Saturday, September 3, 2011

ලහෝර් හල්වා ඇන්ඩ් මයි මැටර්නල් ලින්ක්ස් ටු ලහෝර්


ට්‍රේනින් එක පටන්ගත්තට පස්සේ නම් කිසිම රස්තියාදුවක් ගහන්න වෙලාවක් තිබුණේ නෑ.කාල සටහනේ විදියට උදේ නවයට වැඩ පටන් අරන් හවස පහට දේශන ඉවරවෙන්න තිබුණත් හතහමාර විතර වෙනකනුත් සමහර වටමේස සාකච්ඡා තිබුනා. War Against Terrorism , Affirmative Actions and Minority Rights , Cultural Rights වගේ දාලා යන්න ලෝබ රසවත් මාතෘකා නිසා එකක්වත් කට් කරන්න කාටවත් ඕනෙ කමක් තිබුණේ නෑ.ඊට අමතරව රෑට යම් යම් ලිපි , පොත් පත් කියවන්නත් තිබුණ නිසා හැමදාම ටිකක් වෙහෙසකර දවසක් වුණා.හතරවෙනි දවස වෙනකොටනම් කාටත් හරි මහන්සියි .ඒ බව තේරුණ නිසා අපිට උගන්වමින් හිටි මහාචාර්ය වරු දෙන්න තීරණය කලා හරියට හවස පහට දේශන නිමා කරලා අපිව නිදහස් කරන්න.එදා සති අන්ත සෙනසුරාදාවක් .අපි කාටත් බලාපොරොත්තු නොවුන වෙලාවක පොඩි දීමනාවකුත් ලැබුණා .අපේ ඉන්සිඩෙන්ටල්ස් වලට නියම කරලා තියෙන සල්ලි වලින් බාගයක් .වෙලාවෙ හැටියට ඒකත් වටිනවා .කවුරුත් කතා කලේ නුදුරින් තියෙන 'සාකේත්" වලට මෙට්‍රො බස් එකෙන් ගිහින් , ෆිල්ම් එකක් බලලා ,හොඳට කෑම කාලා , රාත්‍රී අවන්හලකට ගිහින නටලා විනෝදවෙන්න . සාකේත් සති අන්තයේ විනෝදවෙන්න එන උදවිය වෙනුවෙන්ම කැප වුණ අවන්හල් , සිනමා ශාලා , සමාජසාලා තියෙන පැත්තක් . මට ඉතින් ඕනේ කොහේහරි කලබල නැති තැනකට වෙලා පාඩුවේ මසාලා තේ එකක් බීල කයිවාරුවක් ගහන්න නිසා සාකේත් නඩේට එකතුවෙන්න කැමැත්තක් තිබුනේ නෑ.ඒ නිසා මම නැවතුනා . ටිකවෙලාවකින් මගේ රූම් එකට කෝල් එකක් එනවා රබියගෙන් 

"TG Are you going to Saketh ?"
No , I am not interested
Then why dont we go out and have dinner ?

නියම අදහස . හෝටල් ආලින්දයෙන් විපරම් කරලා අපි තීරණය කලා  ඊට නුදුරෙන්ම පයින් යන දුරින් තියෙන "ඇම්බියන්ස්" ශොපින් මෝල් එකට යන්න . අපි දෙන්න පයින්ම කයිවාරුවක් දාගෙන කිලෝමීටරයක් විතර ඇවිදගෙන ගියා . ඇම්බියන්ස් කියන්නේ ඉන්දියාවේ ධනවත් මධ්‍යමපාන්තිකයන්ගේ අඳුම් , පැලඳුම් ,ජීවන රටාවෙ උවමනා එපා කම් සපුරන්න තියෙන සුපිරි සාප්පු සංජීර්ණ ජාලයක් . විදුලි එලියෙන් ආලෝකවත් වුණ   Marks & Spencer , Pantaloon , Diesel ,     වගේ       බ්‍රෑන්ඩඩ් ශොප් වල උදාරම් ලීලාවෙන් ගැවසෙන ඉන්දියානු මධ්‍යම පන්තිය (Elite Class /upper middle class) සුලබ දසුනක්. මේත් ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ තවත් එක පැත්තක් . ගන්න අතේ සල්ලි නැතත් වටින කියනා හෑන්ඩ් බෑග් ,අඳුම් ,පැලඳුම් දිහා බලමින් යන එකත් සතුටක් .ඔහොම ගිහින් නැවතුනේ පොත් හා සී ඩී පටි සාප්පුවක .එතැනින් අපි දෙන්නම ගසල් ගී තැටි කීපයකුත් , සිල් සිලා වගේ පරණ හින්දි චිත්‍රපටි සින්දු එකතු තියෙන ගී තැටිත් අරගෙන හල්දිරාම් එකට ගියා රෑ කෑමට . ඉන්දියන් තාලි දෙකකුත් ඕඩර් කරලා යන එන මිනිස්සු දිහා බල බල මසාලා තේ බි බී අපිදෙන්න කයියක පැටලිලා .

"ටී ජී කවදද පාකිස්ථානෙට එන්නේ ?"
"හ්ම් ..ඒකනම් ටිකක් හිතන්න වෙනවා "
"ඒ මොකෝ "
"අපේ ඔෆිස් එකෙන් දෙන සිකියුරිටි අප්ඩේට් වලට අනුව පාකිස්ථානේ සංචාරයට ඒ තරම් ආරක්ෂිත තැනක් නෙවේ. ගිහින් ආව යාලුවොත් කියන්නේ ඉස්ලාමාබාද් කියන්නේ පාරේ ඇවිදගෙන යන්න තරම් වත් හොඳ තැනක් නෙවේ කියලා."
"ඒ වගේම පාකිස්තාන් වීසා එකක් පාස්පෝර්ට් එකක තියෙන එක ටිකක් කරදරයි විශේෂයෙන් බටහිර රටකට වීසා එකක් ගනිද්දී ඒක සැකයට කාරණාවක් .ඉන්දියන් වීසා ගන්න ගියත් එහෙමයි."
මම ටිකක් සැක මුසු විදියට කිව්වා .


"හ්ම් ..ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ආයතනවල ඉහල නිලධාරීන් පාකිස්ථානය ගැන දෙන්නෙ ඔහොම නිල නිවේදන තමා .නමුත් ටී ජී දන්නවද කිසිම ඇමෙරිකානුවෙක් , බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පාකිස්තානය දාලා යන්න අකමැති වග .ඒක තමා ලෝකෙට නොපෙන්වන ඇත්ත කතාව .එයාලා ඔක්කොම තමන්ගේ පවුල් පිටින් පකිස්තානේ සෙට්ල් වෙලා ඉන්නේ .මම ඉස්ලාමාබාද්වල නැවතිලා ඉන්නේ තනියම.මට කිසි කරදරයක් වෙලා නෑ. ලංකාවෙ කොලඹ බෝම්බ පුපුරද්දී ඔයාලා ජීවත්වුනේ නැත්ද .තාම මගේ අම්මයි තාත්තයි ඉන්නේ පෙශාවර් වල ඇෆ්ඝාන් මායිමේ . ඔය කියන තරම් අපි නපුරු ත්‍රස්තවාදියො නෙවේ .ඔයා එන්න දවසක අපි ටක්ෂිලා , ලහෝර් , පෙශාවර් බලන්න යමු . ලහෝර් වල අනර්කලී මාර්කට් එක හරි ලස්සනයි . ඉස්ලාමාබාද් වීදි දිගේ යද්දි ඔයාට දකින්න පුලුවන් හවසට පාරේ නාන් කඩ වල නාන් හදන මිනිස්සු . මම ඔයාව හැම තැනම ගෙනියන්නම් "

හරි එහෙනම් මම එන්නම් . මම රබියාට සුහදත්වයේ  අතක් දිගු කරමින් කිව්වා කතාවෙන් කතාවෙන් වෙලාව රෑ ද
යාමාර විතරවෙලා දන්නෙම නැතුව.අපි ඉක්මනට කෑම කාලා හල්දිරාම් එකෙන් සෝන් පපඩි පැක් හතරකුත් අරන් යන්න ලෑස්තිවුනා. සාප්පු සංකීර්ණයේ ගොඩක් සාප්පු වහලා සේවකයො ගෙදර යනවා . ගණුදෙණු කාරයොත් තමන්ගේ සුපිරි වාහන වල නැගිලා යන්න පිටත්වෙනවා .ඔන්න එතකොට තමයි අපිට මතක්වුණේ හෝටලයට යන්නෙ කොහොමද කියලා . ලඟම තියෙන ත්‍රීවිල්ල් පාර්ක් එකට ගිහින් විපරම් කලා.එතැන ඉන්නෙ මහ ත්‍රාඩ පෙනුමක් තියෙන කොල්ලො ටිකක් . තරමක් අහිංසක පෙනුමක් තියෙන පොඩි කොලුවෙක් එක්ක කපශේරා වලට යන්න ගණුදෙනුව කතාකරනකොට මෙන්න අනිත් ත්‍රාඩයො රැල අපි වට කරගෙන එකෙක් අර කොලුව තල්ලු කරලදාලා මැඩම් කම් හියර් කියනවා .රබියටයි මටයි ආයෙ යකා නැගලා හින්දියෙන් ,ඉන්ග්‍රිසියෙන් බැන බැන අපි යන්නෙ අපිට ඕනෙ ඩ්‍රයිවර් එක්ක කියලා අර පොඩි කොල්ලට හයර් එක දුන්න .

යාන්තම් කපුටො රැලෙන් බේරිලා යද්දි ආයෙ තව ලොකු ප්‍රශ්නයක් .මේ කොලුවට ලයිසන් තියෙන්නෙ හරියානා වල විතරක් ටුක් ටුක් එලවන්න . කපශේරා, හරියානා මායිමෙන් එපිට දිල්ලියට අයිති. රෑ දහයෙන් පස්සේ මායිම පැන්නොත් කොල්ලට දඩ කන්න වෙනවා .ඒ නිසා අපි මග දාල යන්න මිනිහගේ ලෑස්තිය .මදැයි හයර් එක දීලා අපිට වුණ වැඩේ .ඒ මදිවට හරියානා සීමාව ඇතුලේ  පොලීසියට අහුවුනොත් අපි දෙන්නම ගස් .රබියගේ පොලිස් රෙජිස්ට්‍රේශන් අනුව එයාට ඇවිදින්න අවසර තියෙන්නෙ දිල්ලි සීමාවේ විතරයි .ඒ මදිවට වැස්සකුත් එනවා .මහපාරේ මග බැස්සොත් ෂුවර් පොලීසියට අහුවෙන්න ඉඩ වැඩියි. පුලුවන් තරම් ඉක්මනට අපිව දිල්ලි මායිමේ ත්‍රී වීල් පාර්ක් එකට දාන්න කියලා කොල්ලට  යනකන් තර්ජනය කෙරුව එක තමයි අපි කලේ .කොහොමහරි දිල්ලි මායිමට ආවම තමා ඇඟට ලේ ඉනුවේ . වෙලාව එකොලහ පැනලා .එතැන පාර්ක් එකෙ රියදුරො වාහන පාර්ක් කරලා නිදි .යන්තම් එක්කෙනෙක් නැගිට්ටවගත්තා . වැස්සත් තදයි.මිනිහා අවස්තාවෙන් ප්‍රයෝජන අරන්  රුපියල් සීයක් ඕනෙ කියනවා හයර් එක යන්න .අපි තව අමාරුවෙ වැටෙන්නෙ නැතුව ඒ ගානට කැමතිවෙලා හෝටලේට එනකොට රෑ මැදියමට ආසන්නයි .

අපේ සාකේත් නඩේ තාම ඇවිත් නැහැ. මගේ රූමිත් එයාල එක්ක ගියා .ඇවිත් ඇඟපත හෝදගෙන පිජාමා එක දාගෙන ටී වී බලන්න ලෑස්තිවෙනකොට ආයෙත් රබියගෙන් කෝල් එකක් . 


"ටී .ජී මම තේ හදන්නයි ලෑස්තිය ,ලහෝර් වලින් ගෙනාව හල්වා තියෙනවා .එනවද 215 "? .
"මරු අදහස , මම ශ්‍රී ලංකන් තේ අරන් එන්නම්" .ඔන්න අපි ආයෙත් 215ට වෙලා සාකේත් ගිය රූමලා එනකන් තේ බොන්න ලෑස්තිය .


ඒ එක්කම 215 දොරට කවුදෝ තට්ටුවක් දානවා . දොර ඇරලා බැලුවම අපේ ඉන්දියානු මිතුරිය මම්තා .

"මගේ රූමිත් සාකේත් ගියා .එයාලා තාමත් නෑ. 215 ඔය දෙන්නගේ සද්දේ ඇහුණ නිසයි ආවේ . මාත් හිටියෙ හරි කම්මැලිකමින් .එන්නද ඇතුලට?" .එයා කියවගෙන යනවා .

"එන්න එන්න .ලහෝර් හල්වා එක්ක ශ්‍රිලංකන් තේ තියෙනවා "කියලා රබියා එයාට හල්වා පෙට්ටිය දුන්න .

"ඕ ලහෝර් හල්වා" ...මම්තා ඇඳ උඩ ඉඳගෙන රසවිඳින්න සූදානම . ඒ අතර එයා මා දිහා බලලා අහනවා "ටී .ජී ආර් යූ අ පාකිස්තානි ? "කාට කියන්නද මේවා.මම්තට මම ආව රටත් මතක නැතිවෙලා

මාත් ටිකක් කල්පනාකරලා මෙහෙම උත්තර දුන්න
"No I am from Sri Lanka.But i have very close links to Pakistan   .Thats what i was talking with Rabia . "
"ඒ කොහොමද ? "මම්තා ඇස් ලොකු කරගෙන මා දිහා බලනවා .රබියත් පුදුම වෙලා මම මේ නටන්න යන නාඩගම මොකද්ද කියලා .
මම දැන් කතාව කියන්න ලෑස්තිය .මම්තා තේ කෝප්පේ තොලගාමින් ඇඳ උඩ එරමිණියා ගොතාගෙන හරි බරි ගැහුනා කතාව අහන්න .

"මෙන්න මෙහෙම . මගේ තාත්තා කොලඹ ලොකු බිස්නස් පවුලක කෙනෙක් .එයාලගේ ගෙවල් තිබුනේ මරදාන කියන හරියෙ . ඒ පැත්තේ වැඩි දෙනෙක් බොහොම සල්ලිකාර බිස්නස් කරන මුස්ලිම්වරු .මගේ තාත්තගේ පවුලේ උදවිය මේ අයත් එක්ක බොහොම යාලු මිත්‍ර කමෙන් තමයි ඉඳලා තියෙන්නෙ .කොටින්ම මගේ සීය එයාගේ නෑදෑයො තරමට ලඟින් අසල්වැසි මුස්ලිම් පවුලේ ෆසාල් මහත්තයව ආස්සරේ කරල තියෙන්නෙ . ෆසාල් මහත්තයට පාකිස්තානෙ නෑයො ඉඳල තියෙනවා .මගේ අම්මගේ තාත්ත එයාගෙ මස්සිනා කෙනෙක් . මගේ අම්මගේ පවුලේ උදවිය එක්ක අම්මගේ තාත්තා එනවා එයාගේ මස්සිනා බලන්න කොලඹ බිස්නස් වැඩකට ."

මම කතාව කියවගෙන යනවා .රබියා ඇඳ විට්ටමට හේත්තුවෙලා කොට්ටෙන් මූණ වහගෙන හිනාව එලියට පනින එක වලක්වන්න .මම්තා බොමොම කුතුහලෙන් මාදිහා බලන් ඉතින් ඉතින් කියනවා.

"ෆසාල් අංකල්ගේ ගෙදරට ආව එයාගේ නෑදෑයෝ අපේ සීයත් හඳුන්වලා දීලා . අසල්වැසියො නිසා කවුරුත් ඉක්මනට සුහදවෙලා . ඔහොම තමයි අපේ තාත්ත අපේ අම්මව දැකලා තියෙන්නේ .මේ 1979 විතර . දෙන්නම තරුණයි.අම්ම හරි ලස්සනයි. ඉක්මනට යාලුකම ප්‍රේමෙකට පෙරලිලා ."

"ඔහ් හව් ස්වීට් ටී .ජී" මම්තා කියනවා

"ස්වීට් නෙවෙ ඊට පස්සෙ මෙක දැනගෙන ගෙවල් දෙකේම උදවිය යුද්ධ ප්‍රකාශ කරලා .මගෙ අම්මගෙ තාත්තා එයාගෙ ඔක්කොම කොලඹ බිස්නස් වැඩ  අතරමග දාලා අවුරුද්දක් ඉන්න ආවත් මාස තුනෙන් පාකිස්තානෙට යන්න ලෑස්තිවෙලා .මේ වෙනකොට ගෙවල් දෙකෙන්ම අම්මටයි තාත්තටයි තහංචි දාලා මුණ ගැහෙන එකට .අම්ම ෆසාල් අංකල්ගේ ගෙදර වැඩකාර කොල්ල අතේ තමයි ලියුමකින් පාකිස්තානෙට යන විස්තරේ තාත්තට කියලා තියෙන්නෙ . කොහොමහරි තාත්ත නිකං ඉඳලා නෑ.එයාගෙ යාලුවන්ගේ උදව්වෙන් යන දාට කලින් දා රෑ අම්මව පන්නගෙන එක්කන් ගිහින් කසාදබැඳලා .දෙන්න පැනල යන්න කලින් ගෙවල් වලට ලියුම් දෙකක් ලියලා තියලා ගිහින් තියෙන්නෙ .සීයල දෙන්නටම හොඳටම තරහ ගිහින් මේ වැඩේට .දෙන්නම පවුල් වල දරු කමින් එලවලා .කිසිම දේපොලක් දීල නෑ. මගෙ අම්මගේ පවුලේ අය හරි දරුණු තීරණයක් අරන් තිබුණා එයාට ආපහු පාකිස්තානෙට පය තියන්න බැරි විදියට .ඒත් අම්මයි තාත්තයි අදහිරිය වෙලා නෑ.කොහොම හරි ජීවිතේ පටන් අරන් .තත්තගේ යාලුවො එයාට උදව් කරලා . එයාලගේ ආදරේ වෙනස්වෙලා නෑ මොන කරදර තිබුණත් .ඒකෙ ප්‍රථිපලයක් තමයි මම ."

