Monday, December 5, 2011

ජීවිතයේ ගෙවීගිය තවත් එක සොම්නස් සහගත කාලයක්-God...that was the best time in our life !!



දැනට වසර හතකට එහා කාලයයි .අපි ජීවිතයේ දෙවනි දශකය අග උපාධියක් පමණක් අතැතිව සරසවියෙන් පිටවූ අලුතය . අපේ උපාධියටම පමණක්  වෘතීය සුදුසුකම් ලබානොදෙන නිසා එය  වලිගය නැති ගොනෙකුට සමානකර තිබුණි . සිවු වසරක උපාධිය නිමාකර තවත් වසර එකහමාරක ආධුනික සමයක් ගෙවා දැමිය යුතුව තිබිණි .ඒ කාලය තුල ජේෂ්ඨයන්  හා වැඩ පුහුණු වීම් ,අදාල වෘතීය ආයතනයේ දේශනවලට යාම් , සහ විෂයන් හතකින් සමන්විත මාසයක් පුරා පවත්වන විබාගයක් සමත් වීමද අනිවාර්යෙන් කලයුතු අංග විය .මේ විබාගය අසමත් වුනොත් අර වෘතීය වලිගය එල්ලාගැනීමට නොලැබේ .එසේම උපාධියට අපර්ස් ගත් උදවියත් එය අසමත් වන අවස්ථා ඇතිනිසා පලමුවර ගොඩයාම ඇඟට ගුණ බව කාගේත් උපදෙස විය .

සරසවි කාලයේ යැපුණේ ගෙදරින් දෙන මුදලින් හා මහපොල ශිෂ්‍යත්වයෙනි. ආසා ඇඳුමක් , පොතක් ගන්න යන්න , මාසෙකට වරක් රස්තියාදුවක යන්න මහපොලෙන් වූ සේවය අපමණය .දැන් ඉතින් එයත් අහෝසිය .ඇත්තේ ගෙදරින් ලැබෙන දීමනාවයි .අර ලතින් බසින් කියවෙන උපාධිය ගත් පසු ගෙදරි සල්ලි ඉල්ලිමද මහා  මදි කමකි . ලජ්ජාවකි .ඊටත් වඩා එකල  ඔය අකුරු දෙක තුන ගැන මහා උද්ධච්ච ලෙස සිතූ නාහෙට නාහන කාලයකි .ජේෂ්ඨයන්   සමග ආධුනික පුහුණුව කරනමුත් එහිදී ගෙවීමක් නැත .නමුත් හිත හොඳ ජේෂ්ඨයන්   හෝ පුද්ගලික සමාගම් රුපිය තුන්දාහක් හෝ හාරදාහක් ගෙවීමට ඉඩ ඇත . මේ  ආධුනික කාලයේ සල්ලි බාගේ නැතිවුණත් වෘතීය ආචාරධර්ම කඩ නොකර පවත්වාගෙන යාම ඇවැසිය .ඒ වෙනුවෙන් සම්මත වර්ණයන්ගෙන් යුත් සාරි හැඳීම අනිවාර්යය . අර බරපතල විභාගයට අදාල කටයුතු නිසා ගම රට යාමක් නැත . ආයෙත් කොලඹ බෝඩිමකට කූඩු විය යුතුය .ලැබෙන රුපියල් තුන් හාරදාහෙන් කෙල්ලන්  වූ අපිට මාසෙට එක වෙන්න අලුත් සාරි ගන්නට නොහැක . කෑම බීම , බස් ගාස්තු , විබාගයට අදාල වියදම් , නවාතැන් ගාස්තු ,කොලඹ ජීවිතය තුල රුපියල් තුන්හාරදාහකින් කල හැකි දෙයක් නැතිය .කොටින්ම මේ ගන්දබ්බ කාලයකි .ගෙදරින් ඉල්ලිමට හිත් නොදෙයි .එකක් අර උද්ධච්ච කමය .අනික තව ඉගෙනගන්න වියදම් කලයුතු බාල සොහොයුරු සොහොයුරියන් අපි කාටත් අතැයි යනුවෙන් සිතන වගකීම් සහගත බවයි .

මෙවැනි වකවානුවල පිහිටට එන්නේ සාමූහික ජීවිතයයි .එහෙත් ඉතින් ගැලපෙන කචල් නැති සමූහයකට වැටුනොත් හොඳය  .නැත්නම් ඉතින් නිතර සිත් තැවුල් , නවාතැන් මාරු කිරීම් සිදුවෙයි .ඒ අනුව අපි සිවුදෙනෙක් සමූහික ජීවිතය ආරම්භ කලෙමු .අපි තිදෙනෙක්ම එකම බැච් එකේ අර වසර එකහමාරක ආධුනික කාලය නම් වූ දැඩි දඬුවමට සූදානම් වූ   බැචීලාය .අනිකා අපි සියලුදෙනාටම වඩා වසර තුනකින් පමණ බාල චාර්ටඩ් විබාගයට ලෑස්තිවෙන නංගී කෙනෙකි .අපේ නවාතැන අපේ එක බැචියක් වූ චමීගේ  දුරින් නෑවෙන නිවසක උඩු මහලයි . මේ තිප්පොල තිබුණේ බෙල්ලන්විල පන්සලත් , ජ'පුර සරසවියත් අතර එකසිය විස්ස පාර ආසන්නයේමය .කොලඹ සීමාවේ නවාතැන් මිල අධික වීමත් , කෙල්ලන්ට දැඩි නීති දාන සාම්ප්‍රදායික නවාතැන් අපිට රුස්සන්නේ නැති නිසාත් , ස්වාධීන ජීවිත ගෙවිය යුතු නිසාත් ඔය සේරටම වඩා සාමූහිකව උයා පිහාගෙන කෑමෙන් කොලඹ ජීවිතේ විය හියදම් අඩු කරගත හැකි නිසාත් , පරිසරය නිස්කලංක නිසාත් මේ නවාතැනට අපි සෙට්වූයෙමු . උඩුමහල අපිට පවරාදුන් නිවැසියන්ගෙන් එතරම් කරදර නොවීය . වෙලාවට ගෙවල් කුලී දුන්නහම ඇතිය .ලයිට් හා වතුර බිල් අපි ගෙවිය යුතු විය . මේ උඩුමහල අපිට ලැබුනේ රුපියල් පන්දාහකටය . අපිඅට ඇවැසි මූලික ගෘහ උපකරණ වූ ඇඳන් හතරක් ,පාඩම් කරන්නට  ලොකු මේස දෙකක් , පුටු කීපයක් , කෑම මේසයක් හා කොටස් හතරකට බෙදූ අල්මාරියක් එහි විය .රෝහල් වාට්ටුවක් විතර ලොකු වූ ප්‍රධාන සහ එකම කාමරයේ අපේ ඇඳන් හා අල්මාරිය වූ අතර ඉස්තෝප්පුවේ පාඩම් මේස විය .ඉස්තෝප්පුව බැල්කණියකට විවර වූ අතර එයට පහල මිදුලේ වූ විසාල අඹ ගසකින් සෙවන ලැබුණි . කුඩා කුස්සියත් ඉස්තෝප්පුවත් අතර අපේ නානකාමරය වි.ය පිටුපස බැල්කණියේ අපේ රෙදි සෝදා වේලීමට පහසුකම් තිබුණි  .බොහෝ නවාතැන් හා සසඳද්දී එය සෑහෙන්න පහසුකම ,ඉඩ කඩ  තිබූ තැනකි.මේ අපේ වාසභවනයි .

අපි හතරදෙනාම උයා පියාගෙන කන්න යන පලමු වතාව මෙය විය .අපි හතරදෙනාගේම දෙමවුපියන්ට නම් මෙය විහිලුවක් විය .එහෙත් අපි සීරියස් වීමු . අපි අතර ටිකක් ඩොමිනේට් චරිතය වූ ඉන්දු ගෘහපාලනය අතට ගත්තාය .උයන පියන සියල්ල ඇයට ඕනේ ලෙසින් තීරණය කරන්නට ඉඩදුන්නත් පහුවෙනකොට අපි අපට උවමනා ලෙස කටයුතු කෙරුවෙමු .

හිතුවා මෙන් නොව සාමූහික ජීවිතයේ බොහෝ වගකීම් ඇති වග අපිට වැටහුණේ පලමු මාසය ගතවෙද්දීය . සතියේ දවස් හතරෙහි උදේ , දවල් හා රෑ කැම පිලියෙල කිරීම හතර දෙනා බෙදාගත්තෙමු .උදේට හා දවල්ට එකටම උයාගත් අතර රෑට වෙනම කෑම ඉව්වෙමු . සතියටම ඇවැසි උයන , පිහන එලවලු , හාල් , පොල් ආදිය ගෙන ඒම එක් අයෙක් කලයුතුය .බඩු මුට්ටු ගෙනාවා පමණක් නොව ඒවා මිල හා ප්‍රමාන සහිතව අදාල දිනය සමග පොතක සටහන් කලයුතුය .ඒ වෙනුවෙන් කුඩා සටහන් පොතක් කුස්සියේ කෑම මේසය මත තබාතිබුණි .එය අපේ විගණන කටයුතු බාරව සිටි සරා නංගීගේ වැඩකි. අවසානයේ ලයිට් බිල් වතුර බිල් ආදියද එකතු කර එකිනෙකා විසින් ගෙවිය යුතු ගනන් අඩු නැතිව සතේටම නිවැරදිව කියන්න ඈට හැකිය .ඒ කුඩා පොත අද තිබුණානම් කොලඹ බඩු මිල වසර පහකදී ඉහලගිය අයුරු නිරීක්ෂණය කලහැකිව තිබිණ . සරා හැර තිදෙනාම තාවකාලික වර්ගයේ රැකියා සොයාගෙන තිබුණි . චමී අපේ සරසවියට අදාල අනුබද්ධ ආයතනයක ඉන්ටර්න්ශිප් එකක් කලාය . ඉන්දුටද එවැනිම බාහිර ආයතනයක ඉන්ටර්න්ශිප් එකක් ලැබුණි . මගේ තත්වය  ටිකක් වෙනස්විය .සරසවියෙන් පිටවෙද්දී වූ හදිසි අබග්ගයක් අවසානයේ  වාසනාව ගෙන ආවෙන් මට ප්‍රකට සමාජ විද්‍යා පර්යේෂණ ආයතනයක ජූනියර් රිසර්ච් ඔෆිසර පට්ටමක් නම් පත්වීම් ලිපියක්ද සහිත රුපියල් අටදාහක වැටුපක් ඇති , ඊ පී එෆ් , ඊ ටී එෆ් සහිත ඉස්තිර යයි කියන රැකියාවක් ලැබීතිබුණි .ඔය අටදාහ ලැබුණේ 2003 දීය . කැපෙන සියල්ල  අවසානයේ ඔවර් ටයිම් ද එක්වුනොත් රුපියල් හත්දාහක් පමණ ලැබුණි .ජීවිතේ වැටුපක් ගත් පලවෙනි වතාව එයයි .පඩි ගත් මුල් දවසේ ලෝකයම දිනූ වීරයෙක්සේ පේ ස්ලිප්- pay slip එකත් අරන් ගෙදර ආ හැටිත් නවාතැනේ හැමෝටම ප්‍රයිඩ් රයිස් ගෙනාහැටිත් මට අදවගේ මතකය . නමුත් මේ රැකියා අපේ වෘතීය පුහුණුවට සම්පූර්ණයෙන් ගැලපෙන ඒවා නොවේ .ඒ නිසා සති අන්තයේ කොහුවල සිටි ප්‍රකට ජේෂ්ඨයෙක් හා වැඩකිරීමට පොටක් පාදාගන්න මට සිදුවිය .රැකියාවේ වැඩ කටයුතු වලින් වෘතීය සුදුසුකම් පුහුණුව ,සම්පූර්ණ නොවේ . එහෙත් රුපියල් හත්දාහක් ලැබෙන රස්සාව අතහැරියොත් කොලඹ ජීවිතය අපහසුය .ඒ නිසා සති අන්තයේ දික්කසාද ලිපිගොනු කියවූයේ මේ කාලයේය .එමෙන්ම මා වැඩකල ආයතනයේ ලොක්කාගේ හිතහොඳ කම නිසා සතියේ එක් දවසක් පැවැත්වෙන ,විබාගයට පෙනීසිටීමට අදාල වෙන දේශන වලටද ගියෙමි .අනිවාර්යෙන් සාරි ඇඳිය යුතු එකී දේශන වාර වලට මම සහබාගි වුයේ කැෂුවල් ඇඳුමින් කොලෙජ් එකේ පස්සාදොරිනි .එවිට අපේ කෝස් කෝඩිනේටර් වූ කන්දයියා මහතාගේ ඇසට වැලිගැසීමට ලේසිය .නීතිය වූයේ සියලු ආධුනිකයන් නිවැරදි ඩ්‍රෙස් කෝඩ් එකෙන්  දේශන වලට පැමිණීම වුවත් රිසර්ච් රස්සාව නිසා මට සාරි අඳීන වෙලා නැත .ඒ හැම රුපියලක්ම දෙවරක් හිතා වියදම් කල කාලයයි . පිටකොටුවේ සිට වේල්ල වීදිය දිගේ පයින් ඇවිදගෙන ගිණි ගහන අව්වේ යන්නත් , වැඩ ඇරී මගේ කාර්යාලය නුදුරෙන් වූ නුගේගොඩ පොලට පයින්ම  ගොස් සතියක එලවලු අරන් ආයිත් කොහුවල හන්දියට අවුත් 135 බසයෙන් නවාතැනට යන්නත් පැකිලුණේ නැත .එසේම හම්බකරගත් එවායින් ඕ ටී එකට අදාල රුපියල් දාහක පමන මුදල කලුබෝවිල වූ ඉතිරිකිරීමේ බැංකුවේ ඉතුරු මිතුරු ගිණුමක දැම්මා මතකය .ඒ අදාල වෘතීය විභාගයට කලයුතු විවිධ මුදල් ගෙවීම් සපුරාගැනීමේ අටියෙනි .

ඩොමිනේටින්ග් කැරැක්ටර් එක වූ ඉන්දු සමග මමත් චමීත් ජීවත්වූයේ බොහෝ පරිස්සමිනි .එහෙත් කටට බ්‍රේක් නැති සරා නංගී නම් ඇයට එතරම් බය වුණේ නැත .ඉන්දු උදෙන්ම වැඩට පිටත්ව යන්නේ ඇගේ කාර්යාලය නවාතැනට තරමක් දුරින් පිහිටි නිසාය. ඊලඟට පිටත්ව යන්නේ චමීය .මම වැඩට යන්නේ අන්තිමටය .මගේ කාර්යාලය නවාතැනට ආසන්නය .සරාට හැමදාම පන්ති නැත .ඇයට උයන්න පියන්න නැත්නම් පරක්කුවෙනතුරු නිදාගන්න හැකිය .කොහොමනමුත් උදෑසන අපේ නිවහනේ තරමක කලබලයකි .කෑම උයන පිහන ඩියුටියට උදෙන්ම නැගිටින කෙනෙක් හතරදෙනාටම තේ හදයි .එකිනෙකා බොන කිරි වර්ග වෙනස්ය .නමුත් හතරදෙනාගේම මග් වලට නියම රස පදමට කිරි හදන්න අපි ඉගෙනගත්තෙමු . එවිට අනික්වුන් ඇස් පිහමින් නැගිටලා එයි . විබාගයට ආසන්න කාලයේ පාඩම් කිරීමට අනික් අය නැගිට්ටවීමද උදේ උයන කෙනාගේ රාජකාරියකි .  කලින්ම වැඩට යන අය මුලින්ම බාත් රූම් යයි .ඉන්දු හා චමීට අනිවාර්යෙන් සාරි හැඳ වැඩට යායුතුය .ඉතින් 
 මේ දෙන්නා කණ්නාඩිය බදු ගනී.මා නිදන ඇඳ තිබුණේ මේ කණ්නාඩිය ආසන්නයේය .ඒ නිසා සියලුදෙනාගේම රූප ලාවණ්‍ය කටයුතු , අලුත් සාරි හැඳ හැඩ බැලීම් වලදී  මේ ඇඳ බදුගැනීම සිරිතක් විය .මුහුණේ කුරුලෑවක් ආවත් දිනගනනක් විස්සෝප වන සරා නංගී වැඩි දාට මේ කණ්නාඩියේ හිමිකාරිය වූවාය .අපි සියලුදෙනාගේම ක්‍රීම් , ෆර්පියුම් ,ලිප්ස්ටික් සහ සෙසු රූපලාවන්ය උපකරන ඇත්තේ  කණ්නාඩිය මතයි . එයින් වැඩිහරියකට හිමිකම් කිව්වේ සරා සහ චමීය .මට වැඩිපුර තුබුනේ ෆර්පියුම් වර්ගය . ඉන්දු  ෆර්පියුම් පාවිච්චියක් නැත . අපි තුන්දෙනාගේ ෆර්පියුම් පොදු දේපල වගේය . සියලුදෙනාගේම සුවඳ විලවුන් බෝතල් වලින් විලවුන් නාගෙන යන සිරිතක් එකල මට තිබුණි . .ඔය අතර අන්තිමට වැඩටයන මට තව රාජකාරියක් ඇත .ඒ දොරටුපාල වැඩේය . පඩිපෙලෙන් බැල්කණියට ඇතුල්වෙන යකඩ ගේට්ටුවේ හා ප්‍රධාන දොරේ යතුරු මා සතුවිය . උදෙන්ම අනික් අයට පිටත්ව යන්න දොරවල් හැරීමත් ,සියල්ල හොඳින් වසා යතුර පහල මල් පෝච්චියක් තුල සුරැකිව තබා යාමත් , අන් සියලුදෙනා පැමිණි පසු රෑට සියලු දොර ජනෙල් වසා තරකොට යතුරු පොත්මේසයේ මගේ පෙන් හෝල්ඩරයට දැමීමත් මීට අදාල කටයුතු විය .ඒ හැරුනවිට විදුලි බල්බ මාරු කිරීම , කුස්සියේ හිටිගමන් බ්ලොක් වෙන සින්ක් එකේ ඩ්‍රැනේජ් සිස්ටම් එක යථාතත්වයට පත්කිරීම වැනි මකබාස් වැඩ කිරීම මට හා සරා නංගීට ඉබේම මෙන් පැවරී තිබුණි .

