Saturday, September 3, 2011

ලහෝර් හල්වා ඇන්ඩ් මයි මැටර්නල් ලින්ක්ස් ටු ලහෝර්


ට්‍රේනින් එක පටන්ගත්තට පස්සේ නම් කිසිම රස්තියාදුවක් ගහන්න වෙලාවක් තිබුණේ නෑ.කාල සටහනේ විදියට උදේ නවයට වැඩ පටන් අරන් හවස පහට දේශන ඉවරවෙන්න තිබුණත් හතහමාර විතර වෙනකනුත් සමහර වටමේස සාකච්ඡා තිබුනා. War Against Terrorism , Affirmative Actions and Minority Rights , Cultural Rights වගේ දාලා යන්න ලෝබ රසවත් මාතෘකා නිසා එකක්වත් කට් කරන්න කාටවත් ඕනෙ කමක් තිබුණේ නෑ.ඊට අමතරව රෑට යම් යම් ලිපි , පොත් පත් කියවන්නත් තිබුණ නිසා හැමදාම ටිකක් වෙහෙසකර දවසක් වුණා.හතරවෙනි දවස වෙනකොටනම් කාටත් හරි මහන්සියි .ඒ බව තේරුණ නිසා අපිට උගන්වමින් හිටි මහාචාර්ය වරු දෙන්න තීරණය කලා හරියට හවස පහට දේශන නිමා කරලා අපිව නිදහස් කරන්න.එදා සති අන්ත සෙනසුරාදාවක් .අපි කාටත් බලාපොරොත්තු නොවුන වෙලාවක පොඩි දීමනාවකුත් ලැබුණා .අපේ ඉන්සිඩෙන්ටල්ස් වලට නියම කරලා තියෙන සල්ලි වලින් බාගයක් .වෙලාවෙ හැටියට ඒකත් වටිනවා .කවුරුත් කතා කලේ නුදුරින් තියෙන 'සාකේත්" වලට මෙට්‍රො බස් එකෙන් ගිහින් , ෆිල්ම් එකක් බලලා ,හොඳට කෑම කාලා , රාත්‍රී අවන්හලකට ගිහින නටලා විනෝදවෙන්න . සාකේත් සති අන්තයේ විනෝදවෙන්න එන උදවිය වෙනුවෙන්ම කැප වුණ අවන්හල් , සිනමා ශාලා , සමාජසාලා තියෙන පැත්තක් . මට ඉතින් ඕනේ කොහේහරි කලබල නැති තැනකට වෙලා පාඩුවේ මසාලා තේ එකක් බීල කයිවාරුවක් ගහන්න නිසා සාකේත් නඩේට එකතුවෙන්න කැමැත්තක් තිබුනේ නෑ.ඒ නිසා මම නැවතුනා . ටිකවෙලාවකින් මගේ රූම් එකට කෝල් එකක් එනවා රබියගෙන් 

"TG Are you going to Saketh ?"
No , I am not interested
Then why dont we go out and have dinner ?

නියම අදහස . හෝටල් ආලින්දයෙන් විපරම් කරලා අපි තීරණය කලා  ඊට නුදුරෙන්ම පයින් යන දුරින් තියෙන "ඇම්බියන්ස්" ශොපින් මෝල් එකට යන්න . අපි දෙන්න පයින්ම කයිවාරුවක් දාගෙන කිලෝමීටරයක් විතර ඇවිදගෙන ගියා . ඇම්බියන්ස් කියන්නේ ඉන්දියාවේ ධනවත් මධ්‍යමපාන්තිකයන්ගේ අඳුම් , පැලඳුම් ,ජීවන රටාවෙ උවමනා එපා කම් සපුරන්න තියෙන සුපිරි සාප්පු සංජීර්ණ ජාලයක් . විදුලි එලියෙන් ආලෝකවත් වුණ   Marks & Spencer , Pantaloon , Diesel ,     වගේ       බ්‍රෑන්ඩඩ් ශොප් වල උදාරම් ලීලාවෙන් ගැවසෙන ඉන්දියානු මධ්‍යම පන්තිය (Elite Class /upper middle class) සුලබ දසුනක්. මේත් ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ තවත් එක පැත්තක් . ගන්න අතේ සල්ලි නැතත් වටින කියනා හෑන්ඩ් බෑග් ,අඳුම් ,පැලඳුම් දිහා බලමින් යන එකත් සතුටක් .ඔහොම ගිහින් නැවතුනේ පොත් හා සී ඩී පටි සාප්පුවක .එතැනින් අපි දෙන්නම ගසල් ගී තැටි කීපයකුත් , සිල් සිලා වගේ පරණ හින්දි චිත්‍රපටි සින්දු එකතු තියෙන ගී තැටිත් අරගෙන හල්දිරාම් එකට ගියා රෑ කෑමට . ඉන්දියන් තාලි දෙකකුත් ඕඩර් කරලා යන එන මිනිස්සු දිහා බල බල මසාලා තේ බි බී අපිදෙන්න කයියක පැටලිලා .

"ටී ජී කවදද පාකිස්ථානෙට එන්නේ ?"
"හ්ම් ..ඒකනම් ටිකක් හිතන්න වෙනවා "
"ඒ මොකෝ "
"අපේ ඔෆිස් එකෙන් දෙන සිකියුරිටි අප්ඩේට් වලට අනුව පාකිස්ථානේ සංචාරයට ඒ තරම් ආරක්ෂිත තැනක් නෙවේ. ගිහින් ආව යාලුවොත් කියන්නේ ඉස්ලාමාබාද් කියන්නේ පාරේ ඇවිදගෙන යන්න තරම් වත් හොඳ තැනක් නෙවේ කියලා."
"ඒ වගේම පාකිස්තාන් වීසා එකක් පාස්පෝර්ට් එකක තියෙන එක ටිකක් කරදරයි විශේෂයෙන් බටහිර රටකට වීසා එකක් ගනිද්දී ඒක සැකයට කාරණාවක් .ඉන්දියන් වීසා ගන්න ගියත් එහෙමයි."
මම ටිකක් සැක මුසු විදියට කිව්වා .


