Monday, December 27, 2010

රාජස්තාන් සැරිසර මතක සමාප්ති සටහන -ජෝද්පූර්... කබි අල්විද නා කෙහෙනා...

Umed Bhawan



Umed Bhawan inside

On the way to Meherangar Fort

Mirror Galary -Meherangar Fort

A victory Gate - Meherangar Fort

Rao Jodha founder of fort


Folk musician inside the fort






අපි ජෝද්පූර්වලින් බහිනකොට පහුවෙනිද උදේ හයට විතර ඇති. මම උෂත් එක්ක එයාගේ කාර්යාලයට ගිහින් තව පැයදෙකක් විතර නිදා ගත්තා. රැස්වීම් සාලාවක් හැටියට පාවිච්චි කරන උඩු මහලේ බිම අතුරල තියෙන පලස් උඩ පැදුරක් දාගෙන , උණුසුම යන්න ඔක්කොම ජනෙල් දොරවල් ඇරල සැප නින්දක් නිදාගෙන ඇහැරුණේ උදේ අටට විතර .ඔෆිස් එකේම නාන කාමරේට ගිහින් හොඳට නාගෙන අඳුම් ටිකත් හෝදලා දැම්ම . මම දැන් ඉන්දියානු ගමන් වලට හොඳට පදම් වෙච්ච නියම සංචාරකයෙක් .මේ සැප්තැම්බර් විසිහය වෙනිදා. මම රාජස්තානයේ ඉන්න අන්තිම දවස . එදාම හවස හතයි විස්සට තියෙන මන්දෝර් එක්ස්ප්‍රස් කෝච්චියෙන් මම නවදිල්ලි යන්න ඕනෙ පහුවෙනිදා ලංකාවට යන්න . ඉතින් උදේ නවය වෙනකොට ලහි ලහියේ ලෑස්ති වුණා ජෝද්පූර් සිරි විසිතුරු බලන්න යන්න . ඌෂට කාර්යාලයේ රාජකාරි වැඩ යෙදිල නිසා මම එයාව ටුවර් ගයිඩ් කමින් නිදහස් කලා .ඒ වෙනුවට මග පෙන්වන්න එයාගේ නංගි සෝණු කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා . ගමන පිටත්වෙනකොට උදේ දහය විතර වුණාට තද හිරු එලියෙන් මුලු නගරයම බබලනවා. ජෝද්පූර් ‘සන් සිටි' කියලා හඳුන්වන්නේ මේ නිසා වෙන්න ඕනෙ.


සෝණු රික්ශෝ රියදුරන් සමග හෙට්ටු කරමින් කොහොම හරි මාව ජෝද්පූර් නගර මාලිගාවට එක්කගෙන ගියා .”උමේඩ් භවන්” කියල හඳුන්වන මේ සිටි පැලස් එක තියෙන්නෙ ජෝද්පූර් නගර මායිමෙන් කිලෝමීටර දෙකක් විතර ඈත පොඩි කඳු ගැටයක .මහරාජා "උමේඩ් සිං" විසින් දහ නවවැනි ශතවර්ෂයේ (1929-1943 ) ඉදිකෙරුව මේ මාලිගාව ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් අති නවීන මාලිගා අතරට එකතු වෙනවා.


