Saturday, January 7, 2012

මල්ලි හපා කාල ඩොක්ටර්.... සහ එයින් පසු




අම්මාට නංගි ලැබෙන්න හිටි කාලයේ ගෙදර හැමෝම කිව්වේ  'අම්ම පුතාට සෙල්ලම් කරන්න මල්ලි බබෙක් එක්කන් එන " බවයි . එතකොට මට අවුරුදු පහකි . ආසාවෙන් බලන් හිටි මල්ලි බබා වෙනුවට අම්මා ගෙනාවේ නංගි බබෙකි . පස්සේ මල්ලි බබෙක් ගෙනැවිත් දෙන බව කිව්වත් ඒ මල්ලි බබා කවදාවත්ම ආවේ නැත . එක අතකට ඔය මල්ලි බබා ගෙනාවේ නැති එකමයි හොඳ , මට එහෙම හිතුන වාර බොහෝය . මට අවුරුදු දහයක් පමණ වන විට අම්මා හා තාත්තා එක්ක නිදා ගැනීමද අහිමි විය .


" ඔයා ලොකු ළමයෙක්  ඒ නිසා දැන් තනියෙන් නිදාගන්න පුරුදු වෙන්න , නංගි තාම පොඩියි නේ , එයා අපි එක්ක නිදාගත්තුදෙන් "කියා අම්මා කීවාය .


මට වෙන්වුන කාමරයේ පාඩම් කිරීමත්  ,තනියෙන්  නිදාගැනීමත් සිදුවිය . මට කාමරයක් වෙන් වුන බව දැනගත් නංගීටත් කාමරයක් වෙන් කරගන්න උවමනා විය . ඇයටත් කාමරයක් ලැබුන මුත් අවුරුදු දහය පැන්නත් ඇය එහි නිදන්න ගියේ නැත .එහි වූයේ අපිලිවෙලට ගොඩ ගැහුන අගේ පාසල් පොත් , ලමා පත්තර , ටොපි හා චොකලට් දවටන , බීම බට , පාසලේ අත් වැඩට මැටි ගුලි වලින් හැදූ බල්ලන් පූසන් ආදියයි .කොටින්ම එය පිස්සිගේ පලා මල්ල මෙනි . ඒ මදිවාට කොහේ යතත් තාත්තාගේ පස්සෙන් එල්ලී මෝටර් සයිකලයේ ඉදිරිපස ඉඳගෙන යන පුරුද්දකුත් ඇයට විය . මම එහෙම කලොත්"ඔයා ලොකු ළමයෙක්" කියා තාත්තා මා බිමට බස්සවයි . නිකන් අම්මගේ ඇඳ අසලින් හාන්සි වුනත් ඇය මා එලවා ගන්නේ "ඔයා තව අවුරුද්දකින් දෙකකින් ඕ ලෙවල් කරන ලොකු ලමයෙක්" කියාය . මේ ලොකු ලමයා කතාව මට පෙන්නන්න බැරිය , ඔය ඔක්කොම අර නංගි නිසාය . ඇය නම් මහ ඇණයක් යයි මට හිතේ . මගේ තනි අධිරාජ්‍යයේ බලය බිඳී යාම නිසා මට ඇය සමග තිබුණේ අසීමිත තරහවකි , ඉරිසියාවකි . ඉතින් ඇය හා වලි පටලවාගන්නට උවමනා හේතු ගොඩක් මට විය .

