Friday, September 2, 2011

පොලිස් භවන් ,ෆැබ් ඉන්ඩියා ඇන්ඩ් අපාර්ට්මන්ට් නයින්





ඔන්න ඉතින් පහුවදා බ්‍රෙක්ෆස්ට් එහෙම අරන් ඉවරවෙලා උදේ නවයට විතර මගේ පාකිස්තාන් යාලුවොත් එක්ක මාත් පිටත්වුනා දිල්ලියේ අසීෆ් අලි පාරේ තියෙන පොලිස් භවන් වෙතට .දිල්ලියට එන හැම පාකිස්ථානුවෙකුටම නියම කෙරුව පොලිස් මූලස්ථාන කාර්යාලයක ලියාපදිංචි වෙන ඕනේ දිල්ලියට ගොඩබැහැලා පැය විසිහතරක් ඇතුලත .ඒක තමයි නීතිය . අපි හයදෙනෙක් ආයෙමත් වෑන් කබලක නැගිලා පොලිස් භවනට යනවා . අපේ රියදුරාත් වංක ගිරියක් වගේ දිල්ලියේ එහෙන් මෙහෙන්  පාරවල් දිගේ  එලවගෙන යනවා පොලිස් බවන සොයන්න.පලපුරුදු ටැක්සි රියදුරෙකුට වුණත් දිල්ලියේ තැනක් සොයාගන්න ටිකක් අමාරුයි . මම මේ නඩේ බොඩි ගාඩ් වුනේ නිකන්මත් නෙවේ .අපේ අරමුණ වුනේ ඔය ලියාපදිංචිය පුලුවන් තරම් ඉක්මනට ඉවර කරලා ඉන්දියා ගේට්, පැරණි දිල්ලිය ,සහ ලාජ් පත් නගර් මාර්කට් එකේ රවුමක් දාන්න .බොම්බායට ත්‍රස්තයො ගැහුවට දිල්ලියටම ඇවිත් නිකන් අතපය අකුලන් ඉන්න පුලුවන්ද ? අපි කාගෙත් අදහස වුණේ ඒක .අනික හෙට ඉඳලා දවස් හතක් ට්‍රේනින් එක පටන්ගත්තට පස්සේ රවුම් ගහන්න නිදහසක් ලැබෙන්නේ නෑ.ඒක මම අත්දැකීමෙන් දන්නවා

යාන්තම් රියදුරා අසීෆ් අලි පාරෙ පොලිස් බවනට සේන්දුවුණා. හ්ම් මේක බොහොම අපිරිසිඳු ලොකු මඩ වලවල් පිරුණ , කිසි හෙවිලක් බැලිල්ලක් නැතුව  එහෙ මෙහෙ දුවන  රික්ෂා කාරයො , මුට්ට කරගහන්නො , නිතරම වාහන තද්බදය ඇතිකරමින් මහ  හඬින් හෝන් ගහන ටැක්සි කාරයො සහ අඳුරු පාට මහල් ගොඩ නැගිලි වලින් පිරුණ තැනක් .පාරේ එක කොනකින් මුඩුක්කු පේලියකට යන අතුරු පාරකුත් තියෙනවා . අපේ රියදුරා අර එක අඳුරු පාට බිල්ඩිමක පලවෙනි මහලට අපිව එක්කගෙන ගිහින් ගියා .එතන තමයි පොලිස් බවන දිල්ලියට එන පාකිස්තානුවන්  ලියාපදිංචිකරන පොලිස් ඒකකය .දූවිලි පිරුණ , පුටු කබල හතර පහක් ඉස්සරහ කවුන්ටරයක් තියෙනවා . Welcome to Pak Section  කියල බෝඩ් එකක් කවුන්ටරේ ගාව  හිටවල. එතනම මේසෙක හම්පඩ තඩි  පොතක් තියාගෙන එන එන හැම පකිස්තානුවගෙම අලගිය මුලගිය තොරතුරු ලියාගන්න ටිකක් සද්දේ දාල කතාකරන රැවුල් කාර කන්තෝරු මහත්තයෙක් .එයා ඕව ඔක්කොම පොතේ එන්ටර් කරල , හැමකෙනාගෙම පාස්පෝට් කොපියකුයි,වීසා සහතික කල පිටුවේ කොපියකුයි , ඉන්දීය තානාපති කාර්යාලයෙන් විසා නිකුත් කරද්දි දුන්න තව ලියවිල්ලකුයි ඉල්ලගෙන එකට තියල "ටිකිස්" ගාල ඉස්ටේපර් කරලා ලිපි ගොනුවකට දානවා. ඊට පස්සේ අර තඩි  පොතේ තොරතුරු එන්ටර් කෙරුව පිටුව "ක්‍රාස්" ගාලා රූල් පොල්ලක් තියලා කඩලා දීලා එතනම ඉන්න අනික්  කන්තෝරු මහත්තයා ගාවට යන්න කියනවා . එයා ගාවට  ගියහම හැම කෙනෙක්ම කවුටරේ ගාව හිටෝලා අතපය උරහිස් කෙලින් කරගෙන ඉස්සරහ බලාගෙන ඉන්න කියල "ටකස්" ගාලා ඩිජිටල් කැමරාවක් ක්ලික් කරලා පොටෝ එකක් අරන් අර තොරතු ඇතුලත් කරගෙන තියෙන කොලෙ ඉල්ලන් "දඩෝරියං " කියලා සීල් එකක් තියලා අස්සන් කරලා තව විස්තර පත්‍රිකාවක් එක්ක දෙනවා . පොලිස් ලියාපදිංචිය තව ඉවර නෑ. ඔය ලියවිල්ල අරන් අර විස්තර පත්‍රිකාවේ විදියට හැමොම යන්න ඕනේ "ජසල්මේර් හවුස් " කියන තැන තියෙන තව කන්තෝරුවකට .දවල් එකොලහට කලින් ඔය ලියවිලි සෙරොම එතැනට බාරදුන්නම තමා වැඩේ නිදහස් . 

