Friday, September 9, 2011

හැඟුම් විසිර දස අතේ - ලැගුම් සොයයි හදවතේ







ගුවන් විදුලියේ මහ පිරිතෙන් නින්දට යන මගේ ආච්චී අලුයම අරඹන්නේ සෙත් පිරිත් දේශනාවෙන් හා උදා විකාශයෙනි .අද මෙන් අතෝරක් නැතිව තිස්පෑයෙම කියවන ගුවන්විදුලි නාලිකා එකල තිබුනේ නැත , මතක ඇති තරමින් තිබුණේ ස්වදේශීය සේවය හා වෙලඳ සේවයයි . මේ මගෙ ළමා කාලයේ අසූව දශකය ආරම්භයයි .සෙත් පිරිතට ගුලිවී නිදන  මම ඇහැරෙන්නේ උදා විකාශයේ දේශාභිමානී ගී සමගය.ඒ අතරින් එක ගීයක රාවය හා මදුර වූ ගැඹුරු හඬ කුඩා මගේ සිත් ගනී . එහි අරුත කුඩා මට නොතේරෙන මුත්  මට හිතෙන්නේ ආච්චී කියා දී ඇති ජයමංගල ගාථා තරම් ඒ ගීය ප්‍රබල බවයි .

"බුද්ධානු භාවේන සිත් මෙත් පහන් වී
මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොවුතුරා රශ්මි මාලා
හෙල දෙරණ ජන ජයතු ජය මංගලානී


   
තන්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා රුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙල දෙරණ ජන ජයතු ජයමංගලානී


හෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංශා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාසධාරා
හෙල දෙරණ ජන ජයතු ජයමංගලානී"




මේ ගීතය අසන විට  මගේ හිතපිරී යයි . අද හොඳ දවසක් වැනි සිතුවිල්ලක් එයි . ගීතය සමග පසුබිමින් ඇහෙන්නේ මගේ ලොකු මාමා රැවුල බාමින් මේ ගීය තාලය වරද්දමින් කියන හඬයි .යන්තම් පස් විය වත් නොඉක්මවූ ළදරු මට නන්දා මාලිනිය හොඳින මතකයට එන්නේ මෙලෙසිනි .හෘංගාවලී රාව, ක්ෂීර පායාස යනු මොනවාදැයි මා දැන ගත්තේ බොහෝ කාලෙකට පසුය.නමුත් අදත් මේ ගීය නන්දා ගයන විට මගේ බාල කාලයේ මතක ගැන ඉමිහිරි චිත්තරූප මැවේ .

නැවත මට ඇය මුණ ගැසෙන්නේ අනූව දශකයේ  මගේ ගැටවර වියේදීය .අතට අහුවෙන සියලු,පොත් , පත්තර කාවෙකු මෙන් කියවීමටත් හැම දෙයක් දෙසම සාධාරණයේ  , යුක්තියේ ඇහින් බලන්නටත් , නොමේරූ සිතින් අසාදාරණය , දුක , පීඩාව ප්‍රශ්න කරන්නටත් නන්දා විසින් ගැයෙන ගී මට අනුබලයක් වෙයි . ඇයේ කිඳුරියකගේ විලාපය , හේමන්තයේදී, පහන්කන්ද යන කැසට් පට (එකල සී ඩී පට නොතිබුණී ) මට අමයුරු විය . පවතින දේශපාලන ක්‍රමය ප්‍රශ්න කෙරුන මේ සමහර ගී ගුවන්විදුලියෙන් තහනම්ව තිබිණි . මේ කැසට් පට වල ගීත මට පටි ගතකර අහන්න දුන්නේ නන්දාගේ හද බැඳි රසිකයෙක් වූ දැන් සැට වියට ආසන්නව කල් ගෙවන මගේ ලොකු මාමාය . 

යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න 
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන් 




