Showing posts with label මගේ කවි. Show all posts
Showing posts with label මගේ කවි. Show all posts

Tuesday, March 27, 2012

ආයෙත් මං වැඩට


සතුට -දින නියමයක් නැතිව කල් දමා 

හදවත -දොරගුළු ලා වසා 

නිදිමත -ලෝභ ලෙස සීමා කර 

මනසට -වදදී නැගී සිටින්නට 

විසිහතර පැයේම

ආයෙත් මං වැඩට

Saturday, February 4, 2012

නින්ද අහලක නැති -කුමට මේ පැනි සිරප් පෙති


මේ පැනි රස සිරප් එක 
චුට්ටක් නිදිමත ගෙනෙනු ඇති 
තේ හැඳි එක බැගින් තෙවරක් 
ගැනීම යහපත් 


රෝස පාට මේ පෙති 
බිව්වම ටිකක් ගැහෙනවා ඇති 
ඒනිසා වැඩ වලින් මිදී 
විවේකය යහපති 


ආයෙත් වට්ටෝරු වෙනස් කර
තව නිල් සුදු කරල් පෙති
සතියක් බොනු රිසී  
පොදියක්ම ලැබී ඇති 


නින්ද අහලක නැති 
බල් බල් කැස්ස හොඳ නැති 
හිතට විවේකෙකුත් නැති 
කුමට මේ පැනි සිරප් පෙති 





Sunday, July 3, 2011

කවියක පූවාපර සන්ධි ගැලපිම හෙවත් දයිවයේ සරදම

 

මං නැතිවෙලා

මගේ පන්තියෙ
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය

බලපොරොත්තුවක්

පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය

හීනෙන් ගෑ සුවඳක් වගේ

මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට


පාසල් කාලයේ කවි ලියන්න මම බොහෝ සෙයින් පෙලඹුනෙමි .එහි උච්ඡතම අවස්ථාවක් වුයේ මා උසස්පෙල විභාගයට සූදානම වන වර්ෂයේ නීති විදුහල මගින් පැවැත්වූ "නිම්නය" නීති ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ   වෙනුවෙන් ලණු අඹරණ පොල් ලෙලි තලන ගැහැනු ගැන මා ලියූ නිසඳැසක්  පාසල් කවි අතර නිසඳැස් ජේෂ්ඨ අංශයේ   ප්‍රථම ස්ථානය ලැබීමයි . එම ත්‍යාගය ලැබීම  වෙනුවෙන් මම අලුත්කඩේ නීති විදුහල වෙත ගිය දිනය මට හොඳින්ම මතකය .එදා මම, මගේ ජීවිතයේ පලමු වතාවට ගාම්භීරව නැගී සිටින උපරිමාධිකරණ සංකීර්ණයත් , නීති විදුහලත් , බොහෝ කලබලයෙන් උදාරම් ලීලාවෙන් නීති පොත් පොදි බැඳගෙන කලු සාටක පැලඳ යන නීති වෘත්තිකයන්ද  දුටිමි .එය මට බොහෝ බලාපොරොත්තු පොදි බැඳ දුන් අවස්ථාවක් විය .ඉන් තෙමසකට පසු පැවැත්වූ උසස්පෙල කඩඉමෙන් මම ඉහලින්ම එතෙර වුණේ එකී බලාපොරොත්තු මල් පල ගනිවමින් නීතිය හදාරන්නට සුදුසුකම් ලබමිනි .

එහෙත් කාලයාගේ ඇවැමෙන් මගේ කවි කම් වියැකුනි . කවි ලිව්වේ නැති තරමය .නමුත් නීතිය උගත්තෙමි. ඒ මවු බසින් නොවේය . ඊට මහත් වෑයමක් දැරූවෙන් මවු බසෙන් කියවීම ලිවීම මග හැරුණි .පසුව එසේ කිරීම අත්හැර දමා රාජකාරියට හුරු බස වැහැරුවෙමි. පසු කලෙක නීති රැකියාවෙන් ඉවත්ව මා ප්‍රිය කරන වෙනත් රැකියාවකට ගියෙමි .එය බොහෝසෙයින් සාමාන්‍ය ගැහැනු මිනිසුන් ඇසුරු කරමින් කලයුතු කටයුත්තක් විය .මට ආයෙත් හිරිමල් වියේ  මා කවියකින් කියූ වෙරළ තීරයේ පොල් ලෙලි තලන් ගැහැනු රාශියකගේ අඳුරු දුක්බර කතන්දර හමුවුණේ එහිදීය .එවිට මට පාසල් කල ලියූ මගේ කවිය මතක් වුණි . මුලු ගෙයම පෙරලමින් පැරණි පොත් පත් පීරා සෙවූ නමුත් මගේ කවිය මට හමුවුණේ නැත .එය අස්ථාන ගතව ඇත .තාමත් මට එය සොයාගන්නට අහපසුය .එහි පදවැල් සම්පූර්ණයෙන්ම  මා මතකයෙන් ගිලිහී ඇත .