"හ්ම් ..ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ආයතනවල ඉහල නිලධාරීන් පාකිස්ථානය ගැන දෙන්නෙ ඔහොම නිල නිවේදන තමා .නමුත් ටී ජී දන්නවද කිසිම ඇමෙරිකානුවෙක් , බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පාකිස්තානය දාලා යන්න අකමැති වග .ඒක තමා ලෝකෙට නොපෙන්වන ඇත්ත කතාව .එයාලා ඔක්කොම තමන්ගේ පවුල් පිටින් පකිස්තානේ සෙට්ල් වෙලා ඉන්නේ .මම ඉස්ලාමාබාද්වල නැවතිලා ඉන්නේ තනියම.මට කිසි කරදරයක් වෙලා නෑ. ලංකාවෙ කොලඹ බෝම්බ පුපුරද්දී ඔයාලා ජීවත්වුනේ නැත්ද .තාම මගේ අම්මයි තාත්තයි ඉන්නේ පෙශාවර් වල ඇෆ්ඝාන් මායිමේ . ඔය කියන තරම් අපි නපුරු ත්‍රස්තවාදියො නෙවේ .ඔයා එන්න දවසක අපි ටක්ෂිලා , ලහෝර් , පෙශාවර් බලන්න යමු . ලහෝර් වල අනර්කලී මාර්කට් එක හරි ලස්සනයි . ඉස්ලාමාබාද් වීදි දිගේ යද්දි ඔයාට දකින්න පුලුවන් හවසට පාරේ නාන් කඩ වල නාන් හදන මිනිස්සු . මම ඔයාව හැම තැනම ගෙනියන්නම් "

හරි එහෙනම් මම එන්නම් . මම රබියාට සුහදත්වයේ  අතක් දිගු කරමින් කිව්වා කතාවෙන් කතාවෙන් වෙලාව රෑ ද
යාමාර විතරවෙලා දන්නෙම නැතුව.අපි ඉක්මනට කෑම කාලා හල්දිරාම් එකෙන් සෝන් පපඩි පැක් හතරකුත් අරන් යන්න ලෑස්තිවුනා. සාප්පු සංකීර්ණයේ ගොඩක් සාප්පු වහලා සේවකයො ගෙදර යනවා . ගණුදෙණු කාරයොත් තමන්ගේ සුපිරි වාහන වල නැගිලා යන්න පිටත්වෙනවා .ඔන්න එතකොට තමයි අපිට මතක්වුණේ හෝටලයට යන්නෙ කොහොමද කියලා . ලඟම තියෙන ත්‍රීවිල්ල් පාර්ක් එකට ගිහින් විපරම් කලා.එතැන ඉන්නෙ මහ ත්‍රාඩ පෙනුමක් තියෙන කොල්ලො ටිකක් . තරමක් අහිංසක පෙනුමක් තියෙන පොඩි කොලුවෙක් එක්ක කපශේරා වලට යන්න ගණුදෙනුව කතාකරනකොට මෙන්න අනිත් ත්‍රාඩයො රැල අපි වට කරගෙන එකෙක් අර කොලුව තල්ලු කරලදාලා මැඩම් කම් හියර් කියනවා .රබියටයි මටයි ආයෙ යකා නැගලා හින්දියෙන් ,ඉන්ග්‍රිසියෙන් බැන බැන අපි යන්නෙ අපිට ඕනෙ ඩ්‍රයිවර් එක්ක කියලා අර පොඩි කොල්ලට හයර් එක දුන්න .

යාන්තම් කපුටො රැලෙන් බේරිලා යද්දි ආයෙ තව ලොකු ප්‍රශ්නයක් .මේ කොලුවට ලයිසන් තියෙන්නෙ හරියානා වල විතරක් ටුක් ටුක් එලවන්න . කපශේරා, හරියානා මායිමෙන් එපිට දිල්ලියට අයිති. රෑ දහයෙන් පස්සේ මායිම පැන්නොත් කොල්ලට දඩ කන්න වෙනවා .ඒ නිසා අපි මග දාල යන්න මිනිහගේ ලෑස්තිය .මදැයි හයර් එක දීලා අපිට වුණ වැඩේ .ඒ මදිවට හරියානා සීමාව ඇතුලේ  පොලීසියට අහුවුනොත් අපි දෙන්නම ගස් .රබියගේ පොලිස් රෙජිස්ට්‍රේශන් අනුව එයාට ඇවිදින්න අවසර තියෙන්නෙ දිල්ලි සීමාවේ විතරයි .ඒ මදිවට වැස්සකුත් එනවා .මහපාරේ මග බැස්සොත් ෂුවර් පොලීසියට අහුවෙන්න ඉඩ වැඩියි. පුලුවන් තරම් ඉක්මනට අපිව දිල්ලි මායිමේ ත්‍රී වීල් පාර්ක් එකට දාන්න කියලා කොල්ලට  යනකන් තර්ජනය කෙරුව එක තමයි අපි කලේ .කොහොමහරි දිල්ලි මායිමට ආවම තමා ඇඟට ලේ ඉනුවේ . වෙලාව එකොලහ පැනලා .එතැන පාර්ක් එකෙ රියදුරො වාහන පාර්ක් කරලා නිදි .යන්තම් එක්කෙනෙක් නැගිට්ටවගත්තා . වැස්සත් තදයි.මිනිහා අවස්තාවෙන් ප්‍රයෝජන අරන්  රුපියල් සීයක් ඕනෙ කියනවා හයර් එක යන්න .අපි තව අමාරුවෙ වැටෙන්නෙ නැතුව ඒ ගානට කැමතිවෙලා හෝටලේට එනකොට රෑ මැදියමට ආසන්නයි .

අපේ සාකේත් නඩේ තාම ඇවිත් නැහැ. මගේ රූමිත් එයාල එක්ක ගියා .ඇවිත් ඇඟපත හෝදගෙන පිජාමා එක දාගෙන ටී වී බලන්න ලෑස්තිවෙනකොට ආයෙත් රබියගෙන් කෝල් එකක් . 


"ටී .ජී මම තේ හදන්නයි ලෑස්තිය ,ලහෝර් වලින් ගෙනාව හල්වා තියෙනවා .එනවද 215 "? .
"මරු අදහස , මම ශ්‍රී ලංකන් තේ අරන් එන්නම්" .ඔන්න අපි ආයෙත් 215ට වෙලා සාකේත් ගිය රූමලා එනකන් තේ බොන්න ලෑස්තිය .


ඒ එක්කම 215 දොරට කවුදෝ තට්ටුවක් දානවා . දොර ඇරලා බැලුවම අපේ ඉන්දියානු මිතුරිය මම්තා .

"මගේ රූමිත් සාකේත් ගියා .එයාලා තාමත් නෑ. 215 ඔය දෙන්නගේ සද්දේ ඇහුණ නිසයි ආවේ . මාත් හිටියෙ හරි කම්මැලිකමින් .එන්නද ඇතුලට?" .එයා කියවගෙන යනවා .

"එන්න එන්න .ලහෝර් හල්වා එක්ක ශ්‍රිලංකන් තේ තියෙනවා "කියලා රබියා එයාට හල්වා පෙට්ටිය දුන්න .

