Saturday, October 8, 2011

ට්‍රාන්සිට් ට්‍රැවලර් 1



දෙපැයකට කලින් කොලඹ කටුනායකින් අහසට නැගුන ජෙට් එයාර්වේස් ගුවන්යානය චත්‍රපති ශිවාජී ජාත්‍යන්තතර ගුවන්තොටෙන් ගොඩබාන්නයි සූදානම .දැන් වෙලාව හරියටම රෑ දයයි .ගුවන්යානය නියමිත වෙලාවට ගුවන්තොටට ගොඩබාන්න සූදානම් වග නියමුවා නිවේදනය කරනවා .වින්ඩෝ සීට් එකක් ගාව හිටිය මට  අහස සිඹින විදුලි එලියෙන් ආලෝකවත් වුන දැවැන්ත දැකුම්කලු ගොඩනැගිලි වලින් අලංකාර වුණ පසෙකින් සයුරු තීරයකට මායිම් වුණ මුම්බායි නගරයේ මනරම් දසුනක්  දිස්වෙනවා.

එතකොට මට මතක්වුනේ පුංචිකාලේ අම්මගේ මල් මල් සාරි කෑල්ලක් දෝතියක් වගේ පටලන් , කොස්කොල ඔටුන්නකුත් දාගෙන , කලුපාට ප්ලැටිග්නම් කූරකින් රැවුලක් ඇඳලා , මූණ පුරා පවුඩර් නාලා , රතුපාටින් කම්මුල් පාටකරලා, පොඩි කුඩේකුත් අතට අරන් බහුබූත කෝලම නට නට කිව්ව කවියක්.

බහුබූතයෙකි මම බොම්බායේ
වෙලඳාම කරන්නෙමි ලංකාවේ
හෙරලි ටිකක් මම කෑ සොඳිනා
මගෙ හැකිලී තිබුණ බඩ ඩෝලේ වුනා
.....................................................
අක්කාවරුනි මගෙ නැටුම් බලා
මට දෙනවද දැන් තෑගි සොඳා

බොම්බාය ලෝකෙ කොහේ තියෙනවද කියල පුංචිකාලේ මට තේරුමක් තිබුනේ නෑ .ඔන්න ටිකක් ලොකු මහත්වෙලා හින්දි චිත්‍රපටි පිස්සුවෙන් පෙලෙන කාලේ තමා දැනගත්තේ බොම්බාය කියන්නේ ඉන්දියාවේ සිනමා කර්මාන්තයේ මහගෙදර පිහිටි බොලිවුඩ් පුරේ කියලා .ඒත් පොඩි කුහුලක්  තිබුණා .ලෝක ඉතිහාසය , සිතියම් පොතේ නැවු තොටු ඉගෙනගත්ත කාලේ බොම්බාය -Bombay කිව්ව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන නගරයට ඇයි  දැන්  මේ මුම්බායි -Mumbai කියන්නේ කියලා .මගේ ගුවන් ටිකට් පතෙත් නගරයේ නම සටහන් වුනේ මුම්බායි කියලා  ඒ ගැන නම් බොම්බායට ගොඩ බහින්න කලින්ම ටිකක් සොයාබැලුවා .  මුම්බා දේවිය-Mumba Devi  කියන දෙවඟනට ගරු කරන්න මරාති බාෂාවෙන් මේ නගරය මුම්බායි කියලා හඳුනවලා ."ආයි" කියන්නේ මාරාති බාෂාවෙන් අම්ම කියන අරුත .මුම්බා අම්මගේ නගරය මුම්බායි කියල මරාති වැසියො කිව්ව වුනත් කාලයක් ඉන්දියාව යටත්කරගෙන මුම්බායේ නැවුතොටේ තමන්ගේ වෙලඳ අණසක පතුරන් හිටි සුද්දට මේ නම උච්ඡාරණය කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ බොම්බේ කියලා .ඉතින් ලෝකෙ කවුරුත් සුද්දට මුල්තැන දීල බොම්බේ , එහෙම නැත්නම් බොම්බාය කිව්ව මේ නුවරට ආයේත් එහි මරාති නම නිල වශයෙන් ආරූඪ කරන්නේ  1996 දී එවක ප්‍රබල දැඩි මතධාරී  දේශපාලන පක්ෂයක් වුණ ඉන්දියාවේ  ශිව් සේනා පක්ෂය. කැලේ මාරුවුනාට කොට්ටියගේ පුල්ලි වෙනස්වෙනවද ? ඒනිසා ඔන්න මමනම් කැමති අර පරන සිතියම් පොතේ තිබ්බ සුද්දා කිව්ව බොම්බාය කියන නමට . 



