Friday, March 9, 2012
Sunday, March 4, 2012
ලෙට්ස් හැවු අ කොෆී -Incomplete Stories
එලියේ වහිනවා හෝ ගාලා ඒත් මොකද්ද ලතාවකට . ඔෆිස් කාමරේ ඒ සී එක ගොඩක් වැඩියි දහ නවයක් විතර සෙල්සියස් .මම කැමති වහිද්දී කාමරේ ඇතුලේ සීතලට තියෙන්න . සීත වැඩි නම් අත් දිග ටී ශර්ට් එකක් තියේ ලොකර් එකේ .ඒක අඳිනවා . හ්ම් පසුබිමින් මම කැමතිම එල්විස් ප්‍රෙස්ලිගේ , නීල් ඩයමන්ඩ් ගේ හා නන්දාගේ සින්දු වාදනය වෙනවා .මොනවදෝ අඩුවකුත් හිතට දැනෙනවා .ඔහ් හරි දැන් මතක්වුනේ
ඉන්ටර්කොම් එකෙන් දෙසිය විසිපහට කෝල් එකක් ගත්තා
"තිලක් ගාණට සීනි දාලා ,කිරි දාලා උණු උණු නෙස්කැෆේ ලොකු මග් එකක් ගේන්න "
'මිස් උදේට තේ බිව්වේ දැන්නේ "
"කමක් නෑ තව එකක් ගේන්නකො"
"හරි "
විනාඩි දහයකින් දුම් දාන නෙස්කැෆේ මග් එක මේසෙ උඩ .මම හිමින් මග් එක අතින් අරන් වැස්ස දිහා බලන් සංගීතෙට කන්දෙනවා .මේ කාමරේ වෙන කවුරුත් නෑ .
පර්ෆෙක්ට් ඩේ ටු ෆිනිශ් මයි රිපෝර්ට් කියලා හිතෙනවා ....හවස් වෙනකොට හොඳ රිපෝර්ට් එකක් ලියලා .එදා දවස ගෙවෙද්දී මගේ මේසෙ උඩ නෙස්කැෆේ බීල හිස් වුන කෝප්ප පහක් විතර තියේ .
***************
කෝල් එකක්
"හලෝ ...අද ඔයා කොලඹද ? ,මොනවද හවසට ප්ලෑන් ?"
"මුකුත් නෑ .අද ඉක්මනට වැඩ ඉවරවේවි "
"හරි එහෙනම් යමු තුම්මුල්ලේ බැරිස්ටා එකට "
මම හිමීට ඇස් පියා ගත්තා .... රීඩ් ඇවනියු එක ,විසාල මහ ගස් , ග්‍රවුන්ඩ් එක බෞද්ධාලෝක මාවත , එලියේ සමර් හට් ,කැම්පස් එක, හුරු පුරුදු පරිසරය ....මට නොදැනී හීන් හිනාවක් මූණට ආවා
"හරි මම හරියට පහමාරට එතැන "
"ඕ කේ මම එනවා .ලෙට්ස් හැවු අ කොෆී"
"යැන්කි ස්ටයිල්ද , මහ රැජිණගේ ක්‍රමේටද ?"
මම එයාට විහිලු කලා .අපි දෙන්නම මහ හයියෙන් හිනා වුනා
මාස ගාණකින් අපි මුණ ගැහිලා සුපුරුදු කතා මල්ල ලිහුවා .ඇත්තම කිව්වොත් අපේ සාමාන්‍ය ජීවිතේ ඉඳලා ඔෆිස් වල තියෙන එදිනද මැනේජ්මන්ට් ප්‍රශ්න දක්වා .කතාව ඇදිලා ගිහින් නගර සංවර්ධනය ගැන අපි කියවනවා .මිනිසුන්ට ප්‍රිය මනාප නගර බිහි කරන්න ඕනේ සැලසුම් .... දුම් දාන ලොකු කැෆේ මෝචා දෙකක් හිස් වෙනවා .අහස කලු වෙලා පොද වැස්ස කඩන් වැටෙනවා .අපි සමර් හට් එක ඇතුලේ .පොද වැස්ස මහ වැස්සක් වෙලා , කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් වහිනවා .අපි තාම අර්බන් ප්ලෑනින්ග් .....සමර් හට් වල හිටි උදවිය ඇතුලට ගිහින් .අපේ කකුල් තෙමාගෙන වැහි වතුර ගලනවා .හිරිකඩ පින්න ගහනවා .හොඳටම රෑ වෙලා .ඒත් අපේ අර්බන් ප්ලෑනින් කතන්දර නැගලා යනවා .ඒ වෙනකොට අපි හිතමින් හිටියේ නගර වල උයන් හා කාණු පද්ධතිය සකස්විය යුතු ආකාරය ,අපේ රටේ සරසවි වල වාස්තු විද්‍යා ,ඉන්ජිනේරු පීඨ වල සිසුන් අර්බන් ප්ලෑනින් ගැන දැන ගන්න ඕනෙ වැදගත් ටෙක්නිකල් නොවෙන ඒත් මිනිස්සුන්ට හිතකර කාරණා .
*************
එකක්ද ?දෙකක්ද ?වැඩ .කීයක් කියලා ඉවර කරනද ? කොටේෂන් ඇනැලිසිස් එක කරද්දී දැක්කේ ගොඩක් පරස්පර මතුවෙනවා .ඔඩිට් එකක් ආවොත් ඔක්කොම ප්‍රශ්න කරනවා ෂුවර් . හ්ම් ...දවල්ට කෑම කන්න ඕනේ .වෙලාව බැලුවා .ඔහ් එකයි... .තව පැය බාගෙකින් බ්ලැක්බෝර්ඩ් සෙෂන් එකක් ඔන් ලයින් .බත් කන්න වෙලා නෑ .පහල තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් ගාවට ගියා
"මිස්ට නෙස්කැෆේ එකක් නේද ? ටේක් අවේ ද ?"
.එතන මල්ලි දන්නවා මම එන විදියෙන්ම ලිඩ් එකක් දාලා ටේක් අවේ නෙකැෆේ අරන් දුවන්න එන වග
දවස ඉවර වෙනකොට හොඳටම හෙම්බත් වෙලා .හවස හතයි . තනියම නෙකැෆේ එකක් බොන්න යන්න හිත .පොද වැස්ස ඒ අදහස අනුමත කලා වගේ . පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ කවුරුත්ම නෑ මේ වෙලාවට ඉඳ හිට පාන් ගෙඩියක් ගන්න එන කෙනෙක් ඇර .නිවී සැනසිල්ලේ වැස්ස දිහා බලන් දුම් දාන නෙස්කැෆේ එක තොලගානවා මම .ගෙවුන වෙහෙසකර ඒත් ඵලදායක දවසක් අග .ඒ අතර අම්මට කෝල් එකක් ගත්තොත් හොඳයි කියලා හිතුනා .අම්ම ඇහුවේ මගේ රෑ කෑම ගැන .අම්මල එහෙමයි .නිතරම අපි ගැන හිත කරදරෙන් .මම කිව්වේ මේ දැන් රෑ කෑම කන්න වාඩි වුනා විතරයි කියලා
**********
ඔෆිස් එකෙන් පිට වුනේ ඔලුව බර වෙලා . මේ සැරේ ඒ මනුස්සයගේ ජොබ් කන්ට්‍රැක්ට් එක දික් කරන්න මට කිසිම ඉඩක් නෑ .මැනේජ්මන්ට් එක කියන්නේ රියදුරො අතිරික්තයක් තියේ .ඒ නිසා වන්දියක් එක්ක ගෙදර යවන්න කියලා . අවුරුදු තුනක් අපිව හැම තැනම පරිස්සමින් එක්ක ගිය මනුස්සයා . මිනිහට මම කියන්න කලින්ම මේක ආරංචිවෙලා . අත්සන් පොත ගාවට යද්දී දැක්කේ පියසේන තාම ඔෆිස් එකේ ඉන්නවා දැන් හයාමාරයි
"මිස්" මනුස්සයා මා දිහා බලනවා බැගෑපත්වෙලා
"මම දන්නවා මිස් මේ ගමන කන්ට්‍රැක්ට් එක දික් කරන්නේ නෑ "
අත්සන් පොත දාලා මම ආයෙත් ගිහින් රිසෙප්ශන් එකේ වාඩි වෙලා ඔහුට සන් කලා එතැන්ට එන්න කියලා
"ඔවු එහෙම තීරණයක් තියේ . එත් කලබල වෙන්න එපා .මට සතියක් දෙන්න ආයේ මැනේජ්මන්ට් එක එක්ක කතා කරන්න .එතකන් කලබල නොවී ඉන්න ටිකක් "
"මම දන්නවා මිස් මට උදවු කලා හැම සැරේම .මට එකම ප්‍රශ්නේ මගේ පුතා උසස්පෙල ලියන්නේ මේ ගමන .වයිෆ් ගෙ ලෙඩෙත් අමාරු වෙනවා නිතර .දුව පොඩියි තාම .ඒකයි මම මේ ඉල්ලීම කලේ "
මම නවාතැනට ගියේ තාන්තුවාවෙන් .ඔක්කොම බෑග් ඇඳ උඩට විසි කරලා රබර් සෙරෙප්පු දෙක දාගෙන ලේන් එක දිගේ ඉබාගාතේ ගියත් දෙපා ඇදුනේ සුපුරුදු කෝපි හා ආප්ප කඩේට .
"බ්ලැක් කොෆී එකක් දෙන්න , කිරි එපා ,සීනි එපා .ආප්ප හතරක් දෙන්න පැයකින් .එතකොටම ප්ලේන් ටී ගේන්න " මගෙන් විධානයක්
අවන්හල ඇතුලේ නිදහස්. කවුරුත් නෑ .එත් ටී වී එකේ මහ සද්දෙට සින්දු යනවා .කලු කෝෆි ආවා මේසෙට
"මේ ටී වී එකේ සද්දේ අඩුකරනවද ප්ලීස් ?"