"ඕ ලහෝර් හල්වා" ...මම්තා ඇඳ උඩ ඉඳගෙන රසවිඳින්න සූදානම . ඒ අතර එයා මා දිහා බලලා අහනවා "ටී .ජී ආර් යූ අ පාකිස්තානි ? "කාට කියන්නද මේවා.මම්තට මම ආව රටත් මතක නැතිවෙලා

මාත් ටිකක් කල්පනාකරලා මෙහෙම උත්තර දුන්න
"No I am from Sri Lanka.But i have very close links to Pakistan   .Thats what i was talking with Rabia . "
"ඒ කොහොමද ? "මම්තා ඇස් ලොකු කරගෙන මා දිහා බලනවා .රබියත් පුදුම වෙලා මම මේ නටන්න යන නාඩගම මොකද්ද කියලා .
මම දැන් කතාව කියන්න ලෑස්තිය .මම්තා තේ කෝප්පේ තොලගාමින් ඇඳ උඩ එරමිණියා ගොතාගෙන හරි බරි ගැහුනා කතාව අහන්න .

"මෙන්න මෙහෙම . මගේ තාත්තා කොලඹ ලොකු බිස්නස් පවුලක කෙනෙක් .එයාලගේ ගෙවල් තිබුනේ මරදාන කියන හරියෙ . ඒ පැත්තේ වැඩි දෙනෙක් බොහොම සල්ලිකාර බිස්නස් කරන මුස්ලිම්වරු .මගේ තාත්තගේ පවුලේ උදවිය මේ අයත් එක්ක බොහොම යාලු මිත්‍ර කමෙන් තමයි ඉඳලා තියෙන්නෙ .කොටින්ම මගේ සීය එයාගේ නෑදෑයො තරමට ලඟින් අසල්වැසි මුස්ලිම් පවුලේ ෆසාල් මහත්තයව ආස්සරේ කරල තියෙන්නෙ . ෆසාල් මහත්තයට පාකිස්තානෙ නෑයො ඉඳල තියෙනවා .මගේ අම්මගේ තාත්ත එයාගෙ මස්සිනා කෙනෙක් . මගේ අම්මගේ පවුලේ උදවිය එක්ක අම්මගේ තාත්තා එනවා එයාගේ මස්සිනා බලන්න කොලඹ බිස්නස් වැඩකට ."

මම කතාව කියවගෙන යනවා .රබියා ඇඳ විට්ටමට හේත්තුවෙලා කොට්ටෙන් මූණ වහගෙන හිනාව එලියට පනින එක වලක්වන්න .මම්තා බොමොම කුතුහලෙන් මාදිහා බලන් ඉතින් ඉතින් කියනවා.

"ෆසාල් අංකල්ගේ ගෙදරට ආව එයාගේ නෑදෑයෝ අපේ සීයත් හඳුන්වලා දීලා . අසල්වැසියො නිසා කවුරුත් ඉක්මනට සුහදවෙලා . ඔහොම තමයි අපේ තාත්ත අපේ අම්මව දැකලා තියෙන්නේ .මේ 1979 විතර . දෙන්නම තරුණයි.අම්ම හරි ලස්සනයි. ඉක්මනට යාලුකම ප්‍රේමෙකට පෙරලිලා ."

"ඔහ් හව් ස්වීට් ටී .ජී" මම්තා කියනවා

"ස්වීට් නෙවෙ ඊට පස්සෙ මෙක දැනගෙන ගෙවල් දෙකේම උදවිය යුද්ධ ප්‍රකාශ කරලා .මගෙ අම්මගෙ තාත්තා එයාගෙ ඔක්කොම කොලඹ බිස්නස් වැඩ  අතරමග දාලා අවුරුද්දක් ඉන්න ආවත් මාස තුනෙන් පාකිස්තානෙට යන්න ලෑස්තිවෙලා .මේ වෙනකොට ගෙවල් දෙකෙන්ම අම්මටයි තාත්තටයි තහංචි දාලා මුණ ගැහෙන එකට .අම්ම ෆසාල් අංකල්ගේ ගෙදර වැඩකාර කොල්ල අතේ තමයි ලියුමකින් පාකිස්තානෙට යන විස්තරේ තාත්තට කියලා තියෙන්නෙ . කොහොමහරි තාත්ත නිකං ඉඳලා නෑ.එයාගෙ යාලුවන්ගේ උදව්වෙන් යන දාට කලින් දා රෑ අම්මව පන්නගෙන එක්කන් ගිහින් කසාදබැඳලා .දෙන්න පැනල යන්න කලින් ගෙවල් වලට ලියුම් දෙකක් ලියලා තියලා ගිහින් තියෙන්නෙ .සීයල දෙන්නටම හොඳටම තරහ ගිහින් මේ වැඩේට .දෙන්නම පවුල් වල දරු කමින් එලවලා .කිසිම දේපොලක් දීල නෑ. මගෙ අම්මගේ පවුලේ අය හරි දරුණු තීරණයක් අරන් තිබුණා එයාට ආපහු පාකිස්තානෙට පය තියන්න බැරි විදියට .ඒත් අම්මයි තාත්තයි අදහිරිය වෙලා නෑ.කොහොම හරි ජීවිතේ පටන් අරන් .තත්තගේ යාලුවො එයාට උදව් කරලා . එයාලගේ ආදරේ වෙනස්වෙලා නෑ මොන කරදර තිබුණත් .ඒකෙ ප්‍රථිපලයක් තමයි මම ."

ඔන්න එතකොට තමයි මම්තා ඉහලට ගත්ත හුස්ම පහල දැම්මේ.

"හව් ස්වීට් ටී ජී යුවර් මදර් ඉස් අ ග්‍රේට් වුමන්. යුවර් ෆාදර් ඉස් අ ග්‍රේට් ලවර් .ගොඩ් බ්ලෙස් දෙම්.ඉට් ඉස් ලයික් අ බොලිවුඩ් මූවී ටී ජී." මම්තා කියනවා .

රබියා තාම හිනාව විකාගෙන .මමනේ දන්නේ මේක ගජබින්නයක් කියලා .

"ටී ජී ඔයා මොන ආගමෙද ?, ඔයාගෙ අම්මට ලේසි වෙන්න නැතුව ඇති නේ ලංකාවට හුරු වෙන්න තනියම?" ආයෙත් මම්තා අහනවා

"ඔවු මුලින් ගොඩක් අමාරු වුණාලු තනියම කාගෙවත් උදවු නැතුව ,භාෂාව දන්නෙ නැතුව ජීවත් වෙන්න .ඒත් එයා ටික ටික සිංහල ඉගෙනගෙන . මගේ ආගම ගැන නම් මම දන්නේ නෑ. අම්ම ගාව කුරාන පොතක් තියෙනවා තාම .එයා ඒක් කියවනවා .ඒත් පල්ලියේ ප්‍රෙයාර්ස් වලට නම් යන්නේ නෑ.අපි ඉගෙන ගත්තේ බුද්දාගම .ආගම් ගැන බලපෑමක් අපිට නෑ. රාමසාන් වලට නම් අම්ම රස කෑම උයනවා තාමත් ".යන්තම් ඒ ප්‍රශ්නෙන් ගැලවුණා .