ලේසියෙන්ම ඈ හා රණ්ඩුවක ඇදගතහැක්කේ ඇගෙ අර අපිලිවෙල කාමරයට හොරෙන් ගොස් එහි ඇති ටොපි , චොක්ලට් දවටන , බීම බට එකතුව ආදිය අවුල් කිරීමේන් හෝ හැංගීමෙනි . එකිනෙකාගේ කාමර වලට කිසිම වෙලාවක පය නොතැබීමට අපි අතර අවබෝධතා ගිවිසුම් වුවද නංගී අවුස්සන හොඳම ක්‍රමය එය කඩ කිරීම විය . එවිට පැටලෙන වලි අවසන් වන්නේ මහා ගුටි කෙලි වලිනි . වැඩුමලා මම වුවත් නංගී අවුරුදු දහයක් වන විටත් මට වඩා  හොඳට උසින් මහති වැඩී සිටි නිසා අන්තිමේදී ඇගෙන් ගුටි කන්න සිදුවන්නේ මටය . ගුටි කෙලි ඇවිලුන විට අපිව දෙපසට කරන අම්මා මට බැණ අඬගහන්නේ "මේ තරම් ලොකු එකෙක් වෙලත් ලැජ්ජ නෑ , නයයි , මුගටියයි වගේ ඇවිලෙනවා "කියමිනි . 

ඒ දෙසැම්බර් පාසල් නිවාඩුව පටගන්න ඔන්න මෙන්න කාලයයි .මට වයස පහලවක් පමණ විය . මා සාමාන්‍ය පෙල පන්තියට සමත්ව තිබිණි.නිවාඩු කාලයට අපේ වලි අවම කර මා සන්සුන් කර තබා ගැනීමේ  හොඳම උපක්‍රමය පොත් බව දන්නා තාත්තා මට පුස්තකාලයෙන් නව කතා පොත් මිටියක්ම ගෙනැවිත් තිබුණි . ඒ අතර මෝපසාං ගේ ප්‍රංස කෙටි කතා එකතුවකුත් , ඇලෙක්සැන්ඩර් ඩූමා ගේ මොන්තක්‍රිස්තෝ පොතේ කාණ්ඩ ගොඩකුත් , මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා වෙලුම් කීපයකුත්   විය. වසර අග මට හොඳ ප්‍රගති වාර්තාවකුත් පාසලෙන් ලැබෙන නිසා නිවාඩු කාලය පේන විදියට සෑහෙන්න සාමකාමි වන ලකුණු තිබිණි . එදා හවස මගේ කාමරයේ ඇඳට ගොඩ වී මම ඩූමාගේ මොන්තක්‍රිස්තෝ සමග තනිවී සංසුන්ව සිටියෙමි . ඒ අතරේ මගේ කාමරයේ මල් මල් තිර රෙද්ද අසලින් කවුදෝ ගැවසෙන බවක් පෙනේ . එකත් එකටම අර වදකාර නංගී බව නිසැකය .අපි උනුන් කෝප ගැනිවීමට කල අනික් වැඩය වූයේ හැම වෙලාවේම බත්කා එකිනෙකාගේ කාමර වල දොර රෙදි වලින් අත පිසදා ගැනිමය . ඈ මේ කැරකෙන්නේ එයට විය යුතුය .එහෙත් මොන්තක්‍රිස්තෝ හැරදමා වලියට යන්න මා සූදානම් නැත . මම නිහඬව පොතේ කිමිදෙමි . මා අවුස්සාගත් නොහුන තැන නංගී මගේ කාමරයට අවුදින් මගේ ඇඳෙන් වාඩි වූවාය . පා පහරක් එල්ල කර ඇයව කේන්ති ගැන්වීමට හොඳටම ඇවැසි නමුත් මොන්ත ක්‍රිස්තෝගේ වීර ක්‍රියා මට වැදගත් නිසා ඒ අදහස අත්හැරීමි .

රංඩුවක සේයාවක් නැති තැන නංගී මගේ පොත් මේසය අසලින් වාඩි වී යමක් කරනු පෙනේ . මම පොත් පාඩම් මේසය ලෙස පාවිච්චිකලේ ටියුෂන් පන්ති වල මේන් දිග උස මේසයක් හා එවැනිම දිග මිටි බංකුකි ඕනෑ වුනොත් ඒ දිග බංකුවේ හාන්සි වී වුනත් පාඩම් කල හැක . නංගී පොත් මේසය උඩ නැගී මගේ පැන්සල් පෙට්ටියේ වූ චිත්‍ර අඳින්න පාවිච්චිකල හොඳම එච් බී පැන්සලක් වගේ වගක් නැතුව බ්ලේඩ් එකකින් කපා දමන්නීය .එවර නම් මට යකා ඇවිස්සිණි .


