Sunday, May 8, 2011

නමස්තේ පොකරා 1 -කඳු මංපෙත් අතරින්

Phewa Lake

Boat ride in the Lake


Lake Pewa ,Pokahra city and Mountains

Machchaya Putri get cleared
Headloading woman climbing hills

මේ සටහන කියවන්න කලින් මගේ නේපාලෙට සැපත්වීම ඉස්සෙල්ල කියවල ඉන්න.

අපේ පුහුණුව අවසන්වුනේ අප්‍රේල් දොලොස්වෙනිදා .අවුරුදු දවස් දෙක නේපාලෙම ගතකරලා එන්න තමයි මගේ කල්පනාව.මෝනගේ අදහස වුනේ දවස් දෙකකින් නරඹන්න පුලුවන් ගොඩක් දුර නැති පොකරා (Pokahra) වලට යන්න .පොකරා කත්මඩු වල ඉඳලා කිලෝමීටර 225 විතර ඈතින් තියෙන ලස්සන සංචාරක නගරයක් . ගුවනින් යනවනම් කත්මන්ඩු ඉඳලා  පැයබාගෙකින් යන්න පුලුවනි .යන්න එන්න ගුවන් ටිකට් පතක් නේපාල් රුපියල් 3000-4000 අතර වෙනවා . බස් එකක යනවනම් පැය හයක් ගතවෙනවා.ට්‍රැවල් ඒජන්සි වලින් ටුවරිස්ට් බස් එකක සීට් බුක් කරන් යන්න පුලුවනි . ටිකට් එකක් නේපාල් රුපියල් 700-1000 අතර වෙනවා . නමුත් පොකරා යන පාරේ තියෙන මනකම්මා දේවාලය වගේ තව සංචාරකයන්ගේ හිත්ගත්තු  තැන් වල  නවත්වමින් යන නිසා ගමන හෙමින් .මට තියෙන්නෙ දවස් දෙකක් වගේ කෙටිකාලයක් නිසා මහ පාරට වෙලාව නාස්තිකරන්න බැහැනේ. ඉක්මනින් , ලාබම ක්‍රමේට පොකරා යන්න වෙන්නෙ කත්මන්ඩු වල ග්‍රීන් ලයින් බස් නැවතුමෙන් මයික්‍රො වෑන් එකක නැගල යන එක.මේ හයි ඒස් වෑන් වලින් දුරගමන් මගීන් ප්‍රවාහනය කරන විදියක් . පොකරා වලට මයික්‍රො වෑන් එකකින් යන්න ටිකට් එකක් නේපාල් රුපියල් 400.


ඒත් පුහුණුවට ආව වැඩිදෙනෙක් මට නතුරු ඇඟෙව්ව වැහි කාලෙ ඔහොම වෑන් වලින් කිලෝමීටර 225 යන එක ඒතරම් හොඳ දෙයක් නෙවේ කියල.ඒ කතාවෙ පොඩි ඇත්තක් තිබුණා. කඳු ,හෙල් ,මහා පල්ලම්, දල බෑවුම් වලින් පිරුණ මේ පාරේ නිතරම නායයාම් , රිය අනතුරු බහුලයි .ඒත් ඉතින් එහෙම කියලා ගමන අතාරින්න පුලුවන්ද?.කොයිකටත් ගොදාවරියේ ට්‍රැවල් කවුන්ටරෙන් විපරම් කලාම ඒ අය කිව්වෙ මේ දවස් වල එහෙම  ප්‍රශ්නයක් නෑ යන්න පුලුවනි කියලා .කඳුකර පාරක  මෙහෙම බස් එකක යනකොට පොඩි විනෝදෙකුයි ත්‍රාසජනක ගතියකුයි තියනවනේ .මම ඉතින් රට තොට ,මිනිස්සු , ජනජීවිතේ දකින්නත් හරි කැමතිනිසා මයික්‍රො වෑන් එකකම පොකරා යන්න තීරණේකලා.


