වැඩිදෙනෙක් සුනේත්‍රා රාජකරුණානායක විසින් ලිව්ව "ප්‍රේම පුරාණය" පොත කියවල ඇතිනේ.මට මේ පොත කියවන්න ලැබුනේ පැඟිරි වයසේ දී වගේ .ඒ කියන්නේ වයස දහනවේදී විතර.ප්‍රේම පුරාණය , ලෝකෙවටා යන සංචාරක පිස්සුව සුනේත්‍රාගේ වචනවලින් කිව්වොත් පරණ ගඩොල් නැරඹීමේ පිස්සුවෙන් හිටි නිර්මලා ජයසූරිය කියන බොහොම නිදහස් මතධාරී පත්තරකාරියකගේ ශෘංගාරාත්මක අසම්ත පෙම් කතා ගොඩක් .වරෙක ප්‍රේමයේ ඇලෙමින් තවත් විටෙක ප්‍රේමයන් ඉවත්වෙමින් ප්‍රේමය අත්විඳින්න ගත්ත වෑයමක් කියලයි කතුවරිය කියල තිබුනේ. කොහොම වුණත් මේ පොත මා අතට පත්වෙන්නෙත් තරමක් පුදුම විදියකට . ඒ අපේ ඉස්කෝලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී උසස්පෙල ආර්ථික විද්‍යා විෂය සඳහා ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යාට ලැබෙන ත්‍යාගය ලෙසින් . ඔය වයසෙදී ගොඩක් ඉස්කෝලවලින් තෑගි ලැබෙන්නේ විෂයට ගැලපෙන පොත් මිසක් ප්‍රේම කතා නෙවෙයිනේ . මේ කතාවේ හොඳම හරිය තමයි මගේ තෑග්ගට අනුග්‍රහය දීල තිබුණෙ මට අවුරුදු දෙකක් ආර්ථික විද්‍යාව උගන්වපු ගුරුවරයා. සුනේත්‍රා වරෙක ඇගේ "මතක පොතෙහි" තමන් උගත් රත්නපුරේ මිෂනාරි පාසල ගැන "බ්ලේක් සමයේ පාසල් මතක" සටහනේ කියාතිබුණා එවක ඔවුන්ගේ තුරුණුවියේහි පාසල තුල ප්‍රේම කතා, මාරක කතා කියවීම මිෂනාරී කන්‍යා සොයුරියන් තහනම්කොට තිබූ වග .නමුත් ඉතාම බෞද්ධ ආගමික පරිසරයක වූ මගේ පාසලෙන් ඇගේ ප්‍රේම පුරාණය මට තෑගි ලැබීම යම් ප්‍රමාණයක විස්මය දනවන කරුණක්.
ප්‍රේම පුරාණය මට මතක්වුනේ ගිය සතියේ දවසක සරසවියට ගොඩවැදුන නිසා.වෙනත් විෂයකට අදාල පොතක් මිලට ගන්න ගියත් අන්තිමට නතරවුණේ නවකතා පොත් රාක්කෙ ගාව. අංශක අනූවට විතර බෙල්ල ඇද කරගෙන පොත් වල නම් ගම් විස්තර කියවද්දී රාක්කේ උඩින්ම තිවුණ සුනේත්‍රාගේ පොත් වලට ඇහැ ගියේ නිතැතින්ම . නවකතා පොත් සල්ලිදීලා අරගෙන කියවන පුරුද්දක් මට නැතත් සුනේත්‍රාගේ පොත් මිලට ගැනීමේ තණ්හාවක් ප්‍රේම පුරාණය කියවූ පසු මට තියෙනවා.ඒ නිසාම කලින්වතාවල සරසවියෙන්ම "පොදු පුරුෂයා", "නන්දිතය" , "බත් තරංග", "කෙටි පණිවිඩ හා දිග කතා","රිදී තිරංගනාව", "සුබෝධාලංකාරය","මතක පොත 1, 2", "හර්ද්ය සූත්‍ර", සහ "සඳුන් ගිර ගිනිගනී" ගෙනැවිත් කියෙව්වා.මේ හැමපොතක්ම සුනේත්‍රාටම ආවේණික සරල කටවහරට අනුව රසවත්ව කුතුහලය එක්කර කතන්දර කීමේ රටාවකට ලියැවුන පොත් . ඇගේ හැම පොතකම ප්‍රේමණීය සමහර වෙලාවට බොලඳ, ප්‍රේමය වෙනුවෙන් මට සිලිටි බොරු ගොතලා හිත රවටාගන්න, ආයෙත් පෑරුණ හදවතේ තුවාල කැලැල් ගැන දුක්වෙන,ප්‍රේමය බෙදාගන්න බැරුව රණ්ඩුවෙන ආයෙමත් ප්‍රේම කරන ගෑණු මිනිස්සුන්ගේ කතා එමටයි . නිදහස් ශයිලියකින් ලියන කතුවරිය ආලවට්ටන් දාල පෙම් කතා කියන්න දස්සයි.ඒවගේම ඇගේ පොත්වල බොහොම ප්‍රබල ගැහැණු චරිත නිර්මාණය වෙනවා. ජීවිතේ ගැන බොහොම විමසුම් බැලුම් හෙලන උගත් ,නූගත් නාගරික සහ ගැමි ගෑනු ඇගේ පොත් වල ජීවත්වෙනවා.කෙටි පණිවිඩ හා දිග කතා පොතේ කෙටිකතාවක ගැමි ගැහැණියක් යුද සෙබලෙක් සමග හොරෙන් විවාහවෙන්න යන ඇගේ දුවට කියන්නේ "ගෑණියෙකුට ජීවිතේ ගෙනියන්න හමුදාවකට වඩා හිතේ හයියක්" උවමනා බවයි .