ලොකු අය්යලා අක්කලාගේ" කොලඹට කිරි අපට කැකිරි" කතා ඇහුණ , පාර දෙපස දර සෑ වල පිලිස්සෙන යන්තම් දැලි රැවුල් වැවුණ අය්යලාගේ මල සිරුරුත් දුටු එකල මේ ගීය තරමක විප්ලව කාරී අදහස් හිතට දුන්නා මතකය .සාධාරණය හා අසාධාරණය ගැන අදටත් මේ ගීය නිසා ඉතිරි වූ හැඟීමක් හිතේ ඇත .ඉන් නොනැවතී දිවයින පුවත්පතේ පලවූ ඇඹිලිපිටිය සිසුන් අතුරුදහන් වීමේ නඩුව අකුරක් නෑර ඉවර වෙන තුරු කියවූ අයුරුත් මතකය .පද නිවැරදිව මතක නැතත් හේමන්තයේදී කැසට් පටයේ වූ ධනපති පන්තියට නිගා කල (දැන් මම ධනපති පන්තියට කඩේ යමි )"කොලඹ හතේ , කුරුඳුවත්තේ ,බංගලාවේ,බිතෝවන්ගේ වාදනයක් ,පියානෝවකින් වයන් පුස්ඹ ගහන ලමිස්සියට" නන්දා කියන්නේ මේ සියලු සැප සම්පත් උපදින්නේ ඇගේ තාත්තාගේ තේවත්තේ දල්ලට යටවූ දහදියෙන් බවයි .සමාජවාදී සිහින බැලූ ලොකු වැඩ කරන්න දැඟලූ අපි වැනි පොඩි වුන්ට මේවා විප්ලවය අවුලුවාගන්න හොඳ ගිනිදැල් විය . නන්දාගේ තවත් ගීත සොයන්නට මේ විප්ලව ගී ඉවහල් වුනි . අලුත් ආරකින් ලෝකය දෙස බලන්නට කියාදුන් ගීත ගොන්නට පසුව මේවාත් එකතු වුනා මතකය .

"මිරි වැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා "

"උඬඟු ලිඅයන් ගොතා බඳින
 නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ"

"වහින්නට හැකිනම් මේඝයක් වී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසෙන් "

"දුප්පත් කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එන දා"

"චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් 
දූ සනහන්නට ගීත ගයනවා
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ"

"හන්තාන අඩවියේ -සුදු කුලුණු
මැදුරු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයෙ සුලඟ නොවේ" 


විප්ලවයේ දිග පලල නොදත් මුත් මිනිසුන්,ගැහැණුන් හා සමාජ ප්‍රශ්න දෙස දයාර්ද්‍ර සිතින් බලන්නත් මතු යම් දවසක කාගේ හෝ හඬන දෙතොලග සිනාවක් වෙන්නත් උවමනා මනුස්සකමේ (සර්ව සාධාරණ යුටෝපියානු මිනිසා නොවන වග සලකන්න ) මුල් පාඩම් හිතේ තැන්පත් වෙන්නටත් මේ ගී බලපෑවා යයි සිතමි.

ටික කාලෙකින් මගේ විප්ලව සිහිනයේ රැස් වියැකී ගොස් 'අරලිය ලන්ද්ට හඳ පායා, තුරුලිය මල් වට බඹරු බමන " කාලය එලැඹුනි .විප්ලවයේ සැර බාල වුනත් "ගෙඩි සීයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි ,අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ"ලෙස ඈ ගැයුවාය .නන්දාට ගැයුමට බොහෝ මධුර මනෝහර පද වැල් ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ඩෝල්ටන් අල්විස් සූරීන් විසිනි ."අරලිය ලන්ද ගයමින්"නන්දා අලුත් යුගයකට ආවගක් මතකය .ඒ,එකල නවක ගී රචකයන්ගේ ගී කැසට් පටයකට ගැයීමයි.නන්දා විසින් අතීතයේ ගැයූ බොහෝ මිහිරි පදවැල් මිහිරෙන් මිහිරට පත්ව ඇසූ කාලයක් ඉන් ඉක්බිති උදාවිය . 





"හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා"

"ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්දකාරේ
ඔබයි සෞම්‍ය තරු එලිය ගිම්හාන කාලේ
සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගෙන්"

"සාරි පොඩිත්තක් ඇඳගෙන
මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී
කතා කරල මංගල්ලේ නියම කරාවී"


ඔය හැම ගීයකටම වඩා "දියමන්තිය" චිත්‍රපටියේ  මේ ගීය ඇහෙන විට මට  වලාකුලක් සේ  නිදහසේ   රීඩ් මාවත උස් තුරු හිස් , තණ පිටි ,විද්‍යාල මන්දිරය උඩින්   පියඹා යන්නට  සැහැල්ලුවක්,සතුටක් හිතේ  ඇතිවේ


"යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලාබසිනු මැන
නිරන්තරේ සිනා සිසී"


 




ඔය අතරේ කැඩුන, බිඳුන , වියැකුන ප්‍රේම පුරාණ ගැනත් සින්දු ඇහුවා මතකය .

"මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වලල්ලෙන් එහා රටේ අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්"

"තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි කියවෙන මහ රෑ"

"කඩ මංඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොලුවෙලා අපී
දාහක් දේ තිබේ කිමට බැරුව නිති"


ටිකක් කල් යන විට  එලිවිස් ප්‍රෙස්ලි , බ්‍රයන් ඇඩම්ස් , නීල් ඩයමන්ඩ්, බීටල්,ජොනී කෑශ්, නෝරා ජෝන්ස්  තාගෝර් සංගීතය , යනී, ලතා මංගේශ්කර්, රාෆි වැඩි වැඩියෙන් අහන්න ගත් නිසා නන්දා ගේ ගීත අහන්න තිබූ උවමනාව අදු විය . අරලිය ලන්දට පසු "කිරි මදුවැල්" හා "දුර පේන තැනිතලා" නමින් ගී තැටි දෙකකට ජන ගී හා පැරණි ජනප්‍රිය ගී ගයන්නට  නන්දා පෙලඹුන මුත් ඒවා මගේ හිත් ගත්තේ නැත .