මම තිත්ත කොෆි බිව්වා පැයක් තිස්සේ
*********
Saturday, March 3, 2012
සිලොම් රෑ කඩ වීදි දිගේ -තනියෙන් රස්තියාදුව
| මුල්ම දවසේ උදේ මගේ කාමරේ ජනේලෙන් එලිය බැලුවා |
ලංකාවෙන් ටික දවසකට රාජකාරි වැඩකට නැගෙනහිර ආසියාවේ තායිලන්තය බලා යන්න වුනේ ගිය මාසේ .වෙනදා වගේ නෙවෙයි රාජකාරි ගොඩක් මැද්දේ අසනීප වෙලා , යම් වැදගත් තීරණයක් ගන්න බැරුව අවිනිශ්චිතව හිත නොසන්සුන් වෙලා ඉන්න කාලෙක තමයි මේ ගමන යන්න වුනේ .මම රාජකාරි ගමන් බිමන් යන්න මොන තරම් ආස වුනත් මෙදා නම් රටින් පිටවුනේ බොහොම උදාසීන නොරුස්සනා ගතියකින් .යද්දීම මම හිතුවේ සංචාරකයන් පිනවන්න තියෙන අධි වේගෙන් සංවර්ධනය කරා ඇදෙන විසාල ගොඩනැගිලි , පාරවල් හා බොහොම අරුමෝසම් විදියට නාගරික වුන බැංකොක් නුවර මොනවා බලන්නද ?වගේ හැඟීමක්.දන්න කියන යාලුවො කීපදෙනෙක් මුණගැහීමට නියමිත බව දැනගෙන හිටියත් මම කල්තියාම තදින්ම හිතන් හිටියේ කොහේවත් ඇවිදින්න නොයා රාජකාරි ඉවර වුනාම මගේ කාමරේට ඇවිත් තනියම වැටිලා නිදාගන්නවා , පහුගිය කරදර අමතක කරලා ටිකක් විවේකෙන් ඉන්නවා වගේ අදහසක් .
ගමන ගියා කියමුකෝ .මගේ කාලසටහනේ විදියට උදේ අටහමාරට වැඩ පටන් අරන් ඉවර වෙන්නේ හවස හතට විතර .වැඩ ඉවර වුන ගමන් කා එක්කවත් කිසි කතාවක් නෑ මම මගේ නවාතැනට එනවා .ඇවිත් ටිකක් ඉන්ටර්නෙට් බලලා තේකක් බීලා කෑවයින් නොකෑවයින් නිදාගන්නවා .දවස් දෙකක් ඔහොම ගෙවෙන්න ඇති .තුන්වෙනි දවසේ මගේ පරණ බොස් ගෙන් කෝල් එකක් ආවා මුණගැහෙන්න .එයා දන්නවා මම ඒ වෙනකොට මෙහේ ඇවිත් කියලා . තනිවෙලා ඉන්න ඕනෙ වුනත් මම අන්තිමේදි කැමති වුනා මගේ පරණ බොස් මුණ ගැහෙන්න .රෑ අටට විතර එයා ආවා මාව බලන්න මම නැවතිලා හිටිය නෝර්ත් සැතෝර්න් -North Sathorn වලට .ඇවිත් මාව ඇදන් ගියා ඒ ආසන්නයේම රෑකඩ වීදියක තියෙන ස්ටාර් බක්ස් කෝපි හලකට . ලොකු Cafe Latte දෙකකකුත් ඕඩර් කරලා වීදුරු දොර ගාව තිබුණ සුව පහසු පුටු දෙකක වාඩි වෙලා දෙන්න කයිය ගහන්න පටන්ගත්තා . කෝපි හලේ ලොකු වීදුරු දොරවල් වලින් මම පාර දිහා බැලුවමයි දැක්කේ කෑම හදන ,විකුණන ,යන එන උදවිය වාඩිවෙලා කෑම කන , තැනින් තැන ඇඳුම් ,පාවහන් ,අරුමෝසම් බඩු විකුණන ,අවන්හල් වලින් පිරුණ ජනාකීර්ණ වීදියකට අපි ඇවිල්ල ඉන්න වග .කුතුහලෙන් අහල පහල බලන මාව තේරුම්ගත්තු මගේ බොස් කිව්වේ
"මේ සිලොම් නයිට් මාර්කට්-Silom Night Market එක .මෙහේ මේවගේ නයිට් මාර්කට් ගොඩක් තියෙනවා .වෙලාවක ඇවිදලා බලන්න .බාර්ගේන් කරලා සපත්තු එහෙමත් ගන්න පුලුවනි . අඩු ගාණට තායි කෑම කන්නත් පුලුවන් පාරේ කඩවල් වලින්" කියලා
.තව ටිකක් කියව කියව ඉඳලා තව අවන්හලකට ගිහින් ෂවර්ම දෙකකුත් කාලා ආයේ නෙස්කැෆේ බීලා එනකොට රෑ එකොලහට විතර . පරණ බොස් එක්ක නිදහසේ කතා කරලා කෝපී බීලා හිනා වෙන්න ලැබුණ නිසා ද මන්දා හිතට ටිකක් සැහැල්ලුවක් දැනුනා .ඊලඟ දවසේ වැඩ ඉවර වුන හැටියේ ගොලු බෙල්ලෙක් වගේ කාමරේට රිංගන්නේ නැතුව කැමරාවත් අරන් රෑ කඩ වීදියේ රවුමක් ගහන්න මට හිතුණා .
පහුවෙනිදා හවස් යාමේ මම නවාතැනේ ඉඳලා ඇවිදගෙන ගියා සිලොම් රෑ කඩ වීදියට .පාර පටන්ගන්නේ නම් තායි මසාජ් සෙන්ටර්ස් හා මල් කඩ වලින්.මට තිබුණ කුතුහලය නිසා ටිකක් නැවතිලා මසාජ් සෙන්ටර්ස් දිහා බලන් හිටියා .ගණුදෙනු කාරයන්ව පිලි අරන් ඔවුනට උවමනා සේවාවන් ලබාදෙන්න කාන්තාවන් ඉන්නවා . ෆූට් මසාජ් ,හෙඩ් මසාජ් ගොඩක් ජනප්‍රිය බව පේනවා වීදුරු වලින් ඇතුල බැලුවම ගොඩක් තැන් වල ෆුට් මසාජ් ගන්න ක්ලයන්ට්ස්ල දකින්න පුලුවනි .මල්කඩ වල මල් වැහි වැහැලා වැඩියක් ක්‍රිසන්තිමම් , කානේෂන් හා රතු රෝස .එතකොට මතක් උනේ එදා පෙබරවාරි දාහතරවෙනිදා කියලා .
ඉස්සරහට ඇවිදගෙන එද්දී පාර දෙපැත්තෙම ජංගම රෑ කඩවල් පේලියක් ඈත පාරේ කෙලවර වෙනකන් . මේ ජංගම රෑ කඩ ,පොඩි තල්ලු කරන් යන්න පුලුවන් කරත්ත වල තමයි දාග්න ඉන්නේ .ගෑස් ලිප් , වතුර උණු කරන බොයිලේරු ,තෙල් තාච්චි, එහෙම තියාගෙන බොහොම යුහුසුලුව කෑම උයන පාරේ කෝකියො බොහොමයි . මේ කෑම ඉවිල්ල ගැන තියෙන කුතුහලය නිසා රෑ කඩ තට්ටු කීපයක් ගාව නැවතිලා විපරම් කරන්න මට හිතුනා . වැඩියක් රෑ කෑම කඩ වල වෙලඳාම කරන්නේ ගෑණු උදවිය .එහෙම නැත්නම් මේවා පවුලේ අය එකතුවෙලා කරන බිස්නස් .අයිස් බන්දේසි වල අඩුක්වෙලා ගණුදෙනු කාරයො එනකන් ඉන්න ඉස්සො,දැල්ලො,කකුලුවො ,ගල්මාලු , ලොකු වතුර හට්ටි වල පැහෙන නූඩ්ල්ස් , සුවඳ පතුරවමින් දුම් දාන සුප් බාල්දි හා සෝයා කිරි , එවෙලෙම සෝස් දාලා කෑමට දෙන සුෂී, ගිනි අඟුරු ලිප් උඩ බැදෙන බාබකිව් චිකන් ,ෆිශ් , ස්ටීක්ස් මේ රෑ කෑම කඩ වල බහුලයි . මේ චෙෆ් නෝනලා ,මහත්වරු හරි කඩිසරයි . මම බලන් හිටියා එක තැනක බොහොම සීරුවට දැල්ලො සුද්දකරලා තම්බලා ,සෝස් වර්ගයක් දාලා ඒකටම ගෝවා වගේ කොල ජාතියක් හීනියට ලියලා ,තව මොනවද ජාතියක් එක්ක කලවම් කරලා ගණුදෙනු කාරයෙකුට දෙන්න ගතවුනේ විනාඩි පහක් විතර. කෑම හදන හැමකෙනෙක්ම අත් වලට ග්ලවුස් දාලා , ඒප්‍රන් ඇඳලා , සමහරු ඔලුවට තොප්පි තාලා මුකවාඩම් බැඳලා පිරිසිඳුවට ඉන්නවා.රෑ කෑම තට්ටුව අසලින්ම කුඩ සවි කරලා ප්ලාස්ටික් මේස පුටු දාලා තියෙනවා . කැමති උදවියට කෑම ඕඩර් කරලා එතනම ඉඳන් රස බලලා යන්න පුලුවනි .ගොඩාක් තායි හා විදෙස් ජාතිකයො මේ රෑ කෑම කඩ ගාව ඉඳන් කෑම කනවා
| වීදියේ කෑම රස බලමින් |
| කෙලි පැංචියි අම්මයි තාත්තයි |
.මාත් ෆොටෝ ගහන ගමන්ම ජංගම කරත්තකින් තායි පපායා සැලඩ් එකකුයි ,බාබකිවු චිකන් එකකුයි , එක්ක ප්‍රයිඩ් රයිස් ඕඩර් කරලා තව ටිකක් අහල පහල සිරි නැරඹුවා .ලංකාවෙත් ජංගම රෑ කෑම හල් ප්‍රකට වුනාට මේ තැන් වල තියෙන පිරිසිඳුකම හා කඩිසරකමත් , ගණුදෙනු කාරයන්ට දක්වන සුහදශීලී කමත් අතින් නම් අපිට ඉගෙන ගන්න ගොඩක් දේ තියෙන වග මට හිතුනේ . කැමති කෙනෙක්ට බියර් එකක් වුනත් බොන්න පුලුවනි ජංගම අවන්හල් වලින් . ඒ අහල පහල තියෙනවා ජංගම කඩ වලට සේවය සපයන තැන් .ඒවායින් තමයි පිඟන් හෝදන්න ඕනේ වතුර , වැඩිපුර ආහාර ස්ටොක් කරන්න ඉඩ එහෙම ලබා දෙන්නේ . හැම කෑම කඩයක් ගාවම ඉසුසු -Isuzu කැබ් එකකුත් තියෙනවා . මට මගේ තායි යාලුවෙක් පස්සේ කිව්වේ මේ බිස්නස් එකට එන උදවිය නගරෙන් ටිකක් ඈත පලාතවල ඉඳලා හැමදාම කෑමත් පටවන් මේ වාහන වල නැගිලා නයිට් මාර්ක්ට් එකට එනවලු . රෑ කෑම බිස්නස් එක තායිලන්තේ නාගරික ජනතාවගේ ලොකු ජීවනෝපාය මාර්ගයක් .ඒ වගෙම පවුලේ වෙලඳාමක් .හිටපු අගමැති තක්ෂින් සින්වත්‍රා පොලී රහිත ණය යෝජනාක්‍රමයක් එහෙම හඳුනවලා දීලා මේ රෑ කඩ බිස්නස් කරන උදවියට බඩු මුට්ටු ප්‍රවාහනයට වාහන ගන්න එහෙමත් උදවු කලාලු . පහුගිය තද ගංවතුර වෙලාවෙනම් රෑ කඩ කරන උදවියට සැහෙන්න බඩේපාර වැදුන කියල මගේ යාලුව කිව්වේ . කෑම කන අතරේ මම අපූරු දෙයෙක දැක්කා. එක සුෂී කඩේක පොඩි කෙලි පැංචියක් එයාගේ ඉස්කෝලේ හෝම් වර්ක් කරනවා කඩ ලෑල්ල ගාව ඉඳන් . අම්මයි තාත්තයි සුෂී වෙලඳාම කරනවා .වරින් වර තාත්තා දුවට හෝම් වර්ක් වල අමාරුතැන් පැහැදිලි කරගන්න උදවු කරනවා .මුලු පවුලම ජීවන සටන ගෙනියන්න පාරේ වෙලඳාම .මගේ කැමට ගියේ තායි බාත් දෙසීයක් ඒ කියන්නේ ඩොලර් නවයක් විතර .හෝටල් වල මේ කෑම වේල මේ වගේ දෙගුණයක් . ලංකාවෙ නම තායි පපායා සැලඩ් එකක් ලොකු ගානක් වෙනවා තායි අවන්හල් වල .
