Tuesday, January 31, 2012

පාර දිගේ




ඈ තම කාර්යාල සගයාත් සමග ලහි ලහියේ බස් නැවතුමට ආවාය

"සීමිතයක් තිබුණොත් හොඳයි වාඩි වෙලා යන්න" ඈ තමාටම කියාගත්තාය .සිතූ සේම හරි බරි ගැහී යන්න වැඩි සෙනගක් නැති ඉක්මනින් ගමන් අරඹන සීමිත නැවතුමක් වීය .

රාජකාරියට යන්න එන්න ගතවන දෙපැයේ ඈ කවදාත් මනාප මුහුද පැත්තේ ඇති අසුනක වාඩි වෙන්නය . යන එන මග උදේ හවා දකින මුහුදු තීරය කවදාවත් එපා වෙන්නේ නැත. එක දවසක් නොව දැන් අවුරුදු හයක් තිස්සේ මේ මුහුද හිරු නගින උදෑසනත් , ගිනි මද්දහනේත්  ,  ඉර අවරට යන හැන්දෑවේත් ඈ දකින්නීය .දින ,සති මාස අවුරුදු ගෙවුන ඉක්මන ...කාලය කවුලු දොරින් පැනයයි.රස්සාවට ගිහින් අවුරුදු හයකුත් මාස හයක් ගෙවී ඇත .හරියට අද ඊයේ වගේ ඈට හිතේ .මේ රස්සාවට එනවාට ඈ දන්න හඳුනන බොහෝ අයත් ගෙදර උදවියත් එක හෙලා අකමැති වූ නමුත් ඈ කැමැත්තෙන් ආවාය .දැන් ඉතින් ආපසු හැරීමක් නැති හැඩකි .ගලන ගඟක් කොහොම හරස් කරන්නද ?ආයේ ආපසු හැරී කොහෙන් නම් පටන්ගන්නද ?එනිසා ඈ රැකියාව ගැන අන් බසකට කන් නොදෙනු ඇත .


බස් රථය ගමන් ආරම්භ කර ඇත .සයුර දෙසින් බැසයන හිරුගේ රැස් වේගෙන් ඇදෙන රිය  කවුලුවෙන් ඇගේ මූණට පතිතවී ඇත .ඉමක් කොනක් නැති මුහුද දිහා බලන් ඇගේ හිත ඈ හා දොඩමළු වූ ලෙසකි ඈ කල්පනා කෝච්චියට ගොඩවෙලාය .එහෙම වූ විට ඈට තමන් අසලින් අසුන්ගන්නා සිය කාර්යාල සගයාත් අමතක වේ .ඔහු සුපුරුදු ලෙස ඈටත් එක්කම ටිකට් ගනී. 

ඇගේ කල්පනා ලෝකය බිඳෙන්නේ සිය කාරයාල සගයා විමසන පැනයක් දෙකක් නිසාවෙනි 

"ඔයා ගෙයක් හරි ඉඩමක් හරි ගන්න හොයන එක අත් ඇරියද ?"

ඔහුට කාන්සියට කතා බහට මාතෘකාවක් ලැබී ඇත .ඉන්න හිටින්න තැනක් ඉඩමක් කඩමක උවමනාව  ඇගේ හිතට දැනුනේ දැන් ටික කාලෙක ඉඳන්ය .එනිසා ඒ ගැන යම් හෝඩුවාවක් තිබුනොත් කියන ලෙස ඔහුත් දැනුවත් කලා මතකය .

"නෑ , එහෙමම නෑ ඒත් මේ දවස්වල මම හිතුවේ මෙහෙන් යනවද ඉන්නවද කියන එක . ඔය ඔක්කොම තීරණය වෙන්නේ මම ඊලඟට යන තැන අනුවනේ .ඇරත් මගේ වන්දිය නොගෙන මේව ප්ලෑන් කරන්න අමාරුයි" ඈ කල්පනාකාරිව කියන්නිය 

"ඔවු ඒක ඇත්ත"ඔහු එකඟවෙයි . 
"මේ දවස්වල ඉඩම් ගෙවල් ටිකක් ලාබයි .චාන්ස් එකක් ආවොත් අතාරින්න එපා "
ආයෙත් උපදෙසකුත් ලැබෙයි 

ඈ කල්පනා සයුරේ කිමිදෙන්නීය .හිටියොත් වන්දිය ලැබේ .ගියොත් නොලැබේ .දැන් ඈ ඉන්නේ වැට උඩය .ඒත් පනින්න පෙර හිතා බලන්න දේවල් ගොඩකි .හිටියොත් බැංකු ණයක් ගෙන යමක් කරගත් හැක .ගියොත් යා යුතේ වන්දිය අතැතිව මිස හිස් අතින් නොවේ .වන්දිය ලැබුනොත් කරන්නට බොහෝදේය ..ගෙයක් ගන්න ,බාගයක් ලීස් කරලා කාර් එකක් , නැත්නම් ඔක්කොම පැත්තක දාලා පොඩි කාලේ හිතූ සේ ඇගේ සිහිනයන් වූ   ,හිස හැරුන දිහා ඇවිදින්න කාගෙන් තහනමක්ද ? ඒත් තනිමතයට එහෙම යන්න පුලුවන් කාටද ? වයසට යන ලෙඩවෙන දෙමවුපියන් සිටිනා විට එහෙම දමා ගසා යා හැකිද ? ,හැමෝම හිතන්නේ ජීවිතය ගැන වැඩි බරක් පතලක් නොහිතා සිනා වෙන ඇය වැන්නියකට  එය  හරි  ලේසි වැඩක් කියාය .ඒත් ඒ අපහසු හැඟීම දනේ ඈම පමණකි .ඒත් හීන පොදියක බර ඇගේ ඔලුවේය .ඒ බර බිමින් තියන්නත් ඈ අකමැතිය .ගොඩ කල් උහුලා ඉන්නත් බැරිය .වෙහෙසය .

