අපි පොඩි කාලේ රසවින්ද කාටූන් , ත්‍රාසජනක ටෙලි කතා , හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍ය ගැන මෑතකදී පිස්සා බ්ලොග් පෝස්ට් කීපයක් ලියලා තිබුණා. ඒ මතක ඔස්සේ යද්දී මට මතක් වුණේ ඒ කාලෙ රසවින්ද ළමා පත්තර ගැන යමක් ලියන්න ඕනෙ කියලා .
ටී .වී එකේ යන ළමා පත්තර දැන්වීම් දැක්කම හිතෙනවා දැන් නම් ගොඩක් ළමා පත්තර පලවෙන්නෙ ශිෂ්‍යත්ව විභාගෙට ළමයි පුහුණු කරන්නද කියලා. මොකද එවායේ පලවෙන වෙනත් ලිපි , කතා ගැන සඳහනක් නැති තරම් .හැමතිස්සෙම කියන්නෙ පත්තර එක්ක ලැබෙන ප්‍රශ්න පත්තර පොත් කට්ටල ගැන . එතකොට මට මතක්වෙන්නෙ මිහිර පත්තරේ පලවුණ "බින්දුමතී" කතාව.
තුනවසරේ ඉන්දලා හත වසර විතර වෙනකන්ම මම නොකඩවා "මිහිර" කියෙව්වා. හැම සඳුදාම "මිහිර " එනකන් මම හිටියෙ නොඉවසිල්ලෙන් . ඒ කොටස් වශයෙන් පලවුණ "බින්දුමතී" කියවන්න. බින්දුමතී දුප්පත් දක්ෂ ගෑනු ලමයෙක් . අම්ම විතරයි එයාට හිටියේ. අම්ම රබර් කට්ටියේ කිරි කපලා දුවට උගන්වනවා. ගමේ පාසලේන් ශිෂ්‍යතවය සමත්වෙලා සුදුවැල්ල ම්ධ්‍ය මහ විද්‍යාලයට යන්න බින්දුමතී ගමේ ඉඳන් ගොඩක් දුර පයින් යද්දී සපත්තු දෙක ඉක්මනට ගෙවෙන එක වලක්වන්න සපත්තු අතින් අරන් පයින් ඇවිදගෙන ගිය හැටි කතාවෙ තිබුණ විදිය මට මතකයි. දුප්පත් වුණත් බින්දුමතී දුර්වල යාලුවන්ට ඉගෙන ගන්න ගොඩක් උදව් කළ ළමයෙක්.එයා කිසිම වෙලාවක තමන් දුප්පත් කියලා ඉගෙනීම අතරින්නෙ නැහැ.අන්තිමට එයා ඉගෙන ගත්ත පාසලේම ගුරුවරියක් විදියට සේවයට යන එකෙන් තමයි කතාව සමාප්තවුනේ.ඒ සමාප්ති සටහනේ තිබුණේ මෙතෙක් කල් ඔබේ ලමා ලෝකයේ හිටිය බින්දුමතී අද පටන් වැඩිහිටි ලොවට පිවිසීමත් එක්ක මේ කතා මාලාව නිමා වෙනවා කියලා . මිහිරෙ මුල්පිටුවෙ තියෙන බින්දුමතී ලිව්වෙ සිරිල් සී පෙරේරා මත්තයා. මුලින්ම පත්තරේ අතට ගත්තු හැටියෙම රස කෑමක් කනවා වගේ මම බලන්නෙ බින්දුමතී කතාව.ඒ තරම් ලමයින්ට රසවත් ආකාරයට කතාව ලියැවිලා තිබුණා.ඒ කාලෙ තිබුණ විජය වගේ පත්තර අබිබවා මිහිර පත්තරය වටා විසාල ළමා පාඨක පිරිසක් රොක්වෙන්න බින්දුමතී හේතුවුණා කියලා මට හිතෙනවා. මොකද මගේ පන්තියෙ යාලුවො ගොඩක් බින්දුමතී කියවන්න මම වගේම නොඉවසිල්ලෙන් හිටි අය .
