Showing posts with label මං පොඩි කාලේ. Show all posts
Showing posts with label මං පොඩි කාලේ. Show all posts

Sunday, November 4, 2012

අඳුරින් බර ආකර තුළ මැණික් දිලෙනවා-නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා




මගේ පොඩි කාලේ මතක අතර මහ ගෙදර පරණ කැබිනට් එකක් මත වූ රේඩියෝවට හිමිවන්නේ වැදගත් තැනකි . අම්මගේ පලමු පත්වීම දුෂ්කර සේවා ස්ථානයකට ලැබීම හේතුවෙන් පාපැදි මිලට ගන්නට දුන් රුපියල් 600 /= පුද්ගලික ණයකින් මේ රේඩියෝව මහ ගෙදරට පැමින ඇත .ඇය පා පැදියකට වඩා රේඩියෝවකට ආසා වුනා විය හැක .දේ පටන් රෑ වෙන තෙක් දවස ගෙවෙන විදිය  ලමා කාලයේ මට දැනුනේ මේ රේඩියෝව නිසාවෙනි .සමහර වැඩ සටහන් පටන්ගන්නා විට වාදනය වෙන රේඩියෝ ජින්ගල් අදත් හිතේ රැඳී අවුරුදු ගානක අතීතය වෙත හිත කැඳවාගෙන යාමට සමත් වෙයි .


අද නම් බොහෝ ගුවන්විදුලි නාලිකා ඇත . ඒ සියල්ල පැය විසිහතර පුරාම ඇසෙයි .ඒත් මතකයේ රැඳෙන මිහිරක් ඒවායින් හිතට එක්වෙනවාද යන්න පැනයකි .දිග ගමන් බිමන් වල යෙදෙන විට කාලය ගෙවන්න ඇති එකම විසඳුම වාහනයේ ඇති රේඩියෝව සුසර කිරීම වුවත් බොහෝවිට මට සිදුවන්නේ අල්ලන අල්ලන චැනලය නැවත වෙනස් කිරීමටය .එපාවුන තැන "ශිහ් මේ ජරාව අහල ඉවරයක් නෑ "වැනි නුරුස්සන වදනකුත් පිටවේ .එවිට මතකයට එන්නේ පොඩි කාලේ කම්මැලි කමට ඇඳේ ගුලිවී නිදි  ගැට හරිමින් ගුවන්විදුලි සoස්ථා උදා විකාශයට සවන් දුන් අයුරුය


ඒ මගේ ලදරු විය ගෙවුන හැත්තෑව දශකයේ අග අසූව දශකය ආරම්භයයි . උදේට නැගිටින්න අදිමදි කරන මට ඇහෙන්නේ සුනිල් එදිරිසිoහගේ පිනිබර යාමේ සැවුලන් හඬලනවා ගීතයයි.

පිනිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වට කර ලිප ගිනි නැලවෙනවා
කොලඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා


ඒ ඇසෙනවාත් එක්කම මට තාමත් බොහෝ චිත්ත රූප මැවේ . උදේ හතරේ පටන් අඬලන අසල් වැසි විට්ටර් මාමාගේ කුකුල් රන්චුව , දර ලිපේ පැහෙන උණු වතුර කේතලය ලඟට වී ලිපට සාත්තු කරන ආච්චී ,ඒ වටේම දැවටෙන මගේ සුදු බැලලී ඒ හැමෝම සින්දුවේ ඇත .පාසල් යන වයසක නොවුනත් සින්දුව ඇහෙන විට ඉක්මනට  ලොකුවෙලා ඉස්කෝලේ යන හිතක් පහල වෙයි .කොලඹ කෝච්චිය එන්නේ රජ ගමනේය .එහි ඇති ගී පද හිතට අමුතු ප්‍රබෝධයක් ගෙනේ .අදහස හා යෙදුම් එතරම් ප්‍රාණවත්ය .


උදා විකාශයේ බොහෝ දේශාභිමානී ගී වදනය වූ අයුරුත් මතකය .ඒ අතුරින් නන්දා මාලිනිය ගැයූ ගී දෙකක් මගේ හිතේ ඇඳී ඇත . එකක් සාර විට චිත්‍රපටයට ගැයුන ගීතයකි








මේ සින්හල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පන ගැහෙන රටයි
මුලු ලොව ඒ රටට යටයි


අහස සිඹින ගිරි කදුරු
පොලව තෙමන වැවු සයුරු
මුහුද අවර බැඳි පවුරු
ඒරට අසිරි සිරි එවුරු


මවු බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි මේ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ


සමනොල ගිරි වලලු ඉමේ
සුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ



පොඩි දරුවෙක් ලෙස මගේ මතකයේ නිරතුරු රැවු දුන්නේ එහි මුල් පද පෙලයි . එය ඉතා සරල මුත් අභිමානය පිරුණ අදහසකි .පසුව මා වඩාත් කැම්ති වුයේ එහි අවසන් පද පෙල වූ සමනොල ගිරින් එන සම කරුණා ගුණ මහිමය ගැන කියන කොටසටයි .මහගම සේකර ලියූ මේ ගීය පසුව බොහෝ මත භේද වලට හේතු වුන බවක් අසා ඇත. මේ හා සමාන සේකර විසින් ලියූ අනික් ගීතය රත්නදීප ජන්මභූමි ගීයයි .ඒයත් උදා විකාශයෙන් ඇසූ වග මතකය .කාලෙකට කලින් අවන් හලකට වී රට රට වල ජාතිකාභිමානී ගී සැඳෑවක් දැමූ දිනක ඉන්දියන් හා බෙන්ගාලි මිතුරන් ඉදිරියේ  මට ගයන්නට සිදුවූයේත් රත්නදීප ජන්මභූමි ගීතයයි .
මා සිත් ගත් අනික් ගීතය වූයේ ඉහත ආත්මය චිත්‍රපටයට නන්දා විසින්ම ගැයු කරුණාරත්න අබේසේකර පද රචනාකල කේමදාස සoගීතවත් කල අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ගීතයයි .







අද පමණක් නොවේ අපට
හෙටක් තියෙනවා
අරුණලු කැන් හිනැහී නව
දිනක් ලබනවා
අඳුරින් බර ආකර තුළ
මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින්
එළිය වැටෙනවා


උදාසීන ජාතිය නිදිකිරා වැටෙන්නේ

උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ

ලමා කාලයේ පටන් මෙහි අපූර්වත්වය රැඳුනු මා සිත් ගත් පද පෙල වුයේ "අඳුරින්බර ආකර වල මැණික් තියෙනවා "යන්නයි . එය නොපසුබටව නැගී සිටින්න රටකට හෝ ජාතියකට දෙන පණිවුඩයක් සේම කෙනෙක්ගේ පුද්ගලික ජීවිතයටත් වටින ඔවදනක් හා සමානය.ගැඹුරු අභිමානයක් හිතට දනවන අමරදේව ගැයූ


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිහවල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි 


අමරදේව විසින්ම ගැයුන මහවැලි ගීතයත්,  රන් දහඩිය බින්දු බින්දු උදා විකාශයේ තිබුණි 



සිරිපද ලස සමනොල සිරසේ

සිඹ සිඹ සිහිලස විඳ සතොසේ
ලෙලී දිලී ගලා බසී

මහවැලි මහවැලි මහාවැලී ....







රන් දහඩිය බින්දු බින්දු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා
ගයමු රන් ගොයමේ
සින්දු සින්දු 



මේ ගී එවක පැවති රජයන් වල නොයෙක් සoවර්ධන හා ප්‍රචාර වැඩ වලට යොදාගැනුමට ලියූ වගක්ද කියවේ .එය එසේ වුවත් මේ ගී වල අරුත හා ගීත්මය ගුණය නොසුන්ව පවතින බව මට හිතේ . අනික් අතට වැඩ බිමට , කුඹුරට ,කාර්යාලයට උදෙන්ම යන මිනිස්සු අගයකලාට කම නැත .උදා විකාශයේ මගේ මිහිරි මතක හා රැඳුන අනික් ගීය වූයේ නන්දා ගැයූ බුද්ධානුභාවේන ගීතයයි . 


උදෑසනක් යනු දවසක ඇරඹුමය .ඇරඹුමක් ප්‍රබෝධමත් විය යුතුය .ඊට හොඳ සිතුවිලි එක් විය යුතුව .එය දවසේ ඉතිරි කාලය ගෙනයන්න තල්ලුවක් දිය යුතුය. මේ ගීතාවලීන් පුරා කැටිව ඇත්තේ ඒ ප්‍රබෝධයයි .පොඩි ලමයෙක් ලෙස මා මේ ගී ඇසූ මතකය කෙතරම් ප්‍රබලද යන්න අදත් ඒවා මගේ හිතේ රැඳී පවතින විදියෙන් පෙනේ .

