Saturday, January 29, 2011

සිකුරාදාට හැදෙන අලි බඩගින්න !



සිකුරාදා කියන්නෙ සතියෙ වැඩ රාජකාරි සේරම ඉවර කරල යන්තන් හුස්මක් ගන්න ගෙදර යන දවසනේ. එදාට ටිකක් කලින් ගෙදර යන්න පුලුවන් නම් තවත් හොඳයි .ඒත් එහෙම වෙන්නෙ හාවා හඳ දකින්න වගේ හරිම කලාතුරකින් .


ඒ මදිවට හැම මාසෙම සිකුරාදාවල් කීපයකදී මට අලි බඩගින්නකුත් හැදෙනවා.ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි . හැම මාසෙම දවස් හත අටක් රාජකාරි කටයුතු වලට මට කොලඹ ප්‍රධාන කාර්යාලෙට වාර්තා කරන්න වෙනවා . එහෙම වුණහම ඉතින් ස්ටෆ් ක්වාටර්ස් එකෙ රැයක් දෙකක් ලගින්න වෙනවා . මොකද ඔය වැඩ ටික ඉවර කරගන්න සතියෙ බදාදා කොලඹට ගියහම ආයෙ ගෙදර එන්න වෙන්නෙ සිකුරාදා හවස් කරේ. එහෙම වුණහම අලි අමාරුවක වැටෙන්නෙ කටට රහට කෑම ටිකක් නැතුව . ඒ කියන්නෙ සුපුරුදු රතු කැකුළු බත් , පොල් සම්බල්, මාලු , එලවළු , කොල මැල්ලුම් , කිරිහොදි වගෙ දෙවල් කන්න ලැබෙනවා බොරු . පොල් , එළවළු , මාලු , එහෙම ගිණි ගනන් කාලෙක ඕවා සුපිරි කෑම බව හැබෑව .ඒත් මම ඉතින් තුන් වේලටම බත් කන්න පුරුදු මනුස්සයනේ. ඉතින් කොලඹට සේවයට ගියහම හිතේ හැටියට රතු බත් කටක් කෑව බොරු.මගේ ඔෆිස් එක වටේම තියෙන්නෙ විච්චූරණ නම් ගම් තියෙන සුපිරි චීන , ඉන්දියන් , තායි කෑම කඩ වල මගේ ටේස් එක නැහැනේ.එතකොට ඉතින් උදේට පෙරේරා සහ පුත්තුන්ගෙන් පිටි ගුලියක් ගිලිනවා.එහෙම නැත්නම් මැගී එකක් ම්යික්‍රො වේව් එකේ දාලා හදාගන්නවා. දවල්ට පෘට් ජූස් බොනවා.ලොකු බඩගින්නක් නම් ඉතින් ඔය තායි , චීන , ඉන්දියන් කඩේකින් තෙල් ගොඩගහපු ටේක් අවේ පැකට් එකක් ගෙනිත් ඔෆිස් එකේ කා එක්ක හරි බෙදාගෙන කනවා.රැට නම් හරිම අමාරුවක වැටෙන්නෙ . ඔය ඔක්කොම කඩවල රෑට බෙහෙතකටවත් බත් එලවලු මාලු නැහැනේ. ඉතින් ඔය පිට්ටු ආප්ප ඉඳි ආප්පවල පිහිට තමයි . ඔහොම රෑ දෙකක් ගෙවිලා සිකුරාදා වෙනකොට හොඳ ගනන්. එදාට ඉතින් හිතෙන්නෙම ඉක්මනට වැඩ අහවර කරලා ගෙදර ගිහින් රතුබත් කන්න.