හනේ මෙහෙමත් ඉන්දියාවක් , ලෝකෙ දියුණුම තාක්ෂණේ තියෙන මුන්දැලට මොකෝ බැරි මේ දේවල් පරිගණක ගත කරලා එයාර් පෝර්ට් එකේදිම  මේ කාරණා කටයුතු එකම වහලක් යටින් කරගන්න විදියට පහසුකම් සලස්සන්න .එකත් එකටම පාකිස්තානෙත් එක්ක තියෙන ඉතිහාසග කෝන්තරේ පිරිමහගන්න තමයි මෙහෙම පාකිස්තානුවන් එහෙ මෙහෙ යවමින් වදදෙනව ඇත්තේ . ඇරත් බලාපල්ලකො ආණ්ඩුවෙ කන්තෝරුවක් තියෙන්නෙ මල මුඩුක්කුවක .ඒ මදිවට තියෙන මුස්පේත්තුකම , ඉඳගන්න හරි හමන් පුටුවක් වත්  නැහැ . මම පුටු කබලකට බර දිල්ල හිතෙන් බනිමින් ඉන්නවා .පොලිස් ලියාපදිංචිය කරන්න තව ඉතුරුවෙලා ඉන්නේ රබියා විතරයි . අර රැවුල් කාරයා මහ හය්යෙන් හින්දියෙන්  එයාට මොන මොනවදෝ කියනවා .මොකක් නමුත් අවුලක් . රබියාට විසා නිකුත්කරද්දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් දෙන ලියවිල්ල ගේන්න අමතකවෙලා .අපි නැවතිලා ඉන්න හෝටලේ එයාගෙ කාමරේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ දාල ඇවිත්  .හ්ම් වැඩේ ලේසි නැහැ. ඔය පොඩි කොලකෑල්ල නැතුව මොකුත් කරන්න බෑ කියලා තමයි රැවුලා කියන්නේ . මේකෙ ස්කෑන් කොපි එකක් ඊ මේල් එකකින් ගෙන්න ගමු මම රබියාට කිව්ව . ඔව් එහෙම වුනෝත් අපිට මේක සලකල බලන්න පුලුවන් ඒපාර රැවුලා ටිකක් හිත උණු වෙලා වගේ කියනවා .
අනික් යාලුවොත් ටිකක් බය වෙලා . රබියගේ වැඩෙට තරමක් වෙලා යන නිසා ඒ අයට ටැක්සි රියදුරා ක් ජසල්මේර් හවුස් වලට යන්න කියල උපදෙස් දීල අපි දෙන්න කල්පනාකෙරුවා මේ ලියවිල්ල ගෙන්න ගන්න විදියක් ගැන . 
"අපි  හෝටලේ රිසෙප්ෂන් එකට  කතා කරලා කියමු මගේ කාමරේට ගිහින් මේසෙ  උඩ තියන ඔය කොලේ අරන් ස්කෑන් කරල ඊ මේල් කරන්න  කියලා "රබියා කිව්ව .
 "ටී ජී ඔයා ගාව හෝටලේ ටෙලිෆෝන් අංකේ තියෙනවද ?"
"ඔවු ඒත් කොහෙන්ද  අපි කෝල් කරන්නෙ ? එලියට ගිහින් බලමු කෝල් එකක් ගන්න විදියක්" මම යෝජනා කලා 