අපි ගමන පිටත්වෙන්න තීරණය කලේ දහතුන්වෙනිදා එලිවෙන පාන්දර හයට විතර. කලින් වතාවක මට මුණගැහිලා අඳුනගත්තු මෝනාගේ හොඳම මිතුරියක් වුණ සමීරාත් (සෑම්)  අපේ නඩේට එකතුවෙනවා. පොකරා පිටත්වෙන්න ඔනෙ නිසා මම දොලොස්වෙනිද රෑ මෝනගේ ගෙදර නතරවුණා.ඔන්න එදා තමයි මෝනගේ කෙලි පැංචි අදිතිව හම්බවුනේ අවුරුදු දෙකකට පස්සේ.දැන් එයාට අවුරුදු හතයි. මගේ ඉන හරියට විතර උස ගිහින්.පොඩි එකා මාව දැක්ක හැටිය දුවගෙන ඇවිත් අතින් අල්ලගෙන  එයාගෙ කුකුළු පැටවු බලන්න එක්කගෙන ගියා.පස්සේ අපි දෙන්න හෙලිකොප්ටරේත් උඩ ඇරියා.හිතුවට වඩා සෑහෙන්න දුරක් ඒක උඩයනවා.අදිතිට හරි සතුටුයි.මෝනගේ නැන්දත් මාමත් දෙන්න මාව ආදරෙන් පිලිගත්තා. නැන්දා මට තේ බොන්න පකෝඩා එක්ක තව විශේෂ කෑමක් ලෑස්තිකරගෙන ආවා.


This is "Beaten Rice " .Its a rice supplementary for us . Try it machan

 මෝනා කිව්ව . ඔන්න හොඳට බැලුවම දැක්කේ මේ අපේ හබල පෙතිනේ. වෙනස මේ අය හබලපෙති අපි වගේ අතුරුපසක් විදියට නෙවෙයි බත් වෙනුවට කන ප්‍රධාන ආහාරයක් විදියට පාවිච්චි කිරීම.අපි හබලපෙති වතුරේ දාලා පොඟවලා ගත්තට මේ අය නිකන්ම කෑමට ගන්නවා කඩල ,පරිප්පු එහෙම මිශ්‍ර කරලා හැදූ වෑන්ජන, අඹ අච්චාරුත් එක්ක . ඒකත් හරි අපූරු රහයි . ඔය අතරේ මම එයාලට කිව්වා අපි ලංකාවෙ හබලපෙති හදන විදිය . නැන්දා හුඟක් උනන්දුවෙන් අහගත්තා අත්හදා බලන්න .


අපි දෙන්නම කලින් නිදාගන්න ගියාට මොකෝ ඉතින් පරණ පුරුදු ලෙඩේ හෙවත් කයිවාරු ගැහිල්ල නිසා එදත් නිදාගන්නකොට එලිවෙන පාන්දර දොලහට විතර ඇති.උදේ පහට විතර ඇහරිලා ඉක්මනට ඇඳ පැලඳගෙන හීතලේ ගැහි ගැහිම ග්‍රීන් ලයින් බස් නැවතුමට ගියා.සෑම් ඒවෙනකොටත් අපි එනකන් මග බලමින් හිටියා .තුන්දෙනාම ටිකට් අරන් වෑන් එකේ පස්සෙම සීට් එකේ හරිබරි ගැහුනා.