 සියල්ලන්ම නැවත් එක්වන්නේ හවස්වරුවටය .එවිට එක අයෙක් හැමෝටම තේ හදයි .හැමෝගෙම බිස්කට් එක ප්ලාස්ටික් ටින් එකක අසුරා තිබුණි .කැමති කෙනෙක්ට කැමති වර්ගයකින් කෑහැකිය .තේමේසය අපේ දවසේ වැඩකටයුතු සමාලෝචනය කරන වෙලාවයි .කාටත් තමන් ප්‍රියකරන සීක්‍රට් ක්‍රෂ් වූ කොල්ලන්ගේ සිට අලුත්ම වර්ගයේ මෝටර් රථ,මොබයිල් ෆෝන්  දක්වා කියවන්න දෑ බොහෝය . ඒ සෙෆීරෝ -Cefiro කාර් වලට මමත් චමීත් වහ වැටී සිටි කාලයයි .හේතුව අපේ සීනියර්ලා කීපදෙනෙක්ම සෙෆිරෝ කාර් මිලට ගත් නිසාය .මොබයිල් ෆෝන් නඩත්තුවට අපි අතවූ මුදල් මදිය .එහෙත් ඔය කාලයේ තුබූ අදනම් ඉතාම ප්‍රිමිටිව් වර්ගයේ Nokia  1100 ,1110  phone  එකක සතුකරගැනීම එකම සිහිනය විය ඉන්දු නම් බොහෝවිට කතාකලේ පලක් ඇති දෙයකි .විබාගයට උවමනා සටහන් සොයාගන්න අයුරු , ඊට අදාල වැදගත් දින වකවානු , පාඩම් කලයුතු පිලිවෙල ආදිය ඇය නිතර මතක්කලාය අපි මෙය නම් කලේ "ඉන්දුගේ උපදෙස් පන්තිය " ලෙසයි .බොහෝවිට හවස තේ මේසය සූදානම් කරන්නේද චමීය . තේ සූදානම් වූ පසු ඇය අප අමතන්නේ ' සෙක්සිලා තේ බොන්න එන්න' යනුවෙනි . ඇය අපි සියලුදෙනාටම පොදුවේ ඇමතුවේ "සෙක්සි- sexy  " යන පදයෙනි . චමීට අනුව ඕනෑම හොඳ දෙයක් , ලස්සන යමක් , රස කෑමක් 'සෙක්සිය ".මේ අපේ නවාතැනේ නිතර දෙවේලේ අහුණ ඉතාම සාමාන්‍ය  වචනයකි . චමීගෙන එය මටත් සරාටත් හුරුවිය. සමහර දිනවලට ඔය තේ මේසය ටිකක් වෙනස්වෙයි . පාන්පිටි , බිත්තර වැනි කලමණා ඇත්නම් චමී ඇගේ ප්‍රියතම කෑමක වන  පෑන්කේක් සාදන්නීය .කොහොම කලත් ඉන්දුනම් එහි අඩුවක්ම දකී .මටත් සරාටත් රසේ වගක් නැත .ඕනමදෙයක් බඩට දාගන්න අපි එවරෙඩිය .ඒනිසා පදම වැරදී රෙසිපිය අල වුවත් අපිට කමක් නැත .සරා අපි හැමෝගෙම උපන්දින කුස්සියේ ඇති බිත්ති  කැලැන්ඩරයේ ලකුණු කර තිබුණි .පෙබරවාරි , මාර්තු , මැයි හා දෙසැම්බර් වල අපේ උපන්දින යෙදී තිබුණි . උපන්දින සමරන උදවියට  ෆැබ් එකෙන් කේක් ගෙන ඒම සරාගේ අනිවාර්ය නියෝගය විය .ටී වී බැලීමක් නොවුන අතර සියලුදෙනාම නිවසට එන හවස් යාමයේ සිට අපි රෑ නින්දට යන තෙක් ඉසිර ගුවන්විදුලියේ සින්දු ඇසුවෙමු .ඊට කුඩා  රේඩියෝවක් අප සතු විය .ඔය අතර සති මැද නිවාඩුවක් තිබ්බොත් උදෙන්ම නැගිටින ඉන්දු මුලු ගෙයම අස්කරන්න පටන්ගනී .අපේ කොට්ට මෙට්ට අපිටත් නොකියාම බැල්කණියට විසිවෙලාය .ඒ වේලා ගෙටගන්නය . ඇඳ ඇතිරිලි රින්සෝවල පොඟවලාය .සමාවක් නැත .ඒවා තනි තනිව හෝදාගත යුතුය .පොත්මේසය වනසා තිබෙනවාට ඇය කැමති නැත .ඉතින් හැමෝගේම සටහන් ගොනුකරන්නේද ඇයයි .අපිට නම් මේවා මල වදය . ඒත් ඉතින් පොදු යහපතට-in the public interest   උහුලා සිටිමු .


රැකියා කලත් සුලු වැටුපක් නිසා අපි හැමෝම මාසේ අන්තිමට යන්නේ රිම් එකෙනි .තත්වය උග්‍ර වන්නේ හිටිගමන් අපි රැකියා කරන තැන් , හඳුනන සීනියර්ස්ලාගෙන ලැබෙන විවිධ ආරාධනා නිසාය .මේවා මගහැරීමට නොහැක්කේ වෘතීය ජීවිතය අරඹන්න ඇවැසි සමහර නෙට්වර්කින්ග් අවස්ථා මෙයින් ලැබෙන නිසාය .ඉතින් ඒවාට සූදානන් වීම යනු සෑහෙන්න ලොස් වීමකි .අලුත් සාරියක් ගන්නටම සිදුවේ . 

මේ සියල්ල මැද ප්‍රධාන කාරණාව  හෙවත් විබාගය අමතක කල නොහැක .අපි තිදෙනාම රැකියා සහ වෘතීය පුහුණු ලබන අතරම පාඩම් කලයුතු විය  .අපේ බොහෝ බැචීලා අප මෙන් නොව සතියට දින පහම වෘතීය පුහුණුවට සහභාගිවූ නිතර දෙවේලේ සාරි පටලවාගෙන සිනියර්ස්ලාගේ පොත් අතින් ගෙන අලුත්කඩේ කැරකුන  අයයි.ඔවුන්ට විබාගයට හොඳ සප් එකක් සිනියර්ස්ලාගෙන් ලැබුණ අතර සමහර දෙපාර්තමේන්තු වල සේවයට  යාමට ඇවැසි සහයද කල්තියාම ලැබුණි.නොකඩවා යමක් පාඩම් කලේ ඉන්දු පමණකි .චමී සහ මම උදේට හිතුනොත් පාඩම් කරන චරිත විය .විබාගය අත ලඟටම ආකල මම මගේ රැකියාව කරන ආයතනයෙන් මාස දෙකක නෝ පේ නිවාඩු ඉල්ලාගත්තෙමි . විෂයන් හතකට ඇවසි කාරනා පාඩම් කලේ ඔය කාලයේය .විබාගය පැවතියේ දෙවන මාසය මැදය .එය සති හතරක් නොකඩවා තිබුණි .එකල ඉවුම් පිහුම් සියල්ල සරා තනිව කරන්න බාරගත්තාය .අපිට තේ පවා හදා දුන්නේ ඇයයි .සමහරවිට අපේ රෙදිත් හේදුවා මතකය .එපමණක් නොව විබාගයට පෙර දිනවල සමහර පනත් , වගන්ති ගැන අපේ මතකය පිලිබඳ දැනුම මැනීමද ඇය විසින් සිදුකලාය . අපි තිදෙනාම උදේ , දවල් , රෑ නිදිවරන් පාඩම් කලෙමු .මේ සේරම සෙල්ලම් දාන්නේ අර වෘතීය සුදුසුකම් වලිගය එල්ලා ගන්නය .


අන්තිමේ සියල්ල යහපත් ලෙස නිමාවිය .අපි තිදෙනාම විබාගය සමත්වී තිබිණි .රිසල්ට්ස් බැලූ දා හිතට නැගුන සතුට මෙතෙකැයි නිමක් නැත .එතැනම වූ කාසිපෙට්ටි දුරකතනයකින් මම ගෙදරට කතා කර ඒපුවත තාත්තාට දැන්වූයේ මහත් උද්දාමයෙනි .ඉන් දෙදවසකට පසු අපි තුන්දෙනාම කලු නිල කබා මස්සන්නට ගිය අයුරුත් මතකය . හොඳම රෙදි වර්ගයකින් තෝරා , ඉස්තරම් විදියට නිමා කිරිමේ පලපුරුද්දක් ඇති අලුත් කඩේ ටේලර් ජොයින්ට් එකකට අපේ ඕඩරය කලින්ම දුන්නේ දිවුරුම් දෙන කාල වකවානුවේ වැඩි කරදරයක් නොවෙන්නය .අපි තිදෙනාම කලින් කතාවී එකම සෙෂන් එකක දිවුරුම් දීමට හැකි වන ලෙස  අදාල ලියකියවිලි බාරදුනිමු .චමී අපේ දිවුරුම් දුන් දිනයේ අමතක නොවෙන යමක් ඉතිහාසයට එක් කලා විය යුතුය .ඒ තමන්ගේ වෘතීය ජීවිතය අරඹන පොරොන්දුව දෙන්නටත් පමාවී පැමිණීමෙනි .එවිට අපි සියලුදෙනාම දිවුරුම් දී හමාරය . වසර දෙකකට මදක් වැඩිවූ සන්තුෂ්ටි දායක කාලසීමාවක් ගෙවී ගියේ එසේය . ඒ ජීවිතේ මහා බරක් පතලක් නොගත් ,එදිනෙදා ජීවත්වෙන හැටි හිතූ ,අතේ සතේ නැතත් හිතේ  සතුටින් හිටි කාලයකි.අප සිවුදෙනාගෙන් පලමුව වෙන්ව ගියේ මමය .ඒ කලුකබා රස්සාවට වඩා හාත්පසින් වෙනස් රස්සාවක් කරන්න උවමනා වූ නිසාය . ඒ වනවිට මම රජයේ කොමිසමක කලු කබා රස්සාව කරමින් සිටි කාලයයි . මගේ පත්වීම ඉස්ථිර කිරීමට ඔන්න මෙන්න තිබියදී මම ඉන් ඉවත්වීමි .මා නික්ම යනවාත් සමගම චමී එම ආයතනයේ සේවයට එක්වූවාය .ඉන්දු ඉන්ටර්න්ශිප් එකෙන් මුදවා ඔෆිසර තනතුරකට උසස්වී සිටියාය .සරා චාර්ටඩ් තුන්වන පියවරට සූදානම් වුවාය .ඉන්පසු කාලවලදී අප එතරම් මුන නොගැහුන මුත් උපන්දිනවලට සුබපැතුම් එවීම නම් නොකඩවා විය .අවසන් වරට අපි තිදෙනෙක් චමීගේ වෙඩින් එකේදී මුණගැසුනේ 2008දීය.පසුව අපි හමුවුනේ මූණු පොතෙනි .තාමත් චමී හිටිගමන් මා අමතන්නේ සෙක්සි ලෙසිනි . අපි අතර ඉඳහිට හුවමාරු වන ඊමේල් වල පවා එදවස්වල තේ බොමින් නන් දෙඩවූ අයුරු සිහිකර සිනාසෙමු .ඒ හැම ඊමේල් පණිවුයක් අගම හැමදාම කියවෙන දෙයක් ඇත - God.... That was the best time in our life -දෙවියනි ඒ අපේ ජීවිතයේ ගෙවීගිය හොඳම කාලයයි !

ප/ලි


ඒ ජිවිතේ ස්වාධීන වෙන්නට එකතරා අයුරකින් වෙර දැරූ කාලයකි .එහි සිහිවටන දෙකක් තාමත් මා සතුය . ඒකක් සරසවියේ අවසන් වසරේ වූ අබග්ගයක් නිසා අහම්බෙන් ගිය රස්සාවෙන් ලද පලමු වැටුප සටහන්වූ පේ ස්ලිප් එකය .අනික මගේ වෘතීය පුහුණුව ලබන්න යන මුලම දවසේ ඇඳි ලා ක්‍රීම්  පාට පසුබිමේ ලා කොල පැහැ සිහින් මල් මෝස්තරයක් වැටුන  කොට්න් සාරියයි . 





Saturday, November 19, 2011

මට මහන්සියි


එලාමය මරහඬ තලන  හඬලන ජංගමයා ඇඳ පුරා අතපතගා සොයාගත්තෙමි .උදේ පහයි.අද සඳුදා .එතකොට මේ ඉන්නේ රාජකාරි නිවහනේ කොලඹ .දැන් මේක මගේ ගෙදර වගේ .පොරවන් නිදාගන්න තියේනම් හොඳයි .එතකොට මතක්වුණේ  හරියට හයට ඔෆිස් එකේ ඉන්න ඕනෙ.හබරණ යන නඩේට එක්කහුවෙන්න . මොන කෙහෙම්මලකට මේ මීටිම හබරණ දැම්මද ? හබරණට මම කැමති කාලෙකුත් තිබුණා .අර ගහක් යට නිදාගත්තු දවස්වල .දනි පනි ගාල නැගිටලා මූණ හෝදලා ඇඳුම් ඇඳගත්තා . ඊලඟට මොනවද ගෙනියන ඇඳුම් .ඒව ට්‍රැවල් බෑග් එකට ඔබා ගන්න ඕනේ . අයන් කරන්න ? පිස්සුද ? රෙදිටික හෝදගත්තේත් බොහොම අමාරුවෙන් .මේ ට්‍රැවල් බෑග් එකේ මුලු ජීවිතේම පැක්වෙලා වගේ .සිකුරාදට අන්ලෝඩ් කරලා වෙලා තිබ්බොත් රෙදි හෝදනවා. ආයෙත් තව අලුතෙන් ලොට් එකක් පටවගන්නවා ඉරිදට හරි සඳුදට හරි යනවා . හරි ඔන්න උවමනා අඩුමකුඩුම ටික ගත්තා .තව ටිකක් නිල නිවාසේ අල්මාරියට දැම්මා.ඒව ආයේ කොලඹ ආවම අඳින්න .මතක ඇතුව කැමරාවයි ඒකෙ අනික් ආම්පන්නයි ගත්තා .මල්ල පිටට එල්ලගත්තා .ලැප්ටොප් එක, එක උරිසකට . කාර්යාල බෑගය අනික් උරිසට . ඇවිදගෙන ඔෆිස් එකට . නිල නිවාසේ යතුර බාරදුන්න සිකුරටිට . එකා දෙන්න මලු උස්සන්  ඔෆිස් එකට එනවා බාගෙට නිදිමතේ .අපේ නඩේ බෑගමලු , මීටිමට ඕනෙ අනික අඩුම කුඩුම ඔක්කොම වෑන් එකට ඇහිරිලා අපි දහදෙනෙක් පැක්වුණාම කොහොමද සනීපෙ? වෑන් එක ඇදිල යනවා නුවර පාර දිගේ .

මගේ ලොක්ක ඉස්සරහ සීට් එකේ .
"ටී ජී ගිය සතියේ අර රිපෝට් එකේ ප්‍රශ්ණ වගයක් අහල තිබුණා එක්ස්පෙන්ඩිචර් ගැන .උත්තර ඇරියද ?" එයා අහනවා .
මොන මගුලක්ද ? ගිය සිකුරාදා රෑ ආව මේල් එකක් ."ඒකට උත්තරහදිස්සි නෑ" . මම මුමුණනවා.
ඒ මදිවට මගේ එහාපැත්තේ ඉන්න අනික් ලොක්කි අහනවා "ටී ජී ඔයා අර කන්සෙප්ට් නෝට් එක ලියන්න පටන්ගත්තද ?"
මේක තමයි ලොක්කො එක්ක එකට ගමන් යන්න මම අකමැතිම වැඩේ . මුන්දැල එක්ක වාහනේකවත් නිදහසේ යන්න නෑ.කෙහෙම්මල් රාජකාරි ප්‍රස්න අහනවා ඒවට උත්තරදීල ඉවරක් නෑ .නිදාගන්න බැලුවා .ඒත් ඉතින් මට කවදාවත් වාහන වල නිදාගන්න බෑ. නිකන් ඇස් පියාගෙන ඉඳල ඇසුත් රිදෙනවා . ඒ වැඩෙත් අතඇරලා දැම්ම .කවුලුවෙන් ඉර එලිය වැටිලා මූණ පිච්චෙනවා . පිටිපස්සේ ප්‍රෝග්‍රෑම් සපොර්ට් කට්ටිය නම් හොඳට ලී ඉර ඉර නිදි . ලොක්කො තුන්දෙනෙක් ලැප්ටොප් දිගඇරන් ප්‍රසන්ටේශන් ගැන කතාව . ඔෆිස් එකෙන් දැන් කාර් චාජර් දීල .මල වාතයක් . නොකිය කියන්නේ අපිට විසිහතර පැයම වැඩ කරන්නද ? යන්තන් ඔෆිස් එන අතරේ නෙස්කැෆේ එකක් බිව්ව .වෙලාව නවයට කිට්ටුයි . අඹේපුස්සෙ නැවැත්තුවොත් හොඳයි උදේ කෑමට .

මේ මීටිම අවුරුද්දකට පස්සේ තියන්නේ .පේන විදියට සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්න ගොඩක් කතාකරන්නයි යන්නේ .ලඟදි වෙන මැනේජ්මන්ට් චේන්ජ් .ස්ටාෆ් එකත් මැනේජ්මන්ට් එකට අවුලක් අදින්න ඉන්නේ .දෙගොල්ලම නොදන්න තාලෙට ඩිප්ලොමැටික් විදියට ඉන්නවා .හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට .

දොලහමාරට විතර හබරණ ආවෙ .සුපුරුදු නවාතැන . හරි ලස්සනයි .දවල් කෑමෙන් පස්සේ හරියට දෙකට මීටිම පටන්ගන්න . රූම් එකට ගිහින් නාගත්තට පස්සේ ආයෙ කෑම ඕනත් නෑ . පැය දෙකතුනක් දපන්න ඇත්නම් හොඳයි .ඒත් ඒව කොහෙද . මීටිම පටන්ගත්තා .ලොක්ක වහෙන් ඔරෝ කතාවෙන් ඔන්න එනවා මැනේජ්මන්ට් චේන්ජ් එකට .
"මේගොල්ලො මේව තීරණේ කරල නොදන්න බබාල වගේ අපිට කියනවා . ඉස්සර මේ තීරණ මෙහෙම ගත්තෙ නෑ" .අපි සෙට් එකක් කෙලවර ඉඳන් කුටු කුටු ගානවා .
ලොක්ක එපාර කතාව ටිකක් වෙනස් කරලා. "අපි අද වර්කින්ග් කමිටියක් දාල ඩිනර් එකේදිත් මේගැන කතාකරමු" එයා කියනවා  .

මේ කතන්දර ඉවර වෙනකොට රෑ හයහමාරයි . ආයෙ ඩිනර්  ඩිස්කෂන් . මේකනම් පූරුවෙ පවක් .මෙහෙම තැනකට ඇවිත් වත් නිදහසේ කෑම ටිකක් කන්න නෑ .වර්කිං කොමිටියට නොයන්න මම හිතාගත්තා .හැබැයි යන දෙන්නෙක්ව අල්ලං කියන්න ඕනෙ ඒව ටික මතක් කලා . ටිකක් ඇවිදින්න යන්න හිතුවා .වැඩි දෙනෙක් වර්කිං කොමිටියෙන් පස්සේ සෙට් වෙන්න වගේ .රූම් එකට ගිහින්  ලැප්ටොප් එකයි ,කාර්යාල බෑග් ඇඳ උඩට විසිකරලා කැමරාව අතට ගත්තා .රබර් සෙරෙප්පු දෙකත් දාගත්තා .එලියට බැහැලා අඩි පාර දිගේ ඇවිදන් ගියා ඈතින්පේන වැව දිහාට .එතන ඉඳගන්න බංකු ,සමර් හට් එහෙම තියෙනවා .මගේ කල්පනාව පුලුවන් තරම් මෙතැනට වෙලා ඉඳලා පරක්කුවෙලා රෑ කෑමට යන්න . නැත්නම් වෙන්නෙ එක එක ඕප දූප කතා කරන්නයි , එක එක්කෙනාගෙ ඔෆිස් පොලිටික්ස් වලට අහුවෙන්නයි ,පලක් නැති වාද වලට පැටලෙන්නයි . මෙහෙම වෙලාවට තියෙන එකම සහනය ඇති තරම් කැමරාවෙන් පින්තූර ගන්න එක .මෙතැනට ඉර බැහැගෙන යන හැටි හරිම ලස්සනයි .අහසේ විසිරුණ  වර්ණවත් ගතියට මම ආසයි . බැහැගෙන යන ඉරේ අන්තිම රැස් කැරැල්ලත් කැමරාවට අහු කරගෙන ආයෙත් කාමරේට ආව .මගේ රූමි වර්කිං කොමිටි මීටිමේ. නාලා දෙපැයක් නිදාගන්න හිතුවා .රෑ දහය වෙනකන් ඩිනර් තියෙනවා .නවයහමාරට විතර ගිහින් තනියෙන් කෑම ටිකක් කන්නයි කල්පනාව .නිදගන්න ගියාට ආයෙ උඩ විසි වෙලා ඇහැරුණා . මගේඅ රූමි කතා කරනවා .
"ටී ජී එන්න ඩිනර් වලට දැන් අටහමාරයි" . මෙහෙමත් වදයක් .ටීම් එකක් එක්ක ගියහම ඔහොම තමා .නිදහසක් නෑ .
"මම පොඩි වැඩක් .හදිසි ඊමේල් වගයක් යවන්න වෙලා . ටිකක් පරක්කු වෙනවා" . බොරුවක් කිව්ව බේරෙන්න .