"හ්ම් ඒක ඇත්ත , දෙය් ආර් ග්‍රේට් ලවර්ස් . ගෝඩ් ඉස් ඕල්වේස් විත් දෙම් ".මම්තා කියනවා .

පොඩි බොරුවක් නෙවේ මාත් කිව්වේ .

"අම්මාගේ ගම ලහෝර් වල .එයා දැන් කාලෙක ඉඳන් ගෙදර අය ගැන මතක් කරනවා මම රට යන හැම වෙලාවෙම .මම හිතන්නේ සීය එයාට සමාව දීල ඇති දැන් .දවසක අම්මගේ ගමට ගිහින් නෑයො බලන්න තමයි මාත් හිතන් ඉන්නෙ ".

ඔන්න යාන්තන් මගේ ගජබින්නාලංකාරෙ ඉවර කලා .දැන් රබිය කතා කරනවා

"ඔවු මගේ තාත්තත් ලහෝර්වල .ටී .ජී කිව්ව එයාගේ අම්මලගේ පවුලේ විස්තර මම හෙටම තාත්තට ඊ මේල් කරල බලනවා තොරතුරක් හොයාගන්න ".

"බලන්න ආදරයක් ගියදුර .මේ ආදර කතාව ඉන්දියාවෙදි පාකිස්තානුවෙකුයි , ඉන්දියානුවෙකුයි එක්ක ලහෝර් හල්වා කාලා ලංකාවේ තේ බොන ගමන් ටී ජී ට කියන්න වුන එකත් හරි ලස්සන දෙයක් නේද ?". රබියට කාව්‍යමය සිතුවිලි පහල වෙලා .

කතාවෙන් කතාවෙන් තේ කෝප්ප කීපයක්ම හිස් වෙලා හල්වා පෙට්ටියත් ඉවර වෙලා තිබුණා .මම්තා එයාගේ කාමරේට යන්න නැගිට්ට

"ටී ජී මම හෙට අපේ යාලුවො ඔක්කොටම කියනවා ඔයාගේ ලහෝර් අම්ම ගැන . අපි දකුණු ආසියාවේ මිනිස්සු නොදන්නව වුණාට ඉහත ආත්ම වල නෑදෑකම් තියෙන්න ඇති ගොඩාක් .මේක හරි ලස්සන ආදර කතාවක් .ඔන්න මම්තා හැඟීම් බර වෙලා කියනවා" .

 මම්තා අපෙන් සමු අරන් එලියට ගිය හැටියෙම රබියාත් මාත් ඇඳට කඩාගෙන වැටිලා එකා උඩ එකා පෙරලෙමින් හිනාවුණා වරුවක් විතර .

පහුවදා අපේ අනික් යාලුවො ඔක්කොටම මේක ආරංචි වෙලා . හැමෝම මගෙන් අහනවා .මාත් ඉතින් බොරු කතාව කියනවා .ඒත් මේක හොඳ වැඩක් නෙවෙයිනේ . එදා හවස අපි ඉගෙනගත්තේ Cultural Relativism and Law in South Asia

ඉගැන්නුව මහාචාර්ය වරිය අපෙන් ඇහුවා ප්‍රශ්ණයක්

"Are you a typical Pakistani/Sri Lankan /Indian / Maldiviean / Nepali /Afghani/bengaali /Butani man or a woman?"
හැමෝටම උත්තර දෙන්න වුනා .මගේ වාරෙ ආවම මෙන්න මෙහෙම මම කිව්වේ

"Actually i don't know as Sri Lankan how typical I am .But yesterday suddenly i revealed a Pakistani identity for me and my maternal links to Lahor ." ඔහොම කියලා මම හැමෝම හිනාගස්වමින් මම්තට කිව්ව කතාව ආයෙත් කිව්ව "...so i feel more or less i am a  south asian woman . So at least I know I belong to whole South Asia .thats my identity"


යාලුවො ඔක්කොම අත්පොලසන් දෙමින් හිනාවෙනවා . තේ විවේකෙදි මාගාවට ආව මම්තා මෙන්න මෙහෙම කිව්ව.

"ටී ජී යු ආර් අ ග්‍රේට් හින්දි මූවී ස්ක්‍රිප්ට් රයිටර් .අයි ලයික් දැට් ලවු ස්ටෝරි අ ලොට්"

ඔන්න ඔහොමයි පාකිස්තානයේ ලහෝර් වලට මගේ නෑදෑකම් ඇති වුනේ


ප/ලි
මේ කතාවෙන් මට කියන්න හිතුනේ පිට රටකදි උනත් අපේ ජාතිය අහුවොත් අපි ශ්‍රී ලාංකික කියල කියන්නේ නැහැනේ එකපාරටම .අපේ උත්තරේ සිංහල කියන එක .ඒ වගෙම අපි ලෝකෙ ඉගෙන ගන්න , රැකියාවට විවිද රටවලට යනවා වුණත් අපි නිතරම ප්‍රී ජජ්මන්ට්ස් වලට එන්න කැමතියි සුද්දො මෙහෙම , ඇමරිකානුවො මේ වගේ , ඉන්දියන් කාරයො ගන්න දෙයක් නෑ, මුස්ලිම් මිනිස්සු එපා කෙරුව ත්‍රස්තයො   විදියට .ඒත් අපි නොහිතා සමහර වෙලාවලදි අපිට ඔය අනන්‍යතාවක් ආරෝපණය වුනොත් මොකද වෙන්නෙ .ඒ වගේම ලාභය තකා අපේ අනන්‍යතාව වෙනස්කරන්නත් අපි ලෑස්තියිනේ .බ්‍රිතාන්‍ය හෝ ඇමරිකා පුරවැසි කම වගේ දේකට කවුද අකමැති .එහෙම වුනොත් අපි කොහොමද පටු identity එකක ඉන්නේ අනික් අතට ගොඩක් සමාන සංස්කෘතික ලක්ෂණ තිබුණත් අපි කිසි දවසක දකුණු ආසියාතිකයො කියන අනන්‍ය හැඟීමට වත් ගිහිල්ල නැහැනේ .අපි හරි කැමති දෙයක්නේ පටු අනන්‍යතාවක හිරවෙල් ඉන්න .

මම මේ කතාව ඉවර කරන්න කැමති කබීර් කියන මිතිකල් කවියාගේ කවියකින්.හින්දුන් හිතනවා කබීර් ඉන්දියානුවෙක් කියලා.මුස්ලිම් වරු හිතනවා කබීර් පකිස්තානුවෙක් කියලා .මේ දෙගොල්ල නයි වයිර වුනත් කබීර් දර්ශනය අදහනවා  .....හා මෙතැනින් මගේ  දිල්ලි කතන්දරත් ඉවර වෙනවා
.