"ඔය පැන්සල තියන්න , ඕක මම ද්‍රව්‍ය බලා අඳින පැන්සල .නාස්ති කරන්න එපා ".මම සැරෙන් කීවෙමි . 
ඇයත් අතාරින පාටක් නැත ."මටත් ද්‍රව්‍ය බලා අඳින්න ඕනේ "මුරණ්ඩු ලෙස කියමින් ඇය පැන්සල කපා දමයි .


 දැන් නම් හරියන්නේ නැත . මොන්තක්‍රිස්තෝ පසෙකට විසි කල මම වහා නැගිට මෙහෙ දෙනවා ඕක කියමින් පැන්සල උදුරාගතිමි . පැන්සල  පසෙකින් තබා ආයෙත් මොන්තක්‍රිස්තෝ දෙසට හැරෙනවා එක්කම මගේ පිට මැදට දඩෝං ගා පහරක් එල්ල විය . දැන් සාමය අවසන්ය . හැමදාම ගුටි කන්න බැරිය ,වරද මගේ නොවේය .අද නම් දෙනවා පාර සිතූ මම ඇයව ඇඳට තල්ලු කර පෙරලා ගෙන නැගෙන්නට නොදී පහරක් එල්ල කලෙමි .එහෙත් මා පසෙකට තල්ලු කර දැමූ ඈ මට පහර පිට පහර එල්ල කලාය .වලකන්න ක්‍රමයක් නැත.පැරදෙන්න බැරිය . මම වහා ඇගේ අත අඹරවා අල්ලාගෙන හැකි වෙර දමා මැණික් කටුව අසලින් තදින් හපා කෑවෙමි . නංගී වේදනාවෙන් හඬනතුරුම හැපූවෙමි . 

ඇගේ මර හඬ තැලිල්ලට දුව ආ අම්මා අපි දෙපසට කලේ බැන වදිමිනි .  "හැටි විතරක් වලහැඩිය වගේ " කියමින් ඈ මට බැන වැදී නංගිගේ අත පරීක්ෂා කර බලන්නීය .බල්ලෙක් හැපුවාටත් වඩා හොඳින් එහි මගේ කෘන්තක දත් පාරවල් සටහන්වී ඇත .සියුම් ලේ ගැලීමකුත් ඇත.නංගී යටි තොල බෙරි කරගෙන වෙදනාවෙන් හඬා වැටෙන්නිය  . තාත්තා ආ විගස නඩු විසඳන පොරොන්දුව පිට අම්මා ඇයට ප්‍රථමාධාර දෙන්න යුහුසුලු වුණාය . මම තාත්තාගේ ගුටි පූජාවට හිතෙන්  සූදානම්  වුණි .ඉදලක් කොස්සක් කැඩෙන තුරු වුනත් පාර වැදෙන්න අද ඉඩ ඇත .වැරැද්ද බර පතලය .දැඩි දඬුවම් නියමිතය .


"මම ටිකක්වත් අඬන්නේ නෑ . ගහනකොට හෙලවෙන්නෙත් නෑ .ගේ වටේ දුවන්නෙත් නෑ . තව ගහන්න කියනවා .රෑට බත් නොකා නිදා ගන්නවා. මොකට බය වෙනවද" යයි හිතමින් මම වැඩේට ලෑස්ති වුනෙමි .


 තාත්තා ආවේය .අම්මාට පෙර දිව ගිය නංගී සියලු විස්තර කථනය කලාය .ඇගේ අතත් පෙන්නුවාය .ආයෙත් බොරුවට හැඬුවාය .දැන් ගුටි පූජාවට සියල්ල හරිය . තාත්තා "ලොක්කා "කියා මා ඇමතූ සැනින් මම සාලයට ගියෙමි .