මතකපොත 1 සහ 2 තුලින් සුනේත්‍රාගේ කතන්දර සහ ඇගේ සිතුම් පැතුම් වල අක් මුල් හෙලිකරගන්න සමහර අවස්ථාවල මග පෑදෙනවා කියලා මට හිතෙනවා. "සංවර්ධන සුබ සිහිනවල ස්ත්‍රී දායකත්වය" ගැන කියන කතුවරිය ඈත සූරිය වැව වගේ ගම් දන්වු වල වැස්සකටවත් ඉස්කෝලෙ නොගියත් කවි සින්දු කතා ලියන ගැමි ගෑනු ගැන කියනවා. ඒ අතරේ ඉන්දියාවෙත් චීනයේත් පැරණි නගර , මාලිගා හා මිනිස්සු ගෑණු අතර තනිවෙමින් සිහින දකින්නියක් වෙනවා.වරෙක ඇය සිය චරිතය තුල වූ දුඹුල් තැන් බොලඳ ගති ගැන තමන්වම හාස්‍යටත් ලක් කරගන්නවා. තදබල සමාජවාදී උණකින් ආතුරව සිටි තම තුරුණුවිය සිහිපත් කරන කතුවරිය තමන්ට සදය සිනා නගන්නේ "රුසියාවට වහිනකොට රත්නපුරේ ඉඳන් කුඩයක් අල්ලාගෙන හිටි ගෑනු ළමයා" කියමින් .
මෙවර සරසවියේ පොත් රාක්කෙන් මට හමුවූ සුනේත්‍රාගේ අලුත් පොත් තුනක් තිබුණා. ඒ "පූර්ව ජන්මය" ,"සුචිත්‍ර චාරිකා සටහන්" සහ "බුද්ධදාසි" පොත්.පූර්ව ජන්මය සහ සුච්ත්‍ර චාරිකා සටහන් තුල මා දුටුවේ ආලවට්ටන් දමා ප්‍රේම කතා කියන කතුවරියකට වඩා යම් ආධ්‍යාත්මික සතුටක් සොයා යන්නියක්.සුචිත්‍ර චාරිකා කතුවරිය දකුණු ඉන්දියානු ආගමික ස්ථාන කරා ගිය වන්දනා චාරිකා කතා එකතුවක් .ඒත් පූර්ව ජන්මය නම් කියවන්න මම වෙලා නොගත්තේ බුද්ධදාසි වඩා හිත් ගත්ත නිසා.
බුද්ධදාසී සුනේත්‍රාගේ අනික් නවකතාවලින් වෙනස්වුණ ඉතිහාස කතා ඇසුරෙන් ගොඩනැගුන ප්‍රබන්ධ කතාවක් හා සමානයි.බොහෝ වංශකතා,අටුවා ටීකා, වල කියැවෙන්නේ අනුරාධපුර යුගයේ රජුන්ගේ වීර ක්‍රියා , වාරි කර්මාන්ත , වෙහෙර විහාර කර්මාන්ත ගැන වුවත් වංශ කතාවල නොලියවුණ රජ සිටු මැදුරු තුල වගේම අභය ගිරිය ,මහා විහාරය වගේ පන්සල්වලත් වූ බල අරගල , නොහොඳ නෝක්කඩු, සිත් රිදුම් ,ඊර්ෂ්‍යාවන් , සීතල යුද්ධ සහ ඒ වාට මැදිව දුක් දොමනස් සහ වයිර ගිණි ගොඩවල් වල දැවෙන රජ සිටු ඇමතියන් සහ පොදු ජනයා ගැන කතාවක් "බුද්ධදාසි".මේ බල අරගල වලදී රාජ්‍යත්වය සුරකින්න , හදිසි සමාදානය වෙනුවෙන් ගෑණුන්ගේ ජීවිත බිලිවෙන අයුරු ඇය විස්තර කරනවා.සුනේත්‍රාගේ කතන්දර කීමේ විලාසය නොඅඩුව මේ පොතෙත් තියෙනවා. සෙසු පොත් වල වගේම දුකින් තැවුණත් ,දුකින් නැගිටින ප්‍රබල ගැහැණු චරිත මේ ඉතිහාස කතාවෙත් ඉන්නවා.
ප්‍රේම පුරාණයෙන් සුනේත්‍රා කියවන්න පටන්ගත් මම අන්තිමට සරසවියෙන් පිටවුනේ "බුද්ධදාසි" නවකතාවත් මිලට අරගෙනයි.සුනෙත්‍රාගේ බොහෝ පොත් වල සටහන් ගැන මතකෙන් කියන්න මට පුලුවන්. ඒ අතරින් මගේ සිත් ගත් ප්‍රේම පුරාණයේ ඉන්ග්‍රිසි පරිවර්තන සටහනකින් (Attaining Age ) මේ කතාව ඉවර කරන්න හිතුවා.
" I laughed with a hundred new eyes . The eyes acquired after many workshops and many seminars . Those eyes appear all over the room. How can i explain it in plain words ?? He'll never understand .I did not want to spoil the evening. After all these years ,we were there to love and to be loved , not to hold preliminary session for the forth world conference on women."
Attaining Age - p - 33 -Sunethra Rajakarunanayake -Sarasavi Publishers
ප/ලි
සුනේත්‍රා මම ප්‍රිය කරන කතුවරියක් .ඇය ගැන මම දැනගත්තේ ආර්ථික විද්‍යාවට පාසලෙන් තෑගි ලද ප්‍රේමපුරාණයෙන් . මේ සුනේත්‍රාගේ පොත් වල ගුණාගුණ විවේචනය කරන්න ලිව්ව සටහනක් නම් නෙවේ