| පලතුරු වෙලෙන්දා |
කෑම කාලා මම ව්විදිය දිගේ ආයෙත් ඇවිදගෙන ගියා ඉස්සරහට .යද්දී පලතුරු වෙලෙන්දෙක් ගාව නැවතිලා බලන් හිටියා .ඔහු අඹ, පැපොල් , කොමඩු ,පේර එහෙම සුද්ද කරලා වීදුරු පෙට්ටියක දාගෙන ඉන්නවා හරි ලස්සනයි.ගණුදෙනු කාරයො ඇවිත් ඉල්ලුවහම බොහොම සීරුවට ලෑල්ලක් උඩ තියන් පලතුරු කෑලි කපලා පොලිතින් බෑග් එකකට දාලා , ටූත් පික් එකකුයි ,ලුණු ගම්මිරිස් එහෙම දාලා තියෙන පොඩි මුලකුයි එක්ක දෙනවා .එක පලතුරු බෑග් එකක් බාත් විස්සක්- විසිපහක් වගේ .මාත් පේර පාර්සලයක් අරන් හප හප ඇවිදින්න ගත්තා .එතකොටයි දැක්කේ ස්ටිකි රයිස් -sticky rice විකුණන වෙලඳන් අම්මා .ස්ටිකි රයිස් තායිලන්තෙටම ආවේණික කෑමක් . හරියට අපේ කිරිබත් , ඉඹුල් කිරි බත් වගේ .මම මේවා මුලින්ම කෑවේ ස්වර්ණභූමි ගුවන්තොටුපොලේදී මීට අවුරුදු තුනකට විතර කලින්.ඉතින් දෙපාරක් නොහිතා එතෙන්ට ගියා.ස්ටිකී රයිස් හදන්න වෙනම හාල් ජාතියල් තියෙනවා කියලයි මම ඉන්ටර්නෙට් එකේ කියවලා තියෙන්නේ . ස්ටිකී රයිස් කිරිබත් වගේ ගොඩාක් බෙරි වෙන්න උයලා හතරැස් කෑලි කපලා . සීනි , පැණි , කජු,කිරි එහෙම දාලා උයන නිසා පැණි රසයි .ඒවට කස්ටර්ඩ් , අඹ වගේ ටොපින් එහෙමත් දාලා විකුණනවා .විශේෂමදේ ස්ටිකි රයිස් ඔතන්නේ කෙසෙල් කොල වල .බොහොම පිලිවෙලට හෙහෙල් කොලේ ඔතලා කෙසෙල් පටියකින්ම ගැටගහලා ලොකු කූඩෙක අහුරගෙන මේ වෙලඳන් අම්මා වෙලඳාම කරනවා . මාත් තව බාත් දහයක් දීලා ස්ටිකි රයිස් එකකුත් ගත්තා. ලංකාවේ අපි කිරිබත් මෙහෙම විකුණන්න ට්‍රය් නොකරන්නේ මොකද කියලා මට හිතුනා.
| වීදි වෙලඳාම |
දැන් වීදියේ ගොඩක් හරියක් ඇඳුම් , අරුමෝසම් බඩු විකුණන උදවිය ඉන්නේ . ටීශර්ට් ,සපත්තු, හෑන්ඩ් බෑග් , කොණ්ඩකටු , වගේ දේවල් . හෙට්ටු කරන්න පුලුවනි .ගණුදෙණු කාරයන්ට බඩු තෝරන්න තහනම් නෑ .අපේ පිට කොටුවේ වගේ මහා සද්දේට කෑ ගහලා බඩු විකුනන්නේ , ගණුදෙනු කාරයන්ට බලෙන් බඩු ඇඟේ ගහන්නේ, අසභ්‍ය වචන කියන් නෑ. ඒ වගෙම පදිකයන්ට ඇවිදින්න බැරි වෙන විදියට පාර හරස් කරන් ඉන්නෙත් නෑ .ගෑනු කෙනෙකුට වුනත් මේ වීදිවල රෑ ඇවිදගෙන යන්න හොඳ නිදහසක් තියෙනවා .මට බයවෙන්න ඕනෙ වුනේ නෑ මගේ වොලට් එක සුද්දකරාවිද , මාලේ කඩා ගනීවිද , කවුරුහරි මදාවියක් අතින් අදීවිද , නරක විදියට බලාවිද කියලා .කඩ වීදියේ එක තැනක ගෑණු උදවිය කීපදෙක් එකතුවෙලා අරුමෝසම් බඩු වෙලඳාමක්.ගොඩක් අය රෑ කෑම කන්නෙත් එතැනම ඉඳන් . මුලිනුත් කිව්වනේ රෑ කඩ වෙලඳාමේ යෙදෙන ගොඩක් ගෑනු අය තායිලන්තේ ඉන්නවා කියලා . මේ හැමකෙනෙක්ම ගොඩක් රූමත් .ඒත් කාටවත් අතවරයක් වෙනවා කියලනම් අහන්න නෑ.මම එයාල එක්ක කැඩුණ ඉන්ග්‍රිසියි, හස්ත මුද්‍රාවනුයි පාවිච්චිකරලා කතා කරා .හැමෝම් කිව්වේ මට වැලන්ටයින් සමරන්න ඒ කිට්ටුව හරස් වීදියක තියෙන ඩිස්කො ක්ලබ් එකකට හරි පැට් පොන්ග් වලට හරි යන්න කියලා . තායි ලන්තේ නයිට් ලයිෆ් වලට ප්‍රසිද්ධයි. රාත්‍රී සමාජසාලා ,නැටුම් හල හා ලිංගික සේවිකාව්න් මේ තැන් වල ඉන්නවා .මම කිට්ටුව වීදියක ක්ලබ් එකක් දිහා බලන් හිටියා .කවුරුත් ඇතුලට ගන්නේ ස්කෑන් කරලා .ඩී ජේ මියුසික් එක්ක නටන්න පුලුවන් .වැලන්ටයින් ඔෆර් විදියට කම්ප්ලිමෙන්ටරි බියර් එකක් නොමිලේ දෙනවා .
| night life |
| මල් මිලට ගත් ආදරවන්තයා |
එතනින් හැරිලා ආයේ වීදිය දිගේ ආපස්සට ඇවිදගෙන මගේ නවාතැනට යන්න ලෑස්තිවෙනකොට තමයි එදා දවසේ හොඳම දේ මම දැක්කේ . සුදු ජාතික තරුණයෙක් මල් වෙලඳාම් කරණ තරුණියකගෙන් රතු රෝස මිලට ගන්නවා . ආයෙත් ටික දුරක් යන ඔහු තවත් වයසක මල් වෙලෙන්දියෙක්ගෙන් කපපාට මෙරිගෝල්ඩ් වගේ මල් ජාතියකුත් ගත්තා .මම ඔහු දිහාට කැමරාව මානනකොටම ඔහු දුටුවා .හිනා වෙලා ඔහු මට කිව්වේ These are for my sweet heart .She loves flowers . කියලා .මම ඔහුට සුබ වැලන්ටයින් දිනයකට සුබ පතලා ඉදිරියට ඇදුනා .රෑ එකොලහට විතර ඇති .සමහර ජංගම කඩ වැඩ ඉවර කරලා වහන්න ලඟයි .අපි කලින් දවසේ රස්තියාදු ගැහුව ස්ටාර් බක්ස් අවන්හල තාම ඇරලා .මම මට උණු උණු ක්‍රීම් දැම්ම ලොකු කැෆේ මෝචා එකක් අරන්දීලා වැලන්ටයින් දිනේට ට්‍රීට් කලා .
