Sunday, January 22, 2012

චිතෝර් බලකොටුවේ සැඟව ගිය වීර මහරාණී -රාණි පද්මිණී

උදයපූර් වල මෝටි මගරි මහරාජා ආර්ට් ගැලරි එකේ තියෙන
රාණි පද්මිණිගේ ගින්නට බිලිවෙන  සිත්තමක්


විසිතුරු මාලිගා සංකීර්ණ වලින් හෙබි මර්වාර් වංශික රාජ්පුත් වරුන්ගේ අගනුවර වුන  උදයපූර් වලට නූතන   රාජ්පුත්ඉතිහාසයේ හිමිවන්නේ බොහොම වැදගත් තැනක්. උදයපූර් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන පෙලේ ආකර්ෂණයක් ඒ නිසාමදෝ රාජ්පුත් ඉතිහාසයේ බොහෝ නොමැකෙන වීර සටන් සිදුවුන චිත්තෝර් ( Chittor ) නුවර කාලයේ වැලිතලාවෙන් වැලලිලා ගිහින්.චිත්තෝර් එහෙමත් නැත්නම් චිත්තර් ගාර් (Chittorgarh) නුවර පිහිටල තියෙන්නෙ උදයපූර් වල ඉඳලා කිලෝමීටර දෙසීයක් විතර ඈතින් .උදයපූර් වල ඉඳන් චිත්තෝර් වලට යන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා . දිල්ලියේ ඉඳලත් කෝච්චියෙන් හරි හය් වේ එකෙන් හරියන්න පුලුවනි.ඒකට පැය දහයක් විතර යනවා .ආයෙත් දවසක රාජස්තාන් ගියොත් අනිවාර්යෙන්ම චිත්තෝර් යන්න  හිතාගත්තා .ඒකට හේතුව මහරාණි රාණි පද්මිණිගේ-Rani Padmini  කතාව . මේ මහරාණී ලංකාවෙන් රාජ්පුතානාවේ මහරාජා රතන් සිංට දීග කුමාරිකාවක් කියලයි ඉතිහාසයේ කියන්නේ .ඉතින් මේ ලංකාවෙන් දීගගිය කුමාරිකාව ගැන ඉතිහාස කතා දැනගන්නත් මට තිබුණේ ලොකු කුතුහලයක් .ඔන්න ඒ නිසාම මම 2011සැප්තැම්බර් වල චිත්තෝර් නුවරට ගියා ඒ උදයපූර් වල ඉඳලා.
කොටු තාප්පය 

චිත්තෝර් රාජ්පුත්වරුන්ගේ සියලු ඉතිහාසය සැඟවිලා තියෙන්නෙ චිත්තෝර් බලකොටුවේ .මේ බලකොටුව මුහුදුමට්ටමින් මීටර 200ක් තරම් උස කන්දක අක්කර හත්සීයක් තරම් දුරට විහිදිලා තියෙනවා .බලකොටුව වටේට තියෙන ප්‍රාකාරය කිලෝමීටර දෙකක් විතර දිගයි .අදවෙනකොට බලකොටුවේ සමහර පැති වල  මිනිස් ජනාවාස කඩ සාප්පු එහෙමත් තියෙනවා .නොකඩවා වහින මෝසම් වැහිත් ,වැහි අඳුරත් ,සීතලත් නොතකා තමයි මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ චිත්තෝර් බලකොටුව බලන්න මම ගියේ .

ප්‍රධාන ද්වාර එහෙම නැත්නම් Pol කියලා හඳුන්වන ගල් වලින් නිමවපු විසාල අර්ධකවාකාර උස් ප්‍රවේශ හයක් පහුකරලා තමයි බලකොටුවට ඇතුල්වෙන්න ඕනේ . මේ ද්වාර ඉතා උසින් හා පලලින් තියෙන්න ඇත්තේ යුද්ධයට යොදාගත් ඇත් ,අස් වගේ සේනාවන්ට ඇතුල්වෙන්න පහසුවට වෙන්න ඕනේ .බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ (මේවා මහරාජා වරුන්ට , ඔවුන්ගේ කාර්ය මංඩල වලට , සොල්දාදුවන්ට , සේවකයන්ට වෙන වෙනම වෙන් වෙලා තියෙනවා ) , පැරණි හින්දු දේවාල , කැටයම් වලින් අලංකාරවුණ ස්ථම්භ , ජයින පංසල් , වගේම පොකුණු හා කුඩා ජලාශ දැකගන්න පුලුවන් . ඒ කියන්නේ පුංචි නගරයකට උවමනා ගොඩක් දේ මේ බලකොටුව ඇතුලේ තිබිල තියෙනවා . යුද්ධයකදී ජල හිඟයක් වුණොත් ඊට ඉතා හොඳ සූදානමකින් හිටි වග පේන්නෙ බලකොටුව ඇතුලෙ තියෙන ජල මූලාශ්‍ර දිහා බැලුවම.
රාණි පද්මිණී මාලිගා පරිශ්‍රයේ කොටසක් 

මේ බලකොටුවේ ඉතිහාසය ක්‍රි.ව .7 වන සියවස තරම් ඈතට දිවයනවා .බලකොටුව ගොඩනගන්නේ Bappa Rawal   කියන මහ රාජා විසින් .මේ බිම් කඩ ඔහුට කුමාරිකාවක් සරණපාවා ගනිද්දි ලැබුන විවාහ දායාදයක්.මේ බලකොටුව ඉතිහාසයේ නොමැකෙන ශෝඛාන්තය සනිටුහන්වෙන්නේ මහරාජා රතන් සිං ගේ කාලයේ . මහරාණි රාණි පද්මිණී විවාහවුනේ මහරාජා රතන්සිං එක්ක . මේ මහරාණි ලංකාවේ කුමාරිකාවක් කියලා තමයි ඉතිහාස කතාවල කියවෙනේ. ඇය රූපයෙන් අගතැන්පත්  කුමාරිකාවක් . මහරාජා රතන්සිං සාහිත්‍ය සංගීත කලාවට බොහෝ අනුග්‍රහ දැක්වූ හොඳ රසිකයෙක් .ඔහුට හිතවත් සංගීත ශිල්පියෙක් හිටියා චේතව රාඝන් කියලා .යම දවසක මේ මහරාජා දැනගන්නවා චේතව රාඝන් රාජ ද්‍රෝහී කුමන්ත්‍රණ වල නිරතවෙන්නෙක් කියලා . ඔන්න එතැන ඉඳන් තමයි සේරම ප්‍රශ්න පටන්ගන්නේ . රතන්සිං මහරාජා චේතව රාඝන් ගැන බොහොම කෝපයට පත්වෙලා ඔහුගේ ශරීරය පුරාම දැලි ගාලා බූරුවෙක්ගේ පිටේ නග්ගලා නුවරින් එලවලා දානවා . 

උපක්‍රමශීලී චේතව රාඝන් දිල්ලියේ සුල්තාන් අලවුදීන් කිල්ජි- Alauddhin Khilji වෙත ගිහින් ඔහු හා මිතුරුවෙනවා රතන්සිංගෙන් පලිගන්න . ඊට සුදුසුකාලය ආවම ඔහු අලවුදීන් ඛිල්ජිව මෙහෙයවනවා චිතෝර් නුවර වටලලා  රූමත් රාණි පද්මිණීව බලෙන් පැහැරගන්න . තමන්ගේ සේනාවත් එක්ක ඇවිත් චිතෝර් බලකොටුව සමීපයේ කඳවුරු බැඳලා මහරාජා රතන්සිංට පණිවුඩයක් යවනවා තමන් ඉතාම කැමැත්තෙන් ඉන්නවා රූමත් රාණි පද්මිණීව මුනගැහෙන්න ඒවගේම එයා කැමතියි රාණි පද්මිණී තමන්ගේ සහෝදරියකගේ තනතුරේ ලා සලකලා ගරු කරන්න කියලා .මේ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයට මහරාජා රතන්සිං රැවටුණත් රානි පද්මිණීටනම් තිබුනේ සැකයක් .ඒ නිසා ඇය සැමියාට කියනවා තමන් අලවුදීන් ඛිල්ජී මූණට මුණගැහෙන්න කැමති නැති වගත් ,ඔයතරම් දැකගන්න උවමනානම් තමන් බලකොටුවේ නෙලුම් පොකුණක තියෙන ගිම්හාන මාලිගාවට ආවම එහි තියෙන දර්පණ වලින් පරාවර්තනය වෙලා ඊට නුදුරෙන් තියෙන අනික් ගිම්හාන මාලිගාවේ දර්පණ වලට ලැබෙන ප්‍රතිබිම්බය ඛිල්ජිට බලාගන්න පුලුවනි කියලා .මහරාණි කිසිසේත්ම කැමතිවෙන්නේ නෑ ඛිල්ජි පියවි ඇසින් ඇගේ රුව දකිනවට . අන්තිමට වෙන විකල්පයක් නැති තැන අලවුදීන් ඛිල්ජි දර්පණ වලින් මහරාණිගේ රුව රසවිඳලා ඒ රාගයෙන් උමතුවෙලා මහරාජා රතන්සිං ව හිරබාරයට ගන්නවා. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තමන්ගේ නුවරින් පිටවෙලා යද්දී ඔහු සමග පසුගමන් යාම සිරිතක්නේ .එහෙම ඛිල්ජි නික්මයන වෙලාවේ ඔහුට පසුගමන් යන්න ආව රතන්සිං මහරාජාව හිරබාරයට ගන්න කියලා ඛිල්ජී තමන්ගේ හේවායන්ට අණ දෙනවා.
රාණි පද්මිණිගේ කතාව 




මහරාණී දකින්න ඛිල්ජි හිටියේ මෙතැන 


ඉන් පස්සේ රාණි පද්මිණීට පණිවිඩයක් එවනවා තමන්ගේ සැමියාට අභය දානය උවමනානම් වහාම ඛිල්ජිගේ ඇතොවුර කාන්තාවක් වෙන්න කියලා . පණිවුඩය ලද වහාම මේ මහරාණි බොහොම සැලසුම්සහගතව ලෑස්තිවෙනවා සැමියා බේරගන්න උපක්‍රමයකුත් එක්ක . ඇය තීරණය කරනවා ඇතොවුරට යන්න . ඒ වෙනුවෙන් බොහොම උත්සව ශ්‍රීයෙන් සැරසුව පල්ලැක්කි වල නැගිලා තමන්ගේ පරිවාර සේවිකාවො එක්ක පෙරහැරෙන් ඛිල්ජි මුණගැහෙන්න යන්න තමයි සූදානම. නමුත් මේ පල්ලැක්කි වල ආයුද සන්නද්ධ දක්ෂ සෙබල මුලුවක් සැඟවිලා ඉන්නේ . ඛිල්ජි කඳවුරු බැඳන් ඉන්න තැනට මේ පල්ලැක්කි පෙරහැර සේන්දුවුනහම සතුටින් පිනාගිය ඛිල්ජි මහරාණි පිල්ගන්න එනවාත් එක්කම පල්ලැක්කි වලින් එලියට පනින සෙබල මුළුව ඔහුගේ කඳවුර ඇතුලට පැනලා මුරභටයො එක්ක සටන් කරලා මහරාජා රතන්සිං බේරගෙන මහරාණිත් එක්ක චිත්තෝර් නුවරට පලා එනවා .


නමුත් ඛිල්ජිගෙන් බේරීමේ සතුට තියෙන්නෙ සුලු මොහොතයි . ඛිල්ජිගේ මහා සේනාව මුලු චිත්තෝර් බලකොටුවම වටලනවා .නගරය එක්ක තියෙන සියලු සම්බන්ධතා , සැපයුම් මාර්ග අවහිර කරනවා . රතන්සිංගේ සීමිත යුධ ශක්තියෙන්මේ සටන  දිනන්න බැරි වග පෙනි පෙනීත් ආත්මාභිමානය රැකගන්න බලකොටුවේ සිටි සියලුම හේවායන් සේවකයන් තමුන්ගේ අඹුදරුවන්ගෙන් සමු අරන් යුධ පෙරමුණට යනවා .ඉතිරිවෙන්නේ ගැහැණු හා ලමයි. මහරාණි ප්‍රමුඛ සියලු කාන්තාවො තීරණය කරනවා දරුවන් ආරක්ෂිත තැන් වලට යවලා ලොකු දරසෑයක් හදලා සුදු වතින් සැරසිලා එයට පැනලා ගිනි තබාගෙන මැරෙන්න . රතන්සිං පරදවලා ඔහුව මරලා බලකොටුව ජයගෙන එන ඛිල්ජි දකින්නේ දර සෑයක දැවෙන මහරාණී රාණි පද්මිණී හා සෙසු ස්ත්‍රීන් . මේ බලකොටුව තුන් පාරක්ම මේවගේ අක්බාර් වරුන්ගේ ඛේදනීය ප්‍රහාර වලට ලක්වෙලා පිරිමි යුද්ධයේ තමන්ගේ ආත්මාභිමානය රැක ගන්නත් , ගැහැණු තමන්ගේ ආත්මගරුත්වය රැකගන්නත් ජීවිත පූජාකරන තැනක් වෙනවා .
මහරාණී ආවේ මේ ජල් මහල් මන්දිරයට 

මහරාණී රාණි පද්මිනිත් ඒ සියලුම කාන්තාවොත් වීරවරියන් හැටියට සලකන චිත්තෝර් වැසියො හැම අවුරුද්දේම ජොහාර් මේලා Jauhar Mela කියලා මහා සැණකෙලි උත්සවයක් පවත්වලා ඔවුන් සමරනවා .මහරාණි රාණි පද්මිණී ශෝඛාන්තය  වීර කාව්‍යන් ,නාට්‍ය නිර්මාණ වලටත් පාදක වෙනවා . ජායිසී මල්ලික් මොහොමඩ් කියන කවියා පහලොස්වෙනි සියවසේ දී ලියන "පද්මාවත්" කියන කාව්‍යයේ මෙන්න මෙහෙම ඇය ගැන කියනවා .

