Wednesday, May 18, 2011

දකු මනරම් සව් සිරි පිරි තොටගමුව


අනංග දෙවිඳු

වෙස්සන්තර කතාව -ජූජකයා දරුවන් කැටිව යාම

පංච නාරි ඝටය

සක් පිඹින්නා

සාම ජාතකය
රහතන් වහන්සේ නමක්

මාර පරාජය

ද වෙසක් පුන් පෝයදා පන්සල් යන්න හිතුවා .ඉතින් හවස් යාමේ අයිස්ක්‍රීම් , සිසිල් බීම දන්සල් කීපයකුත් වැඳපුදාගෙන තොටගමුවේ රන්පත් පුරාණ රජමහා විහාරයට ගියා .ගාලු කොලඹ ප්‍රධානපාරේ කහව සහ හික්කඩුව කියන නගර දෙක අතර තියෙන පනස් හත්වෙනි  සැතපුම් කණුව කිට්ටුව තියෙන අතුරු පාරකින් මීටර පන්සීයක් විතර ඉස්සරහට යනකොට තමයි "තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් රජ මහා විහාරය " හමුවෙන්නේ.පන්සල පිහිටි ගම  ගම හඳුන්වන්නේ තෙල්වත්ත කියලා .

මේ පන්සල ඓතිහාසික  වශයෙන් බොහොම වැදගත්කමක් ගන්න පූජනීය ස්ථානයක් . පුරා විද්‍යා දෙපාර්තමේන්තු ලිපි ලේඛණ වල "තෙල්වත්තේ පුරාණ  තොටගමු රජ මහා විහාරය" ලෙස හඳුන්වන නමුත් ගම් වැසියන් අතර ප්‍රසිද්ධ "තොටගමු විහාරය" කියලා.ලංකාවේ විහාර දේවාල වල නම් ගම් ඇති පැරණි පොතක් වෙන "නම් පොතෙත් " පන්සල හඳුන්වන්නේ ඔය කියන  නමින්. මෙහි සිත දියුණු කරගත් රහතුන් වහන්සේලා  වැඩසිටි නිසා රන්පත් විහාරය ලෙස හැඳින්වුණාලු. මේ පන්සලේ ඉතිහාසය අනුරාධපුර ,පොලොන්නරු යුගයන් තෙක් දිව යනවා .පොලොන්නරු යුගයේ සිටි පලවන විජයබා රජතුමා මෙහි විහාර කර්මාන්ත කෙරෙව්වා කියලා පැරණි පොතපතේ තියෙනවා.

කොහොම නමුත් මේ විහාරයේ ස්වර්ණමය යුගය සනිටුහන්වන්නේ කෝට්ටේ රාජධානි සම්යේ විසූ සයවෙනි පැරකුම්බා රජුගේ අනුග්‍රහය සහ උගත් පැවිදි පඬිරුවණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ අධිපතිත්වය නිසා.ෂඩ් භාෂා පරමේශ්වර රාහුල හිමියන් හා තොටගමු විහාරය අතර ඇත්තේ ගසට පොත්ත මෙන් බැඳුන සම්බන්ධතාවක් .

කුමර වියේ සිටම කාව්‍ය ශාස්ත්‍රයට උපන් හපන් කම් පෑ රාහුල හිමියන් ගැන බොහෝ ජනප්‍රවාද තියෙනවා. උන්වහන්සේ කුඩා කාලේ තමන්ගේ දුක සැප විමසන්න ආව හයවැනි පැරකුම්බා රජුට කවියකින් උත්තර දුන්නේ මෙහෙම

මා වැනි බිලින්දා -වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා - අසන නිරිඳෝ වෙන කොයින්දා

පුංචි රාහුල හාමුදුරුවෝ පන්සල් මිදුලේ තිබුණ ගොම ගොඩක් අස්කරන්න සුර දෝතා නම් කොලුගැටයාට කවියකින් කිව්ව විදිය මේ

සුර දෝතා -වර මෑතා
ගොම දෝතා- දම ඈතා

වීදාගම මෛත්‍රිය හිමියන්ගේ ගෝලයෙක් වුණ රාහුල හිමියන්  සංස්කෘත, ප්‍රාකෘත,මාගධි, පෛසාචි,සෞරසේනි , අපබ්‍රංස කියන භාෂා හයෙහි කෙල පැමිනි උගතෙක් .ඒනිසයි උන්වහන්සේ ෂඩ් භාෂා පරමේෂ්වර වුනේ . කාව්‍ය කරණයේ කෙල පැමිනි රාහුල හිමියන් පරවි, සැලලිහිණි සන්දේශ කාව්‍ය සහ කාව්‍යශේඛරය රචනා කර තිබෙනවා.ඒ විතරක් නෙවේ ගුප්ත විද්‍යාවන්ගේ පරතෙරටම උගත් හාමුදුරුවෝ යකුන් ගස් බැඳගෙන වැඩගත්තා කියා ජනප්‍රවාද කතාවල කියවෙනවා.

කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජුගේ නොමද රාජ්‍ය අනුග්‍රහයත් ,රාහුල හිමියන්ගේ හසල බුද්ධි ප්‍රභාවත් හේතුවෙන් පහලොස්වැනි ශතවර්ෂයේ තොටගමු විහාරය උසස් විද්‍යාස්තානයක් වෙලා තියෙනවා .එහි වූ විජයබා පිරිවෙණෙහි බොහෝදෙස් විදෙස්  ගිහි පැවිදි උගතුන් ඉගෙනුම ලැබුවාලු.ඔවුන්ට කාව්‍ය , ඡන්දස්,තර්ක ශාස්ත්‍රය ,තුන්පිටකය , ගුප්ත විද්යා,සකු ,මගධ,දෙමල භාෂා, වෛද්‍ය ශාස්ත්‍රය,අර්ථශාස්ත්‍රය උගන්වලා තියෙනවා."තොටගමුවෙ වෙලත් බණ බැරිනම් වැඩක් නෑ කියල" මේ පන්සල පැත්තේ මිනිස්සු අතර ජන වහරේ කියවෙන ප්‍රස්ථාපිරුලකුත් තියෙන්නවා.  උසස් අධාපන ආයතනයක් ලෙසින් විජයබා පිරිවෙණෙහි වූ අතීත ශ්‍රී විභූතිය ගිරා සංදේශයේ මේ  කවි පෙලින් කියවෙනවා.

විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුර පුර බිම් බටමෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙවුයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොටගමුව (197 පැදිය )

තුරු යටියෙන් හුණු පැටි ලෙහෙණුන් රැගෙන
සිතු අටියෙන් සිඹ ඇඟැ පිරිමැද සෙමින
මල'ගටියෙන් පැන් පොවමින් අතින'තින
සිටිපැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන  (208 පැදිය )

මනරම් වෙහෙර තුල තැන තැන සපැමිණිය
සිතියම් බණ අසුන් විදහා අපමණය
සිත සොම්නසින් සිහිකර කර බුදු ගුණය
අබිදම් පෙල අරුත් විමසන සඟගණය (219 පැදිය )

ඔය කවි අතරින් ගස් වලින් බිම වැටුන ලේන් පැටවු ආදරයෙන් සිඹ පිරිමැද සනහා මල්ගොටු වලින් උන්ට පැන් පොවන පුංචි හාමුදුරුවරු ගැන කියන කවියට මම ගොඩක් ආසයි.ජනප්‍රවාදයන්ට අනුව මේ මහා පිරිවෙණෙහි විසූ විද්‍යාර්ථින්ගේ නඩත්තුවට අහල පහල ගම් වලින් ලොකු සේවයක් වෙලා තියෙනවා .ඔය හේතුව නිසාම ඒ ගම් වලට නම් යෙදිලා තියෙන්නෙත් ඔවුන් පිරිවෙණට සැපයූ සේවාව අනුව .

1) අහාර පාන සහල් බත් සැපයූ ගම -බත් දුන් ගම -බද්දේගම
2) සීනි සැපයූ ගම -සීනි ගම
3) පූජාවට මල් සැපයූ ගම -මල්වැන්න, මලවැන්න
4) පෙරහන්කඩ සැපයූ ගම- පැරෑලිය
5) පහන් පූජාවට තෙල් සැපයූ ගම -තෙල්වත්ත
6) රෑ පහන් ආලෝකවත් කරන්න මී ඉටි සැපයූ ගම -මීටියාගොඩ
7) හාමුදුරුවන්ට වෙහෙර විහාර තනාදුන් ගම -විහාරගොඩ , වේරගොඩ
8) සිවුරු පඬුපොවන්න උදවු කල ගම -කහව
9) අවු වැසි වලින් ආරක්ෂාවෙන්න බට පැලලි සැපයූ ගම - බටපොල
10) පිරිවෙණට සම්බන්ධ බමුණන් නැවතීසිටි ගම -බ්‍රහ්මණවත්ත  