එදයින් පස්සේ ඉතුරු දවස් පහේ හැමදාම සිලොම් නයිට් මාර්කට් එකේ රවුම් ගහලා ,ෆොටෝ අරන් , ස්ටිකි රයිස් කාලා ,පලතුරු වෙලෙන්දගෙන් පලතුරුත් අරන් ස්ටාර් බක්ස් එකේ සෑහෙන්න වෙලාවක් වාඩිවෙලා ඉඳන් නිවී සැනසිල්ලේ කෝපි තොලගාලා හිතුනොත් සෙවන් ඉලෙවන් සුපර් මාර්කට් එකෙන් චොක්ලට් අයිස්ක්‍රීම් එකකුත් අරන් රෑ එකොලහට විතර නවාතැනට ඇවිදගෙන යන එක මගේ පුරුද්ද වුනා .එක දවසක් තායි මසාජ් එකකටත් ගියා .මට බය හිතුනේ නෑ අපිරිසිඳු තැනක්ද ,කවුරු හරි මගේ කාමරේට එබේවිද , මගේ වොලට් එකයි අනික් වටින බඩුයි නැති වේවිද වගේ .මේ නයිට් මාර්කට් සංස්කෘතියේ මම දැක්ක ලොකුම හොඳ දේ මනුස්සයෙකුට විශේෂයෙන් ගෑණු කෙනෙක්ට ඇවිදින්න ,සතුටුවෙන්න තියෙන නිදහස හා ආරක්ෂාව .එය මට හොඳින්ම දැනුනා සිලොම් වලදී .ඒක මට ලංකාවෙදි දැනිලා නෑ.
ආයෙ ගියොත් නයිට් ලයිෆ් බලන්න පැට්පොන්ග් හෝ සුකුම්විත් වලට යන්න මම හිතන් ඉන්නවා
ප\ලි
හැමදාම කෝපි බීලා නවාතැනට යන නිසා නිදාගත්තේ පරක්කුවෙලා .ආයෙ උදේට නිදිමතේ වැඩට යන්නේ :)
Friday, February 10, 2012
මගේ පුංචි බෑග් එකේ නැගිලා - පොඩි අලි පැටියෙක් ගමනක් යනවා
ආයෙමත් දූවිලි ගසා බසා දාලා මගේ ගමන් මලු පැක් කරන්න කාලේ හරි .අවුරුදු හතරක ඉඳන් මම පාවිච්චි කරන ගමන් බෑග් දෙකම මගේ හිතවත් සගයන් වගේ .මහ ගොඩක් විසාල නොවුනත් එක සතියක ඉඳන් මාසයක් වෙනකන් උවමනා කරන ඇඳුම පැලඳුම් ,පොත් පත් පැක් කරගෙන යන්න මේ දෙක මට වැඩිත් එක්ක ඇති .
සාමාන්‍යයෙන් නොමිලේ ලැබෙන කිලෝ තිහකුත් රාජකාරි කටයුතු නිසා මුදල් ගෙවලා ගෙනයන්න පුලුවන් බරකුත් තිබුණත් කවදාවත් මම මේ බෑග් වල කිලෝ තිහක් වත් ගෙනියනවද කියන්න සැකයි .යාලුවො නම් විහිලු කරනේ මගෙ උවමනා ඒ තරම් අල්පයි කියලා .කොහොම වුනත් මට ලැබෙන දීමනා පිරිමහන්න/ඉතුරු කරන්න කියලා ලංකාවේ ඉඳලා කෑම බීම උස්සගෙන කිසිම රටකට යන පුරුද්දක් නම් මට නෑ .ඒත් හැමදාකම මගේ බෑග් එකේ කිලෝ හතරක් පහක් වෙන් වෙන්නේ යාලුවන්ට ආදරේ සහ හොඳ හිත පුරවගෙන යන්න .කොහේ හරි යනවනම් හිතවත් යාලුවො වෙනුවෙන් එයාල කැමති ලංකාවේ දෙයක් ගෙනියන එක මගෙ පුරුද්දක් .ගොඩක් වෙලාවට යාලුවන්ගෙන්ම අහලා එයාලට ඕනෙ දේ ගෙනියනවා .මගෙ ගමන් මලු පැක් කිරිල්ල හා ගමන් බිමන් ගැන දන්න යාලුවොත් ලංකාවෙන් ඔවුන්ට උවමනා දෙයක් ගෙන්න ගැනීම ඒ හැටි කරදරයක් නැති වග දන්නවා .ඒ නිසා කල් තියාම ඊ මේල් එකකින් තමන්ට උවමනා දේවල් කියල එවන එක සිරිතක් .
ඔහොම වෙලාවලදී රසවත් අත්දැකීම් එහෙමත් තියෙනවා .දැන් අවුරුදු දෙකකට කලින් ඈත අප්‍රිකානු රටක සේවයට ගිය ලාංකික මිතුරියක් මට නැගෙනහිර ආසියානු රටකදී මුණගැහෙන්න නියමිතව තිබුනා . අපේ හමුව ගැන පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය ඇය ඊ මේල් එකකින් මට ඉල්ලිමක් කරලා තිබුනා මෙන්න මේ ලිස්ට් එක අරන් එන්න කියලා .
කට්ට කරවල කිලෝ 1 යි
වේලපු හාල් මැස්සෝ කරවල කිලෝ 1 යි
අයිලන්ඩ් /හරිස්චන්ද්‍ර කෝපි ග්‍රෑම් 100 පැකට් වලින් කිලෝ1 යි
ඒ වෙනකොට ඇය ලංකාව හැර ගිහින් අවුරුද්දක් .ඒත් ලංකාවෙ කෑම බීම වල රහ අමතක කරන්න බෑ වගේ. .ඇය ඉන්න අප්‍රිකානු රටේ තියෙන්නේ දුම් ගහල වේලන කරවල-smoked dried fish ඒ තරම් රස නැති වගත් මොන තරම් රස අප්‍රිකානු කෝපි තිබුණත් ලංකාවේ කෝපි බොන්න ආසාවක් ඇති බවත් තමයි ඊ මේල් පණිවුඩය අවසානයේ කියවුනේ . කෝපි පැක් කරලා ගෙනියනවා කියමුකෝ,ඒත් කරවල ගෙනියන එක තමයි ගැටලුව .අනිවාර්යෙන්ම මේවා කාර්ගො දාන වෙනවා .පැක් කරන්න වෙන්නෙත් සති දෙකකට ඕනේ ඇඳුම් එක්කමයි . ඒ වගේම ඇය නැවත අප්‍රිකාවට යා යුත්තේ ලංඩනය හරහා .හිත්‍රෝ ආගමන/විගමන කවුන්ටරයෙන් මේ දෙවල් ගෙනියන්න පුලුවන් වෙන්නත් ඕනේ. අන්තිමට දන්න කියන හැමෝගෙන්ම විපරම් කරලා කරවල වේලලා, සකස් කරලා ,ඇසුරුම් කරලා තියෙන වර්ග වලින් මිලට අරගෙන ආයෙත් පොලිතීන් වලින් හොඳට සීල් කරලා ටිකක් වත් ගඳක් නො එන්න ඇඳුම් බෑග් එකේ දාගෙන ගියා .හැබැයි මම කල් තියාම මගේ මිතුරියට කියලා යැව්ව ලංඩන් පහු කරගෙන එනකොට මට ඉස්තරම් වර්ගයකින් ෆර්පියුම් එකක් අරන් එන්න කියලා කරවල ගඳ ආවොත් ඇඳුම් වලට ඉහලා පාවිච්චි කරන්න .ඒ ඉල්ලිමත් ඉටුවුනා .අන්තිමට අනික් යාලුවො විහිලු කලේ "ගඳ කරවල දීලා බ්‍රෑන්ඩඩ් ෆර්පියුම් ගත්තා වගේ" කියලා .
මගේ ඉන්දියානු මිතුරියන්ගෙන් නිතරම ඉල්ලිම් ලැබෙන්නේ ලංකාවේ කුලු බඩු වර්ග අරන් එන්න .ඒ අතරින් කුරුඳු ,ගම්මිරිස් හා එනසාල් විශේෂයි .ඒ වගේම ලංකාවේ පුච්චල පැක් කරලා තියෙන කජු කන්න ආස අයත් ඉන්නවා . මෙහෙම කුලු බඩු ගෙනිහින් දුන්නම ඔවුන් ඒවා අවුරුද්දක් හමාරක් පාවිච්චි කරනවා .ලංකාවේ යාලුවෙක්ගෙන් ලැබුනා කියලා තමන්ගේ අනික් යාලුවො ,නෑ දෑයො ,හිතවත් උදවියටත් ආඩම්බරෙන් බෙදලා, ඒවා දාලා මසාලා කෑම හදලා ,ඒ ගැන වර්ණනා කරලා මට ආයේ ඊ මේල් එහෙමත් ලැබෙනවා .ගිය අවුරුද්දේ නම් මට එහෙම ඉන්දියානු මිතුරියකගෙන් සර්ප්‍රයිස් එකකුත් ලැබුනා .ඒ මම ගෙනිහින්දීල තිබුණ කුරුඳු වලින් සිනමන් ෆ්ලේවර්ඩ් හෝම් මේඩ් කේක් එකක් ඇගේ අතින්ම හදලා රස බලන්න දීම .
කලබලෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවත් එක්කම මේ වගේ පුංචි දේවල් වෙනුවෙන් කාලය යෙදවීම කරදරයි කියලා මම ගැන දුක් වෙන සමහර යාලුවො කියන්නේ මම කැමති ලංකාවට ආවේණික මොනව හරි සිහි වටනයක් අරන්න එන්න කියලා .එතකොට නම මම ටිකක් අමාරුවේ වැටෙනවා .මම කැමති දේටම යාලුවොත් කැමති වෙන්න ඕනනේ .එහෙම වෙලාවට මොලේ පාවිච්චි කරලා පරණ ඊ මේල් දිග ඇරලා ,මූණු පොතේ පින්තූර බලලා යාලුවන්ගේ ඉන්ටරෙස්ට් ගෙස් කරලා ලංකාවට ආවේණික ටී ෂර්ට් , කියවන්න කැමති පොත් ,ලක්සලෙන් විසිතුරු දෙයක් අරගෙන යනවා .එහෙම මම ලක්සලෙන් ගෙනිහින් දුන්න පොල්කටු හැඳි දුසිමක් මගේ බංග්ලාදේශ මිතුරියක් තාමත් පාවිච්චිකරනවා ඇගේ නිවසේ විශේෂ ප්‍රිය සාද අවස්ථා වල .මේ විදියට යාලුවන්ගේ ඉන්ටරෙස්ට් ගෙස් කරලා ඔවුන් කැමති යමක් ගෙනිහින් දුන්නම එයාලගේ මූණේ ඇඳෙන හිනාව නිසා දැනෙන සතුට නම් මිල කරන්න බෑ .
මගේ අත්දැකීමේ හැටියට මේ විදියට තෑගි තෝරගනිද්දී ලොකු අමාරුවක වැටෙන්නේ මිතුරියන්ගේ පුංචි පැටවු කරන ඉල්ලිම වලදී.පුරුද්දක් විදියට මම කිසිම පොඩ්ඩෙකුට ලංකාවෙන් අඳුම් ගෙනියන්නේ නැත්තේ මට එහෙම නියමිත ප්‍රමානයට පොඩ්ඩන්ට ඇඳුම් තෝරන්න බැරි නිසා .ඒ නිසා වැඩියෙන්ම ගෙනියන්න වෙන්නේ සෙල්ලම් බඩු වගේ දේවල්. එතකොට පොඩ්ඩො ආස විදියේ සෙල්ලම් බඩු ,ඒවගේ පාට , පොඩ්ඩන්ගේ වයස,වගේ ගොඩක් දේවල් හිතලා තමයි තෝරන්න වෙන්නේ .එහෙම සෙල්ලම්බඩු සොයන්න ගිහින් මාත් ලොකු සතුටක් ලැබුව වෙලාවල් එමටයි .
මේ ගමනත් වැඩ ගොඩක් මැද කලබලෙන් ගමන් යන්න ලෑස්තිවෙද්දී මිතුරියකගෙන් ඉතාම කෙටි ඊ මේල් පණිවුඩයක් ලැබුණා. ඒ ඇය දන්න හඳුනන විදෙස් ජාතික පවුලක පොඩි දරුවෙකුට තෑගි දෙන්න ලංකාවෙන් සෙල්ලම් අලි පැටියෙක් අරන් එන්න කියලා .සොෆ්ට් ටෝයිස්-Soft Toys විදියට ලංකාවට ආවේණික අලි පැටවු හදන සාප්පුවක නමත් දරුවා කැමති පාටත් විතරයි ඊ මේල් එකේ තිබුණේ .වැරදිලාවත් ඒ පාට අලි පැටවු නොහිටියොත් කියල හිත හිතා වැඩ ගොඩක් මැද්දේ මම අර සාප්පුවට ගියේ අලි පැටියෙක්ව මිලට ගන්න . මේ දරුවා ගෑණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන්නවත් මම දන්නේ නෑ .විදෙස් ජාතික පවුලක වුනත් ආසියාතිකයෙක්ද ,අප්‍රිකානුවෙක්ද ,යුරෝපීය රටක දරුවෙක්ද කියන්න දන්නේ නෑ .කොහොම නමුත් කිව්ව විදියේ සෙල්ලම් අලි පැටියෙක් සොයාගන්න පුලුවන් වුනා රතු කහ පාට ඇඟකුයි,කොල පාට කන් දෙකයි ,වලිගෙකුයි එක්ක .පැක් කරද්දී ගමන් බෑග් එකේ ඉඩ ඇහිරෙනවා වුනත් පොඩ්ඩෙකුට දෙන තෑග්ගක් නිසා කාර්ඩ් බෝර්ඩ් ඇසුරුම් පෙට්ටිය එක්කම ලස්සන පාට කඩදාසියකින් ඔතලා සාපුවේ නමත් එක්කම දෙන ඇසුරුම් කවරේ එක්ක තෑග්ග මිලට ගත්තා . මේ දැන් ටිකකට කලින් ඒ පොඩි අලි පැටියා මගේ ගමන් බෑග් එකේ සෑහෙන්න ඉඩක් අරන් ඇහිරුනා ඈත රටක ඉන්න පොඩ්ඩෙක්ව සතුටු කරන්න යන්න .සමහර විට මේ අලි පැටියා මාත් එක්ක එනකන් දැනටමත් ඒ පොඩ්ඩා හෝ පොඩ්ඩි මග බලන් ඇති .කෙනෙක්ව සතුටු කරන්න තෑග්ගකට මොන තරම් දුරක් යන්න පුලුවන්ද කියලා මට ඒ වෙලාවේ හිතුනා.
මගේ තේරීම ගැන මේ පොඩ්ඩා හෝ පොඩ්ඩී සතුටු වේවි කියලා හිතනවා .
Saturday, February 4, 2012
නින්ද අහලක නැති -කුමට මේ පැනි සිරප් පෙති
මේ පැනි රස සිරප් එක
චුට්ටක් නිදිමත ගෙනෙනු ඇති
තේ හැඳි එක බැගින් තෙවරක්
ගැනීම යහපත්
රෝස පාට මේ පෙති
බිව්වම ටිකක් ගැහෙනවා ඇති
ඒනිසා වැඩ වලින් මිදී
විවේකය යහපති
ආයෙත් වට්ටෝරු වෙනස් කර
තව නිල් සුදු කරල් පෙති
සතියක් බොනු රිසී
පොදියක්ම ලැබී ඇති
නින්ද අහලක නැති
බල් බල් කැස්ස හොඳ නැති
හිතට විවේකෙකුත් නැති
කුමට මේ පැනි සිරප් පෙති
Tuesday, January 31, 2012
පාර දිගේ
ඈ තම කාර්යාල සගයාත් සමග ලහි ලහියේ බස් නැවතුමට ආවාය
"සීමිතයක් තිබුණොත් හොඳයි වාඩි වෙලා යන්න" ඈ තමාටම කියාගත්තාය .සිතූ සේම හරි බරි ගැහී යන්න වැඩි සෙනගක් නැති ඉක්මනින් ගමන් අරඹන සීමිත නැවතුමක් වීය .
රාජකාරියට යන්න එන්න ගතවන දෙපැයේ ඈ කවදාත් මනාප මුහුද පැත්තේ ඇති අසුනක වාඩි වෙන්නය . යන එන මග උදේ හවා දකින මුහුදු තීරය කවදාවත් එපා වෙන්නේ නැත. එක දවසක් නොව දැන් අවුරුදු හයක් තිස්සේ මේ මුහුද හිරු නගින උදෑසනත් , ගිනි මද්දහනේත් , ඉර අවරට යන හැන්දෑවේත් ඈ දකින්නීය .දින ,සති මාස අවුරුදු ගෙවුන ඉක්මන ...කාලය කවුලු දොරින් පැනයයි.රස්සාවට ගිහින් අවුරුදු හයකුත් මාස හයක් ගෙවී ඇත .හරියට අද ඊයේ වගේ ඈට හිතේ .මේ රස්සාවට එනවාට ඈ දන්න හඳුනන බොහෝ අයත් ගෙදර උදවියත් එක හෙලා අකමැති වූ නමුත් ඈ කැමැත්තෙන් ආවාය .දැන් ඉතින් ආපසු හැරීමක් නැති හැඩකි .ගලන ගඟක් කොහොම හරස් කරන්නද ?ආයේ ආපසු හැරී කොහෙන් නම් පටන්ගන්නද ?එනිසා ඈ රැකියාව ගැන අන් බසකට කන් නොදෙනු ඇත .
බස් රථය ගමන් ආරම්භ කර ඇත .සයුර දෙසින් බැසයන හිරුගේ රැස් වේගෙන් ඇදෙන රිය කවුලුවෙන් ඇගේ මූණට පතිතවී ඇත .ඉමක් කොනක් නැති මුහුද දිහා බලන් ඇගේ හිත ඈ හා දොඩමළු වූ ලෙසකි ඈ කල්පනා කෝච්චියට ගොඩවෙලාය .එහෙම වූ විට ඈට තමන් අසලින් අසුන්ගන්නා සිය කාර්යාල සගයාත් අමතක වේ .ඔහු සුපුරුදු ලෙස ඈටත් එක්කම ටිකට් ගනී.
ඇගේ කල්පනා ලෝකය බිඳෙන්නේ සිය කාරයාල සගයා විමසන පැනයක් දෙකක් නිසාවෙනි
"ඔයා ගෙයක් හරි ඉඩමක් හරි ගන්න හොයන එක අත් ඇරියද ?"
ඔහුට කාන්සියට කතා බහට මාතෘකාවක් ලැබී ඇත .ඉන්න හිටින්න තැනක් ඉඩමක් කඩමක උවමනාව ඇගේ හිතට දැනුනේ දැන් ටික කාලෙක ඉඳන්ය .එනිසා ඒ ගැන යම් හෝඩුවාවක් තිබුනොත් කියන ලෙස ඔහුත් දැනුවත් කලා මතකය .
"නෑ , එහෙමම නෑ ඒත් මේ දවස්වල මම හිතුවේ මෙහෙන් යනවද ඉන්නවද කියන එක . ඔය ඔක්කොම තීරණය වෙන්නේ මම ඊලඟට යන තැන අනුවනේ .ඇරත් මගේ වන්දිය නොගෙන මේව ප්ලෑන් කරන්න අමාරුයි" ඈ කල්පනාකාරිව කියන්නිය
"ඔවු ඒක ඇත්ත"ඔහු එකඟවෙයි .