"According to Jayasi, Chitor stood for body, Raja for mind, 
Ceylon for heart, Padmini for wisdom and Alauddin for lust" 
ඒවගෙම පස්සේ කාලෙක ඇල්බර්ට් රසල් කියන ප්‍රංශ ඔපෙරා කරුවා මේ කතාව ඔපෙරාවකටත් නගනවා.ලංකාවේ නිපදවුන" පද්මාවතී " නාඩගමත් මේ කතාව ඇසුරින් ලියලා තියෙන්නේ . 


මේ විසාල බලකොටුව බලන්න ගියවෙලාවේ ඉඳන් මම ලොකු ආසාවකින් හිටියේ රාණි පද්මිණීගේ මාලිගාව දැකගන්න . ගරාවැටුණ මාලිගා සංකීර්නයක් වුණ එය පිහිටියේ බලකොටුව කෙලවරේ පොකුණකට යාබදව . මම ලංකාවෙන් කිව්වම එහි සිටි මුරභටයො මට ප්‍රවේශපත්‍ර නොමැතිවම ඇතුලට යන්න ඉඩදුනේ මහරාණිගේ රටෙන් ආව කෙනෙක් නිසා . ගරාවැටුණ මාලිගා සංකීර්ණයේ විසාල ඉඩක් වෙන්වෙලා තිබුණා සේවක නිවාස වලට . මම කල්පනාකලේ මේ මහරාණී තමුන්ගේ සේවකයන්ට බොහොම හොඳින් සලකන්න ඇති කියලා . ස්වාමි පුත්‍රයා වෙනුවෙන් සටන් කරලා මැරෙන්න ඔය තරම් පිරිසක් එක්වෙන්න විදියක් නෑ ඇය සේවකයන් අතර ප්‍රසාදය දිනා නොහිටියනම් .මට හිතුනේ එහෙම .බලකොටුවේ එක්පැත්තක තියෙනවා කුඩා ගිම්හාන ගෘහයක් පොකුණට මූණදාලා .එහි තමයි අලවුදින් ඛිල්ජි මහරාණිගේ රුව බලන්න මග රැකලා ඉඳලා තියෙන්නේ .මේ ගෘහය ඇතුලේ බිත්තිවල දර්පණතල එල්ලලා තියෙනවා . මෙතැන ඉඳන් බැලුවම පොකුණේ තියෙන කුඩා ගිම්හාන ගෘහයක් දැකගන්න පුලුවනි.මහරාණි තමන්ගේ රුව ඛිල්ජිට දර්ශනය වෙන්න ඇවිල්ලා තියෙන්නේ මෙතැනට. මේ ගිම්හාන ගෘහයටනම් යන්න දෙන්නේ නෑ . 
Rana Kumbha Palace 




මීරා දෙවොල 

චිත්තෝර් බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ ගොඩක් තියෙනවා .ඒ අතරින් රනා කුම්භ මාලිගාවත්- Rana Kumbha Palace  වැදගත්.කොටුවට ඇතුල්වෙන සීමාවේමයි මේක තියෙන්නේ . මෙයත් චිත්තෝර් තමන්ගේ බලකොටුව කරගත්තු මහරාජා රනා කුම්භගේ   වාසභවන . මෙතැන ඉඳන් බැලුවම හින්දු කතාවල මිතිකල් කිවිඳියක් හැටියට සැලකුව මීරා බායි සහ බලවත් දේවතාවියක් වූ කාලි මාතාව  වෙනුවෙන් ඉදිවුන පැරණි දෙවොල් දෙකක් මෙතැනට පේනවා  . මීරා කිවිඳිය  ක්‍රිෂ්ණ දෙවිඳුන්කෙරෙහි බොහෝ බැති සිතින් ඔහු වෙනුවෙන් භජන් ගායනා කල තැනැත්තියක්.ඇය ගැන හොහෝ ජන කතා චිත්තෝර් වැසියන් අතරේ මුඛ පරම්පරාගතව එනවා . මීරා වෙනුවෙන් කැපවුන මේ සියවස් ගනනක් පැරණි දෙවොලේ අදත් භජන් ගී ගැයෙනවා , ක්‍රිෂ්ණ පූජා පැවැත්වෙනවා. මීරා දෙවොලත් කාලි මාතා දෙවොලත් ඓතිහාසික අතින් ඉතාම වැදගත් තැන් කියලා හිතුනේ එහි ඇති සියුම් ගල් කැටයම් නිර්මාන දිහා දැක්කම . බලකොටුව පුරාම මේ ගල් කැටයම් වල ලාලිත්‍ය දකින්න පුලුවනි. දේවාල වල අන්තරාලය , ගර්භගෘහය , හා පිටත ආලින්දය කියන කොටස් තුනක් තියෙනවා .උදයපූර් වල තියෙන මාලිගා සංකීර්ණවල අලංකරණයන්ට වඩා චිතෝර් වල කැටයම් , ලියවැල් වල වෙනසක් තියෙනවා චිත්තෝර් ගල් කැටයම් හා ගෘහ නිර්මාණ සම්ප්‍රදාය ගැන මොනවහරි කලින් කියවලා මෙතැන නරඹන්න ආවනම් ගොඩක් හොඳයි කියලා මට හිතුනා . 
Vijay Stamba -Victory Tower 
Stone Carving 

බලකොටුව ඇතුලේ තියෙන ගල් කැටයම් වලින් අලංකාර වුනු මතු මහල් බොහෝ ගණනක් ඇති උශ් කුලුණුත් අමතක කරන්න බෑ . එයින් ප්‍රධාන වෙන්නේ කීර්ති ස්ථම්භය හා  ජය ස්ථම්භය .නම් වලින්ම කියවෙන විදියට චිතෝර් මහරාජා වරුන්ගේ ජුධ ජයග්‍රහණ , හා ඔවුන්ගේ ප්‍රෞඩ බව ලෝකෙට කියාපාන්න මේ කුලුණු ඉදිවෙන්න ඇති . මෙවයේ මතු මහල් වලට නගින්න පටු පියගැට පේලි තුබුණත් පුරාවිද්‍යා වටිනාකම නිසා නරඹන්නන්ට ඒවා උඩට නැගීම සීමා කරල තියෙනවා .මට හිතුනේ මේ කුලුණු චිතෝර් වැසියන්ගේ කීර්තිය ලෝකෙට කියාපාන්න වගේම බලකොටුවට එන පර සතුරු විපත් ගැන  ඔත්තු බලන්නත් පාවිච්චි කරන්න ඇති කියලා.
Go Mukh Fountain 



Go Mukh Reservoir 


View of City from Fort 

ඔය කුලුණු ආසන්නයේම චිත්තෝර් වල ප්‍රධාන ජල මුලාශ්‍රයක්වුන ගෝ මුඛ- Go Mukh Reservior  කියන චිතෝර් වැසියන්ට අනුව කිසිම නියඟයකට නොහිඳෙන ජලාශයක් තියෙනවා. නමේ අරුතින් කියවෙන විදියටම මේ ජලාශයට ජලය එන්නේ ගව මුඛයක හැඩේට ඉදිවුන උල්පත් කටකින්. මේ ජල උල්පත බොහොම බලගතු තැනක් කියලා මෙහි යන එන අයගේ විස්වාසයක් තියෙනවා.කවුරුත් එයින් එන වතුර ටිකක් බීලා මූණ අතපය හෝදගන්නවා . මාත් එහෙම කරලා එතැන තියෙන පුංචි දේවාලෙට පඬුරකුත් දැම්ම.මේ ජලාසේ ඉන්න මාලුන්ට කෑම දීමත් යන එන අයගේ චාරිත්‍රයක්. ඒ වගේම ඒ අවට ඉඳන් පහල චිත්තෝර් නගරය හොඳින් නරඹන්න පුලුවනි . බලකොටුවේ උස් ප්‍රකාර හා   ඈත නගරයේත් මනරම් දසුන් මෙතැනට පේනවා.
Fate Prakash Palace 

මම අන්තිමටම ගියේ පටේ ප්‍රකාශ් ( Fate Prakash Palace )මාලිගාවට .මේ තමයි බලකොටුවේ තියෙන කෞතුකාගාරය .මහා විසාල පැරණි මහරාජා මාලිගයක එක් කොටසක් කෞතුකාගාරයක් හැටියටත් අනික් කොටස ප්‍රාථමික පාසලක් හැටියටත් පැවැත්වෙනවා. එදා නිවාඩු දිනයක් නිසා මට කෞතුකාගාරන නඹන්න තිබුණ අවස්ථාව මග හැරුණා .
Last Click of the Fort 

දවල් දහයට විතර් බලකොටුව බලන්න ගිය ඌෂත් මමත් එතැනින් එන්න පිටත්වුනේ හවස පහට විතර . ඒත් මටනම් බලකොටුවෙන් එන්න බැරි ගතියක් දැනුනා . අර ගරා වැටුණ මාලිගා සංකීර්ණ , පරන ගඩොල් අතර මහරාජා වරුන්ගෙත් මහරාණි වරුන්ගෙත් මොනතරම් සැඟවුණ කතාන්දර ,රහස් කාලයේ වැලිතලාවෙන්  වැලලිලා යන්න ඇතිද කියලා  බලකොටුවේන් පිටවෙන ලඳු කැලෑවකින් වටවුන අභය භූමියක් හැටියට වෙන්කෙරුණ මාර්ගයේ එද්දී මම කල්පනා කරමින් හිටියේ .ඒ වෙනකොටත් හිරි පොද වැස්ස වැටෙනවා අපිවත් තෙමාගෙන . වැහි අඳුරත් මීදුමත් නිසා බලකොටුව කෙමෙන් නොපෙනී යමින් තිබුණා . 


ප/ලි

හොඳින්ම චිත්තෝර් බලන්න නම්  මුලු දවසක්ම යනවා .එදා රෑ දහයට තියෙන  කෝච්චියෙන් චිත්තෝර් ඉඳලා අග්‍රා බලා යන්න මගේ සැලසුම වුන නිසා වැඩිය හවස් වෙනකන් සිත්සේ මට බලකොටුව නරඹන්න බැරිවුනා .  මගේ චිත්තෝර්  මිතුරිය ඌෂා නිසා රාජ්පුත් ශිෂ්ටාචාරයේ සැඟවුණ අභිමානය වූ චිත්තෝර් නුවර නරඹන්න මට හැකිවුනා .රාණි පද්මිණී ගැන වැඩි විස්තර කියවන්න ඕනෙ නම් මෙන්න මේ ලින්ක් එකට යන්න .








    

Thursday, January 19, 2012

ලොස්ට් ඔපචුනිටීස් -Lost Opportunities




හවස් යාමයේ නගරයේ තිබූ කලබලය දැන් නැත .ඉඳහිට ඇහෙන්නේ හයිලෙවල් පාරේ යන වාහන වල සද්දයක් පමණි . දවාලේ ඇති වාහන තදබදය දැන් නැත .එලවලු , පොල් ලොරි , මස්කඩ කාරයන් , මාලු වෙලෙන්දන් නිසා දවල්ට මහා කාලගෝට්ටියක සිරි ගන්නා කිරුලපන පොදු වෙලඳපොල අඳුරේ ගිලී නිසලය. හවසට තොරතෝංචියක් නැතුව බීගෙන කෑගහන ,රණ්ඩු වෙන පහල  කූඹි කැලේ වත්තේ ගෑණු මිනිස්සුන්ගේ සද්ද බද්ද දැන් නැත . බාධාවකට ඇත්තේ මාර්කට් එකේ  සුන් බුන් කුණු ගොඩ පිසගෙන ජනේලයෙන් කාමරයට පනින දුගඳ හුලඟ පමණි .කවදාත් මට පුරුදු අන්තිම මොහොතේ ,අවේලාවේ අවදිව නිදි වරන් වැඩ කිරීමයි .ඇඳකුත් කුඩා පොත් මේසයකුත් තැබියහැකි බැල්කණියකට විවර වෙන කාලයක් නිවැසියන් අබලි බඩු මුට්ටු දමන්න පාවිච්චිකල මේ කුඩා කාමර පොඩ්ඩ මගේ නවාතැනයි .ඇඳ පුරා විසිරුන පොත් ගොඩ මතින් වැතිරී කේ .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් ( K.Loganathan - Lost Opportunities ) හි වඩුක්කොඩෙයි ගිවිසුම ගැන කියවමින් සිටියෙමි . මේ කොටස නොකියවා සිටියොත් මගේ හෙට දේශනය වටහාගැනීම අසාර්ථක වනු ඇත .

පොතෙහි නිමග්න වී සිටින මට පහල ගේට්ටුවට මහ හඬින් තඩි බාන සද්දයක් ඇසේ . මාර්කට් එකේ පදිංචි වී සිටින අයාලේ යන බලු රැලත් කලබල වී බුරා වැටෙති . පහල ගෙදර කුලියට ගෙන සිටින බර්ගර් පවුල හෝ දෙවැනි තට්ටුවේ සිටින නිවැසියන් ඇහැරෙන පාටක් නැත . දැන් දැන් ගේට්ටුවට පා පහරවලුත් වැදෙන හඬ ඇසේ . වෙලාව රාත්‍රී එකට පමණ ඇත . 

මම නිදන ඇඳුම පිටින්ම දොර හැරගෙන පඩිපෙල දිගේ පහලට බැස්සෙමි . පහල බැල්කණියෙන් බැලූ විට දැක්කේ කාකි නිල අඳුම් ඇඟලා ගත් හමුදා භටයන් පිරිසක් ගේට්ටුවට තඩිබාන බවකි .ඔවුන් මා දැක ඇත 

"කෝ මේ ගෙවල් වල මිනිස්සු . නැගිටින්නේ නැද්ද ? අපි ගෙවල් චෙක් කරනවා . හදිසි වැටලීමක් .බෝම්බ පුපුරන්නේ කියලා නෙවේ ".

රළු හඬින් එක් හමුදාභටයෙක් කෑ ගසයි 

"ඉන්න මම ගෙදර අය නැගිට්ටවන්නම් " 

තද නින්දෙන් පිබිදුන ගෙහිමියන් පහල අගුලු ලා ඇති යකඩ ගේට්ටුව හැරියේය  . ටොක් ටොක් ලෙස තාලයට බූට් සද්දයක් එයි . පහල සිටි හමුදා පිරිසෙන් හත් අට දෙනෙක්ම ඉහල මාලයට එයි . 

