වැඩිදෙනෙක් සුනේත්‍රා රාජකරුණානායක විසින් ලිව්ව "ප්‍රේම පුරාණය" පොත කියවල ඇතිනේ.මට මේ පොත කියවන්න ලැබුනේ පැඟිරි වයසේ දී වගේ .ඒ කියන්නේ වයස දහනවේදී විතර.ප්‍රේම පුරාණය , ලෝකෙවටා යන සංචාරක පිස්සුව සුනේත්‍රාගේ වචනවලින් කිව්වොත් පරණ ගඩොල් නැරඹීමේ පිස්සුවෙන් හිටි නිර්මලා ජයසූරිය කියන බොහොම නිදහස් මතධාරී පත්තරකාරියකගේ ශෘංගාරාත්මක අසම්ත පෙම් කතා ගොඩක් .වරෙක ප්‍රේමයේ ඇලෙමින් තවත් විටෙක ප්‍රේමයන් ඉවත්වෙමින් ප්‍රේමය අත්විඳින්න ගත්ත වෑයමක් කියලයි කතුවරිය කියල තිබුනේ. කොහොම වුණත් මේ පොත මා අතට පත්වෙන්නෙත් තරමක් පුදුම විදියකට . ඒ අපේ ඉස්කෝලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී උසස්පෙල ආර්ථික විද්‍යා විෂය සඳහා ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යාට ලැබෙන ත්‍යාගය ලෙසින් . ඔය වයසෙදී ගොඩක් ඉස්කෝලවලින් තෑගි ලැබෙන්නේ විෂයට ගැලපෙන පොත් මිසක් ප්‍රේම කතා නෙවෙයිනේ . මේ කතාවේ හොඳම හරිය තමයි මගේ තෑග්ගට අනුග්‍රහය දීල තිබුණෙ මට අවුරුදු දෙකක් ආර්ථික විද්‍යාව උගන්වපු ගුරුවරයා. සුනේත්‍රා වරෙක ඇගේ "මතක පොතෙහි" තමන් උගත් රත්නපුරේ මිෂනාරි පාසල ගැන "බ්ලේක් සමයේ පාසල් මතක" සටහනේ කියාතිබුණා එවක ඔවුන්ගේ තුරුණුවියේහි පාසල තුල ප්‍රේම කතා, මාරක කතා කියවීම මිෂනාරී කන්‍යා සොයුරියන් තහනම්කොට තිබූ වග .නමුත් ඉතාම බෞද්ධ ආගමික පරිසරයක වූ මගේ පාසලෙන් ඇගේ ප්‍රේම පුරාණය මට තෑගි ලැබීම යම් ප්‍රමාණයක විස්මය දනවන කරුණක්.
ප්‍රේම පුරාණය මට මතක්වුනේ ගිය සතියේ දවසක සරසවියට ගොඩවැදුන නිසා.වෙනත් විෂයකට අදාල පොතක් මිලට ගන්න ගියත් අන්තිමට නතරවුණේ නවකතා පොත් රාක්කෙ ගාව. අංශක අනූවට විතර බෙල්ල ඇද කරගෙන පොත් වල නම් ගම් විස්තර කියවද්දී රාක්කේ උඩින්ම තිවුණ සුනේත්‍රාගේ පොත් වලට ඇහැ ගියේ නිතැතින්ම . නවකතා පොත් සල්ලිදීලා අරගෙන කියවන පුරුද්දක් මට නැතත් සුනේත්‍රාගේ පොත් මිලට ගැනීමේ තණ්හාවක් ප්‍රේම පුරාණය කියවූ පසු මට තියෙනවා.ඒ නිසාම කලින්වතාවල සරසවියෙන්ම "පොදු පුරුෂයා", "නන්දිතය" , "බත් තරංග", "කෙටි පණිවිඩ හා දිග කතා","රිදී තිරංගනාව", "සුබෝධාලංකාරය","මතක පොත 1, 2", "හර්ද්ය සූත්‍ර", සහ "සඳුන් ගිර ගිනිගනී" ගෙනැවිත් කියෙව්වා.