"මැඩම් අතන මේසෙ තමයි  මැඩම්ලගෙ ටීම් එකට වෙන කරල තියෙන්නෙ .තාමත් මැඩම්ලගේ ටීම් එකේ අය එතැන කෑම කනවා . එතැනට යන්න "හෝටල් සේවකයා මට කියනවා .
"නෑ එයාල වෙන කතාවක් .
 මට ඒක අදාල නෑ. මම කැමති මෙතැන ඉඳන් කෑම කන්න .ටේබල් එකක්  lay කරන්න ප්ලීස් ? "මාත් අතාරින්නේ නෑ

කොහොමහරි තනියෙන් ඉඳන් කෑම කන්න ස්විමින්ග් පූල් එකට මූණ දාපු මේසයක් ලැබුනා.
"මැඩම් මොනවත් බොනව්ද ?" ආයෙත් හෝටල් සේවකයා බාර් එක දිහා බලන් අහනවා .
"ඔවු ගේන්න බ්ලැක් ටී පොට් එකකක් ලෙමන් ස්ලයිසස් එක්ක" .
"තව මොනවත් ඕනෙද මැඩම් "?. "ඔවු තියේ නම් ඔයාල බ්‍රෙක්ෆස්ට් එකට තියන හකුරු කෑලි ටිකකුත් ගේන්න . "මම වැරදි උත්තරයක් දුන්නද මන්දා .මිනිහා තක්බීර් වෙලා ඉඳලා ගියා තේ ගේන්න

කෑවට වැඩිය තේ බිව්ව මගෙ හිතේ . තාම වර්කිං කොමිටිය යනවා .කට්ටියගේ සද්දේ ඇහෙනවා .වරින් වර උස් හිනා හඬවල් .ඒ කියන්නේ වැඩේ සාමාකාමී වෙලා වෙන්න ඇති . නිදහසේ කෑවා . ටීම් එකක් එක්ක වැඩට ගියහම වැඩ ඉවරවෙලා තනියම්ම ඉන්න මම තරම් කැමතියි උදවිය වෙන මේ ලෝකෙ නැතුව ඇති . මගේ රූමි තව පරක්කුයි කියල එස් එම් එස් එකක් ආවා . නිවුස් බලලා නිදාගන්නහිතලා කාමරේට යන්න නැගිට්ටා .

"තව තේ බොනවද මැඩම් /". අර සේවකයා ආයිත් ."නෑ අදට බිව්වා ඇති "කියාගෙන මම ස්විමිං පූල් සයිඩ් එක දිගේ කාමරේට ඇදුනා .

ස් ස් ස් ටී ජී ...කාගෙදෝ පුරුදු හඬක් .බැලිනම් සිවා පූල් සයිඩ් එකේ මේසෙක වාඩිවෙලා .

එන්න වාඩිවෙන්න එයා මට පුටුවක් පෙන්නලා අතින් සන් කලා .

"ඇයි මෙතැන ? කෑවද ? නිදාගන්නෙ නැද්ද ? දැන් දහයයි වෙලාව ".මගෙන් ප්‍රශ්න වැලක් .

"නෑ තව පරක්කුවෙලා යනවා .සුදා මගේ රූම් මේට් .එයා වර්කිං කොමිටියට ගිහින්" .

සිවාට මෑතකදි ප්‍රමෝශන් ලැබුණා. සුදා ඒකට අකමැතියි .දැන් එයා රිපෝට් කරන්නෙ සිවාට.මේ දෙන්න අතර  සීතල යුද්ධයක් ය අවුලුවලා ඔෆිස් එකෙ අනික් ලොක්කො ටික. සිවා මට ඒ වග විස්තර කියනවා .සිවා  කතාකරන්නෙ බොහොම හෙමින් , ඉන්ග්‍රිසියෙන් වචන තෝරගෙන.බොහොම පරිස්සමින් සංයමයෙන් . ඉස්සර ඉඳන් මම සිවාට කැමතියි . ඔහොම ටීම් එකතුවුණහම අනික් වුන් ස්ටාෆ් හවුස් එක දෙවනත් වෙන්න බීලා පාර්ටි දානවා . එයා බොන්නේ නෑ . ෆුල් වෙජිටේරියන් . බොහොම සුහද ගතිගුණ තියෙන යාලුවෙක් . අනික් වුන් නිතරම පාර්ටි දාලා සිවාට බලෙන් පොවන්න හදලා බුලී කරනවා .සිවා නොබොන නිසා පාර්ටි ඉවර කරලා හිස් බෝතලුයි , මස්කටුයි සිවාගෙ කාමරේ දොර එලිපත්තෙ තියනවා. වර්කිං කොමිටියෙ එකාදෙන්න විසිරිලා යනවා .එයාල අපි ගාවත් නතරවෙලා ටිකක් පුදුම වෙලා බලලා" ඔහ් යූ ගයිස් හියර්" කියල ගූඩ් නයිට් කියලා යනවා.අපිත් වෙනසක් නැතුව "ගූඩ් නයිට් "කියනවා .තවටිකක් කතා කරකර ඉඳලා අපි දෙන්නත් යන්න නැගිට්ටා ."අතාරින්න එපා . මුල් හරිය ටිකක් කරදරවේවි මැනේජ්මන්ට් වලදි .ඒත් ඔයා ඉක්මනට හුරු වේවි ඒකට" .මම සිවාට කිව්ව .තෑන්ක්ස් ටී ජී .එයා අතට අත දුන්න .

කාමරේට ගියා තාම නිදි මත නෑ. එපාර ආයෙත් ඊමේල් දෙකතුනක් ලිව්වා . මීටිමක රිපෝර්ට් එකකුත් ලියලා ඉවරකරලා මේල් කලා . මගේ රූමිත් වැඩ .ලොක්කට හෙට කරන්න තියෙන ප්‍රසන්ටේශන් එකකට ගැජමැටික්ස් දාලා ලස්සන කරන්න එයාට පැවරිලා .ආයෙත් කාමරේ තිබුණ හීටරේ ගහල වතුර උණු කරලා බ්ලැක් තේ හදන් බීලා නිදියනකොට එලිවෙන පාන්දර දෙකයි .

පහුවෙනිදා මුලු දවසෙමත් ,ඊට පහුවෙනිදා දවස් බාගෙතුත් මීටිම . දැන් කට්ටිය ඒතරම් මැනේජ්මන්ට් එක චැලෙන්ජ් කරන්නෙ නෑ . දවල්ට ,රෑට කෑම කද්දි එක එකා ස්මෝල් ගෲප් හැටියට ගිහින් ලොක්ක එක්ක ඉඳගෙන කතාව . වර්කිං කොමිටියෙ ගත්තු තීරණ ආයෙ රිවිව් කරලා තම තමන්ට උවමනා විදියට හදාගන්න හැමෝම දඟලනවා .ඔන්න ඔහේ ඕනෙ දෙයක් කියලා මම ඉතුරු දවස් වලත් හවසට කැමරාව අරන් ඇවිද්දා . රෑට අනික් හැමෝම ගියාට පස්සේ අන්තිමටම ගිහින්  නිදහසේ කෑම කෑවා. ටිකක් ඔෆිස් වැඩ කරලා පරක්කුවෙලා නිදාගත්තා .

දවස් දෙකහමාරක මීටිම ඉවරවුනේ "එම්බ්‍රේස් ද අන්සර්ටිනිටි" කියල ලොක්ක දුන්න පණිවිඩේකින් .ඕක කියන්න මීටින් තියන්න ඕනෙ නෑ .දැන් අවුරුදු හයක් තිස්සේ ඔය කතා අහලම පුරුදුයිනේ . කොලඹ පිටත්වෙනකොට හවස දෙකයි. දැන් නම් ඔක්කොම ලොක්කො වාහනේ නිදි ගොරව ගොරව .ඇති යන්තන් .කොලඹ එනකොට රෑ අටයි .හරි තෙහෙට්ටුයි .කාර්යාල නිවහනේ අනික් සගයට ඕනෙ මාව ඩිනර් එක්කන් යන්න .බෑ කියන්න විදියක් නෑ .එදාට එයාගෙ රස්සවෙ එකොලොස්වෙනි අවුරුද්ද සමරනවා . අවුරුදු එකොලහක සේවෙන් පස්සෙ එයා මේ මාසෙ අග අයින්වෙනවා . ආයෙත් නාගෙන ඇඳගෙන ගියා රෑ කෑම කඩේකට . මික්ස් රයිසුයි , ඔරෙන්ජූසුයි ඕඩර් කරලා මට එයාගෙ මැනේජ්මන්ට් එකත් එක්ක තියෙන frustration  , අවුරුදු එකොලහක එක්ස්පීරියන්ස් , සමහරු ලොක්කට අල්ලන පන්දම් ගැන අහන්න වුණා .ඇත්ත වුනත් බොරුවුනත් නිදි මරගාතේ ඔලුව වන වන ඉන්න එක තමයි කලේ . ඇවිත් නිදාගන්නකොට දහයයි

අහැරුණේ කාර්යාල නිවහන සුද්දකරන්න එන සේවිකාවගේ සද්දෙට .
"මිස් තාම නිදිද? . තේකක් හදන්නද ?"එයා දොරට තට්ටුකරනවා .

ගමන් මහන්සියට ද කොහේ ඇඟ රිදෙනවා . නිදිමතයි තව .වෙලාව නවයයි . හරියට නම් නවයට ඔෆිස් ඉන්න ඕනේ .දඩි බිඩි ගාලා ඇඳගන්න හිතුවා . ශීලා තේ එක හදලා අතටම ගෙනත් දුන්නා

"මිස්ට මහන්සි පාටයි . ඊයෙ පරක්කුවෙලා ආව කියලා ජයසේන සිකුරටි අයියා කිව්වේ ?"."
ඔවු ටිකක් මහන්සියි ශීලා  .මම හිමිහිට කිව්ව ".
"ඒක හැබැව .දැන් මෙහෙ මිස්ට ගෙදර වගේ .ගිය සතියෙ සිකුරාදා වෙනකනුත් මෙහේ නෙ" .

හැබෑටම මොකද්ද මේ ජීවිතේ කියලත් හිතෙනවා වෙලාවකට . දන්න කියන යාලුවො හිතන්නේ හරි ෆන් වැඩක් කියලා ..සමහර යාලුවො කියන්නේ කෙයාර් ෆ්‍රී ජිප්සි ලයිෆ් කියල .මාත් ඉතින් ජීවිතේ කරදර කියන දේවල් ,අපහසුකම් තව කාටවත් කියන කෙනෙක් නෙවී .මොනව වුණ හිනා වෙලා ඉන්නවා .ඉතින් හැමෝම හිතන්නේ මම හොඳින් කියලා. බැලුවම ඒකෙත් වරදක් නෑ..

ආයෙත් මතක්වුණා ගෙදරට කතාකලේ නෑ කියලා .ඉක්මනට අම්මට කෝල් එකක් ගත්තා . දවසක් ඇර දවසක් විනාඩි පහක් අම්මට කතාකරන්න දැන් ටික කාලෙක ඉඳන් කරන දෙයක් .මේ විනාඩි පහ තමයි අපි දෙන්න රණ්ඩුවක් අල්ලන්නේ නැතුව කතාකරන එකම වෙලාව . නැත්නම් මම ඉතින් ප්‍රශ්නවලට උත්තර දෙන්නේ තව ප්‍රශ්නෙකින් . ගෙදර විස්තර අහලා නාගන්න ගියා . ශීලා බෙඩ් ශීට් හෝදන්න අහනවා .මම එපා කිව්ව . දවස් දෙකක් පාවිච්චිකලාට ඒව කිලුටු නෑහැ. එයා එන්නෙ කැස්බෑව පැත්තේ ඉඳලා .සුමානෙකට දවස් තුනක් ඇවිත් කාර්යාල නිවහන සුද්දකරනවා .උදේ නවයට ඇවිත් හවස 2 වෙනකන් වැඩ කරලා ආයෙත් ඔෆිස් එකට ගිහින් ඒකත් අස්කරලා පහට ගෙදර යනවා .අපි  කිලුටු කරලා දාන බෙඩ්සීට් , කාල තැන තැන දාන පිඟන් ,කිලුටු bath room ,  එහෙ මෙහෙ වුන පුටු අස් පස් කරලා තට්ටු දෙකක් මොප් කරනකොට හොඳ ගනන් ඇති . මට සේරම පහසුක්ම් දීලත් මහන්සියි .මීටර සීයක් ඈතින් තියෙන ඔෆිස් එකට යන්න පැයක් පරක්කුයි .ලැජ්ජ නැද්ද මනුස්සයෝ කියල හිතෙන් බැන බැන  ඉක්මනට නාලා ඇඳගත්තා .දිනපොත බැලුවා එලියේ මීටින් නෑ.ඒ නිසා අයන් කලේ නෑ .ෆෝමල් ඇඳුම් ඕනත් නෑ.ටී ශර්ට් එකක් ඇන්දා .ෆර්පියුම් බෝතලෙන් බාගයක් විතර නාගත්තා .මෙහෙම මහන්සි දවස් වලට වැඩට යන්න මොර්ටිවේෂන් එකකුත් ඕන නේ . හිත බෑ කිව්වත් නොගිහින් කොහොමද . හිත බෑ කියන වියර්ඩ් ෆීලින් එක මම දන්නවා . ගත්තා ලැප්ටොප් එක එක උරහිසකට , කාර්යාල බෑග් එක අනික් උරහිසට . ගියා ඔෆිස් එකට . රිසෙප්ශන් ඉන්න වයසක ඇඩ්මින් නෝනා  හිනාවක් දාලා ටී ජී යූ ලූක් ටයර්ඩ් කියලා , ගල් යූ හැව් සම් මේල්ස් කියලා මගේ ලියුම් ටික දුන්න .නොගිහින්ම බැරි වෙඩිං ඉන්විටෙශන් දෙකකුයි , බැංකුවෙන් එවන ලියුම් වගේකුයි . ඒව දිගෑරන් බලනකොට ලොක්කගෙන් කෝල් එකක්.

"ටී ජී ටිකක් හදිස්සියි කේස් ස්ටඩීස් දෙකක් ඕනේ යූ .කේ යවන්න . හවස තුන වෙනකොට එවනවද ?මේල් එක දැන් මම ෆොර්වර්ඩ් කලා .අර එක්ස්පෙන්ඩිචර් ප්‍රශ්නෙට ඔයා උත්තර ලියල තුබුණ. තෑන්ක්ස් .හොඳ ස්ට්‍රොන්ග් ආන්සර් එකක් ......." එයා තව මොනවද කියනවා .... මොන උත්තරය දුන්නද මන්දා මට නිදිමතයි . මහන්සියි . .....අයි ෆීල් වියර්ඩ් .ඒත් කවුරුත්ම හිතන්නෙ හිතන්නෙ මම හොඳින්, සතුටෙන්  කියලා.ඉතින් මාත් ඒගොල්ලන්ට කියනව මම සතුටෙන් කියල.


ප/ලි

කොහොමහරී නිදිමතේම වුනත් ඔක්කොම එනර්ජි කලෙක්ට් කරලා උවමනා වැඩේ කරල වෙලාවට සබ්මිට් කරා.උඩතියෙන්නෙ මම ගත්තු පින්තූර වලින් දෙකක් .කැමරාව මගේ හොඳම ගමන් සගයා .

Sunday, October 30, 2011

වස්සාන මාලිගාවේ ගෙවුන ආනන්දනීය මොහොතක් -Monsoon Palace ( Sajjan Gahr)



මේ දවස්වල හැන්දෑවෙනකොට හතරවටින් අහස කළු කරලා වහින්න පටන්ගන්නවා .වැස්සත් එක්ක එන සීතල ,වැහි වතුර වැටෙන සද්දෙට මම ආසයි .ඔහොම වෙලාවට මම කැමති නිවී සැනසිල්ලේ එක තැනකට වෙලා දුම් දාන කිරි කෝපි එකක් බොන්න .ඒ ගමන් අතීත මතක අහුලන්නත් කැමති .ඔයහිරි පොද වැස්ස මැදින් යාලුවොත් එක්ක කඳුකර මිටියාවත් වල ගිය ගමන් වල රස මතක අවුස්සන්නේ ඔහොම වෙලාවලදී .අදත් නිවාඩු පාඩුවේ වැස්ස රසවිඳින ගමන් පහුගිය දවස්වල ගිය ගමනක්දී ගත්ත  ඡායාරූප එකතුවක් බලනකොට  තමයි මට වස්සාන මාලිගාව මතක්වුනේ.



වස්සාන මාලිගාව එහෙමත් නැත්නම්   Sajjan Gahr  ,  උදයපූර් වල තවත් ලස්සන අප්‍රකට තැනක්.නගරෙන් කිලෝමීටර දහයක් විතර ඈතින් අරවල්ලි කඳු වල තියෙන පුංචි මාලිගාවක්. මේක පිහිටල තියෙන කඳුකර බිම අක්කර දාස්ගානක රක්ෂිත කැලෑවක් .බෑවුම් පාරක් දිගෙයි මාලිගාවට යන්න ඕනේ . අතරමග වඳුරො , මොනරු , මීමින්නො , මුව පැටවු එහෙමත් හම්බවෙනවා . මම වස්සාන මාලිගාව බලන්න ගියෙත් උදයපූර් වල අහස කලු කරන් පැල් බැඳන්  වහින දවස්වල .ඒ නිසාම වැහි අඳුරේ , පොදවැස්සට තෙමීගෙන මේ කඳුකර මාලිගාවට ගිය ගමන හරි සුන්දරයි .