කවුද ගෙදර ඉන්නේ ආයෙත් අර රළු හඬ ප්‍රශ්නකරයි 

"අපි දෙන්නයි ළමයි තුන්දෙනයි මේ තට්ටුවෙ ඉන්නේ .පහල බදු දීල තියෙන්නේ පවුලකට .ඉහල කාමර කෑල්ලේ මේ දරුවා ඉන්නවා " 

ගෙහිමියා යටහත්ව කියයි .

සෙබලුන්ගෙන් කොටසක් තුවක්කු මානාගෙන පහල පාරේ බර අඩි තබමින් යති .අර රළු හඬ මොවුන්ගේ ඉහල නිලධාරියා විය යුතුය . කීපදෙනෙක්ට පහල කුලී ගෙදරට යන්න සන් කරන ඔහු අලුත් යමක් සොයාගත්තා සේ මා දෙසට හැරෙයි .

"තමුන් කවුද , මේ ගෙදර උදවිය තමාගේ කවුද ?" මට පැනයකි 

"මම කැම්පස් යනවා .මෙහේ නැවතිලා ඉන්නේ "

"මේ දරුවා ගාල්ලේ අපේ හිතවත් පවුලක .දැන් අවුරුද්දක් තිස්සේ අපේ ගෙදර ඉඳන් කැම්පස් යන්නේ "

 ගෙහිමියා මා මතය තහවුරු කරයි .

"කොහේ කැම්පස්ද ?"

ආයෙත් පැනයකි 

"කොලඹ "

"දෙන්නෙක් යන්න උඩට  ."

 නැවත ඔහුගෙන් අණකි 

සෙබලු දෙන්නෙක් වහ වහා පඩි නැග මගේ අට්ටාල කාමරයට යති .එහි දොර විවර වී ලයිට් එලි දැල්වේ . කුඩා මේසය උඩත් ඇඳ මතත් පොත් විසිරිලාය .

බරාස් ගා මගේ කබල් පුටුව ඇදි එක් අයෙක් ඇඳුම් බෑගය ගෙන පිරික්සයි . එහි ඇත්තේ මගේ ඇඳුම් කෑලි ටිකය .අනිකා පොත්මේසයට නැඹුරුවී ගොඩගසා ඇති පොත් පිරික්සයි .

ඔහු එකදහස් නවසිය හැත්තෑ අටේ  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , අපරාධ නඩු විධාන සංග්‍රහයත් අවුස්සා එලියට ගෙන ඇත . 

"මේවා මොකටද?"

 ආයෙත් පැනයකි

"ඕවා මම ඉගෙනගන්නවා " තව ප්‍රශ්න යොමුවන්නට පෙර මම වහ වහා මම මගේ ශීෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරමි .

"හරි මිස් බොහොම ඉස්තුතියි "

 එවර හමුදා භටයා බොහෝ සංවරය . 

"මේ බලන්න"

 මගේ පොත් බෑගය අදින අනිකාගෙන් හඬක් මතුවෙයි 

මම වහා එබී බැලුවෙමි . තම අතේ ඇති දෙමළ බසින් ලියැවුණ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , තව දෙමල බසින් ලියවුන පනත් කීපයක් එකට  කර හම් බැම්මෙන් බැඳි පබ්ලිකේශන් බියුරෝ එකෙන් මුද්‍රිත ලොකු පොතකුත් අතට ගත් ඔහු මහා අනර්ඝ දෙයක් සොයාගත්තෙකු සේ කෑ ගසයි .

මට වුන හදිය මතක්වෙන්නේ දැන්ය . එදා දවල් දේශන ඉවර වී එලියට එන විට මා වෙත ආ ටෙරා හා චිත්ති මගෙන් ඉල්ලිමක් කලෝය . 

"අදට මේ පොත් ටික ඔය බේග් එකේ දාගෙන ගෙනියනව ප්ලිස්?
.හෙට ගේනවද ?.අපි දෙන්නටම පොත් වැඩි තමා අද .ලයිබ්‍රරි බූක්ස් ගොඩකුත් තියෙනවා තමා . ලොකු උදවු හෙට ගෙනාවොත් " 

කැඩුන සිංහලෙන් කියන චිත්තිගේ ඉල්ලිම ඉවතලිය නොහැක .මට ඉඳහිට හෝ දේශන මග ඇරුනොත් සටහන්පොත ණයට දෙන්නේත් ඈය. .

මේ දෙන්නම මගේ යාලුවෝය. අඳුනාගත්තේ කැම්පස් එකේදීය .ටෙරා දෙමළ මාධ්‍ය පන්තියේය . චිත්ති හා මම අනික් පන්තියේය .කවුරුත් ඉන්ග්‍රිසි අණ පණත් සමග මවු බසින් ලියැවුණ අණ පණත් ද පාවිච්චි කරමු . එතකොට සමහර දේ තේරුම් ගන්න ලේසිය . පොත් වල ටෙරාගේ හා චිත්තිගේ නම් දෙමල අකුරින් කාබන් පෑනෙන් ලියා ඇත .

"මේව මොකටද මිස් , මිස් දෙමළ කතා කරනවද, කියවනවද ?"

අනික් හමුදා භටයා පසෙක දිගහැර දමා ඇති චානක අමරතුංගගේ අයිඩියාස් ෆෝ කොන්ස්ටිටියුශනල් රිෆෝම්ස් පොත අතට ගෙන එහි බර මනින ලෙස එහා මෙහා හරවයි.

දැන් නම් මට ටිකක් බය හිතේ .

"නෑ මම දෙමළ කතා කරන්නේ නෑ , දෙමල කියවන්න , ලියන්න මම දන්නේ නෑ "

"එහෙනම් මේවා ?" ඔහු නැවත මෙසය මත ඇති දෙමල බසින් ලියවුන අණ පණත් පෙන්වයි 

"මේවා මා එක්ක එකට ඉගෙනගන්න යාලුවො දෙන්නෙක්ගේ , එයාලගේ බෑග් වල දාගෙන යන්න ඉඩ මදි නිසා මට දුන්න අද ගෙනිහින් හෙට ගේන්න .මේවා අපි ඉගෙන ගන්නවා . අන්න අර පොත් වල දෙමළ පරිවර්තන " 

මම නැවතත්  එක්දහස් නවසිය හැත්තෑ අට ආණ්ඩු ක්‍රම් ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් පෙන්නුවෙමි . 

"මේව ඔක්කොම රජයෙන් ප්‍රකාශයට පත්කරන්නේ .අර රාජ්ජ ලාංචනේ තියෙන්නේ " 

ඔවු රාජ්‍ය ලාංචනේ තියෙනවනම් බයවෙන්නෙ මොකටද .මොකෝ මේව මම අච්චුගහපුවද ? යටිහිතින් මට හිතේ 

"මොකද තමුසෙලා පරක්කු ?"

ආයෙත් අර රළු හඬය 

"නෑ සර් මේ ? "

හමුදා භටයා ඔහු සොයාගත් අනර්ඝ වස්තූන් ඉහල නිලධාරියාට පෙන්වයි . 

"තමුන්ගේ ශිෂ්‍ය හඳුනුම්පත තියෙනවද?"

ඔහු ඒදෙස බැලුම් හෙලන අතර මගෙන් අසයි .මම රෝස පැහැ ශිෂ්‍ය හඳුනුම්පත හා කහ පැහැ ජාතික හැඳුනුම්පත පෙන්වමි . 

"එතකොට මොකටද මේ පොත්" 

මම මුල සිට අගට  ආයේ කතාව කියමි 

ඔහු කාමරය සිසාරා බැලුම් හෙලයි .ඒ අතර අනිකා ඇඳේ මෙට්ටයත් ඉවත් කර මගේ ඇඳයටට එබී බලයි 

කේ.  ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත ඇඳෙන් බිමට වැටී අර රළු හඬ ඇත්තාගේ දෙපාමුලට විසිවෙයි . 

"ඔය ඇති , අපි යමු , දොර වහගන්න "

අර රළු හඬ කියයි . චෙක් කිරිලි එතැනින් ඉවරය 

මම නැවත පොත් මේසයේ පොත් අඩුක්කු කර , එකදහස් නවසීය හැත්තෑ අටේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් අනික් පොත් අතර උඩින්ම තියමි . මේවා නිතර ඕනෙ වෙනවාය . 

තාමත් බිම පෙරැලී ඇති කේ  .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත අවුල් වූ පොත් මේසය සකසන මගේ පයට පෑගෙයි . ඒ නොදැනුවත්වය .මගේ නොසැලකිල්ලය.  එය බිම වැටුනේ අපි හැමෝගේම නොසැලකිල්ල  නිසාය  .

පැහැදිලි කිරීම 


චානක අමරතුංග ලිබරල් පක්ෂයට සම්බන්ධවූ ලංකාවේ ආණ්ඩුක්‍රම වෙනස්කම් සිදුවියයුතු අයුරු හා සුලු ජන අයිතීන් එයට ඇතුලත් විය යුතු අයුරු ගැන මත පලකල සිංහල විද්වතෙකි . කේ. ලෝගනාදන් සන්නද්ධ අරගලයේ  එක් පාර්ශවයක් නියෝජනයකොට කලකදී ඉන් මිදී එලියට අවුත් අරගලය හා එහි ඉතිහාසය දෙස වෙනස් ඇහැකින් බැලූ දෙමළ විද්වතෙකි .චානක රිය අනතුරකින් අකාලේ මියගිය අතර ලෝගනාදන් සන්න්නද්ධ කල්ලිය අතින් මිය ගිය අවසන් දෙමළ විද්වතුන් ගොන්නට එක්වේ .
වඩුක්කොඩෙයි ගිවිසුම -1971 දෙමල ඊලාම නිජබිම් සංකල්පය එවක ඊලාම් සටන්කාමීන්  නිල වශයෙන් ඉදිරිපත් කලේ මේ හරහාය 

මගේ මිතුරු ටෙරා  මෙයින් හත් වසරකට පෙර විනෝද චාරිකාවක් ගොස් දියේ ගිලී අකල්හි අපෙන් වියෝවුවේය .චිත්ති ඉන් වසරකට පසු සදහටම  ලංකාව හැරදා ගියාය .


තාමත් තිස් තුන් වසක් ගෙවීත් අපි හැත්තෑ අටේ පුස්තකය අපේ මුඛ්‍ය නීතිය කරගෙන (grund norm ) පාලනය වේමින් සිටිමු . 

Saturday, January 14, 2012

මතක වස්ත්‍ර


"මම හිතුවෙ නෑ ලොකු මේතරම් දවස් අවුරුදු නිවාඩුවට ගෙදර ඉඳීවි කියලා. නිතරම ගමන් යන්න තියාගත්තුගමන්නේ "


නිල්මිණි හෙමින් තේ කෝප්පය තොලගාමින් කියයි .


අපි දෙන්නා පොඩි කාලේ සිටම කවදාවත් උනුන්ට නම් කියා අමතා නැත .දෙන්නාම ඉපදුනේ එකම අවුරුද්දේ එකම මාසයකය . වෙනස මම නිල්මිණිට වඩා එක සතියක් බාල වීමයි . මට ලොක්කා කියා අපේ ගෙදර කියන පුරුද්දට ඈ එය කෙටි කර "ලොකු" කියයි . සහෝදර සහෝදරියන් පස් දෙනෙක්ගේ පවුලක ඇය තෙවැන්නා වී 'සුදු" යන ආමන්ත්‍රණය ලැබී ඇති නිසා මාත් ඈට "සුදු" කියමි.


"කෝසලත් එන්න හිටියේ . ඒත් එයා සෑහෙන්න කාලයක් වැඩට නොගිහින් ඉඳලා අද තමයි වැඩට ගියේ "
"ඒ මොකෝ වැඩ නැතුව හිටියද "
"නෑ ලී මෝලෙන් පර්මිට්  නැති ගස් වගයක් කපන්න කියලා මේගොල්ලන්ට කියලා අන්තිමට නඩුවකත් පැටලිලා කරදර ගොඩක් වෙලා තමයි බේරුමක් වුනේ . මෝලෙන් ආයෙ අද වැඩට එන්න කියලා තිබ්බේ "


ඈ නොනැවතිල්ලේ කියවයි .මම මේසේ පසෙක වාඩි වී සිටිනා වයස දොලහක තරම් පිරිමි දරුවා දෙස බැලීමි . ඔහු උනන්දුවෙන් මේසය මත ඇති ඉන්ග්‍රිසි පත්තර කෑල්ලක අකුරු එකතුකරයි .


"පුතා මේ වචනේ කියවන්න දන්නවද ?"
පොඩි එකා මා දිහා බලා නැවත පත්තරයට එබී අකුරින් අකුර වචනය ගැටගසයි .


"වී , අයි , එස් , අයි , ඕ , එන් ......ආයෙත් කල්පනා කරයි ....විශන් ...ඔහු ජයග්‍රාහීව මා දිහා බලයි .
"හරියට හරි" , මම දරුවාගේ පිටට තට්ටුවක් දැම්මෙමි


නිල්මිණිගේ මූණ ආලෝකමත්වෙලාය.


"අයියා හරි පිලිවෙලයි , උනන්දුයි පාඩම් වැඩට , ශිෂ්‍යත්වේත් පාස්වුනා ,ඉස්කෝලෙනුත් හොඳ කියනවා. ඒකට නංගි .මෙයා හරි  කම්මැලියි , සෙල්ලමටමයි හිත" .


ඈ වයස හතක් පමණ වන දැරිය දෙස බලා කියයි.පොඩි එකී ලජ්ජාවෙන් ඇඹරෙයි
"නෑ එයත් අය්යවගේ වේවි"   මම කියමි


"ශිෂ්‍යත්ව ලකුණු වලින් පුතා සෙන්ට්‍රල් එකට දැම්මා. ස්කූල් බස් එකේ යවන්න වියදම් වැඩියි .පාරෙ බස් එකේ යන්න පුරුදුකලා . දැන් තනියෙන්  බස් එකේ පන්ති එහෙම යනවා. ළමයින්ට උගන්නන එකත් ලේසි නෑ ලොකු. ඒත් අපිට බැරිවුන එකේ මෙයාලවත් ගොඩ දෑන්න එපැයි" . ඈ ආයෙත් කියන්නීය .


