සියා ගුවන්තොටුපොලින් එලියට එනකොටම පපුව කඩාගෙන යන හීතල හුලඟක් මට සුබ පැතුවා බන්ග්ලාදේශයට මාව පිලිගනිමින් .මීදුමින් සහ දූවිලි කැටිවුන පරිසරය එතරම් සුව දායක නැහැ. අන්වර් බායි, මගෙ රියදුරු තැන අවවාද කලා වහාම මගෙ උනුසුම් කබාය ඇඳගන්න .සීතලත් එක්ක මම කොස් කොස් ගාලා කහිනකොට එයාට අනතුරක සේයාවක් දැනෙන්න ඇති . පෙරදා රැයේ සිටන් එන දිගු ගුවන් ගමනකින් පස්සේ මට තව කිලෝමීටර පන්සීයක් විතර උතුරුදිග දිනජ්පූර් සීමාවට යන්න ඔනෙ දින දහයක රජකාරියට .දිනජ්පූර් ඉන්දියනු මායිමට විශේෂයෙන් ඩාජිලින් සීමාවට ආසන්නයි ඒනිසා මේ මාර්තු හීතල ඔබට නම් උහුලන්න බැරිවෙයි කියලා අන්වර් කියනවා.ඒමදිවට මම ලංකාවෙන් එනකොටත් ආවෙ හොඳ සනීපෙන් නෙවෙයි. ඇස්මා වලට දෙන බෙහෙත් පොදියක් මගෙ ගමන් මල්ලෙ තිබුනා.ඒත් සංචාරයට තියෙන ආසාව නිසා ඔක්කොම ලෙඩ යටපත් වෙනවා.
දීනජ්පූරයට යන ගමන නින්දත් නොනින්දත් අතර ගෙවුනා. ජමුනා නදිය උඩින් යන මහා දිග පාලම පහුකරලා කෑම කන්න නැවත්වුවත් කිසි පිරියක් නැහැ .මද ඉරු එලිය ,වියලි සීතල,මීදුම පපුවෙ බර ගතියක් ඇතිකරා.ඒ පිටින් එන වෙහෙසත් කියන්න බැරිතරම්. හවස හත විතර වෙනකොට අපි ගමනාන්තයට ආවා, පොලි ශ්‍රී ඒ කියන්නෙ ගම්බද රූමතිය මෙතැන තම්යි මගේ ඊලඟ දවස් දහය ගතවෙන්නෙ .මම වාහනෙනෙන් එලියට ආවෙ පොද වැස්සක් එක්ක .ශානාස් ,ෆර්හානා,සහ සුරෙයියා රෝස මල් පොකුරු අරන් මම පිලිගන්න දොර එලිපත්තෙ .දුර මග ගෙවාගෙන ආව මගියෙකුට ඉතින් මීට වඩා සුන්දර දෙයක් තව තියෙනවද ? මට වෙන් වුන කාමරය සරල අල්පේච්ච තැනක්,ලොකු සීත පොරොනාවකුත් ,ගුදිරි මෙට්ට ඇතුරූ ඇඳකුත් ,පොඩි ලියන මේසයක් ,පුටුවක් සහ කුඩා ඇඳුම් අල්මාරියක් තිබුනා .ඒත් හීතල නම් රෑ පුරා මට වද දුන්න ,ඉන්හේලරය කීප වාරයක්ම පාවිච්චිකලා. පහුවදා උදේ තමයි ඔක්කොම මගේ සගයො ටික මුන ගැහුනෙ .ආයතන ප්‍රධානි ශමීමා සමග කෙටි සාකච්චාවකුත් යෙදුනා.ඇය ඉතා පියකරු, කාරුනික ,ඒත් එක්කම මොකද්දෝ අමුතු බලයක් තියෙන ගැහැනියක් වගේ කියලා මට ඒවෙලේම හිතුනා.