ඇගේ දැහැන ආයෙත් බිඳුනේ එස්. එම්. එස් පණිවුඩයකිනි ඒ හොඳම මිතුරියකගෙනි ."මට අර ඇග්‍රරිමන්ට් එකේ ෆෝර්මැට් එකක් එවනවද ?"ඇගෙන් ඉල්ලිමකි .බොහෝ මිත්‍ර සමාගම් නැතත් ඉන්නා යාලුවෝටික දෙනා  ඈට ප්‍රියවෙයි .ඒත් ඈට සමහර වෙලාවට   දහස් ගානක් සෙනග අතරේත් මහා තනියක් දැනෙනවා වගේය .එවර ඇගේ මුවග සිනාවක් නැගුනේ යමක් මතක්වීය .ස්කයිප් වලට පින් සිදුවන්නට දෙන්නා දිවා රෑ නොබලා කතා බස් කර තිබුනි.ප්‍රිය සාමිච්චි කෙතරම් දුරදිග ගියාද කිතොත් ඇගේ  දින පොතේ  සමහර වැදගත් රැස්වීම, ගමන් බිමන් , ඇඳිය යුතු ඇඳුම්  ඈට වඩා හොඳින් ඔහු මතකයේ තබාගෙන සිටියේය .ඒත් පසුව ඒ සාද ,සාමිච්චී, වාද, විවාද වී ඒවා  විසංවාද වීය . දෙන්නා යන්නේ කවදාවත් හමු නොවන රේල් පීලි දෙකක් උඩ බව දෙන්නාටම වැටහුණි . රණ්ඩු කරමින් දෙමගක යාම පලක් නැති වග  දෙන්නාම තීරනය කලෝය.ඒත් ඉඳහිට උනුන් ගැන විමසන පුරුද්ද එකිනෙකාට අවවාද දෙන ගතිය දෙන්නාටම අමතක වී නැත .

ඇගේ මතක සිතුම්පටක් සේ ඳෙයි ,බස් රිය පොල් රුප්පාවන් පසු කරගෙන වේගයෙන් ඇදෙයි.කල්පනා කෝච්චියද ඒ  වේගයෙන්ම අතීතය වර්තමානය හා අනාගතය අතරින් දුවයි .එය කොහේ කොතැනක නවතිනු ඇත්ද කියා ඈ නොදන්නිය  .ඒත් අසීමිත  හීන හා බලාපොරොත්තු පොදි බැඳන් ඒ කල්පනා කෝච්චිය හැමදාම ඇදෙනු ඇත .ඇය මුවග සිනා හා නොකියූ  සුසුම් ද ගෙනෙනු ඇත.ඇය හීන පොදි බැඳන් ඉදිරියටම ඇදෙනු ඇත.ආයේ හෙටත් සීමිත නැවතුමක  නැගී  සිහින හිස දරා වැඩට යනු ඇත .  

8 comments:

  1. මේ කතාවේ කතා නායිකාව දැක්කාම මට අඳුනන කෙනෙක් මතක් වෙන්නේ ඇයි දන්නේ නෑ...:D

    ලස්සන කතාවක් ටී.ජී. හැම කෙනෙකුගේම හීනයක් ලස්සනට විස්තර කරලා.

    ReplyDelete
  2. ......................!?!?!?

    nice one TG! :)

    ReplyDelete
  3. මටත් හිටියා කාර්යාල යාළුවෙක්...තව පොඩ්ඩෙන් ගෙදර යාළුවා නැතිවෙනවා ඒකෙන්....

    ReplyDelete
  4. ටී.ජී. හරිම ලස්සන කතාවක් නංගී. අපි හැමෝගෙම හීන ඒ කතාවෙ ගැබ්වෙලා කියල මට හිතෙන්නෙ. අතීතය, වර්තමානය අතර දෝලනය වන අපේ හීන. ඒව උපදින්නෙත් මිය යන්නෙත් අපේ හිත් ඇතුලෙමයි.

    ReplyDelete
  5. තටු ලැබුන පමණින්ම පියාඹනු බැහැ නේද

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. ළමා සිහින පසුපස ඇදෙන්නට, සැහැල්ලුවෙන් ජීවිතය විඳින්නට හදන හැම මොහොතකම කකුලෙන් අදින වගකීම් සහ අවිනිශ්චිතතාවය අතර හිතක් දෝලනය වෙන හැටි. අර කකුලට ගැට ගැහිලා තියෙන වගකීම් බැඳි ලණුව කපලා දාලා ඇයව නිදහස් කරවන්නට හිතුණා මට කියවගෙන යද්දි. ළමා සිහිනත්, ජීවිතයේ වගකීම් බරත් යන දෙක හරියට ඔහුත් ඇයත් වගේ, රේල් පීලි දෙකක්ම තමා. එකක් තෝර ගන්නම වෙනවා.

    ReplyDelete