Tuesday, February 15, 2011

සබ්‍රිනා ,ජීවා සහ නූතන තේරි ගාථා




නිවී සැනසිල්ලේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තේරි ගී පොතේ පිටු අතර සැරිසරද්දී මගේ සිහියට ආවේ ඈත ඉන්දියවේ සීතල ඩාර්ජිලින් කඳුකරයේත් , මෑත ලංකාවේ අනුරාධපුරයේ අරාමයකත් ගිහි දිවි හැරපියා බවුන් වඩනට ගිය මගේ ප්‍රිය මිතුරියන් දෙදෙනෙක් වන සබ්‍රිනා සහ ජීවා ගැනයි . මේ දෙදෙනාම තුරුණු වියේම  එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගියත්  එකම ආධ්‍යාත්මික අරමුණකට කැපවූ දෙන්නෙක්. සබ්‍රිනා කල්කටාවේ ප්‍රකට ලොරේටෝ නිකායට අයත් කන්‍යා සොයුරියක්.ජීවා බෞද්ධ භික්ෂුණියක්.


සබ්‍රිනා මට මුණගැහුනේ නේපාලයේ දුලික් හිල් කඳුකරයේ ගෙවුණ මාසෙක පුහුණු කාලයේදී.පුහුණුව පටන්ගන්න පෙර දවසේ හවස තේ මේසයේ  මගේ තේ කෝප්පය ලැබෙනකන් බලන් ඉන්න අතරතුරේ මේසයෙ අනික් කෙලවරේ ඉන්දියානු හා පාකිස්තාන යුවතියන් කතා බහ කරමින් සිටියා.ඔවුන් අතරේ ලා දුඹුරු පැහැ චාම කපු සල්වාර් ඇඳුමකින් සැරසුණ , ප්‍රියමනාප ඡවි වර්ණයෙන්යුතු මද සිනහවකින් මුව සරසා ගත් එකියක් මා වෙත පකෝඩා පිරවූ බඳුනක් දික් කරමින්  "ප්ලීස් හැව් සම් " කීවා.   ඔවුන්ගේ අල්ලාප සල්ලලාපයට එක් නොවුණත් එයට කන්දී සිටි මට හැඟී ගියේ මාසයක් පුරා සියලු  වැඩ රාජකාරි හැරදමා දුලික් හිල් වල ගතකරන්න සිදුවන කාලය ගැන මේ හැමදෙනාම කතා බස් කරන බවයි. එවිට අර ප්‍රියමනාප යුවතිය කිව්වේ I am going to miss my congregation & the community that i work.මේ අදටත්  සබ්‍රිනා මට හොඳින්ම මතක තියෙන විදියයි .එදාට පසු දිනයේ අපේ  පුහුණුවේ දී අපි එකිනෙකා හඳුනාගත් අවස්ථාවේ ඇය කන්‍යා සොයුරියක් බව කී විට අප පුදුමයෙන් පුදුමයට පත් වුවත් කාටත් නොදැනීම අප සිත් දිනාගත් මිතුරියක් වෙන්නට සබ්‍රිනාට හැකිවුණා.


ජීවා සහ මා හමුවුනේ එකම පීඨයක   වසර හතරක් එකට උගත් මිතුරියන් ලෙසයි.ඇය මට නිරතුරුව මතකයට එන්නේ ස්පෝට්ස් දිනයට ක්‍රිකට් ගහන්නට ආ කෙල්ලන් කන්ඩායමේ ඉදිරි පෙල සාමාජිකාවක් ලෙසයි. මිටි සිහින් සිරුරකින් හා සිනහ මුසු මුහුණකින් යුතු ජීවා  අනලස්ව ඉගෙනීමේ කටයුතු වල යෙදුනා. ඇය  වෘතීය ජීවිතයට  පිවිසී ඉතා කෙටිකලකින් රජයේ අධිකරණ සේවය හා බැඳුණ ප්‍රකට දෙපාර්තමේන්තුවකට එක්වුණේ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියමින්.


 සබ්‍රිනා ඩාර්ජිලින් වල ධනවත් වෙලඳ පවුලක සුව පහසු ජීවිතයට හිමිකම් කියූ තරුණියක් .ඇය කන්‍යාරාමයට යන්නේ වයස දහනවයක් තරම් හිරිමල් වියේදී. වෘත්තීය ජීවිතයේ දීප්තිමත් අනාගත්යකට හිමිකම් කියූ මැදපන්තියේ පවුලකින් පැමිණි ජීවා භික්ෂුණී ආරාමයට යන්නේ සිය තුරුණු දිවියේ තිස් විය එලඹීමටත් පෙරයි   මේ දෙදෙනා ගැනම කියූ තොරතුරුවලින් ඕනෑම කෙනෙක් සිතනු  ඇත්තේ ජීවිතයේ කොතැනක හෝ ඇතිවූ මහා කල කිරිමකින් ,නොසතුටක් නිසා ඔවුන් ගිහි ගෙය හැරගිය වගයි .එසේත් නැත්නම් සිතනේ මොවුන් මැණිකකට පයින් ගසා ගිය මෝඩයන් හෝ පිස්සන් ලෙසයි .


සබ්‍රිනා පලමුව හඳුනාගත් දිනයේ අපි සියලු දෙනාම ඇයට යොමු කලෙත් මේ පැනයමයි . ඉතා සිනහ මුසුව එය ඇසූ ඇය අපිට පිළිවදන් දුන්නේත් පැනයකින්මයි .
"ආධ්‍යාත්මික ජීවිතයකට යන්නේ කලකිරීම් ඇතිවුණොත් විතරමද "? ඇයි සතුටින් තීරණයක් අරන් කන්‍යාරාමයකට යන්න බැරි ?
 "මම හොඳින්ම දැනගෙන හිටියා කන්‍යාරාම ජීවිතය බොහොම කටුක බව . මම බොහොම ඉක්මනින් ඒකට හුරු වුණා .ඒ මම කැමැත්තෙන් මේ ගමන් ආව නිසා . මට ඕනෙතරම් ඉඩ තිබුණා මේ ජීවිතය අතහැර යන්න . මගේ අවසාන පොරොන්දුව දෙද්දිත් මට ඊට ඉඩ තිබුණා. ඒත් මම එහෙම නොකලේ මගේ හිතේ ඇතිවුණ තදබල කැමැත්තෙන් දේව සේවයට ආව නිසා . අදත් මට පුලුවනි මේ ජීවිතෙන් මිදෙන්න . නමුත් එහෙම කරන්න තරම් හේතුවක් මට නැහැ. රැකියාව , විවාහය ,ඉගෙනීම වගේ දේ වලින් ඔබ ලබන සතුට හා සමාන සතුටක් මමත් පැවිදි දිවිය තුල ඉඳිමින් මිනිස්සුන්ට උපකාර කරමින්  ලබනවා".ඈත නේපාල් මිටියාවතේ කඳු හෙල් තරණය කරමින් දුෂ්කර ගම්බද මිනිස්සුන්ට උපකාර කරන්න යන්නෙත් , අඩුපාඩු පිරුණ ගම්බද ආරාම වල මගේ තරුණ කාලය ගෙව්වේත් ,පූජ්‍යත්වයට පෙර කල්කටාවේ  ඉතාම අඩු පහසුකම් සහිත පරිසරයක ඉගෙනුම ලබමින් අපිස් දිවියකට හුරුවුනෙත්,ලාදුරු රෝහල් වල ලෙඩුන්ට උපස්ථාන කලෙත්  ඉතාම සතුටින්.සමහරවිට ජීවිතේ කල කිරිල පැවිදි වුණානම් මට මේ තරම් සතුටින් සේවය කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ."


ජීවා ඇගේ පැවිද්දෙන් පසුව මට හමු වුනේ නැහැ. ඇය මීට වසර 3කට පෙර පැවිදි වූ වග දැනගත්තේ ඉතාම මෑතක මිතුරියක් මාර්ගයෙන් .ඇගේ තීරණය ගැන ඇසුවා නම් ඇයත් මට දෙනු ඇත්තේ සබ්‍රිනාට සමාන උත්තරයක් . දීප්තිමත් වෘතිය ජීවිතය පසෙක දමා පැවිදි දිවියක ඇති සීමා ,වගකීම්  ,කටුක බව විෂේශයෙන් ලංකාවෙ ස්ත්‍රී පැවිද්ද එතරම් අගය නොකරන කාලයක මෙවැනි තීරණයකට එලඹෙන්න තරම් යහපත් තිර සිතුවිලි ඇයට තියෙන්නට ඇති .


අපේ  කතෝලික පල්ලිය නිර්දය ලෙස විවේචනය කිරීම් ,  නොසන්ඩාල විහිලු තහලු ප්‍රිතිමත් ලෙස සිනා මුසුව අසන්ට  සබ්‍රිනාට තිබුනේ පුදුම  ඉවසීමක් .කොටින්ම අපි අපේ නඩය unholy congregation  ලෙස හඳුන්වා ඇය holy sister  ලෙසත් , අපි අතර වූ ඉතාම කටකාර හා විසේකාර එකියක් holy lucifer  ලෙස  ආමන්ත්‍රණය කරන විටත් ඇය සිනහසුන අයුරු මට මතකයි . අදටත් අපි අතර හුවමාරු වෙන  ඊ මේල් පණිවුඩ වල මේ නොසන්ඩාල විහිලු කතා තිබුණත් ඇය සිනා මුසුව අපිව ඉවසන්නීය .මේ තරම් ලඟින් අපි ඇසුරු කල මුත් ඇය අපේ නාඩගම් වැඩ හෙලා දුටුවේ නැත .නමුත් ඊට එක්වුනේත් නැත . ඒ ඇය තුල වූ සංයමය නිසා විය යුතුය .තිස්පස් වියට වත් නො එලඹුන ඇයට ඒ හික්මීම අත්දැකීම් තුලින් පුරුදු පුහුණු කළා විය යුතුය .


"සමාජය අපි පැවිදි ජීවිතයට ගියහම දේවත්වයෙන් සලකලා අපිව  බාහිර සමාජයෙන් ඈත් කරන්න හදනවා. නමුත් අපිත් සාමාන්‍ය මිනිස්සු . අපිටත් පැවිදි දිවිය තුල වැරදෙන තැන් එමටයි.අපිට අසාමාන්‍ය බලයක් නැහැ සාමන්‍ය මනුස්ස ලෝකෙ තියෙන හැඟීම් වලින් ඈත්වෙන්න ". වරෙක තම පැවිදි ජීවිතයේ හදිසියෙන් ඇතිවී නැතිවූ ප්‍රේම කුණාටුවක්  ගැන ඇය පාපෝච්චාරණය කරමින් කිය හිටියා .