ආයෙත් නන්දා ගැන මගේ මතක අලුත්වුණේ දැන් දෙවසරකට පමණ උඩදී දිනෙක මගේ මිතුරෙකු විසින් පෙන් ඩ්‍රයිව් එකට කොපි කර දුන් ඇගේ පැරණි ගී සමුච්චයක් නිසාවෙනි .ඒ අතරින් ගී කීපයක් බොහෝසෙයින් මගේ සිත් ගත්, නිරතුරු වැඩෙහි යෙදෙමින් අසන ගී බවට පත්වී ඇත .නිදි වරමින් වැඩ කරන සමහර අලුයම් හා රාත්‍රීන් ගෙවදමන්නට මේ ගී උදව් වෙයි

"නිම් වලල්ලෙන් එපිට සඳ රැස් ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුලින් මතුවී ඔබේ පා මුදු හඬ අසේ

දහස් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ

අහස් ගඟ බඩ හිමවු කුලු මත ඔබේ රන් මිනි තලාවේ
පහන් දල්වා තමනු මැන මා නිදන කුටියට පෙනෙන සේ"


 



නිම් වලල්ලෙන් ගීය මා මුලින්ම ඇසුවේ වැසිදිනෙක ගාලුපාරේ අහුන්ගල්ල ගඟ පසු කරමින් වාහනයේ තනිව යන විටයි . වැහි අඳුර , නොකඩවා වැටෙන වැහිබින්දු , හාත් පස පාරේ වූ පාලු ගතිය , අඳුර කපාගෙන යන වාහනයේ ලාම්පු එලියත් සමග මුසු වූ මේ ගියේ අරුත හා නන්දාගේ මියුරු හඬ මගේ හිත පැහැර ගත්තේය .මග දෙපස පාලු ස්වභාවය "දෙනෝ දාහක් මැද මහා තනිකමක් හිතට  ගෙනා  අයුරු මතකය . අදටත් "දෙනෝදාහක් මැද තනිවුනා" යයි හිතන හැම විට මම අසන්නේ මේ සින්දුවයි

 
 



"හැඟුම් විසිර දස අතේ - ලැගුම් සොයයි හදවතේ
දෑස මුණ ගැසී දෑසට -ඉරණම දුටුවා
වලාකුලක් නැති අහසක් ඈතින් දුටුවා

අලුයට සැඟවෙන වසන්තයේ - ගිනි පුපුරින් මල් පුබුදනවා
ලෙන් දොර හමුවේ රන් තරු පායා - ආදරයේ මුතු අමුණනවා"



 
ඔය සින්දුව ඇහෙන හැම විටකම ආයෙත් රීඩ් මාවතේ ඇහැල මැයි- මල් පාවඩ එලන ජුනි -ජූලි කාලයට   ඇවිදයන්න හිතේ. හිත නිකන් දඟකාර ගතියක පැටලුණ මන් මත් ස්වභාවයක් ගනී .

 නන්දාගේ මට ලැබුණ ගී එකතුවේ මා මින් පෙර කිසි දිනෙක අසා නැති මුත් ඉතා මියුරු ගීයක් සොයාගන්නට ලැබුණි .ඒ


"ආදරේ මල් මැලවෙන ගිනි ඇවිලෙන ගිම්හානේ
කවුරුද වසන්තයේ සිහිලස මෙහි ගෙන ආවේ
කඳුලින් පවස නිවාගත් දෙතොලග සිනහ කුසුම්
ගිරගින් ගිරග රිදී ජල ධාරා රඟන රැඟුම්
රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ
ජයදේව ගයයි ගීත ගෝවින්දේ"


හැත්තෑව දශකයේ අතරමංවූ  තාරුණය වූ මගේ ලොකු මාමාගේ පරපුරත් , විවෘත ආර්ථිකයෙන් පසුව  බිහිවන පලමු පරපුර වී  , නියෝ ලිබරල් වාදයට තල්ලුවුන දෙලොවක් අතර සිටින (තාමත් කැඩුන බිඳුන විප්ලවයේ සුන් බුන් සිහින අතර තනිවුණ ,නියෝ ලිබරල් අධ්‍යාපනයේ හා රැකියා අවස්ථා වල යහ ප්‍රථිපල භුක්තිවිඳින ඒත්  තරමක් ඕල්ඩ් ෆැෂන් )මගේ පරම්පරාවත් පිනවන්න සමත් මධුර , මනෝහර , රසපූර්ණ ගී නන්දා මාලිනිය ගයා ඇත. එසේම ඇයට හිමි ස්වර පෞරුෂය , ලායන්විත විටෙක ගාම්භීර හඬත් සිත් පැහැර ගනී .ඇය කෙතරම්  වියපත් වුවත් හැමදා මා දකින්නේ  මගේ ලමාවියේ "බුද්ධානු භාවේන ගීය "ගැයූ නන්දා මාලිනියම යයි මට හිතේ .

