Saturday, February 5, 2011

මිහිරයි මමයි බින්දුමතියි


අපි පොඩි කාලේ රසවින්ද කාටූන් , ත්‍රාසජනක ටෙලි කතා , හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍ය ගැන මෑතකදී පිස්සා බ්ලොග් පෝස්ට් කීපයක් ලියලා තිබුණා. ඒ මතක ඔස්සේ යද්දී මට මතක් වුණේ ඒ කාලෙ රසවින්ද ළමා පත්තර ගැන යමක් ලියන්න ඕනෙ කියලා .

ටී .වී එකේ යන ළමා පත්තර දැන්වීම් දැක්කම හිතෙනවා  දැන් නම් ගොඩක් ළමා පත්තර පලවෙන්නෙ ශිෂ්‍යත්ව විභාගෙට ළමයි පුහුණු කරන්නද කියලා. මොකද එවායේ පලවෙන වෙනත් ලිපි , කතා ගැන සඳහනක් නැති තරම් .හැමතිස්සෙම කියන්නෙ පත්තර එක්ක ලැබෙන ප්‍රශ්න පත්තර පොත් කට්ටල ගැන .  එතකොට මට මතක්වෙන්නෙ මිහිර පත්තරේ පලවුණ "බින්දුමතී" කතාව.

තුනවසරේ ඉන්දලා  හත වසර විතර වෙනකන්ම මම නොකඩවා "මිහිර" කියෙව්වා. හැම සඳුදාම "මිහිර " එනකන් මම හිටියෙ නොඉවසිල්ලෙන් . ඒ කොටස් වශයෙන් පලවුණ "බින්දුමතී" කියවන්න. බින්දුමතී දුප්පත් දක්ෂ ගෑනු ලමයෙක් . අම්ම විතරයි එයාට හිටියේ. අම්ම රබර් කට්ටියේ කිරි කපලා දුවට උගන්වනවා. ගමේ පාසලේන් ශිෂ්‍යතවය සමත්වෙලා   සුදුවැල්ල ම්ධ්‍ය මහ විද්‍යාලයට  යන්න  බින්දුමතී ගමේ ඉඳන් ගොඩක් දුර පයින් යද්දී සපත්තු දෙක ඉක්මනට ගෙවෙන එක වලක්වන්න සපත්තු අතින් අරන්  පයින් ඇවිදගෙන ගිය හැටි කතාවෙ තිබුණ විදිය මට මතකයි. දුප්පත් වුණත් බින්දුමතී  දුර්වල යාලුවන්ට ඉගෙන ගන්න ගොඩක් උදව් කළ ළමයෙක්.එයා කිසිම වෙලාවක තමන් දුප්පත් කියලා ඉගෙනීම අතරින්නෙ නැහැ.අන්තිමට එයා ඉගෙන ගත්ත පාසලේම ගුරුවරියක් විදියට සේවයට යන එකෙන් තමයි කතාව සමාප්තවුනේ.ඒ සමාප්ති සටහනේ තිබුණේ මෙතෙක් කල් ඔබේ ලමා ලෝකයේ හිටිය බින්දුමතී අද පටන් වැඩිහිටි ලොවට පිවිසීමත් එක්ක මේ කතා මාලාව නිමා වෙනවා කියලා .  මිහිරෙ මුල්පිටුවෙ තියෙන බින්දුමතී  ලිව්වෙ සිරිල් සී පෙරේරා මත්තයා. මුලින්ම පත්තරේ අතට ගත්තු හැටියෙම රස කෑමක් කනවා වගේ මම බලන්නෙ බින්දුමතී කතාව.ඒ තරම් ලමයින්ට රසවත් ආකාරයට කතාව ලියැවිලා තිබුණා.ඒ කාලෙ තිබුණ විජය වගේ පත්තර අබිබවා  මිහිර පත්තරය වටා විසාල ළමා පාඨක පිරිසක් රොක්වෙන්න බින්දුමතී හේතුවුණා කියලා මට හිතෙනවා. මොකද මගේ පන්තියෙ යාලුවො ගොඩක් බින්දුමතී කියවන්න මම වගේම නොඉවසිල්ලෙන් හිටි අය .

මිහිරෙ ගිය කාටූන් අතරින් මම ආසාවෙන් බැලුව "බට කොල ආච්චී " සහ "පුංචිත්ත" කතන්දරත් මතකයි . බටකොල ආච්චි නිතරම නපුරු වැඩ කල මායාකාරියක් වුණත් "බූ බබා" ඒ නපුරු වැඩ වලින් අනික් අය බේරගන්න උත්සාහ කල කෙනෙක් .පුන්චිත්තා එක්ක එයාගෙ තනියට එහෙ මෙහෙ ගිය , නිතර එයා කතාබස් කරන බලු කුක්කෙකුත් හිටිය බව මතකයි. ඉන්ටර් නෙට් නොතිබුණ ඩිස්කවරි ගැන අහලාවත් නැති  ඒ කාලේ ඇල්ප්ස් කඳු , පිරමිඩ සහ පාරාවෝ  රජවරු , හිමවලස්සු , හිමාලයේ යෙටී මිනිස්සු, අප්‍රිකාවේ වනාන්තර, ගැන  ඩැනිස්ටර් පෙරේරා කියල කෙනෙක් ලිව්ව කුතුහලය දනවන රසවත් ලිපිත් මට මතකයි .  එදිනදා සිදුවන  විද්‍යාත්මක සන්සිද්ධි රසවත්ව හරිම සරලව කතා අනුසාරයෙන් පැහැදිලි කරලා දෙන විශේෂාංගයක් මිහිරෙ තිබුණත් මට ඒකේ නම මතක නැහැ."කමලක්කාගෙන් අහන්න " යනුවෙන් පලවුණ හාස්‍ය මුසු කවි සහ කතා අතුලත් වුණ රසවත් තීරු සටහනකුත් මිහිරෙ තිබුණා.

විජය පත්තරේ පල වුණේ බදාදට වෙන්න ඕනෙ. විජය මිහිර තරම් මගෙ සිත්ගත්තේ නැතිවුණත් එකේ  තිවුණ පියල් උදය සමරවීර ලිව්ව "මකාගේ යලක්" එකේ නාහෙ මල් ඇටයක් හිරවෙලා නාහෙට උඩින් පිපුණ මලක් එක්ක හිටිය  මල් මාමා මට තාමත් මතකයි . එහාගෙදර චූටි නැන්දා කියෙව්ව විජය පත්තර මිටියක්ම ඒ වෙනකොට මට ලැබිලා තිබුණේ . විජය පත්තරේ කාලයක්ම මැදපිටුව පුරාම බොහොම ලස්සනට වර්ණ චිත්‍ර රාමු  එක්ක පලවුන කතන්දර පොත මතකද?. ඒ පිටුව වෙන්කරලා ඊතල වලින් දක්වලා තියෙන උපදෙස් අනුව කපාගෙන ඒ මේ අතට නැව්වම ලස්සන හුරු බුහුටි  පොඩි කතා පොත් පිංචක් ලැබෙනවා. එයින් මිටියක්ම මාගාව තිබුණා විජය පත්තරෙත් එක්ක චූටි නැන්දාගෙන් ලැබිලා. ඒවා ඉස්කෝලෙ ගෙනිහින් යාලුවො එක්ක හුවමාරු කරන් කියෙව්වා මතකයි .

ඔය කාලෙ මිහිරක් රුපියල් තුනක් විතර වගේ .කොහොමහරි පත්තරේ ගන්න අම්මගෙන් හරි තාත්තගෙන් හරි රුපියල් තුනකුත් ඉල්ලගෙන සඳුදා වෙනකන් ඉන්නෙ පුදුම නොඉවසිල්ලකින් .  සඳුදාට ඉස්කෝලෙ ඇරිලා අවිත් බත් ඇටේ හරස්වෙන්න කලින් හන්දියෙ පත්තරකඩේට දුවලා යන්නෙ මිහිරක් ගේන්න .
අපේ ගමටම තිබුනෙ එකම එක  පත්තර කඩයයි ඒ දවස්වල . ඒ "මැම්බර්ගේ කඩේ"  කියල හැඳින්වුව ලේක් හවුස්, ලංකාදීප  සහ උපාලි පුවත්පත් අලෙවි නියෝජිතයන් හැටියට කටයුතු කල  හාල් සිල්ලර බඩු විකිණුව කඩයක්. සඳුදා අපේ ගමේ පොල දවස .ඉතින් හාල් සිල්ලර බඩු ගන්න උදවියත් මැම්බර් කඩේ පිරිලා . යන්තම් කඩ බක්කියට උස නැතිව අතේ රුපියල් තුනකුත් මිට මොලවගෙන ඉන්න මාව කඩේ බඩු කිරන අය ඒ තරම් ගනන් ගන්නේ නැහැ.ඒ නිසා ටිකක් වෙලා යනවා පත්තරේ ඉල්ලගන්න .ටිකක් ලොකුවෙනකොට මම කලේ කෙලින්ම 'මැම්බර් සීයගේ"  මේසේ ගාවට යනවා රුපියල් තුනත් මිට මොලවගෙන . උන්දැ උස, හීන්දෑරි, සුදු ,මනුස්සයෙක් . වැඩි කතා නෑ. මේසෙකුයි පුටුවයි තියාගෙන වාඩි වෙලා ඉන්නවා.මේසෙ උඩ ඔක්කොම පත්තර ජාති අතුරලා තියෙනවා. මේස ලාච්චුවේ සල්ලි තියෙනවා. උන්දැගේ පිටිපස්සේ  ලස්සන දම්පාට වතුර බෝතල් පිරෙව්ව රාක්කෙකුත් තියෙනවා. අමුතු සැර සුවඳකුත් පැතිරෙනවා. ඒ සුවඳට එක්වුණ අලුත් පත්තර සුවඳ නාහෙට දැනෙනකොට හරි අපූරුයි . පස්සෙයි මම දන්නෙ මැම්බර් කඩේ පත්තර , සිල්ලර වලට අමතරව වයින් ස්ප්‍රීතු විකිණුවා කියලා. මට හදිස්සියෙන්වත් සඳුදට මිහිර පත්තරේ ගන්න මග ඇරුණොත් අනිවාර්යෙන්ම පස්සෙ දවසක මැම්බර් කඩෙන් මට ඒ  පත්තරේ  ලැබුණා. ඉතින් සල්ලිටික දීලා ඉක්මනට මිහිර පත්තරෙත් ඩැහැගෙන හැල්මෙ ගෙදර දුවන් එන්නෙ රටක් රාජ්ජයක් ලැබුණ වගේ සතුටින් .

ඔහොම අවුරුදු ගනනාවක් එකතු කරපු ,රසවින්ද මිහිර පත්තර මිටියක්ම අපේ ගෙදර තිබිලා පස්සෙ කාලෙක විසිකරල දැම්ම . දැන්නම් මිහිර මොනවගේද කියන්න මම දන්නේ නැහැ. කාලෙකින් මිහිර පත්තරයක් දැකලා නැහැ.ඒත් මිහිර එක්ක ගෙවුණ මගේ ළමා මතකයන්නම් බොහොම මිහිරියි  කියලා හිතෙනවා.

ප/ලි
බින්දුමතී කතාව ආයෙත් කියවන්න ආසයි .මේක පොතක් හැටියට පලවෙලා තියෙනවද? . දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ තොරතුර දෙන්න .ඔයාලත් කැමතිනම් මිහිර , විජය එක්ක තිබුණ රසවත් මතක කියන්න පුලුවනි . ඔය උඩින් තියෙන මිහිර පත්තරේ පින්තූරෙ ගත්තේ ලේක් හවුස් වෙබ් පිටුවෙන් . එතකොටයි දන්නෙ මිහිරට අවුරුදු හතලිස්පහකුත් පිරිලා කියලා .දැන් පත්තරයක් රුපියල් පහලවයි .කාලෙ ගිය ඉක්මන !

Saturday, January 29, 2011

සිකුරාදාට හැදෙන අලි බඩගින්න !



සිකුරාදා කියන්නෙ සතියෙ වැඩ රාජකාරි සේරම ඉවර කරල යන්තන් හුස්මක් ගන්න ගෙදර යන දවසනේ. එදාට ටිකක් කලින් ගෙදර යන්න පුලුවන් නම් තවත් හොඳයි .ඒත් එහෙම වෙන්නෙ හාවා හඳ දකින්න වගේ හරිම කලාතුරකින් .