"මේ දවස්වල ඉඩම් ගෙවල් ටිකක් ලාබයි .චාන්ස් එකක් ආවොත් අතාරින්න එපා "
ආයෙත් උපදෙසකුත් ලැබෙයි
ඈ කල්පනා සයුරේ කිමිදෙන්නීය .හිටියොත් වන්දිය ලැබේ .ගියොත් නොලැබේ .දැන් ඈ ඉන්නේ වැට උඩය .ඒත් පනින්න පෙර හිතා බලන්න දේවල් ගොඩකි .හිටියොත් බැංකු ණයක් ගෙන යමක් කරගත් හැක .ගියොත් යා යුතේ වන්දිය අතැතිව මිස හිස් අතින් නොවේ .වන්දිය ලැබුනොත් කරන්නට බොහෝදේය ..ගෙයක් ගන්න ,බාගයක් ලීස් කරලා කාර් එකක් , නැත්නම් ඔක්කොම පැත්තක දාලා පොඩි කාලේ හිතූ සේ ඇගේ සිහිනයන් වූ ,හිස හැරුන දිහා ඇවිදින්න කාගෙන් තහනමක්ද ? ඒත් තනිමතයට එහෙම යන්න පුලුවන් කාටද ? වයසට යන ලෙඩවෙන දෙමවුපියන් සිටිනා විට එහෙම දමා ගසා යා හැකිද ? ,හැමෝම හිතන්නේ ජීවිතය ගැන වැඩි බරක් පතලක් නොහිතා සිනා වෙන ඇය වැන්නියකට එය හරි ලේසි වැඩක් කියාය .ඒත් ඒ අපහසු හැඟීම දනේ ඈම පමණකි .ඒත් හීන පොදියක බර ඇගේ ඔලුවේය .ඒ බර බිමින් තියන්නත් ඈ අකමැතිය .ගොඩ කල් උහුලා ඉන්නත් බැරිය .වෙහෙසය .
ඇගේ දැහැන ආයෙත් බිඳුනේ එස්. එම්. එස් පණිවුඩයකිනි ඒ හොඳම මිතුරියකගෙනි ."මට අර ඇග්‍රරිමන්ට් එකේ ෆෝර්මැට් එකක් එවනවද ?"ඇගෙන් ඉල්ලිමකි .බොහෝ මිත්‍ර සමාගම් නැතත් ඉන්නා යාලුවෝටික දෙනා ඈට ප්‍රියවෙයි .ඒත් ඈට සමහර වෙලාවට දහස් ගානක් සෙනග අතරේත් මහා තනියක් දැනෙනවා වගේය .එවර ඇගේ මුවග සිනාවක් නැගුනේ යමක් මතක්වීය .ස්කයිප් වලට පින් සිදුවන්නට දෙන්නා දිවා රෑ නොබලා කතා බස් කර තිබුනි.ප්‍රිය සාමිච්චි කෙතරම් දුරදිග ගියාද කිතොත් ඇගේ දින පොතේ සමහර වැදගත් රැස්වීම, ගමන් බිමන් , ඇඳිය යුතු ඇඳුම් ඈට වඩා හොඳින් ඔහු මතකයේ තබාගෙන සිටියේය .ඒත් පසුව ඒ සාද ,සාමිච්චී, වාද, විවාද වී ඒවා විසංවාද වීය . දෙන්නා යන්නේ කවදාවත් හමු නොවන රේල් පීලි දෙකක් උඩ බව දෙන්නාටම වැටහුණි . රණ්ඩු කරමින් දෙමගක යාම පලක් නැති වග දෙන්නාම තීරනය කලෝය.ඒත් ඉඳහිට උනුන් ගැන විමසන පුරුද්ද එකිනෙකාට අවවාද දෙන ගතිය දෙන්නාටම අමතක වී නැත .
ඇගේ මතක සිතුම්පටක් සේ ඇඳෙයි ,බස් රිය පොල් රුප්පාවන් පසු කරගෙන වේගයෙන් ඇදෙයි.කල්පනා කෝච්චියද ඒ වේගයෙන්ම අතීතය වර්තමානය හා අනාගතය අතරින් දුවයි .එය කොහේ කොතැනක නවතිනු ඇත්ද කියා ඈ නොදන්නිය .ඒත් අසීමිත හීන හා බලාපොරොත්තු පොදි බැඳන් ඒ කල්පනා කෝච්චිය හැමදාම ඇදෙනු ඇත .ඇය මුවග සිනා හා නොකියූ සුසුම් ද ගෙනෙනු ඇත.ඇය හීන පොදි බැඳන් ඉදිරියටම ඇදෙනු ඇත.ආයේ හෙටත් සීමිත නැවතුමක නැගී සිහින හිස දරා වැඩට යනු ඇත .
Saturday, January 28, 2012
ආදරයේ නුවර.. අග්‍රා... දුටිමි
චිත්තෝර් වලින් සැප්තැම්බර් 25 වෙනිදා රෑ සමුගත්ත මම ග්වාලියර් වලට යන රෑ කෝච්චියට ගොඩවුනේ ආදර සැමරුම් කැටිවුන අග්‍රා නුවර දැකගන්න . මගේ මෙවර රාජස්තාන් සවාරියේ අවසාන අදියර වුනේ අග්‍රා නුවර දැක ගැනීම . අග්‍රා , උදයපූර්,ජායි පූර් සංචාරක නගර ගෝල්ඩන් ට්‍රයන්ගල් (Golden Triangle) කියලයි හන්දුන්වන්නේ . මම අග්‍රා යන අතරමග ජායි පූර් පහුකලත් පහුගිය වතාවේ "ජල් දි ජල් දි කියල ජායිපූර් නැරඹුව නිසා " කෙලින්ම අග්‍රා ගියා . රෑ එකොලහට චිත්තෝර් වලින් පිටත්වෙලා අග්‍රා වලින් බහිනකොට පහුවදා උදේ එකොලහයි .
අග්‍රා ගැන මගේ හිතේ ඇඳිලා තිබුනේ යමුනා ගං තිරේ බොහොම සාමකාමි , මෝගල් වරුන්ගේ අභිමානය කැටිවුන සංස්කෘතික නගයරක් විදියට .ඒත් දුම් රියෙන් එලියට බහිනකොටම ඒ සිතුවිල්ල වෙනස් වුනා . අග්‍රා ත් ඉන්දියාවේ ජනාධික , වාහන තද බදය උපරිම තියෙන , සමර් කාලෙට අධික හිරු රැස් වලින් පීඩා විඳින , ගෑස් හා තෙල් කම්හල බහුල නූතන ඉන්දියානු නගරයක් ,කොමර්ෂල් හබ් එකක් .
තද හිරු රැස් ,දූවිලි , ට්‍රැෆික් මැද්දෙන් අග්‍රා කාන්ට් ඉස්ටේසමේ ඉඳලා අපේ නවාතැන වුන එයාර්ෆෝර්ස් බේස් කෑම්ප් එකේ ඒරියා 4 සීමාවේ ගයත්‍රි හා භානුගේ ගේ නිල නිවහනට සේන්දුවෙනකොට ඉර මුදුන්වෙලා .ගයත්‍රිගේ ආගන්තුක සත්කාර විඳලා සීතල ලැසී බිලා ඇඟපත් නිවාගෙන දවල්ට කාලා මම ලහි ලහියේ ලෑස්තිවුනේ රතු බලකොටුව හා මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ මුදුන් මල කඩ වූ ටාජ් මහල් දැකගන්න.දිර්ග දුම් රිය ගමන් වලින් හොඳටම හෙම්බත්වෙලා හිටියත් මහන්සි නොබලම රතු බලකොටුවටත් (Red Fort) ටාජ් මහල් බලන්නත් යන්න මට තිබුනේ නොඉවසිල්ලක් .ඒත් මට වැඩිය හොඳින් නගරේ ගැන දන්න මගේ ටුක් ටුක් රියදුරාට අවනත වෙන්න වුනා .ඔහුගේ අදහස වුනේ මුලින්ම රතු බලකොටුවට බලලා එතැනින්ම ටාජ් මහල් නරඹන්න ප්‍රවේශපතකුත් අරන් පස්සේ ටාජ් බලන්න යන්න කියන එක . ෆටේපූර් සිකිරි (Fatefur Sikiri) කියන මෝගල් වරු ගොඩනැගුව පැරණි නගරය දැකගන්න මට ඕනෙ වුනත් ඔහු කිව්වේ අග්‍රා ඉඳලා කිලෝමීටර තිස් දෙකක් විතර ඈතින් ඇති එහි යාමට අපිට වෙලාවක් නැති වග .ඒ නිසා ටාජ් හා රතු බලකොටුව විතරක් මගේ මෙවර ප්ලෑන් එකට එක් කරගෙන සැනසෙන්න වුනා.
තද හිරු රැස් ,දූවිලි , ට්‍රැෆික් මැද්දෙන් අග්‍රා කාන්ට් ඉස්ටේසමේ ඉඳලා අපේ නවාතැන වුන එයාර්ෆෝර්ස් බේස් කෑම්ප් එකේ ඒරියා 4 සීමාවේ ගයත්‍රි හා භානුගේ ගේ නිල නිවහනට සේන්දුවෙනකොට ඉර මුදුන්වෙලා .ගයත්‍රිගේ ආගන්තුක සත්කාර විඳලා සීතල ලැසී බිලා ඇඟපත් නිවාගෙන දවල්ට කාලා මම ලහි ලහියේ ලෑස්තිවුනේ රතු බලකොටුව හා මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ මුදුන් මල කඩ වූ ටාජ් මහල් දැකගන්න.දිර්ග දුම් රිය ගමන් වලින් හොඳටම හෙම්බත්වෙලා හිටියත් මහන්සි නොබලම රතු බලකොටුවටත් (Red Fort) ටාජ් මහල් බලන්නත් යන්න මට තිබුනේ නොඉවසිල්ලක් .ඒත් මට වැඩිය හොඳින් නගරේ ගැන දන්න මගේ ටුක් ටුක් රියදුරාට අවනත වෙන්න වුනා .ඔහුගේ අදහස වුනේ මුලින්ම රතු බලකොටුවට බලලා එතැනින්ම ටාජ් මහල් නරඹන්න ප්‍රවේශපතකුත් අරන් පස්සේ ටාජ් බලන්න යන්න කියන එක . ෆටේපූර් සිකිරි (Fatefur Sikiri) කියන මෝගල් වරු ගොඩනැගුව පැරණි නගරය දැකගන්න මට ඕනෙ වුනත් ඔහු කිව්වේ අග්‍රා ඉඳලා කිලෝමීටර තිස් දෙකක් විතර ඈතින් ඇති එහි යාමට අපිට වෙලාවක් නැති වග .ඒ නිසා ටාජ් හා රතු බලකොටුව විතරක් මගේ මෙවර ප්ලෑන් එකට එක් කරගෙන සැනසෙන්න වුනා.