මගෙ දවස් දහය ගතවෙන විදිය බැලුවහම එක දවසක් වත් මග අරින්න බැරි ලෝභ ගතියක් හිතට ආවා.ඉන්දියානු බෝඩරයේ කල්කටාව ආසන්නයට යන ජෝය්පුර් හාට් ගමනත් , ඉන්දියනු මායිමේ ඩාජිලින් ආසන්නයේ පන්චගාර් බලා යාම , රික්ෂෝ රියදුරු හමුව ,අමිටෝලි ගමේ තරුණ සමිති හමුව එන අතරමග පැරනි නටබුන් බැලීම වගේ දේවල් හිතට අමන්දා නන්දය ඇති කලා ඉතින් හිරිකඩ ,පින්න , සීතල නොතකා ගම් මැදිවල ඇවිදලා ,මැටි පොලවේ වාඩි වෙලා ,මුල් දවසේ හවස් වෙනකොට මගේ අසනීප ගතිය උත්සන්න වග මට දැනුනා.
ඒත් ඇස්මා වලට බෙහෙත් බොනවා කියලා ඔවුන් බයකරන්න එපා කියලා මගේ හිත කිව්වා.
හ්ම්ම්.. වැඩේ හිතුව තරම් ලෙසි වුනේ නැහැ.මගේ සහපිරිවර මාව පුද්ගලික බෙහෙත් සාලාවකට ගෙන ගියා.මාව පරීක්ෂා කර වෙද්‍යවරයා සියලු රෝගලක්ෂණ හඳුනගෙන මට බෙහෙත් දීම ප්‍රතික්ෂේප කලා.වහා රෝහල් ගතවෙන්න නියම කලා.මදැයි වැටුන අලි අමාරුවක තරම.ඔක්කොම මගේ සගයන් කැලඹිලා .ඒක මුහුනු වලින්ම පෙනෙනවා.මගේ මිතුරිය ශානාස් දුරකථන ඇමතුම් කීපයක් ගත්තා.සෝරාබ් සහ ෆර්හානා මාව අස්වසනවා බයවෙන්න එපා කියලා. බයක් නෙවෙයි මට තිබුනෙ,ඊලඟට මොකදවෙන්නෙ කියන කුතුහලය . ශානස් ගෙ දුර ඇමතුමත් එක්කම ,ශමිමා අර කාරුණික බලවන්ත කාන්තාව , ආයතනයෙ ලොක්කි ආවා . ඇය කරුණාවෙන් මට පැහැදිලිකලා,ඔවුන් මාව පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා රෝහල් ගතකරන වග
.
"ඔයා බයවෙන්න එපා ,සියා හාර්ට් ෆවුන්ඩේෂන් රෝහල දිනජ්පූරයෙ තියෙන හොඳම පහසුකම් සහිත පුද්ගලික රෝහලක් "ඇය මාව අස්වැසුවා.
මේ රෝහලේ සේවය කරන කායික රෝග පිලිබඳ මහාචාර්ය වෙද්‍යවරයා පොලි ශ්‍රි ආයතනයේ උපදේශක මණ්ඩල ප්‍රධානියෙක්.මගේ සගයො ඒවෙනකොටත් ඔහුට කතාකරලා මාව රෝහල් ගත කරන්න කටයුතු සූදානම් කරලා . සමාජ සම්බන්ධතා කොයිතරම් බලගතුද කිව්වොත් සියා රෝහලට මාව ගෙනයනකොටම ගිලන් ඇඳක් සූදානම්ව තිබුනා මාව වාට්ටුවට ගෙනියන්න. විනාඩි විස්සකට විතර කලින් හොඳින් පයින් ඇවිද ගෙන ගිය මාව මෙන්න රෝහල් සේවකයො දෙන්නෙක් ගිලන් ඇඳක දාලා කුදලගෙන යනවා....මට හරි හිනා.