බාලවියේ දැන හඳුනාගත් නන්දාගේ හඬ හා රස අමතක කල නොහැක . මම යලිත් ඇය රස විඳිමි . ශ්වේත . රාත්‍රිය නම් වූ ප්‍රසංගය සමග ඇය යලි වේදිකාවට එන වගක් මම පුවත් පත් වල කියෙව්වා මතකය . නමුත් ජීවිතයේ විවිධ යුගයන්හි මා ප්‍රිය කල ගී එහි ඇත්දැයි නොදනිමි . එහෙත් ඇගේ මදුර ගී රාවය මට ප්‍රියවෙයි . ඒ හඬ සමග මගෙ ජීවිත්යේ තුන්වැනි යුගය ගෙවමි.මා ප්‍රිය කරන සමහර ගී නන්දා ගයන්නට ඇත්තේ අප උපදින්න  පෙර විය යුතුය . විවිධ සංගීත රටා සමග අද ගුවන්විදුලි ,රූපවාහිනී නාලිකාවල නිරතුරු ඇගේ හඬ අහන්නට නොලැබේ . එහෙත් නන්දා මාලිනීගේ  ගී සමග ජීවත්වූ මතකයක් මට ඉතිරිව ඇත .

එසේ තමන්ගේ ගී සමග නොමැකෙන් මතක ගොන්නක් රසිකයන්නට දෙන්නට හැම ගායකයෙක්ම /ගායිකාවක්ම සමත් නොවේ 



ප\ලි

මේ සටහනේ අරමුණ නන්දා මාලිනිගේ ගී ගැන ශාස්ත්‍රීය විචාරයකට වඩා දශක කීපයක් තිස්සේ යුග දෙකක රසිකයන් නියෝජනය   කරමින් ඇගේ ගී මග  සමග බැඳුන මගේ මතක කිපයක් කීම පමණකි .එනිසා විටින් විට නන්දා ගමන් ගත් ගී මග , කල කී දෑ හොඳ ද, නරකද යන්න මම  මෙහි විවේචනය නොකරමි .මෙහි සටහන් ගී පද මාලා මතකෙන් ලියූ ඒවා නිසා අඩුපාඩු ඇත්නම් සමාවෙන්න

21 comments:

  1. කමෝන් ටී ජී. එක හුස්මට කියෙව්වා. විස්තර සහිතව පස්සේ ලියන්නම්.

    නන්දා ගැන කියන්නට වෙනම පොතක් ගෙන්න වෙයි.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි නන්දා මාලිනිය ගැන සටහනක් තැබුවාට...

    ReplyDelete
  3. නියමයි.කාලෙකින් කියවපු නියම පොස්ට් එකක් ................:D

    ReplyDelete
  4. ටි ජි ඔයා මගේ අවතාරය හෙම නෙමේ නේද ..මට කියන්න දෙයක් නැහැ . කියනව නම් ඔය පොස්ට් එක ආයේ ලියන්න වෙනවා . ඔයාව බදාගෙන උම්මා එකක් දෙන්න හිතෙනවා. නන්දා මාලිනිය ගේ ගී හරහා ගෙවී ගිය අපගේ ජීවිතය ඔයා අපුරුවට විග්‍රහ කරලා තියෙනවා .

    ධනපති පන්තියට කඩේ යනවා කියන්න එපා . ඒ සංක්‍රාන්ති සමයට පස්සේ හුස්ම ගන්න අපිටත් අයිතියක් තියෙනවා . ඔය ඔක්කොම සින්දු අස්සේ ''වන්දනාවේ යමු පේවිලා '' [ පරණ ගීයක් ඇය නැවත ගැයූ ] අපි ට්‍රිප් යද්දී කිව්වා මතක නැද්ද . අටමස්තානේ වෙනුවට දාන්නේ කොල්ලන්ගේ ඉස්කෝල සහ උන්ගේ ආවේනික කැරැට්ටුව.

    අපි ඉතින් ඕල්ඩ් පැෂන් වෙන්න ඇති . මට නම් ලඟකදී නන්දාගේ හොඳ අලුත් ගීයක් ඇහුනේ නැහැ . පරණ ටිකම තමයි. එහෙම තියනව නම් කවුරුහරි කියනවද .

    ''වහින්නට හැකිනම් ගිගුම් දී

    වියලි ගම් බිම් වලට ඉහලින්..''