ඒත් දැන් බොහෝවිට උදෑසන ඇසෙන්නේ කොහේ හෝ කපා කොටා මරා දැපූ උද්වේගකර පැයෙන් පැය පුවත්ය .එසේත් නැත්නම් බෝම්බ සෙල්ලම හෝ රෑ බැලූ හීන වල ගුන දොස් උදේට කියන ඒවාය . එහෙමත් නැත්නම් කොහේ හෝ කෙනෙක් ටෙලිෆෝනයෙන් මඩවා විකාර කියා ප්‍රීතිවෙන උදවියයි . උදේ පාන්දරින් පැය හතර පහක දිග ගමන් යන්න පිටත්වෙන වෙලාවට මේවා ඇහෙනවිට ඔලුවත් තාන්තුවා වෙයි .


ප/ලි 

නිරතුරුව උදෑසන ඇසුන තවත් ගීයක පද මාලාවක් වුයේ ....

"...සිය රට දේම සියතින් ගෙන වැලඳගමූ,
රන්වන් කරල් අතරින් පෙර ගමන යමූ "

එය සමූහ ගායනයක් වග මතක නමුත් මුලු පද මාලාවත් ගැයුවේ කවුරුන් ද යන්නත් මතක නැත . රේඩියෝ ජින්ගල් අතර මම වඩාත්ම කැමති ලමා උපන්දින සුබ
 පැතුම් වෙනුවෙන් අමරා රණතුoග ගයන ආයුබෝවන් වාසනාවන් ගීතයටයි.  මධ්‍යාහ්නයේ උදා විකාශය අවසන් වීමට වාදනය වුන අමරදේව ගැයූ සබ්බ පාපස්ස අකරණo ධම්මපද ගාථාවද පොඩිකාලේ සිට ඇසීමට ප්‍රිය වීමි .



Saturday, January 7, 2012

මල්ලි හපා කාල ඩොක්ටර්.... සහ එයින් පසු




අම්මාට නංගි ලැබෙන්න හිටි කාලයේ ගෙදර හැමෝම කිව්වේ  'අම්ම පුතාට සෙල්ලම් කරන්න මල්ලි බබෙක් එක්කන් එන " බවයි . එතකොට මට අවුරුදු පහකි . ආසාවෙන් බලන් හිටි මල්ලි බබා වෙනුවට අම්මා ගෙනාවේ නංගි බබෙකි . පස්සේ මල්ලි බබෙක් ගෙනැවිත් දෙන බව කිව්වත් ඒ මල්ලි බබා කවදාවත්ම ආවේ නැත . එක අතකට ඔය මල්ලි බබා ගෙනාවේ නැති එකමයි හොඳ , මට එහෙම හිතුන වාර බොහෝය . මට අවුරුදු දහයක් පමණ වන විට අම්මා හා තාත්තා එක්ක නිදා ගැනීමද අහිමි විය .


" ඔයා ලොකු ළමයෙක්  ඒ නිසා දැන් තනියෙන් නිදාගන්න පුරුදු වෙන්න , නංගි තාම පොඩියි නේ , එයා අපි එක්ක නිදාගත්තුදෙන් "කියා අම්මා කීවාය .


මට වෙන්වුන කාමරයේ පාඩම් කිරීමත්  ,තනියෙන්  නිදාගැනීමත් සිදුවිය . මට කාමරයක් වෙන් වුන බව දැනගත් නංගීටත් කාමරයක් වෙන් කරගන්න උවමනා විය . ඇයටත් කාමරයක් ලැබුන මුත් අවුරුදු දහය පැන්නත් ඇය එහි නිදන්න ගියේ නැත .එහි වූයේ අපිලිවෙලට ගොඩ ගැහුන අගේ පාසල් පොත් , ලමා පත්තර , ටොපි හා චොකලට් දවටන , බීම බට , පාසලේ අත් වැඩට මැටි ගුලි වලින් හැදූ බල්ලන් පූසන් ආදියයි .කොටින්ම එය පිස්සිගේ පලා මල්ල මෙනි . ඒ මදිවාට කොහේ යතත් තාත්තාගේ පස්සෙන් එල්ලී මෝටර් සයිකලයේ ඉදිරිපස ඉඳගෙන යන පුරුද්දකුත් ඇයට විය . මම එහෙම කලොත්"ඔයා ලොකු ළමයෙක්" කියා තාත්තා මා බිමට බස්සවයි . නිකන් අම්මගේ ඇඳ අසලින් හාන්සි වුනත් ඇය මා එලවා ගන්නේ "ඔයා තව අවුරුද්දකින් දෙකකින් ඕ ලෙවල් කරන ලොකු ලමයෙක්" කියාය . මේ ලොකු ලමයා කතාව මට පෙන්නන්න බැරිය , ඔය ඔක්කොම අර නංගි නිසාය . ඇය නම් මහ ඇණයක් යයි මට හිතේ . මගේ තනි අධිරාජ්‍යයේ බලය බිඳී යාම නිසා මට ඇය සමග තිබුණේ අසීමිත තරහවකි , ඉරිසියාවකි . ඉතින් ඇය හා වලි පටලවාගන්නට උවමනා හේතු ගොඩක් මට විය .

ලේසියෙන්ම ඈ හා රණ්ඩුවක ඇදගතහැක්කේ ඇගෙ අර අපිලිවෙල කාමරයට හොරෙන් ගොස් එහි ඇති ටොපි , චොක්ලට් දවටන , බීම බට එකතුව ආදිය අවුල් කිරීමේන් හෝ හැංගීමෙනි . එකිනෙකාගේ කාමර වලට කිසිම වෙලාවක පය නොතැබීමට අපි අතර අවබෝධතා ගිවිසුම් වුවද නංගී අවුස්සන හොඳම ක්‍රමය එය කඩ කිරීම විය . එවිට පැටලෙන වලි අවසන් වන්නේ මහා ගුටි කෙලි වලිනි . වැඩුමලා මම වුවත් නංගී අවුරුදු දහයක් වන විටත් මට වඩා  හොඳට උසින් මහති වැඩී සිටි නිසා අන්තිමේදී ඇගෙන් ගුටි කන්න සිදුවන්නේ මටය . ගුටි කෙලි ඇවිලුන විට අපිව දෙපසට කරන අම්මා මට බැණ අඬගහන්නේ "මේ තරම් ලොකු එකෙක් වෙලත් ලැජ්ජ නෑ , නයයි , මුගටියයි වගේ ඇවිලෙනවා "කියමිනි . 

ඒ දෙසැම්බර් පාසල් නිවාඩුව පටගන්න ඔන්න මෙන්න කාලයයි .මට වයස පහලවක් පමණ විය . මා සාමාන්‍ය පෙල පන්තියට සමත්ව තිබිණි.නිවාඩු කාලයට අපේ වලි අවම කර මා සන්සුන් කර තබා ගැනීමේ  හොඳම උපක්‍රමය පොත් බව දන්නා තාත්තා මට පුස්තකාලයෙන් නව කතා පොත් මිටියක්ම ගෙනැවිත් තිබුණි . ඒ අතර මෝපසාං ගේ ප්‍රංස කෙටි කතා එකතුවකුත් , ඇලෙක්සැන්ඩර් ඩූමා ගේ මොන්තක්‍රිස්තෝ පොතේ කාණ්ඩ ගොඩකුත් , මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා වෙලුම් කීපයකුත්   විය. වසර අග මට හොඳ ප්‍රගති වාර්තාවකුත් පාසලෙන් ලැබෙන නිසා නිවාඩු කාලය පේන විදියට සෑහෙන්න සාමකාමි වන ලකුණු තිබිණි . එදා හවස මගේ කාමරයේ ඇඳට ගොඩ වී මම ඩූමාගේ මොන්තක්‍රිස්තෝ සමග තනිවී සංසුන්ව සිටියෙමි . ඒ අතරේ මගේ කාමරයේ මල් මල් තිර රෙද්ද අසලින් කවුදෝ ගැවසෙන බවක් පෙනේ . එකත් එකටම අර වදකාර නංගී බව නිසැකය .අපි උනුන් කෝප ගැනිවීමට කල අනික් වැඩය වූයේ හැම වෙලාවේම බත්කා එකිනෙකාගේ කාමර වල දොර රෙදි වලින් අත පිසදා ගැනිමය . ඈ මේ කැරකෙන්නේ එයට විය යුතුය .එහෙත් මොන්තක්‍රිස්තෝ හැරදමා වලියට යන්න මා සූදානම් නැත . මම නිහඬව පොතේ කිමිදෙමි . මා අවුස්සාගත් නොහුන තැන නංගී මගේ කාමරයට අවුදින් මගේ ඇඳෙන් වාඩි වූවාය . පා පහරක් එල්ල කර ඇයව කේන්ති ගැන්වීමට හොඳටම ඇවැසි නමුත් මොන්ත ක්‍රිස්තෝගේ වීර ක්‍රියා මට වැදගත් නිසා ඒ අදහස අත්හැරීමි .

