බුතුවාන් නුවර
වීදි දිගේ
සැරිසරද්දී
ගොඩවැදුනා එක
සිහින සාප්පුවකට
ආගිය තතු විමසා
මා ලංකාවෙන් වග
ඈ දෑනගත් විට
දිලිසුනා කඳුලක්
වියපත් නෙතු අග
එක නිමේෂයකින්
මහාද්වීප දෙකක් යාකල
අතීත තුරුනු පෙමක
නටබුන් දිගහැරුනා
මා අබියස
කිසිකලෙක මාල නොපැලඳුවද
ඇගෙන් තෑගිලද විසිතුරු මාලය
දෝතින්ම බාරගත්තෙමි
සදාතනික ප්රේමයට
පුද දුන් පඬුරක් ලෙස
රාජකාරි ගමන් බිමන් ,තව නොයෙකුත් වැඩ අධික වුනු ඉතාම කාර්යබහුල දින පහක් නිමාකරල කුරුණෑගල ඉඳලා නිවසට සේන්දුවුනෙ ඊයෙ හවස් යාමෙ .දවස් පහක කිලුටු ඇන්දුම් කැඩුම් ,අනික් ලට්ට ලොට්ට පිරුනු ගමන් මල්ල කල්නොයවා අස්පස්කරන්න හිතුනෙ එන සතියෙ තියෙන ගමන් බිමන් මතක්වෙලා.නැත්නම් ඉතින් කිලුටු තමයි අඳින්න වෙන්න .
මම මේ ගමන් මල්ල මෑතක ඉඳලා දිගු සංචාර වලදි ගෙන යනවා .බෑගයෙ පිට සාක්කුව අස්පස් කරද්දි නෙත ගැටුන දෙයකින් මොහොතකට මගේ හිත සසලවුනා.ස්වාභාවික මුතු ,සිප්පිකටු,පොල්කටු වලින් හැඩදැමූ ඒ විසිතුරු මාලය අතේ රඳවගෙන මොහොතකට කල්පනාලෝකෙක මම තනිවුණා.අත රැඳි මාලයේ මුතු ඇට අතරින් දිලිසුණ වියපත් දෙනෙතක කඳුලු කැට දෙකක් මට මැවි මැවී පෙනුනා
මම නැවතිලා හිටිය ඇල්මොන්ට් සිටි හෝටලයෙන් එලියට බැස්සෙ හවසටවත් ටිකක් බුතුවාන් නගරයයේ මගතොට අවිදලා බලන ආසාවෙන් .මගේ කාර්යාල සගයො බොහෝදෙනෙක් ලද අවසරයෙන් ගයිසානෝ සාප්පු සංකීර්ණය බලා ගියේ ෂොපින් කරන්න .ඒත් මම කැමති මෙහෙම වෙලාවක් ලැබුනම මගටතොට ඇවිදලා ජනජීවිතය දකින්න.රටින් රට මිනිස්සු ජීවත්වෙන විදිය ඇවතුම් පැවතුම් වෙනස්නෙ .ඒවා කැමරාවට හසුකර ගැනීමත් මගේ විනෝදාංශයක්. ආහ්.... මට අමතක වුනානෙ කියන්න බුතුවාන් ,පිලිපීනයේ මින්ඩනාවෝ දූපතේ තියෙන සංචාරකයො ගැවසෙන පුංචි නගරයක්.
ඇල්මොන්ට් සිටි හෝටලයේ ඉඳල හතර අතටම විහිදුනු ජනාකීර්ණ වීදි අතරින් මම හෙමිහිට ඉදිරියට ගියා.අසල තියෙන් කුඩා දේවස්තානයේ සීනු හඬ සවස දේව මෙහෙයට බැතිමතුන් කැඳවනවා.හැමදාම උදේට මම අවදිවෙන්නෙත් මේ සීනු හඬට .දෙව්මැදුර ඉදිරිපස වීදි දිගේ පුංචි මල් කඩ පේලිය අලුත්ම අලුත් මල් පොකුරු වලින් පිරිලා,දෙව් මැදුර අබියස තියෙන කුඩා උද්යානය ජනාකීර්ණ නගරයට ලස්සනක් එක්කලා. මින්ඩනාවෝ දූපතේ නගර නිර්මාණයත් හරි අපූරු දෙයක්.හැම නගරයකටම සේන්දුවෙනකොට නගමධ්‍යයෙ දෙව්මැදුරක් සහ උද්‍යානයක් දැකගන්න පුලුවන්න් .ඒ ඔවුන් ස්පාඤ්ඤ නගර නිර්මාණයෙන් ලද ආභාෂය නිසා ලු .මිඩනාවෝ දූපත කාලයක් ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වෙලා තියෙනවා.ඉතින් ඔය නගර නිර්මාණ කලාවත් යටත්විජිත උරුමයක්.එහෙම කිව්වෙ මගෙ පිලිපීන මිතුරිය ජින්ග්.