    අරලිය ලන්ද නම් මට එච්චරම රසයක් නැහැ. බොරු කියන්නේ මොකටද .

    තව ලස්සන ගීයක් තිබුනා චිත්‍රපටයක .

    ''ඉවුරු බිඳුන ගන්තලාව කවර අතක ගලා යාද ..''

    ...තව එකක් මට ආසම

    ''ලොවම එපාවී ලොවම කලකිරී''

    ඕන් බලන්න අද මම පොඩි ව්‍යායාම පාරක් දානවා කියල හිටියේ . දැන් ඉතින් කෑවනේ හොඳ අබින් ගුලියක් .

    ReplyDelete
  5. ගොඩාක් ස්තූතියි මචී ලස්සන පෝස්ට් එකට. කියවලා හෙමින් කමෙන්ට් එකක් දාන්නම්. වැඩ කරන ගමන් කියවන හන්දා දිග කමෙන්ට් එකක් දාන්ට බෑ. නන්දා මාලිනීගේ සින්දුවලට මාත් ආසයි. 'තරුද නිදන මහ රෑ' මාම ආසා කරන සින්දුවක්. සුජීව කියනවා වගේ නන්දා මාලිනී ගැන ඉතින් පොතක් උනත් ලියන්ට පුලුවන්නේ.

    අපොයි ඔච්චර වැඩ ගොඩගැහිලා තියෙද්දි මේක ලියන්ට වෙලා හොයාගත්තේ කොහොමද?...:D

    ReplyDelete
  6. හොඳම සිංදු ටික ලියවිලා තියෙන්නේ. කාලෙකින් අලුත් සිංදු කියවිලා නැති කමනම් අඩුවක් වගේ තමා. ඒත් සුන්දර මතකයක් කරා නැවත රැගෙක ගියාට TG ට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  7. පොස්ට් එක ගැන ලියන්න ගියොත් ඔබ කී දේම නැවත ලියන්න වෙනවා, තනි වචනයකින් අගයන්නම්; අනර්ගයි!

    දින කිහිපයක් තිස්සේ මුවග රඳුන ගීතයක් වන්දානාවේ යමු, බින්දි කිව්වා වගේ ඒ ගීතයට ආදේශ වූ හැදුන වැඩුන පරිසරයේ තැන්...

    නන්දා මාලිනියන්ගේ ටිකිරි ටිකිරි ටික් (යතුරු ලියන්නී),සාරි පොඩිත්තක් වගේ සරළ සුන්දර ගීත වල සිට යුගයෙන් යුගය කාලීන මාතෘකා වලට දුනු හී බැන්ද ඇගේ හඬ ගැන ලියන්න වචන මදියි.

    කාලයක් හැම කතිකාවටම, දේශණයටම නැතුවම බැරි වූ කෝකිලාවියගේ හඬින් ගීතවත් වූ උගතුන් සිංහාසනාරූඩ කරමු... අදහස, සිහිනය, බොඳවීම වගේම ඇගේම හඬින් (එදා) කී මේ ගී අදටයි...

    නන්දා මාලිනියන්ගේ ගී එකතුව ආයෙත් අහන්න මතක් කර TG ට තුති.

    ReplyDelete
  8. සරුංගලේ ..වරල් සැලේ..

    සරුංගලේ ...නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි...



    ...හෙළ දෙරණේ කඳුල සුසුම සිනහව සොම්නස අපේය

    මා ගයනා මේ ගියේ උරුමය මා දිනු රටේය ..

    ReplyDelete
  9. පිටරැටියන්ට දරුකමට හදාගන්න ලමයින් සපයන සංවිධානාත්මක කල්ලි කිහිපයක් ක්‍රියාත්මක වූ බව 90 දශකයේ මුල් භාගයේ ජන මාධ්‍ය වාර්තා කලා. ඒ ව්‍යාපාර අගනගරයට යාබද පෙදෙස්වල පැවැති බවත් කතුන් බලෙන් රඳවා ගෙන විදේශිකයින් දාවා දරුවන් බිහිකිරීමේ කාර්යයට බලකල බවත් සඳහන් වූ අතර ඒ ව්‍යාපාර 'බේබි ෆාර්ම්' නම අරන් තිබුණා.

    මගේ මතකයේ හැටියට 90-92 කාලයේ එළිදුටු බේබි ෆාර්ම් සිද්ධිය පසුබිම් කරගෙන කල නන්දා මාලිනියන් ගැයූ සින්දුව දස මසක්.

    දස මසක් මා කුස තුළ උන් පුතුනේ...
    දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ...
    වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන...
    නයි පොලොඟුන් ගෙන් මවක ලබාවා...
    වග වලසුන් ගෙන් පියෙකු ලබාවා...