" මොකද්ද මේ කරලා තියෙන්නේ ? මේක බොහොම බරපතලයි , නංගිට පිටගැස්ම වුනත් හැදේවි ". ඔහු නොකඩවා කියවාගෙන යයි .
ගුටි දෙන ලකුනු පේන්න නැත 
."මෙන්න සල්ලි .යනවා ගිහින් කොහෙන්හරි කමක්නෑ පිට ගැස්මට ටෙටනස් විද්දගෙන මිසක් දෙන්න ගෙදර එනවා නෙවෙයි" . ඔහු අවසාන තීරණය දුන්නේය . 


ගුටි ලැබුනානම් මීට වැඩිය හොඳය . දැන් හවස හයත් පහුවෙලාය . පිට ගැස්මට බෙහෙත් කොහෙන් හොයන්නද ? නංගී මැරේවිද , මේ වෙලාවට හන්දියේ දොස්තර ඉන්නවද දන්නේ නෑ .ඔය වගේ බයානක සිතුවිලි ගොඩක් මගේ හිතේ හොල්මන් කරයි . තාත්තාගේ තීරනය අවසන් තීරනය නිසා නංගීත් ඇදගෙන හන්දියේ දොස්තර වෙත යන්න පාරට බැස්සෙමි.දැන් නංගීත් බය වී ඇති හැඩකි . ඇගේ මූණේ කඳුලු වියැලිලාය .අපි කවදාවත් අම්මා හෝ තාත්තා නැතිව තනිව බෙහෙත් ගන්න ගොස් නැත .


" තමුසෙ මොකද මාව කේන්ති ගැස්සුවේ ? නැත්නම් මේ කරදර මොනවත් නෑ නේ" කියමින් ඇයට රවමින් බනිමින් මම ඇගේ අතින් අල්ලගෙන යමි .


හන්දියේ අලුත් දිස්පැන්සරියක් ඇතිමුත් මම එයට ගොස් නැත .ඉන්නේ අලුත් දොස්තර මහත්තයෙකි . එකත් එකටම එය හොඳය . කවුරු  හපාකෑව කියල කියන්නද ? මම හපා කෑව කියලා කියන්න නම් බැරිය .ඒ නිසා අපේ පවුලේ විස්තර හොඳින් දන්නා නිතර බෙහෙත් ගන්න යන විමල් දොස්තර මහතා ගාවට යාම මේ වෙලාවේ කල නොහැක . යා යුත්තේ මේ අලුත් දොස්තර මහතා වෙතය .හපා කෑම ගැන බොරුවක් හරි කියන්න පුලුවන.දිස්පැන්සරියට ගොස් වාඩි වූ සැනින් ඔලු අපි දෙදෙනාට ඇතුලට එන්න හඬ ගෑවේය .එවක  ඔහු තරමක තරුණ වෛද්‍ය වරයෙකි .


" ඇයි මේ පොඩි ලමයි දෙන්නෙක් ?" ඔහු අපෙන් විමසයි .
 මම කතාව කෙටියෙන් කිව්වෙමි .
"බලන්න ඩොක්ටර් මේ මගේ නංගි  එයා මල්ලි එක්ක සෙල්ලම් කරද්දී මල්ලි අත හපලා හයියෙන් ටිකක් තුවාලයි වගේ"
 . "කෝ ඔයාලගේ වැඩිහිටියෝ ?" ඔහු බාධා කරයි 
"අම්මයි තාත්තයි ටවුමට  ගිහින් තාම ආවෙ නෑ .එහා ගෙදර ඇන්ටි තමයි කිව්වේ ඩොක්ටර් ට පෙන්නන්න කියලා ". 
මම මහ දැනමුත්තියක් මෙන් පිලිතුරු දෙමි .නංගී බයටත් පුදුමයටත් පත්වී සිටියාය . මට හදිසියේම මල්ලි කෙනෙකුත් ලැබී ඇත .
" වයස කීයද ඔයාගෙ මල්ලිගේ ?"
ආයෙත් දොස්තරගෙන් පැනයකි . 
"අවුරුදු හයයි මම පැනලා උත්තරදුන්නෙමි ". 