එදා ක්‍රිකට් ගහන්නට ආ කෙල්ලන් රැලෙහි පෙරමුනේ සිටි ජීවාද අද මෙබඳු සංයමයකින් කසාවත් දරා ජීවිතය දෙස දකිනු ඇත . තම රැකියාවෙන් ලද සතුටට වඩා සතුටක් ඇයට පැවිද්දෙන් ලැබෙනු ඇත .  අප ඉතා ගරු කරන අපට උගැන්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරියක් අවසන් වසරෙහිදී අපට කිවේ තමන් ඉතාම සතුටට පත් වෙන දෙය තම වෘත්තිය කරගන්නා ලෙසත් එම කාර්ය ඉතාම උසස් අයුරින් කැප වී ඉටු කරන්නටත්ය.ඒ තුල වැදගත් වන්නේ අපේ තරාතිරම නොව අප කැපවී කරන කටයුත්ත බව ඇය අපට පැහැදිලි කලාය .


ඒසේ නම් සබ්‍රිනා සහ ජීවා යනු මුග්ධයින් හෝ ජීවිතය කලකිරුන වුන් නොවේ. කිසිදු දෙයක් කරගත් නොහුනු තැන පැවිද්දි වූවන්ද නොවේ . ඒ දෙදෙනාම අපිට වඩා පරිණත , සංයමයකින් හා ජීවිත දැක්මකින් යුත් ,බොහෝ ඇලීම් බැඳීම් ඉවත දමා එන්නට තරම් තිර සිත් ඇති ,කැපවීමක් ඇති,ජීවන දැක්මක් සහිත ගැහැණුන්ය . මේ දෙදෙනාම මතු  යම් දිනෙක තමන් යන ආධ්‍යාත්මික  මග වෙනස් කොට අප හා එක්වුවද මම ඔවුන් පරාජිතයන් ලෙස නොසකලකමි . ඒ ඔවුන්ගේ තීරණයයි. එසේ වුවද ඔවුන් කෙරෙහි මසිත නොපහන් හැඟීමක් හට නොගනු ඇත. මට ඇවසි වුයේ මිනිස් ජීවිතයේ සමහර තීරණ සහ ලෝකය දෙස බලන දෘෂ්ටිය කෙතරම් පුදුම සහගතදැයි විමසීම පමණකි 


සියලු සැප සම්පත් , අනාගත යස ඉසුරු , බැඳිම් හැරපියා සරල දිවියකට හුරු වුණ ඔවුන් යම් දිනෙක සිය අපිස් දිවිය ගැන උදන් අනමින් නූතන තේරි ගී ලියනු ඇතැයි මට හිතේ.






In the eyes of  flowers,flowers is the world
In the eyes of thorn,thorn is the world
The shadow is casted according to the object
In the eyes of thorn,thorn is the world
In the eyes of  flowers,flowers is the world


 May my heart be pure
May my words be like of the Buddha
May my feet never kill any insects]
In a beautiful eye opens a beautiful world
 In the eyes of thorn,thorn is the world
In the eyes of  flowers,flowers is the world


May I see the bright moonlight in a dark night
and hear the music of life with the moments of bliss
 In a transparent heart opens a transparent world
In the eyes of thorn,thorn is the world
[In the eyes of flowers,flowers is the world
In the eyes of thorn,thorn is the world
The shadow is casted according to the object


ප/ලි
මේ මම ඉතාම ප්‍රිය කරන නේපාල් ගීයක් .මෙහි විශේෂයක් තියෙනවා .මෙය ගයන්නෙත් Ani Choying Dolma නම් වූ නේපාල් ජාතික බෞද්ධ භික්ෂුණියක් . ඇගේ Moments of Bliss  ඇල්බමයේ ඇති මේ මිහිරි ගීය මගේ පැවිදි මිතුරියන් වෙනුවෙන් . නේපාලයෙදී මම මේ භික්ෂුණියගේ ගීත සජීවීව අසා තිබෙනවා
Moments of Bliss ඇල්බමය මට තෑගි ලැබුණේ මගේ හොඳම නේපාල් මිතුරියක් වන මෝනා ශර්පාගෙන්.

Saturday, February 5, 2011

ප්‍රේම පුරාණය ,ආර්ථික විද්‍යාව සහ සුනේත්‍රා



වැඩිදෙනෙක් සුනේත්‍රා රාජකරුණානායක විසින් ලිව්ව "ප්‍රේම පුරාණය" පොත කියවල ඇතිනේ.මට මේ පොත කියවන්න ලැබුනේ පැඟිරි වයසේ දී වගේ .ඒ කියන්නේ වයස දහනවේදී විතර.ප්‍රේම පුරාණය , ලෝකෙවටා යන සංචාරක පිස්සුව සුනේත්‍රාගේ වචනවලින් කිව්වොත් පරණ ගඩොල් නැරඹීමේ පිස්සුවෙන් හිටි නිර්මලා ජයසූරිය කියන බොහොම නිදහස් මතධාරී පත්තරකාරියකගේ ශෘංගාරාත්මක අසම්ත පෙම් කතා ගොඩක් .වරෙක ප්‍රේමයේ ඇලෙමින් තවත් විටෙක ප්‍රේමයන් ඉවත්වෙමින් ප්‍රේමය අත්විඳින්න ගත්ත වෑයමක් කියලයි කතුවරිය කියල තිබුනේ. කොහොම වුණත් මේ පොත මා අතට පත්වෙන්නෙත් තරමක් පුදුම විදියකට . ඒ අපේ ඉස්කෝලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී උසස්පෙල ආර්ථික විද්‍යා විෂය සඳහා ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යාට ලැබෙන ත්‍යාගය ලෙසින් . ඔය වයසෙදී ගොඩක් ඉස්කෝලවලින් තෑගි ලැබෙන්නේ විෂයට ගැලපෙන පොත් මිසක් ප්‍රේම කතා නෙවෙයිනේ . මේ කතාවේ හොඳම හරිය තමයි මගේ තෑග්ගට අනුග්‍රහය  දීල තිබුණෙ මට අවුරුදු දෙකක් ආර්ථික විද්‍යාව උගන්වපු ගුරුවරයා. සුනේත්‍රා වරෙක ඇගේ "මතක පොතෙහි" තමන් උගත් රත්නපුරේ මිෂනාරි පාසල ගැන "බ්ලේක් සමයේ පාසල් මතක" සටහනේ කියාතිබුණා එවක ඔවුන්ගේ තුරුණුවියේහි පාසල තුල ප්‍රේම කතා, මාරක කතා කියවීම මිෂනාරී කන්‍යා සොයුරියන් තහනම්කොට තිබූ වග .නමුත් ඉතාම බෞද්ධ ආගමික පරිසරයක වූ මගේ පාසලෙන් ඇගේ ප්‍රේම පුරාණය මට තෑගි ලැබීම යම් ප්‍රමාණයක විස්මය දනවන කරුණක්.


ප්‍රේම පුරාණය මට මතක්වුනේ ගිය සතියේ දවසක සරසවියට ගොඩවැදුන නිසා.වෙනත් විෂයකට අදාල පොතක් මිලට ගන්න ගියත් අන්තිමට නතරවුණේ නවකතා පොත් රාක්කෙ ගාව. අංශක අනූවට විතර බෙල්ල ඇද කරගෙන පොත් වල නම් ගම් විස්තර කියවද්දී රාක්කේ උඩින්ම තිවුණ සුනේත්‍රාගේ පොත් වලට ඇහැ ගියේ නිතැතින්ම . නවකතා පොත් සල්ලිදීලා අරගෙන කියවන පුරුද්දක් මට නැතත් සුනේත්‍රාගේ පොත් මිලට ගැනීමේ තණ්හාවක් ප්‍රේම පුරාණය කියවූ පසු මට තියෙනවා.ඒ නිසාම කලින්වතාවල සරසවියෙන්ම "පොදු පුරුෂයා", "නන්දිතය" , "බත් තරංග", "කෙටි පණිවිඩ හා දිග කතා","රිදී තිරංගනාව", "සුබෝධාලංකාරය","මතක පොත 1, 2", "හර්ද්ය සූත්‍ර", සහ "සඳුන් ගිර ගිනිගනී" ගෙනැවිත් කියෙව්වා.මේ හැමපොතක්ම සුනේත්‍රාටම ආවේණික සරල කටවහරට අනුව රසවත්ව කුතුහලය එක්කර කතන්දර කීමේ රටාවකට ලියැවුන පොත් . ඇගේ හැම පොතකම ප්‍රේමණීය සමහර වෙලාවට බොලඳ, ප්‍රේමය වෙනුවෙන් මට සිලිටි බොරු ගොතලා හිත රවටාගන්න, ආයෙත් පෑරුණ හදවතේ තුවාල කැලැල් ගැන දුක්වෙන,ප්‍රේමය බෙදාගන්න බැරුව රණ්ඩුවෙන ආයෙමත් ප්‍රේම කරන ගෑණු මිනිස්සුන්ගේ කතා එමටයි . නිදහස් ශයිලියකින් ලියන කතුවරිය ආලවට්ටන් දාල පෙම් කතා කියන්න දස්සයි.ඒවගේම ඇගේ පොත්වල බොහොම ප්‍රබල ගැහැණු චරිත නිර්මාණය වෙනවා. ජීවිතේ ගැන බොහොම විමසුම් බැලුම් හෙලන උගත් ,නූගත් නාගරික සහ ගැමි ගෑනු ඇගේ පොත් වල ජීවත්වෙනවා.කෙටි පණිවිඩ හා දිග කතා පොතේ කෙටිකතාවක ගැමි ගැහැණියක් යුද සෙබලෙක් සමග හොරෙන් විවාහවෙන්න යන ඇගේ දුවට කියන්නේ "ගෑණියෙකුට ජීවිතේ ගෙනියන්න හමුදාවකට වඩා හිතේ හයියක්" උවමනා බවයි .


මතකපොත 1 සහ 2 තුලින් සුනේත්‍රාගේ කතන්දර සහ ඇගේ සිතුම් පැතුම් වල අක් මුල් හෙලිකරගන්න සමහර අවස්ථාවල මග පෑදෙනවා කියලා මට හිතෙනවා. "සංවර්ධන සුබ සිහිනවල ස්ත්‍රී දායකත්වය" ගැන කියන කතුවරිය ඈත සූරිය වැව වගේ ගම් දන්වු වල වැස්සකටවත් ඉස්කෝලෙ නොගියත් කවි සින්දු කතා ලියන ගැමි ගෑනු ගැන කියනවා. ඒ අතරේ ඉන්දියාවෙත් චීනයේත් පැරණි නගර , මාලිගා හා මිනිස්සු ගෑණු අතර තනිවෙමින් සිහින දකින්නියක් වෙනවා.වරෙක ඇය සිය චරිතය තුල වූ දුඹුල් තැන් බොලඳ ගති ගැන තමන්වම හාස්‍යටත් ලක් කරගන්නවා. තදබල සමාජවාදී උණකින් ආතුරව සිටි තම තුරුණුවිය සිහිපත් කරන කතුවරිය තමන්ට සදය සිනා නගන්නේ "රුසියාවට වහිනකොට රත්නපුරේ ඉඳන් කුඩයක් අල්ලාගෙන හිටි ගෑනු ළමයා" කියමින් .