මේ හැමපොතක්ම සුනේත්‍රාටම ආවේණික සරල කටවහරට අනුව රසවත්ව කුතුහලය එක්කර කතන්දර කීමේ රටාවකට ලියැවුන පොත් . ඇගේ හැම පොතකම ප්‍රේමණීය සමහර වෙලාවට බොලඳ, ප්‍රේමය වෙනුවෙන් මට සිලිටි බොරු ගොතලා හිත රවටාගන්න, ආයෙත් පෑරුණ හදවතේ තුවාල කැලැල් ගැන දුක්වෙන,ප්‍රේමය බෙදාගන්න බැරුව රණ්ඩුවෙන ආයෙමත් ප්‍රේම කරන ගෑණු මිනිස්සුන්ගේ කතා එමටයි . නිදහස් ශයිලියකින් ලියන කතුවරිය ආලවට්ටන් දාල පෙම් කතා කියන්න දස්සයි.ඒවගේම ඇගේ පොත්වල බොහොම ප්‍රබල ගැහැණු චරිත නිර්මාණය වෙනවා. ජීවිතේ ගැන බොහොම විමසුම් බැලුම් හෙලන උගත් ,නූගත් නාගරික සහ ගැමි ගෑනු ඇගේ පොත් වල ජීවත්වෙනවා.කෙටි පණිවිඩ හා දිග කතා පොතේ කෙටිකතාවක ගැමි ගැහැණියක් යුද සෙබලෙක් සමග හොරෙන් විවාහවෙන්න යන ඇගේ දුවට කියන්නේ "ගෑණියෙකුට ජීවිතේ ගෙනියන්න හමුදාවකට වඩා හිතේ හයියක්" උවමනා බවයි .
මතකපොත 1 සහ 2 තුලින් සුනේත්‍රාගේ කතන්දර සහ ඇගේ සිතුම් පැතුම් වල අක් මුල් හෙලිකරගන්න සමහර අවස්ථාවල මග පෑදෙනවා කියලා මට හිතෙනවා. "සංවර්ධන සුබ සිහිනවල ස්ත්‍රී දායකත්වය" ගැන කියන කතුවරිය ඈත සූරිය වැව වගේ ගම් දන්වු වල වැස්සකටවත් ඉස්කෝලෙ නොගියත් කවි සින්දු කතා ලියන ගැමි ගෑනු ගැන කියනවා. ඒ අතරේ ඉන්දියාවෙත් චීනයේත් පැරණි නගර , මාලිගා හා මිනිස්සු ගෑණු අතර තනිවෙමින් සිහින දකින්නියක් වෙනවා.වරෙක ඇය සිය චරිතය තුල වූ දුඹුල් තැන් බොලඳ ගති ගැන තමන්වම හාස්‍යටත් ලක් කරගන්නවා. තදබල සමාජවාදී උණකින් ආතුරව සිටි තම තුරුණුවිය සිහිපත් කරන කතුවරිය තමන්ට සදය සිනා නගන්නේ "රුසියාවට වහිනකොට රත්නපුරේ ඉඳන් කුඩයක් අල්ලාගෙන හිටි ගෑනු ළමයා" කියමින් .
මෙවර සරසවියේ පොත් රාක්කෙන් මට හමුවූ සුනේත්‍රාගේ අලුත් පොත් තුනක් තිබුණා. ඒ "පූර්ව ජන්මය" ,"සුචිත්‍ර චාරිකා සටහන්" සහ "බුද්ධදාසි" පොත්.පූර්ව ජන්මය සහ සුච්ත්‍ර චාරිකා සටහන් තුල මා දුටුවේ ආලවට්ටන් දමා ප්‍රේම කතා කියන කතුවරියකට වඩා යම් ආධ්‍යාත්මික සතුටක් සොයා යන්නියක්.සුචිත්‍ර චාරිකා කතුවරිය දකුණු ඉන්දියානු ආගමික ස්ථාන කරා ගිය වන්දනා චාරිකා කතා එකතුවක් .ඒත් පූර්ව ජන්මය නම් කියවන්න මම වෙලා නොගත්තේ බුද්ධදාසි වඩා හිත් ගත්ත නිසා.