ඔන්න එතකොට තමයි මම්තා ඉහලට ගත්ත හුස්ම පහල දැම්මේ.

"හව් ස්වීට් ටී ජී යුවර් මදර් ඉස් අ ග්‍රේට් වුමන්. යුවර් ෆාදර් ඉස් අ ග්‍රේට් ලවර් .ගොඩ් බ්ලෙස් දෙම්.ඉට් ඉස් ලයික් අ බොලිවුඩ් මූවී ටී ජී." මම්තා කියනවා .

රබියා තාම හිනාව විකාගෙන .මමනේ දන්නේ මේක ගජබින්නයක් කියලා .

"ටී ජී ඔයා මොන ආගමෙද ?, ඔයාගෙ අම්මට ලේසි වෙන්න නැතුව ඇති නේ ලංකාවට හුරු වෙන්න තනියම?" ආයෙත් මම්තා අහනවා

"ඔවු මුලින් ගොඩක් අමාරු වුණාලු තනියම කාගෙවත් උදවු නැතුව ,භාෂාව දන්නෙ නැතුව ජීවත් වෙන්න .ඒත් එයා ටික ටික සිංහල ඉගෙනගෙන . මගේ ආගම ගැන නම් මම දන්නේ නෑ. අම්ම ගාව කුරාන පොතක් තියෙනවා තාම .එයා ඒක් කියවනවා .ඒත් පල්ලියේ ප්‍රෙයාර්ස් වලට නම් යන්නේ නෑ.අපි ඉගෙන ගත්තේ බුද්දාගම .ආගම් ගැන බලපෑමක් අපිට නෑ. රාමසාන් වලට නම් අම්ම රස කෑම උයනවා තාමත් ".යන්තම් ඒ ප්‍රශ්නෙන් ගැලවුණා .

"හ්ම් ඒක ඇත්ත , දෙය් ආර් ග්‍රේට් ලවර්ස් . ගෝඩ් ඉස් ඕල්වේස් විත් දෙම් ".මම්තා කියනවා .

පොඩි බොරුවක් නෙවේ මාත් කිව්වේ .

"අම්මාගේ ගම ලහෝර් වල .එයා දැන් කාලෙක ඉඳන් ගෙදර අය ගැන මතක් කරනවා මම රට යන හැම වෙලාවෙම .මම හිතන්නේ සීය එයාට සමාව දීල ඇති දැන් .දවසක අම්මගේ ගමට ගිහින් නෑයො බලන්න තමයි මාත් හිතන් ඉන්නෙ ".

ඔන්න යාන්තන් මගේ ගජබින්නාලංකාරෙ ඉවර කලා .දැන් රබිය කතා කරනවා

"ඔවු මගේ තාත්තත් ලහෝර්වල .ටී .ජී කිව්ව එයාගේ අම්මලගේ පවුලේ විස්තර මම හෙටම තාත්තට ඊ මේල් කරල බලනවා තොරතුරක් හොයාගන්න ".

"බලන්න ආදරයක් ගියදුර .මේ ආදර කතාව ඉන්දියාවෙදි පාකිස්තානුවෙකුයි , ඉන්දියානුවෙකුයි එක්ක ලහෝර් හල්වා කාලා ලංකාවේ තේ බොන ගමන් ටී ජී ට කියන්න වුන එකත් හරි ලස්සන දෙයක් නේද ?". රබියට කාව්‍යමය සිතුවිලි පහල වෙලා .

කතාවෙන් කතාවෙන් තේ කෝප්ප කීපයක්ම හිස් වෙලා හල්වා පෙට්ටියත් ඉවර වෙලා තිබුණා .මම්තා එයාගේ කාමරේට යන්න නැගිට්ට

"ටී ජී මම හෙට අපේ යාලුවො ඔක්කොටම කියනවා ඔයාගේ ලහෝර් අම්ම ගැන . අපි දකුණු ආසියාවේ මිනිස්සු නොදන්නව වුණාට ඉහත ආත්ම වල නෑදෑකම් තියෙන්න ඇති ගොඩාක් .මේක හරි ලස්සන ආදර කතාවක් .ඔන්න මම්තා හැඟීම් බර වෙලා කියනවා" .

 මම්තා අපෙන් සමු අරන් එලියට ගිය හැටියෙම රබියාත් මාත් ඇඳට කඩාගෙන වැටිලා එකා උඩ එකා පෙරලෙමින් හිනාවුණා වරුවක් විතර .

පහුවදා අපේ අනික් යාලුවො ඔක්කොටම මේක ආරංචි වෙලා . හැමෝම මගෙන් අහනවා .මාත් ඉතින් බොරු කතාව කියනවා .ඒත් මේක හොඳ වැඩක් නෙවෙයිනේ . එදා හවස අපි ඉගෙනගත්තේ Cultural Relativism and Law in South Asia

ඉගැන්නුව මහාචාර්ය වරිය අපෙන් ඇහුවා ප්‍රශ්ණයක්

"Are you a typical Pakistani/Sri Lankan /Indian / Maldiviean / Nepali /Afghani/bengaali /Butani man or a woman?"
හැමෝටම උත්තර දෙන්න වුනා .මගේ වාරෙ ආවම මෙන්න මෙහෙම මම කිව්වේ

"Actually i don't know as Sri Lankan how typical I am .But yesterday suddenly i revealed a Pakistani identity for me and my maternal links to Lahor ." ඔහොම කියලා මම හැමෝම හිනාගස්වමින් මම්තට කිව්ව කතාව ආයෙත් කිව්ව "...so i feel more or less i am a  south asian woman . So at least I know I belong to whole South Asia .thats my identity"


යාලුවො ඔක්කොම අත්පොලසන් දෙමින් හිනාවෙනවා . තේ විවේකෙදි මාගාවට ආව මම්තා මෙන්න මෙහෙම කිව්ව.

"ටී ජී යු ආර් අ ග්‍රේට් හින්දි මූවී ස්ක්‍රිප්ට් රයිටර් .අයි ලයික් දැට් ලවු ස්ටෝරි අ ලොට්"

ඔන්න ඔහොමයි පාකිස්තානයේ ලහෝර් වලට මගේ නෑදෑකම් ඇති වුනේ


ප/ලි
මේ කතාවෙන් මට කියන්න හිතුනේ පිට රටකදි උනත් අපේ ජාතිය අහුවොත් අපි ශ්‍රී ලාංකික කියල කියන්නේ නැහැනේ එකපාරටම .අපේ උත්තරේ සිංහල කියන එක .ඒ වගෙම අපි ලෝකෙ ඉගෙන ගන්න , රැකියාවට විවිද රටවලට යනවා වුණත් අපි නිතරම ප්‍රී ජජ්මන්ට්ස් වලට එන්න කැමතියි සුද්දො මෙහෙම , ඇමරිකානුවො මේ වගේ , ඉන්දියන් කාරයො ගන්න දෙයක් නෑ, මුස්ලිම් මිනිස්සු එපා කෙරුව ත්‍රස්තයො   විදියට .ඒත් අපි නොහිතා සමහර වෙලාවලදි අපිට ඔය අනන්‍යතාවක් ආරෝපණය වුනොත් මොකද වෙන්නෙ .ඒ වගේම ලාභය තකා අපේ අනන්‍යතාව වෙනස්කරන්නත් අපි ලෑස්තියිනේ .බ්‍රිතාන්‍ය හෝ ඇමරිකා පුරවැසි කම වගේ දේකට කවුද අකමැති .එහෙම වුනොත් අපි කොහොමද පටු identity එකක ඉන්නේ අනික් අතට ගොඩක් සමාන සංස්කෘතික ලක්ෂණ තිබුණත් අපි කිසි දවසක දකුණු ආසියාතිකයො කියන අනන්‍ය හැඟීමට වත් ගිහිල්ල නැහැනේ .අපි හරි කැමති දෙයක්නේ පටු අනන්‍යතාවක හිරවෙල් ඉන්න .

මම මේ කතාව ඉවර කරන්න කැමති කබීර් කියන මිතිකල් කවියාගේ කවියකින්.හින්දුන් හිතනවා කබීර් ඉන්දියානුවෙක් කියලා.මුස්ලිම් වරු හිතනවා කබීර් පකිස්තානුවෙක් කියලා .මේ දෙගොල්ල නයි වයිර වුනත් කබීර් දර්ශනය අදහනවා  .....හා මෙතැනින් මගේ  දිල්ලි කතන්දරත් ඉවර වෙනවා
.


කබීර් ගැන දන්න දෙවල් තියෙනවනම් ඔන්න  ලියලා යන්නත් පුලුවන්

Where do you search me? I am with you
Not in pilgrimage, nor in icons,
Neither in solitudes Not in temples, nor in mosques
Neither in Kaba nor in Kailash I am with you o man,
I am with you Not in prayers, nor in meditation,
 Neither in fasting Not in yogic exercises,
Neither in renunciation Neither in the vital force nor in the body,
Not even in the real space Neither in the womb of Nature,
Not in the breath of the breath Seek earnestly and discover, In
but a moment of search
Says Kabir, Listen with care,
Where your faith is, I am there.










Friday, September 2, 2011

පොලිස් භවන් ,ෆැබ් ඉන්ඩියා ඇන්ඩ් අපාර්ට්මන්ට් නයින්





ඔන්න ඉතින් පහුවදා බ්‍රෙක්ෆස්ට් එහෙම අරන් ඉවරවෙලා උදේ නවයට විතර මගේ පාකිස්තාන් යාලුවොත් එක්ක මාත් පිටත්වුනා දිල්ලියේ අසීෆ් අලි පාරේ තියෙන පොලිස් භවන් වෙතට .දිල්ලියට එන හැම පාකිස්ථානුවෙකුටම නියම කෙරුව පොලිස් මූලස්ථාන කාර්යාලයක ලියාපදිංචි වෙන ඕනේ දිල්ලියට ගොඩබැහැලා පැය විසිහතරක් ඇතුලත .ඒක තමයි නීතිය . අපි හයදෙනෙක් ආයෙමත් වෑන් කබලක නැගිලා පොලිස් භවනට යනවා . අපේ රියදුරාත් වංක ගිරියක් වගේ දිල්ලියේ එහෙන් මෙහෙන්  පාරවල් දිගේ  එලවගෙන යනවා පොලිස් බවන සොයන්න.පලපුරුදු ටැක්සි රියදුරෙකුට වුණත් දිල්ලියේ තැනක් සොයාගන්න ටිකක් අමාරුයි . මම මේ නඩේ බොඩි ගාඩ් වුනේ නිකන්මත් නෙවේ .අපේ අරමුණ වුනේ ඔය ලියාපදිංචිය පුලුවන් තරම් ඉක්මනට ඉවර කරලා ඉන්දියා ගේට්, පැරණි දිල්ලිය ,සහ ලාජ් පත් නගර් මාර්කට් එකේ රවුමක් දාන්න .බොම්බායට ත්‍රස්තයො ගැහුවට දිල්ලියටම ඇවිත් නිකන් අතපය අකුලන් ඉන්න පුලුවන්ද ? අපි කාගෙත් අදහස වුණේ ඒක .අනික හෙට ඉඳලා දවස් හතක් ට්‍රේනින් එක පටන්ගත්තට පස්සේ රවුම් ගහන්න නිදහසක් ලැබෙන්නේ නෑ.ඒක මම අත්දැකීමෙන් දන්නවා

යාන්තම් රියදුරා අසීෆ් අලි පාරෙ පොලිස් බවනට සේන්දුවුණා. හ්ම් මේක බොහොම අපිරිසිඳු ලොකු මඩ වලවල් පිරුණ , කිසි හෙවිලක් බැලිල්ලක් නැතුව  එහෙ මෙහෙ දුවන  රික්ෂා කාරයො , මුට්ට කරගහන්නො , නිතරම වාහන තද්බදය ඇතිකරමින් මහ  හඬින් හෝන් ගහන ටැක්සි කාරයො සහ අඳුරු පාට මහල් ගොඩ නැගිලි වලින් පිරුණ තැනක් .පාරේ එක කොනකින් මුඩුක්කු පේලියකට යන අතුරු පාරකුත් තියෙනවා . අපේ රියදුරා අර එක අඳුරු පාට බිල්ඩිමක පලවෙනි මහලට අපිව එක්කගෙන ගිහින් ගියා .එතන තමයි පොලිස් බවන දිල්ලියට එන පාකිස්තානුවන්  ලියාපදිංචිකරන පොලිස් ඒකකය .දූවිලි පිරුණ , පුටු කබල හතර පහක් ඉස්සරහ කවුන්ටරයක් තියෙනවා . Welcome to Pak Section  කියල බෝඩ් එකක් කවුන්ටරේ ගාව  හිටවල. එතනම මේසෙක හම්පඩ තඩි  පොතක් තියාගෙන එන එන හැම පකිස්තානුවගෙම අලගිය මුලගිය තොරතුරු ලියාගන්න ටිකක් සද්දේ දාල කතාකරන රැවුල් කාර කන්තෝරු මහත්තයෙක් .එයා ඕව ඔක්කොම පොතේ එන්ටර් කරල , හැමකෙනාගෙම පාස්පෝට් කොපියකුයි,වීසා සහතික කල පිටුවේ කොපියකුයි , ඉන්දීය තානාපති කාර්යාලයෙන් විසා නිකුත් කරද්දි දුන්න තව ලියවිල්ලකුයි ඉල්ලගෙන එකට තියල "ටිකිස්" ගාල ඉස්ටේපර් කරලා ලිපි ගොනුවකට දානවා. ඊට පස්සේ අර තඩි  පොතේ තොරතුරු එන්ටර් කෙරුව පිටුව "ක්‍රාස්" ගාලා රූල් පොල්ලක් තියලා කඩලා දීලා එතනම ඉන්න අනික්  කන්තෝරු මහත්තයා ගාවට යන්න කියනවා . එයා ගාවට  ගියහම හැම කෙනෙක්ම කවුටරේ ගාව හිටෝලා අතපය උරහිස් කෙලින් කරගෙන ඉස්සරහ බලාගෙන ඉන්න කියල "ටකස්" ගාලා ඩිජිටල් කැමරාවක් ක්ලික් කරලා පොටෝ එකක් අරන් අර තොරතු ඇතුලත් කරගෙන තියෙන කොලෙ ඉල්ලන් "දඩෝරියං " කියලා සීල් එකක් තියලා අස්සන් කරලා තව විස්තර පත්‍රිකාවක් එක්ක දෙනවා . පොලිස් ලියාපදිංචිය තව ඉවර නෑ. ඔය ලියවිල්ල අරන් අර විස්තර පත්‍රිකාවේ විදියට හැමොම යන්න ඕනේ "ජසල්මේර් හවුස් " කියන තැන තියෙන තව කන්තෝරුවකට .දවල් එකොලහට කලින් ඔය ලියවිලි සෙරොම එතැනට බාරදුන්නම තමා වැඩේ නිදහස් . 

හනේ මෙහෙමත් ඉන්දියාවක් , ලෝකෙ දියුණුම තාක්ෂණේ තියෙන මුන්දැලට මොකෝ බැරි මේ දේවල් පරිගණක ගත කරලා එයාර් පෝර්ට් එකේදිම  මේ කාරණා කටයුතු එකම වහලක් යටින් කරගන්න විදියට පහසුකම් සලස්සන්න .එකත් එකටම පාකිස්තානෙත් එක්ක තියෙන ඉතිහාසග කෝන්තරේ පිරිමහගන්න තමයි මෙහෙම පාකිස්තානුවන් එහෙ මෙහෙ යවමින් වදදෙනව ඇත්තේ . ඇරත් බලාපල්ලකො ආණ්ඩුවෙ කන්තෝරුවක් තියෙන්නෙ මල මුඩුක්කුවක .ඒ මදිවට තියෙන මුස්පේත්තුකම , ඉඳගන්න හරි හමන් පුටුවක් වත්  නැහැ . මම පුටු කබලකට බර දිල්ල හිතෙන් බනිමින් ඉන්නවා .පොලිස් ලියාපදිංචිය කරන්න තව ඉතුරුවෙලා ඉන්නේ රබියා විතරයි . අර රැවුල් කාරයා මහ හය්යෙන් හින්දියෙන්  එයාට මොන මොනවදෝ කියනවා .මොකක් නමුත් අවුලක් . රබියාට විසා නිකුත්කරද්දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් දෙන ලියවිල්ල ගේන්න අමතකවෙලා .අපි නැවතිලා ඉන්න හෝටලේ එයාගෙ කාමරේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ දාල ඇවිත්  .හ්ම් වැඩේ ලේසි නැහැ. ඔය පොඩි කොලකෑල්ල නැතුව මොකුත් කරන්න බෑ කියලා තමයි රැවුලා කියන්නේ . මේකෙ ස්කෑන් කොපි එකක් ඊ මේල් එකකින් ගෙන්න ගමු මම රබියාට කිව්ව . ඔව් එහෙම වුනෝත් අපිට මේක සලකල බලන්න පුලුවන් ඒපාර රැවුලා ටිකක් හිත උණු වෙලා වගේ කියනවා .
අනික් යාලුවොත් ටිකක් බය වෙලා . රබියගේ වැඩෙට තරමක් වෙලා යන නිසා ඒ අයට ටැක්සි රියදුරා ක් ජසල්මේර් හවුස් වලට යන්න කියල උපදෙස් දීල අපි දෙන්න කල්පනාකෙරුවා මේ ලියවිල්ල ගෙන්න ගන්න විදියක් ගැන . 
"අපි  හෝටලේ රිසෙප්ෂන් එකට  කතා කරලා කියමු මගේ කාමරේට ගිහින් මේසෙ  උඩ තියන ඔය කොලේ අරන් ස්කෑන් කරල ඊ මේල් කරන්න  කියලා "රබියා කිව්ව .
 "ටී ජී ඔයා ගාව හෝටලේ ටෙලිෆෝන් අංකේ තියෙනවද ?"
"ඔවු ඒත් කොහෙන්ද  අපි කෝල් කරන්නෙ ? එලියට ගිහින් බලමු කෝල් එකක් ගන්න විදියක්" මම යෝජනා කලා 