ශ්‍රීවිභූතියෙන් ඇලලී ගිය මේ උසස් අද්‍යාපන ආයතනයට කණකොකා හඬන්නේ 1505 පෘතුගීසි ආක්‍රමණයත් එක්ක .ඔවුන් සියලු වෙහෙර විහාර ගිනිබත් කරනවා. ශතවර්ෂ දෙකක් විතර වල් බිහිවුණ මේ පුදබිම කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ,වැලිවිට සරණංකර සංඝරාජයන් සමග මෙහෙයවූ ආගමික පුනරුදය නිසා නැවත ස්ථපනයවෙනවා ඒ 1734-1799 කාලෙදී. ඔය වකවානුවේ දැන් පුරාණ පිළිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය ගොඩනැගෙනවා.1805 දී දැන් අලුත් පිලිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය නිමවෙනවා .


පුරාණ පිළිමගෙයත් , අලුත් පිලිමගෙයත් කලාත්මක වශයෙන් බොහොම වැදගත් තැන් දෙකක් .මේ පිලිම ගෙවල් දෙකේම මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම්, ලතා ,මාලා කර්ම  වලින්  අලංකාරවෙලා තියෙනවා.පැරණි පිලිමගෙයි වෙස්සන්තර ජාතකය , දහම්සොඬ ජාතකය සිතුවමට නගා තියෙනවා . එහි අන්තරාලයේ විශේෂ දෙව් රුවකුත් අඹලා තියෙනවා.ඒ විවාහයට ප්‍රෙමයට අදිපති අනංග දෙවියාගේ රුව .ලංකාවේ අනංග දෙවි රුවක් සහිත එකම පන්සල තොටගමු විහාරය  බවයි කියන්නේ.ගර්භ ගෘහයේ සැතපෙන් පිලිමයට ඉදිරියෙන් මතු බුදුවෙන බෝසතුන් බවට විශ්වාස කරන උපුල්වන් දෙවි රුවක් අඹාතියෙනවා .අලුත් විහාරගෙයි සාම ජාතකය ,අටවිසි බුදුවරු , බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී කල මාර පරාජය එහෙම දැකගන්න පුලුවන් .බුදුන් බුදුවූ බවට මහී කාන්තාව සාක්ෂි දෙන අයුරු , කෝපයෙන් දැවෙමින් ඇතුපිට නැගී සේනාව සමග එන මාරයා අපූරුවට සිත්තමට නගා තියෙනවා.

නුවර යුගයේ සිතුවම් වලට ආවේණික කහ ,රතු,සුදු ,නිල් වර්ණ රටා  සහ ද්විමාන  මිනිස් රූ ,සතුන් , ගස් වැල් මේ සිත්තම් වලත් තියෙනවා.මහනුවර යුගය වනවිට මහා සම්ප්‍රදායන්ගෙන් ඈත්වුණ ජන කලා සම්ප්‍රදායකට සාහිත්‍ය කලාවන් යොමුවෙලා ගැමියන් සිත්තරුන් වෙලා පොදු ජනයාගේ පහන් සංවේගය,ශ්‍රද්ධාව  පිණිස බණ කතා සිතුවමට නගනවා .1799දී නිමැවූ පුරාණ පිළිමගෙයි සිත්තම් අඳින්න ගාලුදිසාවේ කඩොල්ගල්ලේ මහ සිත්තරා සහ පොඩ්ඩ සිත්තරාගේ සේවය ලබාගෙන තියෙනවා.අලුත් පිලිමගෙයි සිතුවම් නිමවලා තියෙන්නේ අටකෝරළේ මුදියන්සේ සිත්තරා.විහාරගෙවල් වල බිතු සිතුවම් ගැන කියනකොට මතකද සැලලිහිණියේ එන තොටගමුවේ  රාහුල හිමියන් ලියූ මේ කවි පද ?

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

18 වැනි හා 19 වැනි සියවස් වලත් තොටගමු විහාරය එවක විසූ දානපතියන්ගේ අනුග්‍රහයෙන් දියුණු පමුණු කරලා තියෙනවා .ඒ අතරින් සුවිසාලව ඉදිවුණ බණ මඩුව විශේෂයි .නමුත් කෝට්ටේ යුගයේ විශිෂ්ට විද්‍යාස්තානයක් ලෙස පැවති යුගයනම් ඉන් පස්සේ ආව පර සතුරු උවදුරු එක්ක ගරාවැටෙනවා.විශේෂයෙන් ඉංග්‍රිසින් කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යටතේ පිරිවෙන් අධ්‍යාපනය බැහැර කර දමනවනේ .ඉතින් පන්සල් වලට විසාල අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය නැතිවෙලා බටහිර මිෂනාරී අධ්‍යාපනය පැතිරෙනවා. එහෙම වුණත් අදටත්  පොඩි හාමුදුරුවරු 25 නමක් විතර විජයබා පිරිවෙනේ ඉගෙන ගන්නවා.

