Sunday, March 4, 2012

ලෙට්ස් හැවු අ කොෆී -Incomplete Stories




එලියේ වහිනවා හෝ ගාලා ඒත් මොකද්ද  ලතාවකට . ඔෆිස් කාමරේ ඒ සී එක ගොඩක් වැඩියි දහ නවයක් විතර සෙල්සියස් .මම කැමති වහිද්දී කාමරේ ඇතුලේ සීතලට තියෙන්න . සීත වැඩි නම්  අත් දිග ටී ශර්ට් එකක් තියේ ලොකර් එකේ .ඒක අඳිනවා . හ්ම් පසුබිමින් මම කැමතිම එල්විස් ප්‍රෙස්ලිගේ , නීල් ඩයමන්ඩ් ගේ හා නන්දාගේ  සින්දු වාදනය වෙනවා .මොනවදෝ අඩුවකුත් හිතට දැනෙනවා .ඔහ් හරි දැන් මතක්වුනේ 

ඉන්ටර්කොම් එකෙන් දෙසිය විසිපහට කෝල් එකක් ගත්තා 

"තිලක් ගාණට සීනි දාලා ,කිරි දාලා උණු උණු නෙස්කැෆේ ලොකු මග් එකක් ගේන්න "

'මිස් උදේට තේ බිව්වේ දැන්නේ "

"කමක් නෑ තව එකක් ගේන්නකො"

"හරි "

විනාඩි දහයකින් දුම් දාන නෙස්කැෆේ මග් එක  මේසෙ උඩ .මම හිමින් මග් එක අතින් අරන් වැස්ස දිහා බලන් සංගීතෙට කන්දෙනවා .මේ කාමරේ වෙන කවුරුත් නෑ . 

පර්ෆෙක්ට් ඩේ ටු ෆිනිශ් මයි රිපෝර්ට් කියලා හිතෙනවා ....හවස් වෙනකොට හොඳ රිපෝර්ට් එකක් ලියලා .එදා දවස ගෙවෙද්දී මගේ මේසෙ උඩ නෙස්කැෆේ  බීල හිස් වුන කෝප්ප පහක් විතර තියේ . 

***************

කෝල් එකක් 

"හලෝ ...අද ඔයා කොලඹද ? ,මොනවද හවසට ප්ලෑන් ?"

"මුකුත් නෑ .අද ඉක්මනට වැඩ ඉවරවේවි "

"හරි එහෙනම් යමු තුම්මුල්ලේ බැරිස්ටා එකට "

මම හිමීට ඇස් පියා ගත්තා .... රීඩ් ඇවනියු එක ,විසාල මහ ගස් , ග්‍රවුන්ඩ් එක බෞද්ධාලෝක මාවත , එලියේ සමර් හට් ,කැම්පස් එක, හුරු පුරුදු පරිසරය ....මට නොදැනී හීන් හිනාවක් මූණට ආවා 

"හරි මම හරියට පහමාරට එතැන " 

"ඕ කේ මම එනවා .ලෙට්ස් හැවු අ කොෆී" 

"යැන්කි ස්ටයිල්ද , මහ රැජිණගේ ක්‍රමේටද ?"

මම එයාට විහිලු කලා .අපි දෙන්නම මහ හයියෙන් හිනා වුනා 

මාස ගාණකින් අපි මුණ ගැහිලා සුපුරුදු  කතා  මල්ල ලිහුවා .ඇත්තම කිව්වොත් අපේ සාමාන්‍ය ජීවිතේ ඉඳලා ඔෆිස් වල තියෙ එදිනද මැනේජ්මන්ට් ප්‍රශ්න දක්වා .කතාව ඇදිලා ගිහින් නගර සංවර්ධනය ගැන අපි කියවනවා .මිනිසුන්ට ප්‍රිය මනාප නගර බිහි කරන්න ඕනේ සැලසුම් .... දුම් දාන ලොකු කැෆේ මෝචා දෙකක් හිස් වෙනවා .අහස කලු වෙලා පොද වැස්ස කඩන් වැටෙනවා .අපි සමර් හට් එක ඇතුලේ .පොද වැස්ස මහ වැස්සක් වෙලා , කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් වහිනවා .අපි තාම අර්බන් ප්ලෑනින්ග් .....සමර් හට් වල හිටි උදවිය ඇතුලට ගිහින් .අපේ කකුල් තෙමාගෙන වැහි වතුර ගලනවා .හිරිකඩ පින්න ගහනවා .හොඳටම රෑ වෙලා .ඒත් අපේ අර්බන් ප්ලෑනින් කතන්දර නැගලා යනවා .ඒ වෙනකොට අපි හිතමින් හිටියේ නගර වල උයන් හා කාණු පද්ධතිය සකස්විය යුතු ආකාරය ,අපේ රටේ සරසවි වල  වාස්තු විද්‍යා ,ඉන්ජිනේරු පීඨ වල සිසුන් අර්බන් ප්ලෑනින් ගැන දැන ගන්න ඕනෙ  වැදගත් ටෙක්නිකල් නොවෙන ඒත් මිනිස්සුන්ට හිතකර කාරණා . 