රංඩුවක සේයාවක් නැති තැන නංගී මගේ පොත් මේසය අසලින් වාඩි වී යමක් කරනු පෙනේ . මම පොත් පාඩම් මේසය ලෙස පාවිච්චිකලේ ටියුෂන් පන්ති වල මේන් දිග උස මේසයක් හා එවැනිම දිග මිටි බංකුකි ඕනෑ වුනොත් ඒ දිග බංකුවේ හාන්සි වී වුනත් පාඩම් කල හැක . නංගී පොත් මේසය උඩ නැගී මගේ පැන්සල් පෙට්ටියේ වූ චිත්‍ර අඳින්න පාවිච්චිකල හොඳම එච් බී පැන්සලක් වගේ වගක් නැතුව බ්ලේඩ් එකකින් කපා දමන්නීය .එවර නම් මට යකා ඇවිස්සිණි .


"ඔය පැන්සල තියන්න , ඕක මම ද්‍රව්‍ය බලා අඳින පැන්සල .නාස්ති කරන්න එපා ".මම සැරෙන් කීවෙමි . 
ඇයත් අතාරින පාටක් නැත ."මටත් ද්‍රව්‍ය බලා අඳින්න ඕනේ "මුරණ්ඩු ලෙස කියමින් ඇය පැන්සල කපා දමයි .


 දැන් නම් හරියන්නේ නැත . මොන්තක්‍රිස්තෝ පසෙකට විසි කල මම වහා නැගිට මෙහෙ දෙනවා ඕක කියමින් පැන්සල උදුරාගතිමි . පැන්සල  පසෙකින් තබා ආයෙත් මොන්තක්‍රිස්තෝ දෙසට හැරෙනවා එක්කම මගේ පිට මැදට දඩෝං ගා පහරක් එල්ල විය . දැන් සාමය අවසන්ය . හැමදාම ගුටි කන්න බැරිය ,වරද මගේ නොවේය .අද නම් දෙනවා පාර සිතූ මම ඇයව ඇඳට තල්ලු කර පෙරලා ගෙන නැගෙන්නට නොදී පහරක් එල්ල කලෙමි .එහෙත් මා පසෙකට තල්ලු කර දැමූ ඈ මට පහර පිට පහර එල්ල කලාය .වලකන්න ක්‍රමයක් නැත.පැරදෙන්න බැරිය . මම වහා ඇගේ අත අඹරවා අල්ලාගෙන හැකි වෙර දමා මැණික් කටුව අසලින් තදින් හපා කෑවෙමි . නංගී වේදනාවෙන් හඬනතුරුම හැපූවෙමි . 

ඇගේ මර හඬ තැලිල්ලට දුව ආ අම්මා අපි දෙපසට කලේ බැන වදිමිනි .  "හැටි විතරක් වලහැඩිය වගේ " කියමින් ඈ මට බැන වැදී නංගිගේ අත පරීක්ෂා කර බලන්නීය .බල්ලෙක් හැපුවාටත් වඩා හොඳින් එහි මගේ කෘන්තක දත් පාරවල් සටහන්වී ඇත .සියුම් ලේ ගැලීමකුත් ඇත.නංගී යටි තොල බෙරි කරගෙන වෙදනාවෙන් හඬා වැටෙන්නිය  . තාත්තා ආ විගස නඩු විසඳන පොරොන්දුව පිට අම්මා ඇයට ප්‍රථමාධාර දෙන්න යුහුසුලු වුණාය . මම තාත්තාගේ ගුටි පූජාවට හිතෙන්  සූදානම්  වුණි .ඉදලක් කොස්සක් කැඩෙන තුරු වුනත් පාර වැදෙන්න අද ඉඩ ඇත .වැරැද්ද බර පතලය .දැඩි දඬුවම් නියමිතය .


"මම ටිකක්වත් අඬන්නේ නෑ . ගහනකොට හෙලවෙන්නෙත් නෑ .ගේ වටේ දුවන්නෙත් නෑ . තව ගහන්න කියනවා .රෑට බත් නොකා නිදා ගන්නවා. මොකට බය වෙනවද" යයි හිතමින් මම වැඩේට ලෑස්ති වුනෙමි .


 තාත්තා ආවේය .අම්මාට පෙර දිව ගිය නංගී සියලු විස්තර කථනය කලාය .ඇගේ අතත් පෙන්නුවාය .ආයෙත් බොරුවට හැඬුවාය .දැන් ගුටි පූජාවට සියල්ල හරිය . තාත්තා "ලොක්කා "කියා මා ඇමතූ සැනින් මම සාලයට ගියෙමි .


" මොකද්ද මේ කරලා තියෙන්නේ ? මේක බොහොම බරපතලයි , නංගිට පිටගැස්ම වුනත් හැදේවි ". ඔහු නොකඩවා කියවාගෙන යයි .
ගුටි දෙන ලකුනු පේන්න නැත 
."මෙන්න සල්ලි .යනවා ගිහින් කොහෙන්හරි කමක්නෑ පිට ගැස්මට ටෙටනස් විද්දගෙන මිසක් දෙන්න ගෙදර එනවා නෙවෙයි" . ඔහු අවසාන තීරණය දුන්නේය . 


ගුටි ලැබුනානම් මීට වැඩිය හොඳය . දැන් හවස හයත් පහුවෙලාය . පිට ගැස්මට බෙහෙත් කොහෙන් හොයන්නද ? නංගී මැරේවිද , මේ වෙලාවට හන්දියේ දොස්තර ඉන්නවද දන්නේ නෑ .ඔය වගේ බයානක සිතුවිලි ගොඩක් මගේ හිතේ හොල්මන් කරයි . තාත්තාගේ තීරනය අවසන් තීරනය නිසා නංගීත් ඇදගෙන හන්දියේ දොස්තර වෙත යන්න පාරට බැස්සෙමි.දැන් නංගීත් බය වී ඇති හැඩකි . ඇගේ මූණේ කඳුලු වියැලිලාය .අපි කවදාවත් අම්මා හෝ තාත්තා නැතිව තනිව බෙහෙත් ගන්න ගොස් නැත .


" තමුසෙ මොකද මාව කේන්ති ගැස්සුවේ ? නැත්නම් මේ කරදර මොනවත් නෑ නේ" කියමින් ඇයට රවමින් බනිමින් මම ඇගේ අතින් අල්ලගෙන යමි .


හන්දියේ අලුත් දිස්පැන්සරියක් ඇතිමුත් මම එයට ගොස් නැත .ඉන්නේ අලුත් දොස්තර මහත්තයෙකි . එකත් එකටම එය හොඳය . කවුරු  හපාකෑව කියල කියන්නද ? මම හපා කෑව කියලා කියන්න නම් බැරිය .ඒ නිසා අපේ පවුලේ විස්තර හොඳින් දන්නා නිතර බෙහෙත් ගන්න යන විමල් දොස්තර මහතා ගාවට යාම මේ වෙලාවේ කල නොහැක . යා යුත්තේ මේ අලුත් දොස්තර මහතා වෙතය .හපා කෑම ගැන බොරුවක් හරි කියන්න පුලුවන.දිස්පැන්සරියට ගොස් වාඩි වූ සැනින් ඔලු අපි දෙදෙනාට ඇතුලට එන්න හඬ ගෑවේය .එවක  ඔහු තරමක තරුණ වෛද්‍ය වරයෙකි .


