Tuesday, April 3, 2012

මුහුදු පතුල යට ඉඳලා- මුතු ඇටයක නිදි කරලා


මම ඉපදිලා තියෙන්නේ අම්මගේ මහගෙදර. පැල් බැඳගෙන වහින මාසෙක .කොටින්ම කිව්වොත් අම්මට ඉස්පිරිතාලේ යන්න තිබුණ දාට දවසකට කලින් හදිසිවෙලා එලියට ආව ලමයෙක් මම.අම්ම එදත් අමාරුවක් නොතිබුණ නිසා වැඩට යන ලේස්තිවෙවී ඉඳිදී මට එලියට එන්න ඕනේ වෙලා තාත්තා ඉස්පිරිතාලේ යන්න කාර් එකක් ගේන්නත් කලින් මම එලියට පැනලා ගෙදරදිම .




පොඩි දරුවො ඉන්නකොට ගොඩක් නිදිමරන්න වෙනවනේ .ලයිට් නොතිබුණ මහගෙදර ඉපදුන අලුත මාව බලාගන්න අම්ම ගොඩාක් මහන්සි වෙන්න ඇති . ඉපදිලා දෙසතියක් ගිය තැන එක දවසක් මහ රෑ මම ඇඳෙනුත් බිමට පැනලා අම්මට නොදැනී .රෑ නිදි මරන් ඉඳලා මහන්සියට අම්මට යන්තන් නින්දගිය ටිකට මම කෙරුව තවත් හපන්කමක් . එදා මගේ ආච්චි  දුන්නලු අම්මට ඔලුව හිල් වෙන්න ටොක්කක් ආයේ නොහිතා මේ දරුවෙක් ලැබිච්චි අම්මකෙනෙක් කියලා . ඒ වගේම හොඳවයින් බැනුමකුත් .අම්ම හරි බයින් ඉඳලා තියෙන්නේ වැටුන නිසා මට වමනේ ගිහින් ඇස් රතුවෙලා මොනවහරි වෙනස්කමක් වෙයි කියලා .ගොඩාක් කල් යනකන් ඒ බය එයාට තිබිල තියෙනවා . පුංචිකාලේ මට ඔලුවෙ කැකුමක් ආවත් අම්මට බය හිතිලා තියෙනවා .


ඉපදුනේ වැහි මාසෙක නිසා පැල් බැඳන් වහින දවසක මම  හීතලට කෑ මොරද්දී අඬනවලු නිදාගන්නේ නැතුව .ගෙදර අනික් හැමෝම නිදි .ආච්චිටත් නින්ද ගිහින් මහන්සියට දවල් මාව බලාගෙන .අම්ම විතරක් මාව නලවගන්න මහන්සිගන්නවලු .අන්තිමට හදිසියෙන් ඇහැරුන ලොකුමාමා දැකලා තියෙන්නේ මාව නලවගන්න බැරිකමට අම්මත් මා එක්කම අඬනවා .


ටිකක් ලොකු වෙලත් මම අම්මට කරදර කෙරුව එක තමයි කලේ . නිදාගත්තේ නෑ නැලවිලි කියලා නිදි කරනකන් . අම්ම කිව්ව නැලවිලි ගී සමහර ඒවා ඒ කාලේ සිංහල පාඩම් පොත් වල තිබුණ කවි සින්දු . සමහරක් නාට්‍ය ගීත .ඒ අතරින් මම කැමතිම


ඉරටුවෙ ගසා හූනන් හට බත් දෙන්න
මට ආසාය ආයෙත් බිලිඳෙකු වන්න


පියාගේ කරට තනිවම නැගගන්න
කරපිට නැගී තනියම මහ රජ වෙන්න
හා නරි විත්ති රස කර කර අහගන්න
මට ආසාය ආයෙත් බිලිඳෙකු වන්න


ඔය කවියේ හා නරි විත්ති කියනකොට මට නිතරම හාවන්ගෙයි නරින්ගෙයි කතන්දර තාමත් මතක් වෙනවා .තව ආස සින්දුවක් අම්ම කිව්ව  මූදු පුත්තු නාට්‍යයේ "මුහුදු පතුල යට ඉඳලා , මුතු ඇටයක නිදි කරලා ,පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා ...." ගෙදරට මම පුතා නිසා මම හිතන් හිටියේ ගොඩක් කල් යනකන් මම රැල්ලක නැගිලා ආවා කියලා .ඒ සින්දුව අහන හැම වෙලේම තාමත් ලොකු වෙලත් මට චිත්තරූප ගොඩාක් මවාගන්න පුලුවනි පොඩි කාලේ වගේම .




