සබ්‍රිනා මට මුණගැහුනේ නේපාලයේ දුලික් හිල් කඳුකරයේ ගෙවුණ මාසෙක පුහුණු කාලයේදී.පුහුණුව පටන්ගන්න පෙර දවසේ හවස තේ මේසයේ මගේ තේ කෝප්පය ලැබෙනකන් බලන් ඉන්න අතරතුරේ මේසයෙ අනික් කෙලවරේ ඉන්දියානු හා පාකිස්තාන යුවතියන් කතා බහ කරමින් සිටියා.ඔවුන් අතරේ ලා දුඹුරු පැහැ චාම කපු සල්වාර් ඇඳුමකින් සැරසුණ , ප්‍රියමනාප ඡවි වර්ණයෙන්යුතු මද සිනහවකින් මුව සරසා ගත් එකියක් මා වෙත පකෝඩා පිරවූ බඳුනක් දික් කරමින් "ප්ලීස් හැව් සම් " කීවා. ඔවුන්ගේ අල්ලාප සල්ලලාපයට එක් නොවුණත් එයට කන්දී සිටි මට හැඟී ගියේ මාසයක් පුරා සියලු වැඩ රාජකාරි හැරදමා දුලික් හිල් වල ගතකරන්න සිදුවන කාලය ගැන මේ හැමදෙනාම කතා බස් කරන බවයි. එවිට අර ප්‍රියමනාප යුවතිය කිව්වේ I am going to miss my congregation & the community that i work.මේ අදටත් සබ්‍රිනා මට හොඳින්ම මතක තියෙන විදියයි .එදාට පසු දිනයේ අපේ පුහුණුවේ දී අපි එකිනෙකා හඳුනාගත් අවස්ථාවේ ඇය කන්‍යා සොයුරියක් බව කී විට අප පුදුමයෙන් පුදුමයට පත් වුවත් කාටත් නොදැනීම අප සිත් දිනාගත් මිතුරියක් වෙන්නට සබ්‍රිනාට හැකිවුණා.
ජීවා සහ මා හමුවුනේ එකම පීඨයක වසර හතරක් එකට උගත් මිතුරියන් ලෙසයි.ඇය මට නිරතුරුව මතකයට එන්නේ ස්පෝට්ස් දිනයට ක්‍රිකට් ගහන්නට ආ කෙල්ලන් කන්ඩායමේ ඉදිරි පෙල සාමාජිකාවක් ලෙසයි. මිටි සිහින් සිරුරකින් හා සිනහ මුසු මුහුණකින් යුතු ජීවා අනලස්ව ඉගෙනීමේ කටයුතු වල යෙදුනා. ඇය වෘතීය ජීවිතයට පිවිසී ඉතා කෙටිකලකින් රජයේ අධිකරණ සේවය හා බැඳුණ ප්‍රකට දෙපාර්තමේන්තුවකට එක්වුණේ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියමින්.
සබ්‍රිනා ඩාර්ජිලින් වල ධනවත් වෙලඳ පවුලක සුව පහසු ජීවිතයට හිමිකම් කියූ තරුණියක් .ඇය කන්‍යාරාමයට යන්නේ වයස දහනවයක් තරම් හිරිමල් වියේදී. වෘත්තීය ජීවිතයේ දීප්තිමත් අනාගත්යකට හිමිකම් කියූ මැදපන්තියේ පවුලකින් පැමිණි ජීවා භික්ෂුණී ආරාමයට යන්නේ සිය තුරුණු දිවියේ තිස් විය එලඹීමටත් පෙරයි මේ දෙදෙනා ගැනම කියූ තොරතුරුවලින් ඕනෑම කෙනෙක් සිතනු ඇත්තේ ජීවිතයේ කොතැනක හෝ ඇතිවූ මහා කල කිරිමකින් ,නොසතුටක් නිසා ඔවුන් ගිහි ගෙය හැරගිය වගයි .එසේත් නැත්නම් සිතනේ මොවුන් මැණිකකට පයින් ගසා ගිය මෝඩයන් හෝ පිස්සන් ලෙසයි .
සබ්‍රිනා පලමුව හඳුනාගත් දිනයේ අපි සියලු දෙනාම ඇයට යොමු කලෙත් මේ පැනයමයි . ඉතා සිනහ මුසුව එය ඇසූ ඇය අපිට පිළිවදන් දුන්නේත් පැනයකින්මයි .
"ආධ්‍යාත්මික ජීවිතයකට යන්නේ කලකිරීම් ඇතිවුණොත් විතරමද "? ඇයි සතුටින් තීරණයක් අරන් කන්‍යාරාමයකට යන්න බැරි ?