ඒ මදිවට හැම මාසෙම සිකුරාදාවල් කීපයකදී මට අලි බඩගින්නකුත් හැදෙනවා.ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි . හැම මාසෙම දවස් හත අටක් රාජකාරි කටයුතු වලට මට කොලඹ ප්‍රධාන කාර්යාලෙට වාර්තා කරන්න වෙනවා . එහෙම වුණහම ඉතින් ස්ටෆ් ක්වාටර්ස් එකෙ රැයක් දෙකක් ලගින්න වෙනවා . මොකද ඔය වැඩ ටික ඉවර කරගන්න සතියෙ බදාදා කොලඹට ගියහම ආයෙ ගෙදර එන්න වෙන්නෙ සිකුරාදා හවස් කරේ. එහෙම වුණහම අලි අමාරුවක වැටෙන්නෙ කටට රහට කෑම ටිකක් නැතුව . ඒ කියන්නෙ සුපුරුදු රතු කැකුළු බත් , පොල් සම්බල්, මාලු , එලවළු , කොල මැල්ලුම් , කිරිහොදි වගෙ දෙවල් කන්න ලැබෙනවා බොරු . පොල් , එළවළු , මාලු , එහෙම ගිණි ගනන් කාලෙක ඕවා සුපිරි කෑම බව හැබෑව .ඒත් මම ඉතින් තුන් වේලටම බත් කන්න පුරුදු මනුස්සයනේ. ඉතින් කොලඹට සේවයට ගියහම හිතේ හැටියට රතු බත් කටක් කෑව බොරු.මගේ ඔෆිස් එක වටේම තියෙන්නෙ විච්චූරණ නම් ගම් තියෙන සුපිරි චීන , ඉන්දියන් , තායි කෑම කඩ වල මගේ ටේස් එක නැහැනේ.එතකොට ඉතින් උදේට පෙරේරා සහ පුත්තුන්ගෙන් පිටි ගුලියක් ගිලිනවා.එහෙම නැත්නම් මැගී එකක් ම්යික්‍රො වේව් එකේ දාලා හදාගන්නවා. දවල්ට පෘට් ජූස් බොනවා.ලොකු බඩගින්නක් නම් ඉතින් ඔය තායි , චීන , ඉන්දියන් කඩේකින් තෙල් ගොඩගහපු ටේක් අවේ පැකට් එකක් ගෙනිත් ඔෆිස් එකේ කා එක්ක හරි බෙදාගෙන කනවා.රැට නම් හරිම අමාරුවක වැටෙන්නෙ . ඔය ඔක්කොම කඩවල රෑට බෙහෙතකටවත් බත් එලවලු මාලු නැහැනේ. ඉතින් ඔය පිට්ටු ආප්ප ඉඳි ආප්පවල පිහිට තමයි . ඔහොම රෑ දෙකක් ගෙවිලා සිකුරාදා වෙනකොට හොඳ ගනන්. එදාට ඉතින් හිතෙන්නෙම ඉක්මනට වැඩ අහවර කරලා ගෙදර ගිහින් රතුබත් කන්න.


ඔහොම හිතලා දවල් කෑමත් නොකා දොලහමාරට විතර වැඩ ඉවර කරන්න ගිනි කසයා වගේ වැඩ කරනවා දවල් කෑම අමතක කරලා .දොලහමාරට විතර කොලඹින් පිටත්වුණොත් කලුතර පැන්නට පස්සෙ කඩේකින් හිතේ හැටියට රතු බත් කටක් කන්න පුලුවන් .අනේ ඉතින් මේ සිකුරාදාත් , ඒ කියන්නෙ ඊයෙත් මම ඔහොම හිතලා වැඩ කොලාට මොකෝ ඔෆිස් එකෙන් පිටත්වෙනකොට හවස තුනහමාරත් පැනලා.ඔක්කොම වැඩ ඉවර කලත් ලොක්කි මුණගැහිලා සේරම දේවල් වලට එයාගෙ අත්සන් අරගෙන ෆයිල්ස් බාරදෙනකොට දන්නෙම නෑ වෙලාව ගිහින්. පිටත්වෙනකොට බඩ පණුවො පිනුම් ගහනවා ඒත් ඉතින් මේ වෙලාවට බත් හෙව්ව බොරු .මගේ රියදුරාටත් වැඩි දවසට මේ සන්තෑසියමයි වෙන්නෙ . සතියෙ දවස් පහම කොලඹ නේවාසික වෙලා ඉඳලා වැඩි දවසට ඉක්මනට ගෙදර යන්න මගේ වාහනේ එල්ලෙන හුස්නි සහෝදරයාත් එහෙමයි . ඉක්මණට අපි එක්ක ගෙදර යන්න මිනිහත් ලන්ච් නොගෙනම වැඩ ඉවර කරනවා .අන්තිමට බඩගින්නෙ .


ඉතින් අපි බඩගිණි කාරයෝ තීරණය කොලා මොරටුව පැන්නම තියෙන හරි හමන් කඩේකින් උණු පාණුයි , මාලු හොදියි කාලා ප්ලේන්ටියක් වත් ගහන්න ඕනේ කියලා. ඔය අතරේ මොරටුව පහුකරද්දී මාදැලක් ඇදලා අලුත්ම හාල්මැස්සො , පැන්නො ලාබෙට විකුණනවා. අපිත් නවත්තලා හාල් මැස්සො එහෙමත් අරගෙන ගෙවල් වලටත් කෝල් දුන්න රතු බත් උයලා පොල්සම්බල් හදලා තියන්න කියලා .


"අලුත් මාලු ටික , ගිහින්  හොදි හදාගෙන උණු උණුවෙන්ම කන්න පුළුවනි" කියලා හුස්නි කියනකොට හැමෝගෙම කටට කෙල උණලා බඩගිණි දෙගුණ වුණා.


ඉතින් පානදුර හරියෙදී පාන් කන්න කඩයක් සොයාගන්න අපි තීරණය කළා. ඒත් ගොඩක් කඩවල් වල හවසට පානුයි හොදියි දෙන්න කඩකාරයෝ කැමති නැහැනේ. ඔන්න ඉතින් යූ ටර්න් එකකුත් ගහලා අපේ වාහනේ නැවත්තුවා උනු පාන් , උනු උනු සුප්, දැන් බෑව ආප්ප, එන්න කන්න කොත්තු වගේ ආකර්ෂණීය පුවරුවක් එහෙම තිඹුන තැනක . හුස්නි බැහැලා ගියා බලන්න . ඔන්න ගිය පයින්ම එනවා තාම හොදි හදලා නැහැ කියාගෙන . "මුන්ගේ බෝඩ් ලෑලි මොන මගුලකට ගහනවද මන්දා" කියලා බණිමින් මගේ රියදුරා වාහනේ සැර දැම්ම .තරහටත් එක්ක දැන් මර බඩගිනියි තුන්දෙනාටම .ඔහොම ගිහින් ආයෙත් නැවත්තුවා ලොරි එහෙම නවත්වලා තියෙන කන්න බොන්න තියෙනවා කියලා හිතුව පොට් එකක . මෙන්න ආයෙත් කෑම ගැන විපරම් කරන්න ගිය මිනිහා එනවා ගියපයින්ම "කඩේ එකාගෙ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා, පානුයි හොදියි ඇහුවම කොත්තු කන්න කියනවා ඒකා" කියමින් .


අන්තිමටම බඩගිනි වැඩි කමට වාද්දුවේ පාන් බනිස් තියෙන , රෑ කෑමට කොත්තු හදන කඩේක නැවැත්තුවා මොනවහරි කන්න . කට්ටියම බැස්සා.
"අඩේ දවල් බුෆේ එකේ කෑම වලන් එහෙමත් තියෙනවා නේද ?"
"සමහර විට බත් ඇති. ඒ නැතත් මාලු හොදි තිබුණොත් පාන් කන්න පුලුවනි "
ඔහොම කියලා කඩේට ගොඩවුණ මම හට්ටි වලන් අරිද්දී අනික් දෙන්න රෝස් පානුයි මාලුරි කන්න ඕනෙමයි කියලා කඩේ මල්ලිට තදින්ම කියා හිටියා .
" මහත්තයා රෝස් පාන් කන්න පුලුවනි , මාලු නම් නැහැ තාම රෑට ඉව්වෙ . දවල් මාලු හොදි තමයි තියෙන්නෙ "මළයා කියනවා .
"බත් කන්න නම් නැහැ.ඒත් මාලු හොදි හොන්දයි පිනුල් වෙලා නෑ".හට්ටි වලං ඇරිය මම කිව්ව
"එහෙනම් මල්ලි දෙන්න රෝස්පානුයි , මාලු හොදියි , ආ තව සුප් තුනකුත් දෙන්න" අපි ඕඩරේ බාරදුන්න.
අපි තුන්දෙනා ඔය ඔක්කොම එක්ක පලමු වටයට රෝස්පාන් පහකට වගකිව්ව. මලයට කියලා තව රෝස්පාන් හතරකුත් ගෙන්න ගත්තා.ඔය අස්සේ මගෙ රියදුරා පොල් සම්බල් ටිකක් ගන්න පුලුවන්ද කියලා විපරම් කළත් කඩේ මළයා කිව්වෙ ඉතිරි පොල් සම්බල් උදේ හදපුවා නිසා කන්න එපා කියලා . දසවැනි රෝස් පාන් එකටත් වග කියලා වැඩේ අහවර කරන්න හිතුවත් කඩේ මළයා කිව්වා ශෝ කේස් එකේ තිබුණ ඔක්කොම රෝස්පාන් පිඟානම ඉවරයි කියලා.
හායි හූයි කියලා මාලු හොදි එක්ක පාන් කාලා සුප් බීලා , ප්ලේන්ටී වලටත් වග කියලා බිලත් ගෙවලා යන්න කලින් මළයට ස්තුති කරන්නත් අපි අමතක කලේ නැහැ. අපේ කෑමෙ විලාසෙට මලය හිතන්න ඇති අපි ඉතියෝපියාවෙන් ගොඩබැහැලා කියලා.
"හම්මෝ දැන් තමයි මට පණක් ආවේ" ගමන පටන් ගන්න ස්ටීයරින් වීල් එකට අත තිව්ව මගේ රියදුරු කිව්ව.
දැන් අපි නවත්තනකොට තිබුණ පොද වැස්ස තරමක් වේගෙන් වහිනවා.වාහනේ ගමන ස්ලෝ වෙලා වැස්ස නිසා .
"හොඳ වෙලාවට අපිට කෑම කන්න ලැබුනේ , නැත්නම් මෙහෙම ස්ලෝ වෙවී වැස්සේ ගාට ගාට පානුයි හොදියි කන්න කඩ හොයලම මහමග බඩගින්නෙ නහින්නයි අපිට වෙන්නෙ "
හුස්නි කිව්ව විදියට අපි ඔක්කොටම හිනා


ප/ලි
මම ගෙදර එනකොට රෑ හතහමාර විතර ඇති. රතු බතුයි , පොල් සම්බලුයි හදලා තිබුණේ .ඉක්මණටම ගෙනාව හාල් මැස්සො හොදි හදලා බත් පිඟානක් කෑවම තමා අලි බඩගින්න නිවුණේ .

Saturday, January 1, 2011

ජාඩියට මූඩිය – ....ජාඩි ...ජාඩි...ජාඩි


ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑගෙන , ගැලපෙන එහෙම නැත්නම් අදකාලෙ භාෂාවෙන් කියන්නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ .


මොනවද හැබෑටම ජාඩි කියන්නෙ ? මේ දකුණු පලාතේ මුහුදුකරේ ගම් වල අති ප්‍රසිද්ධ කෑමක් . ජාඩි කන්නත් , ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය , දොඩන්දූව ,රත්ගම ,ගිංතොට , අහංගම වගෙ ගාල්ල, මාතර පලාත්වල. ජාඩි හදන්නෙ මාලු වලින් .ඇත්තටම කිව්වොත් මේ මාලු කල්තියාගන්න සරල ක්‍රමයක් .වැල්ලකරේ ගම් වල මාලු අතිරික්තයක් තියෙන කාලෙට ලුණුත් ගොරකත් දාලා මාලු කල් තියාගත්තා අවාරෙට එහෙම නැත්නම් අහේනි කාලෙට කන්න . ඒ කාලෙ මිනිස්සු මාලු හිඟ වුණහම අද කාලෙ වගෙ වෙලඳ ඇමතිට බැන්නෙ නැහැ නෙව .