රෝහල් ගතකල වහාම ප්‍රතිකාර පටන්ගත්තා ,මුහුනු වැස්මක් දාලා ඔක්සිජන් දුන්න . ඒ එක්කම අර මහාචාර්ය වෙද්‍යවරයා ආවා. ඔහු මාව පරික්ෂා කරා.පෙනහලු එක්ස් කිරන ඇතුලු පරීක්ෂන කීපයක් නියම වුනා. බෙහෙතකුත් විද්දා...හරිම හිනහ යන වැඩකුත් වුනා. මට බෙහෙත් විදින්න නියම කරලා එතුමා මා එක්ක කතාවට වැටුනා
"ඔබ විවෙක ගත්තෙ නැහැනෙද ? හරියට බෙහෙත් බිව්වෙත් නැහැ නේද ?"එයා අහනවා. උත්තර දෙන්න ඔහු දිහා බලනකොටයි මම දැක්කෙ එතුමගෙ කොන්ඩෙත් , රැවුලත් දුඹුරු සහ රතු වර්ණ වලින් පාට කරලා, "පැසුනු හිසෙන් නෙවෙයි වර්ණවත් හිසෙන් බුහුමන් ලබව" කියලා හිතමින් මම බොහොම අමාරුවෙන් හිනාව වලක්වගත්තේ , ලංකාවෙදි ඒවගෙ මහාචාර්යවරු අපිට දකින්න නැහැනෙ . මම ඒවෙලාවෙම එයාට නමකුත් පටබැන්ද..."කලර්ඩ් හෙයාර් ප්‍රොෆෙසර්". ලෙඩවෙලත් මම නෙවෙයි පිස්සු නටන එක නවත්වන්නෙ .
හ්ම්ම්.... එදා රෑ මට ඔක්සිජන් දීලා,බෙහෙත් නියමකලා.තරමක් සුව අතට හැරෙනකන් ආයතනයේ ලොක්කි ශමිමා ඇතුලු මගේ සගයන් එතන හිටියා මැදියම් රැය වෙනකන්. මට නින්දයාගෙන එනකොට තමයි ඔවුන් ගියේ .මාව තනිකරලා නෙවෙයි.සෝරාබ් සහෝදරයා මගේ තනියට තියලා.ඔහු රෝහලේ ඇතුලතආලින්දයේ ලොකු සලුවකුත් පොරවගෙන මා වෙනුවෙන් රැය පහන් කලා සීතලේ . වරින් වර ඇවිත් මගේ බෙහෙත් ,සේලයින් දීම ගැන රෝහල් කාර්යමණ්ඩලයෙන් විපරම් කරනවග අඩ නින්දෙදි මට දැනුනා.ලංකාවෙදි නම් තමන්ගෙ සොහොයුරෙක්වත් නොකරන උදව්වක් ඔහු කලේ .
ප්‍රතිකාර නිසා හොඳට නින්ද ගියා ,උදේ මා අවදි වන විට මගේ සගයො ඇඳ වටේ . රියදුරු අන්වර් බායිත් මාව බලන්න ඇවිත් .රෝහල් කාර්යමණ්ඩලයේ එක්කෙනා දෙන්නත් ඇවිත් මා එක්ක කතා කරනවා...දැනගන්න විස්තර ගොඩක් ..මම විදේශිකයෙක් වග මට මතක් වුනේ එතකොට . කාටත් ඔනෙ වුනෙ සනත් ජයසූරිය ගැන දැනගන්න .මගේ ගාව තිබුන ශ්‍රි ලංකා ක්‍රිකට් කියල ගහපු කැප් එක දැකලා වෙන්න ඇති.ලෙඩෙක් වුනත් මගේ යුතුකම මගේ රට ගැන කියන එකනේ. ඒක වදයක් වුනේ නැහැ.ගොඩක් දෙනෙක් මා එක්ක ඉන්ග්‍රිසියෙන් කතා කරන අතර ඒක වියපත් සාත්තුසේවක අම්ම කෙනෙක් හරිම ලෙන්ගතුව මගේ ඇඳ වටේ කැරකුනා. කවුරුත් එහා මෙහා වෙනකම් ඉඳලා දන්න ඉන්ග්‍රිසියෙන් එයා ඇහුවේ මම විවාහකද කියලා. එයාගෙ මූණෙ තිබුනෙ මේ ගෑනු දරුවෙක් නොදන්න රටක කරක්ගහමින් මොනවකරනවද කියන බැල්මක්.