මෙවර සරසවියේ පොත් රාක්කෙන් මට හමුවූ සුනේත්‍රාගේ අලුත් පොත් තුනක් තිබුණා. ඒ "පූර්ව ජන්මය" ,"සුචිත්‍ර චාරිකා සටහන්" සහ "බුද්ධදාසි" පොත්.පූර්ව ජන්මය සහ සුච්ත්‍ර චාරිකා සටහන් තුල මා දුටුවේ ආලවට්ටන් දමා ප්‍රේම කතා කියන කතුවරියකට වඩා යම් ආධ්‍යාත්මික සතුටක් සොයා යන්නියක්.සුචිත්‍ර චාරිකා කතුවරිය දකුණු ඉන්දියානු ආගමික ස්ථාන කරා ගිය වන්දනා චාරිකා කතා එකතුවක් .ඒත් පූර්ව ජන්මය නම් කියවන්න මම වෙලා නොගත්තේ බුද්ධදාසි වඩා හිත් ගත්ත නිසා.


බුද්ධදාසී සුනේත්‍රාගේ අනික් නවකතාවලින් වෙනස්වුණ ඉතිහාස කතා ඇසුරෙන් ගොඩනැගුන ප්‍රබන්ධ කතාවක් හා සමානයි.බොහෝ වංශකතා,අටුවා ටීකා, වල කියැවෙන්නේ අනුරාධපුර යුගයේ රජුන්ගේ වීර ක්‍රියා , වාරි කර්මාන්ත , වෙහෙර විහාර කර්මාන්ත ගැන වුවත් වංශ කතාවල නොලියවුණ රජ සිටු මැදුරු තුල වගේම අභය ගිරිය ,මහා විහාරය වගේ පන්සල්වලත් වූ බල අරගල , නොහොඳ නෝක්කඩු, සිත් රිදුම් ,ඊර්ෂ්‍යාවන් , සීතල යුද්ධ සහ ඒ වාට මැදිව දුක් දොමනස් සහ වයිර ගිණි ගොඩවල් වල දැවෙන රජ සිටු ඇමතියන් සහ පොදු ජනයා ගැන කතාවක් "බුද්ධදාසි".මේ බල අරගල වලදී රාජ්‍යත්වය සුරකින්න , හදිසි සමාදානය වෙනුවෙන් ගෑණුන්ගේ ජීවිත බිලිවෙන අයුරු ඇය විස්තර කරනවා.සුනේත්‍රාගේ කතන්දර කීමේ විලාසය නොඅඩුව මේ පොතෙත් තියෙනවා. සෙසු පොත් වල වගේම දුකින් තැවුණත් ,දුකින් නැගිටින ප්‍රබල ගැහැණු චරිත මේ ඉතිහාස කතාවෙත් ඉන්නවා.


ප්‍රේම පුරාණයෙන් සුනේත්‍රා කියවන්න පටන්ගත් මම අන්තිමට සරසවියෙන් පිටවුනේ "බුද්ධදාසි" නවකතාවත් මිලට අරගෙනයි.සුනෙත්‍රාගේ බොහෝ පොත් වල සටහන් ගැන මතකෙන් කියන්න මට පුලුවන්. ඒ අතරින් මගේ සිත් ගත් ප්‍රේම පුරාණයේ ඉන්ග්‍රිසි පරිවර්තන සටහනකින් (Attaining Age ) මේ කතාව ඉවර කරන්න හිතුවා.


" I laughed with a hundred new eyes . The eyes acquired after many workshops and many seminars . Those eyes appear all over the room. How can i explain it in plain words ?? He'll never understand .I did not want to spoil the evening. After all these years ,we were there to love and to be loved , not to hold preliminary session for the forth world conference on women."
Attaining Age - p - 33 -Sunethra Rajakarunanayake -Sarasavi Publishers


ප/ලි


සුනේත්‍රා මම ප්‍රිය කරන කතුවරියක් .ඇය ගැන මම දැනගත්තේ ආර්ථික විද්‍යාවට පාසලෙන් තෑගි ලද ප්‍රේමපුරාණයෙන් . මේ සුනේත්‍රාගේ පොත් වල ගුණාගුණ විවේචනය කරන්න ලිව්ව සටහනක් නම් නෙවේ 

මිහිරයි මමයි බින්දුමතියි


අපි පොඩි කාලේ රසවින්ද කාටූන් , ත්‍රාසජනක ටෙලි කතා , හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍ය ගැන මෑතකදී පිස්සා බ්ලොග් පෝස්ට් කීපයක් ලියලා තිබුණා. ඒ මතක ඔස්සේ යද්දී මට මතක් වුණේ ඒ කාලෙ රසවින්ද ළමා පත්තර ගැන යමක් ලියන්න ඕනෙ කියලා .

ටී .වී එකේ යන ළමා පත්තර දැන්වීම් දැක්කම හිතෙනවා  දැන් නම් ගොඩක් ළමා පත්තර පලවෙන්නෙ ශිෂ්‍යත්ව විභාගෙට ළමයි පුහුණු කරන්නද කියලා. මොකද එවායේ පලවෙන වෙනත් ලිපි , කතා ගැන සඳහනක් නැති තරම් .හැමතිස්සෙම කියන්නෙ පත්තර එක්ක ලැබෙන ප්‍රශ්න පත්තර පොත් කට්ටල ගැන .  එතකොට මට මතක්වෙන්නෙ මිහිර පත්තරේ පලවුණ "බින්දුමතී" කතාව.

තුනවසරේ ඉන්දලා  හත වසර විතර වෙනකන්ම මම නොකඩවා "මිහිර" කියෙව්වා. හැම සඳුදාම "මිහිර " එනකන් මම හිටියෙ නොඉවසිල්ලෙන් . ඒ කොටස් වශයෙන් පලවුණ "බින්දුමතී" කියවන්න. බින්දුමතී දුප්පත් දක්ෂ ගෑනු ලමයෙක් . අම්ම විතරයි එයාට හිටියේ. අම්ම රබර් කට්ටියේ කිරි කපලා දුවට උගන්වනවා. ගමේ පාසලේන් ශිෂ්‍යතවය සමත්වෙලා   සුදුවැල්ල ම්ධ්‍ය මහ විද්‍යාලයට  යන්න  බින්දුමතී ගමේ ඉඳන් ගොඩක් දුර පයින් යද්දී සපත්තු දෙක ඉක්මනට ගෙවෙන එක වලක්වන්න සපත්තු අතින් අරන්  පයින් ඇවිදගෙන ගිය හැටි කතාවෙ තිබුණ විදිය මට මතකයි. දුප්පත් වුණත් බින්දුමතී  දුර්වල යාලුවන්ට ඉගෙන ගන්න ගොඩක් උදව් කළ ළමයෙක්.එයා කිසිම වෙලාවක තමන් දුප්පත් කියලා ඉගෙනීම අතරින්නෙ නැහැ.අන්තිමට එයා ඉගෙන ගත්ත පාසලේම ගුරුවරියක් විදියට සේවයට යන එකෙන් තමයි කතාව සමාප්තවුනේ.ඒ සමාප්ති සටහනේ තිබුණේ මෙතෙක් කල් ඔබේ ලමා ලෝකයේ හිටිය බින්දුමතී අද පටන් වැඩිහිටි ලොවට පිවිසීමත් එක්ක මේ කතා මාලාව නිමා වෙනවා කියලා .  මිහිරෙ මුල්පිටුවෙ තියෙන බින්දුමතී  ලිව්වෙ සිරිල් සී පෙරේරා මත්තයා. මුලින්ම පත්තරේ අතට ගත්තු හැටියෙම රස කෑමක් කනවා වගේ මම බලන්නෙ බින්දුමතී කතාව.ඒ තරම් ලමයින්ට රසවත් ආකාරයට කතාව ලියැවිලා තිබුණා.ඒ කාලෙ තිබුණ විජය වගේ පත්තර අබිබවා  මිහිර පත්තරය වටා විසාල ළමා පාඨක පිරිසක් රොක්වෙන්න බින්දුමතී හේතුවුණා කියලා මට හිතෙනවා. මොකද මගේ පන්තියෙ යාලුවො ගොඩක් බින්දුමතී කියවන්න මම වගේම නොඉවසිල්ලෙන් හිටි අය .

මිහිරෙ ගිය කාටූන් අතරින් මම ආසාවෙන් බැලුව "බට කොල ආච්චී " සහ "පුංචිත්ත" කතන්දරත් මතකයි . බටකොල ආච්චි නිතරම නපුරු වැඩ කල මායාකාරියක් වුණත් "බූ බබා" ඒ නපුරු වැඩ වලින් අනික් අය බේරගන්න උත්සාහ කල කෙනෙක් .පුන්චිත්තා එක්ක එයාගෙ තනියට එහෙ මෙහෙ ගිය , නිතර එයා කතාබස් කරන බලු කුක්කෙකුත් හිටිය බව මතකයි. ඉන්ටර් නෙට් නොතිබුණ ඩිස්කවරි ගැන අහලාවත් නැති  ඒ කාලේ ඇල්ප්ස් කඳු , පිරමිඩ සහ පාරාවෝ  රජවරු , හිමවලස්සු , හිමාලයේ යෙටී මිනිස්සු, අප්‍රිකාවේ වනාන්තර, ගැන  ඩැනිස්ටර් පෙරේරා කියල කෙනෙක් ලිව්ව කුතුහලය දනවන රසවත් ලිපිත් මට මතකයි .  එදිනදා සිදුවන  විද්‍යාත්මක සන්සිද්ධි රසවත්ව හරිම සරලව කතා අනුසාරයෙන් පැහැදිලි කරලා දෙන විශේෂාංගයක් මිහිරෙ තිබුණත් මට ඒකේ නම මතක නැහැ."කමලක්කාගෙන් අහන්න " යනුවෙන් පලවුණ හාස්‍ය මුසු කවි සහ කතා අතුලත් වුණ රසවත් තීරු සටහනකුත් මිහිරෙ තිබුණා.