ඔහොම හිතලා දවල් කෑමත් නොකා දොලහමාරට විතර වැඩ ඉවර කරන්න ගිනි කසයා වගේ වැඩ කරනවා දවල් කෑම අමතක කරලා .දොලහමාරට විතර කොලඹින් පිටත්වුණොත් කලුතර පැන්නට පස්සෙ කඩේකින් හිතේ හැටියට රතු බත් කටක් කන්න පුලුවන් .අනේ ඉතින් මේ සිකුරාදාත් , ඒ කියන්නෙ ඊයෙත් මම ඔහොම හිතලා වැඩ කොලාට මොකෝ ඔෆිස් එකෙන් පිටත්වෙනකොට හවස තුනහමාරත් පැනලා.ඔක්කොම වැඩ ඉවර කලත් ලොක්කි මුණගැහිලා සේරම දේවල් වලට එයාගෙ අත්සන් අරගෙන ෆයිල්ස් බාරදෙනකොට දන්නෙම නෑ වෙලාව ගිහින්. පිටත්වෙනකොට බඩ පණුවො පිනුම් ගහනවා ඒත් ඉතින් මේ වෙලාවට බත් හෙව්ව බොරු .මගේ රියදුරාටත් වැඩි දවසට මේ සන්තෑසියමයි වෙන්නෙ . සතියෙ දවස් පහම කොලඹ නේවාසික වෙලා ඉඳලා වැඩි දවසට ඉක්මනට ගෙදර යන්න මගේ වාහනේ එල්ලෙන හුස්නි සහෝදරයාත් එහෙමයි . ඉක්මණට අපි එක්ක ගෙදර යන්න මිනිහත් ලන්ච් නොගෙනම වැඩ ඉවර කරනවා .අන්තිමට බඩගින්නෙ .


ඉතින් අපි බඩගිණි කාරයෝ තීරණය කොලා මොරටුව පැන්නම තියෙන හරි හමන් කඩේකින් උණු පාණුයි , මාලු හොදියි කාලා ප්ලේන්ටියක් වත් ගහන්න ඕනේ කියලා. ඔය අතරේ මොරටුව පහුකරද්දී මාදැලක් ඇදලා අලුත්ම හාල්මැස්සො , පැන්නො ලාබෙට විකුණනවා. අපිත් නවත්තලා හාල් මැස්සො එහෙමත් අරගෙන ගෙවල් වලටත් කෝල් දුන්න රතු බත් උයලා පොල්සම්බල් හදලා තියන්න කියලා .


"අලුත් මාලු ටික , ගිහින්  හොදි හදාගෙන උණු උණුවෙන්ම කන්න පුළුවනි" කියලා හුස්නි කියනකොට හැමෝගෙම කටට කෙල උණලා බඩගිණි දෙගුණ වුණා.


ඉතින් පානදුර හරියෙදී පාන් කන්න කඩයක් සොයාගන්න අපි තීරණය කළා. ඒත් ගොඩක් කඩවල් වල හවසට පානුයි හොදියි දෙන්න කඩකාරයෝ කැමති නැහැනේ. ඔන්න ඉතින් යූ ටර්න් එකකුත් ගහලා අපේ වාහනේ නැවත්තුවා උනු පාන් , උනු උනු සුප්, දැන් බෑව ආප්ප, එන්න කන්න කොත්තු වගේ ආකර්ෂණීය පුවරුවක් එහෙම තිඹුන තැනක . හුස්නි බැහැලා ගියා බලන්න . ඔන්න ගිය පයින්ම එනවා තාම හොදි හදලා නැහැ කියාගෙන . "මුන්ගේ බෝඩ් ලෑලි මොන මගුලකට ගහනවද මන්දා" කියලා බණිමින් මගේ රියදුරා වාහනේ සැර දැම්ම .තරහටත් එක්ක දැන් මර බඩගිනියි තුන්දෙනාටම .ඔහොම ගිහින් ආයෙත් නැවත්තුවා ලොරි එහෙම නවත්වලා තියෙන කන්න බොන්න තියෙනවා කියලා හිතුව පොට් එකක . මෙන්න ආයෙත් කෑම ගැන විපරම් කරන්න ගිය මිනිහා එනවා ගියපයින්ම "කඩේ එකාගෙ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා, පානුයි හොදියි ඇහුවම කොත්තු කන්න කියනවා ඒකා" කියමින් .