" ඇයි මේ පොඩි ලමයි දෙන්නෙක් ?" ඔහු අපෙන් විමසයි .
 මම කතාව කෙටියෙන් කිව්වෙමි .
"බලන්න ඩොක්ටර් මේ මගේ නංගි  එයා මල්ලි එක්ක සෙල්ලම් කරද්දී මල්ලි අත හපලා හයියෙන් ටිකක් තුවාලයි වගේ"
 . "කෝ ඔයාලගේ වැඩිහිටියෝ ?" ඔහු බාධා කරයි 
"අම්මයි තාත්තයි ටවුමට  ගිහින් තාම ආවෙ නෑ .එහා ගෙදර ඇන්ටි තමයි කිව්වේ ඩොක්ටර් ට පෙන්නන්න කියලා ". 
මම මහ දැනමුත්තියක් මෙන් පිලිතුරු දෙමි .නංගී බයටත් පුදුමයටත් පත්වී සිටියාය . මට හදිසියේම මල්ලි කෙනෙකුත් ලැබී ඇත .
" වයස කීයද ඔයාගෙ මල්ලිගේ ?"
ආයෙත් දොස්තරගෙන් පැනයකි . 
"අවුරුදු හයයි මම පැනලා උත්තරදුන්නෙමි ". 

හපා කෑ දත් පහර පරීක්ෂාකර බැලූ දොස්තර මහතා "බය වෙන්න දෙයක් නෑ අපි ටෙටනස් එකක් විදිමු කොයිකටත් " කියා නංගීට පිටගැස්ම එන්නත දුන්නේය . නංගීට හොඳට රිදෙන්න එන්නතක් ලැබීම ගැන මට මහා සතුටක් දැනිනි .

ආයෙත් ගෙදර ආ විට මට කන් පිරෙන්න තාත්තාගෙන් හා අම්මාගෙන් බැනුම් ලැබුණි . ඒ මදිවාට වස ලැජ්ජාවය . නංගී මගේ සියලු බොරු රංගනයන් අම්මාට වාර්තා කර තිබිණි . එදා සිට කාලයක් යන තුරු ගෙදර සියල්ලෝම මට ලෙඩක් හැදුන විට  විහිළු කරන්න   පුරුදුව සිටියෝය.

 ".දැන් ඉතින් ඔයාට බෙහෙත් ගන්න යන්න වෙන්නේ ඩොක්ටර් අමරසිරි ගාවට . එතකොට එයා අහන්නෙ නැත්තෑ අර අත හපාකෑව මල්ලි ගැනත් . ඉන්නවකො අපි කියන්න ඇත්ත කතාව ."

මට එවිට මහා ලැජ්ජාවක් ඇතිවේ .එනිසා උණක් හෙම්බිරිස්සවක් හදා නොගෙන ඉන්න මම සෑහෙන්න කාලයක් උත්සාහ ගතිමි . මේ වෛද්‍යවරයා මගේ පාසලේ ආදි සිසුවෙකි . එනිසා අපි බෙහෙත් ගන්න ගිය විට ඉගෙනීම , අපේ විබාග ගැන වචනයක් දෙකක් අපෙන් අහන පුරුද්දක් ඔහුට විය .ඒත් මේ වෙනකන් දෙවියන්ට  ස්තූති වන්න  කවදාවත්ම  අපේ බාල මල්ලී ගැන නම් අසා නැත .

 අපි දෙන්නා ටොම් ඇන්ඩ් ජෙරී මෙන් රංඩු වෙමින් යාලුවෙමින් ලොකු වීමු .ටිකක් ලොකු වුන විට අතින් පයින් ගුටි කෙලි පසෙක ලා වචන වලින් ප්‍රහාර එල්ල කර ගත්තෙමු . හිත් රිදවීම් ඕනෑ තරම් විය .දෙන්නා දෙවිදියක චරිතය  . අප දෙදෙනාම  හඳුනන හැමෝම කියන්නේ එහෙමය . ඒත් දෙන්නාම ජීවිතයේ දෙවැනි දශකය පහු කරන සමය වන විට මේ රණ්ඩු ඇල්ලිම්, පොර ඇල්ලීම් ,නැතිවී යමින් බොහෝ  වෙනස් වී තිබුණි .දැන් අම්මා ඕනෑම වෙලාවක් බනින්නේ  "මේ දෙන්නාම එකයි ලොක්ක තමයි පොඩි එකා නරක්කරන්නේ"   කියමිනි .


ප/ලි


මේ අතීත කතාව ඇදිලා ආවේ මෑතදී නංගී ලෙඩ වී ප්‍රතිකාර පිණිස රෝහල් ගතකල විටය . ඇගේ අවසන් වෛද්‍ය වාර්තාව හා නිගමනය රෝහලෙන් ලැබෙන තෙක් තරමක කැලඹීමෙන් යුතුව මා බලා සිටින වෙලාවක මා හිනැස්සිමට නංගී මේ කතාව මතක්කලාය .සියල්ල අවසානයේ යහතින් නිමා වූ අතර ඇගේ රෝග නිර්ණය සිතූ පරිදි අවදානම් සහගත දෙයක් නොවීය .

Saturday, February 5, 2011

මිහිරයි මමයි බින්දුමතියි


අපි පොඩි කාලේ රසවින්ද කාටූන් , ත්‍රාසජනක ටෙලි කතා , හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍ය ගැන මෑතකදී පිස්සා බ්ලොග් පෝස්ට් කීපයක් ලියලා තිබුණා. ඒ මතක ඔස්සේ යද්දී මට මතක් වුණේ ඒ කාලෙ රසවින්ද ළමා පත්තර ගැන යමක් ලියන්න ඕනෙ කියලා .

ටී .වී එකේ යන ළමා පත්තර දැන්වීම් දැක්කම හිතෙනවා  දැන් නම් ගොඩක් ළමා පත්තර පලවෙන්නෙ ශිෂ්‍යත්ව විභාගෙට ළමයි පුහුණු කරන්නද කියලා. මොකද එවායේ පලවෙන වෙනත් ලිපි , කතා ගැන සඳහනක් නැති තරම් .හැමතිස්සෙම කියන්නෙ පත්තර එක්ක ලැබෙන ප්‍රශ්න පත්තර පොත් කට්ටල ගැන .  එතකොට මට මතක්වෙන්නෙ මිහිර පත්තරේ පලවුණ "බින්දුමතී" කතාව.

තුනවසරේ ඉන්දලා  හත වසර විතර වෙනකන්ම මම නොකඩවා "මිහිර" කියෙව්වා. හැම සඳුදාම "මිහිර " එනකන් මම හිටියෙ නොඉවසිල්ලෙන් . ඒ කොටස් වශයෙන් පලවුණ "බින්දුමතී" කියවන්න. බින්දුමතී දුප්පත් දක්ෂ ගෑනු ලමයෙක් . අම්ම විතරයි එයාට හිටියේ. අම්ම රබර් කට්ටියේ කිරි කපලා දුවට උගන්වනවා. ගමේ පාසලේන් ශිෂ්‍යතවය සමත්වෙලා   සුදුවැල්ල ම්ධ්‍ය මහ විද්‍යාලයට  යන්න  බින්දුමතී ගමේ ඉඳන් ගොඩක් දුර පයින් යද්දී සපත්තු දෙක ඉක්මනට ගෙවෙන එක වලක්වන්න සපත්තු අතින් අරන්  පයින් ඇවිදගෙන ගිය හැටි කතාවෙ තිබුණ විදිය මට මතකයි. දුප්පත් වුණත් බින්දුමතී  දුර්වල යාලුවන්ට ඉගෙන ගන්න ගොඩක් උදව් කළ ළමයෙක්.එයා කිසිම වෙලාවක තමන් දුප්පත් කියලා ඉගෙනීම අතරින්නෙ නැහැ.අන්තිමට එයා ඉගෙන ගත්ත පාසලේම ගුරුවරියක් විදියට සේවයට යන එකෙන් තමයි කතාව සමාප්තවුනේ.ඒ සමාප්ති සටහනේ තිබුණේ මෙතෙක් කල් ඔබේ ලමා ලෝකයේ හිටිය බින්දුමතී අද පටන් වැඩිහිටි ලොවට පිවිසීමත් එක්ක මේ කතා මාලාව නිමා වෙනවා කියලා .  මිහිරෙ මුල්පිටුවෙ තියෙන බින්දුමතී  ලිව්වෙ සිරිල් සී පෙරේරා මත්තයා. මුලින්ම පත්තරේ අතට ගත්තු හැටියෙම රස කෑමක් කනවා වගේ මම බලන්නෙ බින්දුමතී කතාව.ඒ තරම් ලමයින්ට රසවත් ආකාරයට කතාව ලියැවිලා තිබුණා.ඒ කාලෙ තිබුණ විජය වගේ පත්තර අබිබවා  මිහිර පත්තරය වටා විසාල ළමා පාඨක පිරිසක් රොක්වෙන්න බින්දුමතී හේතුවුණා කියලා මට හිතෙනවා. මොකද මගේ පන්තියෙ යාලුවො ගොඩක් බින්දුමතී කියවන්න මම වගේම නොඉවසිල්ලෙන් හිටි අය .

