Friday, October 2, 2009

වැඩ නිමවන්න.....

අගනුවරම නිදිගත් රෑ
මිහිරි පෙම් බස්
දුර ඈතකට ගිහින්
දෑස අයාගෙන
පරිගණක තිරය වෙත
වෙහෙසකර නෙතු පියන්
කර්කශ ලිපි අතර
නින්දට දඟලන
හීලෑ නැති හිත
වත්තන් කරන්

අඩක් කා හමාරවූ
චීන මකරුන්
සුව පහසු ඇති
සිතල පාලු කුටියක
රාත්‍රිය දිය කරන්
පෙරඹරින් හිරු නැගෙන
අරුණටත් පෙර
වැඩ නිමවන්න
අඩක් පිරියම් කර
ජීවිතය

Wednesday, September 30, 2009

නිවාඩු අද...... හිත (ආදරෙන් )ලෙඩවෙලා

නිමක් නැති මීටින් -ඉක්මනට තීරන ගන්න
පිටු ගනන් වාර්තා-හර බර ඉදිරි සැලසුම්
ආයෙත් සාකච්ඡා- තීරන කිරා මැන බලන්න
ඊමේල් ඇලර්ට්- ඔබේ දැනගනීම පිනිස
ඩෙඩ්ලයින් දිනපොතේ -මරණීය රතු එලි
කොන්ෆරන්ස් කෝල්-ලෝකෙම තනි යායක් 
වැඩ කරන්න  


ලැප්ටොප් එක බදන්-විසිහතර පැයේ නොනිමෙන ආදරය
නිල් පාට එල් සී ඩී තිරයෙන් ඈතට
වලා තීරයෙන් එහා හිම කඳු යහනට
පලා යන්න එක මොහොතක් හිතට
ශෝට් ලීව්, හාෆ් ඩේ ,ඇනුවල් ලීව්- ඔක්කොම කැන්සල්

එහෙනම් සික් තමයි- එත් මොකක්ද ලෙඩේ ?
පාලුව කාන්සිය තනිකම -මූලික රෝග ලක්ෂණ
ඉබාගාතේ ඇවිද යන හිත- ඈත පාවෙන සිහිනයක
හිත ලෙඩ වෙලා
නිවාඩු අද
හිත (ආදරෙන්) ලෙඩවෙලා

Monday, September 21, 2009

ගෙදර බුදුන් අම්මා



ගෙදර බුදුන් අම්මා.......
ඉතින් යකුනේ මම
අම්මෙක් නෙවෙයිද?
මේ පැටියා උපදිනකන් මාත්
දහ මාසයක් ඇඟිලි ගැන ගැ
පෙරුම් පිරුවා

මේකගේ අප්පා සෝමයා -මාව අනාත කරලා ගියා ගියාමයි
ආවෙ නෑ පැත්ත පලාතේ -ඒත් මගේ නෑ අමනාපයක්

අනේ මේ පැටියා
හීන් අතපය ගහලා
මයෙ කුසේ දඟලනකොට
හෙමිහිට හුස්ම ගන්නකොට
කොහොම මම සතුටු නොවී ඉන්නද ?

ඉතින් යකුනේ මොකද්ද? -මේ හරුපෙ තේරුම
අම්මෙක් නොවී මම -වේසාවියක් වුනේ කොහොමද?

නැද්ද ඕවට උත්තර?
උඹලගෙ මහ ලොකු
......... සංස්කුරුතිය ඇතුලෙ
නිමිත්ත

මෙහි ඇති සිත්තම ජෝජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි
 අපේ සිංහල බෞද්ධ සංකෘතිය අම්මාට මහත්සේ ගරු කරන බව පුන පුනා කියයි .උදම් අනයි .එහෙත් ගැහැණියක් විවාහයෙන් පිට මවක් වුනොත් සමාජය ඇයට මුව පුරා අම්මා යයි ආමන්ත්‍රණය නොකරයි. ඇය දෙස බලන්නේ උපහාසයෙනි පිලිකුළෙනි .ඇය මග වරද්දාගත් නරක ගැහැණියකි . විවාහය තුල හෝ ඉන් පිටත මවක් විමේ ජීව විද්‍යාත්මක සාධක/කාරණා  එක හා සමානය . එහි වෙනසක් නැත . නමුත් විවාහයෙන් පිට දරුගැබක් දරන/ දරුවෙකුට උපත දෙන ගැහැනියකට අපේ සමාජය බොහෝ රුදුරු ලෙස සලකයි . මට ඇවැසි වූයේ මේ කුහක සමාජ සම්මතය ප්‍රශ්ණ කිරීමටයි . කවිය ලියවුණේ ඒ වෙනුවෙනි. බොහෝ ආවේගාත්මක අවස්ථාවක මෙය ලියැවුනි .එම ආවේග ස්වරය නොවෙනස්ව මෙහි පල කලෙමි.