*************

එකක්ද ?දෙකක්ද ?වැඩ .කීයක් කියලා ඉවර කරනද ? කොටේෂන් ඇනැලිසිස් එක කරද්දී දැක්කේ ගොඩක් පරස්පර මතුවෙනවා .ඔඩිට් එකක් ආවොත් ඔක්කොම ප්‍රශ්න කරනවා ෂුවර් . හ්ම් ...දවල්ට කෑම කන්න ඕනේ .වෙලාව බැලුවා .ඔහ් එකයි... .තව පැය බාගෙකින් බ්ලැක්බෝර්ඩ් සෙෂන් එකක් ඔන් ලයින් .බත් කන්න වෙලා නෑ .පහල තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් ගාවට ගියා 

"මිස්ට නෙස්කැෆේ එකක් නේද ? ටේක් අවේ ද ?"

.එතන මල්ලි දන්නවා මම එන විදියෙන්ම ලිඩ් එකක් දාලා ටේක් අවේ නෙකැෆේ අරන් දුවන්න එන වග 

දවස ඉවර වෙනකොට හොඳටම හෙම්බත් වෙලා .හවස හතයි . තනියම නෙකැෆේ එකක් බොන්න යන්න හිත .පොද වැස්ස  ඒ අදහස අනුමත කලා වගේ . පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ කවුරුත්ම නෑ මේ වෙලාවට ඉඳ හිට පාන් ගෙඩියක් ගන්න එන කෙනෙක් ඇර .නිවී සැනසිල්ලේ වැස්ස දිහා බලන් දුම් දාන නෙස්කැෆේ එක තොලගානවා මම .ගෙවුන වෙහෙසකර ඒත් ඵලදායක දවසක් අග .ඒ අතර අම්මට කෝල් එකක් ගත්තොත් හොඳයි කියලා හිතුනා .අම්ම ඇහුවේ මගේ රෑ කෑම ගැන .අම්මල එහෙමයි .නිතරම අපි ගැන හිත කරදරෙන් .මම කිව්වේ මේ දැන් රෑ කෑම කන්න වාඩි වුනා විතරයි කියලා 

**********


ඔෆිස් එකෙන් පිට වුනේ ඔලුව බර වෙලා . මේ සැරේ ඒ මනුස්සයගේ ජොබ් කන්ට්‍රැක්ට් එක දික් කරන්න මට කිසිම ඉඩක් නෑ .මැනේජ්මන්ට් එක කියන්නේ රියදුරො අතිරික්තයක් තියේ .ඒ නිසා වන්දියක් එක්ක ගෙදර යවන්න කියලා . අවුරුදු තුනක් අපිව හැම තැනම පරිස්සමින් එක්ක ගිය මනුස්සයා . මිනිහට මම කියන්න කලින්ම මේක ආරංචිවෙලා . අත්සන් පොත ගාවට යද්දී දැක්කේ පියසේන තාම ඔෆිස් එකේ ඉන්නවා දැන් හයාමාරයි 

"මිස්" මනුස්සයා මා දිහා බලනවා බැගෑපත්වෙලා 

"මම දන්නවා මිස් මේ මන කන්ට්‍රැක්ට් එක දික් කරන්නේ නෑ "

අත්සන් පොත දාලා මම ආයෙත් ගිහින් රිසෙප්ශන් එකේ වාඩි වෙලා ඔහුට සන් කලා එතැන්ට එන්න කියලා 

"ඔවු එහෙම තීරණයක් තියේ . එත් කලබල වෙන්න එපා .මට සතියක් දෙන්න ආයේ මැනේජ්මන්ට් එක එක්ක කතා කරන්න .එතකන් කලබල නොවී ඉන්න ටිකක් "

"මම දන්නවා මිස් මට උදවු කලා හැම සැරේම .මට එකම ප්‍රශ්නේ මගේ පුතා උසස්පෙල ලියන්නේ මේ ගමන .වයිෆ් ගෙ ලෙඩෙත් අමාරු වෙනවා නිතර .දුව පොඩියි තාම .ඒකයි මම මේ ඉල්ලීම කලේ "

මම නවාතැනට ගියේ තාන්තුවාවෙන් .ඔක්කොම බෑග්  ඇඳ උඩට විසි කරලා රබර් සෙරෙප්පු දෙක දාගෙන ලේන් එක දිගේ ඉබාගාතේ ගියත් දෙපා  ඇදුනේ සුපුරුදු කෝපි හා ආප්ප කඩේට .

"බ්ලැක් කොෆී එකක් දෙන්න , කිරි එපා ,සීනි එපා .ආප්ප හතරක් දෙන්න පැයකින් .එතකොටම ප්ලේන් ටී ගේන්න "  මගෙන් විධානයක්

අවන්හල ඇතුලේ නිදහස්. කවුරුත් නෑ .එත් ටී වී එකේ මහ සද්දෙට සින්දු යනවා .කලු කෝෆි ආවා මේසෙට 

 "මේ ටී වී එකේ සද්දේ අඩුකරනවද ප්ලීස් ?"

මම තිත්ත කොෆි බිව්වා පැයක් තිස්සේ 

*********