Wednesday, December 28, 2011

කොණ්ඩේ කැපීම


"තාත්තත් කොණ්ඩේ කපනවා , ලොකුමාමත් කොන්ඩේ කපනවා ,පොඩි මාමත් කොන්ඩේ කපනවා .ඉතින් මගෙත් කොන්ඩේ කපන්නකෝ "

පුංචි සන්දියේ තාත්තා බාබර් සාප්පුවට යන හැම වතාවකම මම අම්මාට ඇවිටිලි කරනවා මතකය . ගැහැණු දරුවන් හෝ පිරිමි දරුවන් වේවා පොඩි වුන් පොඩි කාලේ අවුරුද්දක් හමාරක් ගිය තැන සිරිතක් ලෙස හිස කෙස් රොදක් කපා සුදු රෙදි කඩක දවටා සිරිපා වන්දනා සමයට සිරීපාදේ ගෙන ගොස් සීත ගඟුලට දමන සිරිතක් අපේ ගම් වල ඇත .දරුවන්ගේ කොන්ඩේ කැපීම සිදුවන්නේ එහෙම කල පසුය. ඉපදිලා හයමාසෙකින්  මගේත් එහෙම කල වගක් අම්ම කිව්වාය.

"ඔයා උපදිනකොටත් හොඳට කොන්ඩේ වැවිලා. හරි නිරෝගියි.කලුම කලු පාට ඉසකෙස් .තාත්තගේ වගේමයි කොණ්ඩ කැරලි කැරලි ලස්සනයි.හැබැයි පොඩි කාලේ කිසි කරදරයක් වුනේ නෑ කොන්ඩේ කපන්න යන්න" .අම්මා දැනුත් මතක් කරන්නීය

යන්තන් අවුරුදු හතරේදී , පහේදී තාත්තා හෝ ලොකු මාමා එක්ක ගමේ බාබර් සාපුවට ගිය හැටි මට මතකය . තේ හා සිල්ලරකඩ පෙලකින් යුත් කඩ මන්ඩියේ කොනක බාබර් සාප්පුව තිබුණි .එහි යන එන කාගේත් කොණ්ඩේ කැපුවේ රත්නේ අය්යාය .කෙට්ටු හීන්දෑරි ඔහු මා දුටු විගස "ආ අද සුදු බබාත් කොන්ඩේ කපනවාදැයි" අසයි . මමත් ඔවු කියමින් උජාරුවෙන් උත්තර දෙමි . බොහෝ මගේ වයසේ පොඩි දරුවෝ කොණ්ඩේ කපන්න බය වෙති . හඬති . කොන්ඩේ කපන්න ආ විට අම්මා හෝ තාත්තා අතින් බිමට බහින්නේ නැත . මට නම් එහෙම බයක් නැත .බාබර් සාපුව විසිතුරු ලෝකයකි . එහි සෑහෙන්න කාලයක් විජය , මාලනී , ගීතා ,ජෝති වැනි නලු නිලියන්ගේ ගායකයන්ගේ විසාල පින්තූර අලවා තිබුණි . සිත්තර , සරසවිය වැනි පත්තර ද විය . ඒවා බලන්න බණ්ඩාර මමා, විට්ටර් මාමා  , සිරිසෝම සීයා  වැනි ගමේ මා දන්නා හඳුනන අසල්වැසියන්ද බාබර් සාපුවට රොක්වෙති . ඉසෙල්ලාම  තාත්තා හෝ ලොකුමාමා කොන්ඩේ කපාගනී .එතකන් මම පොඩි ලමයින්ට කොන්ඩේ කපන්න තියෙන උස කැරකෙන ලී පුටුවේ වාඩි වී පොඩි සපත්තු දැමූ කකුල් පද්දමින් වටපිට බලමින් සිටිමි . වැඩේ හරි ශෝක්ය .රත්නේ අයියා ටිකි ටිකි හඬින් පනාව හා කතුර මෙහෙයවමින් සට පට ගා කොන්ඩේ කපයි . අන්තිමට මකුනෙක්ගේ හැඩය ඇති අඬු කතුරකින් කන් දෙපැත්ත හා ගෙල පිටුපස කෙස් කොටස් බූගා දමයි . ඊලඟට සටස් පටස් ගා සුදු තුවායකින් ගසා දමා පියරු පෙට්ටියෙන් පියරු ගොඩාක් ගෙන කම්මුල් වලත් බෙල්ලෙත් , කන් දෙපැත්තෙත් තවරයි .මට නම් ඕඩි කොලොන් ටිකකුත් අතුලා "දැන් සුදු බබා හරි හැඩයි" කියයි එතකොට හරි සනීපය .ඉතින් කොන්ඩේ කපන්න මොකට බයවෙනවාදැයි මට හිතේ . ඒ වුනාට කොන්ඩේ කපාගත්තාම ලේසි නැත . හවසට ආච්චිලාගේ ගෙදර ගල් වැට ගාවට  රස්තියාදුවට එන කුමාර මමා , ජානක අයියා , මංජු අයියා වැනි වැඩිහිටි ඥාති සොහොයුරන් මාව අවුස්සන්න පටන්ගනේ "ආ අද අපේ  සුදු නෑඹිලි කට් කපලා හූ හූ කියමිනි" . එතකොට මට ඉහිලුම් නැත . ඒ සේරටම මම ගල් ඉබ්බා කියමින් බැන වදිමි . අවුරුදු හයක් විතර වෙනතුරු මා දැනගෙන හිටි නරකම නරක වචනය එය විය .