කිරි කතන්දර


මං පොඩිකාලෙ අවුරුදු තුනක් විතර යනකන් අම්මගෙන් කිරි බිව්වලු.මහ ගෙදර ඉඳල සෙනසුරාද ඉරිද නිවාඩු දවස් දෙකට අම්ම මාව ගෙදර එක්ක එනවා. ඉතින් සිකුරාදට මම ලොක්ක වගේ ආච්චිට කියනවලු "මම කිරිබොන්න ගෙදර යනවා" කියලා.මට තාම මතකයි කවුරුහරි "පුතේ කිරි මොන රහද?" කියලා ඇහුවහම මම කියනවා "කිරි වලාකුලු රහයිනෙ " කියලා. වෙලාවට කවුරුවත් ඇහුවෙ නැහැ "වලාකුලු මොන රහද?" කියලා.
අම්මට ,මට දෙන්න කිරි තිබුණට එයා රස්සාවට යන නිසා මාව පිටි කිරි වලට ඉක්මනට හුරු කරන්න වුනා.මම ඉපදුනේ ලංකාවෙ පෝලිම් යුගයෙ අවසාන කාලෙ .ඉතින් ඒ දවස්වල තිබුන ප්‍රකට ලදරු කිරිපිටි වර්ගයක් වෙන S.M.A ගන්න සමූපකාර පෝලිමේත් ඉන්න වුනා කියලා අම්ම කියනව.ඒත් ඉතින් මම නෙවෙයි ලේසියෙන් පිටි කිරි බොන්න පුරුදුවෙලා තියෙන්න .ඔනෙ තරම් කිරි හදලා අහක දැම්ම වෙලාවල් අනන්තයි ලු.දවසක් මම පිටි කිරි නොබී දඟ කරන වෙලාවක , මගේ ලොකු මස්සිනා චන්දිමාල් අය්යිය ඇවිත් වීරයා වගේ "නැන්දේ මම නංගිට කිරි බෝතලේ ඔකොම පොවන්නම්" කියලා ඉල්ලගෙන තියෙනවා.චන්දිමාල් අය්යට එතකොට වයස අවුරුදු දහයක් විතර . මම කිරි බිව්ව කියලද හිතන්නෙ?
විනාඩි දහයකට විතර පස්සේ අය්යා එනවලු හිස් කිරි බෝතලයත් අරගෙන.

"නැන්දේ නංගි ඔක්කොම කිරිටික බිව්වා"

" මගේ හොඳ පුතා"
එහම කියලා අම්ම අය්යියගේ මුණ දිහා බලලා.එයාගෙ කට වටේටම ලොකු "කිරි රැවුලක්" තිවිලා. මම කිරි බොන්න අදිමදි කරනකොට අයියා කිරි බෝතලෙම කටේ තියාගෙන බීලා වැඩේ අහවර කරලා.
"නංගිත් නොබී අපරාදෙ කිරි අහක දාන නිසා මම බෝතලේ කටේ තියාගෙනම බිව්ව".
තාමත් අපේ චන්දිමාල් අය්ය එහෙම කියලා හිනහවෙනවා.
මුල් කාලෙ ඔයවගේ පිටි කිරි නොබී පෙරලි කරාට කාලයක් යනකොට මම ටිකෙන් ටික පිටි කිරි බොන්න හුරුවෙලා. එතකොට මම S.M.A යුගයෙ ඉඳලා ලැක්ටෝජන් වලට උසස්වෙලා.ආච්චි කුස්සියෙ උදේට කිරි හදන වැඩේ බලන්න ඉන්න ලස්සනයි . මම ගොඩක් කැමති කිරි හදලා නිවනවා බලාගෙන ඉන්න .උණු කිරි බිව්වොත් මගේ කට පිච්චෙනවනෙ.ඉතින් එයා කෝප්ප දෙකකට කිරි දාලා නිවන්න පටන්ගන්නවා එක කෝප්පෙකින් අනිකට කිරි වක්කරලා.මම උදේට නැගිටලා නිදිමතේ ඇස් පිහ පිහ
ලඟ තියෙන පොඩි පුටුවෙ වාඩිවෙලා කකුල් දෙකත් වන වන ඉන්නවා.සුදු බැලලිත් මං වටේ දැවටෙනවා.

වැනියන් සුදු වැනීයන් -කිරි දෙනකන් වැනීයන්
සුදු පූසිට කිරි නැතේ -සුදු දෝණිට කිරි ඇතේ
හා... මට කියන්න අමතක වුනානෙ. ගොඩක් කිරි බිව්වම සුදු වෙලා ,ලස්සනවෙලා, ඉක්මනට උස යනවා කියලා ආච්චි මට කියලා තිබුණා.