මේවිදියට ඉතින් දවස ගෙවා ගන්න අමාරුවුනේ නැහැ.සලීම් සහ පප්පි සහෝදරයන් විහිලු කතා කියමින් මට පාලු කැපුවා. ඒත් කවුරුත් නිතර විමසිල්ලෙන් හිටියේ මගෙ සෞඛ්‍ය තත්වය ගැන. වරක් ශානාස් මට ආදරනීය තරවටුවකුත් කලා කතා නතරකරලා නිදාගන්න.ඔන්න දවල් වෙනකොට අපි මග බලාගෙන හිටි සුබ ආරංචිය ලැබුනා. මම රෝහලෙන් නිදහස්."දැන් අපි ඔබව නිදහ කරනවා ,ඒත් පරිස්සම් වෙන්න.බෙහෙත් ගන්න.ආයෙත් ලංකාවට ගියහම ප්‍රතිකාර ගන්න" මහාචාර්යතුමා උපදෙස් දුන්න. මාව රෝහලෙන් එක්ක යන්න ශමිමා ආවා, සුරෙයියත් එක්ක.අපේ ඩකා ප්‍රධාන කාර්යලයට දැනුම් දීමෙන් අනතුරුව මගේ සියලු රෝහල් ගාස්තු ඔවුන් ගෙවා තිබුනා.හෙදියක් මාව රෝදපුටුවක තබාගෙන යන්න ලැහැස්තිවුනත් එය ප්‍රතික්ෂේප කරලා මම රෝහල් ඇඳෙන් බිමට පැන්නෙ මගේ ගමන් මල්ලත් එල්ලගෙන .ඒත් ශමීම සහ සුරෙයියා මගේ අස්සකුලප්පුවට ඉඩඩුන්නෙ නැහැ.ඒදෙන්න මගේ අත් දෙකින් අල්ලගෙන හිමිහිට අපේ වාහනය ගාවට එක්කගියා.
දැන් නම් ඉතින් අකීකරු වෙන්න බැහැ.ශමීමා උපදෙස් දුන්න තව එක දවසක් විවේක අරගෙන රාජකාරියට යන්න. මම යනකොට මගේ කාමරයට උනුසුම ඇතිකරන්න හීටරයක් තබාතිබුනා.රෝස පොකුරකුත් මේසෙ උඩ. මාව පිලිගන්න.ඒවා ශානාස්ගෙ වැඩ. විවේක අරන් ආයෙත් සන්චාරය පටන්ගන්නකොට මට ශමීමාගෙන් දසපනතක් ලැබුනා.කඩචෝරු කෑම,තැන් තැන් වලින් වතුරබීම තහනම්.මට හැමදාම උදේට මනික් බායි දවල් කෑම පෙට්ටියක් සූදානම් කරලා දුන්නා.උනුසුම් කබාය ඇඳීම ,හිරිකඩ පින්නට ආවරනය වෙන්න කුඩය ගෙනයාම අනිවාර්යවුනා.මගේ දවල් බෙහෙත්වේල ගැන ඇය නිතර මතක් කලා.මා එක්ක යන අනිත් සගයන්ගෙන් මගේ සුව දුක් විමසුවා.ඇගේ මේ ආදරණීය බලපෑම් මම කරදරයක් හැටියට හිතුවෙ නැහැ.මනික් බායි හැම උදෑසන සහ සවසකම සිනා මුසු මුහුනින් තට්ටු තුනක් පඩි නැගලා ලොකු යකඩ බාල්දියකට උණුවතුර ගෙනෙත්දුන්න මූන සෝදන්න .
