Thursday, January 19, 2012

ලොස්ට් ඔපචුනිටීස් -Lost Opportunities




හවස් යාමයේ නගරයේ තිබූ කලබලය දැන් නැත .ඉඳහිට ඇහෙන්නේ හයිලෙවල් පාරේ යන වාහන වල සද්දයක් පමණි . දවාලේ ඇති වාහන තදබදය දැන් නැත .එලවලු , පොල් ලොරි , මස්කඩ කාරයන් , මාලු වෙලෙන්දන් නිසා දවල්ට මහා කාලගෝට්ටියක සිරි ගන්නා කිරුලපන පොදු වෙලඳපොල අඳුරේ ගිලී නිසලය. හවසට තොරතෝංචියක් නැතුව බීගෙන කෑගහන ,රණ්ඩු වෙන පහල  කූඹි කැලේ වත්තේ ගෑණු මිනිස්සුන්ගේ සද්ද බද්ද දැන් නැත . බාධාවකට ඇත්තේ මාර්කට් එකේ  සුන් බුන් කුණු ගොඩ පිසගෙන ජනේලයෙන් කාමරයට පනින දුගඳ හුලඟ පමණි .කවදාත් මට පුරුදු අන්තිම මොහොතේ ,අවේලාවේ අවදිව නිදි වරන් වැඩ කිරීමයි .ඇඳකුත් කුඩා පොත් මේසයකුත් තැබියහැකි බැල්කණියකට විවර වෙන කාලයක් නිවැසියන් අබලි බඩු මුට්ටු දමන්න පාවිච්චිකල මේ කුඩා කාමර පොඩ්ඩ මගේ නවාතැනයි .ඇඳ පුරා විසිරුන පොත් ගොඩ මතින් වැතිරී කේ .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් ( K.Loganathan - Lost Opportunities ) හි වඩුක්කොඩෙයි ගිවිසුම ගැන කියවමින් සිටියෙමි . මේ කොටස නොකියවා සිටියොත් මගේ හෙට දේශනය වටහාගැනීම අසාර්ථක වනු ඇත .

පොතෙහි නිමග්න වී සිටින මට පහල ගේට්ටුවට මහ හඬින් තඩි බාන සද්දයක් ඇසේ . මාර්කට් එකේ පදිංචි වී සිටින අයාලේ යන බලු රැලත් කලබල වී බුරා වැටෙති . පහල ගෙදර කුලියට ගෙන සිටින බර්ගර් පවුල හෝ දෙවැනි තට්ටුවේ සිටින නිවැසියන් ඇහැරෙන පාටක් නැත . දැන් දැන් ගේට්ටුවට පා පහරවලුත් වැදෙන හඬ ඇසේ . වෙලාව රාත්‍රී එකට පමණ ඇත . 

මම නිදන ඇඳුම පිටින්ම දොර හැරගෙන පඩිපෙල දිගේ පහලට බැස්සෙමි . පහල බැල්කණියෙන් බැලූ විට දැක්කේ කාකි නිල අඳුම් ඇඟලා ගත් හමුදා භටයන් පිරිසක් ගේට්ටුවට තඩිබාන බවකි .ඔවුන් මා දැක ඇත 

"කෝ මේ ගෙවල් වල මිනිස්සු . නැගිටින්නේ නැද්ද ? අපි ගෙවල් චෙක් කරනවා . හදිසි වැටලීමක් .බෝම්බ පුපුරන්නේ කියලා නෙවේ ".

රළු හඬින් එක් හමුදාභටයෙක් කෑ ගසයි 

"ඉන්න මම ගෙදර අය නැගිට්ටවන්නම් " 

තද නින්දෙන් පිබිදුන ගෙහිමියන් පහල අගුලු ලා ඇති යකඩ ගේට්ටුව හැරියේය  . ටොක් ටොක් ලෙස තාලයට බූට් සද්දයක් එයි . පහල සිටි හමුදා පිරිසෙන් හත් අට දෙනෙක්ම ඉහල මාලයට එයි . 

කවුද ගෙදර ඉන්නේ ආයෙත් අර රළු හඬ ප්‍රශ්නකරයි 

"අපි දෙන්නයි ළමයි තුන්දෙනයි මේ තට්ටුවෙ ඉන්නේ .පහල බදු දීල තියෙන්නේ පවුලකට .ඉහල කාමර කෑල්ලේ මේ දරුවා ඉන්නවා " 

ගෙහිමියා යටහත්ව කියයි .