අන්තිමටම බඩගිනි වැඩි කමට වාද්දුවේ පාන් බනිස් තියෙන , රෑ කෑමට කොත්තු හදන කඩේක නැවැත්තුවා මොනවහරි කන්න . කට්ටියම බැස්සා.
"අඩේ දවල් බුෆේ එකේ කෑම වලන් එහෙමත් තියෙනවා නේද ?"
"සමහර විට බත් ඇති. ඒ නැතත් මාලු හොදි තිබුණොත් පාන් කන්න පුලුවනි "
ඔහොම කියලා කඩේට ගොඩවුණ මම හට්ටි වලන් අරිද්දී අනික් දෙන්න රෝස් පානුයි මාලුරි කන්න ඕනෙමයි කියලා කඩේ මල්ලිට තදින්ම කියා හිටියා .
" මහත්තයා රෝස් පාන් කන්න පුලුවනි , මාලු නම් නැහැ තාම රෑට ඉව්වෙ . දවල් මාලු හොදි තමයි තියෙන්නෙ "මළයා කියනවා .
"බත් කන්න නම් නැහැ.ඒත් මාලු හොදි හොන්දයි පිනුල් වෙලා නෑ".හට්ටි වලං ඇරිය මම කිව්ව
"එහෙනම් මල්ලි දෙන්න රෝස්පානුයි , මාලු හොදියි , ආ තව සුප් තුනකුත් දෙන්න" අපි ඕඩරේ බාරදුන්න.
අපි තුන්දෙනා ඔය ඔක්කොම එක්ක පලමු වටයට රෝස්පාන් පහකට වගකිව්ව. මලයට කියලා තව රෝස්පාන් හතරකුත් ගෙන්න ගත්තා.ඔය අස්සේ මගෙ රියදුරා පොල් සම්බල් ටිකක් ගන්න පුලුවන්ද කියලා විපරම් කළත් කඩේ මළයා කිව්වෙ ඉතිරි පොල් සම්බල් උදේ හදපුවා නිසා කන්න එපා කියලා . දසවැනි රෝස් පාන් එකටත් වග කියලා වැඩේ අහවර කරන්න හිතුවත් කඩේ මළයා කිව්වා ශෝ කේස් එකේ තිබුණ ඔක්කොම රෝස්පාන් පිඟානම ඉවරයි කියලා.
හායි හූයි කියලා මාලු හොදි එක්ක පාන් කාලා සුප් බීලා , ප්ලේන්ටී වලටත් වග කියලා බිලත් ගෙවලා යන්න කලින් මළයට ස්තුති කරන්නත් අපි අමතක කලේ නැහැ. අපේ කෑමෙ විලාසෙට මලය හිතන්න ඇති අපි ඉතියෝපියාවෙන් ගොඩබැහැලා කියලා.
"හම්මෝ දැන් තමයි මට පණක් ආවේ" ගමන පටන් ගන්න ස්ටීයරින් වීල් එකට අත තිව්ව මගේ රියදුරු කිව්ව.
දැන් අපි නවත්තනකොට තිබුණ පොද වැස්ස තරමක් වේගෙන් වහිනවා.වාහනේ ගමන ස්ලෝ වෙලා වැස්ස නිසා .
"හොඳ වෙලාවට අපිට කෑම කන්න ලැබුනේ , නැත්නම් මෙහෙම ස්ලෝ වෙවී වැස්සේ ගාට ගාට පානුයි හොදියි කන්න කඩ හොයලම මහමග බඩගින්නෙ නහින්නයි අපිට වෙන්නෙ "
හුස්නි කිව්ව විදියට අපි ඔක්කොටම හිනා


ප/ලි
මම ගෙදර එනකොට රෑ හතහමාර විතර ඇති. රතු බතුයි , පොල් සම්බලුයි හදලා තිබුණේ .ඉක්මණටම ගෙනාව හාල් මැස්සො හොදි හදලා බත් පිඟානක් කෑවම තමා අලි බඩගින්න නිවුණේ .

12 comments:

  1. මටත් නම් ඉතින් රතු බත් කටක් නැත්තම් මොන රජ බෝජනෙනුත් පලක් නැහැ...

