Saturday, January 14, 2012

මතක වස්ත්‍ර


"මම හිතුවෙ නෑ ලොකු මේතරම් දවස් අවුරුදු නිවාඩුවට ගෙදර ඉඳීවි කියලා. නිතරම ගමන් යන්න තියාගත්තුගමන්නේ "


නිල්මිණි හෙමින් තේ කෝප්පය තොලගාමින් කියයි .


අපි දෙන්නා පොඩි කාලේ සිටම කවදාවත් උනුන්ට නම් කියා අමතා නැත .දෙන්නාම ඉපදුනේ එකම අවුරුද්දේ එකම මාසයකය . වෙනස මම නිල්මිණිට වඩා එක සතියක් බාල වීමයි . මට ලොක්කා කියා අපේ ගෙදර කියන පුරුද්දට ඈ එය කෙටි කර "ලොකු" කියයි . සහෝදර සහෝදරියන් පස් දෙනෙක්ගේ පවුලක ඇය තෙවැන්නා වී 'සුදු" යන ආමන්ත්‍රණය ලැබී ඇති නිසා මාත් ඈට "සුදු" කියමි.


"කෝසලත් එන්න හිටියේ . ඒත් එයා සෑහෙන්න කාලයක් වැඩට නොගිහින් ඉඳලා අද තමයි වැඩට ගියේ "
"ඒ මොකෝ වැඩ නැතුව හිටියද "
"නෑ ලී මෝලෙන් පර්මිට්  නැති ගස් වගයක් කපන්න කියලා මේගොල්ලන්ට කියලා අන්තිමට නඩුවකත් පැටලිලා කරදර ගොඩක් වෙලා තමයි බේරුමක් වුනේ . මෝලෙන් ආයෙ අද වැඩට එන්න කියලා තිබ්බේ "


ඈ නොනැවතිල්ලේ කියවයි .මම මේසේ පසෙක වාඩි වී සිටිනා වයස දොලහක තරම් පිරිමි දරුවා දෙස බැලීමි . ඔහු උනන්දුවෙන් මේසය මත ඇති ඉන්ග්‍රිසි පත්තර කෑල්ලක අකුරු එකතුකරයි .


"පුතා මේ වචනේ කියවන්න දන්නවද ?"
පොඩි එකා මා දිහා බලා නැවත පත්තරයට එබී අකුරින් අකුර වචනය ගැටගසයි .


"වී , අයි , එස් , අයි , ඕ , එන් ......ආයෙත් කල්පනා කරයි ....විශන් ...ඔහු ජයග්‍රාහීව මා දිහා බලයි .
"හරියට හරි" , මම දරුවාගේ පිටට තට්ටුවක් දැම්මෙමි


නිල්මිණිගේ මූණ ආලෝකමත්වෙලාය.


"අයියා හරි පිලිවෙලයි , උනන්දුයි පාඩම් වැඩට , ශිෂ්‍යත්වේත් පාස්වුනා ,ඉස්කෝලෙනුත් හොඳ කියනවා. ඒකට නංගි .මෙයා හරි  කම්මැලියි , සෙල්ලමටමයි හිත" .


ඈ වයස හතක් පමණ වන දැරිය දෙස බලා කියයි.පොඩි එකී ලජ්ජාවෙන් ඇඹරෙයි
"නෑ එයත් අය්යවගේ වේවි"   මම කියමි


"ශිෂ්‍යත්ව ලකුණු වලින් පුතා සෙන්ට්‍රල් එකට දැම්මා. ස්කූල් බස් එකේ යවන්න වියදම් වැඩියි .පාරෙ බස් එකේ යන්න පුරුදුකලා . දැන් තනියෙන්  බස් එකේ පන්ති එහෙම යනවා. ළමයින්ට උගන්නන එකත් ලේසි නෑ ලොකු. ඒත් අපිට බැරිවුන එකේ මෙයාලවත් ගොඩ දෑන්න එපැයි" . ඈ ආයෙත් කියන්නීය .