"මම හොඳින්ම දැනගෙන හිටියා කන්‍යාරාම ජීවිතය බොහොම කටුක බව . මම බොහොම ඉක්මනින් ඒකට හුරු වුණා .ඒ මම කැමැත්තෙන් මේ ගමන් ආව නිසා . මට ඕනෙතරම් ඉඩ තිබුණා මේ ජීවිතය අතහැර යන්න . මගේ අවසාන පොරොන්දුව දෙද්දිත් මට ඊට ඉඩ තිබුණා. ඒත් මම එහෙම නොකලේ මගේ හිතේ ඇතිවුණ තදබල කැමැත්තෙන් දේව සේවයට ආව නිසා . අදත් මට පුලුවනි මේ ජීවිතෙන් මිදෙන්න . නමුත් එහෙම කරන්න තරම් හේතුවක් මට නැහැ. රැකියාව , විවාහය ,ඉගෙනීම වගේ දේ වලින් ඔබ ලබන සතුට හා සමාන සතුටක් මමත් පැවිදි දිවිය තුල ඉඳිමින් මිනිස්සුන්ට උපකාර කරමින් ලබනවා".ඈත නේපාල් මිටියාවතේ කඳු හෙල් තරණය කරමින් දුෂ්කර ගම්බද මිනිස්සුන්ට උපකාර කරන්න යන්නෙත් , අඩුපාඩු පිරුණ ගම්බද ආරාම වල මගේ තරුණ කාලය ගෙව්වේත් ,පූජ්‍යත්වයට පෙර කල්කටාවේ ඉතාම අඩු පහසුකම් සහිත පරිසරයක ඉගෙනුම ලබමින් අපිස් දිවියකට හුරුවුනෙත්,ලාදුරු රෝහල් වල ලෙඩුන්ට උපස්ථාන කලෙත් ඉතාම සතුටින්.සමහරවිට ජීවිතේ කල කිරිල පැවිදි වුණානම් මට මේ තරම් සතුටින් සේවය කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ."
ජීවා ඇගේ පැවිද්දෙන් පසුව මට හමු වුනේ නැහැ. ඇය මීට වසර 3කට පෙර පැවිදි වූ වග දැනගත්තේ ඉතාම මෑතක මිතුරියක් මාර්ගයෙන් .ඇගේ තීරණය ගැන ඇසුවා නම් ඇයත් මට දෙනු ඇත්තේ සබ්‍රිනාට සමාන උත්තරයක් . දීප්තිමත් වෘතිය ජීවිතය පසෙක දමා පැවිදි දිවියක ඇති සීමා ,වගකීම් ,කටුක බව විෂේශයෙන් ලංකාවෙ ස්ත්‍රී පැවිද්ද එතරම් අගය නොකරන කාලයක මෙවැනි තීරණයකට එලඹෙන්න තරම් යහපත් තිර සිතුවිලි ඇයට තියෙන්නට ඇති .
අපේ කතෝලික පල්ලිය නිර්දය ලෙස විවේචනය කිරීම් , නොසන්ඩාල විහිලු තහලු ප්‍රිතිමත් ලෙස සිනා මුසුව අසන්ට සබ්‍රිනාට තිබුනේ පුදුම ඉවසීමක් .කොටින්ම අපි අපේ නඩය unholy congregation ලෙස හඳුන්වා ඇය holy sister ලෙසත් , අපි අතර වූ ඉතාම කටකාර හා විසේකාර එකියක් holy lucifer ලෙස ආමන්ත්‍රණය කරන විටත් ඇය සිනහසුන අයුරු මට මතකයි . අදටත් අපි අතර හුවමාරු වෙන ඊ මේල් පණිවුඩ වල මේ නොසන්ඩාල විහිලු කතා තිබුණත් ඇය සිනා මුසුව අපිව ඉවසන්නීය .මේ තරම් ලඟින් අපි ඇසුරු කල මුත් ඇය අපේ නාඩගම් වැඩ හෙලා දුටුවේ නැත .නමුත් ඊට එක්වුනේත් නැත . ඒ ඇය තුල වූ සංයමය නිසා විය යුතුය .තිස්පස් වියට වත් නො එලඹුන ඇයට ඒ හික්මීම අත්දැකීම් තුලින් පුරුදු පුහුණු කළා විය යුතුය .