රෙඩ් ෆොර්ට් එහෙම නැත්නම් රතු බලකොටුව වචනයේ පරිසම්මාප්ත අර්ථයෙන්ම රතු පැහැ විසාල ප්‍රාකාරයකින් ආවරණය වුන අක්කර සිය ගානක් ඇතට විහිදෙන බලකොටුවක් .එහි මුල් ඉතිහාසය දහවැනි සියවස තරම් ඈතට ඇදෙනවා . එවක මෙය යමුනා ගංතීරයේ වූ මැටියෙන් පවුරු නිමවූ බලකොටුවක් . මෙය මෝගල් පරම්පරාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වෙන්නේ අක්බාර් රජවරු අග්‍රා නුවර තමන්ගේ අගනුවර කරගත් කාල වකවානුවේ ඒ කියන්නේ 15 වෙනි සියවසේ.අක්බාර් වරු රතු පැහැ ගල් වලින් මේ බලකොටු තාප්ප සවි ශක්තිමත් කරලා බඳිනවා. බලකොටුවට ඇතුල්වෙන විසාල ද්වාර දෙකක් තියෙනවා .එකක් අමර සිං ( Amar Singh Gate ) ලෙසත් අනික දිල්ලි ගේට්(Delhi Gate ) ලෙසත් හඳුන්වනවා . එයින් දැනට පාවිච්චිවෙන්නේ අමර සිං ද්වාරය . එතැනින් තමයි බලකොටුවට පිවිසෙන්නේ . ඒ සඳහා විදේශිකයෙක්ගෙන් ඉන්දියන් රුපියල් 250/= ක වටිනාකමින් යුත් ටිකට් පතක් අයකරගන්නවා . මෙතැනිනම ටාජ් බලන්න යන්නත් ටිකට් පත් ගන්න පුලුවනි. ඒක ලෙහෙසියි .බලකොටුව මහජන දර්ශනයට දිනපතා හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා විවෘතයි.
බලකොටුව අතුලත විසාල මාලිගා අංගණ රාශියක් තියෙනවා .මුලු බලකොටුවෙම කිලෝමීටර පහක් ,හයක් විතර පයින් අවිදින්න ඕනේ . මේ මාලිගා බොහොමයක් ඉන්දිකරවලා තියෙන්නේ ෂාජහාන් රජතුමා ඔහුගේ රුචි අරුචි කම් අනුව .ඇතුල්වෙනවත් එක්කම විසාල කුලුණු දෙකක් එක්ක තියෙන රතු පැහැ "ජහන්ගිරි මහල් මාලිගාව " ( Jahangiri Mahal) ) දැකගන්න පුලුවන් .මෙය වෙන්වෙලා තියෙන්නේ බලකොටුවේ විසූ කුලවතුන්ගේ භාර්යාවන්ට . විමෙන්ස් ක්වාර්ටර්ස් එකක් වගේ . ඇතුලත විසාල මාලිගා මැද මිදුල් , මල් කම් වලින් අලංකෘත කුලුණු හා ද්වාර දැකගන්න පුලුවනි."ජහන්ගිරි මහලේ" පිටුපස අංගණයට ගියවිට ඈත යමුනා තීරයේ ඇති ටාජ් මහලත් දිස්වෙනවා . මාලිගා නිර්මානයේදී රතු ගල් වගේම කිරි ගරුඬත් යොදාගෙන තියෙනවා. ෂාජහාන් රජු නුවර වැසියන් බැහැදකින්න ගොඩනැගුව Diwan-i-am palace මාලිගාවත් කාස් හවුස්- Khas House කියන තැනත් මීට හොඳම උදාහරණ .මේ තැන් වල වලාකුලු හැඩේට රැලි ආරුක්කු තියෙන සාලාවන් දැකගන්න පුලුවනි. අග්‍රාවේ ප්‍රකට අක්බාර් රජෙක් වුණ ෂාජහාන් අන්තිමට ඔහුගේ පුතෙක් අතින්ම මේ බලකොටුවේ හිර කරුවෙක් වෙලා කල්ගෙවලා මියැදෙනවා. ඔහුගේ හිරකාර ජීවිතය ගතකරන්නේ Muthammam-Burj Tower කියන මාලිගාවේ .මෙතැනටත් ඔහු විසින් තම ප්‍රිය බිරිඳ මුම්ටාස් මහල් සිහිවෙන්න ගොඩ නැගූ ටාජ් මහල් හොඳින් දිස්වෙනවා . නිවී සැනසිල්ලේ රතු බලකොටුව බලමින් මාලිගා අංගන වලට වෙලා විඩා නිවමින් අර රැලි ආරුක්කු , විසාල කුලුණු ,පැරණි ගල් කැටයම් අතර කිමිදෙන්න දවසක් විතර යනවා .ඒත් මට එහෙම වෙලා නැති නිසා පැය තුනක් විතර බලකොටුවේ ගත කරලා පින්තූර ටිකකුත් අරන් ලහි ලහියෙන් ගියේ ඊට කිලෝමීටර 2 1/2 විතර ඈතින් තියෙන ටාජ් මහල් ආදර සැමරුම් සිහිවටනය බලන්න .
විදේශිකයෙක්ට ටාජ් මහලට අතුල්වෙන ප්‍රවේශපත්‍රය ඉන්දියන් රුපියල් 750/= ක් වෙනවා .සතියේ සිකුරාදා හැර අන් දිනයන්හී උදේ හිරු උදාවේ ඉඳලා හිරු බැසීම තෙක් ටාජ් මහජන ප්‍රදර්ශනයට විවෘතයි . ඇතුල් වෙන්න කලින් ඉතා දැඩි ආරක්ෂක පරීක්ෂාවකුත් කරනවා .සියලුම වාහන ඇතුල්වෙන ගේට්ටු වලින් යම් දුරකදි නවත්වා සංචාරකයන් පයින් යා යුතුයි . යමුනා ගංතීරේ ටාජ් මහල ඉදිවුන බිමත් උද්‍යාන අලංකරණයෙන් , තණ බිම් වතුර මල් , පොකුණු වලින් හැඩ වෙලා තියෙනවා .ටාජ් මහලට යා යුත්තේ විසාල ද්වාර දෙකක් පහුකරලා පා ගමනින් . ඇවිදගෙන යන විට දර්ශනය වෙන මේ කිරි ගරුඬ මාලිගාවේ පින්තූර ගැනීමට හැම කෙනෙක්ම පොර කනවා.ටාජ් ඉන්දියාවේ සංචාරකයන් අධිකව ගැවසෙන තැනක් හැටියටයි වාර්තා වෙන්නේ.ටාජ් මහල වෙත යද්දී පාවහන්,තොප්පි ආදිය ගැලවිය යුතු වෙනවා . තද හිරු රැසින් යුත් ගිම්හාන කාලයේ කිරි ගරුඬ රත්වෙලා යටි පතුල් පිච්ච්ද්දී මාත් පිවිසුනා ටාජ් හහල ඇතුලට.
ෂාජහාන් -මුම්ටාස් නොමැකෙන ආදරයේ දැවැන්ත සිහිවටනය වුන ටාජ් මහල් නිර්මාණයට හේතුවන්නෙ මුම්ටාස්ගේ වියෝගය හා ෂාජහාන්ගේ හිතේ ඈ වෙනුවෙන් තිබුණ අසීමිත ප්‍රේමය .ඔහු ඒ පෙම් පුවත කියන්න මේ කිරි ගරුන්ඩ මැදුර ඉදිකරවනවා දක්ශ ගෘහනිර්මාණ ශිල්පීන් අතින්.එහි ද්වාර වල මල්, ලිය වැල් හා කුරාන පාඨ සටහන් වෙලා තියෙනවා . ඇතුලට අශ්ටාශ්‍රයක හැඩේට ඉදිවුන කොටුවක ෂාජහාන් හා මුම්ටාස්ගේ සොහොන් තියෙනවා . මුස්ලිම් පල්ලි වල තියෙන පිවිසුම් ද්වාර වල හැඩය ගත්ත දැවැන්ත ද්වාර හා ඩෝම් සහිත ඉතා උස් කුලුණු ගොඩනැගිල්ල වටා දැකගන්න පුලුවනි .ලස්සනම දේ තමයි අතුලත නරඹලා එලියට ඇවිත් ඔය විසාල ද්වාරයක් ගාව බිම වාඩිවෙලා ඉඳන් හවස් යාමේ ඈතින් ගලාගෙන යන යමුනා නදිය දිහා බලන් ඉන්න එක .මම යන කාලේ යමුනාව හිඳී වියලී ගිහින් හීන් වතුර පාරක් විතරයි තිබුණේ .