 අපි දෙන්න අර මඩවලවල් උඩින් පැන පැන වාහන පෝලිම අතරින් අසිෆ් අලි පාරෙ ඉස්සරහට යනවා කොමියුනිකේෂන් එකක් හොයාගෙන.ඉස්සරහට ගිහින් නැවතුනේ තව අඳුරුපාට බිල්ඩිමක් ගාව.මේක වෙලඳ සංකීර්ණයක් .අඩි පහයි පහේ වගෙ කාමර කෑලි වල නොයෙකුත් වෙලෙන්දො වෙලදාම් කරනවා. දූවිලි , කුණු වලින් අඩුවක් නෑ.යන්තම් මිනිස්සු අතරින් රිංගලා ගිහින් කොමියුනිකේෂන් එකක් සොයාගත්තා. S.T.D , I.S.D කියලා බෝඩ් ගහගත්තු   ටැලිපෝන් පහක් හයක් තියාගෙන ඉන්න තැනක් .කාරනේ කිව්වම අපිට එක ටෙලිපෝන් එකක් පෙන්නුවා .රබියා හෝටලේට කතා කලා .කිසිම පුද්ගලිකත්වයක් නෑ.එතනින් එහා මෙහා ගිය උදවිය කීපදෙනෙකුත් නැවතිලා අපි දිහා බලනවා . අපි දෙන්නගෙම ඇඳුම් සහ බාහිර පෙනුමින්  පේනවා ඉන්දියානුවො නෙවේ කියලා .හෝටලේ රිසෙප්ෂන් එක කිව්ව අදාල ලියවිල්ල විනාඩි විස්සකින් ඊ මේල් එකෙන් එවන්නම් කියලා .  එතකොට තමයි අපිට ටිකක් නිස්කාන්සුවක් ආවේ හිතට 
.
ඒ එක්කම මම දැක්ක 'එයාර්සෙල් "-Aircel කියලා ඉන්දියන් මොබයිල් සිම් විකුණන කඩකෑල්ලක් නුදුරෙන් තියෙනවා .අපි නැවතිලා ඉන්න හෝටලේ ටවුමෙන් ටිකක් ඈත .ගෙදරට කෝල් එකක් ගන්නත් අමාරුයි .හෝටලේ  කෝල් ගනන් වැඩියි .ලියවිල්ල ඊ මේල් එකෙන් එනකන් තව විනාඩි විස්සක් විතර බලන් ඉන්න ඕනෙ .ඉතින් දෙන්නම තව නොහිතා අර එයාර්සෙල් කඩේට රිංගුවා සිම් එකක් ගන්න . කඩේ හිටියෙ අවුරුදු විස්සක විතර ගැටයෙක් .මිනිහා රබියාට හින්දියෙන් සිම් ගැන වර්ණනාව . රබියාත් හින්දියෙන්ම එයා එක්ක කතාව සැරි සැරේ මට ඉන්ග්‍රිසි ට්‍රාන්ස්ලේශන් දෙනවා . අන්තිමට ඔන්න අපි කිව්ව අපි දෙන්න ලංකාවෙන් හා පකිස්තානයෙන් වගත් සිම් එකක් මිලට ගන්න ඕනෙ වගත් .මිනිහා ඔලුව කස කස ටිකක් කල්පනාකාරී වුණා එක පාරටම . ඔන්න එපාර එයාගෙ බොස්ටත් ටෙලිපෝන් කෙරුවා . අන්තිමටම අපිට සිම් කාර්ඩ් දෙන්න පුලුවන් කියලා උවමනා ලිපි ලේඛන ගැන කිව්ව .වැඩේ හැටියට සිම් එක ඉන්දියන් රුපියල් සීයයි.ඕක ගන්න පාස්පෝට් සයිස් පොටෝ දෙකකුයි , අපේ පාස්පෝට් කොපියකුයි ,වීසා කොපියකුයි දෙන්න ඕනේ .

දැන් ඉතින් පොටෝ ගහන්න ,පොටෝ කොපි ගහන්න තැන් සොයන්න එපැයි .කොලුවා දුන්න උපදෙස් අනුව අපිදෙන්න බිල්ඩිමේ දෙවැනි තට්ටුවට ගියා එහෙම තැනක් සොයන්න . මෙතනත් නිකන් පාතාලේ වගේ. පොඩි පොඩි කාමර කෑලි වල නොයෙක් ජාවාරං .එක තැනක පොටෝ ගහන ස්ටුඩියෝ . කිසි ප්‍රශ්ණයක් නෑ සේවා දායකය බිත්තියට හේත්තු කලා ඩිජිටල් කැමරාවෙන් පින්තූර ගත්තා එවෙලෙ ප්‍රින්ට් කලා දුන්නා. තව තැනක ලොන්ඩරි කාරයො . යකඩ බඩු /බෝතල පත්තර කාරයො, චායෙ වෙලෙන්දො ,ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන මිනිස්සු අතරින් කෙල්ලො දෙන්නෙක් ඇවිදගෙන යනකොට මේ හැමෝම කන්න වගේ හැරිල බලනවා . රබියගේ ඡවි වර්ණය හා වටිනා සල්වාර් ඇඳුමත් ,මගේ ඩෙනිම් කලිසම , ටී ශර්ට් එකත් අපි මේ පලාතට අයිති නොවන වග කියාපාන හොඳම කාරණා . පොටෝකොපි කරන තැනදී පාස්පෝට් එක දුන්නට මම හිටියෙ හරි බයෙන් .මෙන්න එතැනට පොටෝකොපියක් ගහගන්න ආව තව මනුස්සයෙක් ,පොටෝකොපි කොලුවගෙන් මගේ පාස්පෝට් එක ඉල්ලන් පෙරලනවා .මම වහාම එක උදුරලා අතට ගත්තා .යන්තම් ඔය ලිය කියවිලි සම්පූර්ණ කරගෙන එයාර්සෙල් කොලුව ගාවට ගියහම එයා ෆෝම් දෙකක් පුරවලා අපේ අස්සන් අරන් සිම් දෙකක් තෝරගන්න දුන්න . අපි සල්ලි ගෙවලා සිම් තෝරගත්තේ ඉක්මනට ඇක්ටිවේට් කරගන්න පුලුවන් කියන සතුටින් .ම්හු ....එහෙම බෑ .කොලුව කියන විදියට තව පැයක් අපි ඉන්න ඕනේ එයාගෙ ලොක්ක ඇවිත් අපි දැකලා එයාගෙ  අනුමැතිය දෙනකන් .