මිහිරෙ ගිය කාටූන් අතරින් මම ආසාවෙන් බැලුව "බට කොල ආච්චී " සහ "පුංචිත්ත" කතන්දරත් මතකයි . බටකොල ආච්චි නිතරම නපුරු වැඩ කල මායාකාරියක් වුණත් "බූ බබා" ඒ නපුරු වැඩ වලින් අනික් අය බේරගන්න උත්සාහ කල කෙනෙක් .පුන්චිත්තා එක්ක එයාගෙ තනියට එහෙ මෙහෙ ගිය , නිතර එයා කතාබස් කරන බලු කුක්කෙකුත් හිටිය බව මතකයි. ඉන්ටර් නෙට් නොතිබුණ ඩිස්කවරි ගැන අහලාවත් නැති ඒ කාලේ ඇල්ප්ස් කඳු , පිරමිඩ සහ පාරාවෝ රජවරු , හිමවලස්සු , හිමාලයේ යෙටී මිනිස්සු, අප්‍රිකාවේ වනාන්තර, ගැන ඩැනිස්ටර් පෙරේරා කියල කෙනෙක් ලිව්ව කුතුහලය දනවන රසවත් ලිපිත් මට මතකයි . එදිනදා සිදුවන විද්‍යාත්මක සන්සිද්ධි රසවත්ව හරිම සරලව කතා අනුසාරයෙන් පැහැදිලි කරලා දෙන විශේෂාංගයක් මිහිරෙ තිබුණත් මට ඒකේ නම මතක නැහැ."කමලක්කාගෙන් අහන්න " යනුවෙන් පලවුණ හාස්‍ය මුසු කවි සහ කතා අතුලත් වුණ රසවත් තීරු සටහනකුත් මිහිරෙ තිබුණා.
විජය පත්තරේ පල වුණේ බදාදට වෙන්න ඕනෙ. විජය මිහිර තරම් මගෙ සිත්ගත්තේ නැතිවුණත් එකේ තිවුණ පියල් උදය සමරවීර ලිව්ව "මකාගේ යලක්" එකේ නාහෙ මල් ඇටයක් හිරවෙලා නාහෙට උඩින් පිපුණ මලක් එක්ක හිටිය මල් මාමා මට තාමත් මතකයි . එහාගෙදර චූටි නැන්දා කියෙව්ව විජය පත්තර මිටියක්ම ඒ වෙනකොට මට ලැබිලා තිබුණේ . විජය පත්තරේ කාලයක්ම මැදපිටුව පුරාම බොහොම ලස්සනට වර්ණ චිත්‍ර රාමු එක්ක පලවුන කතන්දර පොත මතකද?. ඒ පිටුව වෙන්කරලා ඊතල වලින් දක්වලා තියෙන උපදෙස් අනුව කපාගෙන ඒ මේ අතට නැව්වම ලස්සන හුරු බුහුටි පොඩි කතා පොත් පිංචක් ලැබෙනවා. එයින් මිටියක්ම මාගාව තිබුණා විජය පත්තරෙත් එක්ක චූටි නැන්දාගෙන් ලැබිලා. ඒවා ඉස්කෝලෙ ගෙනිහින් යාලුවො එක්ක හුවමාරු කරන් කියෙව්වා මතකයි .
ඔය කාලෙ මිහිරක් රුපියල් තුනක් විතර වගේ .කොහොමහරි පත්තරේ ගන්න අම්මගෙන් හරි තාත්තගෙන් හරි රුපියල් තුනකුත් ඉල්ලගෙන සඳුදා වෙනකන් ඉන්නෙ පුදුම නොඉවසිල්ලකින් . සඳුදාට ඉස්කෝලෙ ඇරිලා අවිත් බත් ඇටේ හරස්වෙන්න කලින් හන්දියෙ පත්තරකඩේට දුවලා යන්නෙ මිහිරක් ගේන්න .
