Showing posts with label ආදරයේ තුන්වෙනි පාර්ශවය. Show all posts
Showing posts with label ආදරයේ තුන්වෙනි පාර්ශවය. Show all posts

Monday, April 25, 2011

විවාහය සහ ඛලීල් ජිබ්‍රාන්


ඔබ දෙදෙන සදාකල්හිම එකව වෙසෙනු ඇත
උපතේ සිට  සීතල මරණය අතවනන
පාලු සුසානයක මිහිදන්වන තුරු
දෙවියන් අබිමුව හෘද සාක්ෂි ඉදිරියේත්
ඔබ එක්ව වෙසෙනු ඇත


ඒත් ඔබ දෙදෙන අතරින් පොඩි ඉඩක් තබනුමැන 
දේවදූතයන් හට අත් තටු සලමින් රඟන්නට
ආදර රැහැන් පටින් නොබැඳී
එකිනෙකාට ආදරය කරන්න
එවිට රල රැලි නගන සයුර
වෙරළත සිප ගන්නා ලෙස 
ආදරය, ඔබේ ආත්මය සිඹිනු ඇත


උනුන් ගේ බඳුන් පැනින් පුරවාලන්න
නමුත් එක බඳුනකින් පමනක්
පැන්සනහා නොගන්න
ඔබේ පාන් කැබැල්ලෙන් අනිකා සන්තර්පණය කරන්න
ඒත් එකම පාන් ගෙඩියකින් අනුභව නොකරන්න
සතුටේ දී උනුන් හා ප්‍රීතියෙන් රඟ දෙන්න
නමුත් ඇවැසි විට අනිකාට තනිවෙන්න ඉඩදෙන්න
මියුරු සර නගන වෙණ තත්
වෙන් වෙන්ව පිහිටි සේ


ඔබේ හද පුද දෙන්න
එකිනෙකා වෙනුවෙන් මිය යන්න  නොව
ජීවිත අත්වැල අල්ලාගෙන යන්න
දෙවොලක විසල් කුලුණු
වෙන්ව නැගී සිටිනයුරින් 
ඕක් ගස් සෙවණෙහි සයිප්‍රස් ගස් නොවැඩෙන නිසා
එකිනෙකාගෙන් මදක් ඈත් වී
උනුන් හා නැගී සිටින්න


මේ විවාහය ගැන ඛලීල් ජිබ්‍රාන් කියූ මා සිත් ගත්  අදහසක සරල සිංහල පරිවර්තනයකි . ඛලීල් විවාහය ගැන කියූ මේ අදහසම චාලි ප්‍රයිඩ් ද ගයනු ඇත .සැමවිටම උනුන්ගෙ ජීවිත  අතරෙහි ඉඩක් තිබුණවිට සතුට සහ ආදරය දෝරෙ ගලා උතුරා   යන්න ලෙහෙසිවනු ඇත  .

නමුත්  අපි තේරුම්ගන්න අඩුවෙන්ම උත්සාහ දරන්නෙත් එයමය .

ප/ලි
ඛලීල් ජිබ්‍රාන්ගේ මේ අදහස මම දුටුවේ මූනු පොතේ මගේ හොඳම මිතුරියකගේ සටහනකින් .මේ එය අසුරු කරගෙන මා විසින් කල සරල පරිවර්තනයක් .මේ සති අන්තයේ හිමාල මිටියාවතේ ගමන් කතන්දර  ලියන්න හිතාගෙන ඉන්නවා.

Saturday, October 3, 2009

නුඹට රිසි නම් යන්ට යන්නෙමි මගේ හිමියනි

සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ "අග පිපි මල්" නවකතාව මම ඉතාම ආසාවෙන් නැවත නැවතත් කියවන පොතක්.පසුව එය ටෙලි නාට්‍යක් ලෙසක් රස වින්දා.මධ්‍යම පාන්තික පවුලක සිදුවෙන් දික්කසාදවිම ගැන කියවෙන "අග පිපි මල්" මට කාරණා රාශියක් නිසා හරි සමීපයි .මගේ වෘතීය ජිවිතය ඇරඹෙන කාලයේ බොහෝ දික්කසාද නඩු ගොනු කියවන්න ලැබුණා.අපි මේ නඩු ගොනු දකින්නෙ කරුණු කාරණා ගොඩක් සම්පිණ්ඩණය කරලා නිගමන වලට එලඹෙන්න උවමනා "තොරතුරු සටහන් "හැටියට .නමුත් එයින් එහාට ගිය කොයි තරම සංවේදී හද සසල කරන කතා මේ වටා තියෙනවද ?

කසාද, දික්කසාද නීතිය සහ වචන අපිට ලැබුනෙ ලන්දේසි කාරයන්ගෙන් . පැරණි රෝම ලන්දේසි නීතිය අනුව නම් "කසාදය " ගිවිසුමක් .ඒකියන්න්නෙ "කන්ට්‍රැක්ට්" එකක්. හරි භෞතික දෙයක්. ඔය ගිවිසුම නීත්‍යානුකූලව විසුරුවා හැරීම තමයි දික්කසාදය . උඩරට නීතිය අනුව , මුස්ලිම් නීතිය අනුව සහ සාමාන්‍ය නීතිය අනුව කසාදයක් විසුරුවන්න උවමනා වෙන හේතු එකෙනෙකට වෙනස් . ඒත් ඔය කියන හේතු ඉදිරිපත් කරලා උසාවිය සෑහීමකට පත්වෙනවනම් කසාදෙ විසුරවන්න පුලුවන් .

කසාද සහ දික්කසාද ගැන තියෙන නීති කරුණු භෞතික හා රාජකාරි දේවල් වුනත්, මේ නඩු කටයුතු වලදි හද සසල නොවෙනවා කිව්වොත් එය හැබෑවක් නෙවෙයි .මේ කතන්දරය ලියන්න හිතුනෙත් ඒ නිසා 'අග පිපි මල් ' හි තේමා ගීතය මගෙ සවනට වැකුන වෙලාවෙ ඒ හැඟීම තීව්‍ර වුනා .මේ මගෙ ආධුනික කාලයේ අත් දැකීමක්.මෙහෙම දේවල් ගොඩක් තිබුනත සමහර වෘතීය කරුනු හරස් වීම නිසා ඒවා ලියන්න බැහැ.

එදා අගනුවරට ආසන්න  උසාවියක දික්කසාද නඩුවක නසයි අඥාවක් නියත කරන දවසක්. තවමත් තරුණවිය නොඉක්මවූ ප්‍රකට පුද්ගලික ආයතනයක සේවය කරන කඩවසම් විධායක නිලධාරියෙකුත් , ඉතා රූමත් තරුණ වය්දයවරියකුත් පෙත්සම්කරු හා වග උත්තරකරු ලෙස පෙනීසිටියා. සැමියා නම් සිටියෙ මුහුනට නගාගත් උඩඟු සිනාවෙන් .ශෝකයෙන් වෙලුන බිරිඳ සෙමින් ඉකිලන වග මම දුටුවා . ඇය අපේ සේවා දායිකාව . මෙගේ ජ්‍යේෂ්ට සොහොයුරියක් ඇය වෙනුවෙන් පෙනී හිටියා .

නසයි තීන්දුව නියත කරමින් විවාහය විසිරවීමේ ආඥාව දිස්ත්‍රික් උසාවිය ප්‍රකාශකලා. ඇගෙ සිහින් ඉකි බිඳුම ඇයටත් නොදැනීම මහා කඳුලු ගංගාවක් වෙලා වේගවත් ඉකි බිඳුමකට හැරවිලා හිතේ හිරකරගෙන හිටි මහා වේදනාවක් ඉවුරු බිඳගෙන ගලා හැලෙනවා. නියෝගය නියත වීමත් සමග ඇගේ සැමියාව සිටි තරුණ නිලධාරියා නම් ඉතාම උදාරම් ලීලාවෙන් ,උඩඟු හිනාවෙන් තම නවීන මෝටර් රථයෙන් උසාවි බිමෙන් පිටව ගියා .ඒත් ඇය ?

කාලයක් ආදරයකරලා , අවුරුදු පහක් එකට දීගකාලා ,නාමෙට හරි එක වහලක් යට හිටිය දෙන්නෙකුට , තමන් එක්ක එකට හිටිය ගෑනි දිහා එකවරක් වත් නොබලා මෙහෙම යන්න පුලුවන්ද ? අඩු තරමින් මම යනවා කියන්නවත් හිතක් නැත්ද ?

ඇගේ මහා කඳුලු ගංගාව අපි සියලුදෙනාම වේදනාවට පත් කලේ ඇගේ කතාව අපි දන්නා නිසා . මෙවන් ගැහැනියකට අනුකම්පාව ඇවැසි වුනත් ඇය හැම දෙනගේම කුහුලින් පිරුන ඇස්වලට කතා මවන රසඳුනක් නොවිය යුතුයි .කසාද නිවසට නැවත යාමට අයිතිය අහිමි ඇයට අඩු තරමින් නිදහසේ හැඬීමටවත් ඉඩ දිය යුතුයි . ඒ නිසා අපි තීරණය කලා ඇය අපේ නිල මැදිරියට මදකට ගෙන යන්න .

මේ දෙන්නගේ විවාහය පෙම් සබඳතාවක් . ඒකත් හරි වෙනස් විදියට සිද්ද වුන දෙයක්. මේ තරුණයා ඇය හඳුනා ගන්නෙ , අගේ සොහොයුරියට ඉදිරිපත් වූ විවාහ යෝජනාවකින් . සොහොයුරියට සහ දෙමාපියන්ට ඔහු නොගැලපුනත් ඇගේ හිතේ ඔහු වෙනුවෙන් සෙනෙහසක් උපදිනවා. එය පෙම් සබඳතාවක් වෙලා දෙමවුපියන් එරෙහි වුවත් ඇය නොවෙයි එය නවතන්නෙ . "ඔය විවාහය කරහත්තොත් අයෙත් පවුලට වැද්ද නොගන්න බවට" ඇගේ මවත් ,පියාත් තර්ජනය කරද්දි , ඇය තනි කැමැත්තට ආසිරි සිලෝගීත දෙමාපිය හිතමිතුරු පිරිවර සෙනග නැතිව ඔහු හා අතිනත ගන්නවා ඒ වසර පහකට උඩදි .