ආයෙත් මම කවි ලියන්නට හිතුවේ බ්ලොග් ලියන්නට පටන්ගත් පසුය .කලක් මා ක්‍රියාකාරිව සිටි මූණුපොතේ කවි පිටුවද එයට අනුබල දුනි . මගෙ නැතිවූ කවිය දයිවයේ සරදමක් හා සමානය .එය මගේ අනාගතයට බලාපොරොත්තුවක් දුන් තරු එලියක් විය .එහෙත් මා මගේ බලාපොරොත්තුව සොයා හැල්මේ දුව යද්දී කවිකම් ගිලිහුණි . බලාපොරොත්තුව මුදුන්පත් කරගෙන කලකට පසු එය හැරපියා මා රිසි දෙය සොයා යද්දී  මට මගේ කවියේ අදහස හමුවිය .නමුත්  එවිට මා ලියූ කවිය මගෙන් ගිලිහී ගොස් ඇත .කවි කම් ද වියැකී ගොස් ඇත .අවසානයේ මේ කවිය මම ලියූවේ ඒ නැතිවූ කවිය ,බලාපොරොත්තුවකට පාර කියූ මං සලකුණ වෙනුවෙනි . මගේ නැතිවී අමතකව ගිය
පාසල් වියේ මට සම්මාන ලැබුණ මගේ කවිය යලි සොයා ගන්නට අපහසු නිසා ඒ අදහසම ඇති පහත කවිය ලිව්වෙමි .එහෙත් මා පාසල් වියේ ලියූ කවිය වඩා නිර්මාණාත්මක ගුණයෙන් ඉහල යයි සිතමි .

ලෙලි තලන ගැහැනුන්ට පින් මදි වීම ?

කළ පින්කම් බිජුවට
කලල් මඩ පත්ලෙහිම රුවා
ඇද බැඳ වියාගෙන
කරුම වරපට රැහැන්
අපෙ කෙලෙස් පිසලනට
පයට බුමුතුරුනු වී
කෑලි ගානට සිල්ලරට
විකුනමින් ජීවිතය
උන් බලා සිටියයුතුවෙද ?
කල්ප කාලයක්
මෙතේ බුදු වඩිනතෙක්
ලබන්නට විමුත් මග ?


මේ සටහන ලියන අතර මා සිහියට නැගුනේ පසුකලෙක මා කියවූ රොබර්ට් ෆ්‍රොස්ට් ගේ The  Road Not Taken  කවියයි .වනගත කැලෑවක වූ මංපෙත් දෙකකින් එකක් තෝරා ගිය මගියෙකුගේ දාර්ශනික කතන්දරය එහි විය .බොහෝ බලාපොරොත්තු පොදි කරගෙන මා ආස කල දේවල්ද ඉවත දමා  බලාපොරොත්තුව  සොයාගෙන ගොස් පසුව එය හැරපියා වෙනත් පාරක යන්නට මම තීරනය කලෙමි  .ඒ තීරණයද හරියට මේ වගේමය .

"I shall be telling this with a sigh
Somewhere ages and ages hence:
Two roads diverged in a wood, and I,
I took the one less traveled by,
And that has made all the difference. "




 ප/ලි
ඉහත කවි දෙකම අහස්ගව්වට මා ලියූවේ කලකට පෙරයි .නමුත් ඊට අදාල නිමිත්තද මෙහි සටහන් කලයුතුයයි අද සිතුනි.මේ කෙටි සටහන නිසා කලකින් අහස්ගව්වට නොලියූ අඩුවද මැකෙනු ඇත .

Wednesday, January 27, 2010

Suba Anagathya & better Change


ඊයෙ පෙරේදා මිය ගිය වුන්ගේ
මල සොහොන් උඩින්
අඬු බඬු කැඩුන වුන්
මග තනි කර දමා
වේදිකාවෙන් ඇසුන
දෙස් දෙවොල් පරුස බස්
දෝංකාරය මැදින්
කොල රතු නිල්
පොලිතින් කඳු අතරින්
යහපත් වෙනසකට දකින්න
සුබ අනාගතයට පාර මේ

Friday, October 2, 2009

වැඩ නිමවන්න.....