ඔය බහුබූත කෝලම් නටන පුංචිකාලේ කවදද හිතුවෙ හැබෑවටම බොම්බායට යන්න ?.ඒත් ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් දිහාවට මට එහේ යන්න වුනා .වෙලඳාමක් කරන්න නෙවේ හොඳ යාලුවෙකුට වෙච්චි පොරොන්දුවක් ඉටු කරන්න . ඇත්තටම ඒක වුණෙත් හරි අහම්බෙන් .මට යායුතුව තිබ්බේ අහමදාබාද් නුවරට රාජකාරියකට .ඒ යන්න වුණේ බොම්බාය හරහා .නියමිත දිනේට අහමදාබාද් වලට යන්න ගුවන් යානයක් වෙන් කරගන්න බැරි වුන නිසා ඊට දවස් දෙහෙකට කලින් අහමදාබාද් වලට යන්න මට සිද්දවෙලා . ඒ කියන්නේ දෙදොහක් නිකන් අහමදාබාද් වල රස්තියාදුවෙන්න වෙනවා .ඒ සති අන්තයක් . ඔන්න එතකොට තමයි මට ටිකිරි මොලේ පහලවුනේ .බොම්බායේ ඉන්න මගේ හොඳ යෙහෙලියකට කවදහරි එයාව දකින්න එනව කියලා වෙච්චි පොරොන්දුව ඉටුකරන්න මේ හොඳම වෙලාව කියලා . ඔය වග විස්තර කියලා   මේල් එකක් ස්වේතට ලිව්ව විතරයි සාදරයෙන් "මුම්බායට "පිලිගන්නවා කියලා මට පිලිතුරු  මේල් එකක් ලැබුණා .ඒ විතරක් නෙවේ මගේ
ලංකාවේ ට්‍රැවල් ඒජන්ට් සති අන්තයේ ඉරිදට බොම්බායේ ඉඳන් අහමදාබාද් වලට යන්න මගේ ගුවන් ගමන වෙනස්කරන්න ලොකු මුදලක් ගෙවන්න කිව්ව වෙලාවේ උදව්වට ආවේත් එයා . චීප් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් බුක් කරලා මාව ඒ කරදරෙන් ගලව ගත්තා .ඉතින් රාජකාරියට අහමදාබාද් ලට කලින්ම යන්නේ    නැතුව මම ට්‍රාන්සිට් ට්‍රැවලර් කෙනෙක් හැටියට ඔන්න ඔහොමයි අහම්බෙන් බොම්බායට ගොඩබහින්න පොටක් පාදගන්නේ . සිකුරාදාවක මහ රෑ බොම්බායට ගොඩබහින මගේ අරමුණ වුණේ හොඳම මිතුරියක් එක්ක අල්ලාප සල්ලාපයේ යෙදීමේ ප්‍රීතියත් පොඩි කාලේ හීනයක් වුණ ඉතිහාස පොතෙන් කියෙව්ව ලෝක සිතියමෙන් දැක්ක බොම්බාය කියන වෙලඳ නගරය දැක ගැනීමත් .