බස් එක කත්මන්ඩු වලින් පිටත්වුන වෙලේ ඉඳලා මග දිගටම වහිනවා.හරි හීතලයි.රියදුරයි කොන්දොස්තරයි දෙන්න වෑන් එකට මගියො පහලවක් විතර පටවගෙන තිබුණා.මේ වාහන වල ජම්පින් සීට් වෙනුවට වේවැල් වලින් වියපු පොඩි ස්ටූල් තුනක් සීට් අතරට හිරකරලා ඒවට මගියො නග්ගගන්නේ නගරේ පහුවෙලා අතරමගදී. වැඩිදෙනෙක් උදේ පාන්දර නිසා නිදි කිරනවා .ඒත් අපි තුන්දෙනා පස්සෙ සීට් එකට වෙලා වගේ වගක් නැතුව කියව කියව හිනාවෙනවා.දැන් දැන් කත්මන්දු පහුකරගෙන බස් එක ඇදෙනවා ලොකු කඳු නගිමින් , පල්ලම් බහිමින් .පහල මහා ප්‍රපාතාකාර බෑවුම් බලන්නත් බයයි .ඒ මැදින්  නිල් කැටේට වතුර පිරුණ ත්‍රිශූලි ගංගාව වැස්ස නිසා සැර වුණ සැඩ පහර නංවමින් ගලනවා. පල්ලමේ තියෙන ගම් තාමත් තද මීදුමෙන් වැහිලා ඒ අතරින් හෙල් මලු විදියට වවපු කුඹුරු යායවල් , කැරට්.ගෝවා , බ්‍රොකලි පාත්ති,ගෙවල් වල කුස්සියෙන් අහසට යන දුම් රොටු  පේනවා .යන පාර දිගේම සැඟවෙමින් මතුවෙමින් කිරි පාට පෙන නගමින් ත්‍රිශූලී ගංගාව ගලනවා.ඔලුවෙ ඉඳන් දෙපතුල වෙනකන් පොරවගත්තු ගැමියො පහල බෑවුමේ ගම් වල ඉඳලා ගොවි බිම් වලට ඇදෙනවා .


අපේ වෑන් එකත් සෑහෙන්න වේගෙන් ඇදෙනවා.මීදුම පිරුණ කඳු වලල්ලේ පින්තූර අරගෙන ඉවරයක් නැති බව තේරුණහම මම වැඩේ අත ඇරල දැම්ම.උදේ නවය විතර වුණත් තාමත් වැහිබර අහස.හීතල නිසා හොඳටම බඩගිනියි .නිදාගෙන හිටි උදවියත් එකා දෙන්න ඇහැරිලා  ඇඟමැලි කඩනවා .කාටත් බඩගිනියි ටොයිලට් යන්නත් ඕනෙ.රියදුරාටනම් තාමත් ඒ ගන වගක් නෑ පාගල යනවා වැස්සෙම .අන්තිමට බස් එකේ මගියො කීපදෙනෙක් එයත් එක්ක වාද කරලා යන්තම් කෑම කඩේක නවත්තගත්තා .හම්මෝ බස් එකෙන් එලියට පැන්නම දැනුන සනීපෙ. මේ කෑම කඩේ එවෙලෙම උණු උණු උදේ කෑම හදල දෙනවා . අපිත් 'තුප්ප නූඩ්ල්සුයි" (ටිබෙටියන් විදියට හදන නූඩ්ල්ස්)  චායේ තුනකුයි ඕඩර් කරලා කෑමට වාඩි වුණා .ටික වෙලාවකින් උණු උණු නූඩ්ල්ස් කෝප්ප තුනක් මෙසෙට වැඩියා.ඒ තමයි මම මෙච්චර කාලෙකට කෑව රසම රස නූඩ්ල්ස් .


කාලා බීලා ඉවරවෙලා ආයෙ ගමන පටන්ගන්නකොට බස් එකේ  කාටත් නව පණක් ඇවිල්ලා.කවුරුත් ලඟ ඉන්න අය එක්ක  කතාවට වැටිලා. වැහි අඳුර මැකිලා ලා හිරු එලිය මෝදු වෙනවා.කඳු වැටි එයාල දවටගෙන හිටි මීදුම් සේල උනා දමලා ඉරු රැස් නානවා. අපේ රියදුරා එයාගේ කැසට් යන්ත්‍රය උස් හඬින් දැම්ම.නේපාල , හින්දි , ඉන්ග්‍රිසි කලවම් ගීත වාදනය වෙනවා .අපිත් තුන් දෙනා පිටිපස්සේ සීට් එකේ ඉඳන්  මෝනගේ මොබයිල් පෝන් එකේ රෙකෝඩ් කරල තිබුණ සින්දු අහන්න ගත්තා.හරි මරු. වෑන් එකෙ ඉස්සරහෙන් එක සංගීතයක්.පස්සෙන් තව සංගීතයක්.බස් එක ගම් නගර පහුකරගෙන ඇදෙද්දී මට පොටෝ කීපයක් ගන්න ඕනෙ වුණත් ඒ අදහස අත් ඇරලා දාන්න වුණා බස් එකේ වේගෙ වැඩි නිසා.