මිහිරෙ ගිය කාටූන් අතරින් මම ආසාවෙන් බැලුව "බට කොල ආච්චී " සහ "පුංචිත්ත" කතන්දරත් මතකයි . බටකොල ආච්චි නිතරම නපුරු වැඩ කල මායාකාරියක් වුණත් "බූ බබා" ඒ නපුරු වැඩ වලින් අනික් අය බේරගන්න උත්සාහ කල කෙනෙක් .පුන්චිත්තා එක්ක එයාගෙ තනියට එහෙ මෙහෙ ගිය , නිතර එයා කතාබස් කරන බලු කුක්කෙකුත් හිටිය බව මතකයි. ඉන්ටර් නෙට් නොතිබුණ ඩිස්කවරි ගැන අහලාවත් නැති  ඒ කාලේ ඇල්ප්ස් කඳු , පිරමිඩ සහ පාරාවෝ  රජවරු , හිමවලස්සු , හිමාලයේ යෙටී මිනිස්සු, අප්‍රිකාවේ වනාන්තර, ගැන  ඩැනිස්ටර් පෙරේරා කියල කෙනෙක් ලිව්ව කුතුහලය දනවන රසවත් ලිපිත් මට මතකයි .  එදිනදා සිදුවන  විද්‍යාත්මක සන්සිද්ධි රසවත්ව හරිම සරලව කතා අනුසාරයෙන් පැහැදිලි කරලා දෙන විශේෂාංගයක් මිහිරෙ තිබුණත් මට ඒකේ නම මතක නැහැ."කමලක්කාගෙන් අහන්න " යනුවෙන් පලවුණ හාස්‍ය මුසු කවි සහ කතා අතුලත් වුණ රසවත් තීරු සටහනකුත් මිහිරෙ තිබුණා.

විජය පත්තරේ පල වුණේ බදාදට වෙන්න ඕනෙ. විජය මිහිර තරම් මගෙ සිත්ගත්තේ නැතිවුණත් එකේ  තිවුණ පියල් උදය සමරවීර ලිව්ව "මකාගේ යලක්" එකේ නාහෙ මල් ඇටයක් හිරවෙලා නාහෙට උඩින් පිපුණ මලක් එක්ක හිටිය  මල් මාමා මට තාමත් මතකයි . එහාගෙදර චූටි නැන්දා කියෙව්ව විජය පත්තර මිටියක්ම ඒ වෙනකොට මට ලැබිලා තිබුණේ . විජය පත්තරේ කාලයක්ම මැදපිටුව පුරාම බොහොම ලස්සනට වර්ණ චිත්‍ර රාමු  එක්ක පලවුන කතන්දර පොත මතකද?. ඒ පිටුව වෙන්කරලා ඊතල වලින් දක්වලා තියෙන උපදෙස් අනුව කපාගෙන ඒ මේ අතට නැව්වම ලස්සන හුරු බුහුටි  පොඩි කතා පොත් පිංචක් ලැබෙනවා. එයින් මිටියක්ම මාගාව තිබුණා විජය පත්තරෙත් එක්ක චූටි නැන්දාගෙන් ලැබිලා. ඒවා ඉස්කෝලෙ ගෙනිහින් යාලුවො එක්ක හුවමාරු කරන් කියෙව්වා මතකයි .

ඔය කාලෙ මිහිරක් රුපියල් තුනක් විතර වගේ .කොහොමහරි පත්තරේ ගන්න අම්මගෙන් හරි තාත්තගෙන් හරි රුපියල් තුනකුත් ඉල්ලගෙන සඳුදා වෙනකන් ඉන්නෙ පුදුම නොඉවසිල්ලකින් .  සඳුදාට ඉස්කෝලෙ ඇරිලා අවිත් බත් ඇටේ හරස්වෙන්න කලින් හන්දියෙ පත්තරකඩේට දුවලා යන්නෙ මිහිරක් ගේන්න .
අපේ ගමටම තිබුනෙ එකම එක  පත්තර කඩයයි ඒ දවස්වල . ඒ "මැම්බර්ගේ කඩේ"  කියල හැඳින්වුව ලේක් හවුස්, ලංකාදීප  සහ උපාලි පුවත්පත් අලෙවි නියෝජිතයන් හැටියට කටයුතු කල  හාල් සිල්ලර බඩු විකිණුව කඩයක්. සඳුදා අපේ ගමේ පොල දවස .ඉතින් හාල් සිල්ලර බඩු ගන්න උදවියත් මැම්බර් කඩේ පිරිලා . යන්තම් කඩ බක්කියට උස නැතිව අතේ රුපියල් තුනකුත් මිට මොලවගෙන ඉන්න මාව කඩේ බඩු කිරන අය ඒ තරම් ගනන් ගන්නේ නැහැ.ඒ නිසා ටිකක් වෙලා යනවා පත්තරේ ඉල්ලගන්න .ටිකක් ලොකුවෙනකොට මම කලේ කෙලින්ම 'මැම්බර් සීයගේ"  මේසේ ගාවට යනවා රුපියල් තුනත් මිට මොලවගෙන . උන්දැ උස, හීන්දෑරි, සුදු ,මනුස්සයෙක් . වැඩි කතා නෑ. මේසෙකුයි පුටුවයි තියාගෙන වාඩි වෙලා ඉන්නවා.මේසෙ උඩ ඔක්කොම පත්තර ජාති අතුරලා තියෙනවා. මේස ලාච්චුවේ සල්ලි තියෙනවා. උන්දැගේ පිටිපස්සේ  ලස්සන දම්පාට වතුර බෝතල් පිරෙව්ව රාක්කෙකුත් තියෙනවා. අමුතු සැර සුවඳකුත් පැතිරෙනවා. ඒ සුවඳට එක්වුණ අලුත් පත්තර සුවඳ නාහෙට දැනෙනකොට හරි අපූරුයි . පස්සෙයි මම දන්නෙ මැම්බර් කඩේ පත්තර , සිල්ලර වලට අමතරව වයින් ස්ප්‍රීතු විකිණුවා කියලා. මට හදිස්සියෙන්වත් සඳුදට මිහිර පත්තරේ ගන්න මග ඇරුණොත් අනිවාර්යෙන්ම පස්සෙ දවසක මැම්බර් කඩෙන් මට ඒ  පත්තරේ  ලැබුණා. ඉතින් සල්ලිටික දීලා ඉක්මනට මිහිර පත්තරෙත් ඩැහැගෙන හැල්මෙ ගෙදර දුවන් එන්නෙ රටක් රාජ්ජයක් ලැබුණ වගේ සතුටින් .

ඔහොම අවුරුදු ගනනාවක් එකතු කරපු ,රසවින්ද මිහිර පත්තර මිටියක්ම අපේ ගෙදර තිබිලා පස්සෙ කාලෙක විසිකරල දැම්ම . දැන්නම් මිහිර මොනවගේද කියන්න මම දන්නේ නැහැ. කාලෙකින් මිහිර පත්තරයක් දැකලා නැහැ.ඒත් මිහිර එක්ක ගෙවුණ මගේ ළමා මතකයන්නම් බොහොම මිහිරියි  කියලා හිතෙනවා.

ප/ලි
බින්දුමතී කතාව ආයෙත් කියවන්න ආසයි .මේක පොතක් හැටියට පලවෙලා තියෙනවද? . දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ තොරතුර දෙන්න .ඔයාලත් කැමතිනම් මිහිර , විජය එක්ක තිබුණ රසවත් මතක කියන්න පුලුවනි . ඔය උඩින් තියෙන මිහිර පත්තරේ පින්තූරෙ ගත්තේ ලේක් හවුස් වෙබ් පිටුවෙන් . එතකොටයි දන්නෙ මිහිරට අවුරුදු හතලිස්පහකුත් පිරිලා කියලා .දැන් පත්තරයක් රුපියල් පහලවයි .කාලෙ ගිය ඉක්මන !

Sunday, October 4, 2009

මගේ පුතා හරි හපනා ......අම්මට පඩි විසිවැනිදා




දෙකේ පන්තියට එනකොට මට වාක්‍ය රචනා ලියන්න තිබුණෙ පුදුම ආසාවක්. හිනාවෙන්න එපා .දැන් මට හොඳට ,ලස්සනට අකුරු ,ඉලක්කම් ලියන්න පුලුවනි . සිංහල පාඩමේදී පූසා, බල්ලා, පොල්ගස , ලේනා වගේ පොඩි පොඩි මාතෘකා ගැන රචනා ලියන්න ආරියවතී ගුරුතුමී අපිට කියනවා.ඇය මට හමුවූ හොඳම ගුරුතුමියක්. රචනා ලියන්න අපි උන්නදු කරන්න ඕනෙ නිසා හොඳම රචනා කීපයක් තෝරගෙන පන්තියටම ඇහෙන්න කියවීම ඇගේ සිරිතක්. ඉතින් කවුරුත් හරි කැමතියි ,උනන්දුයි රචනා ලියන්න .පොඩි ආඩම්බරයක් තියෙනවනෙ තමන්ගෙ රචනාව පන්තියටම ඇහෙන්න කියවනකොට.