ගුවන් යානයෙන් ගොඩබැහැල සෙනග පීරන් ගමන් මලු දෙක බෙල්ට් එකෙන් ගත්ත මම ඉස්සෙල්ලම කලේ නොනිදා මම එනකන් මග බලන් ඉන්න මගේ මිතුරියට කෝල් එකක් දිල්ලා මම ගොඩබැස්ස වග දැනුම්දීම . මොබ්බායේ චත්‍රපති ශිවාජී ජාත්‍යන්තර ගුවන්තොට පැය විසිහතර පුරාම බොහොම කලබල කාරී ජනාකීර්ණ ගුවන්තොටක් . බොහෝ යුරෝපා ,මැද පෙරදිග , අප්‍රිකා , ඔස්ට්‍රේලියා රටවලට ගුවන් ගමන් ක්‍රියාත්මක වෙන මධ්‍යස්ථානයක් . සෙසු ඉන්දියානු නගර වල ගුවන්තොටවල් සමග සන්සඳනය කරද්දී පිරිසිඳු නවීන ගුවන්තොටක් .නමුත් රට ඇතුලේ ගුවන් සේවා ක්‍රියාත්මක වෙන ගුවන්තොට තියෙන්නේ මීට තරමක් ඈතින් . බොම්බායේ ඩොමෙස්ටික් එයාර්පෝට් එකෙන් ගොඩබහින මගියෙකුට ඉන්දියාවෙන් පිට රටක  ගුවන්තොටකට යන්න ඕනෙ නම් චත්‍රපති ශිවාජී ජාත්‍යන්තර ගුවන්තොටට මගීන් නොමිලේ ගෙනයන ගුවන්තොටුපොල බස් රථ සේවයකුත් තියෙනවා.


කලින්ම ස්වේතා ඊ මේල් එකකින් එවලා තිබ්බ උපදෙස් නිසා මේ පාර ගුවන්තොටෙන්ම ප්‍රී පේඩ් ටැක්සියක් සොයාගන්න ඒතරම් අමාරුවුණේ නෑ .වෙලාව රෑ එකොලහට විතර මම මරුටි කාර් එකක නැගිලා ගුවන්තොටේ ඉඳන් විනාඩි හතලිහක් විතර නුදුරෙන් තියෙන කාදිවාලි ඊස්ට් වල ඉන්න මගේ මිතුරියගේ නිවහනට යන්නයි කල්පනාව .ටැක්සි රියදුරා ටිකක් ඉන්ග්‍රිසි කතාකරන එක හිතට සහනයක් .

තමන් මුලින්ම ගොඩබහින ඔනෙම රටක් ,නගරයක් ගැන පලවෙනි අදහස පහල වෙන්නේ ගුවන්තොටකින් එලියට බැහැලා පාරදිගේ යනකොටනේ .මහ රෑ වීදි දිගේ ඇදෙන වාහනයෙන් එලිය බැලුව මට පෙනුනේ පුදුම දසුනක් .ඒ වීදි දෙපස , අගු පිල් වල , ගුවන් පාලම් යට හරියට සැමන් ඇහිරුව වගේ පැක් වෙලා එක පේලියට,එක යායට  නිදාගන්න මිනිස්සු සමූහයක් .එතකොටයි මට මතක්වුණේ බොම්බාය කියන්නේ ආසියාවේ දෙවැනි විසාල මුඩුක්කුව වුණ ධාරවි-Daaravi පිහිටලා තියෙන මිලියන 20 කට  අධික ජන ගහනයක් සහිත ඒවගෙම අවුරුද්දකට මිලියන 10 ක් විතර සංක්‍රමණිකයන් රැකියාවක් ,ජීවත් වෙන්න මාර්ගයක් සොයාගෙන එන තුන්වෙනි ලෝකෙ රටවල් වල අධික ජන ගනත්වක් තියෙන නගරයක් කියලා . මහපාරෙන් ජීව්තේ හොයන්න ආව මිනිස්සුන්ගේ සුව යහන වුනෙත් මහපොලව.

කරදරයක් නැතුව නියමිත ලිපිනයේ පිහිටි නිවාස සංකීර්ණයට ලඟා වුණ මම බෑග් දෙකත් උස්සන් විදුලි සෝපානයෙන්  හත්වෙනි මහලෙන් බහිනකොටම දැක්කේ මාව පිලිගන්න දුවගෙන එන මිතුරිය ස්වේතා .රෑ මැදියමක් වෙනකන් මම එනකන් එයා ඇහැරගෙන ඉඳලා ."අපරාදෙ කියන්න බෑ මේ ටී ජී ඉතින් යාලුවෙකුට පොරොන්දුවක් වුනොත් රෑ මැදියමේ හරි ඒක ඉටු කරනවනේ" කියල එයා මට විහිලුවකුත් කරලා ගමන් මලු දෙක අතට අරන් මගේ බර හෑල්ලු කලා . මට වෙන්කරල තියෙන කාමරයත් ,ඇඟ පත හෝදගෙන පිරිසිඳුවෙන්න නාන කාමරයත් පෙන්නුව ස්වේතගේ ඊලඟ ප්‍රශ්නේ වුනේ මගේ රෑ කෑම .කෑම කන්න තරම් පිරියක් නැති නිසා මගේ ඉල්ලිම වුණේ හොඳ උණු උණු චායේ එකක් . TG  Do you need Indian Tea ? ස්වේතා ආයෙත් අහලා සැක හැර දැනගත්තා .