ඔය කාලේ පොඩි වුනාට මම හරි වදකාර වැඩ කරල තියෙන්නේ .අම්ම වැඩට යන්න ලෑස්ති වෙනකොටම අතට පැනලා වඩවගෙන අතින් බහින්නේ නැතුව ඉන්නවලු .ඉතින් අම්මට බස් එක මිස් වෙනවා වැඩට යන්නේ පරක්කුවෙලා . තව ලස්සන සිංදුවක් අම්ම කිව්ව මා එක්ක සෙල්ලම් කරනකොට .ඒකේ පද කීපයක් විතරයි මතක
පුංචි පුංචි තරු කැට මැද දිලිසෙන සඳවත
සඳ මොකටද හිරු මොකටද මට මගෙ "පුතු"ඇත
හිනාවෙන්නේ ඉඳ හිටලයි ආඩම්බර කම


මම හරි කැමතියි "මට මගෙ පුතු ඇත " කියලා අම්ම කියනකොට .ඒ නිසා මම විස්වාසකලේ මම පුතෙක් කියලා .සෑහෙන්න කල් ගිහින් දැනගත්තේ අම්ම සින්දුව වෙනස්කරල කිව්ව කියලා .


ටිකක් ලොකුවෙනකොට මට කියවන්න පොත් ගෙනිල්ල දෙන එකත් අම්මගේ සිරිතක් වුනා .ගොඩක් පොත් පුස්තකාලෙන් ගෙනිල්ල දුන්නේ .එත් දාසයවෙනි උපන්දිනේට මට මතකයි හුණු වටේ කතාවත් , ගම්පෙරලිය ,කලියුගය ,යුගාන්තය ත්‍රිත්වයත්,බව තරණයත් අලුතෙන්ම අරන් මට තෑගි දුන්නා.සමහර වෙලාවට ගොඩක් කවි සින්දු කියලා නලවලා , කතා කියාදීලා පොත් කියවන්න දීලා වැඩි වුන නිසා වෙන්න ඇති පස්සේ කාලේක මම උසස් පෙල කරන්න ගියහම අම්මට ඕනේ විෂයන් නොකරන්න හිතුවක්කාර තීරණයක් ගත්තේ


ඕලෙවල් කාලේ මම පන්ති යන්න අදිමදි කල නිසා අම්මට සිද්දවුනා මා එක්ක ගණිත ගැටලු විසඳන්න.කම්මැලි හිතුනම බුද්ධාගම ,සමාජ අධ්‍යනය සිංහල පාඩම් මට ඇහෙන්න කියවන්න .මේ කාලේ මම ආසම නැති දේ තමයි අම්ම ලෙඩ වෙන එක . යාන්තම් වයස පහේ හයේ විතර ඉඳන් මම දැනගෙන හිටියා අම්ම අසනීප වෙනකොට එයා වෙනස් වෙනවා කියලා .ඉස්කෝලේ ඇරිලා ඇවිත් අම්ම දිහා බැලුවම මට කියන්න පුලුවන් අම්ම සනීපෙන්ද නැද්ද කියලා .ටිකක් කල් යද්දී අම්ම ලෙඩ වෙන එක ගැන නුරුස්සනා ගතියකුත් ම්ගේ හිතේ තිබුනා ,මොකද එතකොට ගෙදර හරි පාලු , ඉන්න අමාරු ගතියක් දැනෙනවා .අම්මට නින්ද ගිහින් නම් මට සතුටුයි . ඒත් එක දිගට අම්ම ගොඩාක් නිදාගන්නකොට පාලුයි,දුකයි වගේ ගතියක් දැනෙනවා.එහෙම ලෙඩ වුනාම ටික කාලයක් යනවා අම්මට යථා තත්වෙට පත්වෙන්න අම්ම ලෙඩ වුනාම මගේ ලොකුම වැඩේ එයා නිද්දි ද නැත්ද කියලා බලන එක .ඔය කාලේ වෙද්දී ගෙදර පොඩි පොඩි දේවල් මට කරන්න අම්මා උගන්වලා තිබුණේ එයා නිතර ලෙඩවුණ නිසා වෙන්න ඇති .