අපේ ගමටම තිබුනෙ එකම එක පත්තර කඩයයි ඒ දවස්වල . ඒ "මැම්බර්ගේ කඩේ" කියල හැඳින්වුව ලේක් හවුස්, ලංකාදීප සහ උපාලි පුවත්පත් අලෙවි නියෝජිතයන් හැටියට කටයුතු කල හාල් සිල්ලර බඩු විකිණුව කඩයක්. සඳුදා අපේ ගමේ පොල දවස .ඉතින් හාල් සිල්ලර බඩු ගන්න උදවියත් මැම්බර් කඩේ පිරිලා . යන්තම් කඩ බක්කියට උස නැතිව අතේ රුපියල් තුනකුත් මිට මොලවගෙන ඉන්න මාව කඩේ බඩු කිරන අය ඒ තරම් ගනන් ගන්නේ නැහැ.ඒ නිසා ටිකක් වෙලා යනවා පත්තරේ ඉල්ලගන්න .ටිකක් ලොකුවෙනකොට මම කලේ කෙලින්ම 'මැම්බර් සීයගේ" මේසේ ගාවට යනවා රුපියල් තුනත් මිට මොලවගෙන . උන්දැ උස, හීන්දෑරි, සුදු ,මනුස්සයෙක් . වැඩි කතා නෑ. මේසෙකුයි පුටුවයි තියාගෙන වාඩි වෙලා ඉන්නවා.මේසෙ උඩ ඔක්කොම පත්තර ජාති අතුරලා තියෙනවා. මේස ලාච්චුවේ සල්ලි තියෙනවා. උන්දැගේ පිටිපස්සේ ලස්සන දම්පාට වතුර බෝතල් පිරෙව්ව රාක්කෙකුත් තියෙනවා. අමුතු සැර සුවඳකුත් පැතිරෙනවා. ඒ සුවඳට එක්වුණ අලුත් පත්තර සුවඳ නාහෙට දැනෙනකොට හරි අපූරුයි . පස්සෙයි මම දන්නෙ මැම්බර් කඩේ පත්තර , සිල්ලර වලට අමතරව වයින් ස්ප්‍රීතු විකිණුවා කියලා. මට හදිස්සියෙන්වත් සඳුදට මිහිර පත්තරේ ගන්න මග ඇරුණොත් අනිවාර්යෙන්ම පස්සෙ දවසක මැම්බර් කඩෙන් මට ඒ පත්තරේ ලැබුණා. ඉතින් සල්ලිටික දීලා ඉක්මනට මිහිර පත්තරෙත් ඩැහැගෙන හැල්මෙ ගෙදර දුවන් එන්නෙ රටක් රාජ්ජයක් ලැබුණ වගේ සතුටින් .
ඔහොම අවුරුදු ගනනාවක් එකතු කරපු ,රසවින්ද මිහිර පත්තර මිටියක්ම අපේ ගෙදර තිබිලා පස්සෙ කාලෙක විසිකරල දැම්ම . දැන්නම් මිහිර මොනවගේද කියන්න මම දන්නේ නැහැ. කාලෙකින් මිහිර පත්තරයක් දැකලා නැහැ.ඒත් මිහිර එක්ක ගෙවුණ මගේ ළමා මතකයන්නම් බොහොම මිහිරියි කියලා හිතෙනවා.
ප/ලි
බින්දුමතී කතාව ආයෙත් කියවන්න ආසයි .මේක පොතක් හැටියට පලවෙලා තියෙනවද? . දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ තොරතුර දෙන්න .ඔයාලත් කැමතිනම් මිහිර , විජය එක්ක තිබුණ රසවත් මතක කියන්න පුලුවනි . ඔය උඩින් තියෙන මිහිර පත්තරේ පින්තූරෙ ගත්තේ ලේක් හවුස් වෙබ් පිටුවෙන් . එතකොටයි දන්නෙ මිහිරට අවුරුදු හතලිස්පහකුත් පිරිලා කියලා .දැන් පත්තරයක් රුපියල් පහලවයි .කාලෙ ගිය ඉක්මන !