ගෑනු හෝ පිරිමි දරුවන් බාල කල කොන්ඩේ තරමක් වැවීගෙන එන විට පොල් ගහක් වගේ පොඩි කොන්ඩ මලක් ඔලුවේ ගැටගහන පුරුද්දක් අම්මලාගේ  තිබුණි .ඒත් කවදාවත් එහෙම කොන්ඩ මලක් මට තිබුණා මතක නැත. වැඩියක් මම ගෙදරට ඇන්දේ පොඩි කලිසම් කොටය . ඩොනල්ඩ් ඩක් ඉන්නා එවැනි පොඩි කලිසම් , ලස්සන සන් සූට්  ගොඩාක් මට තිබුණා මතකය ".කොන්ඩෙත් කපලා , ජංගි කොටෙත් ඇඳලා, ඉස්තෝප්පුවේ ට්‍රයිසිකලය පදිනකොට   සුදු පුතා  නියම කොල්ලා.ලොකු අක්කට පුතෙක් නැතුවට පාඩු නෑ".එහෙම කියන්නේ අපේ රමණි මම්මාය . ගෙදර කවුරුත් ආදරේට මා ඇමතුවේ පුතා ලෙසිනි .වැඩි සෙනෙහස නිසාවෙන් විය යුතුය ..දුව කිව්ව වගක් අද වෙනකනුත් මතක නැත.පොඩි කාලේ ගොඩක් සුදු නිසා අම්මාගේ නෑ පරපුර මා ඇමතිමට සුදු විශේෂණ පදයද යෙදුවා විය යුතුය .

ඉස්කෝලේ යන්න පටන්ගත් පසු නිතරම හැම නිවාඩු කලයකට වරක්ම කොන්ඩේ කැපුවා මතකය . උකුනන් බෝවීම වැලැක්වීමත් එයට හේතු විය .පොඩි ලමයින්ට දිග කොණ්ඩා කරදරයි අම්මා කිව්වාය  .ඒත් මට අවුරුදු දොලහක් විතර වෙනකොට නම් අම්මා , ආච්චී හා රමණිම් මම්මලා ඇතුලු අම්මගේ නෑ පිරිවරම මගේ කොන්ඩේ ගැන බොහෝ උනන්දු වුවෝය  ."සුදු පුතා දැන් කොන්ඩේ දික්කරන්න ගන්න , ඉස්සර ඉස්කෝලේ යන කාලේ ලොකු අක්කගේ කොණ්ඩේ හරි දිගයි , කරල් දෙකට ගොතලා ලස්සනයි කියා නොනැවතුන රමණි මම්මා ,  ආච්චී සමග එක්වී පවුලේ ඡායාරූප එකතුවේ වූ අම්මාගේ ලස්සන, කොන්ඩේ දිග පින්තූර පෙන්නමින් මා උනන්දු කලාය .