අගනුවරම නිදිගත් රෑ
මිහිරි පෙම් බස්
දුර ඈතකට ගිහින්
දෑස අයාගෙන
පරිගණක තිරය වෙත
වෙහෙසකර නෙතු පියන්
කර්කශ ලිපි අතර
නින්දට දඟලන
හීලෑ නැති හිත
වත්තන් කරන්

අඩක් කා හමාරවූ
චීන මකරුන්
සුව පහසු ඇති
සිතල පාලු කුටියක
රාත්‍රිය දිය කරන්
පෙරඹරින් හිරු නැගෙන
අරුණටත් පෙර
වැඩ නිමවන්න
අඩක් පිරියම් කර
ජීවිතය

Wednesday, September 30, 2009

නිවාඩු අද...... හිත (ආදරෙන් )ලෙඩවෙලා

නිමක් නැති මීටින් -ඉක්මනට තීරන ගන්න
පිටු ගනන් වාර්තා-හර බර ඉදිරි සැලසුම්
ආයෙත් සාකච්ඡා- තීරන කිරා මැන බලන්න
ඊමේල් ඇලර්ට්- ඔබේ දැනගනීම පිනිස
ඩෙඩ්ලයින් දිනපොතේ -මරණීය රතු එලි
කොන්ෆරන්ස් කෝල්-ලෝකෙම තනි යායක් 
වැඩ කරන්න  


ලැප්ටොප් එක බදන්-විසිහතර පැයේ නොනිමෙන ආදරය
නිල් පාට එල් සී ඩී තිරයෙන් ඈතට
වලා තීරයෙන් එහා හිම කඳු යහනට
පලා යන්න එක මොහොතක් හිතට
ශෝට් ලීව්, හාෆ් ඩේ ,ඇනුවල් ලීව්- ඔක්කොම කැන්සල්

එහෙනම් සික් තමයි- එත් මොකක්ද ලෙඩේ ?
පාලුව කාන්සිය තනිකම -මූලික රෝග ලක්ෂණ
ඉබාගාතේ ඇවිද යන හිත- ඈත පාවෙන සිහිනයක
හිත ලෙඩ වෙලා
නිවාඩු අද
හිත (ආදරෙන්) ලෙඩවෙලා

Monday, September 21, 2009

ගෙදර බුදුන් අම්මා



ගෙදර බුදුන් අම්මා.......
ඉතින් යකුනේ මම
අම්මෙක් නෙවෙයිද?
මේ පැටියා උපදිනකන් මාත්
දහ මාසයක් ඇඟිලි ගැන ගැ
පෙරුම් පිරුවා

මේකගේ අප්පා සෝමයා -මාව අනාත කරලා ගියා ගියාමයි
ආවෙ නෑ පැත්ත පලාතේ -ඒත් මගේ නෑ අමනාපයක්

අනේ මේ පැටියා
හීන් අතපය ගහලා
මයෙ කුසේ දඟලනකොට
හෙමිහිට හුස්ම ගන්නකොට
කොහොම මම සතුටු නොවී ඉන්නද ?

ඉතින් යකුනේ මොකද්ද? -මේ හරුපෙ තේරුම
අම්මෙක් නොවී මම -වේසාවියක් වුනේ කොහොමද?

නැද්ද ඕවට උත්තර?
උඹලගෙ මහ ලොකු
......... සංස්කුරුතිය ඇතුලෙ
නිමිත්ත

මෙහි ඇති සිත්තම ජෝජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි
 අපේ සිංහල බෞද්ධ සංකෘතිය අම්මාට මහත්සේ ගරු කරන බව පුන පුනා කියයි .උදම් අනයි .එහෙත් ගැහැණියක් විවාහයෙන් පිට මවක් වුනොත් සමාජය ඇයට මුව පුරා අම්මා යයි ආමන්ත්‍රණය නොකරයි. ඇය දෙස බලන්නේ උපහාසයෙනි පිලිකුළෙනි .ඇය මග වරද්දාගත් නරක ගැහැණියකි . විවාහය තුල හෝ ඉන් පිටත මවක් විමේ ජීව විද්‍යාත්මක සාධක/කාරණා  එක හා සමානය . එහි වෙනසක් නැත . නමුත් විවාහයෙන් පිට දරුගැබක් දරන/ දරුවෙකුට උපත දෙන ගැහැනියකට අපේ සමාජය බොහෝ රුදුරු ලෙස සලකයි . මට ඇවැසි වූයේ මේ කුහක සමාජ සම්මතය ප්‍රශ්ණ කිරීමටයි . කවිය ලියවුණේ ඒ වෙනුවෙනි. බොහෝ ආවේගාත්මක අවස්ථාවක මෙය ලියැවුනි .එම ආවේග ස්වරය නොවෙනස්ව මෙහි පල කලෙමි.

