Sunday, July 22, 2012

Mature Friendships


මගේ හොඳම මිතුරියක් වූ ඇයට ජීවිතයේ ඉතා සංවේග ජනක අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුණි.ඇගේ පවුලේ සමීපතම ඥාතීන් හා හිතවත් මිතුරු මිතුරියෝ ඒකී සංවේග ජනක මොහොතේ ඇය ලඟින්ම සිටියහ . සියල්ල අවසානයේ නොසිතූ විරූ මොහොතක තවත් හිතවත් අමුත්තෙක් පැමිණ සිටියේය . ඇගේ මිතුරියන්වූ අපි එන යන ඇගේ බොහෝ හිත්වතුන් දැන සිටි නමුත් මොහු මින් පෙර අපට හමුවී නැත .එදින හවස සියලු කටයුතු අවසානයේ ඔහුගේ ආගමනය සිදුවිය . එවෙලෙහි මා සිටියේ යා බද කාමරයක් ඇඳක් මත වඩි වී විඩා නිවමිනි . එවෙලෙහි මා සිටි කාමරයට ආ ඇය " මහන්සි නැත්නම් ටිකක් එලියට එන්න , මට කෙනෙක් හඳුන්වා දෙන්න තියෙනවා, හැබැයි බණින්න එපා " යයි අසරණ සිනාවක් සහිතව කිව්වාය .


ඉතා හිතවත් අපි උණුන් හා බැන වැදීගෙන නැතත් එකිනෙකාට අවවාද කරගත් අවස්ථා එමටය .එසේ තිබියදී ඈ මෙතරම් බැගෑපත්ව කියන්නේ කා ගැනද ?. ඔහ් හරි එහෙනම් මේ අර ගල් ඉබ්බාවත්ද ? ඒකද මේ තරම් මෙයා බැගෑපත්වෙන කාරණය ?'


"කවුද අමල්ද ඇවිත් ඉන්නේ ?"


මම අමුත්තක් නොපෙන්වා එහෙත් මැඩ ගත් කෝපයෙන් යුතුව එකවරම ඇසීමි


"ඔවු ඒ අමල්.. කැන් අයි ඉන්ට්‍රොඩියුස් යූ ටු හිම් ? ". ඇය මද තැතිගැන්මකින් කීවාය


අමල් මේ වංචාකාරයා ලැජ්ජ නැතුව ආව හැටි .මගෙ හිත තරහෙන් කෑ ගෑවෙව .එහෙත් හිතේ ඇති සියල්ල කටින් පිට කරන්න හොඳ වේලාව මෙය නොවේ.


"මට ගොඩක් මහන්සි දැනෙනවා ,ඔලුවත් කැරකෙනවා වගේ ...ටිකක් හාන්සිවෙලා ඉඳලා මම ඒ පැත්තට එන්නද ? අනික් යාලුවො ඉන්නවනේ ."


අමුත්තක් නොපෙන්වා මම කීවෙමි . මේපමණ වෙලා කඩිසරව එහා මෙහා දිව්ව මට දැන් හැදුන අමුතු මහන්සිය කුමක්දැයි ඇය අසුවේ නැත .


"කමක්නෑ රෙස්ට් කරන්න .මම එයාව පස්සේ ඉන්ට්‍රොඩියුස් කරන්නම් ".ඇය සෙමෙන් පවසා නික්ම ගියාය .


ඇය තාමත් සිටියේ සුදු වතින් සැරසීගෙනය . මුහුණ බොහෝ විඩාපත්ය . හරි හැටි නින්දක් ලැබුනේත් නැත. තව ඉටුකලයුතු වගකීම් රැසකි.ඒ මැද මොහු මෙතැනට මොකට කඩා පාත්වීදැයි මගේ හිතේ තද කේන්තියක් ඇති විය .