මල් කඩ වීදියත් පහුකරගෙන උද්‍යානය කෙලවරට පියමන් කල මම නතරවුනේ සංචාරකයන්ට මගපෙන්වන විසිතුරු බඩු අලෙවිකරන පොඩි කඩ පොඩ්ඩක් ගාව.කරන්ගා හාර්ට් කියල දැන්වීම් පුවරුවෙ සටහන්වෙලා තිවුනා. කරන්ගා, බුතුවාන් වලට නුදුරෙම තියෙන ලස්සන සන්චාරක නගරයක් . යම්දෝ නොයම්දෝ කියලා සාප්පුව ඉදිරියට වෙලා ලතවෙනකොට එක් වියපත් කාන්තාවක් එලියට ඇවිත් බොහොම උනුසුම් ලෙස මාව පිලිගෙන ඇතුලට එන්න ආරධනා කලා.ඉතින් නොගිහින් කොහොමද?මම සාප්පුවට ඇතුල්වෙනකොටම දොරකොඩ වාසනාව ගෙන එන්න එල්ලල තිබුණ හදවත් හැඩයෙන් යුත් චිම්ස් සිලි සිලි ගාලා සුලඟට නැටුවා.
පීලිපීන වැසියන් බහුතරයකට ඉන්ග්‍රිසි කතා කරන්න පුලුවනි ,ඉතින් මේ වියපත් කාන්තාවත් සුපුරුදු ලෙසින් මගෙන් ආගිය තොරතුරු අහුවා.සාප්පුවෙ සිරි විසිතුරු නරඹන ගමන්ම මම ලංකාවෙන් රජකාරි ගමනකට ආව කෙනෙක් කියලා වැඩි විස්තර දැනගන්න මගේ රාජකාරි කාඩ්පත ඇයට දුන්න ."ඔබ ලංකාවෙන්ද"? පුදුමයෙන් වගේ ඇය නැවතත් මගෙන් ඇහුවා."ඔව්" මම උත්තර දුන්න වැඩි සැලකිල්ලක් නැතුව.
එක නිමෙෂයක් මා දිහා බලාසිටිය ඇය අසල වූ දිවානය පෙන්වා අසුන් ගැනීමට මට අතින් සන් කලා. මම වාඩිවෙලා කුතුහලයෙන් ඇගේ නිහඬ මුහුණ දෙස බැලුවා.
"මගේ පෙම්වතා ශ්‍රී ලාංකිකයෙක් . අපි මුනගැහුනෙ මීට අවුරුදු විසිපහකට විතර කලින් ,මැනිලා වලදි. එයා ස්වර්නාභරණ කලාව ගැන පාඨමාලාවක් හදාරන්න මම ඉගෙනගත් ආයතනයට ඇවිත් හිටියා.අපි හමුවුනේ එහෙමයි ".
සන්සුන් ඒත් මොකක්දෝ ශෝකී ස්වරයකින් එය කියනවා.හරියට දයිව යෝගයකින් වගේ වෙන්න ඇති ඒ හමුවීම ,නැගෙනහිර අසියාවත් දකුණු ආසියාවත් එක මොහතකින් එක්වෙන්න ඇති ඇස්වලින් කතාකරලා.මගේ හිත කියනවා.
"කෝ දැන් ඔයාගෙ පෙම්වතා?" ඉවසිල්ලක් නැති මගෙන් ඇයට පැනයක්.
