Mo Moos |
Godavari Village Resort , Tawukhil,Lalithpur-Kathmandu |
අප්‍රේල් හත්වෙනිදා එලිවෙන පාන්දර දොලහට විතර වර්ෂ අවසාන ව්‍යාපෘති වාර්තාව ලියලා හමාරකලා.මේ වාර්තාව බාරදෙන්න තව සති දෙකක් විතර තිවුණත් විදෙස් ගතවෙන හැම වෙලාවකම මම කැමති මගේ ඔක්කොම වැඩ රාජකාරි අහවර කරලා යන්න .අවුට් ඔෆ් ඔෆිස් ඊ මේල් එකත් දාලා ,ඇක්ටින් වර්ක් ඇරේන්ජ්මන්ට් වලට කෙනෙකුත් පත්කල වග කියලා සේරම වැඩ අහවර කරල ගියහම හිතට සනීපයි .එලිවෙන පාන්දර හතරට විතර ගුවන්තොටුපොලට යන්න වෙනවා .නිදාගන්න වැඩිවෙලාවක් නෑ. ඔක්කොම වැඩ අහවර කරල ගමන්මලු දෙකත් හරි බරි ගස්සලා ලොක් කලා .මේ දෙකම පිරිල තියෙන්නෙ වැඩි හරියක් යාලුවන්ට් ගෙනියන පොඩි පොඩි තෑගි වලින්.මෝනගේ දුව අදිති වෙනුවෙන් ගත්තු රිමෝට් කන්ට්‍රෝල් එකකින් උඩයන හෙලිකොප්ටරය සහිත පාර්සලයත් මගේ බැක් පැක් එක ලඟින්ම තිව්ව අමතකවෙලා දාල යාවි කියන බයට .මේක දාන්න තරම් ඉඩක් මගෙ ට්‍රැවල් බෑග් දෙකේම නෑ.බැරිවෙලාවත් අමතකවෙලා ගියොත් පොඩි එකා හරියට දුක්වේවි.එයා මම එනකන් මග බලාගෙන ඉන්නෙ මේ සෙල්ලම් හෙලිකොප්ටරේ එක්ක සෙල්ලම් කරන්න.කෙලි පැංචි මට ස්කයිප් වලින් කතාකරලත් ඒ ගැන විස්තර ඇහුවා.
යාන්තන් ඇහැ පියාගෙන එනකොට එලාම් එක වැදුනා පාන්දර තුනයි . ඉක්මනට ලෑස්තිවුනා තුනහමාර වෙද්දි ගුවන්තොටුපොලට මාව ගෙනියන ටැක්සිය එනවා. ඔය අතරේ කෝල් එකකුත් ආවා ටැක්සි රියදුරාගෙන් තව මොහොතකින් එනවා කියලා . වැඩි වෙලා ගියේ නෑ වාහනයක් ගේට්ටුව ගාව බෙරිහන් දුන්න.යාන්තන් වාහනේට ගොඩවෙලා හරි බරි ගැහිලා බම්බලපිටිය හරියෙදී ඇහැ පියාගන්න හිතුව විතරයි මෙන්න තව කෝල් එකක් ,
"මිස් මේ xz එයාර්පෝට් ටැක්සි සර්විස් එකෙන් අපි දැන් මිස්ව පික් කරන්න ඇවිත් ඉන්නෙ අංක දොලහ ගෙදරට "
මේ මොන අපබ්‍රංසයක් ද ? අපේ කන්තෝරුවෙ ඇඩ්මින් නෝනට මොකක් හරි පටලැවීමක් වෙලා ටැක්සි දෙකක්ම මට බුක් කරලා වගේ .හපෝයි ඒ රියදුරා එක්ක කතාකරල මනුස්සයට ඒක ඒත්තුගන්නන්න සෑහෙන්න වෙලාවක් ගියා .යාන්තන්න ආයේ ඇහැපියවෙන්න එනකොට මෙන්න කටුනායකට ඇවිත්.