"මේ මොන මගුලක්ද ? අපි දිලියේ ඉන්න තැන ඇඩ්‍රස් , ටෙලිපෝන් අංක,ලංකාවෙ ලිපිනය  පවා තමුසෙට දුන්නනේ .ඉතින් මොකටද තව අපි රස්තියාදු කරන්නේ .අපි ත්‍රස්තයො නම් මෙහෙම විස්තර දීල තමුසෙගෙන් සිම් ගන්න්න එනවද ? මෙහෙ  දෙනවා ඔය ඇප්ලිකේෂන් එක ඉරල විසි කරන්න , මට ඕනෙ සිම් එකක් නැහැ" .
මට හොඳටම කේන්තිගිය පාර කොල්ලට ඉන්ග්‍රිසියෙන් බනින්න ගත්තා . රබියා මාව කූල් කරලා ආයෙ කොල්ල එක්ක කතාව .

"මැඩම් යු ආර් මුසල්මාන් , ඇයැම් මුසල් මාන් ,අයි ට්‍රස්ට් යූ . බට් ප්ලීස් අන්ඩර්ස්ටෑන්ඩ් මයි සිටුවේෂන් , බොම්බ් ඉන් මුම්බායි . ඩෝන්ට් වොරි බොස් සූන් කම් ඇන්ඩ් ඩූ දිස් .ටෙල් දිස් මැඩම් නොට් වොරි "කොල්ල කියනවා

මේ වැඩේට තව පැයක් යනවනේ .හෝටලේ ඊ මේල් එක එවල තිබුණා .පොටෝ ගහපු තැනින්ම ඒකෙ කොපියක් අරන් අපි දෙන්න ආයෙ ගියා පොලිස් බවනට .  ගිහින් අර ලියවිල්ලේ ස්කෑන් පිටපත දුන්න රැවුලට .මිනිහ බොහොම බැරෑරුම් මූණක් හදාගෙන කියනවා මේක පිලිගන්න ටිකක් අපහසු ලු .ඒ නිසා හොඳම වැඩේ මුල් පිටපත ගේන්නලු .ඒ මදිවට මිනිහගේ මූණේ සරදම් හිනාවකුත් ඇඳිලා . දෙවියනේ ඇයි මේ මනුස්සයා මේක අපිට කලින් නොකියා රස්තියාදු කලේ . දෙකක් නෑ පාකිස්තානුවන්ට හිරි හැර කරන්න පුලුවන් හැම විදියකින්ම මේ මිනිස්සු ඔවුන්ට වද දෙනවා .අන්තිමට රබියත් මාත් තීරණේ කලා ආයෙ හෝටලේට යන්න අර ලියමන ගේන්න . ආයෙත් කපශේරා යන්න ටැක්සි කාරයෙක් අල්ලගන්නත් පුදුම වදයක් වින්දා .හෙට්ටු කරලා හෙට්ටු කරලා ඉන්දිය රුපියල් පන්සීයකට ගමන යන්න පොරොන්දු වුණා .
රබියාගෙ මූණ අඳුරුවෙලා .

"මම නිසා ඔයාටත් කරදර වෙන්න වුණා නේද ටී ජී ?ඔයාට පරණ දිල්ලිය බලන්න යන්න වුනෙත් නැහැනේ ."
" ඒකට නම කමක් නෑ. මට තරහ මේ ඉන්දියන් කාරයො පාකිස්තානුවන්ට මේ තරම් වද දෙන්නේ මොකද කියලා . දිස් ඉස් හැරස්මන්ට්, හියුමිලියේශන් " මම කිව්වා

"හ්ම් එකේ එක අතකට වරදක් නෑ ටී ජී .ඉන්දියානුවො පකිස්තානෙට ආවම අපේ නිලධාරින් ඔවුන්ට සලකන්නෙත් මෙහෙම තමයි .දිස් ඉස් ටිට් ෆොර් ටැට් ."

හ්ම් ඒකත් එහෙමයි .ඉතිහාසගත වයිරෙ පිරිමහගන්න ඕන මෝඩ වැඩක් කරන්න දෙගොල්ලම ලෑස්තියි . වන්දේ මාතරම් ....පාකිස්තාන් සින්දාබාද් ඔහොම හිතලා මම හිත හදාගත්තා .

අපි හෝටලයට එනකොට පුහුනුව සංවිධානය කරන ජාත්‍යන්තර ආයතනයේ උදවියටත් කතාව කනින් කොනින් ආරන්චි වෙලා .හෝටලේ පිලිගැනීමේ නිලධාරියා විස්තරේ කියලා .අදාල ලියවිලි අරන් අපි ආයෙත් පොලිස් බවනට යන්න ලෑස්තිය . වෙලාව දවල් දොලහට විතර. අපේ පුහුණුවේ නිල සමාරම්භක උත්සවේ එදා හවස හයට පැවැත්වෙනවා. මොනව වුනත් මම එක නුවණක්කාර වැඩක් කලා . පුහුණුව සංවිධානය කරන ආයතනයේ  මහාචාර්යවරිය මුණ ගැහිලා මේ ප්‍රශ්නේ බරපතලකම අඟවලා කිව්වා අපි සමහර විට ප්‍රමාදවේවි මොකද දිල්ලියට යන්න එන්නත් ලොකු වෙලාවක් ගතවෙන නිසාත් ,ආයේ අර රැවුලා මොනව කියාවිද කියලා නොදන්න නිසාත් .හැමෝගෙම අදහස වුනේ කොහොම හරි වැඩේ කරගෙන එන්න කියන එක .මොකද මේ කටයුත්ත පැය විසිහතරකින් ඉවර කරන්න ඕනේ .නීතිය එහෙමයි .