"හ්ම්"  මම කිසිත් නොකියා සිටිමි


"පුතාලගේ ඉස්කෝලේ දෙමවුපිය රැස්වීම් නිතරම . කෝසලට වෙලා නෑ ඕවට යන්න  වැඩට ගියහම . මම තමයි යන්නේ . අම්මලට ඉස්කෝලේට එන්න කියන්නේ සාරි ඇඳලා .වැඩි දාට මට යන්න වෙන්නේ සාය හැට්ට ඇඳන් . පුතාගේ පන්තිබාර මිස් මාව දන්න නිසා මොනවත් කියන්නේ නෑ. ඒත් පුතා ආස නෑ හැමදාම මම එහෙම එනවට .අනික් ලමයින්ගේ අම්මලා  ලස්සනට සාරි ඇඳලා එනවා කියලා ගෙදර ආවම නහයෙන් අඬනවා නිතරම . බැරිද ලොකුගේ පරණ සාරියක් දෙකක් ....."


ඈ කියවිල්ල නවතා මා දෙස ඕනෑකමින් බලයි


"එන්න කාමරේට ඔයා කැමති එකක් ගන්න ". මම ඇයට හිසෙන් සන් කරමි


"නෑ ලොකු කැමති එකක් දෙන්න ".ඇය කියයි


"නෑ එහෙම හරියන්නේ නෑ ඔයා තෝරගන්න .ඔයානේ අඳින්නේ "


"ඉස්සර ලොකුගේ කාමරේ හරි පිලිවෙලයි, මෙහෙම නෑ ."


  ඇය ඇඳ මත රැඳි පොත් , අඳුම් ඈත් මෑත් කර වාඩිවී පිලිවෙල නැති පොත් මේසය දෙස බලමින් කියන්නිය  .


"හ්ම් , මට දැන්  වෙලාවක් නෑ සුදු "


අල්මාරිය ඇර දෙමින් " ඔන්න ඔයා තෝරගන්න අර උඩම තට්ටුවෙ තියෙන්නේ " මම ඇයට ඉඩ දෙමි


"මේව පරණ වෙලා නෑ  මට හොඳ වැඩියි . මේව ඔයාට තව අඳින්න පුලුවන් ". ඈ මාදෙස බලයි .


"නෑ මට දැන් ඕව අඳින්න වෙලා නෑ" මම උදාසීනව කියමින් අල්මාරියේ අනික් දොර පලුවට පිට දෙමි .


"ලොකූ කාලෙකින් ඒ පැත්තේ ආවෙ නෑ .ලොකු  මාමා ඊයේ හම්බවෙලා කිව්ව ගිය  අවුරුද්දටවත් බුලත් දීල කතාකරන්නවත් ආවෙ නෑ කියලා ". ඈ සාරි තෝරමින් මගෙන් අසයි .


"මට නිවාඩුත් නෑ වැඩිය .ආවත් වෙලාවක් නෑ මහගෙදර පැත්තේ යන්න "


ගමේ යන්න ඇති අකමැත්ත සඟවාගෙන මම අල්මැරුන පිලිතුරක් දෙමි




"හ්ම් ඒකට කමක් නෑ . නිවාඩු තිවුනොත් දවසක  එන්න අපේ දිහා . ඉද්දගලෙන් නාලා .... අපේ දිහායින් බත් ටිකක් කාලා .... ඇඹිලකන්දේ පන්සල් ගිහින් එතෑකි ".


"ඉද්දගල තාම තියෙනවද ?ඉද්ද පඳුරුත් තියෙනවද ? "මම නවපණක් ලද්දෙකු සේ අසමි


"ඔවු තාම තියේ .දැන් පන්සල් කන්දේ ඉඩම් වෙන්දේසි කරලා .අපි ඉන්නෙත් ඒ හරියේ .ඉද්දගල ලිඳ ගම් සබාවෙන් හොඳට හදලා. ඒ හරියේ කැලෑගතිය දැන් නෑ.ඒ නිසා ඉද්ද පඳුරු නම් නෑ ඒත් පාර හොඳට හදලා. "


නිල් කැටේට වතුර පිරුණ ඉද්ද පඳුරු ගොන්නකින් වටවුණ , පන්සල් කන්ද පාමුල වූ ඉද්දගල මගේ පොඩි  කාලේ මතක ගොන්නක එකතුවයි .