යුග කීපයක් තිස්සේ නැගෙමින් , වැටෙමින් පැවතගෙන එන මේ පැරණි පන්සලේ අදත් ඒ අතීත ශ්‍රී විභූතියේ නටබුන් තියෙනවා ,නමුත් මේ වනවිට බිතු සිතුවම් බොහොමයක් දුර්වර්ණ වෙලා විනාශවෙමින් යනවා.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒගැන ඉක්මන් පියවරක් නොගත්තොත් මේ සිතුවම් තව ටික කාලෙකින් මැකිල යාවි.ඒ වගේම පන්සල නිධන් හොරුන්ටත් ගොදුරු වුණ කාලයක් තිබුණා . පහුගිය සුනාමි මහා ජල ගැල්ම වෙලාවේ අහල පහල ගම් වල  අසරණ වුණ බොහෝ පිරිස් දිවි ගලවාගන්න දුවගෙන ආවෙත් මේ පන්සලට .පුරානෝක්ති කතාවක කියනවා කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩගැලූ විටත් සක් දෙවි රජ මේ පන්සල ආරක්ෂා කලා කියලා. ගැමියො අදත් කියන්නේ මුහුද නුදුරින් තිබුණත්  සුනාමි සැඩ රල පන්සලට ආවෙ නැත්තේ ඒ නිසා කියලා .මෙහි ඇති නාථ ,විශ්ණු හා කතරගම දේවාල ගැනත් බෝධීන් වහන්සේ ගැනත් අහල පහල ගම් වල උදවියගේ ලොකු විශ්වාසයක් තියෙනවා.

ගාලු පාරේ තියෙන ඓතිහාසික හා කලාත්මක වටිනාකමක් සහිත ඒත් බොහෝ ප්‍රසිද්ධනැති බොදු පුදබිමක තොරතුරු ලියමින් මේ වෙසක්ඟේ සමරන සම්බුද්ධත්ව ජයන්තියට සුලුවෙන් හරි දායක වෙන්න පුලුවන් වුණා කියල මට හිතෙනවා .

ප/ලි

ඔබ ගාලු පාරේ විනෝද ගමනක් , රාජකාරි ගමනක් යන අතරේ වුණත් ගොඩ වැදිලා මේ පන්සල නරඹන්න පුලුවනි. පාසල් සිසුන්ට ගවේශකයන්ට බොහොම වටින තැනක් කියලා හිතෙනවා. ව
විශේෂයෙන් අර චිත්‍ර නරඹන්න අමතක කරන්න එපා .මේ ලිපිය ලියන්න මම වැඩි දුර කරුණු එකතු කරගත්තේ මෙන්න මේ පොත් වලින්.

1 ) Paintings of Sri Lanka -Thelwatta by Nandana Wutwongs,Leelananda Premathilake and Roland Silva ( Archaeological Survey of Sri Lanka - Central Cultural Fund ) 


2) තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් විහාරය - මහානාම මංගලසිරි මයා 

තොරතුරු සොයාගන්න පොත් ලියූ මේ ලේඛකයන්ටත්  පින් අනුමෝදන් කරනවා .ඒ වගේම  සිංහල භාෂාව   හා සාහිත්‍ය , චිත්‍ර කලාව , පෙර අපරදිග ඉතිහාසය ,සමාජ අධ්‍යනය,ඉංග්‍රිසි භාෂාව   ,බෞද්ධ ශිෂ්ටාචාරය   විෂයන්  ලෙස බොහොම රසවත්ව
මට ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට මේ සටහන පූජා කරනවා . ඒ ඔවුන් හැම කෙනෙක්ම කලාවට සාහිත්‍යට , ගවේශණයට හා සංචාරයට උවමනා නොසිඳෙන රසවත් සිතුවිලි උල්පත් මට දුන්න නිසා. 
ඔබත් තොටගමු විහාරය හා රාහුල හිමි ගැන දන්නා තොරතුරු ඇතොත් මෙහි සටහන්කරන්න