මම නාලා පිජාම එකත් ඇඳන් කුස්සියට එද්දී   මගේ මිතුරිය ලොකු උස මග් දෙකකට චායේ හදාගෙන කුස්සියේ කෑම මේසෙට වෙලා බලන් ඉන්නවා . කරදමුංගු ,කරාබු නැටි ,එනසාල් , කුරුඳු ,එලකිරි , තේ කොල එකට උනු කරලා , ගානට සීනි දාලා හැදුව තේ එකේ සුවඳ එනකොට මගේ ගමන් මහන්සිය කොහේ ගියාද මන්දා . ආහ්.... මේ තමයි මම ඉන්දියාවෙදි බිව්ව මතක තියෙන හොඳම චායේ එක . ඒ චායේ සුවඳත් , මම එනකන් මග බලාගෙන හිටිය මගේ මිතුරියගේ ආගන්තුක සත්කාරයත් රෑ මැදියමේ දිග අල්ලාප සල්ලාපයකට මුල පුරන්න හොඳ පරිසරයක් නිර්මාණය කලා . අපි දෙන්නම එක වගේ ක්ෂේත්‍රයක වැඩකරන නිසාත් ටිකක් එක වගේම පිස්සු නිසාත්  කතාකරන්න ඕනෙ තරම් මාතෘකා තිබුණා . අහස උසට නැගුණ බොම්බායේ තට්ටු නිවාස සංකීර්ණයක හත්වෙනි මහලේ පුංචි කුස්සියක මේසෙ වාඩිවෙලා උණු උණු චායේ බොනගමන් අපි කතාකලේ ලංකාවේ සහ ඉන්දියාවෙ නූතන දේශපාලන ප්‍රවණතා ගැන . අපේ චායේ කෝප්ප හිස් වෙලත්  පුංචි කුස්සියේ වට මේස කතාව ඉවර නැහැ. වරක අපි ලෝක දේශපාලනේ ඉඳලා , මිනිස් අයිතිවාසිකම් හරහා හින්දු හා බෞද්ධ දර්ශනයේ  ඉගැන්වීම ගැනත් එයින් නොනැවතී ලංකාවේ ආහාර රටා ගැනත්  කතා බහ  කරමින් හිටියා . උයන්න පියන්න වගේම බුද්ධිමය ප්‍රිය සංවාදයටත් ගෑනු එකතුවෙන්නෙ කුස්සියට ද කියලා අපිට හිතිලා හිනාත් ගියා.මුලු නිවාස සංකීර්ණයම නිදිගත් එලිවෙන පාන්දර ජාමේ ඒ පුංචි කුස්සියේ හිනාව හා මිත්‍රත්වය ගලමින් තිබුණා .එදා උදේ පාන්දර හයට කොලඹට ඇවිත් නවයේ ඉඳන් ඔෆිස් එකේ වැඩ කරලා හවස හතරට ගුවන්තොටුපොලට යන්න පිටත්වෙලා තව පැය තුනක්  ගුවන්තොටේ ඉඳලා , ආයෙත්  දෙපැයක ගුවන් ගමනකින් පස්සේ රෑ මැදියමේ ඉඳන් පහුවදා එලිවෙන පාන්දර පහ වෙනකන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තරම් ශක්තියක් මට ඉතිරිවෙලා තිබුණා.රෑ මැදියමේ නිදිවරාගෙන පහුවදා පහන්වෙනතුරු මා එක්ක කතාබහ කරන්න ප්‍රිය මිතුරු සමාගමකුත් තිබුණා . ප්‍රියයන් හා එක්වීම සතුටක් කියන්නේ මේ වගේ හමුවීම් වලට වෙන්න ඕනේ  .