එතකොට ඔහු ආයතනයේ සාමාන්‍ය මට්ටමෙ නිලධාරියෙක් . එත් ඇගේ මෙහෙයවීම , උනන්දු කිරීම විතරක් නෙවෙයි , ඇගේ ආර්ථික ශක්තිය නිසාත් ඔහුට හැකිවෙනවා තමන්ගෙ රැකියා ක්ෂ්ත්‍රයේ ඉහල සුදුසුකම් ලබන වෘතීය විභාග කීපයකට පෙනී සිට සමත් වෙන්න . ඒනිසා ඔහු ඉතා ඉක්මනින් ආයතනයේ ඉහලම මට්ටමේ තනතුරක් හොබවන විධායක නිලධාරියෙක් වෙනවා.ප්‍රශ්නෙ පටන්ගන්නෙ එතැන ඉඳලා .
අවුරුදු පහකට පස්සෙ ඔහුට ඇගේ අඩුපාඩු පේන්න ගන්නවා . ඔහුගෙන් ඇයට එල්ලවන පලවෙනි චෝදනාව හා දෝෂාරෝපණය දරුවන් නැතිකම . ඒක අවියක් කරගෙන ඇයට හිත් රිදවීම කරන්න විතරක් නෙවෙයි ඇයව නොතකා හැර වෙන තරුණියන් හා පෙම් සබඳතාවල පැටලෙන්නත් ඔහු පසු බට වී නැහැ . අන්තිමට ඔහුගේ ආදරය සිඳී වියලී යාමත් එක්ක ඇතිවන දැඩි බලපෑම් නිසා ඇය විවාහක නිවස හැරදා යනවා. නැවත ඔවුන් මුණගැහෙන්නෙ උසාවි බිමේ , ඔහු විසින් ඇය වග උත්තර කාරිය කර හා ඔහුපෙත්සම් කරු ලෙස පවරන දික්කසාද නඩුවකදියි.

ඔහු මේ නඩුව පුරාම ඇගෙන් දික්කසාදවීමේ දැඩි මතයක සිටියා.ඔහුට ඇය පෙනෙන්න ඇත්තෙ අලුයම ලූ කෙල පිඬක් වගේ .

ඇය මේ තරම් හඬා වැලපුනේ තාමත් ඇගේ හිතේ ඔහු වෙනුවෙන් තියෙන ආදරයත්, තමන් ගැන ඇතිවුන , ආත්මානුකම්පාවත් නිසාවෙන්න ඔනෙ. දෙමවුපියන් පවා එරෙහි වෙද්දි තනි මග ගිය ගැහැණියක් වූ ඇයට ඔහුත් ඇතුලුව බොහෝ දේ අහිමිව ගොස් තිබුණා.පවුලෙහි සියළුදෙනා ඇය සැලකුවේ ඔවුන්ගේ මුහුණු වල දැලි ගෑ එකියක් ලෙස .ඒ නිසා ගෙදරට ,පවුලට නැවත ගෙන්වා නොගැනීමේ පිය මහරජ අණ ක්‍රියාත්මක වෙලා තිබුණ.විනාඩි විස්සක් පමණ එක දිගට ඇය හැඬූ අයුරු අපේ හිත් සසල කලා.

උසාවි බිමෙන් නික්මී යන ඇයට ඇත්තේ කාගේ සවියද?සමාජයෙන් ඇයට කොයිතරම අපවාද ,අවමාන එල්ල වෙවිද ? මගේ හිතෙන් ආව එකී පැනයත් සමග ඇය නැගීසිටියේ එතනින් නික්ම යන්න. මගේ සහෝදර නිලධාරිනියගේ සන් කිරීම අනුව මම ඇය ඇගේ මෝටර් රථය තෙක් කැඳවා ගෙන ගියා .

අපි නිහඬව උසාවි සංකීරණයේ මදක් ඈතින් වූ රථ ගාල වෙත පිය මැන්නා.
"මේ මගේ පලවෙනි සහ අවසාන ආදරය, දැන් මම හිත හදාගන්න ඔනෙ , මාරුවක් අරගෙන මම ඈත පලාතකට යනවා ටික කාලෙකට .එතකොට මට මේවා අමතක කරන්න පුලුවන් වෙයි හෙමින් හෙමින් "

නිහඬ බව බිඳිමින් ඇය සෙමින් මා හා කතා කරන්න පටන් අරන් තිබුනා.මටත් නොදැනී ඇය මගේ අතක් අල්ලාගෙන මෝටර් රථය වෙත පිය මනිමින් හිටියා. ඇගේ අතේ සීතල ස්පර්ශය මට දැනුනා.ඒත් මම උත්සාහ කලේ නැහැ මගේ අත මුදාගන්න ඇයගෙන්.

එදායින් අවුරුදු පහකට කලිනුත් මේ ගැහැනිය ඔහු හා අතිනත අරන් ඇගේ මංගල ගමන යන වෙලාවේ ඇයට ආසිරි සුබ පැතුම් පතන්නට , මල් වරුසා විසුරුවන්නට කවුරුත් නොහිටින්න ඇති . අදත් ඇය කිවිවෙකුත් නැතිව , හුදෙකලාව එදා බැඳි පෙම් දම් විසුරුවා දමා තනිමගක යන වග මට සිහිවුනා.
"බැන්ද රන් දම් මගේ ගෙල වට මුදා අහසට..... නුඹට රිසි නම් යන්ට යන්නෙමි මගේ හිමියනි".....
පසු සටහන
ඇගේ සිදුවීම අපේ රාජකාරි දිවියේහි තවත් එක දික්කසාදයක් වුවත් එය කොපමණ අපේ සගයන් ගේ හද සසල කලාද කිව්වොත් ඇය වෙනුවෙන් පෙනී සිටි මගේ සහෝදර නිලධාරිනිය හවස ඇයට තිබුන සියලු රාජකාරි නඩු කටයුතු වෙනත් සොයුරෙකුට පවරා වරුවක නිවාඩු ගෙන ගෙදර ගියා ඇගේ හිත මහත් සේ කම්පාවූ වග පවසමින්. දික්කසාද නඩු ගොනු මහ ගොඩක් කියවූ මම ඊට ටික කාලෙකට පස්සෙ තීරණය කලා උසාවිය මට හිමි රාජකාරි ස්ථානය නොවන වග .

Wednesday, September 30, 2009

නිවාඩු අද...... හිත (ආදරෙන් )ලෙඩවෙලා

නිමක් නැති මීටින් -ඉක්මනට තීරන ගන්න
පිටු ගනන් වාර්තා-හර බර ඉදිරි සැලසුම්
ආයෙත් සාකච්ඡා- තීරන කිරා මැන බලන්න
ඊමේල් ඇලර්ට්- ඔබේ දැනගනීම පිනිස
ඩෙඩ්ලයින් දිනපොතේ -මරණීය රතු එලි
කොන්ෆරන්ස් කෝල්-ලෝකෙම තනි යායක් 
වැඩ කරන්න  


ලැප්ටොප් එක බදන්-විසිහතර පැයේ නොනිමෙන ආදරය
නිල් පාට එල් සී ඩී තිරයෙන් ඈතට
වලා තීරයෙන් එහා හිම කඳු යහනට
පලා යන්න එක මොහොතක් හිතට
ශෝට් ලීව්, හාෆ් ඩේ ,ඇනුවල් ලීව්- ඔක්කොම කැන්සල්

එහෙනම් සික් තමයි- එත් මොකක්ද ලෙඩේ ?
පාලුව කාන්සිය තනිකම -මූලික රෝග ලක්ෂණ
ඉබාගාතේ ඇවිද යන හිත- ඈත පාවෙන සිහිනයක
හිත ලෙඩ වෙලා
නිවාඩු අද
හිත (ආදරෙන්) ලෙඩවෙලා

Saturday, September 19, 2009

හලාවතදී නෙත ගැටුන එකම සොඳුරු දසුන

දහස් නෙතු වසා රහස් කොඳුරමින් අහස් ගව්ව වෙත පා නගා යමු අපි
කැකෑරෙන හිරු තාප සදිසි
හද දවන නෙක සෝසුසුම්
මොහොතකට අමතක කර
ඉසිඹු ලන්නට..........
අපේම අපේ ලොවක
කිහිරඟුරින් දැවෙන රලු පරලු මහපොලවම සෙනෙහස් දියෙන් පෙඟි බලනු මැන පෙම්මල් පුබුදන අපූරුව Stopped at Chilaw at the end of a tired and wired day ,nothing was there to make me happy.everything was dry and turned to brown ,just only the Palmyra trees around.this is the only scene which makes me happy on that tired evening.
Location -Fishing harbor area of Chilaw

Friday, September 18, 2009

හදවත් සිහින සාප්පුවේ සිටි වියපත් දෙනෙත



බුතුවාන් නුව



වීදි දිගේ
සැරිසරද්දී
ගොඩවැදුනා එක
සිහින සාප්පුවකට

ආගිය තතු විමසා
මා ලංකාවෙන් වග
ඈ දෑනගත් විට
දිලිසුනා කඳුලක්
වියපත් නෙතු අග

එක නිමේෂයකින්
මහාද්වීප දෙකක් යාකල
අතීත තුරුනු පෙමක
නටබුන් දිගහැරුනා
මා අබියස

කිසිකලෙක මාල නොපැලඳුවද
ඇගෙන් තෑගිලද විසිතුරු මාලය
දෝතින්ම බාරගත්තෙමි
සදාතනික ප්රේමයට
පුද දුන් පඬුරක් ලෙස


රාජකාරි ගමන් බිමන් ,තව නොයෙකුත් වැඩ අධික වුනු ඉතාම කාර්යබහුල දින පහක් නිමාකරල කුරුණෑගල ඉඳලා නිවසට සේන්දුවුනෙ ඊයෙ හවස් යාමෙ .දවස් පහක කිලුටු ඇන්දුම් කැඩුම් ,අනික් ලට්ට ලොට්ට පිරුනු ගමන් මල්ල කල්නොයවා අස්පස්කරන්න හිතුනෙ එන සතියෙ තියෙන ගමන් බිමන් මතක්වෙලා.නැත්නම් ඉතින් කිලුටු තමයි අඳින්න වෙන්න .

