Monday, September 21, 2009

ගෙදර බුදුන් අම්මා



ගෙදර බුදුන් අම්මා.......
ඉතින් යකුනේ මම
අම්මෙක් නෙවෙයිද?
මේ පැටියා උපදිනකන් මාත්
දහ මාසයක් ඇඟිලි ගැන ගැ
පෙරුම් පිරුවා

මේකගේ අප්පා සෝමයා -මාව අනාත කරලා ගියා ගියාමයි
ආවෙ නෑ පැත්ත පලාතේ -ඒත් මගේ නෑ අමනාපයක්

අනේ මේ පැටියා
හීන් අතපය ගහලා
මයෙ කුසේ දඟලනකොට
හෙමිහිට හුස්ම ගන්නකොට
කොහොම මම සතුටු නොවී ඉන්නද ?

ඉතින් යකුනේ මොකද්ද? -මේ හරුපෙ තේරුම
අම්මෙක් නොවී මම -වේසාවියක් වුනේ කොහොමද?

නැද්ද ඕවට උත්තර?
උඹලගෙ මහ ලොකු
......... සංස්කුරුතිය ඇතුලෙ
නිමිත්ත

මෙහි ඇති සිත්තම ජෝජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි
 අපේ සිංහල බෞද්ධ සංකෘතිය අම්මාට මහත්සේ ගරු කරන බව පුන පුනා කියයි .උදම් අනයි .එහෙත් ගැහැණියක් විවාහයෙන් පිට මවක් වුනොත් සමාජය ඇයට මුව පුරා අම්මා යයි ආමන්ත්‍රණය නොකරයි. ඇය දෙස බලන්නේ උපහාසයෙනි පිලිකුළෙනි .ඇය මග වරද්දාගත් නරක ගැහැණියකි . විවාහය තුල හෝ ඉන් පිටත මවක් විමේ ජීව විද්‍යාත්මක සාධක/කාරණා  එක හා සමානය . එහි වෙනසක් නැත . නමුත් විවාහයෙන් පිට දරුගැබක් දරන/ දරුවෙකුට උපත දෙන ගැහැනියකට අපේ සමාජය බොහෝ රුදුරු ලෙස සලකයි . මට ඇවැසි වූයේ මේ කුහක සමාජ සම්මතය ප්‍රශ්ණ කිරීමටයි . කවිය ලියවුණේ ඒ වෙනුවෙනි. බොහෝ ආවේගාත්මක අවස්ථාවක මෙය ලියැවුනි .එම ආවේග ස්වරය නොවෙනස්ව මෙහි පල කලෙමි.