"හ්ම්"  මම කිසිත් නොකියා සිටිමි


"පුතාලගේ ඉස්කෝලේ දෙමවුපිය රැස්වීම් නිතරම . කෝසලට වෙලා නෑ ඕවට යන්න  වැඩට ගියහම . මම තමයි යන්නේ . අම්මලට ඉස්කෝලේට එන්න කියන්නේ සාරි ඇඳලා .වැඩි දාට මට යන්න වෙන්නේ සාය හැට්ට ඇඳන් . පුතාගේ පන්තිබාර මිස් මාව දන්න නිසා මොනවත් කියන්නේ නෑ. ඒත් පුතා ආස නෑ හැමදාම මම එහෙම එනවට .අනික් ලමයින්ගේ අම්මලා  ලස්සනට සාරි ඇඳලා එනවා කියලා ගෙදර ආවම නහයෙන් අඬනවා නිතරම . බැරිද ලොකුගේ පරණ සාරියක් දෙකක් ....."


ඈ කියවිල්ල නවතා මා දෙස ඕනෑකමින් බලයි


"එන්න කාමරේට ඔයා කැමති එකක් ගන්න ". මම ඇයට හිසෙන් සන් කරමි


"නෑ ලොකු කැමති එකක් දෙන්න ".ඇය කියයි


"නෑ එහෙම හරියන්නේ නෑ ඔයා තෝරගන්න .ඔයානේ අඳින්නේ "


"ඉස්සර ලොකුගේ කාමරේ හරි පිලිවෙලයි, මෙහෙම නෑ ."


  ඇය ඇඳ මත රැඳි පොත් , අඳුම් ඈත් මෑත් කර වාඩිවී පිලිවෙල නැති පොත් මේසය දෙස බලමින් කියන්නිය  .


"හ්ම් , මට දැන්  වෙලාවක් නෑ සුදු "


අල්මාරිය ඇර දෙමින් " ඔන්න ඔයා තෝරගන්න අර උඩම තට්ටුවෙ තියෙන්නේ " මම ඇයට ඉඩ දෙමි


"මේව පරණ වෙලා නෑ  මට හොඳ වැඩියි . මේව ඔයාට තව අඳින්න පුලුවන් ". ඈ මාදෙස බලයි .


"නෑ මට දැන් ඕව අඳින්න වෙලා නෑ" මම උදාසීනව කියමින් අල්මාරියේ අනික් දොර පලුවට පිට දෙමි .


"ලොකූ කාලෙකින් ඒ පැත්තේ ආවෙ නෑ .ලොකු  මාමා ඊයේ හම්බවෙලා කිව්ව ගිය  අවුරුද්දටවත් බුලත් දීල කතාකරන්නවත් ආවෙ නෑ කියලා ". ඈ සාරි තෝරමින් මගෙන් අසයි .


"මට නිවාඩුත් නෑ වැඩිය .ආවත් වෙලාවක් නෑ මහගෙදර පැත්තේ යන්න "


ගමේ යන්න ඇති අකමැත්ත සඟවාගෙන මම අල්මැරුන පිලිතුරක් දෙමි




"හ්ම් ඒකට කමක් නෑ . නිවාඩු තිවුනොත් දවසක  එන්න අපේ දිහා . ඉද්දගලෙන් නාලා .... අපේ දිහායින් බත් ටිකක් කාලා .... ඇඹිලකන්දේ පන්සල් ගිහින් එතෑකි ".


"ඉද්දගල තාම තියෙනවද ?ඉද්ද පඳුරුත් තියෙනවද ? "මම නවපණක් ලද්දෙකු සේ අසමි


"ඔවු තාම තියේ .දැන් පන්සල් කන්දේ ඉඩම් වෙන්දේසි කරලා .අපි ඉන්නෙත් ඒ හරියේ .ඉද්දගල ලිඳ ගම් සබාවෙන් හොඳට හදලා. ඒ හරියේ කැලෑගතිය දැන් නෑ.ඒ නිසා ඉද්ද පඳුරු නම් නෑ ඒත් පාර හොඳට හදලා. "


නිල් කැටේට වතුර පිරුණ ඉද්ද පඳුරු ගොන්නකින් වටවුණ , පන්සල් කන්ද පාමුල වූ ඉද්දගල මගේ පොඩි  කාලේ මතක ගොන්නක එකතුවයි .


"ලොකුට මතකද ඒ දවස්වල? ඉස්කෝලෙ නිවාඩුවට ඔයා ගමේ ආවම  මම , අපේ අයියා , පොඩී  එක්ක නාන්න ඉද්දගලේ යනවා."


මම අල්මාරියට පිටදී දෙනෙත් පියාගෙන අතීතයට යමි ...පන්සල් කන්ද පාමුල අඩි පාරෙන් ඉද්දගලට යායුතුය .යන මග දිගට දං , හිඹුටු ,බෝවිටියා  පඳුරු පිරීලා .දැඩි පායන කාලයක ඇරුන විට ගම්මු වැඩිය මේ ලිඳට යන්නේ නැත .මේ ලිඳෙන් නෑවේ මළපලාව වත්තේ  හිටි පවුල් කීපය පමණි .අපි නඩේ මෙහි යන්නේ කැලෑ වැදී ගඩාගෙඩි කන්න ආසා නිසාය . පන්සල් කන්ද පාමුල පිහිටි දිය උතුරන සීතල  උල්පතක් වූ මෙයින් අතින් වතුර ගතහැක . නමටම ගැලපෙන ලෙස ඒ ඉසව්වේ සුදු මල් පිපුණ ඉද්ද පඳුරු ගොල්ලකි . කරුණාසේන ජයලත්ගේ "හතුරු හිතක් " පොත කියවනවිට පූජිතරත්නලාගේ ගෙවල් ගාව ඇති ඉද්ද පඳුරු ගැන කියන හැම විටම මට සිහියට එන්නේ මේ ඉද්දගලේ ඉද්ද පඳුරුය.


"ලොකූට මතකද දවසක් අපි නාන්න ගිහින් පරක්කුවෙලා , අපේ තාත්තගෙන් කෝටු පාර ලැබුණා ඔක්කොටම ?"


"ඔවු වැඩියෙන් ගුටි කෑවේ මංජු අයියා ..අපි පොඩි ඈයො එක්ක කැලෑ වදින්න ගියා කියලා . ඉද්දගලෙන් නාලා එද්දී අයියා මට පන්සල්වත්තේ සල් ගහෙන් සල් මල් අහුලලා දෙනවා .වැඩිදාට නාලා ඔයාලගේ අම්මගෙන් බතුත්කාල මම එන්නේ .ඔයාලගේ චූටි නංගී ගොඩාක් පොඩියි . සාලේ ගැටගහලා තියෙන රෙදි ඔංචිල්ලාවෙ නිදි".මට  කිමිදෙන්න මතක සාගරයක් ඇත


"හ්ම්.... චූටි අද හිටියනම් අවුරුදු විසිපහක ලොකු කෙල්ලෙක් .අයියා පොඩි කාලේ ඉඳන් අපිට ආදරෙයි පවුලට  හරි හිතයි  .ඔය කසාදේ කරගත්තට පස්සේ පවුලෙන් හරියට ඈත්වුනා .දැන් අයියා  වැඩිය ගම ඒමක් නෑ ලොකූ ". සුදු විස්සෝප වී කියයි .


"සාරි තෝරගත්තද ? "කතාව වෙන අතකට හැරවිය යුතු නිසා මම අසමි .


සාරි කීපයක් ඇඳ මත විසිරී ඇත. ඈ මා දිහා හිස් බැල්මෙන් බලයි .


"ඇයි අර ක්‍රීම් පාටට  එකයි ලා නිල් පාට එකයි ගන්නේ නැත්තේ ?. දෙකේම  පල්ලුව ලස්සනයි .ඔයා උස මහත නිසා ඔසරියකට හරි හැඩවේවි ".


කාලෙකට කලින් මම ඒ සාරි දෙකටම මහත් ආසා කලෙමි .ඒ සාරි ගත්තු දිනයත් අද වගේ මතකය .මා නිතර අඳින්න ආසා සාරි අතර මේ දෙකත් විය  .ඇන්ද විට හැඩ බලන්න අයද සිටිවග මතකය .නමුත් දැන් ඒ මතක වලින්  වැඩක් නැත . ඉතින් සාරියෙනුත් වැඩක් නැත .අඳින්නේ නැතුව මොකට ඕවා අලමාරියේ තියාගන්නවාද ?.


"ලොකු සාරියක් ඇඳලා ඉන්නවා මම කවදාවත් දැකලා නෑ ," ඈ සාරිවල පල්ලුවේ ඇති සිහින් මෝස්තර බලමින් කියයි


"නෑ මම දැන් සාරි අඳින්නේ හරි කලාතුරකින් .කලබල රස්සාවක් එක්ක සාරි අඳින්න බෑ   සුදු " ආයෙත් සුපුරුදු කම්මැලි ගතියෙන් මම උත්තර දෙමි .


"දැන් ඔහොම ඉන්නද කල්පනාව"? .


"ඔවු ඇයි මොකෝ මේකෙ වැරැද්දක් තියෙනවද ? "


"නෑ එහෙම නෙවෙයි ..ඒත්...... "..ඈ කතාව නවතා මාදෙස බලයි
"...ඒදවස්වල ලොකු මට කිය කියා හිටියේ ...."ආයෙත් කතාව නැවතෙයි


"නෑ ඒව ඔක්කොම ඉවරයි ..දැන් .මට ඕවට නාස්තිකරන්න  වෙලා නෑ"
  මම අල්මාරියට පිටදී දෙනෙත් පියාගෙන සිහින් හඬින් කියමි .ඉද්දගලත් වෙනස්වෙලා එහෙනම් මට හිතේ .


                                                        ****************


කාමරයේ ජනෙල් වලින් බැසයන මලානික හිරු කිරණ ඇඳ මත වැටී ඇත . අල්මාරිය අසල පැදුරක වාඩි වී අම්මා රෙදි ගොඩක් තෝරයි .පසෙකින් ගොඩ ගැසූ හොඳට නැවූ  සාරි කීපයකි .අල්මාරියේ කපුරු සුවඳ දසත විසිරෙයි .මම හෙමින් ඇඳ මත වාඩි වී අම්මා දෙස බැලීමි


"දැන් මේවයින් බාගයක් විතර  වැඩක් නෑ . අවුරුදු තිස්  හතක් තිස්සේ ඇඳපුවා . අල්මාරියේ ගොඩ ගැහිලා .මොනවා කරන්නද මන්දා ?"


 මගෙන් උත්තරයක් නැතත් ඈ කියවයි


"ඕවා කවුද ගන්නේ .ඔයින් බාගයක් විතර පරණ මෝස්තර .තුනී වෙච්චි සාරි " මම සරදම් හඬින්  කියමි


"ඔවු පරණම ඒවා මම තෝරලා වෙන් කලා .."ඈ මට පෙන්වයි


"මේ මගේ පලවෙනි පත්වීම දවසෙ ඇන්ද සාරිය ...රුපියල් විසිපහකට සමූපකාරෙන් පුංචි අම්ම අරන්දුන්නේ .මම වැඩට යනවා කිව්වම"


ඈ ලා කොල පාට සාරියක් පෙන්වයි . එහි වාටි ගානට ඉටි පන්දමකින් බීක්කු හැඩේට පුලුස්සා ඇත .


"මේක ඇඳන් චේ ගුවෙරා එකට අහුවෙලා හිටි ලොකු මාමව බලන්න වැලිකඩ ගිය දවසේ ,   මාම හරියට ඇඬුවා ...එයා මාව මුලින්ම සාරියක් ඇඳලා ඉන්නවා දැක්කේ එදා"


"අඬන්න එයා? . ගෙදර අයියා වුණාට  එයා දන්නේ එච්චරයි නේ.වෙන මොනවද එයා කරලා තියෙන්නේ ?.කෙහෙම්මල් දේසපාලනේ විතරයි. එයා නිසා තමයි අම්මට අවුරුදු විස්සේදි රස්සාවට යන්න වුනෙත් ඉගෙනීම අත ඇරලා .ඊට පස්සේ ඉක්මනට කසාද බඳින වුනේ ". 


මම තරහෙන් නුරුස්සනා බැල්මකින් උත්තරදෙමි .


අම්මාට මගේ රොස් පරොස් වදන් වලින් වැඩක් නැත . ඈ  අගනා වස්තුවක් ලෙස ඒ සාරියේ වාටි පිරිමදියි .


"මේ සාරි තුනම තාත්තා  කොලඹ ගියදාක ගෙනාවේ"


රෝස , දම් හා ලා කොලපාට මෝස්තර වලින් යුත්  සාරි තුනකි .ඒවා මට සෑහෙන්න මතකය .මා පාසලේ ප්‍රාථමික පන්තිවල ඉන්නා කාලයේ අම්මා වැඩට ගියේ නිතරම ඒවා ඇඳලාය .බාලාංශ පන්තිය එකොලහට ඇරුන විට ඇය මාව ගන්න පාසලට එයි . එවිට ඇයට ගුරුතුමියගෙන් අසන්න වෙන්නේ අකුරු ලියන්න , කියවන්න මගේ ඇති දුර්වල කම්ය , නැත්නම් දඟ වැඩය . පොත්බෑගයත් එල්ලන් පාසල් ගේටුවෙන් පිටවුන වහා අම්මා නැවත මගේ දුර්වල කම් ගැන මග දිගටම දොස් කියන්නීය . ඇගේ වෙගයට ඇවිද යන්නට බැරි පුංචි මම ඇගේ සාරි පොටේ එල්ලී බැනුම් අසමින් යමි .ඒ නිසා ඔය සාරි තුනම මට පෙන්නන්න බැරිය .වහ කදුරු වගේය.


"මේ ලොකුමාමා බඳින දවසේ ඇන්ද සාරිය ....මේක පොඩි මාමගේ මගුලට ඇන්දේ ...."ඈ නොනැවතිල්ලේ කියවයි


"දැන් ඕව තියාගෙන වැඩක් නෑ .කාට දෙන්නද ?මොනවා  කරන්නද ?කවුරු අඳින්නද ?"