විජය පත්තරේ පල වුණේ බදාදට වෙන්න ඕනෙ. විජය මිහිර තරම් මගෙ සිත්ගත්තේ නැතිවුණත් එකේ  තිවුණ පියල් උදය සමරවීර ලිව්ව "මකාගේ යලක්" එකේ නාහෙ මල් ඇටයක් හිරවෙලා නාහෙට උඩින් පිපුණ මලක් එක්ක හිටිය  මල් මාමා මට තාමත් මතකයි . එහාගෙදර චූටි නැන්දා කියෙව්ව විජය පත්තර මිටියක්ම ඒ වෙනකොට මට ලැබිලා තිබුණේ . විජය පත්තරේ කාලයක්ම මැදපිටුව පුරාම බොහොම ලස්සනට වර්ණ චිත්‍ර රාමු  එක්ක පලවුන කතන්දර පොත මතකද?. ඒ පිටුව වෙන්කරලා ඊතල වලින් දක්වලා තියෙන උපදෙස් අනුව කපාගෙන ඒ මේ අතට නැව්වම ලස්සන හුරු බුහුටි  පොඩි කතා පොත් පිංචක් ලැබෙනවා. එයින් මිටියක්ම මාගාව තිබුණා විජය පත්තරෙත් එක්ක චූටි නැන්දාගෙන් ලැබිලා. ඒවා ඉස්කෝලෙ ගෙනිහින් යාලුවො එක්ක හුවමාරු කරන් කියෙව්වා මතකයි .

ඔය කාලෙ මිහිරක් රුපියල් තුනක් විතර වගේ .කොහොමහරි පත්තරේ ගන්න අම්මගෙන් හරි තාත්තගෙන් හරි රුපියල් තුනකුත් ඉල්ලගෙන සඳුදා වෙනකන් ඉන්නෙ පුදුම නොඉවසිල්ලකින් .  සඳුදාට ඉස්කෝලෙ ඇරිලා අවිත් බත් ඇටේ හරස්වෙන්න කලින් හන්දියෙ පත්තරකඩේට දුවලා යන්නෙ මිහිරක් ගේන්න .
අපේ ගමටම තිබුනෙ එකම එක  පත්තර කඩයයි ඒ දවස්වල . ඒ "මැම්බර්ගේ කඩේ"  කියල හැඳින්වුව ලේක් හවුස්, ලංකාදීප  සහ උපාලි පුවත්පත් අලෙවි නියෝජිතයන් හැටියට කටයුතු කල  හාල් සිල්ලර බඩු විකිණුව කඩයක්. සඳුදා අපේ ගමේ පොල දවස .ඉතින් හාල් සිල්ලර බඩු ගන්න උදවියත් මැම්බර් කඩේ පිරිලා . යන්තම් කඩ බක්කියට උස නැතිව අතේ රුපියල් තුනකුත් මිට මොලවගෙන ඉන්න මාව කඩේ බඩු කිරන අය ඒ තරම් ගනන් ගන්නේ නැහැ.ඒ නිසා ටිකක් වෙලා යනවා පත්තරේ ඉල්ලගන්න .ටිකක් ලොකුවෙනකොට මම කලේ කෙලින්ම 'මැම්බර් සීයගේ"  මේසේ ගාවට යනවා රුපියල් තුනත් මිට මොලවගෙන . උන්දැ උස, හීන්දෑරි, සුදු ,මනුස්සයෙක් . වැඩි කතා නෑ. මේසෙකුයි පුටුවයි තියාගෙන වාඩි වෙලා ඉන්නවා.මේසෙ උඩ ඔක්කොම පත්තර ජාති අතුරලා තියෙනවා. මේස ලාච්චුවේ සල්ලි තියෙනවා. උන්දැගේ පිටිපස්සේ  ලස්සන දම්පාට වතුර බෝතල් පිරෙව්ව රාක්කෙකුත් තියෙනවා. අමුතු සැර සුවඳකුත් පැතිරෙනවා. ඒ සුවඳට එක්වුණ අලුත් පත්තර සුවඳ නාහෙට දැනෙනකොට හරි අපූරුයි . පස්සෙයි මම දන්නෙ මැම්බර් කඩේ පත්තර , සිල්ලර වලට අමතරව වයින් ස්ප්‍රීතු විකිණුවා කියලා. මට හදිස්සියෙන්වත් සඳුදට මිහිර පත්තරේ ගන්න මග ඇරුණොත් අනිවාර්යෙන්ම පස්සෙ දවසක මැම්බර් කඩෙන් මට ඒ  පත්තරේ  ලැබුණා. ඉතින් සල්ලිටික දීලා ඉක්මනට මිහිර පත්තරෙත් ඩැහැගෙන හැල්මෙ ගෙදර දුවන් එන්නෙ රටක් රාජ්ජයක් ලැබුණ වගේ සතුටින් .

ඔහොම අවුරුදු ගනනාවක් එකතු කරපු ,රසවින්ද මිහිර පත්තර මිටියක්ම අපේ ගෙදර තිබිලා පස්සෙ කාලෙක විසිකරල දැම්ම . දැන්නම් මිහිර මොනවගේද කියන්න මම දන්නේ නැහැ. කාලෙකින් මිහිර පත්තරයක් දැකලා නැහැ.ඒත් මිහිර එක්ක ගෙවුණ මගේ ළමා මතකයන්නම් බොහොම මිහිරියි  කියලා හිතෙනවා.

ප/ලි
බින්දුමතී කතාව ආයෙත් කියවන්න ආසයි .මේක පොතක් හැටියට පලවෙලා තියෙනවද? . දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ තොරතුර දෙන්න .ඔයාලත් කැමතිනම් මිහිර , විජය එක්ක තිබුණ රසවත් මතක කියන්න පුලුවනි . ඔය උඩින් තියෙන මිහිර පත්තරේ පින්තූරෙ ගත්තේ ලේක් හවුස් වෙබ් පිටුවෙන් . එතකොටයි දන්නෙ මිහිරට අවුරුදු හතලිස්පහකුත් පිරිලා කියලා .දැන් පත්තරයක් රුපියල් පහලවයි .කාලෙ ගිය ඉක්මන !

Saturday, January 29, 2011

සිකුරාදාට හැදෙන අලි බඩගින්න !



සිකුරාදා කියන්නෙ සතියෙ වැඩ රාජකාරි සේරම ඉවර කරල යන්තන් හුස්මක් ගන්න ගෙදර යන දවසනේ. එදාට ටිකක් කලින් ගෙදර යන්න පුලුවන් නම් තවත් හොඳයි .ඒත් එහෙම වෙන්නෙ හාවා හඳ දකින්න වගේ හරිම කලාතුරකින් .


ඒ මදිවට හැම මාසෙම සිකුරාදාවල් කීපයකදී මට අලි බඩගින්නකුත් හැදෙනවා.ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි . හැම මාසෙම දවස් හත අටක් රාජකාරි කටයුතු වලට මට කොලඹ ප්‍රධාන කාර්යාලෙට වාර්තා කරන්න වෙනවා . එහෙම වුණහම ඉතින් ස්ටෆ් ක්වාටර්ස් එකෙ රැයක් දෙකක් ලගින්න වෙනවා . මොකද ඔය වැඩ ටික ඉවර කරගන්න සතියෙ බදාදා කොලඹට ගියහම ආයෙ ගෙදර එන්න වෙන්නෙ සිකුරාදා හවස් කරේ. එහෙම වුණහම අලි අමාරුවක වැටෙන්නෙ කටට රහට කෑම ටිකක් නැතුව . ඒ කියන්නෙ සුපුරුදු රතු කැකුළු බත් , පොල් සම්බල්, මාලු , එලවළු , කොල මැල්ලුම් , කිරිහොදි වගෙ දෙවල් කන්න ලැබෙනවා බොරු . පොල් , එළවළු , මාලු , එහෙම ගිණි ගනන් කාලෙක ඕවා සුපිරි කෑම බව හැබෑව .ඒත් මම ඉතින් තුන් වේලටම බත් කන්න පුරුදු මනුස්සයනේ. ඉතින් කොලඹට සේවයට ගියහම හිතේ හැටියට රතු බත් කටක් කෑව බොරු.මගේ ඔෆිස් එක වටේම තියෙන්නෙ විච්චූරණ නම් ගම් තියෙන සුපිරි චීන , ඉන්දියන් , තායි කෑම කඩ වල මගේ ටේස් එක නැහැනේ.එතකොට ඉතින් උදේට පෙරේරා සහ පුත්තුන්ගෙන් පිටි ගුලියක් ගිලිනවා.එහෙම නැත්නම් මැගී එකක් ම්යික්‍රො වේව් එකේ දාලා හදාගන්නවා. දවල්ට පෘට් ජූස් බොනවා.ලොකු බඩගින්නක් නම් ඉතින් ඔය තායි , චීන , ඉන්දියන් කඩේකින් තෙල් ගොඩගහපු ටේක් අවේ පැකට් එකක් ගෙනිත් ඔෆිස් එකේ කා එක්ක හරි බෙදාගෙන කනවා.රැට නම් හරිම අමාරුවක වැටෙන්නෙ . ඔය ඔක්කොම කඩවල රෑට බෙහෙතකටවත් බත් එලවලු මාලු නැහැනේ. ඉතින් ඔය පිට්ටු ආප්ප ඉඳි ආප්පවල පිහිට තමයි . ඔහොම රෑ දෙකක් ගෙවිලා සිකුරාදා වෙනකොට හොඳ ගනන්. එදාට ඉතින් හිතෙන්නෙම ඉක්මනට වැඩ අහවර කරලා ගෙදර ගිහින් රතුබත් කන්න.


ඔහොම හිතලා දවල් කෑමත් නොකා දොලහමාරට විතර වැඩ ඉවර කරන්න ගිනි කසයා වගේ වැඩ කරනවා දවල් කෑම අමතක කරලා .දොලහමාරට විතර කොලඹින් පිටත්වුණොත් කලුතර පැන්නට පස්සෙ කඩේකින් හිතේ හැටියට රතු බත් කටක් කන්න පුලුවන් .අනේ ඉතින් මේ සිකුරාදාත් , ඒ කියන්නෙ ඊයෙත් මම ඔහොම හිතලා වැඩ කොලාට මොකෝ ඔෆිස් එකෙන් පිටත්වෙනකොට හවස තුනහමාරත් පැනලා.ඔක්කොම වැඩ ඉවර කලත් ලොක්කි මුණගැහිලා සේරම දේවල් වලට එයාගෙ අත්සන් අරගෙන ෆයිල්ස් බාරදෙනකොට දන්නෙම නෑ වෙලාව ගිහින්. පිටත්වෙනකොට බඩ පණුවො පිනුම් ගහනවා ඒත් ඉතින් මේ වෙලාවට බත් හෙව්ව බොරු .මගේ රියදුරාටත් වැඩි දවසට මේ සන්තෑසියමයි වෙන්නෙ . සතියෙ දවස් පහම කොලඹ නේවාසික වෙලා ඉඳලා වැඩි දවසට ඉක්මනට ගෙදර යන්න මගේ වාහනේ එල්ලෙන හුස්නි සහෝදරයාත් එහෙමයි . ඉක්මණට අපි එක්ක ගෙදර යන්න මිනිහත් ලන්ච් නොගෙනම වැඩ ඉවර කරනවා .අන්තිමට බඩගින්නෙ .