"ලොකුට මතකද ඒ දවස්වල? ඉස්කෝලෙ නිවාඩුවට ඔයා ගමේ ආවම  මම , අපේ අයියා , පොඩී  එක්ක නාන්න ඉද්දගලේ යනවා."


මම අල්මාරියට පිටදී දෙනෙත් පියාගෙන අතීතයට යමි ...පන්සල් කන්ද පාමුල අඩි පාරෙන් ඉද්දගලට යායුතුය .යන මග දිගට දං , හිඹුටු ,බෝවිටියා  පඳුරු පිරීලා .දැඩි පායන කාලයක ඇරුන විට ගම්මු වැඩිය මේ ලිඳට යන්නේ නැත .මේ ලිඳෙන් නෑවේ මළපලාව වත්තේ  හිටි පවුල් කීපය පමණි .අපි නඩේ මෙහි යන්නේ කැලෑ වැදී ගඩාගෙඩි කන්න ආසා නිසාය . පන්සල් කන්ද පාමුල පිහිටි දිය උතුරන සීතල  උල්පතක් වූ මෙයින් අතින් වතුර ගතහැක . නමටම ගැලපෙන ලෙස ඒ ඉසව්වේ සුදු මල් පිපුණ ඉද්ද පඳුරු ගොල්ලකි . කරුණාසේන ජයලත්ගේ "හතුරු හිතක් " පොත කියවනවිට පූජිතරත්නලාගේ ගෙවල් ගාව ඇති ඉද්ද පඳුරු ගැන කියන හැම විටම මට සිහියට එන්නේ මේ ඉද්දගලේ ඉද්ද පඳුරුය.


"ලොකූට මතකද දවසක් අපි නාන්න ගිහින් පරක්කුවෙලා , අපේ තාත්තගෙන් කෝටු පාර ලැබුණා ඔක්කොටම ?"


"ඔවු වැඩියෙන් ගුටි කෑවේ මංජු අයියා ..අපි පොඩි ඈයො එක්ක කැලෑ වදින්න ගියා කියලා . ඉද්දගලෙන් නාලා එද්දී අයියා මට පන්සල්වත්තේ සල් ගහෙන් සල් මල් අහුලලා දෙනවා .වැඩිදාට නාලා ඔයාලගේ අම්මගෙන් බතුත්කාල මම එන්නේ .ඔයාලගේ චූටි නංගී ගොඩාක් පොඩියි . සාලේ ගැටගහලා තියෙන රෙදි ඔංචිල්ලාවෙ නිදි".මට  කිමිදෙන්න මතක සාගරයක් ඇත


"හ්ම්.... චූටි අද හිටියනම් අවුරුදු විසිපහක ලොකු කෙල්ලෙක් .අයියා පොඩි කාලේ ඉඳන් අපිට ආදරෙයි පවුලට  හරි හිතයි  .ඔය කසාදේ කරගත්තට පස්සේ පවුලෙන් හරියට ඈත්වුනා .දැන් අයියා  වැඩිය ගම ඒමක් නෑ ලොකූ ". සුදු විස්සෝප වී කියයි .


"සාරි තෝරගත්තද ? "කතාව වෙන අතකට හැරවිය යුතු නිසා මම අසමි .


සාරි කීපයක් ඇඳ මත විසිරී ඇත. ඈ මා දිහා හිස් බැල්මෙන් බලයි .


"ඇයි අර ක්‍රීම් පාටට  එකයි ලා නිල් පාට එකයි ගන්නේ නැත්තේ ?. දෙකේම  පල්ලුව ලස්සනයි .ඔයා උස මහත නිසා ඔසරියකට හරි හැඩවේවි ".


කාලෙකට කලින් මම ඒ සාරි දෙකටම මහත් ආසා කලෙමි .ඒ සාරි ගත්තු දිනයත් අද වගේ මතකය .මා නිතර අඳින්න ආසා සාරි අතර මේ දෙකත් විය  .ඇන්ද විට හැඩ බලන්න අයද සිටිවග මතකය .නමුත් දැන් ඒ මතක වලින්  වැඩක් නැත . ඉතින් සාරියෙනුත් වැඩක් නැත .අඳින්නේ නැතුව මොකට ඕවා අලමාරියේ තියාගන්නවාද ?.