ජාඩි ගැන මම දන්නෙ අපේ ගෙදරත් කාලයක්ම ජාඩි හට්ටියක් තිබුණ නිසා . ජාඩි හදාගන්නෙ මෙන්න මෙහෙම .මේකට ඔනෙ වෙන්නෙ


1. අලුත් මාලු – වැල්ලෙන් ගෙනාව ගමන් නම් වැඩිය හොඳයි . හුරුල්ල , කුම්බලා (බෝල්ලො කියලත් කියනවා), බලයා, අලගොඩුවා, වගෙ මාලු තමයි ගන්නෙ . මාලු හොඳට ලුණු වතුරෙන් හරි , මුහුදු වතුරෙන් හරි හෝදගන්න ඕනෙ.මාලු වල තියෙන වැලි ඉවත් වෙන්න සෝදා ගැනීම වැදගත්.ඊට පස්සේ මාලුන්ගේ ඔලුවත් බඩත් අයින්කරලා ලොකු මාලුන්ගේ නම් පෙති කපාගන්න




2. ලුණු කැට සහ වියලි ගොරකා යහමින් ඕනෙ වෙනවා


3. පිරිසිදු වියලි ලොකු මැටි මුට්ටියක් අරගෙන ලුණු ගොරක තට්ටුවක් අතුරලා , මාලු පෙති හෝ මාලුවන් කීපදෙනෙක් තියන්න . දැන් ඊට උඩින් ආයෙත් ලුණු ගොරක අතුරලා ආයෙත් මාලු තට්ටුවක් අතුරන්න . මෙහෙම ඔක්කොම මාලු අතුරලා ඉවර වෙලා මුට්ටියෙ කට හොන්දට කඩ වැස්මකින් බදින්න . ඊට පස්සේ වතුර නොවැටෙන , මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක මාලු මුට්ටිය තියන්න .දුම් මැස්ස තමයි මේකට හොඳම තැන .


මාසයක් විතර ගියහම මාලු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලුණු වල තියෙන ලවණ ගතියට මාලුවගේ ඇඟේ තියෙන වතුර ලුණු උරාගන්නවා . විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා . ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාලු නරක් නොවී තියෙනවා. මේ මාලු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුලුවන් . අවශ්‍ය තරම් මාලු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට දාලා , ඊට සෑහෙන්න රතුලූණු , හොඳ සැරට මිරිස් කුඩු , පමණට ලුණු (ලුණු දානකොට පරිස්සමෙන් මේව ලුණු මාලුනේ) , හායි හූයි කියන්න සැරට කොචිචි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ලිපෙන් බාගන්න ඕනෙ . ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම . මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුලුවනි ඔනෙ තරමක් . පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි . ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාල තැම්බුව කොස් , දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි . රතු බත් එක්ක , දෙල් කහ පොල් දාලා මලවලා , ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති දවල්ට බත් කන්න .


ඉස්සර ජාඩි කඩවල් වල විකුණන්න තිබිල තියෙනවා. ඒව තිබිල තියෙන්නෙ පීප්ප වල දාලා. ජාඩි මුදලාලිලත් ඉඳලා තියෙනවා. ඒකනෙ සින්දුවක් තියෙන්නෙ" ඇරපිය ලුසිය දොර ජාඩි කඩේ ජෙමා මම" කියලා. ජාඩි හදන්න අති ප්‍රසිද්ද දොඩන්දුවෙ , බලපිටියෙ පැරැන්නො සුලුප්පු යාත්‍රා වල නැගිල ලුණු ගොරක එහෙමත් අරෙන ඉන්දියාවෙ තූත්තු කුඩි වරායට ගිහින් එහෙන් මාලු අල්ලන් ජාඩි කරලා ඒව පීප්ප වල දාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලාදොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ශය මුල කාලෙ .


මේ ගාල්ල මාතර වැල්ලකරේ ජාඩි කොයිතරම් ප්‍රසිද්ධ කෑමක් ද කිව්වොත් ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කරුවල ගෙදර , අපේ ගම , උපන්දා සිට පොත් වල එහෙමත් සඳහන් වෙනවා මට මතකයි. කරුවල ගෙදර පොතේ සිරිමල් කරුවල ගෙදරගේ මල්ලි නිමල් කියනවා වැල්ලකරේ ගම් වල ගෑණු බුලත් හපලා මැදුන කටට රහ හොඳින් දැනෙන්නෙ හොඳට කොච්චි මිරිස් දාලා ජාඩි හොදි කනවා කියලා . වතුර වැටුනොත් , එහෙම නැත්නම් මාලු පරණ වුණොත් ජාඩි හට්ටියෙ පණුවො එකෙක් දෙන්නෙක් හැදෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. . ඒත් සමහර පැරණි උදවිය කියන්නෙ ඒක එතරම් හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි , පණුවො රස වැඩි කරනවා කියලා. මට මතකයි දවසක් ඔය ජාඩි ගැන කියාදෙන්න ගිහින් කොලඹ පැත්තේ යාලුවන්ට ඔය පණු කතාව කිව්වම ඒ හැමෝම ඊය මල ජරාවක් කිව්ව .හැබැයි ඒ නිසා ජාඩි පහත් කරලා සලකන්න ඔනෙ කෑමක් නෙවෙයි .එහෙමනම් අද කාලෙ අපි මොන තරම් වස විස කනවද උජාරුවට සල්ලිත් දීලා.ඒ එක්කම ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ ලුණිජ්ජ කියලා . අහල තියෙනවද මේ ගැන.ලුණිජ්ජ කියන්නෙ මාලු, ලුණු , ගොරක එක්ක පදම් වෙනකොට හට්ටියේ එකතුවෙන දියරෙට . ලුණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි . පොලොස් ගැට ,කෙසෙල් මුව උයද්දි ලුණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා , දෙහි දානකොට ලුණිජ්ජ ටිකක් එක්කලහම හරි රසයි .


ජාඩි කන්න ආස කෙනෙක් ඉන්නවනම් ඉතින් හදාගන්න වෙනවා. එහෙම නැත්නම් ගාලු මාතර පාරේ යද්දි කොස්ගොඩ තියෙන සංචි ජාඩි බත් කඩේට ගොඩවුණොත් ජාඩි එක්ක බඩ පිරෙන්න බත්කාලා, ජාඩිත් , ලුණිජ්ජ බෝතලේකුත් මිලට අරන් යන්න පුලුවණි . මම මෙතැනට තාම ගිහිල්ල නැතත් අපේ තාත්තනම් කැමති බත් කඩයක් . එහෙමත් නැත්නම් දොඩන්දූව , බලපිටිය , ධීවර වරාය වලින් විපරම් කලොත් ඒ කිට්ටුව ඉන්න ජාඩි දාන ධීවරයන්ගෙන් ජාඩි මිලට ගන්න පුලුවනි . ඒ පලාත්වල තාමත් පැරණි උදවිය මේ කර්මාන්තෙ සුලුවට කරනවා . සුපර් මාකට් හරි සිල්ලර කඩවල හරි ජාඩි විකුනන්න තියෙනවා තවම මම දැකලා නැහැ. අදකාලෙ නවීන පන්නෙට හැදුන උදවියට ජාඩි රහ නොදැනුනත් මේ අපේ ගම් වල හොඳ කෑමක් .


ප/ලි
ජාඩි කාල තියෙනවනම් ඒ ගැන විස්තර දන්නව නම් ලියන්න.මේ සටහන ලියන්න සමහර දේවල් අහගත්තේ අම්මගෙන්.මේ සටහනමෙතැනිනුත් කියවන්න පුලුවනි.

Monday, December 27, 2010

රාජස්තාන් සැරිසර මතක සමාප්ති සටහන -ජෝද්පූර්... කබි අල්විද නා කෙහෙනා...

Umed Bhawan



Umed Bhawan inside

On the way to Meherangar Fort

Mirror Galary -Meherangar Fort

A victory Gate - Meherangar Fort

Rao Jodha founder of fort


Folk musician inside the fort






අපි ජෝද්පූර්වලින් බහිනකොට පහුවෙනිද උදේ හයට විතර ඇති. මම උෂත් එක්ක එයාගේ කාර්යාලයට ගිහින් තව පැයදෙකක් විතර නිදා ගත්තා. රැස්වීම් සාලාවක් හැටියට පාවිච්චි කරන උඩු මහලේ බිම අතුරල තියෙන පලස් උඩ පැදුරක් දාගෙන , උණුසුම යන්න ඔක්කොම ජනෙල් දොරවල් ඇරල සැප නින්දක් නිදාගෙන ඇහැරුණේ උදේ අටට විතර .ඔෆිස් එකේම නාන කාමරේට ගිහින් හොඳට නාගෙන අඳුම් ටිකත් හෝදලා දැම්ම . මම දැන් ඉන්දියානු ගමන් වලට හොඳට පදම් වෙච්ච නියම සංචාරකයෙක් .මේ සැප්තැම්බර් විසිහය වෙනිදා. මම රාජස්තානයේ ඉන්න අන්තිම දවස . එදාම හවස හතයි විස්සට තියෙන මන්දෝර් එක්ස්ප්‍රස් කෝච්චියෙන් මම නවදිල්ලි යන්න ඕනෙ පහුවෙනිදා ලංකාවට යන්න . ඉතින් උදේ නවය වෙනකොට ලහි ලහියේ ලෑස්ති වුණා ජෝද්පූර් සිරි විසිතුරු බලන්න යන්න . ඌෂට කාර්යාලයේ රාජකාරි වැඩ යෙදිල නිසා මම එයාව ටුවර් ගයිඩ් කමින් නිදහස් කලා .ඒ වෙනුවට මග පෙන්වන්න එයාගේ නංගි සෝණු කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා . ගමන පිටත්වෙනකොට උදේ දහය විතර වුණාට තද හිරු එලියෙන් මුලු නගරයම බබලනවා. ජෝද්පූර් ‘සන් සිටි' කියලා හඳුන්වන්නේ මේ නිසා වෙන්න ඕනෙ.


සෝණු රික්ශෝ රියදුරන් සමග හෙට්ටු කරමින් කොහොම හරි මාව ජෝද්පූර් නගර මාලිගාවට එක්කගෙන ගියා .”උමේඩ් භවන්” කියල හඳුන්වන මේ සිටි පැලස් එක තියෙන්නෙ ජෝද්පූර් නගර මායිමෙන් කිලෝමීටර දෙකක් විතර ඈත පොඩි කඳු ගැටයක .මහරාජා "උමේඩ් සිං" විසින් දහ නවවැනි ශතවර්ෂයේ (1929-1943 ) ඉදිකෙරුව මේ මාලිගාව ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් අති නවීන මාලිගා අතරට එකතු වෙනවා.


මුලින්ම මම ඇතුල් වුනේ "සභා නිවාස්" ශාලාවට .මේ මහා මන්දිරයේ ආකෘතියක් සහ එහි හිමිකරුවන් වූ මහරාජා වරුන්ගේ ඉතිහාසය , ජීවන පුවත් හෙලිකරන අගනා ඡායාරූප , ගෘහ භාණ්ඩ එකතුවක් මෙහි තියෙනවා. Henry Voughn Lanchester කියන එංගලන්ත ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා අතින් නිමවුන මේ මාලිගාව ගොඩනැගීම් කටයුතු වලට පන්දාහක් විතර සේවකයො සහභාගි වෙලා තියෙනවා . කාමර 300කට වැඩි මෙහි විසාල මැද මිදුල් කීපයක් තියෙනවා. මාලිගාවේ ගොඩනැගීම් කරලා තියෙන්නෙ කහ පැහැති විශේෂ ගල් වර්ගයකින් . බදාම යොදාගෙන නැහැ බිත්ති බඳින්න . හැම කාමරයකම උෂ්ණත්ව පාලනය කරන ස්වභාවික ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා .පෝලන්ත ජාතික ශිල්පියෙක් මාලිගාවෙ ඇතුලත අලංකරණය කරලා තියෙන්නෙ . මහරාජා වරු පරිහරණයකල බඩු භාන්ඩ ඔවුන්ට විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලද තෑගි ප්‍රදර්ශනයට තබා තිබුණා . මේ මාලිගාවේ ඇති සියලු අංගෝපාංග ප්‍රකට කල කරුණක් වුනේ මේ නව පරම්පරාවේ මහරාජා වරු බ්‍රිතාන්‍ය සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වපු වග . මුලු මාලිගා බිම අක්කර 26 විතර වෙනවා. අලංකාර තණබිමකින් යුත් උද්‍යාන බිමක මාලිගාව පිහිටල තියෙන්නෙ . මාලිගාවෙ එක් කොටසක් බොලිවුඩ් හා හොලිවුඩ් නලුනිලියන් නවාතැන් ගන්න සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කරලා. කොහොම වුණත් මම දුටු නගර මාලිගා තුනෙන්ම මම වඩාත් කැමති අතීත ශ්‍රී විභූතිය විදහාපාන උදයපූර් මාලිගාවට.