බුද්ධදාසී සුනේත්‍රාගේ අනික් නවකතාවලින් වෙනස්වුණ ඉතිහාස කතා ඇසුරෙන් ගොඩනැගුන ප්‍රබන්ධ කතාවක් හා සමානයි.බොහෝ වංශකතා,අටුවා ටීකා, වල කියැවෙන්නේ අනුරාධපුර යුගයේ රජුන්ගේ වීර ක්‍රියා , වාරි කර්මාන්ත , වෙහෙර විහාර කර්මාන්ත ගැන වුවත් වංශ කතාවල නොලියවුණ රජ සිටු මැදුරු තුල වගේම අභය ගිරිය ,මහා විහාරය වගේ පන්සල්වලත් වූ බල අරගල , නොහොඳ නෝක්කඩු, සිත් රිදුම් ,ඊර්ෂ්‍යාවන් , සීතල යුද්ධ සහ ඒ වාට මැදිව දුක් දොමනස් සහ වයිර ගිණි ගොඩවල් වල දැවෙන රජ සිටු ඇමතියන් සහ පොදු ජනයා ගැන කතාවක් "බුද්ධදාසි".මේ බල අරගල වලදී රාජ්‍යත්වය සුරකින්න , හදිසි සමාදානය වෙනුවෙන් ගෑණුන්ගේ ජීවිත බිලිවෙන අයුරු ඇය විස්තර කරනවා.සුනේත්‍රාගේ කතන්දර කීමේ විලාසය නොඅඩුව මේ පොතෙත් තියෙනවා. සෙසු පොත් වල වගේම දුකින් තැවුණත් ,දුකින් නැගිටින ප්‍රබල ගැහැණු චරිත මේ ඉතිහාස කතාවෙත් ඉන්නවා.
ප්‍රේම පුරාණයෙන් සුනේත්‍රා කියවන්න පටන්ගත් මම අන්තිමට සරසවියෙන් පිටවුනේ "බුද්ධදාසි" නවකතාවත් මිලට අරගෙනයි.සුනෙත්‍රාගේ බොහෝ පොත් වල සටහන් ගැන මතකෙන් කියන්න මට පුලුවන්. ඒ අතරින් මගේ සිත් ගත් ප්‍රේම පුරාණයේ ඉන්ග්‍රිසි පරිවර්තන සටහනකින් (Attaining Age ) මේ කතාව ඉවර කරන්න හිතුවා.
" I laughed with a hundred new eyes . The eyes acquired after many workshops and many seminars . Those eyes appear all over the room. How can i explain it in plain words ?? He'll never understand .I did not want to spoil the evening. After all these years ,we were there to love and to be loved , not to hold preliminary session for the forth world conference on women."
Attaining Age - p - 33 -Sunethra Rajakarunanayake -Sarasavi Publishers
ප/ලි
සුනේත්‍රා මම ප්‍රිය කරන කතුවරියක් .ඇය ගැන මම දැනගත්තේ ආර්ථික විද්‍යාවට පාසලෙන් තෑගි ලද ප්‍රේමපුරාණයෙන් . මේ සුනේත්‍රාගේ පොත් වල ගුණාගුණ විවේචනය කරන්න ලිව්ව සටහනක් නම් නෙවේ
මාත් සරසවියට ගියොත් නවතින්නෙ සුනේත්‍රාගෙ රාක්කෙ ගාව තමයි. ඒ රාක්කෙ තියෙන පොත් සේරම අපේ ගෙදර රාක්කෙ ගෙනැත් ගොඩගැහුවත් ගෙදර නැත් සුවඳක් ඒ පොත්වලින් එනව. ඩිංගක් වෙලා අතගගා ඉඳල ඊට එහා පැත්තෙ තියෙන රාක්කෙන් තිස්ස අබේසේකරගෙ "අයාලේ ගිය සිතක සටහන්" පොත ගෙනාව.