ඉතින් අපි බඩගිණි කාරයෝ තීරණය කොලා මොරටුව පැන්නම තියෙන හරි හමන් කඩේකින් උණු පාණුයි , මාලු හොදියි කාලා ප්ලේන්ටියක් වත් ගහන්න ඕනේ කියලා. ඔය අතරේ මොරටුව පහුකරද්දී මාදැලක් ඇදලා අලුත්ම හාල්මැස්සො , පැන්නො ලාබෙට විකුණනවා. අපිත් නවත්තලා හාල් මැස්සො එහෙමත් අරගෙන ගෙවල් වලටත් කෝල් දුන්න රතු බත් උයලා පොල්සම්බල් හදලා තියන්න කියලා .


"අලුත් මාලු ටික , ගිහින්  හොදි හදාගෙන උණු උණුවෙන්ම කන්න පුළුවනි" කියලා හුස්නි කියනකොට හැමෝගෙම කටට කෙල උණලා බඩගිණි දෙගුණ වුණා.


ඉතින් පානදුර හරියෙදී පාන් කන්න කඩයක් සොයාගන්න අපි තීරණය කළා. ඒත් ගොඩක් කඩවල් වල හවසට පානුයි හොදියි දෙන්න කඩකාරයෝ කැමති නැහැනේ. ඔන්න ඉතින් යූ ටර්න් එකකුත් ගහලා අපේ වාහනේ නැවත්තුවා උනු පාන් , උනු උනු සුප්, දැන් බෑව ආප්ප, එන්න කන්න කොත්තු වගේ ආකර්ෂණීය පුවරුවක් එහෙම තිඹුන තැනක . හුස්නි බැහැලා ගියා බලන්න . ඔන්න ගිය පයින්ම එනවා තාම හොදි හදලා නැහැ කියාගෙන . "මුන්ගේ බෝඩ් ලෑලි මොන මගුලකට ගහනවද මන්දා" කියලා බණිමින් මගේ රියදුරා වාහනේ සැර දැම්ම .තරහටත් එක්ක දැන් මර බඩගිනියි තුන්දෙනාටම .ඔහොම ගිහින් ආයෙත් නැවත්තුවා ලොරි එහෙම නවත්වලා තියෙන කන්න බොන්න තියෙනවා කියලා හිතුව පොට් එකක . මෙන්න ආයෙත් කෑම ගැන විපරම් කරන්න ගිය මිනිහා එනවා ගියපයින්ම "කඩේ එකාගෙ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා, පානුයි හොදියි ඇහුවම කොත්තු කන්න කියනවා ඒකා" කියමින් .


අන්තිමටම බඩගිනි වැඩි කමට වාද්දුවේ පාන් බනිස් තියෙන , රෑ කෑමට කොත්තු හදන කඩේක නැවැත්තුවා මොනවහරි කන්න . කට්ටියම බැස්සා.
"අඩේ දවල් බුෆේ එකේ කෑම වලන් එහෙමත් තියෙනවා නේද ?"
"සමහර විට බත් ඇති. ඒ නැතත් මාලු හොදි තිබුණොත් පාන් කන්න පුලුවනි "
ඔහොම කියලා කඩේට ගොඩවුණ මම හට්ටි වලන් අරිද්දී අනික් දෙන්න රෝස් පානුයි මාලුරි කන්න ඕනෙමයි කියලා කඩේ මල්ලිට තදින්ම කියා හිටියා .
" මහත්තයා රෝස් පාන් කන්න පුලුවනි , මාලු නම් නැහැ තාම රෑට ඉව්වෙ . දවල් මාලු හොදි තමයි තියෙන්නෙ "මළයා කියනවා .
"බත් කන්න නම් නැහැ.ඒත් මාලු හොදි හොන්දයි පිනුල් වෙලා නෑ".හට්ටි වලං ඇරිය මම කිව්ව
"එහෙනම් මල්ලි දෙන්න රෝස්පානුයි , මාලු හොදියි , ආ තව සුප් තුනකුත් දෙන්න" අපි ඕඩරේ බාරදුන්න.
අපි තුන්දෙනා ඔය ඔක්කොම එක්ක පලමු වටයට රෝස්පාන් පහකට වගකිව්ව. මලයට කියලා තව රෝස්පාන් හතරකුත් ගෙන්න ගත්තා.ඔය අස්සේ මගෙ රියදුරා පොල් සම්බල් ටිකක් ගන්න පුලුවන්ද කියලා විපරම් කළත් කඩේ මළයා කිව්වෙ ඉතිරි පොල් සම්බල් උදේ හදපුවා නිසා කන්න එපා කියලා . දසවැනි රෝස් පාන් එකටත් වග කියලා වැඩේ අහවර කරන්න හිතුවත් කඩේ මළයා කිව්වා ශෝ කේස් එකේ තිබුණ ඔක්කොම රෝස්පාන් පිඟානම ඉවරයි කියලා.
හායි හූයි කියලා මාලු හොදි එක්ක පාන් කාලා සුප් බීලා , ප්ලේන්ටී වලටත් වග කියලා බිලත් ගෙවලා යන්න කලින් මළයට ස්තුති කරන්නත් අපි අමතක කලේ නැහැ. අපේ කෑමෙ විලාසෙට මලය හිතන්න ඇති අපි ඉතියෝපියාවෙන් ගොඩබැහැලා කියලා.
"හම්මෝ දැන් තමයි මට පණක් ආවේ" ගමන පටන් ගන්න ස්ටීයරින් වීල් එකට අත තිව්ව මගේ රියදුරු කිව්ව.
දැන් අපි නවත්තනකොට තිබුණ පොද වැස්ස තරමක් වේගෙන් වහිනවා.වාහනේ ගමන ස්ලෝ වෙලා වැස්ස නිසා .
"හොඳ වෙලාවට අපිට කෑම කන්න ලැබුනේ , නැත්නම් මෙහෙම ස්ලෝ වෙවී වැස්සේ ගාට ගාට පානුයි හොදියි කන්න කඩ හොයලම මහමග බඩගින්නෙ නහින්නයි අපිට වෙන්නෙ "
හුස්නි කිව්ව විදියට අපි ඔක්කොටම හිනා


ප/ලි
මම ගෙදර එනකොට රෑ හතහමාර විතර ඇති. රතු බතුයි , පොල් සම්බලුයි හදලා තිබුණේ .ඉක්මණටම ගෙනාව හාල් මැස්සො හොදි හදලා බත් පිඟානක් කෑවම තමා අලි බඩගින්න නිවුණේ .

Saturday, January 1, 2011

ජාඩියට මූඩිය – ....ජාඩි ...ජාඩි...ජාඩි


ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑගෙන , ගැලපෙන එහෙම නැත්නම් අදකාලෙ භාෂාවෙන් කියන්නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ .


මොනවද හැබෑටම ජාඩි කියන්නෙ ? මේ දකුණු පලාතේ මුහුදුකරේ ගම් වල අති ප්‍රසිද්ධ කෑමක් . ජාඩි කන්නත් , ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය , දොඩන්දූව ,රත්ගම ,ගිංතොට , අහංගම වගෙ ගාල්ල, මාතර පලාත්වල. ජාඩි හදන්නෙ මාලු වලින් .ඇත්තටම කිව්වොත් මේ මාලු කල්තියාගන්න සරල ක්‍රමයක් .වැල්ලකරේ ගම් වල මාලු අතිරික්තයක් තියෙන කාලෙට ලුණුත් ගොරකත් දාලා මාලු කල් තියාගත්තා අවාරෙට එහෙම නැත්නම් අහේනි කාලෙට කන්න . ඒ කාලෙ මිනිස්සු මාලු හිඟ වුණහම අද කාලෙ වගෙ වෙලඳ ඇමතිට බැන්නෙ නැහැ නෙව .


ජාඩි ගැන මම දන්නෙ අපේ ගෙදරත් කාලයක්ම ජාඩි හට්ටියක් තිබුණ නිසා . ජාඩි හදාගන්නෙ මෙන්න මෙහෙම .මේකට ඔනෙ වෙන්නෙ


1. අලුත් මාලු – වැල්ලෙන් ගෙනාව ගමන් නම් වැඩිය හොඳයි . හුරුල්ල , කුම්බලා (බෝල්ලො කියලත් කියනවා), බලයා, අලගොඩුවා, වගෙ මාලු තමයි ගන්නෙ . මාලු හොඳට ලුණු වතුරෙන් හරි , මුහුදු වතුරෙන් හරි හෝදගන්න ඕනෙ.මාලු වල තියෙන වැලි ඉවත් වෙන්න සෝදා ගැනීම වැදගත්.ඊට පස්සේ මාලුන්ගේ ඔලුවත් බඩත් අයින්කරලා ලොකු මාලුන්ගේ නම් පෙති කපාගන්න




2. ලුණු කැට සහ වියලි ගොරකා යහමින් ඕනෙ වෙනවා


3. පිරිසිදු වියලි ලොකු මැටි මුට්ටියක් අරගෙන ලුණු ගොරක තට්ටුවක් අතුරලා , මාලු පෙති හෝ මාලුවන් කීපදෙනෙක් තියන්න . දැන් ඊට උඩින් ආයෙත් ලුණු ගොරක අතුරලා ආයෙත් මාලු තට්ටුවක් අතුරන්න . මෙහෙම ඔක්කොම මාලු අතුරලා ඉවර වෙලා මුට්ටියෙ කට හොන්දට කඩ වැස්මකින් බදින්න . ඊට පස්සේ වතුර නොවැටෙන , මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක මාලු මුට්ටිය තියන්න .දුම් මැස්ස තමයි මේකට හොඳම තැන .


මාසයක් විතර ගියහම මාලු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලුණු වල තියෙන ලවණ ගතියට මාලුවගේ ඇඟේ තියෙන වතුර ලුණු උරාගන්නවා . විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා . ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාලු නරක් නොවී තියෙනවා. මේ මාලු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුලුවන් . අවශ්‍ය තරම් මාලු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට දාලා , ඊට සෑහෙන්න රතුලූණු , හොඳ සැරට මිරිස් කුඩු , පමණට ලුණු (ලුණු දානකොට පරිස්සමෙන් මේව ලුණු මාලුනේ) , හායි හූයි කියන්න සැරට කොචිචි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ලිපෙන් බාගන්න ඕනෙ . ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම . මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුලුවනි ඔනෙ තරමක් . පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි . ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාල තැම්බුව කොස් , දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි . රතු බත් එක්ක , දෙල් කහ පොල් දාලා මලවලා , ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති දවල්ට බත් කන්න .


ඉස්සර ජාඩි කඩවල් වල විකුණන්න තිබිල තියෙනවා. ඒව තිබිල තියෙන්නෙ පීප්ප වල දාලා. ජාඩි මුදලාලිලත් ඉඳලා තියෙනවා. ඒකනෙ සින්දුවක් තියෙන්නෙ" ඇරපිය ලුසිය දොර ජාඩි කඩේ ජෙමා මම" කියලා. ජාඩි හදන්න අති ප්‍රසිද්ද දොඩන්දුවෙ , බලපිටියෙ පැරැන්නො සුලුප්පු යාත්‍රා වල නැගිල ලුණු ගොරක එහෙමත් අරෙන ඉන්දියාවෙ තූත්තු කුඩි වරායට ගිහින් එහෙන් මාලු අල්ලන් ජාඩි කරලා ඒව පීප්ප වල දාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලාදොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ශය මුල කාලෙ .