"සමාජය අපි පැවිදි ජීවිතයට ගියහම දේවත්වයෙන් සලකලා අපිව බාහිර සමාජයෙන් ඈත් කරන්න හදනවා. නමුත් අපිත් සාමාන්‍ය මිනිස්සු . අපිටත් පැවිදි දිවිය තුල වැරදෙන තැන් එමටයි.අපිට අසාමාන්‍ය බලයක් නැහැ සාමන්‍ය මනුස්ස ලෝකෙ තියෙන හැඟීම් වලින් ඈත්වෙන්න ". වරෙක තම පැවිදි ජීවිතයේ හදිසියෙන් ඇතිවී නැතිවූ ප්‍රේම කුණාටුවක් ගැන ඇය පාපෝච්චාරණය කරමින් කිය හිටියා .
එදා ක්‍රිකට් ගහන්නට ආ කෙල්ලන් රැලෙහි පෙරමුනේ සිටි ජීවාද අද මෙබඳු සංයමයකින් කසාවත් දරා ජීවිතය දෙස දකිනු ඇත . තම රැකියාවෙන් ලද සතුටට වඩා සතුටක් ඇයට පැවිද්දෙන් ලැබෙනු ඇත . අප ඉතා ගරු කරන අපට උගැන්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරියක් අවසන් වසරෙහිදී අපට කිවේ තමන් ඉතාම සතුටට පත් වෙන දෙය තම වෘත්තිය කරගන්නා ලෙසත් එම කාර්ය ඉතාම උසස් අයුරින් කැප වී ඉටු කරන්නටත්ය.ඒ තුල වැදගත් වන්නේ අපේ තරාතිරම නොව අප කැපවී කරන කටයුත්ත බව ඇය අපට පැහැදිලි කලාය .
ඒසේ නම් සබ්‍රිනා සහ ජීවා යනු මුග්ධයින් හෝ ජීවිතය කලකිරුන වුන් නොවේ. කිසිදු දෙයක් කරගත් නොහුනු තැන පැවිද්දි වූවන්ද නොවේ . ඒ දෙදෙනාම අපිට වඩා පරිණත , සංයමයකින් හා ජීවිත දැක්මකින් යුත් ,බොහෝ ඇලීම් බැඳීම් ඉවත දමා එන්නට තරම් තිර සිත් ඇති ,කැපවීමක් ඇති,ජීවන දැක්මක් සහිත ගැහැණුන්ය . මේ දෙදෙනාම මතු යම් දිනෙක තමන් යන ආධ්‍යාත්මික මග වෙනස් කොට අප හා එක්වුවද මම ඔවුන් පරාජිතයන් ලෙස නොසකලකමි . ඒ ඔවුන්ගේ තීරණයයි. එසේ වුවද ඔවුන් කෙරෙහි මසිත නොපහන් හැඟීමක් හට නොගනු ඇත. මට ඇවසි වුයේ මිනිස් ජීවිතයේ සමහර තීරණ සහ ලෝකය දෙස බලන දෘෂ්ටිය කෙතරම් පුදුම සහගතදැයි විමසීම පමණකි
සියලු සැප සම්පත් , අනාගත යස ඉසුරු , බැඳිම් හැරපියා සරල දිවියකට හුරු වුණ ඔවුන් යම් දිනෙක සිය අපිස් දිවිය ගැන උදන් අනමින් නූතන තේරි ගී ලියනු ඇතැයි මට හිතේ.
In the eyes of flowers,flowers is the world
In the eyes of thorn,thorn is the world
The shadow is casted according to the object
In the eyes of thorn,thorn is the world
In the eyes of flowers,flowers is the world
May my heart be pure
May my words be like of the Buddha
May my feet never kill any insects]
In a beautiful eye opens a beautiful world
In the eyes of thorn,thorn is the world
In the eyes of flowers,flowers is the world
May I see the bright moonlight in a dark night
and hear the music of life with the moments of bliss
In a transparent heart opens a transparent world
In the eyes of thorn,thorn is the world
[In the eyes of flowers,flowers is the world
In the eyes of thorn,thorn is the world
The shadow is casted according to the object
ප/ලි
මේ මම ඉතාම ප්‍රිය කරන නේපාල් ගීයක් .මෙහි විශේෂයක් තියෙනවා .මෙය ගයන්නෙත් Ani Choying Dolma නම් වූ නේපාල් ජාතික බෞද්ධ භික්ෂුණියක් . ඇගේ Moments of Bliss ඇල්බමයේ ඇති මේ මිහිරි ගීය මගේ පැවිදි මිතුරියන් වෙනුවෙන් . නේපාලයෙදී මම මේ භික්ෂුණියගේ ගීත සජීවීව අසා තිබෙනවා