"කොහොමද එහෙම කොන්ඩේ දික්වෙන්නේ" ? මගේ පැනය විය ." හරි ලේසියි. දැන් නිතර කොන්ඩේ කපන්න එපා . හැමදාම නාන්න , නිදාගන්න කලින් තැඹිලි තෙල් ගාලා පීරලා තියෙන කොන්ඩේ එකතු කරලා කරල් දෙකකට ගොතලා ගැටගහන්න" .එතකොට ඉක්මනට දික්වේවි . එහෙම කිව්වේ රමණි මම්මා හා ආච්චිය . හැමදාම නාන්න ?ඒකනම් මට අරහං වැඩකි . ඇරත් රෑට දත්මැදලා නිදාගන්න කියා තියෙන එකේ අමුතුවෙන් කොන්ඩේ ගොතා නිදාගැනීමේ බරකුත් පැටවේ .

දැන් දික්වෙන විට මගේ කොන්ඩේ ගොඩාක්  කැරලි කැරලි වගේය ."සුදු පුතා  තාත්තගේ ආරෙට යනවා වගේ " අම්මාගේ පවුලේ හැමෝම කියයි .ඒ කියන්නේ මට අම්මා පාසල් යන කාලේ වගේ  ලස්සන ස්ට්‍රේට් දිග කොන්ඩයක් නොලැබෙන හැඩකි .එහෙම එකක් නැති එකමයි වැඩේ .කාටද පුලුවන් ඔය ටූ ප්ලේට්ස් ගොතාගෙන හැමදාම ඉස්කෝලේ යන්න .ටිකක් කොන්ඩේ වැවෙන කෙල්ලන්ට දැන් ඉස්කෝලෙන් හරි නීතිය .පෝනි ටේල් දැමීම තහනම්ය . යාන්තන් කොන්ඩේ වැවෙන විට බලු නැටි දෙකක් ගොතන් කලු රිබන් ගැටගහන් යා යුතුය .උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන එක ලේසි නැත . සපත්තු ලේස් ගැටගහන් , ටයි පටි ගැටගහන් ඒ මදිවට කොන්ඩෙත් ගැටගහන එක හරි කරදරයක්නේ මට හිතෙයි . ඒ එක්කම මට මගේ මිතුරියන් ගැන අනුකම්පා හිතේ .ඒ හැමෝගෙම අම්මලා උදේට ඔලුව පීරා කොන්ඩේ කරල් දෙකක් වෙන්න  ගැට ගහනවග කියති  .ඉතින් අපේ අම්මාට එහෙම මගේ ඔලුව පීරන්න වෙලා නැත . උදැහැනින් රාජකාරියට යන්න පෙර අපි පාසල් යැවීම ,කෑම හැදීම වැනි වැඩ ගොඩාක් ඇයට අත .  "හැමදාම මගේ ඔලුව පීරුවේ තාත්තාය . පාසල ඇරී ගෙදර ආ පසුත් සෙනසුරාදා ඉරිදාටත් හිස පීරීම ගැන මට වගේ වගක් නැත .මේකගේ කොණ්ඩේ වලස්තොප්පිය වගේ , හැටි විතරක් කපුටු කූඩුවේ" කියමින් අම්මත් තාත්තාත් බැන වැදුන වාර එමටය .ඒත් මට වගක් නැත .