 අපි දෙන්න අර මඩවලවල් උඩින් පැන පැන වාහන පෝලිම අතරින් අසිෆ් අලි පාරෙ ඉස්සරහට යනවා කොමියුනිකේෂන් එකක් හොයාගෙන.ඉස්සරහට ගිහින් නැවතුනේ තව අඳුරුපාට බිල්ඩිමක් ගාව.මේක වෙලඳ සංකීර්ණයක් .අඩි පහයි පහේ වගෙ කාමර කෑලි වල නොයෙකුත් වෙලෙන්දො වෙලදාම් කරනවා. දූවිලි , කුණු වලින් අඩුවක් නෑ.යන්තම් මිනිස්සු අතරින් රිංගලා ගිහින් කොමියුනිකේෂන් එකක් සොයාගත්තා. S.T.D , I.S.D කියලා බෝඩ් ගහගත්තු   ටැලිපෝන් පහක් හයක් තියාගෙන ඉන්න තැනක් .කාරනේ කිව්වම අපිට එක ටෙලිපෝන් එකක් පෙන්නුවා .රබියා හෝටලේට කතා කලා .කිසිම පුද්ගලිකත්වයක් නෑ.එතනින් එහා මෙහා ගිය උදවිය කීපදෙනෙකුත් නැවතිලා අපි දිහා බලනවා . අපි දෙන්නගෙම ඇඳුම් සහ බාහිර පෙනුමින්  පේනවා ඉන්දියානුවො නෙවේ කියලා .හෝටලේ රිසෙප්ෂන් එක කිව්ව අදාල ලියවිල්ල විනාඩි විස්සකින් ඊ මේල් එකෙන් එවන්නම් කියලා .  එතකොට තමයි අපිට ටිකක් නිස්කාන්සුවක් ආවේ හිතට 
.
ඒ එක්කම මම දැක්ක 'එයාර්සෙල් "-Aircel කියලා ඉන්දියන් මොබයිල් සිම් විකුණන කඩකෑල්ලක් නුදුරෙන් තියෙනවා .අපි නැවතිලා ඉන්න හෝටලේ ටවුමෙන් ටිකක් ඈත .ගෙදරට කෝල් එකක් ගන්නත් අමාරුයි .හෝටලේ  කෝල් ගනන් වැඩියි .ලියවිල්ල ඊ මේල් එකෙන් එනකන් තව විනාඩි විස්සක් විතර බලන් ඉන්න ඕනෙ .ඉතින් දෙන්නම තව නොහිතා අර එයාර්සෙල් කඩේට රිංගුවා සිම් එකක් ගන්න . කඩේ හිටියෙ අවුරුදු විස්සක විතර ගැටයෙක් .මිනිහා රබියාට හින්දියෙන් සිම් ගැන වර්ණනාව . රබියාත් හින්දියෙන්ම එයා එක්ක කතාව සැරි සැරේ මට ඉන්ග්‍රිසි ට්‍රාන්ස්ලේශන් දෙනවා . අන්තිමට ඔන්න අපි කිව්ව අපි දෙන්න ලංකාවෙන් හා පකිස්තානයෙන් වගත් සිම් එකක් මිලට ගන්න ඕනෙ වගත් .මිනිහා ඔලුව කස කස ටිකක් කල්පනාකාරී වුණා එක පාරටම . ඔන්න එපාර එයාගෙ බොස්ටත් ටෙලිපෝන් කෙරුවා . අන්තිමටම අපිට සිම් කාර්ඩ් දෙන්න පුලුවන් කියලා උවමනා ලිපි ලේඛන ගැන කිව්ව .වැඩේ හැටියට සිම් එක ඉන්දියන් රුපියල් සීයයි.ඕක ගන්න පාස්පෝට් සයිස් පොටෝ දෙකකුයි , අපේ පාස්පෝට් කොපියකුයි ,වීසා කොපියකුයි දෙන්න ඕනේ .

දැන් ඉතින් පොටෝ ගහන්න ,පොටෝ කොපි ගහන්න තැන් සොයන්න එපැයි .කොලුවා දුන්න උපදෙස් අනුව අපිදෙන්න බිල්ඩිමේ දෙවැනි තට්ටුවට ගියා එහෙම තැනක් සොයන්න . මෙතනත් නිකන් පාතාලේ වගේ. පොඩි පොඩි කාමර කෑලි වල නොයෙක් ජාවාරං .එක තැනක පොටෝ ගහන ස්ටුඩියෝ . කිසි ප්‍රශ්ණයක් නෑ සේවා දායකය බිත්තියට හේත්තු කලා ඩිජිටල් කැමරාවෙන් පින්තූර ගත්තා එවෙලෙ ප්‍රින්ට් කලා දුන්නා. තව තැනක ලොන්ඩරි කාරයො . යකඩ බඩු /බෝතල පත්තර කාරයො, චායෙ වෙලෙන්දො ,ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන මිනිස්සු අතරින් කෙල්ලො දෙන්නෙක් ඇවිදගෙන යනකොට මේ හැමෝම කන්න වගේ හැරිල බලනවා . රබියගේ ඡවි වර්ණය හා වටිනා සල්වාර් ඇඳුමත් ,මගේ ඩෙනිම් කලිසම , ටී ශර්ට් එකත් අපි මේ පලාතට අයිති නොවන වග කියාපාන හොඳම කාරණා . පොටෝකොපි කරන තැනදී පාස්පෝට් එක දුන්නට මම හිටියෙ හරි බයෙන් .මෙන්න එතැනට පොටෝකොපියක් ගහගන්න ආව තව මනුස්සයෙක් ,පොටෝකොපි කොලුවගෙන් මගේ පාස්පෝට් එක ඉල්ලන් පෙරලනවා .මම වහාම එක උදුරලා අතට ගත්තා .යන්තම් ඔය ලිය කියවිලි සම්පූර්ණ කරගෙන එයාර්සෙල් කොලුව ගාවට ගියහම එයා ෆෝම් දෙකක් පුරවලා අපේ අස්සන් අරන් සිම් දෙකක් තෝරගන්න දුන්න . අපි සල්ලි ගෙවලා සිම් තෝරගත්තේ ඉක්මනට ඇක්ටිවේට් කරගන්න පුලුවන් කියන සතුටින් .ම්හු ....එහෙම බෑ .කොලුව කියන විදියට තව පැයක් අපි ඉන්න ඕනේ එයාගෙ ලොක්ක ඇවිත් අපි දැකලා එයාගෙ  අනුමැතිය දෙනකන් .

"මේ මොන මගුලක්ද ? අපි දිලියේ ඉන්න තැන ඇඩ්‍රස් , ටෙලිපෝන් අංක,ලංකාවෙ ලිපිනය  පවා තමුසෙට දුන්නනේ .ඉතින් මොකටද තව අපි රස්තියාදු කරන්නේ .අපි ත්‍රස්තයො නම් මෙහෙම විස්තර දීල තමුසෙගෙන් සිම් ගන්න්න එනවද ? මෙහෙ  දෙනවා ඔය ඇප්ලිකේෂන් එක ඉරල විසි කරන්න , මට ඕනෙ සිම් එකක් නැහැ" .
මට හොඳටම කේන්තිගිය පාර කොල්ලට ඉන්ග්‍රිසියෙන් බනින්න ගත්තා . රබියා මාව කූල් කරලා ආයෙ කොල්ල එක්ක කතාව .

"මැඩම් යු ආර් මුසල්මාන් , ඇයැම් මුසල් මාන් ,අයි ට්‍රස්ට් යූ . බට් ප්ලීස් අන්ඩර්ස්ටෑන්ඩ් මයි සිටුවේෂන් , බොම්බ් ඉන් මුම්බායි . ඩෝන්ට් වොරි බොස් සූන් කම් ඇන්ඩ් ඩූ දිස් .ටෙල් දිස් මැඩම් නොට් වොරි "කොල්ල කියනවා

මේ වැඩේට තව පැයක් යනවනේ .හෝටලේ ඊ මේල් එක එවල තිබුණා .පොටෝ ගහපු තැනින්ම ඒකෙ කොපියක් අරන් අපි දෙන්න ආයෙ ගියා පොලිස් බවනට .  ගිහින් අර ලියවිල්ලේ ස්කෑන් පිටපත දුන්න රැවුලට .මිනිහ බොහොම බැරෑරුම් මූණක් හදාගෙන කියනවා මේක පිලිගන්න ටිකක් අපහසු ලු .ඒ නිසා හොඳම වැඩේ මුල් පිටපත ගේන්නලු .ඒ මදිවට මිනිහගේ මූණේ සරදම් හිනාවකුත් ඇඳිලා . දෙවියනේ ඇයි මේ මනුස්සයා මේක අපිට කලින් නොකියා රස්තියාදු කලේ . දෙකක් නෑ පාකිස්තානුවන්ට හිරි හැර කරන්න පුලුවන් හැම විදියකින්ම මේ මිනිස්සු ඔවුන්ට වද දෙනවා .අන්තිමට රබියත් මාත් තීරණේ කලා ආයෙ හෝටලේට යන්න අර ලියමන ගේන්න . ආයෙත් කපශේරා යන්න ටැක්සි කාරයෙක් අල්ලගන්නත් පුදුම වදයක් වින්දා .හෙට්ටු කරලා හෙට්ටු කරලා ඉන්දිය රුපියල් පන්සීයකට ගමන යන්න පොරොන්දු වුණා .
රබියාගෙ මූණ අඳුරුවෙලා .

"මම නිසා ඔයාටත් කරදර වෙන්න වුණා නේද ටී ජී ?ඔයාට පරණ දිල්ලිය බලන්න යන්න වුනෙත් නැහැනේ ."
" ඒකට නම කමක් නෑ. මට තරහ මේ ඉන්දියන් කාරයො පාකිස්තානුවන්ට මේ තරම් වද දෙන්නේ මොකද කියලා . දිස් ඉස් හැරස්මන්ට්, හියුමිලියේශන් " මම කිව්වා

"හ්ම් එකේ එක අතකට වරදක් නෑ ටී ජී .ඉන්දියානුවො පකිස්තානෙට ආවම අපේ නිලධාරින් ඔවුන්ට සලකන්නෙත් මෙහෙම තමයි .දිස් ඉස් ටිට් ෆොර් ටැට් ."

හ්ම් ඒකත් එහෙමයි .ඉතිහාසගත වයිරෙ පිරිමහගන්න ඕන මෝඩ වැඩක් කරන්න දෙගොල්ලම ලෑස්තියි . වන්දේ මාතරම් ....පාකිස්තාන් සින්දාබාද් ඔහොම හිතලා මම හිත හදාගත්තා .

අපි හෝටලයට එනකොට පුහුනුව සංවිධානය කරන ජාත්‍යන්තර ආයතනයේ උදවියටත් කතාව කනින් කොනින් ආරන්චි වෙලා .හෝටලේ පිලිගැනීමේ නිලධාරියා විස්තරේ කියලා .අදාල ලියවිලි අරන් අපි ආයෙත් පොලිස් බවනට යන්න ලෑස්තිය . වෙලාව දවල් දොලහට විතර. අපේ පුහුණුවේ නිල සමාරම්භක උත්සවේ එදා හවස හයට පැවැත්වෙනවා. මොනව වුනත් මම එක නුවණක්කාර වැඩක් කලා . පුහුණුව සංවිධානය කරන ආයතනයේ  මහාචාර්යවරිය මුණ ගැහිලා මේ ප්‍රශ්නේ බරපතලකම අඟවලා කිව්වා අපි සමහර විට ප්‍රමාදවේවි මොකද දිල්ලියට යන්න එන්නත් ලොකු වෙලාවක් ගතවෙන නිසාත් ,ආයේ අර රැවුලා මොනව කියාවිද කියලා නොදන්න නිසාත් .හැමෝගෙම අදහස වුනේ කොහොම හරි වැඩේ කරගෙන එන්න කියන එක .මොකද මේ කටයුත්ත පැය විසිහතරකින් ඉවර කරන්න ඕනේ .නීතිය එහෙමයි .

ආයේ ගමන අපි රේඩියෝ කැබ් එකක් ගෙන්න ගත්තා .ඒක පහසුයි , රියදුරො ටිකක් ප්‍රොෆෙශනල් . පොලිස් භවනට ගිය අපි ඔන්න අදාල ලියවිල්ල රැවුලට ඉදිරිපත්කරලා බලාගෙන ඉන්නව .අපිට අර පුටු කබලකින් වාඩි වෙන්න කියලා අතින් පෙන්නලා මිහිහා ලියවිලි අග සිට මුලටත් ,මුල සිට අගටත් කියවනවා . පාස්පෝට් එක බලනවා ආයේ රබියගේ මූණ බලලා "ආර් යූ හාදි රබියා ,ඕර් රබියා හාදි "කියලා ඇහුවා . "අයෑම් රබියා හාදි සී ද පාස්පෝර්ට්" කියලා රබිය ටිකක් තරහෙන් උත්තර දුන්න .යන්තන් වැඩේ ඉවර කරලා අර මහ පොතෙන් කොලේ කඩලා දුන්නට පස්සේ තමයි අපි සැනසුම් සුසුම් හෙලුවේ.අපේ ඊලඟ මෙහෙයුම අර එයාර්සෙල් කොල්ල මුණගැහීලා සිම් එක ගැන බේරුමක් කරගන්න එක .

ආයෙත් අර ගුහාවක් වගේ අඳුරු බිල්ඩිමට ,එයාර්සෙල් කඩේට අපි දෙන්න ගියා .කොල්ල කියනවා විනාඩි පහලවක් ඉන්නලු එයාගෙ ලොක්ක එනකන් .පැය බාගයක් ගියත් ලොක්ක නෑ පරක්කුයි .
ඔන්න දැන් ආයෙමත් මට යකා නැගගෙන එනවා . ආයෙත් කොල්ලට පොඩි සත්තමක් දැම්ම සිම් එක එපා සල්ලි රිෆන්ඩ් කරන්න කියලා .එතකොටම වගේ එතැන මැනේජර් තුමා ආව .එයාර්සෙල් කොලුවා සැනසුම් සුසුමක් හෙලුවා .වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපේ සිම් ඇක්ටිවේට් කරන්න කියල මම මැනේජර්ට කිව්ව .මිනිහා අපිව තියාගන්න වීම ගැන දහස් වාරයක් සමාව ඉල්ලලා සිම් ඇක්ටිවේට් කරලා දුන්න .රීචාජ් කාර්ඩ් දෙකකුත් දාගෙන යන්තම් ඒතැනින් ගැලවිලා අපි එලියට බැස්සා.මේ ඔක්කොම වැඩ අහවරවෙනකොට හවස තුන්යි. හොඳටම බඩගිණියි , මේ තරම් රස්තියාදු වෙන්න වුනු එක ගැනත් තරහයි .

"අපි මොකද කරන්නේ දැන්? ,මට ෆැබ් ඉන්ඩියා යන්නත් ඕනේ .ඒත් අපේ ඉනොගරේශන් එක හවස හයට . ආයෙ දිල්ලියට එනවනම් රුපියල් දාහක් විතර වියදම් කරන්න වෙනවා ටැක්සියට '"මම රබියගේ මූණ බැලුවා

"ජස්ට් ෆොර්ගෙට් දැට් ඉන්නොගරේශන් . අපි යමු ෆැබ් ඉන්ඩියා. අද මේ වෙච්ච රස්තියාදුවට හරියන්න ටිකක් සතුටු වෙමු . කොහොමත් අපි කියලනේ ආවේ පරක්කු වෙනවා කියලා .ඒ ෆොර්මැලිටීස් ඕර්ගනයිසර්ස්ල බලාගනීවි ".රබියා බොහොම සැහැල්ලුවෙන් කිව්ව .

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙද කිව්ව වගේ දැන් මාත් ලෑස්තියි ෆැබ් ඉන්ඩියා යන්න . ග්‍රේටර් කයිලාශ් -Greater Kailash -GK වල "එන් බ්ලොක්" "N "Block -මාර්කට් එකට යන්න කියල කැබ් ඩ්‍රයිවර්ට උපදෙස් දීලා අපේ මේ ලෑස්තිය දිල්ලිවල ශොපින් යන්න .මගේ ගමන් බිමන් වලදි ශොපින් යන විස්තර බොහොම අවම වුණත් දිල්ලියට යන කිසිම වෙලාවක ෆැබ් ඉන්ඩියා - Fabric India සාප්පුව නම් අමතක කරන්න බෑ. මෙතැන හරි ලස්සන කුරුතා සහ සල්වාර් ගන්න තියෙන තැනක් .විශේෂත්වය ඉන්දියානු දේශීය වර්ණ හා මෝස්තර රටා වලින් මේව හැඩ වීම .ඒ වගේම ගම්බදව කපු රෙදිපිලි කර්මාන්තයේ නියැලිලා ඉන්න නිෂ්පාදකයො දහස්ගානකට මේ ෆැබ් ඉන්ඩියා සාප්පු වලින් සෙත සැලසෙනවා . හැමදාම වගේම මුලු අවුරුද්දකට හරියන්න එකවරම කුරුතා කමීස හා සල්වාර් කීපයක් මෙතැනින් ගැනීම මගේ සිරිත . ඇත්තටම ලංකාවෙදී හොඳ කපු අඳුම් මිල අධික නිසා ඒ අඩුව පිරිමහගන්න වෙන්නෙ ඉන්දියාවෙන් . හිතේ හැටියට ඇඳුම් තෝරගෙන ඉවර වෙනකොට හවස හතර පැනලා .ඒත් ඉතින් අපිට යන්න හදිස්සියක් නෑ.ඊලඟට තව සාප්පු කීපෙකට ගොඩවෙලා බලලා අන්තිමට නැවතුනේ අපාර්ට්මන්ට් නයින් - Apartment 9 කියන ගෘහ අලංකරණ බඩු විකුනන සාප්පුවක . එතැනට රබියගේ හිත ගිහිල්ලා .එයාගේ අනාගත නිවසට ඕනෙ වෙන සැටින් වැඩදාපු කුශන් කවර , ඇඳ ඇතිරිලි , සිල්වර් බඩු ගොඩක් මෙතැනින් අරගත්තා .එයින් ලස්සනම දේ වුනේ එයාගෙ මෙහෙන්දි උත්සවේට රන් ආබරණ දාන්න ගත්ත කෙසෙල් කෙඳි වලින් නිමා කරලා රන් පාටින් වැඩදාපු විසිතුරු පෙට්ටිය .   අපිට යන්න තාම
ත් ඒ හැටි උවමනාවක් නෑ. "එන්" බ්ලොක් මාර්කට් එක දිගේ කියව කියව විකාර කර කර හිනාවෙවී ගියා කැෆේ එකකට කෝපි බොන්න .කෝපි එක්ක සැන්ඩ්විච් ඕඩර් කරලා ආයෙ කතා වුනේ එදා දවසේ අපි ගහපු රස්තියාදුව ගැන .