මම මේ ගමන් මල්ල මෑතක ඉඳලා දිගු සංචාර වලදි ගෙන යනවා .බෑගයෙ පිට සාක්කුව අස්පස් කරද්දි නෙත ගැටුන දෙයකින් මොහොතකට මගේ හිත සසලවුනා.ස්වාභාවික මුතු ,සිප්පිකටු,පොල්කටු වලින් හැඩදැමූ ඒ විසිතුරු මාලය අතේ රඳවගෙන මොහොතකට කල්පනාලෝකෙක මම තනිවුණා.අත රැඳි මාලයේ මුතු ඇට අතරින් දිලිසුණ වියපත් දෙනෙතක කඳුලු කැට දෙකක් මට මැවි මැවී පෙනුනා

මම නැවතිලා හිටිය ඇල්මොන්ට් සිටි හෝටලයෙන් එලියට බැස්සෙ හවසටවත් ටිකක් බුතුවාන් නගරයයේ මගතොට අවිදලා බලන ආසාවෙන් .මගේ කාර්යාල සගයො බොහෝදෙනෙක් ලද අවසරයෙන් ගයිසානෝ සාප්පු සංකීර්ණය බලා ගියේ ෂොපින් කරන්න .ඒත් මම කැමති මෙහෙම වෙලාවක් ලැබුනම මගටතොට ඇවිදලා ජනජීවිතය දකින්න.රටින් රට මිනිස්සු ජීවත්වෙන විදිය ඇවතුම් පැවතුම් වෙනස්නෙ .ඒවා කැමරාවට හසුකර ගැනීමත් මගේ විනෝදාංශයක්. ආහ්.... මට අමතක වුනානෙ කියන්න බුතුවාන් ,පිලිපීනයේ මින්ඩනාවෝ දූපතේ තියෙන සංචාරකයො ගැවසෙන පුංචි නගරයක්.


ඇල්මොන්ට් සිටි හෝටලයේ ඉඳල හතර අතටම විහිදුනු ජනාකීර්ණ වීදි අතරින් මම හෙමිහිට ඉදිරියට ගියා.අසල තියෙන් කුඩා දේවස්තානයේ සීනු හඬ සවස දේව මෙහෙයට බැතිමතුන් කැඳවනවා.හැමදාම උදේට මම අවදිවෙන්නෙත් මේ සීනු හඬට .දෙව්මැදුර ඉදිරිපස වීදි දිගේ පුංචි මල් කඩ පේලිය අලුත්ම අලුත් මල් පොකුරු වලින් පිරිලා,දෙව් මැදුර අබියස තියෙන කුඩා උද්යානය ජනාකීර්ණ නගරයට ලස්සනක් එක්කලා. මින්ඩනාවෝ දූපතේ නගර නිර්මාණයත් හරි අපූරු දෙයක්.හැම නගරයකටම සේන්දුවෙනකොට නගමධ්‍යයෙ දෙව්මැදුරක් සහ උද්‍යානයක් දැකගන්න පුලුවන්න් .ඒ ඔවුන් ස්පාඤ්ඤ නගර නිර්මාණයෙන් ලද ආභාෂය නිසා ලු .මිඩනාවෝ දූපත කාලයක් ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වෙලා තියෙනවා.ඉතින් ඔය නගර නිර්මාණ කලාවත් යටත්විජිත උරුමයක්.එහෙම කිව්වෙ මගෙ පිලිපීන මිතුරිය ජින්ග්.


මල් කඩ වීදියත් පහුකරගෙන උද්‍යානය කෙලවරට පියමන් කල මම නතරවුනේ සංචාරකයන්ට මගපෙන්වන විසිතුරු බඩු අලෙවිකරන පොඩි කඩ පොඩ්ඩක් ගාව.කරන්ගා හාර්ට් කියල දැන්වීම් පුවරුවෙ සටහන්වෙලා තිවුනා. කරන්ගා, බුතුවාන් වලට නුදුරෙම තියෙන ලස්සන සන්චාරක නගරයක් . යම්දෝ නොයම්දෝ කියලා සාප්පුව ඉදිරියට වෙලා ලතවෙනකොට එක් වියපත් කාන්තාවක් එලියට ඇවිත් බොහොම උනුසුම් ලෙස මාව පිලිගෙන ඇතුලට එන්න ආරධනා කලා.ඉතින් නොගිහින් කොහොමද?මම සාප්පුවට ඇතුල්වෙනකොටම දොරකොඩ වාසනාව ගෙන එන්න එල්ලල තිබුණ හදවත් හැඩයෙන් යුත් චිම්ස් සිලි සිලි ගාලා සුලඟට නැටුවා.


පීලිපීන වැසියන් බහුතරයකට ඉන්ග්‍රිසි කතා කරන්න පුලුවනි ,ඉතින් මේ වියපත් කාන්තාවත් සුපුරුදු ලෙසින් මගෙන් ආගිය තොරතුරු අහුවා.සාප්පුවෙ සිරි විසිතුරු නරඹන ගමන්ම මම ලංකාවෙන් රජකාරි ගමනකට ආව කෙනෙක් කියලා වැඩි විස්තර දැනගන්න මගේ රාජකාරි කාඩ්පත ඇයට දුන්න ."ඔබ ලංකාවෙන්ද"? පුදුමයෙන් වගේ ඇය නැවතත් මගෙන් ඇහුවා."ඔව්" මම උත්තර දුන්න වැඩි සැලකිල්ලක් නැතුව.

එක නිමෙෂයක් මා දිහා බලාසිටිය ඇය අසල වූ දිවානය පෙන්වා අසුන් ගැනීමට මට අතින් සන් කලා. මම වාඩිවෙලා කුතුහලයෙන් ඇගේ නිහඬ මුහුණ දෙස බැලුවා.

"මගේ පෙම්වතා ශ්‍රී ලාංකිකයෙක් . අපි මුනගැහුනෙ මීට අවුරුදු විසිපහකට විතර කලින් ,මැනිලා වලදි. එයා ස්වර්නාභරණ කලාව ගැන පාඨමාලාවක් හදාරන්න මම ඉගෙනගත් ආයතනයට ඇවිත් හිටියා.අපි හමුවුනේ එහෙමයි ".

සන්සුන් ඒත් මොකක්දෝ ශෝකී ස්වරයකින් එය කියනවා.හරියට දයිව යෝගයකින් වගේ වෙන්න ඇති ඒ හමුවීම ,නැගෙනහිර අසියාවත් දකුණු ආසියාවත් එක මොහතකින් එක්වෙන්න ඇති ඇස්වලින් කතාකරලා.මගේ හිත කියනවා.

"කෝ දැන් ඔයාගෙ පෙම්වතා?" ඉවසිල්ලක් නැති මගෙන් ඇයට පැනයක්.

"අපි අවුරුදු දෙකක් පෙම් කලා. අන්තිමට විවාහ වෙන්න හිතලා දෙපැත්තෙම දෙමවුපියන්ට මේ කාරනේ කිව්ව .එත දෙගොල්ලම අපිට විරුද්ධවුනා. එයා ඉස්ලාම් බැතිමතෙක් .මගේ මුලු පවුලම කිතුනු උදවිය අපේ අම්ම කොහොමටවත් කැමතිවුනේ නැහැ එයා වගේ කෙනෙක් බඳිනවට .අන්තිමට එයාගෙ පවුලෙ උදවිය කිව්ව මම ඉස්ලාම් ආගම වැලඳගත්තොත් විවාහයට ඉඩ දෙනවා කියලා.ඒත් මට පුලුවන් කමක් තිබුනෙ නැහැ එහෙම තනි තීරණයක් ගන්න ,අන්තිමට අපි වෙන්වුනා ,එයා ලංකාවට ගියා ,එතකොට මට වයස විසිහතක් .ඉන්පස්සෙත් මට එයාගෙන් ඉඳහිට කෙටි ලිපියක් දෙකක් ලැබුනා.මගේ උපන්දිනයට නම් අනිවාර්යෙන්ම සුබපැතුම් පත් ලැබුනා .එත් කාලෙකට පස්සෙ එවා ඔක්කොම නැවතුනා . දැන් එයා විවාහ වෙලා ලොකු දරුමල්ලොත් ඇති ".

ප්‍රේමයට කොහින්ද ආගම් ,ජාතිබේද වගේ සීමා මායිම් වැට කඩොලු? හිත ගිය තැන මාලිගාවනෙ. "එයා ලංකාවෙ නැගෙනහිර පලාතෙ කෙනෙක්"( ඇය ඉතා නිවැරදිව ඔහුගේ නම සහ ගම් පලාත කිව්වත් මට දැන් එය මතක නැහැ )
මම නොසන්සිඳුනු කුතුහලයෙන් ඇයදෙස බැලුවෙ "ඉතින් ඊට පස්සේ මොකද වුනේ"කියලා අහන්නවගේ. එයා මගේ හිත තේරුම්ගත්තා වගේ උත්තර දුන්න.

"මම ඊට පස්සෙ විවාහයක් ගැනවත් ,අලුත් ප්‍රේමයක් ගැනවත් තිතුවෙ නැහැ.මගේ මුලු කාලෙම කැප කලේ මේ ව්‍යාපාරයට
"
සිහින් කඳුලු බිඳු දෙකක් ඇගේ නෙතු අග රැඳිලා.මට තව මොනවත් ඇගෙන් අහන්න බැරි ගතියක් හිතේ ඇතිවුනා .මට නොදැනිම දිගු සුසුමකුත් පිටවුනා. අවුරුදු විසිපහක් කොහොම ගතවෙන්න ඇතිද?
මම දිවානයෙන් නැගිටලා සාප්පුව සිසාරා හිස් බැල්මක් හෙලුවා . මොකක්දෝ වරදකාරී හැඟීමක් මගේ හිත ඇතුලෙ තෙරපෙනවා වගේ .මොනව වුනත් මගේ රටේ කෙනෙක් නිසානෙ ඇයට මෙහෙම වුනේ. මට එහෙම හිතුනා.ඇය නම් අමුත්තක් නොපෙනවා මට කරන්ගා ලී කැටයම් ගැන විස්තර කරන්න පටන්ගත්තා.
මට ඔනෙ වුනේ එයින් එක ලී කැටයමක් මිලට අරගෙන ඉක්මනට එතැනින් යන්න. මම ලී කැටයමකට මුදල් ගෙවද්දී මොහොතක් ඉන්න කියලා ඇය අතින් සන් කලා.ඇය එතැන තිබුණු සිප්පිකටු ,මුතු සහ පොල්කටු වලින් අලංකාර කල විසිතුරු මාලයක් මගේ ගෙල වට පැලඳුවා .
"ඔබට මේ මාලය හරි හැඩයි , මේ ස්වාබාවික මුතු , මේක මගෙන් ඔබට තෑග්ගක් ,ඔබ ලංකාවෙන් නිසා, මට කවදාවත් ලංකාව අමතක වෙන්නෙ නැහැ"
මම කවදාවත් එවැනි විසිතුරු මාල පලඳින්නේ නැහැ.\ඉඳහිට පලඳින චාම් සිහින් රන් දම් වැලක් පමණයි මගේ ගෙල වට රැඳෙන්නේ.ඒත් ඇගේ දිලිසෙන ඇස් හමුවෙ මට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ.
"මේ තෑග්ග ඔබට නෙවෙයි , ඔබේ රටෙන් ආව කෙනෙකුගෙන් මට ලැබුන ප්‍රේමයට පෙරලා දෙන තුටු පඬුරක්" ඇගේ දිලිසෙන වියපත් දෙනෙත් වල ලියැවිලා තිබුනෙ එවැනි කතාවක් .