උදයපූර් කියන්නේ රාජස්ථානයේ ප්‍රෞඩ මහරාජාවරුන්ගේ වංශයක් වුන 'මර්වාර්" වරුන්ගේ වාසභූමිය . නගර මාලිගා ,අලංකරණ කටයුතු වෙනුවෙන් ඔවුන් දැක්වූයේ පුදුම උනන්දුවක් .අරවල්ලි කඳු මුදුනේ මේ වස්සාන මාලිගාව ඉදිවුනෙත් එහෙමයි . මර්වාර් රාජවංශයේ සාජන් සිං කියන මහරාජා තම්යි මහල් නවයකින් යුත් මාලිගාව ඉදිකරල තියෙන්නේ ඒ 1874-1884 කාලේ . මෙතැන පාවිච්චිවෙලා තියෙන්නේ වැහි වලාකුලු නිරීක්ෂණය කරන කාලගුණික මධ්‍යස්ථානයක් හැටියට .ඒවගේම මහරාජාවරු දඩයමේ යද්දිත් වැහි කාලයේ විනෝදයෙන් ඉන්නත් පරිහරණය කල මාලිගාවක් .පොලවත් බිත්තිත් සුදු කිරි ගරුඬ වලින් නිමවලා තියෙන්නේ .වලාකුලු ආරුක්කු සහිත ද්වාර වලින් යුත් රාජස්ථානයට ආවේණික වාස්තු නිර්මාණශිල්පය මෙහිත් තියෙනවා . ඇතුලේ වනජීවී තොරතුරු එකතුවකුත්  තියෙනවා .


පොලව මට්ටමේ ඉඳන් මීටර දාහක් විතර උසින් තියෙන මේ මාලිගා බිමේ ඉඳන් බැලුවම මුලු උදයපූර් නුවරම හරි ලස්සනට පේනවා . පිචෝලා හා පතා සාගර් විල් , අරවල්ලි බෑවුමේ කොලපැහැයෙන් වැසුන මිටියාවත් දකගන්න පුලුවන් .මාලිගාවේ තුන්වෙනි මහල වෙනකන් ඉහලට නැග්ගම හරි අපූරුවට මේ දේවල් පේනවා .සාජන් සිංගෙන් පස්සේ ආව මහරාජාවරු මෙතැන ගැන එතරම් සැලකිල්ලක් දක්වලා නෑ.ඒ ජල පහසුකම් නොතිබ්බ නිසා .නමුත් මෑත අතීතයේ 1956 විතර එවක සිටි උදයපූර් මහරාජා ආයෙත් මෙතැන  ප්‍රතිසංස්කරණය කරලා උදයපූර් වැසියන්ට පවරලා තියෙනවා විනෝද උයනක් හැටියට . මෙතැන පෙම්වතුන්ගේ පාරාදීසයක් කියන්නත් පුලුවන් . යන එන අයට නිවී හැනහිල්ලේ විවේක ගන්න උද්‍යාන බංකු තියෙනවා . ඒවගෙම හොඳට පායන දවස් වල ඉර උදාවත් , ඉර බැහීමත් බලන්න පුලුවන් පහසුකම් තියෙනවා .


වැහි අඳුරේ , පොදවැස්සට තෙමීගෙන ඔය බංකුවක් උඩට වෙලා ,ඈත මීදුමෙන් වැහුන මිටියාවත් දිහා බලන් ,සීතල සුලඟ විඳිමින් මාත් සෑහෙන්න වෙලාවක් මෙතැන හිටියා . ඒ මොහොත ගැන නම් කියන්න වචන නෑ . මුලු ලෝකෙන්ම ඈත්වෙලා ,කරදර ,වැඩ රාජකාරි ඔක්කොම මොහොතකට අමතක කරලා මොණරුන්ගේ සද්දෙ අහගෙන  ඇස්පියාගෙන අනන්තයට ගිය පැය කීපයක් .ජීවිතේ ගතකෙරුව හොඳම මොහොතක්.
ආනන්දනීය අත්දැකීමක් .


ප/ලි

වැස්ස එක්ක අපි ඉන්න  මනෝභාවය ,පරිසරය සමග  වැස්ස විඳීම  සිද්දවෙනවා( මම මේ කියන්නේ ගංවතුරක් නෙවෙයි හොඳේ ) මට එහෙම හිතුනේ හදිස්සියෙන් මතක්වුන ථේර ගාථාවක් නිසා .මේ ගාථාවේ සිංහල පරිවතනේ මතකින් කියන්න තරම් මගේ මතකය පැහදිලි මදි . ඊට අදාල පොත තමයි පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයගේ රශ්මි කියන කාව්‍ය ග්‍රන්ථය . ඉන්ග්‍රිසියෙන් ඔය අදාල ථේර ගාථාව මම දැක්කේ  දැන් කියවමින් හිටි පොතක තිබිලා . මේ අජකරණී කියන නදිය අසබඩ දන් වලඳලා සැහැල්ලු සමවත් සුවෙන්න හිටි වෙලාවක හාත්පස පරිසරය වැස්සකට සූදානම් වෙන විදිය දුටුව රහතන් වහන්සේ නමක් ඒ පරිසරය ඇසුරෙන්  තමන්ගේ ආනන්දනීය අත්දැකීම කියන විදිය .

When the cranes with clear pale wing 
Fly in fear with the black cloude 
seeking shelter and finding none
The river Ajakarani gives me joy

From- Wonder That was India - p459 by A.L Basham

මේ ඉන්ග්‍රිසි කවියේ සිංහල අදහස මගේ පරිවර්තනයක්

කලු වැසි වලාකුලට බිය වැද
ලැගුම් සොයා
අව පැහැ පියාපත් සලා  
පලා යන කණකොක් රැලින් යුතු
අජකරණී නදිය
මසිතට ආනන්දනීය වෙයි 



 

Saturday, October 8, 2011

ට්‍රාන්සිට් ට්‍රැවලර් 1



දෙපැයකට කලින් කොලඹ කටුනායකින් අහසට නැගුන ජෙට් එයාර්වේස් ගුවන්යානය චත්‍රපති ශිවාජී ජාත්‍යන්තතර ගුවන්තොටෙන් ගොඩබාන්නයි සූදානම .දැන් වෙලාව හරියටම රෑ දයයි .ගුවන්යානය නියමිත වෙලාවට ගුවන්තොටට ගොඩබාන්න සූදානම් වග නියමුවා නිවේදනය කරනවා .වින්ඩෝ සීට් එකක් ගාව හිටිය මට  අහස සිඹින විදුලි එලියෙන් ආලෝකවත් වුන දැවැන්ත දැකුම්කලු ගොඩනැගිලි වලින් අලංකාර වුණ පසෙකින් සයුරු තීරයකට මායිම් වුණ මුම්බායි නගරයේ මනරම් දසුනක්  දිස්වෙනවා.

එතකොට මට මතක්වුනේ පුංචිකාලේ අම්මගේ මල් මල් සාරි කෑල්ලක් දෝතියක් වගේ පටලන් , කොස්කොල ඔටුන්නකුත් දාගෙන , කලුපාට ප්ලැටිග්නම් කූරකින් රැවුලක් ඇඳලා , මූණ පුරා පවුඩර් නාලා , රතුපාටින් කම්මුල් පාටකරලා, පොඩි කුඩේකුත් අතට අරන් බහුබූත කෝලම නට නට කිව්ව කවියක්.

බහුබූතයෙකි මම බොම්බායේ
වෙලඳාම කරන්නෙමි ලංකාවේ
හෙරලි ටිකක් මම කෑ සොඳිනා
මගෙ හැකිලී තිබුණ බඩ ඩෝලේ වුනා
.....................................................
අක්කාවරුනි මගෙ නැටුම් බලා
මට දෙනවද දැන් තෑගි සොඳා

බොම්බාය ලෝකෙ කොහේ තියෙනවද කියල පුංචිකාලේ මට තේරුමක් තිබුනේ නෑ .ඔන්න ටිකක් ලොකු මහත්වෙලා හින්දි චිත්‍රපටි පිස්සුවෙන් පෙලෙන කාලේ තමා දැනගත්තේ බොම්බාය කියන්නේ ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ මහගෙදර පිහිටි බොලිවුඩ් පුරේ කියලා .ඒත් පොඩි කුහුලක්  තිබුණා .ලෝක ඉතිහාසය , සිතියම් පොතේ නැවු තොටු ඉගෙනගත්ත කාලේ බොම්බාය -Bombay කිව්ව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන නගරයට ඇයි  දැන්  මේ මුම්බායි -Mumbai කියන්නේ කියලා .මගේ ගුවන් ටිකට් පතෙත් නගරයේ නම සටහන් වුනේ මුම්බායි කියලා  ඒ ගැන නම් බොම්බායට ගොඩ බහින්න කලින්ම ටිකක් සොයාබැලුවා .  මුම්බා දේවිය-Mumba Devi  කියන දෙවඟනට ගරු කරන්න මරාති බාෂාවෙන් මේ නගරය මුම්බායි කියලා හඳුනවලා ."ආයි" කියන්නේ මාරාති බාෂාවෙන් අම්ම කියන අරුත .මුම්බා අම්මගේ නගරය මුම්බායි කියල මරාති වැසියො කිව්ව වුනත් කාලයක් ඉන්දියාව යටත්කරගෙන මුම්බායේ නැවුතොටේ තමන්ගේ වෙලඳ අණසක පතුරන් හිටි සුද්දට මේ නම උච්ඡාරණය කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ බොම්බේ කියලා .ඉතින් ලෝකෙ කවුරුත් සුද්දට මුල්තැන දීල බොම්බේ , එහෙම නැත්නම් බොම්බාය කිව්ව මේ නුවරට ආයේත් එහි මරාති නම නිල වශයෙන් ආරූඪ කරන්නේ  1996 දී එවක ප්‍රබල දැඩි මතධාරී  දේශපාලන පක්ෂයක් වුණ ඉන්දියාවේ  ශිව් සේනා පක්ෂය. කැලේ මාරුවුනාට කොට්ටියගේ පුල්ලි වෙනස්වෙනවද ? ඒනිසා ඔන්න මමනම් කැමති අර පරන සිතියම් පොතේ තිබ්බ සුද්දා කිව්ව බොම්බාය කියන නමට . 



ඔය බහුබූත කෝලම් නටන පුංචිකාලේ කවදද හිතුවෙ හැබෑවටම බොම්බායට යන්න ?.ඒත් ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් දිහාවට මට එහේ යන්න වුනා .වෙලඳාමක් කරන්න නෙවේ හොඳ යාලුවෙකුට වෙච්චි පොරොන්දුවක් ඉටු කරන්න . ඇත්තටම ඒක වුණෙත් හරි අහම්බෙන් .මට යායුතුව තිබ්බේ අහමදාබාද් නුවරට රාජකාරියකට .ඒ යන්න වුණේ බොම්බාය හරහා .නියමිත දිනේට අහමදාබාද් වලට යන්න ගුවන් යානයක් වෙන් කරගන්න බැරි වුන නිසා ඊට දවස් දෙහෙකට කලින් අහමදාබාද් වලට යන්න මට සිද්දවෙලා . ඒ කියන්නේ දෙදොහක් නිකන් අහමදාබාද් වල රස්තියාදුවෙන්න වෙනවා .ඒ සති අන්තයක් . ඔන්න එතකොට තමයි මට ටිකිරි මොලේ පහලවුනේ .බොම්බායේ ඉන්න මගේ හොඳ යෙහෙලියකට කවදහරි එයාව දකින්න එනව කියලා වෙච්චි පොරොන්දුව ඉටුකරන්න මේ හොඳම වෙලාව කියලා . ඔය වග විස්තර කියලා   මේල් එකක් ස්වේතට ලිව්ව විතරයි සාදරයෙන් "මුම්බායට "පිලිගන්නවා කියලා මට පිලිතුරු  මේල් එකක් ලැබුණා .ඒ විතරක් නෙවේ මගේ
ලංකාවේ ට්‍රැවල් ඒජන්ට් සති අන්තයේ ඉරිදට බොම්බායේ ඉඳන් අහමදාබාද් වලට යන්න මගේ ගුවන් ගමන වෙනස්කරන්න ලොකු මුදලක් ගෙවන්න කිව්ව වෙලාවේ උදව්වට ආවේත් එයා . චීප් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් බුක් කරලා මාව ඒ කරදරෙන් ගලව ගත්තා .ඉතින් රාජකාරියට අහමදාබාද් ලට කලින්ම යන්නේ    නැතුව මම ට්‍රාන්සිට් ට්‍රැවලර් කෙනෙක් හැටියට ඔන්න ඔහොමයි අහම්බෙන් බොම්බායට ගොඩබහින්න පොටක් පාදගන්නේ . සිකුරාදාවක මහ රෑ බොම්බායට ගොඩබහින මගේ අරමුණ වුණේ හොඳම මිතුරියක් එක්ක අල්ලාප සල්ලාපයේ යෙදීමේ ප්‍රීතියත් පොඩි කාලේ හීනයක් වුණ ඉතිහාස පොතෙන් කියෙව්ව ලෝක සිතියමෙන් දැක්ක බොම්බාය කියන වෙලඳ නගරය දැක ගැනීමත් .


ගුවන් යානයෙන් ගොඩබැහැල සෙනග පීරන් ගමන් මලු දෙක බෙල්ට් එකෙන් ගත්ත මම ඉස්සෙල්ලම කලේ නොනිදා මම එනකන් මග බලන් ඉන්න මගේ මිතුරියට කෝල් එකක් දිල්ලා මම ගොඩබැස්ස වග දැනුම්දීම . මොබ්බායේ චත්‍රපති ශිවාජී ජාත්‍යන්තර ගුවන්තොට පැය විසිහතර පුරාම බොහොම කලබල කාරී ජනාකීර්ණ ගුවන්තොටක් . බොහෝ යුරෝපා ,මැද පෙරදිග , අප්‍රිකා , ඔස්ට්‍රේලියා රටවලට ගුවන් ගමන් ක්‍රියාත්මක වෙන මධ්‍යස්ථානයක් . සෙසු ඉන්දියානු නගර වල ගුවන්තොටවල් සමග සන්සඳනය කරද්දී පිරිසිඳු නවීන ගුවන්තොටක් .නමුත් රට ඇතුලේ ගුවන් සේවා ක්‍රියාත්මක වෙන ගුවන්තොට තියෙන්නේ මීට තරමක් ඈතින් . බොම්බායේ ඩොමෙස්ටික් එයාර්පෝට් එකෙන් ගොඩබහින මගියෙකුට ඉන්දියාවෙන් පිට රටක  ගුවන්තොටකට යන්න ඕනෙ නම් චත්‍රපති ශිවාජී ජාත්‍යන්තර ගුවන්තොටට මගීන් නොමිලේ ගෙනයන ගුවන්තොටුපොල බස් රථ සේවයකුත් තියෙනවා.


කලින්ම ස්වේතා ඊ මේල් එකකින් එවලා තිබ්බ උපදෙස් නිසා මේ පාර ගුවන්තොටෙන්ම ප්‍රී පේඩ් ටැක්සියක් සොයාගන්න ඒතරම් අමාරුවුණේ නෑ .වෙලාව රෑ එකොලහට විතර මම මරුටි කාර් එකක නැගිලා ගුවන්තොටේ ඉඳන් විනාඩි හතලිහක් විතර නුදුරෙන් තියෙන කාදිවාලි ඊස්ට් වල ඉන්න මගේ මිතුරියගේ නිවහනට යන්නයි කල්පනාව .ටැක්සි රියදුරා ටිකක් ඉන්ග්‍රිසි කතාකරන එක හිතට සහනයක් .

තමන් මුලින්ම ගොඩබහින ඔනෙම රටක් ,නගරයක් ගැන පලවෙනි අදහස පහල වෙන්නේ ගුවන්තොටකින් එලියට බැහැලා පාරදිගේ යනකොටනේ .මහ රෑ වීදි දිගේ ඇදෙන වාහනයෙන් එලිය බැලුව මට පෙනුනේ පුදුම දසුනක් .ඒ වීදි දෙපස , අගු පිල් වල , ගුවන් පාලම් යට හරියට සැමන් ඇහිරුව වගේ පැක් වෙලා එක පේලියට,එක යායට  නිදාගන්න මිනිස්සු සමූහයක් .එතකොටයි මට මතක්වුණේ බොම්බාය කියන්නේ ආසියාවේ දෙවැනි විසාල මුඩුක්කුව වුණ ධාරවි-Daaravi පිහිටලා තියෙන මිලියන 20 කට  අධික ජන ගහනයක් සහිත ඒවගෙම අවුරුද්දකට මිලියන 10 ක් විතර සංක්‍රමණිකයන් රැකියාවක් ,ජීවත් වෙන්න මාර්ගයක් සොයාගෙන එන තුන්වෙනි ලෝකෙ රටවල් වල අධික ජන ගනත්වක් තියෙන නගරයක් කියලා . මහපාරෙන් ජීව්තේ හොයන්න ආව මිනිස්සුන්ගේ සුව යහන වුනෙත් මහපොලව.

කරදරයක් නැතුව නියමිත ලිපිනයේ පිහිටි නිවාස සංකීර්ණයට ලඟා වුණ මම බෑග් දෙකත් උස්සන් විදුලි සෝපානයෙන්  හත්වෙනි මහලෙන් බහිනකොටම දැක්කේ මාව පිලිගන්න දුවගෙන එන මිතුරිය ස්වේතා .රෑ මැදියමක් වෙනකන් මම එනකන් එයා ඇහැරගෙන ඉඳලා ."අපරාදෙ කියන්න බෑ මේ ටී ජී ඉතින් යාලුවෙකුට පොරොන්දුවක් වුනොත් රෑ මැදියමේ හරි ඒක ඉටු කරනවනේ" කියල එයා මට විහිලුවකුත් කරලා ගමන් මලු දෙක අතට අරන් මගේ බර හෑල්ලු කලා . මට වෙන්කරල තියෙන කාමරයත් ,ඇඟ පත හෝදගෙන පිරිසිඳුවෙන්න නාන කාමරයත් පෙන්නුව ස්වේතගේ ඊලඟ ප්‍රශ්නේ වුනේ මගේ රෑ කෑම .කෑම කන්න තරම් පිරියක් නැති නිසා මගේ ඉල්ලිම වුණේ හොඳ උණු උණු චායේ එකක් . TG  Do you need Indian Tea ? ස්වේතා ආයෙත් අහලා සැක හැර දැනගත්තා .