ඉතින් කිරි නිවනකොට කිරි ටිකක්වත් බිමට වැටෙනවට නම් මම කැමති නැහැ.එහෙම වුනොත් සුදු පූසිටනෙ වාසි . ඔන්න වැරදිලාවත් කිරි ටිකක් බිම වැටුනොත් මම කෑගහනවා.
"අනේ ආච්චියේ "කිරි ඇටයක් හැලුනා" කියලා. "කිරි බිංදු" කියන්න මම දැනගෙන ඉඳලා නැහැ. ඉතින් ඒවට තමයි "කිරි ඇට "කියලා තියෙන්නෙ . කොහොමද මගේ කිරි කතන්දර ? :)

Sunday, September 20, 2009

මොන්ටිසෝරි වර්ජනය




මගේ කාර්යාලයේ පරිස්‍රයේම ලදරු පාසලක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තියෙනවා.පුංචි පැන්චො පැන්චියො ලදරු පාසල් එන්නෙ මම කාර්යාලයටත් එන්න කලින්.ඒ සමහරුන්ගෙ අම්මලා තාත්තලා උදෙන්ම රැකියාවට යන නිසා .

හැමදාම උදේට ටික වෙලාවක් මේ සිඟිත්තො දිහා බලා ඉන්න එක මගේ සිරිතක්. සමහරු බොහොම කැමැත්තෙන් ලදරු පාසල් ආවත් ටිකක් අඬාවැටිලා දෙමවුපියන්ගෙන් වෙන් වෙන අයත් ඉන්නවා.
මේ අය දිහා බලන් ඉන්නකොට මට මතක් වෙන්නෙ මගේ පුංචිකාලෙ ,ඇහුවට පුදුම වෙන්න එපා මම පුංචි සන්දියෙම වර්ජනයක් කරලා අයිතිවාසිකම් දිනාගෙන ලදරු පාසල් නොගිහින් කෙල්ලින්ම ඉස්කෝලෙ ගිය ළමයෙක්.
මම ඉපදුනේ හැදුනෙ වැඩුනෙ අපේ අම්මගෙ මහ ගෙදර . ඒ මගෙ ලමා ලෝකෙ රාජධානිය .ආච්චි,මාමලා, නිතරම මාව වඩාගෙන හුරතල් කරන අම්මගේ ඥාති සහෝදරියො ගොඩක් මැද්දෙ අවුරුදු හතරක් ගෙවෙනකන් හරි සතුටින් තමයි මම හිටියේ .පවුලෙ හැමෝගෙම හුරතලා මම ,මගේ නංගි ඉපදුනේ අවුරුදු හයකට පස්සෙනෙ.
සෙල්ලම් කරන්න, දුවන්න, පනින්න ,කාගෙන්වත් මට වැඩි තහංචි තිබුනෙ නැහැ.යන්තම් පයින් යන කාලෙ ඉඳලා දවල් දවසෙම මහගෙදර ලොකු වැලි මිදුලෙ ජංගි කොටේකුත් ඇඳන් තුල්සි අක්කා, සුදු,කුමුදුනි, මංගල ,මංජු අය්යා,ජානක අයියා වගේ ඥාති සහෝදර සහෝදරියන් එක්ක සෙල්ලම් බත් උයන්න ,තලාදුවන්න ,හැංගි මුත්තන් කරන්න වගේ වැඩ ඔනෙ තරම් මට තිබුණා.මහගෙදර මිදුලෙ ලස්සන ජපන් රෝස මල් පාත්ති ගොඩක් තිබුණා. කාලෙකට වැල නොකැඩී එන කහපාට සමනල්ලු මේ මල් පාත්ති වලට එනවා.උන් අල්ලන්න අපි පස්සෙන් දුවනවා.ටිකක් දවල් වෙනකොට ආච්චි හරි සුද්දි අම්ම හරි අපි ඔක්කොම ඇලට ගෙනියනවා නාවන්න . නාල ආවම වැඩි දවසට ඔක්කොම ලමයි බත් කන්නෙ අපේ ආච්චිගෙන්.සිංහල උලු හෙවිලි කරපු මහ ගෙදර මැද කෑල්ලෙ ඔක්කොටම පැදුරක් දාලා ආච්චි බත් බෙදලා දෙනවා.ගෙදර සුදු බැලලිත් අපි වටේම දැවටෙනවා.දවල්ට කෑවට පස්සෙ ආච්චි මාව නිදි කරනවා. ආයෙත් හවසට ඇහැරෙන්නෙ සෙල්ලම කරන්න .
හවස් වෙලා ලොකු මාම වැඩ ඇරිල ගෙදර ආවහම එයාගෙ ලස්සන නිල්පාට සයිකලයෙන් මාව රවුමක් ගෙනියනවා. හවස් යාමෙ පිපෙන හෙන්දිරික්ක මල් ගස් කීපයක් මග ගෙදර මිදුලෙ තිබුණා.මාත් ආච්චිත් හෙන්දිරික්ක මල් නෙලාගෙන බුදුන් වඳිනවා.පොඩි සන්දියෙම ආච්චි මට ගාථා ඉගැන්වුවා.රෑට බත් කවලා ඇඟ හෝදවලා කලින්ම මාව නින්දට යවන එක එයාගෙ සිරිතක්.නින්ද යනකන් කතා කියනවා.එත් කතාව ඉවර වෙන්න කලින් මම නිදි .ඉතින් අවුරුදු හතරක් ගෙවෙනකන් කිසිම හැල හැප්පිමක් නැතුව මගේ ලමා කාලෙ ගෙවුනා.
ඔන්න අවුරුදු හතර ලබනකොට අම්මා තීරණයකලා මාව ගෙදර ගේන්න ,ලදරු පාසල් යවන්න .මොකද ගමේ හොඳ ලදරු පාසලක් තිබුනෙ නැතිනිසා. මේ ලදරු පාසල් ගමන මාව අවුලෙන් අවුලටම පත්කලා.හැමදාම උදෙන් නැගිටලා ,වෙලාවට කිරි බීලා,මූන හෝදලා,කෑම කාලා,සපත්තු මේස් දාල,ඇඳුම් ඇඳගෙන ලහි ලහියෙ වැඩට යන්න සූදානම් වෙන අම්ම එක්ක මටත් යන්න වෙනවා.අම්ම මාව ලදරු පාසලට බාරදීල වැඩට යනවා.සීය දවල්ට මාව ගෙදර ගේනවා.