"උමේඩ් භවන් "වලින් සමුගත්ත මම ඊලඟට ගියේ "මෙහෙරාන් නගර්" බලකොටුව බලන්න . මේ බලකොටුවට පිහිටල තියෙන කඳුගැටයට යන්න තියෙන්නෙ ජනාකීර්ණ පටු පාරක් දිගේ . පාරදිගේ ඉදිරියට යනකොට මේ අති දැවැන්ත නිර්මාණය ක්‍රමයෙන් දිවෙනවා. බලකොටුවට ඇතුල් වුනහම එහි විශාලත්වය දුටු මට ඇස් අදහාගන්න බැරුව ගියා . තනිකර ගඩොලෙන් නිමවූ අහස උසට නැගුණ මහල් තල විසාල ගණනක් සහ අලි ඇතුන්ට වුවත් ඇතුල් විය හැකි දැවැන්ත ද්වාර හතක් සහිත අරුම පුදුම බලකොටුවක් . මේ ජෝද්පූර් වල ජය භූමිය සහ හදවත කිව්වොත් නිවැරදියි.


ජෝද්පූර් නුවර ගොඩනැගුව රතෝර් වංශයට අයත් වීරයෙක් වුන "රාඕ ජෝදා" විසින් තමයි මේ බලකොටුව ඉදිකිරිම පටන්ගත්තේ . ඒ 1459 දි.නමුත් මෙහි බොහෝ ඉදිකිරීම් නිමාකරල තියෙන්නෙ මහරාජා "ජස් වන්ත් සිං" විසින් දහසයවෙනි ශතවර්ෂයේදි. බලකොටුවෙ තියෙන ද්වාර හත හන්දුන්වන්නේ ජයග්‍රහණයේ ද්වාර (Jaya Poles -Victory Gates ) කියලා. ඒ ජෝද්පූර් වැසියන්ගේ අතීත යුධ ජයග්‍රහණ සිහි ගන්වන්න.


මෙතැන දෙස් විදේ සංචාරකයන් බොහෝදෙනෙක් ඇදී එන ජනාකීර්ණ හරිම සජීවී තැනක්. මධුර ස්වරයෙන් ගැයෙන් රාජස්තාන් ජන ගී අහන්න නම් මේ බල කොටුවට එන්න ඕනෙ . විසාල බෙරයක් හා නලාවක් වාදනයකරමින් මුනුණේ සුන්දර සිනහවකින් ජන ගී ගයන ගායකයාගේ රිද්මයට නටන්නෙ නැතුව ඉන්න මට බැරිවුණා. සෝණු තවමත් මට මේ ගැන විහිලු කරනවා. හිතේ හැටියට ඡායාරූප ගනිමින් පැරැණි ගඩොල් අතර මට කිමිදෙන්න දීලා සෝණු හිනාවෙවී බලාගෙන හිටියා ,බලකොටුව බලන්න ආව පාසලක පොඩිත්තෝ පෙලකගෙ රූ සටහන් කැමරාවට හසු කරගත් මම ඒවා ඔවුන්ට පෙන්වමින් සතුටු වුණා.ඒ අතරෙ ඇතුලෙ ඉන්න සපත්තු වෙලෙන්දෙක්ගෙන් රාජස්තාන් චපල්ස් ජෝඩුවකුත් ගත්තා. මේ බලකොටුවේ විශේෂ මතු මහල් තල කීපයක් තියෙනවා . ඒ මෝටි මහල් (pearl gallary) , ශිශ් මහල් (mirror gallary) , පූල් මහල් (flower gallary) සහ මහරාජගේ වාස භවන . මේ හැමතැනක්ම එකකකට එකක් නොදෙවෙනි රන් රිදී මුතු කැටයම් වලින් ඔප වුණ පැරැණි කලා ශිල්පීන් ගේ දස්කම් විදහ දක්වන සුන්දර නිර්මාණ . ඒ වගේම මහ විසාල ආයුධ ගැලරියක් , අතීත සිතුවම් එකතුවක් සහ තලප්පා ගැලරියක් මෙහි තියෙනවා. ඉන්දියාවේ සංචාරක කර්මාන්තය කොයි තරම් දියුණුද කිව්වොත් මෙහි එන සංචාරකයන්ට බලකොටුවේ හැම තැනක් ගැනම හෙඩ්ෆෝන් උපකරණ පාවිච්චි කරලා විස්තර දැනගන්න ක්‍රමයක් බලකොටුවෙ තියෙනවා. බලකොටුවේ ඉහලම මාලයේ බැල්කණියට ගිහින් ජෝද්පූර් නුවර නරඹද්දි මට හිතුනෙ මහරාජා සහ රාණි වරුන්ගේ අතීත කතන්දර ගොඩක් මේ මහා බලකොටුවේ පැරණි ගඩොල් අතර සැඟවිලා ඇති කියලා. ඒ වගේම අපේ ආසියාතික කලා ශිල්පීන් මොනතරම් දක්ෂ මිනිස්සුද කියන එකට මේ බලකොටුව හොඳ සාක්ෂියක්. ඇත්තටම මෙතනෙ හොඳින් බලන්න නම් මුලු දවසක්ම ඕනෙ. ඉර බැහැගෙන යන හැන්දෑවට මෙතැන හරිම ලස්සනයි කියලා සෝණු කිව්ව.


මෙහෙරාන් නගර් බලකොටුවට මම සමු දුන්නේ අකමැත්තෙන් .තව ටිකක් ඉන්න හිතුනත් අයේ හවස ජෝද්පූර් වලින් යන්න ලෑස්ති වෙන්න ඕනෙ. ආයෙමත් නගරෙට ගිහින් ප්‍රියා තාලි රෙස්ටුරන්ට් එකෙන් ලොකු රාවන් දෝස එකක් කාලා ලැසී වීදුරුවකුත් බීලා සෝණුට පොඩි තැග්ගකුත් අරන් ජෝද්පූර් නගර සිරි විසිතුරු බැලීම නිමා කරලා එනකොට හවස දෙකහමාරට විතර ඇති .


දැන් ඉතින් දිල්ලි යන්න සූදානම් වෙන්න ඕනෙ. ඔක්කොම බඩු මුට්ටු බෑග් එකට අහුරලා , නාලා , ටිකක් විවේක අරගෙන , සේරම පොටෝ ලැප් ටොප් එකට දාගත්තා. ‍යෝගේශ් ජී ඇතුලු කාර්යාලයේ හැමෝම එක්ක ආල්ලාප සල්ලාපයේ යෙදුන . මොකද ඊට කලින් දවසෙ මට ඒ අය කා එක්කවත් කතාකරන්න බැරි වුණානෙ . අපි ඔක්කොම හවස "කානා" අවන්හලෙන් ගෙනාව රස කැවිලිත් එක්ක ලංකාවෙන් ගෙනාව තේත් බිව්ව . ඒත් මගේ ජල්දී ජල්දී මිතුරිය ඌෂා තවම නැහැ. ඔන්න හවස පහමාරට විතර හති දාගෙන එයා එනවා . මම හවස යන නිසා ගොඩක් කලබල වෙලා. මට රාජස්තාන් ඔටු පවුලකුයි , දම්පාට ලස්සන කුරුතා රෙද්දකුයි තෑගි හැටියට ඌෂා ගෙනැවිත් තිබුණා. මගෙ ගමන් මල්ලෙ ඉඩ නැති නිසා ඔටු පවුල රෙදි උරයක දාල ගමන් මල්ලෙම ගැට ගහගත්තා. "දැන් නම් ඔයා නියම රාජස්තාන් වැසියෙක්" කියලා යෝගේශ් ජී හිනා වුණා.


මම ආයෙත් ඒ හැමෝටම ස්තුති කලා මට අමතක නොවෙන නිවාඩුවක් දුන්නට . ඌෂ , යෝගේශ් ජී එක්ක එයාගෙ වැගන් ආර් කාර් එකෙන් මාව ජෝද්පූර් ඉස්ටේසමට ඇරලවන්න ආව . සෝණු , රාජා එක්ක මෝටර් සයිකලෙන් ආවා. . මන්දෝර් එක්ස්ප්‍රස් කෝච්චිය නියමිත වේදිකාවෙ විනාඩි විස්සකට කලින් නතර කරලා තියෙනවා. මට ඔනෙ වුණා ඒ හැමෝම එක්ක පොටෝ එකක් ගන්න . ඒත් සෝණුත් , රාජත් ප්‍රමාදයි. ‍යන්තම් කෝච්චිය අද්දන්න ඉස්සර ඒ දෙන්න මොනවදෝ මල්ලක් උස්සගෙන ආවා. "මේ රස කැවිලි ඔයාට . සමු ගන්නකොට රස කැවිලි දෙන එක අපේ සිරිතක්" . යෝගෙශ් ජී ජන්තා ස්වීට් එකෙන් ගෙනාව රස කැවිලි මල්ලක් මගේ අතේ තිව්ව . ආයෙමත් ඔක්කොම සිප වැලඳගෙන සමු දුන්න මම කෝච්චිය අද්දන්න විනාඩි කීපෙකට කලින් පා පුවරුවට ගොඩවුණා. හැමෝම මට අත වනනවා. "කම් අගේන්" කියලා ඌෂා , රාජා සහ සෝණු කෑගහනවා. මම කෝච්චියේ සද්දෙ පරයමින් “කබි අල්විද නා කෙහෙනා” – නෙවර් සේ ගුඩ් බායි කියමින් ඔවුන් නොපෙනී යනතුරුම අත වැනුවා.


ප/ලි
මම අහස්ගව්වට ලිව්ව රාජස්තාන් සැරිසර මතක කතන්දර පෙල මෙතැනින් නිමාවට පත්වෙනවා. එදා මම මගේ මිතුරියට සමුදුන්නෙ නැවත උදයපූර් වලට එන පොරොන්දුවෙන් . ආයෙත් දවසක නිවී සැනසිල්ලේ රාජස්තානයේ රවුම් ගහන්න ඉඩ ලැබේවි කියලා මගෙ හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.

Saturday, December 25, 2010

රාජස්තාන් සැරිසර මතක – ජල්දී ජල්දී ජායිපූර්


city palace Jaipur

City Palace Jaipur

Jantar mantar

Hawa mahal in the night
Jal Mahal






අපි ජායිපූර් වලින් බහිනකොට වෙලාව පහුවෙනිද උදේ පහමාරට විතර ඇති. අපේ නවාතැනට ගිහින් කෙටි නින්දකට පස්සේ ඉකමනට නැගිටලා ඇඳ පැලඳගෙන මේ ලෑස්තිය ජායිපූර් නුවර බලන්න යන්න .හරියටම උදේ නවය වෙනකොට කලින් දැනුම් දීලා තිබුණ ටැක්සි රියදුරා ආවා.ඌෂා එයාට ඔක්කොම උපදෙස් දුන්නා. අපි ඌෂත් යෝගේශ් ජීත් රැස්වීමට යන්න "ඉන්ධිරා ගාන්ධි පන්චායතී රාජ් මධ්‍යස්ථානයෙන් බස්සලා ජායිපූර් නගර මන්දිරය නරඹන්න යන්න පිටත්වුනා . ජායිපූර් රාජස්තානයේ වාණිජ අගනුවර .උද්යපූර් සහ ජෝද්පූර් වල නොදුටුව විසාල ගොඩනැගිලි , මංමාවත් ,වාහන තදබදය ,KFC අවන්හල් ජායිපූර් වල දැකගන්න පුලුවන් . ඒත් ඒ හැම එකක්ම අබිබවා ගිය රාජ්පුත් වරුන්ගේ අභිමානයත් මේනුවර රැඳිලා තියෙන වග මම දැක්කා. ජායිපූර් ප්‍රසිද්ධ පින්ක් සිටි , රෝස නගරය නමින් . ඒකට හේතුව දහ අටවන සිඅවසේදී විතර මේ නුවරට ආව එංගලන්ත රජපවුලේ සාමාජිකයෙක් පිලිගන එවකට හිටිය මහරාජා මුලු නුවරම බලකොටු තාප්ප රෝසපාටින් පාටකරවපු නිසා.
ජායිපූර් නගරය ඉදිකෙරුවෙ දාහත්වෙනි සියවසේ දී එවක සිටි දෙවැනි ස්වායි ජායි මාන් සිං මහරාජා විසින් . වාස්තු විද්‍යාව , තාරකා සාස්ත්‍රය , සහ ගණිතය පදනම් කරගෙන ඔහු මේ නුවර ගොඩනැගූ බව තමයි ඉතිහාසයේ ලියවී තියෙන්නෙ .