අපි පොකරා ටවුමට එනකොට දවල් දොලහමාරයි .හොඳට ඉර පායලා ."ඇවිදින්න යන්න හොඳ කාලගුණයක්" බස් එකෙන් බහින ගමන් සෑම් කිව්ව.අපේ නවාතැන වුනේ පිව්හා විල කිට්ටුව අතුරු පාරක තිබුණ බ්‍රෝඩ්වේ ඉන් කියලා පොඩි ගෙස්ට් හවුස් එකක් .පොකරා සංචාරක කර්මාන්තෙට ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මේ ලස්සන විල් සහ ඒ වටේ තියෙන කඳු පන්ති නිසා. සංචාරකයන්ට වෙන්වුණ නවාතැන් අවන්හල් මේ සියල්ලම ගොනු වෙලා තියෙන්නෙ පිව්හා විල (Phewa Lake)  වටේ.බැලූ බැල්මටම පොකරා කියන්නේ බොහෝ සංස්කෘතීන් මිශ්‍රවුන මල්ටි කල්චරල් තැනක් . අවන්හල් , මග තොට යන එන මිනිස්සු , කඩ සාප්පු ඒක මැනවින් විදහාපානවා.කොන්ඩ වවාගෙන ,ටිබෙටියන් ඇට මාල දාගත්තු , ඕම් ලකුණ සහිත ටී ශර්ට් ඇඳගත් සංචාරකයන්ගෙන් මේ පොඩි නගරය පිරිලා.


අපි ට්‍රිපල් රූම් එකක් අරගෙන නාලා ටිකක් මහන්සි ඇරලා දවල්ට කාලා පිව්හා  විල වටේ සිරි නරඹන්න පිටත්වුණා. මෝනා සහ සෑම් දෙන්න තමයි ඔක්කොම ප්ලෑන් කලේ . විල දිහාට යන ලේක් සයිඩ් පාර ජනයාගෙන් පිරිලා ඉතිරිලා . සමහර තැන් වල ලොකු ගස් යට පාපැදි නවතලා තියෙනවා .ඕන කෙනෙකුට එයින් එකක් කුලියට අරන් විල වටේ සවාරි යන්න පුලුවන් .නේපාල් ජාතිකයොත් එයාලගේ නේවාරි අලුත් අවුරුද්ද සමරනවා අප්‍රේල් දාහතරවැනිදා .ඉතින් අවුරුදු නිවාඩුවට ට්‍රිප් ඇවිල්ල ඉන්න දේශීය සංචාරකයන්ගෙනුත්  නගරය පිරිලා .හැමෝම පවුල් පිටින් සතුටුවෙන්න විවේකගන්න පොකරා ඇවිත්.