සෙබලුන්ගෙන් කොටසක් තුවක්කු මානාගෙන පහල පාරේ බර අඩි තබමින් යති .අර රළු හඬ මොවුන්ගේ ඉහල නිලධාරියා විය යුතුය . කීපදෙනෙක්ට පහල කුලී ගෙදරට යන්න සන් කරන ඔහු අලුත් යමක් සොයාගත්තා සේ මා දෙසට හැරෙයි .

"තමුන් කවුද , මේ ගෙදර උදවිය තමාගේ කවුද ?" මට පැනයකි 

"මම කැම්පස් යනවා .මෙහේ නැවතිලා ඉන්නේ "

"මේ දරුවා ගාල්ලේ අපේ හිතවත් පවුලක .දැන් අවුරුද්දක් තිස්සේ අපේ ගෙදර ඉඳන් කැම්පස් යන්නේ "

 ගෙහිමියා මා මතය තහවුරු කරයි .

"කොහේ කැම්පස්ද ?"

ආයෙත් පැනයකි 

"කොලඹ "

"දෙන්නෙක් යන්න උඩට  ."

 නැවත ඔහුගෙන් අණකි 

සෙබලු දෙන්නෙක් වහ වහා පඩි නැග මගේ අට්ටාල කාමරයට යති .එහි දොර විවර වී ලයිට් එලි දැල්වේ . කුඩා මේසය උඩත් ඇඳ මතත් පොත් විසිරිලාය .

බරාස් ගා මගේ කබල් පුටුව ඇදි එක් අයෙක් ඇඳුම් බෑගය ගෙන පිරික්සයි . එහි ඇත්තේ මගේ ඇඳුම් කෑලි ටිකය .අනිකා පොත්මේසයට නැඹුරුවී ගොඩගසා ඇති පොත් පිරික්සයි .

ඔහු එකදහස් නවසිය හැත්තෑ අටේ  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , අපරාධ නඩු විධාන සංග්‍රහයත් අවුස්සා එලියට ගෙන ඇත . 

"මේවා මොකටද?"

 ආයෙත් පැනයකි

"ඕවා මම ඉගෙනගන්නවා " තව ප්‍රශ්න යොමුවන්නට පෙර මම වහ වහා මම මගේ ශීෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරමි .

"හරි මිස් බොහොම ඉස්තුතියි "

 එවර හමුදා භටයා බොහෝ සංවරය . 

"මේ බලන්න"

 මගේ පොත් බෑගය අදින අනිකාගෙන් හඬක් මතුවෙයි 

මම වහා එබී බැලුවෙමි . තම අතේ ඇති දෙමළ බසින් ලියැවුණ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් , තව දෙමල බසින් ලියවුන පනත් කීපයක් එකට  කර හම් බැම්මෙන් බැඳි පබ්ලිකේශන් බියුරෝ එකෙන් මුද්‍රිත ලොකු පොතකුත් අතට ගත් ඔහු මහා අනර්ඝ දෙයක් සොයාගත්තෙකු සේ කෑ ගසයි .

මට වුන හදිය මතක්වෙන්නේ දැන්ය . එදා දවල් දේශන ඉවර වී එලියට එන විට මා වෙත ආ ටෙරා හා චිත්ති මගෙන් ඉල්ලිමක් කලෝය . 

"අදට මේ පොත් ටික ඔය බේග් එකේ දාගෙන ගෙනියනව ප්ලිස්?
.හෙට ගේනවද ?.අපි දෙන්නටම පොත් වැඩි තමා අද .ලයිබ්‍රරි බූක්ස් ගොඩකුත් තියෙනවා තමා . ලොකු උදවු හෙට ගෙනාවොත් " 

කැඩුන සිංහලෙන් කියන චිත්තිගේ ඉල්ලිම ඉවතලිය නොහැක .මට ඉඳහිට හෝ දේශන මග ඇරුනොත් සටහන්පොත ණයට දෙන්නේත් ඈය. .

මේ දෙන්නම මගේ යාලුවෝය. අඳුනාගත්තේ කැම්පස් එකේදීය .ටෙරා දෙමළ මාධ්‍ය පන්තියේය . චිත්ති හා මම අනික් පන්තියේය .කවුරුත් ඉන්ග්‍රිසි අණ පණත් සමග මවු බසින් ලියැවුණ අණ පණත් ද පාවිච්චි කරමු . එතකොට සමහර දේ තේරුම් ගන්න ලේසිය . පොත් වල ටෙරාගේ හා චිත්තිගේ නම් දෙමල අකුරින් කාබන් පෑනෙන් ලියා ඇත .