ගොඩක් ලොකු කාලේ ඉගෙනීම , වැඩට යාම නිසා අපි භෞතිකව ඈත් වුනා .ඒ වගේම කතාකරන්න තරම් පොදු දේවල් අපිට අඩුවුණා .ඉස්කෝලේ යන කාලේ වගේ එකට පාඩම් කරන්න දේවල් තිබුණෙත් නෑ .මම හිතන්නේ අපේ එකඟ වීම් වලට වඩා එකඟ නොවීම් වැඩි වෙන්න ඇති.පොඩි එකා කාලේ නම් උකුලේ තියන් හරි නලවන්න තිබුණා දැන් එහෙම බෑ  කියලා අම්ම කිව්වේ ඒ හැඟීම වෙන්න ඕනේ ,එත් කොහේ ගියත් කෑවද ,බිව්වද නිදාගත්තද කියලා මගෙන් නොවැදී අහන සිරිතක් ඇයට තිබුණා .දුර ගිහින් මම කෝල් කරනකන් ටෙලිෆෝන් එක වදිනකන් මොනතරම් බලන් ඉන්න ඇත්ද .පිට රට ගියහම මගෙන් පණිවිඩයක් එනකන් රෑවෙලා වුනත් නැගිටගෙන ඉන්න සිරිතක් මෑතක් වෙනකන්ම තිබුණා .එහෙම කොහේහරි යන්න වුනහම ටික දවසකට කලින් මගේ ගමන ගැන ඔක්කොම විස්තර එයාට කියන එක මගේ සිරිත .මම යන්න ඇඳුම් පැක් කරන තැන බලන් ඉඳලා අන්තිමට ඔක්කොම අහන් ඉඳලා අම්මා අහන්නේ  ලොක්කා ඔය ගමන යන්නම වෙනවද ? දැන් ඔයා ගමන් ගියා මදිද වගේ අදහසක් . වැඩ වැඩි වීමත් එක්ක සමහර විට මට අම්ම අහන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිවුනා .ඒත් ගිහින් ඇවිත් සමහර වෙලාවට මම ගත්තු පින්තූර පෙන්නුවහම සතුටින් බලලා ඔය ගමන් යාම හරි මහන්සි වැඩක්.ඒත් ඔයා කැමති දේ නේ කියන සිරිතක් තියෙනවා .






ගෙදර  ඉඳන් වැඩ කලොත් දවස තිස්සේම කෑම බීම ලඟටම ගෙනිත් දෙන එක අම්මගේ පුරුද්ද .මම කාලා ,බීලා ඉවරවෙච්චි පිඟන් කෝප්ප මේසෙ උඩින් අයින් කරන්නෙත් අම්මා .ටිකක් හරි අතක් පයක් රිදෙනවා , ඔලුවෙ කැකුමක් හැදිලා ,කිඹුහුමක් ගියොත් කලබල වෙලා රෑ වෙලා නාන මහන්සි වෙන එකට මට දොස් කියලා අත් බෙහෙත් කරන්නෙත් අම්මා.එක සැරයක් ෆයිනල් ඉයර් ඉන්නකොට වැදගත් අසයිමන්ට් ටෙස්ට් එකකට දවස් දෙකක් තියලා තදට උණ අරන් ගෙදර ආවාම ඕඩි කොලොන් පැලැස්තර එලලා උණ බස්සාලා කොහොම හරි මාව ටෙස්ට් එකට යැව්වා සනීප කරලා  .ඒත් අම්මට තියෙන අතපය වේදනා ,අමාරු අපහසුකම් අපිට කිව්වේ නිතරම පරක්කු වෙලා


කලලයක් කාලේ පෙකණි වැලෙන් දරුවො තමන්ගේ සිරුරට සම්බන්ධ කරන් ඉන්න අම්මලා පෙකණි වැල කපලා අපිව උපද්දලා ලොකු මහත් කරත් භෞතිකව නොවුනත් මානසිකව අර පෙකණි වැලෙන් අපිව තදින් බැඳන් ඉන්නවා .අපි ලොකුවෙලා අම්මලගේ අර මානසික පෙකණි වැල් බැම්මෙන් මිදිලා ඈතට ගියත් අම්මලා ඒ බැම්ම ලිහන්න කැමතිම නෑ .ඒ ආදරේ වැඩි කමට සමහර වෙලාවට ගැටුම් වැඩියි .ඒත් අන්තිමට අම්මලා දරුවො ගැන උපේක්ෂා සහගතයි කියලා මට හිතෙන්නේ .


ඒත් මගේ අම්මා  මේ වෙනකන් අපිව සතුටින් තියන්න කෙරුව දේවල් වලින් බාගයක් වත් අපිට එයා වෙනුවෙන් කරන්න බැරිවේවි කියලා මට හිතෙනවා .