පිව්හා විල නිල්පාට ජලතලයකින් පිරුණ ඇස් පෙනෙන මානෙකට යනකන් මීදුමෙන් වැහුණ කඳු වලල්ලකින් වටවුණ හරිම ලස්සන තැනක් . විලේ බෝට්ටු සවාරි යන්න පුලුවන් .අපිත් බෝට්ටුවකට නැගුනා.මම බෝට්ටුවල යන්න ටිකක් බයයි ඒත් විලේ ලස්සන  දැක්ක යන්න හිතුනා.ඔන්න ආයෙත් කඳු පෙල අඳුරු මීදුම් වලාවකින් වැහිලා හිරි පොද වැටෙනවා.හිරි පොද වැස්ස කපාගෙන අපේ බෝට්ටුව විල මැද තියෙන "බරායි" -(Barahi)දේවාලෙ දිහාට ඇදෙනවා.එන්න එන්න වැහි අඳුර වැඩි වෙනවා හිරි පොද ලොකු වැහිබින්දු වෙලා සට සට කියලා වැටෙනවා . මට ඒවෙලාවෙ මතක්වුනේ තාගෝර් තුමාගේ බංගාලි කවියක්.විල වටේ බෝට්ටු සවාරි යන කවුරුත් බරායි දේවාලෙට ගොඩවෙලා නමස්කාර කරලයි යන්නේ.


බරායි දේවාලෙට පඬුරු දාලා අපි ආයෙත් පිටත්වුනා විලේ අනික් ඉවුරට යන්න .වැස්ස හොඳටම සැරවෙලා හීතල හුලඟයි මීදුමයි එක්ක අපි විල් ඉවුරට ගොඩ බැස්සේ තෙත බරි ඇඳුම් පිටින් .එතනම තිබුණ අවන්හලට ගියේ ටිකක් උණුසුම් වෙන්න .තුන්දෙනාම හොට් චොක්ලට් පානයක් ඕඩර් කරලා කතා නැතුව විල දිහා බලාගෙන ඉන්නවා. වැස්සත් මීදුමත් කඳු වලල්ලත් හරි චමත්කාරජනක සුන්දරත්වයකින් පිරිලා .වහිද්දී මුලු දවසම වුණත් මෙතන ඉඳ විල දිහා බලන් නිස්කලංකේ ඉන්න පුලුවන් .ජීවිතේ රස විඳින්න සතුටුවෙන්න සොබාදහම මොනතරම් සොඳුරු දේවල් නිර්මාණය කරනවද කියලා මට හිතුණා.


දැන් හවස තුනයි .ආයෙත් ගමන පිටත්වෙන්නයි අපේ සූදානම . මේ අවන්හල කිට්ටුවෙන් තියෙන කඳුකර කැලෑපාරක් දිගේ කිලෝමීටර හතරක් විතර පයින් ඇවිදගෙන කඳුමුදුනේ තියෙන සාම ස්තූපය (World Peace Pagoda) දැක බලාගෙන ගම් මණ්ඩි මැදින් පහලට බහින්නයි අපේ කල්පනාව .

මෝන අපේ නඩේ ගුරා .එයා මට කියලාදුන්න මහන්සි නොවී කඳු නගින විදිය.ජන ශූන්‍ය කඳුකර කැලෑ පාරක හේදිලා ගිය ගල් පඩි , දල බෑවුම් දිගේ අපි උඩට නගිනවා . ගන සැරේට නොවුනත් උසට වැවුන ගස් කොලන් වලින් මග දෙපස පිරිලා. තාමත් වහිනවා .වැහිබින්දු සිරි සිරි ගාලා ගස් වල කොල උඩට වැටෙනවා. මගේ සීත කබායත් ,තොප්පියත් දෙකම තෙත්වෙලා . ටිකදුරක් යද්දී හොඳටම හති .එතකොට මෝනා සහ සෑම් දෙන්න "මචන් යූ කැන්" කියලා මාව දිරිමත් කරනවා .ආයෙත් අපි ගමන පිටත්වෙනවා.ඔහොම දල බෑවුමක් නැගලා උඩට යද්දී පුංචි තැනිතලා බිම් හම්බවෙනවා . එහෙම තැන්වල ටිකක් මහන්සි අරිනවා . මීදුමෙන් වැසුන පිව්හා විලත් පොකරා නගරයත් හරි ලස්සනට මේ තැන්වලට පේනවා.මගේ කැමරාව මේ සියල්ලම රූගත කරගන්න දඟලනවා.ඔයවගේ එක තැනකදී මෝන මට පෙන්නුවා පිව්හා විල ආරම්භවෙන තැනත් මීදුමෙන් වැහුන සිකිම් මනිපාල් විශ්වවිද්‍යාලයත්.ඉඳහිට පහලට බහින සංචාරකයෙක් දෙන්නෙක් අරුණම මිනිස් වාසයක් දකින්න නැති පරිසරයක් . කුරුලු හඬයි , වල් සමන්පිච්ච මල් වල සුවඳයි ,සිසි සිරි ගාල වහින සද්දෙ එක්ක හෙමින් හෙමින් අපි මේ කඳුකර කැලෑ පාරෙන් ඉදිරියට යනවා .කොහොමහරි හති දාගෙන  වෙහෙස නොබලා අපි සාම ස්ථූපය ගාවට ආවා.