මම නුරුස්සනා ලෙස ඇගෙන් අහමි


"ඔවු මොකද කරන්නේ? තියාගෙන ඉඳලා තේරුමක් නෑ .අල්මාරියෙ ඉඩ ඇහිරෙනවා .ඒත් විසිකරන්න දුකයි "


"හ්ම් එක්කො කුණු ලොරිය ආවම් දෙන්න , නැත්නම් පුච්චල දාන්න .කවුරුවත් ගන්න එකක්යැ"


මම සරදම් ලෙස සැහැල්ලුවෙන් කියමි


ඈ දුකින් පිරුණ මූණින් මාදෙස බලයි ."මේ වගේ සාරි විස්සක් තියෙනවා"


"දෙන්න ඔය ටික මට ,පුච්චල ඉවරයක් කරන්න "


"හ්ම් ඕනෙ එකක් කරන්න එහෙනම් " ඈ අහක බලන් කියන්නිය


සාරි ගොඩ එක් කරගත් මම නිවස පිටුපසට ගොස් එක තැනක ඒවා ගොඩ ගැසීමි. ඉක්මනින් පුලුස්සන අටියෙන් ලාම්පුතෙල් ටිකක් හලා ගිනි කූර ලං කලෙමි


නයිලොන් රෙදි උණුවී වැගිරෙමින් එකිනෙක ගිණි ගෙන දැවෙයි . අම්මා පිලිකන්නේ දොර අසලට වී සාරි ගිණි අවුලන මාදෙස බලා සිටියි


නයිලොන් ගිනිගෙන දැවෙන සැර රස්නය මගේ මූණට වැටී ඇත . වගක් නැතිව මම ගිනිගෙන දැවෙන ඉතිරි සාරි කෑලි එක්කර පිලිස්සිම් ඉක්මන් කරමි . සාරි වලින් තාම කපුරු සුවඳ ගිලිහී නැත. මෙලෙසින් අතීත මතකය සියල්ලත්  පුලුස්සනු හැකිනම් යෙහෙකැයි මට සිතේ.





Saturday, January 7, 2012

මල්ලි හපා කාල ඩොක්ටර්.... සහ එයින් පසු




අම්මාට නංගි ලැබෙන්න හිටි කාලයේ ගෙදර හැමෝම කිව්වේ  'අම්ම පුතාට සෙල්ලම් කරන්න මල්ලි බබෙක් එක්කන් එන " බවයි . එතකොට මට අවුරුදු පහකි . ආසාවෙන් බලන් හිටි මල්ලි බබා වෙනුවට අම්මා ගෙනාවේ නංගි බබෙකි . පස්සේ මල්ලි බබෙක් ගෙනැවිත් දෙන බව කිව්වත් ඒ මල්ලි බබා කවදාවත්ම ආවේ නැත . එක අතකට ඔය මල්ලි බබා ගෙනාවේ නැති එකමයි හොඳ , මට එහෙම හිතුන වාර බොහෝය . මට අවුරුදු දහයක් පමණ වන විට අම්මා හා තාත්තා එක්ක නිදා ගැනීමද අහිමි විය .


" ඔයා ලොකු ළමයෙක්  ඒ නිසා දැන් තනියෙන් නිදාගන්න පුරුදු වෙන්න , නංගි තාම පොඩියි නේ , එයා අපි එක්ක නිදාගත්තුදෙන් "කියා අම්මා කීවාය .


මට වෙන්වුන කාමරයේ පාඩම් කිරීමත්  ,තනියෙන්  නිදාගැනීමත් සිදුවිය . මට කාමරයක් වෙන් වුන බව දැනගත් නංගීටත් කාමරයක් වෙන් කරගන්න උවමනා විය . ඇයටත් කාමරයක් ලැබුන මුත් අවුරුදු දහය පැන්නත් ඇය එහි නිදන්න ගියේ නැත .එහි වූයේ අපිලිවෙලට ගොඩ ගැහුන අගේ පාසල් පොත් , ලමා පත්තර , ටොපි හා චොකලට් දවටන , බීම බට , පාසලේ අත් වැඩට මැටි ගුලි වලින් හැදූ බල්ලන් පූසන් ආදියයි .කොටින්ම එය පිස්සිගේ පලා මල්ල මෙනි . ඒ මදිවාට කොහේ යතත් තාත්තාගේ පස්සෙන් එල්ලී මෝටර් සයිකලයේ ඉදිරිපස ඉඳගෙන යන පුරුද්දකුත් ඇයට විය . මම එහෙම කලොත්"ඔයා ලොකු ළමයෙක්" කියා තාත්තා මා බිමට බස්සවයි . නිකන් අම්මගේ ඇඳ අසලින් හාන්සි වුනත් ඇය මා එලවා ගන්නේ "ඔයා තව අවුරුද්දකින් දෙකකින් ඕ ලෙවල් කරන ලොකු ලමයෙක්" කියාය . මේ ලොකු ලමයා කතාව මට පෙන්නන්න බැරිය , ඔය ඔක්කොම අර නංගි නිසාය . ඇය නම් මහ ඇණයක් යයි මට හිතේ . මගේ තනි අධිරාජ්‍යයේ බලය බිඳී යාම නිසා මට ඇය සමග තිබුණේ අසීමිත තරහවකි , ඉරිසියාවකි . ඉතින් ඇය හා වලි පටලවාගන්නට උවමනා හේතු ගොඩක් මට විය .

ලේසියෙන්ම ඈ හා රණ්ඩුවක ඇදගතහැක්කේ ඇගෙ අර අපිලිවෙල කාමරයට හොරෙන් ගොස් එහි ඇති ටොපි , චොක්ලට් දවටන , බීම බට එකතුව ආදිය අවුල් කිරීමේන් හෝ හැංගීමෙනි . එකිනෙකාගේ කාමර වලට කිසිම වෙලාවක පය නොතැබීමට අපි අතර අවබෝධතා ගිවිසුම් වුවද නංගී අවුස්සන හොඳම ක්‍රමය එය කඩ කිරීම විය . එවිට පැටලෙන වලි අවසන් වන්නේ මහා ගුටි කෙලි වලිනි . වැඩුමලා මම වුවත් නංගී අවුරුදු දහයක් වන විටත් මට වඩා  හොඳට උසින් මහති වැඩී සිටි නිසා අන්තිමේදී ඇගෙන් ගුටි කන්න සිදුවන්නේ මටය . ගුටි කෙලි ඇවිලුන විට අපිව දෙපසට කරන අම්මා මට බැණ අඬගහන්නේ "මේ තරම් ලොකු එකෙක් වෙලත් ලැජ්ජ නෑ , නයයි , මුගටියයි වගේ ඇවිලෙනවා "කියමිනි . 

ඒ දෙසැම්බර් පාසල් නිවාඩුව පටගන්න ඔන්න මෙන්න කාලයයි .මට වයස පහලවක් පමණ විය . මා සාමාන්‍ය පෙල පන්තියට සමත්ව තිබිණි.නිවාඩු කාලයට අපේ වලි අවම කර මා සන්සුන් කර තබා ගැනීමේ  හොඳම උපක්‍රමය පොත් බව දන්නා තාත්තා මට පුස්තකාලයෙන් නව කතා පොත් මිටියක්ම ගෙනැවිත් තිබුණි . ඒ අතර මෝපසාං ගේ ප්‍රංස කෙටි කතා එකතුවකුත් , ඇලෙක්සැන්ඩර් ඩූමා ගේ මොන්තක්‍රිස්තෝ පොතේ කාණ්ඩ ගොඩකුත් , මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා වෙලුම් කීපයකුත්   විය. වසර අග මට හොඳ ප්‍රගති වාර්තාවකුත් පාසලෙන් ලැබෙන නිසා නිවාඩු කාලය පේන විදියට සෑහෙන්න සාමකාමි වන ලකුණු තිබිණි . එදා හවස මගේ කාමරයේ ඇඳට ගොඩ වී මම ඩූමාගේ මොන්තක්‍රිස්තෝ සමග තනිවී සංසුන්ව සිටියෙමි . ඒ අතරේ මගේ කාමරයේ මල් මල් තිර රෙද්ද අසලින් කවුදෝ ගැවසෙන බවක් පෙනේ . එකත් එකටම අර වදකාර නංගී බව නිසැකය .අපි උනුන් කෝප ගැනිවීමට කල අනික් වැඩය වූයේ හැම වෙලාවේම බත්කා එකිනෙකාගේ කාමර වල දොර රෙදි වලින් අත පිසදා ගැනිමය . ඈ මේ කැරකෙන්නේ එයට විය යුතුය .එහෙත් මොන්තක්‍රිස්තෝ හැරදමා වලියට යන්න මා සූදානම් නැත . මම නිහඬව පොතේ කිමිදෙමි . මා අවුස්සාගත් නොහුන තැන නංගී මගේ කාමරයට අවුදින් මගේ ඇඳෙන් වාඩි වූවාය . පා පහරක් එල්ල කර ඇයව කේන්ති ගැන්වීමට හොඳටම ඇවැසි නමුත් මොන්ත ක්‍රිස්තෝගේ වීර ක්‍රියා මට වැදගත් නිසා ඒ අදහස අත්හැරීමි .

රංඩුවක සේයාවක් නැති තැන නංගී මගේ පොත් මේසය අසලින් වාඩි වී යමක් කරනු පෙනේ . මම පොත් පාඩම් මේසය ලෙස පාවිච්චිකලේ ටියුෂන් පන්ති වල මේන් දිග උස මේසයක් හා එවැනිම දිග මිටි බංකුකි ඕනෑ වුනොත් ඒ දිග බංකුවේ හාන්සි වී වුනත් පාඩම් කල හැක . නංගී පොත් මේසය උඩ නැගී මගේ පැන්සල් පෙට්ටියේ වූ චිත්‍ර අඳින්න පාවිච්චිකල හොඳම එච් බී පැන්සලක් වගේ වගක් නැතුව බ්ලේඩ් එකකින් කපා දමන්නීය .එවර නම් මට යකා ඇවිස්සිණි .


"ඔය පැන්සල තියන්න , ඕක මම ද්‍රව්‍ය බලා අඳින පැන්සල .නාස්ති කරන්න එපා ".මම සැරෙන් කීවෙමි . 
ඇයත් අතාරින පාටක් නැත ."මටත් ද්‍රව්‍ය බලා අඳින්න ඕනේ "මුරණ්ඩු ලෙස කියමින් ඇය පැන්සල කපා දමයි .


 දැන් නම් හරියන්නේ නැත . මොන්තක්‍රිස්තෝ පසෙකට විසි කල මම වහා නැගිට මෙහෙ දෙනවා ඕක කියමින් පැන්සල උදුරාගතිමි . පැන්සල  පසෙකින් තබා ආයෙත් මොන්තක්‍රිස්තෝ දෙසට හැරෙනවා එක්කම මගේ පිට මැදට දඩෝං ගා පහරක් එල්ල විය . දැන් සාමය අවසන්ය . හැමදාම ගුටි කන්න බැරිය ,වරද මගේ නොවේය .අද නම් දෙනවා පාර සිතූ මම ඇයව ඇඳට තල්ලු කර පෙරලා ගෙන නැගෙන්නට නොදී පහරක් එල්ල කලෙමි .එහෙත් මා පසෙකට තල්ලු කර දැමූ ඈ මට පහර පිට පහර එල්ල කලාය .වලකන්න ක්‍රමයක් නැත.පැරදෙන්න බැරිය . මම වහා ඇගේ අත අඹරවා අල්ලාගෙන හැකි වෙර දමා මැණික් කටුව අසලින් තදින් හපා කෑවෙමි . නංගී වේදනාවෙන් හඬනතුරුම හැපූවෙමි . 

ඇගේ මර හඬ තැලිල්ලට දුව ආ අම්මා අපි දෙපසට කලේ බැන වදිමිනි .  "හැටි විතරක් වලහැඩිය වගේ " කියමින් ඈ මට බැන වැදී නංගිගේ අත පරීක්ෂා කර බලන්නීය .බල්ලෙක් හැපුවාටත් වඩා හොඳින් එහි මගේ කෘන්තක දත් පාරවල් සටහන්වී ඇත .සියුම් ලේ ගැලීමකුත් ඇත.නංගී යටි තොල බෙරි කරගෙන වෙදනාවෙන් හඬා වැටෙන්නිය  . තාත්තා ආ විගස නඩු විසඳන පොරොන්දුව පිට අම්මා ඇයට ප්‍රථමාධාර දෙන්න යුහුසුලු වුණාය . මම තාත්තාගේ ගුටි පූජාවට හිතෙන්  සූදානම්  වුණි .ඉදලක් කොස්සක් කැඩෙන තුරු වුනත් පාර වැදෙන්න අද ඉඩ ඇත .වැරැද්ද බර පතලය .දැඩි දඬුවම් නියමිතය .


"මම ටිකක්වත් අඬන්නේ නෑ . ගහනකොට හෙලවෙන්නෙත් නෑ .ගේ වටේ දුවන්නෙත් නෑ . තව ගහන්න කියනවා .රෑට බත් නොකා නිදා ගන්නවා. මොකට බය වෙනවද" යයි හිතමින් මම වැඩේට ලෑස්ති වුනෙමි .


 තාත්තා ආවේය .අම්මාට පෙර දිව ගිය නංගී සියලු විස්තර කථනය කලාය .ඇගේ අතත් පෙන්නුවාය .ආයෙත් බොරුවට හැඬුවාය .දැන් ගුටි පූජාවට සියල්ල හරිය . තාත්තා "ලොක්කා "කියා මා ඇමතූ සැනින් මම සාලයට ගියෙමි .


" මොකද්ද මේ කරලා තියෙන්නේ ? මේක බොහොම බරපතලයි , නංගිට පිටගැස්ම වුනත් හැදේවි ". ඔහු නොකඩවා කියවාගෙන යයි .
ගුටි දෙන ලකුනු පේන්න නැත 
."මෙන්න සල්ලි .යනවා ගිහින් කොහෙන්හරි කමක්නෑ පිට ගැස්මට ටෙටනස් විද්දගෙන මිසක් දෙන්න ගෙදර එනවා නෙවෙයි" . ඔහු අවසාන තීරණය දුන්නේය . 