මම නාලා පිජාම එකත් ඇඳන් කුස්සියට එද්දී   මගේ මිතුරිය ලොකු උස මග් දෙකකට චායේ හදාගෙන කුස්සියේ කෑම මේසෙට වෙලා බලන් ඉන්නවා . කරදමුංගු ,කරාබු නැටි ,එනසාල් , කුරුඳු ,එලකිරි , තේ කොල එකට උනු කරලා , ගානට සීනි දාලා හැදුව තේ එකේ සුවඳ එනකොට මගේ ගමන් මහන්සිය කොහේ ගියාද මන්දා . ආහ්.... මේ තමයි මම ඉන්දියාවෙදි බිව්ව මතක තියෙන හොඳම චායේ එක . ඒ චායේ සුවඳත් , මම එනකන් මග බලාගෙන හිටිය මගේ මිතුරියගේ ආගන්තුක සත්කාරයත් රෑ මැදියමේ දිග අල්ලාප සල්ලාපයකට මුල පුරන්න හොඳ පරිසරයක් නිර්මාණය කලා . අපි දෙන්නම එක වගේ ක්ෂේත්‍රයක වැඩකරන නිසාත් ටිකක් එක වගේම පිස්සු නිසාත්  කතාකරන්න ඕනෙ තරම් මාතෘකා තිබුණා . අහස උසට නැගුණ බොම්බායේ තට්ටු නිවාස සංකීර්ණයක හත්වෙනි මහලේ පුංචි කුස්සියක මේසෙ වාඩිවෙලා උණු උණු චායේ බොනගමන් අපි කතාකලේ ලංකාවේ සහ ඉන්දියාවෙ නූතන දේශපාලන ප්‍රවණතා ගැන . අපේ චායේ කෝප්ප හිස් වෙලත්  පුංචි කුස්සියේ වට මේස කතාව ඉවර නැහැ. වරක අපි ලෝක දේශපාලනේ ඉඳලා , මිනිස් අයිතිවාසිකම් හරහා හින්දු හා බෞද්ධ දර්ශනයේ  ඉගැන්වීම ගැනත් එයින් නොනැවතී ලංකාවේ ආහාර රටා ගැනත්  කතා බහ  කරමින් හිටියා . උයන්න පියන්න වගේම බුද්ධිමය ප්‍රිය සංවාදයටත් ගෑනු එකතුවෙන්නෙ කුස්සියට ද කියලා අපිට හිතිලා හිනාත් ගියා.මුලු නිවාස සංකීර්ණයම නිදිගත් එලිවෙන පාන්දර ජාමේ ඒ පුංචි කුස්සියේ හිනාව හා මිත්‍රත්වය ගලමින් තිබුණා .එදා උදේ පාන්දර හයට කොලඹට ඇවිත් නවයේ ඉඳන් ඔෆිස් එකේ වැඩ කරලා හවස හතරට ගුවන්තොටුපොලට යන්න පිටත්වෙලා තව පැය තුනක්  ගුවන්තොටේ ඉඳලා , ආයෙත්  දෙපැයක ගුවන් ගමනකින් පස්සේ රෑ මැදියමේ ඉඳන් පහුවදා එලිවෙන පාන්දර පහ වෙනකන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තරම් ශක්තියක් මට ඉතිරිවෙලා තිබුණා.රෑ මැදියමේ නිදිවරාගෙන පහුවදා පහන්වෙනතුරු මා එක්ක කතාබහ කරන්න ප්‍රිය මිතුරු සමාගමකුත් තිබුණා . ප්‍රියයන් හා එක්වීම සතුටක් කියන්නේ මේ වගේ හමුවීම් වලට වෙන්න ඕනේ  .

ප/ලි

බොම්බායේ රවුම් ගැහුව විස්තර පසුවට බලාපොරොත්තුවන්න 

Friday, September 9, 2011

හැඟුම් විසිර දස අතේ - ලැගුම් සොයයි හදවතේ







ගුවන් විදුලියේ මහ පිරිතෙන් නින්දට යන මගේ ආච්චී අලුයම අරඹන්නේ සෙත් පිරිත් දේශනාවෙන් හා උදා විකාශයෙනි .අද මෙන් අතෝරක් නැතිව තිස්පෑයෙම කියවන ගුවන්විදුලි නාලිකා එකල තිබුනේ නැත , මතක ඇති තරමින් තිබුණේ ස්වදේශීය සේවය හා වෙලඳ සේවයයි . මේ මගෙ ළමා කාලයේ අසූව දශකය ආරම්භයයි .සෙත් පිරිතට ගුලිවී නිදන  මම ඇහැරෙන්නේ උදා විකාශයේ දේශාභිමානී ගී සමගය.ඒ අතරින් එක ගීයක රාවය හා මදුර වූ ගැඹුරු හඬ කුඩා මගේ සිත් ගනී . එහි අරුත කුඩා මට නොතේරෙන මුත්  මට හිතෙන්නේ ආච්චී කියා දී ඇති ජයමංගල ගාථා තරම් ඒ ගීය ප්‍රබල බවයි .

"බුද්ධානු භාවේන සිත් මෙත් පහන් වී
මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොවුතුරා රශ්මි මාලා
හෙල දෙරණ ජන ජයතු ජය මංගලානී


   
තන්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා රුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙල දෙරණ ජන ජයතු ජයමංගලානී


හෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංශා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාසධාරා
හෙල දෙරණ ජන ජයතු ජයමංගලානී"




මේ ගීතය අසන විට  මගේ හිතපිරී යයි . අද හොඳ දවසක් වැනි සිතුවිල්ලක් එයි . ගීතය සමග පසුබිමින් ඇහෙන්නේ මගේ ලොකු මාමා රැවුල බාමින් මේ ගීය තාලය වරද්දමින් කියන හඬයි .යන්තම් පස් විය වත් නොඉක්මවූ ළදරු මට නන්දා මාලිනිය හොඳින මතකයට එන්නේ මෙලෙසිනි .හෘංගාවලී රාව, ක්ෂීර පායාස යනු මොනවාදැයි මා දැන ගත්තේ බොහෝ කාලෙකට පසුය.නමුත් අදත් මේ ගීය නන්දා ගයන විට මගේ බාල කාලයේ මතක ගැන ඉමිහිරි චිත්තරූප මැවේ .

නැවත මට ඇය මුණ ගැසෙන්නේ අනූව දශකයේ  මගේ ගැටවර වියේදීය .අතට අහුවෙන සියලු,පොත් , පත්තර කාවෙකු මෙන් කියවීමටත් හැම දෙයක් දෙසම සාධාරණයේ  , යුක්තියේ ඇහින් බලන්නටත් , නොමේරූ සිතින් අසාදාරණය , දුක , පීඩාව ප්‍රශ්න කරන්නටත් නන්දා විසින් ගැයෙන ගී මට අනුබලයක් වෙයි . ඇයේ කිඳුරියකගේ විලාපය , හේමන්තයේදී, පහන්කන්ද යන කැසට් පට (එකල සී ඩී පට නොතිබුණී ) මට අමයුරු විය . පවතින දේශපාලන ක්‍රමය ප්‍රශ්න කෙරුන මේ සමහර ගී ගුවන්විදුලියෙන් තහනම්ව තිබිණි . මේ කැසට් පට වල ගීත මට පටි ගතකර අහන්න දුන්නේ නන්දාගේ හද බැඳි රසිකයෙක් වූ දැන් සැට වියට ආසන්නව කල් ගෙවන මගේ ලොකු මාමාය . 

යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න 
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන් 




ලොකු අය්යලා අක්කලාගේ" කොලඹට කිරි අපට කැකිරි" කතා ඇහුණ , පාර දෙපස දර සෑ වල පිලිස්සෙන යන්තම් දැලි රැවුල් වැවුණ අය්යලාගේ මල සිරුරුත් දුටු එකල මේ ගීය තරමක විප්ලව කාරී අදහස් හිතට දුන්නා මතකය .සාධාරණය හා අසාධාරණය ගැන අදටත් මේ ගීය නිසා ඉතිරි වූ හැඟීමක් හිතේ ඇත .ඉන් නොනැවතී දිවයින පුවත්පතේ පලවූ ඇඹිලිපිටිය සිසුන් අතුරුදහන් වීමේ නඩුව අකුරක් නෑර ඉවර වෙන තුරු කියවූ අයුරුත් මතකය .පද නිවැරදිව මතක නැතත් හේමන්තයේදී කැසට් පටයේ වූ ධනපති පන්තියට නිගා කල (දැන් මම ධනපති පන්තියට කඩේ යමි )"කොලඹ හතේ , කුරුඳුවත්තේ ,බංගලාවේ,බිතෝවන්ගේ වාදනයක් ,පියානෝවකින් වයන් පුස්ඹ ගහන ලමිස්සියට" නන්දා කියන්නේ මේ සියලු සැප සම්පත් උපදින්නේ ඇගේ තාත්තාගේ තේවත්තේ දල්ලට යටවූ දහදියෙන් බවයි .සමාජවාදී සිහින බැලූ ලොකු වැඩ කරන්න දැඟලූ අපි වැනි පොඩි වුන්ට මේවා විප්ලවය අවුලුවාගන්න හොඳ ගිනිදැල් විය . නන්දාගේ තවත් ගීත සොයන්නට මේ විප්ලව ගී ඉවහල් වුනි . අලුත් ආරකින් ලෝකය දෙස බලන්නට කියාදුන් ගීත ගොන්නට පසුව මේවාත් එකතු වුනා මතකය .

"මිරි වැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා "

"උඬඟු ලිඅයන් ගොතා බඳින
 නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ"

"වහින්නට හැකිනම් මේඝයක් වී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසෙන් "

"දුප්පත් කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එන දා"

"චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් 
දූ සනහන්නට ගීත ගයනවා
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ"

"හන්තාන අඩවියේ -සුදු කුලුණු
මැදුරු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයෙ සුලඟ නොවේ" 


විප්ලවයේ දිග පලල නොදත් මුත් මිනිසුන්,ගැහැණුන් හා සමාජ ප්‍රශ්න දෙස දයාර්ද්‍ර සිතින් බලන්නත් මතු යම් දවසක කාගේ හෝ හඬන දෙතොලග සිනාවක් වෙන්නත් උවමනා මනුස්සකමේ (සර්ව සාධාරණ යුටෝපියානු මිනිසා නොවන වග සලකන්න ) මුල් පාඩම් හිතේ තැන්පත් වෙන්නටත් මේ ගී බලපෑවා යයි සිතමි.

ටික කාලෙකින් මගේ විප්ලව සිහිනයේ රැස් වියැකී ගොස් 'අරලිය ලන්ද්ට හඳ පායා, තුරුලිය මල් වට බඹරු බමන " කාලය එලැඹුනි .විප්ලවයේ සැර බාල වුනත් "ගෙඩි සීයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි ,අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ"ලෙස ඈ ගැයුවාය .නන්දාට ගැයුමට බොහෝ මධුර මනෝහර පද වැල් ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ඩෝල්ටන් අල්විස් සූරීන් විසිනි ."අරලිය ලන්ද ගයමින්"නන්දා අලුත් යුගයකට ආවගක් මතකය .ඒ,එකල නවක ගී රචකයන්ගේ ගී කැසට් පටයකට ගැයීමයි.නන්දා විසින් අතීතයේ ගැයූ බොහෝ මිහිරි පදවැල් මිහිරෙන් මිහිරට පත්ව ඇසූ කාලයක් ඉන් ඉක්බිති උදාවිය . 





"හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා"

"ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්දකාරේ
ඔබයි සෞම්‍ය තරු එලිය ගිම්හාන කාලේ
සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගෙන්"

"සාරි පොඩිත්තක් ඇඳගෙන
මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී
කතා කරල මංගල්ලේ නියම කරාවී"


ඔය හැම ගීයකටම වඩා "දියමන්තිය" චිත්‍රපටියේ  මේ ගීය ඇහෙන විට මට  වලාකුලක් සේ  නිදහසේ   රීඩ් මාවත උස් තුරු හිස් , තණ පිටි ,විද්‍යාල මන්දිරය උඩින්   පියඹා යන්නට  සැහැල්ලුවක්,සතුටක් හිතේ  ඇතිවේ


"යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලාබසිනු මැන
නිරන්තරේ සිනා සිසී"


 




ඔය අතරේ කැඩුන, බිඳුන , වියැකුන ප්‍රේම පුරාණ ගැනත් සින්දු ඇහුවා මතකය .

"මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වලල්ලෙන් එහා රටේ අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්"

"තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි කියවෙන මහ රෑ"

"කඩ මංඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොලුවෙලා අපී
දාහක් දේ තිබේ කිමට බැරුව නිති"


ටිකක් කල් යන විට  එලිවිස් ප්‍රෙස්ලි , බ්‍රයන් ඇඩම්ස් , නීල් ඩයමන්ඩ්, බීටල්,ජොනී කෑශ්, නෝරා ජෝන්ස්  තාගෝර් සංගීතය , යනී, ලතා මංගේශ්කර්, රාෆි වැඩි වැඩියෙන් අහන්න ගත් නිසා නන්දා ගේ ගීත අහන්න තිබූ උවමනාව අදු විය . අරලිය ලන්දට පසු "කිරි මදුවැල්" හා "දුර පේන තැනිතලා" නමින් ගී තැටි දෙකකට ජන ගී හා පැරණි ජනප්‍රිය ගී ගයන්නට  නන්දා පෙලඹුන මුත් ඒවා මගේ හිත් ගත්තේ නැත .

ආයෙත් නන්දා ගැන මගේ මතක අලුත්වුණේ දැන් දෙවසරකට පමණ උඩදී දිනෙක මගේ මිතුරෙකු විසින් පෙන් ඩ්‍රයිව් එකට කොපි කර දුන් ඇගේ පැරණි ගී සමුච්චයක් නිසාවෙනි .ඒ අතරින් ගී කීපයක් බොහෝසෙයින් මගේ සිත් ගත්, නිරතුරු වැඩෙහි යෙදෙමින් අසන ගී බවට පත්වී ඇත .නිදි වරමින් වැඩ කරන සමහර අලුයම් හා රාත්‍රීන් ගෙවදමන්නට මේ ගී උදව් වෙයි

"නිම් වලල්ලෙන් එපිට සඳ රැස් ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුලින් මතුවී ඔබේ පා මුදු හඬ අසේ

දහස් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ

අහස් ගඟ බඩ හිමවු කුලු මත ඔබේ රන් මිනි තලාවේ
පහන් දල්වා තමනු මැන මා නිදන කුටියට පෙනෙන සේ"


 



නිම් වලල්ලෙන් ගීය මා මුලින්ම ඇසුවේ වැසිදිනෙක ගාලුපාරේ අහුන්ගල්ල ගඟ පසු කරමින් වාහනයේ තනිව යන විටයි . වැහි අඳුර , නොකඩවා වැටෙන වැහිබින්දු , හාත් පස පාරේ වූ පාලු ගතිය , අඳුර කපාගෙන යන වාහනයේ ලාම්පු එලියත් සමග මුසු වූ මේ ගියේ අරුත හා නන්දාගේ මියුරු හඬ මගේ හිත පැහැර ගත්තේය .මග දෙපස පාලු ස්වභාවය "දෙනෝ දාහක් මැද මහා තනිකමක් හිතට  ගෙනා  අයුරු මතකය . අදටත් "දෙනෝදාහක් මැද තනිවුනා" යයි හිතන හැම විට මම අසන්නේ මේ සින්දුවයි

 
 



"හැඟුම් විසිර දස අතේ - ලැගුම් සොයයි හදවතේ
දෑස මුණ ගැසී දෑසට -ඉරණම දුටුවා
වලාකුලක් නැති අහසක් ඈතින් දුටුවා

අලුයට සැඟවෙන වසන්තයේ - ගිනි පුපුරින් මල් පුබුදනවා
ලෙන් දොර හමුවේ රන් තරු පායා - ආදරයේ මුතු අමුණනවා"



 
ඔය සින්දුව ඇහෙන හැම විටකම ආයෙත් රීඩ් මාවතේ ඇහැල මැයි- මල් පාවඩ එලන ජුනි -ජූලි කාලයට   ඇවිදයන්න හිතේ. හිත නිකන් දඟකාර ගතියක පැටලුණ මන් මත් ස්වභාවයක් ගනී .

 නන්දාගේ මට ලැබුණ ගී එකතුවේ මා මින් පෙර කිසි දිනෙක අසා නැති මුත් ඉතා මියුරු ගීයක් සොයාගන්නට ලැබුණි .ඒ


"ආදරේ මල් මැලවෙන ගිනි ඇවිලෙන ගිම්හානේ
කවුරුද වසන්තයේ සිහිලස මෙහි ගෙන ආවේ
කඳුලින් පවස නිවාගත් දෙතොලග සිනහ කුසුම්
ගිරගින් ගිරග රිදී ජල ධාරා රඟන රැඟුම්
රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ
ජයදේව ගයයි ගීත ගෝවින්දේ"


හැත්තෑව දශකයේ අතරමංවූ  තාරුණය වූ මගේ ලොකු මාමාගේ පරපුරත් , විවෘත ආර්ථිකයෙන් පසුව  බිහිවන පලමු පරපුර වී  , නියෝ ලිබරල් වාදයට තල්ලුවුන දෙලොවක් අතර සිටින (තාමත් කැඩුන බිඳුන විප්ලවයේ සුන් බුන් සිහින අතර තනිවුණ ,නියෝ ලිබරල් අධ්‍යාපනයේ හා රැකියා අවස්ථා වල යහ ප්‍රථිපල භුක්තිවිඳින ඒත්  තරමක් ඕල්ඩ් ෆැෂන් )මගේ පරම්පරාවත් පිනවන්න සමත් මධුර , මනෝහර , රසපූර්ණ ගී නන්දා මාලිනිය ගයා ඇත. එසේම ඇයට හිමි ස්වර පෞරුෂය , ලායන්විත විටෙක ගාම්භීර හඬත් සිත් පැහැර ගනී .ඇය කෙතරම්  වියපත් වුවත් හැමදා මා දකින්නේ  මගේ ලමාවියේ "බුද්ධානු භාවේන ගීය "ගැයූ නන්දා මාලිනියම යයි මට හිතේ .

බාලවියේ දැන හඳුනාගත් නන්දාගේ හඬ හා රස අමතක කල නොහැක . මම යලිත් ඇය රස විඳිමි . ශ්වේත . රාත්‍රිය නම් වූ ප්‍රසංගය සමග ඇය යලි වේදිකාවට එන වගක් මම පුවත් පත් වල කියෙව්වා මතකය . නමුත් ජීවිතයේ විවිධ යුගයන්හි මා ප්‍රිය කල ගී එහි ඇත්දැයි නොදනිමි . එහෙත් ඇගේ මදුර ගී රාවය මට ප්‍රියවෙයි . ඒ හඬ සමග මගෙ ජීවිත්යේ තුන්වැනි යුගය ගෙවමි.මා ප්‍රිය කරන සමහර ගී නන්දා ගයන්නට ඇත්තේ අප උපදින්න  පෙර විය යුතුය . විවිධ සංගීත රටා සමග අද ගුවන්විදුලි ,රූපවාහිනී නාලිකාවල නිරතුරු ඇගේ හඬ අහන්නට නොලැබේ . එහෙත් නන්දා මාලිනීගේ  ගී සමග ජීවත්වූ මතකයක් මට ඉතිරිව ඇත .