පසු සටහන

මම නැවත ඇල්මන්ට් සිටි හෝටලයට ගියේ බරවුනු හිතින්.හෝටල් ආලින්දයේ සිටි මගේ මිතුරියන් කීපදෙනෙක් මාව දැකලා හිනහවෙන්න පටන්ගත්තා .
"මේ මොකද මේ කවදාවත් නැතුව සිප්පිකටු මාලයක් දාගෙන .ඔයා මේව පලඳින්නෙ නැහනේ"
මම මගේ කතාව ඒ අයට කිව්වා. ආයෙත් යාලුවො කොක් හඬ දීලා හිනාවුනා.
"වෙලාවට ඔයා ලංකාවෙ කොල්ලෙක් නොවුනෙ .එහෙම වුනානම් එයා ඔයාව එවන එකක් නැහැ.මේ පිලිපීනයේ එහෙම දේවල් වෙනවා ඔනෙතරම්"

මගේ මිතුරිය ජින්ග් හිනාවෙවී කිව්වා.එයාලගෙ හිනාවට එක්වෙන්න බැරි ගතියක් මගෙ හිතේ තිබුනෙ . ඊට දවසකට පස්සෙ මට ආයෙත් මැනිලා බලා පිටත්වෙන්න වෙනවා.ඇගේ ඡායාරුවක් ගන්න ඔනෙ කියලා හිත කිව්වත් ආයෙත් සාප්පුවට යන්න මට හිත දුන්නෙ නැහැ. ඒනිසා බුතුවාන් වලින් පිටත්වෙන දවසෙ උදේ පාන්දර එයාගෙ සාප්පුව අරින්නත් කලින් ගිහිල්ල ගත්ත ඡායාරුපය තමයි ඔයතියෙන්නෙ .පේනව නේද හදවත් හැඩයේ "චිම්ස් "එල්ලලා තියෙනවා?ඇය දුන් තිලිණය මම මැනිලා වලදි මිලට ගත්ත දැන් පාවිචි කරන ගමන් මල්ලෙ පිට සාක්කුවට දාල එහෙමම තියෙන්න
රියා. ඒක කවදාවත් මගේ මිතුරියකට තෑගි දෙන්නවත් , මම පලදින්නවත් හිතුවෙ නැහැ . හැමදාම ඒ විසිතුරු මාලෙ මගේ ගමන් මල්ලෙම තිබුනදෙන් .
හා ..මට දෙයක් කියන්න අමතක වුනා .මම ලංකාවට ආවට පස්සෙ මගේ ඡායරූප බලන අතරෙ ඇතිවෙච්චි අදහසක් නිසා තමයි ඔය කවිය ලිව්වෙ .මේක මගේ සංචාරක අත්දැකීම් වලින් ලියවුන තුන්වෙනි පාර්ශ්යවයේ කවි ප්‍රේම කතාවක් .

Thursday, August 27, 2009

මුදු පැලඳීම

දුව ඔයාට කෝල් එකක්..උමංගාගෙන් ඉක්මනට එන්න..බෝඩිමේ ආන්ටි මට පහල තට්ටුවෙ ඉඳන් කතාකරනවා.එයා මට කෝල් කරන යාලුවො ටිකදෙනා කටහඬින්ම දන්නවා.

උමංගා..හ්ම්ම් මොකද දන්නේ නැහැ..අද හවස 3.00 ට නෙ ලෙක්චර්ස්? අද බදාද නේද ?මට වැරදුන වත්ද ?එහෙම නැත්නම් මොකක් හරි ගෙදරින් උමංගට මරාලයක් පහත්වෙලාද?දැන් ගෙදර ඇවිලිලානෙ ඉන්නෙ ඔය සමින්දගේ සම්බන්දෙට ,ඉතින් ගෑනි වැඩි වෙලාවක් ගෙදර ගතකරන්නෙ ඇඬූ කඳුලින්නෙ ...යාලුවෙකුට කරදරයක් වෙනකොට ඒක හිතට හරි වදයක් .ඔහොම දේවල් හිතහිත තමයි මම මගේ උඩතට්ටුවෙ අට්ටාලෙන් බිමට බැස්සෙ.

කෝල්ලෙක ගත්තා .මනෝ... අද උදේ නවයට එන්න ජිම් එකට.පොඩි ගමනක් යන්න ඔනේ..ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුලුවනි. උමංගා...කියාගෙන යනවා .හ්ම් ඒක ඈත්තනෙ."ගියොත් එන්න හැකිය. ..නොගොස් එන්න බැරිය."මම හෙමිහිට මුමුණ මුමුණ මගේ උඩතට්ටුවෙ අට්ටාලෙට නැග්ගා.

හ්ම්..ඔන්න මම මගේ ඔක්කෝම බදාදා ප්ලෑන් කැන්සල් කලා.හිතුවෙ නම් රෙදි හෝදලා ,නාලා,සිංන්දුවක් අහලා,පාඩමක් කරලා,කාලා,නින්දක් ගහලා ලෙක්චර්ස් යන්න .දැන් ඒක බැහැ.ඉතින් ඉක්මනට ලෑස්තිවෙලා 138 අරගෙන ගියා කැම්පස් .මම යනකොටත් උමංගා ජිම් එකේ.

"මනෝ මම ඔයා එනකන් හිටියේ ...මොනවද කන්නේ ?"
මම ඉතින් අමුතුවෙන් නොකිව්වත් එයා තෝසෙ ගෙනෙන බව මට සහතිකයි.
"කෑම නෙවෙයි ඇයි උදෙන් එන්න කිව්වේ ?කොහෙද යන්නේ ?" මගෙන් ප්‍රශ්න වැලක්.
"සමින්දට පොඩි තෑග්ගක් ගන්න ඔනෙ මනෝ,එන සතියෙ එයාගේ බර්ත්ඩේ එක" උමංගා හිනහවුනා.
"අය්යෝ ඕක මහ වැඩක්යැ..ඔය තියෙන්න ඔනෙ තරම් තෑගි,ෂර්ට්ස්,ලෙදර් බෙල්ට්ස්,ටයි,ඔෆිස් බෑග්" මම නම් වැලක්ම කිව්වා.
"තෑග්ගකුත් දීලා අපි පාටියකුත් දාමු" මම තව ඉදිරි සැලසුම් හැදුවා.
"මනෝ මට එයාට තෑගි දෙන්න ඔනෙ මුද්දක් ,රත්තරන් මුද්දක්" මම උඩගිහින් බිම වැටුනා. හ්ම්ම්.. සුපුරුදු විදියට අමාරු කේස් එකක් තමයි එහෙනම්.

"ඒත් සමින්දගේ අතට ගැලපෙන සයිස් එක ගැන තමයි හිතාගන්න අමාරු. එයා එක්ක ගිහින් තෝරගන්න පුලුවන්. එහෙම වුනොත් අන්තිමට එයාම එයාගේ මුද්දට සල්ලිගෙවයි නැත්නම් මුදු වෙනුවෙන් සල්ලි නාස්ති කරන්න එපා කියයි.ඔය දෙකෙන් එකක් වෙනනිසා තමයි මම ඔයාට එන්න කිව්වෙ "

"හ්ම්ම්..හරි ඉස්සෙල්ල ඔයා තෝසෙ අරන් එන්න,අපි කාලා ඉඳිමු" එහෙම කියලා මම කල්පනාවට වැටුනා.රත්තරන් මුද්දක්ම තෑගි දෙන්න ඔනෙමද උමංගට ? රත්තරන් ගණන් මේ දවස් වල,අපේ අම්මත් එහෙම කියනවා මම අහගෙන ,ඇරත් අද කොහේ යන්න වෙයිද මුදු හොයන්න ?හෙට්ටිවීදියෙ? ඊට වැඩිය සරල ලස්සන දෙයක් දෙන්න පුලුවනි නේ?

හ්ම්ම්.. ඒත් ඉතින් රත්තරන් කියන්නේ ආදර බැඳීම් තහවුරු කරන සංකේතයක් නේ ?ඒක වෙන්න ඇති එයාට රත්තරන් මුද්දක් දෙන්න හිතුනේ .විවාහ වෙන්නෙත් මුදු පලන්දල ආදරය තහවුරු කරලා වටිනාකමක් දීලා,රත්තරනේ සදහටම ඔබ මගේ කියලනෙ."

"හලෝ මොකද කල්පනාව?" ඔන්න කටහඬක් ආවා.බැලීනම් අපේ බැචා පත්ම කාලෙකට පස්සේ.පත්මට එලිවෙන්න, රෑවෙන්න,පාඩම්කරන්න,පැවරුම් ලියන්න හිත දෙන්නේ පේරදෙනියේ මල් ගස් යට කියලයි අපේ බැචාල කියන්නෙ.ඒ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් උදානි ඉන්නෙ පේරා නිසා.
"ඉතින් මොකද උදෙන්ම අද?" කියාගෙන පත්ම මගේ මේසෙ කොනක වාඩි වුනා.

"පොඩි ගමනක් යන්න වෙලා උමංගාගෙ වැඩකට" මම උත්තර බැන්දා.මුද්දක් ගන්න ඕනෙලු සමින්දට,ඒත් ප්‍රශ්නෙ සමින්දගේ ඇඟිල්ලට හරියන සයිස් එක හොයාගන්න බැරි එක.සමින්ද එන්නෙ නැහැනේ අපි එක්ක." මම මගේ ප්‍රශ්නෙ ඉදිරිපත් කලේ පත්ම ගාවවත් විසඳුමක් ඇති කියලා හිතලා. සමහර විට එයාට ඔයවගේ අත්දැකීම් ඇතිනෙ. මට හිතුනා

පත්ම හරි ප්‍රියමනාප යාලුවෙක්.නිතරම සිනහ මුසු මුහුනින් ඉන්න කෙනෙක්.උසයි අඩි 6ක් විතර ,කෙට්ටු,සිහින් සිරුර සහ රවුම් මූනත්,තට්ට හිසත් ,වැඩිය නොකැපුව රැවුලත් එයාට අපට වඩා වැඩිහිටි පෙනුමක් එක්කලා.

"හරි මට උදව්වක් කරන්න පුලුවනි.සමින්දත් මම වගේ කෙට්ටු හීන්දෑරි කෙනෙක් නේද? මහතත් මම තරම් ඇති.මම දැකල තියෙනවා උමංගා එක්ක තුම්මුල්ලෙ රවුම් ගහනවා.ඔව් නේන්නම් මට එකපාරටම මතක් වුනා. එහෙනම් මෙහෙම කරන්න මනෝ.මම මගේ මුදු ඇඟිල්ලේ මිම්ම දෙන්නම් ඔයාලට .ඒ මිම්මට තෝරගන්න.වැඩි වෙනසක් වෙන එකක් නැහැ." පත්ම කිව්වා.