තව පැයක් විතර නිදිමතේ එකල මෙකල වෙවී ඉඳල බැග් එක කාර්ගෝදාල ඉමිග්‍රේශන් පාස්කරල ගියා කියමුකෝ.අන්තිම සිකුරටි චෙකින් එකේදි තමයි වැඩේ වුනේ. අරෙහෙන් මෙහෙන් ලයිට් පත්තුවෙනවා සද්ද ඇහෙනවා. සෙල්ලම් හෙලිකොප්ටරේ රිමෝටෙක ඩිටෙක්ට් වෙලා . ගුවන් හමුදා නිලදාරිණියත් , ගුවන්සේවයේ නිලදාරීනුත් කලබල වෙලා . ප්‍රස්නේ ටිකක් බරපතලයි . රිමෝට් එකෙන් උඩයන සෙල්ලම් හෙලිකොප්ටරයක් නිසා මේක කැබින් දාන්න දෙන්න බැහැ කියලා ඔවුන් කියනවා . අන්තිමට ලඟ තිබුන පොලිතින් බෑග් දෙකක දාලා පාර්සල් කරලා තව මොනවදෝ ෆෝර්ම් එකකුත් පුරවලා දුන්න කාර්ගෝ දාන්න හෙලිකොප්ටරය ගැන තියන ඔක්කොම ආසාවල් අත ඇරලා.දැන් ඉතින් හිත හදාගන්න වෙනවා මේ පොඩි පාර්සල් එක ,මහ බෑග් එක්ක තෙරපිල කැඩිල බිඳිල යාවිද මන්දා.දිල්ලියෙදි ට්‍රාන්සිට් වෙනකොට මේක මගේ කත්මන්ඩු ගුවන්යානයට යාවිද කියලත් සැකයි .මොනව කරන්නද? පොඩි එකාට දිල්ලියෙ ඩියුටි ෆ්‍රී එකෙන් චොක්ලට් එකක්වත් අරන් යනවා කියල හිත හදාගත්තා.
ගමන පිටත්වුන වෙලේ ඉඳන් කරදර .ඔහොම හිත හිත සිකුරටි චෙකින් ඉවරවෙලා සපත්තු දෙකේ ලේස් ගැටගහගෙන නැගිටිනකොටම දැකල පුරුදු මූණක් . ආයෙත් හොඳට බැලුව. බොහොම පිලිවෙලට ඇඳලා ගාම්භීර පෙනුමත් එක්ක එයත් මට හිනාවෙනවා. දෙවියනේ ඔන්න දැන් මතක්වුනේ මේ ප්‍රොෆෙසර් නිලංකා නේද ?. විශ්ව විද්‍යාලෙන් පිටවෙලා අවුරුදු හයකට විතර පස්සේ මැඩම්ව දැක්කේ.ඉක්මනට ගිහින් කතාකලා .එතකොට තමයි අපි දන්නේ අපි දෙන්නම එකම ගුවන් යානෙන් නේපාලෙට යනවා ප්‍රොෆෙසර් නිලංකා අපේ පුහුණුවේ දේශක වරියක් හැටියට සහබාගි වෙනවා .මම ආයෙත් එයාගෙ ගෝලයෙක් වෙලා.
යාන්තන් ගුවන්යානය ගුවන් ගතවුනහම තමයි හිතට සැහැල්ලුවක් ආවේ ,ඒපාරනම් ඇස්දෙක පියාගත්තා හොඳට.පැයබාගයක් විතර ප්‍රමාදවෙලා තමයි ගුවන් යානය දිල්ලියට ගොඩබැස්සුවේ.ඉන්දිරාගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොල "කොමන් වෙල්ත් ගේම්" වලින් පස්සේ හරියට හැඩ වැඩ වෙලා .ඒත් සෑහෙන්න දුරක් කිලෝමීටර එකකට වඩා ඇවිදගෙන එන්න වෙනවා ට්‍රාන්සිට් කවුන්ටරයට. එතන හරිම කලබලගෑනියක් .