ReplyDeleteඅපි දෙන්න එකම වෙලාවේ එකම ප්‍රයිස් ගිවින් එකක් ගැන එකම වගේ දෙයක් ලිව්ව එක මාර සංසිද්ධියක්. මං ලිව්වේ තරංගා ගේ කලින් ලිපියේ කොමෙන්ටුවක. :)
ReplyDeleteඔය ප්‍රයිස් ගිවින් ඒක ගැන පොතක් ලියන්න වටිනවා. 9 10 වසර කල් ගිහින් [ජේවීපී කලබල හා වෙනත් අපහසුතා නිසා] අන්තිමට තිබ්බේ ඕ ලෙවල් කටේ. ක්ලාක් ගේ [සිංහලට නැගු] 2001 යි 2010 යි දෙකම මට ආවේ අහම්බෙන්. ගෙදර එන කොටම අම්ම හැදුවේ පොත් ටික සිල් කරලා තියන්න විබාගේ ඉවර වෙනකම්. අම්මටත් බොරු පොරොන්දුවක් දීල ඔක්කොම වැඩ පැත්තක තියලා විද්‍යා පොත අස්සේ දාගෙන දෙකම කියවලා ඉවර වෙන කොට මට විද්‍යාව පාඩම් කරන්න වෙලාත් මදියි. ඒත් එදා ලද උනන්දුව බොහෝ දුරක් යන්න මාව තල්ලු කළා. අදත් තවමත්.
සුනේත්‍රා ගේ පොත මට දුන්නේ මගේ එකම [පොඩි පොඩි සිල්ලර ඒවා කපා හැරියොත්] ප්‍රේම පුරාණය. පුරාණය කිව්වට කාලත්‍රය ම. එයා බලලා මටත් දුන්න නිසා ඩබල් ෆන්. අනේ ඉතින් මේ අවුරුද්දේ සුනේත්‍රා ගේ පොතක් අරන් ආවා කියවන්න කියලා. අපට කොහෙද බුල් බල්ලෝ. තවම පොත තිබ්බ තැනම.
ප්‍රේම පුරාණය ඉතාමත් ලස්සන පොතක්. සිංහල ප්‍රේම කතා අඩුවෙන් කියවපු මට නම් බොහොම උසස් පොතක්. හැබැයි තුන්වන කතාව අතාත්විකයි. ඒක මිනිහෙක් දේවත්වයට යන ටරං කැපවෙන ඒක මේ ලෝකේ මා බලාපොරොත්තුවෙන්නේ නෑ.
@ sujeewa ayya එකම දෙයක් ගැන අපි දෙන්නා එකවර බ්ලොග් අවකාශයේ ලිවීම ,කොමෙන්ටු දැමීම සිදුවුණ දෙවෙනිවතාව මේ :)
ReplyDeleteඔව් ඒ ප්‍රයිස් ගිවින් වල තෑගි දුන්න පොත් ගැන නම් ඉස්කෝලෙට ස්තූතිවන්ත වෙන්න ඕනේ . ක්ලාක් ගේ 2010 කියවද්දී අපි හීනෙනෙවත් හිතුවද එක ඉස්කෝලෙක ඉහල පහල පන්ති දෙකක උන්න දෙන්නෙක් 2011 දී සයිබර් අවකාසේ මුණ ගැහිලා එයාලගේ බ්ලොග් කියවල කොමෙන්ටු ලියාවි කියලා ඉස්කෝලෙ ප්‍රයිස් ගිවින් එක ගැන :)
මට සිංහල පොත් කියවන්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. සුනේත්‍රාගේ 'පොදු පුරුෂයා' පොත තමා මම කියවපු එයාගේ පලවෙනි නවකතාව. බැලුව ගමන් හිතුනේ මෙහෙම ලියන්න පුලුවන් ගෑනුත් ලංකාවේ ඉන්න එක කොච්චර දෙයක්ද කියලා. එයාගේ භාෂා ශෛලීය මම දැක්කේ හරිම වෙනස්, අලුත් විදියකට. ඊට පස්සේ එයාගේ පොත් කීපයක් හොයාගන කියෙව්වා.
ReplyDeleteඒ වගේම තවත් කෙනෙක් තමයි සුමිත්‍රා රාහුබද්ධ. එයාගේ 'කන්දක් සේ මා' පොත මේ දවස්වල යාලුවෙක්ගෙන් ලැබිලා කියවනවා.
තරංග ගේ කතාවයි, සුජීව ගේ කමෙන්ට් එකයි බැලුවහම මට මා ගැන දුක හිතුණා.