ලදරු පාසලේ මට හිතේ හැටියට සෙල්ලම් කරන්න බැහැ.ඔන්චිල්ලා, සී සෝ තිබුනට වෙලාවක් තියෙනවා සෙල්ලම් කරන්න .බිල්ඩින් බ්ලොක්ස් ,ක්ලේ වගේ දෙවල් එක්ක සෙල්ලම ඒතරම් මගේ හිත ගත්තෙ නැහැ.ඔක්කොමත් හරි කෑම පෙට්ටියකුයි වතුර බෝතලයයි අරගෙන යන එක මට මහ කරදරයක් වුණා.මට වුනේ නිදහසේ හිටි කුරුලු පැටියෙක් කූඩුවක් ඇතුලෙ දැම්ම වගේ වැඩක්.

ඔහොම ඔනෙනම් සතියක් යන්න ඇති .දවසක් අම්ම වැඩ ඇරිලා ආව විතරයි මම පටන්ගත්තෙ නැද්ද මොරදීල අඬන්න සාලෙ බිම පෙරලිලා.ලදරු පාසල් බෑගයත්, කෑම පෙට්ටියත් දෙකම පොලවෙ ගැහුවා.පොඩි සපත්තු දෙකත් බල්ලට ගන්න කියලා එලියට වීසිකලා."මට මොටිසෝරි එපා , ආයෙත් ආච්චිලගෙ ගෙදර යවන්න" කියලා මොරදීල අඬනවා.ආදරේ වැඩි කමටද කොහේද අම්මත් තාත්තත් දෙන්නම තීරණය කලා ආයෙත් මාව මහ ගෙදරටම යවන්න .මාව මහ ගෙදරට එක්ක ගියහම ආච්චි මං වඩාගෙන අම්මට බැන්න "උඹලගෙ විකාර පොඩි එකාට සාංකාව හැදුනෙ නැතුවා පුදුමයි"කියලා.
ආයෙත් මගේ ලමාලෝකෙ රාජධානියට මම ආවා මගේ ඉලීම් දිනාගෙන .ඒත් ආච්චි හරි පුදුම වැඩක් කලා.ඉඳහිට හවසට සෙල්ලම් කරන්න එන සම වයස් ලමයින්ට ලස්සන සෙල්ලමක් ඉගැන්නුවා. රතුපාට මදටිය ඇට අරගෙන ඉස්තෝප්පුවෙ බිම අකුරු හදන්න . මම හරි ආසාවෙන් "ම" "ර" "ට' "ව" වගේ රවුම් අකුරු ඉගෙන ගත්තා .ඊට පස්සේ හුනු කූරකින් මුලු ඉස්තෝප්පුවෙ බිම පිරෙන්නම ලොකුවට ඒ අකුරු ලිව්ව.ඒවට ලොකු මාමගෙන් හවසට සීනි බෝල ලැබුණ. දොඹගෙඩ් වලින් දහයට ගනන්කරන්නත් ආච්චි මට ඉගැන්නුවා.
ඉතින් අවුරුදු හය සම්පූර්ණවෙලා ඉස්කෝලෙ යනකොට මම හිතුවෙ මම මුලු සිංහල හෝඩියම දන්නවා කියලා.එත් ඉස්කෝලෙ ගියහම තමයි වැඩේ තේරුණේ . තව කොයිතරම් අකුරු තියෙනවද ඉගෙනගන්න .ලදරු පාසල් ගිය යාලුවොන්ට නම් වැඩේ ලේසි වුනා .මම හෝඩිය ඉගෙනගත්තෙ හරි හෙමින් .එකේ පන්තියට යනකනුත් හරියට අකුරු ලිව්වෙ නැහැ.අනිත් යාලුවො සීයට ගනන්කරන්න ඉගෙනගන්නකොට මම දහයට ගනින්න විතරයි දැනගෙන හිටියෙ .මම හිතුවෙ දහයට පස්සෙ සීය , ඊටත් පස්සෙ දාහ කියලා.
ඉතින් කාලයක් යනකන්ම "අපේ අම්ම තමයි මේ දරුව නරක් කලේ" කියලා අම්ම, ආච්චිට බනිනවා ."පොඩි එකා ඉගෙන ගනීවි ,කෑනොගහ හිටපල්ල" කියලා ආච්චි, අම්මට කියනවා .කොහොමහරි අකුරු ඉලක්කම් හරියටම මම දැනගත්තේ දෙකේ පන්තියෙදි.