"ලොකු සාරියක් ඇඳලා ඉන්නවා මම කවදාවත් දැකලා නෑ ," ඈ සාරිවල පල්ලුවේ ඇති සිහින් මෝස්තර බලමින් කියයි


"නෑ මම දැන් සාරි අඳින්නේ හරි කලාතුරකින් .කලබල රස්සාවක් එක්ක සාරි අඳින්න බෑ   සුදු " ආයෙත් සුපුරුදු කම්මැලි ගතියෙන් මම උත්තර දෙමි .


"දැන් ඔහොම ඉන්නද කල්පනාව"? .


"ඔවු ඇයි මොකෝ මේකෙ වැරැද්දක් තියෙනවද ? "


"නෑ එහෙම නෙවෙයි ..ඒත්...... "..ඈ කතාව නවතා මාදෙස බලයි
"...ඒදවස්වල ලොකු මට කිය කියා හිටියේ ...."ආයෙත් කතාව නැවතෙයි


"නෑ ඒව ඔක්කොම ඉවරයි ..දැන් .මට ඕවට නාස්තිකරන්න  වෙලා නෑ"
  මම අල්මාරියට පිටදී දෙනෙත් පියාගෙන සිහින් හඬින් කියමි .ඉද්දගලත් වෙනස්වෙලා එහෙනම් මට හිතේ .


                                                        ****************


කාමරයේ ජනෙල් වලින් බැසයන මලානික හිරු කිරණ ඇඳ මත වැටී ඇත . අල්මාරිය අසල පැදුරක වාඩි වී අම්මා රෙදි ගොඩක් තෝරයි .පසෙකින් ගොඩ ගැසූ හොඳට නැවූ  සාරි කීපයකි .අල්මාරියේ කපුරු සුවඳ දසත විසිරෙයි .මම හෙමින් ඇඳ මත වාඩි වී අම්මා දෙස බැලීමි


"දැන් මේවයින් බාගයක් විතර  වැඩක් නෑ . අවුරුදු තිස්  හතක් තිස්සේ ඇඳපුවා . අල්මාරියේ ගොඩ ගැහිලා .මොනවා කරන්නද මන්දා ?"


 මගෙන් උත්තරයක් නැතත් ඈ කියවයි


"ඕවා කවුද ගන්නේ .ඔයින් බාගයක් විතර පරණ මෝස්තර .තුනී වෙච්චි සාරි " මම සරදම් හඬින්  කියමි


"ඔවු පරණම ඒවා මම තෝරලා වෙන් කලා .."ඈ මට පෙන්වයි


"මේ මගේ පලවෙනි පත්වීම දවසෙ ඇන්ද සාරිය ...රුපියල් විසිපහකට සමූපකාරෙන් පුංචි අම්ම අරන්දුන්නේ .මම වැඩට යනවා කිව්වම"


ඈ ලා කොල පාට සාරියක් පෙන්වයි . එහි වාටි ගානට ඉටි පන්දමකින් බීක්කු හැඩේට පුලුස්සා ඇත .


"මේක ඇඳන් චේ ගුවෙරා එකට අහුවෙලා හිටි ලොකු මාමව බලන්න වැලිකඩ ගිය දවසේ ,   මාම හරියට ඇඬුවා ...එයා මාව මුලින්ම සාරියක් ඇඳලා ඉන්නවා දැක්කේ එදා"


"අඬන්න එයා? . ගෙදර අයියා වුණාට  එයා දන්නේ එච්චරයි නේ.වෙන මොනවද එයා කරලා තියෙන්නේ ?.කෙහෙම්මල් දේසපාලනේ විතරයි. එයා නිසා තමයි අම්මට අවුරුදු විස්සේදි රස්සාවට යන්න වුනෙත් ඉගෙනීම අත ඇරලා .ඊට පස්සේ ඉක්මනට කසාද බඳින වුනේ ". 