එසේ තමන්ගේ ගී සමග නොමැකෙන් මතක ගොන්නක් රසිකයන්නට දෙන්නට හැම ගායකයෙක්ම /ගායිකාවක්ම සමත් නොවේ 



ප\ලි

මේ සටහනේ අරමුණ නන්දා මාලිනිගේ ගී ගැන ශාස්ත්‍රීය විචාරයකට වඩා දශක කීපයක් තිස්සේ යුග දෙකක රසිකයන් නියෝජනය   කරමින් ඇගේ ගී මග  සමග බැඳුන මගේ මතක කිපයක් කීම පමණකි .එනිසා විටින් විට නන්දා ගමන් ගත් ගී මග , කල කී දෑ හොඳ ද, නරකද යන්න මම  මෙහි විවේචනය නොකරමි .මෙහි සටහන් ගී පද මාලා මතකෙන් ලියූ ඒවා නිසා අඩුපාඩු ඇත්නම් සමාවෙන්න

Saturday, September 3, 2011

ලහෝර් හල්වා ඇන්ඩ් මයි මැටර්නල් ලින්ක්ස් ටු ලහෝර්


ට්‍රේනින් එක පටන්ගත්තට පස්සේ නම් කිසිම රස්තියාදුවක් ගහන්න වෙලාවක් තිබුණේ නෑ.කාල සටහනේ විදියට උදේ නවයට වැඩ පටන් අරන් හවස පහට දේශන ඉවරවෙන්න තිබුණත් හතහමාර විතර වෙනකනුත් සමහර වටමේස සාකච්ඡා තිබුනා. War Against Terrorism , Affirmative Actions and Minority Rights , Cultural Rights වගේ දාලා යන්න ලෝබ රසවත් මාතෘකා නිසා එකක්වත් කට් කරන්න කාටවත් ඕනෙ කමක් තිබුණේ නෑ.ඊට අමතරව රෑට යම් යම් ලිපි , පොත් පත් කියවන්නත් තිබුණ නිසා හැමදාම ටිකක් වෙහෙසකර දවසක් වුණා.හතරවෙනි දවස වෙනකොටනම් කාටත් හරි මහන්සියි .ඒ බව තේරුණ නිසා අපිට උගන්වමින් හිටි මහාචාර්ය වරු දෙන්න තීරණය කලා හරියට හවස පහට දේශන නිමා කරලා අපිව නිදහස් කරන්න.එදා සති අන්ත සෙනසුරාදාවක් .අපි කාටත් බලාපොරොත්තු නොවුන වෙලාවක පොඩි දීමනාවකුත් ලැබුණා .අපේ ඉන්සිඩෙන්ටල්ස් වලට නියම කරලා තියෙන සල්ලි වලින් බාගයක් .වෙලාවෙ හැටියට ඒකත් වටිනවා .කවුරුත් කතා කලේ නුදුරින් තියෙන 'සාකේත්" වලට මෙට්‍රො බස් එකෙන් ගිහින් , ෆිල්ම් එකක් බලලා ,හොඳට කෑම කාලා , රාත්‍රී අවන්හලකට ගිහින නටලා විනෝදවෙන්න . සාකේත් සති අන්තයේ විනෝදවෙන්න එන උදවිය වෙනුවෙන්ම කැප වුණ අවන්හල් , සිනමා ශාලා , සමාජසාලා තියෙන පැත්තක් . මට ඉතින් ඕනේ කොහේහරි කලබල නැති තැනකට වෙලා පාඩුවේ මසාලා තේ එකක් බීල කයිවාරුවක් ගහන්න නිසා සාකේත් නඩේට එකතුවෙන්න කැමැත්තක් තිබුනේ නෑ.ඒ නිසා මම නැවතුනා . ටිකවෙලාවකින් මගේ රූම් එකට කෝල් එකක් එනවා රබියගෙන් 

"TG Are you going to Saketh ?"
No , I am not interested
Then why dont we go out and have dinner ?

නියම අදහස . හෝටල් ආලින්දයෙන් විපරම් කරලා අපි තීරණය කලා  ඊට නුදුරෙන්ම පයින් යන දුරින් තියෙන "ඇම්බියන්ස්" ශොපින් මෝල් එකට යන්න . අපි දෙන්න පයින්ම කයිවාරුවක් දාගෙන කිලෝමීටරයක් විතර ඇවිදගෙන ගියා . ඇම්බියන්ස් කියන්නේ ඉන්දියාවේ ධනවත් මධ්‍යමපාන්තිකයන්ගේ අඳුම් , පැලඳුම් ,ජීවන රටාවෙ උවමනා එපා කම් සපුරන්න තියෙන සුපිරි සාප්පු සංජීර්ණ ජාලයක් . විදුලි එලියෙන් ආලෝකවත් වුණ   Marks & Spencer , Pantaloon , Diesel ,     වගේ       බ්‍රෑන්ඩඩ් ශොප් වල උදාරම් ලීලාවෙන් ගැවසෙන ඉන්දියානු මධ්‍යම පන්තිය (Elite Class /upper middle class) සුලබ දසුනක්. මේත් ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ තවත් එක පැත්තක් . ගන්න අතේ සල්ලි නැතත් වටින කියනා හෑන්ඩ් බෑග් ,අඳුම් ,පැලඳුම් දිහා බලමින් යන එකත් සතුටක් .ඔහොම ගිහින් නැවතුනේ පොත් හා සී ඩී පටි සාප්පුවක .එතැනින් අපි දෙන්නම ගසල් ගී තැටි කීපයකුත් , සිල් සිලා වගේ පරණ හින්දි චිත්‍රපටි සින්දු එකතු තියෙන ගී තැටිත් අරගෙන හල්දිරාම් එකට ගියා රෑ කෑමට . ඉන්දියන් තාලි දෙකකුත් ඕඩර් කරලා යන එන මිනිස්සු දිහා බල බල මසාලා තේ බි බී අපිදෙන්න කයියක පැටලිලා .

"ටී ජී කවදද පාකිස්ථානෙට එන්නේ ?"
"හ්ම් ..ඒකනම් ටිකක් හිතන්න වෙනවා "
"ඒ මොකෝ "
"අපේ ඔෆිස් එකෙන් දෙන සිකියුරිටි අප්ඩේට් වලට අනුව පාකිස්ථානේ සංචාරයට ඒ තරම් ආරක්ෂිත තැනක් නෙවේ. ගිහින් ආව යාලුවොත් කියන්නේ ඉස්ලාමාබාද් කියන්නේ පාරේ ඇවිදගෙන යන්න තරම් වත් හොඳ තැනක් නෙවේ කියලා."
"ඒ වගේම පාකිස්තාන් වීසා එකක් පාස්පෝර්ට් එකක තියෙන එක ටිකක් කරදරයි විශේෂයෙන් බටහිර රටකට වීසා එකක් ගනිද්දී ඒක සැකයට කාරණාවක් .ඉන්දියන් වීසා ගන්න ගියත් එහෙමයි."
මම ටිකක් සැක මුසු විදියට කිව්වා .


"හ්ම් ..ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ආයතනවල ඉහල නිලධාරීන් පාකිස්ථානය ගැන දෙන්නෙ ඔහොම නිල නිවේදන තමා .නමුත් ටී ජී දන්නවද කිසිම ඇමෙරිකානුවෙක් , බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පාකිස්තානය දාලා යන්න අකමැති වග .ඒක තමා ලෝකෙට නොපෙන්වන ඇත්ත කතාව .එයාලා ඔක්කොම තමන්ගේ පවුල් පිටින් පකිස්තානේ සෙට්ල් වෙලා ඉන්නේ .මම ඉස්ලාමාබාද්වල නැවතිලා ඉන්නේ තනියම.මට කිසි කරදරයක් වෙලා නෑ. ලංකාවෙ කොලඹ බෝම්බ පුපුරද්දී ඔයාලා ජීවත්වුනේ නැත්ද .තාම මගේ අම්මයි තාත්තයි ඉන්නේ පෙශාවර් වල ඇෆ්ඝාන් මායිමේ . ඔය කියන තරම් අපි නපුරු ත්‍රස්තවාදියො නෙවේ .ඔයා එන්න දවසක අපි ටක්ෂිලා , ලහෝර් , පෙශාවර් බලන්න යමු . ලහෝර් වල අනර්කලී මාර්කට් එක හරි ලස්සනයි . ඉස්ලාමාබාද් වීදි දිගේ යද්දි ඔයාට දකින්න පුලුවන් හවසට පාරේ නාන් කඩ වල නාන් හදන මිනිස්සු . මම ඔයාව හැම තැනම ගෙනියන්නම් "

හරි එහෙනම් මම එන්නම් . මම රබියාට සුහදත්වයේ  අතක් දිගු කරමින් කිව්වා කතාවෙන් කතාවෙන් වෙලාව රෑ ද
යාමාර විතරවෙලා දන්නෙම නැතුව.අපි ඉක්මනට කෑම කාලා හල්දිරාම් එකෙන් සෝන් පපඩි පැක් හතරකුත් අරන් යන්න ලෑස්තිවුනා. සාප්පු සංකීර්ණයේ ගොඩක් සාප්පු වහලා සේවකයො ගෙදර යනවා . ගණුදෙණු කාරයොත් තමන්ගේ සුපිරි වාහන වල නැගිලා යන්න පිටත්වෙනවා .ඔන්න එතකොට තමයි අපිට මතක්වුණේ හෝටලයට යන්නෙ කොහොමද කියලා . ලඟම තියෙන ත්‍රීවිල්ල් පාර්ක් එකට ගිහින් විපරම් කලා.එතැන ඉන්නෙ මහ ත්‍රාඩ පෙනුමක් තියෙන කොල්ලො ටිකක් . තරමක් අහිංසක පෙනුමක් තියෙන පොඩි කොලුවෙක් එක්ක කපශේරා වලට යන්න ගණුදෙනුව කතාකරනකොට මෙන්න අනිත් ත්‍රාඩයො රැල අපි වට කරගෙන එකෙක් අර කොලුව තල්ලු කරලදාලා මැඩම් කම් හියර් කියනවා .රබියටයි මටයි ආයෙ යකා නැගලා හින්දියෙන් ,ඉන්ග්‍රිසියෙන් බැන බැන අපි යන්නෙ අපිට ඕනෙ ඩ්‍රයිවර් එක්ක කියලා අර පොඩි කොල්ලට හයර් එක දුන්න .

යාන්තම් කපුටො රැලෙන් බේරිලා යද්දි ආයෙ තව ලොකු ප්‍රශ්නයක් .මේ කොලුවට ලයිසන් තියෙන්නෙ හරියානා වල විතරක් ටුක් ටුක් එලවන්න . කපශේරා, හරියානා මායිමෙන් එපිට දිල්ලියට අයිති. රෑ දහයෙන් පස්සේ මායිම පැන්නොත් කොල්ලට දඩ කන්න වෙනවා .ඒ නිසා අපි මග දාල යන්න මිනිහගේ ලෑස්තිය .මදැයි හයර් එක දීලා අපිට වුණ වැඩේ .ඒ මදිවට හරියානා සීමාව ඇතුලේ  පොලීසියට අහුවුනොත් අපි දෙන්නම ගස් .රබියගේ පොලිස් රෙජිස්ට්‍රේශන් අනුව එයාට ඇවිදින්න අවසර තියෙන්නෙ දිල්ලි සීමාවේ විතරයි .ඒ මදිවට වැස්සකුත් එනවා .මහපාරේ මග බැස්සොත් ෂුවර් පොලීසියට අහුවෙන්න ඉඩ වැඩියි. පුලුවන් තරම් ඉක්මනට අපිව දිල්ලි මායිමේ ත්‍රී වීල් පාර්ක් එකට දාන්න කියලා කොල්ලට  යනකන් තර්ජනය කෙරුව එක තමයි අපි කලේ .කොහොමහරි දිල්ලි මායිමට ආවම තමා ඇඟට ලේ ඉනුවේ . වෙලාව එකොලහ පැනලා .එතැන පාර්ක් එකෙ රියදුරො වාහන පාර්ක් කරලා නිදි .යන්තම් එක්කෙනෙක් නැගිට්ටවගත්තා . වැස්සත් තදයි.මිනිහා අවස්තාවෙන් ප්‍රයෝජන අරන්  රුපියල් සීයක් ඕනෙ කියනවා හයර් එක යන්න .අපි තව අමාරුවෙ වැටෙන්නෙ නැතුව ඒ ගානට කැමතිවෙලා හෝටලේට එනකොට රෑ මැදියමට ආසන්නයි .

අපේ සාකේත් නඩේ තාම ඇවිත් නැහැ. මගේ රූමිත් එයාල එක්ක ගියා .ඇවිත් ඇඟපත හෝදගෙන පිජාමා එක දාගෙන ටී වී බලන්න ලෑස්තිවෙනකොට ආයෙත් රබියගෙන් කෝල් එකක් . 


"ටී .ජී මම තේ හදන්නයි ලෑස්තිය ,ලහෝර් වලින් ගෙනාව හල්වා තියෙනවා .එනවද 215 "? .
"මරු අදහස , මම ශ්‍රී ලංකන් තේ අරන් එන්නම්" .ඔන්න අපි ආයෙත් 215ට වෙලා සාකේත් ගිය රූමලා එනකන් තේ බොන්න ලෑස්තිය .


ඒ එක්කම 215 දොරට කවුදෝ තට්ටුවක් දානවා . දොර ඇරලා බැලුවම අපේ ඉන්දියානු මිතුරිය මම්තා .

"මගේ රූමිත් සාකේත් ගියා .එයාලා තාමත් නෑ. 215 ඔය දෙන්නගේ සද්දේ ඇහුණ නිසයි ආවේ . මාත් හිටියෙ හරි කම්මැලිකමින් .එන්නද ඇතුලට?" .එයා කියවගෙන යනවා .

"එන්න එන්න .ලහෝර් හල්වා එක්ක ශ්‍රිලංකන් තේ තියෙනවා "කියලා රබියා එයාට හල්වා පෙට්ටිය දුන්න .

"ඕ ලහෝර් හල්වා" ...මම්තා ඇඳ උඩ ඉඳගෙන රසවිඳින්න සූදානම . ඒ අතර එයා මා දිහා බලලා අහනවා "ටී .ජී ආර් යූ අ පාකිස්තානි ? "කාට කියන්නද මේවා.මම්තට මම ආව රටත් මතක නැතිවෙලා

මාත් ටිකක් කල්පනාකරලා මෙහෙම උත්තර දුන්න
"No I am from Sri Lanka.But i have very close links to Pakistan   .Thats what i was talking with Rabia . "
"ඒ කොහොමද ? "මම්තා ඇස් ලොකු කරගෙන මා දිහා බලනවා .රබියත් පුදුම වෙලා මම මේ නටන්න යන නාඩගම මොකද්ද කියලා .
මම දැන් කතාව කියන්න ලෑස්තිය .මම්තා තේ කෝප්පේ තොලගාමින් ඇඳ උඩ එරමිණියා ගොතාගෙන හරි බරි ගැහුනා කතාව අහන්න .

"මෙන්න මෙහෙම . මගේ තාත්තා කොලඹ ලොකු බිස්නස් පවුලක කෙනෙක් .එයාලගේ ගෙවල් තිබුනේ මරදාන කියන හරියෙ . ඒ පැත්තේ වැඩි දෙනෙක් බොහොම සල්ලිකාර බිස්නස් කරන මුස්ලිම්වරු .මගේ තාත්තගේ පවුලේ උදවිය මේ අයත් එක්ක බොහොම යාලු මිත්‍ර කමෙන් තමයි ඉඳලා තියෙන්නෙ .කොටින්ම මගේ සීය එයාගේ නෑදෑයො තරමට ලඟින් අසල්වැසි මුස්ලිම් පවුලේ ෆසාල් මහත්තයව ආස්සරේ කරල තියෙන්නෙ . ෆසාල් මහත්තයට පාකිස්තානෙ නෑයො ඉඳල තියෙනවා .මගේ අම්මගේ තාත්ත එයාගෙ මස්සිනා කෙනෙක් . මගේ අම්මගේ පවුලේ උදවිය එක්ක අම්මගේ තාත්තා එනවා එයාගේ මස්සිනා බලන්න කොලඹ බිස්නස් වැඩකට ."

මම කතාව කියවගෙන යනවා .රබියා ඇඳ විට්ටමට හේත්තුවෙලා කොට්ටෙන් මූණ වහගෙන හිනාව එලියට පනින එක වලක්වන්න .මම්තා බොමොම කුතුහලෙන් මාදිහා බලන් ඉතින් ඉතින් කියනවා.

"ෆසාල් අංකල්ගේ ගෙදරට ආව එයාගේ නෑදෑයෝ අපේ සීයත් හඳුන්වලා දීලා . අසල්වැසියො නිසා කවුරුත් ඉක්මනට සුහදවෙලා . ඔහොම තමයි අපේ තාත්ත අපේ අම්මව දැකලා තියෙන්නේ .මේ 1979 විතර . දෙන්නම තරුණයි.අම්ම හරි ලස්සනයි. ඉක්මනට යාලුකම ප්‍රේමෙකට පෙරලිලා ."

"ඔහ් හව් ස්වීට් ටී .ජී" මම්තා කියනවා

"ස්වීට් නෙවෙ ඊට පස්සෙ මෙක දැනගෙන ගෙවල් දෙකේම උදවිය යුද්ධ ප්‍රකාශ කරලා .මගෙ අම්මගෙ තාත්තා එයාගෙ ඔක්කොම කොලඹ බිස්නස් වැඩ  අතරමග දාලා අවුරුද්දක් ඉන්න ආවත් මාස තුනෙන් පාකිස්තානෙට යන්න ලෑස්තිවෙලා .මේ වෙනකොට ගෙවල් දෙකෙන්ම අම්මටයි තාත්තටයි තහංචි දාලා මුණ ගැහෙන එකට .අම්ම ෆසාල් අංකල්ගේ ගෙදර වැඩකාර කොල්ල අතේ තමයි ලියුමකින් පාකිස්තානෙට යන විස්තරේ තාත්තට කියලා තියෙන්නෙ . කොහොමහරි තාත්ත නිකං ඉඳලා නෑ.එයාගෙ යාලුවන්ගේ උදව්වෙන් යන දාට කලින් දා රෑ අම්මව පන්නගෙන එක්කන් ගිහින් කසාදබැඳලා .දෙන්න පැනල යන්න කලින් ගෙවල් වලට ලියුම් දෙකක් ලියලා තියලා ගිහින් තියෙන්නෙ .සීයල දෙන්නටම හොඳටම තරහ ගිහින් මේ වැඩේට .දෙන්නම පවුල් වල දරු කමින් එලවලා .කිසිම දේපොලක් දීල නෑ. මගෙ අම්මගේ පවුලේ අය හරි දරුණු තීරණයක් අරන් තිබුණා එයාට ආපහු පාකිස්තානෙට පය තියන්න බැරි විදියට .ඒත් අම්මයි තාත්තයි අදහිරිය වෙලා නෑ.කොහොම හරි ජීවිතේ පටන් අරන් .තත්තගේ යාලුවො එයාට උදව් කරලා . එයාලගේ ආදරේ වෙනස්වෙලා නෑ මොන කරදර තිබුණත් .ඒකෙ ප්‍රථිපලයක් තමයි මම ."

ඔන්න එතකොට තමයි මම්තා ඉහලට ගත්ත හුස්ම පහල දැම්මේ.

"හව් ස්වීට් ටී ජී යුවර් මදර් ඉස් අ ග්‍රේට් වුමන්. යුවර් ෆාදර් ඉස් අ ග්‍රේට් ලවර් .ගොඩ් බ්ලෙස් දෙම්.ඉට් ඉස් ලයික් අ බොලිවුඩ් මූවී ටී ජී." මම්තා කියනවා .

රබියා තාම හිනාව විකාගෙන .මමනේ දන්නේ මේක ගජබින්නයක් කියලා .

"ටී ජී ඔයා මොන ආගමෙද ?, ඔයාගෙ අම්මට ලේසි වෙන්න නැතුව ඇති නේ ලංකාවට හුරු වෙන්න තනියම?" ආයෙත් මම්තා අහනවා

"ඔවු මුලින් ගොඩක් අමාරු වුණාලු තනියම කාගෙවත් උදවු නැතුව ,භාෂාව දන්නෙ නැතුව ජීවත් වෙන්න .ඒත් එයා ටික ටික සිංහල ඉගෙනගෙන . මගේ ආගම ගැන නම් මම දන්නේ නෑ. අම්ම ගාව කුරාන පොතක් තියෙනවා තාම .එයා ඒක් කියවනවා .ඒත් පල්ලියේ ප්‍රෙයාර්ස් වලට නම් යන්නේ නෑ.අපි ඉගෙන ගත්තේ බුද්දාගම .ආගම් ගැන බලපෑමක් අපිට නෑ. රාමසාන් වලට නම් අම්ම රස කෑම උයනවා තාමත් ".යන්තම් ඒ ප්‍රශ්නෙන් ගැලවුණා .

"හ්ම් ඒක ඇත්ත , දෙය් ආර් ග්‍රේට් ලවර්ස් . ගෝඩ් ඉස් ඕල්වේස් විත් දෙම් ".මම්තා කියනවා .

පොඩි බොරුවක් නෙවේ මාත් කිව්වේ .