මුලින්ම මම ඇතුල් වුනේ "සභා නිවාස්" ශාලාවට .මේ මහා මන්දිරයේ ආකෘතියක් සහ එහි හිමිකරුවන් වූ මහරාජා වරුන්ගේ ඉතිහාසය , ජීවන පුවත් හෙලිකරන අගනා ඡායාරූප , ගෘහ භාණ්ඩ එකතුවක් මෙහි තියෙනවා. Henry Voughn Lanchester කියන එංගලන්ත ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා අතින් නිමවුන මේ මාලිගාව ගොඩනැගීම් කටයුතු වලට පන්දාහක් විතර සේවකයො සහභාගි වෙලා තියෙනවා . කාමර 300කට වැඩි මෙහි විසාල මැද මිදුල් කීපයක් තියෙනවා. මාලිගාවේ ගොඩනැගීම් කරලා තියෙන්නෙ කහ පැහැති විශේෂ ගල් වර්ගයකින් . බදාම යොදාගෙන නැහැ බිත්ති බඳින්න . හැම කාමරයකම උෂ්ණත්ව පාලනය කරන ස්වභාවික ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා .පෝලන්ත ජාතික ශිල්පියෙක් මාලිගාවෙ ඇතුලත අලංකරණය කරලා තියෙන්නෙ . මහරාජා වරු පරිහරණයකල බඩු භාන්ඩ ඔවුන්ට විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලද තෑගි ප්‍රදර්ශනයට තබා තිබුණා . මේ මාලිගාවේ ඇති සියලු අංගෝපාංග ප්‍රකට කල කරුණක් වුනේ මේ නව පරම්පරාවේ මහරාජා වරු බ්‍රිතාන්‍ය සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වපු වග . මුලු මාලිගා බිම අක්කර 26 විතර වෙනවා. අලංකාර තණබිමකින් යුත් උද්‍යාන බිමක මාලිගාව පිහිටල තියෙන්නෙ . මාලිගාවෙ එක් කොටසක් බොලිවුඩ් හා හොලිවුඩ් නලුනිලියන් නවාතැන් ගන්න සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කරලා. කොහොම වුණත් මම දුටු නගර මාලිගා තුනෙන්ම මම වඩාත් කැමති අතීත ශ්‍රී විභූතිය විදහාපාන උදයපූර් මාලිගාවට.


"උමේඩ් භවන් "වලින් සමුගත්ත මම ඊලඟට ගියේ "මෙහෙරාන් නගර්" බලකොටුව බලන්න . මේ බලකොටුවට පිහිටල තියෙන කඳුගැටයට යන්න තියෙන්නෙ ජනාකීර්ණ පටු පාරක් දිගේ . පාරදිගේ ඉදිරියට යනකොට මේ අති දැවැන්ත නිර්මාණය ක්‍රමයෙන් දිවෙනවා. බලකොටුවට ඇතුල් වුනහම එහි විශාලත්වය දුටු මට ඇස් අදහාගන්න බැරුව ගියා . තනිකර ගඩොලෙන් නිමවූ අහස උසට නැගුණ මහල් තල විසාල ගණනක් සහ අලි ඇතුන්ට වුවත් ඇතුල් විය හැකි දැවැන්ත ද්වාර හතක් සහිත අරුම පුදුම බලකොටුවක් . මේ ජෝද්පූර් වල ජය භූමිය සහ හදවත කිව්වොත් නිවැරදියි.


ජෝද්පූර් නුවර ගොඩනැගුව රතෝර් වංශයට අයත් වීරයෙක් වුන "රාඕ ජෝදා" විසින් තමයි මේ බලකොටුව ඉදිකිරිම පටන්ගත්තේ . ඒ 1459 දි.නමුත් මෙහි බොහෝ ඉදිකිරීම් නිමාකරල තියෙන්නෙ මහරාජා "ජස් වන්ත් සිං" විසින් දහසයවෙනි ශතවර්ෂයේදි. බලකොටුවෙ තියෙන ද්වාර හත හන්දුන්වන්නේ ජයග්‍රහණයේ ද්වාර (Jaya Poles -Victory Gates ) කියලා. ඒ ජෝද්පූර් වැසියන්ගේ අතීත යුධ ජයග්‍රහණ සිහි ගන්වන්න.