කබීර් ගැන දන්න දෙවල් තියෙනවනම් ඔන්න  ලියලා යන්නත් පුලුවන්

Where do you search me? I am with you
Not in pilgrimage, nor in icons,
Neither in solitudes Not in temples, nor in mosques
Neither in Kaba nor in Kailash I am with you o man,
I am with you Not in prayers, nor in meditation,
 Neither in fasting Not in yogic exercises,
Neither in renunciation Neither in the vital force nor in the body,
Not even in the real space Neither in the womb of Nature,
Not in the breath of the breath Seek earnestly and discover, In
but a moment of search
Says Kabir, Listen with care,
Where your faith is, I am there.










21 comments:

  1. යාන්තම් ටීජීගේ සුල, මුල හොයා ගත්තා. මම නම් කියන්නේ මම 'ශ්‍රී-ලාංකික කියලයි'. සිංහල කියලා නෙමෙයි....:)

    අර 'සිල්-සිලා' ෆිල්ම් එක මාත් බැලුවා. අමිතාබ් මාර පැනියෙක්නේ. කාලේ හැටියට ලස්සන ෆිල්ම් එකක් . Rekha looks so sweet in that film...na....:)

    ඔන්න කබීර්ට මගෙන්...

    Maein dilo jaan say tumhe chahtaa hoon...:D:D:D

    ReplyDelete
  2. ලස්සන කතාව . මමත් කියන්නේ ශ්‍රී ලන්කන් කියල තමයි. කතාව දුර ගිහින් ආගම ගැන හෙම ඇහුවොත් තමයි ඉතුරු ටික කියන්නේ . අර බෝල වගේ ජාතිය ගුලාබ් ජමුන්ද . ඔය ඉන්දියන් පකිස්තාන් පැණි රස කෑම වලට මාත් මනාපයි . දකුණු ආසියාවම විතරක් නෙමේ මේ මුළු ආසියාවේම තියනව යම් යම් නෑ කම් . අපි හොඳටම රස වින්දා ඔයාගේ මේ කතාව ටි ජි .

    ReplyDelete
  3. ඊයෙම කතාව කියෙව්වට කොමන්ට් කරන්න වුනේ නෑ. ඔය තේ කතා නම් මටත් තියෙනවා. මමත් නිවාඩු ගියාම රෑ වෙද්දි තේ පොට් එකක් හදාගෙන යාළුවෝ එක්ක කියවන්න මනාපයි. ඕක ඉවර වෙන්නේ පාන්දර දෙකට තුනට. ඒත් පසුවදා නැගිටින්න ඕනම නම් විතරයි.

    අර සින්හල කතාව නම් මටත් මගෙ වර්සන් තියෙනවා. කවුරු මගෙන් ඇහුවත් මම කියන්නේ මම ශ්‍රී ලාංකික කියලා. ඒත් ඔය නිව්ස් හෙම බලලා වර්ගිකරන ගැන දන්න මිනිස්සු ඇහුවම මම කියන්නේ පොඩි කාලේ ඉඳන් රටින් පිට හිටිය නිසා මට එහෙම සිංහල හෝ ටැමිල් කියන්න බෑ කියලා.
    හොඳම හරිය එන්නේ ලංකාවේම මිනිස්සු ඕක මගෙන් අහද්දි. ඔයා කොහොමද මේ වගේ වෙනස් පාටක් උනේ ලංකාවේ කෙනෙක් නම් කියලා අහද්දි මාත් කියන්නේ මගේ අම්මා වෙන රටක කෙනෙක් කියලා ඔය ලොකු ස්ටෝරි එකක් අතහරිනවා. අනික ඉතින් ලංකාවේ හා දකුනු ආසියාවේ මිනිහෙක්ට අනිකාගේ ආ ගිය උඩ බිම ඔක්කොම දැන ගන්න ඕන නේ. ඉතින් මට ඔය බොරුව වරදක් කියලා හිතෙන්නේත් නෑ.
    මට හිතෙන්නේ අපේ රටවල අපි බොහෝ විට racism ගැන හිතනවා. කවුරු හරි කතා කරපු ගමන් අහන්නේ ඔයා මොන ආගමේද මොන ජාතියේද කියලා. මේක මට නම් මහ වදයක් ඇත්තෙන්ම.
    පකිස්තානයේ ජීවත් වෙන එකයි කොළඹ ජීවත් වෙන එකෙයි වෙනසක් නෑ. බොහෝවිට ආගමික අන්තවාදින් හැරුනම අනිත් මිනිස්සු බොහෝම සංවරයි. මට මතකයි මීට කාලෙකට එහාදි අපි නතර වෙලා හිටපු හොටෙල් එකේ හිටපු අපිට (කෙල්ලන්ට) බියර් දෙන්න බෑ කියපු කතාව. අපි තරහ ගිහින් අපේ අයිතිවාසිකම් කියලා දෙද්දි එතන හිටපු වයසක මනුස්සෙක් කිව්වේ මේ අය ෆොරිනර්ස්ලා. ඒ අය ආවේ විනෝද වෙන්න මිසක් අපේ සංස්කෘතිය අරන් යන්න නෙමෙයිනේ කියලා. මට නම් පකිස්තාන් කීවම ඉන්දියාවට වඩා හිතවත්කමක් තියෙන මිනිස්සු කියලා හිතුන අවස්තා තියෙනවා.
    බොහෝ වෙලාවට දකුණු ආසියාවේ බොහොමයක් රටවලදි මට මගේම රටට වඩා ඒ රටේ මනුස්සයෙක් කියලා දැණිලා තියෙනවා. කොටින්ම ලංකාවේදි මට කවදාවත් මේ මගේ රට කියලා දැනෙන්නේ නෑ. හේතුව ඉතින් දන්නෝ දනිති. ( දන්නවද තමන්ගේ රටේදිම අනාථ වෙන මිනිසුන්ට දැනෙන හැඟීම. )
    මනෝගේ සටහන් එක්ක අපි බොහෝ දුර ගමන් යන බව නම් කියන්නම ඕනේ. කොටින්ම මේ වේන්කොට මම ඉන්නේ ඉන්දියාවේ.

    ReplyDelete
  4. මගේ ජීවිතයේ වැඩි කාලයක් ලංකාවෙන් පිට ජීවත් වුනත් මා ලාංකිකයෙක් හැටියට හඳුන්වා දෙන්නේ ආඩම්බරයෙන්. විවිධ රටවලින් ආ විදේශිකයින් ගෙන් පිරුණ කලාපයක ඒ අනන්‍යයතාවය ගැන පැනය එතැනින් නවතින්නේ නැහැ. ඊලඟට අහන ප්‍රශ්ණය මොන ජනවර්ගයට අයත් ද යන්නයි? අවාසනාවට අපේ රට තුල කාලාන්තරයක් තිස්සේ පැටලවී ඇති ethnicity (ජනවර්ගත්වය) හා nationality (ජාතිකත්වය) වචන දෙක මොනතරම් ඈතට විහිදිලා ද හිතෙන වාර අනන්තයි.