ReplyDeleteඅවුරුදු දාහතරක් ඉස්කෝලේ ගියාට (ගැනල බලන්න), අනේක වාරයක් පන්තියේ පලමුවෙනියා වුනාට, මං ගිය ඉස්කෝලවල කවදාවත් ම තෑගි ප්‍රධානෝත්සව තිබුනේ නෑ.
එහෙම තිබුන නම් මටත් මේ පඩ කතා ලිය ලයි ඉන්නේ නැතුව හොඳ ලේඛකයෙක් වෙන්න තල්ලුවක් ලැබෙන්න තිබුණ.
ඉස්කෝලෙන් මට හම්බ වෙලා තියෙන්නේ එක තෑග්ගයි. ඒක පහේ පන්තියේ පලමුවෙනියා වුනාට අහම්බෙන් ලැබුණු අට පට්ටම් පැන්සලක්.
හැබැයි මං නමයේ පන්තියෙන් හොඳට පාස් වුණාම, අපේ තාත්තා මට දුන්නා පොතක් තෑග්ගක් විදියට. ඒ පොතේ නම:
An English Course for Grade Ten.
මට ඉස්කෝලෙන් කවදාවත් තෑග්ගක් ලැබිලා නෑ. ඒත් අනිතිම අවුරුද්දේ උද්භිද විද්‍යාවට මට තෑග්ග තිබිල. ඒ මම ඉස්කෝලෙන් අස් උනාටත් පස්සේ. මම ඒක දන්නෙත් කාලෙකට පස්සේ. ඒත් තෑග්ග නම් ගන්න බැරි උනා.
ReplyDeleteමම නවකතා කියවනවා අඩුයි දැන් නම්. සුනේත්‍රගේ පොත් කියවලා බලන්නම්.
@Podi Kumarihami -සිංහලෙන් බොහොම වෙනස් ශයිලියකින් ලියන ලියන කතුවරියන්ගේ ලිස්ට් එකට තව එක් කරගන්න ගන්න පුලුවන් අනුලා විජයරත්න මැණිකේ , අනුල ද සිල්වා,මොනිකා රුවන්පතිරණ,අයිලින් සිරිවර්ධන ,ජයන්තා රුක්මණි, යමුනා මාලනි පෙරේරා, ඊවා රණවීර , සිබිල් වෙත්තසිංහ,ශ්‍රියා රත්නකාර වගේ අය .මේ සමහරු කවි කාරියන් . සමහරු කවි නවකතා කෙටිකතා පරිවර්තන කල උදවිය .ඒ වගේම හොඳ පත්තර කාරියො .වැඩි දෙනෙක් පොඩි ලමයින්ටත් පොත් ලියල තියෙනවා .මේ හැම කෙනෙක්ම ලංකාවේ තමන් ජීවත්වූ කාල වකවානුවට වඩා යමක් ඉදිරියෙන් දැකපු අය.
ReplyDelete@Kathandara තාත්ත මොලේ ඇති වැඩක් කරල තියෙන්නෙ . නවයෙ පන්තියෙන් දහය පන්තියට යන පුතාව සූදානම් කරවන්න.
ReplyDelete@ Priyantha a b හොයාගෙන කියවන්න .වැඩියක් සුනේත්‍රාගේ පොත් සරසවි ප්‍රකාශන. කියෙව්වම තේරෙවි පුරුෂපක්ශයේ උදවිය ආදරය කරන්න ගියහම මොනතරම් සම්‍යක් ප්‍රයෝග /හීනියට බොරු කතා දානවද කියලා :) අර පොඩි කුමාරි කියන්න වගේ එකම කවිය ගෑණු තුන් හතර දෙනෙකුට ලියල යවන ජාතියේ ප්‍රේමවන්තයෝ ඕනෙතරම් ඉන්න්වා ඒ පොත්වල :)
@කතන්දර;
ReplyDeleteඔන්න ඔය පැන්සල් කතාවෙන් තමයි මාත් ඔය අඩවියට ගොඩ වැදුනේ.