ගුටි ලැබුනානම් මීට වැඩිය හොඳය . දැන් හවස හයත් පහුවෙලාය . පිට ගැස්මට බෙහෙත් කොහෙන් හොයන්නද ? නංගී මැරේවිද , මේ වෙලාවට හන්දියේ දොස්තර ඉන්නවද දන්නේ නෑ .ඔය වගේ බයානක සිතුවිලි ගොඩක් මගේ හිතේ හොල්මන් කරයි . තාත්තාගේ තීරනය අවසන් තීරනය නිසා නංගීත් ඇදගෙන හන්දියේ දොස්තර වෙත යන්න පාරට බැස්සෙමි.දැන් නංගීත් බය වී ඇති හැඩකි . ඇගේ මූණේ කඳුලු වියැලිලාය .අපි කවදාවත් අම්මා හෝ තාත්තා නැතිව තනිව බෙහෙත් ගන්න ගොස් නැත .


" තමුසෙ මොකද මාව කේන්ති ගැස්සුවේ ? නැත්නම් මේ කරදර මොනවත් නෑ නේ" කියමින් ඇයට රවමින් බනිමින් මම ඇගේ අතින් අල්ලගෙන යමි .


හන්දියේ අලුත් දිස්පැන්සරියක් ඇතිමුත් මම එයට ගොස් නැත .ඉන්නේ අලුත් දොස්තර මහත්තයෙකි . එකත් එකටම එය හොඳය . කවුරු  හපාකෑව කියල කියන්නද ? මම හපා කෑව කියලා කියන්න නම් බැරිය .ඒ නිසා අපේ පවුලේ විස්තර හොඳින් දන්නා නිතර බෙහෙත් ගන්න යන විමල් දොස්තර මහතා ගාවට යාම මේ වෙලාවේ කල නොහැක . යා යුත්තේ මේ අලුත් දොස්තර මහතා වෙතය .හපා කෑම ගැන බොරුවක් හරි කියන්න පුලුවන.දිස්පැන්සරියට ගොස් වාඩි වූ සැනින් ඔලු අපි දෙදෙනාට ඇතුලට එන්න හඬ ගෑවේය .එවක  ඔහු තරමක තරුණ වෛද්‍ය වරයෙකි .


" ඇයි මේ පොඩි ලමයි දෙන්නෙක් ?" ඔහු අපෙන් විමසයි .
 මම කතාව කෙටියෙන් කිව්වෙමි .
"බලන්න ඩොක්ටර් මේ මගේ නංගි  එයා මල්ලි එක්ක සෙල්ලම් කරද්දී මල්ලි අත හපලා හයියෙන් ටිකක් තුවාලයි වගේ"
 . "කෝ ඔයාලගේ වැඩිහිටියෝ ?" ඔහු බාධා කරයි 
"අම්මයි තාත්තයි ටවුමට  ගිහින් තාම ආවෙ නෑ .එහා ගෙදර ඇන්ටි තමයි කිව්වේ ඩොක්ටර් ට පෙන්නන්න කියලා ". 
මම මහ දැනමුත්තියක් මෙන් පිලිතුරු දෙමි .නංගී බයටත් පුදුමයටත් පත්වී සිටියාය . මට හදිසියේම මල්ලි කෙනෙකුත් ලැබී ඇත .
" වයස කීයද ඔයාගෙ මල්ලිගේ ?"
ආයෙත් දොස්තරගෙන් පැනයකි . 
"අවුරුදු හයයි මම පැනලා උත්තරදුන්නෙමි ". 

හපා කෑ දත් පහර පරීක්ෂාකර බැලූ දොස්තර මහතා "බය වෙන්න දෙයක් නෑ අපි ටෙටනස් එකක් විදිමු කොයිකටත් " කියා නංගීට පිටගැස්ම එන්නත දුන්නේය . නංගීට හොඳට රිදෙන්න එන්නතක් ලැබීම ගැන මට මහා සතුටක් දැනිනි .

ආයෙත් ගෙදර ආ විට මට කන් පිරෙන්න තාත්තාගෙන් හා අම්මාගෙන් බැනුම් ලැබුණි . ඒ මදිවාට වස ලැජ්ජාවය . නංගී මගේ සියලු බොරු රංගනයන් අම්මාට වාර්තා කර තිබිණි . එදා සිට කාලයක් යන තුරු ගෙදර සියල්ලෝම මට ලෙඩක් හැදුන විට  විහිළු කරන්න   පුරුදුව සිටියෝය.

 ".දැන් ඉතින් ඔයාට බෙහෙත් ගන්න යන්න වෙන්නේ ඩොක්ටර් අමරසිරි ගාවට . එතකොට එයා අහන්නෙ නැත්තෑ අර අත හපාකෑව මල්ලි ගැනත් . ඉන්නවකො අපි කියන්න ඇත්ත කතාව ."

මට එවිට මහා ලැජ්ජාවක් ඇතිවේ .එනිසා උණක් හෙම්බිරිස්සවක් හදා නොගෙන ඉන්න මම සෑහෙන්න කාලයක් උත්සාහ ගතිමි . මේ වෛද්‍යවරයා මගේ පාසලේ ආදි සිසුවෙකි . එනිසා අපි බෙහෙත් ගන්න ගිය විට ඉගෙනීම , අපේ විබාග ගැන වචනයක් දෙකක් අපෙන් අහන පුරුද්දක් ඔහුට විය .ඒත් මේ වෙනකන් දෙවියන්ට  ස්තූති වන්න  කවදාවත්ම  අපේ බාල මල්ලී ගැන නම් අසා නැත .

 අපි දෙන්නා ටොම් ඇන්ඩ් ජෙරී මෙන් රංඩු වෙමින් යාලුවෙමින් ලොකු වීමු .ටිකක් ලොකු වුන විට අතින් පයින් ගුටි කෙලි පසෙක ලා වචන වලින් ප්‍රහාර එල්ල කර ගත්තෙමු . හිත් රිදවීම් ඕනෑ තරම් විය .දෙන්නා දෙවිදියක චරිතය  . අප දෙදෙනාම  හඳුනන හැමෝම කියන්නේ එහෙමය . ඒත් දෙන්නාම ජීවිතයේ දෙවැනි දශකය පහු කරන සමය වන විට මේ රණ්ඩු ඇල්ලිම්, පොර ඇල්ලීම් ,නැතිවී යමින් බොහෝ  වෙනස් වී තිබුණි .දැන් අම්මා ඕනෑම වෙලාවක් බනින්නේ  "මේ දෙන්නාම එකයි ලොක්ක තමයි පොඩි එකා නරක්කරන්නේ"   කියමිනි .


ප/ලි


මේ අතීත කතාව ඇදිලා ආවේ මෑතදී නංගී ලෙඩ වී ප්‍රතිකාර පිණිස රෝහල් ගතකල විටය . ඇගේ අවසන් වෛද්‍ය වාර්තාව හා නිගමනය රෝහලෙන් ලැබෙන තෙක් තරමක කැලඹීමෙන් යුතුව මා බලා සිටින වෙලාවක මා හිනැස්සිමට නංගී මේ කතාව මතක්කලාය .සියල්ල අවසානයේ යහතින් නිමා වූ අතර ඇගේ රෝග නිර්ණය සිතූ පරිදි අවදානම් සහගත දෙයක් නොවීය .

Wednesday, December 28, 2011

කොණ්ඩේ කැපීම


"තාත්තත් කොණ්ඩේ කපනවා , ලොකුමාමත් කොන්ඩේ කපනවා ,පොඩි මාමත් කොන්ඩේ කපනවා .ඉතින් මගෙත් කොන්ඩේ කපන්නකෝ "

පුංචි සන්දියේ තාත්තා බාබර් සාප්පුවට යන හැම වතාවකම මම අම්මාට ඇවිටිලි කරනවා මතකය . ගැහැණු දරුවන් හෝ පිරිමි දරුවන් වේවා පොඩි වුන් පොඩි කාලේ අවුරුද්දක් හමාරක් ගිය තැන සිරිතක් ලෙස හිස කෙස් රොදක් කපා සුදු රෙදි කඩක දවටා සිරිපා වන්දනා සමයට සිරීපාදේ ගෙන ගොස් සීත ගඟුලට දමන සිරිතක් අපේ ගම් වල ඇත .දරුවන්ගේ කොන්ඩේ කැපීම සිදුවන්නේ එහෙම කල පසුය. ඉපදිලා හයමාසෙකින්  මගේත් එහෙම කල වගක් අම්ම කිව්වාය.

"ඔයා උපදිනකොටත් හොඳට කොන්ඩේ වැවිලා. හරි නිරෝගියි.කලුම කලු පාට ඉසකෙස් .තාත්තගේ වගේමයි කොණ්ඩ කැරලි කැරලි ලස්සනයි.හැබැයි පොඩි කාලේ කිසි කරදරයක් වුනේ නෑ කොන්ඩේ කපන්න යන්න" .අම්මා දැනුත් මතක් කරන්නීය

යන්තන් අවුරුදු හතරේදී , පහේදී තාත්තා හෝ ලොකු මාමා එක්ක ගමේ බාබර් සාපුවට ගිය හැටි මට මතකය . තේ හා සිල්ලරකඩ පෙලකින් යුත් කඩ මන්ඩියේ කොනක බාබර් සාප්පුව තිබුණි .එහි යන එන කාගේත් කොණ්ඩේ කැපුවේ රත්නේ අය්යාය .කෙට්ටු හීන්දෑරි ඔහු මා දුටු විගස "ආ අද සුදු බබාත් කොන්ඩේ කපනවාදැයි" අසයි . මමත් ඔවු කියමින් උජාරුවෙන් උත්තර දෙමි . බොහෝ මගේ වයසේ පොඩි දරුවෝ කොණ්ඩේ කපන්න බය වෙති . හඬති . කොන්ඩේ කපන්න ආ විට අම්මා හෝ තාත්තා අතින් බිමට බහින්නේ නැත . මට නම් එහෙම බයක් නැත .බාබර් සාපුව විසිතුරු ලෝකයකි . එහි සෑහෙන්න කාලයක් විජය , මාලනී , ගීතා ,ජෝති වැනි නලු නිලියන්ගේ ගායකයන්ගේ විසාල පින්තූර අලවා තිබුණි . සිත්තර , සරසවිය වැනි පත්තර ද විය . ඒවා බලන්න බණ්ඩාර මමා, විට්ටර් මාමා  , සිරිසෝම සීයා  වැනි ගමේ මා දන්නා හඳුනන අසල්වැසියන්ද බාබර් සාපුවට රොක්වෙති . ඉසෙල්ලාම  තාත්තා හෝ ලොකුමාමා කොන්ඩේ කපාගනී .එතකන් මම පොඩි ලමයින්ට කොන්ඩේ කපන්න තියෙන උස කැරකෙන ලී පුටුවේ වාඩි වී පොඩි සපත්තු දැමූ කකුල් පද්දමින් වටපිට බලමින් සිටිමි . වැඩේ හරි ශෝක්ය .රත්නේ අයියා ටිකි ටිකි හඬින් පනාව හා කතුර මෙහෙයවමින් සට පට ගා කොන්ඩේ කපයි . අන්තිමට මකුනෙක්ගේ හැඩය ඇති අඬු කතුරකින් කන් දෙපැත්ත හා ගෙල පිටුපස කෙස් කොටස් බූගා දමයි . ඊලඟට සටස් පටස් ගා සුදු තුවායකින් ගසා දමා පියරු පෙට්ටියෙන් පියරු ගොඩාක් ගෙන කම්මුල් වලත් බෙල්ලෙත් , කන් දෙපැත්තෙත් තවරයි .මට නම් ඕඩි කොලොන් ටිකකුත් අතුලා "දැන් සුදු බබා හරි හැඩයි" කියයි එතකොට හරි සනීපය .ඉතින් කොන්ඩේ කපන්න මොකට බයවෙනවාදැයි මට හිතේ . ඒ වුනාට කොන්ඩේ කපාගත්තාම ලේසි නැත . හවසට ආච්චිලාගේ ගෙදර ගල් වැට ගාවට  රස්තියාදුවට එන කුමාර මමා , ජානක අයියා , මංජු අයියා වැනි වැඩිහිටි ඥාති සොහොයුරන් මාව අවුස්සන්න පටන්ගනේ "ආ අද අපේ  සුදු නෑඹිලි කට් කපලා හූ හූ කියමිනි" . එතකොට මට ඉහිලුම් නැත . ඒ සේරටම මම ගල් ඉබ්බා කියමින් බැන වදිමි . අවුරුදු හයක් විතර වෙනතුරු මා දැනගෙන හිටි නරකම නරක වචනය එය විය .

ගෑනු හෝ පිරිමි දරුවන් බාල කල කොන්ඩේ තරමක් වැවීගෙන එන විට පොල් ගහක් වගේ පොඩි කොන්ඩ මලක් ඔලුවේ ගැටගහන පුරුද්දක් අම්මලාගේ  තිබුණි .ඒත් කවදාවත් එහෙම කොන්ඩ මලක් මට තිබුණා මතක නැත. වැඩියක් මම ගෙදරට ඇන්දේ පොඩි කලිසම් කොටය . ඩොනල්ඩ් ඩක් ඉන්නා එවැනි පොඩි කලිසම් , ලස්සන සන් සූට්  ගොඩාක් මට තිබුණා මතකය ".කොන්ඩෙත් කපලා , ජංගි කොටෙත් ඇඳලා, ඉස්තෝප්පුවේ ට්‍රයිසිකලය පදිනකොට   සුදු පුතා  නියම කොල්ලා.ලොකු අක්කට පුතෙක් නැතුවට පාඩු නෑ".එහෙම කියන්නේ අපේ රමණි මම්මාය . ගෙදර කවුරුත් ආදරේට මා ඇමතුවේ පුතා ලෙසිනි .වැඩි සෙනෙහස නිසාවෙන් විය යුතුය ..දුව කිව්ව වගක් අද වෙනකනුත් මතක නැත.පොඩි කාලේ ගොඩක් සුදු නිසා අම්මාගේ නෑ පරපුර මා ඇමතිමට සුදු විශේෂණ පදයද යෙදුවා විය යුතුය .