    ලෝකය දැණුවත් කිරීම අසීරුයි, ඒත් යමක් පැහැදිලි කර දෙන්න පුලුවන් සීමාවල ඉන්න පුද්ගලයින් අතරට පුංචිම පණිවුඩයක් ගෙනියන්න අර බෙදුම් රේඛාවලින් අපිව තල්ලුවෙන තෙවැනි තැන පරිස්සමෙන් යොදා ගත් අවස්තා ද තියෙනවා. ඒ පිටතින් ඉඳන් පාට කණ්ණාඩි පැලැඳ අපේ රට ගැන ඔවුන් හිතන විදියට දකින්න උත්සාහ කරන අයට පුංචි පැහැදිලි කිරීමක් කරත හැකි ලාංකිකයෙක් හැටියට.

    අවාසනාවට අපි ජීවත් වෙන කලාපයේ ඇතැම් තානාපති කාර්යාල සේවක පිරිස විසින් අපේම රට වැසියන් අර ඉරි දිගේ බෙදා තියාගෙන ඉඳීමත් කණගාටුවකි.

    බෙදුම් ඉරිවලින් ප්‍රයෝජන ගන්නේ වෙනත් අය.

    ReplyDelete
  5. හල්වා නම් ගොඩක් කන්න බෑ ඔලුවේ කරකැනිල්ලක් වගේ එනවා. ඒත් රසනම් අමතක කරන්නත් බෑ. අපිත් එක්ක ගියා වගේ දැනෙන්න මේ ලියා ඇති ආකාරයනම් හරිම අපූරුයි.ආයෙත් සංචාරයක තොරතුරු ගේන්න.
    විස්තර කර ඇති කෑම වර්ග වගේම කතාවත් රසවත්...

    ReplyDelete
  6. පහුගිය ලෝක කුසලානය වෙලේ ඉන්දියන් කට්ටිය එම්බසියේ ඉඳන් මැච් එක බලද්දී අපි අපේ තානාපතිතුමාගේ නිල නිවසේ ඉඳන් බැලුවේ. අල්ලපු ගෙදර පකිස්තාන් තානාපතිතුමා විදින් විදේ ඇවිත් අපි එක්ක හිටියා . හරිම මිත්‍රශීලි මනුස්සය . පකිස්තාන් අයෙක්ට ලාංකිකයෙක් සහ ඉන්දියානුවෙක් හමු වුනොත් එයා වැඩි මනාපය ලාංකිකයාට . ඔය දෙගොල්ලම මා එක්ක හොඳයි . මන් නම් ඉතින් පකිස් හල්වයි ..ඉන්දියන් සෝන් පපදියි කනවා ඇති වෙන්න

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. පමණට වඩා ක්‍රියේටිව් එවුන බොරු ගොතන විට උන්ට එව්වා ලිහා ගන්න බැරිවන බව තමයි මේකෙන් පේන්නේ. ගහපු බොරුවට වඩා අමාරු ඇත්ත පැහැදිලි කිරීම.

    ඔන්න මං නම් කියන්නේ ශ්‍රී ලන්කන් කියලා. ලක්ෂයක් විතර ජීවිත වැනසී උගන්වපු ඒ පාඩම උගෙන ගත්තේ නැතිනම් ....

    තව පාරක් ටී ජී එක්ක පට්ට ජෙලස්. හැබැයි ඔයාගේ තගරිය නැතුව ඉන්දියාව මේච්චල් කරන්න බැහැ වගේ.

    කතා ඉවරයි කිව්වම මට දුක හිතුනා. අනේ ඇයි තව එක පාරක් වත් ලෙක්චර් කට් නොකළේ.

    ReplyDelete
  9. @පො.කු

    අමිතාබ් අයිස්ක්‍රීම් උම්මා දෙනවද ඒ ෆිල්ම් එකේ හි හී

    @ප්‍රියන්ත
    හල්වා නිකන් වැලිතලප වගේ කියලා මටහිතෙන්නෙ .ඒවුනාට එල කිරි දානව වගේ හදනකොට

    @බින්දි
    මාත් හරි කෑදරයි ඉන්දියන් ස්වීට් වලට .ඔවු එතැන ගුලබ්ජම්මු තියෙනවා .නියම විදියට නම ඒවා සර්ව් කරන්නේ උණු උණු ෂුගර් සිරප් වල දාලා . සෝන් පපඩි මාත් ආසා කෑමක් . ජලේබි -පැණි වලලු එහෙමත් හරි රහයි.මේ සැරේ හරියටම අවුරුදු හතරකට පස්සේ මම "මල්පුවා" කියන ස්වීට් ජාතිය කෑව.හරියටම කිව්වොත් රතු හාල් පිටි දාලා, පැනි ගොඩක් මිශ්‍ර කරලා හදන පැණි ආප්පෙක මැද කොටස වගේ.හරි රහයි.දිල්ලියට ගියොත් ග්‍රීන් පාර්ක් මාර්කට් රෝඩ් එකේ එවර් ග්‍රීන් කියන ස්වීට් ශොප් එකට යන්න .ලස්සනට පැක් කරපු ඕනෙම වර්ගෙක ස්වීට් කල් තියාගන්න පුලුවන් විදියට ගන්න පුලුවන් . මිරිස් ඩැවිල්ල කැමති අයට කෑමත් එකේ තියෙනවා .අග්‍රා ඒ කියන්නේ ටාජ් නුවරත් ස්වීට් වලට ප්‍රසිද්දයි . ගියොත් අමතක කරන්න එපා "පෙටා" ශෝප් වල තියෙන පුහුල් දෝසි කන්න .නියම පුහුල්දෝසි මාර පැණි රහ .මත් වෙනවා .

    මම වර්ල්ඩ් කප් එක බැලූ දවසේඅ ඉන්දියා ඇර අනික් ඔක්කොම යාලුවො චියර් කලේ ලංකාවට .මට එස් එම් එස් එහෙම එව්වා මූණු පොතේ වෝල් එකෙත් සුබ පැතුම් දැම්ම . නේපාල් වල මෝනා අන්තිම වෙනකන් හිතුවා ලංකාව දිනාවි කියලා . බංග්ලාදේශ් වල ෆර්හානාත් හිතුවෙ දිනන්නේ ලංකාව කියලා .අපි පැරදුන වෙලාවේ ඉන්දියානු යාලුවො අගේ කලේ ලංකාවේ ක්‍රීඩකයො කොලිටි ක්‍රිකට් සෙල්ලම් කලා කියලා . සංගා ගේ කතාවට ගොඩක් පැහැදුන මගේ ඉන්දියානු මිතුරියක් තමයි මාලිනි.