ඔහු මෙයින් තුන් වසකට පෙර ඇය හා බොහෝ හිතවත්ව සිටියේය .එකී හිතවත්කම් ප්‍රේමයකට ලියලා එන කල ඈ ඒ ගැන තම දෙමවුපියන්ටද දැන්වූවාය . එහෙත් අවසන නොසිතූ විරූ ලෙස ඔහු ඈ මග ඇරියේය .ඊට නිසි හේතුවක්ද නොවුනි .ඇගෙන් එන කිසිදු දුර ඇමතුමකට මාසයක් ගෙවෙනතුරු ඔහු පිලිතුරු නොදුනි.ඔහු ගැන පිලිබඳ සොයා ඇය සිත් තැවුලෙන් බොහෝ වෙහෙසුනි.අවසානයේ ඇය ,ඔහු ගැන පිලිබඳ ඇති වූ සිත අමාරුවෙන් ඉවතලූවාය . ඒ ඇගේ රාජකාරි දිවියේ බොහෝ කාර්ය බහුල වැදගත් සමයකි.එවැනි කලක මෙසේ හේතුවක් නොකියා ඇයට සිත් පීඩා කර මග හැර ගිය ඔහු ගැන මාතුල එතරම් ගරුත්වයක් ඉතිරිව නොතිබිණි .


"එයාට මේක ඉවර කරන්න ඕනෙ වුනානම් හරි කමක් නෑ ඉවර කරන්න තිබුණා .ඒත් මෙහෙම නෙවේ . නිකන් ඔයාව මග ඇරලා කඩේ යවලා පහත් විදියට හැසිරෙන්න ඕනෙද ?.ඇයි කෙලින් කීවෙ නැත්තේ . ඔයා මොන තරම් හිතින් වද වුනාද ඒ කාලේ ? "


ඔය බිඳුන පෙම් පලහිලව්ව ගැන විමසන කතා බහ ඇදුන හැම විටම තරහෙන් පුපුරමින් මම කියමි


මා හාන්සිවී සිටි ඇඳ අසලම අපේ තවත් මිතුරියන් දෙදෙනෙකි


"කවුද පණිවිඩේ කියලා තියෙන්නේ ?"


"කවුද ඉතින් අපේ එක්කෙනාම තමයි .අපිට යැව්ව එස්. එම්. එස් එකම එයාටත් යවලා "


"ඔහ් ..මිනිහට සේරම ඉවර වුනාම තමයි එන්න මතක් වුනේ එහෙනම් .පේන්නැද්ද කිසි වගකීමක් නැති කෙනෙක් වග ?.ඔය තරම කලින් දැනගෙනත් ඇඳන් ඇවිත් තියෙන්නේ රතු පාට ශර්ට් එකක් .මොලේ ඇති මිනිහෙක් කරන වැඩක්ද ? ඔහොම රතුපාට පිරිවැස්සක් එල්ලන් එන්නේ ?"


ඔවුන් අතරකින් බොහෝ කටකාර එකිය වූ හසී තරහෙන් බැන්ණ වදී .ඒ කතාවට කන් දෙන මට සිනාත් යයි .


මම ඇඳේ විට්ටමට කොට්ටය තබා හාන්සි වීමි


ඔහු නැවත ඇය මුලා කරාවිද ? ඈ සිටින්නේ තරමක් අසරණ තත්වයකය . එවැනි විටක ඈ මුලා කරන්න ඔහුට ලේසි වෙනු ඇත .එහෙත් මේ ඔවුන්ගේ පුද්ගලික ගණු දෙණුවකි . ඔවුන් එකිනෙකාට නැවත ආදරේකරනු හැකිනම් එය අපි වලකන්නද ? දෙන්නාම වැඩිහිටියන්ය .ඉතින් එහි ඇති වරද කිම ? ඒත් ඔහුගේ සත් භාවය විස්වාස කල හැකිද ?


දැන්නම් මගේ ඔලුව ඇත්තටම කැරකේ . මම සෙමින් අනික් ඇලයට හැරුණෙමි .


හසී හා රුවී කොහේ හෝ ගොස් ඇති හැඩකි .


"දැන් කොහොමද ඔයාට ? තාම ඔලුවේ කැකුමද ?"