Saturday, September 19, 2009

හලාවතදී නෙත ගැටුන එකම සොඳුරු දසුන

දහස් නෙතු වසා රහස් කොඳුරමින් අහස් ගව්ව වෙත පා නගා යමු අපි
කැකෑරෙන හිරු තාප සදිසි
හද දවන නෙක සෝසුසුම්
මොහොතකට අමතක කර
ඉසිඹු ලන්නට..........
අපේම අපේ ලොවක
කිහිරඟුරින් දැවෙන රලු පරලු මහපොලවම සෙනෙහස් දියෙන් පෙඟි බලනු මැන පෙම්මල් පුබුදන අපූරුව Stopped at Chilaw at the end of a tired and wired day ,nothing was there to make me happy.everything was dry and turned to brown ,just only the Palmyra trees around.this is the only scene which makes me happy on that tired evening.
Location -Fishing harbor area of Chilaw

Friday, September 18, 2009

හදවත් සිහින සාප්පුවේ සිටි වියපත් දෙනෙත



බුතුවාන් නුව



වීදි දිගේ
සැරිසරද්දී
ගොඩවැදුනා එක
සිහින සාප්පුවකට

ආගිය තතු විමසා
මා ලංකාවෙන් වග
ඈ දෑනගත් විට
දිලිසුනා කඳුලක්
වියපත් නෙතු අග

එක නිමේෂයකින්
මහාද්වීප දෙකක් යාකල
අතීත තුරුනු පෙමක
නටබුන් දිගහැරුනා
මා අබියස

කිසිකලෙක මාල නොපැලඳුවද
ඇගෙන් තෑගිලද විසිතුරු මාලය
දෝතින්ම බාරගත්තෙමි
සදාතනික ප්රේමයට
පුද දුන් පඬුරක් ලෙස


රාජකාරි ගමන් බිමන් ,තව නොයෙකුත් වැඩ අධික වුනු ඉතාම කාර්යබහුල දින පහක් නිමාකරල කුරුණෑගල ඉඳලා නිවසට සේන්දුවුනෙ ඊයෙ හවස් යාමෙ .දවස් පහක කිලුටු ඇන්දුම් කැඩුම් ,අනික් ලට්ට ලොට්ට පිරුනු ගමන් මල්ල කල්නොයවා අස්පස්කරන්න හිතුනෙ එන සතියෙ තියෙන ගමන් බිමන් මතක්වෙලා.නැත්නම් ඉතින් කිලුටු තමයි අඳින්න වෙන්න .

මම මේ ගමන් මල්ල මෑතක ඉඳලා දිගු සංචාර වලදි ගෙන යනවා .බෑගයෙ පිට සාක්කුව අස්පස් කරද්දි නෙත ගැටුන දෙයකින් මොහොතකට මගේ හිත සසලවුනා.ස්වාභාවික මුතු ,සිප්පිකටු,පොල්කටු වලින් හැඩදැමූ ඒ විසිතුරු මාලය අතේ රඳවගෙන මොහොතකට කල්පනාලෝකෙක මම තනිවුණා.අත රැඳි මාලයේ මුතු ඇට අතරින් දිලිසුණ වියපත් දෙනෙතක කඳුලු කැට දෙකක් මට මැවි මැවී පෙනුනා

මම නැවතිලා හිටිය ඇල්මොන්ට් සිටි හෝටලයෙන් එලියට බැස්සෙ හවසටවත් ටිකක් බුතුවාන් නගරයයේ මගතොට අවිදලා බලන ආසාවෙන් .මගේ කාර්යාල සගයො බොහෝදෙනෙක් ලද අවසරයෙන් ගයිසානෝ සාප්පු සංකීර්ණය බලා ගියේ ෂොපින් කරන්න .ඒත් මම කැමති මෙහෙම වෙලාවක් ලැබුනම මගටතොට ඇවිදලා ජනජීවිතය දකින්න.රටින් රට මිනිස්සු ජීවත්වෙන විදිය ඇවතුම් පැවතුම් වෙනස්නෙ .ඒවා කැමරාවට හසුකර ගැනීමත් මගේ විනෝදාංශයක්. ආහ්.... මට අමතක වුනානෙ කියන්න බුතුවාන් ,පිලිපීනයේ මින්ඩනාවෝ දූපතේ තියෙන සංචාරකයො ගැවසෙන පුංචි නගරයක්.


ඇල්මොන්ට් සිටි හෝටලයේ ඉඳල හතර අතටම විහිදුනු ජනාකීර්ණ වීදි අතරින් මම හෙමිහිට ඉදිරියට ගියා.අසල තියෙන් කුඩා දේවස්තානයේ සීනු හඬ සවස දේව මෙහෙයට බැතිමතුන් කැඳවනවා.හැමදාම උදේට මම අවදිවෙන්නෙත් මේ සීනු හඬට .දෙව්මැදුර ඉදිරිපස වීදි දිගේ පුංචි මල් කඩ පේලිය අලුත්ම අලුත් මල් පොකුරු වලින් පිරිලා,දෙව් මැදුර අබියස තියෙන කුඩා උද්යානය ජනාකීර්ණ නගරයට ලස්සනක් එක්කලා. මින්ඩනාවෝ දූපතේ නගර නිර්මාණයත් හරි අපූරු දෙයක්.හැම නගරයකටම සේන්දුවෙනකොට නගමධ්‍යයෙ දෙව්මැදුරක් සහ උද්‍යානයක් දැකගන්න පුලුවන්න් .ඒ ඔවුන් ස්පාඤ්ඤ නගර නිර්මාණයෙන් ලද ආභාෂය නිසා ලු .මිඩනාවෝ දූපත කාලයක් ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වෙලා තියෙනවා.ඉතින් ඔය නගර නිර්මාණ කලාවත් යටත්විජිත උරුමයක්.එහෙම කිව්වෙ මගෙ පිලිපීන මිතුරිය ජින්ග්.