    රංගි

    ඔවු මටත් හිතෙනවා දකුණු ආසියාවෙ වෙන රටකදි හරි නිදහසක් දැනෙනවා කියලා . ඒ වගේම මෙච්චර කාලෙකට හම්බවුණ ගොඩක් යාලුවො හරි මිත්‍රශීලී අය .තාම සම්බන්දකම් තියෙනවා . මාව කිසි සේත්ම නොදැන උදව් කල අයත් හිටියා .මේ සැරේ අග්‍රා වල මම නැවතුනේ මගේ යාලුවගෙ , යාලුවෙක් ගේ නිල නිවාසේ . ඒ පවුල මට සැලකුවෙ පුදුම ආදරෙන් . මම වෙනුවෙන් බත් උයලා ,යෝර්ගට් හදලා , මිල්ක් ශේක් හදලා ,තම්බපු බිත්තරත් ගෙනාවා .හින්දු ගෙවල් වල බිත්තර කන්නේ නෑ. ලෝකෙ කොහේ ගියත් තමන්ගේ ගෙදර වගේ කුස්සියට ගිහින් කාලා , වතුර ටැංකියකින් හරි , නාන කාමරෙන් හරි නාලා , සාලෙ නිදාගන්න පුලුවන් නිදහස තියේ නම් මට හිතෙන්නේ ඒ මගෙ හොඳම යාලුවෙක්ගේ ගෙදර කියලා .

    සුජීව

    මම ඉන්දියාවටත් ,දිල්ලියටත් හරි කැමතියි.ඒත් මේ සැරේ කවදාවත් නැතුව මට ටිකක් අනාරක්ෂිත කමක් දිල්ලියේ දැනුනා .ඉස්සර දිල්ලියේ විදේශිකයෙක් ගේ පාස්පෝට් බලන පොලිස් කාරයො මම දැකලා නැහැ පොදු ජනයා ගැවසෙන තැන් වල .මේ ගමන ටිකක් වෙනස් .මට ඉරිසියා කරන්නේ යන්නකො රවුමක් ගහන්න .

    ඩීන් ඇතුලු හැමෝටම
    අපේ ගොඩක් ලාංකිකයො නිතරම හිතනවා ශ්‍රී ලන්කන් කියන එක එක්ක සිනොනිම් වෙන්නෙ සිංහල , බෞද්ධ කියලා.ඔඅය මානසිකත්වේ නිසා මම ඔහොම ලිව්වේ .ඒ වගේම අපි නිතරම හිතන්නේ අපේ දෙදාස් පන්සීයක ඉතිහාසේ තමා හොඳම කියලා . එතකොට යුරෝපයේ පුනරුද කාලෙ බිහිවුන දැනුම නිර්මාණ වැඩක් නෑ. ඇමෙරිකාවෙ පුද්ගල නිදහස වෙනුවෙන් ලියවුණ ලියවිලි වැඩක් නෑ .ඉන්දියන්/පාකිස්තාන් කාරයො එක්ක අසල් වැසියො /කන්තෝරු යාලුවො හැටියට ඉඳන් උන්ට හිනාවෙනවා / අපහාස කරනවා .ඔන්න ඕකතමා අපේ දැනට තියෙන සම්මත සිංහල බවුද්ධ ශ්‍රී ලාංකික කම . හි හී

    Outsider -Thanks for the link on Kabir

    ReplyDelete
  10. හල්වා ගැන නසෘදින්ගෙ කතාවක අහලා තිබුණට ඇත්තටම කාපු කෙනෙක් දැක්කෙ අදනෙ.

    අර ත්‍රීවීල් ගමනනම් මරු. මමත් ඔය ජාතියෙ ඇඩ්‍රිනලින් ගමන් කීපයකට සෙට් වී ඇත. :D

    කිව්වත් වගෙ ටීජී හොඳයි හින්දි චිත්‍රපටියක තිරකතාව ලියන්න. :D මගෙනුත් ඔය ජාතියෙ ප්‍රශ්නෙ නිතර අසනු ලබන දෙයක්- මගෙ යාළුවොනම්, එහෙම අහන අයව අන්දනවා 'එයා තායි ලන්තෙන්ය, චීනෙන්ය' එහෙම කියලා. ඇත්ත කිව්වත් වැඩක් නැති එකේ මම කියන්නෙ, සිල්ක් රෙදි විකුණපු චීනෙක් සියවස් දෙකතුනකට උඩදි අපේ ගම් පැත්තෙ කැරකෙන්ඩ ඇතිය කියලා. :D

    ReplyDelete
  11. @ Nalini
    ලෝකේ තවත් කොනක තියෙන අනන්‍යතාවක් අපිට ආරෝපනය වීමත් පුදුම දෙයක් . මම කිව්ව බොරුව මම්තා හොඳටම විස්වාස කලා අකුරක් නෑර.

    හපොයි මොකට කියනවද ඉන්දියන් ත්‍රීවිල් මල්ලිලා/ අයියලා ගැන

    ඒත් නොලිය බැරි ත්‍රීවීල් මනුස්සයෙක් හිටියා අග්‍රා වල . ඉස්ටේසම් ඉඳලා හයර් එක ආවේ . මගේ නවාතැන ට ගිහින් පැය 2ක් විතර එතැන ඉඳලා , දවල් ට කාලා ආයෙ ටාජ් බලන්න යද්දි හවස එකයි . මිනිහා මට සේරම උපදෙස් දුන්න ටාජ් /රතු බලකොටුව දෙකටම එකට ටිකට් ගන්න , ටාජ් වලදි සපත්තු ගලවාලා ඇතුලට යන්න , පෝලිම දිග වුනොත් කොහොමද වෙන ගේට්ටුවකින් ඇතුල් වෙන්නේ එහෙම .එයාගෙ නම්බර් එකත් ඩුන්න .මම ඇවිදලා එනකන් හිටියා . මගේ වැඩ ඉවර වුණේ හවස හතරට .එතකොට එයාගෙ පුතා අසනීප වෙලා හොස්පිටල් නවත්තලා .එත් මිනිහා ඒක මට කිව්වේ අන්තිම මොහොතේ .එහෙම කරලා ඉක්මනට යන්න ඕනෙවට මාව එයා දන්න ත්‍රී වීල් එකක නග්ගලා තමයි යැව්වේ මගේ නවතැනට .ඊට කලින් මාර්කට් එකට ගෙනිහින් පලතුරු ගන්නත් / සාරි කඩ දෙකකට යන්නත් උදවු කලා . ඔය ඔක්කොම කරලා හයර් එක ඉන්දියන් රුපියල් 400 ක් විතරයි. මම අතින් රුපියල් පනහක් වැඩිපුර දුන්න මිනිහගේ හොඳ ගතිගුන නිසා .ඉඳහිට එහෙම හොඳ විස්වාස මිනිස්සුත් මුණ ගහෙනවා

