Sunday, July 3, 2011

කවියක පූවාපර සන්ධි ගැලපිම හෙවත් දයිවයේ සරදම

 

මං නැතිවෙලා

මගේ පන්තියෙ
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය

බලපොරොත්තුවක්

පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය

හීනෙන් ගෑ සුවඳක් වගේ

මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට


පාසල් කාලයේ කවි ලියන්න මම බොහෝ සෙයින් පෙලඹුනෙමි .එහි උච්ඡතම අවස්ථාවක් වුයේ මා උසස්පෙල විභාගයට සූදානම වන වර්ෂයේ නීති විදුහල මගින් පැවැත්වූ "නිම්නය" නීති ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ   වෙනුවෙන් ලණු අඹරණ පොල් ලෙලි තලන ගැහැනු ගැන මා ලියූ නිසඳැසක්  පාසල් කවි අතර නිසඳැස් ජේෂ්ඨ අංශයේ   ප්‍රථම ස්ථානය ලැබීමයි . එම ත්‍යාගය ලැබීම  වෙනුවෙන් මම අලුත්කඩේ නීති විදුහල වෙත ගිය දිනය මට හොඳින්ම මතකය .එදා මම, මගේ ජීවිතයේ පලමු වතාවට ගාම්භීරව නැගී සිටින උපරිමාධිකරණ සංකීර්ණයත් , නීති විදුහලත් , බොහෝ කලබලයෙන් උදාරම් ලීලාවෙන් නීති පොත් පොදි බැඳගෙන කලු සාටක පැලඳ යන නීති වෘත්තිකයන්ද  දුටිමි .එය මට බොහෝ බලාපොරොත්තු පොදි බැඳ දුන් අවස්ථාවක් විය .ඉන් තෙමසකට පසු පැවැත්වූ උසස්පෙල කඩඉමෙන් මම ඉහලින්ම එතෙර වුණේ එකී බලාපොරොත්තු මල් පල ගනිවමින් නීතිය හදාරන්නට සුදුසුකම් ලබමිනි .

එහෙත් කාලයාගේ ඇවැමෙන් මගේ කවි කම් වියැකුනි . කවි ලිව්වේ නැති තරමය .නමුත් නීතිය උගත්තෙමි. ඒ මවු බසින් නොවේය . ඊට මහත් වෑයමක් දැරූවෙන් මවු බසෙන් කියවීම ලිවීම මග හැරුණි .පසුව එසේ කිරීම අත්හැර දමා රාජකාරියට හුරු බස වැහැරුවෙමි. පසු කලෙක නීති රැකියාවෙන් ඉවත්ව මා ප්‍රිය කරන වෙනත් රැකියාවකට ගියෙමි .එය බොහෝසෙයින් සාමාන්‍ය ගැහැනු මිනිසුන් ඇසුරු කරමින් කලයුතු කටයුත්තක් විය .මට ආයෙත් හිරිමල් වියේ  මා කවියකින් කියූ වෙරළ තීරයේ පොල් ලෙලි තලන් ගැහැනු රාශියකගේ අඳුරු දුක්බර කතන්දර හමුවුණේ එහිදීය .එවිට මට පාසල් කල ලියූ මගේ කවිය මතක් වුණි . මුලු ගෙයම පෙරලමින් පැරණි පොත් පත් පීරා සෙවූ නමුත් මගේ කවිය මට හමුවුණේ නැත .එය අස්ථාන ගතව ඇත .තාමත් මට එය සොයාගන්නට අහපසුය .එහි පදවැල් සම්පූර්ණයෙන්ම  මා මතකයෙන් ගිලිහී ඇත .

ආයෙත් මම කවි ලියන්නට හිතුවේ බ්ලොග් ලියන්නට පටන්ගත් පසුය .කලක් මා ක්‍රියාකාරිව සිටි මූණුපොතේ කවි පිටුවද එයට අනුබල දුනි . මගෙ නැතිවූ කවිය දයිවයේ සරදමක් හා සමානය .එය මගේ අනාගතයට බලාපොරොත්තුවක් දුන් තරු එලියක් විය .එහෙත් මා මගේ බලාපොරොත්තුව සොයා හැල්මේ දුව යද්දී කවිකම් ගිලිහුණි . බලාපොරොත්තුව මුදුන්පත් කරගෙන කලකට පසු එය හැරපියා මා රිසි දෙය සොයා යද්දී  මට මගේ කවියේ අදහස හමුවිය .නමුත්  එවිට මා ලියූ කවිය මගෙන් ගිලිහී ගොස් ඇත .කවි කම් ද වියැකී ගොස් ඇත .අවසානයේ මේ කවිය මම ලියූවේ ඒ නැතිවූ කවිය ,බලාපොරොත්තුවකට පාර කියූ මං සලකුණ වෙනුවෙනි . මගේ නැතිවී අමතකව ගිය
පාසල් වියේ මට සම්මාන ලැබුණ මගේ කවිය යලි සොයා ගන්නට අපහසු නිසා ඒ අදහසම ඇති පහත කවිය ලිව්වෙමි .එහෙත් මා පාසල් වියේ ලියූ කවිය වඩා නිර්මාණාත්මක ගුණයෙන් ඉහල යයි සිතමි .

ලෙලි තලන ගැහැනුන්ට පින් මදි වීම ?

කළ පින්කම් බිජුවට
කලල් මඩ පත්ලෙහිම රුවා
ඇද බැඳ වියාගෙන
කරුම වරපට රැහැන්
අපෙ කෙලෙස් පිසලනට
පයට බුමුතුරුනු වී
කෑලි ගානට සිල්ලරට
විකුනමින් ජීවිතය
උන් බලා සිටියයුතුවෙද ?
කල්ප කාලයක්
මෙතේ බුදු වඩිනතෙක්
ලබන්නට විමුත් මග ?


මේ සටහන ලියන අතර මා සිහියට නැගුනේ පසුකලෙක මා කියවූ රොබර්ට් ෆ්‍රොස්ට් ගේ The  Road Not Taken  කවියයි .වනගත කැලෑවක වූ මංපෙත් දෙකකින් එකක් තෝරා ගිය මගියෙකුගේ දාර්ශනික කතන්දරය එහි විය .බොහෝ බලාපොරොත්තු පොදි කරගෙන මා ආස කල දේවල්ද ඉවත දමා  බලාපොරොත්තුව  සොයාගෙන ගොස් පසුව එය හැරපියා වෙනත් පාරක යන්නට මම තීරනය කලෙමි  .ඒ තීරණයද හරියට මේ වගේමය .

"I shall be telling this with a sigh
Somewhere ages and ages hence:
Two roads diverged in a wood, and I,
I took the one less traveled by,
And that has made all the difference. "




 ප/ලි
ඉහත කවි දෙකම අහස්ගව්වට මා ලියූවේ කලකට පෙරයි .නමුත් ඊට අදාල නිමිත්තද මෙහි සටහන් කලයුතුයයි අද සිතුනි.මේ කෙටි සටහන නිසා කලකින් අහස්ගව්වට නොලියූ අඩුවද මැකෙනු ඇත .