කොහොමහරි අපි යනකොට හය පහුවෙලා .ඉනොගරේශන් එක පටන් අරන් තිබුණා . කාර් එකෙන් බහිද්දී තමා ,මට මතක්වුණේ හවස අපි ගහපු රස්තියාදුව කාටවත් දැනෙන්න අරින එක ඒතරම් හොඳ නෑ කියලා .ඒ නිසා හෝටල් සේවකයෙකුට උපදෙස් දුන්න අපේ ඔක්කොම ශොපින් මලු මගේ කාමරේට දන්න කියලා .ඊට පස්සෙ අපි දෙන්න හික් මීයෝ දෙන්නෙක් වගේ සෑහෙන්න වෙහෙස මූණකුත් හදාගෙන ආපයින්ම දේශන සාලාවට ගියින් අපිට වෙන් කල පුටු වල ඉඳගත්තා .අපි දෙන්න හැර අනික් හැමෝම ටයි කෝට් ,සාරි ඇඳලා හරි ෆෝමල් .අපි විතරක් හඩ්ඩො දෙන්නෙක් වගේ එතැන . ලෝකෙම ප්‍රසිද්ධ ජාත්‍යන්තර ආයතනයක් නියෝජනය කරන ඉහලම නිලධාරීන් , බැංගලෝර් හා ජවහල් ලාල් නේරු විශ්වවිද්‍යාල වල ප්‍රසිද්ධ නීති මහාචාර්ය වරු කීපදෙනෙකුත් හිටියා  .

අපේ සංවිධායක ආයතනයේ නිලධාරිණිය මාව අනික් අයට ඉන්ට්‍රොඩියුස් කලේ "දිස් ඉස් අවර් ශ්‍රි ලංකන් ෆ්‍රෙන්ඩ් හූ ඉස් සෝ කයින්ඩ් ටු සපෝර්ට් ද පාකිස්තානි ෆ්‍රෙන්ඩ් හූ හැඩ් බිට් ඔෆ් ට්‍රබල්ස්  විත් පොලිස් ඔෆිස්
ටුඩේ කියලා "

ඔන්න ඔහොමයි මම සබාවක් මැද්දේ  දවසේ වීරයා වුණේ .ඒත් ඉතින් මමනෙ  දන්නේ එදා හවස ග්‍රේටර් කයිලාශ්වල  ගැහුව රස්තියාදුවෙ තරම .හීන් සීරුවෙ මාව අඳුන්වලා දීලා ඊට පස්සෙ තිබුණ වෙල්කම් ඩිනර් එකටත් ටිකක් වෙලා ඉඳලා ගරු රඟපෑමක් කරලා යන්තම් මාරු වුණා මහන්සියි කියලා .

පොලිස් භවනට පිං සිද්දවෙන්න ඔන්න ඔහොමයි අපි දිල්ලියේ රස්තියාදු ගැහුවේ

ප/ලි

මට ඊට දවස් දෙකකට විතර පස්සේ තමයි මතක්වුණේ අසිෆ් අලි පාරේ එයාර්සෙල් සිම් එකක් ගන්න රස්තියාදු වුණ වැඩේ කොයිතරම් බයානකද කියලා. අනික පකිස්තානුවෙක් එක්ක ලංකාවෙ කෙනෙක් ඔහොම යන එක මුම්බායේ බෝම්බයක් පිපුරුව වෙලාවේ ඒතරම් හොඳ දෙයක් නෙවේ . ඒ වෙලඳ සංකීර්ණයේ බොහෝදෙනෙකුට අපිව නෝට් වෙලා තිබුණා .සමහරු අමුතු බැලුම් හෙලුවා .දිල්ලිය ලෝකේ අනාරක්ෂිත නගර වලින් එකක් .ඒත් එහෙම වුනත් පොඩි රස්තියාදුවක් ගහලා ටිකක් අයාලේ ගිහින් අමාරුවෙ නොවැටුනොත් මේ ගමන් බිමන් වල කිසිම ත්‍රාසජනක සතුටක් නැහැනේ .
ශොපින් යන්න ඕනෙනම් මෙන්න ෆැබ් ඉන්ඩියා යන පාර

Wednesday, August 24, 2011

ශ්‍රී ලංකන් හනුමාන් ඉන් නිව් දිල්ලි


මට ලැබී තිබුණ කෙටි ශිෂ්‍යත්වයේ දෙවෙනි අදියර සඳහා නැවතත් නවදිල්ලියට යාමට සිදුවුණි .මීට වසරකට කලින් මා දුටුවේ පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙලේ සමාරම්භක කටයුතු වෙනුවෙන් හැඩ වැඩ වෙන ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොලයි .දැන් එහි සියලු කටයුතු අවසන්වී සෝභමාන පෙනුමක් ලැබී ඇත .බෝහෝ පිලිවෙල, පිරිසිඳු හා අමුතු අලංකාරයක් එකවී ඇත . ගුවන්තොටින් එලියට ආ පසු ලොකුම කටයුත්ත වුණේ සාධාරණ මිලකට මගේ නවාතැන වෙත යෑමට කුලී රථයක් සොයා ගැනීමයි .දිල්ලියේදී කුලී රථ රියැදුරන් සමග හෙට්ටු කිරීමට පුදුම ඉවසීමක් උවමනාය . පැය තුනක වෙහෙසකර ගුවන් ගමනකට පසු මට එහෙම ශක්තියක් ඉතිරි වී නැති නිසා මම ගුවන්තොටුපොල කුලී රථ සේවාව වෙත ගියෙමි . සැප පහසුකම් සහිතව යා හැකි රේඩියෝ කැබ් සේවා තිබුණත් ලාබදායී දිල්ලි ට්‍රැෆික් පොලිස් සේවයේ කුලී රථයක් මුදල් ගෙවා ලබාගත්තේ අත දිගහැර වියදම් කිරීමට තරම් මුදල් මගේ ශිෂ්‍යත්වයෙන් නොලැබෙන නිසා  සහ වඩා ආරක්ෂාවෙන් ගමන යාම වෙනුවෙනි .

කුලී රථ රියදුරා පැමිණ මගේ බෑග් දෙක පටවා වාහනයට නගින ලෙස සන් කලේය . තැලී, පොඩිවුණ, සීරීම් ඇති, දුහුවිල්ලෙන් වැසුණ ,කොල හා කහ පැහැ මරුති වෑන් රිය වෙත ගොඩවුණ මට සිතුණේ මෙය යන්තම් සුක්කානම හා රෝද හතර සමග අටවාගත් වාහනයක් කියාය .මා වාඩි වී සිටි එකම අසුනද හෙල්ලෙන දතක් වගේය . වාහනයේ පිටිපස ආසන පෙල ගලවා දමා ඇත්තේ මගියන්ගේ බඩු මුට්ටු පටවාගෙන යන්නය .ඉඩ මදිවුණොත් වහල උඩත් පැටවිය හැක . ගුවන්තොටුපොල මාර්ගයේ සිට රියදුරා වේගයෙන් ඉදිරියට ඇදෙයි .මෙවර මගේ නවාතැන පිහිටියේ දිල්ලි නගර සීමාවෙන් කිලෝමීටර 30 ක් පමණ ඈත හරියානා ප්‍රාන්ත මායිමේ පිහිටි ගුරුගාන් ආසන්නයේ ඇති කපශේරා නගරයයි .

ජුලි මාසය දිල්ලියට මෝසම් කාලය වුවද දහවල් අධික රස්නයෙන් යුක්තය . අපි වාහන පෝලිමක හිරවී ඇති හැඩය .මගේ රියදුරා බොහොම හෙමින් ඉදිරියට ඇදෙයි . අප යන මාර්ගයට සමාන්තරව ගුවන් මාර්ග-fly over දෙකක් ඇදී යයි .පෙනෙන විදියට ඉදිරියෙන් මෙවැනි මාර්ග කීපයක් එකට එක වන තැනකි . එනිසා වාහන තදබදයකි . දිල්ලිය හුරු පුරුදු තැනක් මුත් එය දිනෙන් දිනම බොහෝවේගයෙන් වෙනස්වෙන හැඩකි .මේ තරම් ගුවන් මාර්ග ගිය වසරේ මා දුටුවේ නැත .නගරය සිසාරා යෝද ගොඩනැගිලි ඉදිවීමත් වැඩිවෙමින් පවතියි . ඒ සුපිරි සාප්පු සංකීර්ණ හා මහල් නිවාස ආදියයි . වාහන පෝලිම අතරින් ඉදිරියට යන්නට නිතරම වලිකන්නේ ටුක් ටුක් රියැදුරන්ය .මේ ත්‍රීවීල් රථ සියක් වසරක් පැරැණි මහල්ලන් බඳුය . බඳ පුරා තැලී ,පොඩිවී ,සීරී ,දුර්වර්ණ වී ඇත . නොඉවසිලි ත්‍රීවීල් කරුවන් සමග  බහින් බස් වෙන රියැදුරන් වාහන පෝලිමේ සුලබ දසුනකි . දික්ගැහෙන වාහන පෝලිමේ බලන තරමක් ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත  මරුටි සහ ඉන්ඩිකා වාහනයි. ජපාන හෝ යුරෝපීය වර්ගවල මෝටර් රථයක් දකින්නේ අහම්බෙනි . මෝටර් සයිකල් කරුවෝද ත්‍රීවීල් කාරයන්ට දෙවැනි නැත .කොහේ හෝ ඉඩකින් ඉදිරියට යන්නට දඟලන වැඩි දෙනෙක් හෙල්මට් පලඳින්නේ නැත . බොහෝ මෝටර් සයිකල් වලට සයිඩ් කණ්නාඩි ඇත්තේද නැත .ගිනියම් රස්නය නිසා ඉහෙන් කණින් දාඩිය බේරේ . කෝටු ඉපල් බඳු පොඩි කොල්ලෝ ඉන්ඩියා ටුඩේ , ටයිම්ස් ඔෆ් ඉන්දියා , ද හින්දු , පත්තර සඟරා ගෙන වාහන පෝලිමේ යන මගියන්ට විකුණති . කුනුදූලි, නාවර පෙරාගත් එවැනිම තවත් දරුවෝ වාහන වල යන මගියන්ට අත පාමින් සිඟමන් යදිති . ඈත ගම් වලින් රැකියා සොයා දිනපතා දිල්ලියට සංක්‍රමණය වන දිලින්දන් බොහෝය . ඔවුන්ගේ හිසට වහල තැනෙන්නේ ගුවන් පාලම් යටය . මේ ගුවන් මාර්ග යට ජීවත් වෙමින් උයන පිහන , නිදාගන්න මිනිසුන්ගේ දසුන් වේගයෙන් සංවර්ධනය වෙන දිල්ලියට අරුමයක් නැත  .වාහන කවුලුවෙන් පිටත බලාගෙන සිටි මම දිගු හුස්මක් ගෙන සිත සනසාගත්තේ "හ්ම් මේ තමයි ඉන්දියාව" යයි සිතමිනි. මිහිපිට සුර පුරත් , අපායත් එකම තැනක දැක ගන්නට නම් දිල්ලියේ වීදි දිගේ ඇවිදයා යුතුයයි මට සිතේ .ඔබ ඉන්දියාවට පෙම් බැඳගත්  සංචාරකයෙක් වෙන්නට නම්  නම් කුනු , දූලි , දහඩිය , තද හිරු රැස් , පැය ගනන් දිග මාර්ග තද බද , කිසිදු විනයක් නැති පාරේ  එහෙන් මෙහෙන් වාහන රිංගවමින් යන කුලී රියදුරන්  සමග හෙට්ටු කිරීම ආදී කරුණු සියල්ලද හොඳින් විඳීමට ,ඉවසා  දරාගැනීමට හුරු විය යුතුය , එසේ නැතිව ඉන්දියාව රස විඳිය නොහැක .

කුලී රථය ගුරුගාන් සීමාවට පැමිණි නමුත් තාමත් මගේ නවාතැන සොයා ගැනීමට රියදුරා අසමත්ව ඇත .මා අතේ තිබුණ මගේ නවාතැනේ නම, ලිපිනය  සඳහන් කෙටි සටහන් පොත මා අතින් උදුරාගත් රියැදුරා කීප තැනකම වාහනය නවත්වා යන මග විපරම් කලේය . අවසාන වතාවට ඔහු පැමිණියේ හින්දියෙන් මොන මොනවාදෝ කියමින් මා වෙත අත දික් කරමින් තරමක කෝපයෙනි . ඔහුට පිලිතුරු දෙන්නට යාම පලක් නැති වැඩකි .ඇරත් මම දන්න හින්දි ඊට හොඳටම මදිය .ඒ නිසා කට පියාගෙන සිටියෙමි.

බොහෝ පාරවල් වල රවුම් ගසා යාන්තම් මගේ නවාතැන අශෝක් රිසෝට් හෝටලය වෙත රියදුරා මා ගෙනැවිත් බැස්සුවේය.මීලඟට මගේ පලමු රාජකාරිය වූයේ නිවසට දුර ඇමතුමක් දීමට ක්‍රමයක් සොයා ගැනීමත් , නවාතැනේ ෆ්‍රී වයි ෆයි පහසුකම් ඇතිදැයි දැන ගැනීමත්ය . ඒ කරුණු දෙකම සපුරාගතහැකි බව පිලිගැනීමේ ආලින්දයෙන් මට දැනගන්නට ලැබුණි . වහා ලංකාවට දුර ඇමතුමක් ගෙන මම කරදරයක් නැතිව දිල්ලියට ආ වග ගෙදරට දැන්වූ පසු , එම නිවේදනය කාර්යාලයේ  ඇඩ්මින් නෝනාට ද e මේල් පණිවුඩයකින් යැව්වෙමි.දැන් මම නිදහස්ය . නාගෙන ඉක්නමට දවල් ආහාරය ගත් මගේ ඒකායන අරමුණ වූයේ හොඳ නින්දක් දැමීමයි. නින්දේ හොඳකම කෙතෙක්ද කියතොත් කාමරයේ දොරට තඩි බාන සද්දයට ඇහැරුණ මට මා ඉන්නේ කොහේද කියා මතක් කරගැනීමට තව විනාඩි කීපයක් ගත විය .

යාන්තම් අතපය වාරු කරගෙන නිදි මරගාතේ ගොස් දොර ඇරිය විට එහි සිටියේ මගේ කාමර සගයා හෙවත් රූමිය .

"මම රිස්වානා ,පාකිස්තානයෙන්"  ඇය සිනහ මුසුව තමන් හන්දුන්වා දුන්නාය . "මට ඇතුලට එන්න අවසරද" ආයෙත් අසුවාය . 

මම ඇගේ ගමන් මල්ලක් උස්සාගෙන "එන්න ඇතුලට සාදරයෙන් පිලිගන්නවා" යයි කීවෙමි . ඒ සමගම මට මතකයට ආවේ පුහුණුවේ මුල අදියරේදී හමුවූ මගේ පාකිස්තාන් මිතුරිය රබියාය . ඇය දෙවෙනි අදියරටද සහබාගිවීමට නියමිතය . වහා පිලිගැනීමේ ආලින්දයට දුර ඇමතුමක් ගත්විට ඔවුන් කීවේ ඇය මේ දැන් හෝටලයට ආ බවත් පිලිගැනීමේ ආලින්දයේ සිටිනාවගත්ය . රිස්වානාට කාමරය බාර කල මම ඉහ වහා ගිය සතුටින් පිලිගැනීමේ ආලින්දයට ගියෙමි .මා දුටු රබියා 'ඔහෝ හනුමාන් ගුඩ් ටු සී යූ " කියමින් මා වැලඳගත්තායා . රාවණා රටෙන් ආනිසා ගියවර ඉන්දියානුවන් හා පාකිස්තානුවන් එක්වී මට හනුමාන් යන විහිලු නමින් ඇමතීමට පුරුදුවී තිබුණි . එසේම වෙනසකින් තොරව එකවිට පාකිස්තානු හා ඉන්දියානු යහලුවන් ඇසුරු කිරීමත් මේ දෙපිරිස සමගම මහ රෑ වෙනතුරු ගෝදාවරියේ දී විහිලු කතා සහ ගොදාවරී "ජමාත්" වට මෙස සාකච්චා දැමීමත් නිසා මෙ නම ප්‍රසිද්ද විය .අපේ ඔය අතීත විහිලු  නොදත් පුහුණුවට අලුතින් එක්වූ සෙසු ඉන්දියානු හා පාකිස්තානු සගයන් අප දෙස දෑස් හයා බලා සිටින වග තේරුම් යන්නට අපිට වැඩි වේලා ගියේ නැත.ඒ බව දැනගත් නිසා දෝ රබියා ඔවුන්ට එය පැහැදිලි කලේ හැමදෙනාම සිනහගස්වමිනි. ආලින්දයේ පුහුනුවට පැමිනි ඉන්දීය , නේපාල් ,හා බන්ගලාදේශ සගයෝ බර කතාවක සිටින වගක් පෙනුණි.මටත් රබියාටත් උවමනාවූයේ නවාතැනෙන් පිටට ගොස් අවන්හලකට වී මසාලා තේ බොමින් නිදහසේ කයිවාරුවක් ගහන්නටය .

"ඇට්ටෑක් ඉන් මුම්බායි ...අයි ගොට් එස් එම් එස් ෆ්‍රොම් මයි ෆැමිලි..."

එකවර ආලින්දයේ සිටි ඉන්දියානු සගයන්  අතරින් හඬක් නැගී ආවේය . සියල්ලෝම තරමක වික්ෂිප්ත බාවයකට පත්ව ඇත .මද වෙලාවකින් සියලුදෙනාම අවන්හලේ ඇති රූපවාහිනී යන්ත්‍රය දෙස ඇස් අයා බලා සිටිති . මුම්බායේ ප්‍රහාරය ගැන එන් .ඩී .ටී. වී වාර්තාකාරියක් බොහෝ ආවෙගයෙන් රසකර කියයි .පොලිස් සයිරන් හඬ , කුපිතවූ මිනිසුන්ගේ දසුන් , තුවාල කරුවන් , මුම්බායි පොලීස් ප්‍රධානින් තිරය මත දිස්වේ .