"අම්මාගේ ගම ලහෝර් වල .එයා දැන් කාලෙක ඉඳන් ගෙදර අය ගැන මතක් කරනවා මම රට යන හැම වෙලාවෙම .මම හිතන්නේ සීය එයාට සමාව දීල ඇති දැන් .දවසක අම්මගේ ගමට ගිහින් නෑයො බලන්න තමයි මාත් හිතන් ඉන්නෙ ".

ඔන්න යාන්තන් මගේ ගජබින්නාලංකාරෙ ඉවර කලා .දැන් රබිය කතා කරනවා

"ඔවු මගේ තාත්තත් ලහෝර්වල .ටී .ජී කිව්ව එයාගේ අම්මලගේ පවුලේ විස්තර මම හෙටම තාත්තට ඊ මේල් කරල බලනවා තොරතුරක් හොයාගන්න ".

"බලන්න ආදරයක් ගියදුර .මේ ආදර කතාව ඉන්දියාවෙදි පාකිස්තානුවෙකුයි , ඉන්දියානුවෙකුයි එක්ක ලහෝර් හල්වා කාලා ලංකාවේ තේ බොන ගමන් ටී ජී ට කියන්න වුන එකත් හරි ලස්සන දෙයක් නේද ?". රබියට කාව්‍යමය සිතුවිලි පහල වෙලා .

කතාවෙන් කතාවෙන් තේ කෝප්ප කීපයක්ම හිස් වෙලා හල්වා පෙට්ටියත් ඉවර වෙලා තිබුණා .මම්තා එයාගේ කාමරේට යන්න නැගිට්ට

"ටී ජී මම හෙට අපේ යාලුවො ඔක්කොටම කියනවා ඔයාගේ ලහෝර් අම්ම ගැන . අපි දකුණු ආසියාවේ මිනිස්සු නොදන්නව වුණාට ඉහත ආත්ම වල නෑදෑකම් තියෙන්න ඇති ගොඩාක් .මේක හරි ලස්සන ආදර කතාවක් .ඔන්න මම්තා හැඟීම් බර වෙලා කියනවා" .

 මම්තා අපෙන් සමු අරන් එලියට ගිය හැටියෙම රබියාත් මාත් ඇඳට කඩාගෙන වැටිලා එකා උඩ එකා පෙරලෙමින් හිනාවුණා වරුවක් විතර .

පහුවදා අපේ අනික් යාලුවො ඔක්කොටම මේක ආරංචි වෙලා . හැමෝම මගෙන් අහනවා .මාත් ඉතින් බොරු කතාව කියනවා .ඒත් මේක හොඳ වැඩක් නෙවෙයිනේ . එදා හවස අපි ඉගෙනගත්තේ Cultural Relativism and Law in South Asia

ඉගැන්නුව මහාචාර්ය වරිය අපෙන් ඇහුවා ප්‍රශ්ණයක්

"Are you a typical Pakistani/Sri Lankan /Indian / Maldiviean / Nepali /Afghani/bengaali /Butani man or a woman?"
හැමෝටම උත්තර දෙන්න වුනා .මගේ වාරෙ ආවම මෙන්න මෙහෙම මම කිව්වේ

"Actually i don't know as Sri Lankan how typical I am .But yesterday suddenly i revealed a Pakistani identity for me and my maternal links to Lahor ." ඔහොම කියලා මම හැමෝම හිනාගස්වමින් මම්තට කිව්ව කතාව ආයෙත් කිව්ව "...so i feel more or less i am a  south asian woman . So at least I know I belong to whole South Asia .thats my identity"


යාලුවො ඔක්කොම අත්පොලසන් දෙමින් හිනාවෙනවා . තේ විවේකෙදි මාගාවට ආව මම්තා මෙන්න මෙහෙම කිව්ව.

"ටී ජී යු ආර් අ ග්‍රේට් හින්දි මූවී ස්ක්‍රිප්ට් රයිටර් .අයි ලයික් දැට් ලවු ස්ටෝරි අ ලොට්"

ඔන්න ඔහොමයි පාකිස්තානයේ ලහෝර් වලට මගේ නෑදෑකම් ඇති වුනේ


ප/ලි
මේ කතාවෙන් මට කියන්න හිතුනේ පිට රටකදි උනත් අපේ ජාතිය අහුවොත් අපි ශ්‍රී ලාංකික කියල කියන්නේ නැහැනේ එකපාරටම .අපේ උත්තරේ සිංහල කියන එක .ඒ වගෙම අපි ලෝකෙ ඉගෙන ගන්න , රැකියාවට විවිද රටවලට යනවා වුණත් අපි නිතරම ප්‍රී ජජ්මන්ට්ස් වලට එන්න කැමතියි සුද්දො මෙහෙම , ඇමරිකානුවො මේ වගේ , ඉන්දියන් කාරයො ගන්න දෙයක් නෑ, මුස්ලිම් මිනිස්සු එපා කෙරුව ත්‍රස්තයො   විදියට .ඒත් අපි නොහිතා සමහර වෙලාවලදි අපිට ඔය අනන්‍යතාවක් ආරෝපණය වුනොත් මොකද වෙන්නෙ .ඒ වගේම ලාභය තකා අපේ අනන්‍යතාව වෙනස්කරන්නත් අපි ලෑස්තියිනේ .බ්‍රිතාන්‍ය හෝ ඇමරිකා පුරවැසි කම වගේ දේකට කවුද අකමැති .එහෙම වුනොත් අපි කොහොමද පටු identity එකක ඉන්නේ අනික් අතට ගොඩක් සමාන සංස්කෘතික ලක්ෂණ තිබුණත් අපි කිසි දවසක දකුණු ආසියාතිකයො කියන අනන්‍ය හැඟීමට වත් ගිහිල්ල නැහැනේ .අපි හරි කැමති දෙයක්නේ පටු අනන්‍යතාවක හිරවෙල් ඉන්න .

මම මේ කතාව ඉවර කරන්න කැමති කබීර් කියන මිතිකල් කවියාගේ කවියකින්.හින්දුන් හිතනවා කබීර් ඉන්දියානුවෙක් කියලා.මුස්ලිම් වරු හිතනවා කබීර් පකිස්තානුවෙක් කියලා .මේ දෙගොල්ල නයි වයිර වුනත් කබීර් දර්ශනය අදහනවා  .....හා මෙතැනින් මගේ  දිල්ලි කතන්දරත් ඉවර වෙනවා
.


කබීර් ගැන දන්න දෙවල් තියෙනවනම් ඔන්න  ලියලා යන්නත් පුලුවන්

Where do you search me? I am with you
Not in pilgrimage, nor in icons,
Neither in solitudes Not in temples, nor in mosques
Neither in Kaba nor in Kailash I am with you o man,
I am with you Not in prayers, nor in meditation,
 Neither in fasting Not in yogic exercises,
Neither in renunciation Neither in the vital force nor in the body,
Not even in the real space Neither in the womb of Nature,
Not in the breath of the breath Seek earnestly and discover, In
but a moment of search
Says Kabir, Listen with care,
Where your faith is, I am there.










Friday, September 2, 2011

පොලිස් භවන් ,ෆැබ් ඉන්ඩියා ඇන්ඩ් අපාර්ට්මන්ට් නයින්





ඔන්න ඉතින් පහුවදා බ්‍රෙක්ෆස්ට් එහෙම අරන් ඉවරවෙලා උදේ නවයට විතර මගේ පාකිස්තාන් යාලුවොත් එක්ක මාත් පිටත්වුනා දිල්ලියේ අසීෆ් අලි පාරේ තියෙන පොලිස් භවන් වෙතට .දිල්ලියට එන හැම පාකිස්ථානුවෙකුටම නියම කෙරුව පොලිස් මූලස්ථාන කාර්යාලයක ලියාපදිංචි වෙන ඕනේ දිල්ලියට ගොඩබැහැලා පැය විසිහතරක් ඇතුලත .ඒක තමයි නීතිය . අපි හයදෙනෙක් ආයෙමත් වෑන් කබලක නැගිලා පොලිස් භවනට යනවා . අපේ රියදුරාත් වංක ගිරියක් වගේ දිල්ලියේ එහෙන් මෙහෙන්  පාරවල් දිගේ  එලවගෙන යනවා පොලිස් බවන සොයන්න.පලපුරුදු ටැක්සි රියදුරෙකුට වුණත් දිල්ලියේ තැනක් සොයාගන්න ටිකක් අමාරුයි . මම මේ නඩේ බොඩි ගාඩ් වුනේ නිකන්මත් නෙවේ .අපේ අරමුණ වුනේ ඔය ලියාපදිංචිය පුලුවන් තරම් ඉක්මනට ඉවර කරලා ඉන්දියා ගේට්, පැරණි දිල්ලිය ,සහ ලාජ් පත් නගර් මාර්කට් එකේ රවුමක් දාන්න .බොම්බායට ත්‍රස්තයො ගැහුවට දිල්ලියටම ඇවිත් නිකන් අතපය අකුලන් ඉන්න පුලුවන්ද ? අපි කාගෙත් අදහස වුණේ ඒක .අනික හෙට ඉඳලා දවස් හතක් ට්‍රේනින් එක පටන්ගත්තට පස්සේ රවුම් ගහන්න නිදහසක් ලැබෙන්නේ නෑ.ඒක මම අත්දැකීමෙන් දන්නවා

යාන්තම් රියදුරා අසීෆ් අලි පාරෙ පොලිස් බවනට සේන්දුවුණා. හ්ම් මේක බොහොම අපිරිසිඳු ලොකු මඩ වලවල් පිරුණ , කිසි හෙවිලක් බැලිල්ලක් නැතුව  එහෙ මෙහෙ දුවන  රික්ෂා කාරයො , මුට්ට කරගහන්නො , නිතරම වාහන තද්බදය ඇතිකරමින් මහ  හඬින් හෝන් ගහන ටැක්සි කාරයො සහ අඳුරු පාට මහල් ගොඩ නැගිලි වලින් පිරුණ තැනක් .පාරේ එක කොනකින් මුඩුක්කු පේලියකට යන අතුරු පාරකුත් තියෙනවා . අපේ රියදුරා අර එක අඳුරු පාට බිල්ඩිමක පලවෙනි මහලට අපිව එක්කගෙන ගිහින් ගියා .එතන තමයි පොලිස් බවන දිල්ලියට එන පාකිස්තානුවන්  ලියාපදිංචිකරන පොලිස් ඒකකය .දූවිලි පිරුණ , පුටු කබල හතර පහක් ඉස්සරහ කවුන්ටරයක් තියෙනවා . Welcome to Pak Section  කියල බෝඩ් එකක් කවුන්ටරේ ගාව  හිටවල. එතනම මේසෙක හම්පඩ තඩි  පොතක් තියාගෙන එන එන හැම පකිස්තානුවගෙම අලගිය මුලගිය තොරතුරු ලියාගන්න ටිකක් සද්දේ දාල කතාකරන රැවුල් කාර කන්තෝරු මහත්තයෙක් .එයා ඕව ඔක්කොම පොතේ එන්ටර් කරල , හැමකෙනාගෙම පාස්පෝට් කොපියකුයි,වීසා සහතික කල පිටුවේ කොපියකුයි , ඉන්දීය තානාපති කාර්යාලයෙන් විසා නිකුත් කරද්දි දුන්න තව ලියවිල්ලකුයි ඉල්ලගෙන එකට තියල "ටිකිස්" ගාල ඉස්ටේපර් කරලා ලිපි ගොනුවකට දානවා. ඊට පස්සේ අර තඩි  පොතේ තොරතුරු එන්ටර් කෙරුව පිටුව "ක්‍රාස්" ගාලා රූල් පොල්ලක් තියලා කඩලා දීලා එතනම ඉන්න අනික්  කන්තෝරු මහත්තයා ගාවට යන්න කියනවා . එයා ගාවට  ගියහම හැම කෙනෙක්ම කවුටරේ ගාව හිටෝලා අතපය උරහිස් කෙලින් කරගෙන ඉස්සරහ බලාගෙන ඉන්න කියල "ටකස්" ගාලා ඩිජිටල් කැමරාවක් ක්ලික් කරලා පොටෝ එකක් අරන් අර තොරතු ඇතුලත් කරගෙන තියෙන කොලෙ ඉල්ලන් "දඩෝරියං " කියලා සීල් එකක් තියලා අස්සන් කරලා තව විස්තර පත්‍රිකාවක් එක්ක දෙනවා . පොලිස් ලියාපදිංචිය තව ඉවර නෑ. ඔය ලියවිල්ල අරන් අර විස්තර පත්‍රිකාවේ විදියට හැමොම යන්න ඕනේ "ජසල්මේර් හවුස් " කියන තැන තියෙන තව කන්තෝරුවකට .දවල් එකොලහට කලින් ඔය ලියවිලි සෙරොම එතැනට බාරදුන්නම තමා වැඩේ නිදහස් . 

හනේ මෙහෙමත් ඉන්දියාවක් , ලෝකෙ දියුණුම තාක්ෂණේ තියෙන මුන්දැලට මොකෝ බැරි මේ දේවල් පරිගණක ගත කරලා එයාර් පෝර්ට් එකේදිම  මේ කාරණා කටයුතු එකම වහලක් යටින් කරගන්න විදියට පහසුකම් සලස්සන්න .එකත් එකටම පාකිස්තානෙත් එක්ක තියෙන ඉතිහාසග කෝන්තරේ පිරිමහගන්න තමයි මෙහෙම පාකිස්තානුවන් එහෙ මෙහෙ යවමින් වදදෙනව ඇත්තේ . ඇරත් බලාපල්ලකො ආණ්ඩුවෙ කන්තෝරුවක් තියෙන්නෙ මල මුඩුක්කුවක .ඒ මදිවට තියෙන මුස්පේත්තුකම , ඉඳගන්න හරි හමන් පුටුවක් වත්  නැහැ . මම පුටු කබලකට බර දිල්ල හිතෙන් බනිමින් ඉන්නවා .පොලිස් ලියාපදිංචිය කරන්න තව ඉතුරුවෙලා ඉන්නේ රබියා විතරයි . අර රැවුල් කාරයා මහ හය්යෙන් හින්දියෙන්  එයාට මොන මොනවදෝ කියනවා .මොකක් නමුත් අවුලක් . රබියාට විසා නිකුත්කරද්දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් දෙන ලියවිල්ල ගේන්න අමතකවෙලා .අපි නැවතිලා ඉන්න හෝටලේ එයාගෙ කාමරේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ දාල ඇවිත්  .හ්ම් වැඩේ ලේසි නැහැ. ඔය පොඩි කොලකෑල්ල නැතුව මොකුත් කරන්න බෑ කියලා තමයි රැවුලා කියන්නේ . මේකෙ ස්කෑන් කොපි එකක් ඊ මේල් එකකින් ගෙන්න ගමු මම රබියාට කිව්ව . ඔව් එහෙම වුනෝත් අපිට මේක සලකල බලන්න පුලුවන් ඒපාර රැවුලා ටිකක් හිත උණු වෙලා වගේ කියනවා .
අනික් යාලුවොත් ටිකක් බය වෙලා . රබියගේ වැඩෙට තරමක් වෙලා යන නිසා ඒ අයට ටැක්සි රියදුරා ක් ජසල්මේර් හවුස් වලට යන්න කියල උපදෙස් දීල අපි දෙන්න කල්පනාකෙරුවා මේ ලියවිල්ල ගෙන්න ගන්න විදියක් ගැන . 
"අපි  හෝටලේ රිසෙප්ෂන් එකට  කතා කරලා කියමු මගේ කාමරේට ගිහින් මේසෙ  උඩ තියන ඔය කොලේ අරන් ස්කෑන් කරල ඊ මේල් කරන්න  කියලා "රබියා කිව්ව .
 "ටී ජී ඔයා ගාව හෝටලේ ටෙලිෆෝන් අංකේ තියෙනවද ?"
"ඔවු ඒත් කොහෙන්ද  අපි කෝල් කරන්නෙ ? එලියට ගිහින් බලමු කෝල් එකක් ගන්න විදියක්" මම යෝජනා කලා 

 අපි දෙන්න අර මඩවලවල් උඩින් පැන පැන වාහන පෝලිම අතරින් අසිෆ් අලි පාරෙ ඉස්සරහට යනවා කොමියුනිකේෂන් එකක් හොයාගෙන.ඉස්සරහට ගිහින් නැවතුනේ තව අඳුරුපාට බිල්ඩිමක් ගාව.මේක වෙලඳ සංකීර්ණයක් .අඩි පහයි පහේ වගෙ කාමර කෑලි වල නොයෙකුත් වෙලෙන්දො වෙලදාම් කරනවා. දූවිලි , කුණු වලින් අඩුවක් නෑ.යන්තම් මිනිස්සු අතරින් රිංගලා ගිහින් කොමියුනිකේෂන් එකක් සොයාගත්තා. S.T.D , I.S.D කියලා බෝඩ් ගහගත්තු   ටැලිපෝන් පහක් හයක් තියාගෙන ඉන්න තැනක් .කාරනේ කිව්වම අපිට එක ටෙලිපෝන් එකක් පෙන්නුවා .රබියා හෝටලේට කතා කලා .කිසිම පුද්ගලිකත්වයක් නෑ.එතනින් එහා මෙහා ගිය උදවිය කීපදෙනෙකුත් නැවතිලා අපි දිහා බලනවා . අපි දෙන්නගෙම ඇඳුම් සහ බාහිර පෙනුමින්  පේනවා ඉන්දියානුවො නෙවේ කියලා .හෝටලේ රිසෙප්ෂන් එක කිව්ව අදාල ලියවිල්ල විනාඩි විස්සකින් ඊ මේල් එකෙන් එවන්නම් කියලා .  එතකොට තමයි අපිට ටිකක් නිස්කාන්සුවක් ආවේ හිතට 
.
ඒ එක්කම මම දැක්ක 'එයාර්සෙල් "-Aircel කියලා ඉන්දියන් මොබයිල් සිම් විකුණන කඩකෑල්ලක් නුදුරෙන් තියෙනවා .අපි නැවතිලා ඉන්න හෝටලේ ටවුමෙන් ටිකක් ඈත .ගෙදරට කෝල් එකක් ගන්නත් අමාරුයි .හෝටලේ  කෝල් ගනන් වැඩියි .ලියවිල්ල ඊ මේල් එකෙන් එනකන් තව විනාඩි විස්සක් විතර බලන් ඉන්න ඕනෙ .ඉතින් දෙන්නම තව නොහිතා අර එයාර්සෙල් කඩේට රිංගුවා සිම් එකක් ගන්න . කඩේ හිටියෙ අවුරුදු විස්සක විතර ගැටයෙක් .මිනිහා රබියාට හින්දියෙන් සිම් ගැන වර්ණනාව . රබියාත් හින්දියෙන්ම එයා එක්ක කතාව සැරි සැරේ මට ඉන්ග්‍රිසි ට්‍රාන්ස්ලේශන් දෙනවා . අන්තිමට ඔන්න අපි කිව්ව අපි දෙන්න ලංකාවෙන් හා පකිස්තානයෙන් වගත් සිම් එකක් මිලට ගන්න ඕනෙ වගත් .මිනිහා ඔලුව කස කස ටිකක් කල්පනාකාරී වුණා එක පාරටම . ඔන්න එපාර එයාගෙ බොස්ටත් ටෙලිපෝන් කෙරුවා . අන්තිමටම අපිට සිම් කාර්ඩ් දෙන්න පුලුවන් කියලා උවමනා ලිපි ලේඛන ගැන කිව්ව .වැඩේ හැටියට සිම් එක ඉන්දියන් රුපියල් සීයයි.ඕක ගන්න පාස්පෝට් සයිස් පොටෝ දෙකකුයි , අපේ පාස්පෝට් කොපියකුයි ,වීසා කොපියකුයි දෙන්න ඕනේ .