"හ්ම්ම් අදහස හොඳයි ..ඒත් මිම්ම ගන්නේ කොහොමද ?" එතකොටම පත්ම එයාගේ නෝට්ස් මිටියෙන් ෆයිල් කටුවක් ඇදල අරගෙන ඒක දිගාරිනවා. මට වැඩේ තේරුම් ගියා.පත්ම සීරුවට ඒක එයාගේ මුදු ඇඟිල්ල වටේ දවටලා රවුමක් හැදුවා මිම්ම ගන්න .උමංගත් තෝසෙ අරගෙන අවා.මෙන්න කියලා පත්ම ෆයිල කටු කවය උමංගගේ අතටම දුන්නා. එයා පුදුම වෙලා ඇහුවා මොකද්ද කියලා.මමත් පත්මත් හිනාවෙලා කිව්වා සමින්දගේ මුද්දේ මිම්ම කියලා. උමංගට නොකිව්වත් කතාව තේරිලා හිනහවුනා.

තෝසෙ පාරක් දාලා, පත්මටත් මුව නොසෑහෙන්න ස්තුති කරලා අපි පිටත්වුනා මුදු හොයන්න.

ඉතින් මුදු හොයන ඒ වැඩෙත් හිතූ තරම් ලේසිවුනේ නැහැ.

උමංගා කිව්වා එයාට නුගේගොඩ තියෙන ප්‍රකට ස්වර්ණාභරණ සාපුවක නමක්.එහේ වටිනා රන් බඩු තියෙනවා කියල්ලා.එයාගේ අම්ම්,ලොකු අම්මල,පුංචිලා,නැන්දලා කවුරුත් කාලයක් තිස්සෙ රන් බඩු මිලට ගන්න රන් හා බැඳුනු විස්වාසනීය නාමයක් සහිත තැනක්.ඉතින් මට කට කොනකට හිනාවකුත් නැගුනා.උමංගා ගෙදරට හොරෙන් තනි මතයට ප්‍රේම කළාට පවුලෙ පරම්පරාවෙ ගැහැනු අය පිළිපැද්ද සම්ප්‍රදායනුත් අරක්ෂාකරන්න සූදානම් වග පෙනිලා.
අපි එතැනට ගියා ඉස්සෙල්ලම .හරිම ලස්සන වටිනා අලංකාර රන් ආභරණ.පිරිමි අය පලඳින විවිධ මුදු.මම අර ෆයිල් කටු කවයත් එයා අතට දුන්න .ලොකු සාප්පුවක් නිසා හොරැහින් ඒදෙස බලමින් තමයි එයා රන් මුදු තෝරන්න උත්සාහ කලේ .ඒත් එයා අන්තිමටම මට හෙමිහිට කිව්වා "මේවා හරි ගණන්;අපි වෙන තැනක් බලමු" කියලා.

එයා හෙව්වෙ රුපියල් 4000-5000 ත් අතර වගේ වටිනාකම තියෙන මුද්දක්.පවුම් වල වටිනාකම ඇරුණහම සාප්පුවෙ නමටත් ගානක් එකතුවෙලා මුදු වල මිල ඉහල යන වග මට පෙනුනා.ඒත් පවුම් රත්තරන් තේරීම ගැන නම් මට තිබුණු දැනුම අල්පයි.ඒව ඉතින් අම්මලාගේ වැඩනේ .නුගේගොඩ තව රන් බඩු සාප්පු දෙකකටම ගියත් උමංගාගේ අවශ්‍යතාවය ඉටුකරගන්න බැරිවුණා.ෆයිල් කටු කවය මගේ අතේ රැඳිල තිබුණා.

ඉතින් ප්‍රකට නම් සහිත සාප්පු ගැන තිබුන අදහස අතැරලා අන්තිමටම අපි දෙන්න සේන්දු වුනේ වැඩිය දැකුම්කලුපෙනුමක් නැති සාප්පුවකට .එකේ හිටියේ වැඩිහිටි මුස්ලිම් මනුස්සයෙක්.සාප්පුව දිහා මම වටයක් කැරකිලා බැලුවා.අනිත් සාප්පුව වල වගේ ප්‍රදර්ශනය කරන්න ගොඩක් රන් බඩු එතැන තිබුනෙ නැහැ.නාම පුවරුවෙ උගස් බඩු ගන්නවා කියලා සටහනක් තිබුනා.

උමංගා අවශ්‍යතාවය කියලා අර ෆයිල් කටු කවයත් ඔහුට පෙන්වුවා.ඒදිහා හොඳට විපරම් කරලා බලලා ඒ මනුස්සයා "එහෙනම් නෝනා මේක තම්යි හරියටම ගැලපෙන්නෙ කියලා" එයාගේ මේස ලාච්චුවෙන් ගත්ත පොඩි වෙල්වට් පෙට්ටියක තිබුණ මුද්දක් උමංගාට පෙන්නුවා.මාත් එබිලා බැලුවා.පෙනුමට නම් මිම්ම හරි .ඒත් ඇයි මේක අනිත් රන්බඩු වගේ වීදුරු අලමාරියක නොතියා මේස ලාච්චුවක තිබුණේ?මට ගැටලුවක්.මමත් ඒක අතට අරගෙන හොඳින් විපරම් කලා.එතකොටම අර මනුස්සයා කිව්ව "මේක හොඳට පොලිෂ් කරලා අලුත් පෙට්ටියක දාල දෙන්නම්" කියලා.මට මුද්දෙ පිටිපස්සෙ තියෙන කතාව තේරුම් ගියා .මම උමංගගේ මූණ දිහා බැලුවා.

"කමක් නැහැ මනෝ අපි මේක ගමු .මා අතේ සල්ලි තියෙන්නෙත් රුපියල් 4000 යිනෙ" එයා සිහින් හඬින් මට කිව්ව.ඔන්න මුද්ද පොලිෂ්වෙලා අලුත් පෙට්ටියකට වැටිලා පුන්චි කවරෙකත් දාලා උමංගගේ අතට ආවා.දැන් එයාගෙ මූණත් පොලිෂ් වුන මුද්ද වගේ කාන්තිමත්.

ආයෙත් අපි ස්ටැන්ලි තිලකරත්න මාවතේ 138 බස් එකක් ගන්න ඇවිදගෙන ගියා ලෙක්චර්ස් යන්නත් එපැයි .

මම කල්පනාවකට වැටිලා ඉන්න අතරෙ උමංගා අයෙත් කියනවා

"මනෝ මට තව උදව්වක් ඔනෙ.මේ මුද්ද ඔයා ගාව තියා ගන්න .මට ගෙදර ගෙනියන්න බැහැ.දැන් අපේ අම්ම නිතරම මගේ කාමරේ අවුස්සනවා.එයාට සැකයි.බැරිවෙලාවත් මේක අහුවුනොත් මම ඉඳල හමාරයි.එන බදාද සමින්දගේ උපන්දිනේ .එදාට ඔයා මේක අරන් එන්න" කියලා.

ඒ පොඩි කවර පොඩිත්තේ තිබුන මහා ආදරයේ සංකේතය මගේ බෝඩිමේ රට අඹලෑලි පොත් මේස ලාච්චුවේ සුරක්ෂිතව තිබිලා හරියටම හත් දවසකට පස්සෙ මම එකේ හිමිකාරිට දුන්නා ඒක එයාගෙ හිමිකාරයාට පලඳන්න.

ඉතින් මම හිතුවා ඉන්පස්සේ සමින්ද මේ උමංගගේ මහා ආදර සංකේතය හැමදාකම පලඳීවි කියලා.ඒත් එක එහෙම වුනේ හැනැනේ.

හේතුව මේකයි.මුද්දෙ මිම්මෙ වරදක් නෙවෙයි .සමින්ද රෝමානු කතෝලිකයෙක්.ඉතින් ඒ අය රන් ආභරණ පලඳින්නේ නැහැ කියලා උමංගා මට කිව්වෙ .ඔය ගැන දැන දැනත් උමංගා දුක්විඳලා තෝරගත්ත මේ ආදර සන්කේතය අදටත් මට මහා ගැටලුවක් .
ඔන්න ඔහොමයි ඉතින් ඒදෙන්නා මුදු පැලඳුවේ .

Tuesday, August 25, 2009

වැලන්ටයින් තෑග්ග


වැලන්ටයින් දිනය කවදද , පෙබරවාරි 14 ද 17 ද එහෙමත් නැතිනම් පෙබරවාරි
මාසෙ වෙන දවසක්ද? හිනාවෙන්න එපා, ඇත්ත්ටමයි කියන්නෙ මේ ලියන මට හැමදාම
ඔය දිනය අමතක වෙනවා හරියටම කවදාද කියලා. ඔයගොල්ල පුදුමවෙයි එහෙම ඇහුවහම
,ඒත් ඒක එහෙම තමයි , මට තවම හරියටම මතක් කරගන්න අමාරුයි.