ප/ලි

බොම්බායේ රවුම් ගැහුව විස්තර පසුවට බලාපොරොත්තුවන්න 

15 comments:

  1. ඉන්දියාවෙත් තියේද දන්නෑ. බීල තියේද සිකන්ජි? :D

    ReplyDelete
  2. @මුහුදු

    සිකන්ජි දෙහි ඉඟුරු දාල හදන සිරප් එකක් කියලා දන්නවා ඒත් තාම නම් බීලා නැහැ

    ReplyDelete
  3. මරු නියමයි ............:D

    ReplyDelete
  4. @ The Lion



    ඔවු හොඳ යාලුවන්ගේ ඇසුර නිසා ජීවිතේ රසවත් වෙනවා.කිරි හොද්දට ලුණු ඇඹුල පදම ආව වගේ .And this is what i mean as having qaulity time with friends :) it doesn't need much money :)

    ReplyDelete
  5. ලස්සන ලිපියක්. අහමදාබාද් ගිහින් තියනවා ඒත් තාම මුම්බායි යන්ට හම්බවෙලා නෑ. දෙන්නා එක්ක අර රස චායේ බිබී, එලිවෙනකල් කතා කරනවා මැවිලා පෙනුනා. ඉතින්, ඉතින් බොලිවූඩ් ෆිල්ම්ස් ගැනත් කතා කලාද? පරිස්සමින් එලියට බහින්නේ! බොලිවූඩ් ඩිරෙක්ටර් කෙනෙකුට අහුවුනොත් රඟ පාලම තමා නතරවෙන්ට වෙන්නේ.

    හොඳ යෙහෙලියෝ කියන්නේ පුදුම ජාතියක් TG . ඕනෑම හිතේ අමාරුවකට, කරදරයකට ලඟින් ඉන්න කට්ටියක්. පිරිමි මොනවා හිතුවත්, කීවත්, හැමදාම ගැහැනියක් ලඟින් ඉන්නේ ගැහැනියක්ම තමයි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ආසවෙන් ඉන්නව යන්න!කල්කටා චෙන්නායි පැත්තෙන් ලංකාවට යනව අපි මෙහෙ(බංගලාදේශේ)ඉඳන්!ඒකටම කියල යන්න ඕන ඉතින් මුම්බායි වලට නම්!

    ReplyDelete
  8. මේ දවස් වල බ්ලොග් තියා පාන් කියා ගන්නවත් වෙලාවක් ලැබුනේ නෑ.
    මේකේ දෙවෙනි කොටස එන හින්දා ඒකත් කියවලාම ඉන්නම්කෝ යමක් කියන්න.

    ReplyDelete
  9. මීට අවරුදු 25-30 කට ඉස්සර මගෙ යාලුවෙක් ශිස්ෂත්වෙකට ජර්මනියට ගිහිල්ල ආපහු ලංකාවට එනකොට ( ඒ කාලේ ලංකාව, ජර්මනිය, අතර ඩිරෙක්ට් ෆ්ලයිට්ස් තිබිල නැහැ, දැන් තියෙනවද දන්නෙ නැහැ) බොම්බායේ "සැන්ට කෘස්" කියල එයාර් පෝර්ට් එකකින් බැහැල, දවසක් නවතින්න වුනාලු. කාකි කොට කලිසං ඇඳගත්ත පෝර්ටර්ල කට්ටියක්, රණ්ඩු වෙලා මෙයාගෙ බෑග් ටැක්සියට දාන්න, උස්සන් යන්න. මෙයා ටක්සියේ හෝටලේට යන කොට මගදි දැකල තියෙනව ඒ යුනිෆෝර්ම් එක ඇඳ ගත්තු පෝර්ටර්ල බොම්බායේ පාරවල් වල ඉන්නව. ටැක්සි ඩ්‍රයිවර්ගෙන් ඇහුවම, එයාලව පෙන්නල "එයාර් පෝර්ට්" පොර්ටර්ල මොකද පාරෙ කරන්නෙ කියල, ඒ,එයාර් පෝර්ට් පෝර්ටර්ල නෙමේ, පොලිස් කාරයො කිව්වලු.