මෙතැන දෙස් විදේ සංචාරකයන් බොහෝදෙනෙක් ඇදී එන ජනාකීර්ණ හරිම සජීවී තැනක්. මධුර ස්වරයෙන් ගැයෙන් රාජස්තාන් ජන ගී අහන්න නම් මේ බල කොටුවට එන්න ඕනෙ . විසාල බෙරයක් හා නලාවක් වාදනයකරමින් මුනුණේ සුන්දර සිනහවකින් ජන ගී ගයන ගායකයාගේ රිද්මයට නටන්නෙ නැතුව ඉන්න මට බැරිවුණා. සෝණු තවමත් මට මේ ගැන විහිලු කරනවා. හිතේ හැටියට ඡායාරූප ගනිමින් පැරැණි ගඩොල් අතර මට කිමිදෙන්න දීලා සෝණු හිනාවෙවී බලාගෙන හිටියා ,බලකොටුව බලන්න ආව පාසලක පොඩිත්තෝ පෙලකගෙ රූ සටහන් කැමරාවට හසු කරගත් මම ඒවා ඔවුන්ට පෙන්වමින් සතුටු වුණා.ඒ අතරෙ ඇතුලෙ ඉන්න සපත්තු වෙලෙන්දෙක්ගෙන් රාජස්තාන් චපල්ස් ජෝඩුවකුත් ගත්තා. මේ බලකොටුවේ විශේෂ මතු මහල් තල කීපයක් තියෙනවා . ඒ මෝටි මහල් (pearl gallary) , ශිශ් මහල් (mirror gallary) , පූල් මහල් (flower gallary) සහ මහරාජගේ වාස භවන . මේ හැමතැනක්ම එකකකට එකක් නොදෙවෙනි රන් රිදී මුතු කැටයම් වලින් ඔප වුණ පැරැණි කලා ශිල්පීන් ගේ දස්කම් විදහ දක්වන සුන්දර නිර්මාණ . ඒ වගේම මහ විසාල ආයුධ ගැලරියක් , අතීත සිතුවම් එකතුවක් සහ තලප්පා ගැලරියක් මෙහි තියෙනවා. ඉන්දියාවේ සංචාරක කර්මාන්තය කොයි තරම් දියුණුද කිව්වොත් මෙහි එන සංචාරකයන්ට බලකොටුවේ හැම තැනක් ගැනම හෙඩ්ෆෝන් උපකරණ පාවිච්චි කරලා විස්තර දැනගන්න ක්‍රමයක් බලකොටුවෙ තියෙනවා. බලකොටුවේ ඉහලම මාලයේ බැල්කණියට ගිහින් ජෝද්පූර් නුවර නරඹද්දි මට හිතුනෙ මහරාජා සහ රාණි වරුන්ගේ අතීත කතන්දර ගොඩක් මේ මහා බලකොටුවේ පැරණි ගඩොල් අතර සැඟවිලා ඇති කියලා. ඒ වගේම අපේ ආසියාතික කලා ශිල්පීන් මොනතරම් දක්ෂ මිනිස්සුද කියන එකට මේ බලකොටුව හොඳ සාක්ෂියක්. ඇත්තටම මෙතනෙ හොඳින් බලන්න නම් මුලු දවසක්ම ඕනෙ. ඉර බැහැගෙන යන හැන්දෑවට මෙතැන හරිම ලස්සනයි කියලා සෝණු කිව්ව.


මෙහෙරාන් නගර් බලකොටුවට මම සමු දුන්නේ අකමැත්තෙන් .තව ටිකක් ඉන්න හිතුනත් අයේ හවස ජෝද්පූර් වලින් යන්න ලෑස්ති වෙන්න ඕනෙ. ආයෙමත් නගරෙට ගිහින් ප්‍රියා තාලි රෙස්ටුරන්ට් එකෙන් ලොකු රාවන් දෝස එකක් කාලා ලැසී වීදුරුවකුත් බීලා සෝණුට පොඩි තැග්ගකුත් අරන් ජෝද්පූර් නගර සිරි විසිතුරු බැලීම නිමා කරලා එනකොට හවස දෙකහමාරට විතර ඇති .