හපා කෑ දත් පහර පරීක්ෂාකර බැලූ දොස්තර මහතා "බය වෙන්න දෙයක් නෑ අපි ටෙටනස් එකක් විදිමු කොයිකටත් " කියා නංගීට පිටගැස්ම එන්නත දුන්නේය . නංගීට හොඳට රිදෙන්න එන්නතක් ලැබීම ගැන මට මහා සතුටක් දැනිනි .

ආයෙත් ගෙදර ආ විට මට කන් පිරෙන්න තාත්තාගෙන් හා අම්මාගෙන් බැනුම් ලැබුණි . ඒ මදිවාට වස ලැජ්ජාවය . නංගී මගේ සියලු බොරු රංගනයන් අම්මාට වාර්තා කර තිබිණි . එදා සිට කාලයක් යන තුරු ගෙදර සියල්ලෝම මට ලෙඩක් හැදුන විට  විහිළු කරන්න   පුරුදුව සිටියෝය.

 ".දැන් ඉතින් ඔයාට බෙහෙත් ගන්න යන්න වෙන්නේ ඩොක්ටර් අමරසිරි ගාවට . එතකොට එයා අහන්නෙ නැත්තෑ අර අත හපාකෑව මල්ලි ගැනත් . ඉන්නවකො අපි කියන්න ඇත්ත කතාව ."

මට එවිට මහා ලැජ්ජාවක් ඇතිවේ .එනිසා උණක් හෙම්බිරිස්සවක් හදා නොගෙන ඉන්න මම සෑහෙන්න කාලයක් උත්සාහ ගතිමි . මේ වෛද්‍යවරයා මගේ පාසලේ ආදි සිසුවෙකි . එනිසා අපි බෙහෙත් ගන්න ගිය විට ඉගෙනීම , අපේ විබාග ගැන වචනයක් දෙකක් අපෙන් අහන පුරුද්දක් ඔහුට විය .ඒත් මේ වෙනකන් දෙවියන්ට  ස්තූති වන්න  කවදාවත්ම  අපේ බාල මල්ලී ගැන නම් අසා නැත .

 අපි දෙන්නා ටොම් ඇන්ඩ් ජෙරී මෙන් රංඩු වෙමින් යාලුවෙමින් ලොකු වීමු .ටිකක් ලොකු වුන විට අතින් පයින් ගුටි කෙලි පසෙක ලා වචන වලින් ප්‍රහාර එල්ල කර ගත්තෙමු . හිත් රිදවීම් ඕනෑ තරම් විය .දෙන්නා දෙවිදියක චරිතය  . අප දෙදෙනාම  හඳුනන හැමෝම කියන්නේ එහෙමය . ඒත් දෙන්නාම ජීවිතයේ දෙවැනි දශකය පහු කරන සමය වන විට මේ රණ්ඩු ඇල්ලිම්, පොර ඇල්ලීම් ,නැතිවී යමින් බොහෝ  වෙනස් වී තිබුණි .දැන් අම්මා ඕනෑම වෙලාවක් බනින්නේ  "මේ දෙන්නාම එකයි ලොක්ක තමයි පොඩි එකා නරක්කරන්නේ"   කියමිනි .


ප/ලි


මේ අතීත කතාව ඇදිලා ආවේ මෑතදී නංගී ලෙඩ වී ප්‍රතිකාර පිණිස රෝහල් ගතකල විටය . ඇගේ අවසන් වෛද්‍ය වාර්තාව හා නිගමනය රෝහලෙන් ලැබෙන තෙක් තරමක කැලඹීමෙන් යුතුව මා බලා සිටින වෙලාවක මා හිනැස්සිමට නංගී මේ කතාව මතක්කලාය .සියල්ල අවසානයේ යහතින් නිමා වූ අතර ඇගේ රෝග නිර්ණය සිතූ පරිදි අවදානම් සහගත දෙයක් නොවීය .