මේ ගාල්ල මාතර වැල්ලකරේ ජාඩි කොයිතරම් ප්‍රසිද්ධ කෑමක් ද කිව්වොත් ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කරුවල ගෙදර , අපේ ගම , උපන්දා සිට පොත් වල එහෙමත් සඳහන් වෙනවා මට මතකයි. කරුවල ගෙදර පොතේ සිරිමල් කරුවල ගෙදරගේ මල්ලි නිමල් කියනවා වැල්ලකරේ ගම් වල ගෑණු බුලත් හපලා මැදුන කටට රහ හොඳින් දැනෙන්නෙ හොඳට කොච්චි මිරිස් දාලා ජාඩි හොදි කනවා කියලා . වතුර වැටුනොත් , එහෙම නැත්නම් මාලු පරණ වුණොත් ජාඩි හට්ටියෙ පණුවො එකෙක් දෙන්නෙක් හැදෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. . ඒත් සමහර පැරණි උදවිය කියන්නෙ ඒක එතරම් හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි , පණුවො රස වැඩි කරනවා කියලා. මට මතකයි දවසක් ඔය ජාඩි ගැන කියාදෙන්න ගිහින් කොලඹ පැත්තේ යාලුවන්ට ඔය පණු කතාව කිව්වම ඒ හැමෝම ඊය මල ජරාවක් කිව්ව .හැබැයි ඒ නිසා ජාඩි පහත් කරලා සලකන්න ඔනෙ කෑමක් නෙවෙයි .එහෙමනම් අද කාලෙ අපි මොන තරම් වස විස කනවද උජාරුවට සල්ලිත් දීලා.ඒ එක්කම ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ ලුණිජ්ජ කියලා . අහල තියෙනවද මේ ගැන.ලුණිජ්ජ කියන්නෙ මාලු, ලුණු , ගොරක එක්ක පදම් වෙනකොට හට්ටියේ එකතුවෙන දියරෙට . ලුණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි . පොලොස් ගැට ,කෙසෙල් මුව උයද්දි ලුණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා , දෙහි දානකොට ලුණිජ්ජ ටිකක් එක්කලහම හරි රසයි .


ජාඩි කන්න ආස කෙනෙක් ඉන්නවනම් ඉතින් හදාගන්න වෙනවා. එහෙම නැත්නම් ගාලු මාතර පාරේ යද්දි කොස්ගොඩ තියෙන සංචි ජාඩි බත් කඩේට ගොඩවුණොත් ජාඩි එක්ක බඩ පිරෙන්න බත්කාලා, ජාඩිත් , ලුණිජ්ජ බෝතලේකුත් මිලට අරන් යන්න පුලුවණි . මම මෙතැනට තාම ගිහිල්ල නැතත් අපේ තාත්තනම් කැමති බත් කඩයක් . එහෙමත් නැත්නම් දොඩන්දූව , බලපිටිය , ධීවර වරාය වලින් විපරම් කලොත් ඒ කිට්ටුව ඉන්න ජාඩි දාන ධීවරයන්ගෙන් ජාඩි මිලට ගන්න පුලුවනි . ඒ පලාත්වල තාමත් පැරණි උදවිය මේ කර්මාන්තෙ සුලුවට කරනවා . සුපර් මාකට් හරි සිල්ලර කඩවල හරි ජාඩි විකුනන්න තියෙනවා තවම මම දැකලා නැහැ. අදකාලෙ නවීන පන්නෙට හැදුන උදවියට ජාඩි රහ නොදැනුනත් මේ අපේ ගම් වල හොඳ කෑමක් .


ප/ලි
ජාඩි කාල තියෙනවනම් ඒ ගැන විස්තර දන්නව නම් ලියන්න.මේ සටහන ලියන්න සමහර දේවල් අහගත්තේ අම්මගෙන්.මේ සටහනමෙතැනිනුත් කියවන්න පුලුවනි.

Monday, December 27, 2010

රාජස්තාන් සැරිසර මතක සමාප්ති සටහන -ජෝද්පූර්... කබි අල්විද නා කෙහෙනා...

Umed Bhawan



Umed Bhawan inside

On the way to Meherangar Fort

Mirror Galary -Meherangar Fort

A victory Gate - Meherangar Fort

Rao Jodha founder of fort


Folk musician inside the fort






අපි ජෝද්පූර්වලින් බහිනකොට පහුවෙනිද උදේ හයට විතර ඇති. මම උෂත් එක්ක එයාගේ කාර්යාලයට ගිහින් තව පැයදෙකක් විතර නිදා ගත්තා. රැස්වීම් සාලාවක් හැටියට පාවිච්චි කරන උඩු මහලේ බිම අතුරල තියෙන පලස් උඩ පැදුරක් දාගෙන , උණුසුම යන්න ඔක්කොම ජනෙල් දොරවල් ඇරල සැප නින්දක් නිදාගෙන ඇහැරුණේ උදේ අටට විතර .ඔෆිස් එකේම නාන කාමරේට ගිහින් හොඳට නාගෙන අඳුම් ටිකත් හෝදලා දැම්ම . මම දැන් ඉන්දියානු ගමන් වලට හොඳට පදම් වෙච්ච නියම සංචාරකයෙක් .මේ සැප්තැම්බර් විසිහය වෙනිදා. මම රාජස්තානයේ ඉන්න අන්තිම දවස . එදාම හවස හතයි විස්සට තියෙන මන්දෝර් එක්ස්ප්‍රස් කෝච්චියෙන් මම නවදිල්ලි යන්න ඕනෙ පහුවෙනිදා ලංකාවට යන්න . ඉතින් උදේ නවය වෙනකොට ලහි ලහියේ ලෑස්ති වුණා ජෝද්පූර් සිරි විසිතුරු බලන්න යන්න . ඌෂට කාර්යාලයේ රාජකාරි වැඩ යෙදිල නිසා මම එයාව ටුවර් ගයිඩ් කමින් නිදහස් කලා .ඒ වෙනුවට මග පෙන්වන්න එයාගේ නංගි සෝණු කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා . ගමන පිටත්වෙනකොට උදේ දහය විතර වුණාට තද හිරු එලියෙන් මුලු නගරයම බබලනවා. ජෝද්පූර් ‘සන් සිටි' කියලා හඳුන්වන්නේ මේ නිසා වෙන්න ඕනෙ.


සෝණු රික්ශෝ රියදුරන් සමග හෙට්ටු කරමින් කොහොම හරි මාව ජෝද්පූර් නගර මාලිගාවට එක්කගෙන ගියා .”උමේඩ් භවන්” කියල හඳුන්වන මේ සිටි පැලස් එක තියෙන්නෙ ජෝද්පූර් නගර මායිමෙන් කිලෝමීටර දෙකක් විතර ඈත පොඩි කඳු ගැටයක .මහරාජා "උමේඩ් සිං" විසින් දහ නවවැනි ශතවර්ෂයේ (1929-1943 ) ඉදිකෙරුව මේ මාලිගාව ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් අති නවීන මාලිගා අතරට එකතු වෙනවා.


මුලින්ම මම ඇතුල් වුනේ "සභා නිවාස්" ශාලාවට .මේ මහා මන්දිරයේ ආකෘතියක් සහ එහි හිමිකරුවන් වූ මහරාජා වරුන්ගේ ඉතිහාසය , ජීවන පුවත් හෙලිකරන අගනා ඡායාරූප , ගෘහ භාණ්ඩ එකතුවක් මෙහි තියෙනවා. Henry Voughn Lanchester කියන එංගලන්ත ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා අතින් නිමවුන මේ මාලිගාව ගොඩනැගීම් කටයුතු වලට පන්දාහක් විතර සේවකයො සහභාගි වෙලා තියෙනවා . කාමර 300කට වැඩි මෙහි විසාල මැද මිදුල් කීපයක් තියෙනවා. මාලිගාවේ ගොඩනැගීම් කරලා තියෙන්නෙ කහ පැහැති විශේෂ ගල් වර්ගයකින් . බදාම යොදාගෙන නැහැ බිත්ති බඳින්න . හැම කාමරයකම උෂ්ණත්ව පාලනය කරන ස්වභාවික ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා .පෝලන්ත ජාතික ශිල්පියෙක් මාලිගාවෙ ඇතුලත අලංකරණය කරලා තියෙන්නෙ . මහරාජා වරු පරිහරණයකල බඩු භාන්ඩ ඔවුන්ට විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලද තෑගි ප්‍රදර්ශනයට තබා තිබුණා . මේ මාලිගාවේ ඇති සියලු අංගෝපාංග ප්‍රකට කල කරුණක් වුනේ මේ නව පරම්පරාවේ මහරාජා වරු බ්‍රිතාන්‍ය සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වපු වග . මුලු මාලිගා බිම අක්කර 26 විතර වෙනවා. අලංකාර තණබිමකින් යුත් උද්‍යාන බිමක මාලිගාව පිහිටල තියෙන්නෙ . මාලිගාවෙ එක් කොටසක් බොලිවුඩ් හා හොලිවුඩ් නලුනිලියන් නවාතැන් ගන්න සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කරලා. කොහොම වුණත් මම දුටු නගර මාලිගා තුනෙන්ම මම වඩාත් කැමති අතීත ශ්‍රී විභූතිය විදහාපාන උදයපූර් මාලිගාවට.


"උමේඩ් භවන් "වලින් සමුගත්ත මම ඊලඟට ගියේ "මෙහෙරාන් නගර්" බලකොටුව බලන්න . මේ බලකොටුවට පිහිටල තියෙන කඳුගැටයට යන්න තියෙන්නෙ ජනාකීර්ණ පටු පාරක් දිගේ . පාරදිගේ ඉදිරියට යනකොට මේ අති දැවැන්ත නිර්මාණය ක්‍රමයෙන් දිවෙනවා. බලකොටුවට ඇතුල් වුනහම එහි විශාලත්වය දුටු මට ඇස් අදහාගන්න බැරුව ගියා . තනිකර ගඩොලෙන් නිමවූ අහස උසට නැගුණ මහල් තල විසාල ගණනක් සහ අලි ඇතුන්ට වුවත් ඇතුල් විය හැකි දැවැන්ත ද්වාර හතක් සහිත අරුම පුදුම බලකොටුවක් . මේ ජෝද්පූර් වල ජය භූමිය සහ හදවත කිව්වොත් නිවැරදියි.