Saturday, September 19, 2009

හලාවතදී නෙත ගැටුන එකම සොඳුරු දසුන

දහස් නෙතු වසා රහස් කොඳුරමින් අහස් ගව්ව වෙත පා නගා යමු අපි
කැකෑරෙන හිරු තාප සදිසි
හද දවන නෙක සෝසුසුම්
මොහොතකට අමතක කර
ඉසිඹු ලන්නට..........
අපේම අපේ ලොවක
කිහිරඟුරින් දැවෙන රලු පරලු මහපොලවම සෙනෙහස් දියෙන් පෙඟි බලනු මැන පෙම්මල් පුබුදන අපූරුව Stopped at Chilaw at the end of a tired and wired day ,nothing was there to make me happy.everything was dry and turned to brown ,just only the Palmyra trees around.this is the only scene which makes me happy on that tired evening.
Location -Fishing harbor area of Chilaw

Friday, September 18, 2009

හදවත් සිහින සාප්පුවේ සිටි වියපත් දෙනෙත



බුතුවාන් නුව



වීදි දිගේ
සැරිසරද්දී
ගොඩවැදුනා එක
සිහින සාප්පුවකට

ආගිය තතු විමසා
මා ලංකාවෙන් වග
ඈ දෑනගත් විට
දිලිසුනා කඳුලක්
වියපත් නෙතු අග

එක නිමේෂයකින්
මහාද්වීප දෙකක් යාකල
අතීත තුරුනු පෙමක
නටබුන් දිගහැරුනා
මා අබියස

කිසිකලෙක මාල නොපැලඳුවද
ඇගෙන් තෑගිලද විසිතුරු මාලය
දෝතින්ම බාරගත්තෙමි
සදාතනික ප්රේමයට
පුද දුන් පඬුරක් ලෙස


රාජකාරි ගමන් බිමන් ,තව නොයෙකුත් වැඩ අධික වුනු ඉතාම කාර්යබහුල දින පහක් නිමාකරල කුරුණෑගල ඉඳලා නිවසට සේන්දුවුනෙ ඊයෙ හවස් යාමෙ .දවස් පහක කිලුටු ඇන්දුම් කැඩුම් ,අනික් ලට්ට ලොට්ට පිරුනු ගමන් මල්ල කල්නොයවා අස්පස්කරන්න හිතුනෙ එන සතියෙ තියෙන ගමන් බිමන් මතක්වෙලා.නැත්නම් ඉතින් කිලුටු තමයි අඳින්න වෙන්න .