ආයේ ගමන අපි රේඩියෝ කැබ් එකක් ගෙන්න ගත්තා .ඒක පහසුයි , රියදුරො ටිකක් ප්‍රොෆෙශනල් . පොලිස් භවනට ගිය අපි ඔන්න අදාල ලියවිල්ල රැවුලට ඉදිරිපත්කරලා බලාගෙන ඉන්නව .අපිට අර පුටු කබලකින් වාඩි වෙන්න කියලා අතින් පෙන්නලා මිහිහා ලියවිලි අග සිට මුලටත් ,මුල සිට අගටත් කියවනවා . පාස්පෝට් එක බලනවා ආයේ රබියගේ මූණ බලලා "ආර් යූ හාදි රබියා ,ඕර් රබියා හාදි "කියලා ඇහුවා . "අයෑම් රබියා හාදි සී ද පාස්පෝර්ට්" කියලා රබිය ටිකක් තරහෙන් උත්තර දුන්න .යන්තන් වැඩේ ඉවර කරලා අර මහ පොතෙන් කොලේ කඩලා දුන්නට පස්සේ තමයි අපි සැනසුම් සුසුම් හෙලුවේ.අපේ ඊලඟ මෙහෙයුම අර එයාර්සෙල් කොල්ල මුණගැහීලා සිම් එක ගැන බේරුමක් කරගන්න එක .

ආයෙත් අර ගුහාවක් වගේ අඳුරු බිල්ඩිමට ,එයාර්සෙල් කඩේට අපි දෙන්න ගියා .කොල්ල කියනවා විනාඩි පහලවක් ඉන්නලු එයාගෙ ලොක්ක එනකන් .පැය බාගයක් ගියත් ලොක්ක නෑ පරක්කුයි .
ඔන්න දැන් ආයෙමත් මට යකා නැගගෙන එනවා . ආයෙත් කොල්ලට පොඩි සත්තමක් දැම්ම සිම් එක එපා සල්ලි රිෆන්ඩ් කරන්න කියලා .එතකොටම වගේ එතැන මැනේජර් තුමා ආව .එයාර්සෙල් කොලුවා සැනසුම් සුසුමක් හෙලුවා .වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපේ සිම් ඇක්ටිවේට් කරන්න කියල මම මැනේජර්ට කිව්ව .මිනිහා අපිව තියාගන්න වීම ගැන දහස් වාරයක් සමාව ඉල්ලලා සිම් ඇක්ටිවේට් කරලා දුන්න .රීචාජ් කාර්ඩ් දෙකකුත් දාගෙන යන්තම් ඒතැනින් ගැලවිලා අපි එලියට බැස්සා.මේ ඔක්කොම වැඩ අහවරවෙනකොට හවස තුන්යි. හොඳටම බඩගිණියි , මේ තරම් රස්තියාදු වෙන්න වුනු එක ගැනත් තරහයි .

"අපි මොකද කරන්නේ දැන්? ,මට ෆැබ් ඉන්ඩියා යන්නත් ඕනේ .ඒත් අපේ ඉනොගරේශන් එක හවස හයට . ආයෙ දිල්ලියට එනවනම් රුපියල් දාහක් විතර වියදම් කරන්න වෙනවා ටැක්සියට '"මම රබියගේ මූණ බැලුවා

"ජස්ට් ෆොර්ගෙට් දැට් ඉන්නොගරේශන් . අපි යමු ෆැබ් ඉන්ඩියා. අද මේ වෙච්ච රස්තියාදුවට හරියන්න ටිකක් සතුටු වෙමු . කොහොමත් අපි කියලනේ ආවේ පරක්කු වෙනවා කියලා .ඒ ෆොර්මැලිටීස් ඕර්ගනයිසර්ස්ල බලාගනීවි ".රබියා බොහොම සැහැල්ලුවෙන් කිව්ව .