නැවත මගේ මිතුරිය එතැනය .ඈ තාමත් සුදු පැහැ සාරියෙන් සැරසීගෙනය .
"ආ මේක බොන්න .ඇපල් සෝඩා"
ඈ සිනා මුසුව මා වෙත වීදුරුවක් පෑවාය . ඇපල් සෝඩා බොන්න මගේ ඇති පෙරේතකම ඇය හොඳින්ම දනී
"තෑන්ක්ස් . අමල් ගියාද ? "
මම වෙනසක් නොපෙන්වා කල්පනාකාරීව ඇසීමි .


"ඔවු ගියා ". ඇය සිහින් හිනාවකින් කිව්වාය


"හ්ම් සොරි ඒ වෙලේ මට මොනව වුනාද මන්දා .හරි මහන්සියක් දැනුනා .නැත්නම් මම එනවා ටිකක් කතා කරන්න .අපරදේ ."


මම ඔහුට කතා නොකිරීම ගැන සමාවට කාරණා එකතු කලෙමි .


ඈ තවමත් සිනාසීගෙනම මා දිහා බලා මගේ අතක් අල්ලා ගත්තාය .


"හ්ම් ..මම ඔයාව දන්නේ දැන් අවුරුදු ගාණක ඉඳන් .ඔයා ලේසියෙන් කෙනෙක් මග රින්නේ නෑ . විශේෂයෙන් කිට්ටුම යාලුවෙක්ගේ ඉල්ලිමක් .මේ තරම් දුවලා පැනලා වැඩ කල ඔයාට ඔය ටික මහන්සිත් නෑ . ඒත් මම දන්නවා ඔයා කෙනෙක්ට අකමැතිනම් කිසි වෙලාවක ඔයාට ඒක හංගන්නත් බෑ.කොහොමත් ඔයා පැහැදිලි බ්ලැක් ඇන්ඩ් වයිට් මනුස්සයානේ .අමල් ගැනත් එහෙමයි . මම දන්නවා ඒ කාලේ මම වින්ද දුක ගැන ඔයා ඉන්නේ එයත් එක්ක පුදුම තරහෙන් කියලා .ඒක නේද ඔලුවෙ කැකුමක් පිටින් දාලා මග ඇරියේ . ?"


ඈ මගේ හිත නිවැරදිව කියවා ඇති සැටිය .


සොරකම් කල එකෙක් අතටම හසු වූ සේ මම ලජ්ජා වීමි .


"මන්දා මට ලොකු තරහක් ආවා .සොරි මම එහෙම නොකරන්න තිබ්බ .අඩු තරමින් ඔයා මට ඇවිල්ල ඉන්ට්‍රොඩියුස් කරන්න හැදුව වෙලේ එක වචනයක් වත් ඇවිත් කතා කරන්න තිබ්බ'"


"නෑ ඒක හිතන්න එපා .අපි දෙන්න කාලෙක ඉඳන් යාලුවො .ඒ නිසාවෙන්මයි ඔයා නො ආවේ .ඒක මම දන්නවා . ඔයාට අයිතිය තියෙනවා ඕනෙ තරම් එහෙම කරන්න .ඒ අපේ යාලු කම නිසා .අමල්ට මම සමාව දුන්නත් ඔයා , හසීගෙන් එහෙම කිසි සමාවක් නැති බව දන්නවා .හසිත් ඔන්න කියව කියව එහාට මෙහාට දුව දුව මට බණිනවා .ජස්ට් ෆොර්ගෙට් ඉට් "


ඇය අවසන සැහැල්ලුවෙන් සිනා මුසුව කීවාය


කාලක ඉඳන් හඳුනන අපි එකිනෙකාගේ හොඳ මෙන්ම නුගුණ , නොහොඳ , හැසිරීම තරහයාම් ගැන ඉතා හොඳින් දනිමු .ඒවායේ හංගන්න දෙයක් නැත .එසේ වූවාය කියා අපේ යාලුකම අඩු වී නැත .එය හැමදාම වැඩි වෙයි .
මම ආයාසසෙන් සිනාවීමි .