මල් කඩ වීදියත් පහුකරගෙන උද්‍යානය කෙලවරට පියමන් කල මම නතරවුනේ සංචාරකයන්ට මගපෙන්වන විසිතුරු බඩු අලෙවිකරන පොඩි කඩ පොඩ්ඩක් ගාව.කරන්ගා හාර්ට් කියල දැන්වීම් පුවරුවෙ සටහන්වෙලා තිවුනා. කරන්ගා, බුතුවාන් වලට නුදුරෙම තියෙන ලස්සන සන්චාරක නගරයක් . යම්දෝ නොයම්දෝ කියලා සාප්පුව ඉදිරියට වෙලා ලතවෙනකොට එක් වියපත් කාන්තාවක් එලියට ඇවිත් බොහොම උනුසුම් ලෙස මාව පිලිගෙන ඇතුලට එන්න ආරධනා කලා.ඉතින් නොගිහින් කොහොමද?මම සාප්පුවට ඇතුල්වෙනකොටම දොරකොඩ වාසනාව ගෙන එන්න එල්ලල තිබුණ හදවත් හැඩයෙන් යුත් චිම්ස් සිලි සිලි ගාලා සුලඟට නැටුවා.


පීලිපීන වැසියන් බහුතරයකට ඉන්ග්‍රිසි කතා කරන්න පුලුවනි ,ඉතින් මේ වියපත් කාන්තාවත් සුපුරුදු ලෙසින් මගෙන් ආගිය තොරතුරු අහුවා.සාප්පුවෙ සිරි විසිතුරු නරඹන ගමන්ම මම ලංකාවෙන් රජකාරි ගමනකට ආව කෙනෙක් කියලා වැඩි විස්තර දැනගන්න මගේ රාජකාරි කාඩ්පත ඇයට දුන්න ."ඔබ ලංකාවෙන්ද"? පුදුමයෙන් වගේ ඇය නැවතත් මගෙන් ඇහුවා."ඔව්" මම උත්තර දුන්න වැඩි සැලකිල්ලක් නැතුව.

එක නිමෙෂයක් මා දිහා බලාසිටිය ඇය අසල වූ දිවානය පෙන්වා අසුන් ගැනීමට මට අතින් සන් කලා. මම වාඩිවෙලා කුතුහලයෙන් ඇගේ නිහඬ මුහුණ දෙස බැලුවා.

"මගේ පෙම්වතා ශ්‍රී ලාංකිකයෙක් . අපි මුනගැහුනෙ මීට අවුරුදු විසිපහකට විතර කලින් ,මැනිලා වලදි. එයා ස්වර්නාභරණ කලාව ගැන පාඨමාලාවක් හදාරන්න මම ඉගෙනගත් ආයතනයට ඇවිත් හිටියා.අපි හමුවුනේ එහෙමයි ".

සන්සුන් ඒත් මොකක්දෝ ශෝකී ස්වරයකින් එය කියනවා.හරියට දයිව යෝගයකින් වගේ වෙන්න ඇති ඒ හමුවීම ,නැගෙනහිර අසියාවත් දකුණු ආසියාවත් එක මොහතකින් එක්වෙන්න ඇති ඇස්වලින් කතාකරලා.මගේ හිත කියනවා.

"කෝ දැන් ඔයාගෙ පෙම්වතා?" ඉවසිල්ලක් නැති මගෙන් ඇයට පැනයක්.