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙද කිව්ව වගේ දැන් මාත් ලෑස්තියි ෆැබ් ඉන්ඩියා යන්න . ග්‍රේටර් කයිලාශ් -Greater Kailash -GK වල "එන් බ්ලොක්" "N "Block -මාර්කට් එකට යන්න කියල කැබ් ඩ්‍රයිවර්ට උපදෙස් දීලා අපේ මේ ලෑස්තිය දිල්ලිවල ශොපින් යන්න .මගේ ගමන් බිමන් වලදි ශොපින් යන විස්තර බොහොම අවම වුණත් දිල්ලියට යන කිසිම වෙලාවක ෆැබ් ඉන්ඩියා - Fabric India සාප්පුව නම් අමතක කරන්න බෑ. මෙතැන හරි ලස්සන කුරුතා සහ සල්වාර් ගන්න තියෙන තැනක් .විශේෂත්වය ඉන්දියානු දේශීය වර්ණ හා මෝස්තර රටා වලින් මේව හැඩ වීම .ඒ වගේම ගම්බදව කපු රෙදිපිලි කර්මාන්තයේ නියැලිලා ඉන්න නිෂ්පාදකයො දහස්ගානකට මේ ෆැබ් ඉන්ඩියා සාප්පු වලින් සෙත සැලසෙනවා . හැමදාම වගේම මුලු අවුරුද්දකට හරියන්න එකවරම කුරුතා කමීස හා සල්වාර් කීපයක් මෙතැනින් ගැනීම මගේ සිරිත . ඇත්තටම ලංකාවෙදී හොඳ කපු අඳුම් මිල අධික නිසා ඒ අඩුව පිරිමහගන්න වෙන්නෙ ඉන්දියාවෙන් . හිතේ හැටියට ඇඳුම් තෝරගෙන ඉවර වෙනකොට හවස හතර පැනලා .ඒත් ඉතින් අපිට යන්න හදිස්සියක් නෑ.ඊලඟට තව සාප්පු කීපෙකට ගොඩවෙලා බලලා අන්තිමට නැවතුනේ අපාර්ට්මන්ට් නයින් - Apartment 9 කියන ගෘහ අලංකරණ බඩු විකුනන සාප්පුවක . එතැනට රබියගේ හිත ගිහිල්ලා .එයාගේ අනාගත නිවසට ඕනෙ වෙන සැටින් වැඩදාපු කුශන් කවර , ඇඳ ඇතිරිලි , සිල්වර් බඩු ගොඩක් මෙතැනින් අරගත්තා .එයින් ලස්සනම දේ වුනේ එයාගෙ මෙහෙන්දි උත්සවේට රන් ආබරණ දාන්න ගත්ත කෙසෙල් කෙඳි වලින් නිමා කරලා රන් පාටින් වැඩදාපු විසිතුරු පෙට්ටිය .   අපිට යන්න තාම
ත් ඒ හැටි උවමනාවක් නෑ. "එන්" බ්ලොක් මාර්කට් එක දිගේ කියව කියව විකාර කර කර හිනාවෙවී ගියා කැෆේ එකකට කෝපි බොන්න .කෝපි එක්ක සැන්ඩ්විච් ඕඩර් කරලා ආයෙ කතා වුනේ එදා දවසේ අපි ගහපු රස්තියාදුව ගැන .

කොහොමහරි අපි යනකොට හය පහුවෙලා .ඉනොගරේශන් එක පටන් අරන් තිබුණා . කාර් එකෙන් බහිද්දී තමා ,මට මතක්වුණේ හවස අපි ගහපු රස්තියාදුව කාටවත් දැනෙන්න අරින එක ඒතරම් හොඳ නෑ කියලා .ඒ නිසා හෝටල් සේවකයෙකුට උපදෙස් දුන්න අපේ ඔක්කොම ශොපින් මලු මගේ කාමරේට දන්න කියලා .ඊට පස්සෙ අපි දෙන්න හික් මීයෝ දෙන්නෙක් වගේ සෑහෙන්න වෙහෙස මූණකුත් හදාගෙන ආපයින්ම දේශන සාලාවට ගියින් අපිට වෙන් කල පුටු වල ඉඳගත්තා .අපි දෙන්න හැර අනික් හැමෝම ටයි කෝට් ,සාරි ඇඳලා හරි ෆෝමල් .අපි විතරක් හඩ්ඩො දෙන්නෙක් වගේ එතැන . ලෝකෙම ප්‍රසිද්ධ ජාත්‍යන්තර ආයතනයක් නියෝජනය කරන ඉහලම නිලධාරීන් , බැංගලෝර් හා ජවහල් ලාල් නේරු විශ්වවිද්‍යාල වල ප්‍රසිද්ධ නීති මහාචාර්ය වරු කීපදෙනෙකුත් හිටියා  .

අපේ සංවිධායක ආයතනයේ නිලධාරිණිය මාව අනික් අයට ඉන්ට්‍රොඩියුස් කලේ "දිස් ඉස් අවර් ශ්‍රි ලංකන් ෆ්‍රෙන්ඩ් හූ ඉස් සෝ කයින්ඩ් ටු සපෝර්ට් ද පාකිස්තානි ෆ්‍රෙන්ඩ් හූ හැඩ් බිට් ඔෆ් ට්‍රබල්ස්  විත් පොලිස් ඔෆිස්
ටුඩේ කියලා "

ඔන්න ඔහොමයි මම සබාවක් මැද්දේ  දවසේ වීරයා වුණේ .ඒත් ඉතින් මමනෙ  දන්නේ එදා හවස ග්‍රේටර් කයිලාශ්වල  ගැහුව රස්තියාදුවෙ තරම .හීන් සීරුවෙ මාව අඳුන්වලා දීලා ඊට පස්සෙ තිබුණ වෙල්කම් ඩිනර් එකටත් ටිකක් වෙලා ඉඳලා ගරු රඟපෑමක් කරලා යන්තම් මාරු වුණා මහන්සියි කියලා .

පොලිස් භවනට පිං සිද්දවෙන්න ඔන්න ඔහොමයි අපි දිල්ලියේ රස්තියාදු ගැහුවේ

ප/ලි

මට ඊට දවස් දෙකකට විතර පස්සේ තමයි මතක්වුණේ අසිෆ් අලි පාරේ එයාර්සෙල් සිම් එකක් ගන්න රස්තියාදු වුණ වැඩේ කොයිතරම් බයානකද කියලා. අනික පකිස්තානුවෙක් එක්ක ලංකාවෙ කෙනෙක් ඔහොම යන එක මුම්බායේ බෝම්බයක් පිපුරුව වෙලාවේ ඒතරම් හොඳ දෙයක් නෙවේ . ඒ වෙලඳ සංකීර්ණයේ බොහෝදෙනෙකුට අපිව නෝට් වෙලා තිබුණා .සමහරු අමුතු බැලුම් හෙලුවා .දිල්ලිය ලෝකේ අනාරක්ෂිත නගර වලින් එකක් .ඒත් එහෙම වුනත් පොඩි රස්තියාදුවක් ගහලා ටිකක් අයාලේ ගිහින් අමාරුවෙ නොවැටුනොත් මේ ගමන් බිමන් වල කිසිම ත්‍රාසජනක සතුටක් නැහැනේ .
ශොපින් යන්න ඕනෙනම් මෙන්න ෆැබ් ඉන්ඩියා යන පාර

14 comments:

  1. මම මේ දිල්ලියේ පාරවල් හොයනවා. යන අතක් හොයාගන්න බැරිව.
    අපිත් දිල්ලියේ ඇවිදිනවා වගේ දැනෙන්න ලියල තියනවා. ස්තූතියි TG...