දැන් ඉතින් දිල්ලි යන්න සූදානම් වෙන්න ඕනෙ. ඔක්කොම බඩු මුට්ටු බෑග් එකට අහුරලා , නාලා , ටිකක් විවේක අරගෙන , සේරම පොටෝ ලැප් ටොප් එකට දාගත්තා. ‍යෝගේශ් ජී ඇතුලු කාර්යාලයේ හැමෝම එක්ක ආල්ලාප සල්ලාපයේ යෙදුන . මොකද ඊට කලින් දවසෙ මට ඒ අය කා එක්කවත් කතාකරන්න බැරි වුණානෙ . අපි ඔක්කොම හවස "කානා" අවන්හලෙන් ගෙනාව රස කැවිලිත් එක්ක ලංකාවෙන් ගෙනාව තේත් බිව්ව . ඒත් මගේ ජල්දී ජල්දී මිතුරිය ඌෂා තවම නැහැ. ඔන්න හවස පහමාරට විතර හති දාගෙන එයා එනවා . මම හවස යන නිසා ගොඩක් කලබල වෙලා. මට රාජස්තාන් ඔටු පවුලකුයි , දම්පාට ලස්සන කුරුතා රෙද්දකුයි තෑගි හැටියට ඌෂා ගෙනැවිත් තිබුණා. මගෙ ගමන් මල්ලෙ ඉඩ නැති නිසා ඔටු පවුල රෙදි උරයක දාල ගමන් මල්ලෙම ගැට ගහගත්තා. "දැන් නම් ඔයා නියම රාජස්තාන් වැසියෙක්" කියලා යෝගේශ් ජී හිනා වුණා.


මම ආයෙත් ඒ හැමෝටම ස්තුති කලා මට අමතක නොවෙන නිවාඩුවක් දුන්නට . ඌෂ , යෝගේශ් ජී එක්ක එයාගෙ වැගන් ආර් කාර් එකෙන් මාව ජෝද්පූර් ඉස්ටේසමට ඇරලවන්න ආව . සෝණු , රාජා එක්ක මෝටර් සයිකලෙන් ආවා. . මන්දෝර් එක්ස්ප්‍රස් කෝච්චිය නියමිත වේදිකාවෙ විනාඩි විස්සකට කලින් නතර කරලා තියෙනවා. මට ඔනෙ වුණා ඒ හැමෝම එක්ක පොටෝ එකක් ගන්න . ඒත් සෝණුත් , රාජත් ප්‍රමාදයි. ‍යන්තම් කෝච්චිය අද්දන්න ඉස්සර ඒ දෙන්න මොනවදෝ මල්ලක් උස්සගෙන ආවා. "මේ රස කැවිලි ඔයාට . සමු ගන්නකොට රස කැවිලි දෙන එක අපේ සිරිතක්" . යෝගෙශ් ජී ජන්තා ස්වීට් එකෙන් ගෙනාව රස කැවිලි මල්ලක් මගේ අතේ තිව්ව . ආයෙමත් ඔක්කොම සිප වැලඳගෙන සමු දුන්න මම කෝච්චිය අද්දන්න විනාඩි කීපෙකට කලින් පා පුවරුවට ගොඩවුණා. හැමෝම මට අත වනනවා. "කම් අගේන්" කියලා ඌෂා , රාජා සහ සෝණු කෑගහනවා. මම කෝච්චියේ සද්දෙ පරයමින් “කබි අල්විද නා කෙහෙනා” – නෙවර් සේ ගුඩ් බායි කියමින් ඔවුන් නොපෙනී යනතුරුම අත වැනුවා.


ප/ලි
මම අහස්ගව්වට ලිව්ව රාජස්තාන් සැරිසර මතක කතන්දර පෙල මෙතැනින් නිමාවට පත්වෙනවා. එදා මම මගේ මිතුරියට සමුදුන්නෙ නැවත උදයපූර් වලට එන පොරොන්දුවෙන් . ආයෙත් දවසක නිවී සැනසිල්ලේ රාජස්තානයේ රවුම් ගහන්න ඉඩ ලැබේවි කියලා මගෙ හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.