ජෝද්පූර් නුවර ගොඩනැගුව රතෝර් වංශයට අයත් වීරයෙක් වුන "රාඕ ජෝදා" විසින් තමයි මේ බලකොටුව ඉදිකිරිම පටන්ගත්තේ . ඒ 1459 දි.නමුත් මෙහි බොහෝ ඉදිකිරීම් නිමාකරල තියෙන්නෙ මහරාජා "ජස් වන්ත් සිං" විසින් දහසයවෙනි ශතවර්ෂයේදි. බලකොටුවෙ තියෙන ද්වාර හත හන්දුන්වන්නේ ජයග්‍රහණයේ ද්වාර (Jaya Poles -Victory Gates ) කියලා. ඒ ජෝද්පූර් වැසියන්ගේ අතීත යුධ ජයග්‍රහණ සිහි ගන්වන්න.


මෙතැන දෙස් විදේ සංචාරකයන් බොහෝදෙනෙක් ඇදී එන ජනාකීර්ණ හරිම සජීවී තැනක්. මධුර ස්වරයෙන් ගැයෙන් රාජස්තාන් ජන ගී අහන්න නම් මේ බල කොටුවට එන්න ඕනෙ . විසාල බෙරයක් හා නලාවක් වාදනයකරමින් මුනුණේ සුන්දර සිනහවකින් ජන ගී ගයන ගායකයාගේ රිද්මයට නටන්නෙ නැතුව ඉන්න මට බැරිවුණා. සෝණු තවමත් මට මේ ගැන විහිලු කරනවා. හිතේ හැටියට ඡායාරූප ගනිමින් පැරැණි ගඩොල් අතර මට කිමිදෙන්න දීලා සෝණු හිනාවෙවී බලාගෙන හිටියා ,බලකොටුව බලන්න ආව පාසලක පොඩිත්තෝ පෙලකගෙ රූ සටහන් කැමරාවට හසු කරගත් මම ඒවා ඔවුන්ට පෙන්වමින් සතුටු වුණා.ඒ අතරෙ ඇතුලෙ ඉන්න සපත්තු වෙලෙන්දෙක්ගෙන් රාජස්තාන් චපල්ස් ජෝඩුවකුත් ගත්තා. මේ බලකොටුවේ විශේෂ මතු මහල් තල කීපයක් තියෙනවා . ඒ මෝටි මහල් (pearl gallary) , ශිශ් මහල් (mirror gallary) , පූල් මහල් (flower gallary) සහ මහරාජගේ වාස භවන . මේ හැමතැනක්ම එකකකට එකක් නොදෙවෙනි රන් රිදී මුතු කැටයම් වලින් ඔප වුණ පැරැණි කලා ශිල්පීන් ගේ දස්කම් විදහ දක්වන සුන්දර නිර්මාණ . ඒ වගේම මහ විසාල ආයුධ ගැලරියක් , අතීත සිතුවම් එකතුවක් සහ තලප්පා ගැලරියක් මෙහි තියෙනවා. ඉන්දියාවේ සංචාරක කර්මාන්තය කොයි තරම් දියුණුද කිව්වොත් මෙහි එන සංචාරකයන්ට බලකොටුවේ හැම තැනක් ගැනම හෙඩ්ෆෝන් උපකරණ පාවිච්චි කරලා විස්තර දැනගන්න ක්‍රමයක් බලකොටුවෙ තියෙනවා. බලකොටුවේ ඉහලම මාලයේ බැල්කණියට ගිහින් ජෝද්පූර් නුවර නරඹද්දි මට හිතුනෙ මහරාජා සහ රාණි වරුන්ගේ අතීත කතන්දර ගොඩක් මේ මහා බලකොටුවේ පැරණි ගඩොල් අතර සැඟවිලා ඇති කියලා. ඒ වගේම අපේ ආසියාතික කලා ශිල්පීන් මොනතරම් දක්ෂ මිනිස්සුද කියන එකට මේ බලකොටුව හොඳ සාක්ෂියක්. ඇත්තටම මෙතනෙ හොඳින් බලන්න නම් මුලු දවසක්ම ඕනෙ. ඉර බැහැගෙන යන හැන්දෑවට මෙතැන හරිම ලස්සනයි කියලා සෝණු කිව්ව.


මෙහෙරාන් නගර් බලකොටුවට මම සමු දුන්නේ අකමැත්තෙන් .තව ටිකක් ඉන්න හිතුනත් අයේ හවස ජෝද්පූර් වලින් යන්න ලෑස්ති වෙන්න ඕනෙ. ආයෙමත් නගරෙට ගිහින් ප්‍රියා තාලි රෙස්ටුරන්ට් එකෙන් ලොකු රාවන් දෝස එකක් කාලා ලැසී වීදුරුවකුත් බීලා සෝණුට පොඩි තැග්ගකුත් අරන් ජෝද්පූර් නගර සිරි විසිතුරු බැලීම නිමා කරලා එනකොට හවස දෙකහමාරට විතර ඇති .


දැන් ඉතින් දිල්ලි යන්න සූදානම් වෙන්න ඕනෙ. ඔක්කොම බඩු මුට්ටු බෑග් එකට අහුරලා , නාලා , ටිකක් විවේක අරගෙන , සේරම පොටෝ ලැප් ටොප් එකට දාගත්තා. ‍යෝගේශ් ජී ඇතුලු කාර්යාලයේ හැමෝම එක්ක ආල්ලාප සල්ලාපයේ යෙදුන . මොකද ඊට කලින් දවසෙ මට ඒ අය කා එක්කවත් කතාකරන්න බැරි වුණානෙ . අපි ඔක්කොම හවස "කානා" අවන්හලෙන් ගෙනාව රස කැවිලිත් එක්ක ලංකාවෙන් ගෙනාව තේත් බිව්ව . ඒත් මගේ ජල්දී ජල්දී මිතුරිය ඌෂා තවම නැහැ. ඔන්න හවස පහමාරට විතර හති දාගෙන එයා එනවා . මම හවස යන නිසා ගොඩක් කලබල වෙලා. මට රාජස්තාන් ඔටු පවුලකුයි , දම්පාට ලස්සන කුරුතා රෙද්දකුයි තෑගි හැටියට ඌෂා ගෙනැවිත් තිබුණා. මගෙ ගමන් මල්ලෙ ඉඩ නැති නිසා ඔටු පවුල රෙදි උරයක දාල ගමන් මල්ලෙම ගැට ගහගත්තා. "දැන් නම් ඔයා නියම රාජස්තාන් වැසියෙක්" කියලා යෝගේශ් ජී හිනා වුණා.


මම ආයෙත් ඒ හැමෝටම ස්තුති කලා මට අමතක නොවෙන නිවාඩුවක් දුන්නට . ඌෂ , යෝගේශ් ජී එක්ක එයාගෙ වැගන් ආර් කාර් එකෙන් මාව ජෝද්පූර් ඉස්ටේසමට ඇරලවන්න ආව . සෝණු , රාජා එක්ක මෝටර් සයිකලෙන් ආවා. . මන්දෝර් එක්ස්ප්‍රස් කෝච්චිය නියමිත වේදිකාවෙ විනාඩි විස්සකට කලින් නතර කරලා තියෙනවා. මට ඔනෙ වුණා ඒ හැමෝම එක්ක පොටෝ එකක් ගන්න . ඒත් සෝණුත් , රාජත් ප්‍රමාදයි. ‍යන්තම් කෝච්චිය අද්දන්න ඉස්සර ඒ දෙන්න මොනවදෝ මල්ලක් උස්සගෙන ආවා. "මේ රස කැවිලි ඔයාට . සමු ගන්නකොට රස කැවිලි දෙන එක අපේ සිරිතක්" . යෝගෙශ් ජී ජන්තා ස්වීට් එකෙන් ගෙනාව රස කැවිලි මල්ලක් මගේ අතේ තිව්ව . ආයෙමත් ඔක්කොම සිප වැලඳගෙන සමු දුන්න මම කෝච්චිය අද්දන්න විනාඩි කීපෙකට කලින් පා පුවරුවට ගොඩවුණා. හැමෝම මට අත වනනවා. "කම් අගේන්" කියලා ඌෂා , රාජා සහ සෝණු කෑගහනවා. මම කෝච්චියේ සද්දෙ පරයමින් “කබි අල්විද නා කෙහෙනා” – නෙවර් සේ ගුඩ් බායි කියමින් ඔවුන් නොපෙනී යනතුරුම අත වැනුවා.


ප/ලි
මම අහස්ගව්වට ලිව්ව රාජස්තාන් සැරිසර මතක කතන්දර පෙල මෙතැනින් නිමාවට පත්වෙනවා. එදා මම මගේ මිතුරියට සමුදුන්නෙ නැවත උදයපූර් වලට එන පොරොන්දුවෙන් . ආයෙත් දවසක නිවී සැනසිල්ලේ රාජස්තානයේ රවුම් ගහන්න ඉඩ ලැබේවි කියලා මගෙ හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.

Saturday, December 25, 2010

රාජස්තාන් සැරිසර මතක – ජල්දී ජල්දී ජායිපූර්


city palace Jaipur

City Palace Jaipur

Jantar mantar

Hawa mahal in the night
Jal Mahal






අපි ජායිපූර් වලින් බහිනකොට වෙලාව පහුවෙනිද උදේ පහමාරට විතර ඇති. අපේ නවාතැනට ගිහින් කෙටි නින්දකට පස්සේ ඉකමනට නැගිටලා ඇඳ පැලඳගෙන මේ ලෑස්තිය ජායිපූර් නුවර බලන්න යන්න .හරියටම උදේ නවය වෙනකොට කලින් දැනුම් දීලා තිබුණ ටැක්සි රියදුරා ආවා.ඌෂා එයාට ඔක්කොම උපදෙස් දුන්නා. අපි ඌෂත් යෝගේශ් ජීත් රැස්වීමට යන්න "ඉන්ධිරා ගාන්ධි පන්චායතී රාජ් මධ්‍යස්ථානයෙන් බස්සලා ජායිපූර් නගර මන්දිරය නරඹන්න යන්න පිටත්වුනා . ජායිපූර් රාජස්තානයේ වාණිජ අගනුවර .උද්යපූර් සහ ජෝද්පූර් වල නොදුටුව විසාල ගොඩනැගිලි , මංමාවත් ,වාහන තදබදය ,KFC අවන්හල් ජායිපූර් වල දැකගන්න පුලුවන් . ඒත් ඒ හැම එකක්ම අබිබවා ගිය රාජ්පුත් වරුන්ගේ අභිමානයත් මේනුවර රැඳිලා තියෙන වග මම දැක්කා. ජායිපූර් ප්‍රසිද්ධ පින්ක් සිටි , රෝස නගරය නමින් . ඒකට හේතුව දහ අටවන සිඅවසේදී විතර මේ නුවරට ආව එංගලන්ත රජපවුලේ සාමාජිකයෙක් පිලිගන එවකට හිටිය මහරාජා මුලු නුවරම බලකොටු තාප්ප රෝසපාටින් පාටකරවපු නිසා.
ජායිපූර් නගරය ඉදිකෙරුවෙ දාහත්වෙනි සියවසේ දී එවක සිටි දෙවැනි ස්වායි ජායි මාන් සිං මහරාජා විසින් . වාස්තු විද්‍යාව , තාරකා සාස්ත්‍රය , සහ ගණිතය පදනම් කරගෙන ඔහු මේ නුවර ගොඩනැගූ බව තමයි ඉතිහාසයේ ලියවී තියෙන්නෙ .




