Sunday, September 20, 2009

මොන්ටිසෝරි වර්ජනය




මගේ කාර්යාලයේ පරිස්‍රයේම ලදරු පාසලක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තියෙනවා.පුංචි පැන්චො පැන්චියො ලදරු පාසල් එන්නෙ මම කාර්යාලයටත් එන්න කලින්.ඒ සමහරුන්ගෙ අම්මලා තාත්තලා උදෙන්ම රැකියාවට යන නිසා .

හැමදාම උදේට ටික වෙලාවක් මේ සිඟිත්තො දිහා බලා ඉන්න එක මගේ සිරිතක්. සමහරු බොහොම කැමැත්තෙන් ලදරු පාසල් ආවත් ටිකක් අඬාවැටිලා දෙමවුපියන්ගෙන් වෙන් වෙන අයත් ඉන්නවා.
මේ අය දිහා බලන් ඉන්නකොට මට මතක් වෙන්නෙ මගේ පුංචිකාලෙ ,ඇහුවට පුදුම වෙන්න එපා මම පුංචි සන්දියෙම වර්ජනයක් කරලා අයිතිවාසිකම් දිනාගෙන ලදරු පාසල් නොගිහින් කෙල්ලින්ම ඉස්කෝලෙ ගිය ළමයෙක්.
මම ඉපදුනේ හැදුනෙ වැඩුනෙ අපේ අම්මගෙ මහ ගෙදර . ඒ මගෙ ලමා ලෝකෙ රාජධානිය .ආච්චි,මාමලා, නිතරම මාව වඩාගෙන හුරතල් කරන අම්මගේ ඥාති සහෝදරියො ගොඩක් මැද්දෙ අවුරුදු හතරක් ගෙවෙනකන් හරි සතුටින් තමයි මම හිටියේ .පවුලෙ හැමෝගෙම හුරතලා මම ,මගේ නංගි ඉපදුනේ අවුරුදු හයකට පස්සෙනෙ.
සෙල්ලම් කරන්න, දුවන්න, පනින්න ,කාගෙන්වත් මට වැඩි තහංචි තිබුනෙ නැහැ.යන්තම් පයින් යන කාලෙ ඉඳලා දවල් දවසෙම මහගෙදර ලොකු වැලි මිදුලෙ ජංගි කොටේකුත් ඇඳන් තුල්සි අක්කා, සුදු,කුමුදුනි, මංගල ,මංජු අය්යා,ජානක අයියා වගේ ඥාති සහෝදර සහෝදරියන් එක්ක සෙල්ලම් බත් උයන්න ,තලාදුවන්න ,හැංගි මුත්තන් කරන්න වගේ වැඩ ඔනෙ තරම් මට තිබුණා.මහගෙදර මිදුලෙ ලස්සන ජපන් රෝස මල් පාත්ති ගොඩක් තිබුණා. කාලෙකට වැල නොකැඩී එන කහපාට සමනල්ලු මේ මල් පාත්ති වලට එනවා.උන් අල්ලන්න අපි පස්සෙන් දුවනවා.ටිකක් දවල් වෙනකොට ආච්චි හරි සුද්දි අම්ම හරි අපි ඔක්කොම ඇලට ගෙනියනවා නාවන්න . නාල ආවම වැඩි දවසට ඔක්කොම ලමයි බත් කන්නෙ අපේ ආච්චිගෙන්.සිංහල උලු හෙවිලි කරපු මහ ගෙදර මැද කෑල්ලෙ ඔක්කොටම පැදුරක් දාලා ආච්චි බත් බෙදලා දෙනවා.ගෙදර සුදු බැලලිත් අපි වටේම දැවටෙනවා.දවල්ට කෑවට පස්සෙ ආච්චි මාව නිදි කරනවා. ආයෙත් හවසට ඇහැරෙන්නෙ සෙල්ලම කරන්න .
හවස් වෙලා ලොකු මාම වැඩ ඇරිල ගෙදර ආවහම එයාගෙ ලස්සන නිල්පාට සයිකලයෙන් මාව රවුමක් ගෙනියනවා. හවස් යාමෙ පිපෙන හෙන්දිරික්ක මල් ගස් කීපයක් මග ගෙදර මිදුලෙ තිබුණා.මාත් ආච්චිත් හෙන්දිරික්ක මල් නෙලාගෙන බුදුන් වඳිනවා.පොඩි සන්දියෙම ආච්චි මට ගාථා ඉගැන්වුවා.රෑට බත් කවලා ඇඟ හෝදවලා කලින්ම මාව නින්දට යවන එක එයාගෙ සිරිතක්.නින්ද යනකන් කතා කියනවා.එත් කතාව ඉවර වෙන්න කලින් මම නිදි .ඉතින් අවුරුදු හතරක් ගෙවෙනකන් කිසිම හැල හැප්පිමක් නැතුව මගේ ලමා කාලෙ ගෙවුනා.
ඔන්න අවුරුදු හතර ලබනකොට අම්මා තීරණයකලා මාව ගෙදර ගේන්න ,ලදරු පාසල් යවන්න .මොකද ගමේ හොඳ ලදරු පාසලක් තිබුනෙ නැතිනිසා. මේ ලදරු පාසල් ගමන මාව අවුලෙන් අවුලටම පත්කලා.හැමදාම උදෙන් නැගිටලා ,වෙලාවට කිරි බීලා,මූන හෝදලා,කෑම කාලා,සපත්තු මේස් දාල,ඇඳුම් ඇඳගෙන ලහි ලහියෙ වැඩට යන්න සූදානම් වෙන අම්ම එක්ක මටත් යන්න වෙනවා.අම්ම මාව ලදරු පාසලට බාරදීල වැඩට යනවා.සීය දවල්ට මාව ගෙදර ගේනවා.