    ReplyDelete
  10. මුම්බායි වලින් බැහැලා බැංගලෝර් වලට බස එකේ ඇවිත් තියෙනවා මම... ඔය කියන මිනිස්සු මමත් දැක්කා

    අම්මේ උන විදින දුකක්..

    ජය..

    ReplyDelete
  11. මුම්බායි ගැන නම් කතා ඇතිවෙන්න අහලා තියෙනවා. 90210 වගේ පැතිත් තියෙනවලු නේද? ඒ කන්දෙම අනිත් පැත්තේ පාසි ආගමිකයන් මල මිනී ඩම්ප් කරනවලු නේද ගිජු ලිහිනියන්ට කන්න [ආගමික චාරිත්‍රයක්]. දැන් ගිජු ලිහිණියන් වඳ වෙලා නිසා [නැහැ නැහැ දේශපාලනය කරන නිසා]ඒවා කුණු වෙලා ගඳ එනවලු අර 90210 පැත්තට.

    ඔය කතාවෙන් මුම්බායි හි සියල් ශ්‍රී විභූතිය අඩු නැතිව නිරුපනය වෙනවා කියලා මට හිතෙන්නේ. හොඳ නරක දෙකම. මුම්බායි කිව්වම මගේ හිතේ තියෙන පින්තුරේ ඔන්න ඔය කන්ද තමා [දැකලා නැහැ, මම ම ඇඳගත් එකක්]

    මුම්බායි ඔයතරම් ප්‍රබල උනේ අන්තිම ඉන්දීය අධිරාජ්‍යය ඒ කියන්නේ මරාත අධිරාජ්‍යයේ අගනුවර නිසා. ඒ කාලේ චෙන්නායි දක්වා බලය ඔවුන් අතේ තිබිලා තියෙනවා.

    ලස්සන ඕෂන් ඩ්‍රයිව් එකක් [අර හින්දි ෆිල්ම් වල තියෙන ඒක වෙන්නැති මයේ හිතේ] තියෙන බවත් අසා ඇත.

    දැන්නම් පරක්කු වැඩි වුනත් [මෙලහට ටී ජී අර හඩු ඩොමෙස්ටික් එයා පෝට් එකේ කොනක මිහිරි මතක අඩුක්කු කරමින් ඇති] එන්ජෝයි ඈ.

    ReplyDelete
  12. ෂා ශාරුක් කාන් හෙම හම්බ වෙයි ...ඉන්දියාවේ යන්න මටත් ඕන කමක් තියෙනවා . යාළුවො ගැන නම් ඉතින් හොඳ යාලුවෙක් ලබන්නත් පින් තියෙන්න ඕනේ . මමත් අවුරුදු තුනහමාරක් චායි තේ බිව්වා උදේ හවා . මගේ ඒ යාලුවා ළඟ නැති අඩුව හොඳටම දැනෙනවා

    ReplyDelete
  13. Hi all

    Thanks a lot for your comments .Will not be able to reply each of you seperately . When I was writing this post never had idea to break it in to two parts .but i realise the first part of it has to dedicate for my friend and her hospitality .So I have written this with a personal touch adding memories of the mid night chat . Again sorry to say too busy time is coming ahead and some delays in second episode .Folks extremly sorry for that.

    ReplyDelete
  14. මේ මොහෙතේ ධර්මද්වීපයේ හිටියත් හිතින් හැම වෙලාවෙම වජිරදේවි ඉන්නේ ඉන්දියාවේ තමයි. අඩු ගාණට කපු ඇඳුම් ටිකක් ගන්න කියාපු නඟරේ.

    ReplyDelete
  15. මම මුම්බායි වල අවුරුදු දෙකක් හිටියා,.. ගිය අසතුටින් හැර ගියෙත් අසතුටින්.. ඒ තරමට මම මුම්බායි වලට ප්‍රිය කළා. ඇත්ත මුම්බායි දන ගාන්න එහෙ ජීවත්වෙන්න ඕන ටික කාලයක්.. අපුරු නගරයක්.. අපුරු මිනිස්සු..

    ReplyDelete