"මේව මොකටද මිස් , මිස් දෙමළ කතා කරනවද, කියවනවද ?"

අනික් හමුදා භටයා පසෙක දිගහැර දමා ඇති චානක අමරතුංගගේ අයිඩියාස් ෆෝ කොන්ස්ටිටියුශනල් රිෆෝම්ස් පොත අතට ගෙන එහි බර මනින ලෙස එහා මෙහා හරවයි.

දැන් නම් මට ටිකක් බය හිතේ .

"නෑ මම දෙමළ කතා කරන්නේ නෑ , දෙමල කියවන්න , ලියන්න මම දන්නේ නෑ "

"එහෙනම් මේවා ?" ඔහු නැවත මෙසය මත ඇති දෙමල බසින් ලියවුන අණ පණත් පෙන්වයි 

"මේවා මා එක්ක එකට ඉගෙනගන්න යාලුවො දෙන්නෙක්ගේ , එයාලගේ බෑග් වල දාගෙන යන්න ඉඩ මදි නිසා මට දුන්න අද ගෙනිහින් හෙට ගේන්න .මේවා අපි ඉගෙන ගන්නවා . අන්න අර පොත් වල දෙමළ පරිවර්තන " 

මම නැවතත්  එක්දහස් නවසිය හැත්තෑ අට ආණ්ඩු ක්‍රම් ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් පෙන්නුවෙමි . 

"මේව ඔක්කොම රජයෙන් ප්‍රකාශයට පත්කරන්නේ .අර රාජ්ජ ලාංචනේ තියෙන්නේ " 

ඔවු රාජ්‍ය ලාංචනේ තියෙනවනම් බයවෙන්නෙ මොකටද .මොකෝ මේව මම අච්චුගහපුවද ? යටිහිතින් මට හිතේ 

"මොකද තමුසෙලා පරක්කු ?"

ආයෙත් අර රළු හඬය 

"නෑ සර් මේ ? "

හමුදා භටයා ඔහු සොයාගත් අනර්ඝ වස්තූන් ඉහල නිලධාරියාට පෙන්වයි . 

"තමුන්ගේ ශිෂ්‍ය හඳුනුම්පත තියෙනවද?"

ඔහු ඒදෙස බැලුම් හෙලන අතර මගෙන් අසයි .මම රෝස පැහැ ශිෂ්‍ය හඳුනුම්පත හා කහ පැහැ ජාතික හැඳුනුම්පත පෙන්වමි . 

"එතකොට මොකටද මේ පොත්" 

මම මුල සිට අගට  ආයේ කතාව කියමි 

ඔහු කාමරය සිසාරා බැලුම් හෙලයි .ඒ අතර අනිකා ඇඳේ මෙට්ටයත් ඉවත් කර මගේ ඇඳයටට එබී බලයි 

කේ.  ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත ඇඳෙන් බිමට වැටී අර රළු හඬ ඇත්තාගේ දෙපාමුලට විසිවෙයි . 

"ඔය ඇති , අපි යමු , දොර වහගන්න "

අර රළු හඬ කියයි . චෙක් කිරිලි එතැනින් ඉවරය 

මම නැවත පොත් මේසයේ පොත් අඩුක්කු කර , එකදහස් නවසීය හැත්තෑ අටේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් , දණ්ඩ නීති සංග්‍රහයත් අනික් පොත් අතර උඩින්ම තියමි . මේවා නිතර ඕනෙ වෙනවාය . 

තාමත් බිම පෙරැලී ඇති කේ  .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත අවුල් වූ පොත් මේසය සකසන මගේ පයට පෑගෙයි . ඒ නොදැනුවත්වය .මගේ නොසැලකිල්ලය.  එය බිම වැටුනේ අපි හැමෝගේම නොසැලකිල්ල  නිසාය  .