කොහොමත් මගේ වලස්තොප්පිය කොට නොකලොත් ඉස්කෝලෙන් එලවීම නියත නිසා වෙලාවට කොණ්ඩේ කප්පවන්නට අම්මා උනන්දු වූවාය . දැන් මාව කොණ්ඩේ කපන්නට එක්ක යන්නේ ටවුමේ ඇති සැලූන් එකකටය .ඒ අම්ම දන්නා ආන්ටි කෙනෙකි .මගේ කොණ්ඩේ කපනදාට අම්මා හාෆ් ඩේ දමා වෙලපහින් එන්නීය .සැලොන් ආන්ටී නම් කියන්නේ නිතර කොන්ඩේ කපන්න නොව වවන්න කියාය . "ගෑනු ලමයෙකුට කොන්ඩේ ඕනෙමයි"  ඈ කියයි . "ඔවු ඒත් මෙයාගෙ කොණ්ඩේ ගොඩාක් කැරලිනේ දික් වෙනවා අඩුයි" අම්මා දුකින් මෙන් කියන්නිය . ඒ දෙන්නගේ කතාවල් මට නම් විහිලු වගේය . කොන්ඩේ කොට වුනාට ඕ ලෙවල් වෙනකන්  මම පන්තියේ තුන්වැනියාගෙන් පහල ගිහින් නැත . "මෙම සිසුවිය  ගොඩාක් පිරිසිඳුවට ඇඳලා පාසල් එන විනය ගරුක දක්ෂ ලමයෙක් " කියා මට හත -අට වසර වල  ඉගැන්වූ රත්නපාල සරුත් ඕ ලෙවල් කාලයේ ඉගැනුවූ තිලකරත්න සරුත්  මතක ඇතුවම රිපෝර්ට් කාර්ඩ් එකේ ලියා තිබුනි . මේ සර්ලාගෙන් කෙල්ලන්ට හොඳ ඇහීම කලු නික හෙවීම වගේ වැඩකි .ඒ නිසා කොන්ඩේ කොට වුනාට අවුලක් නෑ මට හිතේ ."ඒ වුනාට  කොන්ඩේ වවන්න" යාලුවෝ හැමෝම පෙරැත්ත කරති . "වෙලා නෑ අනේ පන්ති යන්නයි , පාඩම් කරන්නයි , ගියහම කොන්ඩෙට සාත්තු කරන්න කොහෙද වෙලාවක් ? . ඇරත් මම කොන්ඩේ ගොතන්න දන්නේ නෑ නේ . ඉතින් දික් වුනහම අපේ අම්මට  උදේට ඕවට කරදරයි" .එවැනි උත්තර දී මම ඇඟ බේරාගනිමි .

ඒ ලෙවල් කල පසු තත්වය ටිකක් වෙනස් විය .අනිත් යාලු කෙල්ලන් හා සමග සසඳා බැලූ විට මගේ කොන්ඩේ දික් වුනා නම් හොඳ යයි සිතුණි . අවුරුදු දෙකක් ගෙදර හිටි නිසා කොන්ඩේ ටිකක් දික් කරගන්න පුලුවන් වුණි .මම හිතාගෙන හිටියේ අම්මගේ මගුල් පින්තූරයේ තරමට කොන්ඩේ දික්කරගන්නය .ඒත් අම්මා පාසල් යන කාලේ තරම් වත් කොන්ඩේ දික් වුනේ නැත .යාන්තම් ගෙල තෙක් රූරා වැටෙන බූසි කොන්ඩය පිටිපස්සට කර බැඳ තබා ගතයුතුය .නැතිනම් පහසු නැත .කැම්පස් ගිය පසු මෙය දස වදයක් විය .හවසට නාන්න නැති බෝඩිමේ උදේම නාගත යුතුය .නාලා ලෙක්චර්ස් යන විට කඩාගෙන යන කොන්ඩය වියලී බූසියක් වෙයි .එවිට අනික් වුන් මට විහිලු කරන්නේ "හැත්තෑව දශකයේ සිනමා නලු නීල් අලස් වගේ" කියමිනි .මේ කෙරුවාව හැමදාම කල නොහැකි නිසා නැවත කොන්ඩය කොටටම කැපුවෙමි .එවර යාලුවෙක්ගේ උපදෙස් මත බොරැල්ලේ සැලූනයකට ගොස් හොඳම විදියෙන් කොන්ඩේ කප්පාගතිමි . ඉන් පසු නැවත මගේ කොණ්ඩය කොට විය .