නේපාලෙන් ආව ගුවන් යානයක් ප්‍රමාදවෙලා ගොඩබැහැලා .ඒකෙන් ආව ලන්ඩන් , ෆ්‍රැන්ක්පර්ට් , මිලානෝවලට ට්‍රාන්සිට් වෙන සුදු ජාතිකයන්ගේ දිග පෝලිමක් . මේ ඔක්කොම ඉක්මනට සිකුරටි චෙකින් කරලා යවන්න ගුවන් සේවා නිලධාරීන් උත්සාහ කරනවා .
එනි ජෙට් එයාර්වේස් පැසෙන්න්ජර් ටු මිලානෝ ෆ්‍රැන්ක්පර්ට් ?
වර්ජින් පැසිෆික් එයාර්වේස් පැසෙන්ජර්ස් ටු ලන්ඩන් ?
මිලානෝ ෆ්‍රැන්ක්පර්ට් ජෙට් එයාර්වේස්...
වර්ජින් ලන්ඩන් වර්ජින් ලන්ඩන්
බොහෝ මගියො හතිදාගෙන ට්‍රාන්සිට් කවුන්ටරයට දුවගෙන එනවා .සිකුරටි චෙකින් වලට ගියහම ඉන්දියන් පොලිස් කාරයො කෑගහනවා ලැප්ටොප් එක තරම් අපරාධකාරයෙක් ලෝකෙ කොහේවත් නෑ වගේ . ඒ මදිවට කාගෙද සුද්දෙක්ගේ සාක්කුවක තිබිල ලයිටරයක් අහුවෙලා එක ජංජාලයයි
මේ හැමෝගෙම ගුවන් යානා වලින් මගීන් කැඳවන අවසාන නිවේදන නිකුත්වෙනවා. ගුවන්සේවකයො කෑගහනවා "ගේට්ස් ඕපන් උපර් උපර්" කියල (ඉන්දියන් ක්‍රමේට අපර් කියන්නේ ඔහොම )
මේ කලබගෑනිය බලාගෙන ට්‍රාන්සිට් පෝලිමේ ඉන්නකොට මට මතක්වුනේ පොඩිකාලෙ ඉගෙනගත්තු නර්සරි රයිම් එකක තාලෙ. මම ඒ තාලෙ දාල විකාර කවියකුත් ගෙතුව
Virgin London Virgin London
Madam Laptop ....Madam Laptop
No match box... No Match Box
Gates Open..... Gates Open
"Uper Uper .".
Finala call....Final call
London on Fire ...Fire
මම හදිස්සි කාරයො කීපදෙනෙකුට ඉඩදීල පෝලිමේ ගිහින් ට්‍රාන්සිට් වුණා.තව කිලෝමීටරයක් විතර ඇවිදගෙන ගිහින් මගේ ගුවන්යානාවට පිවිසෙන ගේට්ටුව හොයාගෙන හති අරින්න හිතුව විතරයි කවුදෝ මගේ පිටට තට්ටු කලා . ටිකක් වියපත් ප්‍රසන්න පෙනුමක් තියෙන ලස්සන සුදු ,කලු කපු සල්වාර් එකකින් සැරසුණ කාන්තාවක් හිනහවෙමින් හිටියා.
"ඔයා zzzz ආයතනයෙන් නේද ? " එයා අහනවා
.
මම පුදුමෙන් වගේ බලද්දි එයා හිනාවෙලා මගේ බැක් පැක් එකේ ගැටගහල තිබුණ රාජකාරි කාඩ් පත පෙන්නුවා.එයා අපේ ආයතනයේ උපදේශක වරියක් හැටියට කාලයක් වැඩ කරලා තියෙනවා .මගේ යාලුවො කීපදෙනෙකුත් දන්නවා .ඇයත් මම යන පුහුණුවටම නේපාලෙට යනවා . අපේ ගුවන් යානෙ පැය බාගයක් ප්‍රමාද නිසා ලඟ තිවුණ කෝපි හලට ගිහින් හොඳ කය්යික ගහගෙන තේ බිව්ව.