එදා අපේ රචනා මාතෘකාව "අම්ම". හ්ම්ම්... පැන්සලත් අල්ලගෙන , තනිරූල් කොපි පොතට ඔලුව නවාගෙන මම බර කල්පනාවක. මොනවද අම්ම ගැන ලියන්නෙ ? අම්මගෙ හැඩ රුව , අම්මගෙ රැකියාව , අම්ම මට ආදරෙයි ,මමත් අම්මට ආදරෙයි... ම්ම්ම් ...ඒවා ඉතින් හැමෝම ලියනවනෙ . මට ටිකක් අමුතු දෙයක් ලියන්න ඔනෙ වුනා.....ආහ්හ්..මතක් වුනේ ඔන්න දැන් . අම්ම මට ආසකරන කතන්දර පොත් ඇඳුම් එහෙම ගෙනැත් දෙනවා. ඒත් සමහරදාට ඒවා ඉල්ලුවහම කියනවා
"පුතේ මේ මාසෙ විසිවැනිදා වෙනකන් ඉන්න , අම්ම පඩි ගන්නෙ එදාටනේ, එතකොට පුතාට අරගෙන දෙන්නම්" කියලා.
ඇත්ත ගොඩක් වෙලාවට මගේ ඉල්ලිම් විසිවෙනිදාට පස්සෙ ඉටුවෙනවා. ඒ නිසා මම මගේ රචනාවේ මතක ඇතිවම ලිව්වා
"මගේ අම්මාගේ රැකියාව ..zzzz....ඇයට පඩි ලැබෙන්නේ විසි වැනිදාට.එවිට ඇය මට අලුත් ඇඳුම් ,කතන්දරපොත් ගෙනැවිත් දෙනවා"

ගුරුතුමී පොත් එකතුකරගෙන අපේ රචනාවල හරි වැරදි බලනවා . අපි එයාගේ මෙසේ වටේ වට වෙලා එබීගෙන ඉන්නවා. අද කාගෙ රචනා වලට "ඉතා හොඳයි" ලැබිලා පන්තියටම කියවාවිද?ඔන්න එයා මගේ පොත අරගත්තා, මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.අත් අකුරු වැරදිනම් නැහැවගේ.ඒත් ඇයි ගුරුතුමී හෙමිහිට හිනාවෙන්නෙ ? ආ අම්මට පඩි ලැබෙන දවස මම රචනාවෙ ලියලා තියෙනවනේ . එයා ඒක එහා පන්තියෙ ගුරුතුමීටත් පෙන්නුවා.ඒකට කමක් නැහැ මට "ඉතා හොඳයි" එකක් ලැබුනා.තව පුංචි ප්‍රශ්නෙකුත් ගුරුතුමී මගෙන් ඇහුවා ?
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
මම මොනවගේ උත්තරයක් දුන්නද කියන්න මතක නැහැ.

ඒත් අම්මගෙ විසිවෙනිදා පඩි ලැබෙන දවස මම ටිකෙන් ටික ලොකුවෙනකොට හරිම වැදගත් දවසක් වුනා. දෙකේ පන්තියෙදි මට තිබුන කතන්දර පොත්, ටොෆි ,චොක්ලට් වගෙ සරල ඉල්ලිම් ලයිස්තුව මම ලොකුවෙනවත් එක්කම දිගවුනා,සංකීර්ණවුනා.ටියුෂන් ගාස්තු,සීසන් ටිකට් එක , පාසැල් සේවා ගාස්තු , ගැටවරවියේ අඳින්න ආස අලුත් අඳුම් මෝස්තර ඒකට එකතුවුනා. තාත්ත අතට දෙන පඩියත් එකතු කරලා ගෙදර අනිත් උවමනාවනුත් සම්පූර්ණ කරලා ඔය කිව්ව හැමදෙයක්ම ලබාදෙන්න අම්මට තිබුනෙ පුදුම කලමනාකරණ හැකියාවක්. මම විශ්වවිද්‍යාලයට යාමත් එක්ක , නංගිගේ උසස් අධ්‍යාපනයත් එක්ක අපේ ඉල්ලිම් තව දීර්ඝ වෙනවා.නවතැන් ගාස්තු,පොත් පත්,එක එක පාඨමලා, විභාග ,ඇඳුම් කැඩුම්,..අපේ ඉල්ලිම් ලයිස්තුව වේගයෙන් ඉහල ගියාට ඒ හා සාපේක්ෂව අම්මගෙ රජයේ සේවක වැටුප ඉහල ගියේ හෙමින්. ඒත් අම්ම කවදාවත් අපේ ඉල්ලිම් වලට බැහැ කිව්වෙන් නැහැ. දෙන සල්ලි වියදම් කලේ කොහොමද කියලා කවදාවත්ම ඇහුවෙත් නැහැ.විශ්වවිද්‍යාලෙ ගියාට පස්සෙ සමහර වෙලාවට මම ගෙදර එන්න හිතුවෙ විසිවෙනිදායින් පස්සේ මාසෙ අන්තිමට වගේ සල්ලි ඉල්ලගෙන යන්න .එහෙම ආවත් අම්ම මතක ඇතුව මම ඉල්ලන්නත් කලින් ලියුම් කවරෙක දාලා පරිස්සම් කරලා තිව්ව සල්ලි මට දෙනවා එන මාසේ වියදමට . පොඩි කාලෙ වගේමයි .ඇය කවදාවත් මගේ ඉල්ලිම් අමතක කලේ නැහැ.

උපාධියක් අරන් විශ්වවිද්‍යාලෙන් පිටවෙලා මගේ පලවෙනි රැකියාව කරද්දිත් , විසි වෙනිදා වැදගත් දවසක් වුනා. අම්ම කවදාවත් කිව්වෙ නැහැ "ඔයාගෙ පඩියෙන් දැන් ඔයාගෙ වැඩ කරගන්න "කියලා. උද්ධච්ච කමට මම නොකිව්වට එයා දැනගෙන හිටියා මගේ මුල්ම වැටුප ඒතරම් ලොකු වැටුපක් නොවෙන වග .ඒ දවස් වල ගෙදරින් සල්ලි නොඉල්ලුවත් අම්ම හරි පුදුම දෙයක් කලා.

හැම මාසෙ අගම මම ගෙදර එනකොට හරිම ලස්සන කොට්න් සාරියක් දෙකක් මගේ අල්මාරියේ තියලා තියෙනවා.ඒකටම හරියන හැට්ටෙකුත් මහලා. අම්මා දන්නවා මගේ ආධුනික කාලෙ වැටුප අඩුවුනාට වෘතීය මට්ටම පවත්වාගෙන යන්න ගොඩක් අඳුම් කැඩුම් ඔනෙ වග . ඒ සාරි වල මිල ගනන් කවදාවත් එයා මට කියලා නැහැ. එයා මට හැමදාම කිව්වේ
"ලොක්කා ලස්සනට ඇඳින්න , එක සාරියක් එක මාසෙක එක වතාවකට වැඩිය ඇඳින්න එපා "
අද මට තියෙන ලස්සන කොට්න් සාරි ඔක්කොම එදා අම්මා අරන්දුන්නු ඒවා . ඒ අතරින් මම ඇන්ඳ පලවෙනි සාරියත් , මගේ වෘතීය ජීවිතයේ ඉතාම වැදගත් දවසක ඇන්ඳ ඇත්දල +රිදී පාට සාරියත් මට හරිම වටිනා අම්මගේ විසිවැනිදා පඩියෙන් ලැබුන අගනාම සිහිවටන .මට අද මතක්වුනේ අම්ම කවදාවත් එයාගේ රැකියාවෙදි ඒවගේ වටිනා මිල අධික සාරි නොඇන්ඳ වග .

මට ආයෙත් සිහිවෙන්නෙ මගේ දෙකේ පන්තියෙ ගුරුතුමී ඇහුව ප්‍රශ්නෙ.
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
ඒ එක්කම අම්ම මාව නලවද්දි කිව්ව මේ නැලැවිලි ගීයත් සිහිවෙනවා.