" දැන් ඔය කොට කොන්ඩේ එක්ක සාරි ඇන්දම පුවක් ගහට සාරි පෙරෙව්වා වගේ තියේවි" .ඉන්ටර්න් කරන කාලයේ චමී ඇතුලු අනික් මිතුරියෝ කියන්න පටන්ගත්හ .ඔවු හැබෑට කොට කොන්ඩේ සාරියට කැතයි වගේ . ආයෙත් කොන්ඩේ වැවීම ඇරඹුනි ."ලොක්කා දැන්වත් ඔය කොන්ඩේ දික් කරන්න .ලේසියට හැම්දාම ඕක කපලා හරියන්නේ නෑ .බලන්න මගේ කොන්ඩේ තාම දිගයි ". අම්මාත් වහෙන් ඔරෝ කිව්වාය . දැන් මට කවුරුත් සුදු පුතා කියන්නේ නැත .ඒත් මම ලොක්කාය එහෙම නැත්නම් ලොකු පුතාය .ආයෙත් කොන්ඩේ දික්වුණි .ඒත් වෙනසක් නැත කලින් වගේමය . ස්ට්‍රේට් කරන්න යාලුවෝ කියති ."බෑ එතකොට මගේ අයිඩෙන්ටිටි එක නැතිවෙනවා .අනික මගේ කොන්ඩේ තාත්තගේ වගේ . මෙහෙම කොන්ඩේ එක්ක මම ගොඩාක් තාත්ත වගේ . ඒ නිසා ඕනෙ නෑ ". මම කියමි

රස්සාව මාරුවුනේ ඔය අතරේය .දැන් සාරි ඇඳීම අනිවාර්ය නැත .ස්මාර්ට් කැෂුවල් අඳින්න පුලුවන්ය . එහෙනම් මොකටද දිග කොණ්ඩේ . අනික මේක ගොඩාක් දික්වෙන්නෙත් නැති එකේ වෙනසකට එක්ක අලුත් තැනකට වැඩට ගිය නිසා කපනවා . ආයෙත් කොන්ඩේ කපන්න පොටක් පෑදුණි . ඉන් පසු හැම මාස තුනකට හෝ හතරකට සැරයක් ගානට කොන්ඩේ ට්‍රිම් විය . කැම්පස් කාලේ මෙන් කොටට කොටේ  නොව .හරි ගානට පිලිවෙලටය . කොන්ඩේ කැපීම මගේ දින සටහන් අතර වැදගත් පුද්ගලික කටයුත්තක් විය . ඒ වෙනුවෙන් ශෝර්ට් ලීව් හෝ හාෆ් ඩේ දැමීම සිරිතක් විය . රාජකාරිය අතර තුරේ යන නිසා කාර්යාලය අසලම හොඳ සැලූන් එකක් සොයාගන්න සිදුවිය.එහි යා යුත්තේ වෙලාවක් වෙන් කරගෙනය . බොහෝ වැඩ අධික නිසා ස්ට්‍රෙස් වීම , නිවාඩු යෑම් හා ඉඳ හිට රටින් පිටව යෑම්  නිතර කොන්ඩේ ට්‍රිම් කරන්න හේතු වූ කාරණ විය . කොහොමත් සැලුන් එකේ නිදහසේ ඉන්න ලැබෙන කාලයත් හිසට ලැබෙන මසාජ් එකත් නිසා නිතර කොන්ඩේ ට්‍රිම් කරන්න පුරුදු වූයෙමි .එමෙන්ම හෙයාර් කටිං කරන කුමාර් ද බොහොම ප්‍රිය මනාපය . ඔහු සමග කයිවාරුවක් ගහන එකත් කොන්ඩේ කැපීමේ වැදගත් අංගයකි . කොන්ඩේ කපන්න පෙර ඊලඟ මාස වල ඇති වැඩ රාජකාරි හා ඒවාට සැරසෙන අයුරු හිතා බලා කොන්ඩේ කපන ක්‍රමය ගැන  උපදෙස් දීම සිදුවේ . එහෙම බලන විට කොන්ඩේ ට්‍රිම් කරගැනීම සෑහෙන්න වැදගත් කටයුත්තකි .රටින් පිටව යන්නේ නම් බොහෝ කොටටම කැපීම සිදුවේ . එසේ කොටට කැපූ විට නොයෙක් අබග්ගද වෙයි . කාර්යාල වල සිකියුරිටි ගාර්ඩ් ලා හා ටැක්සි රියදුරන් සර් කියා කතා කරති . මිතුරියන්ගේ කුඩා දරුවෝ කුතුහලයෙන් අංකල් කියූ අවස්තාත් එමටය .මගේ පින්තූර දකින යාලුවෝ මේකව නම් වෙනස්කරන්න බෑ යයි නෝක්කඩු කියති 