පැහැදිලි කිරීම 


චානක අමරතුංග ලිබරල් පක්ෂයට සම්බන්ධවූ ලංකාවේ ආණ්ඩුක්‍රම වෙනස්කම් සිදුවියයුතු අයුරු හා සුලු ජන අයිතීන් එයට ඇතුලත් විය යුතු අයුරු ගැන මත පලකල සිංහල විද්වතෙකි . කේ. ලෝගනාදන් සන්නද්ධ අරගලයේ  එක් පාර්ශවයක් නියෝජනයකොට කලකදී ඉන් මිදී එලියට අවුත් අරගලය හා එහි ඉතිහාසය දෙස වෙනස් ඇහැකින් බැලූ දෙමළ විද්වතෙකි .චානක රිය අනතුරකින් අකාලේ මියගිය අතර ලෝගනාදන් සන්න්නද්ධ කල්ලිය අතින් මිය ගිය අවසන් දෙමළ විද්වතුන් ගොන්නට එක්වේ .
වඩුක්කොඩෙයි ගිවිසුම -1971 දෙමල ඊලාම නිජබිම් සංකල්පය එවක ඊලාම් සටන්කාමීන්  නිල වශයෙන් ඉදිරිපත් කලේ මේ හරහාය 

මගේ මිතුරු ටෙරා  මෙයින් හත් වසරකට පෙර විනෝද චාරිකාවක් ගොස් දියේ ගිලී අකල්හි අපෙන් වියෝවුවේය .චිත්ති ඉන් වසරකට පසු සදහටම  ලංකාව හැරදා ගියාය .


තාමත් තිස් තුන් වසක් ගෙවීත් අපි හැත්තෑ අටේ පුස්තකය අපේ මුඛ්‍ය නීතිය කරගෙන (grund norm ) පාලනය වේමින් සිටිමු . 

12 comments:

  1. "තාමත් බිම පෙරැලී ඇති කේ .ලෝගනාදන්ගේ ලොස්ට් ඔපචුනිටීස් පොත අවුල් වූ පොත් මේසය සකසන මගේ පයට පෑගෙයි . ඒ නොදැනුවත්වය .මගේ නොසැලකිල්ලය. එය බිම වැටුනේ අපි හැමෝගේම නොසැලකිල්ල නිසාය" .

    දැන්නම් පොත පයටම පෑගිල කියවන්නත් බෑ.
    ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
  2. අතීතෙට හිත ගෙනිච්චා........ මෑත අතීතයක්. ඒත් දැනෙන්නෙ කල්පයක් දුරයි වගේ

    ReplyDelete
  3. ඔය අර ගම්පෙරලිය පොත ළඟ තිබ්බම පුප්පපු රාළහාමිලට වඩා ටිකක් පස්සේ පරම්පරාවේ අය හින්ද අද අපි මේක කියවනවා . නියමයි ටි ජි ..

    ReplyDelete
  4. ලස්සනයි TG . මොනවා කියාගන්ටද කියලා තේරෙන්නේ නැතුව පාරක් හැරිලත් ගියා. මම නොදන්න කතාවක්.

    ReplyDelete
  5. නාවුක හමුදාවට අලුතෙන් ගිය මාතර පැත්තේ කොල්ලෙක්ට සාජන් කිව්වලු නාහ ආවොන් ඕනේ එකෙක්ට වෙඩි තියපං කියලා..ඌත් මාතර එකෙක්.....ටික වෙලාවකින් ජිප් එකක් එනවලු....ඉස්සරහ බෝඩ් එක නා.හ එක්ක නොම්බරයක්...අරු පතුරංටික ඉවරවෙනකං වෙඩි තියලා.....

    ReplyDelete
  6. හ්ම් ලොකු හුස්මක් හෙලුණා දන්නෙම නැතුව එක පාරටම කියවල ඉවර වුණාම
    මට මතක් වුණේ මම මරදානෙ ගෙදරක නතර වෙලා අවසාන වසරෙ නිබන්ධයේ වැඩ කරන කාලෙ.. මගෙ පරිගණකය මම ගෙනල්ල තිබුණ ඒකෙ වැඩවලට... සෝදිසි කරන්ඩ ආව බොහෝ අවස්ථාවල ඒ නිලධාරීන්ට මගේ පරිගණකය පවා ගැටලුවක් වුණා... දාහක් උත්තර දෙන්ඩ වුණා... අපිත් එක්ක විශ්වවිද්‍යාලෙ හිටිය දෙමළ යාලුවොන්වත් නිතර අරන් ගියා නෙ ප්‍රශ්න කරන්ඩ....රැකියාවෙ වැඩවලට උතුරු නැගෙනහිර පලාත්වල නිතර සංචාරය කරන මට එයාලව නිතර මතක් වෙනව... කොහෙ ඉන්නවද දන්නෙ නෑ... සමහර විට රට අතෑරල යන්ඩම ගිහින් ඇති....දුකක් හිතට ගෙනාව පෝස්ට් එකක්

    ReplyDelete
  7. අවාසනාවකට වගේ තාමත් අපේ පාලකයෝ ඉස්සරහ පරම්පරාවලට ඔපොචුනිටීස් නැතිකරනවා සාමෙන් ඉන්න..