ප්‍රධාන වීදිය දිගේ ජායි පූර් කෞතුකාගාරය පසුකරගෙන ජායිපූර් සිටි පැලස් , නගර මාලිගා චතුරශ්‍රයෙට ආවා. මහ විසාල මාලිගා අංගණයකට මැදිවුණ සභා සාලා , පරිවාර මාලිගා සහ , කෞතුකාගාරයක් එහි තිබුණා. නුවර වැවේ වලාකුලු බැම්ම සිහිගන්වන වලාකුලු හැඩැති ආරුක්කු සහිත දැවැන්ත පිවිසුම් ද්වාර මගෙ සිත් ගත්තා . මැද පිහිටි සාලාවක ජායිපූර් මහරාජා වරුන් පරිහරණය කල කඩු, කිණිසි, තෝමර , හෙල්ල , තුවක්කු වලින් සමන්විත ආයුධ එකතුවක් ප්‍රදර්ශනයට තබා තිබෙනැවා. ඒ එක්කම ටෙක්ස්ටයිල් ගැලරියක ඔවුන් පරිහරණය කල මල් ලියකම් වලින් අලංකාර වූ ඇඳුම් ආයිත්තම් සංරක්ෂණය කරලා තියෙනවා.මේ තැන් දෙක සංචාරකයන් ගේ සිත් ඇදගත් ස්ථාන .ගොඩක් විදේශිකයන්ට රාජස්තාන් වරුන් පලඳින වර්ණවත් තලප්පා කුහුල දනවන දෙයක් බවට පත්වෙලා . ඒ නිසා ඔවුන් වෙනුවෙන් තලප්පාව පලඳින හැටි කියා දෙන ටර්බන් ඩෙමොන්ස්ට්‍රේශන් එහෙමත් මාලිගාවේ සේවකයන් සිදුකරනවා . මාලිගාව පුරාඅ ඇවිදලා හති වැටුණ මම මහ විසාල මාලිගා අංගණයේ බංකුවක් උඩ වාඩිවෙලා මේ දිහා බලගෙන හිටියෙ පුදුම විනෝදෙන්.සමහර විදේශිකයො තලප්පාව පැලඳගෙන ඡායාරූපත් ගන්නවා.


වට පිට බලනකොට තමයි දැක්කේ මාලිගා පරිශ්‍රය ඇතුලෙ එක පැත්තක තියෙන ඇඳුම් ,අත්කම් භාණ්ඩ එහෙම අලෙවි කරන සාප්පු පෙල . මටත් කුහුලක් ඇතිවුණා ඒ පැත්තෙ කැරකෙන්න . විදේශිකයන් වෙනුවෙන් තියෙන මේවයේ බඩු මිල අධික වග ඌෂා මට කලින්ම කියලා තිබුණේ . එක සාප්පුවකට ඇතුල්වුණ මට අන්තිමට සිද්ධවුනේ සාපුව අයිතිකාරයත් එක්ක කතාවට වැටෙන්න . අන්තිමට මගේ ආගිය තොරතුරු විස්තර කරලා රාජකාරි කාඩ් පතකුත් දෙන්න වුණා. මේ සාප්පු හිමියාගේ නම "ඕම්". මට උවමනා එහි ඇති ඇඳුම් මෝස්තර බලන්න විතරයි කියලා කිව්වත් "ඕම්" නොපැකිලී ඔහුගේ සාපුවේ තියෙන බොහෝ සාරි සහ කුරුතා මට පෙන්වමින් ඒවයේ විස්තර වර්ණනා කලා . ඒ අතරේ මට චායේ බොන්න කියලත් ඇවිටිලි කලා . අන්තිමට චායේ කෝප්පෙකුත් හිස්කරලා ,පසුම්බියෙන් ඉන්දියන් රුපියල් දෙදාහකුත් වැය කරලා අම්මටයි , පොඩි නැන්දටයි සාරි දෙකකුත් , මට කුරුතා දෙකකුත් අරගෙන තම්යි සාප්පුවෙන් පිටවුනේ . මට ඔටු රංචුවක් ඉන්න ට්ෂර්ට් එකකුත් නොමිලෙ ලැබුනා. කොහොමද කස්ටමර් කෙයාර් වල තරම .


නගර මාලිගාවෙන් පිට වුණ මම ඒ අසලම තියෙන ලෝක උරුමයක් හැටියට නම් කරලා තියෙන "ජන්තර් මන්තර්" බලන්න ගියා . මෙතනෙ පුදුම උපදවන තැනක් . ග්‍රහ තරු විශ්වය ගැන කියාදෙන අතීත කලෙ ග්‍රහ ලෝකාගාරයක් වගේ තැනක් . අක්ෂාංස , දේශාංස පිහිටීම මනින ලොකු තැටියක් වගේ රවුම් උපකරණයක් , හිරු පෘථුවිය වටා ගමන් කිරීමේදී ශෘතු අතිවෙන ආකාරය , පෘථුවි බ්‍රමණය සමග පායන තරු රටා , රාශි චක්‍රය ගැන කියන උපකරණ ගොඩක් මෙහි තිබුණා. ජායිපූර් මහරජා වරු ග්‍රහ තරු ශාස්ත්‍ර ගැන ගොඩක් උනන්දුව දැක්වුව පිරිසක් කියලා මම මුලිනුත් කිව්වනේ .ඒ කිට්ටුවම තිබුණ පොත් හල වෙත මගේ සිත ඇදී ගියේ නිතැතින්ම . මේ පොත්හලේ කැරකිලා පොත් පිටු අතරේ රාජස්තානයේත් , රාජ්පුත් වරු සහ ජායිපූර් වල තොරතුරු සොයන්නත් ටික වෙලාවක් ගත්තා.ජායිපූර් මහරාජ වරු පෝලෝ ක්‍රීඩාවේ අති දක්ෂයන් වග මේ පොත් වලින් තමයි මම දැනගත්තේ .රාජතානයේ ගැමි දිවිය විදහා දැක්වෙන වර්ණවත් ඡායාරූප එකතුවක් සහිත පොත් මගේ හිත ගත්තත් ඒ ගැන ආසාව අතාරින්න වුණේ මිල වැඩි නිසා . රාජස්තාන් ජන ගී සහිත සී ඩී තැටියක් නම් ගන්න අමතක කලේ නැහැ.


හිතේහැටියට හැම තැනකම රවුම් ගහලා අන්තිමටම තීරණයකලා නගර මාලිගා චතුරශ්‍රයෙන් සමුගන්න . කාර් පාක් එකට යන්න තියෙන්නෙ ජනාකීර්ණ වීදියක් දිගේ . කඩල කාරයන් , අශ්ව කරත්ත කාරයන් , රික්ශෝ කරුවන් , විසිතුරු බඩු වෙලෙන්දෝ, මේ පාරදිගේ වැහි වැහැලා. මට මතක්වුණේ ගමේ පොලක්.එතන රූකඩ විකුණන මන්නුසයෙකුගෙන් මහරාජා සහ රාණිගේ රූකඩ දෙකකුත් අරගෙන මගේ කුලී රථය ගාවට ආවහම රියදුරා හිනාවෙනවා රූකඩ දෙකකුත් උස්සගෙන එන මම දැකලා.


“මැඩම් ඌෂාජී එස් .එම් .එස් , කෝල් “ කියල රියදුරා කිව්වා. ඔහුට ඌෂා එවලතිබුණ කෙටි පණිවුඩ පෙන්නුවා. මීටිමේ ඉන්න ගමනුත් ඌෂා මා ගැන වදවෙනවා. ඉතින් දන්න හින්දි කලවම් කරලා මම රියදුරාට කිව්ව “බොලෝ මැඩම් ජී මෙරා බොහොත් අච්චා” කියලා .රියදුරා ඌෂගේ උපදෙස් අකුරටම පිලිපැද්ද නිසා ඉසෙල්ලම දවල් කෑමට මාව “කානා” අවන්හලට එක්කගෙන ගියා. ඊලඟට මීටිම ඉවරවෙන වෙලාවට ආයෙත් “ඉන්ධිරා ගාන්ධි පන්චායතී රාජ් “මධ්‍යස්තානයට ගියේ ඌෂත් , යෝගේශ් ජීත් එකතුකරගන්න ..අපි ආයෙත් අපෙ නවාතැනට ගිහින් ටිකක් මහන්සි ඇරලා හවස සාප්පු සවාරියක් ගියා . එන අතරමග “ජල් මහල් “ මන්දිරය නරඹන්න අමතක කලේ නැහැ. "ජල් මහල්" ලොකු විලක් මැද තියෙන පැරණි මාලිගාවක් . හවස් කාලයේ මෙතැන හරි ලස්සනයි . නගරයේ බොහෝ දෙනෙක් විවේක ගන්න එන තැනක් .කඩල කාරයො, චායෙ විකුණන මිනිස්සු , මණි බඩු වෙලෙන්දො පිරිලා ඉන්න තැනක් . අපි චායේ බීල , කඩල කාලා ටිකක් මහන්සි ඇරලා ආයෙත් නවාතැනට පිටත්වුණා. එන තරමග සුන්දර “හවා මහල “ විදුලි ආලෝකයෙන් බැබලෙනවා. පුදුම ලස්සනක් . මේත් නගර මාලිගාවෙ කොටසක් කියලා ඌෂා කිව්වෙ . හිතේ හැටියට "හවා මහල්" වල ඡායාරූප ගත්ත මම ඌෂත් යෝගේශ් ජීත් එක්ක එදා රෑ දහයට විතර ජායිපූර් නුවරට සමුදීලා ජෝද්පුර් බලා යන කෝච්චියට ගොඩවුණා. මේ ගමනෙදී මට "ඇම්බර් බලකොටුව" බලන්න බැරිවුණේ හදිස්සියෙන් ආව ගමනක් නිසා . ඔන්න ඔහොමයි මම "දඩි බිඩි "වේගෙට එහෙම නැත්නම් ඌෂා කියනව වගේ "ජල්දී ජල්දී "කියලා ජායිපූර් නුවර බැලුවෙ.




ප/ලි


ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් ලියන්න ඉඩ ලැබුණේ අද නත්තල් නිවාඩුව දවසේ . මේ බ්ලොග් සටහන තමයි මගෙන් ඔයාලට දෙන නත්තල් තෑග්ග. අහස්ගව්වට එන යන කාටත් ප්‍රීතිමත් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා !!!!

Sunday, November 7, 2010

රාජස්තාන් සැරිසර මතක -උදයපූර් -ජෝද්පූර් මග සිරි විසිතුරු

Villagers
women on the way to a festival

Our Chaye stop - Making Kachori


A man holding his calf




අපේ ඔරිජිනල් ප්ලෑන් එක තිබුණෙ නම් පහුවෙනිද උදේ පාන්දරිම ජෝද්පූර් පිටත්වෙන්න. ඒත් කාරණා කීපයක් නිසා ප්ලෑන් එක වෙනස්වුණා. ගමන යන්න කලින් අපේ රියදුරු තැනට සිද්දවුනා කලින් දවසෙ පැච් එක ගිය රෝදෙ අලුත්වැඩියා කරගන්න . උදයපූර් ඉඳලා ජෝද්පූර් යන්න පැය නවයක් විතර යනවා . අලුතෙන් ඉදිවුණ හයි වේ එකක් වුණත් තවම ඔක්කොම වැඩ සම්පූර්ණ නැති නිසා අපේ ගමන් මාර්ගය තරමක් දුෂ්කර බව තමයි ඌෂා කිව්වේ.ඒ නිසා වාහනේ හොඳ තත්වෙන් තිබීම වැදගත්නේ. දුර ගමනක් නිසා අපිට රියදුරු තැනකුත් ඔනෙ වුණා.අපිත් එක්ක ජෝද්පූර් යන්න ඌෂගේ නංගි සෝනු සහ මල්ලි රාජාත් එක්වුණා.