"අපි අවුරුදු දෙකක් පෙම් කලා. අන්තිමට විවාහ වෙන්න හිතලා දෙපැත්තෙම දෙමවුපියන්ට මේ කාරනේ කිව්ව .එත දෙගොල්ලම අපිට විරුද්ධවුනා. එයා ඉස්ලාම් බැතිමතෙක් .මගේ මුලු පවුලම කිතුනු උදවිය අපේ අම්ම කොහොමටවත් කැමතිවුනේ නැහැ එයා වගේ කෙනෙක් බඳිනවට .අන්තිමට එයාගෙ පවුලෙ උදවිය කිව්ව මම ඉස්ලාම් ආගම වැලඳගත්තොත් විවාහයට ඉඩ දෙනවා කියලා.ඒත් මට පුලුවන් කමක් තිබුනෙ නැහැ එහෙම තනි තීරණයක් ගන්න ,අන්තිමට අපි වෙන්වුනා ,එයා ලංකාවට ගියා ,එතකොට මට වයස විසිහතක් .ඉන්පස්සෙත් මට එයාගෙන් ඉඳහිට කෙටි ලිපියක් දෙකක් ලැබුනා.මගේ උපන්දිනයට නම් අනිවාර්යෙන්ම සුබපැතුම් පත් ලැබුනා .එත් කාලෙකට පස්සෙ එවා ඔක්කොම නැවතුනා . දැන් එයා විවාහ වෙලා ලොකු දරුමල්ලොත් ඇති ".

ප්‍රේමයට කොහින්ද ආගම් ,ජාතිබේද වගේ සීමා මායිම් වැට කඩොලු? හිත ගිය තැන මාලිගාවනෙ. "එයා ලංකාවෙ නැගෙනහිර පලාතෙ කෙනෙක්"( ඇය ඉතා නිවැරදිව ඔහුගේ නම සහ ගම් පලාත කිව්වත් මට දැන් එය මතක නැහැ )
මම නොසන්සිඳුනු කුතුහලයෙන් ඇයදෙස බැලුවෙ "ඉතින් ඊට පස්සේ මොකද වුනේ"කියලා අහන්නවගේ. එයා මගේ හිත තේරුම්ගත්තා වගේ උත්තර දුන්න.

"මම ඊට පස්සෙ විවාහයක් ගැනවත් ,අලුත් ප්‍රේමයක් ගැනවත් තිතුවෙ නැහැ.මගේ මුලු කාලෙම කැප කලේ මේ ව්‍යාපාරයට
"
සිහින් කඳුලු බිඳු දෙකක් ඇගේ නෙතු අග රැඳිලා.මට තව මොනවත් ඇගෙන් අහන්න බැරි ගතියක් හිතේ ඇතිවුනා .මට නොදැනිම දිගු සුසුමකුත් පිටවුනා. අවුරුදු විසිපහක් කොහොම ගතවෙන්න ඇතිද?
මම දිවානයෙන් නැගිටලා සාප්පුව සිසාරා හිස් බැල්මක් හෙලුවා . මොකක්දෝ වරදකාරී හැඟීමක් මගේ හිත ඇතුලෙ තෙරපෙනවා වගේ .මොනව වුනත් මගේ රටේ කෙනෙක් නිසානෙ ඇයට මෙහෙම වුනේ. මට එහෙම හිතුනා.ඇය නම් අමුත්තක් නොපෙනවා මට කරන්ගා ලී කැටයම් ගැන විස්තර කරන්න පටන්ගත්තා.
මට ඔනෙ වුනේ එයින් එක ලී කැටයමක් මිලට අරගෙන ඉක්මනට එතැනින් යන්න. මම ලී කැටයමකට මුදල් ගෙවද්දී මොහොතක් ඉන්න කියලා ඇය අතින් සන් කලා.ඇය එතැන තිබුණු සිප්පිකටු ,මුතු සහ පොල්කටු වලින් අලංකාර කල විසිතුරු මාලයක් මගේ ගෙල වට පැලඳුවා .
"ඔබට මේ මාලය හරි හැඩයි , මේ ස්වාබාවික මුතු , මේක මගෙන් ඔබට තෑග්ගක් ,ඔබ ලංකාවෙන් නිසා, මට කවදාවත් ලංකාව අමතක වෙන්නෙ නැහැ"
මම කවදාවත් එවැනි විසිතුරු මාල පලඳින්නේ නැහැ.\ඉඳහිට පලඳින චාම් සිහින් රන් දම් වැලක් පමණයි මගේ ගෙල වට රැඳෙන්නේ.ඒත් ඇගේ දිලිසෙන ඇස් හමුවෙ මට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ.
"මේ තෑග්ග ඔබට නෙවෙයි , ඔබේ රටෙන් ආව කෙනෙකුගෙන් මට ලැබුන ප්‍රේමයට පෙරලා දෙන තුටු පඬුරක්" ඇගේ දිලිසෙන වියපත් දෙනෙත් වල ලියැවිලා තිබුනෙ එවැනි කතාවක් .