    ReplyDelete
  8. අපි හැමෝම එකට ඉන්න තාමත් හීන මවනවා. ලස්සනයි නංගි. එක හුස්මටම කියවගෙන ගියා. මේ ටිකේ මට ගොඩක් පෝට් මග හැරුන අවිවේකී බව නිසාම.

    ReplyDelete
  9. ටීජී ඒ කාලෙ ඉඳලම වැරදි පොත් කියවල තියෙන්නෙ. ;-) සත්‍ය සිදුවීමක් වුණත් හුඟක් කෙටිකතාවක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. හැමෝටම ස්තුතියි ,මෙක මගේ අත්දැකිමක් . මම සංකේතාත්මකව කියන්න හිතුවේ වාර්ගික ප්‍රශ්නය , යුද්දය විසඳන්න තිබ්බ ගොඩාක් අවස්තා අපිට මග ඇරුනා කියන එක ,ඒ වගෙම දෙමල යාලුවො මට පලවෙනි වතාවට මුනගැහුනේ කැම්පස් එකේ දී . මෙ නම් සඳහන් වෙන යාලුවො දෙන්න ඒ අතරින් විශේෂයි .

      නලිනි - මම කොහොමත් හැමදාම කියවල තියෙන්නේ වැරදි පොත් තමයි හි හී

      Delete
    2. [[වාර්ගික ප්‍රශ්නය , යුද්දය විසඳන්න තිබ්බ ගොඩාක් අවස්තා අපිට මග ඇරුනා කියන එක]]

      මට හිතෙන්නේ ඊට අවශ්‍ය අවංක කම තිබ්බේ නැහැ.

      අනික උතුරේ කල යුද්ධය "වාර්ගික ප්‍රශ්නය" ක අතුරු පලයක්‌ වුනාට, "වාර්ගික ප්‍රශ්නය" මත කල එකක් නොවේ කියන එක. එ කිව්වේ යුද්දේ කලේ උතුරේ මිනිසුන් ට සවාධිපත්‍ය අරන් ඔවුන් සුඛිත් මුදිත කිරීමට වඩා, ඔවුන්ට විවිධ හිංසා කල අනික් වාර්ගිකයන්ට රිද්දන්න කෙලවන්න. හුදෙක් වෛරය මත.

      ඒකයි ඔපොචුනිටි ලොස් වුනේ. ඔපොචුනිටි ඒක පුද්ගල අජෙන්ඩාවට ගැලපුනේ නැහැ. ඒක ඇත්ත අවශ්‍යතාවය නොවේ.

      Delete
  10. රෙට්‍රෝ රීඩින්.

    ඔතන ටී ජී මතු කරන ප්‍රශ්නය හමුදා සම්බන්ධ ඉතිහාසය පුරාවටම තියෙන සත්‍යයක්. වැරදිකාරයා හොයන්නේ කොහොමද කියන එක. ඉස්සර කාලේ නම් දෛවඥයා කිව්වා දවසේ උපන් ඔක්කොම ළමයි ටික මරා දැම්මා. දැන් එහෙම නොකරන්නේ හැදියාව නිසා නොවේ, කරන්න බැරිකම නිසා. මානව ඉතිහාසය තුල වෙනස් නොවන එක දෙයක් යුද්ධය හා එහි නරුම කම.

    ඊට යටින් මිනිසාගේ නිදහස මානව අයිතිවාසිකම් වගේ තට්ටුවක් තිබුනට මං එ ගැන කතා කරන්නේ නැත්තේ, යුදමය අවස්තාවක මානව අයිතිවාසිකම් රැකෙන එක කවදාවත් වෙලා නැති,හැබැයි කවුරුහරි ඇහුවොත් උනා කියන එකක් නිසා. ඒක එහෙම නොවීම ගැන කතා කර වැඩක් නැහැ. තනිකරම යුද්ධය නොවේ වැරදිකරු. මානව අයිතිවාසිකම් ලිව්ව කෙනා යුද්ධය ගැන නොදැන හිටියා වෙන්නත් පුළුවන්.