ඉස්කෝලේ යන්න පටන්ගත් පසු නිතරම හැම නිවාඩු කලයකට වරක්ම කොන්ඩේ කැපුවා මතකය . උකුනන් බෝවීම වැලැක්වීමත් එයට හේතු විය .පොඩි ලමයින්ට දිග කොණ්ඩා කරදරයි අම්මා කිව්වාය  .ඒත් මට අවුරුදු දොලහක් විතර වෙනකොට නම් අම්මා , ආච්චී හා රමණිම් මම්මලා ඇතුලු අම්මගේ නෑ පිරිවරම මගේ කොන්ඩේ ගැන බොහෝ උනන්දු වුවෝය  ."සුදු පුතා දැන් කොන්ඩේ දික්කරන්න ගන්න , ඉස්සර ඉස්කෝලේ යන කාලේ ලොකු අක්කගේ කොණ්ඩේ හරි දිගයි , කරල් දෙකට ගොතලා ලස්සනයි කියා නොනැවතුන රමණි මම්මා ,  ආච්චී සමග එක්වී පවුලේ ඡායාරූප එකතුවේ වූ අම්මාගේ ලස්සන, කොන්ඩේ දිග පින්තූර පෙන්නමින් මා උනන්දු කලාය .

"කොහොමද එහෙම කොන්ඩේ දික්වෙන්නේ" ? මගේ පැනය විය ." හරි ලේසියි. දැන් නිතර කොන්ඩේ කපන්න එපා . හැමදාම නාන්න , නිදාගන්න කලින් තැඹිලි තෙල් ගාලා පීරලා තියෙන කොන්ඩේ එකතු කරලා කරල් දෙකකට ගොතලා ගැටගහන්න" .එතකොට ඉක්මනට දික්වේවි . එහෙම කිව්වේ රමණි මම්මා හා ආච්චිය . හැමදාම නාන්න ?ඒකනම් මට අරහං වැඩකි . ඇරත් රෑට දත්මැදලා නිදාගන්න කියා තියෙන එකේ අමුතුවෙන් කොන්ඩේ ගොතා නිදාගැනීමේ බරකුත් පැටවේ .

දැන් දික්වෙන විට මගේ කොන්ඩේ ගොඩාක්  කැරලි කැරලි වගේය ."සුදු පුතා  තාත්තගේ ආරෙට යනවා වගේ " අම්මාගේ පවුලේ හැමෝම කියයි .ඒ කියන්නේ මට අම්මා පාසල් යන කාලේ වගේ  ලස්සන ස්ට්‍රේට් දිග කොන්ඩයක් නොලැබෙන හැඩකි .එහෙම එකක් නැති එකමයි වැඩේ .කාටද පුලුවන් ඔය ටූ ප්ලේට්ස් ගොතාගෙන හැමදාම ඉස්කෝලේ යන්න .ටිකක් කොන්ඩේ වැවෙන කෙල්ලන්ට දැන් ඉස්කෝලෙන් හරි නීතිය .පෝනි ටේල් දැමීම තහනම්ය . යාන්තන් කොන්ඩේ වැවෙන විට බලු නැටි දෙකක් ගොතන් කලු රිබන් ගැටගහන් යා යුතුය .උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන එක ලේසි නැත . සපත්තු ලේස් ගැටගහන් , ටයි පටි ගැටගහන් ඒ මදිවට කොන්ඩෙත් ගැටගහන එක හරි කරදරයක්නේ මට හිතෙයි . ඒ එක්කම මට මගේ මිතුරියන් ගැන අනුකම්පා හිතේ .ඒ හැමෝගෙම අම්මලා උදේට ඔලුව පීරා කොන්ඩේ කරල් දෙකක් වෙන්න  ගැට ගහනවග කියති  .ඉතින් අපේ අම්මාට එහෙම මගේ ඔලුව පීරන්න වෙලා නැත . උදැහැනින් රාජකාරියට යන්න පෙර අපි පාසල් යැවීම ,කෑම හැදීම වැනි වැඩ ගොඩාක් ඇයට අත .  "හැමදාම මගේ ඔලුව පීරුවේ තාත්තාය . පාසල ඇරී ගෙදර ආ පසුත් සෙනසුරාදා ඉරිදාටත් හිස පීරීම ගැන මට වගේ වගක් නැත .මේකගේ කොණ්ඩේ වලස්තොප්පිය වගේ , හැටි විතරක් කපුටු කූඩුවේ" කියමින් අම්මත් තාත්තාත් බැන වැදුන වාර එමටය .ඒත් මට වගක් නැත .

කොහොමත් මගේ වලස්තොප්පිය කොට නොකලොත් ඉස්කෝලෙන් එලවීම නියත නිසා වෙලාවට කොණ්ඩේ කප්පවන්නට අම්මා උනන්දු වූවාය . දැන් මාව කොණ්ඩේ කපන්නට එක්ක යන්නේ ටවුමේ ඇති සැලූන් එකකටය .ඒ අම්ම දන්නා ආන්ටි කෙනෙකි .මගේ කොණ්ඩේ කපනදාට අම්මා හාෆ් ඩේ දමා වෙලපහින් එන්නීය .සැලොන් ආන්ටී නම් කියන්නේ නිතර කොන්ඩේ කපන්න නොව වවන්න කියාය . "ගෑනු ලමයෙකුට කොන්ඩේ ඕනෙමයි"  ඈ කියයි . "ඔවු ඒත් මෙයාගෙ කොණ්ඩේ ගොඩාක් කැරලිනේ දික් වෙනවා අඩුයි" අම්මා දුකින් මෙන් කියන්නිය . ඒ දෙන්නගේ කතාවල් මට නම් විහිලු වගේය . කොන්ඩේ කොට වුනාට ඕ ලෙවල් වෙනකන්  මම පන්තියේ තුන්වැනියාගෙන් පහල ගිහින් නැත . "මෙම සිසුවිය  ගොඩාක් පිරිසිඳුවට ඇඳලා පාසල් එන විනය ගරුක දක්ෂ ලමයෙක් " කියා මට හත -අට වසර වල  ඉගැන්වූ රත්නපාල සරුත් ඕ ලෙවල් කාලයේ ඉගැනුවූ තිලකරත්න සරුත්  මතක ඇතුවම රිපෝර්ට් කාර්ඩ් එකේ ලියා තිබුනි . මේ සර්ලාගෙන් කෙල්ලන්ට හොඳ ඇහීම කලු නික හෙවීම වගේ වැඩකි .ඒ නිසා කොන්ඩේ කොට වුනාට අවුලක් නෑ මට හිතේ ."ඒ වුනාට  කොන්ඩේ වවන්න" යාලුවෝ හැමෝම පෙරැත්ත කරති . "වෙලා නෑ අනේ පන්ති යන්නයි , පාඩම් කරන්නයි , ගියහම කොන්ඩෙට සාත්තු කරන්න කොහෙද වෙලාවක් ? . ඇරත් මම කොන්ඩේ ගොතන්න දන්නේ නෑ නේ . ඉතින් දික් වුනහම අපේ අම්මට  උදේට ඕවට කරදරයි" .එවැනි උත්තර දී මම ඇඟ බේරාගනිමි .

ඒ ලෙවල් කල පසු තත්වය ටිකක් වෙනස් විය .අනිත් යාලු කෙල්ලන් හා සමග සසඳා බැලූ විට මගේ කොන්ඩේ දික් වුනා නම් හොඳ යයි සිතුණි . අවුරුදු දෙකක් ගෙදර හිටි නිසා කොන්ඩේ ටිකක් දික් කරගන්න පුලුවන් වුණි .මම හිතාගෙන හිටියේ අම්මගේ මගුල් පින්තූරයේ තරමට කොන්ඩේ දික්කරගන්නය .ඒත් අම්මා පාසල් යන කාලේ තරම් වත් කොන්ඩේ දික් වුනේ නැත .යාන්තම් ගෙල තෙක් රූරා වැටෙන බූසි කොන්ඩය පිටිපස්සට කර බැඳ තබා ගතයුතුය .නැතිනම් පහසු නැත .කැම්පස් ගිය පසු මෙය දස වදයක් විය .හවසට නාන්න නැති බෝඩිමේ උදේම නාගත යුතුය .නාලා ලෙක්චර්ස් යන විට කඩාගෙන යන කොන්ඩය වියලී බූසියක් වෙයි .එවිට අනික් වුන් මට විහිලු කරන්නේ "හැත්තෑව දශකයේ සිනමා නලු නීල් අලස් වගේ" කියමිනි .මේ කෙරුවාව හැමදාම කල නොහැකි නිසා නැවත කොන්ඩය කොටටම කැපුවෙමි .එවර යාලුවෙක්ගේ උපදෙස් මත බොරැල්ලේ සැලූනයකට ගොස් හොඳම විදියෙන් කොන්ඩේ කප්පාගතිමි . ඉන් පසු නැවත මගේ කොණ්ඩය කොට විය .

" දැන් ඔය කොට කොන්ඩේ එක්ක සාරි ඇන්දම පුවක් ගහට සාරි පෙරෙව්වා වගේ තියේවි" .ඉන්ටර්න් කරන කාලයේ චමී ඇතුලු අනික් මිතුරියෝ කියන්න පටන්ගත්හ .ඔවු හැබෑට කොට කොන්ඩේ සාරියට කැතයි වගේ . ආයෙත් කොන්ඩේ වැවීම ඇරඹුනි ."ලොක්කා දැන්වත් ඔය කොන්ඩේ දික් කරන්න .ලේසියට හැම්දාම ඕක කපලා හරියන්නේ නෑ .බලන්න මගේ කොන්ඩේ තාම දිගයි ". අම්මාත් වහෙන් ඔරෝ කිව්වාය . දැන් මට කවුරුත් සුදු පුතා කියන්නේ නැත .ඒත් මම ලොක්කාය එහෙම නැත්නම් ලොකු පුතාය .ආයෙත් කොන්ඩේ දික්වුණි .ඒත් වෙනසක් නැත කලින් වගේමය . ස්ට්‍රේට් කරන්න යාලුවෝ කියති ."බෑ එතකොට මගේ අයිඩෙන්ටිටි එක නැතිවෙනවා .අනික මගේ කොන්ඩේ තාත්තගේ වගේ . මෙහෙම කොන්ඩේ එක්ක මම ගොඩාක් තාත්ත වගේ . ඒ නිසා ඕනෙ නෑ ". මම කියමි

රස්සාව මාරුවුනේ ඔය අතරේය .දැන් සාරි ඇඳීම අනිවාර්ය නැත .ස්මාර්ට් කැෂුවල් අඳින්න පුලුවන්ය . එහෙනම් මොකටද දිග කොණ්ඩේ . අනික මේක ගොඩාක් දික්වෙන්නෙත් නැති එකේ වෙනසකට එක්ක අලුත් තැනකට වැඩට ගිය නිසා කපනවා . ආයෙත් කොන්ඩේ කපන්න පොටක් පෑදුණි . ඉන් පසු හැම මාස තුනකට හෝ හතරකට සැරයක් ගානට කොන්ඩේ ට්‍රිම් විය . කැම්පස් කාලේ මෙන් කොටට කොටේ  නොව .හරි ගානට පිලිවෙලටය . කොන්ඩේ කැපීම මගේ දින සටහන් අතර වැදගත් පුද්ගලික කටයුත්තක් විය . ඒ වෙනුවෙන් ශෝර්ට් ලීව් හෝ හාෆ් ඩේ දැමීම සිරිතක් විය . රාජකාරිය අතර තුරේ යන නිසා කාර්යාලය අසලම හොඳ සැලූන් එකක් සොයාගන්න සිදුවිය.එහි යා යුත්තේ වෙලාවක් වෙන් කරගෙනය . බොහෝ වැඩ අධික නිසා ස්ට්‍රෙස් වීම , නිවාඩු යෑම් හා ඉඳ හිට රටින් පිටව යෑම්  නිතර කොන්ඩේ ට්‍රිම් කරන්න හේතු වූ කාරණ විය . කොහොමත් සැලුන් එකේ නිදහසේ ඉන්න ලැබෙන කාලයත් හිසට ලැබෙන මසාජ් එකත් නිසා නිතර කොන්ඩේ ට්‍රිම් කරන්න පුරුදු වූයෙමි .එමෙන්ම හෙයාර් කටිං කරන කුමාර් ද බොහොම ප්‍රිය මනාපය . ඔහු සමග කයිවාරුවක් ගහන එකත් කොන්ඩේ කැපීමේ වැදගත් අංගයකි . කොන්ඩේ කපන්න පෙර ඊලඟ මාස වල ඇති වැඩ රාජකාරි හා ඒවාට සැරසෙන අයුරු හිතා බලා කොන්ඩේ කපන ක්‍රමය ගැන  උපදෙස් දීම සිදුවේ . එහෙම බලන විට කොන්ඩේ ට්‍රිම් කරගැනීම සෑහෙන්න වැදගත් කටයුත්තකි .රටින් පිටව යන්නේ නම් බොහෝ කොටටම කැපීම සිදුවේ . එසේ කොටට කැපූ විට නොයෙක් අබග්ගද වෙයි . කාර්යාල වල සිකියුරිටි ගාර්ඩ් ලා හා ටැක්සි රියදුරන් සර් කියා කතා කරති . මිතුරියන්ගේ කුඩා දරුවෝ කුතුහලයෙන් අංකල් කියූ අවස්තාත් එමටය .මගේ පින්තූර දකින යාලුවෝ මේකව නම් වෙනස්කරන්න බෑ යයි නෝක්කඩු කියති 


.ඔවැනි අබග්ග නිසා අන්තිමට පහුගිය වසරක කාලයක් කොන්ඩේ වවන්න සිතුවෙමි .ආයෙත් සුපුරුදු ලෙස වැවුණි . වැඩිය දිගාත්  නැත .ගොඩාක් කොටත් නැත . බූසි ගතියකුත් කැරලි ගතියකුත් ඇත  .කපන්න තරම් හේතුවක් හෝ වෙලාවක් තිබුනේත් නැත .ඔය අතරතුර " ඔයාගේ කොන්ඩේ දික්වෙන්නේ නැද්දැයි " කෙනෙක් බොහෝ උනන්දුවෙන් ඇසීය . "නෑ පොඩි කාලේ ඉඳන් මෙහෙමයි.දික් වෙන්නේ ටිකයි "මාත් උනන්දුවෙන් පිලිතුරුදුනිමි . "ඉතින් ස්ට්‍රේට් කරන්න ඇයි හොඳ සැලොන් එකකට යන්නෙ නැත්තේ .ඔයා කොලනේ වැඩ කරන්නේ "ආයෙත් පැනයකි එවර ටිකක් උපහාස ස්වරයෙනි . "මෙහෙම  හොඳයි  ,මම ආස විදිය  මෙහෙම කොණ්ඩේ එක්ක මට මගේ  තාත්තගේ පෙනුමත් එනවා .පවුලේ හැමෝම එහෙම කියනවා . අනික අපි ජීවත්වෙන්නේ කොණ්ඩෙන් නෙවෙයිනේ.ජීවත් වෙනකොට කොන්ඩෙට වඩා හිතන්න අපිට  ගොඩාක්  වැදගත් දේ තියෙනවා " .අවසාන පේලි කීපය කියවුනේ නොහිතාය .ආයේ කොන්ඩේ ගැන කවුරුත් මුකුත්ම  මගෙන්  ඇහුවේ නැත .