ඔය ඔක්කොම ජර මර පහුකරගෙන අතුරු ආන්තරාවක් නැතුව නේපාලෙට සැපත්වුණේ එදා හවස තුනට විතර. ගොඩබැහැපු ගමන් ආයෙත් මතක්වුනේ පොඩි එකාගේ හෙලිකොප්ටරේ. ඒකට මොනවා වෙලාද කියල හිත හිත බැගේජ් බෙල්ට් එකට ගියා.හරි පුදුමයි මගේ බෑග් එකටත් කලින් හෙලිකොප්ටර් පාර්සල එනවා කිසි අතුරු ආන්තරාවක් වෙලා නෑ වගේ . මම පැනල පාර්සලය බෙල්ට් එකෙන් ඩැහැගත්තා .දැන් නම් මගේ බෑග් එක නැතිවුනත් කමක්නැහැ.
හ්ම්ම්... ඔක්කොම කදමලු කරගහගෙන ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටෙන් එලියට බැස්සා විතරයි වේරම්බ වාතයක් වගේ දුවගෙන අවිදින මෝනා මාව සිප වැලඳගත්තා.
"මචං යූ කම් අගේන් රයිට් ආෆ්ටෙර් ටූ ඉයර්ස් ඈස් යූ ප්‍රොමිස්. වෙල්කම් ටු නේපාල් මෑන්" කියලා එයා මාව. බදාගෙන කෑගහනවා සතුට වැඩි කමට . මට "මචං" කියල ප්‍රසිද්දියේම කතාකරන හිතවත්ම මිතුරියන්ගෙන් එක්කෙනෙක් මෝනා .මාත් එයාට ඇටොමික් බොම්බ් , කවුබොය් ශර්පා වගේ නම් වලින් අමතනවා .ඔහොම සීමා බන්ධන නැතුව කතා කරන්න පුලුවන් , යාලුවො ඉන්න එකත් සැපතට කාරණාවක් . එහෙම යාලුවො කාලෙකින් දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා.
ආගිය විස්තර කතාකරමින් අපි ගියේ ලඟ තිවුණ කෝපිහලට .එතනින් ඩෝනට් දෙකකුයි , කෝපිය් අරගෙන ගුවන්තොටුපොලේ කුලී රථ ගාල පැත්තට ගිහින් කයිවාරුවක් ගහගෙන බෑග් පටවල තිබුණ මගේ ට්‍රොලිය උඩ වාඩිවෙලා දෙන්නම කෝපි බිව්ව.අපි දෙන්නට ටික වෙලාවක් මෙතැන ඉන්න වෙනවා කල්කටා වල ඉන්දල එන සුම් සහ එලිනා මිතුරියන් මුණගැහෙන්න . ඒදෙන්නත් ආවම අපේ ප්ලෑන් එක ආයෙත් රෙස්ටුරන්ට් එකකට ගිහින් කාල බීල ටිකක් කයිවාරු ගහන්න . හැමෝම මුණගැහෙන්නෙ අවුරුදු දෙකකට පස්සේ නෙ . ඔය අතරේ අපිව පිලිගන්න ගුවන්තොටුපොලට ඇවිත් හිටිය සංවිධායක මංඩලේ උදවිය මුණගැහිලා අපි තුන්දෙනා පරක්කුවෙලා අපේ නවාතැනට එනව කියල කියන්නත් අමතක කලේ නැහැ .
අපි දෙන්න ඉතින් කට කමසිරියාවක් නැතුව කියව කියව හිනාවෙවී කෝපි බිබි ටැක්සිකාරයො පිරුණ තැනක වගේ වගක් නැතුව ඉන්නකොට එතැනට ආව නේපාල් පොලිස් රාලහාමිකෙනෙක් අවවාදකලා අමුත්තන් සඳහා වෙන් වෙලා තියෙන සාලාවට ගිහින් වාඩි වෙලා ඉන්න කියලා .අන්තිමේදී අපිට මනුස්සය මහ වදයක් වුණා . රංඩු කරන්න බැරි නිසා දෙන්නම කුනු දූවිලි පිරුණ ගුවන්තොටුපොල අමුත්තන්ගේ සාලාවට ගිහින් ඉඳගත්තා .මම හිතන්නෙ පොලිස්කාරයට අපි දෙන්නගේ කියවිල්ලයි ,හිනාවයි ටිකක් ගානට වැඩියි වගේ දැනෙන්න ඇති .කල්කටා ගුවන්යානය සෑහෙන්න වෙලාවක් ප්‍රමාදවෙලා ගොඩබැස්ස. සුම් සහ එලීනා මගීන් පීරගෙන ආවා . ආයෙත් සිප වැලඳගැනීම් , හිනා වීම් අඩුවක් නෑ. සුම් සතුටු කඳුලු හෙලනවා.අපි ප්ලෑන් කරලම 'සර්ප්‍රයිස්' එකක් දීල එයාව ඇඬෙව්වා. සුම් දැනගෙන හිටියේ නෑ මමත් මෝනත් එයාව බලාපොරොත්තුවෙන් ගුවන්තොටුපොලේ ඉන්නව කියලා.ගොඩක් සතුටුවුණහම සුම්ට ඇඬෙනබව අපි දැනගත්තේ මීට කලින් දුලික් හිල් වල හමුවුණ වෙලාවෙ.