    දැඩි වී වග වළසුන් අතරේ
    වළසෙකු වී අවුදින් පුතුනේ...
    වීසිකරන්නට දරුවන් තනනා
    ලෝකය කා වනසන් පුතුනේ...

    සැතපී නයි පොළඟුන් දරණේ
    පොළඟෙකු වී අවුදින් පුතුනේ...
    අහක දමන්නට දරුවන් වදනා
    ලෝකය කා වනසන් පුතුනේ...

    ReplyDelete
  10. මට හිතෙන්නේ මනෝ ස්ට්‍රෙස් වෙනවා නම් නිතරම කියලා.
    මේ වගේ පෝස්ට් මනෝගෙන් ඉස්සර නිතරම කියවපු මම අන්තිමට සංචාරක සටහන් විතරක්ම කියවන්න උනාම දුකින් හිටියා කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ.
    අම්මට සාරියක් අරන් දෙන්න බැරිවෙච්ච කතාවක් හරහා අපි දැන හඳුනාගත් බවක් තමයි මතක.
    බටර් ඇතිනේ...

    නන්දා මාලිනි කිව්වම ඉතින් අදටත් මගේ ලෝකයේ ඉන්න ගායිකාවක්... නිතර සිංහල සිංදි නොඅහන මට සින්දුවක් ඕනේ උනාම ඉන්නේ නන්දා මාලනී, වික්ටර්, කපුගේ සනත්, දීපිකා, ප්‍රදීපා, කසුන් වගේ අය. හිතිච්ච ගමන් ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම වහලා බිත්ති දෙදරන්න නන්දාව අහන්න මම තාමත් පෙළඹෙනවා. ඒ විතරක් නෙමෙයි මට නිවාඩු දවසට නාන්න හිතුනාම පැය දෙක තුනක් පුරා ටබ් එකේ තනි රකින්නත් නන්දා මාත් එක්ක හැමදාම ඉන්නවා. කොටින්ම මගේ විඳීමේ කලාවේ නන්දාට තියෙන තැන තමයි ඔය කිව්වේ...

    (මට මටකයි අපේ බාප්ප මම පොඩි කාලේ අයියටයි මටයි 'පවන' ගෙනත් දුන්නා. අපේ ගෙදර තහනම් කලාපයක නන්දා හිටි වගක් තමයි මට මතක ඒ කාලේ. ඒ කාලේ හිටපු නන්දක්කා නැති උනාට නන්දක්කා හැමදාම මගේ ලෝකයේ වීරවරියක් තමයි....)

    ReplyDelete
  11. මට තේරෙන්නේ නෑ මොනවද ලියන්න ඔන කියල. වචනයෙන් වචනය අකුරෙන් අකුර අතීතයට ගියා. ස්තුතියි ඔයාට.

    ReplyDelete
  12. හැට්ස් ඕෆ් TG..!! මට කියන්ට තියෙන ඔක්කොම මේ බින්දි කියලනෙ, ඉතිං වෙන මොනා කියන්ටද.. :D

    ReplyDelete
  13. සුජීව ,ගිම්හානි,පොඩ්ඩි , බූරා , බින්දි,දයියා මාමා,ප්‍රියන්ත ,ඩීන් ,රංගි ,ලයන්

    බොහොම ස්තුතියි මේ පෝස්ට් එක කියවලා අගේ කලාට.අර කිව්වත් වගේ නන්දා මාලිනි ගැන පොතක් විතර ලියන්න දේ තියෙනවා .

    @ බූරා

    එතකොට බින්දි කිව්වා වගේ ඔයා මට උම්මා එකකුත් දෙනවද ? ඔන්න කලින්ම කිව්වා නීතා තරහවුනෝත් මම නෑ ඕවට වග කියන්නේ . එයා දැනටමත් තරහ වෙලාද මන්දා කාලෙකින් මෙහේ ආවෙ නෑ.දැක්කෙත් නෑ :(

    @පොඩ්ඩි, රංගි

    අහල නැද්ද රයිටර්ස් බ්ලොක් කියල ලෙඩක් වගේම "ස්ට්‍රෙස් ක්‍රියේටිව් රයිටින්ග්" කියලා බ්ලොගර්ස් ල ටික දෙනෙකුට හැදෙන ලෙඩකුත් තියෙනවා .ඒක හැදෙන්නෙ වැඩිපුරම අවාරෙට බ්ලොග් ලියන අයට .මේ මම වගේ :)

    @රංගි හනේ ඔය පරණ බ්ලොග් කතා එලියට අරන් අනික් අයට කියලා බට බැනලා කමෙන්ට් දම්මන්න එපා මචං.දුක නැද්ද උඹට හි හී? තැන්කිවු රංගි .මොනවා ලිව්වත් ,ඕනේ රෑක දවාලක ඔයානේ ඉතින් මට ඉන්නෙ ඉස් ඉස්සෙල්ලමක ඒක ශෙයාර් කරගන්න , කියවන්න .ඒවගේම බ්ලොග් නොලිව්වම තර්ජනේ කරන්න .මම ගමන් කතා වගේම ඉතින් තව කතා ලියල තියෙනවා .ඒත් වැඩි ඉතින් ගමන් කතා තමයි .ඒකට හේතුව ඉතින් රාජකාරියේ වැඩි වෙලාවක් යෙදෙන කාරිය ගමන් බිමන් යාම නිසා ඔහොම ලියවෙනවා . හොඳ කමෙන්ට් එකක් . කලවමේ තවත් කතා ලියන්නම් ඉස්සරහට වෙලා ලැබුනොත්.