.ඔවැනි අබග්ග නිසා අන්තිමට පහුගිය වසරක කාලයක් කොන්ඩේ වවන්න සිතුවෙමි .ආයෙත් සුපුරුදු ලෙස වැවුණි . වැඩිය දිගාත්  නැත .ගොඩාක් කොටත් නැත . බූසි ගතියකුත් කැරලි ගතියකුත් ඇත  .කපන්න තරම් හේතුවක් හෝ වෙලාවක් තිබුනේත් නැත .ඔය අතරතුර " ඔයාගේ කොන්ඩේ දික්වෙන්නේ නැද්දැයි " කෙනෙක් බොහෝ උනන්දුවෙන් ඇසීය . "නෑ පොඩි කාලේ ඉඳන් මෙහෙමයි.දික් වෙන්නේ ටිකයි "මාත් උනන්දුවෙන් පිලිතුරුදුනිමි . "ඉතින් ස්ට්‍රේට් කරන්න ඇයි හොඳ සැලොන් එකකට යන්නෙ නැත්තේ .ඔයා කොලනේ වැඩ කරන්නේ "ආයෙත් පැනයකි එවර ටිකක් උපහාස ස්වරයෙනි . "මෙහෙම  හොඳයි  ,මම ආස විදිය  මෙහෙම කොණ්ඩේ එක්ක මට මගේ  තාත්තගේ පෙනුමත් එනවා .පවුලේ හැමෝම එහෙම කියනවා . අනික අපි ජීවත්වෙන්නේ කොණ්ඩෙන් නෙවෙයිනේ.ජීවත් වෙනකොට කොන්ඩෙට වඩා හිතන්න අපිට  ගොඩාක්  වැදගත් දේ තියෙනවා " .අවසාන පේලි කීපය කියවුනේ නොහිතාය .ආයේ කොන්ඩේ ගැන කවුරුත් මුකුත්ම  මගෙන්  ඇහුවේ නැත .

එබැවින් මෙවර වසර අවසානයට   පෙර මතක ඇතුව කල යුතු පුද්ගලික හා රාජකාරි වැඩ ලැයිස්තුව සකස් කල වෙලාවේ කොන්ඩය කපන්නට සැලොන් යාමත් එක්කලෙමි . රාජකාරි කරන තැන මාරු වීම නිසා සැලුනයද මාරු විය .  ඒ අනුව හෙයාර් කටිං ශිල්පියාද මාරුවිය .ඇය මැදි වයසේ සිටින ප්‍රියමනාප හෙයාර් කටර් කාන්තාවකි . සැප පහසු පුටුවෙන් වාඩි වීමට සන් කල ඇය මට පිරිසිඳු රෝබ් එකක් දැවටුවාය . කොහොමද කපන්නේ ? ඇය විමසුවාය

ලේයර්ස් , කොටට......ගොඩාක් කොටටම කපන්න.ඔයිල් මසාජ් එකකුත් ඕනෙ .පුටුවෙහි පහසුවෙන් හිඳගනිමින් මම කිව්වේමි .

කොටටම කපන්න ?ඔෆිස් යනව නේද ?ය සැක හැරගන්න  මෙන් විමසයි .

"ඔවු කොටටම කපන්න .කොණ්ඩෙන් නෙවෙයිනෙ අපි ජීවත්වෙන්නේ ". මම මා ඉදිරිපිට ඇති  කණ්නාඩියෙන් පෙනෙන මගේ රුව දෙස සෘජුව බලමින්  සතුටින්  සිනාසෙමින්  ඉතා සැහැල්ලුවෙන් පිලිතුරු දුන්නෙමි .


ඔවු ඒකත් ඇත්ත .ඇය සිනා පා මගේ උරහිසට තට්ටුවක් දමා කොන්ඩය කපන්නට ලෙන්ත් එක ගත්තාය .

P/S -To be beautiful means to be Yourself . You don't need to be accepted by others . You need to accept yourself
 ...and what matters most is your inner beauty ....Beauty in your thoughts . Beauty in your heart.Beauty in your deeds !