පකිස්තානු මිතුරියන් වන රබියා , නිකිලා, රිස්වානා , ශුමයිලා හා රුබීනාගේ  මුහුණු අඳුරු වී ඇත . මොහොතකට පෙර පිලිගැනීමේ ආලින්දයේ වූ සාද සතුටු කතා සිනහ හඬ දැන් නැත . "දිස් ඉස් නොට් අ ගුඩ් ටයිම් ඉන් ඉන්ඩියා" රබියා සෙමෙන් මා දෙස බලමින් කියයි . ඇගේ අදහස පැහැදිලිය .මීට පෙර මුම්බායේ සිදුවූ දරුණු ප්‍රහාරයක වගකීම පැවරුණේ  පාකිස්තාන ත්‍රස්තයින් වෙතය . ඉන්දීය අගමැති මන මෝහන් සිං සහ පාකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානි ඒ වෙනුවෙන් එකිනෙකාට  දේශපාලන කරලියේ බොහෝ චෝදනා එල්ල කරගත්හ . එන් .ඩී .ටී .වී නාලිකාවට අනුව දැනටමත් මේ ප්‍රහාරයේ වගකීමද පාකිස්තානයට යන හැඩකි. එවැනි වාතාවරණයක් තුල ඉන්දියාවේ සිටින සාමාන්‍ය සිවිල් වැසි පාකිස්තානුවෙකුට දැනෙන්නේ අසරණ අනාරක්ෂිත බවකි .අපේ මසාලා තේ බොන්න යන ගමනද අතහැර දමන්නට සිදුවිය .එන්. ඩී. ටී. වී කියන ලෙස දිල්ලිය ඇතුලු සෑම ප්‍රධාන නගරයකම පොලිස් ආරක්ෂාව තරකර මාර්ග බාධක දමන්න කටයුතු යොදා ඇත .එවැනි වට පිටාවක පාකිස්තානුවෙක් හා ශ්‍රී ලාංකිකයෙක් හවස්යාමයේ දිල්ලිය නුදුරෙන් ඇති ප්‍රත්‍යන්ත නුවරක වීදි සැරිය  එතරම් ගුණ දායක නැත.

"ටුමොරෝ වී හැවුටු ගො ටු දිල්ලි පොලිස් හෙඩ් ක්වාටර්ස් ටු රෙජිස්ටර් අවර්සෙල්ව්ස් .දැට් ඉස් අ මස්ට් ෆොර් පාකිස්තානීස් විසිටින්   ඉන්ඩියා" . රබියා මට පැවසුවාය .එහෙනම් තත්වය තව දරුණුය . මේ ප්‍රහාරය නිසා හැම පකිස්තානුවෙකු දෙසම ඉන්දීය පොලීසිය  සැකයෙන් බලනු නියතය . පුහුණුවක් නිසා අපිට ලැබී ඇත්තේ බිස්නස් වීසාවකි.එය ඉන්දීය අභන්තර කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශ වල අනුමැතිය පිට ලැබුණත් මෙවැනි වෙලාවක දිල්ලි පොලීසියට ඒවා වැදගත් කාරණා නොවෙනු ඇති වග අපේ පාකිස්තාන සගයන් ගේ මතය විය .

අවන්හලේ තැනින් තැන රාත්‍රී ආහාර ගන්න අතර මුම්බායි ප්‍රහාරය ගැන සියලුදෙනාම  කතාවෙනු පෙනේ. අපේ පාකිස්තානු සගයන් සිටින්නේ හෙට දින ඔවුන් විසින් දිල්ලි පොලීසියට වාර්තාකිරීම ගැන බිය මුසු තරමක තැති ගත් සිතකිනි . "හනුමාන් කැන් යු කම් විත් අස් ටු ගො ටු පොලිස් ස්ටේශන් ටුමොරෝ,දෙන් වී හැවු සම් වන් ටු අකම්පනී අස්"  රබියා අවසානයේ මගෙන් ඇසුවාය . මම හිස වනමින් ඔවු මම එන්නම් කීවෙමි .

ප/ලි

ජුලි මාසයේ ගිය ගමන් කතාවක විස්තර සහිත කතා පෙලක් විවේක  ලැබෙන විදියට ලියන්නට සැලසුම් කර ඇත . එහි පලවන ,දෙවැනි කතා දිල්ලියේ මගේ අත්දැකීම් පදනම් කරගෙන ලියවෙන අතර සෙසු කතා කීපයක් මා නැවතත් රාජස්තානයේ උදයපූර් , අබූ හා චිතෝර් යන නගර දකින්නටත් , චිතෝර්  සිට    අග්‍රා නුවරට  ගිය  සංචාරක ගමනක විස්තර වෙනුවෙනුත්  වෙන් වී ඇත

Sunday, July 3, 2011

කවියක පූවාපර සන්ධි ගැලපිම හෙවත් දයිවයේ සරදම

 

මං නැතිවෙලා

මගේ පන්තියෙ
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය

බලපොරොත්තුවක්

පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය

හීනෙන් ගෑ සුවඳක් වගේ

මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට


පාසල් කාලයේ කවි ලියන්න මම බොහෝ සෙයින් පෙලඹුනෙමි .එහි උච්ඡතම අවස්ථාවක් වුයේ මා උසස්පෙල විභාගයට සූදානම වන වර්ෂයේ නීති විදුහල මගින් පැවැත්වූ "නිම්නය" නීති ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ   වෙනුවෙන් ලණු අඹරණ පොල් ලෙලි තලන ගැහැනු ගැන මා ලියූ නිසඳැසක්  පාසල් කවි අතර නිසඳැස් ජේෂ්ඨ අංශයේ   ප්‍රථම ස්ථානය ලැබීමයි . එම ත්‍යාගය ලැබීම  වෙනුවෙන් මම අලුත්කඩේ නීති විදුහල වෙත ගිය දිනය මට හොඳින්ම මතකය .එදා මම, මගේ ජීවිතයේ පලමු වතාවට ගාම්භීරව නැගී සිටින උපරිමාධිකරණ සංකීර්ණයත් , නීති විදුහලත් , බොහෝ කලබලයෙන් උදාරම් ලීලාවෙන් නීති පොත් පොදි බැඳගෙන කලු සාටක පැලඳ යන නීති වෘත්තිකයන්ද  දුටිමි .එය මට බොහෝ බලාපොරොත්තු පොදි බැඳ දුන් අවස්ථාවක් විය .ඉන් තෙමසකට පසු පැවැත්වූ උසස්පෙල කඩඉමෙන් මම ඉහලින්ම එතෙර වුණේ එකී බලාපොරොත්තු මල් පල ගනිවමින් නීතිය හදාරන්නට සුදුසුකම් ලබමිනි .

එහෙත් කාලයාගේ ඇවැමෙන් මගේ කවි කම් වියැකුනි . කවි ලිව්වේ නැති තරමය .නමුත් නීතිය උගත්තෙමි. ඒ මවු බසින් නොවේය . ඊට මහත් වෑයමක් දැරූවෙන් මවු බසෙන් කියවීම ලිවීම මග හැරුණි .පසුව එසේ කිරීම අත්හැර දමා රාජකාරියට හුරු බස වැහැරුවෙමි. පසු කලෙක නීති රැකියාවෙන් ඉවත්ව මා ප්‍රිය කරන වෙනත් රැකියාවකට ගියෙමි .එය බොහෝසෙයින් සාමාන්‍ය ගැහැනු මිනිසුන් ඇසුරු කරමින් කලයුතු කටයුත්තක් විය .මට ආයෙත් හිරිමල් වියේ  මා කවියකින් කියූ වෙරළ තීරයේ පොල් ලෙලි තලන් ගැහැනු රාශියකගේ අඳුරු දුක්බර කතන්දර හමුවුණේ එහිදීය .එවිට මට පාසල් කල ලියූ මගේ කවිය මතක් වුණි . මුලු ගෙයම පෙරලමින් පැරණි පොත් පත් පීරා සෙවූ නමුත් මගේ කවිය මට හමුවුණේ නැත .එය අස්ථාන ගතව ඇත .තාමත් මට එය සොයාගන්නට අහපසුය .එහි පදවැල් සම්පූර්ණයෙන්ම  මා මතකයෙන් ගිලිහී ඇත .

ආයෙත් මම කවි ලියන්නට හිතුවේ බ්ලොග් ලියන්නට පටන්ගත් පසුය .කලක් මා ක්‍රියාකාරිව සිටි මූණුපොතේ කවි පිටුවද එයට අනුබල දුනි . මගෙ නැතිවූ කවිය දයිවයේ සරදමක් හා සමානය .එය මගේ අනාගතයට බලාපොරොත්තුවක් දුන් තරු එලියක් විය .එහෙත් මා මගේ බලාපොරොත්තුව සොයා හැල්මේ දුව යද්දී කවිකම් ගිලිහුණි . බලාපොරොත්තුව මුදුන්පත් කරගෙන කලකට පසු එය හැරපියා මා රිසි දෙය සොයා යද්දී  මට මගේ කවියේ අදහස හමුවිය .නමුත්  එවිට මා ලියූ කවිය මගෙන් ගිලිහී ගොස් ඇත .කවි කම් ද වියැකී ගොස් ඇත .අවසානයේ මේ කවිය මම ලියූවේ ඒ නැතිවූ කවිය ,බලාපොරොත්තුවකට පාර කියූ මං සලකුණ වෙනුවෙනි . මගේ නැතිවී අමතකව ගිය
පාසල් වියේ මට සම්මාන ලැබුණ මගේ කවිය යලි සොයා ගන්නට අපහසු නිසා ඒ අදහසම ඇති පහත කවිය ලිව්වෙමි .එහෙත් මා පාසල් වියේ ලියූ කවිය වඩා නිර්මාණාත්මක ගුණයෙන් ඉහල යයි සිතමි .

ලෙලි තලන ගැහැනුන්ට පින් මදි වීම ?

කළ පින්කම් බිජුවට
කලල් මඩ පත්ලෙහිම රුවා
ඇද බැඳ වියාගෙන
කරුම වරපට රැහැන්
අපෙ කෙලෙස් පිසලනට
පයට බුමුතුරුනු වී
කෑලි ගානට සිල්ලරට
විකුනමින් ජීවිතය
උන් බලා සිටියයුතුවෙද ?
කල්ප කාලයක්
මෙතේ බුදු වඩිනතෙක්
ලබන්නට විමුත් මග ?


මේ සටහන ලියන අතර මා සිහියට නැගුනේ පසුකලෙක මා කියවූ රොබර්ට් ෆ්‍රොස්ට් ගේ The  Road Not Taken  කවියයි .වනගත කැලෑවක වූ මංපෙත් දෙකකින් එකක් තෝරා ගිය මගියෙකුගේ දාර්ශනික කතන්දරය එහි විය .බොහෝ බලාපොරොත්තු පොදි කරගෙන මා ආස කල දේවල්ද ඉවත දමා  බලාපොරොත්තුව  සොයාගෙන ගොස් පසුව එය හැරපියා වෙනත් පාරක යන්නට මම තීරනය කලෙමි  .ඒ තීරණයද හරියට මේ වගේමය .

"I shall be telling this with a sigh
Somewhere ages and ages hence:
Two roads diverged in a wood, and I,
I took the one less traveled by,
And that has made all the difference. "




 ප/ලි
ඉහත කවි දෙකම අහස්ගව්වට මා ලියූවේ කලකට පෙරයි .නමුත් ඊට අදාල නිමිත්තද මෙහි සටහන් කලයුතුයයි අද සිතුනි.මේ කෙටි සටහන නිසා කලකින් අහස්ගව්වට නොලියූ අඩුවද මැකෙනු ඇත .

Wednesday, May 18, 2011

දකු මනරම් සව් සිරි පිරි තොටගමුව


අනංග දෙවිඳු

වෙස්සන්තර කතාව -ජූජකයා දරුවන් කැටිව යාම

පංච නාරි ඝටය

සක් පිඹින්නා

සාම ජාතකය
රහතන් වහන්සේ නමක්

මාර පරාජය

ද වෙසක් පුන් පෝයදා පන්සල් යන්න හිතුවා .ඉතින් හවස් යාමේ අයිස්ක්‍රීම් , සිසිල් බීම දන්සල් කීපයකුත් වැඳපුදාගෙන තොටගමුවේ රන්පත් පුරාණ රජමහා විහාරයට ගියා .ගාලු කොලඹ ප්‍රධානපාරේ කහව සහ හික්කඩුව කියන නගර දෙක අතර තියෙන පනස් හත්වෙනි  සැතපුම් කණුව කිට්ටුව තියෙන අතුරු පාරකින් මීටර පන්සීයක් විතර ඉස්සරහට යනකොට තමයි "තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් රජ මහා විහාරය " හමුවෙන්නේ.පන්සල පිහිටි ගම  ගම හඳුන්වන්නේ තෙල්වත්ත කියලා .

මේ පන්සල ඓතිහාසික  වශයෙන් බොහොම වැදගත්කමක් ගන්න පූජනීය ස්ථානයක් . පුරා විද්‍යා දෙපාර්තමේන්තු ලිපි ලේඛණ වල "තෙල්වත්තේ පුරාණ  තොටගමු රජ මහා විහාරය" ලෙස හඳුන්වන නමුත් ගම් වැසියන් අතර ප්‍රසිද්ධ "තොටගමු විහාරය" කියලා.ලංකාවේ විහාර දේවාල වල නම් ගම් ඇති පැරණි පොතක් වෙන "නම් පොතෙත් " පන්සල හඳුන්වන්නේ ඔය කියන  නමින්. මෙහි සිත දියුණු කරගත් රහතුන් වහන්සේලා  වැඩසිටි නිසා රන්පත් විහාරය ලෙස හැඳින්වුණාලු. මේ පන්සලේ ඉතිහාසය අනුරාධපුර ,පොලොන්නරු යුගයන් තෙක් දිව යනවා .පොලොන්නරු යුගයේ සිටි පලවන විජයබා රජතුමා මෙහි විහාර කර්මාන්ත කෙරෙව්වා කියලා පැරණි පොතපතේ තියෙනවා.

කොහොම නමුත් මේ විහාරයේ ස්වර්ණමය යුගය සනිටුහන්වන්නේ කෝට්ටේ රාජධානි සම්යේ විසූ සයවෙනි පැරකුම්බා රජුගේ අනුග්‍රහය සහ උගත් පැවිදි පඬිරුවණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ අධිපතිත්වය නිසා.ෂඩ් භාෂා පරමේශ්වර රාහුල හිමියන් හා තොටගමු විහාරය අතර ඇත්තේ ගසට පොත්ත මෙන් බැඳුන සම්බන්ධතාවක් .

කුමර වියේ සිටම කාව්‍ය ශාස්ත්‍රයට උපන් හපන් කම් පෑ රාහුල හිමියන් ගැන බොහෝ ජනප්‍රවාද තියෙනවා. උන්වහන්සේ කුඩා කාලේ තමන්ගේ දුක සැප විමසන්න ආව හයවැනි පැරකුම්බා රජුට කවියකින් උත්තර දුන්නේ මෙහෙම

මා වැනි බිලින්දා -වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා - අසන නිරිඳෝ වෙන කොයින්දා

පුංචි රාහුල හාමුදුරුවෝ පන්සල් මිදුලේ තිබුණ ගොම ගොඩක් අස්කරන්න සුර දෝතා නම් කොලුගැටයාට කවියකින් කිව්ව විදිය මේ

සුර දෝතා -වර මෑතා
ගොම දෝතා- දම ඈතා

වීදාගම මෛත්‍රිය හිමියන්ගේ ගෝලයෙක් වුණ රාහුල හිමියන්  සංස්කෘත, ප්‍රාකෘත,මාගධි, පෛසාචි,සෞරසේනි , අපබ්‍රංස කියන භාෂා හයෙහි කෙල පැමිනි උගතෙක් .ඒනිසයි උන්වහන්සේ ෂඩ් භාෂා පරමේෂ්වර වුනේ . කාව්‍ය කරණයේ කෙල පැමිනි රාහුල හිමියන් පරවි, සැලලිහිණි සන්දේශ කාව්‍ය සහ කාව්‍යශේඛරය රචනා කර තිබෙනවා.ඒ විතරක් නෙවේ ගුප්ත විද්‍යාවන්ගේ පරතෙරටම උගත් හාමුදුරුවෝ යකුන් ගස් බැඳගෙන වැඩගත්තා කියා ජනප්‍රවාද කතාවල කියවෙනවා.

කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජුගේ නොමද රාජ්‍ය අනුග්‍රහයත් ,රාහුල හිමියන්ගේ හසල බුද්ධි ප්‍රභාවත් හේතුවෙන් පහලොස්වැනි ශතවර්ෂයේ තොටගමු විහාරය උසස් විද්‍යාස්තානයක් වෙලා තියෙනවා .එහි වූ විජයබා පිරිවෙණෙහි බොහෝදෙස් විදෙස්  ගිහි පැවිදි උගතුන් ඉගෙනුම ලැබුවාලු.ඔවුන්ට කාව්‍ය , ඡන්දස්,තර්ක ශාස්ත්‍රය ,තුන්පිටකය , ගුප්ත විද්යා,සකු ,මගධ,දෙමල භාෂා, වෛද්‍ය ශාස්ත්‍රය,අර්ථශාස්ත්‍රය උගන්වලා තියෙනවා."තොටගමුවෙ වෙලත් බණ බැරිනම් වැඩක් නෑ කියල" මේ පන්සල පැත්තේ මිනිස්සු අතර ජන වහරේ කියවෙන ප්‍රස්ථාපිරුලකුත් තියෙන්නවා.  උසස් අධාපන ආයතනයක් ලෙසින් විජයබා පිරිවෙණෙහි වූ අතීත ශ්‍රී විභූතිය ගිරා සංදේශයේ මේ  කවි පෙලින් කියවෙනවා.

විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුර පුර බිම් බටමෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙවුයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොටගමුව (197 පැදිය )

තුරු යටියෙන් හුණු පැටි ලෙහෙණුන් රැගෙන
සිතු අටියෙන් සිඹ ඇඟැ පිරිමැද සෙමින
මල'ගටියෙන් පැන් පොවමින් අතින'තින
සිටිපැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන  (208 පැදිය )

මනරම් වෙහෙර තුල තැන තැන සපැමිණිය
සිතියම් බණ අසුන් විදහා අපමණය
සිත සොම්නසින් සිහිකර කර බුදු ගුණය
අබිදම් පෙල අරුත් විමසන සඟගණය (219 පැදිය )

ඔය කවි අතරින් ගස් වලින් බිම වැටුන ලේන් පැටවු ආදරයෙන් සිඹ පිරිමැද සනහා මල්ගොටු වලින් උන්ට පැන් පොවන පුංචි හාමුදුරුවරු ගැන කියන කවියට මම ගොඩක් ආසයි.ජනප්‍රවාදයන්ට අනුව මේ මහා පිරිවෙණෙහි විසූ විද්‍යාර්ථින්ගේ නඩත්තුවට අහල පහල ගම් වලින් ලොකු සේවයක් වෙලා තියෙනවා .ඔය හේතුව නිසාම ඒ ගම් වලට නම් යෙදිලා තියෙන්නෙත් ඔවුන් පිරිවෙණට සැපයූ සේවාව අනුව .