ලදරු පාසලේ මට හිතේ හැටියට සෙල්ලම් කරන්න බැහැ.ඔන්චිල්ලා, සී සෝ තිබුනට වෙලාවක් තියෙනවා සෙල්ලම් කරන්න .බිල්ඩින් බ්ලොක්ස් ,ක්ලේ වගේ දෙවල් එක්ක සෙල්ලම ඒතරම් මගේ හිත ගත්තෙ නැහැ.ඔක්කොමත් හරි කෑම පෙට්ටියකුයි වතුර බෝතලයයි අරගෙන යන එක මට මහ කරදරයක් වුණා.මට වුනේ නිදහසේ හිටි කුරුලු පැටියෙක් කූඩුවක් ඇතුලෙ දැම්ම වගේ වැඩක්.

ඔහොම ඔනෙනම් සතියක් යන්න ඇති .දවසක් අම්ම වැඩ ඇරිලා ආව විතරයි මම පටන්ගත්තෙ නැද්ද මොරදීල අඬන්න සාලෙ බිම පෙරලිලා.ලදරු පාසල් බෑගයත්, කෑම පෙට්ටියත් දෙකම පොලවෙ ගැහුවා.පොඩි සපත්තු දෙකත් බල්ලට ගන්න කියලා එලියට වීසිකලා."මට මොටිසෝරි එපා , ආයෙත් ආච්චිලගෙ ගෙදර යවන්න" කියලා මොරදීල අඬනවා.ආදරේ වැඩි කමටද කොහේද අම්මත් තාත්තත් දෙන්නම තීරණය කලා ආයෙත් මාව මහ ගෙදරටම යවන්න .මාව මහ ගෙදරට එක්ක ගියහම ආච්චි මං වඩාගෙන අම්මට බැන්න "උඹලගෙ විකාර පොඩි එකාට සාංකාව හැදුනෙ නැතුවා පුදුමයි"කියලා.
ආයෙත් මගේ ලමාලෝකෙ රාජධානියට මම ආවා මගේ ඉලීම් දිනාගෙන .ඒත් ආච්චි හරි පුදුම වැඩක් කලා.ඉඳහිට හවසට සෙල්ලම් කරන්න එන සම වයස් ලමයින්ට ලස්සන සෙල්ලමක් ඉගැන්නුවා. රතුපාට මදටිය ඇට අරගෙන ඉස්තෝප්පුවෙ බිම අකුරු හදන්න . මම හරි ආසාවෙන් "ම" "ර" "ට' "ව" වගේ රවුම් අකුරු ඉගෙන ගත්තා .ඊට පස්සේ හුනු කූරකින් මුලු ඉස්තෝප්පුවෙ බිම පිරෙන්නම ලොකුවට ඒ අකුරු ලිව්ව.ඒවට ලොකු මාමගෙන් හවසට සීනි බෝල ලැබුණ. දොඹගෙඩ් වලින් දහයට ගනන්කරන්නත් ආච්චි මට ඉගැන්නුවා.
ඉතින් අවුරුදු හය සම්පූර්ණවෙලා ඉස්කෝලෙ යනකොට මම හිතුවෙ මම මුලු සිංහල හෝඩියම දන්නවා කියලා.එත් ඉස්කෝලෙ ගියහම තමයි වැඩේ තේරුණේ . තව කොයිතරම් අකුරු තියෙනවද ඉගෙනගන්න .ලදරු පාසල් ගිය යාලුවොන්ට නම් වැඩේ ලේසි වුනා .මම හෝඩිය ඉගෙනගත්තෙ හරි හෙමින් .එකේ පන්තියට යනකනුත් හරියට අකුරු ලිව්වෙ නැහැ.අනිත් යාලුවො සීයට ගනන්කරන්න ඉගෙනගන්නකොට මම දහයට ගනින්න විතරයි දැනගෙන හිටියෙ .මම හිතුවෙ දහයට පස්සෙ සීය , ඊටත් පස්සෙ දාහ කියලා.
ඉතින් කාලයක් යනකන්ම "අපේ අම්ම තමයි මේ දරුව නරක් කලේ" කියලා අම්ම, ආච්චිට බනිනවා ."පොඩි එකා ඉගෙන ගනීවි ,කෑනොගහ හිටපල්ල" කියලා ආච්චි, අම්මට කියනවා .කොහොමහරි අකුරු ඉලක්කම් හරියටම මම දැනගත්තේ දෙකේ පන්තියෙදි.