හ්ම්ම්ම් මොකද මේ හදිස්සියෙ වැලන්ටයින් දිනය මතක් වුනෙ ? ඔන්න මේ ලියන්න
යන්නෙ වැලන්ටයීන් තැග්ගක් ගන්න ගිය කතාවක් හරිද

සුමංජරී රූ සපුවෙන් අගතැන්පත් මගේ බැචියක් , අපේ බැච් එකේ කොල්ලන්ට අනුව
සැලෙන ලෙලෙන අංගනාවක්.හීනි දිගටි ඇස් , ලේයර්ස් කැපුව කොන්ඩෙ ,ලප නොමවන්
මුහුන , රත්තරන් පැයැය වගේ සුදු පාට එයාට අමුතුම ලස්සනක එක්කලා, ඒත් අපේ
බැච් එකේ කෙල්ලන්ටනම් එයව පෙන්නන්න බැහැ.සුමි කවදත් හරි ලස්සනට ඇන්ද ,
පොඩි මේක් අප් පාරකුත් දැම්ම, ඒත් අනිත් කෙල්ලො නම් කිව්වෙ එයාට රට ව්ටේම
කොල්ලො කියලා, මුලින්ම මහා ශිෂය සන්ගමේ අය්ය කෙනෙක් එක්ක , ඊට පස්සෙ අපේ
සීනියර් බැචෙක් වෙන තේමින්ද එක්ක , දැන් තේමින්දව අත ඇරලා මෙඩිකල්
ෆැකල්ටියෙ කොල්ලෙක් එක්ක යාළුලු. ලස්සනට අඳින්නෙ කොල්ලො අල්ලගන්න ලු.ඕව
තම්යි කනින් කොනින් ඇහුන ලැව් ගිනි වගේ පැතිරුන කෙල්ලනගෙ රස කතා. මට නම්
ඉතින් සුමි එක්ක කිසි තරහක් තිබුනෙ නැහැ, ගොඩක් කෙල්ලො කැමති නැහැ තවත්
කෙල්ලෙක් ලස්සනයි කියල කියන්න ,නිතරම කලිසම් ටීෂර්ට් ඇඳල සැන්ඩ්ල්ස්
දාල කැම්පස් ගිය මට සුමි එක්ක එහෙම මතවාදි ප්‍රශ්න තිබුනෙ නැහැ

කොහොමද අපි යාලුවුනේ ? හා හරි දවසක් මම ජිම් එකේ තේ බොනකොට එයා ම්ගේ ලඟට
ඇවිත් කිව්ව මනෝ ඉන්ටර් යුනිවර්සිටි බැඩ්මින්ටන් මැචස් වලට මට ඩබල් ප්ලේ
කරන්න කවුරුහරි සොය දෙන්න , ඔයාගේ ඉස්කෝලෙන් ආව යාලුවො ඇතිනෙ , ඔයාගෙ
ඉස්ස්කෝලෙ හරි ප්‍රසිද්දයි නෙ බැඩ්මින්ටන් වලට , ඔන්න එතින් කියන
සුනංගුවෙන් මම මගේ ඉස්ස්කෝලෙ බැඩ්මින්ටන් යාලුවෙක් එයාට සෙට් කලා ආර්ට්ස්
ෆැකල්ටියෙන් , ඊට මසෙකට විතර පස්සෙ අයෙත් මුන ගැහුන දවසක එය මට මුව
නොසෑහෙන්න තෑන්ක්ස් කරල කිව්ව එගොල්ලො ගේම් එක දිනුව කියල.

එහෙම පටන්ගත්ත යාලු කම තවත් තහවුරු වුනේ සෙකන්ඩ් ඉයර් එකේ මටත් සුමිලගේ
බෝඩිමේ නවතින්න වුනහම ,ඒකට උදව් කෙරුවෙ සුමි, අපේ බැචියො හයදෙනෙක් විතර
ඒගෙදර අප්ස්ටෙයාර් එකේ හිටිය නැවතිලා.සුමි උදේ ලෙක්චර්ස් ගිහිල්ල එන්නෙ
ගොඩක් හවස් වෙලා, බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් , ඒත් බෝඩිමේ කෙල්ලො කියන්නේ
එයා අර මෙඩ්ඩ එක්ක රවුම් ගහනවලු , ඒ පිරිමි ලමය ධනවත් පවුලකලු , සුමි
මදි නොකියන්න අඳුම් කැඩුම් ,සුවඳ විලවුන් ඒකොල්ලගෙන් අර ගන්නවලු.

ඔන්න එදා අපි හැමෝම සාලෙ ලොකු ඩයිනින්ග් ටේබල් එක වටේ කෑමකනව , මේ වෙලාවට
තම්යි ඔක්කෝම කැම්පස් එකේ ඕප දූප එලියට එන්නෙ .අලුතෙන් හිච් වුන කපල්ස්
,බින්දුනු ප්‍රේම , ලෙක්චරස්ලගේ වග තුග
එතින් එදා මතෘකාව , ඊට පහුවද්ට එන වැලන්ටයින් දින්ය . ඔන්න මගෙන් අහන්න
එපා ඒ කවදද කියල හරිද

ඉතින් හැමෝම කතාකලේ ඒ අයගේ වැලන්ටයින් තෑගි ගැන , එතන හිටිය හැමොම
ගර්ල්ස්ටට බෝයිෆ්‍රෙන්ඩ්ස්ල හිටියා ,එතින් හැමෝම කතාවුනේ එයාලගේ
වලන්ටයින්ට ගත්ත තෑගි ගැන , මල් පොකුරු , සුවඳවුලවුන් ,Fab එකෙන් කේක්
ඒවගේම MC එකෙ ලන්ච් වලට යන්න , බෙල්ලන්විල පන්සලට ගිහින් මල් පූජාකරන්න
, තවත් කපල්ස් දෙකක් එකතුවෙලා නුවර යන්න වගේ වැඩත් සෙට් වෙල තිබුන .
කෙල්ලො ගිරව් වගේ කියවද්දි සුමි නිහඬ වෙලා හිටිය.කව්වුරුත් ඇයගේන් ඇහුව
වැලන්ටයින් තෑගි ගැන , සුමි උදාසීනව කිව්වෙ ඒදෙන්න පස්සෙ වැලන්ටයින්
සමරනව කියලා , එයාඅගෙ මෙඩ්ඩට විබාගෙලු , හරියට වැඩලු . අනිත් කෙල්ලො ඒක
අහල විසිරිලා ගියේ පුස්ස බිඳුන වගේ ,සමහර විට උන් බලාගෙන ඉන්න එහ්තෙ
මොකඛරි සුරඟනා කතාවක් අහන්න වෙන්න ඇති

ඉතින් කෙල්ලො ඔක්කොම විසිරුනාට පස්සෙ සුමි , හෙමිහිට මනෝ මෙහෙ එන්න කියල
එයාගේ රූම් එකට මාව ඇදගෙන ගිහිල්ල පොත් මේසෙ ලාච්චුවක් ඇරල පාර්සලයක්
එලියට ගත්ත, ලස්සනා සිල්වර් පාට පෙට්ටියක් රෝස රිබන් එකකින් ගැටගහලා ,
එයා ඒක ඇරියෙ හරි ආඩම්බරෙන් , හ්ම්ම් මොකක්ද දන්නවද තිබුනෙ? හරිම ලස්සන
සිල්වර් පාට අත් ඔරලෝසුවක් ඒ එක්කම ඇඳුමෙ පාටට ඩයල් එක වෙනස් කරන්න
පුලුවන් විදියට පාට පාට ඔරලෝසු මුහුනත් තිබුනා. අත්ත්ටම ඒක හොන්ද
තේරීමක්, හරි ලස්සනයි සුමි, හරි ක්ලාසි ප්‍රසන්ට් එකක් කියලා මම කට පුරා
කිව්ව, එයා දිලිසෙන ඇස්වලින් කිව්වා මේ එයගෙ මෙඩ්ඩගෙන් ලෙබුන වලන්ටයින්
තෑග්ග කියල ,ඒත් සුමි කිවා මේ වතාවේ සුමි එයාගෙ මෙඩ්ඩට තැගි තෙරුවෙ නැහැ
වැලන්ටියින් වලට .එයාගේ මෙඩ්ඩ කිව්වලු කරදරවෙන්න එපා කියල .මොකද එයාට
ලෝකෙ තියෙන හොඳම වැලන්ටයින් තෑග්ග වෙන සුමි ලැබුන නිසා කියල

ඔන්න එතින් කෙල්ලො පෙරුම් පුරන වැලන්ටයින් දවස උදාවුන,
එද ගොඩක් කොල්ලො කෙල්ලො දවල් දහය විතර වෙනකොට කැම්පස් එකෙන් වාෂ්ප වෙල
තිබුන, මම ලෙක්චර්ස් ඉවර වෙලා කම්පියුටර් රූම් එක පැත්තෙ රවුමක් ගහන්න හිතුවා
ඊමේල් බලන්න ..හ්ම් මෙන්න සුමි ඉන්නවා කම්පියුටර් රූම් එකේ , මූණ
මැලවිලා,

හලෝ මැඩම් මම හිතුවෙ ඔයා මෙලහට විහාරමහා දේවි එකේ ආදර වැස්සෙ තෙමෙනවා
කියලා මම එයාට විහිලුකලා. ම්හූ ....නෑ උත්තරයක්

ඇය් මචන් ප්‍රශ්නයක්ද ? මම හිතුවා මෙඩ්ඩ මේ හොඳ දවසෙ එයාව බලන්න එන්න ලේට් ද කියලා.

මනෝ මට අනුෂ්කට වැලන්ටයින් ප්‍රසන්ට් එකක් ගන්න ඔනෙ .යකෝ වැලන්ටයින්
පහුවෙලා සමරනව කිව්ව ගෑනිට මේ මොකෝ වෙලා තියෙන්නේ ?

ඉතින් ඒක ඒ හැටි දෙයක්ද ? අද ගොඩක් වැලන්ටයින් ඔෆර්ස් තියෙන එකේ
?බම්බලපිටියට ගියානම් වැඩේ ගොඩ මම සුපුරුදු විනෝද හඬින් කියල
කම්පියුටරයක් ඔන් කලා

මනෝ ඔයාට බැරිද මාත් එක්ක එන්න , මට ඔනේ එයාට හොඳ බ්‍රෑන්ඩ් ෂර්ට් එකක්
ගන්න ,අපි කොහෙදයන්නෙ , මම කවදාවත් ෂර්ට්ස් තෝරල නැහැනේ එහෙම තැන්වල

හ්ම්ම් .. කාලවරෙන්කො.. වදේ මම කොහොමද ෂර්ට්ස් ගැන දන්නෙ , මොකෝ මම
ෂර්ට්ස් තෝරල තියෙනවද ?මම ඇහුවා

අනේ මනෝ ..විහිලු නෙවෙයි සුමි කියනවා... හ්ම්ම් හරි පොඩ්ඩක් ඉන්න .. මගේ
ටිකිරි මොලේට මතක්වුනා හමීඩියාස් සාප්පුව ගැන . මම එතන පස් පාගල නැහැ ඒ
වුනාට අහල තිබුනා මිරර් ෆැෂන් මැගසින් එකෙන් ,Mc අවුට්ලට් එකක් තියෙන වග
ටක් ගාලා ඔලුවට ආවා. එකේ වැලන්ටයින් ඔෆර්ස් ගිෆ්ට් වවුචර්ස් තියෙනවගෙ
මිරර් එකේ තිබුනේ ..හ්ම්ම් ආදරේ කරනකොට වෙලඳ පොල තොරතුරු කොය්තරම්
වැදගත්ද?