1) අහාර පාන සහල් බත් සැපයූ ගම -බත් දුන් ගම -බද්දේගම
2) සීනි සැපයූ ගම -සීනි ගම
3) පූජාවට මල් සැපයූ ගම -මල්වැන්න, මලවැන්න
4) පෙරහන්කඩ සැපයූ ගම- පැරෑලිය
5) පහන් පූජාවට තෙල් සැපයූ ගම -තෙල්වත්ත
6) රෑ පහන් ආලෝකවත් කරන්න මී ඉටි සැපයූ ගම -මීටියාගොඩ
7) හාමුදුරුවන්ට වෙහෙර විහාර තනාදුන් ගම -විහාරගොඩ , වේරගොඩ
8) සිවුරු පඬුපොවන්න උදවු කල ගම -කහව
9) අවු වැසි වලින් ආරක්ෂාවෙන්න බට පැලලි සැපයූ ගම - බටපොල
10) පිරිවෙණට සම්බන්ධ බමුණන් නැවතීසිටි ගම -බ්‍රහ්මණවත්ත  

ශ්‍රීවිභූතියෙන් ඇලලී ගිය මේ උසස් අද්‍යාපන ආයතනයට කණකොකා හඬන්නේ 1505 පෘතුගීසි ආක්‍රමණයත් එක්ක .ඔවුන් සියලු වෙහෙර විහාර ගිනිබත් කරනවා. ශතවර්ෂ දෙකක් විතර වල් බිහිවුණ මේ පුදබිම කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ,වැලිවිට සරණංකර සංඝරාජයන් සමග මෙහෙයවූ ආගමික පුනරුදය නිසා නැවත ස්ථපනයවෙනවා ඒ 1734-1799 කාලෙදී. ඔය වකවානුවේ දැන් පුරාණ පිළිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය ගොඩනැගෙනවා.1805 දී දැන් අලුත් පිලිමගෙය කියලා හඳුන්වන විහාර මන්දිරය නිමවෙනවා .


පුරාණ පිළිමගෙයත් , අලුත් පිලිමගෙයත් කලාත්මක වශයෙන් බොහොම වැදගත් තැන් දෙකක් .මේ පිලිම ගෙවල් දෙකේම මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම්, ලතා ,මාලා කර්ම  වලින්  අලංකාරවෙලා තියෙනවා.පැරණි පිලිමගෙයි වෙස්සන්තර ජාතකය , දහම්සොඬ ජාතකය සිතුවමට නගා තියෙනවා . එහි අන්තරාලයේ විශේෂ දෙව් රුවකුත් අඹලා තියෙනවා.ඒ විවාහයට ප්‍රෙමයට අදිපති අනංග දෙවියාගේ රුව .ලංකාවේ අනංග දෙවි රුවක් සහිත එකම පන්සල තොටගමු විහාරය  බවයි කියන්නේ.ගර්භ ගෘහයේ සැතපෙන් පිලිමයට ඉදිරියෙන් මතු බුදුවෙන බෝසතුන් බවට විශ්වාස කරන උපුල්වන් දෙවි රුවක් අඹාතියෙනවා .අලුත් විහාරගෙයි සාම ජාතකය ,අටවිසි බුදුවරු , බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී කල මාර පරාජය එහෙම දැකගන්න පුලුවන් .බුදුන් බුදුවූ බවට මහී කාන්තාව සාක්ෂි දෙන අයුරු , කෝපයෙන් දැවෙමින් ඇතුපිට නැගී සේනාව සමග එන මාරයා අපූරුවට සිත්තමට නගා තියෙනවා.

නුවර යුගයේ සිතුවම් වලට ආවේණික කහ ,රතු,සුදු ,නිල් වර්ණ රටා  සහ ද්විමාන  මිනිස් රූ ,සතුන් , ගස් වැල් මේ සිත්තම් වලත් තියෙනවා.මහනුවර යුගය වනවිට මහා සම්ප්‍රදායන්ගෙන් ඈත්වුණ ජන කලා සම්ප්‍රදායකට සාහිත්‍ය කලාවන් යොමුවෙලා ගැමියන් සිත්තරුන් වෙලා පොදු ජනයාගේ පහන් සංවේගය,ශ්‍රද්ධාව  පිණිස බණ කතා සිතුවමට නගනවා .1799දී නිමැවූ පුරාණ පිළිමගෙයි සිත්තම් අඳින්න ගාලුදිසාවේ කඩොල්ගල්ලේ මහ සිත්තරා සහ පොඩ්ඩ සිත්තරාගේ සේවය ලබාගෙන තියෙනවා.අලුත් පිලිමගෙයි සිතුවම් නිමවලා තියෙන්නේ අටකෝරළේ මුදියන්සේ සිත්තරා.විහාරගෙවල් වල බිතු සිතුවම් ගැන කියනකොට මතකද සැලලිහිණියේ එන තොටගමුවේ  රාහුල හිමියන් ලියූ මේ කවි පද ?

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

18 වැනි හා 19 වැනි සියවස් වලත් තොටගමු විහාරය එවක විසූ දානපතියන්ගේ අනුග්‍රහයෙන් දියුණු පමුණු කරලා තියෙනවා .ඒ අතරින් සුවිසාලව ඉදිවුණ බණ මඩුව විශේෂයි .නමුත් කෝට්ටේ යුගයේ විශිෂ්ට විද්‍යාස්තානයක් ලෙස පැවති යුගයනම් ඉන් පස්සේ ආව පර සතුරු උවදුරු එක්ක ගරාවැටෙනවා.විශේෂයෙන් ඉංග්‍රිසින් කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යටතේ පිරිවෙන් අධ්‍යාපනය බැහැර කර දමනවනේ .ඉතින් පන්සල් වලට විසාල අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය නැතිවෙලා බටහිර මිෂනාරී අධ්‍යාපනය පැතිරෙනවා. එහෙම වුණත් අදටත්  පොඩි හාමුදුරුවරු 25 නමක් විතර විජයබා පිරිවෙනේ ඉගෙන ගන්නවා.

යුග කීපයක් තිස්සේ නැගෙමින් , වැටෙමින් පැවතගෙන එන මේ පැරණි පන්සලේ අදත් ඒ අතීත ශ්‍රී විභූතියේ නටබුන් තියෙනවා ,නමුත් මේ වනවිට බිතු සිතුවම් බොහොමයක් දුර්වර්ණ වෙලා විනාශවෙමින් යනවා.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒගැන ඉක්මන් පියවරක් නොගත්තොත් මේ සිතුවම් තව ටික කාලෙකින් මැකිල යාවි.ඒ වගේම පන්සල නිධන් හොරුන්ටත් ගොදුරු වුණ කාලයක් තිබුණා . පහුගිය සුනාමි මහා ජල ගැල්ම වෙලාවේ අහල පහල ගම් වල  අසරණ වුණ බොහෝ පිරිස් දිවි ගලවාගන්න දුවගෙන ආවෙත් මේ පන්සලට .පුරානෝක්ති කතාවක කියනවා කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩගැලූ විටත් සක් දෙවි රජ මේ පන්සල ආරක්ෂා කලා කියලා. ගැමියො අදත් කියන්නේ මුහුද නුදුරින් තිබුණත්  සුනාමි සැඩ රල පන්සලට ආවෙ නැත්තේ ඒ නිසා කියලා .මෙහි ඇති නාථ ,විශ්ණු හා කතරගම දේවාල ගැනත් බෝධීන් වහන්සේ ගැනත් අහල පහල ගම් වල උදවියගේ ලොකු විශ්වාසයක් තියෙනවා.

ගාලු පාරේ තියෙන ඓතිහාසික හා කලාත්මක වටිනාකමක් සහිත ඒත් බොහෝ ප්‍රසිද්ධනැති බොදු පුදබිමක තොරතුරු ලියමින් මේ වෙසක්ඟේ සමරන සම්බුද්ධත්ව ජයන්තියට සුලුවෙන් හරි දායක වෙන්න පුලුවන් වුණා කියල මට හිතෙනවා .

ප/ලි

ඔබ ගාලු පාරේ විනෝද ගමනක් , රාජකාරි ගමනක් යන අතරේ වුණත් ගොඩ වැදිලා මේ පන්සල නරඹන්න පුලුවනි. පාසල් සිසුන්ට ගවේශකයන්ට බොහොම වටින තැනක් කියලා හිතෙනවා. ව
විශේෂයෙන් අර චිත්‍ර නරඹන්න අමතක කරන්න එපා .මේ ලිපිය ලියන්න මම වැඩි දුර කරුණු එකතු කරගත්තේ මෙන්න මේ පොත් වලින්.

1 ) Paintings of Sri Lanka -Thelwatta by Nandana Wutwongs,Leelananda Premathilake and Roland Silva ( Archaeological Survey of Sri Lanka - Central Cultural Fund ) 


2) තෙල්වත්තේ පුරාණ තොටගමු රන්පත් විහාරය - මහානාම මංගලසිරි මයා 

Monday, May 16, 2011

නමස්තේ පොකරා 2 -අලුත් අවුරුදු උදාවේ වීදි සැරිය

අප්‍රේල් 14 අලුත් අවුරුදුදා උදේ මගේ නවාතැනට පෙනුන මච්චපුත්‍රි කන්ද
 වයි ෆයි විත් කොෆී
 යන්න කැමති කොහේටද




පොකරා වල  ට්‍රෙකින්ග්

ඩේවිස් ෆෝල් වලින් අපි තුන්දෙනා සමුගන්නකොට හවස හයත් පහුවෙලා .ඒ ගමනේ විස්තර දැනගන්න ඕනෙ නම් මෙන්න මේ සටහන කියවන්නකෝ .ආයෙත් අපි නවාතැනට ආවා .එතකොට තමයි මතක්වුනේ අද අප්‍රේල් දහතුන්වැනිදා අලුත් අවුරුදු උදාවෙන්න තියෙන්නෙ තව පැය කීපයය් විතරයි.ඔන්න ඉකමනට අපි එන පාරේ තිබුණ කෝල් සෙන්ටර් එකකට ගිහින් ගෙදර අයට කෝල් එකක් දීලා ලංකාවේ අවුරුදු සූදානම් ගැන ඇහුවා .


තවදෙයක් කියන්න අමතකවුනානේ .නේපාලයෙත් අපි වගේම අලුත් අවුරුදු සමරනවා අප්‍රේල් 14 වැනිදා .එදාට නේපාලයේ නිවාඩු දවසක් .අද 13 වැනිදා මැදියම් රැයේ නේපාලෙට අවුරුද්ද ලබන්නේ .අවුරුදු උදාව පොකරා වල සමරන්න ආව දේශීය සංචාරකයන්ගෙන් සහ අවුරුදු සැණකෙලි පොලවල් වලින් අඩුවක් නෑ. අපි තුන්දෙනා තීරණය කලා රෑ කෑමකට අවන්හලකට ගිහින් අවුරුදු උදාව සමරන්න .


පොකරා වීදී සහ අවන්හල්  අලුත් අවුරුදු උදාව වෙනුවෙන් බොහොම කලබල වෙලා.මමත් සෑම් සහ මෝනා එක්ක ලේක් සයිඩ් වල තිබුණ අවන්හලකට ඇවිදගෙන ගියා.පාර දෙපැත්තේ අවන්හල වල බොහොම ආකර්ෂනීය දැන්වීම් පුවරු ප්‍රදර්ශනය වෙනවා .අවුරුදු උදාවට  සංගීතය ,නැටුම් ආහාර පාන සමගින්හැම අවන්හලක්ම විදුලි බුබුලු වලින් අලංකාරවෙලා . සමහර තැන්වල නේපාල් ජනගී ජන නැටුම් .තවත් තැනක ඩී ජේ නැටුම් , රෙගේ , රස්තා ,හෙවී මෙටල් මියුසික් වාදනවා වෙනවා .හැමතැනින්ම එන්නේ එන්න , කන්න බොන්න , ප්‍රීතිවෙන්න ඇරයුම්.වීදි දිගේ ඇවිදගෙන යද්දී මම හිතාගෙන්න උන්නේ අපි නේපාල් ජන ගී නැටුම් තියෙන අවන්හලකට යාවි කියලා .


ඒත් ඉතින් හැමවෙලාවෙම අපි හිතන දේ වෙන්නෙ නෑනේ .අපේ ගමන කෙලවර වුණේ කන පැලෙන්න හෙවි මෙටල් මියුසික් වාදනය වෙන මන්දාලෝකයෙන් යුත් අවන්හලකින්.එතැන මෝනාගේ තව මිතුරියක් අපි එනකන් බලා හිටියා .හ්ම්ම්...සංගීත  කණ්ඩායමක් ගී ගයනවා ඒ එක්කම එන සද්දේ පපුව දෙදරවාගෙන යනවා. මට ටිකක් අපහසු බව තේරිලාද කොහෙද මෝනා යෝජනාකලා අවන්හලේ පිටත ආලින්දයේ කුෂන් අතුරලා තිබුණ මිටි මේසෙක අසුන්ගන්න .මෙතැන කන පැලෙන්න සංගීතේ වුණාට විදේශීය සංචාරකයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය තැනක් .කවුරුත් රිසි ලෙස තම කමති මධු විත තොලගානවා මද අඳුරේ.සමහරු පාකිස්තාන් ජාතිකයො දුම් බොන දුම් පයිප්ප වලින් දුම් උරනවා .අපි කෑමත් බීමත් ඕඩර් කලා .

කෑමට සැන්ඩ්විච් එකක් ඕඩර් කරලා බලන් හිටියා .අමුත්තෙකුත් ඉන්න නිසා බකමූණෙක් වගේ රවන් ඉන්නත් බෑනේ .ටිකක් අනික් අය එක්ක කතාකරලා ආයෙත් නිහඬවුණා.කන පැලෙන සංගීතේ මැද්දෙන් කතාකරන්න වෙන්නෙත් මහ හය්යෙන්නේ.අනික් තුන්දෙනාට කතා බහ කරන්න සතුටුවෙන්න ඉඩදීලා මම පොටෝ කීපයක් ගත්තා . වටපිට හැරිලා අහල පහල බැලුවා.මට පිටිපස්සේ මේසේ ඉන්න තරුණ විදේශික යුවලක් කාඩ් සෙල්ලම් කරනවා .ඉස්සරහ මේසේ වයසක යුවලක් ලොකු කතාවක .තව මේසෙක ලොකු පවුලක්ම වාඩිවෙලා අම්මලා, තාත්තලා, ලමයි, ආච්චිලා ,සීයලා හැමෝම එක්ක ලොකු වාදයක් රෑ කෑම ඕඩර් කරන්න.මෝනා එයාගෙ මිතුරිය එක්ක බර කතාවක් .සෑම් නිහඬව මගේ  කැමරාවේ පින්තූර බලනවා .මට ඈනුම් යන්නත් එනවා .කඳුකර ගමනේ මහන්සියයි ,කන පැලෙන සංගීතෙන් ඇතිවුන විඩාවයි,නිදිමතකුයි ඇවිල්ල. ඔන්න යාන්තන් ඉතින් බිල ගෙවලා එලියට ආවා .

තාම මහපාරේ සැනකෙලි සිරි .රෑ දයට විතර ඇති ඒත් කඩවල් අවන්හල් ඇරලා.පවුල් පිටින් බොහොමයක් උදවිය නගරේ ඇවිදිනවා .අපේ නඩේ ආයෙත් කයිවාරු ගහමින් අත් අල්ලන් ඇවිදගෙන යනවා . හිටිගමන් මම මග ඇරෙනවා ඒ පොටෝගන්න මග නතරවුණහම ".මචන් හරි අප්" කියලා අනික් අය කෑගහනවා .තුන්දෙනාම ආයෙ නතරවුණේ ග්‍රොසරි ශොප් එකක් ගාව. ආයෙත් ස්ප්‍රයිට් , බීර ,අල චිප්ස් අරගෙන නවාතැනේ අවුරුදු උදාව සමරන්න වගේ.


ඔය පාර්සල් එල්ලගෙන කාමරේට ගියාට පස්සේ මතක්වුනේ අපි හතරදෙනෙක් කියලා .ඉතින් ඇඳන් තුන එකතුකරා .මම පිටත ආලින්දයේ තිබුණ කුෂන් කීපෙකුත් ගෙනාවා. බීර බොන අයට වාඩිවෙන්න .එතකොට තමයි දැක්කේ යාබද කාමරේ දොරේ අලවල තිබුණ දැන්වීම .


If you are drunken you will not be Tattooed 


මට ඒක දැකලා හිනා.වෙලාවට හෝටලේ කවුරුත් දන්නේ නෑ මම බීල නෑ කියලා.


බොන උදවියට ආවතේව කරල මමත් සෑමුත් දෙන්න අපි ඔක්කොගෙම කැමරාවල තිබුණ පොටෝ මගේත් මෝනගෙත් ලැප්ටොප් වලට ඩවුන්ලෝඩ් කලා .කැමරා බැට්‍රි චාර්ජ් වෙන්න තියලා අපි පින්තූර බැලුවා.සෑම්ට ඕනෙ පොටෝ සිලෙක්ට් කරලා ඒව එයාගෙ පෙන් එකට  දැම්ම .අනික් දෙන්න බරටම වැඩ.මොකක්දෝ පරණ ප්‍රේමවන්තයො ගැන කතාවක්.අපි ඒකට බාදා කලේ නෑ.ඉඳහිට ඔහොම පරන තුවාල කොනිතිගහන එක කාගෙත් පුරුද්දක්නේ.ඔන්න ඒ අතරේ ඩෝං පටෝං සද්දෙට රතිඤ්ඤා පුපුරනවා මුලුනගරෙම .මැදියම් රෑ දොලහ පහුවෙලා .නේපාලෙට අවුරුදු උදාවෙලා ,මමත් සෑමුත්  අපේ කාමරේ ජනේලෙන් පිටට පැනලා බැල්කණියට ගියා . අහල පහල ගෙවල් වල උදවිය නිලා පත්තුකරනවා ,සමහරු අනික් අයට අතවනමින් අවුරුද්දට සුබ පතනවා .පොකරා අහස එකම මල්වෙඩි සැණකෙලියක්.අපි හතරදෙනත් එකිනෙකා වැලඳගෙන අලුත් අවුරුද්දට සුබ පතාගත්තා.නිදාගන්න ගියේ කොයි වෙලාවෙද කියලනම් මතක නෑ.