තෑගී දීම ළමයින් [හෝ ඕන කෙනෙකු] දිරිගන්වන්නට හොඳම ක්‍රමවේදයක් නිසා එය reinforcement learning කියන artificial intelligence සංකල්පයේදීත් භාවිතා වෙනවා. අපේ ඉස්කෝලේ තිබ්බ ඒ වැඩ සටහන මා දුටු හොඳ ම එකක්. අනික ඉතාම සාධාරණ වූ - ලංකාවේ මට්ටම ඉක්මවා ගීය සාධාරණයක්. එක දුෂිත ත්‍යාගයක් ගැනවත් වාර්තා නොවූ. අනික තමයි ඇතැම් විට තියන ප්‍රයිස් ටෙස්ට් එකට ලියනවා කියන්නේ මාර අභියෝගයක්. තෝරා ගත් හොඳ ම කිහිප දෙනෙකුට රජයේ විභාගේ වගේ 10 ගුණයක් විතර අමාරු ප්‍රශ්න පත්තරයක් දෙන්නේ. ඒක ලිව්වමත් මාර සැටිස්.
@තරංගා;
එකම උත්තරේ චැට් වින්ඩෝ බර ගානක ලියන්න තරම් දක්ෂයිනුත් මා දැක තියෙනවා. ඒත් ඇයි මේ කොල්ලන්ට විතරක් බනින්නේ. කෙල්ලෝ කියලා වෙනසක් තියෙනවද? මං හිතන්නේ ඔය පරිනාමික ව මිනිසා උරුම කරගත් දේවල් වලට බනින්න හොඳ නැහැ. කරන නොකරන එක පුද්ගලිකයි.
හැබැයි ඔබ කිව්වා වගේ ආදරේ ගැන මෙලෝ රහක් නැති හිතළු ලියන අය වගේ නොවේ සුනේත්‍රා බොහොම ප්‍රායෝගිකයි තාත්විකයි.
hey, first i don't know how to write comments in sinhala fonts.second this is nothing related to your article but i thought i ll drop it here like an IM.
ReplyDeleteI saw your profile and your movie list is very similar to mine.So i thought of asking you weather you have seen the movies "Schindler's List" and "Doctor Shivago" if not try to find them and see once.
And i wanted to ask what is "Astithwa".
Hay glad to know we have similar movie list :) Yes Dr Shivago but not the other
ReplyDeleteAstitva is a Hindi Movie (directed by Mahesh Manjrekar) means excisting . Thabu is the main actress. as young wife she is mentally abused , left alone by her very much dominating type husband . And eventually she fall in love with her music teacher . they were attacted to each other very much and got a son too .all these revealed at the elder age of the wife when son becomes a young man too .Story is about that. very nice songs "Zindhagii kyaa bhaath heai" & Meree Chal Chal " Link is http://www.youtube.com/watch?v=mK_XbS0xxok
මටම හිතා ගන්න බෑ මනෝට මේ සිද්ධ වුන වෙනස. වෙනදා දහා පාරක් මතක් කලත් කවදද අලුත් පෝස්ට් එකක් එන්නෙ කියලා අඩෝ වැඩ බං කියන මනෝ මට දැන් මේල් එකකුත් එවනවා මචං මම පෝස්ට් එකක් ලිවුවා කියලා.
ReplyDeleteඕක ගැන මට තියෙන්නේ උඩ පනින තරමේ සතුටක්.
කොටින්ම සුනේත්‍රා ගැන අහලා තිබුනාට ඔය කියන පොත නම් කියවලා නෑ. එයාගේ පොත් කිහිපයක් කියවන්න ආසාවෙන් තමයි ඉන්නේ. ඒත් ඉතින් මට තියෙන සීමිත පහසුකම් එක්ක ඕවා හීන වෙන්නත් බැරි නෑ.