අපේ ගමන් හරි විනෝදජනකයි.සලීම්, පප්පි සහ සෝරාබ් සොහොයුරන් රස කතා සාගරයක්.ඒතුන්දෙනා මට බෙන්ගාලි වචන් ඉගැන්නුවා
ශුවො සොකල්- සුබ උදෑසනක්
ශුවො ජන්මොදින්-සුබ උපන්දිනයක්
අමි බොලොබශි-මම ආදරෙයි
අමි කාච්කුරි- මම රැකියාවක් කරනවා
ඔය මට තාම මතක තියෙන වචන් කීපයක් .හවසට ආයෙත් ආවහම හැමෝම එකතුවෙලා සන්ගීත සැඳෑවල් එහෙමත් දැම්ම. ශානාස් සහ ෆර්හානට ලස්සනට ගී ගයන්න පුලුවන්. මම අහලතිබුණා බන්ගලදේශයේ ඉතාම ලස්සන දේශාභිමනී ගීත තියෙනවග .සමහර ඒව බටහිර බෙන්ගාලයේ රබීන්ද්‍ර සංගීතය පදනම් කරගෙන පදබැඳුන ඒවා.ඔවුන් මා වෙනුවෙන් රබීන්ද්‍ර ගීත ගායනාකලා.එක දවසක් අපි නැටුම් සැඳෑවකුත් දැම්ම.හොඳම නර්තනය වෙනුවෙන් ශ්‍රි ලංකා -බන්ගලාදේශ කුසලානය සඳහා මමත් මගේ භාෂා පරිවර්තක රොමෙල් බායිත් තරඟ වැදුනා.කුස්සියේ වැඩකරන මෘජිනා අම්මත් ,මනික් බායිත් අපේ වැඩ බලලා හිනාවුනා.
සතුට ,සහ හැම කෙනෙකුගෙන්ම ලැබුණ ආදරය ,සැලකිල්ල නිසා මම ඉක්ක්මනටම සුවපත්වුනා.දවස් දහය ඉවරවෙලා ගෙදරයන්නෙ කාලෙ ආව.සමුගන්න දවසේ උදෑසන මා වෙනුවෙන් රසකැවිලි ගොඩක් එක්ක තේ පැන් සාදයකුත් තින්බුණා.ලංකාවෙන් අරගෙන ගිය තේ පැකට් මම ඔවුන්ට තෑගිකලා. හැමකෙනෙක්ම මාව වැලඳගෙන සමුදුන්න .ශමීමා නැවත ඇගේ දසපනත මට මතක්කලා."ඔබ ටිකක් අකීකරු ලමයෙක්" කියලා පොඩි විහිලුවකුත් කලා.
අන්වර් බායි මාව නැවතත් කිලෝමීටර 500 දුර ගෙවාගෙන දකා නුවර සියා ගුවන්තොටුපොලට ගෙනාවා.ලංකාවට එන්න තායි එයාර්වේස් ගුවන්යානයට ගොඩවෙද්දි මට දැනුනෙ කාලයක් දන්න අඳුනන නෑයන්ගෙන් සමුගන්නව වගේ දුකක් . ලංකාවෙදි අධික වෙහෙස ,නොසැලකිල්ල,අවිවේකය නිසා උත්සන්න වූ ලෙඩකට නිසි ප්‍රතිකාරත් ,සැලකිල්ලත් ලැබුනෙ බන්ග්ලාදේශයෙදියි.දුරු රටකදී ලැබුන ඒ සත්කාර මට කිසි දවසක අමතක වෙන්නෙ නැහැ.විශේෂයෙන්ම ශමිමගේ කාරුණික මුහුන සහ දසපනත රෝගිවෙන ගොඩක්විට මට මතක්වෙනවා.