"හරි හරි අපි ඔය ගැන නිවී සැනසිල්ලිලේ උඩ බැල්කණි එකේ මීටිමක් දාමු .බය වෙන්න එපා .මම ඉහල උසාවියට ඔක්කොම කරුණු කාරණා ඉදිරිපත් කරන්නම් ."


ඇය මා හිනාගස්වමින් කිව්වාය


ජීවිතයේ ඉතාම ශෝකී මොහොතකත් ඉවසිල්ලෙන් කතා බහ කරන්නත් ,නිරවුල්ව සිතන්නත් , විහිලුවකින් සිනා සෙන්නත් ඇයට හැකි වීම ගැන මම පුදුම වෙමි .







27 comments:

  1. මෙහෙම අය ලෝකෙ ඉන්නෙ කීයෙන් කී දෙනාද? හැම කරදරයක්ම මැද්දෙ සිත දෛර්යය කරගෙන ඒකට මුහුණ දෙන්නත් , හැම දෙයක්ම උපේක්ෂාවෙන් විඳදරා ගන්නත් හැකි අය හරිම විරලයි. ඒ අතරින් ඔය දෙන්නම උසස්. බොරු ආඩම්බර කමක් පෑවට ඔයත් ඒ ගැන පසු තැවෙන නිසා නේ මේ සටහන නේ විදිහට ලියවුනෙ.

    ReplyDelete
    Replies
    1. චන්දි අක්කට පර චිත්ත විජානන ඥාණය තියෙනවද ? හරියටම මේක ලිව්ව වෙලාවේ මට හිතුන දේ ඒවිදියටම තියෙනවා .

      Delete
  2. හප්පේ..ඉස්සර නම් වජිරදේවිටත් ඔය සමාව දෙන්න බැරි ගතිය තිබ්බා. ඒත් දැන් නම් උපේක්ෂාවෙන් හැමදේම බාර ගන්න පුලුවන් විදියට වෙනස් වෙලා. ජීවිතේ අසීරුතම අවස්ථාවල අපි මූණ දෙන විදිය එකිනෙකට වෙනස්..කොහොම වුණත් ටීජී.. ඔයාගේ සමහරවිට යාලුවා ඉන්න තැන ඔයා හිටියනම් ඔයා වුණත් ඔය වගේ මූණ දෙන්න පුලුවන්. විශාල අහිමි වීමක් එක්ක ඔය වගේ චූල පුරුෂයෝ කරපු කියපු දේවල් මොනාද කියල හිතෙනවනේ.

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී :) :)

      @ වජිරදේවි

      ඔවු වජි කියන එක ඇත්ත

      Delete
  3. ඕඕ, පලි ගන්න, ගහ මරාගන්න නොගියත්, එහෙම මිනිස්සුන්ට බොරුවට හිනා වෙන්න යනවට වඩා මග අරින එක අපේ හිතට පහසුවක්.

    ReplyDelete
    Replies
    1. ගහ මරාගන්න ,බැනගන්න නම් මටත් බෑ ,ඒත් මට මෑතක ඉඳන් දැනිලා තියෙනවා අකමැති කෙනෙක් එක්ක මුණගැහෙන්න වුනොත් මම සොෆ්ට් විදියේ බොරු කියලා මග අරිනගතියක් .ඒක ටිකක් රූඩ් වැඩක් .:)

      Delete
  4. දේව දූතයෝ ගැන අපිට ඇහිලා තියෙනවා! හොඳ යාලුවෝ විදිහට එන්නේ එයාලම වෙන්න ඇති!