මම පහුවෙනිදා 14 වැනිදා අලුත් අවුරුද්ද දවසේ උදේ ඇහැරුනේ මෝනගේ සද්දෙට .එයා කෑගහනවා ජනේලෙ දිහා බලාගෙන 


"Machan look at this virgin Machchapucharee  , it's a sunny day , I am excited man , isn't it amazing "


ඇත්තටම ඒක හරි අපූරු දර්ශනයක් . මම  වහ වහා මගේ කැමරාවත් අරන් ඉහල මාලයේ විවෘත බැල්කණියට ගියා . වෙලාව උදේ අටට විතර.මුලු නගරයම අලුත් හිරු කිරණින් නෑවෙනවා .හරිම පැහැදිලි අහසක් .හීතල සහ අඳුරු මීදුම කොහෙන් ගියාද කියලා දන්නේ නෑ. අන්නපුර්ණා වැටියේ කඳු මුදුන් දෙකක් වෙන මච්ච පුත්‍රි -Machchapucharee  (Fish tail) සහ හිමචූලි- Hima chuuli  ඉහල අහසට නැගීහිටින අපූරුව මෙතැනට හොඳින් දිස්වෙනවා. පොකරා එන ඕනෙම සංචාරකයෙක් සතුටුවෙන දසුනක් මගේ ඇස් ඉදිරියේ තියෙනවා.මච්ච පුත්‍රි කන්දට ඒ නම ලැබිල තියෙන්නෙ මාලුවෙකුගේ වලිග කෙලවර වගේ දෙකට බෙදුන මුදුන් දෙකක් ඒට ඇතිනිසා.ඇත්තෙන්ම මේ කන්ද හඳුන්වන්නේ මච්ච පුත්‍රි කන්‍යාව ( Virgin Machchayapucharee ) කියලා .ඒකට හේතුව කිසි කෙනෙක් තාම මේ හිමෙන් වැසුන  ගිරි මුදුන තරණය කරලා නැති නිසා . ඒක තරමක් අවදානම් දෙයක් නිසා නේපාල් රජය එය තහනම් කරලා තියෙනවා . කඳු වල පින්තූර ගන්න අතරේ මම දැක්කේ සාම ස්තූපයත් ඈතින් දිස්වෙනවා


මම කඳුවල ඇති තරම් පින්තූර අරගෙන අලුත් හිරු කිරණත් විඳලා පහලට බැහැලා අනිත් කමැලියොත්   නැගෙට්ටෙව්ව. අද අප්‍රේල් 14 අලුත්  අවුරුද්ද .කට්ටියම ඇඳ පැලඳගෙන වීදි සංචාරයක් යන්න එලියට බැස්සා. අවුරුදු ඇඳුම් අඳන් ගමන් බිමන් යන පවුල් වලින් පාර පිරිලා.කාන්තාවො විචිත්‍ර රතු වර්ණ සාරි ඇඳලා තිලක තියලා හරි ලස්සනයි .


වට පිට බලබලා යනකොට තමා දැක්කේ එක අවන්හලක නාම පුවරුව Restaurant Once Upon A Time !!.මම එතන ඉඳන් වරුවක් විතර හිනාවෙලා තව ඉස්සරහට යනකොට ගෙස්ට් හවුස්  කීපෙක නම් සඳහන් නාමපුවරුවක් මෙන්න මෙහෙම තියෙනවා  Karma Guest House , Lonely Guest House , Nirvaana Guest House  නරක නෑ කර්ම නවාතැනට ගිහින් කරපු කර්ම ගෙවලා , Lonely  නවාතැනේ ටිකක් බණ බාවනා කරලා .....නිර්වානෙට යන්න පුලුවන් .තව තැනක ට්‍රැවල් ඒජන්සියක් හඳුන්වන්නේ Boomarang Travel Agents කියලා  , මට කල්පනාවුනේ එක ගමනකට විතරක් මෙතනින් ටිකට් ගත්තම ඇති කියලා මොකද රිටර්න් එක ඉබේ ලැබෙනවනේ.මම මේ දැන්වීම් පුවරු රසවිඳිදී මෝනා කිව්වේ Machan this is Pokharaa , You just name it ! Its there ! කාටහරි ඕනෙ නම් මෙහේ ටොම් ඇන්ඩ් ජෙරී සාප්පුවක් වුණත් දාන්න පුලුවන් .  අපරාදෙ කියන්න බෑ පොකරා වල හැම ගහක් ගලක් යටම  ෆ්‍රී.WI FI තියෙනවා . සමහර රෙස්ටුරන්ට් වල දැන්වීම් තියෙන්නෙ "ටේක් අවේ කොෆී විත් වයි ෆයි  කියලා .අපිත් වැඩි කලබල නැති "වයි ෆයි "රෙස්ටුරන්ට් එකකට ගියා උදේ කෑමට . පාස්වර්ඩ් එකකුත් ඉල්ලන් , කෑමත් ඕඩර් කරල ආයෙත් මෝනයි මමයිපැයකට වැඩිය  කයිවාරුව අපේ රාජකාරි වැඩ කටයුතු ගැන.සෑම් ලහි ලහියේ මූනු පොතට ඊයෙ ගත්තු පින්තූර දානවා.


කාල බීල ආයෙමත් අපි පාරදිගේ අත් අල්ලන් කියව කියව යනවා වට පිට බල බල .ඔහොම මග තොට බලමින් ඉබාගාතේ යන කිසි වගකීමක් නැති සංචාරකයෙක් වීමේ සතුටක් තියෙනවා. ඒපාර අපි ගොඩවුණේ විසිතුරු බඩු තියෙන සාප්පුවකට . මෝනා සහ සෑම්ට එතැන හොඳටම හිත ගිහින් . මම ඉතින් ඔය ඇට මාල වලලු වැඩි පාවිච්චියක් නැති නිසා එලියට ඇවිත් අහල පහල සාප්පු දිහා  බල බල හිටියා . එක සාප්පුවක පෂ්මිනා සාලු විකුණනවා.Just Feel Me Dear Humane කියල පුවරුවක් සාලුවේ ගහලා.පෂ්මිනා කියන්නෙ බැටලු ලොම් වලින් හදන සාලු වර්ගයක් .බොහොම සැහැල්ලුයි .සීත කාලෙ උණුසුම රඳවනවා.හොඳම පෂ්මිනා සාලුවක් ග්‍රෑම් 5 ක් වත් බර නෑ . එයින් එකක් ඩොලර් දෙසීයකට වැඩියි . පෂ්මිනා බලලා අහවර වෙලා මම ටී ශර්ට් එම්බ්‍රොයිඩරි සාප්පුවකට ගොඩවුණා. නේපාලෙට ආවේණික අන්නපූර්ණා , හිමාලයා, යෙටී ,ඕම් ලකුණ , යැක් ගවයන් , පැරණි පන්සල් වල රූප ටී ශර්ට් වල එම්බ්‍රොයිඩර් කරලා විකුණනවා .ටින් ටින් කාටූන් එකේ චරිතත් ඉන්නවා. මම පහුගිය වතාවේ ටින් ටින් ටී ශර්ට් එකක් ගත්ත නිසා මෙදා පාර අන්නපූර්ණා වැටිය දැක්වෙන ටී ශර්ට් එකක් මිලට ගත්තා .ලඟ තිබුණා ලස්සන රෙදි බෑග් විකුණන කඩයක් .ඒක නේපාල රජයේ ආධාර ලැබෙන කාන්තාවන් සඳහා ස්වයං රැකියා සපයන කර්මාන්තයක් .එතැන ලස්සන බෑග් මහලා විකුණනවා . හිත හිතා ඉන්නෙ නැතුව රෙදි වලින් මැහුව ලැප් ටොප් බෑග් එකකුත් ගත්තා .ඔන්න මම මගේ ශොපින් එවර වෙලා වට පිට බලනකොට දැක්කේ මෝනයි සෑමුයි දෙන්න මාව හොයනවා .


අපි පොකරා ගමන හමාර කරන්න ආයෙත් පිව්හා විල වටේ රවුමෙන් ඇවිදගෙන නවාතැනට ආවා.දැන් හවස එකට විතර ඇති . මමයි, සෑමුයි අපේ පොකරා ගමන අහවර කරලා කත්මන්දු පිටත්වෙන්න ලෑස්තිවුනා.අපේ ආපසු ගමනත් බස් එකෙන්ම තමයි .මෝනා හෙට ඉඳලා ඇගේ රාජකාරි කටයුතු පටන්ගන්න පොකරා වල රැඳෙනවා . මම එයාගෙන් සමුගත්තේ ආයෙත් වතාවක් නේපාලෙට එන පොරොන්දුවෙන්. අපි එකඟ වුණේ ඊලඟ වතාවේ බස් එකෙන් ලුම්බිණි යන්නත් ,අන්නපූර්ණා බේස් කෑම්ප් එකට යන්නත් . ඔහොම හීනයක් හිතේ තියාගෙන තමයි මම අප්‍රේල් 15 නේපාලෙන් සමුගත්තේ .


ප/ලි


හිමාල මිටියාවතට ගිය ගමන්  කතාව මෙතැනින් අවසන් වෙනවා . මම පොකරා වල රැඳුනේ දින දෙකකටත් අඩු කාලයක් .නමුත් එයින් ලැබුණ සතුට නම් නිමක් නෑ.ඒකටම එකතු වුණ ප්‍රිය මිත්‍ර සමාගම ඒ සතුට දෙගුණ කලා
 

Sunday, May 8, 2011

නමස්තේ පොකරා 1 -කඳු මංපෙත් අතරින්

Phewa Lake

Boat ride in the Lake


Lake Pewa ,Pokahra city and Mountains

Machchaya Putri get cleared
Headloading woman climbing hills

මේ සටහන කියවන්න කලින් මගේ නේපාලෙට සැපත්වීම ඉස්සෙල්ල කියවල ඉන්න.

අපේ පුහුණුව අවසන්වුනේ අප්‍රේල් දොලොස්වෙනිදා .අවුරුදු දවස් දෙක නේපාලෙම ගතකරලා එන්න තමයි මගේ කල්පනාව.මෝනගේ අදහස වුනේ දවස් දෙකකින් නරඹන්න පුලුවන් ගොඩක් දුර නැති පොකරා (Pokahra) වලට යන්න .පොකරා කත්මඩු වල ඉඳලා කිලෝමීටර 225 විතර ඈතින් තියෙන ලස්සන සංචාරක නගරයක් . ගුවනින් යනවනම් කත්මන්ඩු ඉඳලා  පැයබාගෙකින් යන්න පුලුවනි .යන්න එන්න ගුවන් ටිකට් පතක් නේපාල් රුපියල් 3000-4000 අතර වෙනවා . බස් එකක යනවනම් පැය හයක් ගතවෙනවා.ට්‍රැවල් ඒජන්සි වලින් ටුවරිස්ට් බස් එකක සීට් බුක් කරන් යන්න පුලුවනි . ටිකට් එකක් නේපාල් රුපියල් 700-1000 අතර වෙනවා . නමුත් පොකරා යන පාරේ තියෙන මනකම්මා දේවාලය වගේ තව සංචාරකයන්ගේ හිත්ගත්තු  තැන් වල  නවත්වමින් යන නිසා ගමන හෙමින් .මට තියෙන්නෙ දවස් දෙකක් වගේ කෙටිකාලයක් නිසා මහ පාරට වෙලාව නාස්තිකරන්න බැහැනේ. ඉක්මනින් , ලාබම ක්‍රමේට පොකරා යන්න වෙන්නෙ කත්මන්ඩු වල ග්‍රීන් ලයින් බස් නැවතුමෙන් මයික්‍රො වෑන් එකක නැගල යන එක.මේ හයි ඒස් වෑන් වලින් දුරගමන් මගීන් ප්‍රවාහනය කරන විදියක් . පොකරා වලට මයික්‍රො වෑන් එකකින් යන්න ටිකට් එකක් නේපාල් රුපියල් 400.


ඒත් පුහුණුවට ආව වැඩිදෙනෙක් මට නතුරු ඇඟෙව්ව වැහි කාලෙ ඔහොම වෑන් වලින් කිලෝමීටර 225 යන එක ඒතරම් හොඳ දෙයක් නෙවේ කියල.ඒ කතාවෙ පොඩි ඇත්තක් තිබුණා. කඳු ,හෙල් ,මහා පල්ලම්, දල බෑවුම් වලින් පිරුණ මේ පාරේ නිතරම නායයාම් , රිය අනතුරු බහුලයි .ඒත් ඉතින් එහෙම කියලා ගමන අතාරින්න පුලුවන්ද?.කොයිකටත් ගොදාවරියේ ට්‍රැවල් කවුන්ටරෙන් විපරම් කලාම ඒ අය කිව්වෙ මේ දවස් වල එහෙම  ප්‍රශ්නයක් නෑ යන්න පුලුවනි කියලා .කඳුකර පාරක  මෙහෙම බස් එකක යනකොට පොඩි විනෝදෙකුයි ත්‍රාසජනක ගතියකුයි තියනවනේ .මම ඉතින් රට තොට ,මිනිස්සු , ජනජීවිතේ දකින්නත් හරි කැමතිනිසා මයික්‍රො වෑන් එකකම පොකරා යන්න තීරණේකලා.


අපි ගමන පිටත්වෙන්න තීරණය කලේ දහතුන්වෙනිදා එලිවෙන පාන්දර හයට විතර. කලින් වතාවක මට මුණගැහිලා අඳුනගත්තු මෝනාගේ හොඳම මිතුරියක් වුණ සමීරාත් (සෑම්)  අපේ නඩේට එකතුවෙනවා. පොකරා පිටත්වෙන්න ඔනෙ නිසා මම දොලොස්වෙනිද රෑ මෝනගේ ගෙදර නතරවුණා.ඔන්න එදා තමයි මෝනගේ කෙලි පැංචි අදිතිව හම්බවුනේ අවුරුදු දෙකකට පස්සේ.දැන් එයාට අවුරුදු හතයි. මගේ ඉන හරියට විතර උස ගිහින්.පොඩි එකා මාව දැක්ක හැටිය දුවගෙන ඇවිත් අතින් අල්ලගෙන  එයාගෙ කුකුළු පැටවු බලන්න එක්කගෙන ගියා.පස්සේ අපි දෙන්න හෙලිකොප්ටරේත් උඩ ඇරියා.හිතුවට වඩා සෑහෙන්න දුරක් ඒක උඩයනවා.අදිතිට හරි සතුටුයි.මෝනගේ නැන්දත් මාමත් දෙන්න මාව ආදරෙන් පිලිගත්තා. නැන්දා මට තේ බොන්න පකෝඩා එක්ක තව විශේෂ කෑමක් ලෑස්තිකරගෙන ආවා.


This is "Beaten Rice " .Its a rice supplementary for us . Try it machan

 මෝනා කිව්ව . ඔන්න හොඳට බැලුවම දැක්කේ මේ අපේ හබල පෙතිනේ. වෙනස මේ අය හබලපෙති අපි වගේ අතුරුපසක් විදියට නෙවෙයි බත් වෙනුවට කන ප්‍රධාන ආහාරයක් විදියට පාවිච්චි කිරීම.අපි හබලපෙති වතුරේ දාලා පොඟවලා ගත්තට මේ අය නිකන්ම කෑමට ගන්නවා කඩල ,පරිප්පු එහෙම මිශ්‍ර කරලා හැදූ වෑන්ජන, අඹ අච්චාරුත් එක්ක . ඒකත් හරි අපූරු රහයි . ඔය අතරේ මම එයාලට කිව්වා අපි ලංකාවෙ හබලපෙති හදන විදිය . නැන්දා හුඟක් උනන්දුවෙන් අහගත්තා අත්හදා බලන්න .


අපි දෙන්නම කලින් නිදාගන්න ගියාට මොකෝ ඉතින් පරණ පුරුදු ලෙඩේ හෙවත් කයිවාරු ගැහිල්ල නිසා එදත් නිදාගන්නකොට එලිවෙන පාන්දර දොලහට විතර ඇති.උදේ පහට විතර ඇහරිලා ඉක්මනට ඇඳ පැලඳගෙන හීතලේ ගැහි ගැහිම ග්‍රීන් ලයින් බස් නැවතුමට ගියා.සෑම් ඒවෙනකොටත් අපි එනකන් මග බලමින් හිටියා .තුන්දෙනාම ටිකට් අරන් වෑන් එකේ පස්සෙම සීට් එකේ හරිබරි ගැහුනා.


බස් එක කත්මන්ඩු වලින් පිටත්වුන වෙලේ ඉඳලා මග දිගටම වහිනවා.හරි හීතලයි.රියදුරයි කොන්දොස්තරයි දෙන්න වෑන් එකට මගියො පහලවක් විතර පටවගෙන තිබුණා.මේ වාහන වල ජම්පින් සීට් වෙනුවට වේවැල් වලින් වියපු පොඩි ස්ටූල් තුනක් සීට් අතරට හිරකරලා ඒවට මගියො නග්ගගන්නේ නගරේ පහුවෙලා අතරමගදී. වැඩිදෙනෙක් උදේ පාන්දර නිසා නිදි කිරනවා .ඒත් අපි තුන්දෙනා පස්සෙ සීට් එකට වෙලා වගේ වගක් නැතුව කියව කියව හිනාවෙනවා.දැන් දැන් කත්මන්දු පහුකරගෙන බස් එක ඇදෙනවා ලොකු කඳු නගිමින් , පල්ලම් බහිමින් .පහල මහා ප්‍රපාතාකාර බෑවුම් බලන්නත් බයයි .ඒ මැදින්  නිල් කැටේට වතුර පිරුණ ත්‍රිශූලි ගංගාව වැස්ස නිසා සැර වුණ සැඩ පහර නංවමින් ගලනවා. පල්ලමේ තියෙන ගම් තාමත් තද මීදුමෙන් වැහිලා ඒ අතරින් හෙල් මලු විදියට වවපු කුඹුරු යායවල් , කැරට්.ගෝවා , බ්‍රොකලි පාත්ති,ගෙවල් වල කුස්සියෙන් අහසට යන දුම් රොටු  පේනවා .යන පාර දිගේම සැඟවෙමින් මතුවෙමින් කිරි පාට පෙන නගමින් ත්‍රිශූලී ගංගාව ගලනවා.ඔලුවෙ ඉඳන් දෙපතුල වෙනකන් පොරවගත්තු ගැමියො පහල බෑවුමේ ගම් වල ඉඳලා ගොවි බිම් වලට ඇදෙනවා .