දැන් ඉතින් පොටෝ ගහන්න ,පොටෝ කොපි ගහන්න තැන් සොයන්න එපැයි .කොලුවා දුන්න උපදෙස් අනුව අපිදෙන්න බිල්ඩිමේ දෙවැනි තට්ටුවට ගියා එහෙම තැනක් සොයන්න . මෙතනත් නිකන් පාතාලේ වගේ. පොඩි පොඩි කාමර කෑලි වල නොයෙක් ජාවාරං .එක තැනක පොටෝ ගහන ස්ටුඩියෝ . කිසි ප්‍රශ්ණයක් නෑ සේවා දායකය බිත්තියට හේත්තු කලා ඩිජිටල් කැමරාවෙන් පින්තූර ගත්තා එවෙලෙ ප්‍රින්ට් කලා දුන්නා. තව තැනක ලොන්ඩරි කාරයො . යකඩ බඩු /බෝතල පත්තර කාරයො, චායෙ වෙලෙන්දො ,ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන මිනිස්සු අතරින් කෙල්ලො දෙන්නෙක් ඇවිදගෙන යනකොට මේ හැමෝම කන්න වගේ හැරිල බලනවා . රබියගේ ඡවි වර්ණය හා වටිනා සල්වාර් ඇඳුමත් ,මගේ ඩෙනිම් කලිසම , ටී ශර්ට් එකත් අපි මේ පලාතට අයිති නොවන වග කියාපාන හොඳම කාරණා . පොටෝකොපි කරන තැනදී පාස්පෝට් එක දුන්නට මම හිටියෙ හරි බයෙන් .මෙන්න එතැනට පොටෝකොපියක් ගහගන්න ආව තව මනුස්සයෙක් ,පොටෝකොපි කොලුවගෙන් මගේ පාස්පෝට් එක ඉල්ලන් පෙරලනවා .මම වහාම එක උදුරලා අතට ගත්තා .යන්තම් ඔය ලිය කියවිලි සම්පූර්ණ කරගෙන එයාර්සෙල් කොලුව ගාවට ගියහම එයා ෆෝම් දෙකක් පුරවලා අපේ අස්සන් අරන් සිම් දෙකක් තෝරගන්න දුන්න . අපි සල්ලි ගෙවලා සිම් තෝරගත්තේ ඉක්මනට ඇක්ටිවේට් කරගන්න පුලුවන් කියන සතුටින් .ම්හු ....එහෙම බෑ .කොලුව කියන විදියට තව පැයක් අපි ඉන්න ඕනේ එයාගෙ ලොක්ක ඇවිත් අපි දැකලා එයාගෙ  අනුමැතිය දෙනකන් .

"මේ මොන මගුලක්ද ? අපි දිලියේ ඉන්න තැන ඇඩ්‍රස් , ටෙලිපෝන් අංක,ලංකාවෙ ලිපිනය  පවා තමුසෙට දුන්නනේ .ඉතින් මොකටද තව අපි රස්තියාදු කරන්නේ .අපි ත්‍රස්තයො නම් මෙහෙම විස්තර දීල තමුසෙගෙන් සිම් ගන්න්න එනවද ? මෙහෙ  දෙනවා ඔය ඇප්ලිකේෂන් එක ඉරල විසි කරන්න , මට ඕනෙ සිම් එකක් නැහැ" .
මට හොඳටම කේන්තිගිය පාර කොල්ලට ඉන්ග්‍රිසියෙන් බනින්න ගත්තා . රබියා මාව කූල් කරලා ආයෙ කොල්ල එක්ක කතාව .

"මැඩම් යු ආර් මුසල්මාන් , ඇයැම් මුසල් මාන් ,අයි ට්‍රස්ට් යූ . බට් ප්ලීස් අන්ඩර්ස්ටෑන්ඩ් මයි සිටුවේෂන් , බොම්බ් ඉන් මුම්බායි . ඩෝන්ට් වොරි බොස් සූන් කම් ඇන්ඩ් ඩූ දිස් .ටෙල් දිස් මැඩම් නොට් වොරි "කොල්ල කියනවා

මේ වැඩේට තව පැයක් යනවනේ .හෝටලේ ඊ මේල් එක එවල තිබුණා .පොටෝ ගහපු තැනින්ම ඒකෙ කොපියක් අරන් අපි දෙන්න ආයෙ ගියා පොලිස් බවනට .  ගිහින් අර ලියවිල්ලේ ස්කෑන් පිටපත දුන්න රැවුලට .මිනිහ බොහොම බැරෑරුම් මූණක් හදාගෙන කියනවා මේක පිලිගන්න ටිකක් අපහසු ලු .ඒ නිසා හොඳම වැඩේ මුල් පිටපත ගේන්නලු .ඒ මදිවට මිනිහගේ මූණේ සරදම් හිනාවකුත් ඇඳිලා . දෙවියනේ ඇයි මේ මනුස්සයා මේක අපිට කලින් නොකියා රස්තියාදු කලේ . දෙකක් නෑ පාකිස්තානුවන්ට හිරි හැර කරන්න පුලුවන් හැම විදියකින්ම මේ මිනිස්සු ඔවුන්ට වද දෙනවා .අන්තිමට රබියත් මාත් තීරණේ කලා ආයෙ හෝටලේට යන්න අර ලියමන ගේන්න . ආයෙත් කපශේරා යන්න ටැක්සි කාරයෙක් අල්ලගන්නත් පුදුම වදයක් වින්දා .හෙට්ටු කරලා හෙට්ටු කරලා ඉන්දිය රුපියල් පන්සීයකට ගමන යන්න පොරොන්දු වුණා .
රබියාගෙ මූණ අඳුරුවෙලා .

"මම නිසා ඔයාටත් කරදර වෙන්න වුණා නේද ටී ජී ?ඔයාට පරණ දිල්ලිය බලන්න යන්න වුනෙත් නැහැනේ ."
" ඒකට නම කමක් නෑ. මට තරහ මේ ඉන්දියන් කාරයො පාකිස්තානුවන්ට මේ තරම් වද දෙන්නේ මොකද කියලා . දිස් ඉස් හැරස්මන්ට්, හියුමිලියේශන් " මම කිව්වා

"හ්ම් එකේ එක අතකට වරදක් නෑ ටී ජී .ඉන්දියානුවො පකිස්තානෙට ආවම අපේ නිලධාරින් ඔවුන්ට සලකන්නෙත් මෙහෙම තමයි .දිස් ඉස් ටිට් ෆොර් ටැට් ."

හ්ම් ඒකත් එහෙමයි .ඉතිහාසගත වයිරෙ පිරිමහගන්න ඕන මෝඩ වැඩක් කරන්න දෙගොල්ලම ලෑස්තියි . වන්දේ මාතරම් ....පාකිස්තාන් සින්දාබාද් ඔහොම හිතලා මම හිත හදාගත්තා .

අපි හෝටලයට එනකොට පුහුනුව සංවිධානය කරන ජාත්‍යන්තර ආයතනයේ උදවියටත් කතාව කනින් කොනින් ආරන්චි වෙලා .හෝටලේ පිලිගැනීමේ නිලධාරියා විස්තරේ කියලා .අදාල ලියවිලි අරන් අපි ආයෙත් පොලිස් බවනට යන්න ලෑස්තිය . වෙලාව දවල් දොලහට විතර. අපේ පුහුණුවේ නිල සමාරම්භක උත්සවේ එදා හවස හයට පැවැත්වෙනවා. මොනව වුනත් මම එක නුවණක්කාර වැඩක් කලා . පුහුණුව සංවිධානය කරන ආයතනයේ  මහාචාර්යවරිය මුණ ගැහිලා මේ ප්‍රශ්නේ බරපතලකම අඟවලා කිව්වා අපි සමහර විට ප්‍රමාදවේවි මොකද දිල්ලියට යන්න එන්නත් ලොකු වෙලාවක් ගතවෙන නිසාත් ,ආයේ අර රැවුලා මොනව කියාවිද කියලා නොදන්න නිසාත් .හැමෝගෙම අදහස වුනේ කොහොම හරි වැඩේ කරගෙන එන්න කියන එක .මොකද මේ කටයුත්ත පැය විසිහතරකින් ඉවර කරන්න ඕනේ .නීතිය එහෙමයි .

ආයේ ගමන අපි රේඩියෝ කැබ් එකක් ගෙන්න ගත්තා .ඒක පහසුයි , රියදුරො ටිකක් ප්‍රොෆෙශනල් . පොලිස් භවනට ගිය අපි ඔන්න අදාල ලියවිල්ල රැවුලට ඉදිරිපත්කරලා බලාගෙන ඉන්නව .අපිට අර පුටු කබලකින් වාඩි වෙන්න කියලා අතින් පෙන්නලා මිහිහා ලියවිලි අග සිට මුලටත් ,මුල සිට අගටත් කියවනවා . පාස්පෝට් එක බලනවා ආයේ රබියගේ මූණ බලලා "ආර් යූ හාදි රබියා ,ඕර් රබියා හාදි "කියලා ඇහුවා . "අයෑම් රබියා හාදි සී ද පාස්පෝර්ට්" කියලා රබිය ටිකක් තරහෙන් උත්තර දුන්න .යන්තන් වැඩේ ඉවර කරලා අර මහ පොතෙන් කොලේ කඩලා දුන්නට පස්සේ තමයි අපි සැනසුම් සුසුම් හෙලුවේ.අපේ ඊලඟ මෙහෙයුම අර එයාර්සෙල් කොල්ල මුණගැහීලා සිම් එක ගැන බේරුමක් කරගන්න එක .

ආයෙත් අර ගුහාවක් වගේ අඳුරු බිල්ඩිමට ,එයාර්සෙල් කඩේට අපි දෙන්න ගියා .කොල්ල කියනවා විනාඩි පහලවක් ඉන්නලු එයාගෙ ලොක්ක එනකන් .පැය බාගයක් ගියත් ලොක්ක නෑ පරක්කුයි .
ඔන්න දැන් ආයෙමත් මට යකා නැගගෙන එනවා . ආයෙත් කොල්ලට පොඩි සත්තමක් දැම්ම සිම් එක එපා සල්ලි රිෆන්ඩ් කරන්න කියලා .එතකොටම වගේ එතැන මැනේජර් තුමා ආව .එයාර්සෙල් කොලුවා සැනසුම් සුසුමක් හෙලුවා .වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපේ සිම් ඇක්ටිවේට් කරන්න කියල මම මැනේජර්ට කිව්ව .මිනිහා අපිව තියාගන්න වීම ගැන දහස් වාරයක් සමාව ඉල්ලලා සිම් ඇක්ටිවේට් කරලා දුන්න .රීචාජ් කාර්ඩ් දෙකකුත් දාගෙන යන්තම් ඒතැනින් ගැලවිලා අපි එලියට බැස්සා.මේ ඔක්කොම වැඩ අහවරවෙනකොට හවස තුන්යි. හොඳටම බඩගිණියි , මේ තරම් රස්තියාදු වෙන්න වුනු එක ගැනත් තරහයි .

"අපි මොකද කරන්නේ දැන්? ,මට ෆැබ් ඉන්ඩියා යන්නත් ඕනේ .ඒත් අපේ ඉනොගරේශන් එක හවස හයට . ආයෙ දිල්ලියට එනවනම් රුපියල් දාහක් විතර වියදම් කරන්න වෙනවා ටැක්සියට '"මම රබියගේ මූණ බැලුවා

"ජස්ට් ෆොර්ගෙට් දැට් ඉන්නොගරේශන් . අපි යමු ෆැබ් ඉන්ඩියා. අද මේ වෙච්ච රස්තියාදුවට හරියන්න ටිකක් සතුටු වෙමු . කොහොමත් අපි කියලනේ ආවේ පරක්කු වෙනවා කියලා .ඒ ෆොර්මැලිටීස් ඕර්ගනයිසර්ස්ල බලාගනීවි ".රබියා බොහොම සැහැල්ලුවෙන් කිව්ව .

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙද කිව්ව වගේ දැන් මාත් ලෑස්තියි ෆැබ් ඉන්ඩියා යන්න . ග්‍රේටර් කයිලාශ් -Greater Kailash -GK වල "එන් බ්ලොක්" "N "Block -මාර්කට් එකට යන්න කියල කැබ් ඩ්‍රයිවර්ට උපදෙස් දීලා අපේ මේ ලෑස්තිය දිල්ලිවල ශොපින් යන්න .මගේ ගමන් බිමන් වලදි ශොපින් යන විස්තර බොහොම අවම වුණත් දිල්ලියට යන කිසිම වෙලාවක ෆැබ් ඉන්ඩියා - Fabric India සාප්පුව නම් අමතක කරන්න බෑ. මෙතැන හරි ලස්සන කුරුතා සහ සල්වාර් ගන්න තියෙන තැනක් .විශේෂත්වය ඉන්දියානු දේශීය වර්ණ හා මෝස්තර රටා වලින් මේව හැඩ වීම .ඒ වගේම ගම්බදව කපු රෙදිපිලි කර්මාන්තයේ නියැලිලා ඉන්න නිෂ්පාදකයො දහස්ගානකට මේ ෆැබ් ඉන්ඩියා සාප්පු වලින් සෙත සැලසෙනවා . හැමදාම වගේම මුලු අවුරුද්දකට හරියන්න එකවරම කුරුතා කමීස හා සල්වාර් කීපයක් මෙතැනින් ගැනීම මගේ සිරිත . ඇත්තටම ලංකාවෙදී හොඳ කපු අඳුම් මිල අධික නිසා ඒ අඩුව පිරිමහගන්න වෙන්නෙ ඉන්දියාවෙන් . හිතේ හැටියට ඇඳුම් තෝරගෙන ඉවර වෙනකොට හවස හතර පැනලා .ඒත් ඉතින් අපිට යන්න හදිස්සියක් නෑ.ඊලඟට තව සාප්පු කීපෙකට ගොඩවෙලා බලලා අන්තිමට නැවතුනේ අපාර්ට්මන්ට් නයින් - Apartment 9 කියන ගෘහ අලංකරණ බඩු විකුනන සාප්පුවක . එතැනට රබියගේ හිත ගිහිල්ලා .එයාගේ අනාගත නිවසට ඕනෙ වෙන සැටින් වැඩදාපු කුශන් කවර , ඇඳ ඇතිරිලි , සිල්වර් බඩු ගොඩක් මෙතැනින් අරගත්තා .එයින් ලස්සනම දේ වුනේ එයාගෙ මෙහෙන්දි උත්සවේට රන් ආබරණ දාන්න ගත්ත කෙසෙල් කෙඳි වලින් නිමා කරලා රන් පාටින් වැඩදාපු විසිතුරු පෙට්ටිය .   අපිට යන්න තාම
ත් ඒ හැටි උවමනාවක් නෑ. "එන්" බ්ලොක් මාර්කට් එක දිගේ කියව කියව විකාර කර කර හිනාවෙවී ගියා කැෆේ එකකට කෝපි බොන්න .කෝපි එක්ක සැන්ඩ්විච් ඕඩර් කරලා ආයෙ කතා වුනේ එදා දවසේ අපි ගහපු රස්තියාදුව ගැන .

කොහොමහරි අපි යනකොට හය පහුවෙලා .ඉනොගරේශන් එක පටන් අරන් තිබුණා . කාර් එකෙන් බහිද්දී තමා ,මට මතක්වුණේ හවස අපි ගහපු රස්තියාදුව කාටවත් දැනෙන්න අරින එක ඒතරම් හොඳ නෑ කියලා .ඒ නිසා හෝටල් සේවකයෙකුට උපදෙස් දුන්න අපේ ඔක්කොම ශොපින් මලු මගේ කාමරේට දන්න කියලා .ඊට පස්සෙ අපි දෙන්න හික් මීයෝ දෙන්නෙක් වගේ සෑහෙන්න වෙහෙස මූණකුත් හදාගෙන ආපයින්ම දේශන සාලාවට ගියින් අපිට වෙන් කල පුටු වල ඉඳගත්තා .අපි දෙන්න හැර අනික් හැමෝම ටයි කෝට් ,සාරි ඇඳලා හරි ෆෝමල් .අපි විතරක් හඩ්ඩො දෙන්නෙක් වගේ එතැන . ලෝකෙම ප්‍රසිද්ධ ජාත්‍යන්තර ආයතනයක් නියෝජනය කරන ඉහලම නිලධාරීන් , බැංගලෝර් හා ජවහල් ලාල් නේරු විශ්වවිද්‍යාල වල ප්‍රසිද්ධ නීති මහාචාර්ය වරු කීපදෙනෙකුත් හිටියා  .

අපේ සංවිධායක ආයතනයේ නිලධාරිණිය මාව අනික් අයට ඉන්ට්‍රොඩියුස් කලේ "දිස් ඉස් අවර් ශ්‍රි ලංකන් ෆ්‍රෙන්ඩ් හූ ඉස් සෝ කයින්ඩ් ටු සපෝර්ට් ද පාකිස්තානි ෆ්‍රෙන්ඩ් හූ හැඩ් බිට් ඔෆ් ට්‍රබල්ස්  විත් පොලිස් ඔෆිස්
ටුඩේ කියලා "

ඔන්න ඔහොමයි මම සබාවක් මැද්දේ  දවසේ වීරයා වුණේ .ඒත් ඉතින් මමනෙ  දන්නේ එදා හවස ග්‍රේටර් කයිලාශ්වල  ගැහුව රස්තියාදුවෙ තරම .හීන් සීරුවෙ මාව අඳුන්වලා දීලා ඊට පස්සෙ තිබුණ වෙල්කම් ඩිනර් එකටත් ටිකක් වෙලා ඉඳලා ගරු රඟපෑමක් කරලා යන්තම් මාරු වුණා මහන්සියි කියලා .

පොලිස් භවනට පිං සිද්දවෙන්න ඔන්න ඔහොමයි අපි දිල්ලියේ රස්තියාදු ගැහුවේ

ප/ලි

මට ඊට දවස් දෙකකට විතර පස්සේ තමයි මතක්වුණේ අසිෆ් අලි පාරේ එයාර්සෙල් සිම් එකක් ගන්න රස්තියාදු වුණ වැඩේ කොයිතරම් බයානකද කියලා. අනික පකිස්තානුවෙක් එක්ක ලංකාවෙ කෙනෙක් ඔහොම යන එක මුම්බායේ බෝම්බයක් පිපුරුව වෙලාවේ ඒතරම් හොඳ දෙයක් නෙවේ . ඒ වෙලඳ සංකීර්ණයේ බොහෝදෙනෙකුට අපිව නෝට් වෙලා තිබුණා .සමහරු අමුතු බැලුම් හෙලුවා .දිල්ලිය ලෝකේ අනාරක්ෂිත නගර වලින් එකක් .ඒත් එහෙම වුනත් පොඩි රස්තියාදුවක් ගහලා ටිකක් අයාලේ ගිහින් අමාරුවෙ නොවැටුනොත් මේ ගමන් බිමන් වල කිසිම ත්‍රාසජනක සතුටක් නැහැනේ .
ශොපින් යන්න ඕනෙනම් මෙන්න ෆැබ් ඉන්ඩියා යන පාර