    ReplyDelete
  5. ඔයා කරපු වැඩේ වරදක් නෑ. මට ඔහොම දෙයක් වුනා නම් නොගිහින් ඉන්නෙ නෑ හැබැයි අදුන ගන්න ගියාට ඒ කෙනාට ටිකක් දැනෙන්න මොනව හරි කියන්නත් අමතක නොකරාවි. ඒ අතින් කාගේවත් හිත් රිදවන්නෙ නැතුව ඔයා කල විදිහ හරි.
    ඔයාගෙ යාලුවා උතුම් කෙනෙක් වෙන්න ඕනෙ, හැබෑවටම ආදරේ කල කෙනෙක්ට සමාව නොදී ඉන්න බැහැ. තරහක් හිතේ තියාගෙන ඉන්න බැරි කෙනෙක් නිසා වෙන්න ඕනෙ ඔය තරම් සැහැල්ලුවෙන් ඉන්නෙ.
    TGට වුනත් සුලු සුලු දේගැන ආයෙත් හිතෙනව නේද! හිතන්න දෙයක් නෑ ඔයා හරි.

    ReplyDelete
  6. හිහ් හිහ් අපිත් ඒ කාලේ කුලියට තරහ වුනා ඔය වගේ . පසු කලෙක හිතෙනවා ඒවා පොඩි කාලේ වැඩ කියල . මට යාළුවො ගොඩක් හිටිය නිසා ඔය වගේ දුක් ගැනවිලි වලින් කන් පිරුන කාලයක් තිබුනා . අවන්කවම උදව් කරන්න ලෑස්ති වුන නිසා හැමෝම දුක් ගැනවිලි කියන්න මන් ලඟට ආවා . තව ඩින්ගෙන් උසාවි යන වැඩත් සෙට් වුනා . එව්වා බ්ලොග් වල ලියන්න බැරි හරිම කනගාටුදායක දේවල් . ඔයාගේ යාලුවා කුසුම් වගේ . කඳුළු අතරින් හිනා වෙන සුන්දර හදවතක් .. ඔයත් දැන් පරිනත වෙලා නේද . ඔය වගේ ගල් ඉබ්බෝ නම් හරියට . නිකන් හොම්බ දාල යනවා පැරුණ තුවාල වල ලුණු මිරිස් අතුල්ලලා යන්න . එක්කෝ ගල් ඉබ්බත් පරිනත වෙලාද කවුද දන්නේ

    ReplyDelete
    Replies
    1. @බින්දි

      හා හා....... පොඩිම කාලෙ නම් මම කුලියට තරහවෙලා තියේ .ඊට පස්සෙ ලොකු කාලේ ඒ කියනේ රස්සාවට ගියාට පස්සේ ආව යාලු මිත්‍රකම් ගොඩක් තෝරලා බේරලා සොයාගත්තු ඒවා .මොකද මගෙත් අඩු පාඩු උහුලන්න පුලුවන් යාලුවො වෙන්න ඕනි නිසා .දැන් නම් එහෙම තරහ වීම් නෑ :)

      මට ඔහොම කාලයක් තිබ්බා දුක් ගන්නා රාල වුන .අර තුන්වෙනි පාර්ශවයේ ප්‍රේම කතා ලිව්වේ බ්ලොග් එකේ ඒ සිද්දි :) .

      ම්ම්ම්.... නෑ මගේ යාලුව ගොලු හදවතේ කුසුම් නෙවේ .ඊට එහා ගිය ගොඩක් ස්ට්‍රෝන්ග් චරිතයක් .එයාට ජීවිතේ ගැන හොඳ සෙල්ෆ් මැනේජ්මන්ට් ස්කිල්ස් තියේ .සමාවෙන්න සාම්ප්‍රදායික නවකතා චරිත වලට මම එයා අරෝපණය කරන්නේ නෑ :) මේ කතාවෙන් බින්දිගේ හිත නොරිදේවි කියලා හිතනවා :)

      Delete
    2. කුසුම් ඉන්නේ ගොලුහදවතේ නෙමේ . ගැහැණු ළමයි පොතේ . මන් මොකටද මේ කමෙන්ට් එකකට හිත අමාරු කරගන්නේ . මන් මේ ටිකේ වැඩිය බ්ලොග් බලන්නේ නැහැ . කමෙන්ට් කරන්නේ ඊටත් අඩුවෙන් . . නිවාඩු හින්දා අක්ක නගාලගේ යාළුවො නිතරම එනවා . දැනුත් මට මේ පුංචි කෙල්ලකගේ බෝනික්කෙක් නිදිකරන්න කියල දීලා තියෙන්නේ . හැබැයි ඉතින් අහස්ගව්ව ඇතුළු බ්ලොග් කීපයක් තියෙනවා පෝස්ට් එකක් දැම්මොත් කොහොම හරි බැලෙන.