මගේ පුතා හරි හපනා
දවසක කොලඹට යනවා
පනම් තුනක් පඩි කනවා
ඉන් පනමක් මට දෙනවා

එදා දෙකේ පන්තියෙ ඉඳලා , විශ්ව විද්‍යාලයට ගිහින් ,උපාධියක් අරන් , කොලඹ රැකියාවක් කරලත් අවුරුදු දෙකක් යනකන් මට අම්මට එක පනමක් වත් දෙන්න බැරිවුනා.

තාමත් මට හිතෙනවා දෙකේ පන්තියෙදි ආරියවතී ගුරුතුමී ඇහුව ප්‍රශ්නෙට මම උත්තර දුන්න මදි කියලා.දැන් මම අම්මගෙන් කිසිම දෙයක් නොඉල්ලුවත් ,ඇගේ විසිවෙනිදා පඩිය දැන් මට අවැදගත් දෙයක් වුනත් ,අම්මා ආසකරන රසකැවිල්ලක්වත් අරගෙන යන්නෙ නැතුව අත්දෙක වන වන ගෙදර යන දවස් තාමත් ඔනෙ තරම් තියෙනවා.ගෙදර ගිහිල්ලත් "මට මහන්සියි" කියලා මුලු සති අන්තෙම අම්ම එක්ක කතා නැතුව නිදාගන්න වෙලාවල් අනන්තයි.ඒත් අම්ම තරහ නැහැ.කීයට හරි මම ගෙදර එන එක තමයි ඇගේ බලාපොරොත්තුව . ඒත් තාමත් ඉඳ හිට මගේ අල්මාරියේ අලුත් ලස්සන සාරි තියලා තියෙන ඇගේ පුරුද්දනම් නැවතිලා නැහැ.

Monday, September 21, 2009

කිරි කතන්දර


මං පොඩිකාලෙ අවුරුදු තුනක් විතර යනකන් අම්මගෙන් කිරි බිව්වලු.මහ ගෙදර ඉඳල සෙනසුරාද ඉරිද නිවාඩු දවස් දෙකට අම්ම මාව ගෙදර එක්ක එනවා. ඉතින් සිකුරාදට මම ලොක්ක වගේ ආච්චිට කියනවලු "මම කිරිබොන්න ගෙදර යනවා" කියලා.මට තාම මතකයි කවුරුහරි "පුතේ කිරි මොන රහද?" කියලා ඇහුවහම මම කියනවා "කිරි වලාකුලු රහයිනෙ " කියලා. වෙලාවට කවුරුවත් ඇහුවෙ නැහැ "වලාකුලු මොන රහද?" කියලා.
අම්මට ,මට දෙන්න කිරි තිබුණට එයා රස්සාවට යන නිසා මාව පිටි කිරි වලට ඉක්මනට හුරු කරන්න වුනා.මම ඉපදුනේ ලංකාවෙ පෝලිම් යුගයෙ අවසාන කාලෙ .ඉතින් ඒ දවස්වල තිබුන ප්‍රකට ලදරු කිරිපිටි වර්ගයක් වෙන S.M.A ගන්න සමූපකාර පෝලිමේත් ඉන්න වුනා කියලා අම්ම කියනව.ඒත් ඉතින් මම නෙවෙයි ලේසියෙන් පිටි කිරි බොන්න පුරුදුවෙලා තියෙන්න .ඔනෙ තරම් කිරි හදලා අහක දැම්ම වෙලාවල් අනන්තයි ලු.දවසක් මම පිටි කිරි නොබී දඟ කරන වෙලාවක , මගේ ලොකු මස්සිනා චන්දිමාල් අය්යිය ඇවිත් වීරයා වගේ "නැන්දේ මම නංගිට කිරි බෝතලේ ඔකොම පොවන්නම්" කියලා ඉල්ලගෙන තියෙනවා.චන්දිමාල් අය්යට එතකොට වයස අවුරුදු දහයක් විතර . මම කිරි බිව්ව කියලද හිතන්නෙ?
විනාඩි දහයකට විතර පස්සේ අය්යා එනවලු හිස් කිරි බෝතලයත් අරගෙන.

"නැන්දේ නංගි ඔක්කොම කිරිටික බිව්වා"

" මගේ හොඳ පුතා"
එහම කියලා අම්ම අය්යියගේ මුණ දිහා බලලා.එයාගෙ කට වටේටම ලොකු "කිරි රැවුලක්" තිවිලා. මම කිරි බොන්න අදිමදි කරනකොට අයියා කිරි බෝතලෙම කටේ තියාගෙන බීලා වැඩේ අහවර කරලා.
"නංගිත් නොබී අපරාදෙ කිරි අහක දාන නිසා මම බෝතලේ කටේ තියාගෙනම බිව්ව".
තාමත් අපේ චන්දිමාල් අය්ය එහෙම කියලා හිනහවෙනවා.
මුල් කාලෙ ඔයවගේ පිටි කිරි නොබී පෙරලි කරාට කාලයක් යනකොට මම ටිකෙන් ටික පිටි කිරි බොන්න හුරුවෙලා. එතකොට මම S.M.A යුගයෙ ඉඳලා ලැක්ටෝජන් වලට උසස්වෙලා.ආච්චි කුස්සියෙ උදේට කිරි හදන වැඩේ බලන්න ඉන්න ලස්සනයි . මම ගොඩක් කැමති කිරි හදලා නිවනවා බලාගෙන ඉන්න .උණු කිරි බිව්වොත් මගේ කට පිච්චෙනවනෙ.ඉතින් එයා කෝප්ප දෙකකට කිරි දාලා නිවන්න පටන්ගන්නවා එක කෝප්පෙකින් අනිකට කිරි වක්කරලා.මම උදේට නැගිටලා නිදිමතේ ඇස් පිහ පිහ
ලඟ තියෙන පොඩි පුටුවෙ වාඩිවෙලා කකුල් දෙකත් වන වන ඉන්නවා.සුදු බැලලිත් මං වටේ දැවටෙනවා.

වැනියන් සුදු වැනීයන් -කිරි දෙනකන් වැනීයන්
සුදු පූසිට කිරි නැතේ -සුදු දෝණිට කිරි ඇතේ
හා... මට කියන්න අමතක වුනානෙ. ගොඩක් කිරි බිව්වම සුදු වෙලා ,ලස්සනවෙලා, ඉක්මනට උස යනවා කියලා ආච්චි මට කියලා තිබුණා.


ඉතින් කිරි නිවනකොට කිරි ටිකක්වත් බිමට වැටෙනවට නම් මම කැමති නැහැ.එහෙම වුනොත් සුදු පූසිටනෙ වාසි . ඔන්න වැරදිලාවත් කිරි ටිකක් බිම වැටුනොත් මම කෑගහනවා.
"අනේ ආච්චියේ "කිරි ඇටයක් හැලුනා" කියලා. "කිරි බිංදු" කියන්න මම දැනගෙන ඉඳලා නැහැ. ඉතින් ඒවට තමයි "කිරි ඇට "කියලා තියෙන්නෙ . කොහොමද මගේ කිරි කතන්දර ? :)

Sunday, September 20, 2009

මොන්ටිසෝරි වර්ජනය




මගේ කාර්යාලයේ පරිස්‍රයේම ලදරු පාසලක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තියෙනවා.පුංචි පැන්චො පැන්චියො ලදරු පාසල් එන්නෙ මම කාර්යාලයටත් එන්න කලින්.ඒ සමහරුන්ගෙ අම්මලා තාත්තලා උදෙන්ම රැකියාවට යන නිසා .