    ReplyDelete
  2. නරකම නෑ කට්ටියගේ කෑම. අපට ඉතින් හොඳ රෝස් පාන් කන්න ලංකාවටම යන්න ඕනි. මෙල්බර්න්වලත් දැන්, දැන් සමහරවල ශ්‍රී ලාංකික කඩවල රෝස්පාන් හදනවා. දවල් 12.00ට කලින් ගන්න ඕනි. හැබැයි ඒවා අපේ ඒවා වගේ නම් රහ නෑ. පිච්චිලත් නෑ. මාත් හරි ආසයි මාලුයි, සම්බෝලයි, රෝස්පානුයි කන්න. දැන් ඉතින් අද දවසම කෙල, කෙල ගිල, ගිල, හූල, හූල්ලා තමා ඉන්න වෙන්නේ.

    ReplyDelete
  3. @ටුවෝ වෙකලාටි

    මචං ඔයා ගෙ බ්ලොග් එක නං මරු මෙයා!

    ReplyDelete
  4. මේ ලඟදි මං දැක්ක කවුදෝ කෙනෙක් කමෙන්ට් එකක් දාල තියෙනව "නයි කයි ද රෝස්පාං?" කියල.

    අද තමයි ඒකෙ තේරුම වැටුනේ?

    ReplyDelete
  5. හැබෑට ටුවෝ ගේ බ්ලොග් එක හරි ෂෝක්. ලස්සන පින්තූරු තියනවා. කට්ටිය ගිහින් බලන්න. වැඩි විස්තර TG ගෙන්.

    ReplyDelete
  6. @ ටුවෝ,

    එළම බ්ලොග් එකක් අනේ ඔයාගෙ තියෙන්නෙ, පොටෝ අල්ලල තියෙනවා මරු, මේ ඒක නෙවෙයි, අපේ පුංචි අම්මෙක් ඉන්නව ඔන්න ඔය පිංලංතෙ, දැක්කොත් එහෙම කියහං මං මතක් කෙරුවය කියල,

    ReplyDelete
  7. @ TG,

    කෑම ගැන මගෙනම් එච්චර විශේෂයක් නැහැ, පොඩි කාලෙ ඉඳම්ම ගෙදරින් පිට හැදුනු නිසා වෙන්න ඇති, මට ඔය මොනව හරි බඩට දාගත්තනම් ඇති,දුෂ්කර පළාත්වල සේවය කරද්දි ඔය ගුණාංගය සෑහෙන උදව්වක් උනා,

    ඒත් ඔයා කෑම ගැන ලියපුවා කියවන්න ආසයි,ආය භාරතය පැත්තෙ යනකල් ලංකාවෙ එහෙ මෙහෙ ගිය විස්තර වත් ලියන්න,

    ReplyDelete
  8. ඉස්සර අපි නුවර මුල්ගම්පොල නැෂනල් බේකරියේ රෝස් පාන් කනවා. හොද්දක් එක්ක කන්න ඒ තරම් රස රෝස් පාන් මම වෙන තැනක නම් දැකලම නෑ. දැන් ඒ බේකරියත් නෑ වෙන්න ඕන. අද තමා මම මේ බ්ලොග් එකට ආවේ. කියවලා බැලුවම අලි බඩගින්නක් ආවා...

    ReplyDelete
  9. @ ප්‍රියන්ත,

    අලි බඩගින්නට අලියෙක් කාලා මිසක් රෝස්පාන් කාලා හරියන්නේ නෑ ප්‍රියන්ත.

    ReplyDelete
  10. ඔය බත් පිඟානට බැදපු මිරිස් කරල් දෙක තුනකුයි,පපඩම් කෑලි ටිකකුයි එකතු උනානම් තවත් මරු.

    ReplyDelete
  11. ඔහොමම ඩුප්ලිකේෂන් පාර පැත්තට ආවා නම් කෙහෙල කොලේ දෙන [තරමක්] හොඳ බත්පතක් ගන්න පුළුවන්. සුපිරි ම නොවේ. රතු බතුත් නොවේ. හ්ම්ම්ම් රතු බත් තියේද කොහෙද.

    මං වැඩිය කාලා නෑ. අනික් එවුන් තමයි කන්නේ. මට ඇඹුල ලැබෙනවා ගෙදර මනුස්සයට පින් සිද්ධ වෙන්න.

    ReplyDelete
  12. පොඩි බඩගින්නට සුපර්

    ReplyDelete