මම තරහෙන් නුරුස්සනා බැල්මකින් උත්තරදෙමි .


අම්මාට මගේ රොස් පරොස් වදන් වලින් වැඩක් නැත . ඈ  අගනා වස්තුවක් ලෙස ඒ සාරියේ වාටි පිරිමදියි .


"මේ සාරි තුනම තාත්තා  කොලඹ ගියදාක ගෙනාවේ"


රෝස , දම් හා ලා කොලපාට මෝස්තර වලින් යුත්  සාරි තුනකි .ඒවා මට සෑහෙන්න මතකය .මා පාසලේ ප්‍රාථමික පන්තිවල ඉන්නා කාලයේ අම්මා වැඩට ගියේ නිතරම ඒවා ඇඳලාය .බාලාංශ පන්තිය එකොලහට ඇරුන විට ඇය මාව ගන්න පාසලට එයි . එවිට ඇයට ගුරුතුමියගෙන් අසන්න වෙන්නේ අකුරු ලියන්න , කියවන්න මගේ ඇති දුර්වල කම්ය , නැත්නම් දඟ වැඩය . පොත්බෑගයත් එල්ලන් පාසල් ගේටුවෙන් පිටවුන වහා අම්මා නැවත මගේ දුර්වල කම් ගැන මග දිගටම දොස් කියන්නීය . ඇගේ වෙගයට ඇවිද යන්නට බැරි පුංචි මම ඇගේ සාරි පොටේ එල්ලී බැනුම් අසමින් යමි .ඒ නිසා ඔය සාරි තුනම මට පෙන්නන්න බැරිය .වහ කදුරු වගේය.


"මේ ලොකුමාමා බඳින දවසේ ඇන්ද සාරිය ....මේක පොඩි මාමගේ මගුලට ඇන්දේ ...."ඈ නොනැවතිල්ලේ කියවයි


"දැන් ඕව තියාගෙන වැඩක් නෑ .කාට දෙන්නද ?මොනවා  කරන්නද ?කවුරු අඳින්නද ?"


මම නුරුස්සනා ලෙස ඇගෙන් අහමි


"ඔවු මොකද කරන්නේ? තියාගෙන ඉඳලා තේරුමක් නෑ .අල්මාරියෙ ඉඩ ඇහිරෙනවා .ඒත් විසිකරන්න දුකයි "


"හ්ම් එක්කො කුණු ලොරිය ආවම් දෙන්න , නැත්නම් පුච්චල දාන්න .කවුරුවත් ගන්න එකක්යැ"


මම සරදම් ලෙස සැහැල්ලුවෙන් කියමි


ඈ දුකින් පිරුණ මූණින් මාදෙස බලයි ."මේ වගේ සාරි විස්සක් තියෙනවා"


"දෙන්න ඔය ටික මට ,පුච්චල ඉවරයක් කරන්න "


"හ්ම් ඕනෙ එකක් කරන්න එහෙනම් " ඈ අහක බලන් කියන්නිය


සාරි ගොඩ එක් කරගත් මම නිවස පිටුපසට ගොස් එක තැනක ඒවා ගොඩ ගැසීමි. ඉක්මනින් පුලුස්සන අටියෙන් ලාම්පුතෙල් ටිකක් හලා ගිනි කූර ලං කලෙමි


නයිලොන් රෙදි උණුවී වැගිරෙමින් එකිනෙක ගිණි ගෙන දැවෙයි . අම්මා පිලිකන්නේ දොර අසලට වී සාරි ගිණි අවුලන මාදෙස බලා සිටියි


නයිලොන් ගිනිගෙන දැවෙන සැර රස්නය මගේ මූණට වැටී ඇත . වගක් නැතිව මම ගිනිගෙන දැවෙන ඉතිරි සාරි කෑලි එක්කර පිලිස්සිම් ඉක්මන් කරමි . සාරි වලින් තාම කපුරු සුවඳ ගිලිහී නැත. මෙලෙසින් අතීත මතකය සියල්ලත්  පුලුස්සනු හැකිනම් යෙහෙකැයි මට සිතේ.