කියද්දියි මතක් උනේ. මම පොඩි කාලේ නම් ඔය තරඟ අනම්මනම් වලට පුදුම උනන්දුවක් තිබ්බේ. කොටින්ම කාලයක්ම මම නිදාගන්න පාවිච්චි කලේ ඔය වෙසක් කූඩු තරඟ වලින් දිනුවම පන්සලෙන් මට දුන්නු බෙඩ් ශීට් වලින්. ඒ කාලේ මගෙන් පිට ඕවායේ එකම තෑග්ගක්වත් ගියේ නෑ මුල් ඒවා නම්. අනේ ඒත් එකම එක කූඩුවක්වත් හැදුවේ නම් මම නෙමෙයි. අපේ ගෙදර නතර වෙලා හිටපු ෆ්‍රෙශ් ඒ ලෙවල් අවුට් වුනු විද්‍යාගුරුවරයා. (දැන් නම් ඒ මගේ මස්සිනා.) රචනා තරඟ ගණිත තරඟත් ඔය වගේ තිබ්බා. කොටින්ම පොඩි කාලේ මාව දන්න හැමෝම හිතන් හිටියේ කොහෙන් ඒ වගේ මොලයක් මට තිබ්බද කියලාලු. ඒත් ඉතින් අන්තිමට මම නිකම්ම නිකම් බුරු බබා උනානේ අන්තිමට. කොටින්ම ඒ කාලේ මට දීපු සමහර තෑගි අදටත් අපේ ගෙදර පරෙස්සමින් අරන් තියලා තියෙනවා. මීට අවුරුදු විසිපහකටත් එහා මතකයන් වලට මේ පෝස්ට් එක හරහා ගිහින් හීන් සතුටක් නම් දැනුනේ නැත්තෙම නෑ.
සුනේත්‍රා රජකරුණානායකගෙ පළවන නවකථාව වන සඳුන්ගිර ගිනිගනියි පොත කියවලා කොච්චර ආසාවුනාද කියනව නම් , සරසවියට ගියාම සුනේත්‍රාගේ පොත් අනිවාර්යෙන්ම හොයන්න ගත්තා.පොදු පුරුෂයා,බත් තරංග,රිදී තිරංගනාවී,මතක පොත,සුබෝධාලංකාරය පොත් ඔක්කොම බැලුවා.රිදී තිරංගනාවී බැලුවටත් පස්සෙ තමා ප්‍රේම පුරාණය බලන්න ලැබුනේ.අන්තිමට බුද්ධදාසි පොත අරගෙන බලලා ඒක අනිත් අයටත් කියවන්න දුන්නා.හැම විදිහකම ගෑනු චරිත ගැන අවබෝධ කරගෙන ලියල තියෙන විදිහ දැක්කම පුදුමත් හිතෙනවා.ඒ නිසා නවකතා කියවන්න කැමති අය අනිවාර්යයෙන්ම සුනේත්‍රා රාජකරුණානායකගේ පොත් කියවල තියනවා නම් හොඳයි.ඇත්තෙන්ම මේ මතෘකාව යටතේ විස්තරයක් පලකලාට ගොඩක් ස්තූතියි.
ReplyDeleteසුනේත්‍රාගේ පොත්වලිනුයි ඔයාගෙ රාජස්තාන් සැරිසර මතක සටහන්වලිනුයි නිදහසේ ඇවිදින්න මගේ හිතේ යටපත් වෙලා තිබුණ අශාව නැවතත් අලුත්වුනා කියලයි මට හිතෙන්නේ.
මේ දවස් වල මම ප්‍රේම පුරාණය ආයිත් කියවනවා මම දන්නේ නැහැ දැනට කීපරක් කියවලා තියෙනවද කියලා ඒත් එපා වෙන්නේ නැහැ. සුනේත්‍රගේ අළුත්ම පොත "කවි කඳුර" ඒකට හිත ගියා මට බුද්ධදාසිට වඩා. ඒකත් රජ කාලේ කතාවක්
ReplyDeleteමට ඉස්කොලෙන් හම්බ වෙච්ච පොතක් තියේ "දුම්බීම නවත්වන්නේ කෙසේද" ඕක හම්බ උනේ 9 වසරේදි වගේ, අනගතේ දැකලා දීපු පොතක් ද මන්දා
වජිරදේවි මුලින්ම සුනේත්‍රා නෝනාගේ කියෙවුවේ ප්‍රේම පුරාණය..එහෙම නැත්තම් අර සෙකියුරිටි අන්කල් කියපු විදියට 'වල් පොත'.. එතනින් එහාට පොත් රාක්කෙ සුනේත්‍රගේ නැති පොතක් නෑ. TG ට 'හර්ද සූත්‍රය' මඟ ඇරිලා වගේ..
ReplyDelete