9 comments:

  1. කියවුවේ අදයි. පරක්කු උනා මේ දවස් වල කොම්පියුටර් එකකට ලොග් වෙන්න තරම් කම්මැලිවෙලා හින්දා.

    දැන් ඉතින් රාජස්තාන් ඉවර නම් අපි ලංකාවේ එහෙ මෙහේ ගියපු ඒව ගැන හරි ලියමු නේද?

    ReplyDelete
  2. ඔව් .රාජස්තාන් සැරිසර කතන්දර නිමාවට පත්වෙන්වා මෙතැනින් . නිවාඩු ඉන්න නිසා ලියල ඉවර කරන්න පුලුවන් වුණා. දැන් ඉතින් අලුත් දේවල් ටිකක් හොයාගන්න ඕනෙ ලියන්න.බ්ලොග් එක පටන් ගන්න කලින් රවුම් ගහද්දි වෙච්චි ඇබැද්දි ටිකක් තියෙනවා.හිතුනොත් ඒ ටික ලියනවා.

    ReplyDelete
  3. අනේ අපි කවදාක ඇවිදිමුද ඒ රටේ?

    යන්න ආසයි.
    ඒ ආසාව වැඩි වුණා මේ කතා කියවලා.

    ReplyDelete
  4. බලන්න යන්නම ඕන තැනක්. එන පාර නම් යන්නේ රාජස්තාන්!

    ReplyDelete
  5. @ Kathandara,

    ඔච්චර ආසම නම්, ඊලඟ පාර අපි යනකොට එක්ක යන්නම්. හැබැයි ඉතින් කතන්දර හාමිනේ මොනා කියයිද දන්නෑනේ!

    ReplyDelete
  6. අහස් ගව්වට මම අදමයි ආවේ. මට සුනේත්‍රා රාජකරුනානායකගේ පොතක් මතක් උනා.හබැයි පොතේ නම නම් මතක නැහැ.ඒකේ විස්තර බලලා ඉන්දියාවේ නිදහස් සන්චාරයකට ආසාවේ හිටියට් මට දැන් ඒ ආසාව තවත් වැඩි උනා.මට හිතෙන්නේ ඔය වාගේ ඇවිදින්නත් පෙර පිනක් තියෙන්න ඕනේ කියලා.
    " සුභ නවවසරක්"

    ReplyDelete
  7. @ පොඩි කුමරිහාමි නංගියි කතන්දර කුමාරයි ඔයපැත්තේ රවුමක් ගහන්න යනවනම් මටත් කියන්න . මාත් එන්නම් .
    @ නීතා ඔය කියන්නෙ සුනේත්‍රගෙ ‘ප්‍රේම පුරාණය” එහෙම නැත්නම් “මතක පොත “ වෙන්න ඕනෙ.

    ReplyDelete
  8. 2009 අගෝස්තු මාසේ කතන්දරගෙ බ්ලොග් 1න් පටන් ගත්තු මගේ බ්ලොග් කියවිල්ලේ ඊලඟ නවතැන උනේ අක්කණ්ඩිගේ හා ඔබගේ බ්ලොග්.ලිපියක් දැම්මාම අවිත් කියවලා ගියත් ඔබ වෙනුවෙන් යමක් ලියන්නේ අද.
    මේ ලිපි පෙළ කියවද්දී ඔබත් සමග මාත් මේ හැම තැනකම ගියා.
    අපූරුයි.
    ඔබට තුති..
    සුමුදු

    ReplyDelete
  9. මුතු බොහොම ස්තුතියි. ඉඩක් ලැබුණම ලියන්නම්. එතකොට ආයෙත් මේ පැත්තේ එන්න.

    ReplyDelete