හැමදාම උදේට ටික වෙලාවක් මේ සිඟිත්තො දිහා බලා ඉන්න එක මගේ සිරිතක්. සමහරු බොහොම කැමැත්තෙන් ලදරු පාසල් ආවත් ටිකක් අඬාවැටිලා දෙමවුපියන්ගෙන් වෙන් වෙන අයත් ඉන්නවා.
මේ අය දිහා බලන් ඉන්නකොට මට මතක් වෙන්නෙ මගේ පුංචිකාලෙ ,ඇහුවට පුදුම වෙන්න එපා මම පුංචි සන්දියෙම වර්ජනයක් කරලා අයිතිවාසිකම් දිනාගෙන ලදරු පාසල් නොගිහින් කෙල්ලින්ම ඉස්කෝලෙ ගිය ළමයෙක්.
මම ඉපදුනේ හැදුනෙ වැඩුනෙ අපේ අම්මගෙ මහ ගෙදර . ඒ මගෙ ලමා ලෝකෙ රාජධානිය .ආච්චි,මාමලා, නිතරම මාව වඩාගෙන හුරතල් කරන අම්මගේ ඥාති සහෝදරියො ගොඩක් මැද්දෙ අවුරුදු හතරක් ගෙවෙනකන් හරි සතුටින් තමයි මම හිටියේ .පවුලෙ හැමෝගෙම හුරතලා මම ,මගේ නංගි ඉපදුනේ අවුරුදු හයකට පස්සෙනෙ.
සෙල්ලම් කරන්න, දුවන්න, පනින්න ,කාගෙන්වත් මට වැඩි තහංචි තිබුනෙ නැහැ.යන්තම් පයින් යන කාලෙ ඉඳලා දවල් දවසෙම මහගෙදර ලොකු වැලි මිදුලෙ ජංගි කොටේකුත් ඇඳන් තුල්සි අක්කා, සුදු,කුමුදුනි, මංගල ,මංජු අය්යා,ජානක අයියා වගේ ඥාති සහෝදර සහෝදරියන් එක්ක සෙල්ලම් බත් උයන්න ,තලාදුවන්න ,හැංගි මුත්තන් කරන්න වගේ වැඩ ඔනෙ තරම් මට තිබුණා.මහගෙදර මිදුලෙ ලස්සන ජපන් රෝස මල් පාත්ති ගොඩක් තිබුණා. කාලෙකට වැල නොකැඩී එන කහපාට සමනල්ලු මේ මල් පාත්ති වලට එනවා.උන් අල්ලන්න අපි පස්සෙන් දුවනවා.ටිකක් දවල් වෙනකොට ආච්චි හරි සුද්දි අම්ම හරි අපි ඔක්කොම ඇලට ගෙනියනවා නාවන්න . නාල ආවම වැඩි දවසට ඔක්කොම ලමයි බත් කන්නෙ අපේ ආච්චිගෙන්.සිංහල උලු හෙවිලි කරපු මහ ගෙදර මැද කෑල්ලෙ ඔක්කොටම පැදුරක් දාලා ආච්චි බත් බෙදලා දෙනවා.ගෙදර සුදු බැලලිත් අපි වටේම දැවටෙනවා.දවල්ට කෑවට පස්සෙ ආච්චි මාව නිදි කරනවා. ආයෙත් හවසට ඇහැරෙන්නෙ සෙල්ලම කරන්න .
හවස් වෙලා ලොකු මාම වැඩ ඇරිල ගෙදර ආවහම එයාගෙ ලස්සන නිල්පාට සයිකලයෙන් මාව රවුමක් ගෙනියනවා. හවස් යාමෙ පිපෙන හෙන්දිරික්ක මල් ගස් කීපයක් මග ගෙදර මිදුලෙ තිබුණා.මාත් ආච්චිත් හෙන්දිරික්ක මල් නෙලාගෙන බුදුන් වඳිනවා.පොඩි සන්දියෙම ආච්චි මට ගාථා ඉගැන්වුවා.රෑට බත් කවලා ඇඟ හෝදවලා කලින්ම මාව නින්දට යවන එක එයාගෙ සිරිතක්.නින්ද යනකන් කතා කියනවා.එත් කතාව ඉවර වෙන්න කලින් මම නිදි .ඉතින් අවුරුදු හතරක් ගෙවෙනකන් කිසිම හැල හැප්පිමක් නැතුව මගේ ලමා කාලෙ ගෙවුනා.
ඔන්න අවුරුදු හතර ලබනකොට අම්මා තීරණයකලා මාව ගෙදර ගේන්න ,ලදරු පාසල් යවන්න .මොකද ගමේ හොඳ ලදරු පාසලක් තිබුනෙ නැතිනිසා. මේ ලදරු පාසල් ගමන මාව අවුලෙන් අවුලටම පත්කලා.හැමදාම උදෙන් නැගිටලා ,වෙලාවට කිරි බීලා,මූන හෝදලා,කෑම කාලා,සපත්තු මේස් දාල,ඇඳුම් ඇඳගෙන ලහි ලහියෙ වැඩට යන්න සූදානම් වෙන අම්ම එක්ක මටත් යන්න වෙනවා.අම්ම මාව ලදරු පාසලට බාරදීල වැඩට යනවා.සීය දවල්ට මාව ගෙදර ගේනවා.

ලදරු පාසලේ මට හිතේ හැටියට සෙල්ලම් කරන්න බැහැ.ඔන්චිල්ලා, සී සෝ තිබුනට වෙලාවක් තියෙනවා සෙල්ලම් කරන්න .බිල්ඩින් බ්ලොක්ස් ,ක්ලේ වගේ දෙවල් එක්ක සෙල්ලම ඒතරම් මගේ හිත ගත්තෙ නැහැ.ඔක්කොමත් හරි කෑම පෙට්ටියකුයි වතුර බෝතලයයි අරගෙන යන එක මට මහ කරදරයක් වුණා.මට වුනේ නිදහසේ හිටි කුරුලු පැටියෙක් කූඩුවක් ඇතුලෙ දැම්ම වගේ වැඩක්.

ඔහොම ඔනෙනම් සතියක් යන්න ඇති .දවසක් අම්ම වැඩ ඇරිලා ආව විතරයි මම පටන්ගත්තෙ නැද්ද මොරදීල අඬන්න සාලෙ බිම පෙරලිලා.ලදරු පාසල් බෑගයත්, කෑම පෙට්ටියත් දෙකම පොලවෙ ගැහුවා.පොඩි සපත්තු දෙකත් බල්ලට ගන්න කියලා එලියට වීසිකලා."මට මොටිසෝරි එපා , ආයෙත් ආච්චිලගෙ ගෙදර යවන්න" කියලා මොරදීල අඬනවා.ආදරේ වැඩි කමටද කොහේද අම්මත් තාත්තත් දෙන්නම තීරණය කලා ආයෙත් මාව මහ ගෙදරටම යවන්න .මාව මහ ගෙදරට එක්ක ගියහම ආච්චි මං වඩාගෙන අම්මට බැන්න "උඹලගෙ විකාර පොඩි එකාට සාංකාව හැදුනෙ නැතුවා පුදුමයි"කියලා.
ආයෙත් මගේ ලමාලෝකෙ රාජධානියට මම ආවා මගේ ඉලීම් දිනාගෙන .ඒත් ආච්චි හරි පුදුම වැඩක් කලා.ඉඳහිට හවසට සෙල්ලම් කරන්න එන සම වයස් ලමයින්ට ලස්සන සෙල්ලමක් ඉගැන්නුවා. රතුපාට මදටිය ඇට අරගෙන ඉස්තෝප්පුවෙ බිම අකුරු හදන්න . මම හරි ආසාවෙන් "ම" "ර" "ට' "ව" වගේ රවුම් අකුරු ඉගෙන ගත්තා .ඊට පස්සේ හුනු කූරකින් මුලු ඉස්තෝප්පුවෙ බිම පිරෙන්නම ලොකුවට ඒ අකුරු ලිව්ව.ඒවට ලොකු මාමගෙන් හවසට සීනි බෝල ලැබුණ. දොඹගෙඩ් වලින් දහයට ගනන්කරන්නත් ආච්චි මට ඉගැන්නුවා.
ඉතින් අවුරුදු හය සම්පූර්ණවෙලා ඉස්කෝලෙ යනකොට මම හිතුවෙ මම මුලු සිංහල හෝඩියම දන්නවා කියලා.එත් ඉස්කෝලෙ ගියහම තමයි වැඩේ තේරුණේ . තව කොයිතරම් අකුරු තියෙනවද ඉගෙනගන්න .ලදරු පාසල් ගිය යාලුවොන්ට නම් වැඩේ ලේසි වුනා .මම හෝඩිය ඉගෙනගත්තෙ හරි හෙමින් .එකේ පන්තියට යනකනුත් හරියට අකුරු ලිව්වෙ නැහැ.අනිත් යාලුවො සීයට ගනන්කරන්න ඉගෙනගන්නකොට මම දහයට ගනින්න විතරයි දැනගෙන හිටියෙ .මම හිතුවෙ දහයට පස්සෙ සීය , ඊටත් පස්සෙ දාහ කියලා.
ඉතින් කාලයක් යනකන්ම "අපේ අම්ම තමයි මේ දරුව නරක් කලේ" කියලා අම්ම, ආච්චිට බනිනවා ."පොඩි එකා ඉගෙන ගනීවි ,කෑනොගහ හිටපල්ල" කියලා ආච්චි, අම්මට කියනවා .කොහොමහරි අකුරු ඉලක්කම් හරියටම මම දැනගත්තේ දෙකේ පන්තියෙදි.