ප්‍රධාන වීදිය දිගේ ජායි පූර් කෞතුකාගාරය පසුකරගෙන ජායිපූර් සිටි පැලස් , නගර මාලිගා චතුරශ්‍රයෙට ආවා. මහ විසාල මාලිගා අංගණයකට මැදිවුණ සභා සාලා , පරිවාර මාලිගා සහ , කෞතුකාගාරයක් එහි තිබුණා. නුවර වැවේ වලාකුලු බැම්ම සිහිගන්වන වලාකුලු හැඩැති ආරුක්කු සහිත දැවැන්ත පිවිසුම් ද්වාර මගෙ සිත් ගත්තා . මැද පිහිටි සාලාවක ජායිපූර් මහරාජා වරුන් පරිහරණය කල කඩු, කිණිසි, තෝමර , හෙල්ල , තුවක්කු වලින් සමන්විත ආයුධ එකතුවක් ප්‍රදර්ශනයට තබා තිබෙනැවා. ඒ එක්කම ටෙක්ස්ටයිල් ගැලරියක ඔවුන් පරිහරණය කල මල් ලියකම් වලින් අලංකාර වූ ඇඳුම් ආයිත්තම් සංරක්ෂණය කරලා තියෙනවා.මේ තැන් දෙක සංචාරකයන් ගේ සිත් ඇදගත් ස්ථාන .ගොඩක් විදේශිකයන්ට රාජස්තාන් වරුන් පලඳින වර්ණවත් තලප්පා කුහුල දනවන දෙයක් බවට පත්වෙලා . ඒ නිසා ඔවුන් වෙනුවෙන් තලප්පාව පලඳින හැටි කියා දෙන ටර්බන් ඩෙමොන්ස්ට්‍රේශන් එහෙමත් මාලිගාවේ සේවකයන් සිදුකරනවා . මාලිගාව පුරාඅ ඇවිදලා හති වැටුණ මම මහ විසාල මාලිගා අංගණයේ බංකුවක් උඩ වාඩිවෙලා මේ දිහා බලගෙන හිටියෙ පුදුම විනෝදෙන්.සමහර විදේශිකයො තලප්පාව පැලඳගෙන ඡායාරූපත් ගන්නවා.


වට පිට බලනකොට තමයි දැක්කේ මාලිගා පරිශ්‍රය ඇතුලෙ එක පැත්තක තියෙන ඇඳුම් ,අත්කම් භාණ්ඩ එහෙම අලෙවි කරන සාප්පු පෙල . මටත් කුහුලක් ඇතිවුණා ඒ පැත්තෙ කැරකෙන්න . විදේශිකයන් වෙනුවෙන් තියෙන මේවයේ බඩු මිල අධික වග ඌෂා මට කලින්ම කියලා තිබුණේ . එක සාප්පුවකට ඇතුල්වුණ මට අන්තිමට සිද්ධවුනේ සාපුව අයිතිකාරයත් එක්ක කතාවට වැටෙන්න . අන්තිමට මගේ ආගිය තොරතුරු විස්තර කරලා රාජකාරි කාඩ් පතකුත් දෙන්න වුණා. මේ සාප්පු හිමියාගේ නම "ඕම්". මට උවමනා එහි ඇති ඇඳුම් මෝස්තර බලන්න විතරයි කියලා කිව්වත් "ඕම්" නොපැකිලී ඔහුගේ සාපුවේ තියෙන බොහෝ සාරි සහ කුරුතා මට පෙන්වමින් ඒවයේ විස්තර වර්ණනා කලා . ඒ අතරේ මට චායේ බොන්න කියලත් ඇවිටිලි කලා . අන්තිමට චායේ කෝප්පෙකුත් හිස්කරලා ,පසුම්බියෙන් ඉන්දියන් රුපියල් දෙදාහකුත් වැය කරලා අම්මටයි , පොඩි නැන්දටයි සාරි දෙකකුත් , මට කුරුතා දෙකකුත් අරගෙන තම්යි සාප්පුවෙන් පිටවුනේ . මට ඔටු රංචුවක් ඉන්න ට්ෂර්ට් එකකුත් නොමිලෙ ලැබුනා. කොහොමද කස්ටමර් කෙයාර් වල තරම .


නගර මාලිගාවෙන් පිට වුණ මම ඒ අසලම තියෙන ලෝක උරුමයක් හැටියට නම් කරලා තියෙන "ජන්තර් මන්තර්" බලන්න ගියා . මෙතනෙ පුදුම උපදවන තැනක් . ග්‍රහ තරු විශ්වය ගැන කියාදෙන අතීත කලෙ ග්‍රහ ලෝකාගාරයක් වගේ තැනක් . අක්ෂාංස , දේශාංස පිහිටීම මනින ලොකු තැටියක් වගේ රවුම් උපකරණයක් , හිරු පෘථුවිය වටා ගමන් කිරීමේදී ශෘතු අතිවෙන ආකාරය , පෘථුවි බ්‍රමණය සමග පායන තරු රටා , රාශි චක්‍රය ගැන කියන උපකරණ ගොඩක් මෙහි තිබුණා. ජායිපූර් මහරජා වරු ග්‍රහ තරු ශාස්ත්‍ර ගැන ගොඩක් උනන්දුව දැක්වුව පිරිසක් කියලා මම මුලිනුත් කිව්වනේ .ඒ කිට්ටුවම තිබුණ පොත් හල වෙත මගේ සිත ඇදී ගියේ නිතැතින්ම . මේ පොත්හලේ කැරකිලා පොත් පිටු අතරේ රාජස්තානයේත් , රාජ්පුත් වරු සහ ජායිපූර් වල තොරතුරු සොයන්නත් ටික වෙලාවක් ගත්තා.ජායිපූර් මහරාජ වරු පෝලෝ ක්‍රීඩාවේ අති දක්ෂයන් වග මේ පොත් වලින් තමයි මම දැනගත්තේ .රාජතානයේ ගැමි දිවිය විදහා දැක්වෙන වර්ණවත් ඡායාරූප එකතුවක් සහිත පොත් මගේ හිත ගත්තත් ඒ ගැන ආසාව අතාරින්න වුණේ මිල වැඩි නිසා . රාජස්තාන් ජන ගී සහිත සී ඩී තැටියක් නම් ගන්න අමතක කලේ නැහැ.


හිතේහැටියට හැම තැනකම රවුම් ගහලා අන්තිමටම තීරණයකලා නගර මාලිගා චතුරශ්‍රයෙන් සමුගන්න . කාර් පාක් එකට යන්න තියෙන්නෙ ජනාකීර්ණ වීදියක් දිගේ . කඩල කාරයන් , අශ්ව කරත්ත කාරයන් , රික්ශෝ කරුවන් , විසිතුරු බඩු වෙලෙන්දෝ, මේ පාරදිගේ වැහි වැහැලා. මට මතක්වුණේ ගමේ පොලක්.එතන රූකඩ විකුණන මන්නුසයෙකුගෙන් මහරාජා සහ රාණිගේ රූකඩ දෙකකුත් අරගෙන මගේ කුලී රථය ගාවට ආවහම රියදුරා හිනාවෙනවා රූකඩ දෙකකුත් උස්සගෙන එන මම දැකලා.


“මැඩම් ඌෂාජී එස් .එම් .එස් , කෝල් “ කියල රියදුරා කිව්වා. ඔහුට ඌෂා එවලතිබුණ කෙටි පණිවුඩ පෙන්නුවා. මීටිමේ ඉන්න ගමනුත් ඌෂා මා ගැන වදවෙනවා. ඉතින් දන්න හින්දි කලවම් කරලා මම රියදුරාට කිව්ව “බොලෝ මැඩම් ජී මෙරා බොහොත් අච්චා” කියලා .රියදුරා ඌෂගේ උපදෙස් අකුරටම පිලිපැද්ද නිසා ඉසෙල්ලම දවල් කෑමට මාව “කානා” අවන්හලට එක්කගෙන ගියා. ඊලඟට මීටිම ඉවරවෙන වෙලාවට ආයෙත් “ඉන්ධිරා ගාන්ධි පන්චායතී රාජ් “මධ්‍යස්තානයට ගියේ ඌෂත් , යෝගේශ් ජීත් එකතුකරගන්න ..අපි ආයෙත් අපෙ නවාතැනට ගිහින් ටිකක් මහන්සි ඇරලා හවස සාප්පු සවාරියක් ගියා . එන අතරමග “ජල් මහල් “ මන්දිරය නරඹන්න අමතක කලේ නැහැ. "ජල් මහල්" ලොකු විලක් මැද තියෙන පැරණි මාලිගාවක් . හවස් කාලයේ මෙතැන හරි ලස්සනයි . නගරයේ බොහෝ දෙනෙක් විවේක ගන්න එන තැනක් .කඩල කාරයො, චායෙ විකුණන මිනිස්සු , මණි බඩු වෙලෙන්දො පිරිලා ඉන්න තැනක් . අපි චායේ බීල , කඩල කාලා ටිකක් මහන්සි ඇරලා ආයෙත් නවාතැනට පිටත්වුණා. එන තරමග සුන්දර “හවා මහල “ විදුලි ආලෝකයෙන් බැබලෙනවා. පුදුම ලස්සනක් . මේත් නගර මාලිගාවෙ කොටසක් කියලා ඌෂා කිව්වෙ . හිතේ හැටියට "හවා මහල්" වල ඡායාරූප ගත්ත මම ඌෂත් යෝගේශ් ජීත් එක්ක එදා රෑ දහයට විතර ජායිපූර් නුවරට සමුදීලා ජෝද්පුර් බලා යන කෝච්චියට ගොඩවුණා. මේ ගමනෙදී මට "ඇම්බර් බලකොටුව" බලන්න බැරිවුණේ හදිස්සියෙන් ආව ගමනක් නිසා . ඔන්න ඔහොමයි මම "දඩි බිඩි "වේගෙට එහෙම නැත්නම් ඌෂා කියනව වගේ "ජල්දී ජල්දී "කියලා ජායිපූර් නුවර බැලුවෙ.




ප/ලි


ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් ලියන්න ඉඩ ලැබුණේ අද නත්තල් නිවාඩුව දවසේ . මේ බ්ලොග් සටහන තමයි මගෙන් ඔයාලට දෙන නත්තල් තෑග්ග. අහස්ගව්වට එන යන කාටත් ප්‍රීතිමත් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා !!!!