"අපි අවුරුදු දෙකක් පෙම් කලා. අන්තිමට විවාහ වෙන්න හිතලා දෙපැත්තෙම දෙමවුපියන්ට මේ කාරනේ කිව්ව .එත දෙගොල්ලම අපිට විරුද්ධවුනා. එයා ඉස්ලාම් බැතිමතෙක් .මගේ මුලු පවුලම කිතුනු උදවිය අපේ අම්ම කොහොමටවත් කැමතිවුනේ නැහැ එයා වගේ කෙනෙක් බඳිනවට .අන්තිමට එයාගෙ පවුලෙ උදවිය කිව්ව මම ඉස්ලාම් ආගම වැලඳගත්තොත් විවාහයට ඉඩ දෙනවා කියලා.ඒත් මට පුලුවන් කමක් තිබුනෙ නැහැ එහෙම තනි තීරණයක් ගන්න ,අන්තිමට අපි වෙන්වුනා ,එයා ලංකාවට ගියා ,එතකොට මට වයස විසිහතක් .ඉන්පස්සෙත් මට එයාගෙන් ඉඳහිට කෙටි ලිපියක් දෙකක් ලැබුනා.මගේ උපන්දිනයට නම් අනිවාර්යෙන්ම සුබපැතුම් පත් ලැබුනා .එත් කාලෙකට පස්සෙ එවා ඔක්කොම නැවතුනා . දැන් එයා විවාහ වෙලා ලොකු දරුමල්ලොත් ඇති ".
ප්‍රේමයට කොහින්ද ආගම් ,ජාතිබේද වගේ සීමා මායිම් වැට කඩොලු? හිත ගිය තැන මාලිගාවනෙ. "එයා ලංකාවෙ නැගෙනහිර පලාතෙ කෙනෙක්"( ඇය ඉතා නිවැරදිව ඔහුගේ නම සහ ගම් පලාත කිව්වත් මට දැන් එය මතක නැහැ )
මම නොසන්සිඳුනු කුතුහලයෙන් ඇයදෙස බැලුවෙ "ඉතින් ඊට පස්සේ මොකද වුනේ"කියලා අහන්නවගේ. එයා මගේ හිත තේරුම්ගත්තා වගේ උත්තර දුන්න.
"මම ඊට පස්සෙ විවාහයක් ගැනවත් ,අලුත් ප්‍රේමයක් ගැනවත් තිතුවෙ නැහැ.මගේ මුලු කාලෙම කැප කලේ මේ ව්‍යාපාරයට
"
සිහින් කඳුලු බිඳු දෙකක් ඇගේ නෙතු අග රැඳිලා.මට තව මොනවත් ඇගෙන් අහන්න බැරි ගතියක් හිතේ ඇතිවුනා .මට නොදැනිම දිගු සුසුමකුත් පිටවුනා. අවුරුදු විසිපහක් කොහොම ගතවෙන්න ඇතිද?
මම දිවානයෙන් නැගිටලා සාප්පුව සිසාරා හිස් බැල්මක් හෙලුවා . මොකක්දෝ වරදකාරී හැඟීමක් මගේ හිත ඇතුලෙ තෙරපෙනවා වගේ .මොනව වුනත් මගේ රටේ කෙනෙක් නිසානෙ ඇයට මෙහෙම වුනේ. මට එහෙම හිතුනා.ඇය නම් අමුත්තක් නොපෙනවා මට කරන්ගා ලී කැටයම් ගැන විස්තර කරන්න පටන්ගත්තා.
මට ඔනෙ වුනේ එයින් එක ලී කැටයමක් මිලට අරගෙන ඉක්මනට එතැනින් යන්න. මම ලී කැටයමකට මුදල් ගෙවද්දී මොහොතක් ඉන්න කියලා ඇය අතින් සන් කලා.ඇය එතැන තිබුණු සිප්පිකටු ,මුතු සහ පොල්කටු වලින් අලංකාර කල විසිතුරු මාලයක් මගේ ගෙල වට පැලඳුවා .
"ඔබට මේ මාලය හරි හැඩයි , මේ ස්වාබාවික මුතු , මේක මගෙන් ඔබට තෑග්ගක් ,ඔබ ලංකාවෙන් නිසා, මට කවදාවත් ලංකාව අමතක වෙන්නෙ නැහැ"
මම කවදාවත් එවැනි විසිතුරු මාල පලඳින්නේ නැහැ.\ඉඳහිට පලඳින චාම් සිහින් රන් දම් වැලක් පමණයි මගේ ගෙල වට රැඳෙන්නේ.ඒත් ඇගේ දිලිසෙන ඇස් හමුවෙ මට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ.