    ReplyDelete
  2. මට ලස්සන නම් අර 'ටිකිස්' 'ක්‍රාස්' 'දඩෝරියං' ටික. හපොයි දිල්ලියේ ඔයවගේ කරදර නම් වින්දේ නෑ. ඔයවගේ තැන් දැක්කාම සීට් එකේ බාගෙට ලෙස්සලා වගේ ඉඳගන තමයි ගියේ. ඩෙනිම් ගහපු හැටියේ පිටින් ආපු අය බව පේනවා. ඔය බොලිවූඩ් ෆිල්ම්ස් වල වගේ නෙමේ දැකපු තරම් කෙල්ලෝ ඇඳලා හිටියේ සල්වාර් සහ සාරී තමයි.

    අපොයි කොච්චර ලස්සන කෙල්ලෝ හිටියත් ඉන්දියන් කාරයෝ බලන්නේ හරියට ජීවිතේට ගෑනු පුලුටක් දැකලා නෑ වගේ. අහලා තියන හැටියට එයාලා හරිම SPBR (සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ ) ලා.

    ReplyDelete
  3. මේ ඔය වැරදිලා ටයිප් කරලා තියෙන්නේ ඊයේ රෑ කවුරු හරි දුම් බාවිතා කිරීම හන්දා ඔයාගේ ලියන මූඩ් එකට මොනවා හරි වීමෙන් නේද? පොඩ්ඩිට පේන කියන්ට පුලුවනි....:D:D:D

    ReplyDelete
  4. TG ට මොනව හරි වෙලා කියලනම් පේනවා. වෙනදා වගේ නෙවෙයි අකුරු අතින් දාල තමා කියවන්න උනේ. පොඩ්ඩිගේ පේනය හරි වගේ...:D D D

    ReplyDelete
  5. හප්පේ... මදැයි මාත් ඉන්දියා යන්න හිටියා එක්ස්පර්ට් කෙනෙක් එක්ක.
    මට තාමත් මතක් හිතෙන්නේ මනෝ පාරවල් අස්සේ සාරී හොය හොයා ආ මල්ලි මේ සාරියක් ගේන්න මේක හරි නෑ තව එකක්. ඔහොම අර අහිංසක ඉන්දියන් කොල්ලො රස්තියාදු කල හැටි. දෙළුම් ඇටේ ඉඳන් එකතු කර කර කන හැටි. අර ක්‍රිකට් ගැන කියලා අර අහිංසකයෝ අමාරුවේ දාපු හැටි.
    ඇත්තටම මාත් ගමනේ ඉන්නවා වගේ... මාවත් එක්ක යන්න ත මගේ යාළුවෙකුත් කැමති වෙච්ච වෙලේ මාත් ඉක්මනින් ඉන්දියා යන්න ඉන්නේ. මගේ ක්ලයන්ලා කීප දෙනෙක්මත් මට ඉන්න තැන් හෙම දෙන්න කැමතියි කියපු හින්දා පරක්කු කරන්න හොඳ නෑ වගේ...

    ReplyDelete
  6. මොන දිල්ලියක ගියාද... කියන කියමන අපේ ජන වහරට එක් වෙන්න ඇත්තේ මේ වගේ පසුබිමකින් වෙන්න ඇති.

    රචනය අපිවත් දිල්ලිය වටා රවුමක් එක්ක ගියා වගේම රසවත්, ඒත් කතාව කියවද්දී වෙනදා නොදැනුන වෙනසක් ඇහැ ගැටුනා. වැඩ රාජකාරි වැඩි නිසා වෙන්න ඇති.

    ඉන්දියාවේ පකිස්තානුවන් දැනටත් විඳින කරදර ලාංකික අපිටත් මුහුණ පාන්න වුනා '90 අග බාගයේ දී. ඒත් 2000 මුලදී හොඳ අතට හැරුනා කියන්න පුලුවනි, ඒත් දකුණු ඉන්දීය නගර වලදී බලපෑම් වැඩියි.

    TG ඔබේ අත්දැකීමෙන් ඉන්දියන්, පකිස්තානු හා අනෙක් දකුණු ආසියාතිකයින් (ලාංකිකයින් ද ඇතුලුව) අතරින් ඉක්මනින් තරහ ගන්නේ මොන රටේ වැසියන්ද? (ඔබ විවිධ රටවල අය ඇසුරු කරන නිසා ඇහුවේ)

    ReplyDelete
  7. ඉන්දියා ජායි හෝ - පාකිස්තාන් සින්දාබාද්... අනේ ඉතිං සුද්දා ගැටේ ගහලා ගියා, මේ මෝඩයො මරාගන්නවා.. කවදා ඔය වලෙන් ගොඩ එයිද.. :)

    ReplyDelete
  8. @ ප්‍රියන්ත
    මොකටද කරදර වෙන්නේ දිල්ලියේ පාරවල් හොයලා . වලව්වේ නෝනට කියමු වලව්ව ගානේ සියලු බර පැන දරන දිල්ලියේ වට වන්දනාවක් ලෑස්තිකරන්න කියලා ඇනුවල් ට්‍රිප් එක හැටියට .