පැච් එක අලුත් වැඩියා කරගෙන අපි පිටත්වෙනකොට දවල් එකොලහට විතර ඇති. උදයපූර් වලට ආයුබෝවන් කිව්ව මම ජෝද්පූර් ගැන සිහින මවමින් හිටියා.ටිකෙන් ටික නගරයෙන් ඈත්වුන අපි කඳුකර මිටියාව තණබිම් වලින් වැසුණ ගම්බද රාජස්තානය වෙත යමින් සිටියා.කඳුකර තණ බිම් වල උලාකන ගවයන් ,එලුවන් සුලබ දසුන් වුණා. හරක් රන්චු වලට තණ කවමින් ගස් සෙවනැලි වල සුව පහසුවෙන් ඈඳිගෙන සල්ලාපයේ යෙදී ඉන්න ගැහැනු , වැඩිහිටි පිරිමි , ලමයි දුටු විට මට හිතුනේ මොන තරම් නිදහ ජීවිතද කියලා . අපිට වගේ හැල්මේ දුවන ජීවිත නැති වුනත මේ ගම්බද මිනිස්සු අපිට වඩා සතුටින් හීල් හෙවනේ ඉඳන් ජීවිතේ රස විඳිනවා වෙන්න ඔනේ . අපි ඉතින් දවස පුරාම කාර්යාල , ඉන්ටර්නෙට් , බ්‍රෝඩ් බෑන්ඩ්, මොබයිල් ෆෝන් අතරේ ජීවිතේ හිරකරගෙනනේ ඉන්නෙ .


අතරින් පතර ගම් මන්ඩි පහුවෙනවා. මැටි ගෙවල් වල පිල් උඩ පොඩි ලමයි සෙල්ලම් කරනවා. වයසක උදවිය ඇනබාගෙන කයිවාරු ගහනවා. මේ පාර දිගේ යද්දි දැක්ක සුන්දරම දසුන් තම්යි වර්ණවත් බන්දානි සාරි වලින් සහ තලප්පා වලින් සැරසුණ රාජස්තාන් ගැහැණු සහ පිරිමි .මේ මිනිස්සුන්ගේ වර්ණ රටා නම් හරි පුදුම සහගතයි . ගම්බද රජසතානය පුරාම රතු, කොල , කහ ,දම් , නිල් වගේ වර්ණ රටා වලින් ඔප වුන සාම්ප්‍රදායික සාරි වලින් සැරසිලා දරමිටි ,හිස තියාගෙන , එහෙම නැත්නම් කලගෙඩි අතින් අරගෙන යන ගැහැණු හරිම සුලබ දසුනක් .මේ හැම දසුනක්ම කැමරා ගතකරගන්න මට තිබුණේ පුදුම ආසාවක් . ඒනිසා නිතරම රියදුරු තැනට වාහනේ වේගය අඩුකරන්න කියන්න මට සිදුවුණා. මගේ අදහස් දන්න රි‍යැදුරා මැඩම් පොටෝ කියල සමහර අවස්ථාවල මට සොඳුරු දසුන් පෙන්වුවා.


අපි පහුකරගෙන යන පාරේ කොටසක් කඳුකර වනපෙත මාර්ගයක් වුණා. සෙවණපිරුණ ගසින් හා ගලාබසින දිය පහර වලින් ඒ පෙදෙස හැඩ වෙලා.මම අහල තිබුණේ රාජස්තාන් කියනේ ථාර් , බාමර් වගේ කාන්තාර බහුල වියලි කඳුකරයක් කියලා .ඒත් මේ වන පෙත් දකිද්දී රාජස්තාන් කියනනේ වියලි නිසරු කඳුකරයක් නොවන වග මට තේරුණා.
අපේ රියදුරාගේ අදහස වුණේ මාර්ග තදබදය නැති ගම්බද පෙදෙස්වලදි හොඳට පාගල යන්න ඔනෙ කියලා.එහෙම වුණොත් විතරයි අපිට රෑ වෙන්න කලින් ජෝද්පූර් යන්න පුලුවන් වෙන්නෙ . ඒත් ඉතින් පොටෝ ගන්න තියෙන පිස්සුව නිසා මට ඒක නිතරම අමතක වෙනවා. ඉතින් මාව ඉක්මන් කරන්න උෂා "ජල්දී, ජල්දී " කියනවා. ඒකෙ අදහස ඉක්මන් කරන්න කියන එක . ඉතින් මම එයාට නමක් දැම්ම ජල්දී ජල්දී ටුවර් ගයිඩ් කියලා.


ගම් මංඩි පහුකරලා අපි ජනාකීර්ණ නගරබද පෙදෙසකට ආවා. එතකොට හවස තුනට විතර ඇති . දවල්ට කන්න මතක්වුණේ එතකොට.අපේ රියදුරත් උෂගෙ මල්ලි රාජත් ලොකු උත්සාහයක් ගත්තා මට බත් කන්න පුලුවන් තැනක නතර කරන්න . ඉතින් දෙතුන් පලකම ව්පරම් කරලා අන්තිමටම හොයාගත්තා බත් කඩයක්. එක වැඩි විච්චූරන නැති පොඩි කෑම කඩයක් . ලොකු සිමෙන්ති කල දෙකකට වතුර පුරවලා තියෙනව බෙලෙක් කෝප්ප දෙකක් එක්ක . එකකින් අත හෝදනවා . අනික් එකෙන් වතුර බොන්න පුලුවනි හැබැයි කටේ නොගෑවෙන්න උඩ බලාගෙන වතුර උගුරට හලාගන්න ඔනෙ. මාත් අනිත් අය වගේ අත් හෝදලා , මූණටත් වතුර ටිකක් ඉහගෙන වතුර උගුරකුත් කටට හලාගෙන බංකු පොඩ්ඩකුත් ලංකරගෙන ජෑම් ගස් හෙවනේ අපිට කෑම කන්න ලෑස්ති කරල තිබුණ මේස කෑල්ලෙන් වාඩිවුණා. උණු බතුය් , පරිප්පුයි , පෙති කපපු රටළුණුයි , අමු මිරිස් කරලුයි දැක්කම මගේ මූණේ ඇඳුණු හිනාව දැකල ඔක්කොටම හරි හිනා.


දවල්ට කෑමකාල ගමන පිටත්වුණහම කවුරුත් ටිකක් නිදිකිරා වැටෙනවා. අපේ රියදුරානම් පාගල යනවා. අපිව පහුකරගෙන අධිවේගෙන් ලොරි සහ ට්‍රක් රථ ඇදිලා යනවා . ඒ හැම වාහනේකම පිටිපස්සේ "හෝන් ප්ලීස්" කියලා ඉංග්‍රිසියෙන් ලියලා තියෙනවා.ඔය අතරේ ඌෂගේ ජංගම දුරකතනයට වලින් වර කෝල් එකක් එනවා ඒත් සිග්නල් හොඳ නැති නිසා කෝල් එක කට් වෙනවා.අන්තිමට රියදුරා වහනේ නතරකරා කෝල් එක ගන්න. පණිවුඩය ඌෂගේ ආයතන ප්‍රධානියා යෝගේශ් ජී ගෙන්. පණිවුඩේ විදියට ඌෂට එදාම රාත්‍රියේ ජෝගේශ් එක්ක ජායිපූර් යන්න වෙනවා පහුවදා උදේ ජායිපූර් වල ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ වැදගත් රැස්වීමකට. ඌෂ කලබල වෙලා අපේ සේරම ජෝද්පූර් සැලසුම් වෙනස් වෙන නිසා. අපි ජායිපූර් යන්න සැලසුමක් තිබුනේ නැහැ. ඒත් මේක හොඳ අවස්ථාවක් මට ජායිපූර් නරඹන්න . මම කියාහිටියා එදා රෑ ජායිපූර් ගමනට මාත් එක්වෙන බව . "ඊයෙත් එලිවෙනකන් කොච්චියෙ ඇවිත් ඔයාට මහන්සියි , ජායිපූර් කෝච්චිය අද රෑ දහයට පිටත්වෙන්න. අපි ජෝද්පූර් වලට යනකොටත් රෑ හත විතර වෙනවා.කවුද ඔයා එක්ක ජායිපූර් ඇවිදින්න යනේ , අපි මීටිමේ ඉන්නකොට ? , ඇරත් බාබරි මස්ජිද් නඩුවෙ තීන්ඩුව හෙට දෙන නිසා ඉන්දියාව පුරාම කලබල ඇතිවේවි කියලා රජය අනතුරු අඟවලා තියෙනවා, ඒ නිසා ඔයා ජෝද්පූර් ඉන්න " කියමින් ඌෂත් , යෝගේශ් ජීත් මාව වලක්වන්න හැදුවත් මම එක හෙලාම කියාහිටියා ඒදෙන්න එක්ක ජායිපූර් යන්න ඔනෙ කියලා. මම ඌෂ අස්වසමින් කිව්ව "බයවෙන්න එපා කිසි කරදරයක් වෙන්නෙ නැහැ , ඔයලා ජායිපූර් වලදී ගමන් යන දන්න කියන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මට සොයලදෙන්න , ඔය දෙන්න මීටිමේ ඉන්න අතරේ මම එයා එක්ක ඇවිදින්න යන්නම් . ඒ නිසා මටත් යන්න ට්‍රේන් එකේ සීට් බුක් කරන්න , ඔය දෙන්න නවතින තැනකම මාත් නවතින්නම්" . ඔන්න ඒ ප්‍රශ්නෙත් විසඳුණා.


ටිකෙන් ටික හවස්වෙනවා.අපි ආයෙත් ගම් මංඩි අතරින් ඇදිලා යනවා. ආයෙමත් හරක් රංචු දක්කගෙන , දර මිටි ඔලුවෙ තියාගෙන යන ගෑණු මිනිස්සු දකින්න පුලුවන් . එක තැනකදී ගැමියෙක් එයාගේ හරක් රංචුවේ ඉන්න පොඩි වහු පැටියෙක් අත් දෙකෙන් වඩාගෙන යනවා පොඩි දරුවෙක් වගේ ."මෙහෙමත් ඉන්දියාවක්" කියලා මට කියවුණා. "තව පැයකින් විතර අපිට ජෝද්පූර් වලට යන්න පුළුවනි , තව ටිකක් ඉස්සරහට යනකොට කචෝරි බදින කඩපොලක් හම්බවෙනවා. එතන කචෝරි හරිම රහයි . එතැන ඉඳලා වැඩි දුරක් නැහැ ජෝද්පූර් වලට අපි එතන නවත්වලා චායේ බොමු " කියලා ඌෂ කියලා වැඩිවෙලාවක් නැහැ ආයෙත් "පංචර් හෝගයා" .ඉතින් මොනව කරන්නද ? රාජත් , රියදුරාත් ටයර් මාරු කරනකන් ඌෂත් මමත් දෙන්න පාරෙ කොනක වාඩි වෙලා කයිවාරුවක් ගැහුවේ පෙරලුන අත හොඳයි කියලා.ඔය ඔක්කොම කරගෙන කචෝරි කඩපොලට ලංවෙනකොට රෑ හතට විතර ඇති. එතන නම් නියමම ගැමි කම රැඳුණු කඩ පොලක් . තලප්පා බැඳගත්තු පිරිමි ලණු ඇඳන් උඩට වෙලා කය්වාරු ගහමින් චායේ බොනවා. කඩ පේලියේ මැටි ලිප් උඩ ලොකු ඇල්මිනියම් තාච්චි වල කචෝරි බැදෙනවා , කචෝරි පරිප්පු වඩේ වගේ කෑමක් නමුත් පොඩි ඇඹුල් රහකුත් තියෙනවා, චායෙ බොන්න කියාපු කෑමක් . හැම කඩේකම ලොකු ඇලුමිනියම් බේසන් වල බැදපු රට කජු , පකෝඩා, කඩල , ගාටියා පිරෙන්න තියෙනවා. උණු උණු කචෝරි ලැබෙනකන් මම අපේ රියදුරා දුන්න රටකජු අහුරක් හැපුවා.ඔය අතරේ වහලක් නැති පොඩි තුන් රෝද වෑන් එකකින් සිංන්දු කියාගෙන ගෑනු කට්ටියක් එලියට බැස්ස. එක්කෙනෙක් කචෝරි කඩේට යන අතරේ අනික් අය නොනැවතී සින්දු කිව්ව. "මේ කිට්ටුව ගමක ගෑණු අය වෙන්න ඕනේ , ඒගොල්ලො උත්සවයකට යනව වගේ , බලන්න ලස්සනට සාරි ඇඳගෙන ඉන්න හැටි . ඔය කියන්නෙත් උත්සව වෙලාවට කියන ජන ගීයක්" ඌෂා එහෙම කියනකොට මගේ දෙපා නොදැනුවත්වම ඒ දෙසට ඇදෙමින් තිඹුනා. ගෑණු නඩේට එක්වෙලා මම සින්දුවට ටිකක් නටන්න ගත්තා. ඒගොල්ලො ටිකක් පුදුම වුණත් සින්දුව නැවැත්තුවෙ නැහැ.පස්සේ ඌෂා එක්ක මොන මොනවදෝ කියද්දි ඌෂා මාව හඳුන්වලා දුන්න "සහේලි" කියලා. ඒ ගොල්ලො හැමෝටම හිනා. ආයෙත් ඌෂට එයාල මොනවදෝ කිව්ව . කට්ටිය හිතල තියෙන්නෙ මගේ කලිසම්යි ටී ශර්ට් එකයි ,කොට කොන්ඩේ නිසා "ලර්කා - කොල්ලෙක්" කියලා. හැබෑටම ලංකාවෙදි නම් මෙහෙම පාරෙ නටන්න බැහැනේ.මම එයාලගෙන් සමුගත්තේ හල්දිරාම් පැකට් එකකුත් එයාලට අරන් දීලා ඒගොල්ල කිව්ව ලස්සන සින්දුවටත් ස්තුති කරලා .