"මේ තෑග්ග ඔබට නෙවෙයි , ඔබේ රටෙන් ආව කෙනෙකුගෙන් මට ලැබුන ප්‍රේමයට පෙරලා දෙන තුටු පඬුරක්" ඇගේ දිලිසෙන වියපත් දෙනෙත් වල ලියැවිලා තිබුනෙ එවැනි කතාවක් .
පසු සටහන
මම නැවත ඇල්මන්ට් සිටි හෝටලයට ගියේ බරවුනු හිතින්.හෝටල් ආලින්දයේ සිටි මගේ මිතුරියන් කීපදෙනෙක් මාව දැකලා හිනහවෙන්න පටන්ගත්තා .
"මේ මොකද මේ කවදාවත් නැතුව සිප්පිකටු මාලයක් දාගෙන .ඔයා මේව පලඳින්නෙ නැහනේ"
මම මගේ කතාව ඒ අයට කිව්වා. ආයෙත් යාලුවො කොක් හඬ දීලා හිනාවුනා.
"වෙලාවට ඔයා ලංකාවෙ කොල්ලෙක් නොවුනෙ .එහෙම වුනානම් එයා ඔයාව එවන එකක් නැහැ.මේ පිලිපීනයේ එහෙම දේවල් වෙනවා ඔනෙතරම්"
මගේ මිතුරිය ජින්ග් හිනාවෙවී කිව්වා.එයාලගෙ හිනාවට එක්වෙන්න බැරි ගතියක් මගෙ හිතේ තිබුනෙ . ඊට දවසකට පස්සෙ මට ආයෙත් මැනිලා බලා පිටත්වෙන්න වෙනවා.ඇගේ ඡායාරුවක් ගන්න ඔනෙ කියලා හිත කිව්වත් ආයෙත් සාප්පුවට යන්න මට හිත දුන්නෙ නැහැ. ඒනිසා බුතුවාන් වලින් පිටත්වෙන දවසෙ උදේ පාන්දර එයාගෙ සාප්පුව අරින්නත් කලින් ගිහිල්ල ගත්ත ඡායාරුපය තමයි ඔයතියෙන්නෙ .පේනව නේද හදවත් හැඩයේ "චිම්ස් "එල්ලලා තියෙනවා?ඇය දුන් තිලිණය මම මැනිලා වලදි මිලට ගත්ත දැන් පාවිචි කරන ගමන් මල්ලෙ පිට සාක්කුවට දාල එහෙමම තියෙන්න
ඇරියා. ඒක කවදාවත් මගේ මිතුරියකට තෑගි දෙන්නවත් , මම පලදින්නවත් හිතුවෙ නැහැ . හැමදාම ඒ විසිතුරු මාලෙ මගේ ගමන් මල්ලෙම තිබුනදෙන් .
හා ..මට දෙයක් කියන්න අමතක වුනා .මම ලංකාවට ආවට පස්සෙ මගේ ඡායරූප බලන අතරෙ ඇතිවෙච්චි අදහසක් නිසා තමයි ඔය කවිය ලිව්වෙ .මේක මගේ සංචාරක අත්දැකීම් වලින් ලියවුන තුන්වෙනි පාර්ශ්යවයේ කවි ප්‍රේම කතාවක් .
හරිම ලස්සන කවිය. අර කිව්වයි කියපු කතාව ගෑන වෙනම ලිපියක් කරන්න, පුලුවනි, මයෙ හිතේ.
ReplyDeleteකොහෙද, මේ බුතුවාන් නුවර තියන්නෙ?
Thanks Owl . Butuwan is a small city in Mindanavo island of Philippine.Yes there is a very sentimental story behind this pic .I will write it soon .
ReplyDeleteOh..Mindanao. My college buddy (Errr..,we are, sort of, partners of crime) is a Filipino girl. But she is a Austrian citizen.Anyway, I like Philippines and their food.
ReplyDeleteහරිම සුන්දර සංවේදී කතාවක්. මගේ හිතත් අවුරුදු 26 කට ඉස්සර කාලයට ගියා.
ReplyDeleteකතන්දර කාරයා
Thanks Mr.kathandara . On that day evening when my friends were laughing i feel like crying . but i never do public crying .it may be the reasons i wrote that poem much latter to give a relief to my heart .
ReplyDeleteAs our "Kathandara" says, what a beautiful story?Thanks, Mano, for sharing. It reminds me the film "Chocolate". I don't have a habit of crying, but if I say, it didn't bring a tear to my eye; It must be a lie.
ReplyDelete