මම මේ ගමන් මල්ල මෑතක ඉඳලා දිගු සංචාර වලදි ගෙන යනවා .බෑගයෙ පිට සාක්කුව අස්පස් කරද්දි නෙත ගැටුන දෙයකින් මොහොතකට මගේ හිත සසලවුනා.ස්වාභාවික මුතු ,සිප්පිකටු,පොල්කටු වලින් හැඩදැමූ ඒ විසිතුරු මාලය අතේ රඳවගෙන මොහොතකට කල්පනාලෝකෙක මම තනිවුණා.අත රැඳි මාලයේ මුතු ඇට අතරින් දිලිසුණ වියපත් දෙනෙතක කඳුලු කැට දෙකක් මට මැවි මැවී පෙනුනා

මම නැවතිලා හිටිය ඇල්මොන්ට් සිටි හෝටලයෙන් එලියට බැස්සෙ හවසටවත් ටිකක් බුතුවාන් නගරයයේ මගතොට අවිදලා බලන ආසාවෙන් .මගේ කාර්යාල සගයො බොහෝදෙනෙක් ලද අවසරයෙන් ගයිසානෝ සාප්පු සංකීර්ණය බලා ගියේ ෂොපින් කරන්න .ඒත් මම කැමති මෙහෙම වෙලාවක් ලැබුනම මගටතොට ඇවිදලා ජනජීවිතය දකින්න.රටින් රට මිනිස්සු ජීවත්වෙන විදිය ඇවතුම් පැවතුම් වෙනස්නෙ .ඒවා කැමරාවට හසුකර ගැනීමත් මගේ විනෝදාංශයක්. ආහ්.... මට අමතක වුනානෙ කියන්න බුතුවාන් ,පිලිපීනයේ මින්ඩනාවෝ දූපතේ තියෙන සංචාරකයො ගැවසෙන පුංචි නගරයක්.


ඇල්මොන්ට් සිටි හෝටලයේ ඉඳල හතර අතටම විහිදුනු ජනාකීර්ණ වීදි අතරින් මම හෙමිහිට ඉදිරියට ගියා.අසල තියෙන් කුඩා දේවස්තානයේ සීනු හඬ සවස දේව මෙහෙයට බැතිමතුන් කැඳවනවා.හැමදාම උදේට මම අවදිවෙන්නෙත් මේ සීනු හඬට .දෙව්මැදුර ඉදිරිපස වීදි දිගේ පුංචි මල් කඩ පේලිය අලුත්ම අලුත් මල් පොකුරු වලින් පිරිලා,දෙව් මැදුර අබියස තියෙන කුඩා උද්යානය ජනාකීර්ණ නගරයට ලස්සනක් එක්කලා. මින්ඩනාවෝ දූපතේ නගර නිර්මාණයත් හරි අපූරු දෙයක්.හැම නගරයකටම සේන්දුවෙනකොට නගමධ්‍යයෙ දෙව්මැදුරක් සහ උද්‍යානයක් දැකගන්න පුලුවන්න් .ඒ ඔවුන් ස්පාඤ්ඤ නගර නිර්මාණයෙන් ලද ආභාෂය නිසා ලු .මිඩනාවෝ දූපත කාලයක් ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වෙලා තියෙනවා.ඉතින් ඔය නගර නිර්මාණ කලාවත් යටත්විජිත උරුමයක්.එහෙම කිව්වෙ මගෙ පිලිපීන මිතුරිය ජින්ග්.


මල් කඩ වීදියත් පහුකරගෙන උද්‍යානය කෙලවරට පියමන් කල මම නතරවුනේ සංචාරකයන්ට මගපෙන්වන විසිතුරු බඩු අලෙවිකරන පොඩි කඩ පොඩ්ඩක් ගාව.කරන්ගා හාර්ට් කියල දැන්වීම් පුවරුවෙ සටහන්වෙලා තිවුනා. කරන්ගා, බුතුවාන් වලට නුදුරෙම තියෙන ලස්සන සන්චාරක නගරයක් . යම්දෝ නොයම්දෝ කියලා සාප්පුව ඉදිරියට වෙලා ලතවෙනකොට එක් වියපත් කාන්තාවක් එලියට ඇවිත් බොහොම උනුසුම් ලෙස මාව පිලිගෙන ඇතුලට එන්න ආරධනා කලා.ඉතින් නොගිහින් කොහොමද?මම සාප්පුවට ඇතුල්වෙනකොටම දොරකොඩ වාසනාව ගෙන එන්න එල්ලල තිබුණ හදවත් හැඩයෙන් යුත් චිම්ස් සිලි සිලි ගාලා සුලඟට නැටුවා.


පීලිපීන වැසියන් බහුතරයකට ඉන්ග්‍රිසි කතා කරන්න පුලුවනි ,ඉතින් මේ වියපත් කාන්තාවත් සුපුරුදු ලෙසින් මගෙන් ආගිය තොරතුරු අහුවා.සාප්පුවෙ සිරි විසිතුරු නරඹන ගමන්ම මම ලංකාවෙන් රජකාරි ගමනකට ආව කෙනෙක් කියලා වැඩි විස්තර දැනගන්න මගේ රාජකාරි කාඩ්පත ඇයට දුන්න ."ඔබ ලංකාවෙන්ද"? පුදුමයෙන් වගේ ඇය නැවතත් මගෙන් ඇහුවා."ඔව්" මම උත්තර දුන්න වැඩි සැලකිල්ලක් නැතුව.