අපි ජෝද්පූර් වල ඌෂගේ කාර්යාලයට සේන්දු වෙනකොට රෑ අටහමාරයි. යෝගේශ් ජී අපි එනතුරු මග බලාගෙන හිටියා .ඇවිත් යෝගේශ් ජී එක්ක හරියට කතාකරන්න වත් ලැබුණේ නැහැ ඌෂා මාව ඔෆිස් එකේ නාන කාමරයකට තල්ලු කරලා "ජල්දී ජල්දී" කිව්වා. පැය නවයක විතර ගමනකට පස්සේ , පැයබාගෙකින් ආයේමත් ලක ලැහැස්තිවෙලා තව පැය අටක විතර කෝච්චිගමනක් යන්න මම පිටත්වෙනවා. "හරි නියමයි මේක තමයි මගේ ජීවිතේ හොඳම සංචාරේ . මෙහෙම නොනවත්වා ගමන් යමින් ,එක වාහනේකින් තව වාහනයකට මාරු වෙමින් පොටෝ ගනිමින් , නැටුම් නටමින් මම කවදාවත් ගමන් ගිහින් නෑ" කියලා ජෝද්පූර් ඉස්ටේසමට වෙල ජායිපූර් යන්න කෝච්චිය එනකන් ඉන්න අතරේ මම ඌෂටත් යෝගේශ් ජීටත් කිව්ව . ඒකට දෙන්නටම හරි හිනා .



Saturday, October 23, 2010

රාජස්තාන් සැරිසර මතක -උදයපූර් සිරි විසිතුරු

Woman selling corn
Lake Pichola and sunsetting

Jag Mandir in Lake Pichola


Rajanstan camel



Lake Pichola
Lake Fata Sagar





City Palace Udaipur






දයපූර් ඉස්ටේසමට පය තියලා වටපිට බැලුවා විතරයි මගේ මිතුරිය ඌෂා "උදපූර් වලට ආදරයෙන් පිලිගන්නවා " කියමින් දුවගෙන ඇවිත් මාව වැලඳගත්තා . හමුවීම් ,සිප වැලඳගැනීම් වලින් පස්සේ අපි දෙන්න එලියේ නවත්වලා තිබුණ එයාගේ වැගන් ආර් කාර් එකෙන් අපේ නවාතැනට පිටත්වුණා
තවම වෙලාව උදේ අටටවත් නැහැ.ඒත් හොඳට හිරු එලිය බබලනවා හරියට ගිනි මද්දහනේ වගේ ."ඇවිදින්න කියාපු දවසක්".මට ඉබේම කියවුණා . "ටිකක් ඉවසලා ඉන්න කියලා" ඌෂා හිනාවුණා.


අපේ නවාතැන්පොල වුනේ ජයින දරම් සාලාවක් . උදයපූර් ධනවත් ජයින් භක්තිකයන් ගොඩක් ඉන්න පලාතක්.මේ ඒ අයගේ විශ්‍රාම සාලාවක් . "මෙහේ ඉන්න ආරක්ෂාව ගැන බයවෙන්න ඕනේ නැහැ. මේ මිනිස්සු හරිම අවංක ප්‍රතිපත්තිගරුක අය . මම රාජකාරි වැඩවලට උදයපූර් ආවම නිතරම නතරවෙන්නෙ මෙතන" .ඌෂා මට කිව්ව.ඇත්තටම මෙතැන උදවිය හරි ප්‍රිය මනාපයි . කවුරුත් ඌෂා හොඳට අඳුනනවා . අපිට වෙන්වුණ කාමරය වැඩි විච්චූරණ නැති ඇඳන් දෙකකුයි ,ලියන මේසෙකුයි . පුටු කීපයක් සහ පිරිසිඳු නානකාමරයක් සහිත තැනක් . "මේ ඇති හොඳටම "කියමින් මම පුටුවකට බරදීලා සපත්තු දෙක ගලවලා වීසිකරලා කකුල් දෙක අනික් පුටුව උඩින් තියාගත්තා . එතකොටම අපිට චායේ දෙකකුත් ලැබුණා.


මෙහෙමත් නිදහසක්..... අපිදෙන්න එකතුවෙලා අවුරුදු දෙකක කතන්දර කියවමින් චායේ බොන්න පටන්ගත්තා .කොයිතරම් දේවල් කියන්න තියෙනවද අෆ්‍රිකාවෙදි හමුවුණාට පස්සේ .අපේ යාලුවෝ , රාජකාරි වැඩ ,ගෙවල් දොරවල් වල වගතුග ,මගේ කේරල ගමන ඔය ඔකෝම ගැන කියවල ඉවරවෙනකොට දවල් දහයට විතර ඇති. හිත පිරිල නිසාද කොහෙද උදේ කෑම නැහැ කියලා බඩගිණි දැනුනේ නැහැ.ඒ අතරේ මම උෂාට ගෙනාව තෑග්ගිත් ගමන් මල්ලෙන් එලිය ඇදලා ගත්තා. ලංකාවෙන් අරගෙන ගිය අත් යන්ත්‍ර රෙදි වලින් නිමවපු නිල් කොල සාරිය දැකලා එයා සතුටින් පිනා ගියා .ඒකත් පෙරවගෙන වටයක් කැරකිලා හැඩ බැලුවා . ගිය අවුරුදේ එයා මට රාජස්තානයට ආවේනික "බන්දානි සිල්ක් " සාරියක් දිල්ලියේ ඉඳලා ලංකාවට ආව යාලුවෙක් අතේ එවල තිබුණා.ඉතින් මම ඒකට කලගුණ සලකන්න ඔනනේ .


අපිදෙන්නට ආගිය කතා කියවන්න තව දවස් කීපයක්ම තියෙන වග මතක්වුණේ පස්සෙ. ඉතින් නාගෙන අලුත් ඇඳුමක් එහෙම දාගෙන ඔන්න උදයපූර් සිරි විසිතුරු බලන්න දෙන්න එක්ක පිටත්වුණා. යමින් ගමන් ලඟ තිබුණ පලතුරු යුෂ කඩේක නවත්වල ලොකු අන්නාසි වීදුරු දෙකකුත් බිව්වා. රස නියමයි. දඩින් බිඩින් ගාල අතික් කරකවන මැසිමකට අන්නාසි කෑලි දාලා විනාඩියට බීම හදලා දෙනවා යස අපූරුවට.


අපේ මෝටර් රථය නගයර මැදින් ඇදිල යද්දි මම නුවර සිරි විසිතුරු බලන්න පටන් ගත්තා.උදයපුර් නගරය නිර්මාණය කරල තියෙන්නේ මහරාජා (උදයපූර් වල නම් කියන්නේ මහ රාණා කියලා) "උදායි මාන් සිං" ඒ දහසයවෙනි ශතවර්ශයේදී. මෝගල් අධිරාජයන්ගෙන් මේ නුවර බේරගත්ත වීරයෙක් එයා. උදායි තැනුව නුවර උදය පුරය , උදයපූර් වුනා. උදයපූර් වැඩි කලබලයක් නැති පිරිසිඳු නගරයක් කියලා මට හිතුනා.නගරය වටේ කඳු වලල්ලක් තියෙනවා.


ඔය අතරේ අපි නගර සීමාව පහුකරලා මහා ජල තලයක් අසලට ආවා. මගෙ දෙවියනේ එතන පුදුම ලස්සනක් ...ඈතින් කඳු වලල්ලකින් වට වුණ නිල් කැටේට වතුර පිරිලා උතුරන රැලි නගන මහා සාගරයක්.. මහා ජල තලය පිසගෙන එන සුලඟ හරි සනීපයි .මම කාර් එකෙන් එලියට බැස්සා නෙවෙයි පැන්නා. "මේ පතා සාගර් විල , උදයපූර් වල හදවත කියලයි අපි කියන්නේ "ඌෂා හිනාවෙමින් කිව්වා. ඇත්තනේන්නම් මේ උදයපූර් වල හදවත කිව්වට වැරදි නැහැ. පවුල් පිටින් ඇවිත් විනෝදවෙන අය , තරුණ උදවිය , එහෙ මෙහේ දුවපනින සතුටුවෙන පොඩිත්තො ගොඩක් එතන හිටියා. ඒ වගේම හරි අපූරු දෙයක් වුණා .සමහර පවුල් වල උදවිය ගණ දෙවි ප්‍රතිමා සහිත පූජාවට්ටි ගෙනිල්ල මේ විලේ පාකරනවා. මේ ගණේෂ පූජා උත්සව දවස් කියලා ඌෂා කිව්ව."කලබල වෙන්න එපා විල වටේම අපිට යන්න පුලුවන්" කියලා එහෙ මෙහේ දුවමින් පින්තූර ගන්න මට එයා කිව්වා .


අපි තව ටිකක් ඉස්සරහට ගියා ,එතන හරිම ලස්සනයි .විලේ වතුර වාන් දානවා දිය ඇල්ලක් වගේ . රාජස්තානයේ ප්‍රකට ඔටු සවාරි යන්නත් මෙතැනදි පුලුවන් . ලස්සනට සැරසුව ඔටුවො කීපදෙනෙක් එතැන හිටියා. විලේ බැම්ම වටේම ඔටුවන්ගේ පින්තූර ඇඳලා තියෙන වග මට පෙන්නුවේ ඌෂා.එයා කාර් එක එතැන හෙවණ ගහක් යට නතර කලා .මම ගහ මුලින් වාඩිවුනේ මට පුදුම සතුටක් දැනෙනවා කියමින් .ගස් හෙවනේ කරත්තයක් නවත්වගෙන බඩ ඉරිඟු වෙලෙන්දියක් ඉරිඟු පුච්චනවා. එයා කරත්තෙට ගොඩවෙලා අඟුරු කබලක් ලඟ තියාගෙන ඉරිඟු පුච්චන අපූරුව මම බලාගෙන හිටියා.මගේ මිතුරිය අපිට ඉරිඟු මිලට ගන්න අතරේ ඇයත් එක්ක කතාවට වැටිලා. උෂා රාජස්තානයේ සමාජසේවා ආයතනයක ගොවියන් , කම්කරුවන්, වීදි දරුවන්, මුඩුක්කු වැසියන් එක්ක උරෙනුර ගැටෙමින් වැඩකරන කෙනෙක් නිසා මේ වගේ පුංචි මිනිස්සු එක්ක සතුටු සාමිච්චියේ යේදීම අරුමයක් නෙවේ . මම පලවෙනි වතාවටයි පිච්චුව ඉරිඟු කෑවෙ. ලුණුත්, දෙහිත් එකතු කෙරුව ඉරිඟු කරල හරි රසයි. වෙලෙන්දියට සමුදීල අපි යන්න හදනකොට එයා හිනාවෙලා තව ඉරිඟු කරලක් මට දුන්න .මම මුදල් ගෙවන්න හැදුවත් එයා එපා කිව්වා. ලංකාවෙන් ආව කෙනෙකුට කෙරුව ආගන්තුක සත්කාරයක් කියලයි එයා කිව්වේ.දුප්පත් වුනත් මේ මිනිස්සු කොයිතරම් ප්‍රසන්නද කියලා මට හිතුනා.