අපි කවුරුත් ටාජ් මහලේ ගැන යුග යුගයන්හි රැව් දෙන අතීත ආදර කතාව හොඳින්ම දන්නවානේ .ඒ නිසා මට හිතුනා මේ සටහනින් ටාජ් මහලේ වර්තමාන කතාවත් ලියන්න .ටාජ් මහලේ නූතන කතාවේ කතා නායකයා තමයි තමයි එම් .සී .මෙහෙතා-M.C.Mehta කියන ඉන්දියාවේ ප්‍රකට පරිසර නීතිවේදියා. 1994 දී ඔහු දකිනවා යුනෙස්කෝ ලෝක උරුමයක්(UNESCO World Heritage) වුන ටාජ් මහලේ කිරි ගරුඬ අව පාටවෙලා කහ පැහැ ගැන්විලා ජරාජීර්ණ වෙනවා .මම මුලින්ම කිව්වනේ අග්‍රා කියන්නේ රසායණික පිරිපහදු වලින් යුත් ජනාධික කොමර්ශල් හබ් එක කියලා . ඔය පිරිපහදු අතර මථුරා කාර්මික සීමාවෙ තියෙන රසායණික පිරිපහදු , වලින් පිටවෙන සල්ෆර් ඩයොක්සයිඩ් මුසු වායූන් ඉහල වායු ගෝලයට ගිහින් අම්ල වැසි (Acid Rain )වැස්සවිම නිසා ටාජ් මහලේ කිරිගරුඬ දුර්වර්ණ වීම් හා දිරාපත්වීම් සිදුවෙන බව ඔහු සාධක සහිතව පෙන්වනවා .ඒ වගෙම අග්‍රා වල තියෙන ගඩොල් පෝරණු , අධික වාහන තදබදය හා වාහන දුම් ,ජෙනරේටර පරිහරණය ටාජ් මහල අවට -Taj Trapezium Zone පරිසර දූෂණයට හේතුවෙන වගත් පෙන්වනවමින් ඉන්දියානු රජයට එරෙහිව ඔහු උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කරනවා ඒ M .C.Mehta Vs Union Of India (UOI)& Ors. W.P. (C) No.13381/1984 ( Taj Trapezium Case) .ඉන්දියානු ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිසරය සුරැකීම ගැන තියෙන ප්‍රතිපාදන Article 48 A හා බොහොම සුවිශේෂී නීති ප්‍රතිපාදනයක් වූ Article -21 යටතේ තියෙන Protection of life and personal liberty ,අග්‍රා වල පරිසර දූෂණය ගැන පලවුන රජයේ විමර්ශන වාර්තාවක් වුන Report on Environmental Impact of Mathura Refinery යන දෑ ඔහු මේ නඩු පැවරීමට යොදාගන්න නෛතික සාධක වෙනවා .
ඉන්දියානු උපරිමාධිකරණය මේ නඩු කටයුත්ත සලකන්නේ පොදු යහපත (Public Interest Litigation -PIL) වෙනුවෙන් පැවරූ නඩුවක් හැටියට .ටාජ් මහලට වෙන හානිය මෙහෙතා මහත්මයට වෙන පුද්ගලික හානියක් නොවුනට එය පොදුවේ ඉන්දියානුවන්ට බලපාන හා අනාගත පරම්පරාවලට බලපාන කාරණයක් නිසා පුද්ගලයෙක් හැටියට මේ නඩුව පැවරීම ඊට ඉදිරිපත්විමේ අයිතිය හෙවත් ලොකුස් ස්ටැන්ඩායි( Locus Standaii) ඔහුට ලැබෙනවා . මේ නඩුව ආසියාකරයේ පොදු යහපත වෙනුවෙන් උපරිමාධිකරණයේ සක්‍රීය දායකත්වය -(Judicial Activism ) දකවන හොඳ උදාහරණයක් වගෙම පරිසර නීතියේ නව නැම්මක් ඇති කරන අවස්ථාවක් වෙනවා . නඩුව අහන කුල්දීප් සිං ගරු විනිසුරු තුමා
( Hon.Justice Kuldeep Singh) ටාජ් මහලේ ඓතිහාසික වටිනාකම ඉතාම ලස්සනට පෙර අපරදිග ඉතිහාස සටහන් උපුටමින් දක්වනවා .ඔහු වරෙක මෙහෙම කියනවා
( Hon.Justice Kuldeep Singh) ටාජ් මහලේ ඓතිහාසික වටිනාකම ඉතාම ලස්සනට පෙර අපරදිග ඉතිහාස සටහන් උපුටමින් දක්වනවා .ඔහු වරෙක මෙහෙම කියනවා
The Taj - is the "King Emperor" amongst the World Wonders. The Taj is the final achievement and acme of the Moghul Art. It represents the most refined aesthetic values. It is a fantasy-like grandeur. It is the perfect culmination and artistic interplay of the architects` skill the jewellers` inspiration. The marble in-lay walls of the Taj are amongst the most outstanding examples of decorative workmanship. The elegant symmetry of its exterior and the aerial grace of its domes and minarets impress the beholder in a manner never to be forgotten. It stands out as one of the most priceless national monuments, of surpassing beauty and worth, a glorious tribute to man`s achievement in Architecture and Engineering.
Lord Robert in his work "Forty-one years in India" describes the Taj as under :
"Neither words nor pencil could give to the most imaginative reader the slightest idea of all the satisfying beauty and purity of this glorious conception. To those who have not seen it, I would say, - Go to India; the Taj alone is well worth the journey."
පරිසර විද්‍යාඥයන් , නීතිවෙදීන් , මධ්‍යම ආණ්ඩුව හා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පරිසරය සුරැකීමට, හා කාර්මික සංවර්ධනයට ඇති රජයේ ආයතන වල ඉහල පරිපාලකයන් , කර්මාන්ත කරුවන් යන සියලුදෙනා එක කරගන්න අධිකරණය මේ ගැන විමර්ශන ගනනාවක් කරලා උසාවි නියෝගයන් කීපයක් දෙනවා
ටාජ් මහල් ගැන මේ නූතන ආදර කතාව සංවර්ධන අරමුණු හා සංස්කෘතික උරුමයන් එකට ගැටුන අවස්ථාවක් ( Modern Development vs Preserving Cultural Heritage ) ලෙස හඳුන්වාදෙන්න පුලුවනි .
ටාජ් මහල නැරඹුව මම හවස පහට විතර ආයෙත් එන්න පිටත්වුනා . අග්‍රා නුවර රසකැවිලි වලට ප්‍රසිද්ධයි. එහෙම රසකැවිලි වලටම වෙන්වුන ප්‍රකට පෙටා ශොප් එකකින් ලංකාවේ යාලුවොන්ටත් ,ගෙදර අයටත් අග්‍රා පුහුල්දෝසි පාර්සල් කීපයක් ගත්තා . මට ඉහලින්ම ආගන්තුක සත්කාර කල ගයත්‍රි හා භානු දෙන්න එදා රෑට බත් උයලා , පරිප්පු කඩල කරියක් ,එලවලු සාම්බාර් , චට්ට්නි , එක්ක බිත්තර තම්බලා , මිල්ක් ශේක් හදලා , සවු නූඩල්ස් අතුරුපසකුත් එක්ක අමතක නොවෙන රස රෑ කෑමක් දුන්න . දවාලේ මහන්සිය යන්න හොඳට නාලා බඩ පැලෙන්න කැම කෑව එදා රෑ .ඌෂත් භානු හා ගත්‍රිත් කුස්සියේ කෑම උයද්දී මම එයාලගේ පුංචි පුතා ලාමා ( චීනු ) එක්ක සෙල්ලම් කලා .ගයත්‍රි මට මුව නොසෑහෙන්න ස්තුති කලා අවුරුදු හයකට පස්සේ එයාගේ මිතුරිය ඌෂා දැකගන්න පුලුවන් වුනේ මගේ අග්‍රා ගමන නිසා කියලා. පහුවෙනිදා උදේ හතරට භෝපාල් එක්ප්‍රස් කෝච්චියේ දිල්ලි බලා පිටත්වෙන්නත් , එදාම හවස ලංකාවට එන ගුවන් යානයට නැගිය යුතු නිසාත් මම කලින් නිදා ගන්න ගියා . පුංචි පුතා මම නිදාගන්න ගිහිල්ලත් මගේ කොණ්ඩෙන් අදිමින් සෙල්ලම් කලා මේ පවුලේ ආගන්තුක සත්කාර මැද්දේ අග්‍රා කියන්නේ ආදරයේ නගරයම තමයි කියලා මට හිතුනා .
ප/ලි
පහුවෙනිදා උදේ හතරට ඔවුන්ගෙන් සමුගත්ත මම ඌෂත් එක්ක අග්‍රා කාන්ට් ඉස්ටේසමට ගියේ දිල්ලි යන භෝපාල් එක්ප්‍රස් කෝච්චියට ගොඩවෙන්න . එතැනින මම දිල්ලියට යන්නත් ඌෂා ජායිපූර් වලට යන්නත් සමුගත්තා . සමුගනිද්දී අපි පොරොන්දුවුනේ ආයෙත් මතු යම් දිනක රාජස්ථාන් වල ජසල්මේර් වලදි මුණගැහෙන්න .2011 සැප්තැම්බර් මාසේ දිල්ලි , උදයපූර් , මවුන්ට් අබූ, චිතෝර් , අග්‍රා නගර බලන්න ගිය සංචාරක සටහන් මෙතැනින් අවසන් වෙනවා
දිල්ලියට ගියොත් අඩු වියදමින් අග්‍රා නරඹන්න යන එක හරි පහසු දෙයක් . දිල්ලියේ ඉඳන් උදේ ගිහින් හවස එන්න වුනත් පුලුවන් .සීග්‍ර ගාමී ශටාබ්දී හා රාජධානි එක්ප්‍රස් කෝච්චි ඒ වගේම සීග්‍රගාමි බස් රථ සේවා දිල්ලි හා අග්‍රා අතර නිරන්තරයෙන් තියෙනවා .බජට් ට්‍රැවලර් කෙනෙක් නම් චෙනායි ගිහින් එතනින් එක්ප්‍රස් ට්‍රේන් එකේ අග්‍රා යන්න පුලුවනි .මේන්න ලින්ක් එක ඉන්දියන් රේල්වේ එකට ඊ ටිකට් බුක් කරන්න .අග්‍රා දකින්න යන්න හොඳම කාලේ ඉන්දියාවේ සීත කාලේ ඒ කිව්වේ නොවැම්බර් -දෙසැම්බර් වගේ .එතකොට බලකොටු, ටාජ් මහල් වල කිරි ගරුඬ රත්වෙන්නේ නෑ. නගරයේ තද හිරු රැස් නෑ .ඇවිදින්න ලේසියි.උදෙන්ම ඉර නගිද්දී ටාජ් මහල ගාවට යන්න පුලුවනි නම් ගොඩක් ලස්සනයි.
Subscribe to:
Comments (Atom)