    ReplyDelete
  12. මොකෝ කියන්නේ ටී ජී අපි එහෙනම් ස්ක්‍රිප්ට් එකක් ලියලා ෆිල්ම් එකක් කරන්න පටන් ගමුද? ඔය නලිනි පොකු බින්දිලාට බැරි යයි රඟ පාන්න. මම ඉන්නවානේ ඔය තේ හදලා හෙම දෙන්න. ඒ විතරක් නෙමෙයි ඇයි ෆිල්ම් එක බලන්න. ඕකේ අඩුපාඩු ටික හෙම පෙන්නලා දෙන්න මාත් ඉන්නම්.

    මටත් ඔය ත්‍රීවිල් කතා නම් ලියන්න පුළුවන් ලිස්ට් පිටින්. ඒ වගේද ඉතින් අර මැරින් ඩ්‍රයිව් එකේ ගිනි ගහන අව්වේ කෙසෙල් කැන් පිටින් දිලිසි දිලිසි තියෙද්දි මට එකක්වත් කන්න නොදී ඇදගෙන ආව හැටි එහෙම ලීවොත්.

    ReplyDelete
  13. ටීජී;

    සංචරණය නැවත පටන් ගත්තනේ. තවම බොහොම පොඩි ට්‍රිප්. ඒ ගැන වෙනම සටහනක් ලියමුකො.

    ඒ වුනාට මේ ඔයා කරන සෙල්ලම් අපිට කරන්න ලැබෙන්නේ නැහැනේ. මට ජෙල ඔය ෆුට් ලූස්‌ ෆැන්සි ලයිෆ් ස්ටයිල් එකටයි.

    ReplyDelete
  14. @සුජීව

    මම ඉතින් හෙඩ් ලූස් නෙ :) , ඒ නිසා ෆුට් ලූස් වෙලා ඇවිදිනවා . කවුද දන්නෙ කකුල් වලට මාංචු වැටේවිද කියල හෙට අනිද්දා

    ReplyDelete
  15. @ රංගි

    උඹට කිව්ව කියල හිතාගනු . හපොයි උඹ වගේ වදකාරයෙක් . දැක්ක දැක්ක හැම ඇටි කෙහෙලම කන්න ඕනෙ.ඇයි මතක නැද්ද කෙහෙල් කැන් වෙනුවට ලොකු පේර අරන්දුන්න පාරේ කරත්තෙකින් .මගෙ ඔෆිස් එකට ගිහින් හෝදල කපාගෙන තනියම කකා ගිය ලස්සන ( මට එක කෑල්ලක් දුන්නේ නෑ) .

    ReplyDelete
  16. @ මනෝ, අපේ අම්මා මට කියල දුන්නේ කවුරුත් දෙන දෙයක් කවදාවත් කාටවත් දෙන්නත් එපා, විසි කරන්නත් එපා කියලානේ. මම හොඳ ළමයානේ. මම ඉතින් පේර ගෙඩිය හෝදගෙන තනියම කෑවා.

    අනික ඉතින් ලංකාවේ ඉන්න උඹට මොන පේරද බං? ඔය හැමදාම ඔය පාරේ විකුනන්නේ? ඕක ගත්තු එකාට අනේ මට අර රිලවෙක් වගේ පේර දැකලා උඩ පැනපු එකාට දෙන්න තව ගෙඩියක් දෙන්න කීවොත් උඹට ඌ ගෙඩි පහක්වත් නිකන් දෙයි...

    ReplyDelete
  17. එබුනා කියෙවුවා ආයිත් එනවා ඔක්කොම කියවලා ලියන්න.

    ReplyDelete
  18. බොහොම සතුටින් කියෙවුවා. පටු ආකල්පවලට කොටු නොවී පුළුල්ව හිතන ඔබේ අදහස් වලට මමත් එකඟයි..මිහිපිට ඇත්තේ එකම එක දෙපා ජාතියයි ඒ මනුස්ය ජාතිය .. අනිත් ජාතිය සත්ව ජාතිය..එක දවසක් මට ඉන්දියාවේ එක්තරා ලොකු සමාගමකින් රැකියාවකට ඇරයුමක් ලැබුනා. මගේ හිතේ ඔය ගැන කොස්සක් තිබුනා. මන් හිතන්නේ අපේ මුල් බැහැගෙන තියෙන මෝඩ අදහස් නිසා.. මන් කොහොමද ඉන්දියානුවෙක් යටතේ වැඩ කරන්නේ කියල.. ඒ ඇරුණු විට ස්ථානය ගැන මට බරපතල ප්‍රශ්නයක් තිබුන නිසා මම කොහොමටත් නොයන්නයි හිතන් හිටියේ,. ඔන්න මම මගේ හොඳ යාලුවෙකුට ඕක කිවුව.. මිනිහ කියනවා..ඔයා නොයන්න තීරණය කල හේතු දෙකින් එකක් වැරදියි.. උදේ හවස ඉන්දියානුවේකුට වඳින්න පුදන්න පුළුවන් නම් එයාගේ දර්ශනය අදහන්න පුළුවන් නම් ඉන්දියානුවෙකු යටතේ වැඩ කලාම මොකද ? " මට මං ගැනම ලජ්ජා හිතුනා. අපි කොයිතරම් කුහක මිනිස්සුද කියලා..
    මගේ මේ සටහන බලන්නකෝ.. http://lankapriyagesithivili.blogspot.com/2011/08/blog-post_22.html

    ReplyDelete
  19. ඔය පකිස්තාන් විසා එක ගැන කතාව නං සහතික ඇත්ත. මගේ යාළුවො ටිකක් වොර්සෝව් එයාපෝට් එකේ නවත්තන් තිබ්බ පකිස්තාන් විසා නිසා. පැය ගානක් රස්තියාදු වෙලා එලියට ඇවිත් තිබ්බෙ. මෙහෙදි 'මම ලංකාවෙ' කිව්වම ඊළඟට එන ප්‍රශ්නෙ සිංහලද ? දෙමළද? කියල.
    අර කතාව කියවද්දී මට මතක් උනේ Veer - Zara. :) අදයි මේ පැත්තෙ ආවෙ. පරණ ලිපිත් පුළු පුළුවන් විදිහට බලන්න ඕනෙ.

    ReplyDelete
  20. @ Sarath and Muhudu

    Thanks for the comments and you are most welcome to Ahasgawwa

    ReplyDelete