දැන් දැන් ඉර මුදුන්වෙලා ගිනියම් අව්ව. පතා සාගර් විල අසලම 'රජිව් ගාන්ධි අනුස්මරණ උද්‍යානයට අපි දෙන්න ගියේ ටිකක් හීල් හෙවනේ ඉන්න හිතාගෙන . එතනට ගියහම උදයපූර් නගරයත් ,කඳු වලල්ලත් ,මහ විසාල පතා සාගර් විලත් හරිම ලස්සනට පේනවා. අපි දෙන්න උද්‍යානයේ ගිම්හාන මන්දිරයකට වෙලා ආයෙමත් උදේ වගේ කතා බහක යෙදුනා.කාලෙ ගියේ නොදැනීම.සමාන අදහස් තියෙන ප්‍රියයන් සමග එක්වීම හිතට හරි සතුටක් . හවස දෙකත් පහුවෙලා හොඳටම බඩගිණි දැනුනම තමයි අපි එතැනින් නැගිට්ටේ.


එතනින් අපි ගියේ 'ෂුකදියා චතුරස්‍රයට".ලාබෙට, රසට කෑම කන්න අපූරු තැනක්.මෙතන අඩ කවයක ආකාරයට ආහාර පාන එවෙලෙම හදල දෙන අවන් හල් පෙලක් තියෙනවා. හැම අවන්හලක් ඉදිරියෙම ඉටිරෙදි හෙවණක ගනුදෙනු කරුවන්ට වාඩිවෙලා කෑම කන්න මේස පුටු පෙලක් තියෙනවා.මෙතැන විවේකයෙන්න ඉන්න කදිම තැනක්.පලතුරු, චායේ, රසවත් පානී පුරී අලෙවි කරන පොඩි පොඩි කඩපේලි ගොඩාක් තියෙනවා .උදයපූර් වල ප්‍රකට විද්වතෙක්ගෙ නමින් වෙන් වුණ "මෝහන් ලාල් ෂූකදියා" විශ්ව විද්‍යාලය තියෙන්නෙත් මේ කිට්ටුව.සරසවි සිසුන් නිතර යන එන තැනක් බව මට පෙනුනා. මම ඉතින් කොහොමහරි ප්ලේන් රයිස් පිඟානකුයි ,සාම්බාරුයි, පරිප්පුයි ඉල්ලගත්තා දවල් කෑමට. ඌෂා රස බලන්න කියලා මටත් එක්ක පාවා බාජී කියන පාන් වර්ගය සහ තක්කාලි වලින් හැදුව කරියක් ඕඩර් කලා.ඒකත් හරි රසයි .


දවල් කෑම කාලා අපි දෙන්න ගියේ උදයපූර් වල තවත් අරුම පුදුම තැනකට ඒ තමයි උදයපූර් "නගර මන්දිරය" එහෙම නැත්නම්" සිටි පැලස් "කියල හඳුන්නෙත් මෙතැන. ඇස් අදහගන්න බැරි අපූරු නිර්මාණයක්. පිචෝලා විලේ නැගෙනහිර මායිමේ මහරාජා "උදායි මිර්සා සිං" ඉදිකෙරුව මහා මන්දිරයක්.මල්,ලියකම්,රන්කම් කැටයමින් අලංකාරවුනු මතුමහල් තල ගොඩක් සහ සී මැදුරු කවුලු , සභා ශාලා, රවුම් ආරුක්කු වලින් යුත් රාජ්පුත් වරුන්ගේ ප්‍රෞඩ බව ලෝකෙටම කියන දැවැන්ත මන්දිරයක්.මේ මන්දිරය නරඹන්න නම් දවසක්ම ඔනෙ කියලා මට කියවුණා.දැන් මේ මාලිගාවේ අයිතිය තියෙන්නෙ "මහ රාජා අරවින්ද මෙවාර් සිංට".එයා මේ මාලිගාවේ කොටසක් සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කරලා තියෙනවා . ඔහු "හෙරිටේජ් රිසොර්ට් හෝටල "සමුහයේ හිමිකාරයෙක්.උදයපූර් වල මිනිස්සු මේ මහරාජා ගැන ප්‍රසාදයෙන් කතාකරන්නෙ ඔහු හොඳ සමාජ සේවකයෙක් නිසා.


මාලිගාවේ පිටුපසින් පිචෝලා විල දිහාවට යන්න පුලුවන්. ඉර බැසගෙන යන වෙලාවට එතන හරිම සුන්දර තැනක්.විල මැද "මහ රාජා ජගත් මාන් සිං" විසින් ඉදිකෙරුව "ජග් මන්දීර්"කියන ප්‍රේමයට කැපවුන මන්දිරයක් තියෙනවා. ඒ එක්කම ලේක් පැලස් කියන ගිම්හාන මාලිගාවත් විල මැද තියෙනවා. මේතන තමයි ප්‍රකට "ටාජ් හෝටල සමූහය විසින් පවත්වාගෙන යන ටාජ් ලේක් පැලස් හෝටලය තියෙන්නෙ. මගේ ගමන් සගයා වුන අමිරිතා සේවය කරන්නෙ එතැන. පිචෝලා විල ගාවට වෙලා අපි දෙන්න ඉර බහින හැටි බලන් හිටියා .ඈතින් පෙනෙන අරවල්ලි කඳු අතරින් ඉර ගිලෙන හැටි හරිම ලස්සනයි."වෙනිස් ඉන් ඊස්ට්" කියලා උදයපූර් නගරය හඳුන්වන්නෙ ඇයි කියලා ඒවෙලේ තමයි මට තේරුම් ගියේ.මේ මාලිගාවත් ,එහිපසු තල සහ පිචෝලා විලත් ප්‍රකට ජේම්ස් බොන්ඩ් සිනමා පටයක් වුන "ඔක්ටොපුසී" රූගතකරන්න යොදාගෙන තියෙනවා.


හිරු බැස ගිහින් අඳුර වැටෙනවත් එක්කම 'ටාජ් ලේක් පැලස් " හෝටලයෙත්, ජග් මන්දිරයෙත්, නගර මාලිගාවෙත් විදුලිපහන් දැල්විලා විල්දිය මතට එලිය වැටිලා බබලනවා. මාලිගාව අසල උස්බිමක තියෙන උයනටත්, එතනින් කේබල් කාර් එකක නැගිලා කඳුවැටියටත් ගියහම හරි අපූරුවට මේ දර්ශනය රස විඳින්න පුලුවන් . ඌෂත් මමත් කේබල් කාර් එකක නැගිලා කඳු මුදුනට ගිහින් හිරු අවරට ගිලීයද්දී නගර මන්දිර ආලෝකමත් වෙන අයුරු නැරඹුවා.
අට විතරවෙනකන් නගර මන්දිරයේ හිරු බැසයන දසුන් නැරඹුව අපිදෙන්නා රෑ කෑමට 'අප්නේ ඩානි" අවන්හලට ගියා . මෙතන සාම්ප්‍රදායික විදියට කෑම දෙන අවන්හලක්. "අප්නේ ඩානි" කියන්නේ "අපේ තැන" කියන අරුත. අවන්හලට අපි පිලිගන්නේ "රාම් රාම්" කියල ආචාර කරලා නලලට රතු තිලක තියලා. කෑම කන්න විතරක් නෙවෙයි රූකඩ නැටුම් , සර්කස් , මැජික් දර්ශන, රාජස්තාන් ජන නැටුම් බලන්න, ඔනෙ නම් නටන්න සින්දු කියන්නත් පුලුවන් තැනක් මෙතැන. ඌෂත්,මමත් ලණු ඇඳක් උඩට වෙලා පපඩම් කමින් නැටුම් බැලුවා. කෑම කන්න වෙන්වුන අවන්හලේ බිම වාඩිවෙන්න ආසන පනවලා තියෙනවා. මැටියෙන් නිමාවුන බිත්ති , පිදුරු හෙවිලිකල වහල සහ බිත්ති වල ඇඳි සිතුවම් රටා එතැනට අපූරු බවක් එක් කලා.
කෑම කාලා කාර් එකට නැගිලා යන අතරේ මම ඌෂට ස්තුතිකලේ "හරිම අපූරු දවසක්" කියලා .අපිට වැඩිදුර යන්න ලැබුණේ නැහැ. ඌෂා කාර් එක නතරකලා "පින්චර් හෝගයා " කියමින්. හ්ම්ම්.... මහ රෑ දහයට විතර , ටිකක් පාලු හයි වේ එකක අපේ කාර් එකේ මග හිටලා පැච් එකක් ගිහිල්ල .කාට කියන්නද කියල කල්පනාකරනකොටම මෝටර් සයිකලේකින් ආව තරුණයො දෙන්නෙක් නතරවුනේඅ "සහෝදරී මොකද වුනේ-දිදී ක්යා හුවා " කියලා අසමින් . ඔවුන් දෙන්නා විජේ සහ ප්‍රකාශ්. කාර් එකේ අඬු බඬු මිටි සහ ස්පෙයාර් වීල් එක සොයාගත්තු ඒදෙන්නාගෙ ලෑස්තිය අපට උදව් කරන්න . දෙන්නා ගාවින් හීන් මත්පැන් ගඳකුත් වහනයවුණ නිසා මම හෙමිහිට ඌෂට කිව්ව "මේ දෙන්න මේ වැඩේ හරියට කරාවිද දන්නෙ නැහැ කියලා". එතකොටම ප්‍රකාශ් හිනාවෙලා කිවා දෙන්නම ටිකක් බීල වුණාට බය වෙන්න එපා කියලා". වුණු අකරතැබ්බ මැද්දේ අපි ඔක්කොම හිනා වුණා.මේ මිතුරන්ගේ උදව්වෙන් අපේ වාහනේ පැච් එක හදා ගත්තා. ඒවිතරක් නෙවේ ඌෂත් මමත් ඔවුන් සමග ටික වෙලාවක් කතා කරමින් ඉඳලා මුව නොසෑහෙන්න ස්තුතිකරලා සමුගත්තේ. ඔවුන් දෙන්නම රාජස්තාන් කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ සේවකයෝ.
අපේ නවාතැනට යනකොට රෑ දොලහට කිට්ටුයි .ඌෂා දුක්වුණා අන්තිම මොහොතේ අපට වුණ කරදරය ගැන .මම එයාව අස්වසමින් කිව්වේ උදයපූර් ගමනේ හොඳම අත්දැකීම ඒක කියලා.ඒ විතරක් නෙවෙයි දන්න හින්දි වචන ඔක්කොම ගැටගහලා මම එයාට මෙහෙම කිව්වා.
"උදයපූර් ආගයා-පන්චර් හෝගයා" .ඒකට ඌෂා උඩපැන පැන වරුවක් විතර හිනා වුණා. අපි දෙන්නා ආයෙමත් කයිවාරුවක් ගහලා , චායේ කෝප්ප දෙකකුත් හිස් කරලා නිදාගතේ එලිවෙන ජාමෙ පහුවෙනිදට ජෝද්පූර් යන්න සැලසුම් කරලා.


ප/ලි
උදයපූර් හොඳින නරඹන්න නම් දවස් හතරක් වත් ඔනෙ වෙනවා.උදයපූර් අවට අබූ කඳු වැටි, චිතෝර් බලකොටුව,රානක් පූරි ජයින පන්සල , කුම්බල්ගහ බල කොටුව , කෞතුකගාර වගේ තැන් හොඩාක් තියෙනවා.පිචෝලා සහ පතා සාගර් විල් වල බෝට්ටු සවාරි යන්නත් පුලුවන් .2009 අවුරුද්දේ උදයපූර් ලෝකයේ හොඳම සංචාරක නගර වලින් එකක් හැටියට නම් කරලා තිබුණා .ඒ නිසා උදයපූර් නරඹන්නම වටින තැනක් .