එක නිමෙෂයක් මා දිහා බලාසිටිය ඇය අසල වූ දිවානය පෙන්වා අසුන් ගැනීමට මට අතින් සන් කලා. මම වාඩිවෙලා කුතුහලයෙන් ඇගේ නිහඬ මුහුණ දෙස බැලුවා.

"මගේ පෙම්වතා ශ්‍රී ලාංකිකයෙක් . අපි මුනගැහුනෙ මීට අවුරුදු විසිපහකට විතර කලින් ,මැනිලා වලදි. එයා ස්වර්නාභරණ කලාව ගැන පාඨමාලාවක් හදාරන්න මම ඉගෙනගත් ආයතනයට ඇවිත් හිටියා.අපි හමුවුනේ එහෙමයි ".

සන්සුන් ඒත් මොකක්දෝ ශෝකී ස්වරයකින් එය කියනවා.හරියට දයිව යෝගයකින් වගේ වෙන්න ඇති ඒ හමුවීම ,නැගෙනහිර අසියාවත් දකුණු ආසියාවත් එක මොහතකින් එක්වෙන්න ඇති ඇස්වලින් කතාකරලා.මගේ හිත කියනවා.

"කෝ දැන් ඔයාගෙ පෙම්වතා?" ඉවසිල්ලක් නැති මගෙන් ඇයට පැනයක්.

"අපි අවුරුදු දෙකක් පෙම් කලා. අන්තිමට විවාහ වෙන්න හිතලා දෙපැත්තෙම දෙමවුපියන්ට මේ කාරනේ කිව්ව .එත දෙගොල්ලම අපිට විරුද්ධවුනා. එයා ඉස්ලාම් බැතිමතෙක් .මගේ මුලු පවුලම කිතුනු උදවිය අපේ අම්ම කොහොමටවත් කැමතිවුනේ නැහැ එයා වගේ කෙනෙක් බඳිනවට .අන්තිමට එයාගෙ පවුලෙ උදවිය කිව්ව මම ඉස්ලාම් ආගම වැලඳගත්තොත් විවාහයට ඉඩ දෙනවා කියලා.ඒත් මට පුලුවන් කමක් තිබුනෙ නැහැ එහෙම තනි තීරණයක් ගන්න ,අන්තිමට අපි වෙන්වුනා ,එයා ලංකාවට ගියා ,එතකොට මට වයස විසිහතක් .ඉන්පස්සෙත් මට එයාගෙන් ඉඳහිට කෙටි ලිපියක් දෙකක් ලැබුනා.මගේ උපන්දිනයට නම් අනිවාර්යෙන්ම සුබපැතුම් පත් ලැබුනා .එත් කාලෙකට පස්සෙ එවා ඔක්කොම නැවතුනා . දැන් එයා විවාහ වෙලා ලොකු දරුමල්ලොත් ඇති ".

ප්‍රේමයට කොහින්ද ආගම් ,ජාතිබේද වගේ සීමා මායිම් වැට කඩොලු? හිත ගිය තැන මාලිගාවනෙ. "එයා ලංකාවෙ නැගෙනහිර පලාතෙ කෙනෙක්"( ඇය ඉතා නිවැරදිව ඔහුගේ නම සහ ගම් පලාත කිව්වත් මට දැන් එය මතක නැහැ )
මම නොසන්සිඳුනු කුතුහලයෙන් ඇයදෙස බැලුවෙ "ඉතින් ඊට පස්සේ මොකද වුනේ"කියලා අහන්නවගේ. එයා මගේ හිත තේරුම්ගත්තා වගේ උත්තර දුන්න.