ඉතින් කට්ටියම ටැක්සියක නැගලා පාතන් දර්බාර් වලට ගියා . යනගමන් කතාවුනේ ලංකාව අවාසනාවන්ත විදියට ලෝක කුසලානෙ පරාදවුන එක ගැනයි , නේපාලෙ සංවර්ධනේට ඉන්දියාව කරන නින්දිත බලපෑම් ගැනයි . ඒවෙලාවට මෝන ඉන්දියානුවන්ට බනින්න පටන්ගන්නෙ " දීස් ඉන්ඩියන්ස්" කියල.අපි පාතන් දර්බාර් වල "කැෆේ ඩි පාතන්" කියන අවන්හලට ආවා.මේ හරියෙම තමයි මීට අවුරුදු දෙකකට කලින් අපි බෆ් ඩෙවල් කාල චැන්ග් බිව්ව පොඩි කඩේ තියෙන්නෙත්.
අවන්හලේ වැඩි සෙනගක් නෑ. මිටි මේස තියල කුශන් මෙට්ට අතුරපු බොහොම ප්‍රියමනාප තැනක් . හැමෝගෙම ගමන් මලු පැත්තක තියලා වාඩිවෙලා මහන්සි ඇරලා කෑම ඕඩර් කලා .කාටත් "මො මෝ" (Mo Moo) කන්න දොලදුකක් තිබුණ නිසා චිකන් "මො මෝ" ලොකු පිඟන් දෙකකුයි , ලැසියි , ස්ට්‍රෝන්ග් බ්ලැක් තේ හතරකුයි , "සයිෆාලි" කියන නේපාල් කෑමයි ඕඩර් කරා.
කෑම එනකන් ආයෙත් ආගිය කතන්දර කියවන්න ගත්තා . සුම් තව මාස දෙකකින් නිව්යෝර්ක් යනවා . මෝනට කාර්යාලයේ උසස්වීමක් ලැබිලා.එයා ගිය මාසෙ රාජකාරි වැඩකට බ්‍රසීලයට ගිහින් ඇවිත් වැඩි දවසක් නැහැ.එලිනා අලුත් තැනක රැකියාවකට ගිහින්. අපි හැමෝම ටිකක් මහත් වෙලා .කවුරුත් කතාකරමින් හිනාවෙන අතරේ මම පොටෝගහනවා. "මචං ඩෝන්ට් ටේක් මයි ටමී" කියලා මෝන කෑගහනවා .