එතින් මම සුමීට විස්තරේ දුන්නා . Mc එකේද අවුට්ලට් එකද ? ඔයත් එනවද මාත්
එක්ක ? සුමි අහනවා , හ්ම්ම් මම ඒකට ගිහින් නැහැ, හරි යමුකො එහෙනම් මමත්
කිව්වා

Mc එකම මිහිපිට මගුල් ගෙයක් වගේ වැලන්ටයින් දවසේ ,පාට පාට හදවත්
,විදුලිබුබුලු ,මිහිරි සන්ගීතය මැදින් පාට පාට ලෝක වලට පියාඹන උනුන්
බඳවෙලුන පෙම්වත්තු අතුරු සිදුරු නැතිව ,උදේනි පුර සැනකෙලිය වගේ ..යාන්තම්
හමීඩියාස් එකට ගියා..සුමි සුසුම් හෙලුවා අපරාදේ මට කලින් ප්‍රසන්ට් එකක්
අරන්තියන්න තිබුනෙ...හරියට නිකන් ලෝකෙ තියෙන ඔක්කොම තෑගි වස්තු අද ඉවර
වෙනව වගේ

ඔන්න පය තිබ්බ විතරය් කාරුනික සේල්ස් බෝයි කෙනෙක් ඇවිත් අපිට උදව් කරන්න
ලෑස්තියි..සුමිට හිතාගන්න බැහැ මොනවගේ කමීසයක් තෝරගන්නද කොහොම තෝරගන්නද
කියල ...මම නම් කවදාවත් අහලවත් නැති ඉස්තරම් බ්‍රෑන්ඩ්ස්..එයා ඒ අත මේ අත
බලනව..ටිකක් ගනන් වැඩියි කොඳුරනවා , එහෙනම් යමු වෙන තැනකට මම කිව්ව , නෑ
නෑ තව බලමු

මට හිතාගන්න අමරුයි එයාට ගැලපෙන සයිස් එක .. හ්ම් ඉතින් මෝඩය එක දන්නෙ
මමද ? විහිලු නෙවෙය් කොහොමද ඒක හිතාගන්නේ ?මට එයාගෙන අහන්න බැහැනෙ මේක
සර්ප්‍රයිස් එකක් ..මොන මගුලක ද මේ තරම් දුක්විඳින්නේ නොදන්න කෙහෙම්මලක්
තෝරන්න කියලා මට හිතුනා.. එහනම් ගිෆ්ට් වවුචර් එකක් ගන්න මම එයාට කිව්ව ,
වැඩේ ඉවරයි ..මම බැලුවෙ ෂෝර්ට් කට් එකක් .. අනේ එහම කොහොමද මට එයා ලස්සසන
තැග්ගක් දුන්නනේ ..සුමිගේ වැලපීම

ඔන්න මට අදහසක් ආවා, සුමි බලන්න අර සේල්ස් බෝයි දිහා .. එයා උසමහත අතින්
ඔයාගෙ මෙඩ්ඩ ට සමානයි නේද කියලා මම හමීඩියාස් එකේ හිටි කොල්ලෙක් එයාට
පෙන්නුවා ... ම්ම්ම් සුමි කල්පනාව , ඒසැනින් මම ඒ බෝයි ගාවට ගිහිල්ලා
කඩුවෙන්ම කිව්වා ආයෙත් දෙපාරක් හිත්න්නෙ නැතුව එයා වගේ උස මහත පිරිමි
ලමයෙකුට ගැලපෙන ලස්සන කමිසයක් තෝරල දෙන්න කියලා, එහෙනම් අඟල් 15 1/2
කියල ඔන්න එයා අපිට ෂර්ට් පෙන්නනවා..සුමි බලලා ඉවරවෙලා අත්දිග ඇත්දල පාට
කමිසයක් ගත්තා එයාට ක්ලිනිකල් කරන කාලෙට අඳින්න පුලුවන් කියලා ,... මම
පාට ගැන බලපෑම් කලේ නැහැ. ඒත් අර සේල්ස් බෝයි කියනවා දැන් ෆැෂන් එක ඔෆ්
වයිට් කියලා....

ඔන්න සුමිට ඔනෙවුන ඒක පාර්සල් කරගන්න ලස්සනට..මිස් කාඩ් එකකුත් දානවද අර
කොලුව අහනවා... ආයෙ දෙකක් නැහැ ලවර්ස්ලට සේවය කරල නියම පල පුරුද්දක්
තියෙනව වගේ

මම හිතුවා ඔක්කොම හරි කියලා..බිල ගෙවන්න ගියහම මෙන්න වැඩේ ..සුමි ආයෙත්
කියනවා මනෝ මේක ගන්න තව මට රුපියල් 1000/= මදි කියලා.. වෙලවට මම ගාව
සල්ලි තිබුනා,ගිය සතියෙ ගෙදර ගිය නිසා රුපියල් 3000/= ට ෂර්ට් එකත් අරගෙන
අපි ආවා...එයා කැම්පස් එකට ආවහම කිව්ව බෝඩිමේ අනිත් කෙල්ලන්ට කියන්න එපා
කියලා...එක නම් අකුරටම ඉෂ්ට කලා මම

ඒත් එදා හිතාගත්ත ඉලක්කම් පහක වත් පඩියක් දෙන රස්සවක් සොයගන්නේ නැතුව මම නම්
වැලන්ටයින් දිනය සමරන්නේ නැහැ කියලා



ලෙඩුන් බැලීම

ගොඩක් දෙනෙක්ට තමගෙම ප්‍රේමකතාවක් තියෙනවා කියල රසවින්ඳින්න ,හිනාවෙන්න
,එහෙමත් නැත්නම් මතක්කරලා හඬාවැලපෙන්න.මම කියන මේ කතා ටිකක් වෙනස්, මේවා
තුන්වෙනි පාර්ශවයක් විසින් ප්‍රේමය ගැන කරන නිරීක්ෂණ වගේ දේවල් . තුවෙනි
පාර්ශ්වයක් හැටියට ප්‍රෙම කතාවකට සම්බන්ද වීම හරි උද්වේගකර ,ත්‍රාසජනක
,හිනායන ඒ වගේම පස්සෙ චොක්ලට්ස්, අයිස් ක්‍රීම්,වගේ දෙවල් වලින් සැලකිලි
ලැබෙන වැඩක්

මේ කතාව මම කැම්පස් ෆස්ට් ඉයර් ඉන්නකොට වුන දෙයක්.මගේ ෆස්ට් ඉයර් එක
ගෙවුනෙ වැඩිය මිත්‍රසමාගම් නැතිව . ඒකට හේතුව මම ඉන්ග්ලිෂ් මීඩියම්
ඩිග්‍රීය කල නිසා.අපේ පන්තියෙ හිටිය වැඩිඩෙනෙක් කොලඹ සහ නුවර ඉහල පෙලේ
බාලිකා සහ බාලක පාසල් වලින් ආව අය. ඉතින් කාලයක් ගියා යාලුවෙන්න .අපිට
රැග් එක තිබුනෙත් නැති නිසා. ඒත් කවුරුත් කොතැනදි දැක්කත් හායි කියල
කියගෙන යන සිරිතක් අපේ තිබුණ.

ඒ අපේ ස්ටඩි ලීව් කාලෙ.මම එදා උදෙනම ලය්බ්‍රරි ආව, නෝට්ස් මිටියත් අරගෙන
පිම්මෙ පඩිපෙල නගිනකොට (මගේ හෙමින් ගමන් නැහැනේ අපේ පන්තියෙ බැචියක් වෙන
උමංගා පඩිපෙල කෙලවර ඉන්නව. මම එයට හායි කිව්වත් ,එයා මූන සෝබර කරගෙන
යාන්තම් ඒත් දුකෙන් වගේ හිනාවුන . මම ඇහුව පාඩම් කරන්න යන්නෙ නැතිද කියල
?ගෑනි හිමිහිට නැහැ කිව්වා. එයාගෙ මූනට හොඳටම එබිකම් කලහම යාන්තම් අඬපු
වගක් පෙනුන .මම බොහොම සන්වර තාලෙට කඩුවෙන් ඇහුවා මොකුත් කරදරයක් ද කියල
?කඩුව දැමේ ආරක්ෂාවට ,මම එයා වැඩිය අඳුනන යාලුවෙක් නොවෙන නිසා.එයා
හිමිහිට හීන් හඬින් කඩුවෙන්ම කිව්වා එයාට පොඩි කරදරයක් ,සමින්දට සනීප
නැතුව නවලෝකෙ ඇඩ්මිට් කරලා කියල .

එයාගෙන් හාර අවුස්සන ගියෙ නැතුවට මට මීටර් වුනා සමින්ද කවුද කියල
ලෙඩාට කොහොමද මම ඇහුවා

හ්ම්ම්...මට එයාගෙ ෆෝන් එකට කතාකරන්න විදියක් නැහැ, එයාගෙ අම්ම්ය්
තාත්තයි දෙන්නම එයාගෙ ඇඳ ගාව, යාලුවෙක් ගෙ ෆෝන් නම්බර් එකක්වත් මට නැහැ
එයාගේ.උමංගා හීල්ලුවා.

හරි මට ආවා අයිඩියා එකක්, කවුද සමින්දගෙ ගෙදර මේ වෙලවෙ ඉන්නෙ මම ඇහුව
. එයාගේ නංගි විතරක් වෙන්න ඇති .උමංගා නොසැලකිල්ලෙන් වගේ කිව්වා.
දෙන්න මට ගෙදර නම්බර් එක , උමංගා පුදුමෙන් වගේ ඇස් ලොකු කරගෙන නම්බර් එක දුන්නා.
මම එයාවත් ඇදගෙන ඉක්මනට පුස්තකාලෙන්පහලට බහැල ගිහිල්ල නතර වුනේ කාසි
පෙට්ටි දුරකතනය ගාව
දෙකේ කාසි අහුරක් අරගෙන මම නම්බෙර් එක ඩයල් කරන්න ගත්ත , උමංගා බයවෙලා
කියනව එපා නංගි සැක හිතය් කෙල්ලෙක් කතාකරනකොට .
සමින්දගේ අම්මා උමංගා කීප දවසක්ම එයට ගෙදරට කතාකලේ ඇය් කියල අහල තියෙනවා
කියල පස්සෙ එයා මට කිව්වා.

ඔන්න සමින්දගෙ නංගි ෆෝන් එක ගත්ත, සිහින් හඬක් , ගැහැනු ලමයෙක් ගේ, මම
මගේ කටහඬ පිරිමි ලමයෙක් වගේ මාරු කරල සමින්දගෙ යාලුවෙක් විදියට
රඟපානව.එහෙම කරන්න මට හේතුවක් තිබුණ.ගොඩක් මගේ යාලුවො ඒ දවස්වල මට
කියනවා පලවෙනි වතාවට මගේකටහඬ ෆෝන් එකෙනෙන් අහනකොට කොල්ලෙක්ගෙ වගේ කියල.
කොහොමහරි ලෙඩාගෙ විස්තර ලැබුන , ඒතරම් අමාරු නැහැලු , වැඩි හොඳට නවලෝකෙට
ඇඩ්මිට් කරලා තියෙන්නෙ, අම්මයි තාත්තයි ලඟ ඉන්නවලු ,මම කෝල් එක ඉවර කල
සැනින් උමංගට විස්තර විචාරෙ අකුරක් නෑර දුන්න .