අපේ වෑන් එකත් සෑහෙන්න වේගෙන් ඇදෙනවා.මීදුම පිරුණ කඳු වලල්ලේ පින්තූර අරගෙන ඉවරයක් නැති බව තේරුණහම මම වැඩේ අත ඇරල දැම්ම.උදේ නවය විතර වුණත් තාමත් වැහිබර අහස.හීතල නිසා හොඳටම බඩගිනියි .නිදාගෙන හිටි උදවියත් එකා දෙන්න ඇහැරිලා  ඇඟමැලි කඩනවා .කාටත් බඩගිනියි ටොයිලට් යන්නත් ඕනෙ.රියදුරාටනම් තාමත් ඒ ගන වගක් නෑ පාගල යනවා වැස්සෙම .අන්තිමට බස් එකේ මගියො කීපදෙනෙක් එයත් එක්ක වාද කරලා යන්තම් කෑම කඩේක නවත්තගත්තා .හම්මෝ බස් එකෙන් එලියට පැන්නම දැනුන සනීපෙ. මේ කෑම කඩේ එවෙලෙම උණු උණු උදේ කෑම හදල දෙනවා . අපිත් 'තුප්ප නූඩ්ල්සුයි" (ටිබෙටියන් විදියට හදන නූඩ්ල්ස්)  චායේ තුනකුයි ඕඩර් කරලා කෑමට වාඩි වුණා .ටික වෙලාවකින් උණු උණු නූඩ්ල්ස් කෝප්ප තුනක් මෙසෙට වැඩියා.ඒ තමයි මම මෙච්චර කාලෙකට කෑව රසම රස නූඩ්ල්ස් .


කාලා බීලා ඉවරවෙලා ආයෙ ගමන පටන්ගන්නකොට බස් එකේ  කාටත් නව පණක් ඇවිල්ලා.කවුරුත් ලඟ ඉන්න අය එක්ක  කතාවට වැටිලා. වැහි අඳුර මැකිලා ලා හිරු එලිය මෝදු වෙනවා.කඳු වැටි එයාල දවටගෙන හිටි මීදුම් සේල උනා දමලා ඉරු රැස් නානවා. අපේ රියදුරා එයාගේ කැසට් යන්ත්‍රය උස් හඬින් දැම්ම.නේපාල , හින්දි , ඉන්ග්‍රිසි කලවම් ගීත වාදනය වෙනවා .අපිත් තුන් දෙනා පිටිපස්සේ සීට් එකේ ඉඳන්  මෝනගේ මොබයිල් පෝන් එකේ රෙකෝඩ් කරල තිබුණ සින්දු අහන්න ගත්තා.හරි මරු. වෑන් එකෙ ඉස්සරහෙන් එක සංගීතයක්.පස්සෙන් තව සංගීතයක්.බස් එක ගම් නගර පහුකරගෙන ඇදෙද්දී මට පොටෝ කීපයක් ගන්න ඕනෙ වුණත් ඒ අදහස අත් ඇරලා දාන්න වුණා බස් එකේ වේගෙ වැඩි නිසා.



අපි පොකරා ටවුමට එනකොට දවල් දොලහමාරයි .හොඳට ඉර පායලා ."ඇවිදින්න යන්න හොඳ කාලගුණයක්" බස් එකෙන් බහින ගමන් සෑම් කිව්ව.අපේ නවාතැන වුනේ පිව්හා විල කිට්ටුව අතුරු පාරක තිබුණ බ්‍රෝඩ්වේ ඉන් කියලා පොඩි ගෙස්ට් හවුස් එකක් .පොකරා සංචාරක කර්මාන්තෙට ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මේ ලස්සන විල් සහ ඒ වටේ තියෙන කඳු පන්ති නිසා. සංචාරකයන්ට වෙන්වුණ නවාතැන් අවන්හල් මේ සියල්ලම ගොනු වෙලා තියෙන්නෙ පිව්හා විල (Phewa Lake)  වටේ.බැලූ බැල්මටම පොකරා කියන්නේ බොහෝ සංස්කෘතීන් මිශ්‍රවුන මල්ටි කල්චරල් තැනක් . අවන්හල් , මග තොට යන එන මිනිස්සු , කඩ සාප්පු ඒක මැනවින් විදහාපානවා.කොන්ඩ වවාගෙන ,ටිබෙටියන් ඇට මාල දාගත්තු , ඕම් ලකුණ සහිත ටී ශර්ට් ඇඳගත් සංචාරකයන්ගෙන් මේ පොඩි නගරය පිරිලා.


අපි ට්‍රිපල් රූම් එකක් අරගෙන නාලා ටිකක් මහන්සි ඇරලා දවල්ට කාලා පිව්හා  විල වටේ සිරි නරඹන්න පිටත්වුණා. මෝනා සහ සෑම් දෙන්න තමයි ඔක්කොම ප්ලෑන් කලේ . විල දිහාට යන ලේක් සයිඩ් පාර ජනයාගෙන් පිරිලා ඉතිරිලා . සමහර තැන් වල ලොකු ගස් යට පාපැදි නවතලා තියෙනවා .ඕන කෙනෙකුට එයින් එකක් කුලියට අරන් විල වටේ සවාරි යන්න පුලුවන් .නේපාල් ජාතිකයොත් එයාලගේ නේවාරි අලුත් අවුරුද්ද සමරනවා අප්‍රේල් දාහතරවැනිදා .ඉතින් අවුරුදු නිවාඩුවට ට්‍රිප් ඇවිල්ල ඉන්න දේශීය සංචාරකයන්ගෙනුත්  නගරය පිරිලා .හැමෝම පවුල් පිටින් සතුටුවෙන්න විවේකගන්න පොකරා ඇවිත්.


පිව්හා විල නිල්පාට ජලතලයකින් පිරුණ ඇස් පෙනෙන මානෙකට යනකන් මීදුමෙන් වැහුණ කඳු වලල්ලකින් වටවුණ හරිම ලස්සන තැනක් . විලේ බෝට්ටු සවාරි යන්න පුලුවන් .අපිත් බෝට්ටුවකට නැගුනා.මම බෝට්ටුවල යන්න ටිකක් බයයි ඒත් විලේ ලස්සන  දැක්ක යන්න හිතුනා.ඔන්න ආයෙත් කඳු පෙල අඳුරු මීදුම් වලාවකින් වැහිලා හිරි පොද වැටෙනවා.හිරි පොද වැස්ස කපාගෙන අපේ බෝට්ටුව විල මැද තියෙන "බරායි" -(Barahi)දේවාලෙ දිහාට ඇදෙනවා.එන්න එන්න වැහි අඳුර වැඩි වෙනවා හිරි පොද ලොකු වැහිබින්දු වෙලා සට සට කියලා වැටෙනවා . මට ඒවෙලාවෙ මතක්වුනේ තාගෝර් තුමාගේ බංගාලි කවියක්.විල වටේ බෝට්ටු සවාරි යන කවුරුත් බරායි දේවාලෙට ගොඩවෙලා නමස්කාර කරලයි යන්නේ.


බරායි දේවාලෙට පඬුරු දාලා අපි ආයෙත් පිටත්වුනා විලේ අනික් ඉවුරට යන්න .වැස්ස හොඳටම සැරවෙලා හීතල හුලඟයි මීදුමයි එක්ක අපි විල් ඉවුරට ගොඩ බැස්සේ තෙත බරි ඇඳුම් පිටින් .එතනම තිබුණ අවන්හලට ගියේ ටිකක් උණුසුම් වෙන්න .තුන්දෙනාම හොට් චොක්ලට් පානයක් ඕඩර් කරලා කතා නැතුව විල දිහා බලාගෙන ඉන්නවා. වැස්සත් මීදුමත් කඳු වලල්ලත් හරි චමත්කාරජනක සුන්දරත්වයකින් පිරිලා .වහිද්දී මුලු දවසම වුණත් මෙතන ඉඳ විල දිහා බලන් නිස්කලංකේ ඉන්න පුලුවන් .ජීවිතේ රස විඳින්න සතුටුවෙන්න සොබාදහම මොනතරම් සොඳුරු දේවල් නිර්මාණය කරනවද කියලා මට හිතුණා.


දැන් හවස තුනයි .ආයෙත් ගමන පිටත්වෙන්නයි අපේ සූදානම . මේ අවන්හල කිට්ටුවෙන් තියෙන කඳුකර කැලෑපාරක් දිගේ කිලෝමීටර හතරක් විතර පයින් ඇවිදගෙන කඳුමුදුනේ තියෙන සාම ස්තූපය (World Peace Pagoda) දැක බලාගෙන ගම් මණ්ඩි මැදින් පහලට බහින්නයි අපේ කල්පනාව .

මෝන අපේ නඩේ ගුරා .එයා මට කියලාදුන්න මහන්සි නොවී කඳු නගින විදිය.ජන ශූන්‍ය කඳුකර කැලෑ පාරක හේදිලා ගිය ගල් පඩි , දල බෑවුම් දිගේ අපි උඩට නගිනවා . ගන සැරේට නොවුනත් උසට වැවුන ගස් කොලන් වලින් මග දෙපස පිරිලා. තාමත් වහිනවා .වැහිබින්දු සිරි සිරි ගාලා ගස් වල කොල උඩට වැටෙනවා. මගේ සීත කබායත් ,තොප්පියත් දෙකම තෙත්වෙලා . ටිකදුරක් යද්දී හොඳටම හති .එතකොට මෝනා සහ සෑම් දෙන්න "මචන් යූ කැන්" කියලා මාව දිරිමත් කරනවා .ආයෙත් අපි ගමන පිටත්වෙනවා.ඔහොම දල බෑවුමක් නැගලා උඩට යද්දී පුංචි තැනිතලා බිම් හම්බවෙනවා . එහෙම තැන්වල ටිකක් මහන්සි අරිනවා . මීදුමෙන් වැසුන පිව්හා විලත් පොකරා නගරයත් හරි ලස්සනට මේ තැන්වලට පේනවා.මගේ කැමරාව මේ සියල්ලම රූගත කරගන්න දඟලනවා.ඔයවගේ එක තැනකදී මෝන මට පෙන්නුවා පිව්හා විල ආරම්භවෙන තැනත් මීදුමෙන් වැහුන සිකිම් මනිපාල් විශ්වවිද්‍යාලයත්.ඉඳහිට පහලට බහින සංචාරකයෙක් දෙන්නෙක් අරුණම මිනිස් වාසයක් දකින්න නැති පරිසරයක් . කුරුලු හඬයි , වල් සමන්පිච්ච මල් වල සුවඳයි ,සිසි සිරි ගාල වහින සද්දෙ එක්ක හෙමින් හෙමින් අපි මේ කඳුකර කැලෑ පාරෙන් ඉදිරියට යනවා .කොහොමහරි හති දාගෙන  වෙහෙස නොබලා අපි සාම ස්ථූපය ගාවට ආවා.


මගේ ජීවිතේ දැක්ක සොඳුරුම දසුනක් තිබුණේ එතන .ඒවෙනකොට වැස්ස නතරවෙලා කඳුවලින් ලා හිරු කැරලි එබෙනවා .අඳුරු  වලාකුලු මෑත්වෙලා ලා නිල්පාට අහසේ තවරලා ඒ මැදින් සුදු හිමෙන් වැහුන අන්නපූර්ණා කඳුපෙල මෝදුවෙනවා .අපි තුන්දෙනා ආයෙත් අත් අල්ලගෙන කතා නැතුව ඈත කඳු දිහා බලන් සමාධිගතවෙලා හිටියා.ඒ තරම් ලස්සන දර්ශනයක් අපේ ඇස් ඉදිරිපිට මැවිලා තිබුණා.අන්නපුර්ණා වැටියේ හිමෙන් වැහුන  මච්ච පුත්‍රි  (Machyapucharee , Fishtail) කඳු මුදුන  හෙමින් මෝදුවෙනවා වලාකුල් අතරින්.ඒ වෙලාවෙ තමයි මට හිතුනේ වැස්ස සහ හිරු එලිය පරිසරයට දෙවිදියක ලස්සනක් ගේනවා කියලා


මගේ ගමන් මහන්සිය කොහේ ගියාද කියල නැහැ. තෙතබරි වුන සීත කබායත් තොප්පියත්  ගලවලා දාලා  බැහැගෙන යන  හිරු කිරණ විඳින්න මට ඕනෙ වුනා . සෑහෙන්න වෙලාවක් නිහඬව ස්ථූපය ගාව හිටිය අපි තුන්දෙනා අත් අල්ලගෙන පහලට බැස්සේ ඒ ලඟ තිබුන පොඩි කඩ පොඩ්ඩෙන් තේ ටිකක් බොන්න .


කඩේ ඉස්සරහ පිදුරු හෙවිලි කරලා උණබට වලින්  පුංචි  පැලක් හදාලා ලී බංකු කීපයක් තියලා තුබුණා සංචාරකයන්ට ගිමන් අරින්න . බිස්කට් පැකට් එකකුත් අරන් තේ බොන ගමන් අපි කතාකලේ කලබලෙන් පිරුණ විවේකයක් නැති ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නවට වඩා මොනතරම සැහැල්ලුවක් මේ පරිසරයෙදී දැනෙනවද කියලා . තේ කඩේට ආව වයසක ආච්චිලා දෙන්නෙක් අපිට කිව්වෙ වැඩිය රෑවෙන්නෙ නැතුව පහලට යන්න කියල .අපි ඒ දෙන්නටත් අපේ ගානෙ තේ අරන්දීල ටිකක් කතාකලා.දෙන්නටම වයස හැත්තෑවකට වැඩියි.කවදාවත් ඉස්කෝලෙ ගිහින් නෑ.දරු මුනුබුරො ගොඩක් එක්ක පහල කඳුකර ගමේ ජීවත්වෙනවා . අපිට තරම සංකීර්ණ ජීවිත මේ මිනිස්සුන්ට  නැහැ.


තේ කඩේ ඉඳන් අන්නපූර්ණා වැටිය  සිඹින අවසන් හිරු රැස් දහරත් නෙතට හසු කරගත් අපි ආයෙත් ගම් මණ්ඩිය මැදින් හේදිලා ගිය ගල් පඩි අතරින් පහලට බැස්සා.පහලට බහින එක ඒ තරම් අමාරු නැහැ.  පොකරා නගරයේ ගොඩනැගිලි ගිනිපෙට්ටි වගේ පේනවා. හවස්කරේ කඳුකර නිවෙස් වල ගෑනු හරක් රංචු පිදුරු මඩු වලට ගාල් කරනවා .මේ පිදුරු මඩු හඳුන්වන්නේ "තුවා" කියල . හරක් ගාල් කරන්න , දර ,පිදුරු ගබඩා කරගන්න යොදාගන්න මේ පිදුරු මඩු කඳුකර ගම් වල  සුලබ දසුනක් . පොඩි ළමයි මිදුලේ සෙල්ලම් කරනවා .පහල නගරයට වැඩට  ගිය ගමේ උදවිය කඳුකර පාර දිගේ ගෙවල් වලට එනවා .බොහොමයක් ගෑනු උදවිය හාල් , එලවලු පිරුණ බඩුමලු පිටේ එල්ලන් කන්ද නගිනවා .මේ මිනිස්සු හැමදාම උදේ හවස කඳු පලම් නගිමින් බහිමින්  දුක් විඳගෙන ජීවිත සටන ගෙනියනවා .සමහර ගම් වැසියො අපිට නමස්තේ කියමින් පටු ගල් පඩි දිගේ පහලට බහින්න උදව් කලා .මෙහෙම ගමක ලෙඩක් දුකක් වුනෝත් ඉතින් දෙවියන්ගේ පිහිට ඇර වෙන පිහිටක් නෑ.ඒත් මේ මිනිස්සු ගෑනු එහෙම කියලා ජීවිත සටන අත ඇරලත් නෑ.ජීවිතේ බොහොම සුලු සැප පහසුකමක් නැතිවුණත් මැසිවිලි කියන අපිට මේ මිනිස්සු,ගෑනු  හොඳ ආදර්ශයක් හැමදේම නැතිවෙලා ගියත් ආත්ම දහිරියෙන් ජීවිතේ ගෙනියන්න .මේ ගමන සිහිවෙන්න මම කඳුපාරෙන් ගල් කැට කීපයක් අරන් සාක්කුවට දාගත්තා .


කඳුකර පාරෙන් පල්ලම් බැස්ස  ගමන අවසන් වුණේ ඩේවිස් ෆෝල් කියන තැනින් . පිව්හා විල මහා දිය ඇල්ලක් විදියට මෙතැනින් අවසන් වෙනවා. පිව්හා විල තරණය කරගෙන කැලෑවක් මැදින් ගිය අපේ කඳුකර ගමනත් මෙතැනින් අවසන් වුණා.


ප/ලි
පොකරා ගමනේ අමතක නොවෙන අත්දැකීම තමයි මේ කඳුකර කැලෑ පාරෙන් වැස්සට තෙමීගෙන ගිය ගමන .ලංකාවෙදි නම් මම ඇස්මා හැදෙනවට බයේ කිසිම දවසක තෙමීගෙන මෙහෙම ගමනක් යන්නෙ  නැහැ. නමුත් එදා හොඳටම තෙමිලත් මාව ලෙඩ වුනේ නැහැ.පොකරා නගරයේ වීදිසැරිය ගැන තව කතන්දරයක් තියෙනවා .ඒක එන සතියේ ලියන්නයි කල්පනාව .  නීතට විශේෂ ස්තුතිය .එයා කියවන්න මග බලාගෙන ඉන්නව කිව්ව නිසා මට කතාව ඉක්මනට ලියන්න හිතුණා

පොකරා ගැන තව විස්තර කියවන්න ආසනම් මෙන්න මෙතැන්නින් බලන්න පුලුවනි .