පසු සටහන

මම නැවත ඇල්මන්ට් සිටි හෝටලයට ගියේ බරවුනු හිතින්.හෝටල් ආලින්දයේ සිටි මගේ මිතුරියන් කීපදෙනෙක් මාව දැකලා හිනහවෙන්න පටන්ගත්තා .
"මේ මොකද මේ කවදාවත් නැතුව සිප්පිකටු මාලයක් දාගෙන .ඔයා මේව පලඳින්නෙ නැහනේ"
මම මගේ කතාව ඒ අයට කිව්වා. ආයෙත් යාලුවො කොක් හඬ දීලා හිනාවුනා.
"වෙලාවට ඔයා ලංකාවෙ කොල්ලෙක් නොවුනෙ .එහෙම වුනානම් එයා ඔයාව එවන එකක් නැහැ.මේ පිලිපීනයේ එහෙම දේවල් වෙනවා ඔනෙතරම්"

මගේ මිතුරිය ජින්ග් හිනාවෙවී කිව්වා.එයාලගෙ හිනාවට එක්වෙන්න බැරි ගතියක් මගෙ හිතේ තිබුනෙ . ඊට දවසකට පස්සෙ මට ආයෙත් මැනිලා බලා පිටත්වෙන්න වෙනවා.ඇගේ ඡායාරුවක් ගන්න ඔනෙ කියලා හිත කිව්වත් ආයෙත් සාප්පුවට යන්න මට හිත දුන්නෙ නැහැ. ඒනිසා බුතුවාන් වලින් පිටත්වෙන දවසෙ උදේ පාන්දර එයාගෙ සාප්පුව අරින්නත් කලින් ගිහිල්ල ගත්ත ඡායාරුපය තමයි ඔයතියෙන්නෙ .පේනව නේද හදවත් හැඩයේ "චිම්ස් "එල්ලලා තියෙනවා?ඇය දුන් තිලිණය මම මැනිලා වලදි මිලට ගත්ත දැන් පාවිචි කරන ගමන් මල්ලෙ පිට සාක්කුවට දාල එහෙමම තියෙන්න
රියා. ඒක කවදාවත් මගේ මිතුරියකට තෑගි දෙන්නවත් , මම පලදින්නවත් හිතුවෙ නැහැ . හැමදාම ඒ විසිතුරු මාලෙ මගේ ගමන් මල්ලෙම තිබුනදෙන් .
හා ..මට දෙයක් කියන්න අමතක වුනා .මම ලංකාවට ආවට පස්සෙ මගේ ඡායරූප බලන අතරෙ ඇතිවෙච්චි අදහසක් නිසා තමයි ඔය කවිය ලිව්වෙ .මේක මගේ සංචාරක අත්දැකීම් වලින් ලියවුන තුන්වෙනි පාර්ශ්යවයේ කවි ප්‍රේම කතාවක් .

Tuesday, September 8, 2009

හද රැඳි සිහින මිනිසා

දිවිමන් තලාවෙහි
නෙක සැතපුම් කණු අතර
කාලයේ වැලිතලා මතින්
වැලලිලා ගිය
මිහිරි පෙම්වතුන්ගේත්
ප්රිය මිතුරු දනන්ගේත්
අතිනත ගත් සැමියන්ගේත්
සොඳුරු මතකම පමණක් ගෙන

උන් රුව ගුණ සමග
එකට කැටිකර
මැවිය හැකිනම් එක
හද රැඳි සිහින මිනිසෙක්
මහා පුරුෂයෙක්
ඔහුට ආලයකරමි මම
සදහටම

Saturday, August 29, 2009

මිහිදන් ආදරය



දුරාතීතේ අන්ධකාරේ
පාලු මූසල සැඳෑ යාමෙක
මගේ හදගැබ සොහොන් කල
වියැකුන මතක සෙල් ලිපියක
මැකීගිය ඉරි,තිත්,කොමා අතරනින්
කියවා ගන්නට වෙහෙසෙමි
එක් වචනයක්
ආදරය

Wednesday, August 26, 2009

සැඟවුන සාක්කි

පිපී හළුවුන මුහුණ
කඳුලු කැට එක දෙක
කිලිටි ලේන්සුව සිඹී
අවපැහැ ඔසරිපොට'ග රැඳි
මල් කැකුලු බීතවී
හීතල හුලඟ කපා එන
බර සුසුම් රැල් පොදී
අඳුරු රෑ මැදියමක
දුටුව රුදු සිහිනෙක
සැඟවුන සාක්කිද ?

සයිබර් බණ වර

සයිබර් බණ වර

නන්දාවනි...
සිත නොව
කයම පමනක් පතන
එමතුද නොව තව
උපභෝග පරිභෝග සම්පත් යදින
එකී දඩයක්කාර මානවකයන්ගැන
අනුකම්පාවෙන්
නරකද දෙසූවොත්
සර්ව රාත්රික
සයිබර් කවිබණක්

දන් දීම




අන්තජාල මන්දාකිනියේ
මිලිනවූ අසෙනිය පෙම්කුසුම්
සිඹ සිඹ ලසොවින්වැලපෙන
නන්දවනි අසනුමැනවි

සාපිපාසාවෙන් යදින
අතරමංවූ දුගියෙකුට
නුඹේ නිකැලැල් හදබඳුන
සිහිලැල් ප්රේමයෙන් පුරවා
පුදදුන් මියුලැසියේ