මගේ ජීවිතේ දැක්ක සොඳුරුම දසුනක් තිබුණේ එතන .ඒවෙනකොට වැස්ස නතරවෙලා කඳුවලින් ලා හිරු කැරලි එබෙනවා .අඳුරු  වලාකුලු මෑත්වෙලා ලා නිල්පාට අහසේ තවරලා ඒ මැදින් සුදු හිමෙන් වැහුන අන්නපූර්ණා කඳුපෙල මෝදුවෙනවා .අපි තුන්දෙනා ආයෙත් අත් අල්ලගෙන කතා නැතුව ඈත කඳු දිහා බලන් සමාධිගතවෙලා හිටියා.ඒ තරම් ලස්සන දර්ශනයක් අපේ ඇස් ඉදිරිපිට මැවිලා තිබුණා.අන්නපුර්ණා වැටියේ හිමෙන් වැහුන  මච්ච පුත්‍රි  (Machyapucharee , Fishtail) කඳු මුදුන  හෙමින් මෝදුවෙනවා වලාකුල් අතරින්.ඒ වෙලාවෙ තමයි මට හිතුනේ වැස්ස සහ හිරු එලිය පරිසරයට දෙවිදියක ලස්සනක් ගේනවා කියලා


මගේ ගමන් මහන්සිය කොහේ ගියාද කියල නැහැ. තෙතබරි වුන සීත කබායත් තොප්පියත්  ගලවලා දාලා  බැහැගෙන යන  හිරු කිරණ විඳින්න මට ඕනෙ වුනා . සෑහෙන්න වෙලාවක් නිහඬව ස්ථූපය ගාව හිටිය අපි තුන්දෙනා අත් අල්ලගෙන පහලට බැස්සේ ඒ ලඟ තිබුන පොඩි කඩ පොඩ්ඩෙන් තේ ටිකක් බොන්න .


කඩේ ඉස්සරහ පිදුරු හෙවිලි කරලා උණබට වලින්  පුංචි  පැලක් හදාලා ලී බංකු කීපයක් තියලා තුබුණා සංචාරකයන්ට ගිමන් අරින්න . බිස්කට් පැකට් එකකුත් අරන් තේ බොන ගමන් අපි කතාකලේ කලබලෙන් පිරුණ විවේකයක් නැති ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නවට වඩා මොනතරම සැහැල්ලුවක් මේ පරිසරයෙදී දැනෙනවද කියලා . තේ කඩේට ආව වයසක ආච්චිලා දෙන්නෙක් අපිට කිව්වෙ වැඩිය රෑවෙන්නෙ නැතුව පහලට යන්න කියල .අපි ඒ දෙන්නටත් අපේ ගානෙ තේ අරන්දීල ටිකක් කතාකලා.දෙන්නටම වයස හැත්තෑවකට වැඩියි.කවදාවත් ඉස්කෝලෙ ගිහින් නෑ.දරු මුනුබුරො ගොඩක් එක්ක පහල කඳුකර ගමේ ජීවත්වෙනවා . අපිට තරම සංකීර්ණ ජීවිත මේ මිනිස්සුන්ට  නැහැ.