ඔන්න එතකොට එයගෙ මූණ ටිකක එලිය වෙලා තෑන්ක්ස් මනෝ කියල කිව්ව.
මම එයාට යෝජනා කලා වඩයක් කාල ප්ලෙන්ටියක් බොන්න යමු කියල . මොනවහරි
සමරන්න ඔනෙ වුනහම මම එහෙමතමයි. ,මට හිතුන අපි ටිකක් යාලුවුනා වගේ කියල.
උමංගත් ටිකක් හිනාවුනානෙ ලෙඩාගෙ විස්තර දැනගත්තහම

ඔන්න ඉතින් ජිම් එකේදි උමංගා එකපාරටම හූල්ලල කියනවා අනේ මට සමින්දව බලන්න
යන්න තිබුනනම් ඒත් මම නවලෝකෙ තියෙන තැන දන්නෙ නැහැ .කවදාවත් කොලඹ හිටියට
බස් එකෙ ගිහිල්ල පුරුදු නැහැ තනියම.කොලඹ පාරවල් දන්නෙනැහැ

හ්ම්ම් හරි පුදුමයි මේ කෙල්ලො... ජීවිත කාලෙම කොලඹ ඉඳලා නවලෝකෙ තියෙන තැන
දන්නෙ නැහැ මගේ හිත කියනව .හැම සිකුරාදම 138 බස් එකේ ගෙදරයන්න කොටුවට යන
මට නවලෝක හන්දිය හොඳට හුරුයි . උමංගා තේ එක හිමින් තොලගානවා ඔනවට එපාවට
පාඩම් කරන්න යන්න හිතක් නැහැ වගේ .

ඔයාට නවලෝකෙ යන්නම ඔනෙද මම ඇහුව , එයා හරි පුදුමෙන් මම දිහා බැලුවේ .
හරියට නිකන් ඔයාට පුලුවන්නම් මාව මගේ සමින්ද බලන්න එක්ක යන්න කියල වගේ
එයාගෙ ඇස් බැගෑපත්වුනා.

යන්න පුලුවනි ඒත් ආන්ටිය් අන්කලුය් සමින්දගාව ඉන්නවනෙ , ඉතින් එයාලට සැක
නැතිවෙන්න යන්න ඔනෙ උමංගා ,
මගේ තීක්ෂණ් බුද්ධි මහිමය මම එයාට පෙන්නුව . ආයෙත් ගෑනිගෙ මූන කලු වුනා.

හ්ම් හරි මට කියන්න ඔය දෙන්න මුන ගැහුනෙ කොහොමද ?කොහේදිද

කවුද සමින්දගෙ හොඳම යාලුවො? මොනවද ඒ අයගෙ නම්
සමින්ද ක්‍රිකට් ගහන්වද ?
මගෙන් ඔයවගේ ප්‍රශ්න වැලක් උමංගට යොමුවුනා ,
එයා පුදුමෙන් වගේ මා දිහා බලාගෙන උත්තර දෙනවා

හරි මෙන්න ප්ලෑන මම ජයග්‍රාහි ලීලාවෙන් එයාට කිව්ව. අපි කියමු කූරා
(සමින්දගෙ අතිජාත මිතුරෙක් ) අපිට කිව්වෙ සමින්ද ලෙඩවෙලා කියල, ඒනිසා අපි
දෙන්න එයා බලන්න ආවා, අපි දෙන්න සමින්ද දන්න කට්ටියම එකට IBSL
ඉන්ග්ලිශ් කෝස් එක ෆලෝ කල නිසා කියලා.

ඉතින් පාඩම පැත්තක දාල මම උමංගත් ඇදගෙන නවලෝකෙට ආවා ඔන්න. හන්දියෙන්
බැස්සවිතරයි එයාට ඔනෙ වුන ලෙඩා බලන්න යන්න මොනවහරි ගන්න. එයාගෙ හිත ගියේ
එතන මල් කඩේ තිබුන රතු රෝස මල් වලට ,

මෝඩි රතු මල් ගෙනිච්චොත් අපි අහුවෙනව මම එයාට කෑගෙහුව,
යන්තම් එයා කැමතිවුනා ඇපල් ටිකකුය් මිදි ටිකකුය් ගන්න , ඒවා ලෙඩ්ඩුන්ට
හොඳය් නෙ . ඒත් චොක්ලට් එකක් නම් ගන්නම ඔනෙ කිව්වා.
මම එයා එකඟකර ගත්තා මම ඒව සමින්දට දෙන්නම් , කියලා මොකද උමංගා ඒ වැඩේ
කරන්න ගිහිල්ලා හැඟිම් බර වෙලා වැඩේ දෙල් වෙය් කියල මට හිතුනා.

ඔන්න අපි ඇතුලට ගියා කියමුකෝ දැන් ලෙඩාගෙ වෝඩ් නම්බර් එක හොයගන්න ඔනේ .
අපි දෙන්න රිසෙප්ෂන් එක ගාව තියෙන දැන්වීම් පුවරුව ගාවට ගියා,
උමංගා හැඬුම් බර මූනකින් මම දිහා බලන්වා, අනේ මනෝ සමින්දගෙ නම නැහැනේ
මෙතන , එයා ගෙදර ගිහිල්ලද ?
හ්ම්ම්ම් මම හොඳට එබිල බැලුව නාමපුවරුවට , මොකක් වුනා කියලද හිතන්නෙ
?ගෑනි තදියම වැඩිකමට කියවල තියෙන්න් පේශන්ට්ස්ලගෙ නේම් බෝර්ඩ් එක නෙවෙය්
එදාට නවලෝකෙට චැනලින් වලට එන ඩොක්ටර්ස්ලගෙ නේම් ලිස්ටෙක

හ්ම්ම් ඉතින් මම හොඳ සිහියෙන් නිසා සමින්දගෙ වෝඩ් එක හොයගත්ත ,
හතරවෙනි තට්ටුවේ කාමරයක් .එතින් ලෙඩාගෙ කාමරේ දොරගාවටම අපි ගියා කියමුකෝ
.මෙන්න උමංගා මගේ අත අල්ලගෙන කෙඳිරිගානවා ...මනෝ මට බයයි කියල,එයගේ එක
අතක ඇපල් ,මිදි චොක්ලට් පාර්සලය .
මම අත ගසාදාල කිව්වා බයවෙන්න එපා මේ කේස් එක මම ලීඩ් කරන්නම් කියල

මම දොර ඇරගෙනම ඇතුල්වුනේ හායි සමින්ද කියාගෙන ,සමින්ද තක්කු මුක්කුවෙලා
බලනව මම කවුද කියලා, මම කිසි ගානක් නැතුව කූරා තමයි විස්තරේ කිව්වෙ ඔයා
ලෙඩ වෙලා නවලෝකේ කියල . වක්කඩේ කැඩුව වගේ කියනව ජිවිතේ පලවෙනිවතාවට දැකපු
කොල්ලෙක් එක්ක කිසි සබකෝලයක් නැතුව..ඊටපස්සෙ වැඩ වරදින්න කලින් මම ,
කැමැත්තෙන්ම ඉදිරිපත්වෙලා අපි දෙන්නව හඳුන්වල දුන්න සමින්දගේ
පේරන්ට්ස්ලට.මොකද ඒක කරන විදිය සමින්දටත් ප්‍රහේලිකාවක් වෙලා තියෙන්න
ඇත්තෙ ඒ වෙලාවෙ

සමින්දගේ ඇඟට ලේ ටිකක් උන්නන්න ඇත්තෙ උමංගා දැක්කහම වෙන්න ඔනේ .ඒත්
මිනිහා ඇස් ලොකු කරගෙන බලා ඉන්නවා.ඔන්න ඉතින් අපි දෙන්නා පුටු දෙකක වාඩි
වුනා සමින්දගෙ අම්ම ගෙන් ලද අවසරයෙන්.

උමංගා සමින්දට කිට්ටුවෙන්ම තියෙන පුටුවක වාඩිවුන. මට දැනුන සමින්දගේ
අම්ම අපිව හොඳට නිරීක්ෂනය කරනව කියල.එයා අපෙන් කඩ ඉම් ප්‍රශ්නත් ඇහුව
සමින්ද දන්නෙ කොහොමද කියල, උමංගා බීතවෙලා ඉන්නකොට පැනල උත්තර බැන්දෙ මම.

සමින්දගෙ තාත්ත පරණ පේරදෙනි කැම්පස් උගතෙක්, එයා අපි කැම්පස් බව දැනගෙන
අතීත පේරාදෙනි විසිතුරු කියවන්න ගත්ත, ප්‍රොෆෙසර් සරච්චන්ද්‍ර ගැන එහෙම
, යන්තන් මම ඒකෙනුත් ගොඩගියා හූමිටි තියලා,පලිප්පු දාලා. වෙලාවට පේරාදෙනි
සාහිත්ය යුගය ගැන කියවල තිබුන නිසා.

ඒත් මට යාන්තමට පේනව උමංග , සමින්ද එක්ක ඇස්වලින් කෝල කතාවක් ,
සමින්දගේ අම්ම ඒ දෙන්න දිහා බලාගෙන, පෙම් කරන්න ගියහම සිහිය නැහැනෙ

මට හිතුන වැඩ වරදීවි කියල. මම එකපාරටම කිව්ව උමංග අපි යමු පාඩම් කරන්නත්
තියෙනවනේ කියල .එයාගේ මූන කලුවුනා, ඔන්න ඉතින්න් සමුගන්න වෙලාව , මම
සමින්දට ඉක්මනට සනීපවෙන්න කියලා විශ් කරල උමංගගේ අතේ තිබුන පාර්සලය ගන්න
හදනකොටම උමංග ඒක සමින්දට දුන්න ,සමින්ද එයාගෙ අත හෙමිහිට මිරිකුව,
ආන්ටිගෙ උකුසු ඇස් ඒ දෙන්නා ගාව, ඒ එක්කම ආන්ටි කියපි ,දුවල ඉන්න ටිකක්
මමත් එනවා ෆාමසියට යන්න සමින්දගේ බෙහෙත් ගන්න ,
මම තවත් හිතන්නෙ නැතුව උමංගගෙ අතින් ඇදගෙන ඉක්මනට කාමරෙන් පිටවෙලා ලිෆ්ට්
එක එනකන් ඉන්නෙත් නැතුව තට්ටු හතරම පඩිපෙල බැහැල නැවතුනේ 138 කොට්ටාව බස්
එකක .