"මම ඊට පස්සෙ විවාහයක් ගැනවත් ,අලුත් ප්‍රේමයක් ගැනවත් තිතුවෙ නැහැ.මගේ මුලු කාලෙම කැප කලේ මේ ව්‍යාපාරයට
"
සිහින් කඳුලු බිඳු දෙකක් ඇගේ නෙතු අග රැඳිලා.මට තව මොනවත් ඇගෙන් අහන්න බැරි ගතියක් හිතේ ඇතිවුනා .මට නොදැනිම දිගු සුසුමකුත් පිටවුනා. අවුරුදු විසිපහක් කොහොම ගතවෙන්න ඇතිද?
මම දිවානයෙන් නැගිටලා සාප්පුව සිසාරා හිස් බැල්මක් හෙලුවා . මොකක්දෝ වරදකාරී හැඟීමක් මගේ හිත ඇතුලෙ තෙරපෙනවා වගේ .මොනව වුනත් මගේ රටේ කෙනෙක් නිසානෙ ඇයට මෙහෙම වුනේ. මට එහෙම හිතුනා.ඇය නම් අමුත්තක් නොපෙනවා මට කරන්ගා ලී කැටයම් ගැන විස්තර කරන්න පටන්ගත්තා.
මට ඔනෙ වුනේ එයින් එක ලී කැටයමක් මිලට අරගෙන ඉක්මනට එතැනින් යන්න. මම ලී කැටයමකට මුදල් ගෙවද්දී මොහොතක් ඉන්න කියලා ඇය අතින් සන් කලා.ඇය එතැන තිබුණු සිප්පිකටු ,මුතු සහ පොල්කටු වලින් අලංකාර කල විසිතුරු මාලයක් මගේ ගෙල වට පැලඳුවා .
"ඔබට මේ මාලය හරි හැඩයි , මේ ස්වාබාවික මුතු , මේක මගෙන් ඔබට තෑග්ගක් ,ඔබ ලංකාවෙන් නිසා, මට කවදාවත් ලංකාව අමතක වෙන්නෙ නැහැ"
මම කවදාවත් එවැනි විසිතුරු මාල පලඳින්නේ නැහැ.\ඉඳහිට පලඳින චාම් සිහින් රන් දම් වැලක් පමණයි මගේ ගෙල වට රැඳෙන්නේ.ඒත් ඇගේ දිලිසෙන ඇස් හමුවෙ මට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ.
"මේ තෑග්ග ඔබට නෙවෙයි , ඔබේ රටෙන් ආව කෙනෙකුගෙන් මට ලැබුන ප්‍රේමයට පෙරලා දෙන තුටු පඬුරක්" ඇගේ දිලිසෙන වියපත් දෙනෙත් වල ලියැවිලා තිබුනෙ එවැනි කතාවක් .

පසු සටහන

මම නැවත ඇල්මන්ට් සිටි හෝටලයට ගියේ බරවුනු හිතින්.හෝටල් ආලින්දයේ සිටි මගේ මිතුරියන් කීපදෙනෙක් මාව දැකලා හිනහවෙන්න පටන්ගත්තා .
"මේ මොකද මේ කවදාවත් නැතුව සිප්පිකටු මාලයක් දාගෙන .ඔයා මේව පලඳින්නෙ නැහනේ"
මම මගේ කතාව ඒ අයට කිව්වා. ආයෙත් යාලුවො කොක් හඬ දීලා හිනාවුනා.
"වෙලාවට ඔයා ලංකාවෙ කොල්ලෙක් නොවුනෙ .එහෙම වුනානම් එයා ඔයාව එවන එකක් නැහැ.මේ පිලිපීනයේ එහෙම දේවල් වෙනවා ඔනෙතරම්"

මගේ මිතුරිය ජින්ග් හිනාවෙවී කිව්වා.එයාලගෙ හිනාවට එක්වෙන්න බැරි ගතියක් මගෙ හිතේ තිබුනෙ . ඊට දවසකට පස්සෙ මට ආයෙත් මැනිලා බලා පිටත්වෙන්න වෙනවා.ඇගේ ඡායාරුවක් ගන්න ඔනෙ කියලා හිත කිව්වත් ආයෙත් සාප්පුවට යන්න මට හිත දුන්නෙ නැහැ. ඒනිසා බුතුවාන් වලින් පිටත්වෙන දවසෙ උදේ පාන්දර එයාගෙ සාප්පුව අරින්නත් කලින් ගිහිල්ල ගත්ත ඡායාරුපය තමයි ඔයතියෙන්නෙ .පේනව නේද හදවත් හැඩයේ "චිම්ස් "එල්ලලා තියෙනවා?ඇය දුන් තිලිණය මම මැනිලා වලදි මිලට ගත්ත දැන් පාවිචි කරන ගමන් මල්ලෙ පිට සාක්කුවට දාල එහෙමම තියෙන්න
රියා. ඒක කවදාවත් මගේ මිතුරියකට තෑගි දෙන්නවත් , මම පලදින්නවත් හිතුවෙ නැහැ . හැමදාම ඒ විසිතුරු මාලෙ මගේ ගමන් මල්ලෙම තිබුනදෙන් .
හා ..මට දෙයක් කියන්න අමතක වුනා .මම ලංකාවට ආවට පස්සෙ මගේ ඡායරූප බලන අතරෙ ඇතිවෙච්චි අදහසක් නිසා තමයි ඔය කවිය ලිව්වෙ .මේක මගේ සංචාරක අත්දැකීම් වලින් ලියවුන තුන්වෙනි පාර්ශ්යවයේ කවි ප්‍රේම කතාවක් .