එබැවින් මෙවර වසර අවසානයට   පෙර මතක ඇතුව කල යුතු පුද්ගලික හා රාජකාරි වැඩ ලැයිස්තුව සකස් කල වෙලාවේ කොන්ඩය කපන්නට සැලොන් යාමත් එක්කලෙමි . රාජකාරි කරන තැන මාරු වීම නිසා සැලුනයද මාරු විය .  ඒ අනුව හෙයාර් කටිං ශිල්පියාද මාරුවිය .ඇය මැදි වයසේ සිටින ප්‍රියමනාප හෙයාර් කටර් කාන්තාවකි . සැප පහසු පුටුවෙන් වාඩි වීමට සන් කල ඇය මට පිරිසිඳු රෝබ් එකක් දැවටුවාය . කොහොමද කපන්නේ ? ඇය විමසුවාය

ලේයර්ස් , කොටට......ගොඩාක් කොටටම කපන්න.ඔයිල් මසාජ් එකකුත් ඕනෙ .පුටුවෙහි පහසුවෙන් හිඳගනිමින් මම කිව්වේමි .

කොටටම කපන්න ?ඔෆිස් යනව නේද ?ය සැක හැරගන්න  මෙන් විමසයි .

"ඔවු කොටටම කපන්න .කොණ්ඩෙන් නෙවෙයිනෙ අපි ජීවත්වෙන්නේ ". මම මා ඉදිරිපිට ඇති  කණ්නාඩියෙන් පෙනෙන මගේ රුව දෙස සෘජුව බලමින්  සතුටින්  සිනාසෙමින්  ඉතා සැහැල්ලුවෙන් පිලිතුරු දුන්නෙමි .


ඔවු ඒකත් ඇත්ත .ඇය සිනා පා මගේ උරහිසට තට්ටුවක් දමා කොන්ඩය කපන්නට ලෙන්ත් එක ගත්තාය .

P/S -To be beautiful means to be Yourself . You don't need to be accepted by others . You need to accept yourself
 ...and what matters most is your inner beauty ....Beauty in your thoughts . Beauty in your heart.Beauty in your deeds ! 

Monday, December 26, 2011

ඇනුවල් ලීව් උදාන කවි





ඇනුවල් ලීව් යාමද සැපතකි 
අලස සුවෙන් සිටීමද සැපතකි 
ලොක්කාගේ මේල් නොබැලීමද සැපතකි 
යාලුවන් සමග නන් දෙඩවීමද සැපතකි 
ඔහේ ඇවිදයන මගියෙක් වීමද සැපතකි 






ගහ කොල විඳීමත් 
මුහුදු වෙරලක තනි වීමත්
සතුටින් සිනාසීමත්
මිහිරි මතක මග  සැරියත්
සැපතටම හේතු වෙත් 






වසර පුරා හොඳ හැටි වෙහෙසීලා 
දිවා රෑ නොබලා ෆර්ෆෝම් කරලා 
අවුරුද්දක වැඩ අහවර කරලා 
ඉසිඹු ලබන්නට නිසි කල් බලලා  
ඉතුරු ඇනුවල් ලීව් දාලා 



වෙහෙසුන ගත  විඩා නිවා දමන්නයි 
බිඳුනු තැවුණ සිත සුවපත් වන්නයි 
නැවුම් උදාවට ජවයක්  දෙන්නයි 
අලස සුවය විඳ වැඩ අරඹන්නයි 
කොයි කවුරුත් ඇනුවල් ලීව් දමන්නයි ....-:)


P/S -Business Closed for 2011 . We are on Leave ! Happy Holidays ! Happy New Year ! 
( First two pics are taken by me . All rights reserved )




Friday, December 23, 2011

Jaw Bone , Back Bone and Wish Bone - Story of Three Bones



ඔන්න එකෝමත් එක කාලෙක කතාවක් කියන්නයි යන්නේ.දැනට අවුරුදු සියක් කාලෙකට එහා පුංචි සාගර දූපතක හිටියා මහලු ධීවරයෙක් . දන්න කියන කාලෙක ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට පුරුද්දෙන් මුහුදු ගිහින් මාලු මරන් ගොඩට ඇවිදින් විකුණලා කීයක් හරි යොයාගන්න එක තමයි එයාගේ රස්සාව.ඔය සාගර දූපතේ හිටි කොයි කාගෙත් කතාව ඔහොමයි . මුහුදු ගිහින් උපය ගන්න දේකින් එදා වේල ගැටගහගෙන චාමෙට ජීවත්වෙනවා .

අපේ මේ ධීවරයට හිටියා තරුණ පුතෙක් .පුරුද්දෙන් පරම්පරාවෙන් තාත්තගේ රස්සාව කලාට මොකෝ එයාට නම් සාගර දූපතේ තනිවෙලා ඉන්න ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ .තාත්තත් දැනගෙන හිටියා පුතණ්ඩියා දූපතට කොටු වෙලා ඉන්න වැඩි මනාපයක් නැතිවග . ඔන්න ඉතින් තාත්ත හිතූ විදියටම එක දවසක පුතා මේ සාගර දූපත අතෑරලා එයාගේ වාසනාව සොයාගෙන , අලුත් ලෝකෙකට යන්න ඕනෙ කියලා  තීරණය කලා .වයසක තාත්තා පුතාගේ අදහසට බාධා කලේ නෑ. ඔය තීරණේ ගත්තු දා ඉඳන් දෙමාසයක් යනකන් පුතා ගමනට සූදානම් වුණා . ඉස්සෙල්ලම හොඳ පුංචි රුවල් ඔරුවක් හදාගත්තා . සාගරේ තරණය කරගෙන දේශ දීපංකරේ යන්න නේ කල්පනාව .ඊලඟට දෙතුන් මාසෙකට උවමනා  කෑම බීම ඩිංගකුත් පුලුවන් විදියට සොයාගෙන ඔරුවේ ගබඩා කලා .අන්තිමටම ගමන පිටත්වෙන දවස ආවා .ඒ කියන්නේ පුතා තාත්තගෙන් සමු අරගෙන එයාගේ අලුත් ලෝකෙ හොයාගෙන යන  දවස .දරුවෙක් මෙහෙම ඉරණම් ගමනක් යනකොට හැම තාත්තෙකුටම ලොකු දුකක් ,බයක් දැනෙනවනේ .ඒ වගෙම තමයි දරුවන්ටත් නොපෙන්නුවට දුකයි.ඒත් තාත්තල දාල යන්න වෙනවා .ඒක ලෝක සොබාවෙ කියලා හිතලා මේ තාත්තයි පුතයි තමන් හැමදාම මුහුදු ගිය සාගර දූපතේ පුංචි වරායට ගියා සමුගන්න අන්තිම වතාවට. එදාවෙල හරි හම්බ කරගත්තු තාත්තට පුතාවෙනුවෙන් දෙන්න සල්ලි බාගේ ,වස්තුව තිබුණේ නෑ .පුතත් දැනගෙන හිටියා තාත්ත සල්ලිකාරයෙක් නොවෙන වග .ඒ නිසා මහලොකු යමක් තාත්තගෙන් බලාපොරොත්තු නොවුනත්, ගමනට එයාගේ ආශිර්වාදය බලාපොරොත්තු වුණා. ඔන්න ඉතින් සේරම ලෑස්තිකරලා රුවල් ඔරුව දියත්කරන්න යද්දී පුතාව වැලඳගෙන සුබ පැතුව තාත්තා එයාගේ අතට ලොකු තල්මහෙක්ගේ මාලු කටු තුනක් දීලා කිව්ව "මේවා පරිස්සමින් තියාගන්න , නැතිකරගන්න එපා ,ජීවිතේ හැමදාම ඕනෙ වේවි .අමතක කරන්න එපා"කියලා .


"හ්ම්.... තල්මහෙක්ගේ කටු කෑලි වකින් මොනව කරන්නද?" කියලා හිත හිතා අර ඉලංදාරියා ධීවරයගේ මූණ බැලුවා ප්‍රශ්නාර්ථෙකුත් එක්ක . පුතාව තේරුම ගත්ත තාත්තා ඒයින් එකක් අරන් මෙහෙම කිවා .

පුතේ මේක නුඹේ හකු කටුව -Jaw Bone  හා සමානයි . නැතිකරගන්න එපා .මතක තියාගනින් කොයි දේස දීපංකරේ ගියත් කවදා හරි දවසක සත්‍ය කතා කරන්න , හොඳ වචන කතා කරන්න මේ හකු කටුව නුඹට උදවු වේවි කියලා .

"ඉතින් පුතා අහනවා එත්කොට තාත්තේ මේ අනික් ඇට කටු ?"

තව මාලු ඇට කෑල්ලක් අතට ගත්තු ධීවරයා කියනවා "මේක නුඹේ කොඳු ඇටය -Back Bone හා සමානයි .මතක තියාගනින් මේ කොඳු කටුව තියෙනතාක් කල් උඹට අයුක්තිය , අසාධාරණේ , ඉස්සරහ නැවෙන්න ඕනෙ වෙන්නේ නෑ.හැබැයි යුක්තිය , නිවැරදි දේ වෙනුවෙන් හිස නවපන් ,එකඟ වෙයන් .තමන්ගේ නිවැරදි මතය වෙනුවෙන් බය නැතුව නැගී හිටපන් "කියලා . ඒ අවවාදයත් හිස් මුදුනෙන් පිලිගන්න පුතා අහනවා අන්තිම මාලු ඇට කෑල්ල පෙන්නලා "තාත්තේ එතකොට මේ මොකද්ද "?කියලා .

"මේ නුඹේ පැතුම් කටුව- Wish Bone . මොන තරම් අසරණ වුනත් , වස්තු සම්පත් ,යාලුවො නැති වුනත් , ජීවිතේ එපා වෙන තැනට ආවත් මේ පැතුම් කටුව අතාරින්න නම් එපා .ප්‍රාර්ථනා , බලාපොරොත්තු තමයි යම් දවසක නුඹව අලුත් ලෝකෙකට ගෙනියන්නේ "කියලා .

ඉතින් ඔය කටු තුන පිලිගත්තු පුතා සාගර දූපතෙන් තාත්තට සමුදීලා සතුටින් නික්ම ගියා කියල තමයි කියන්නේ .

අද මේ කතාව මට මතක්වුණේ කාරණා කීපයක් නිසා .මේ කතාව මට කියලා දුන්නේ කාලෙකට ඉස්සර මගේ ආචාර්යවරයෙක්ව හිටි හා අපේ ස්ටුඩන්ට් කවුන්සලර් හැටියට වැඩ කල ආචාර්ය ගරු නොයෙල් ඩයස් පියතුමා .හරි ප්‍රසන්න සිනා මුසු කෙනෙක් .එතුමා තන්ගේ පලවෙනි වසරේ සිසුන්ට මුලින්ම කියලා දෙන කතාව මේ .පියතුමා එයාගේ විෂය උගන්වලා විවේක තිබුණොත් ලස්සන හිම්ස් එහෙමත් ගායනා කරනවා මට මතකයි .එතුමන් කිව්ව බොහෝ ආදර්ශ කතා ශුද්ධවූ බයිබලයෙන් කල උපුටා ගැනීම් වලට සම්බන්ධයි .තව දෙදවසකින් කිතුණුවන් ඉතාම ඉහලින් සමරන නත්තල උදාවෙනවා .තව සතියක් ගියතැන අලුත් අවුරුද්දක ආරම්භය . අද මම කොලඹඉඳලා ගෙදර එද්දී පාර පුරාම අවුරුදු හා නත්තල් සැරසිලි එක්ක මට අපේ ෆැකල්ටියේ තිබුණ ක්‍රිස්මස් කැරොල් හා ආචාර්ය ඩයස් පියතුමා මතක් වුණා .ඒ වගේම නත්තල ,අවුරුද්ද වෙනුවෙන් ජීවිතේට යම් අදහසක් මෙයින් එකතුවෙනවා .මම ගොඩාක් කැමති පැතුම් කටුවට -Wish Bone .ජීවිතේ බලාපොරොත්තු නැති කරගන්න එපා කියලා කිව්ව අවවාදයට . ඒ වගේම දෙමවුපියන් හා දරුවො අතර තියෙන බැඳීම් ගැන යම් යටි පෙල අරුතකුත් මෙයින් කියවෙනවා .

එහෙනම් කාටත් ප්‍රීතිමත් ශ්‍රී සුබ නත්තල් මංගල්‍යයක් වේවා !

ප\ලි

මේ තියෙන්නේ පියතුමා කිව්ව තවත් අදහසක් .මේක උපුටාගත්තේ මගේ ජූනියර් බැච් එකක නංගි කෙනෙක්ගේ මූණු පොතේ තිබිලා .


For attractive lips, speak words of kindness.



For lovely eyes, seek out the good in people.



For a slim figure, share your food with the hungry.



For beautiful hair, let a child run his/her fingers through it once a day.

For poise, walk with the knowledge that you never walk alone.



People, even more than things, have to be restored, renewed, revived, reclaimed, and redeemed; never throw
 out anyone.


Remember, if you ever need a helping hand, you will find one at the end of each of your arms.

As you grow older, you will discover that you have two hands; one for helping yourself, and the other for helping others.