යමක් නම් පිදියයුත්තේ
නිර්ලෝභීව
නිමල සිතකින්
යලිදු කිසිවකුත්
ලබනු නොරිසිව

එබැවින් නන්දාවනි
සැනහෙව
තුටුවෙව
සිහි එලඹාගනුමැන
මහත් ඵල මහනිසංස ඇති
දනක් පිදූ
උවැසියක ලෙස


නිමිත්ත

අන්තර්ජාලයේ සැරි සැරූ මිතුරියකට සමාන අදහස් ඇති තරුණයෙක් මුනගැසෙයි .බොහො රාත්‍රීන් වල දොඩමළුවෙන ඔවුන් පෙමින් වෙලෙයි . එහෙත් අවසානයේ එය තරුණයා විසින් කල රැවටීමක් බව මා මිතුරිය දැනගන්නා විට ඇය පමා වැඩිය .ඒ වන විට  ඇය ඔහුට බොහෝ ආදරය කරන්නට පටන්ගෙන ඇත . මේගැන සුසුම්ලමින් මා මිතුරිය පැවසූ විට ඇය වෙනුවෙන් මේ කවිය ලිව්වෙමි .මෙය ලියවුණේ ගාලු පාරේ දුර ගමනක් යන අතර මගේ වාහනයේදීයි .මුලින්ම මේ කවිය මූණු පොතේ කවි පිටුවෙහි පල කලෙමි .

මෙම සිත්තම ජෝර්ජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි .

වැහි බිඳු වැලපීම

වැහි බිඳු එකිනෙක
නලලත පතිතව
දෙතොලග සිඹ සිඹ
දෙකොපුල් තෙමා
රූරා වැටී
රහසින් මට කියුවා
මල්වරුසාවක
බොඳවුන
සිහිනයක් ගැන

මා මිය නොගිය වග

සිහින බොඳවුනාදෙන්
මල්වරුසාවට
පැතුම් ගිලිහුනාදෙන්
නටු අගින් වට මල් ලෙසට
ගොළු වී හද ගී වැටුනත් තටු සිඳී
කමක් නෑ දැන් මට

එකතුකර ඒ ඔක්කොම
පදම් කර හොඳ හැටියට
සිනහ ගෙන අනුපානෙට
ගැයුමට හැකියි දැන් මට

ඉඳහිට බිඳුණු සිහිනෙක
සුන්බුන් මුණ ගැහුණු සඳ
මුතු මැණික් සේ වටිනා
හැකිය අහුලාගන්නට
තැන්පත් කරන්නට
ආදරයේ නිදන් ගැබ

පාට පාට පැතුම් මලේ
එකතු කර ගිලිහුණු පෙති
තබා අලුත් රටාවකට
වියා නව සුබ පැතුමක්
එවන්නට හැක ඔබට

එතකොට ඔබ දැන ගනීවි
පැතුම් ගිලිහී
සිහින බොඳවී
ගොළුවී හද ගීත
වැටුනත් තටු සිඳී
මා
මිය නොගිය වග

කසාදය

මට
මා අහිමි විය
ඔහුට
මා හිමිවිය

වසන්ත ගීත

පිපිරී ඉරිතැලී
ලේ ගලන
හදවතින්
තටු සින්දී බිමවැටී
විඩාපත් වූ ගතින්
කෙවිලියක් ගයන්නී
වසත් කල ශෝක ගීයක්

මල් මුවරදින් මත්වී
අලුත්කර පැරනි පෙම් ගී
හද වීනාව වයා
පෙරමග බලයි කොවුලෙක්
වසත් කල එනතෙක්
හදවත් දඩයමට

මං නැතිවෙලා

මගේ පන්තියෙ
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය

බලපොරොත්තුවක්
පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය

හීනෙන් ගෑ සුවඳක් වගේ
මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට

බලපොරොත්තුවේ උදෑසන a good morning .....


දිගු අඳුරු රැය ගෙවී
දහවල් සරතැසනිමාවී
අයෙමත් ඇවිල්ලා අර
බලාපොරොත්තුවේ
උදෑසන

සිහිලැල් සුලඟට
රසුදැල් හඬවා
මනකල් සිතුවිලි
නවමල් පුබුදා
කවුලුවමත හිඳ
ගීතගයනවා අර
බලාපොරොත්තුවේ
උදෑසන

සුබ සිහිනයක වෙලී
සිඹ සිඹ සැනැහෙන්න
සිතුවිලි වලට තටු ඇවිත්
ඈතින් ඈතට යන්න
හදවත කිති කැවී
ආයෙ ආයෙත් හිනැහෙන්න
ආයෙමත් ඇවිල්ලා අර
බලපොරොත්තුවේ
උදෑසන