      Delete
  7. @සබිත් -ඔවු හොඳ යාලුවො කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න දේව දූතයො

    @ ගිමන්
    ///මට ඔහොම දෙයක් වුනා නම් නොගිහින් ඉන්නෙ නෑ හැබැයි අදුන ගන්න ගියාට ඒ කෙනාට ටිකක් දැනෙන්න මොනව හරි කියන්නත් අමතක නොකරාවි.//

    අනිවාර්යෙන් මටත් ඔයවගේ වෙලාවක මොනවම හරි ඇනුම්පදයක් කියවෙනවා .ඒක නවත්වන්න බෑ .I know its very rude in such situation . ඒ නිසාමයි නොගියේ .ඇත්තෙන්ම මගේ යාලුවා ගොඩක් හොඳ පරිණත කෙනෙක් . එහෙම අය ඇසුරට ලේසියි .

    ReplyDelete
  8. මගෙ හොඳම යළුවා ව මතක් වුණා. එයාව අමතක කරලා එයාට දුක් දීපු කෙනා අද ජනප්‍රිය නළුවෙක්. එයා එක්ක පුදුම තරහකින් හිටිය මම එක කාලයක්. ඒත්, දැන් මගෙ හිතේ එහෙම තරහක් නෑ.
    මගෙ යාළුවා අද විවාහ වෙලා සතුටින් ඉන්නව. ඒත් කලින් පෙම්වතා ගැන එයාගෙ හිතේ තරහක් නෑ. මටත් , දැන් අර පුද්ගලයා ගැන තරහක් දැනෙන්නෙ නැත්තෙ ඒ නිසා වෙන්න ඇති. ඒ නිසා ආනේ අන්න ***** අයියා ඉන්නවා කියලා තවමත් මම ටී වී එක ඉස්සරහට දුවගෙන එනවා ඔහු අනිත් නිළියොත් එක්ක රඟපාන වෙලාවටත්

    ReplyDelete
    Replies
    1. ඔවු කවුරුත් සමීපතම යාලුවො වෙනුවෙන් යම් තීරණ /කැපකිරීම් කරන වෙලාවල් තියේ . මට මෙතැන ගොඩක්ම ඕනෙ වුනේ මගේ යාලුවගේ තියෙන පරිණත බව හා අනික් යාලුවන්ව තේරුම් ගැනීම ගැන කියන්න .

      Delete
  9. ඉස්සර නම් මාත් මේ වගේ දේවල් වලට සසල වුනා.

    කාලයත් එක්ක ඒ දේවල් හරිම සාමාන්‍යය වෙනවා. දැන් මම නම් මගේ යාළුවා වෙනුවෙන් ආ එයාගේ සතුටනේ කියලා ඒ ඕනෙම විදියකට සපෝට් කරනවා. මේක යාළුකම මත වෙන දෙයක්. කොයි වෙලේ අමාරුවේ වැටිලා හැරිලා ආවත් වෙනදා විදියටම අත් දෙකම අල්ලගෙන පිලිගන්නවා.
    (මේක මගේ යාළුවෝත් මේ විදියමයි ) කාලයත් එක්කම අපිට හිතවත් නෑ වුනත් මම නම් මූණට හමු උනාම එහෙම නැත්නම් උවමනාවෙන් එවොයිඩ් කරන්න අදහසක් නැත්නම් ගිහින් කතා කරනවා. එහෙම නොකලොත් අන්තිමට මට එකෙක්වත් ඉතිරි වෙන එකක් නෑ හික්ස්.
    ඉස්සර ලොකු ඉසූස් වෙච්ච දේවල් දැන් බොහොම සුළු දේවල්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ ලියවිල්ලේ අදහස වුනේ අර මුලින් කීව වගේ මගේ යාලුවගේ තියෙන පරිණත බව හා අනික් යාලුවන්ව තේරුම් ගැනීම ගැන කියන්න .ඒ එක්කම අවොයිඩ් කරල හරි නොකර හරි ජීවිතේ සාමකාමී බව , නිදහස , නිහඬ බවට බාධා වෙන , නෙගටිව් අදහස් ඇති ඔලුව අවුල් කරන උදවිය මුණ නොගැහී ඉන්න මම ගොඩ වෙලාවට උත්සාහ කරනවා .