    @ඩීන්
    ඔවු නන්දා සමාජ ප්‍රශ්න සින්දුවෙන් බොහොම ප්‍රබල විදියට කිව්වා. හරි නිර්භීතව . මට හිතෙන්නේ 1994 පෙරමුණ බලයට එන්න මැතිවරණ වේදිකා ලවුස් පීකර් වලින් ප්‍රචාරය වුණ ඔය සින්දුත් ගොඩක් බලපෑවා.

    මතකදා රාජ්‍ය දේපල අලාබ ලබනවා කියලා පුද්ගලිකකරණය කෙරුව කාලේ සින්දුවෙන් ඒක කිව්ව විදිය

    රට කරවන්න නම් මසුරන් නැතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ ...

    කලුගල් වලට විකුණාගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    තව මම හරි ආස සින්දුවක්

    "පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය ,
    ගමේ අයටනම් ගජමන් නෝනාය
    කවි කර කියන්නේ දෑහින් දුටු දෑය
    වට වන්දනාවෙඩි නඩයම දුටු දෑය "

    කොහොම වුණත් මට ආයෙමත් ඔය විකල්ප ගී වල අතීතයට යන්න කිව්වොත් මම ආයේ අහන්න තෝරගන්නේ නන්දාගේ "වහින්නට හැකිනම් මෙඝයක් වී " කාලයේ සින්දු . දැන් ඉතින් අපේ හිත් ඒ තරම් ආවේගෙට බර නැහැනේ .

    අර ටිකිරි හඬින් යතුරු ලියන්නී , සාරි පොඩිත්තක්, රුක් අත්තන මල මුදුනේ , සින්දු වලට මාත් හරි ආසයි .ඒවා නන්දගේ තරුණ කාලේ හඬින් අහන්නකොට තවත් ලස්සනයි .

    බින්දි , ප්‍රියන්ත

    ඔවු අලුත් සින්දුනම් ඇහුනේ නෑ .නමුත් ටෙලි නාට්‍ය ගී එහෙම ඇති කියලා හිතෙනවා. අලුත් කියල කියන්න වෙන්නේ අරලිය ලන්ද කාලේ ඒවා තමා . එතකොට මතකද මේ සින්දු ? ඒවා මොක කැසට් පටියෙද කියලා මට නිච්චි නෑ.අරලිය ලන්දට පස්සේ වගේ .

    නෝනා නාන්න නම් නාන්න නෝනා

    මන්ද නාව කාරනාව යන්න අපේ වන්දනාව

    යනවානම් අනේ මං අරන් ...

    මේ සින්දු වල අර මුල් කාලේ තිබුණ සම්භාව්‍ය ගතියට වඩා තියෙන්නේ ඉතාම සරල බවක් . කාලයක් නිතරම ඇහිලා පස්සේ නැතුව ගියා .ඒ කාලේ අනික් ගායකයො ගොඩක් ඔයවගේ ආරෙ සින්දු කිව්වා .නන්දත් ඒකට යමක් එක්කලා වෙන්න ඇති .

    බින්දි

    මම ඉතින් කලින්ම කිව්වා කඩේ යන පෙලැන්තිය .මොකෝ කවුරුහරි මේ බ්ලොග් එකට පැනලා මේක කියවලා ඔයවගේ ප්‍රශ්න වලින් දමල ගහන්න තියෙන ඉඩ අදකාලේ වැඩියිනේ . මේ දවස් වල කමෙන්ට් වල තියෙන්නේ ලියන තියෙන බ්ලොග් පෝස්ට් එකේ හරය තේරුම් අරන් කමෙන්ට් කරනවට වඩා වටින් පිටින් පහර දෙන එකනේ :)

    ඔයාගේ අවතාරේ වුණත් නොවුණත් ඉතින් මාත් ටිකක් ඕල්ඩ් ෆැෂන් මනුස්සයා . හැබැයි ඔයා තරම් වයස නෑ හොඳේ .තාම පොඩි කෙල්ල . එතකොට මතක්වුනේ මුල්ම කාලේ පෝස්ට් වල කමෙන්ට් ලිව්ව එකෙක්නෙක් දෙන්නෙක් මම කොල්ලෙක් කියලා හිතාගෙන කමෙන්ට් ලියලා තිබුණා . හි හී

    ReplyDelete
  14. හපොයි වසලා හමාරයි, ඔයා වැඩේ කෑවනෙ.. මම ඒකත් කියලා දැම්මා තේරෙන නොතේරෙන ගානට, ඔයා ඒකම ඇදලා ගත්තනෙ.. දැන් ඉතිං මං සුං..

