්ක කතා නැතුව නිදාගන්න වෙලාවල් අනන්තයි.ඒත් අම්ම තරහ නැහැ.කීයට හරි මම ගෙදර එන එක තමයි ඇගේ බලාපොරොත්තුව . ඒත් තාමත් ඉඳ හිට මගේ අල්මාරියේ අලුත් ලස්සන සාරි තියලා තියෙන ඇගේ පුරුද්දනම් නැවතිලා නැහැ.