      Delete
  10. ආදරේට එද්දි, ගෑනු හැමෝම වගේ හරි මෝඩයි. හොඳම යාලුවන්ගේ කීම් පවා අහන්නේ නෑ. යාලුවෝ විදියට අපිට තියෙන්නේ අපට පේන ඇත්ත එයාලට කියලා දෙන එක. අහන එක එයාලගේ වැඩක්.

    හොඳම යාලුවෙක් තෝරගන්ට තමන් ලොකු දුකකට, කරදරයකට, වැටෙන්ට ඕනි. සැපේදී කවුරුත් වටේ රොක්වෙනවා. දුකකදි හරි, කරදරයකදි හරි, තමා ගොඩක් අය තනිවෙන්නේ, ඒ වෙලාවට ලඟ ඉන්නේ හැබෑ යහලුවෝ විතරයි. මේ කතාව නම් කීවේ අත්දැකීමෙන්.:)

    ReplyDelete
  11. ඔහොම දේවල් නම් මමත් කරලා තියෙනවා. කුලියට තරහ වෙන එක. කොල්ලෙක් ගැන දැන දැන යාලුවෙක් අමාරුවේ වැටෙන්න යනකොටනම් මගෙන් ඒ යාලුවා කුණු බැනුම් අහගන්නවා. සමහර වෙලාවට ඉතින් මාසයක් දෙකක් කතාත් නොකර ඉන්නවා. පස්සේ මටම බය හිතෙනවා අපි ළඟ නැති උනොත් ඒ කෙල්ල තව මොනවා කරයිද දන්නේ නැහැ කියලා. පස්සේ පස්සේ තරහා වෙන එක නැවැත්තුවා. ඔයාගේ යාලුවගේ ඉවසිලිවන්ත බව හා පරිණත බව නම් සෑහෙන්න හොඳයි. එයාගේ ජීවිතේ තියෙනවටත් වඩා ලස්සන කර ගන්න එයාට පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. What ur saying is 100 % true Kinnaravi

      Delete
  12. ඈ ටීජී, ගූගල් රීඩර් එකේ ‍පෙන්නන පෝස්ට් මෙතනට ආවහම නෑ නෙවැ.. ඒවට මක්කැයි වෙන්නෙ..!!??

    ReplyDelete
    Replies
    1. හී බූරාස් - ඔවු එකක් දෙකක් ලිව්ව ඒවා දැම්ම වගේ මතකයි නිදිමතේම . ආයෙත් පස්සේ හිතුනා ඒව නිකන් වැඩක් නැති "රෝ " පෝස්ට්ස් කියලා ආයෙත් ඩ්‍රාෆ්ට් එකට දැම්ම පස්සේ ටිකාක් භාවාතිශය කරලා ලුණු ඇඹුල් දාලා ගන්න !!!! :)
      අහ් ෆොර් යුවර් ඉන්ෆෝමේෂන් - ප්ලාස්ටික් කප්ස් හා පිඟන් ලෑස්තියි.:)

      Delete
    2. ඕකේස්.!! මම බෝතල් ටික අරන් එඤ්ඤං.. තව කවුද 'ස්ටෙලා වෙන්න' එන්නෙ..??

      Delete
    3. මායි තව අහල පහල හූවක දුරින් ඉන්න යාලුවො සෙට් එකකුයි :)

      Delete