    එ නිසා මෙහි තියෙන කතා කල යුත්ත හැටියට මා දකින්නේ අර "වැරදිකාරයා හොයා ගන්න එක". මේ කතාවේ බරපතල අවස්තාවක් වනුයේ මෙතන ටීජී නොහිඳ ටෙරා [නාමික ටෙරෙක් නේද? සමහර උ/නැ ළමයි ඇත්තටම ටෙරාලා ටෙරිලා වෙලත් හිටි නිසා] හා චිත්ති උන්නා නම්. මොකද සිංහල කතා කරන දකුණේ ඇඩ්රස් එකක් තියෙන [මේක ගොඩක් අය නොදන්නා රහසක්] ප්‍රසන්න [ඔන්න වර්චුවල් ප්‍රසන්ස් ඒක හිතලා කිව්වේ - ඊට වඩා දන්නේ නැහැනේ] ගැහැණු ළමයෙක් [කවුරැත් මේ ගැන පෝස්ට් ලියන්න එපා ජෙන්ඩර් බැලන්ස් ඒකට කෙලියා කියා] උනාම සැහෙන්න ගොඩ.

    චිත්තිලා ටෙරාලා නම් සමහර විට එදා රෑ කූඩුවක ගත කරන්නත් තිබ්බා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වැරදිකාරයා අල්ලන්න අවශ්‍ය තීක්ෂණ බව අහිමි වීම.

    බින්දී කීවා වගේ මීට දශක එකහමාරකට පෙර නම් මේ වගේ පොතක් තිබීම ප්‍රමාණවත් කෙලින්ම නඩුත් නැතිව ගේම සෙට් වෙන්න. විවි සිසුවියක් වීම තවත් වැඩි හේතුවක්. අපිට පෙනෙන වැදගත් වෙනසක් තියෙනවා. එ සිද්ධියට හේතු හෙව්වොත් කාරණේ වැටහෙයි.

    හමුදාව සංවර වෙලාද? එහෙම සංවර හමුදා ලෝකේ තියේද? ඉරාක ගෙදරක ඔක්කොම ඒ කියන්නේ පුංචි බබ්බු පවා අත් පස්සට බැඳලා වෙඩි තියලා ටෙරා ටාගට් එකක් කියා එයා ෆෝස් එක ලවා අතුගා දැම්මේ ඇමරිකානු භටයින් ඔය කාලෙම. මං හිතන්නේ මේ සංවර වීමක් නොවේ. වැරදිකාරයා හොයන ක්‍රමවේදය වෙනස් වීමක්. ටෙරා හා චිත්ති උන්නා නම් වෙනස බලන්න තිබ්බා.

    මට හිතෙන්නේ මේ ගැටලුවට උත්තරයක්‌ නැහැ. ලොස්ට් ඔපචුනිටි ලොස් වෙන්න මේක හේතුවක් වුනා වගේම ඊට කලින් ලොස් වුන දේවල් නිසා මේ තත්වය බිහි වන්නේ. කොච්චර කිව්වත් ගෙවල් අස්සේ කොටි හිටියා. උන්ව පෝෂණය කල පිරිසක් හිටියා. හමුදාවට වැරදිකාරයා හොයන්න ඕනේ. ක්‍රමය අප්සෙට්. ඒත් හොඳ ක්‍රමයක් තිබේද?

    යුද්ධය කියන්නේ කවුරුත් අකමැති එහෙත් හැමදා පවතින සන්දර්භයක්. ඒකෙ ඇතුලේ පිරිසක් අනිවා වින්දිතයින්. එහෙත් ඒ පිරිස වෙනම ගෙන කතා කරන්න බැහැ. පීඩකයින්, වින්දිතයින්, ඒ චරිත අතර මාරු වන්නන් ඔක්කොම එක්ව ගත් සංගත සංසිද්ධියක් යුද්ධය.

    යුද්ධයක් කරා ගිය අය ට ලොස් වුන ඔපචුනිටිය, යුද්ධය නිම වන තුරු විවර වන්නේ නැහැ. එ දවස ඇවිත් තියෙන්නේ දැන් තමා.

    අතීත කතාවට ඒ කාලේ තත්වයෙන් ලිව්ව රෙට්‍රෝ කොමෙන්ටුවක් පමණි.

    ReplyDelete