    @පොඩි

    ඔව් අප්පා මේ කතාව ලියද්දී ඔය දුම් බොන උදවියගෙන් ටිකක් කරදර බාදා තිබුණා . ඊයේ මගේ ස්ටාෆ් ක්වාටර්ස් එකේ නඩයක්ම ඇවිත් පදිංචිවෙලා හිටියනේ

    කතාව ලියාගෙන යද්දි දන්නෙම නැතුව නින්දකුත් කියා . යන්තම් මතක අර කතන්දර කාරයා බස් රේඩියෝඑකේ සින්දු ඉල්ලනවා විතරයි .

    ඔන්න දැන් පුලුවන් තරම් ඇලපිලි ,පාපිලි,ඉස්පිලි වැරදි හැදුවා .

    @ඩීන්

    හෙ හේ මාත් ඇතුලු මට ඉන්න ඔකොම දකුණු ආසියාතික යාලුවො ඉතින් පරමාණු බෝම්බ තමයි . අසාධාරණයක් දැක්කම කොයි වෙලේ පුපුරාහැලෙනවද දන්නේ නෑ .

    @රංගි

    හපෝ එහෙනම් ඉතාලියේ ස්ට්‍රීට් ෆුඩ් එහෙම කාලා ලෑස්තිවෙයන් දැම්මම අනික් උන්ට වද නොදී.

    ReplyDelete
  9. බූරා

    ඇත්තද අද උදේ වලව්වෙන් නිකුත් කෙරුන නිල නිවේදනේ ? ඔයයි නීතයි හවුලේ බ්ලොග් එකක් පටන්ගන්න යනවා කියන්නේ ?ඒවා හොඳ වැඩ ගොයියෝ

    ReplyDelete
  10. හෑහ්.. කවුද කිවුවෙ..!!?? පොකුද..?? සත පහකට විශ්වාසෙට ගන්ට එපා ඔය අම්මණ්ඩි කියන බොරු.. :)

    ReplyDelete
  11. අම්මෝ වෙලා තියන අලකලංචි . දිල්ලිය ගැන මගේ හිතේ තිබුනේ නම් වෙනස් රූපයක්. සරෝජිනී නගර් ගියේ නැද්ද . පකිස්තාන් මිතුරියට කල උදව් නම් හරි වටිනවා . ටිපිකල් ඉන්දියා නේද . අපේ ගෙදර යට නම් සේවා ආයතනයෙන් ලැස්ති කරන නිසා ගිය ගමන් හරිම ලේසි වුනා ලු. මටත් හොඳ කුර්තා ..සාරි හෙම ලැබුනා . අපේ මාමණ්ඩි ඉස්සර වසරක් ගානේ ගිහින් තියෙනවා රාජ්‍ය අනුග්‍රහය යටතේ . නැන්දම්මා නම් ගෙනා සාරි තවම අපුරුවට තියන් ඉන්නවා . ඉතුරු විස්තරත් ලියන්නකෝ . අපිත් නිකන් දිල්ලියේ පාරවල් වල අතරමන් වුනා වගේ තමයි.

    ReplyDelete
  12. මාත් ගියා බොම්බෙ මොටං කන්න ඉස්සර දවසක. ආයෙ යන්න නං හිතුනේ නෑ!

    ReplyDelete
  13. @ බින්දි

    මුල් කාලෙ දිල්ලි ගියහම ශොපින් කරන්න ගිහින් තියෙනවා සරෝජිනී නගර් මාර්කට් එකට . දැන් නම් යන්නෙ ශොපින් වලට වැඩිය අනික් යාලුවන්ගේ බොඩි ගාර්ඩ් වැඩේටයි එයාලගේ බෑග් මලු උස්සන් එන්නයි හී හී . සරෝජිනි නගර් ගොඩක් අඩුවට හෙට්ටු කරලා බඩුගන්න පුලුවන් තැනක් .ඉන්දියාවට ගියොත් මගේ ශොපින් හරි අඩුයි .රට තොට බලන්න කෝච්ච් බස් වල යන්න ලැබෙන කීය හරි ඉතුරු කරගන්නවා .ඒත් ෆැබ් ඉන්ඩියා , දිල්ලි හාට්-Delhi Haat නම් අනිවාර්යෙන්ම යනවා .

    @කතන්දර
    ඔයා මුම්බායි පැත්තේ ගිහින් වගේ

    ReplyDelete
  14. නියමයි. ඔයාගේ දේශාටන සටහන් නිවී හැනහිල්ලේ කියවන්න මං කල් දා ගත්තා. අද නම් දිල්ලියේ රවුමක් ගියා.

    ඔය භයානකයි කියන තැන් වල භයානක කම මටත් ඔය තරම් තේරෙන්නේ නැහැ. ශේප් එකේ කතා කරන අහිංසක මට මිනිස්සු හිංසා කරන්නේ නැතුව ඇති.

    ඉන්දියාව නම් කොච්චර පෙරලුවත් තවත් පිටු තියෙන සද්දන්ත පොතක්.

    ReplyDelete