4 comments:

  1. ඔයාගෙ, කතාව සහ ශෙලිය දෙකම හොදට ගෑලපෙනවා.

    අපිට කොහෙද බූල් බල්ලො? ඒත්, බාල කාලෙ , ඒහෑටි සෑප සම්පත් නොතිබුනාට, පොල්පිති ගොන්නු දක්කපු හෑටි, ගෙබ්බංට ගල් ගහපු හෑටි නම් මතක්වෙනවා.

    ReplyDelete
  2. මේ කතාවේ හරයට මම මාරම ආසයි.මොකද මේකාලේ පොඩි ලමඉන්ට ලබාගන්න බෑරි දෙයක් ඔයා ලබා ගෙන තියෙනවා.මම හිතනවා ඔයත් ඔයගේ ලමයින්ට ඔහොමම කරයි කියලත්..
    ජය ශ්‍රි

    ReplyDelete
  3. මමත් නම් ජීවිතේට මොන්ටිසොරියකට ගිහින් නෑ.අම්ම ගුරුවරියක් නිසා අවුරුදු 4රේ ඉදන් අම්ම එක්ක ඉස්කෝලෙ ගියා,ඒකාලෙ මාරි විස්කෝතු බෙදනව ලමයින්ට.මාර කිරිරහක් තියෙන්නෙ.මමත් යනව ඒව කන්නත් එක්ක ඉස්කෝලෙ.මතකයි දවසක් අම්ම ලමයින්ට ගනන් කියල දෙද්දි මම් පිටුවක් පුරාම බෝල ඇදලා ඉතා හොදයි එකක් ගත්ත.
    තව වැව් බැම්මෙ පොල්පිති හරක් පදිනව,උණ බට තුවක්කු හදනව,ආය දං එහෙමත් කඩන්ඩ ගිහින් තියනව,අල්ලපු ගෙදර ලමයි එක්ක.:)ගවුම් වලට එකතු කරන් එන්නෙ,ඒ නිසා ගවුම් දම්පාට වෙනව.ගමේ හිටිය ඒ කාලෙ නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ.ඒත් අපේ බබාලට නම් එහෙම කාලයක් තියන එකක් නෑ..

    ReplyDelete
  4. පොඩි කාලේ ඉදන්ම දැන් තියන ටිකිරි මොළේ තිබිල තියෙනව නේද? තාමත් ගෙදර දොරේ අයිතිවාසිකම් දිනා ගන්න වර්ජන කරනවද?

    ReplyDelete