    ReplyDelete
  15. >>ඔය හැම ගීයකටම වඩා "දියමන්තිය" චිත්‍රපටියේ මේ ගීය ඇහෙන විට මට වලාකුලක් සේ නිදහසේ රීඩ් මාවත උස් තුරු හිස් , තණ පිටි ,විද්‍යාල මන්දිරය උඩින් පියඹා යන්නට සැහැල්ලුවක්,සතුටක් හිතේ ඇතිවේ >>

    මේක නම් 200% මටත් එහෙමමයි :) අවුරුදු ගානක් රීඩ් මාවතේ ඇවිදපු කාලේ මතක් වෙනවා...

    ReplyDelete
  16. Thanks Niroshini . yeah such nostalgic memories ...just sigh :) he he

    ReplyDelete
  17. මම හිතන්නේ මේ බ්ලොග් සයිට් එකට මම ගොඩ වැදුන පලවෙනි වතාව.
    නන්දා මාලිනි මාත් අගය කරන ගායිකාවක්.
    දැනටත් කාර් එකේ තියෙනවා නන්දා මාලිනි ගේ සින්දු 100 ක් අඩංගු MP 3 තැටියක්.
    ආසාවෙන් කියෙව්ව පෝස්ට් එක.
    (TG ගේ මාමත් මගෙ වයසෙ)

    ReplyDelete
  18. thanks for the comment Observer uncle

    ReplyDelete
  19. නන්දා එක එක යුගයේ හැටියට ගී ගයමින් තමන්ගේ ජනප්‍රියත්වය තියා ගත්තද කියල මට සැකයක් තියෙනවා.. මමත් නන්දාගේ ගී බොහොමයක් රසවිඳි රස විඳින කෙනෙක්.. හැබැයි ජාතිවාදේ අවුස්සන එවුව නෙවෙයි ..(මේ සිංහල අපගේ රටයි !! එතකොට කොහොමද අනිත් ජාතීන්ගේ රට මේක නෙවෙයිද ? මේ ලාංකික අපගේ රට මිසක් සිංහල අපගේ රට නෙවෙයි..) සමහර වෙලාවට එයා එක ජන කොටසකගේ ජන ගීත වලට නිර්දය විදිහට පහර දුන්න (කපිරිඥ්ඥ නාද වලට රවිකිඥ්ඥ වයල්ලා කියල) එයා අමතක කළා ඒ වගේ ගීත වලින් අපේම සහෝදර ලාංකිකයින් වෙච්ච බර්ගර් මිනිස්සුන්ගේ සංගීතය අවඥාවට භාජනය කරනවා කියල.. .. ඊ ලඟට එයා සංරක්ෂණය කරන්න කියල පැරණි ග්‍රැමෆෝන් ගීත CD එකකට ගායනා කළා. ඔය විදිහට මුකේෂ් තලාත් මෙහෙමුද් වගේ පැරණි ගායකයින්ගේ ගීතත් අලුත් ගායකයෝ සංරක්ෂණය කරනවද ? නැහැ. අද ඒ පැරණි ගීත සංගීතයත් එක්කම CD වලට අරන් තියෙනවා මුල් ගායක කට හඬින්ම .. කමක් නැහැ ඔවුව අමතක කරලා හොඳ ගීත රසවිඳිමු.. සංගීතයට වැටකොටු සීමා පනවන එක හරි නැහැ.. ප්‍රබුද්ද අප්‍රබුද්ද බටහිර නැගෙනහිර ආදී වශයෙන්.. අපේ අය ඉන්දියාවේ භාත්කන්ඩෙන් නෙව සංගීතේ ඉගෙනගන්නේ..

    ReplyDelete
  20. නන්දා මාලිනියගේ ගීත...තවමත් ලෙංගතුයි හිතට ඉස්කෝලේ යන කාලේ බූද්ධානුභාවේන සිත් නෙත් පහන් වී... හැමදාම බෞද්ධ සංගමේ රැස්වීමෙදි ගැයුවා. කැම්පස් යන කාලේ.. යදමින් බැඳ විලංගුලා... නිතරම හිතේ රැඳුනු ගීතයක්.. ස්තූතියි සටහනට.. මේ අඩවිය හම්බවුනේ බොහෝ කල් ගත වෙලා.

    ReplyDelete
  21. Sarath and Anithkona

    Thank you very much for the comments .welcome to Ahasgawwa

    ReplyDelete