තේ කඩේ ඉඳන් අන්නපූර්ණා වැටිය  සිඹින අවසන් හිරු රැස් දහරත් නෙතට හසු කරගත් අපි ආයෙත් ගම් මණ්ඩිය මැදින් හේදිලා ගිය ගල් පඩි අතරින් පහලට බැස්සා.පහලට බහින එක ඒ තරම් අමාරු නැහැ.  පොකරා නගරයේ ගොඩනැගිලි ගිනිපෙට්ටි වගේ පේනවා. හවස්කරේ කඳුකර නිවෙස් වල ගෑනු හරක් රංචු පිදුරු මඩු වලට ගාල් කරනවා .මේ පිදුරු මඩු හඳුන්වන්නේ "තුවා" කියල . හරක් ගාල් කරන්න , දර ,පිදුරු ගබඩා කරගන්න යොදාගන්න මේ පිදුරු මඩු කඳුකර ගම් වල  සුලබ දසුනක් . පොඩි ළමයි මිදුලේ සෙල්ලම් කරනවා .පහල නගරයට වැඩට  ගිය ගමේ උදවිය කඳුකර පාර දිගේ ගෙවල් වලට එනවා .බොහොමයක් ගෑනු උදවිය හාල් , එලවලු පිරුණ බඩුමලු පිටේ එල්ලන් කන්ද නගිනවා .මේ මිනිස්සු හැමදාම උදේ හවස කඳු පලම් නගිමින් බහිමින්  දුක් විඳගෙන ජීවිත සටන ගෙනියනවා .සමහර ගම් වැසියො අපිට නමස්තේ කියමින් පටු ගල් පඩි දිගේ පහලට බහින්න උදව් කලා .මෙහෙම ගමක ලෙඩක් දුකක් වුනෝත් ඉතින් දෙවියන්ගේ පිහිට ඇර වෙන පිහිටක් නෑ.ඒත් මේ මිනිස්සු ගෑනු එහෙම කියලා ජීවිත සටන අත ඇරලත් නෑ.ජීවිතේ බොහොම සුලු සැප පහසුකමක් නැතිවුණත් මැසිවිලි කියන අපිට මේ මිනිස්සු,ගෑනු  හොඳ ආදර්ශයක් හැමදේම නැතිවෙලා ගියත් ආත්ම දහිරියෙන් ජීවිතේ ගෙනියන්න .මේ ගමන සිහිවෙන්න මම කඳුපාරෙන් ගල් කැට කීපයක් අරන් සාක්කුවට දාගත්තා .


කඳුකර පාරෙන් පල්ලම් බැස්ස  ගමන අවසන් වුණේ ඩේවිස් ෆෝල් කියන තැනින් . පිව්හා විල මහා දිය ඇල්ලක් විදියට මෙතැනින් අවසන් වෙනවා. පිව්හා විල තරණය කරගෙන කැලෑවක් මැදින් ගිය අපේ කඳුකර ගමනත් මෙතැනින් අවසන් වුණා.


ප/ලි
පොකරා ගමනේ අමතක නොවෙන අත්දැකීම තමයි මේ කඳුකර කැලෑ පාරෙන් වැස්සට තෙමීගෙන ගිය ගමන .ලංකාවෙදි නම් මම ඇස්මා හැදෙනවට බයේ කිසිම දවසක තෙමීගෙන මෙහෙම ගමනක් යන්නෙ  නැහැ. නමුත් එදා හොඳටම තෙමිලත් මාව ලෙඩ වුනේ නැහැ.පොකරා නගරයේ වීදිසැරිය ගැන තව කතන්දරයක් තියෙනවා .ඒක එන සතියේ ලියන්නයි කල්පනාව .  නීතට විශේෂ ස්තුතිය .එයා කියවන්න මග බලාගෙන ඉන්නව කිව්ව නිසා මට කතාව ඉක්මනට ලියන්න හිතුණා

පොකරා ගැන තව විස්තර කියවන්න ආසනම් මෙන්න මෙතැන්නින් බලන්න පුලුවනි .