අපි හැමෝගෙම ගමන් මලු ලිහාගෙන කාටත් ගෙනාව තෑගි දිග අරිනවා .මනිපූර් වල අපේ හොඳම මිතුරියක් වෙන චිත්‍රා, සුම් අතේ අපි හතරදෙනාටම මනිපුර් දුපට්ටා (shawls) එවල . ඒව ඉම්පාල් ටවුමෙදී සුම්ට දෙන්න චිත්‍රා, සුම් එන බස් එක අල්ලගන්න ගොඩක් වෙලා මග බලාගෙන ඉඳලා තියෙනවා.මිතුරියන් අතර සහෝදරත්වය වැඩි කරගන්න දුපට්ටා තෑගි දීම ඉන්දියානු කාන්තාවන්ගේ සිරිතක්. කවුරුත් තමන්ගෙ දුපට්ට පෙරවගෙන ඒ මේ අත කැරකෙමින් හැඩ බලද්දී මම ෆැශන් ෂෝ එක කැමරා ගත කලා.එලිනා සහ සුම් , මෝන සහ මා වෙනුවෙන් කල්කටාවෙන් ලස්සන මෝස්තර තියෙන කුරුතා දෙකක් ගෙනිල්ල . මගේ ගමන් මල්ලෙන් ලංකාවෙන් ගෙනිච්ච ටී ශර්ට් , පොත් සහ චිත්‍රපටි සී ඩී ඒ තුන්දෙනාට තෑගි කලා .අදිතිගේ හෙලිකොප්ටරයත් මෝනට බාරදුන්න. අපි බෑග් දිග ඇරගෙන හිනා වෙමින් කෑකෝ ගහමින් සතුටුවෙනවට රෙස්ටුරන්ට් එකේ උදවියගෙන් කිසි බාදාවක් තිබුණේ නැහැ.ඔය අතරේ කවුරුත් යාලුකමට මාල්බරෝ ලයිට්ස් එකකුත් පත්තුකරන් මාරුවෙන් මාරුවට දුම් උගුරු කීපෙකුත් බිව්ව.ඒ සැඳෑව යාලු මිතුරුකම් උතුරා පිටාරගලා ගිය මොහොතක් වුණා.
මෝනට සමුදීල හවස හතට විතර සුම් , එලිනා සහ මම අපේ නවාතැන වුන ගෝදාවරී නිවාඩු නිකේතනයට පිටත්වුනා. පැයක විතර ගමනකට පස්සේ අපි ගෝදාවරියට ආවා.පුහුනුව සංවිධානය කරන ආයතනයේ ගයත්‍රි ඒ වනවිටත් ගුවන්තොටුපොලේදීම කට්ටි පැන්න අපි හතරදෙනා එනකන් මග බලමින් හිටියා .අපි හැර පුහුණුවට සහහාගිවන අනිත් සියලුම දෙනා ඒවනවිටත්
ගෝදාවරියට ඇවිත් තමන්ගේ නවාතැන් කාමර ලබාගෙන තිබුණා.
ගයත්‍රි තරමක් බැගෑපත්වී අපි තුන්දෙනාට කියාසිටියේ නිවාඩු නිකේතනයේ කාමර වෙන් කරගනීමේ ගැටලුවක් පැන නැගුන නිසා පොරොන්දු වූ පරිදි අපිට ඩබල් රූම් දීමට නොහැකි බවත් මේ ගැටලුව හෙට උදේ විසඳන තෙක් අපි තුන්දෙනාට අද දිනයේ ට්‍රිපල් රූම් එකක ඉන්න ලෙසය.ඉබ්බ දියට දැමූවිට ඇන්නෑවෙදැයි කිව්වසේ අපි එක පයින්ම යෝජනාවට කැමතිවුණා පමණක් නොව මුලු පුහුණු කාලයේම ට්‍රිපල් රූම් එකක ඉන්න හැකි බව ඇයට සතුටින් පැවසුවෙමු. සංවිධායකයන්ට එය මහත් සැනසුමට හේතු වූ කාරණයක් වූවාට සැකයක් නැත .
දුලික් හිල් වලදි වගේ ආයෙත් රෑ මැදියමක් වෙනකන් නොනිදා කතාකරන්න අපි තුන්දෙනාම ගාව ඕනෙතරම රස කතා තිබුණා. ඉතින් අවුරුදු දෙකකට පස්සේ හමුවුණ අපි තුන්දෙනාට මීට වැඩිය සැපක් කොහෙද .
ප/ලි
හිමාල මිටියාවතෙ ගමන් කතන්දර ලියන්න ටිකක් පරක්කු වුණා . වැඩ වැඩි වුණ නිසා .මේ සටහනින් හිමාල ගමන් කතා පටන්ගන්නවා . බස් එකෙන් පොකරා ගිය කතාව ගැන මීලඟට ලියන්න හිතාගෙන ඉන්නවා .